Wednesday, October 26, 2016

Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..

27 comments:

  1. //සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. //

    බොහොම හොඳ වටහා ගැනීමක්. මේ සිංදුව ඕනම වයසක කෙනෙකුට හදවතට දැනෙන එකක්. මම හිතාගෙන හිටීයේ මෙතන sealed කියන එකේ තේරුම confirm කලා කියන එක කියලා. confirmed with a handshake කියනව වගේ. ඒවුණාට ලියුමක් ගැන කියවෙන නිසා මුද්‍රා තැබීම කියන තේරුම හරි ඇති

    ReplyDelete
    Replies
    1. අපි වයසට ගැළපෙන සින්දු නාහා මෙව්වා ඇහුවට මොකද මෙව්වා ඉතින් ඉයන් මාමලා තරුණ කාලෙ ජනප්‍රිය වෙච්ච සින්දු නොවැ.. ඉතින් හදවතට දැනෙන එක ගැන පුදුමයක් නැහැ..))

      I'll send you all my love everyday in a letter කියා තියෙන නිසා මෙහි ඇත්තේ මුද්‍රා තැබීමේ අරුත විය යුතුයි.ඒත් ඔය අදහසත් අපූරුයි.

      Delete
  2. ඒ වගේ ආදරණීය ගීත බෙදාගන්නවාට ස්තූති මොකටද නගෝ, මේ වගේ ලස්සන සටහන් ඒ ගීත ගැන ලියවෙන එකයි වටින්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඔයා ඒ ගැන නොලීවා නම් මට මේක මතක් වෙන්නේ නැහැනේ අක්කේ.. ඒ නිසා ආයෙම ස්තූතියි..)))

      Delete
  3. මේ ගීතය මාත් කැමතිම ගීත වලින් එකක්...

    ඔව් ඔයා කියපු දේට මාත් එකඟයි..

    ReplyDelete
    Replies
    1. ඉස්සර මේ ගීතය අහද්දි හිතට මොකක්දෝ කියන්න බැරි හැඟීමක් දැනෙනවා නේද..

      ස්තූතියි අක්කේ වැහි වැටෙන තැනට ආවාට..!

      Delete
  4. මාත් ආසා සින්දුවක් ආයෙත් ඇහුව.

    ReplyDelete
    Replies
    1. මාත් සිත්තමී අක්කගෙ බ්ලොග් එකෙන් අහලා තමා ආයෙ මතකේ අලුත් කරගත්තේ..

      තව දෙයක් කසුන් අය්යේ,මං නිර්මාණි අක්කා එක්ක අර පොත් කියවන වැඩේ ගැන කතා කරගත්තා.වෙලාවක ජපුරට ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගෙන වැඩේ පටන්ගන්නම්.යාලුවෝ කීප දෙනෙකුත් ඉන්නවා වැඩේට උදව් වෙන්න බලාගෙන..!

      Delete
  5. මේක කලින් දැනන් හිටියනම් අපිත් ඒ කාලේ ලියුම් ලියද්දී ' SWAK ' කියලා ගහලා යවනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.. දැන් ඉතින් මොන ලියුම්ද.. එස් එම් එස් එකකවත් අගට ගහලා යවන්න..))

      Delete
  6. //sealed with a kiss

    අපි ඉතිං මේව කාට කියන්නද?

    //මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න

    ඒ්කට කියන්න තියෙන්නෙත් කලිං කිව්ව ඒකම තමයි :)

    ReplyDelete
    Replies
    1. ඔහොම යන කොට කියන්න කෙනෙක් හම්බ වෙන්නැතැයි..)))

      Delete
  7. ලස්සනම ලස්සන සිදුවක් පොකුරු...

    ReplyDelete
    Replies
    1. ස්තූති ස්තූති.. ඒත් ඉතින් ඔයා පොකුරු අක්කවයි මාවයි පටලගෙන.

      එයා පොකුරු වැහි - මං නිකං වැහි

      Delete
    2. අනේ ඔව්මයි... සින්දුව අහලා ඔක්කොම පැටලිලා.. වර්ෂා.. ඔයා තරහා නැ නේද..

      Delete
    3. මේ පොකුරු වැහියි නිකං වැහියි දෙන්නෙක් හින්ද පුල් කොන්ෆියුසියස්නෙ.

      වැහි,මොකද කියන්නෙ පොකුරුට නඩුවක් පයිල් කරමුද? ඒ කරල එන්තරවාසියක් යවමු "වහාම ඔබගේ නමෙහි වැහි කොටස ඉවත්කර පොකුරු යන නාමය පමණක් භාවිතා කරන මෙන් දැනුම් දෙමු" කියල.

      මම අල්ලල දෙන්නං නොම්මර එකේ ලෝයර් කෙනෙක්. වඩියු සේ මැඩම්?

      Delete
    4. නිම්නා අක්කා - හහ්.. හොඳටම තරහයි.හිතන් ඇති එහෙම ලේසියෙන් යාලු කරගන්න.හීන දකින්නීනේ.අර බී.එෆ්.ජී කරනවා වගේ ලොකු මල්ලක ලක්සන ලක්සන හීන ටිකක් පුරවාගෙන ඇවිල්ලා මගේ නින්දට ඇතුළු කරන්න වෙයි.ඒක තමා දඬුවම!

      (බබාට බී.එෆ්.ජි කියා දීලා ඇති නේද-රෝල්ඩ් ඩාල්ගේ? කියා දීලා නැත්නම් අදම පොත හොයාගