Tuesday, February 15, 2022

69. ගුරු දියවර නවකතාව - අටවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

 

                          ගුරු දියවර 8

 


          මල් පොකුරු පොකුරු ඇය එන මග

           ඈ දෙසට ම නැමීයන්

           මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්

           මල් පොකුරට ලැබීයන්”

මල් නොපිපි ශුෂ්ක ගිම්හානයේ රිවි කිරණ වෙනදාටත් වඩා සුසැඬ ව මිහි මත පතිත වන මේ රිවි දිනයේ ගඟුල් නිවහනින් එළියට ආවේ තෙන්නකෝන් ඇදුරුතුමන් හමුවනු පිණිස ඔහුගේ නිවහනට යනු පිණිස ය.

එහි යාමට ඇති පහසු කෙටි මග වෙනුවට ඔහු දිගු මග තෝරා ගත්තේ ශුෂ්ක ප්‍රදේශයක ජීවත් වන තමා විසින් ශුෂ්ක භාවයේ අද්දැකීම නොමඳ ව විඳ ගත යුතු ය යන හැඟුමින් මඬනා ලද බැවිනි. මල් නොපිපි මාවතේ ගමන් කරන තමාට මල් හා බැඳුණු ඒ සොඳුරු ගීතය සිහිපත් වූයේ ඇයි? තමා සරසවියේ ඉගෙන ගන්නා සමයේ දවසක සංගීත වැඩ සටහනකට සරසවියට ආ ආචාර්ය වික්ටර් රත්නායක මහතා මුලින් ම කෙළේ මේ ගීතය රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයන් සහ ඒ සංගීතවත් කළ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියාණන් ගෞරවයෙන් සිහිපත් කිරීම ය. පැහැදිලි ව ම යෞවන ප්‍රේමය හා බැඳුණු ගීතයක් වන මෙය ඒ ප්‍රේමය ළඟ පමණක් සිර නොකොට ඊටත් වඩා පෘථුල අර්ථයක රැඳවිය නොහැකි ද? ගඟුල් ඇයට පමණක් සීමා නොවී ඇය ඇති තැනට ඔහු ද කැඳවයි. මල් පොකුරු පොකුරු පිපිය යුත්තේ ඇය එන මග දෙපස පමණක් නොවේ. ඔහු එන මග දෙපස ද ඒ හා සමාන ව ම මල් පිපිය යුතු ය. මෙහි දී ගඟුල් ඔහු සහ ඇය යන වචන දෙක භාවිත කරන්නේ පෙම්වතා සහ පෙම්වතිය උදෙසා නොව සිය ආදරණීය ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් උදෙසා ය. මේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ ජීවිතවල මල් පුබුදුවාලීම වෙනුවෙන් තමාට කළ හැකි උපරිම දෙය කළ යුතු ය. කඩහත වැව් ඉවුරේ නැවතී ගඟුල් අත රැඳි අත් ඔරලෝසුව දෙස බැලී ය. එහි දහවල් 1.35 ලෙස වෙලාව සටහන් ව තිබිණි. ඔහු ගණ සෙවණැති ගසක් යට හිඳ ගත්තේ තෙන්නකෝන් මහතා තමාට එන්නැ යි කී වෙලාවට ම එහි යාම වඩා සුදුසු නොවේ දැ යි සිතමිනි.

ගඟුල් සිය ජීවිතයේ මෙතෙක් දුර ආවේ මල් මාවතක නම් නොවේ. රළු ගල් මත සීරුවෙන් පා තබමිනි, ඔහු මේ ගමන ආවේ. එහි දී අන් බොහෝ දෙනාට සිදු වූ පරිදි ඔහුගේ ජීවිතය මත ද ගල් වැසි මෙන් ම මල් වැසි ඇද වැටිණි. මේ දෙවැසි දෙස ම උපේක්ෂාසහගත සිතක් තමා තුළ වර්ධනය වීමෙහි ලා බලපෑ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් සහ සමන් සිත්තරා යන තුඟු තුරු යුග්මය මේ මොහොතේත් ඔහු සිහිපත් කෙළේ අප්‍රමාණ ගෞරවයකිනි. ගල් වැසි හෙළුෑ චරිත කෙරෙහි ද මෛත්‍රීසහගත චිත්තයකින් අද වන විටත් ඔහුට බැලීමට හැකි වී තිබෙන සුප්‍රබල සාධකය වන්නේ ද එචරිත ද්වයෙන් ජීවිතයට උකහා ගත් ගුණාංග ය. ඔවුන් විෂයයෙහි කළ යුතු හොඳම උපහාර පූජාව වන්නේ ද එසේ උකහා ගත් සච්චරිතාංග සිය ශිෂ්‍ය පරපුරට උරුම කොට දීම ය.

යටකී චරිත ද්වය හැරුණු කොට තමාගේ ජීවිතය ආලෝකවත් කළ ගුරු තුරු රැසක් පිළිබඳ වන ආදරණීය මතකය අවදිවත් ම ගඟුල්ගේ සිත දිව ගියේ ඒ සුපසන් අතීතය වෙත යි. පළමු සහ දෙවන පන්තිය හා බැඳුණු ශිෂ්‍ය ජීවිතය අයත් ගංගොඩවිල ශ්‍රී රේවත යුගය පිළිබඳ කිසියම් මතකයක් තිබේ. ඒ මතකය අපැහැදිලි මුත් සුන්දර ය. දෙවනු ව තෙවන වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා උගත් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයේ දී මුණගැසුණු පේමා ධර්මදාස, මල්ලිකා රත්නායක, සුජාතා ජීවන්දර, වීරක්කොඩි, කරුණාරත්න, මැදවල, පෙරේරා, රන්මුතු, සුමනා, ගීතා, බන්දු, සුනීතා, සෝමා යන ගුරු උතුමියන් සහ  පසුව උසස් පෙළ සඳහා ගිය කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ දී හමු වූ හේමා විජේරත්න, සූරියආරච්චි, නවරත්න, අනුලා විජයරත්න මැණිකේ යන ගුරු උතුමියන් බඳු චරිත ගුරු ජීවන චරණය පිළිබඳ වන ස්ත්‍රී රූප ආදර්ශ යි. එසේ ම විද්‍යාරාජයේ චන්ද්‍රසේන ගෝමස්,  විජේපාල පල්ලියගුරු, සුසිල් එදිරිසිංහ, සෝමසිරි, තෙන්නකෝන්, භුවනෙක බණ්ඩාර, සමරනායක යන උත්තම ගුරු කුලකය නියෝජනය කරන  ගුරු තාරකා ද කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ දී හමු වූ ව. පි. රාජපක්ෂ, රාජා සෝමරත්න, ආනන්ද දේවප්‍රිය, ප්‍රේමතිලක හඳපාන්ගොඩ, පියතිලක, සමරකෝන්, එම්. කේ. දයාරත්න, රෝලන්ඩ් අබේපාල බඳු චරිත ගුරු ජීවන චරණය පිළිබඳ වන පුරුෂ රූප ආදර්ශ යි.  

ගල් ඇතිරූ මාවතේ ඇවිද ආ පසු මල් පිපුණු උද්‍යානයට ඇතුළු විය හැකි බව කියා දුන්නෝ ඔවුහු‍ ය. මෙ උතුම් නාමාවලියට ඇතුළත් කළ යුතු තවත් නම් තිබේ. මේ සියලු ගුරු චරිත පිළිබඳ වන ආදරණීය ස්මරණ හදගැබට ගලා එද්දී මේ අතුරින් අද වන විට ජීවතුන් අතර නැති ඇතැම් ගුරු තාරකාවන් සිහි වී ගඟුල්ගේ දෑස් කඳුළින් තෙමී ගියේ ය. මේ අතර ගඟුල්ගේ මතකයට ආවේ යට කී චරිත අතුරින් රෝලන්ඩ් අබේපාල සහ අනුලා විජයරත්න මැණිකේ සොඳුරු ගුරු යුග්මය හා බැඳුණු සිදුවීම් කිහිපයකි.

එවක කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ රෝලන්ඩ් අබේපාල මහතා කොට්ටාව ආනන්දයේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ තද්යුගයේ විදුහල්පති ව සිටි දයා ගුණවර්ධන මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය. උසස් පෙළ පන්ති දෙකකට සිංහල මෙන් ම ඉතිහාසය ද මැනැවින් ඉගැන්වූ ගුරුවරයා දේශපාලන හේතු මත අයුක්තිසහගත ලෙස මාරු කොට යැවීම නිසා ගඟුල්ලාට හොඳ ගුරුවරයෙක් අහිමි විය. සිංහල විෂය ඉගැන්වීම සඳහා සුදුසුකම් ඇති උපාධිධාරි ගුරුවරුන් කිහිප දෙනෙකු ම සිටියත් ඉතිහාසය සම්බන්ධ තත්ත්වය ඊට සපුරා වෙනස් විය.

වෙනත් විෂයයකට අදාළ ව ගෞරව උපාධියක් දිනා සිටි රෝලන්ඩ් අබේපාල මහතා ඉතිහාසය විෂයයට ගුරුවරයකු අහිමි වූ ගඟුල් ද ඉගෙන ගනිමින් සිටි පන්තියට ඉගැන්වීමට සිය කැමැත්ත පළ කෙළේ ය. පසුකාලීන ව ගඟුල් ඇතුළු බොහෝ ශිෂ්‍යයන්ගේ ජීවිතයේ සන්ධිස්ථානයක් බවට පත්වන ඒ ගුරුවරයා ඔවුන්ගේ ඇසුරට ලැබෙන්නේ ඒ ආකාරයට ය. ගඟුල්ගේ ශිෂ්‍ය ජීවන සමයේ දී ම ඔහු ලේඛකයකු ලෙස සමාජගත කෙළේ ද මේ ආදරණීය ගුරුවරයා ය. මේ මොහොතේ සිතුවම් පටක් මෙන් ඔහු අබිමුව මැවී ගියේ එකරුණ හා බැඳි සංසිද්ධි දාමය යි.

පුවත්පතකට දෙකකට කවියක් දෙකක් ලියා තිබුණත් එතෙක් මුද්‍රිත ප්‍රකාශනයකට කිසිදු ලිපියක් ලියා නොතිබූ ගඟුල්ට එවැන්නක් ලිවීම පිළිබඳ වන ප්‍රථම ආරාධනය ලැබෙන්නේ අබේපාල ගුරුතුමන් වෙතිනි. තමා විසින් ඉතිහාසය හදාරන උසස්පෙළ සිසුනට ලියන්නට දුන් නිබන්ධන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු පන්තියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපිට ගඟුල්ගේ පිළිතුර අගය කෙළේ ය. එසේ ම අඩුපාඩු පෙන්වා දෙමින් සැම දෙනාට ම ලිවීමෙහි ඇති වැදගත්කම අවධාරණය කෙළේ ය. පාසල ඇරුණු පසු තමා හමු වන මෙන් ද ගඟුල්ට දැන්වීය.

පාසල ඇරුණු පසු ගඟුල් ගියේ ගුරු විවේකාගාරයට යි. ඒ වන විට ද ගුරුවර ගුරුවරියෝ කිහිප දෙනෙක් ම එහි රැඳී විවිධ කටයුතුවල නිරත ව සිටියහ. එහෙත් එතැන අබේපාල මහතා සිටියේ නැත. එළියට පැමිණි ගඟුල් දුටුවේ පාසලේ උණ ගස යට හිඳ තවත් ගුරුවරයකු සමග කතා කරමින් සිටි  රෝලන්ඩ් අබේපාල මහතා ය. ඈත දී ම ගඟුල් දුටු අබේපාල මහතා සිය අත වනා සංඥා කෙළේ එතැනට පැමිණීමට ය.

ඔය දිසා එන්නෙ අපේ අනාගත ලේඛකයෙක් තමයි. ”

උණ ගස දෙසට ඇවිද එද්දී ගඟුල්ට ඇසුණේ අබේපාල මහතා කෘෂිවිද්‍යාව උගන්වන දිසානායක ඇදුරුතුමන්ට තමන් ගැන පවසන වචන යි.

ඉස්කෝලෙයි විශ්වවිද්‍යාලෙයි එකට එකතු කරන්න පුළුවන් අබේල වගේ අය මෙහෙට ආපු එකේ එක හොඳක් තමයි මේ. මොකද අපිට වඩා අබේලට තමයි පුළුවන් මේ කොල්ලො කෙල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙන වෙන පාරවල් හදල දෙන්න, තමන්ගෙ තියෙන හිතවත්කං පාවිච්චි කරලා. ”

ගඟුල් පළමු ව කෙළේ මේ ගුරුවරුන් දෙදෙනාට වැඳ ආචාර කිරීම ය.

