Friday, May 30, 2025

130. ගුරු දියවර නවකතාව - 43වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ


_ රජරට සිට ගලන ගී දියවර_


රජරට සරසවියෙන් එදා ඒ දුරකතන ඇමතුම සිය ගුරුවරයාට පැමිණියේ ගඟුල් ද ගුරු නිවහණෙහි රැඳී සිටි සන්ධ්‍යාවක ය. ඒ වූකලී එසරසවියේ භාෂා අධ්‍යයනාංශය මගින් ශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ නිර්මාණාත්මක හා විචාරාත්මක කුශලතා ඇගයීමත් වැඩි දියුණු කිරීමත් අරමුණු කොට ගෙන දියත් කරනු ලබන වැඩ සටහනකි. නිවේදකයා වශයෙන් කටයුතු කරන භවන්ත ප්‍රමෝද් චන්ද්‍රරත්න තරුණ කථිකාචාර්යවරයා මෙහි අරමුණ මෙසේ පැහැදිලි කෙළේ ය.


“සර්, අපි අපේ භාෂා අධ්‍යයනාංශයෙන් සංකථන මාලාවක් කරගෙන යනවා. අපි ඒක නම් කරලා තියෙන්නෙ සනාලික මණ්ඩපය කියලා. අපේ ශිෂ්‍යයන්ගෙ කලා රසඥතාව, සහජීවනය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය වගෙම මානසික ඒකාග්‍රතාව වර්ධනය කිරීමේ අරමුණින් තමයි මේක පටන් ගත්තෙ. අපේ අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ තමයි මේ වැඩ පිළිවෙළෛ් අනුශාසක විදිහට වැඩ කරන්නෙ. සර් දන්නවා නේද අපේ අංශ ප්‍රධාන හාමුදුරුවන්ව.”

“මොකෝ භවන්ත මන් නොදන්නෙ. අපේ මහාචාර්ය ඔලගන්වත්තෙ චන්දසිරි හාමුදුරුවොනෙ අංශප්‍රධාන. උන්වහන්සෙත් ජපුරෙ ආදි ශිෂ්‍යයෙක්නෙ. ඒ වගෙම මට ඔයගොල්ලන්ගෙ විශ්වවිද්‍යාලෙ ප්‍රසාද් කුමාර සර්රුත් කතා කරලා කිව්වා මේ වැඩේ කරලා දෙන්න කියලා. මේ කීවෙනි වැඩ සටහන ද, කොච්චර වෙලාවක් ද කරන්න ඕනෙ, කරන්නෙ කවද්ද මේ විස්තර මට කියන්න. මන් අනිවාරෙන් ම මේ වැඩ සටහනෙන් එකක් ඔය ගොල්ලන්ට කරලා දෙන්නම්.”

“සර්, අපි පළවෙනි වැඩ සටහන කළා. ඒක කළේ අපේ නන්දන වීරසිංහ කවියා. සාමාන්‍යයෙන් වැඩ සටහන පැය දෙකක් දෙකහමාරක් යන විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නෙ. මාර්ගගත ක්‍රමයට තමයි කරන්නෙ. අපි යොදා ගන්නෙ කාටත් සහභාගි වෙන්න පුළුවන් වෙලාවක්. ඒ කියන්නෙ හවස හයට. අට අටහමාර වෙන කන් වැඩ සටහන ගලාගෙන යන විදිහට වැඩ සටහන කරන්න පුළුවන්. සර්, ගී රසවින්දන වැඩ සටහනක් තමයි අපිට ඊළඟට ඕනෙ කරන්නෙ. සර්, ඒක මාතෘකාවකට පෙළ ගස්සගෙන කරන්න පුළුවන්නං හොඳයි. දිනය සර් ම දුන්නොත් තමයි හොඳ?”

“එහෙමනං භවන්ත, මම දිනයයි මාතෘකාවයි හෙට කියන්නං. මේකට සහභාගි වෙන්න පුළුවන් ද රජරටට අමතරව වෙන අයටත්.”

“පුළුවන් සර්, රසවින්දනේ කියන දේ රජරටට විතරක් සීමා වෙන්න බැහැනෙ. අපි මේවට කැමැති වෙනත් අයත් සම්බන්ධ කරගෙන වැඩේ කරමු. අපේ අංශ ප්‍රධාන හාමුදුරුවො වගෙම ආචාර්ය මණ්ඩලේ ඉන්නෙත් එහෙම තැනක.”

අද මේ උදාවී ඇත්තේ ඒ දවස යි. ගඟුල් මෙදින කල් ඇතුව ගුරු නිවහනට පැමිණියේ තාක්ෂණික කටයුතුවල දී සිය ගුරුවරයාට අවශ්‍ය වුවහොත් සහාය වීමේ අරමුණ ද ඇතිව ය.

සිංහල ගීත කවුළුවෙන් ප්‍රේමයේ විවිධ ස්වරූප සොයා යමු මේ වැඩ සටහනේ මාතෘකාව යි. මෙම වැඩ සටහනට තෝරාගෙන තිබූ ගීත සංඛ්‍යාව දොළසකි. රජරට සරසවි ප්‍රජාවට අමතර ව නාගොල්ලාගම, හෝකන්දර, පළුගස්දමන ඈ ප්‍රදේශයන්හි සහෘදය පිරිස් ද ශ්‍රාවක ප්‍රජාව නියෝජනය කළහ. නිවේදක කථිකාචාර්යවරයා විසින් ආරම්භය මෙසේ ආරම්භය සලකුණු කරනු ලැබිණ.  

“ශේෂය කුමක් වුව ගිණුමෙහි අවසානේ  -  ප්‍රේමය අත ඉතිරියක් වෙන්නම ඕනේ”
ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය ප්‍රේමය දකින්නෙ එහෙම යි.  අද අපි ප්‍රේමයේ විවිධ ස්වරූප සොයා ගෙන යන්නේ අපේ සහෝදර සරසවියක සහෘදය මහාචාර්යවරයකු සමග. අද දවසේ සුන්දර ඒ වගේම අර්ථවත් ගීත දොළහක් මේ සනාලික මණ්ඩපයට එක් වෙනවා. ප්‍රවීණ සුගායන ශිල්පීන්ගේ හඬින් අපේ වැඩිහිටි පරපුර ලද චමත්කාරය වර්තමාන පරපුරට ප්‍රදානය කිරීමේ අරමුණ ඇතිව 70 දශකයේ තරුණ සමාජය ප්‍රසාදයට පත් කළ මියුරු ගීතයකින් අපි අපේ ආරම්භය ගන්නවා. අතීත චමත්කාරය අද අපට ගෙන එන්නේ අපේ ආදරණීය ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක්. මන් කැමැතියි පළමු ගීතය වශයෙන් තෝරා ගත්තේ කුමක් ද එයට විශේෂ හේතුවක් තිබෙනවා ද කියන කාරණෘ ගැන අද අපේ සම්පත්දායක මහාචාර්යතුමා ම පැහැදිලි කරනවනම්.

භවන්ත, මම තෝරාගත් ගීතය ඔබ කිව්වා වගේම 70 දශකයට අයිති සුන්දර ප්‍රේම ගීතයක්. ඔබේ දෙමවුපියන් අයත් වන පරපුර, අපේ පරපුර වගෙම අපට කලින් හිටි පරපුරත් රසවත් කළ ගීතයක්. මන් මේ ගීතය ගැන අවස්ථා කීපයක දී ම කතා කරලා තියෙනවා. මේ ගීතය ගායනා කරන්නෙ ප්‍රවීණ ගායනවේදී ෆිීලික්ස් ඇන්ටන් සමග ගායන ශිල්පිනී චන්ද්‍රාණී මානෙල් කල්දේරා. හද ගී පොතේ, නිලම්බරේ කැලුම් පිරී සරා සඳ වගේ, සුළං රැල්ල ලෙස හමා එමි, නෙත පිනන රුසිරු වත ඔබේ වගේ හෘදයංගම අකාලික ගීත රැසක් ගායනා කරපු ගායකයකුට තමයි ෆීලික්ස් ඇන්ටන් කියලා කියන්නෙ.

මහාචාර්යතුමනි, මාත් අයත් අපේ පරම්පරාව වෙනුවෙන් ආදරණීය බාධා කිරීමකට මට අවසර දෙන්න. ඔබතුමා දැන් පාවිච්චි කළා අකාලික ගීත කියලා කොටසක්. ඒක අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?
ප්‍රේමය කොහොමත් අකාලික දෙයක්නෙ. දාරක ප්‍රේමය වේවා, යෞවන ප්‍රේමය වේවා, මාතෘ පිතෘ ප්‍රේමය වේවා, භක්ති ප්‍රේමය වේවා, පරිසර ප්‍රේමය වේවා ඒක හැම යුගයක ම පවතිනවා. ඒ ඒ යුගවලදි ඒකට අයිතිවාසිකම් කියන අය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමය සදාතනිකයි. උදාහරණෙකට අපි යෞවන ප්‍රේමය ගනිමු. මෙයට දශක කීපයකට ඉස්සෙල්ලා අපේ පරම්පරාව තමයි යෞවන ප්‍රේමයේ අයිතිකාරයන් විදිහට හිටියෙ. ඊට පස්සෙ 90 දශකෙ ජීවත් වෙච්ච අය. ඊටත් පස්සෙ 2000 සහස්‍රෙ ආරම්භෙදි ඒ අය. ඔය විදිහට ගලාගෙන ආපු යෞවන ප්‍රේමයේ අද අයිතිකරුවන් වෙලා තියෙන්නෙ මේ තරුණ පරම්පරාව. ඒකට හොඳම නිදර්ශනේ තමයි එදා 70 දශකෙදි ෆීලික්ස්-  චන්ද්‍රාණි යුග්මය කියපු ඒ ගීතය අද කියන්නෙ, ඒ කියන්නෙ 2025 දී කියන්නෙ අපේ ශිෂ්‍ය යුග්මයක් වීම.

මහාචාර්යතුමනි, ඔබතුමා ඔහොම කතා කරන කොට මට මතක් වෙනවා ඔබතුමා රූපවාහිනී වැඩ සටහනකදි අනංග සංකල්පය කියපු අදහසක්. අපේ අලුත් පරම්පරාවට දැන ගන්නත් එක්ක ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න පුළුවන් ද?

ඔව් ඔයගොල්ලන්ගෙ මේ තරුණ ආචාර්යතුමා කියන වැඩ සටහන මට මතකයි. අනංග කියන්නෙ ප්‍රේමයේ දෙවියාට කියන නමක්නෙ. අංග කියලා කියනවා ශරීරයට - දේහයට. යෝ අංගේන විනා ජීවති ස අනංගඃ කියලා අපි විග්‍රහ වාක්‍යයක් හදා ගත්තොත් ඒකෙ තේරුම වෙන්නෙ යමෙක් දේහයකින් තොර ව ජීවත් වෙයි ද ඒ අනංග යි කියලා අපිට ඒක තේරුම් කරන්න පුළුවන්. ඒකෙ තේරුම ප්‍රේමයට අයිතිකාරයෙක් නැහැ කියන එකනෙ. ඒ කියන්නෙ ප්‍රේමය හැමදාම පවතිනවා. ඒ ඒ යුගවල ජීවත් වන අය තමන්ගෙ යුගයෙ දි ඒක තමන්ට අයිතියි කියලා හිතනවා. ඒකනෙ 70 දශකෙදි ෆීලික්ස්ලා කියපු ගීතය අද වෙන කොට අපේ අලුත් පරම්පරාවෙ කටහඬින් අපට අහන්න ලැබෙන්නෙ.

