Tuesday, May 24, 2016

එන්න.. අපි උදව් කරමු..!!

මේ දිනවල ගංවතුරින් අනාථ වූ සිසුන් වෙනුවෙන් සටහන් සහ අභ්‍යාස පොත් එකතු කෙරෙමින් පවතිනවා.
උසස් පෙළ,සාමාන්‍ය පෙළ සිසුන් ඒ අතරින් විශේෂයි.මෙවැනි අවස්ථාවක වඩාත් ම අසරණ වන්නේ එවන් තරඟ විභාගයකට මුහුණ දෙන සිසුන්.ඒ අපේ රටේ අනාගතය.ඔබේත් මගේත් නංගිලා මල්ලිලා.. ඔවුන් වෙනුවෙන් අපි අපට කළ හැකි දේ කරමු.

සටහන් ඉල්ලූ විට විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් ඉන්න ඇතැමුන් කීවෙ තමන්ගෙ සටහන් විශ්වවිද්‍යාලයට ගියාම පාඩම් කරන්නට වුවමනා වන බව. ඒත් ඒ කාලෙට ඔවුන්ට ඒ සටහන් මතක් වෙන එකකුත් නැහැ.අනෙක් අතට සටහන් තමා ළඟ තබාගන්නට ඒ තරම් ලොකු වුවමනාවක් තියෙනවා නම් සටහන්වල ඡායා පිටපත් ලබා දෙන්නට බැරිකමක් නැහැ. 

ඒ වගේම කිසිම පැකිලීමකින් තොරව තමන්ගෙ සටහන් ලබා දුන් අය බොහොමයක් ඉන්නවා. විශ්වවිද්‍යාලයට ඇතුළු විමට තරම් ප්‍රමාණවත් ඉසෙඩ් අගයක් නොමැති මිතුරියක් ඇයගේ සියලු ම සටහන්වල ඡායාපිටපත් සමඟ අමතර සටහන් සියල්ල ලබා දුන්නා. ඒ අතරේ රසිකා, අපේ කල්‍යාණ මිතුරිය තමන්ගේ උසස් පෙළ විභාගය ගැන පවා අමතක කරමින් නිරන්තරයෙන් ඇමතුම් දෙමින් සටහන් ඇති අය සෙව්වා. 

අන් අයට උදව්වක් කිරීමට උත්සාහ කළ සෑම දෙනෙක්ට ම මේ මොහොතේ ස්තූතියි.. ඔවුන්ට මේ මොහොතේ සටහන් පමණක් නොවෙයි, වෙනත් විෂයානුබද්ධ ග්‍රන්ථත් - අභ්‍යාස පොතුත් වුවමනා වෙනවා. අපි ඔවුන් වෙනුවෙන් උත්සාහ කරමු.

පහත සඳහන් අංකවලට කතා කොට සටහන් සහ පොත් ලබා දිය හැකියි.. 

071 7621548
077 1280666

අත්තූපනායික ධර්ම පර්යාය ඇත්තේ මෙවැනි තැන්වලට ආදේශ කිරිමටයි.. ධර්ම කරුණක් සේ දේශනා කරන්නටවත්, අසා සිටින්නටවත් පමණක් නොවෙයි..!

Friday, May 20, 2016

තෙතබරිත නගරෙක.. වැසි මැද.. වෙසක් කුමකට..?

අවංකව ම මගෙ හිතේ නම් බුදුහාමුදුරුවො කියල මැවිල තියෙන්නෙ තොරන් මැද විරාජමාන ව වැඩ ඉන්න සවනක් ගණ රැස් විහිදෙන යෝධ රූපකායක් ඇති තැනැත්තෙක් නොවෙයි.. මුළු ගයා නගරය පුරා ම දූවිලි තැවරුණු පොළොවේ නිරුවත් දෙපයින් ඇවිද ගියපු, ජාති - ආගම් - කුල භේදයකින් තොර ව ඕනෑ ම මනුෂයෙකුට - ගැහැණියකට සත්‍යාවබෝධය ලබා දෙනු පිණිස කටයුතු කළ බුදුහාමුදුරුවෝ මගෙ මනසෙ වැඩ ඉන්නෙ බොහොම සරල, සුන්දර මනුෂ්‍යයෙක් විදිහටයි..