සර් ඉස්කෝලෙ ඇරිල සර්ව හම්බ වෙන්න කියල කිව්වනෙ.”

ඔයාට ගඟුල් හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා. මන් අපේ අනුලටත් කිව්ව ඒ ගැන.”

ඔහු අනුලා යැයි සඳහන් කෙළේ පසුකාලීන ව ගඟුල්ලාගේ ආදරණීය ගුරුවරියක බවට පත් වූ විශිෂ්ට සාහිත්‍යවේදිනියක ලෙස ද නමක් දිනාගත් අනුලා විජයරත්න මැණිකේ ගුරු උතුමිය ගැන ය.

ගඟුල්ට පොඩි ආරාධනයක් තියෙනව අපෙන්. ලංකාව පුරා ම බෙදල යවන අධ්‍යාපන පත්තරේකට මම උසස් පෙළ සිංහල ලිපිය ලියනවා. ඒ ලිපි එකතු කරලා පොතක් ගහන්න යි යන්නෙ. මගෙ ලිපිවලට අමතර ව අපේ අනුලගෙ ලිපි තුනකුත් ඒකෙ පළ වෙනවා. අනුලයි මායි කතා උනා ඒකට ඔයාගෙ ලිපියකුත් ඇතුළත් කරන්න.”

ඉතිං සර් ඒකට මන් ලියන්නෙ කොහොම ද? මාත් තාම උසස් පෙළ ශිෂ්‍යයෙක් විතරයිනෙ. ”

ඉතිං මොකක් ද ඒකෙ තියෙන වැරැද්ද? හරි නං උසස් පෙළ ළමයි ලියන ලිපිවලින් හොඳ ඒවා තෝරලා තමයි ඒකෙ දාන්න ඕන. ”

ඒ උනාට සර් කවියක් දෙකක් ලිව්වට මට අද්දැකීමක් නැහැනෙ ඔය වගෙ ලිපි ලියලා.”

වැඩ කරලම තමයි ගඟුල් අපි අද්දැකීම් ගන්න ඕන. මොකක් හරි දෙයකින් අද විශිෂ්ට තැනකට ගිය හැම කෙනෙක් ම ඒ දේ මුලින් ම පටන් ගත්ත දවසක් තියෙනවා. මේ තමයි ඔයාගෙ ලේඛන ජීවිතයේ ආරම්භය. වැඩි කතා ඕනෙ නැහැ, වැඩේ පටන් ගන්න. ”

කාව්‍ය නිර්මාණයක සාර්ථකත්වය උදෙසා වෙසෙසින් බලපාන සාධකය වන්නේ කවියා විසින් භාෂාව භාවිතයට ගනු ලබන ආකාරය යි.”

සුදුසු නිදසුන් ආශ්‍රයෙන් යථෝක්ත ප්‍රකාශය පිළිබඳ ව ඔබේ අදහස් දක්වන්න.

ඔන්න මාතෘකාව. ඔයාට සතියක් දෙනවා. ඒ කියන්නෙ අද සිකුරාදා. මට ලබන සිකුරාදා ලිපිය ඕනෙ. පැහැදිලි අත් අකුරෙන් ලියන්න. අපිට පුළුවන් ඒක ටයිප් කරව ගන්න.

ඒ උනාට සර්......” ගඟුල් මේ කාර්යය සඳහා තමන්ට ඇති නුසුදුසුකම් ගැන කීමට සැරසුණත් ඊට ඉඩක් ලැබුණේ අබේපාල ආචාර්යවරයාගෙන් නම් නොවේ.

ඒ උනාට මේ උනාට වචන වැඩක් නෑ. මට ඊළඟ සිකුරාදා වෙන කොට ලිපිය ඕනෙ. දැන් ඔයා යන්න.”

විභාගයක් උදෙසා  ලියැවුණු පොතකට ලිපියක් ලියූ  ලේඛකයා ම සිය සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් ඒ පොත අධ්‍යයනය කරන විභාග අපේක්ෂකයා ද බවට පත්වීමේ දුර්ලභ සංසිද්ධිය ද මතු කරමිනි, ගඟුල් ලේඛකයකු බවට පත් වූයේ.

එසේ ම තමාගේ නිර්මාණ ජීවිතය ඔපවත් කළ තද් ආචාර්ය පත්නිය සම්බන්ධ සිදුවීමක් ද ගඟුල් මේ මොහොතේ සිහිපත් කෙළේ භක්තිපූර්වක හැඟීමෙනි.

සිය දෙවන දාරක ප්‍රසූතිය සමීප ව තිබිය දීත් නිවාඩු යාමට හැකියාව තිබිය දීත් අනුලා ගුරුතුමිය දිනපතා පාසලට පැමිණියේ මෙසේ පවසමිනි.

මේ කොල්ලො කෙල්ලන්ගෙ උසස් පෙළ කට ළඟ තියෙද්දි මං කොහොම ද අනේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ.”

ඇය උසස් පෙළ කට ළඟ යැයි කීවේ එම විභාගයට සය මාසයකටත් වැඩි කාලයක් තිබිය දී ය. එගුරු ගෙදරට දෙවන දරු සම්පත ද තිලිණ කරමින් දියණියක් උපන්නා ය. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා මෙන් ම ඇගෙන් උගත් නූගත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද මව සහ දියණිය බැලීමට ගියේ හමුවන කා සමගත් හෘදයංගම ලෙස සිනාසී කතා කරන මේ කාරුණික ගුරුවරිය පිළිබඳ ව සිය හදවත්වල පිළිසිඳි පසන් හැඟීම නිසා ම ය. දියණිය බිළිඳියක ව සිටියදී ම තවදුරටත් නිවාඩු තිබිය දී ඒ නිවාඩු අවලංගු කොට ගත් ඇය සේවයට පැමිණියා ය. තම දියණියට උපන් කිරෙන්, හැඳ සිටි හැට්ටය තෙත් වද්දී ඇය තම සිසු දරු දැරියනට ඉගැන්වීම පිළිබඳ වන උතුම් මෙහෙවරෙහි අඛණ්ඩ ව නිරත වූවා ය. අද දවසේත් ඇගෙන් උගත් අතීත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෑසට කඳුළු නංවන පහත සඳහන් ඉසොඳුරු පැදිය එගුරු සිත පිළිසිඳුණේ ද එවන් දවසක ය.

                  අම්මා නැත නුඹට ඉර ගල වැටෙන තුරු

                   මා වට කොට සිටිති සිප් කිරි උරන  දරු

                   උන් පුත හෙට දවස පිබිදෙන කැකුළු  බඳු

                   නුඹ සිහි වෙතත් මා උන් වෙත සිටිය යුතු”

එදා මව් කිරි අහිමි වූ සිඟිති දියණිය වත්මන කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඥාන සම්ප්‍රදානය කරයි.

සරසවියේ දී තමාට ඉගැන්වූ සහන් ආචාර්යවරයා, වරෙක සිය ගුරු තාරකාවන් සිහි කරමින් ලියා තිබූ එක් පැදියක් ගඟුල් මේ මොහොතේ සිහිපත් කෙළේ එය ම තමාගේත් ගුරු ස්මරණය නොවේ ද යන බැතිබර හැඟීමෙන් යුතු ව ය.

           “ වදනින් කියා නොම හෙන ගුණ රැස  දරනා

                ගුරු සල් මල් සිහි ව ඇස කඳුලැලි නැඟුණා

                සල් මල් සුවඳ විහිදී  යන  ලෙස    දැනුණා

                මුළු දිවියට ම එසුවඳ  ඇති   මට   හැඟුණා ”

දන්නැතුවම වෙලාවත් ගත වෙලා.”

පස්වරු දෙකට විනාඩි පහක් තිබිය දී ගඟුල් හුන් තැනින් නැඟී සිටියේ තෙන්නකෝන් ඇදුරුතුමන් හමුවීමට යනු පිණිස ය.

ගඟුල් යන විට තෙන්නකෝන් මහතා නිවස ඉදිරිපස ආලින්දයේ අසුනකට වී වැව දෙස බලා සිටියේ ය. ඒ වියපත් පසන් මිනිසාගේ බාහිර ස්වරූපය පවා ඔහුගේ අභ්‍යන්තරය ප්‍රකාශයට පත් කරන කැඩපතක් නොවේ දැ යි ගඟුල්ට සිතිණ. සිංහල විශේෂ උපාධිය හදාරන ශිෂ්‍යයන් විසින් අනිවාර්යයෙන් හැදෑරිය යුතු භාෂාන්තර ඥානය පාඨමාලාවට අදාළ ව යම් යම් කරුණු දැනගැන්ම උදෙසා භාෂා අධ්‍යයනාංශයේ සහන් ආචාර්යතුමන් හමුවීමට ගිය මොහොතක ඔහු පළ කළ අදහසක් සහ එය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ සිංහල කවියත් රාමායණ පාඨයත් ගඟුල්ට සිහිපත් වූයේ තෙන්නකෝන් ඇදුරුතුමන්ගේ හද පහන් කරවන රූපකාය දෙස බලා සිටින විට ය.

"සමහර මිනිස්සු ඉන්නව ගඟුල් ඒ මිනිස්සුන්ගෙ මුහුණ දිහා බැලුවහම හදවත පේන. මට එහෙම චරිත අතළොස්සක් දකින්න ඇසුරු කරන්න ලැබිල තියෙනව. ඒ චරිත දැකපු නිසාම මේ චරිත කියල හිතාගෙන ඉන්න ගොඩාක් චරිත චරිත නොවන බවත් මට තේරිල තියෙනව."

හරි ලස්සන කවියක් ලියැවෙනව දවසකදි පී.බී.අල්විස් පෙරේරා කවියා අතින් විමලරත්න කුමාරගම කවියා ගැන. මේ දෙන්නා අතර බොහොම ලොකු කල්‍යාණ මිත්‍රත්වයක් තිබුණා. මේ කවිය අල්විස් පෙරේරා ලියන්නෙ කුමාරගමගෙ දේහය ඉදිරිපිට ඉදගෙන. එදා එයත් එක්කම ළඟ හිටපු දෙන්න තමයි ආරියවංශ පතිරාජ කවියා සහ කුලරත්න බුලත්ගම කවියා. දැන් මේ අය අතරින් ජීවමාන ව ඉන්නෙ බුලත්ගම කවිය විතරයි. එතුමාටත් දැන් අවුරුදු අනූවකට වැඩියි. මට මේ සිද්ධිය විස්තර කළෙත් එතුමා. එවකට බොහොම තරුණ වයසෙ හිටපු බුලත්ගම කවියගෙන් කොළයක් ඉල්ල ගෙන අල්විස් පෙරේරා මෙහෙම ලියල තියෙනවා.”

           පියා ගත් යුග නෙත - තුළ ඇත සදා            නිදිමත

            හිමකඳකි ඇඟපත - එහෙත් මුහුණේ තිබුණි හදවත

ගඟුල් අපි අහල කියවල තියෙන කුමාරගම කියන්නෙ මූණේ හදවත ලියැවිලා තිබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්.”

සර් දවසක් සංස්කෘත සහතිකපත්‍ර පන්තියෙදි ඔය කාරණේට තරමක් දුරට සමාන අදහසක් තියෙන ශ්ලෝකයක් කිව්ව නේද?

ඔව් ගඟුල්, රාමායණේ බාල කාණ්ඩෙ තියෙනව එක ඍෂිවරයෙක් ගැන කියද්දි මෙහෙම අදහසක්.

          අකර්දමමිදං තීර්ථං - භරද්ද්වාජ නිශාමය

          රමණීයං ප්‍රසන්නාම්බු -  සන් මනුෂ්‍යමනෝ යථා

භරද්ද්වාජ අහන්න, මේ තොටුපොල මඩින් තොර යි. රමණීය ප්‍රසන්න ජලය යි මේකෙ තියෙන්නෙ. හරියට සත්පුරුෂයෙක්ගෙ මනස වගෙයි.

බලන්න ගඟුල්, කොච්චර ලස්සන අදහසක් ද කියල මේක.”

ඒ අතීත ස්මරණය රැඳි හදැති ගඟුල්, වැව දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටින, මුහුණේ හදවත ලියැවි, පිරිසිදු ජලය බඳු සිය වැඩිහිටි ගුරු සහෘදයා දෙස මොහොතක් නිහඬ ව බලා සිටියේ ය. අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

ආයුබෝවන් සර්, සර් වැව දිහා බලාගෙන භාවනා කරනව වගෙයි මට දැනුණේ.”

