Wednesday, September 25, 2024

109. රොමැන්තික ආහ්ලාදය සහ සහෝදර බිමක මල් සිටුවීම..!

අවුරුදු අටෙන් විතර සෝවියට් පොත් කියවන්න පටන් අරගත්ත පොඩි දැරියක්, රෝහණ විජේවීරට මංගල ඡන්දෙ දුන්න අම්මෙකුගෙ දුවක්, සමාජදේහය වසා පැතිර පවතින නූගත් බව නසමින් බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත පරපුරක් බිහි වනු ප්‍රාර්ථනා කරන අධ්‍යාපනවේදිනියක්, ස්ත්‍රී පුරුෂ පන්ති කුල සමානාත්මතාව අත්‍යන්තයෙන්ම විශ්වාස කරන තරුණියක් විදියට, පවත්නා දේශපාලන ප්‍රවාහය හා එකඟ වන නොවන තැන් ඇති මුත්, ඔව්, විසිදෙවැනිදාව යනු, වැසිදැරියට ජීවිතයේ සන්තුෂ්ටිදායක දවසක්!

ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම සමාජවාදී නොවේය යන තර්කය ඒ සන්තුෂ්ටියට කිසිසේත්ම බාධාවක් නොවෙයි. මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදය හෝ සෝවියට් සමාජවාදය සම්පූර්ණයෙන්ම මෙබිමෙහි ස්ථාපිත කිරීම ප්‍රායෝගිකත් නෑ. දේශයෙහි පවත්නා සමාජ,සංස්කෘතික ප්‍රවාහය වඩා යහපත්, වඩා අදූෂිත තැනක් කිරීම සඳහා සමාජවාදී දේශපාලනය යොදාගැනීමයි විය යුත්තෙ. ජාතික ජන බලවේගය මේ සා ජයග්‍රහණයක් අත් කරගන්න හේතුවත් ඒ අවශ්‍යතාව ඔවුන් හඳුනාගැනීම නිසයි.

කිසිදු දේශපාලන ප්‍රවාහයක කොටසක් නූනාට, ජීවිතයෙ මංගල ඡන්දය ධනවාදී පක්ෂයකට දෙන්නට තිබූ අකැමැත්ත නිසා දහඅට පිරුණාට පස්සෙ නන්නාඳුනන ජවි‍පෙ සහෝදරුවරු දෙන්නෙක්ටත්, සහෝදරියකටත් මහමැතිවරණෙදි ඡන්දෙ දුන්න, 3% ගොඩේ හිටපු වැසිදැරියට, එතෙක් මෙතෙක් පාර්ලිමේන්තුවෙ අසාධාරණයට එරෙහිව තනිව සටන් කළ නුදුටු සහෝදරයකු, 9වන විධායක ජනාධිපතිවරයා ලෙස, ඡන්ද පනස්හත්ලක්ෂයක් ලබමින්, පත් වෙද්දි යමක් නොලියා ඉන්න අපහසුයි. නමුත් එය රොමැන්තිකකරණයට ලක් වූ ලිවීමක් වනවාට වැසිදැරිය කැමති නැහැ.

පාර්ලිමේන්තුවේ දූෂිතයන්ට එරෙහිව කෑගහන විප්ලවකාරයා සහ ජනතාව අමතන සන්සුන් - තැන්පත් සහෝදරයා අතර පවතින විස්මය දනවන සුළු පරස්පරය සහ ජනතා නියෝජකයකු ලෙස අත්‍යයන්ත‍යෙන් හැඳින්විය හැකි අන්දමේ දුර්ලභ දේශපාලකයෙක්, දූෂකයන් අමතන දෘඩ ස්වරය සහ දූෂණයට ලක් වූවන් අමතන විශ්වාසදායී මන්ද්‍ර ස්වරය අතර ඇති වෙනස, රොමැන්තික ව දැනීම ඉතා ස්වාභාවික බව නොපිළිගන්නවා නොවෙයි.

පරිවාසවලට රිංගා මව්පියන් නැති දැරිවියන් පවා අත් නෑර වාර්තාගත ස්ත්‍රී දූෂණයන් කළ -ගැහැණුන්ව මුළුතැන්ගෙයි මෙවලම්, ලිංගික භාණ්ඩ හෝ ලස්සනට තබන මල් පෝච්චි ලෙස ගෙන වාස්තවීකරණයට ලක් කරන ඊනියා තරුණ නායකයන්ට ආකර්ෂණය නොවන තරුණියන් තුළ - ස්ත්‍රීන්ව නායිකාවන් සහ සහෝදරියන් ලෙස හඳුන්වන ජනාධිපතිවරයකු කෙරේ පවතින ආකර්ෂණයට එහා ගිය ගෞරවය අතිශය ස්වාභාවිකවයි. තරුණියන් පමණක් නොවෙයි, තරුණයන්, ඒ විතරද මැදිවියේ වැඩිහිටි ආදී විවිධ පරාසයන් නියෝජනය කරන - වසර ගණනක තට්ටු මාරු දේශපාලනයෙන් හෙම්බත්ව සිටි ඡන්දදායකයන් බහුතරයක්, අසාධාරණයට එරෙහිව නැගී සිටි අවුරුදු 'පනස් පහක' තරුණයෙක්ට ආකර්ෂණය වීම සිදු වූ වේගය ඇතුළේ ඡන්ද හාරලක්ෂ ගණනක් - පනස්හයලක්ෂය ඉක්මවා ඉහළ යාම මවිතයක් වන්නට කාරණයක්ද නෙමෙයි. 

