Wednesday, March 30, 2016

පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න... - The Correct Post

තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න

සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න

වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

කුසුමක් සේ මැ ඇස් අස්සේ සුපිපෙන්න
සුසුමක් සේ මැ මුව අද්දර දැවටෙන්න
පැතුමක් සේ මැ නෙත් පත්ළේ සැතපෙන්න
පහනක් සේ මැ හිත් මලුවේ ඇවිලෙන්න.


Tuesday, March 15, 2016

සොඳුරු අඳුර..

මේ දිනවල රැයට අන්ධකාරයි.. කළුවරින් වැහිලා. මේ විදුලි විසන්ධි වීම උස්තැන්වල මැදිහත් වීමෙන් සිදු වන්නේ නම් එය පිළිකුල් සහගතයි. නමුත් මේ කියන්න යන්නෙ ඒ ගැන නොවෙයි.. විදුලි විසන්ධියත් සමඟ ඇති වුණු සොඳුරු අඳුර ගැනයි..

විදුලි විසන්ධි වීම අපේ ගෙදර ඇත්තන්ට නම් කොහොමටත් ලොකු ගැටලුවක් නොවෙයි. ගෙදර රූපවාහිනියක් නැති නිසා ගෘහස්ත හිංසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් බඳු වස්සානේ ප්‍රේමයටවත්, අනන්තයෙන් ආ තරු කුමාරයන්ටත්, අහස පළාගෙන මතු වෙන ගායන සහ නර්තන තරුවලටත් අපේ ගෙදර කිසිම තැනක් නැහැ.. ගැටලුවක් ඇති වෙනව නම් ඇති වෙන්නෙ අඳුරේ පොත් කියවන්න අකුරු නොපෙනෙන නිසා පමණයි.. ඒත් ඒකත් ගණන් නොගත යුතු තරමට මේ අන්ධකාරය අපට එකිනෙකා හා සංවාද වෙන්න සුන්දර වටපිටාවක් තනා දෙනවා. 

ඊයෙ සුමින්ද කිත්සිරි ගුණරත්න, අපේ පරම්පරාවේ ප්‍රතිභාපූර්ණ ම කවියාගේ නව කවිපොත පිළිබඳ මිහිරි ඇගයුමක් පැවතුණා. එය නිම වී අම්මාත් - මාත් නිවසට එද්දි රෑ බෝ වෙලා. ගෙදර ඇත්තො අන්ධකාරෙ ඉටි පහන් දල්වාගෙන අපි එන තුරු බලන් ඉන්නවා. විදුලිය නැවත ලැබෙන තුරු අපි ජීවිතේ ගැන, සාහිත්‍යය ගැන කතාබහේ නියැලුණා. අ.පො.ස විභාගත් එක්ක පැටලෙමින් ගෙවුණ ජීවිතේ පහු කාලෙදී එහෙම සුන්දර සංවාදවල නිමග්න වෙන්න ලැබුණු කාලය අඩුයි.. ඒත් මේ අන්ධකාරය විසින් ඉබේම මනුස්සකම්වලට - කවි කතන්දරවලට මතු වෙන්න කාලෙ සකසලා දෙනවා.. ඒක පුදුමාකාර මිහිරක්..!! 