ආ ගඟුල්නෙ. මේ වැව දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ. මේක ජීවිතය අවබෝධ කර ගන්න කැමති කාට උනත් හොද කමටහනක් තමයි. මට නං ගඟුල් වැව කියන්නෙ මහ ඉතිහාසයකට. මට මේ වැව දිහා බලන් ඉන්න කොට ඈත අතීතය පේන්න ගන්නව ගඟුල්.”

කොහොම ද හොඳ ප්‍රකාශ ටිකක් හොයා ගත්ත ද අපේ වැඩේට. අපේ මිහිදිනීත් ඒවි රේණුත් එක්ක මෙහෙට තුනෙන් පස්සෙ. දෙන්න එක්ක එකේ ඉදන් තුන වෙනකං ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා.”

ඒ කිව්වෙ සර් පෞද්ගලික ඉංග්‍රීසි පන්තියක් ද?”

ඔව් පන්තියක් නං තමයි ඒ උනාට ගාස්තු අය කිරීමක් නැහැ. ඒක නිසා ඒකට ප්‍රයිවෙට් ටියුෂන් පන්තියක් කියන නම ගැළපෙන්නෙ නැහැ. හුඟක් දවස්වලට මේ ළමයින්ට කන්නත් දීලයි යවන්නෙ.”

හරි වටින වැඩක්නෙ සර් ඒක.”

ඔව් හරිම වටින වැඩක් තමයි ඒක. ඒ උනාට මේකෙ සමහර දෙනාට ඒව පිස්සු වැඩ. ගඟුල්, ඔය රේණු ගොඩක් දේපල තියෙන පවුලක ළමයෙක්. මීට අවුරුදු තුනකට විතර ඉස්සර දවසක තමයි මෙහෙට ආවේ. මට මතකයි අද වගේ, ඒ ළමය ආපු පළවෙනි දවසත්.

ඒ වගෙම එදා මටත් අමතක නොවෙන දවසක් උනේ මේ රේණු ළමය කටයුතු කරපු විදිහ ම තම යි. එදා එයාගෙ අම්ම තාත්තත් අය්යත් නංගිත් එයාව ඇරලවන්න ඇවිත් හිටියා. තමන්ගෙ දුව නවත්තන්න වෙලා තියෙන පරිසරය ගැන, ඉස්කෝලෙ ස්වරූපෙ ගැන අම්මගෙ නං කැමැත්තක් තිබුණේ ම නැහැ. තාත්තා අඩු කතාකාරයෙක්. වචනයෙන් නොකිව්වට දුවට නාගොල්ලාගම වගේ පිටිසර පළාතකට එන්න සිද්ධ වීම ගැන තියෙන අප්‍රසාදය එයාගෙ මූණෙත් ලියවිලා තිබුණා. අය්යගෙ අපි දැක්කෙ නංගිගෙ කැමත්තට ඉඩ දෙන ගතියක්. රේණුගෙ නංගිට තිබ්බෙ මේ අලුත් පරිසරය ගැන කුතුහලයක්.”

බැලුවහම සර්නෙ එතන ඉඳලා තියෙන හොඳම නිරීක්ෂකයා.”

එසේ පැවසුවේ ගඟුල් ය.

නැහැ ගඟුල්, ඒ සහතිකය දෙන්න ඕනෙ අපේ විදුහල්පතිතුමාට යි. රේණුගෙ අම්ම කේන්තියෙන් වගේ කතා කරද්දිත් විදුහල්පතිතුමා කේන්ති ගත්තෙ නෑ. රේණුගෙ අය්යා ඉගෙන ගත්ත හොඳ මිනිහෙක්. එයා උපදිසාපති කෙනෙක්. අම්ම කෝ මේ ඉස්කෝලෙවත් කිසිම පහසුකමක් තියෙන පාටක් නැහැනෙ කියල කියද්දි මේ උපදිසාපතිතුමා කිව්වෙ ඉතින් අම්මෙ මන් වැඩ කරන පළාතත් මේ වගේනෙ. මන් හිතන්නෙ මීටත් වඩා අමාරුයි එහෙ ජීවිතේ කියල කියද්දි මේ අම්මට තවත් කේන්ති ගියා.”

ලොකු පුතේ ඔයත් මන් කියන දේ අහන්නැතිව කැලෑවකට ගියේ සේවෙ කරන්න කියලා. ඔයාගෙ ඔය වචන නිසා මෙයත් ලෑස්ති වෙයි මේ කැලෑ පැත්තෙ නවතින්න. මේ ළමයින්ගෙ තාත්තට කොච්චර දේශපාලන සම්බන්ධකං තියෙනව ද? ඒ උනාට ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න මෙයාට ඕනෙත් නෑ තාත්තට ඕනැකමකුත් නැහැ. දැන් මට බය මෙයාගෙ නංගිත් අය්යගෙයි අක්කගෙයි අඩි පාරෙ ම යයි ද කියලා”

මන් නං කැමතියි අම්මෙ මෙහෙ වැඩ කරන්න. මගෙ නං හිතට ඇල්ලුවා.”

හිතට ඇල්ලුව ද හොඳට”

ඇය ඒ වචන නැවත උච්චාරණය කෙළේ උපහාසයෙනි. එසේ ම කෝපයෙනි.

ඈ ලොකු දුව ඔයා මෙච්චර මහන්සි වෙලා ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගත්තෙ, ඒකට ම උපාධියත් ගත්තෙ මේ ගොඩේ පළාතකට වෙලා ජීවිතේ නාස්ති කර ගන්න ද? මන් හිතන්නෑ ජගත් පුතා ඔයාගෙ මේ මෝඩ තීරණේට එකග වෙයි කියලා.”

ඉතිං අම්මෙ එයාගෙ කැමැත්ත හරි අකැමැත්ත හරි මට මොකට ද? මන් කැමති මේ වගෙ පළාතකට වෙලා මේ අහිංසක ළමයින්ට මන් දන්න දෙයක් කියල දෙන්න.”

අනේ මන්දා විදුහල්පතිතුමා, ඔබතුමාවත් වැඩිහිටියෙක් හැටියට මෙයාට අවවාද කරන්ඩකො මෝඩ තීරණ ගන්නැතිව වැඩක් කරන්න පුළුවන් තැනකට යන්න කියලා. මොකද ලොකු සර් මෙයා කරපු සබ්ජෙක්ට් එකේ හැටියට මෙයාට ලේසියෙන් ම පුළුවන් කොළඹ ඉස්කෝලෙක උනත් පත්වීමක් ගන්න.”

කෝ අම්ම ම කතා කරනව මිසක් මේ ලොකු සර්ට කතා කරන්න ඉඩක් දුන්නෙ ම නැහැනෙ.”

එසේ කීවේ රේණුගේ සොහොයුරා ය.

නෑ දිසාපතිතුමා, අම්මට කතා කරන්න ඉඩ දෙන්න. මන් දන්නව අම්ම කෙනෙක්ගෙ වේදනාව. මේ තරහට කතා කරනව නෙමෙයිනෙ. මමත් මගෙ මුල්ම පත්වීමට ඈත පළාතකට තමයි යන්නෙ කියල දැන ගත්ත මොහොතෙ අපේ අම්ම හැසුරුණෙත් මෙයිට වඩා වෙනස් විදිහකට නෙමෙයි. අම්මා කෙනෙක් කියන්නෙ දරුවන්ට වැඩිම ආදරේ ඇති කෙනා. තාත්තල ආදරේ නැහැ කියනව නෙමෙයි. අම්මලගේ ආදරේ හැටි මම අද්දැකීමෙන් ම දන්න නිස යි මෙහෙම කියන්නෙ.”

සර් මේ අන්තිම කාරණේ කිව්වෙ මොකක් හරි විශේෂ හේතුවක් නිසා ද?”

තරුණ දිසාපතිවරයා එසේ ඇසුවේ කතා කළ වචන කිහිපයෙන් ම තමා තුළ පසන් හැඟුම් ජනිත කරවීමට සමත් වූ විදුහල්පතිතුමන් පිළිබඳ වන ගෞරවපූර්වක හැඟීමත් සමග ය.

මම අනුරාධපුරේ, පොළොන්නරුවෙ, බදුල්ලෙ, අම්පාරේ ඉස්කෝලවල උප ගුරුවරයෙක් විදිහට වැඩ කරල තියෙනවා. ඒ වගෙ ම ඉස්කෝල තුනක මීට කලින් විදුහල්පති විදිහට වැඩ කරල තියෙනවා. ග්‍රාමීය - නාගරික පරිසර දෙකේ ම ලබපු අද්දැකීම් අනුව අම්මල තමයි ළමයි ගැන හොයන්න වැඩියෙන් ම ඉස්කෝලෙට ආවෙ. තාත්තලට හැමදාම හේතුවක් තිබුණ නොඑන්න. කලාතුරකින් ඉරිදාවකට යොදා ගන්න ගුරු දෙගුරු රැස්වීමට ආවෙත් අම්මලම තමයි. තාත්තල ඒකට නොඑන හේතුව තමයි මුළු සතියෙ ම වැඩ කරල වැඩ කරල ලැබෙන එකම නිවාඩු දවස නැති කර ගන්න බෑ කියන තර්කය. හැබැයි එකම දවසක් වත් නිවාඩු නැතුව ගෙදර වැඩ ඔක්කොමත් කරන, ජීවත් වෙන්න පොඩි පොඩි රස්සාවලත් යෙදෙන අම්මල, දරුවො වෙනුවෙන් ආවා මිස අර වගෙ තර්ක ගෙනල්ලා එන්නැතිව හිටියෙ නෑ. මේ නිසා තමයි දිසාපතිතුමා, මන් කිව්වෙ අම්මලගෙ කැක්කුම ගැන මට තේරෙනව කියලා. මේ රේණු ටීචර්ගෙ අම්ම කියන්නෙත් ඒ වගෙම තවත් අම්ම කෙනෙකුට. ඒ නිසා අපි අම්මට කතා කරන්න දෙමු.”

ඒ වන විට රේණුගේ මව කිසියම් සන්සුන් බවකට පත් ව සිටියා ය. විදුහල්පතිවරයා පළ කළ අදහස් ද ඔහුගේ සන්සුන් ස්වරූපය ද ඇය තුළ කිසියම් නිවීමක් ඇති කිරීමට සමත් වූ බව පෙනිණ.

විදුහල්පතිතුමා මේ ළමයට පහසුකම් ඇති නවාතැනක් හොයා ගන්න පුළුවන් වෙයි ද මේ පැත්තෙන්.”

අම්මාගේ මේ වචන ඇසූ දිසාපතිවරයාට සිනහ ගියේ ය.

මොකෝ ලොකු පුතා ඔයා හිනා වෙන්නෙ මන් වැරදි දෙයක් කිව්ව ද මෙතන හිනා වෙන්න.”

අනේ නෑ අම්මෙ, ලොකු නංගිව නවත්තන්න බෑ කියල තදින් ම විරුද්ධ වෙච්ච අම්ම ම දැන් නංගිට නවාතැන් හොයන්න ලෑස්ති වෙච්ච නිස යි මට හිනා ගියේ.”

මොකෝ මන් විරුද්ධ උනා කියල මෙයා එයාගෙ තීරණේ වෙනස් කරන්නැහැනෙ. ඒක හින්දා ඊළඟට කරන්න තියෙන දේවල් ගැන හොයල බලනව මිසක් වෙන මොකක් කරන්න ද මට කියන්නෙ?”

මට හරි සතුටුයි, තමන්ගෙ දරුවන් ගැන මේ තරන්  හොයල බලන එක ගැන. දුවගෙ නවාතැනේ වගකීම මට බාර දෙන්න. අවශ්‍ය මූලික පහසුකම් තියෙන, ලොකු ගෙයක් නොවුණට ලොකු හිතක් තියෙන මිනිස්සු ඉන්න ගෙදරක් දුවට හොයලා දෙනව කියල මම පොරොන්දු වෙනවා. ඔබතුමියට ඒ වගේම මන් පොරොන්දු වෙනව මේ අම්ම තාත්තගෙ හිස්තැන පුරවන්න මට බැරි උනත් මෙහෙ දි මේ දරුවව මගේ ම දුවක් හැටියට බලා ගන්නවා කියලා.”

විදුහල්පතිවරයාගේ වචන ඇසීමත් සමග රේණුගේ දෑසට කඳුළු නැඟිණි. වහා තමා හිඳ සිටි අසුනින් නැඟී සිටි ඇය විදුහල්පතිතුමන් ළඟට ගොස් ඔහුට දණ ගසා වැන්දා ය.

වචනයකුදු කතා නොකළ විදුහල්පතිවරයා ඉමහත් ආදරයකින් ඇගේ හිස පිරිමැද්දේ ඇය තමාගේ ම දියණියක ලෙස බාර ගැනීම පිළිබඳ වන සන්නිවේදනය ඒ මොහොතේ එතැන සිටි සියලු ම දෙනාගේ හදවතේ ගැඹුරු ම තැනට ගෙන යමිනි.

කියන්න ගඟුල් ඒ වෙලාවෙ මගෙ ඇස්වලටත් කඳුළු ආවා.”

තෙන්නකෝන් මහතා ඒ වදන් පැවසුවේ හැඟීම්බර ව ය.

මන් සර් රේණු මිස් ගැන අහල තිබුණා ඒ උනාට තාම එක දවසක් වත් දැකලා කතා කරන්න ලැබුණෙ නැහැ. මිහිදිනී මිසුත් එහෙම යි.”

අද ඔයාට ඒ දෙන්නම හම්බ වෙනවනෙ මෙහෙ දි. මම අහපු කතාවක් තියෙනව ගඟුල්, පිරිමියකුට තමන් පිරිමියෙක් කියල වැටහෙන්නෙ හරි ගැහැනියක් ළඟින් හිට ගත්තම කියලා. ඒ වගෙම තමයි ගඟුල් ගැහැනියකට තමන්ගෙ ගැහැණුකමේ තියෙන හැබෑ අර්ථය දැනෙන්න ගන්නෙ හැබෑ පිරිමියෙක් ළඟින් හිට ගත්තමයි කියලා. ඇත්තට ම ගඟුල් මට මේ කෙල්ලො දෙන්න ගැන ම තියෙන්නෙ ලොකු ආදරයක්, ඒ වගේ ම ගෞරවයක්.”

දැන් ගඟුල්ගේ සිතෙහි ඇති ව ඇත්තේ ද මේ කාන්තා යුග්මය දැක කතා බස් කිරීමෙහි ලා වන අභිරුචියකි. විශේෂයෙන් තෙන්නකෝන් මහතා බඳු සාවබෝධී මිනිසකුගේ හද පහන් කළ චරිත යුග්මයක් දැක ගැනීමෙහි ලා වන ප්‍රසාදජනක කැමැත්තකි.

සර්. මම ඉස්කෝලෙ තැනින් තැන ගහන්න ප්‍රකාශ කීපයක් අරන් ආවා.”

අපි ඒවා ගඟුල් බලමු ද, අපේ කෙල්ලො දෙන්නත් ආවට පස්සෙ. අපි දැන්  ඔක්කොට ම ඉස්සෙල්ල තේකක් බීල ඉමු ද ? නීලා අපිට අලුත් යාළුවෙක් ඇවිල්ල. ඔයත් එන්ඩකො මෙහෙට එයාව අඳුන්නල දෙන්න.”

තෙන්නකෝන් මහතා මේ කතා කෙළේ සිය බිරිඳට ය. ඊට ප්‍රතිචාර දක්වමින් නිවසේ ආලින්දයට පැමිණියේ මැදිවියේ ප්‍රසන්න කාන්තාවකි.

කෝ බලන්න අපේ මහත්තයගෙ අලුත් යාලුවා.”

එසේ සිනාසෙමින් පැවසුවේ තෙන්නකෝන් මහාත්මිය යි.

මේ තමයි නීලා අපේ ඉස්කෝලෙට අලුතින් ම ආපු සර්. සිංහල ගෞරව උපාධිධාරියෙක්. මේ පළවෙනි පත්වීම. අපේ ලොකු සර්රුත් ලොකු පැහැදීමකින් තමයි මාත් එක්ක මේ ගඟුල් ගැන කතා කළේ.”

හරි සතුටු යි පුතා, ඔයාව අඳුන ගන්න ලැබිච්ච එක. විශේෂයෙන් සාහිත්‍යය කරපු කෙනෙකුට මේ දරුවන්ට විතරක් නෙමෙයි ලෝකෙට ම ගොඩක් දේවල් දෙන්න පුළුවන්. මේ පුතාගෙ දැන් වයස කීය ද? මට පේන හැටියට විසි පහක් විසි හයක් විතර ඇති.”

ඔව් මැඩම් හිතුව හරි. දැන් මට විසි පහ යි.”

අපේ පුතාට වඩා අවුරුදු දෙකක් බාල යි එහෙනං මේ පුතා.”

ඉතින් සර් මං ගැන විස්තර කිව්වට අපේ මැඩම් ගැන විස්තර කිව්වෙ නැහැනෙ මට. එතුමිය ගුරුවරියක් බව නං මන් දන්නවා.”

ආ ඒ ටික මන් කියන්නං. මෙතුමිය නීලා දසනායක. දැන් නීලා තෙන්නකෝන්. ඒ උනාට පරපුරේ වාසගමත් අත් ඇරියෙ නෑ. දැන් එයා පාවිච්චි කරන්නෙ නීලා දසනායක තෙන්නකෝන්. විෂය සංගීතය. උගන්නන්නෙ ඇල්ලෙ ගජනැග්ගම ඉස්කෝලෙ. ගෙදරට වඩා මෙයාගෙ ජීවිතේ ගත වෙන්නෙ ඉස්කෝලෙ. මෙයා ඒ ළමයින්ටත්, ඒ ළමයි මෙයාටත් පණ ඇරල යි ඉන්නෙ. මගෙ ඉතිහාසෙට වඩා අපේ දුවට යි පුතාට යි පිහිටියෙ අම්මගෙ කලාව.”

අම්මෝ ඔයාගෙ මේ විස්තරේ මේ දරුව කොහොම මතක තියා ගන්න ද?”

තෙන්නකෝන් මහත්මිය ඒ වචන පැවසුවේ ද සුපුරුදු සිනහවෙන් බැහැර නොවෙමිනි.

මේ දරුවට මහන්සිත් ඇති. ඉන්නකො මන් තේ ටිකක් හදාගෙන එන්න.හැබැයි මේ ගෙදර මට වඩා රසට තේ හදන්නෙ නං...”

මෙසේ කියා ඇය සිනාසෙමින් බැලුවේ සිය සැමියා දෙස ය.

නෑ මැඩම් අපි තව ටිකකින් ම තේ බොමු. අපේ මිස්ලා දෙන්නෙකුත් එනවනෙ තව ටිකකින්.”

මිස්ලා කිව්වෙ අපේ කෙල්ලො දෙන්න නේද අපේ මහත්තය. මන් දන්නව ඒ ගොල්ලො මෙහෙ එනව කියලා. අපි දෙන්නගෙ ගෝලයන්ට මෙහෙ ගෙදර වගෙ. කොල්ලො කෙල්ලො ටික ආපු ගමන් ඉස්සෙල්ල ම කරන්නෙ අපිට කුස්සිය තහනං කරන එක. මට කුස්සි කාමරේට ගියොත්, අවසර තියෙන්නෙ එතන තියෙන පුටුවක ඉඳගෙන බලන් ඉන්න විතරයි. මේ දෙන්නත් එහෙමයි. හිටපු ගමන් දෙන්න එක්ක ඉරිදා දවසක එනවා. එදාට උයන්නෙ පිහින්නෙ, තේ හදන්නෙ මේ කෙල්ලො දෙන්න තම යි. හරිම ආදරේ හිතෙන ළමයි දෙන්නෙක් පුතා. අපේ ළමයි දෙන්නත් හරි කැමති යි මේ දෙන්නට.”

දුව යි පුත යි ගෙදර නැද්ද මැඩම් අද.”

නෑ පුතා අපේ පුතා දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙ උගන්නනවා, දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ. එයා නැටුම් කරන්නෙ.”

මේ දවස්වල එහෙනං දුව ඇත්තෙ විශ්වවිද්‍යාලෙ. පුතා මැඩම් සංගීත අංශෙ ද චිත්‍ර මූර්ති අංශෙ ද ?”

ගඟුල් ඇසුවේ දැඩි උනන්දුවකිනි.

එයා පුතා චිත්‍ර මූර්ති අංශෙ.”

තෙන්නකෝන් මහත්මිය පිළිතුරු දුන්නා ය.

ඒ කියන්නෙ මැඩම් මුළු ලලිත කලාව ම මේ ගෙදර තියෙනවා.”

එසේ පැවසුවේ ගඟුල් ය.

ඇය නැවත සිය කතාව ආරම්භ කළා ය.

අපේ කාලෙට වඩා එක පැත්තකින් ගත්තහ ම එතන ගොඩක් දියුණු වෙලා. දැන් අධ්‍යයනාංශ ගොඩක් තියෙන පීඨයක් වෙලා. සම්භාව්‍ය කලාව වගේ ම කොමර්ෂල් ආට් පැත්තට යොමුවකුත් තියෙනවා දැන්. ඒක හොඳ ද නරක ද කියන්න මන් දන්නෙ නැහැ. ඒත් කාල පරිණාමයත් එක්ක සිද්ද වෙන මේ දේවල් වළක්වන්න අපට බැහැ.”

මැඩම් සෞන්දර්යෙ ආදි ශිෂ්‍යාවක් ද?”

ඔව් පුතා, මන් ඉගෙන ගත්තෙත් එතන. අපේ කාලෙ ඒක සෞන්දර්ය අධ්‍යයන ආයතනය. කැලණිය විශ්වවිද්‍යාලෙට අනුබද්ධ ව යි තිබුණේ. ඒක නිසා වෙන්න ඇති සෞන්දර්යෙ ඉගෙන ගත්ත මට කැලණි විශ්වවිද්‍යාලෙ ආදි විද්‍යාර්ථියෙක් ම පස්සෙ කාලෙක දි අනුබද්ධ උනේ.”

ඇය මේ වචන ටික පැවසුවේ සිය සැමියා දෙස බලමින් සිනාසෙමිනි. මේ මොහොතේ තෙන්නකෝන් මහතා ද සිනහමුසු ව සිය බිරිඳ සහ ගඟුල් අතර ඇතිවන සංවාදයට සවන් දෙමින් සිටියේ ය.

ඒ වන විට රේණුකා - මිහිදිනී යන ගුරුවරියෝ දෙදෙන තෙන්නකෝන් නිවහන දෙසට එමින් සිටියහ. සුදෝසුදු උඩුකය ඇඳුමක් සහ සුදෝසුදු දිගු සායන්ගෙන් සැරසී සිටි ඒ දෙදෙනා දිස්වූයේ ඉරිදා දහම් පාසල වෙතට යන දැරියන් දෙදෙනකු මෙනි. ඒ දෙදෙනා  නිවහන වෙතට ළංවන විට තෙන්නකෝන් මහතා සිය බිරිඳ දෙසට හැරී මෙසේ පැවසීය.

නීලා, අන්න අර දෙන්නා එනවා. ඔයාට කුස්සිය පැත්තට ගිහින් එන්නහෙම ආසාවක් තියෙනවනං දැන් ම ගිහින් එන්න.”

ආ මගෙ කෙල්ලො දෙන්න එනව ද? අද ඒ ළමයි ඔයගොල්ලොත් එක්ක වැඩකටනෙ එන්නෙ. ඒක නිසා ඒ ගොල්ලො ඒ වැඩවලට අරන් හරි යන්නෙ නැහැනෙ. හරි ගියා නැතා ඒ දෙන්න ම තම යි තීරණය කරන්නෙ තමන් මොනවද කරන්නෙ කියලා.”

මේ ළමයින්ට පාර වැරදිලා මන් හිතන්නෙ. ළමයිනෙ දහම් පාසලට යන්න තියෙන්නෙ අනික් පාරෙන්. අනිත් එක මේ වෙලාවට කොයින් ද දහම් පාසල්.”

ඒ වන විට සිය නිවහන වෙත ළඟාවෙමින් සිටි තරුණ ගුරුවරියන් දෙදෙනා අමතා එසේ පැවසුවේ තෙන්නකෝන් මහතා ය.

නෑ නෑ අපිට කිසිම වැරදීමක් වෙලා නැහැ. මේක තමයි අපේ දහම් පාසල. මේ ඉන්නෙ අපේ දහම් පාසලේ සර්රුයි ටීච යි දෙන්නත්.”

නැන්දේ අපි ආවා.”

මිහිදිනී ගෙට ගොඩ වූයේ එසේ කියාගෙන ය.

නැන්දේ, මොනව ද අපිට කන්න තියෙන්නෙ.”

ඒ රේණු ය.

රේණු අක්කෙ අර අලුත් සර්රුත් ඉන්නවා. දැන් ඒ සර් හිතයි අපි මහ පෙරේත කෙල්ලො දෙන්නෙක් කියලා.”

හිතන්න දෙයක් නැහැ ඒක තම යි ඇත්ත. නංගි, උඹ කෙසේ වෙතත් මේ මුළු නාගොල්ලගම හැම ගෙදරක් ම හැම ගහක් කොළයක් ම දන්නව මේ රේණුගෙ ආහාර රුචිය ගැන.”

