Wednesday, November 8, 2017

වැස්ස, කුරුලු ආදරේ සහ The Notebook

ඇස් ඉස්සරහ සිත්තම් මවන වැස්සට වැහි දැරිවි ආදරය කරන්න පටන් ගත්තෙ කවදා ඉඳලද කියලා හරියටම නිනව්වක් නැතත් වැස්සත් - වැසි දැරිවිත් අතරෙ ඇති අරුම පුදුම සම්බන්ධය පටන් ගන්න ඇත්තෙ ඈ උපන් දවසෙම වෙන්න ඇති කියලයි හැම දෙනෙක් ම කියන්නෙ. වැස්සත් අරන් ඉපදිච්ච දැරිවිට වැස්ස එක්ක යා වුණු නමක් ලැබෙන්න ඇත්තෙත් ඒ නිසයි..!

ඊයෙ වැස්ස වැටුණේ වෙනදටත් වඩා ලස්සනට. එළියට බැහැලා වැහි වතුර දිහා බලන් ඉන්න වැහි දැරිවිට හිතුණේ ඒකයි. ගස් වැස්සෙ තෙමෙනවා බලන් ඉඳලා ගේ ඇතුළට යන්න හැරෙද්දියි අමුත්තන් දෙන්නෙක් ව ඇහැ ගැහුණෙ. කුරුලු ජෝඩුවක් වැස්සට ගෙට ගොඩ වැදිලා. පියස්ස උඩ. දෙන්නා එකිනෙකාගෙ තෙමුණු තටු පිහදානවා. මූණට මූණ තියාගෙන මොනවදෝ කොඳුරනවා. කුරුලු බාසාව දැනගෙන හිටියා නම් කියලා වැහි දැරිවිට හිතුණා. 

ඒ කුරුලු ආදර කතාව කවියක් වුණේ අඩ හෝරාවකට විතර ගෙවුණාට පසුවයි.. 

තටු පෙඟී තෙමී ගිය කුරුලු පැටවෙකු විලස
අනෝරා වැහි මැදින් ඔබ මවෙත පැමිණෙන්න
ඇඳුම් ඔහෙ තෙමුණාවෙ, මා ළයට ගුලි වෙන්න
ළං වෙන්න, සෙනේ සළුවෙන් ඔබ ව පිසලන්න

සතියකට විතර උඩදි විසි වෙනි වතාවට විතර ආපහු බලපු The Notebook චිත්‍රපටියේ මතකයත් කුරුලු කතාවට එකතු වුණා. ඒ සිනමා සිත්තම කොතෙක් මනරම් වුණත් ස්පාර්ක්ස් වචනවලින් මවන රූප චිත්‍රපටියටත් එහා යනවා කියලයි වැහි දැරිවිට නම් හිතෙන්නේ. වසර ගණනකට පසු මුණ ගැහෙන පෙම් යුවළ හංසයෝ පිරුණු වැවේ බෝට්ටු පදින්න ගිහින් අනෝරා වැස්සකට අසු වෙන මොහොතේ ඉඳන් දිග හැරෙන රූප රාමු පෙළ පොත කියවලා මවා ගනිද්දි.. මන්දා මට නම් චිත්‍රපටයටත් වඩා ඒ අකුරු රොමාන්තිකයි.

කෝපි උණුහුමක්වත් නැති හවසක වැටුණ වැස්ස මගේ කැත අකුරුවලින් කවියකට හැරවුණේ ඒ රොමාන්තික බව නිසා ම වෙන්න ඇති..

පැයක්වත් ගත වේවි පියාපත් වියැළෙන්න
Notebook පොත අරන් එතෙක් මෙහි ඉඳගන්න
සුමුදු බුමුතුරුණ මත තටු විදා වැතිරෙන්න
වැහි වැටෙන මොහොත මට අැහෙන්නට කියවන්න

ආල උණුහුමින් හද ගිනි උදුන දල්වන්න
වචන අහුරක් වෙමින් දෙතොලතර තැවරෙන්න
අහසැසට ඉඩ තියා වැහි පොද ව වැගිරෙන්න
තුඩට තුඩ තියා මගෙ තටු මතින් ඇලවෙන්න