ඔබතුමා කියන්නෙ පුද්ගලයන් සදාතනික නැති උනාට ප්‍රේමය සදාතනිකයි කියන එක නේද?
නැහැ භවන්ත, ඒ අදහස මට අයිති කර ගන්න එක වැරදියි. ඒක අයිති වෙන්නේ අතීතේ කවර හරි දවසක මේ සංකල්පය සමාජගත කරපු ඒ සංස්කෘත විද්වතාට. ඒ වගෙම මම කැමතියි භවන්ත මේ ගීතය වගෙම අපි බොහොම කැමැත්තෙන් අහපු ෆීලික්ස් කියන නෙත පිනන රුසිරු වත ඔබේ ගීතයේ එන සුන්දර තැනක් මතු කරලා මේ ගීතය ගායනා කරන්න අපේ රජරට තරුණ යුග්මයට ඉඩ දෙන්න. ඒ තමයි මේකෙ එක තැනක එනවා රන් දිමුතු මුතු ද ළඟ තිබේ ඒ සියලු දෙයම මතු ඔබේ කියලා කියැවෙන තැනක්. ඇත්ත ප්‍රේමයෙදි රන් දිමුතු මුතු කියන්නෙ කොහෙත් ම වටින දෙයක් නෙමෙයි. ඒකනෙ රන් දිමුතු මුතු ඇතුළු සියලු සම්පත්වලට හිමිකම් කියපු සාලිය අශෝකමාලා ගැන ඇති වෙච්ච ප්‍රේමය වෙනුවෙන් ඒ ඔක්කොම අත හරින්නෙ. මෙතන මම දකින වැදගත් තැන වෙන්නෙ තමන්ගෙ සම්පත් සියල්ල තමන් විවාහ කර ගන්න යන බිරිඳට අයත් කියලා කියන එක. මේ ගීතය ලියැවෙච්ච යුගය කියන්නෙත් කසාද බඳින කොට පිරිමියාට කාන්තාවගෙ පැත්තෙන් දෑවැද්දක් දෙන්න ඕනෙ කියන අශීලාචාර සිරිත යම් තරමකට සමාජගත වෙලා තිබිච්ච යුගයක්. මන් හිතන්නෙ තමන් ආදරය කරලා විවාහ කරගන්න යන කෙනාව රකින්න හිතාගෙන ඉන්නෙ එයාගෙන් ලැබෙන දෑවැද්ද ගැන හිතලනම් එහෙම මිනිස්සු විවාහ වෙනවට වඩා හොඳයි විවාහ නොවී ඉන්න එක.
 
මේ ගීතය හරහා අපට ජීවිතය ගැන, සමාජය ගැන හිතන්න ඕන කරන කාරණා ගොඩක් සාකච්ඡා කළා. දැන් අපි අපේ  ඕවිල්ලේ පෙම් සඳැල්ලේ ග’යට ඉඩ දෙමු.

ඒ අනුව රජරට සරසවියේ  ජයාන් සහ මධුමාලී යන තරුණ ශිෂ්‍ය යුග්මයේ මියුරු හඬ ය, ඒ මොහොතේ නිහඬ ව තිබූ අවකාශයට එක් වූයේ.

ඕවිල්ලේ පෙම් සඳැල්ලේ රන් තොටිල්ලේ  ගීතය යි
නා දල්ලේ මල් පියල්ලේ රන් කැදැල්ලේ සිහිනය යි
ගීතාවසානයේ මහාචාර්යවරයා පැවසුවේ පහත සඳහන් වචන කීපය යි.

එදා අතීතයේ දවසක ෆීලික්ස් - චන්ද්‍රාණි දෙන්නගෙ කටහඬින් යම් මිහිරක් ලැබුව ද අවුරුදු තිස්පහකට විතර පස්සෙ ඒ මිහිර ම තමයි අලුත් පරම්පරාවට අයිති මේ දරුවො දෙන්නා අපිට දුන්නෙ. අපි මේ දෙන්නට අපි ඔක්කොමගෙ හෘදයංගම ආශිර්වාදය පුද කරමු.

අපි එහෙනං මේ වැඩ සටහනේ දෙවෙනි ගීතයට යමු. ඔබ තෝරාගෙන තියෙන්නෙ ඔබේ වචනවලින් ම කියනවනං තවත් අකාලික ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ යුගයෙන් යුගය, පරපුරෙන් පරපුර සමාජය රසවත් කරපු - කරන ගායනවේදියෙක්. ඒ, එච්. ආර්. ජෝතිපාල. මේ ගීතය ලිව්වෙ ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතවත් කළේ සංගීතඥ පී. එල්. ඒ. සෝමපාල. අද මේ තුන්දෙනා ම අපි අතර නැහැ. ඒත් නිර්මාණවලින් මේ තුන් දෙනා ම අපේ හිත් ස්පර්ශ කරනවා. මන් කැමතියි මේ ගීතය ගැන ඔබෙන් යම් ප්‍රවේශයක් ලැබෙනවා නම්.
ඔව් භවන්ත, ඔබ පසුබිම විස්තර කරපු ගීතය ආරම්භ වෙන්නෙ කවුද ඔබ කවුරුන්දෝ කියන වචනවලින්. අපිටත් තාම අවබෝධ කර ගන්න බැරි වෙලානෙ තියෙන්නෙ අපි කවුද කියන එක. මේ ගීතය ඇහෙන කොට වෙනත් මානයකින් මට මතක් වෙන්නෙ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා ලියපු මම කවුද? කියන සිතිවිලි ලිපිය. මොකද අපි ඔක්කොටම ඉස්සෙල්ල හොයා ගන්න ඕන කරන්නෙ අපි කවුද කියන එක. මේ සනාලික මණ්ඩපය එයට ප්‍රවේශ දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරෙ මන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලා හිටින්නෙ අදිකාරම්තුමාගෙ  ඒ ලිපියත් හොයාගෙන කියවන්න කියලයි. හොයා ගන්න බැරි උනොත් මට දන්වන්න මන් ඒකෙන් පිටපතක් ලැබෙන්න සලස්වන්නම්.  
 
මේ ගීතයත් ආමන්ත්‍රණය කරන්නෙ යෞවන ප්‍රේමයට. පෙම්වතා අහනවා පෙම්වතියගෙන් ඔබ කවුද මලක පිනි බිඳුවක් ද වගේ ප්‍රේමණීය ප්‍රශ්න. මට මේ ගීතෙ අමතක ම නොවන තැන මතු කරන්න මම කැමතියි.
සඳ පායාලා ආ ඒ    ඔබදෝ වසන්තේ
සැලළිහිණි ගී පිළිරැව් හඬදෝ දසන්තේ    
එදා සීගිරියේහි ඇඳුණු රුවක් දෝ රුවක් දෝ රුවක් දෝ
බලන්න, මේ ප්‍රේමය සම්බන්ධ කරන්නෙ මොනවත් එක්ක ද කියලා. වසන්තයට, සැලළිහිණි ගීතයට ඒ වගෙම සීගිරිය හා බැඳුණු ඉතිහාසයට.  
ඒ වගෙම සර් යෞවන ප්‍රේමය හදවතට සමීප කරන පිරිසුදු කරන පවිත්‍රකාරක ගුණයක් තිබෙනවා නේද මේ ගීතේ.  අපේ යෞවන පරම්පරාවට තිලිණ කරන්න ම ඕනෙ කියලා මට දැනිච්චම තැන තමයි වලාකුළ වගේ පීරු හිස පිරිමදින්නම් - නෙලා ඕලු මානෙල් මල් ගෙල පළඳවන්නම් කියන ගීතෝක්තිය. සර් සොබාදහම - පරිසරය ජීවිතයට සමිප කරන සුන්දර සංකල්ප තියෙන මේ ගීතවලට නේද අපේ සමහර විචාරකයො බොළඳයි කියන ලේබල් එක අලෝලා හෙළා දැම්මෙ.

හැබැයි ඒක එහෙම නෙවෙයි කියන තරුණ පරපුරක් දැන් බිහිවෙලා තියෙනවනේ. ඒකනෙ මේ ගීත පුහුණු වෙලා තමන්ගෙ කටහඬින් ගායනා කරන්න රජරට පුතෙක් ඉදිරිපත් වෙලා තියෙන්නෙ.

කථිකාචාර්ය භවන්ත එම ගීතයට ප්‍රවේශය ගත්තේ ඉන්ද්‍රා ලියනගේ ලියූ තවත් කාව්‍යෝක්තියක් මෙසේ ඉදිරිපත් කරමිනි.

පාරමී පිරුවත් නැතත් මෙය චාරිකාවක්  බැවින් හිතවත
ආදරය නම් කාරණාවෙදි පිරිමැදෙන්නේ රිදෙන පියපත

තනුගත නද මිහිර මතු කරමින් එමියුරු ගීතය ගායනා කරන ලද්දේ රජරට සරසවියේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සමක්ෂ නම් තරුණ ශිෂ්‍ය මාණවකයා විසිනි. ඒ ගීතයෙන් පසු සනාලික මණ්ඩපගත තෙවැනි ගීතය වූයේ සහජීවනයේ සුන්දර ගීතයක් වන ශාන්තිනී තෙමා වැටේ නළල කුංකුමම් ගීතය යි. යථෝකත ගීතය පිළිබඳ වන ප්‍රවේශය ගත්නා ලද්දේ නිවේදක භූමිකාවෙහි සිටි තරුණ කථිකාචාර්යවරයා ය.  

මේ ගීතය රචනා කරන්නේ අද්‍යතන කලාකෙත පෝෂණය කරන විශිෂ්ට ගීත රචකයෙක්. ඒ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ. ඔහු යාපනය ප්‍රදේශයේ රැකියාව කරන කාලයේ ලද අද්දැකීම් තමයි, සුන්දර ඒ උනත් අනුවේදනීය හැඟුම් දනවන මේ ගීතයට පාදක වෙන්නෙ. මේකෙ සංගීත සංයෝජනය කරන්නෙ විශාරද ගුණදාස කපුගේ. ඒ ගැනත් අපේ මහාචාර්යතුමා යම් අදහසක් කියාවි. හද රිදවන හැඟුමට ජීවය ප්‍රදානය කරමින් ශාන්තිනී ශාන්තියේ ගීතය ගායනා කරන්නේ ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ. සර්ට මොන විදියෙ අදහසක් ද මේ ගීතය ගැන තියෙන්නෙ.