අද බුදුහාමුදුරුවො වැඩ උන්නා නම්..

මුළු අහස ම අඳුරු කරමින් නොනැවතී ඇද හැලෙන වැස්ස දිහා බලන් ඉන්න කොට මට හිතුණා..

මං දන්න සමහර අක්කලා - අය්යලා වෙසක් කූඩු - තොරන් හැදිල්ල සම්පූර්ණයෙන් ම පැත්තකට දමලා ඒ වෙනුවට බත් පැකට් බඳින්නත්, ආධාර එකතු කරන්නත් පටන් ගත්තා..

ඒ තමා ඇත්ත වෙසක්.. ඔවුන් තමා අපූරුවට ම වෙසක් සමරන්නෙ..

බුදුහාමුදුරුවෝ දේශනා කලේ ආමීස පූජා පවත්වන්න නොවෙයි.. ප්‍රතිපත්ති පූජා පවත්වන්නයි.. බුදු දහම කියන්නෙ ආගමක් නොවෙයි. එ් එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වුණ විශිෂ්ටත ම - ගැඹුරු ම දර්ශනය. ත්‍රිපිටකය කියන්නෙ බණ පොතක් නොවෙයි.. එය සුවිශිෂ්ට දර්ශනයක් එක්රැස් වුණු විශ්වකෝෂයක්..!

බුදුදහමේ පැවැත්මට ආමීස පූජා අවශ්‍යයි තමා. එය පිළිකෙව් කරන්නට බැහැ. ඒත් මේ මොහොතේ අර අසරණ වුණ අපේ ම මිනිස්සුන්ට බෙහෙත් ටිකක්, ඇඳුමක් කැඩුමක් ගෙනියන එකෙන් වඩාත් පලවත් විදියකට වෙසක් සමරන්න පුළුවන්.. 

පූතිගත්ත තිස්ස තෙරුන්ගේ සැරව ගලන සිරුර තමන්ගෙ දෑතින් පිරිසිදු කරපු බුදුහාමුදුරුවෝ අද ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මොකක්ද...

අපි ආයෙ ඒ ගැන හිතලා බලමු..

Thursday, May 19, 2016

මල් පොකුරු,ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට...

"..ඒ අර බලන්නකො.. කරාබු දාන්නැති ගෑණුළමයෙක්..."

ඔය කතාව මට හයක් හතරක් නොතේරෙන කාලෙ ඉඳල අනන්ත වාරයක් ඇහිල ඇති. ළමයගෙ කන හිල් කොරල රිද්දන්න නොහැකි බවට තාත්තත්, අම්මත් ඒකමතික තීරණේකට එළැඹීම හේතුවෙන් පොඩි කාලෙ මගෙ කන විදල නැහැ. ටිකෙන් ටික ලොකු වෙද්දි මටත් කන විදින්න වුවමනාවකුත් දැනුණෙන් නැහැ. ආබරණ පාවිච්චි කරන්න වුවමනාවක් දැනුණෙත් නැහැ. ඇයි දෙයි හාමුදුරුවනේ.. මේ යසට තියෙන කන මොකටද නිකං හිල් කරගන්නෙ. හිල් කරගත්ත මදිවට ඕවයෙ සරුවපිත්තල එල්ලන්නත් එපායැ.. සමහරු කන අතගාලා අනේ පව් කියලා කියද්දි හිනත් යනවා.. අඳින ඇඳුමට ගැළපෙන්න පාට පාටින් කරාබු තෝරන්න ඕන නැති වීමත්, කොයි වෙලාවෙ හරි කන කඩාගෙන රත්තරන් කරාබුව උගුල්ලන් යාවි කියල බයෙන් ඉන්න ඕන නැති වීමත් කොයි තරම් පිනක් ද කියල ඒ ඇත්තන්ට වටහල දෙන්න අමාරුයි නොවැ..