ඒ අතරෙ මං විභාගය සමත් වීම වෙනුවෙන් අපේ අසරණ තාත්තට ගෙවන්න වුණු දඩය අතරට එක් වෙලා තිබුණ ස්ටෙෆ්නි මේයර් කියන මැජික්කාරිගෙ ට්වයිලයිට් කෘතිය ( ඔව්.. ඔව්.. ෆිලුම් එක හැදුවෙ ඒ පොතෙන් තමා) මාව අමන්දානන්දයට පත් කරමින් තිබුණ වෙලාවක විදුලි විසන්ධි වීම කියැවීමට බාධාවක් කරගන්න හිත් දුන්නෙ නැහැ. ඒ නිසා කට්ට කළුවරේ තමා එඩ්වඩ්, බෙලාට ආදරය ප්‍රකාශ කරන අන්දම කියෙව්වෙ.. පුංචි විදුලි පන්දමක් ආධාරයෙන්. වැම්පයර් කොලුවෙකුත් - මනුස්ස කෙල්ලෙකුත් අතර ඇති වුණ මේ අසාමාන්‍ය ආදර අන්දරය තනිවම බෙදා ගැනීම වරදක් යැයි හිතුණ නිසා ඒ මොහොතෙ මගෙ සමීප ම මිතුරියකට කෙටි පණිවිඩයකුත් කෙටුවා කලුවරේ ම. ඇගෙන් හැරෙන තැපෑලෙන් ආවා තරමක් දිගු කෙටි පණිවිඩයක්..

Enjoying the bliss of darkness in the company of a glowing candle.. 

ඒ කෙටි පණිවිඩයෙ තැනක එහෙම සටහන් ව තිබුණා. අන්ධකාරය සාපයකැයි නොසිතා එය අත් විඳින්නට පුළුවන් මිතුරු සිත් සිටීම වාසනාවකැයි සිතන ගමන් ම මම තව දුරටත් ට්වයිලයිට් නමැති මන්ද්‍ර අන්ධකාරය ඇතුළෙ කරක් ගැහුවා..

රූප පෙට්ටියෙන් එහා ගිය ජීවිතයක් තමන්ට තිබෙන බව මතක් කරගන්න මේ මොහොතෙ අපිට හැකි වුණොත් ඒක අන්ධකාරයෙන් උදා කර ගත හැකි අපූර්ව ආලෝක පුංජයක් යැයි සිතෙනවා.. 

Thursday, March 3, 2016

අට වසරේ දුටු සිහිනය - මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

   
මා අට වසරේ දී පමණ දුෂ්කර පළාතක ගුරුතුමියක් වන්නට ඇත්නම් යැයි සිහින මැවූයෙමි. ඉනික්බිති දිගින් දිගට ම ඒ ගැන අවදියෙන් හිඳ සිහින දකින්නට පටන් ගතිමි. එය ඉතා මිහිරි සිහිනයක් විය. ඒ හීනයේ මම යොවුන් ගුරුතුමියක් වී උනිමි. දුෂ්කර පළාතක ඉගැන්වූ ගුරුවරයෙක් මගේ අනාගත පෙම්වතා වනු ඇති යැයි මම ඒ කාලයේ කල්පනා කෙළෙමි. රජරට හැඩහුරුකම් තිබූ පෙදෙසක මා ඒ නාඳුනන පෙම්වතා සමඟින් අත්වැල් බැඳ ඇවිදින යුරු ද, පුංචි දරු දැරියන්ට උගන්වන යුරු ද ඒ හීනවල කොටස් විය. අට වසරේ කෙල්ලක ලෙස මා දුටු සුන්දර ම සීනය එය විය.

නිවසට පැමිණි මව්පියන්ගේ හිතෛෂීහු මගෙන් අනාගත බලාපොරොත්තුව විමසූහ.

මම තනි වාක්‍යයකින් ඊට පිළිතුරු දුනිමි.

මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

ප්‍රශ්නය විමසූවෝ මුහුණින් මුහුණ බලා ගත්හ. වෛද්‍යවරියක වන්නට, ගණකාධිකාරිවරියක වන්නට කිසිදාක මම සිහින නොදිටියෙමි. 

දිවුරමි! කිසිදාක මසිතේ එවන් සිහින පැන නැඟුණේ නැත.

ගුරු හීනයට මුල් වූයේ කුමක් දැ යි මම නොදනිමි. ඇතැම් විට මම මගේ දෙමව්පියන් වෙතින් දුටු පරමාදර්ශී ගුරු භූමිකාව වන්නට පිළිවන. එසේත් නැත්නම් රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල දුෂ්කර සේවයේ යෙදුණු කාලයේ ලියැවුණු සුන්දර කවි - ගීත ඊට උල්පත වූවා වෙන්නට පිළිවන.

