මේ දවස්වල දූවරුන්ගේ ස්ටේටස්වල නිතර ඇහෙන සුපුන් පෙරේරාගේ සින්දුව ලස්සනය. ඒ ගැන කතා දෙකක් නැත. එය තාත්තකුගේත් දුවකගේත් ආදරය ගැන ලියවුණ ගීයක් විතරක් වුණා නම් තව ලස්සනය. සිංදුව ඩීකන්ස්ට්‍රක්ට් කරගෙන යද්දී අවුලක් නොදැනෙන්නේ නම් තවත් ලසස්නය.
වීඩියෝවේ ඉන්නා දුව විධායක නිළයක් හෝ එවැන්නක් දරන යුවතියකි.ඇය අධ්‍යාපනික,ආර්ථික,වෘත්තිය ස්වාධීනත්වයෙන් බැබළෙන්නීය.
එහි වචන මෙහෙමය.
'හිණිපෙතම සොයා ලුහු බඳින තුරා
හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා
සැනසුමක් තියේද මගෙ දුවේ'
ගීතයේ හැටියට දූවරු සිය ජය මං කරා යන විට,බාහිර ලෝකයට නිරාවරණය වන විට,උසස් තානාන්තර දරන විට,ඇය යටතේ සේනා හැදෙන විට එවන් දූවරුන්ට මාපියන්ට සලකන්නට හා ජීවිතය විඳින්නට අමතක වේ. සින්දුවේ සාරාංශය ඒකය.
සිය වෛද්‍ය දියණියගෙන් බෙහෙත් ගෙන සුවපත් වූ-ආචාර්ය දියණියගේ දේශනයක් අසන්නට වියත් සභාවක වාඩි වූ-ඉංජිනේරු දියණියගේ ඉදිකිරීමක හෙවණක විසූ-නීතිඥ දියණිය නිසා යමකුට යුක්තිය ඉටුවනු ඇසූ- ආදී සිය දූවරු කවර හෝ ක්ෂේත්‍රයක කිරුළු නිසා බැබළෙනු දුටු පියකු කිසිදාක - කිසිමදාක මේ සිංදුවේ ඇති වචනවලින් දුවකගේ කිරුළට අපහාස කරන්නේ නැත.
තාත්තලාට දුවලාගේ ඔටුනු කටු ඔටුනු නොවේ. දුවලාට සිය ඔටුනු කටු ඔටුනු නොවේ. එවන් ඔටුනු දරන දූවරු ඉතා හොඳින් සිය මව්පියන් රකින අන්දමත්, එවන් දූවරු වඩාත් ජීවිතය විඳින අන්දමත්, ඔවුන් සිය වෘත්තිය ඵලයන් පිළිබඳ තෘප්තිමත්ව පවතින අන්දමත් මිස, ඔවුන්ගේ සැනසුම නැති වී තිබෙනු මට නම් දක්නට ලැබී නැත.
ආර්ථික අධ්‍යාපනික වෘත්තිය ස්වාධීනත්වයෙන් යුතු ගැහැණු දැකීම ඇතැමුන්ට දරාගත නොහැකිය. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ගීයේ සෞන්දර්යාත්මක අගය යට ඒ සත්තාව සැඟවී තිබේ.
එහෙයින් තමා පමණක් නොව අනුන්ද ජය ටැම් වෙත ගෙන යන, දඹ රන් ඔටුනුවලට වඩා වටිනා, ගැහැණු ඔටුනුවලට කටු ඔටුනු යැයි නිගා කරමින් එම ආකල්පය සාමාන්‍යකරණය කොට කලාත්මක ප්‍රකාශයක් ලෙස සමාජගත කිරීම කොතෙක් දුරට සාධාරණදැයි හුදු ගී විඳුමකින් එහා ගොස් විසංවාදය කළ යුතුව ඇතැයි හඟිමි.