"බඳින දවසටවත් කන විදිමු නේ...? "

කියලා ඒ ඇත්තො අහද්දි,

"බඳින කොට උත්සවයක් නම් ගන්නෙ නෑ.ඒ සල්ලිවලින් පුස්තකාලයක් හදන්න හිතන් ඉන්නෙ.." කියල මං කටවහගන්නව.

අනිත් එක තමා සකල ස්ත්‍රී වර්ගයා මල් පොකුරුවලට ආසා කරන බවට තියෙන මිත්‍යා විශ්වාසය මං නං කොහෙත්ම පිළිගන්නෙ නැහැ. අඩුම තරමෙ මල් පොකුරුවලට ආසා කරන්න එක හේතුවක්වත් මට හිතාගන්න බෑ. ඔන්න නැචුරල් මල් කළඹක සුවඳට හරි ලස්සනට හරි ආසා කළා කියමු. ඕක පරවෙලා ගඳ ගහන කොට පැත්ත පළාතක ඉන්න පුළුවන් ද..? ප්ලාස්ටික් මල් කළඹක් පරවෙන්නෙ නැතුව ලස්සනට තියාගන්න පුළුවන් කියල තර්කයක් ගෙනාවැහැකි. ඒත් වදේ ඕවයෙ දූවිලි බැඳෙනවනෙ.. තව එකක් තමා ආදරේ ප්‍රකාශ කරන්න මල් යොදා ගන්න පුළුවන් කියන එක.. ඒත් දෙයියනේ පෙම්වතාගෙන් පොතක් තෑගි ලැබුණම ඇති වෙන ආදරෙන් දසලක්ෂෙන් පංගුවක් ඇති වෙනවද එයාගෙන් මල් පොකුරක් තෑගි ලැබුණොත්.     

අපේ අම්මල තාත්තලත් අනික් ගෑල්ලමයින්ට වගේ මටත් හැම උපන්දිනේකටම මාල- මුදු- කරාබු - දිලිසෙන පාට පාට ගවුම් හෙම ගෙනත් දුන්න නම්, එහෙමත් නැත්නම් මගෙ කාමරේ බිත්තිවල රෝස පාට තීන්ත ගාලා - තුරුල් කරගෙන නිදාගන්න අලි ටෙඩිබෙයාර්ස්ලා ගෙනැත් දුන්න නම් මාත් අනිත් සමහර ගෑල්ලමයි වගේ වෙන්න ඉඩ තිබුණ. ඒත් මේ අවුරුදු දහනමයෙන් එක අවුරුද්දකවත් මට උපන්දිනේකට තෑග්ගක් විදියට සෙල්ලම් බඩුවක්, ඇඳුමක් ගෙදර උදවියගෙන් තෑගි ලැබිල නැහැ. හැම අවුරුද්දෙම ලැබුණෙ පොත්..! වයසෙ ගාණට.. උදාහරණයක් විදියට එකොළොස් වැනි උපන්දිනේට පොත් එකොළහක්.. 

එහෙම වුණා කියලා මං අර්ධ කොලු බාගයක් විදියට හැදුණෙත් නෑ. පොත්පත් අතරෙ ඇති දැඩි වුණ මට පරිකල්පනයෙන් පිරුණු සුන්දර ලෝකයක් මවාගන්ට පුළුවන් වුණා. නිළියන්, මෝස්තර නිරූපිකාවන් වෙනුවට ඇටමැස්සා පොතේ ඉන්න ජෙම්මා, ලිට්ල් හවුස් ඔන් ද ප්‍රෙයරි පොතේ ලෝරා, නිව්මූන් ගොවිපොළේ එමිලි, තාගෝර්ගේ ලලිතා වගේ අපූරු ගෑණු ළමයි මගෙ ලෝකෙ වීරවරියන් බවට පත් වුණා. හැබෑ ගැහැණු විදියට මගෙ ඇස් ඉස්සරහ මැවුණෙ ඒ වගේ ඇත්තියෝ මිසක දවසින් දවස සහකරුවො මාරු කරන මේකප් තලි උලාගත්ත නිළි රැජිණියන් නෙවෙයි.. 