ඔයගොල්ල දෙන්න ගැන මේ අලුත් සර් දන්නවා. ඒත් තාම කතා කරන්න නං ඉඩක් උදා උනේ නැහැ කිව්ව.”

තෙන්නකෝන් සර් මොනව ද දන්නෙ නැහැ මේ සර් අපි ගැන දන්නෙ. අපිත් දන්නව මේ ගඟුල් සර් බව. අපිට අතුල සර් කිව්ව  අලුතින් එන අයට අනිවාර්ය, සිල්වා මැඩම්ගෙ ලෙක්චර් එක මේ සර්ටත් අහන්න උනා කියලා. එහෙනං අපි ගැන හොඳක් නං වෙන්න බැහැ අහන්න ඇත්තෙ.”

අනේ නැහැ, ඒ මැඩම් කවුරු ගැනවත් වරදක් කිව්වෙ නැහැ රේණු මිස්.”

ආ ඇත්ත ද හරි පුදුම යි. ඒ මැඩම් කාගෙවත් වැරැද්දක් කිව්වෙ නැද්ද? එහෙනං එතුමියගෙ පුදුමාකාර වෙනසක් සිද්ද වෙලා තියෙනවනෙ තෙන්නකෝන් සර්.”

ඒ උනාට ඔය දෙන්න ගැන ම හොඳට විස්තර කිව්ව අපේ තෙන්නකෝන් සර්රුයි මැඩමුයි.”

අන්න දැක්ක ද අපේ සර්රුයි මේ නැන්දයි හොඳට ම දන්නව අපි දෙන්නගෙ වටිනාකම. හොඳයි ගඟුල් මොනව ද ඒ ගොල්ලො අපි ගැන කිව්වෙ.”

කිව්වෙ ද? ඒ දෙන්න ගැන නං කතා කරලා වැඩක් නෑ කිව්ව. ආවැයින් ආවෙ නෑ කිව්ව නාගොල්ලගමට ඒ වගෙ එපා කරපු කෙල්ලො දෙන්නෙක්. අම්මෝ! තව කියපුව මට කියන්නත් ලැජ්ජ යි. දැනුත් මේ ඇඟ හිරි වැටෙනව ඒ කියපුව මතක් වෙන කොට.”

ගඟුල් අභිනයෙන් කියා පෑවේ මහත් බියකට පත් වූ ස්වභාවයකි.

මල්ලි උඹ නං අපිට ම හරි යන එකෙක්. දාපන් නංගි මෙයත් එක්ක සාකච්ඡාවක් සාහිත්යෙන් ම. උඹ ඉංග්‍රීසි, මෙයා සිංහල. මරු. අපි අහන් ඉන්නං. නැද්ද සර් නැද්ද මැඩම්. ”

රේණු ඒ වචන පැවසුවේ මිහිදිනී දෙස බලමිනි.

තෙන්නකෝන් යුවළ සිනාසෙමින් ආදරණීය ලෙස නිහඬ ව බලා සිටියා මිස එයට පිළිතුරු දීමට ගියේ නැත. නීලා මහත්මිය මුළුතැන් ගෙය දෙසට යාමට සැරසුණත් ගඟුල් දුටුවේ ඇය නැවත හුන් පුටුවේ ම හිඳුවා තරුණ ගුරු මෙණෙවියන් දෙදෙනා කුඩා දැරියන් දෙදෙනකු සේ මුළුතැන්ගෙය දෙසට දිව යන ආකාරය යි.

Thursday, February 10, 2022

68. සූම් සියොතුනි!

උදෑසන ඇහැරෙත්ම මතක් වේ නුඹ සැවොම
සූම් තිර ළඟට වී බලා ඉන්නා අරුම
එවන කෙටි පණිවිඩෙක තිබෙන ආදරෙ තරම
දකින විට  පිරී යයි හද බඳුන එක වරම


ඉංග්‍රීසිවලට දැන් ආදරේ බව කියන
දුකක් එන තැනකදී කතා කර දුක කියන
පාඩමත් ජීවිතෙත් කියවන්න වෙර දරන
සියොතුනේ ඔබ අසළ ජීවිතේ මට දැනෙන


නුදුරකදි සරසවියෙ දොරින් පිටතට ආව
මාත් පොඩි විහගෙක්මි තටු වැඩී නැත තාම
මුත් ඔබේ ඇස්වලින් පෙනෙද්දී මට මාව
මම මාව සොයාගමි දරුවනේ ඔබ ගාව

Tuesday, February 1, 2022

67. ගුරු දියවර නවකතාව - සත්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                සත්වන දියවර


                                        “කඳුළු අතරට සිනාරැළි වෙමි විඩාවට සෙවණක් වෙමි

                                         ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි ”

දයා ද අල්විස් ප්‍රවීණ ගේයපද රචිකාව විසින් ලියන ලදුව හෘදයහාරී ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා විසින් ගයනු ලබන සුන්දරාර්ථවාහී ගීතයට ගඟුල් සවන් දුන්නේ තමා සතු කුඩා ගුවන්විදුලි යන්ත්‍රයෙනි. මේ ගීතය අසද්දීත් ඔහුට සිහිපත් වන්නේ ආදරයේ කවියක් සේ දැනෙන අහිමි ව ගිය, ඒ ආදරණීය සහෘදයා ය. ඒ හා සමග ම සිතට නැඟෙන්නේ එක්තරා දේශනයක දී ආදරය යන වචනයේ සුගැඹුරු අරුත සරල ව කියා දුන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ය. 

“ආදරය කියන වචනෙ හැදෙන්නෙ 'වෙතට' කියන අර්ථෙ දෙන 'ආ' කියන අව්‍යපදය මුලින් යෙදිල තැකීම, සැලකීම, ගෞරව කිරීම කියන අර්ථවල යෙදෙන 'දෘ' ධාතුවෙන්. එහෙමනං අපට ආදරවන්තයා - ආදරවන්තිය කියල කියන්න පුළුවන්කම තියෙන්නෙ කෙනෙක් හරි, දෙයක් හරි තමන්ගෙ හදවතට ම අරන් තකන සලකන ගෞරව කරන කෙනාට යි.”

ගුරුවරයා විසින් කළ යුතු ව ඇත්තේ  ද තද් භූමිකාවේ සත්‍ය චරණය සිය ජීවිතයෙන් ම ප්‍රකාශයට පත් කිරීම මිස අන් දෙයක් නොවේ ය යන හැඟීම ගඟුල් තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. විදුහල්පතිතුමන් විසින් තෙන්නකෝන් ආචාර්යතුමන්ගේ අධීක්ෂණය යටතේ කරන්නැ යි පැවසූ, පාසල් භූමිය තුළ අර්ථකර ප්‍රකාශ ස්ථාපිත කිරීමේ කාර්යය ඉහත මෙහෙවර වෙත ගුරුවරයා කැඳවන - ගුරුවරයාට ම තම ගුරු මෙහෙවර සිහිපත් කොට දෙන සමාරම්භක පියවරක් කොට ගත නොහැකි ද?

යටකී හැඟුමින් හද පුරවා ගත් ගඟුල්, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ Stray Birds කෘතිය අතට ගත්තේ සුන්දර ප්‍රකාශ කිහිපයක් තෝරාගනු පිණිස ය. සදර්ථපූරිත කාව්‍යෝක්ති 326 කින් සමන්විත තත් කෘතියෙන් තෝරා ගත්  සුන්දර උද්ධෘත ද කලින් තෝරාගත් සුන්දර ප්‍රකාශ අතරට එක්කිරීමට පෙර යළි යළිත් කියවා බැලුවේ තෙන්නකෝන් මහාත්මාට පෙන්වීමට පෙර ඒවාට තමා කළ සිංහල පරිවර්තනවල නිරවද්‍යතාව තවදුරටත් තමා විසින් ම තහවුරු කොට ගැනීම සුදුසු යැයි හැඟුණු බැවිනි. ඒ උද්ධෘත අතර පහත සඳහන් ප්‍රකාශ ද්වය ද විය.

“වරෙක අපි සිහින දුටුවෙමු, අපි ආගන්තුකයන් යැයි සිතා. එහෙත් සිහිනයෙන් අවදි වූ පසු අපට අවබෝධ වූයේ අප තුළ ම අප එකිනෙකාට ඇති ආදරය යි.”

                                                 -----------------------------------

“කවුද මේ සැරසෙන්නේ මගේ මෙහෙවර ඉටු කිරීමට. ඇසුවා හිරු, මැටි පහනින්. 

හිමියනි, මම ඉටු කරමි, මට කළ හැකි දෙය. පැවසුවා මැටි පහන.”

“මල්ලි ඉක්මණට ලෑස්ති වෙලා මුළුතැන්ගෙට වරෙන්. අපේ ත්‍රිවිධ හමුදාව එතෙන්ට කඩා වදින්න කලින්. අම්ම ආප්ප හදනවා.”

ඒ වසන්ත අය්යා ය. ඔහු ත්‍රිවිධ හමුදාව යැයි කීවේ සිය සොයුරියන් දෙදෙනාට සහ බාල සොයුරාට ය.

ගඟුල් ඉක්මණින් සූදානම් වී මුළුතැන් ගෙය දෙසට යන විට වසන්ත කී ත්‍රිවිධ හමුදාව එතැන ආක්‍රමණය කොට තිබිණි.

“අම්මෙ ඔන්න මම පොලිසියෙනුත් අරන් ආවා. ඔක්කොට ම කලින් පොලිසියට සලකන්න වෙයි.” 

එතැනට ආ වසන්ත සිනාසෙමින් කීවේ ගඟුල් දෙසට අත දිගු කරමිනි.

“පොඩි පුතා ඔයා ගිහිල්ල ගඟුල් අය්යට පුටුවක් අරන් එන්න.”

“අනේ මට පුටු ඕන්නෑ අම්මෙ, මන් මේ ත්‍රිවිධ හමුදාව ඉඳගෙන ඉන්න බංකුවෙම කොණකින් වාඩි වෙන්නංකො.”

“එහෙනං ගඟුල් අය්යෙ, ඔයා අපේ නාවුක හමුදාපතිතුම යි පාබල හමුදාපතිනිය යි මැදින් වාඩි වෙන්නකො.”

“එතකොට චූටි නංගි ඔයා ද ගුවන් හමුදාපති?”

ඒ ගඟුල් ය.

“ඔව් අය්යෙ, මේ අපේ ලොකු අය්යා දීපු පත්වීම්නෙ.”

“ගඟුල් මන් ඕවා බොහොම ගැඹුරින් කල්පනා කරල දීපු පත්වීම්. මේ අපේ ලොකු නංගි ලොකු දුරක් උනත් පයින් යන්න කැමති ඒ වගෙම නිතර ම පොළොවෙ පය ගහගෙන ඉන්න කැමති කෙනෙක්. ඒක නිසා මන් එයාට පාබල හමුදාපතිකම දුන්නා.”

“ඒ කියන්නෙ ලොකු අය්යෙ අපි ඉන්නෙ පොළොවෙ පය ගහගෙන නෙමෙයි. ඔයාගෙ ලොකු නංගි විතර යි මහ පොළොවෙ ඉන්නෙ. අපි එතකොට අහසෙ ඉන්න අය ද?”

බාල දියණිය එසේ පැවසුවේ නෝක්කාඩු ස්වරයෙනි.

“වරදවා තේරුම් නොගන්න මගේ බාල සොයුරිය, ඔබතුමිය වූ කලී අමුතු අමුතු සංකල්පනා ඉදිරිපත් කරන, බොහෝ වෙලාවට අහසේ මාලිගා තැනීමට දන්නා මගේ බුද්ධිමත් සහෝදරිය යි. ගුවන් හමුදාපති තනතුරට මේ නිවසෙහි මෙතුමිය තරම් සුදුසු වෙනත් කෙනෙකු ගැන මම නම් නොදනිමි.”

“එතකොට වසන්ත අය්යේ මේ පොඩි මල්ලිට නාවුක හමුදාපතිකම දෙනකොට බලපු සුදුසුකං මොනව ද?”

එසේ විමසුවේ ගඟුල් ය.

“මේ තමයි අපේ දියකාවා. වැවෙන් පටන් ගත්ත ගමන මුහුදෙන් තමයි මෙයා නතර කළේ. ඉතින් එහෙව් මෙයාට නොදී වෙන කාට දෙන්න ද නාවුක හමුදාපතිකම?”

“ඒ උනාට ගඟුල් අය්යෙ මේ ඔක්කොම හමුදාපතිලා පාලනය කරන ලොකු ම නිල නොලත් සේනාධිනායකයා තමයි අපේ මේ ලොකු අය්යා.”

