Sunday, November 3, 2013

විහඟෙකුට...

අහම්බෙන් වගෙ ඇවිත් මගේ හදවත් බිමට
පුරන් කොට වගා කොට දිය යොදා යස රඟට
කෙතක් තැනු නුඹම නුඹෙ ආදරය පෙරටු කොට
ඉගිලෙන්ට හදයි අද ගිනි තියා ඒ කෙතට

යන්ට සැරසෙන නුඹව නවත්වා ගමි කුමට
පෙම් ගොයම් නොකන නුඹ පලක් වෙද මගෙ කෙතට
තෙරක් නැති මුළු අහස හිමි හෙයින් විහඟෙකුට
හැකිය ඉගිලී යන්න කැමති ඕනෑ තැනට

යළිත් කවදාක හරි එන්න හිතුණොත් එහෙම
සැක බියක් නැතුව නුඹ පැමිණෙන්න මා වෙතට
පැමිණ පිවිසෙන්න හද ගෙදර ඕනෑ තැනට
අඟුළු ලා නුඹව සිර කරනු බැහැ මගෙ අතට

විහඟ සිත යට සැඟව තිබෙන මනුසත්කමට
නතු වෙලා නුඹ දිනෙක ඈත ඉගිලෙන කලට
හඬා නොවැළපෙමි මම එලෙස හඬමිද කුමට?
සිනා උපදවනු මිස පුරුදු මුහණෙම රුවට...


-මේකත් අහම්බයෙන් ලියු කවියක්.මතක හැටියට ඕ ලෙවල් භූගෝල විද්‍යා පේපර් එක ඉවර වෙලා නිකං ඉන්න අතරේ ලියුවේ... බ්ලොග් එකේ දාන්න කවියකුත් නැති හින්දා මේක දාන්න හිතුණා!