අප සමඟ පශ්චාත් උපාධිය හැදෑරූ එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක ගුරුවරියක් ඒ පාසලේ දරුවන් අන් දරුවන්⁣ට වඩා හොඳ බව කියද්දී, ඊට ඉතා තදින් විරුද්ධ වී සියලු පාසල්වල සියලු දරුවන්ට සම පහසුකම් ලැබිය යුතු යැයි, පාර්ලිමේන්තු යන්න කලින්  විශ්වවිද්‍යාල ආචාර්යවරියකව සිටියදී පවා අධ්‍යාපනයෙහි පන්ති විෂමතාවට එරෙහිව තර්ක කළ ඇදුරුතුමියගේ මතකය, කෙටිකලකට පෙර අගමැතිතුමියගේ සිසුවියකව සිටි වැසිදැරියට අමතක කළ නොහැකියි.

සංදර්ශන නොපවත්වා විනාඩි දහයෙන් දිවුරුම් දී මිලියන දෙසීයක් ඉතුරු කිරීම, ඇතැම් දේසපාලුවන් විසින් මෙතෙක් නොගෙවා සිටි රජයට අය විය යුතු මුදල් නව රජය කෙරේ වන භීතිය හේතුවෙන් ගෙවීම, රජයේ භාවිතයටම පමණක් නොව පුද්ගලික අවැසියාවන් උදෙසා අනිසිව භාවිත වෙමින් කරක් ගැසූ වාහන හිටිඅඩියේ බ්‍රේක් ගසා නතර වීම, ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අධ්‍යාපනයට ගරු කරමින් අගමැතිවරියකගේ සිදු වූ ආගමනය, පාසල් උත්සවවල දේශපාලන සංදර්ශන නතර වීම ඇතුළු ආර්ථික සමාජ දේශපාලනික ක්ෂේත්‍රයන්හි දින කිහිපයකට සිදු වූ සාධනීය වෙනස්කම් ඇසුරින්, තමන් ගත් තීරණය නිවැරදි බව බොහෝ තැන්වලින් සාධක සහිතව සනාථ වෙද්දි ඡන්දදායකයන්ට රොමැන්තික නොවී ඉන්නත් අපහසු ඇති. නමුත් ඒ රොමැන්තික බව අනුර පොකට් ෂර්ට් ඇඳ අත් දෙක නවා නොසිටියොත් අනුර, අනුර ලෙස නොදැනෙනවා වැනි පමණකට රොමැන්තිකකරණය කිරීම සහ කිසිදු වරදක් නොපෙනෙන පමණට අන්ධ වීම ඡන්දදායකයන්ට, රටට හෝ
රජයටවත් යහපතක් සලසන රොමැන්තික වීමක් නොවෙයි.

දූෂිත දේසපාලුවො පාර්ලිමේන්තුවේ උඩබුරද්දි  - තමාට එරෙහි වන්නට නැගිටින නැගිටින සියලු ‍දෙනාගේ දූෂණ වංචා ගැන මතකයෙන් කතා කරන ජනතා නි‍යෝජකයෙක් අබිමුව, පොතක්-කඩදාසියක් නොබලා දේශපාලන-සමාජ-සංස්කෘතික සියලු කාරණා ගැන අනලස්ව විග්‍රහ කරන කථිකයෙක් අබිමුව බහුතර ඡන්දදායකයන්ට, රොමැන්තික නොවී ඉන්න අපහසුයි. ඒක ඇත්ත. පිළිගන්නවා. ඒත් සහෝදර කුරුල්ලනි, රොමැන්ටිසයිස් වීමෙන් නතර විය යුතු නැහැ. වඩා හොඳ දේශයක් උදෙසා අප එක්ව වැඩ කළ යුතුයි. ඔවුන් පාර්ලිමේන්තුවේ වැඩ කරාවි. අපද වඩා නිවැරදි සමාජයක් උදෙසා අ⁣පේ වපසරිය තුළ වෙනදාටත් වඩා අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කළ යුතුයි.