එසේ පැවසුවේ මෙතෙක් කිසි අදහසක් පළ නොකළ පවුලේ දෙවන දියණිය යි.

“මේ මන් මේ හමුදාපතිල ඔක්කොට ම කියන්නෙ ඔය කතා නවත්තල අය්යල දෙන්නට කන්න දෙන්න කියල යි. මොක ද නැත්තං මේ දෙන්නට ම දෙන්නගෙ ඉස්කෝල දෙකට යන්න වෙන්නේ ඉස්කෝල ඇරෙන වෙලාවට තමයි.”

සහෘදය සංවාචනා සහිත සංසිද්ධීන්ගෙන් සමුපේත ව ඇරඹි දවසේ ප්‍රසන්නතාව හදවතෙහි දරා ගනිමිනි, ගඟුල් පාසලට යෑම සඳහා වසන්ත සොහොයුරා සමග ගෙදරින් පිටත් වූයේ. නාගොල්ලාගම පාසල අසලින් ගඟුල් බැස්වූ වසන්ත, සිය පාසල බලා පිටත් වූයේ මෙසේ පවසමිනි.

“මල්ලි අද මං එනකොට වෙනදට වටා පැය භාගයක් විතර ප්‍රමාද වේවි. උඹ මල්ලි මන් එනකං හිටපන් හොඳ ද?”

“හොඳයි වසන්ත අය්යේ ඔයා පරිස්සමින් ගිහින් එන්නකො.”

එසේ පවසා ගඟුල් පාසලෙහි ප්‍රවේශ මාවතට පිළිපන්නේ ය.නිල් කලිසම සහ සුදු කමිසය සහිත නිල ඇඳුමින් සැරසුණු ශිෂ්‍යයෝ ද සුදෝ සුදු පාසල් ගවුමින් සැරසුණු ශිෂ්‍යාවෝ ද ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙක් ද ඒ මාවතෙහි ගමන් කරති. ඔවුන් කරන - කියන දේවල් ගඟුල්ට පෙනෙයි, ඇසෙයි. ඒවා දකිමින් ද අසමින් ද ග්‍රහණය කොට ගනිමින් ද ඔහු කාර්යාලය දෙසට ගමන් කෙළේ ය.

“අර තමයි අලුත් සර්. බැලූ බැල්මට නං අහිංසක පාට යි.” 

ඒ ලොකු පන්තියක දැරියකගේ කටහඬ යි. 

“ඒ කියන්නෙ ඒ සර් අහිංසක නොවෙන්නත් පුළුවන්.”

ඒ තවත් දැරියකි.

“ඕ ගොල්ලන්ට මතක නැද්ද ඊයේ ලොකු සර් අපේ පන්තියට ආපු වෙලාවෙ කියපු කතාවක්.”

එක් දැරියක් එසේ කියද්දී එයට මෙසේ පිළිතුරු දුන්නේ වැඩිහිටි ශිෂ්‍යයෙකි.

“ලොකු සර් කොච්චරක් නං කතා කියනව ද? උඹ ඔය කියන්නෙ එයාගෙ කොයි කතාව ද?” 

“අනේ අනේ විසල් ඔයා ඔය එයා මෙයා කියන්නෙ ලොකු සර්ට ද? අනේ මන්දා විසල් ඔයා කවදා හැදෙයි ද කියලා.”

“ආ හරි හරි ඕගොල්ලො හැදෙන්නකො. අපි ඉතින් කවදාවත් හදන්න බැරි අසමජ්ජාති අශීලාචාර හිතුවක්කාරයො කියල ගොඩක් ගුරුවරුන්ගෙනුත් ගරු සම්මාන ලබලා ඉන්න අයනෙ.”

“ඒක එහෙමනං වෙලා තියෙන්නෙ, ඒ ගුරුවරුන්ගෙ ඒ ආකල්පෙ වෙනස් වෙන විදිහට වැඩ කරන්නත් ඕන ඕගොල්ලො ම තමයි විසල්.”

“හරි හරි විදසි මැතිනිය, මං ඔබතුමිය කියපු විදිහට වැඩ කරන්න උත්සාහ කරන්නංකො. මොක ද මේකෙ ඉන්න සමහර ගුරුවරුන්ට වඩා ගෞරවයක්, ආදරයක් ඔබතුමිය ගැන අපිට තියෙන හින්දා. දැන් ඔබතුමිය කරුණාකරල අපට කියනව ද අර ලොකු සර් කියපු කතාව මොකක් ද කියලා.”

“ලොකු සර් කිව්වෙ මනුස්සයෙක් දැකපු ගමන් එයා හොඳ ද නරක ද කියල තීරණය කරන්න හදිස්සි වෙන් නැතිව කාලයට ඉඩ දෙන්න කියලා.” 

“හා එහෙම ද එහෙනං ගරු කටයුතු සම්භාවනීය මගේ මිතුරනි මිතුරියනි, ලොකු සර්ට කරන ගෞරවයක් වශයෙනුත් පිවිතුරු හදවතක් ඇති අපේ ආදරණීය විදසි සහෝදරියට කරන උපහාරයක් වශයෙනුත් ඒ අදහසට ගරු කරමු.”

“උඹ විසල්, අපේ විදසිට ගැළපෙන ම විශේෂණ පදය දැම්මා. මේ කෙල්ලට තියෙන්නෙ පිවිතුරු ම හදවතක් තමයි.”

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක් පසුපසින් ගමන් කරන ගඟුල්ට ඔවුන්ගේ මේ කතාබහ පැහැදිලි ව ම ඇසෙයි. ඔහු මෙය සැලකුවේ මේ වූකලී මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත කියවීමට තමාට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස ය. මේ සියලු ජීවිත පවතිනවාට වඩා උසස් කිරීම උදෙසා ගුරුවරයකු ලෙස කළයුතු මෙහෙවර ගැන සිතමිනි, ගඟුල් කාර්යාලයට ඇතුළු වූයේ.

“ආ මේ අපේ ගඟුල් සර්නෙ. සුබ දවසක් වේවා ගඟුල්.”

එසේ ඔහු පිළිගත්තේ ගුණවර්ධන මහතා ය.

“ගුඩ් මෝනින් ගඟුල් සර්.”

ඒ නිමිමි ය.

“සුබ උදෑසනක් ගුණවර්ධන සර්. ගුඩ් මෝනින් නිම්මි.” 

ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගනිමින් ගඟුල් දෙදෙනාට ම එක්වර ප්‍රතිචාර දැක්වීය.

“ලොකු සර් අද උදෙන් ම කලාපෙට ගියා. මට කිව්වා ගඟුල් මහත්තයා ආවහ ම තෙන්නකෝන් සර්ව හම්බ වෙන්න කියන්න කියලා. තෙන්නකෝන් මහත්තයත් කියලා ගියේ, ගඟුල් මහත්තය ආවහම කියන්න කියලා. සර්ට අද දවසෙ තුන්වෙනි පීරියඩ් එක ඕප් කියලා සර් කිව්වා.”

“හොඳයි ගුණවර්ධන සර්, මට තවම ඉස්තිර කාල සටහනක් දීල නැති නිසා පුළුවන් ඒ වෙලාවට සර් ව හම්බ වෙන්න යන්න. සර් මට කියනව ද තෙන්නකෝන් සර් දෙවෙනි කාල පරිච්ඡේදෙ වැඩ කරන්නෙ කොහෙ ද කියලා?” 

“ඔහොම ඉන්න ගඟුල් සර්. මන් මේජර් ටයිම් ටේබල් එක බලල ම කියන්නං. හරි තෙන්නකෝන් සර් දෙවෙනි පීරියඩ් එකේ දි ඉන්නෙ උසස් පෙළ කලා බී පන්තියෙ. ඒ පීරියඩ් එක ඉවර වෙන වෙලාව අල්ලල ගඟුල් සර් යන්නකො එතෙන්ට.” 

තාවකාලික කාල සටහනට අනුව ගඟුල්ට පළමු පරිච්ඡේදයේ ඉගැන්වීමට තිබුණේ සත්වන පන්තියට යි. පළමු ව ඒ දරු දැරියන්ගේ නම් දෙමාපියන්ගේ රැකියාවන් ආදි විස්තර විමසා, ඔවුනට රස වින්දනය හා බැඳුණු සරල පාඩමක් ද කෙළේ එදරු මනසට ගැළපෙන හාස්‍යෝත්පාදක කතා ද සිය පාඩමට එක්කොට ගනිමිනි. අවසන ගඟුල් පන්තියෙන් නික්ම ගියේ ඒ පන්තියට ඇතුළු වූ ආගන්තුක ගුරුවරයා ලෙස නොව ඔවුන්ගේ සමීපතම මිතුරකු ලෙස ය.

“සර් හෙටත් අපේ පන්තියට එන්න.” 

“සර් අපට හෙටත් කතාවක් කියන්න.” 

“සර් මන් හෙට සර්ට වෙරළු ගේන්නං.” 

“ආයුබෝවන් සර්”  

එක් කටහඬක් පරයා නැඟෙන ඒ සියලු කටහඬවල රැඳි ආදරය හඳුනාගත් ගඟුල්, මේ පන්තියෙන් නික්ම තෙන්නකෝන් මහතා හමුවීමට ගියේ සුන්දර උද්ධෘත අතරට එක්කළ යුතු තවත් තාගෝර් ප්‍රකාශයක් මෙසේ සිය හද සටහනෙහි ලියා ගනිමිනි. 

“ආදරණීය මිහිකත, මම ආගන්තුකයකු ලෙස ඔබේ දොරකඩට පැමිණියෙමි. අමුත්තකු ලෙස ඔබේ නිවහනෙහි රැඳී හුන්නෙමි. මිතුරකු ලෙස ඔබ අතැර යන්නෙමි.”  

තාගෝර් මෙම ප්‍රකාශය තුළ භාවිත කොට තිබූ Stranger, Guest and Friend යන වචන ත්‍රයෙන් ධ්වනිත වන අර්ථ ගැන ගඟුල් කල්පනා කෙළේ ය. Stranger යන වචනය සඳහා භාවිත කළයුතු හොඳම වචනය ලෙස ගඟුල්ට දැනෙන්නේ ආගන්තුකයා යන්න යි. ඔහුට හැම දෙයක් ම නුහුරු ය. ඔහුට තමා පය ගසා සිටින මහ පොළොව ද ආගන්තුක ය. ඒ හඳුනා ගැනීමෙහි ලා වුවමනාවක් ද නැති බැවින් එබඳු චරිතයක් උදෙසා නාඳුනන්නා යන යෙදුම ද සුදුසු ය. 

Guest යනු අමුත්තා ය. ආරාධිතයා ය. එබඳු චරිතයක් ගෙදර වේවා, ආයතනයෙහි වේවා, ජීවත් වන්නේ ද මේ මහ පොළොවෙහි ඇවිද යන්නේ ද එක්තරා ගරු ගාම්භීර භාවයකින් යුතු ව ය. එහෙත් මිතුරා එසේ නොවේ. සිත් නොරිදවෙන ලෙස කටයුතු කිරීමට දන්නා ඔහු මේ මහ පොළොව මත ඇවිද යන්නේ ද පොළොවට නොරිදවෙන ලෙස ය. හරි හෝ වැරදි වේවා මේ යටකී වචන ගැන ගඟුල් සිතන හැටි ය.

තමා මේ නාගොල්ලාගමට හෝ මේ පාසලට හෝ ආගන්තුකයකු විය යුතු නැත. එසේ ම අමුත්තකු ද විය යුතු නැත. මේ මොහොතේත් ඔහුගේ සිහියට නැඟුණේ මේ මහ පොළොවට මෙන් ම තමා ඇසුරු කළ කිසිදු චරිතයකට කිසි විටෙකත් ආගන්තුකයකු නොවූ ඒ ආදරණීය සහෘදයා ය. මේ සුපහන් සිතිවිලි හද ගැබ නිදන් කොට ගනිමින් ගඟුල්" මේ මොහොතේ තෙන්නකෝන් මහතා සිටින පන්ති කාමරය දෙසට පියමං කෙළේ ය.

තෙන්නකෝන් මහතා සිය ශිෂ්‍යයනට උගන්වන පාඩමට ගඟුල් ද සවන් දුන්නේ ය.

