Thursday, December 31, 2015

සුපැතුම්..))

උස් - පහත් දම්වැල් බිඳේවා
දුක් - තැවුල් දොම්නස් නිවේවා
දුරුත්තේ.. මේ වසත් සමයේ..
මිනිස්කම් මල් වී පිපේවා..














සියලු යහපත් පැතුම් ඉටු වන - ආත්ම අර්ථය සැලසෙන සේ ම, පර අර්ථය ද සලසන්ට සිත් වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරකට සුපැතුම්, මාමලා නැන්දලා අක්කලා අය්යලා හැමෝටම...))) 

Wednesday, December 16, 2015

මැටිල්ඩා.. මෙමිහිපිට සුන්දර ම දැරිවිය..



මැටිල්ඩාට මා ආදරය කරන්න පටන් ගත්තේ කොයි කාලයේද කියා මට හරියට මතක නැත. කූරු කළු කොණ්ඩයකින් යුතු මේ දුඹුරු පාට කැහැටු කෙලි පොඩිත්තිය, මගේ පමණක් නොව, මගේ මව්පියන්ගේ ද, මගේ මිතුරු මිතුරියන්ගේ ද අන්තර්ජාතික වීරවරිය ව හුන් කාලයක් තිබුණි. මට නම් අදට කියා ඒකේ වෙනසක් නැත. මැටිල්ඩා යනු රෝල්ඩ් ඩාල්ගේ පෑනෙන් උපන් සුන්දර ම වස්තුවයි. මගේ සාහිත්‍ය ලෝකයේ වීරවරියන් අතර උඩින් ම ඉන්නා ඇබිත්තන් කෙල්ලයි...

මැටිල්ඩා යනු අසාමාන්‍ය දරුවෙකි. ඇගේ අසාමාන්‍යතා කිහිපයක් ඇත. ඒත් ඒ අතුරින් රෝල්ඩ් ඩාල් වඩාත් ම ඉස්මතු කොට දක්වන අසාමාන්‍ය බව වන්නේ පොත්වලට ඇති පෙරේතකමයි. මැටිල්ඩා පුස්තකාලයට ගොස් පස් වියැති දැරියක ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන් ආදීන්ගේ පොත් ගෙනැවිත්, උණු චොකලට් කෝප්පයක් පානය කරමින් ඒවා කියවන විට මම අමන්දානන්දයට පත් වීමි. 

කියන්නට ඕනෑ වුණේ එය නොවේ. වර්තමානයට මැටිල්ඩා වැනි කෙල්ලන් කොල්ලන් වුවමනා වන බවය. මෑතකදී දුටු බොහෝ දරුවන් කරන්නේ මැටිල්ඩා මෙන් පොත් කියවීම නොවේ. අම්මලා තාත්තලා ද වට කර ගෙන අවුරුදු හතරේ පහේ සිට ජෝදා අක්බාර් හෝ මේ ආදරයයි බැලීමය. මා හොඳින් ම හඳුනන පස් වියැති කුඩා දරුවෙක් ජෝදා බලන්නට නිදා නොගෙන ඇහැරගෙන සිටියි. අඩුම තරමේ පොඩි එකා කාටූන් එකක්වත් බලනවා නම් දුකක් නැත. වෙනස් විය යුත්තේ ළමයින්ව නළවාගන්නට ඔවුන්ට රූප පෙට්ටිය දමා දී තමුන්ගේ වැඩක් කරගන්නා මව්වරුන්ගේ මානසිකත්වයයි.

කියවීමේ රුචිය දරුවෙකුට ඇති විය යුත්තේ පුංචි ම කාලයේදී ය. ළමයින්ට කියවන්නට නොහැක. මව්වරුන් පියවරුන් ඉන්නේ කවා පොවා ඇඳුම් අරන් දී ළමයින් උස් මහත් කරන්නට ම නොවේ යැයි හඟිමි. අනාගතය තනන්නට සවි සත්තිය ඇති මිනිසුන් - ගැහැණුන් තැනිය යුතු වන්නේ කුඩා අවදියේ සිට ය. ඔවුන් එසේ ශක්තියකින් යුතු අය වන්නට නම් මැටිල්ඩාගේ වර්ගයේ සුන්දර වූ ත්, ප්‍රඥාවන්ත වූ ත් ළමා වියක් ඔවුන්ට හිමි විය යුතු යැයි හඟිමි. ඩාල්ගේ මනෝ ලෝකයේ මැවුණු මැටිල්ඩාට පාර පෙන්නන්නට තරම් ප්‍රඥාවකින් යුතු මව්පිය යුවළක් නොසිටියහ. ඈ පාර තනා ගත්තේ තනිවම ය. ඉනික්බිති ඇගේ ගුරුතුමිය මිස් හනී සඳක් මෙන් ඇගේ ජීවිතයට පායා ආවාය. ගුරුවරුන් සතු කාර්යභාරය වාර සටහන් පිරැවීම පමණක් නොව දරුවන්ගේ හිස්මොළ පිරැවීම බව ඩාල් ඒ ළාබාල ගුරුතුමිය හරහා ලෝකයට කියන පාඩමයි.

ඉතින්... යහපත් මව්පියගුරු සෙවණක් ද ලැබ, තීක්ෂණ කල්පනා ශක්තියකින් වැඩ කරන්නට සමත්, මැටිල්ඩා බඳු දරුවන් බිහි වන ලෝකයක් දිනක උදා වෙතැයි බලා හිඳිමි.