මට ඉස්සෙල්ල ම කියන්න තියෙන්නෙ මේකෙ ගේයපද රචකයා ම මේ ගීතය ගැන කියන්න තියෙන හොඳම දේවල් ටික තමන්ගෙ රසවින්දන වැඩ සටහන්වලදි කියලා තියෙනවා කියන එකයි. නූතන තාක්ෂණය ජීවිතයට සමීප කරගෙන ඉන්න මේ තරුණ පරම්පරාවට බොහොම පහසුවෙන් පුළුවන් ඒවා ස්පර්ශ කරන්න. මෙතෙන්දි භවන්ත කිව්වා මේක ශාන්තියේ ගීතයක් කියලා. ඔව් ඒක තමයි මේ ගීතය හැඳින්වීම සඳහා දෙන්න පුළුවන් හොඳම නම. මේ ගීතයෙන් අපට හමුවෙන තරුණයාට සහ තරුණියට ප්‍රේමයේ ශාන්තිය උදා කරගන්න බැරි උනා තමයි. කුල - ජාති - ආගම් වෙනස්කම් ඒකට හරස් උනා තමයි. ඒ උනාට ඔවුන්ගෙ ඒ අනුවේදනීය අද්දැකීමම තමයි ලෝකයට ජාති - කුල - ආගම් භේද පුපුරුවා හරින ඇසක් දෙන්නෙ. ඇත්ත ප්‍රේමයට, ජාතියක්, ආගමක් කුලයක් අදාළ වෙන්නෙ නැහැ කියන පණිවිඩය අරන් එන්නෙ.  

මේ ගීතයෙ කියවෙන විදියට උතුරෙදි හුදෙකලා වෙන්නෙ සිංහල තරුණයා. තමන් අපේක්ෂා කරන ජීවිතය තමන් ප්‍රාර්ථනා කරන තරුණයා තමන්ට ලබා ගන්න ඉඩක් නැහැ කියන එක පේන නිසා දමිළ තරුණිය ශාන්තිනීත් ආධ්‍යාත්මික ව ලොකු හුදෙකලාවකට ලක් වෙනවා තමයි. හැබැයි තමන්ගෙ ප්‍රේමය වෙනුවෙන් භෞතික කැරැල්ලක් නෙමෙයි චින්තනමය කැරැල්ලක් ගහන්නේ පෙම්වතා. ඒක ආදරණීය කැරැල්ලක්. ඒ ගොල්ලන්ට ඒකෙ ප්‍රතිඵල නැති උනාට අනාගත සමාජයට ඒකෙ ප්‍රතිඵල උරුම වෙනවා. මෙහෙම ආදරයක් ඇති උනාම ඒක දිහා බලන්න ඕන කරන නිවැරදි විදිහ සමාජගත වෙන්නෙ මේ ගීතයත් එක්ක. ඔව් , භවන්ත ඔයා කිව්වා හරි මේක ශාන්තියේ ගීතයක්, සාමයේ ගීතයක්, ඒ වගෙම සහජීවනයේ ගීතයක්. අපි අපේ ගායක යෞවනයාට ඉඩ දෙමු ද, ඒ ගීතය ගයන්නට.

ඔහු නොව ඇය මේ ගීතය ගයන්නට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ මේ මොහොතේ අපට සම්බන්ධ වෙනවා මෙවැනි කටයුතුවලට තමන්ගේ උපරිම සහාය ලබා දෙන ප්‍රසාද් මල්ලවආරච්චි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා. එතුමා බොහොම ආදරයෙන් පිළිගන්නවා අපි. අපේ අද දවසේ ප්‍රථම ගීතය ජයාන් සමග ගයමින් මේ සනාලික මණ්ඩපයට ගී මිහිර කැන්දපු මධුමාලි තමයි මේ ගීතය ඔබට අපට ප්‍රදානය කරන්නෙ. මේක පිරිමි හඬකින් ගැයෙන ගීතයක්. ඒත් අද අපි ඒක අහන්නේ ශාන්තිනී අයත් කාන්තා  පරපුරට අයත් අපේ සිසු දියණියකගේ හඬින්. අපි අපේ සම්පත් දායක සහෘදයා මේ ගීතය ගැන කියන පණිවිඩයත් මෙගීයේ ඇතුළත් සුවදන්වලින් ම අවබෝධ කොට ගනිමු.

දෙවියන් ඇති තැනකට ගොස් ප්‍රසිද්ධියේ කියා ගන්නට බැරි වූ ප්‍රේමයේ කවිය ප්‍රකාශයට පත් කළ යුතු බව කියන ජාති - කුල - ආගම් භේද පසෙකලා ශාස්තෲන් වහන්සේලා විසින් සමාජගත කරන ලද ආදරයේ - මෛත්‍රියේ සැබෑ පණිවිඩය හඳුනා ගත යුතු බව කියන මේ ගීතය මහා සාහිත්‍යධර රබීන්ද්‍ර තාගෝරයන් කියන සේ අඩු වචන සංඛ්‍යාවකින් සුවිසල් අරුතක් සමාජාභිමුඛ කරන සුන්දරාර්ථවාහී සුගීතයක් නොවන්නේ ද?  

කඳුළු උඩට තිරුවංගල්     එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියා ගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළළු   ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ       බරද කියාපන්
සියල් සිරිත් දෑ කුලගොත්   ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක්     මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න   දෑස පියා ගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

නෙලූ මලේ අයිතිය දුකසේ මල නෙලා ගත් හිමිකරුට පැවරීමෙහි ලා වන වගකීම ඉටු කිරීමෙන් පසු අප යොමු වන්නේ ජීවිතේ සමනොළ වඳිනු රිසි යෞවන යුග්මයක හද පැතුම කියැවෙන නිර්මාණයකට යි. මේ ගීතය ගැනත් අපේ සම්පත්දායක මහාචාර්යතුමා බොහෝ විට කතා කරලා තියෙනවා. මම කැමතියි ඒ ගීතයට ප්‍රවේශයත් ඔබම ගන්නවානම්.    

මන් හිතන්නෙ ගීතයට ඕනෙම කරන ප්‍රවේශය භවන්ත ගත්තා කියලයි. ඒක නිසා මම කියන්නම් මේ ගීතයට අදාළ මූලික කරුණු ටික. මෙය ගායනා කරන්නෙ අපට සිටින යෞවන ගායක යුග්මයක්. විශාරද හර්ෂණ දිසානායක සමග ලක්ෂාණා ලක්මිණි දිසානායක. මේක ලියන්නෙ බුද්ධිකා නිශාන්තී සෙනරත් යාපා කියන තරුණ නිර්මාණකාරිය. සංගීතවත් කරන්නෙ අපේ සංගීත පරපුරේ නව සලකුණක් තියපු දර්ශන රුවන් දිසානායක.
 
මේ ගීතයේ එන මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය තැනී - මුලා වනු එපා ජීවන පහන මම වෙමි කොටස ඇහෙන කොට මට මතක් වෙන්නෙ තවත් ගීතයක්. ඒ කියන්නෙ එක ගීතයකට පුළුවන් නම් රසිකයාගේ මනසේ තැන්පත් වෙලා තියෙන තවත් ගීයකට අදාළ රස මතක අවදි කරන්න, මන් හිතන්නෙ ඒක විශේෂ දෙයක් වෙනවා. සමහර විට අපේ මේ ශ්‍රාවක පර්ෂදයට මේ ගීතයත් එක්ක තමන්ගෙ ජීවිතයට සම්බන්ධ වෙනත් දේවල් මතක් වෙන්න පු`ළුවන්. ජීවිතේ සමනොළ වඳිමු කියන ගීතෝක්තිය ඇහෙන කොට ඇත්තටම සමනොළ වඳින්න ගිහින් ලබපු ආධ්‍යාත්මික අද්දැකීම කෙනෙකුට මතක් වෙන්න පුළුවන්. ආදරේ ගී පද ගයමු කියන කොට අපි සාමාන්‍යයෙන් ප්‍රේමය කියලා කියන දෙයත් එක්ක බැඳිච්ච මිහිරි - දුක්මුසු අද්දැකීම් මතක් වෙන්න පුළුවන්. මේ ඔක්කොටම නේද භවන්ත ජීවිතය කියලා කියන්නෙ.

අපේ සර් මේ තවත් විදිහකට කියන්නෙ ගී රස වින්දනය කියලා කියන්නෙ අපේ ම ජීවිතය කියවීමක් කියලනේ. අපේ රසික පිරිස කැමැති වෙයි සර්, අර සර්ට මේ ගීතයත් එක්ක මතක් වෙච්ච අනික් ගීතය ගැනත් යම් අදහසක් කියනවනං.  
 
මට මතක් වෙන්නෙ අද භෞතික වශයෙන් අප අතර නැතිවත්  යුගයෙන් යුගය අපව රසවත් කළ රසවත් කරන ජේ. ඒ. මිල්ටන් පෙරේරා සුගායනවේදියා කියපු ගීතයක්. ඒ ගීතය පටන් ගන්නෙ හිනැහෙන්න සොඳුර ගිම්හානෙට පසුව එයි වසන්තේ. කියන වචන ටිකෙන්. මට මතක හැටියට මේ ගීතය රචනා කළේ ප්‍රවීණ ගේයපදරචක කරුණාරත්න අබේසේකර. අපට නිර්මාණකරුවා කියන්නෙ ගිම්හානෙ දි ලැබෙන කටුක අද්දැකීම් නිසා තැවෙන්න එපා කියලයි. මේකමනෙ මහාකවි කාලිදාස ඍතුසංහාරෙදි කළේ. ඔහු ග්‍රීෂ්ම, වර්ෂා, ශරත්, ශිශිර, හේමන්ත කියන ඍතු ගැන කියාගෙන ගිහිල්ලා අන්තිමට තමයි වසන්තෙට එන්නෙ. ඔය හැම ඍතුවකට ම ආවේණික ලස්සනක් තියෙනවා. මගෙ පෞද්ගලික හැඟීමත් හැම ඍතුවකම ඒකට ආවේණික සුන්දරත්වයක් තියෙනවා කියන එක.

අපි මහාචාර්යතුමනි, ඒ ඍතුසංහාරෙ එන ලස්සන තැනකටත් යමුකො. එතකොට අපිට පුළුවන්නෙ සිංහල ගීත සාහිත්‍යයට අමතරව තවත් සාහිත්‍යයක් ස්පර්ශ කරන්න.

ඇත්තට ම සංකථන මණ්ඩපයකින් සිද්ධ වෙන්න ඕන කරන්නෙත් එක තැනකට හිර වෙන්නෙ නැතුව අපේ චින්තනය විවිධ පැතිවලට ගෙන යන එක. මන් ඍතුසංහාරෙ වර්ෂා ඍතුව ගැන ලියැවෙච්ච පද්‍යයක් සම්බන්ධ කරන්නම්කො මෙතනට ඒකෙ සිංහල අර්ථයත් එක්ක.
 
  බහුගුණරමණීයඃ කාමිනීචිත්තහාරී - තරුවිටපලතානාං බාන්ධවෝ   නිර්විකාරඃ
  ජලදසමය ඒෂඃ ප්‍රාණිනාං ප්‍රාණභූතෝ - දිශතු තව හිතානි ප්‍රායශෝ වාඤ්චිතානි

බොහෝ ගූණයන් නිසා රමණීය වූ, කාමිනියන්ගේ සිත් පැහැර ගන්නා, තුරුලතාවල නිසග බන්ධුවරයකු වූ, ජීවීන්ගේ ප්‍රාණය වූ මේ වර්ෂා සමය, බෙහෙවින් ම ඔබ කැමති වන අභිලාෂයන් ප්‍රදානය කරාවා!