ඉතිහාසය කියන වචනෙ හැදෙන්නෙ මෙසේ කියන අර්ථ දෙන ඉති කියන නිපාතයයි, යමක් අවධාරණය කරන කොට යොදන නිපාතයයි වීම කියන කියන අර්ථය දෙන අස් ධාතුවයි එකතු වෙලා. ඇත්තටම ආස කියන්නෙ වූයේ ය, ඒ කියන්නෙ වෙලා ඉවරයි කියන තේරුම දෙන අවසාන ක්‍රියාවක්. මෙහෙම බැලුවහම මෙය මෙසේ මයි සිදු උනේ කියන තේරුම තමා මේකෙ තියෙන්නෙ. තවදුරටත් වෙච්ච ඇත්තම කියනව මිස අපේ රුචි අරුචිකම් අනුව සිද්ධ වෙච්ච දේවල් විකෘති කරන්න අපට අයිතියක් නැහැ.” 

ගඟුල් හොඳින් සවන් දුන්නේ ය. මේ ප්‍රකාශය සිය ජීවිතයේ අවස්ථා දෙකක දී අසා ඇති එකකි. එය පළමුවෙන් ඇසුවේ තමා කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ සිසුවකු ලෙස ඉගෙන ගනිද්දී ඔවුනට ඉතිහාසය ඉගැන්වූ එම්.කේ. දයාරත්න ඇදුරුතුමන් වෙතිනි. එවක ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් ලියන ලද සිතිවිලි පොත්  කියවීම වෙත තමා පමණක් නොව සිය පන්තියේ සිටි මිතුරු මිතුරියන් ද යොමු කෙළේ ඒ ගුරුවරයා ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොළඹ ආ විට අදිකාරම් මහතා එවක ජීවත් වූ කෝට්ටේ නිවසට ගොස් එතුමා හමු වී යම් යම් දේ සාකච්ඡා කිරීම පුරුද්දක් කොට ගෙන තිබිණ.

දෙවනු ව මේ ප්‍රකාශය අසන්නට ලැබුණේ අන් කිසිවකුගෙන් නොව ආචාර්ය අදිකාරම් මහතා වෙතිනි. තමා සිය ප්‍රථම වර්ෂයේ දී ඉතිහාසය ද විෂයයක් වශයෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බව කිී විට අදිකාරම් මහතා ඉහත සඳහන් ඉතිහාස නිරුක්තිය ද කියා තවදුරටත් පැවසුවේ ඉතිහාසය ශාපයක් නොව ලෝකයට ආශිර්වාදයක් වන ලෙස ඉගෙන ගන්නා ලෙස යි.

එසේ නම් තෙන්නකෝන් මහතා යනු තමා ද අයත් වන එක ම ප්‍රවාහයක කොටසක් ද? 

ගඟුල් තවදුරටත් තෙන්නකෝන් මහතාට සවන් දුන්නේ ය.

“මේ දුවල පුතාල තේරුම් ගන්න ඕනෙ ඉතිහාසය කියන්නෙ අතීතයෙ වෙච්ච සිදුවීම් මාලාවක් පමණක් නොවන බව. ඒක තේරුම් ගන්න මම ඔය දරුවන්ට එක කාරණයක් කියන්නං. මන් ඕක දැන ගත්තෙ කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහත්තයගෙ පොතකින්. ඒ මහත්තය ලියපු කියපු හැම දෙයක් සම්බන්ධයෙන් ම මට එකග වෙන්න පුළුවන්කමක් නැහැ. ඒත් එතුමා තමන්ගෙ මැදිවියේ දි මහ වටින කියන පොත් පත් ලේඛන රාශියක් සමාජයට දායාද කළා. ඒ අතරින් කැපිල පේන පොත් අතරට හෙළ ඉතිහාසය  හා මහාවංස දෘෂ්ටිය කියන පොතත් පියදාස සිරිසේන මහත්තයගෙ පොත් හොඳට අධ්‍යයනය කරල එතුමා මැරෙන්න ඉස්සෙල්ල අපේ සමාජයට ඉතිරි කරල ගිය පොතත් එකතු කරන්න පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ වැඩ කරන සහන් මහත්තය අපි එක්ක කියපු වැදගත් කාරණයක් මට මතකයි. ඒ සර් නූතන මහවංසය ලියන ලේඛක මණ්ඩලයටත් සම්බන්ධ කෙනෙක්. දවසක් ප්‍රනන්ද මහත්තය සහන් සර්ට කිව්වලු සර්ල මහවංසෙ නවත්තපු තැන ඉඳල ලියන අය නේද? මේ ඓතිහාසික වටින වැඩේ දි කොයිම මොහොතකවත් මහානාම හාමුදුුරුවන්ගෙ ලේඛන දෘෂ්ටිය අමතක කරන්න එපා කියල.” 

“සර් අපේ සමහර උගත්තු කියනව නේද මහවංසෙ ලියපු මහානාම හාමුදුරුවො උග්‍ර ජාතිවාදියෙක් කියල.” 

මෙසේ ප්‍රශ්න කළේ ඒ පන්තියේ සිටි එක් ශිෂ්‍යයෙකි.

“කාලයක් පුතා මමත් හිටියෙ ඔය මෝඩ අදහසේ තමා. ඒත් මොලේ පෑදෙන කොට මෝඩ කල්පනාවලට ඉඩක් නැතුව යනවා.” 

“එතකොට සර් කියන අදහස්වලට අනුව මහවංසෙ කියල කියන්නෙ සමකාලීන දේශපාලන දර්ශන උනත් ඇතුළත් පොතක් ද?” 

ඒ තවත් ශිෂ්‍යයෙකි.

“ඔව් පුතා, ඔයා හරිම වැදගත් ප්‍රශ්නයක් ඇහැව්වෙ. ඒ ප්‍රශ්නෙ එක්කත් මට මතක් උනේ ප්‍රනන්ද මහත්තය කියපු කතාවක්. මහවංසෙ පැරණි සංස්කරණෙක තියෙන කාරණයක් මේක. අපි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ අහවල් අවුරුද්දෙ ඉඳලා අහවල් අවුරුද්ද වෙනකං හිටියෙ අහවල් රජ්ජුරුවො මේ ආදි වශයෙන් කියන එකට යි ඉතිහාසෙ කියන්නෙ කියලා. ඒත් ඒක නෙමෙයි ඉතිහාසෙ කියන්නෙ, ඊට වඩා ගැඹුරු දෙයක්. උදාහරණයක් විදිහට ප්‍රනන්ද මහත්තය මතු කරන 6 වෙනි අග්බෝ රජ්ජුරුවන්ගෙ දේශපාලන දර්ශනය ගන්න පුළුවන්. මේ රජ්ජුරුවො තමන්ගෙ රාජ්‍ය කාලය තුළ සිද්ධ නොවෙන්න ඕන කාරණා තුනක් අවධාරණය කරලා තියෙනවා. ඒ තමයි අස්ථාන ආයෝජනය, සාවද්‍ය පරිභෝජනය ඒ වගෙම අයෝග්‍ය සංග්‍රහ.”

“ඉතිහාසෙ ඉගෙන ගන්න අපි නොහිතනම පැත්තක්නෙ සර් මේ කියන්නෙ.”  

ඒ ශිෂ්‍යාවකි.

“මේ කාරණා තුන නිස යි රටක් විතරයි නෙමේ ගමක් ගෙදරක් උනත් විනාස වෙන්නෙ. කාට ද කියන්න පුළුවන් මේ කාරණා තුන දිහා බලල අපට මතු කරගන්න පුළුවන් වැදගත් කාරණා තුනක්.” 

පන්තිය පුරා පැතිර තිබුණේ පූර්ණ නිහඬතාවකි. ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ තවත් ශිෂ්‍යයෙකි.

“සර් මන් හිතන දේ වැරදි ද දන්නෙ නැහැ. ඒත් මට මෙහෙම හිතෙනවා.”  

“ඔව් කියන්න පුතා හරි යන්න වරදින්න හරි.”  

“සර් මෙතන අග්බෝ රජතුමා කියනවනෙ තමන්ගෙ රටේ නොකළ යුතු කාරණා තුනක්. ඒකෙන් කියවෙනවනෙ රටක කරන්න ඕන කාරණා තුනත්.”  

“ඔව් සවිරු කියන්න බලන්න ඔයා දකින ඒ කාරණා තුන.”  

“මට හිතෙනවා සර් අස්ථාන ආයෝජනය කියන්නෙ රටකට ගෙන්නන්න ඕනෙ නැති දේවල්වලට මුදල් යොදවන්න එපා කියන එක නං ඒකෙන් ම කියවෙනවා ස්ථානීය ආයෝජනය. ඒ කියන්නෙ යොදවන්න ඕන අර්ථවත් දෙයට මුදල් යෙදවිය යුතු යි කියන පණිවිඩය. ඒ වගෙම සර්, අපිට මේ දෙවෙනි කාරණේ සාවද්‍ය පරිභෝජනය එපා කියන කොට ම අඟවනවා නේද අපි කරන්න ඕන නිරවද්‍ය පරිභෝජනය - නිවැරදි දේවල් ම යි භාවිතයට ගත යුත්තේ කියන පණිවිඩය. අන්තිම කාරණෙනුත් ඒ කිව්වෙ අයෝග්‍ය සංග්‍රහ එපා කියන කොටත් කියවෙන්නෙ යෝග්‍ය සංග්‍රහ කළ යුතු යි කියන එකනෙ. අනේ සර් මට සමාවෙන්න මං මේ පණ්ඩිත කතාවක් කිව්වනං. මට සර් අර වැදගත් කාරණා තුන මතු කළා ම මට දැනිච්ච දේවලු යි මන් කිව්වෙ.”  

“මට හරි සන්තෝස යි පුතා මන් වත් නොහිතපු දුරකට  උඹ මේ කාරණේ අරගෙන ගියා. මේ අනික් දුවල පුතාලටත් සතුටු වෙන්න පුළුවන් තමන්ගෙ ම සහෝදර ශිෂ්‍යයෙක් ගුරුවරයා දුන්නු කාරණා ළඟ විතරක් නතර වෙන්නෙ නැතුව ඒවා ගැඹුරුම තැනකට අරන් ගිය එක ගැන.”

“සර් අපටත් අනාගතේ දවසකදි කියන්න පුළුවන් වේවි නේද අහවල් විශ්වවිද්‍යාලෙ ඉතිහාස මහාචාර්ය සවිරු කියන්නෙ අපේ පන්තියෙ අපිත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් කියලා.” 

මේ වදන් පැවසුවේ සවිරුගේ ළඟින් ම හිඳ සිටි චතුර ය.

“හොඳ ප්‍රාර්ථනාවක්. අපි ඔක්කොම ඒක යථාර්ථයක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගෙම සවිරු තමන්ගෙ යාළුවන්ගෙ ඉදිරි ගමනට ආශිර්වාද කරන චතුරල වගේ යාළුවන්වත් කවදාවත් අමතක කරන්න එපා. ඔයා මහාචාර්ය කෙනෙක් වෙනව වගේ ම වැදගත් දෙයක් ඒකත්. සවිරු ඇතුළු මේ ඔක්කොම තමයි මේ රටේ අනාගත පුරවැසියො පුරවැසිනියො වෙන්නෙ. මේ දුවල පුතාල මොන තනතුරක් දැරුවත් නැතත් රටට ලෝකයට පරිසරයට ජීවිතවලට ආදරේ කරන හොඳ මිනිස්සු ගැහැණු වෙන්න. එදාට අපි හිටියත් නැතත් ගුරුවරුන් හැටියට අද අපි කරන ආශිර්වාදෙ තියෙනවා.”

“අනේ සර් අපිට ඒ ආශිර්වාදෙ විතරක් මදි. සර් අපේ ආයුෂත් අරගෙන අපිටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ.”

හැඟීම්බර ව මේ අදහස ප්‍රකාශ කෙළේ පන්තියේ දඩබ්බර ම ශිෂ්‍යයා ලෙස ප්‍රසිද්ධ ව සිටින සුරාජ් ය.

පන්තියේ වැඩ නිමා කොට පිට ව යෑමට සැරසෙන මොහොතේ ය, තෙන්නකෝන් මහතා ගඟුල් දුටුවේ.

“ආ ගඟුල් සර්, මමත් ඔයා හම්බ වෙන්න ම කියල හිටියෙ. ලොකු සර් අපට වැඩක් බාර දීල තියෙනවනෙ කරන්න. ඔයාට විස්තර කියන්න ඇතිනෙ සර්. මන් මිහිදිනීටත් පණිවිඩයක් යැව්ව.”

“සර් මට දැන් උනත් ඉඩ තියෙනව. සර්ට කොහොම ද දන්නෙ නැහැ.”

“මෙහෙම යි ගඟුල් මේ දවස් ටිකේ ඉඩ ලැබෙන වෙලාවල් ටිකේ අතුල සර්ට පොඩ්ඩක් උදව් කරන්න තියෙනවා. ඔයාට පුළුවන් ද මේ ඉරිදා හවස අපේ ගෙදරට එන්න.”