මේ කාටවත් දොස් පවරන්න ලියූ ලියැවිල්ලක් නොවෙයි. ළඳ බොළඳ ගෑල්ලමයින්ට අපහාස කරලා ලියපු දේකුත් නෙමෙයි.. ඒත් ලෝකයෙ බටහිර රටවල තත්ත්වය බලද්දි ඒ රටවල හැම ක්ෂේත්‍රයකම පාහෙ 50% - 50% ගැහැණු - පිරිමි සහභාගීත්වයක් දකින්න පුළුවන්.වෛද්‍ය,කලා,මාධ්‍ය ආදී අනේක විධ ක්ෂේත්‍රයන්වල.. ඒත් ලංකාවෙ හුඟක් දෙමව්පියො ගෑණු දරුවන්ව පොඩි කාලෙ ඉඳල හදන්නෙ බොහොම දුර්වල ජීවීන් කොට්ටාසයක් විදියට. ගැහැණිය ඉතා ම සියුමැලි, දුර්වල, ශක්ති හිීන ජීවියෙක් නම් කොහොමද ලෝකෙ තියෙන දරුණු ම වේදනාව වන ප්‍රසව වේදනාව දරාගන්නෙ..? නමුත් ලංකාවෙ පුංචි ගැහැණු දරුවන් තුළ පවා බොහෝ විට ඇති කරල තියෙන්නෙ තමන් පිළිබඳ ව අවතක්සේරුවක්. කැරපොත්තෙක් දැක්ක ගමන් ගමට ම ඇහෙන්න හූ තියන මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් තමුන්ගේ සමාජ මෙහෙවර ගැන කල්පනා කරන්න බොහෝ ගැහැණු දරුවන්ගෙ මනස සකස් කරලා නැහැ.. එතනයි වරද තියෙන්නෙ.. 

අපේ බ්ලොග් අවකාශයෙ ම සහෘද ඉයන් මාමා ලියූ දැන් ළඳුන් සිංහාසනේ ගීතයේ පද වචන බවට පත් නොකර සත්තාවක් කිරීමේ වගකීම ඇත්තේ අප අත බව අමතක කරන්නට බැහැ.

මං මෙතැනදි කියන්නෙ ස්ත්‍රී ලාලිත්‍යය නැති කරගත යුතු බව නොවෙයි. කෙල්ලන් ව පිරිමි විදියට හදන්න ඕන බවත් නොවෙයි. මේක කිසිසේත් ම ස්ත්‍රිවාදී කෝණයකින් ලියන ලිපියකුත් නොවෙයි.ගැහැණියකගෙ සුන්දරත්වය තියෙන්නෙ ස්ත්‍රීත්වයේ බවට විවාදයක් නැහැ. ඒත් අනවශ්‍ය විදියට බොළඳකම් පෙන්වන්න ගිහින් රටට ලෝකෙට විහිළුවක් නොවී, සමාජයට වැඩදායක විදියට ජීවත් විය යුතු බවයි මගේ අදහස. ගැහැණුකම රැකගන්න ගමන් ම සිය සමාජ මෙහෙවර ඉටු කළ යුතු වන බවයි ඉන් අදහස් කළේ.

ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ කාර්යභාරය ඔබ අප සියලු දෙනාගේ උර මත පැටවී තිබෙන මහත් වගකීමක්.. ඒ සමාජ මෙහෙවරේ දී ගැහැණු - පිරිමි භේදයක් කිසිසේත් ම අදාළ වෙන්නෙ නැහැ.

ඒ අරමුණ වෙනුවෙන් වැඩ කිරීම සඳහා අපට මල් පොකුරු වෙනුවට පොත් සිපගන්නත්, අබරණ වෙනුවට පෑන් අතට ගන්නත් හැකි විය යුතුයි...
අප එසේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකය යහපත් කරනු පිණිස වැඩ කරන කල අප නොදැනුවත්ව ම මේ ලෝකය බොහොම ප්‍රියමනාප තැනක් බවට පත් ව තිබේවි...