තද් රසික ප්‍රජාව සකු බස් මිහිර හෙළ බස් මිහිර හා මුසු ව විඳ ගැන්මෙන් පසු හර්ෂණ - ලක්ෂාණී දම්පතීන්ගේ නද මිහිර අනුගත යොවුන් හද දෙකක රිද්මය නාදාවලියක් ව සවන් පත්වලට පිවිසිණ. ඒ ජයන් - මධුමාලී ශිෂ්‍ය යුග්මයේ හඬ සංකලනය යි. එම ගීතාවසානය සලකුණු කරන අවසන් ගීතොක්තිය ළඟ අපි මඳක් නතර වෙමු.  

දුරයි පා රිදෙයි යන මග රුදුරු කටු ඇනී
අඬන්නට එපා තනියට සදා      ළඟ ඉමි
අඳුරු ඝන වලා හිනැහේ      රිදී ඉරි ඇඳී  
වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී

ඇත්ත සර්, ඔබ අපි මේ කාටත් මේ ලබපු ජීවිතය ගෙවී යනකන් වසන්තයක් වෙලා ඉන්න පුළුවන්නං ඒක කොච්චර දෙයක් ද? ඒ වගෙම සර් මේ රජරට ඉන්න කොට මට දුක හිතිචච් කාරණාවක් තියෙනවා. ඇයි මේ රජරට මධුර කටහඬවල් මෙහෙම හැංගිලා තියෙන්නෙ.

නෑ භවන්ත, රජරට කියන්නෙ හැංගිච්ච දේවල් මතු කරන තැනක් මිස හැංගෙන තැනක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. රජරටින් මතු වෙලා මුළු රසික ලොවම ස්පර්ශ කරපු හඬකටනෙ කරුණාරත්න දිවුල්ගනේ කියලා කියන්නෙ. ඊළඟට රජරට නොවුණත් රජරට හිටපු කාලෙදිනෙ අපේ සංගීතඥ ගුණදාස කපුගේ හොඳම නිර්මාණ රාශියක් බිහි කරන්නෙ. ඒ විතරක් ද කොළඹින් අනුරාධපුරේට මාරු කළාට පස්සෙනෙ ප්‍රේමකීර්ති ද අල්විස් ගීතවලට අමතර ව වැඩිපුර කවිත් ලියන්න ගන්නෙ. ඒ විතරක් ද භවන්ත, ඔබ දැන් මේ කරන කටයුත්ත ඒ කියන්නෙ මානව සන්නිවේදනය අතිප්‍රබල ව ස්වර්ණ ශ්‍රී බණ්ඩාර රජරටදිනෙ මතු කරන්නෙ.

සර් ඔය විදිහට කතා කරන කොට අපට රජරට දාලා වෙන කොහෙටවත් යන්න හිතෙන්නෙ නැහැ. ඉස්සෙල්ලා වගෙම ඊළඟට අපි ගන්නෙත් වසන්තය ජීවිතයට කැන්දන ගීතයක්. අපේ දරුවන්ට මේ ගීතයට පුහුණු වෙන්න ඉඩක් ලැබුණෙ නැහැ. අපි ඒ නිසා හිතුවා මේ ගීතය ඒ ප්‍රවීණ ගායනවේදියාගේ හඬින් ම ඒක අහන්න සලස්වන්න. හැබැයි සර්, ඒ ඔක්කොට ම ඉස්සෙල්ලා මට තියෙනවා සර්ට ප්‍රශ්නයක් යොමු කරන්න. ඒක මගෙ ප්‍රශ්නයක් නෙමෙය,ි විද්වත් විචාරක පර්ෂදයෙන් සර්ට එල්ල වෙච්ච, ඉස්සරහටත් එල්ල වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. සර් සාමාන්‍යයෙන් විද්වතුන් යයි සමාජ සම්මත චරිත, බොළඳයි කියන කුලකයට දාන්න ඉඩ තියෙන ගීතයක් තමයි ඔබ අද අපේ සංකථන මණ්ඩපේට ගේන්නෙ.
 
භවන්ත, විශ්වනාථ ආචාර්යවරයා තමන්ගෙ සාහිත්‍යදර්පණේදි පාවිච්චිකරනවා සාධු කාව්‍ය නිෂේවනම් කියලා යෙදුමක්. සාධු කියන්නෙ යහපතට. මෙතන කවිය කියන එකෙන් කවිය, ගීතය ඇතුළු සියලු නිර්මාණ සංකේතවත් වෙනවා. නිෂේවනය කියලා කියන්නෙ විශේෂයෙන් ඇසුරු කිරීමට යි. කිසියම් නිර්මාණයක් තමන්ගෙ, තමන් ඇසුරු කරන අයගෙ, තමන් ජීවත් වෙන සමාජෙ මනුෂ්‍යයන්ගේ ජීවිත උසස් කරනව නම්, යහපත් කරනව නං එහෙම නිර්මාණ තමයි අපි ඇසුරු කරන්න ඕන කියලා කියන්නෙ. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නෙ හොඳ හරි නරක හරි දේවල් ලියලා කරලා මනුස්සයෙක් ප්‍රසිද්ධ උනොත් එයා මොකක් ලිව්වත් අගය කරන්න. මන් හිතන්නෙ මේක බොහොම නරක තත්ත්වයක්. ඒකට විකල්පයක් විදිහට මන් ඊළඟට තෝර ගත්තෙ තරුණ නවකතාකරුවෙක් විදිහට ජනාදරය දිනා ගත්ත ජපුරෙ ආදි ශිෂ්‍යයෙක් ලියපු ගීතයක් ගැන කතා කරන්න. එයා ලියපු දේවල් ජනප්‍රිය උනාට තමන් ප්‍රබුද්ධ යයි හිතාගෙන ඉන්න ඇතැම් විචාරකයන්ගෙ කර්කශ විවේචනවලට ලක් වෙන්න මේ නිර්මාණකරුවාට සිද්ධ උනා. ඔහුගෙ නවකතා, නවකතා නෙමෙයි ඔහු ලියපු ගීත, ගීත නෙමෙයි කියලා කියපු ඇතැම් විචාරකයො ඇතැම් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ මොන විදිහකින්වත් සාධු කාව්‍ය, සාධු නිර්මාණ විදිහට හඳුන්වන්න බැරි නිර්මාණ අගය කරන්න ඉදිරිපත් උනා. මන් කියන්නෙ නැහැ, මේ ලේඛකයා ලියපු හැම එකක් ම සාධු නිර්මාණ කියලා. ඒත් කවුරු ලිව්වත් දෙයක් හොඳ නම්, අපි ඒක අගය කරන්න පුරුදු වෙන්න ඕනෙ. මන් මේ අලුත් පරම්පරාවට කරන්නෙත් ඒ ඉල්ලීම යි.  

දැන් ඔබතුමා කියපු මේ දේවල් එක්ක අපේ සංකථන මණ්ඩපේට එක් වෙලා ඉන්න ශ්‍රාවකයන්ට කුතුහලයක් ඇති වෙලා ඇති මොකක් ද මේ ඊළඟ ගීතය කියන එක. කවුද ඒක ලිව්වෙ කියන එක දැන ගන්න. ඒක නිසා අපි ඒ ගීතයේ පසුබිම විස්තර කරලම ඒක අහමු ද? මන් කැමතියි ගීතය තෝර ගත්ත ඔබතුමාම මේකට අවශ්‍ය කරන ප්‍රවේශය ගන්නවනං.    

ජපුර කළමනාකරණ පීඨෙ ඉගෙන ගත්ත, පස්සෙ කාලෙක නවකතාකරුවෙක් විදිහට නමක් දිනා ගත්ත සුජීව ප්‍රසන්න ආරච්චි  තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නෙ. මේක සංගීතවත් කරලා ගායනා කරන්න ඉදිරිපත් වෙන්නෙ ආචාර්ය වික්ටර් රත්නායක. මන්, ප්‍රේමයේ ගීතයක් නම් ඒකෙ ප්‍රේමය, ලෙන්ගතුකම, බැඳීම තියෙන්න ඕනෙය කියන එක විශ්වාස කරන කෙනෙක්. සුජීවගෙ වචනවල ඒක තියෙනවා මට පේනවා. මේ ගීතය පටන් ගන්නෙ මෙහෙම යි.
 
දෙසිතකින් නොව එක සිතින් මම ඔබට පෙම් කරමි
අහිතකින් නොව මහා හිතකින් ඔබ ගැනම    හිතමි    
 
භවන්ත, හිත එක තැනක රඳවන, හිත අයාලෙ නොයවන චරිතවලට තමයි යෞවන ප්‍රේමය උනත් නිවැරදි දිසාවකට ගෙනියන්න පුළුවන් වෙන්නෙ. අද අපේ සහෘදය රසිකයන් හැටියට මෙතන ඉන්න වැඩිම පිරිසක් තරුණ අය. අපටත් වඩා අද අපි කතා කරන දේවල් වැදගත් වෙන්නෙ ඒ අයට. අපි මේ ගීතය අපේ වික්ටර් රත්නායක ප්‍රවීණ සංගීතඥයගෙ කටහඬින් ම අහමු. මේකෙ අවසාන ගීතෝක්තිය කියලම අපි ඒක අහමු. මන් ප්‍රාර්ථනා කරන්නෙ කවදහරි තමන් ආදරය කරන කෙනත් එක්කම ජීවිතේ, සොබාදහමෙ ලස්සන දකින්න ඔබ හැම දෙනාට ම හැකි වේවා කියලයි.

තරුවකින් නොව ඔබේ දෙනෙතින් නිල් එළිය  දකිමි
මල් රුවෙන් නොව ඔබේ රුවකින් මලක හැඩ  බලමි
සඳ දියෙන් නොව ඔබේ සෙනෙහෙන් සඳේ සුව විඳිමි
මං ලොවෙන් නොව ඔබේ දෑසින්        ජීවිතය දකිමි

ගීතාවසානයේ කතා කළ නිවේදක යෞවනයා තත් සංකථන මණ්ඩපයට මෙවදන් එක් කෙළේ ය.
සර් මමත් තරුණයෙක්. අපේ ශිෂ්‍ය ප්‍රජාව හැටියට ඉන්නෙ අපට අවුරුදු දෙක තුනක් බාල තරුණ ප්‍රජාවක්. මගෙ අවංක අදහස මේ ගීතය අපේ මේ තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ හදවතට කතා කරනවා කියලයි. ඒ වගෙම ප්‍රේමය සුන්දර කරවන, අර්ථවත් කරවන පවිත්‍රකාරක ගුණයක් මේ ගීතයේ තියෙනවා කියන කාරණය අවධාරණ කරලා මන් කැමතියි ඔබතුමා තෝරා ගත්ත පස්වෙනි ගීතයට යන්න.    