බිම් තඹුරු මලයි ඔබ
මල් නැති සුදුවැලි යානේ
බිම්පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ..

වැනි මිහිරි ගීත ඔහු අතින් ලියැවෙන්නට ඇත්තේ මෙසමයේ යැයි මම විශ්වාස කෙළෙමි. ඒ ගුරු ජීවිතය කොතෙක් සුන්දර වන්නට ඇත්දැයි කල්පනා කොට පිනා ගියෙමි. ඒ මිහිරි හැඟුම් මේ හීනයේ උල්පත යැයි අද මට සිතෙයි.

හීනය අලුත්වැඩියා වූයේ දහය වසරේ දී ය. සාමාන්‍ය පෙළට පාඩම් කරන්න යැයි කියා මව්පියෝ කිසිදාක මට  බල නොකළහ. මම පාඩම් ද කළෙමි. නමුත් වැඩියෙන් කියැවූයේ නවකතා ය. දියණිය පාඩම් කළ යුතු යැයි කියා තාත්තා මට පොත් ගෙනැවිත් දීම නතර කළේ ද නැත. තමා යම් සුන්දර පොතක් කියැවූවා නම් මා ද එය කියවිය යුතු යැයි විශ්වාස කළ ඔහු හදවතට දැනුණ යමක් වෙතොත් එය මාතට ද පත් කළේ ය. එසේ මා අත පත් වූ පොතකි අලුත් ඉස්කෝලෙ හාමිනේ.. යන අපූරු ප්‍රබන්ධ කතාව!

එහි පරමාදර්ශී ගුරු යුවළක් විය. ඔවුන් දෙදෙනා ළඟ ළඟ පාසල් දෙකක සේවය කළ ගුරු යුවළකි. ඔවුන් තමන් සේවය කළ දුෂ්කර පාසල් ද්වයය දාඩිය මහන්සියෙන් ගොඩ නගන්නට අත්‍යන්තයෙන් ම වෙහෙස වූ අන්දම විදහා පෑ ඒ කතාව අදටත් මගේ ප්‍රියතම කෘති අතර ඉහළින් ම පවතින්නකි. ඒ කියැවීමත් සමඟ ම දුෂ්කර සේවා හීනය වඩාත් සුන්දර ලෙස දකින්නට පටන් ගතිමි.

ඒ අතරේ මගේ පුංචිඅම්මා කෙනෙකුට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් හිමි විය. ඈ අදටත් සත් වසක් තිස්සේ නොවිඳිනා දුක් විඳියි. ඒ බව දුටිමි. දකිමින් සිටිමි. ඉදිරියටත් දකින්නට සිදු වනු ඇත. එහෙත් පුදුමයකට මෙන් ඒ සියල්ල දැක දැකත් මගේ දුෂ්කර සේවා සිහිනය බොඳ ව නොයේ..

ඒ දුක දකිද්දී මට හෝ ගානා පොකුණේ ගුරුතුමිය සිය පෙම්වතාට පවසන දෙබසක් සිහි වෙයි.

හිතුවට වඩා අමාරුයි.. 
ඒත් හිතුවට වඩා ලස්සනයි..                                                                                                                                                                                                          
ඒ අතරේ යමෙක් හෝ ගානා පොකුණ බලන්නට ගියේය. ඉනික්බිති මගේ දුරකථනයට කෙටි පණිවිඩියක් පැමිණ තිබිණි. එහි මෙසේ සඳහන් විය.

ඔයාට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබුණොත් ඒ ටීචර් වගේ ඉඳීවි..

ඔහු එසේ කියද්දී මට අට වසරේ දුටු සිහිනය සිහිපත් විය.