අනෙක් අතට පාලන තන්ත්‍රයන්, කිසිදු විවේචනයකින් තොරව, රොමැන්ටිසයිස් කරන්නට ගොස් හොම්බ කට බිම ඇනී සමතලා කරගත් ජනතාවක් ලංකාවේ තරම් වෙනත් කොහේවත් නැති බවත් මා හිතන්නේ අප අමතක කළ යුතු නෑ. එසේම රොමැන්තික දෑස්වලට යථාවන් - යථාවන් ලෙසම නොපෙනී යන්න ඉඩ ඇති වගත් අමතක කළ යුතු නෑ.

මේ රොමැන්තික ආහ්ලාදය සහ වගකීම් සත්තාව අතර දෝලනය වන සටහන නිමවන්න පෙර ඊයෙ වූ සිදුවීමක් ගැන කුඩා මතක කුරුටුවක් තබන්නත් අවැසියි.

විසිහතරවැනිදාවෙ, ජනාධිපති සහෝදරයා දිවුරුම් දීලා, දවස් දෙකකට පස්සෙ මාත් වැහි දරුවාත් දවසේ දේශන අවසන් කරලා බැරිස්ටා⁣ කෝපිහලට ගියේ ඡන්ද අසා නිදි මරා සිටි විඩාව නිවාගන්නත් එකයි. එවිට ආරක්ෂක සහෝදරයා දොර හරින්න එද්දි වැසිදැරිය දොර ඇරගෙන එළියට බැස්සේ වෙනදාත් කරන අන්දමටම තමයි. කොහොමත් කුඩා කාලෙදිවත් කවදාවත් මා කාටවත් දොර අරින්න දෙන්නෙ නෑ. අතපය හතර ගැන ලෙනින් කුඩා කොලුවකු කාලෙ කීවා යැයි ඇසූ කතාවක් කවුරු හරි දොර අරින්න එද්දි මතක් වන බැවින්. කොහොම හරි මගෙ දොර මංම ඇරගත්ත නිසා එහා පැත්තෙ දොර අරින්න කියායි ඔහු වැහිදරුවා පැත්තට ගියේ.

රටේ ජනාධිපති කාටවත් කියලා දොර ඇරගන්නෙ නැත්නම්.. ඇයි අපේ දොරවල් අරින්නෙ! 

කියා වැහිදරුවා අහද්දි ආරක්ෂක සහෝදරයා සුණු සිනහව ඇතුළේත්, මාත්- වැහිදරුවාත් තුළ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක පාරිභෝගිකයන් ලෙස නැගුණු හැඟුම් සමුදායෙත් තිබුණේත් ප්‍රථම වතාවට සහෝදරයකු ජනපති වීම තුළ තිබෙන රොමැන්තික ආහ්ලාදයයි. 

.. සහෝදර බිමක, මල් පිපෙන්න පටන් අරන් ඇති බවට වන රොමැන්තික ආහ්ලාදයයි..!

නමුත් කඳුහෙල් යට කර ගලා ආ මහජන ගඟ මහමැතිවරණයෙ මීටත් වඩා ප්‍රබලව ගලනු ඇත්තෙ දැන් තමා අදූෂිත යැයි පෙන්වාගෙන එක් වෙන්න හදන දූෂිත දේශපාලුවන් මාලිමාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අන්දමටත් - තනතුරු සඳහා සිදු වන පත්කිරීම් සඳහා අධ්‍යාපන සුදුසුකම් මතු නොව කැපවීම, අදූෂිත බව සහ ප්‍රඥාව සහිත නිවැරදි මිනිසුන් තෝරාගන්නා අන්දමටත්, ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි වගන්ති සත්තාවන්ව මහපොළොව මත ක්‍රියාත්මක වන අන්දමටත් අනුලෝමව සමානුපාතිකව වගත් - එසේ නොවුණහොත් ජනගඟ යළි වෙනත් දිශානතියකට ගලනු ඇති වගත් - අමතක කරන්න බැරි බවත් සටහන් කළ යුතුමයි. 

ඉතින් සහෝදර බිමේ බිම් මට්ටමේ මල් හිටුවන ගමන් නව දිශානතියකට රටේ මාලිමාව කැරකෙන අන්දම දිහා රොමැන්තික ආහ්ලාදයටම නතු නොවී, සහෝදරවරුනි අපි බලා සිටිය යුතු බවද, ඒ අතරේ කුමන ක්ෂේත්‍රයක් නියෝජනය කළද, වඩා යහපත් - වඩා පිරිසිදු හෙටක් සහ රටක් උදෙසා තනි තනි ඒකක ලෙස අපෙන් විය යුතු යුතුකම ඉෂ්ට කළ යුතු බව ද අමතක කළ නොහැකියි.

එවිට සහෝදර බිමේ මල් තව දශක ගණනාවක් යන තුරු පර නොවී දිගින් දිගටම පිපී තියේවි! 

No comments:

Post a Comment