ඔව් භවන්ත, අපිට පුළුවන් ඒ ගීතයට මෙහෙම ප්‍රවේශයක් ගන්න. අපේ රටේ සංගීත යුග්ම ගැන කතා කරන කොට විශේෂයෙන් ස්වාමියා සහ බිරිඳ වශයෙන් හිඳිමින් තමන්ගෙ කටහඬින් ලෝකය රසවත් කළ යුග්ම ගැන කියද්දි ධර්මදාස-ලතා යුග්මය වගෙම සිසිර සේනාරත්න - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගායක යුග්මය අපට අමතක කරන්න බැහැ. ඒ දෙන්නා ගායනා කරපු රිදී කුමාරී සීතල ඇල්ලයි, සයුර වෙත යන ගඟ පරිද්දෙන්, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා වගේ යුග ගීත ඇහෙන කොට දැනෙන්නෙ ප්‍රේමයේ සුවඳ. ඒ දෙන්නා අද අප අතර නැතුවත් ලෝකය රසවත් කරනවා. ඒවා ප්‍රේමයේ අකාලික ගීත. අපි දැන් ඊළඟට තෝරගත්ත ගීතය ගායනා කරන්නෙත් 70 දශකයට අයිති යුග්මයක්. මේ දෙන්නා අද අප අතර ජීවත් වෙමින්, තමන්ගෙ ගීතයෙන් ප්‍රේමය ජීවත් කරවන පති-පතිනි යුග්මයක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්.
ඔබ මේ කියන්නෙ හොඳ කලාකරුවන්ට ජීවත් ව සිටියත් නැතත් තමන්ගෙ නිර්මාණ මාර්ගයෙන් ලෝකය රසවත් කරන්න පුළුවන් කියන එක නේද?  

මන් හිතන්නෙ මෙතන රසවත් කියන තැනට ඉස්සරහෙන් අර්ථවත් කියන විශේෂණයත් යොදා ගත්තොත් හොඳයි කියන එක. මොකද ගීතයක කාර්යය ලෝකය රසවත් කරන ගමන් ම අර්ථවත් කිරීමත් වෙන නිසා. මේ ගීතය රචනා කරලා තියෙන්නෙත් අපි මේ වැඩ සටහනේ ගත්ත මුල් ම ගිතය රචනා කරපු රත්නා ලංකා අබේවික්‍රම කියන ප්‍රවීණ සන්නිවේදිකාව යි. ගීතය සංගීතවත් කළේ මොහොමඩ් සාලි. ගීතය පටන් ගන්නෙ සුවඳට මල මෙන් යස හැඩට කැපේ - සුවයකි සිහිලකි ආදරය අපේ කියන වචනවලින්. අපේ නව ගායක යුග්මය සූදානම් නං, අපි ඒ අයගෙ කටහඬින් අහලා ඉඳිමු ද ගීතය.
 
අනතුරුව ඒ සංකථන මණ්ඩපගත වූයේ රජරට සරසවියේ ජයාන් - මධුමාලී යෞවන යුග්මයේ මධුර කටහඬ යි. ගීතයේ වචනවලින් කියැවෙන පරිදදිම එය සුවඳ මලකින් ජීවිතයට ආසිරි සෙමර සැලීමක් ම විය. තරුණ ශිෂ්‍ය ප්‍රජාව ද සිය සද්ධිවිහාරික කල්‍යාණ මිත්‍ර යුග්මයේ කටහඬින් ගැයෙන එසොඳුරු ගීතයට සවන් දුන්හ. අපිදු දැන් එගීයට සංවේදී වෙමු.  

දුර සිට එන මදනල සමග වෙළි  සුවඳක් ගෙන දෙයි     හදවතට යළි
පාළුව දුක මග හරවා චිත්තේ කවදා කොහොම ද   මගෙ සිත ගත්තේ
කුමුදිනියයි සඳ මෙනි අප දෙන්නා  පෙර ජීවිතයෙත් මේ ලෙස උන්නා

මහාචාර්යතුමනි, අපේ වැඩ සටහනේ හරි අඩක නිමාව තමයි, ඒ ගීතය සලකුණු කළේ. අපි ඊළඟ ගීතය ගැන සාකච්ඡාවට ගියොත් ඒක මෙතෙක් අහපු ගීතවලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. මේක හඳුන්වන්න පුළුවන් ස්ත්‍රී රත්නයට ගෞරවය, ප්‍රසාදය, භක්තිය ප්‍රකාශ වන ගීතයක් හැටියට. අපි කැමතියි මේ ගීතය ගැන මූලික හැඳින්වීමක් කරලා ඇයි ඔබ මේ ගීතය තෝරා ගත්තෙ කියන එක ගැන යම් සඳහනක් කරනවනං.
මේක එක්තරා යුගයක ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. මේ ගීතය සමාජගත වෙන්නෙ අල්ලපු ගෙදර කියන චිත්‍රපටය ඔස්සෙ. ගීතය ගායනා කරන්නෙ ජේ. ඒ. මිල්ටන් පෙරේරා. ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර සංගීතවත් කළේ ආර්. මුත්තුසාමි. ඒ තමන් අද නැතුවත් ලෝකය ලස්සන කරන අර්ථවත් කරන මිනිස්සු. ගීතය ආරම්භ වෙන්නෙ මේ පිපාසිත ලෝ තලේ ලලනාව වේ අමා ජලාසේ - නොසිඳේ ඈගෙ පෙම් රසේ කියන ගීතෝක්තියෙන්. මේකත් අහලම ඉම්මු ද භවන්ත. ඒ වචන ඇහිලා කතා කරන එක හොඳයි නොඅහා කතා කරනවට වඩා.

ඔව් අපි අද ගීතය මේ සනාලික මණ්ඩපගත කරන්නේ එය ගැයූ ජේ. ඒ. මිල්ටන් පෙරේරා සුගායනවේදියාණන්ගේ හඬින් ම යි.
ඒ අනුව ඒ මොහොතේ සවන් පත් වෙත ගලා විත් හදවත් ස්පර්ශ කෙළේ ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ හෘදයහාරී සංවේදනීය කටහඬ යි.

බැලුවාම පේන වැලි තලාවකි පතුලේහි     දිය ගලා ගියේ
හද තාප ගින්න සීත වේ හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ  
නොසිඳේ ඈගේ පෙම් රසේ
සාදා රකින්නෙ බිඳ හෙළන්නෙ ඒ දෙවියන් කියා       අසා තියේ  
මගෙ දෑස දැක්ක මේ ලොවේ දෙවියෝ ය ලලන සුව දෙන දිවියේ  
නොසිඳේ ඈගේ පෙම් රසේ
ගීතාවසානයේ යළිදු සංකථන මණ්ඩපයට සම්පත්දායක හඬ මුසු විය.

භාෂා අධ්‍යයනාංශෙ ඉගෙන ගන්න දරුවන් විදිහට මේ පුතාලා දුවලා බලන්න මේ ගීතයේ තියෙන රූපක. මේකෙ උපමා නැහැ. රූපක තමයි ගීතරචකයා ප්‍රබල විදිහට පාවිච්චි කරලා තියෙන්නෙ. ඔයගොල්ලො දන්නවනෙ උපමාවට වඩා රූපකය ප්‍රබලයි. ගීතරචකයා කියන්නෙ ලලනාව අමා ජලාසයක් වැනි ය කියලා නෙමෙයි අමා ජලාසයක් කියලයි. ඇය ජලය සඟවා ගත්ත වැලිතලාවක් වගේ කියලා නෙමෙයි කියන්නෙ සජල වැලිතලාවක් කියලයි. ඒක නිසා තමයි ඇයට පුළුවන් වෙන්නෙ හද තාප ගිනි සිහිල්  කරන්න. අපි අහලා තියෙන, ඉගෙන ගෙන තියෙන දේව සංකල්පය ගැනත් මෙතෙන්දි යමක් සඳහන් කරන්න ඕනෙ. ඒ දෙවියන්ට ලෝකය රකින්නත් පුළුවන් නසන්නත් පුළුවන්. ඒක එක්තරා විදිහක ප්‍රබල බලයක්. අපි කාටවත් අපි අහන කියන ඒ දෙවියන් අපේ භෞතික ඇස්වලින් දැක ගන්න පුළුවන්කමක් නැහැ. ඒත් අපේ ගීතරචකයා කියනවා ඒ දෙවියන් දැක ගන්න අපට පුළුවන් ය කියලා. ඒක නේද භවන්ත, අපට කලින් අහන්න ලැබුණ මගෙ දෑස දැක්ක මේ ලොවේ දෙවියෝ ය ලලන සුව දෙන දිවියේ කියන වචනවල ගැබ් වෙලා තියෙන්නෙ.
 
ඇත්ත සර්, මේ විදිහට හිතන, දකින පරම්පරාවක් බිහි උනොත් ඒ සමාජෙන් අපට අහන්න ලැබෙන එකක් නැහැ කාන්තා අපරාධ ගැන. අපි, කාටත් නිසි ගෞරවය දෙන, ආදරණීය සමාජයකට අවශ්‍ය කරන හොඳ පදනමක් මෙබඳු ගීතවලින් ලැබේවා කියන ප්‍රාර්ථනය කරලම අපේ ඊළඟ ගීතයට යමු.

නිවේදක සහෘදයාගේ ඒ වචනත් සමග සනාලික සංකථන මණ්ඩපාගත අටවැනි ගීතය වූයේ නොබෝදා දේශයට අහිමි වී ගිය ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියා සූරියසේනයන් විසින් සංගීතවත් කොට, ඔහුගේ හඬින් ගැයුණු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ නම් ගීතය යි. නිවේදක ඉල්ලීම අනුව මහාචාර්යවරයා එම ගීතය පිළිබඳ අදහස් දැක්වීමට මෙසේ ඉදිරිපත් විය.
ජපුර ගී පැදුර වැඩ සටහනට ආපු ප්‍රියා සූරියසේන මහත්තයා මේ ගීතය ගැන කියපු දේවල් ටිකම මේ ගීතයට හොඳ ප්‍රවේශයක්. ඒ ප්‍රියා අඳුර අඳුර මගේ ගීතයත් එක්ක ජනප්‍රිය වීම ආරම්භ වෙච්ච යුගේ. බී. වික්ටර් පෙරේරා ප්‍රවීණ සංගීතඥයා කියන හැටියට ඒක රාගධාරී සංගීත පසුබිමක් තියෙන ගීතයක්. ප්‍රියා කියනවා එයාට සුනිල් ආරියරත්න මහාචාර්යතුමාට කියලා ගීතයක් ලියා ගන්න තිබුණනං හොඳයි කියන හැඟීම දවසක් හිතට ආවය, ඒ අනුව සර්ගෙ නුගේගොඩ ගෙදරට ගිහින් සර්ව හම්බ උනා ය කියලා. තමන්ගෙ වුවමනාව කිව්වහම සුනිල් සර් කියලා තියෙන්නෙ ඔයාගෙ අඳුර අඳුර ගීතය හොඳයි මන් ඔයාට ගීතයක් ලියලා දෙන්නං ගායනා කරන්න කියලා. ඒ අනුව තමයි ප්‍රියාට මේ ගීතය ලැබෙන්නෙ. ඒකත් එතුමාගෙ ගීතාවලියෙ ජනප්‍රිය ගීත අතරට එකතු උනා.
සර් මේකට පසුබිම් වෙන්නෙ හින්දු දේව සංකල්පයක් නේද?    

