Saturday, September 20, 2025

135. To Draco Malfoy - තියුණු තරු ඇස් සදා මා අස කවක් ලියමින් හිඳී..)





ප්ලේටොනික ආදර කතා ලස්සන ඒවා ප්ලෝටොනික වුණාමයි. ඒවා යථාර්ථයන් බවට හැරවුණා නම් එතරම් ලස්සන නොවන්නත් පුළුවන්..

හැරී පොටර් චිත්‍රපට මාලාවෙ එකිනෙකාට විරුද්ධ ප්‍රතිවාදීන් විදියට හර්මයිනිගෙ චරිතය රඟපාපු එමා වොට්සන් සහ මැල්ෆෝයිගෙ චරිතය රඟපාපු ටොම් ෆෙල්ටන් අතරත් එහෙම ලෝක ප්‍රකට ප්ලේටොනික ආදර කතාවක් තියෙනවා.


එමාගෙත් ටොම්ගෙත් ප්ලේටෝනික ආදරය බොහෝ රසිකයන්ගෙ හද රිද්දනවා.. එමාගෙත් ටොම්ගෙත් ඒ ප්ලේටොනික ආදරය නිසා ඉපදුණ dramione රසිකාලාප ප්ලේටොනික ආලයෙන් බොහෝ ඈතක තිබුණා වුණත්, මාත් ඒ රසිකාලාප ඇස් දල්ලාගෙන කියෙව්වා වුණත් dramioneට මඟහැරුණ ආදරය ගැන යමක් ලියන්නම ඕන යැයි හද ඇතු⁣ළෙ නොමැරී ජීවත් වෙන හැරී පොටර් රසිකාව මෙි ටිකේම කෑ ගහලා කිව්වා.


වෙනසකට තියෙන්නෙ අවුරුදු හතේදි විතර ඉපදුණ ඒ කුඩා රසික බබා අවුරුදු විසි ගාණකට පස්සෙ පරිණත වෙලා, පොතෙත් ෆිල්ම් එකෙත් එදා නොපෙනුණ තැන් පෙනෙන, නැති තැනුත් මැවෙන රසික යුවතියක් වෙලා තියෙන එක විතරයි.


ඉතින් මේ කවිය ලිව්වෙ ඒ රසික යුවතියට හර්මයිනි වැහිලා ⁣මැල්ෆෝයිගෙ ඇස් පතුල් කියවන්න බැරි වීම ගැන විස්සෝපයක් හද වෙළාගත්ත නිමෙසකයි..


දැන් ඒ කවිය මැල්ෆෝයිටත් රසිකයන්ටත් අයිතියි..)


අපි නොදැක්කත් හොග්වාට්ස්වල විසල් මාවත් අයිනෙ

පුංචි අඩිපාරවල කොතෙකුත් මල් පිපෙන තැන් තිබුණෙ

මලුත් මල්වල රොනුත් නිතරම අකල් වැස්ස⁣ට තෙමුණෙ

ඇයි දන්නෙ නෑ එහෙම මල්පෙති ඔබට - මට මගඇරුණෙ..


පුස්තකාලේ පොතක පිටුවක වචනයක

කෙළවරේ

හොඳම සිසුවිය වුව ම⁣ටත් යම් කේතයන් මඟහැරේ

දරුණු ඇස්වල පවා පතුළට ආද⁣රය පිරි'තිරේ

නොදත්තෙමි එය, ඉතින් ඔය ඇස් මඟඇරුණි කලුවරේ..


කාල යන්ත්‍රය අනාගතයේ තැනක වැටුණෙන් බිඳී

සැරිසරනු බැරි හදක් පියපත් කැඩී අවමන් විඳී

නොලී කවියක මතක, අහසෙන් මීදී යන්නට නොදී

තියුණු තරු ඇස් සදා මා අස කවක් ලියමින් හිඳී..


A Hermione who had always been head over heels for Draco...) 

25.09.06