Friday, May 30, 2014

පත්තර....)))

පත්තර කියන ඒවා සාමාන්‍යයෙන් බොහෝ දෙනා ළදරු පාසල් යන පුංචි ම කාලයේ කියවන්නට පටන් ගනිති.මා වැනි අතට අහු වෙන හැම අටමඟලම කියවන පොඩි එවුන් නම් පත්තර කියවිල්ල පටන් ගන්නේ ඊටත් කලින් ය....)))))

කියවන පත්තර වයසත් සමඟ වෙනස් විීම අපූරු දෙයකි.පුංචි කාලයේ මගේ තේරීම වූයේ පොඩිත්තා,සිඟිත්තා ආදී ඒවාය.කල් යත්ම එව්වා විජයට මිහිරට එහෙම මාරු විය.හතර පහ වසර වෙත්දී මම සිලුමිණ,දිවයින ආදී ලොකු පත්තර කියවන්නට පටන් ගතිමි.

ඒ දවස්වල පටන් ගත් පුරුද්ද අත හැර ගැනීම ඉතා අපහසු කටයුත්තකි.සෙනසුරාදා දවසේ උදේ පාන්දරම තාත්තාත් මාත් නිවසින් අතුරුදහන් වෙමු.නැවත ආපසු එන්නේ සති අන්ත පත්තර හතඅටකුත්,සෝයා අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙනය.. ඉන්පසු උදේ වරුවම අපේ නිවසේ සියල්ලෝ කිසිදු හිතේ කහටකින් තොරව පත්තර උදෙසා වැය කරති..!!!

පරණ පත්තර කියවීම මගේ අනික් පුරුද්දයි.(පුංචි අවදියේ සිට මට වැළදී ඇති පිස්සු තත්ව මගේ දෙමව්පියන්ටත් වැළදී තිබීම කරණ කොටගෙන) අපේ නිවසේ 1970 ගණන්වල සිට පරණ පත්තර කෙළ කෝටි සංඛ්‍යාත ගණනක් තිබේ.ඒවායින්ද වැඩි හරියක් සිත්තර,සතුට,සුහද ආදී වූ චිත්‍ර කතා පත්තර ය.ඉතින් අට නමය වසරේ පටන් මට කම්මැලිකමක් දැනුනු විට කරන්නේ ඔය පත්තර ගොඩ සම්පූර්ණයෙන් ම එළියට ගෙන දූවිලි නාගෙන ඒවා කියවීමය.ඉන් පසු ඇති වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව පිළිබඳව උනන්දු නොවිය යුතු තරමට ඒවා කියැවූ පසු අති මහත් ආනන්දයක් ලැබේ..!!

දුකක් දැනෙනා වෙලාවට 1990 ගණන්වල නවකතා සහිත පරණ අරලිය පත්තර ඉතා හොඳ ඔසුවක් බව ද නොකියා බැරි ය...!!

පත්තරවල නොවැදගත් ප්‍රවෘත්ති සහ ලිපි බොහෝ තිබෙන බව ඇත්ත ය.නමුත් සියල්ල ම කිව යුතු යැයි නියමයක් නැති බැවින් තමන්ට ගෝචර වන ඒවා පමණක් කියැවීමට හැකියාව තිබේ.. එහෙයින් වර්තමානයේ වෙසෙනා බාල පරම්පරාව රූපවාහිනිය මොහොතකට වසා දමා පොඩ්ඩක් පත්තර පැත්තට යොමු වන්නට උත්සාහ කළහොත් කරන්ට් බිල අඩු වී මොළය ද ටිකක් වැඩෙනු ඇතැයි සිතමි...))))

අන්තිමට කියන්නට තියෙන්නේ පත්තර හෙවත් පුවත්පත් යනු මගේ අත්දැකීම්වල හැටියට නම් ඉතා සුන්දර යමක් බව ය...!!



Friday, May 16, 2014

පැනයක්..?