ඔව් භවන්ත, මල්සර හිනාව - පෙම්බර කතාව - කියන්න උමාව කියන වචනවලින් ම ඒ ගැන ප්‍රකාශ වෙනවනෙ. සාහිත්‍යය හදාරන අය විතරක් නෙමෙයි මේ සමාජෙ ජීවත් වෙන, කලාව ගැන හැඟීමක් තියෙන කාට උනත් මේ සංකල්ප ආගන්තුක නැහැ. හදවතක ප්‍රේමය ඉපදුණාම මුහුණකට නැගෙන හිනාව හඳුන්වන්න තියෙන හොඳම යෙදුම තමයි මල්සර හිනාව. මල්සර හිනා නැගුණු අය කරන්නෙ පෙම්බර කතානෙ. ඊට පස්සෙ කාලිදාස කවියා කියන විදිහට වචනයයි අර්ථයයි වගේ එකට බැඳුණු ශිව පාර්වතී ප්‍රේමය ගීත රචකයා මේ ගීතයට ගේනවා.  
මට මතක හැටියට මේ ගීතය ගැනත් ඔබ අවස්ථා කීපයකදීම කතා කරලා තියෙනවා. අපි අද රජරට සරසවියේ යෞවනයකුගේ මධුර කටහඬින් රසික සවන් පත් වෙත රැගෙන එන්නෙ ඒ මල්සර හිනාව ඒ පෙම්බර කතාව ශිව උමා සදාතනික ප්‍රේමය. එදා ප්‍රියා සූරියසේනයන් සංගීතවත් කොට ගායනා කළ ඒ මධුර ගීතය ගයන්නට අපේ රජරට ප්‍රියයා කළමනාකරණ පීඨයේ සමක්ෂ යෞවනයාට යි අපේ මේ ඇරයුම.

එඇරයුම අනුව ය, තරුණ ශිෂ්‍ය මාණවකයාගේ හඬින් මෙදින මේ ගීතය අසන්නට ලැබුණේ.
මල්සර හිනාව       පෙම්බරකතාව  කාගේදෝ
කියන්න උමාව කියන්න       ඔබේ ද ගී රාවේ
මෙහි එනු මැන ගයන්න මා හා පෙම් යුග ගීතේ
හොඳ යුග ගීත කියන්නෙ යුගයෙන් යුගය ප්‍රේමණීය යුග්මයන්ගේ හදවත්වල ගැයෙන ගීතවලට යි. ඊළඟට අපි යන්නෙ අපේ ජීවිත ආදරණීය විදිහට, අර්ථවත් විදිහට වෙනස් කරන සදාදරණීය චරිතයක් ගැන කියැවෙන ගීතයකට. ගුරු චරිතයක් හා බැඳුණු ගීතයකට. මේ ගීතය රචනා කරන්නෙ යමුනා මාලිනී පෙරේරා කිවිඳිය. ගායනා කරන්නෙ ගායනවේදී සුනිල් එදිරිසිංහ. මෙගුරුගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. සර් කියනව ද ඊළඟට ඔබ තෝරා ගත්ත මේ ගුරු ගීතය ගැන අදහසක්.

ගුරු ජීවිතය ගැන ලියැවෙච්ච සුන්දර ගීත කිහිපයක් ම තියෙනවා. ඒ අතර ආචාර්ය රත්න ශ්‍රීගේ සමනොළ ගල වනන්තරේ මල් යහන, ගුරු තරුව සෙමින් බැස යයි වගේ ගීත විශේෂ යි. මන් ඒ ගීත ගැන වැඩ සටහන් කීප යකදිම කතා කරලා තියෙනවා. මේ තමයි ඒ ගීතාවලියට අලුතින් ම එකතු කරන්න පුළුවන් ගීතය. මේ ගීතය ගැන ඒක ලියපු යමුනා මාලිනී සහෝදරියගෙන් ඇහැව්වහම ඇය කිව්වෙ ඒ ගොල්ලන්ගෙ නිර්මාණ ජීවිතය ගැන කතා කරද්දි කවදාවත් අමතක කරන්න බැරි, ඒ ගොල්ලො තමන්ගෙ ආදරණීය ගුරුවරයෙක් විදිහට සලකපු ධර්මසිරි ගමගේ කලාකරුවා මේකට උල්පත උනා කියලා. මේ කලාකරුවා ගැන ඒ වචන ටිකම මට කියලා තියෙනවා මගෙ සමකාලීන මිත්‍ර මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර. අපේ ගීත රචිකාවිය කියනවා ධර්මසිරි ගමගේ කලාකරුවා වගේ ම ලෝකයේ සිටි සිටින සමස්ත ගුරු සංහතිය ගැන හිතේ තියා ගෙන මේ ගුරු ගීතය රචනා කළා කියන එක. සරසවිය කියන්නෙත් ගුරු ගීත පවතින තැනක්. මේ ගීතය අද ගයන අපේ තරුණ ශිෂ්‍යයා නියෝජනය කරන්නෙ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ හැඟීම.  

සර්, ගුරුවරයෙක් හැටියට මේ ගීතය ගැන ඔබට දැනුණු හැඟීම කියලම අපි ගීතය ගායනා කිරීමට ඉඩ දෙමු.  
ඔව් භවන්ත, අපි මේ ගීතයේ ආරම්භයට ගියොත් එතැන තියෙන්නෙ සඳුට සඳ, හිරුට හිරු වගෙ ඔබට ඔබම තමයි උපමාව කියන ගීතෝක්තිය. ඊළඟට අපේ ජීවිත දුක් ගණඳුරින් වැහෙන කොට අපේ මග එළි කරන ආලෝකය රැගෙන ගුරුවරයා අප වෙත එන හැටි ගැන කියවෙනවා. අපි කවදාවත් භෞතිකව දැකලා නැති සරසවි දෙවඟන හඳුනා ගත්තෙත් ඔබගෙන් ය කියන යෙදුමත් අපට තදින් ම දැනෙන තැනක්. හොඳ ගුරුවරයෙක් කියන්නෙ බෝසත් පරපුරට අයිති කෙනෙකුට. එයාට තියෙන්න ඕන කරන්නෙ සුනිමල සුන්දර හිතක්. ගුරුවරයා තමයි ශිෂ්‍යයාගේ නිර්මාණ ජීවිතය පෝෂණය කළ යුතු කිවිපති, ප්‍රඥාව විකසිත කළ යුතු බ්‍රහස්පති. පරිසරයට ආදරය කරන්න උගන්න වනස්පති කියන්නෙත් ගුරුවරයාට ම තමයි. භවන්ත, ඔබත් ගුරුවරයෙක්, මමත් ගුරුවරයෙක්. මේ වැඩ සටහන දියත් කරන්න ඉදිරිපත් වෙච්ච අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ ඇතුළු ව මේ මොහොතේ අපට සම්බන්ධ වෙලා ඉන්න ගුරු තරු, ගුරුවරුන් සම්බන්ධ වෙලා නැති පාසල - සරසවිය - පිරිවෙණ - ළදරු පාසල් ඇතුළු මෙරට සහ නොරට හිටපු, ඉන්න සමස්ත ගුරු සංහතියට ම උපහාර පුෂ්පයක් වේවා කියලා, ඔබේ අපේ ගුරු ජීවිතත් මීට වඩා වෙනස් කරවන බලයක් ජවයක් තියෙන මේ සුන්දර ගුරු ගීතය දැන් අපි අහමු, අපේ ම ශිෂ්‍ය යෞවනියගේ ආදරණීය කටහඬින්.  

අනතුරුව එදින සනාලික සංකථන මණ්ඩපයෙන් ලෝ සවන් පත් වෙත රජරට සරසවියේ ආර්ථිකවිද්‍යා අධ්‍යයනාංශයේ හසිනි තුරුණු සිසු දියණියගේ ලබැඳි හඬින් ගලා ගියේ පළමු ව සුගායනවේදී සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද මෙහි ද සඳහන් කරනු ලබන එසොඳුරු ගුරු ගීතය යි.

සඳුට සඳ මැ මිස නැත උපමා  හිරුට හිරු ම මිස නැත උපමා
සොයා කුමට වෙහෙසෙනු උපමා
ඔබට ඔබ මැ මිස නැත උපමා

සෝ දුක් ගිනි සිත තුළ නැගෙනා විට
ඉන් ලොව       ගණඳුරු නිව්ව හැටි
අපේ මග ද ඒ එළියෙන්     එළි කර
අපට    මග කියා දුන්නු        හැටි
ඔබගෙනි හඳුනා ගත්තේ අප හැම
කිසි දින දැක නැති සරස්වතී

බෝසත් කුලැ ඉපැදුණු මිනිසාණෙනි සුනිමල සුන්දර සිතක් ඇති
කලා ලොවට ඔබ කිවිපති -  ගී පති අපට මග කියූ      බ්‍රහස්පතී
ගිනිදන මිහිතලයට වැසි වස්සන
ඔබ පරිසරපති වනස්පති
ඔබ පරිසරපති වනස්පති

සුන්දර ගීතපූර්වක සංකථනයේ දසවැනි ගීතය වෙත යි අප දැන් එළඹ සිටින්නේ. මහාචාර්යතුමනි, මානව ප්‍රේමයේ සුවිශිෂ්ට සංකේතය ගැන නේ ද ඊළඟට ඔබ කතා කරන්නට යන්නේ. ඔබගේ විෂය සංස්කෘත භාෂා සාහිත්‍යය නිසා අපි කැමතියි, ඔබ මෙයට විෂයබද්ධ ප්‍රවේශයක් ගන්නව නම්.  

අපේ ඊළඟ ගීතය අම්මා ගැන යි. අපි අම්මා කියලා කියන්නෙ අපට ජීවිතය දුන්නු අපව ආදරයෙන් පෝෂණය කරපු ස්ත්‍රී රත්නයටනෙ. අම්මා ගැන ලෝකය පුරා විහිදී ගිය මහා සාහිත්‍යයක් තියෙනවා. භාෂා අධ්‍යයනාංශයක උගන්වන, ඒ වගෙම ඉගෙන ගන්න අයට තියෙන ප්‍රධාන වගකීමක් තමයි, තමන් පොතපතින් අම්මා ගැන දැන ගන්න දේවල් මහපොළොවට අරගෙන එන එක. විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් වෙන්න ඕන කරන ඥාන ව්‍යාප්තියට ඒකත් අයිතියි. අපි ඒ වගකීම හරියට ඉෂ්ට කළොත් මීට වඩා ස්ත්‍රීත්වයට - මාතෘත්වයට ගරු කරන සමාජයක් බිහි වේවි. දැන් මම මාතෘත්වයට උපරිම ගරුත්වය පළ කරන අතරෙම සංස්කෘත කවියා අපේ මේ ජීවිත කාලය තුළ හමු වෙන තවත් අම්මලා හතර දෙනෙක් ගැන කියපු දෙයක් මේ සංකථන මණ්ඩපයට එකතු කරන්නම්. මේ අදහස ගැබ්වෙච්ච පද්‍යය කියලම මන් ඒකෙ තේරුම කියන්නම්.