“අපොයි පුළුවන් සර්. මන් හරි කැමැත්තෙන් ම එන්නං. ලබන සති අන්තෙ නං මන් ගෙදර යන්න යි හිතන් ඉන්නෙ. මේ ඉරිදා හවස මන් එන්නං සර්. මට පාර කියන්නකො සර්.”

“පළුගස්වැව පැත්තෙන් කඩහත වැව පැත්තට යන පොඩි පාරෙ එන්න. වැව අයිනට මායිං වෙල යි අපේ ගේ තියෙන්නෙ. වට පිටාවෙ ම ඉන්නෙ ඉස්කෝලෙ ළමයි. ඔය කාගෙන් ඇහැව්වත් ගෙදෙට්ට පාර කියාවි. අපේ මිහිදිනී ඉන්නෙත් අපේ ගෙදරට පයින් එන්න පුළුවන් දුරක. ඒ ළමයටත් මන් අදම පණිඩිඩයක් අරින්නං ඉරිදට එන්න කියල..”

“හොඳයි සර් එහෙනං මන් ඉරිදට එන්නං. ඒ වගෙම සර් මම මේ දරුවන්ට අද උගන්නපු දේවල් ඈතට වෙලා අහගෙන හිටියා. සර් අග්බෝ රජතුමාගෙ දේශපාලන දර්ශනය ගැන කියපු දේවල් ගොඩක් ම මගෙ හිතට වැදුණා. ඒක සර් අපේ පාර්ලිමේන්තුව ඉස්සරහ යි හැම අමාත්‍යංශෙකම ඉස්සරහ යි ගහන්න වටින ප්‍රකාශයක්..”

“නෑ ගඟුල් අපි ඔක්කොට ම ඉස්සෙල්ල මේ අදහස් දෙන්න ඕනෙ අපේ ඉස්කෝලවල දරුවන්ට. මොකද කවද හරි ඔය තැන්වලට යන්නෙත් කොහේ හරි ඉස්කෝලවලට ගිය ළමයිනෙ.”

“ඒකත් ඇත්ත සර්. එහෙනං අපි ඉරිදට ම හම්බ වෙලා විස්තර කතා කරමු.”

තෙන්නකෝන් මහතාගෙන් සමුගත් ගඟුල් එදින තමාට පැවරී තිබූ වැඩ අවසන් කොට වසන්ත අය්යාට දුරකතන පණිඩිඩයක් දුන්නේ ඔහුගේ වැඩ විවේකී ව සිදුකොට ගන්නා ලෙස යි. එසේ මග දෙපස බලමින් විඳිමින් අද දවසේ ගෙදරට පා ගමනින් ම යාමට ඇති කැමැත්ත ද ඔහු පවසා සිටියේ ය.

“හරි හරි මල්ලි පලයන්. සැලළිහිණි සන්දේසේ සැලළිහිණිය වගේ ගිරා සන්දේසෙ ගිරව වගේ හංස සන්දේසෙ හංසයා වගේ මග සිරි බලමින් පලයන්. හැබැයි වැවක් දැක්කහම එතන ගොඩක් වෙලා නතර වෙලා ඉන්නැතුව ගෙදර පලයන් හොඳේ. නැත්තං අපේ අම්මගෙන් කෙළින් ම දෝස්මුරේ එන්නෙ මට තමයි, ඒ දරුව ගෙදරට දාන්නෙ නැතුව එහෙ මෙහෙ ඇවිදින්න යනව කියල.”

ඒ වසන්ත ගඟුල්ගේ ඇමතුමට ලබා දුන් පිළිතුර යි.

නිවෙසට විත් දිවා ආහාරය ගත් ගඟුල් යහනෙහි මඳක් ඇලවුණේ කෙටි නින්දක් සඳහා ය. කෙටි නින්ද දිගු නින්දක් ව ඔහු අවදි වන විට සැඩ හිරු කිරණ මුදු හිරු කිරණ බවට පරිවර්තනය වී තිබිණි. ඒ වනවිට වසන්ත ද නිවහනට පැමිණ සිටියේ ය.

“වරෙන් මල්ලි යන්න වැව පැත්තට. ටිකක් වෙලා වැව ළඟ ඉඳල නාගෙන ම එමු.” 

උද්ධෘත ගැනීම සඳහා අවශ්‍ය වේ යැයි හැඟුණු ලේඛන කිහිපයක් ද සියතට ගත් ගඟුල්, වසන්ත අය්යා සමග වැව දෙසට ගමන් කෙළේ ය. ඒ යන අතරමග තමා අද දවසේ කළ කී දේ මෙන් ම පාසලින් උකහාගත් දේ පිළිබඳ වත් සිය සහෘදයා දැනුවත් කෙළේ ය. ඒ සියල්ලට ම සවන් දෙමින් නිහඬ ව ම ඉදිරියට ගමන් කළ වසන්ත, වැව් තෙර විසල් තුරක් යට නැවතුණේ ය. අනතුරුව එවිසල් තුරු සෙවණෙහි හිඳගත් වසන්ත, සිය තුරුණු ගුරු සහෘදයාට ද ඒ සෙවණෙහි ම හිඳ ගන්නා මෙන් දැන්වීය. එතැන හිඳ මඳ වේලාවක් නිහඬ ව සිටි ගඟුල්, කිසියම් සටහනක් සිය දෝතට ගත්තේ තමා සමීපයේ හිඳ සිටින, තමාට වඩා වැඩි කලක් ඒ ආදරණීය සහෘදයාගේ සදැසුර ලැබීමට භාග්‍යවන්ත වූ කලණ මිතුරාට ඇසෙන සේ එය කියවීම සඳහා ය.

“පැරකුම් සමුදුර කියන්නෙ මහා සාගරය වගේ බොහෝ දේ පුලතිසි ජනතාවට ලබාදෙන මහාර්ඝ වස්තුවක්. ජලය පමණක් නෙවෙයි හේනට, කුඹුරට අවශ්‍ය පෝෂණය, මිනිසුන්ගේ කුසගින්නට උවමනා සියලු දේ ලබා දෙමින් ආර්ථිකය ශක්තිමත් කරන මහා වාපියක්.

මේ සියල්ලම එකින් එක ගෙන වෙන් වෙන් වශයෙන් බෙදල වෙන් කරල බලන්නෙ අපේ පහසුවට. ඒ උනාට මේ ඔක්කොම එකතු කරල බැලුවොත් අවුරුදු ගාණක් තිස්සෙ කියවලාවත් ඉවර කරගන්න බැරි අපූරු චිත්‍රයක් ඒකෙ ගැබ්වෙලා තියෙනව රංජිත්. අන්න ඒ චිත්‍රය හරියට කියෙව්වොත් මේ විශ්වයේ රටාව තේරුම් ගන්න පුළුවන්.” 

මේ ඉර බැස යන මොහොතේ තමා සමග ම වැව් ඉවුරේ හිඳ සිටින වසන්ත අය්යාට පොළොන්නරුව පළුගස්දමන සේවාමුක්ත විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන සිය චිරකාලීන මිතුරකු වන රංජිත් කරන්නාගොඩ විසින් එවන ලද ලිපියේ අන්තර්ගත ඉහත සඳහන් ප්‍රකාශය යළිත් වරක් කියැවීය.

“වසන්ත අයියෙ, ඉස්සර රංජිත්ල ඉඩක් ලැබිච්ච ගමන් සමන් අයියලගෙ නවාතැනට යනවලු. සමහර දවසකදි සමන් අය්යා මේ ගොල්ලොත් එක්කම පරාක්‍රම සමුද්‍රෙ ගාවට එනවලු. ඒ හැම දවසකදි ම එයාගෙන් ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල ප්‍රමාණ කරන්න බැහැ කියලයි රංජිත් කිව්වෙ. ඔය සමන් අයියගෙ මරණයෙන් පස්සෙ රංජිත් මට එවපු දිග ලියුමක තිබිච්ච කොටසක්. මන් ඒක ඒ දවස්වල ම මගෙ දිනපොතෙත් ලියල තියා ගත්ත.” 

“අපිට කවුද මල්ලි මේ නැති උනේ?”  

වසන්ත මේ වචන කිහිපය පැවසුවේ වැව දෙස බලා දිගු සුසුමක් පිට කරමිනි.

“ජීවිතයේ සමහර හිස්තැන් තියෙනව වසන්තයියේ පුරවන්න බැරි. සමන් අය්යා කියන්නෙ එහෙම හිස්තැනක්.” 

“ඒ උනාට මල්ලි අපි කරන්නම ඕන දෙයක් තියෙනව. ඒ තමයි අහිමි වෙලා ගියේ ලෝකයට ඉතාම අර්ථවත් දේවල් කළ චරිතයක් නං අපට පුළුවන් විදිහට ඒ වැඩ ඉස්සරහට කරගෙන යන එක. ඒ වෙනුවෙන් අපේ කයයි මනසයි දෙකම යොදවන එක. හැබැයි මං ඕක ඉගෙන ගත්තෙත් සමන්ගෙන් ම තමයි.”

“ඒක ඇත්ත වසන්තයියෙ. සමන් අය්ය ගුරුවරයෙක් විදිහට අපිට හිතන්න බැරි තරමේ වැඩ කොටසක් කළා. අපි දෙන්නම ගුරුවරු. ඒ තරමට ම නොවුණත් ඇයි අපට බැරි අපේ තරමට ප්‍රමාණවත් වැඩ කොටසක් කරන්න.”

“උඹ හරි මල්ලි ඒක තමයි සමන්ට කරන්න පුළුවන් හොඳම ගෞරවේ වෙන්නෙත්. එයා කවදාවත් කාගෙන්වත් ගෞරවයක් ලාභයක් බලාපොරොත්තු උන චරිතයක් නෙමෙයි. එයා හරියට සුළඟක් වගෙයි. සුළඟ සුවය ගෙනදිදී හමා යනවා. හැබැයි කිසි වෙලාවක සුවය දුන්නෙ මමයි කියල කියන්නෙ නැහැ.”

“ඔයා එහෙම කිව්වහම මට මතක් උනේ සහන් සර් ලියපු කවියක්. ඒ කවිය වගේ ම තවත් කවි ගොඩක් ලියැවුණා සර්ගෙ අතින් අනුරාධපුරේ දි. එතකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. සර් අපිට එයා ලියපු කවි බලන්න දෙනවා. සාමාන්‍යයෙන් හිතට වදින කවියක් සැරයක් දෙකක් කියවද්දි මට මතක හිටිනව. ඒ කවියත් එහෙමයි.”

“ඉතිං මල්ලි උඹ සාහිත්‍යකාරයනෙ. හොඳ කවියක, ගීතයක, පොතක දැනෙන තැන් මතක හිටින්නැති මිනිහෙකුට කවදාවත් හොඳ සාහිත්‍යකාරයෙක් වෙන්න බෑ මල්ලි. උඹට මතක ද මල්ලි ඒ සුළඟේ කවිය.”

“මතක යි වසන්තයියෙ මතක යි. ඒක මෙහෙම යි තියෙන්නෙ.”

                            සුවය ගෙනදිදී මුදු සුළග නොරැඳී                හමයි

                            නොරැඳ හමනා සුළඟ ලොවට සිසිලස         සදයි

                            ඔබ ද සුළඟකි සොයුර නිබඳ නොරැඳී         හමයි

                            ඒ සුළග විඳි හදක් හදින් ගණදුර                  මුදයි

“ඒ කවියෙ සමන් ඉන්නව මල්ලි. 

“ඒ වගෙම වසන්තය්යෙ ඒකෙ අපේ ජීවිත කාලෙ අපි කරන්න ඕන මොකක් ද කියන පණිවිඩයත් තියෙනව.”

ඔවුහු සැලකිය යුතු වේලාවක් වැව් ඉවුරේ රැඳී සිටියහ. ගහට-කොළට ඇළට-දොළට වැවට-කෙතට සවන් දීමේ කලාව ඉගැන්වූ ඒ ආදරණීය ගුරුසහෘදයා හදවතේ ගැඹුරු ම තැනින් සිහිපත් වූ මේ පවිත්‍ර නිමේශය මේ ගුරු සහෘදයන් දෙදෙනාට ම සැබැවින් ම පූජනීය ජීවන අද්දැකීමක් විය.

දෙදෙනා ම එකට කතා කොට ගත්තාක් මෙන් කිසිදු වචනයක් නොදොඩා එතැනින් නිවස දෙසට පියමං කෙළේ වචන භාවිතයෙන් මේ ඉසොඳුරු නිහඬතාව බිඳී යනු ඇතැයි යන හැඟීමෙන් මෙනි.