වැස්ස ලියන්නට ගත්ත මුල් ම දවස්වල මා ලියූ දේවල් දැන් කියවද්දී මට ම පුදුම සිතේ. ඒවා ලියා ඇත්තේ මාතින් ම දැයි මා අද මොහොතක් නතර වී කල්පනා කළෙමි.දැන් ලියැවෙන්නේ බොහෝ වෙනස් දේ ය.ජිවිතය කිසිදාක කිසි තැනක සිර නොකර ගන්නේම යැයි මා සිතා සිටි කාලයක් තිබුණි.ඒත් ජිවිතේ අපට ඕනා පැත්තට ගලා යන්නේ නැති වන විට.... අපහසුවෙන් හෝ තමන්ට ඕනා විදියට ජීවිත ගඟ ගලා යන්නට සලස්වත්දීත් නේක ගල්පර බාධක මුණ ගැහෙන විට නොයෙක් සිරවීම් සිදු වේ.ඒ බව අන් කවරදාටත් වඩා මම දැන් අත් විඳින්නෙමි..

...මම කවි ලියන්නේ සතුටින් ඉන්නා විටදී ය.බොහෝ දෙනා දුකට කවි ලියද්දී මම බොහෝ විට සතුට කරණ කොට කවි ලියමි.එසේ නොවන අවස්ථා ද නැත්තේ නොවේ.ඒත් බහුතරය සිනාවන් නිසා උපන් කවි ය. දුකට ලියැවෙන්නේ මෙන්න මේ වාගේ පල් හෑලි ය.. ඒ මේ වැසි දැරියගේ විදියයි..!!!

...දුක දැනෙන්නේ ජීවිතයේ වෙනස් වීම් දෙස බලත් දී ය.ඉස්සර ජීවිතයේ පුදුමාකාර නිදහසක් තිබුණි.කාමරයට වී පාඩම් කර මහන්සි දැනෙනා විට හෙමින් වැයෙනා සින්දුවක් විඳින්නට.. හීනයක් දෙකක් මවන්නට මම බොහෝ ආසා කළෙමි.ඒ අස්සේ කතා පොතක් අස්සට ගොස් මොහොතකට හැබෑ ජීවිතයට යතුරු දමා ගන්නට මසිතේ අප්‍රමාණ වූ ආසාවක් විය.. ජීවිතයට ආශා හිතෙන අන්දමේ පිරුණු බවක් ඒ දිනවල විය..

ඒත් හදිසියේ ම පොත් ගොඩක් යට ජීවිතය හැංගී තිබේ....

.....වරද කාගේදැයි මම නොඅසමි.අන්තර්ජාලයට මොහොතකට මූණ ඔබා යනවා හැර වෙන අමතර මිහිරක් විඳින්නට වෙලාවක් නැත.ඉස්සර වාගේ තිස්සේ ම දෙමලිච්චියන් සේ දොඩමලු වන්නට මිතුරියන්ට වෙලාවක් නැත.ඉස්සර පොත්වල චරිත ගැන,නලුවන් ගැන,සින්දු ගැන කටවල් වසන්නේ නැතුව කියැවූ අප ම සිතාගත නොහැකි විදියකට පොත් අස්සේ අතර මං වී සිටිමු..

..ජීවිතයට පැතුම් තිබිය යුුතු බව මම පිළිගනිමි.අනාගත බලපොරොත්තු යනු නිසැකව ම අප සතු විය යුතු දෙයකි.එහෙත් ඒ ගමන යා යුත්තේ මෙසේ ද? මිනිස්කම්වලින් තොරව ද? අනුන්ට උදව් නොකොට තමන් ම පමණක් පොහොණි වෙමින් ද? විඳවමින් ද....?

....ඉතින් මේ හැම පැනයක් ම හිත යට මෝදු වෙත්දිත් දුරැති සිහිනයක් වෙනුවෙන් ජීවිතය අමතක කොට දමා හිඳින්නේ වෙමි..