රාජපත්නී ගුරෝඃ පත්නී මිත්‍රපත්නී තථෛව ච
පත්නීමාතා ස්වමාතා ව පඤ්චමාතර     ඒවතඃ    
රාජ මාතාව, ගුරු පත්නිය, මිත්‍රපත්නී, ඒ වගෙම බිරිඳගේ මව, සිය මව කියන මේ පස් දෙනා ම මවුවරු. මේ විදියෙ චින්තාවක් තියෙන සමාජයක ගැටලු ඇති වෙන්නෙ නැහැ නේද?

සර්, අම්මා ගැන මේ වෙන කොට ගොඩක් කවි ගොඩක් ගීත ලියවෙලා තියෙනවා. මගේ වපසරිය තුළ මට එකපාරට ම මතක් වෙන්නෙ අධිනීතීඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහ ලියපු විශාරද නන්දා මාලනී ගායනවේදිනිය ගයන මිහිමඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා ගීතය. ඒ වගෙම මීට වසර දෙක තුනකට කලින් අපට අහිමි වෙච්ච සුනිල් දයානන්ද කෝනාර ලියපු ගායනවේදී කරුණාරත්න දිවුල්ගනේ ගයන ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා ගීතය. හැබැයි ඔබ අද තෝරගෙන තියෙන්නෙ ඒ ගීතවලින් එකක් නෙමෙයි. ඔබ අද ගත්ත ගීතය මන් අහලා තියෙන්නෙත් අඩුවෙන්. ඔබතුමා තෝරා ගත්ත ගීතය ගැන හැඳින්වීමක් කරලා ඇයි මේ ගීතය ම ඔබ තෝර ගත්තෙ ඇයි කියලා අපට කියන්න පුළුවන් ද?

ඔබ කියපු ගීත කියන්නෙත් මමත් කැමති ගීත තමයි. පසුගිය කාලය තුළ සැරින් සැරේ ඒ ගීත සමාජගත උනා. අද මන් තෝර ගත්ත ගීතය කියන්නෙ ඒ ගීතවලට පූර්වයෙන් සමාජගත වෙච්ච, අපි විතරක් නෙමෙයි අපේ අම්මලගෙ යුගයට අයිති අයත් බොහොම කැමැත්තෙන් රස විඳපු ගීතයක්. මේ ගීතය ලිව්වෙ මේ රටේ එක්තරා යුගයක් සුන්දර ගීතාවලියකින් පෝෂණය කරපු ගේයපද රචකයෙක්. ඒ තමයි සරත් විමලවීර. මේක සංගීතවත් කළේ සංගීතඥයෙක් වගෙම ප්‍රවීණ චිත්‍රශිල්පියෙක් විදිහට නමක් දිනා ගත්ත සුසිල් ප්‍රේමරත්න. ගීතය ගායනා කරන්නෙ අවුරුදු විස්සෙදි තිබිච්ච කටහඬින් ම ඊට අවුරුදු හතළිහකට පස්සෙත් බොහොම ලස්සනට ගීත ගායනා කරපු ඉන්ද්‍රාණී  විජේබණ්ඩාර ගායනවේදිනිය. ගීතය ආරම්භ වෙන්නෙ ජීවිතේ දුක සතුට දෙකේ දිම සිහි වෙන කරුණා ගුණයේ ප්‍රතිරුපය අම්මා ය කියන ගීතෝක්තියෙන්.

සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා
සර්, මේ ගීතයේ ඉදිරි කොටසකදි කියැවෙනවා අම්මගේ ඇඟේ දුවන රතු ලේ සුදු උනේ ආදරයේ බල මහිමය නිසා කියලා. දේශයක් කිර්මාණය වන්නෙත් අම්මගේ සෙනෙහස නිසා ය කියලත් මේ ගීයෙන් කියැවෙනවා. ඔබ මේ වැඩ සටහනට තෝර ගත්ත ගීත මට කලින් එවලා තිබුණනෙ. මම ඒ හැම ගීතයක් ම දෙතුන් සැරයක් කියෙව්වා. සර් මේ ගීතයේ මට වැඩියෙන් ම දැනිච්ච තැන මම කියන්න ද?
කියන්න භවන්ත, සමහර විට මේ ගීතය තෝරගත්ත මටත් අද මේ සංකථන මණ්ඩපේට සහභාගි වෙලා ඉන්න සහෘදය පර්ෂදයටත් දැනෙන ම තැන ඒක ම වෙන්න බැරි නෑ.
නිල්මිණි රන් කැට මේවා ඕනැ ද ඕනෑ නෑ            ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා  
 
මන් හිතුවා හරිනෙ භවන්ත, එතන තමයි මේකෙ මමත් කැමති ම තැන. මන් හිතන්නෙ ගීත රචකයාගේ හදවතින් ම ගලා ආපු වචන ටික තියෙන්නෙත් එතන. ඒක නිසානෙ ඊළඟට පාවෙන සුළඟේ සිසිලස මවමින් සාමය ගේන අම්මා  ජීවනයේ පූජාවෙන් පිදුවත් ප්‍රමාණවත් නැහැ කියන වචන ටික කියලා ගීතය අවසාන කරන්නත් ආයෙම සැරයක් නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියන ගීතෝක්තිය ගන්නෙ.
අනතුරුව තත් සංකථන මණ්ඩපයට රජරට සරසවියේ සිංහල විෂය හදාරන නෙලුෂිකා සිසු දියණියගේ ලගන්නා මියුරු නදින් ඒ ගීතය අසන්නට ලැබිණ.

තදනන්තර ව උදා වූයේ මෙම වැඩ සටහනෙහි එකෙළොස් වන ගීතය පිළිබඳ ව කතා කරන මොහොත යි.  
මේක ඔබේ ම සමකාලීන සරසවි මිත්‍රයෙක් ලියපු ගීතයක්. මේ ගීතය ගැනත් ඔබට කියන්න දේවල් ඇති. ගීත රචකයා ගැන, ගායන ශිල්පියා ගැන කියන්න දේවලුත් ඇති. අපි ගනිමු ද සර් මේකටත් ප්‍රවේශයක්.
ඔය ගීතය අහන හැම වෙලාවක ම මට මතක් වෙන රජරට අධ්‍යාපන නිකේතනයක් තියෙනවා. ඒ තමයි අනුරාධපුරේ ස්වර්ණපාලි බාලිකාව. එහෙ කලා උළෙලට මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරටත් මටත් ආරාධනය කළා ඒ ඉස්කෝලෙ ඒ වන විට සේවය කරපු අපේ සමකාලීන සරසවි මිතුරියන් දෙන්නෙක්. ප්‍රණීත්ගෙ වාහනයෙ තමයි අපි දෙන්නා ආවෙ. අපි කලින් දවසෙ අනුරාධපුරේ ඇවිල්ලා නැවතිලා රෑ රුවන්මැලි සෑ වෙහෙරටත් ශ්‍රී මහා බෝධිය ළඟටත් ගියා. ඒ ගමනට අපිත් එක්ක විශ්වවිද්‍යාලෙ එකට ඉගෙන ගත්ත ඒ වෙන කොට අනුරාධපුරේ සිංහල විෂය පිළිබඳ ගුරු උපදේශකයෙක් විදිහට කටයුතු කරපු කුමාරත් සම්බන්ධ උනා. එදා රෑ ගොඩක් වෙලාවක් අපි බෝධීන් වහන්සේ හෙවණෙ හිටියා. ඒක මහ පින්බර රාත්‍රියක් භවන්ත. නිවුණු චරිතයකට ඒ චරිතය ගෑවුණු තැනකට ලෝකය නිවන්න පුළුවන් කියන කාරණේ සනාථ කරන සජීවී තැනක් ඒ. ඒක මේ රජරට ප්‍රජාවට උරුමයක් වෙලා තියෙනවා.

මේ වෙලාවෙ මට ඔබතුමාට පොඩි බාධාවක් කරන්න හිතෙනවා අපි ඔක්කොම වෙනුවෙන්. සර් කොළඹ ඉඳලා ඇවිල්ලා රජරට ඉන්න අපට මතක් කරලා දෙනවා රජරට උරුමය, රජරට අසිරිය. මන් අපේ මේ දරුවන්ගෙන් ඉල්ලා හිටින්නෙ සර් කතා කරපු මේ දේවල් කවදාවත් අමතක කරන්න එපා කියලයි.
සර් තෝර ගත්ත ගීතයට කොහොම ද සර් ප්‍රණීත් සර් සම්බන්ධ වෙන්නෙ ඒ වගෙම ස්වර්ණපාලිය සම්බන්ධ වෙන්නෙ. මට හිතෙනවා ඒකත් රසවත් කතාවක් ම වෙන්න ඕනෙ කියලා.
ප්‍රණීත් දෙවිදියකට සම්බන්ධ වෙනවා මේ කාරණේට. පළවෙනි කාරණේ දැන් අපි ගන්න ගීතයේ ගේයපද රචකයා වෙන්නෙ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර. දෙවෙනි කාරණේ එදා යම් වෙහෙසකින් හිටපු ප්‍රණීත්ට ජවය දෙන්නෙ ප්‍රණීත් ලියපු ගීතයේ එයාගෙම වචන නිසා. පහුවදා උදේ ස්වර්ණපාලියෙ කලා උළෙලෙ උදේ අටේ ඉඳන් නවය වෙනකන් කතා  කරන්න තිබුණෙ මට. ප්‍රණීත්ගෙ දේශනය කරන්න තිබුණෙ නවයෙ ඉඳලා දහය වෙන කන්. ප්‍රණීත් කිව්වා ඔයා පැය එතහමාරක් ම අරගෙන නිදහසේ කතා කරන්න. මන් පැය භාගයක් කතා කළාම ඇති කියලා. මන් ඒක කියපු වෙලාවෙම හිතාගත්තෙ දෙන්නං පුතෝ වැඩේ කියලයි. ප්‍රණීත්ගෙ කතාව සීමා කරන එක ඒ ඉස්කෝලෙ දරුවන්ට, ආචාර්ය මණ්ඩලයට කරන අසාධාරණයක්. මම විනාඩි හතළිස් පහක් කවිය ප්‍රධාන කරගෙන රස වින්දනය ගැන කතා කරලා ඉතිරි විනාඩි පහළොවෙදි ප්‍රණීත්ගෙ අම්මා තාත්තා දෙන්නා ගැන ඒ කියන්නෙ විමල් අභයසුන්දර - කල්‍යාණි අභයසුන්දර යුවළ තමන්ගෙ නිර්මාණ කොශල්‍යයෙන් අපේ කලා කෙත පෝෂණය කරපු හැටි ගැන කතා කළා. ඊට පස්සෙ ඒ යුවළ තමන්ගෙන් පස්සෙ ඒ කාර්යය කරන්න සමාජෙට ප්‍රධාන කරපු ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ගැන කතා කළා. ඒ තමයි අපේ ප්‍රණීත්.  
 
එක දවසක ප්‍රණීත්ට ඉල්ලීමක් ලැබෙනවා හින්දී තනුවකට සිංහල ගීතයක් නිර්මාණය කරන්න. මේක තමන් නිදහසේ ගීතයක් ලියනවට වඩා දුෂ්කර දෙයක්. එක්තරා අන්දමක අභියෝගයක්. ප්‍රණීත් අභියෝගය බාර ගන්නවා. ගීතය ලියනවා. ගායනවේදී චන්දන ලියනආරච්චි බොහොම අපූරුවට ගීතය ගයනවා. ඒක දේවදාසී ගීතයක්. පටන් ගන්නෙ සුන්දරියෙ රන්රසු දැල් රාව නැගේවි කියන වචනවලින්. අපූරු පද සංඝටනයක්. ප්‍රණීතුයි මායි දෙන්නම ප්‍රථම වර්ෂෙදි සිංහල කළා එකට. දෙවෙනි අවුරුද්දෙදි එයා සමාජවිදන්‍ාව ගෞරව කරන්න ගියා. මම සංස්කෘත තෝරාගත්තා. උපවිෂය හැටියට සිංහල තෝරගත්තා. විෂයක් හැටියට සිංහල කරන එක අත ඇරියට ප්‍රණීත් කවමදාකවත් සිංහල අතහැරියෙ නැහැ.
සර්, ඒ ගීතයෙ සර්ට වඩාත් ම දැනුණු තැන ගැන අපට යමක් කියන්න පුළුවන් ද?  
ඔව් භවන්ත, මන් ඊළඟට එතෙන්ට තමයි එන්නෙ. ප්‍රණීත් මට කිව්වෙ පැය බාගයක් කතා කරන්න කියලනෙ. මන් මගෙ පැය ඉවර කළේ ප්‍රණීත්ගෙම ගීතයෙ කොටසක් කියලා. ඒ තමයි ගන්ධාර කුලෙ මෝහිනි රණහංස තඩාගෙ පීනන්න එන්න රූ සඳපානේ කියන වචන ටික. භාෂාව විෂයක් හැටියට ඉගෙන ගත්ත අපට වඩා විෂයක් හැටියට අඛණ්ඩ ව ඒකෙ නොයෙදිච්ච නමුත් ඉතාම සුන්දර විදිහට ගීත ලියලා ඔබ රසවත් කරන කෙනෙකුට තමයි මන් ඊළඟට ආරාධනා කරන්නෙ. මෙච්චර දුරක් ගෙවා ගෙන ආපු ඒ ආචාර්යවරයාට ඔබ වෙනුවෙන් මේ ආරාධනය. එන්න ප්‍රණීත් ආමන්ත්‍රණය කරන්න මේ රජරටට. භවන්තට කියන්න එදා ප්‍රණීත් සර් හරියට ම පැයක් කතා කළා දිය ඇල්ලක් කඩා වැටෙනවා වගේ.
 
අපිට ඉදිරි දවසක මේ සනාලික සංකථන මණ්ඩපයට ප්‍රණීත් අභයසුන්දර මහාචාර්යතුමා සම්බන්ධ කර ගන්නම හිතෙන අදහස් දැක්වීමක් තමයි ඔබතුමා කළේ. අපි දැන් සවන් දෙමු සංයෝගය වියෝගය - ශෘංගාරය ශෝක වේදනා සම්මිශ්‍රිත සුන්දර ගීතය. එදා ප්‍රවීණ ගායනවේදී චන්දන ලියනආරච්චිගේ හඬින් ඇසුණු ගීතයට අද ජීවය දෙන්නේ රජරට සරසවි පුත්, කළමනාකරණ පීඨයේ සමක්ෂ යි.    

සී සී කඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ
සංයෝග ශා වියෝගය කැන්දූ
නිම් හිම් කොහේද මා ඉඳුරන් කම් සුව බැන්දූ
වාවා ගනිම් කෙසේ රති දෙව් දූ

තදනන්තර ව තත් සනාලික මණ්ඩපය රසවත් කරමින් රජරට සවන් පත් වෙත ගලා ආවේ එසොඳුරු ගීතය යි.
මහාචාර්යතුමනි, සංයෝගයේ වියෝගය කැඳවන නිමේශය එළඹි, දුක හා සතුට මුසු වුණු මේ නිමේශයේ අපි අපේ අවසන් ගීතයට යමු. පැය දෙකහාමාරකට ආසන්න කාලයක් අප සමග රජරට සමග සංයෝග ව සිටි ඔබට මේ වැඩ සටහනේ ආකෘතිය අනුව අකමැත්තෙන් උනත් අපට සමු දෙන්නට සිදු වෙනවා. එහෙත් ඔබ අපෙන් සමු ගන්නේ සීතල සුළඟක සුවය දෙන ගීතයක් නොව සුගීතයක් තෝරා ගෙන එය සනාලික මණ්ඩප ගත කිරීමෙහි ලා වන අවකාශය හදමින්. අපි කැමතියි ඒ ගීතයේ ප්‍රවේශයත් ඔබ ම ගෙන දෙනවා නම්.  

භවන්ත, මේ වැඩ සටහනේ නිමාව සලකුණු කරන්න තෝරා ගත්ත ගීතයට මන් පුංචි කාලෙ ඉඳල ම කැමතියි. මේ ගීතය තමයි අල්හාජ් මොහිදීන් බෙග් අපේ ප්‍රවීණ ගායනවේදියාණන් ගයන සුව දේ මට සීතල සු`ළඟ පවා ගීතය. මේක රචනා කරලා තියෙන්නේ ගුවන් විදුලියෙ නිවේදකයෙක් විදිහට කටයුතු කරපු ගුණරත්න අබේසේකර මහත්තයා. ඒ ප්‍රවීණ ගීතරචක කරුණාරත්න අබේසේකරයන්ගෙ කනිටු සොහොයුරෙක්. එතුමා ගීත ලියලා තියෙන්නෙ බොහොම අඩු සංඛ්‍යාවක්. ඒත් මට හිතෙන්නෙ මේ එකම ගීතය උනත් ඇති ගුණරත්න අබේසේකර නාමය රසික හදවත්වල සනාතනික ව රැඳෙන්න. මේ ගීතය සංගීතවත් කළේ සංගීතඥ මොහොමඩ් සාලි. බෞද්ධ නොවන ගායකයෙක් වගෙම බෞද්ධ නොවන සංගීතඥයෙක් එකතු වෙලා හදවතේ ගැඹුරුම තැන බුදු හාමුදුරුවො තියාගෙන අපේ ගීත රචකයගෙ වචනවලට උපරිම සාධාරණය ඉෂ්ට කරපු අවස්ථාවක් විදිහටයි මම මේ ගීතය දකින්නෙ. අද මේ තුන් දෙනා ම නැහැ. ඒත් මේ අකාලික ගීතය යුගයෙන් යුගය හදවත්වලට සුවය දෙන සීතල සුළඟක් ම වේවි. වෙලාව තියෙනවනං විතරක් භවන්ත, මේ ගීතය මගෙ ජීවිතයත් එක්ක තදින් ම සම්බන්ධ උනු අවස්ථාවක් ගැන කියලා අපට ගීතයට යන්න පුළුවන්.

අනේ අපි කතා කරමු සර්. අපි ආයෙ කවදා කොහොම හමු වේවි ද කියලා කියන්න පුළුවන් කාට ද? සර් කියන්න ඒ ගැනත් අපට.  
මම ඔය ගීතයට කවදත් කැමතියි. ඔය ගීතය මට වැඩියෙන් ම දැනුණු දවස තමයි මීට අවුරුදු විස්සකට විසිපහකට ඉස්සෙල්ලා බුද්ධගයාවෙ හිටපු මොහොත.  ඒ වගෙම මට එදා මතක් උනා අපේ රත්න ශ්‍රී සහෘදයා ලියපු විශාරද ගුණදාස කපුගේ ගයපු සොයා නොගොසින දමා නගරය - ගයා හිස රමණීය වන ගැබ ගීතයත්. එදා අපි හතර දෙනෙක් එතන හිටියා. මාදුරුඔයේ ධම්මිස්සර හාමුදුරුවො, චන්දික වේරගල  කියන මිත්‍රයා අපට මග පෙන්නන්න ආපු නාරායන් වගෙම මම. නාරායන් පුරාණ ඉතිහාසය උපාධියට ඉගෙන ගත්ත බෞද්ධයෙක්. ඔහුට ඉතිහාසය, කලාව, සාහිත්‍යය ගැන හොඳ දැනීමක් තිබුණා. අපි රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ගැන ගොඩක් දේවල් කතා කළා, සිද්ධාර්ථ තාපසයාණන් වහන්සෙ දුෂ්කර ක්‍රියා කරපු තැන ඉඳලා. එතන හදවතේ ගැඹුරු ම තැන ස්පර්ශ කරන ශුද්ධ භූමියක්. එදා අපි නාරායන්ගෙන් තමයි දැන ගත්තෙ තාගෝර්තුමා එතන මාස හයක් නැවතිලා හිටියා කියන කාරණෙත්. මට බුද්ධගයාව මේ ගීතයෙ වචන නොඅසා අසන තැනක් උනා. දැන් අපි අහමු ඒ හද නිවන ගීතය.
අනතුරුව එදින සනාලික සංකථන මණ්ඩපාවසානයේ සමක්ෂගේ යෞවන කටහඬින් අසන්නට ලැබුණේ ඒ බැතිබර සුගීතය යි.

සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ
ප්‍රිය දේවිය හා රජ සැප හැර දා මරු බල පරදා බුදු වූ පෙර දා
ගිරි මුදුන පවා කුසුමන් පිබිදී සිරි සර පළ වී
ඇස දුටු පමණින් ගත සිත සැනසේ
ජය භූමිය වේ ලොව බුදු දනගේ
 
අනතුරුව නිවේදක ආචාර්යවරයා සම්මානනීය කිවියර ලක්ශාන්ත අතුකෝරළයන්ගේ නිර්මාණයක් මේ වැඩ මෙසේ සටහනට සම්බන්ධ කෙළේ ය.
සඳ මැකී යන්න ආසන්න
      දුර්වර්ණ අහසක් වැනි නින්ද තුළ
      ඇඳෙනවා නිනව්වක් නැති සිහින
         නිකම්වත් කලින් හිතී නැති  
             හරි අමුතු කතන්දර

ප්‍රිය සහෘදය රසිකයනි, අපි සමු ගන්න ආසන්න යි. ඒත් අද නින්දේ දී ඔබට පෙනේවි මධු සිහින. හිතේවි පෙර නොසිතු දේවල්. ලක්ශාන්තගෙ කවියාගේ කවිය නිසා ඒ විදිහෙ සිතිවිලි ඇති වෙද්දි අපි මේ සංකථනපූර්වක සංගීත සුයාමය අවසන් කිරීම සඳහා තෝරා ගනිමු හෘදයහාරී අර්ථවාහී කවි මල් රැසක් ලොවට දුන් දිනූ රාජගුරු තුරුණු කිවිඳියගේ ඉසොඳුරු පැදියක්.
 
කුරුළු බිළිඳෙක් පත් තොටිල්ලක හීන දැක දැක    සෙමින් පැද්දේ
කොහොල් සිතකින් රැයේ සුළැඟිලි ලපළු උඩු තොල් මතින් ඇද්දේ
පුරුදු තදබද ලෝකයේ රළු පරළු කටහඬ             දහක් මැද්දේ
කාටවත් නෑසෙන නමුදු මට ඇසෙයි    මල් ඇහැරෙනා     සද්දේ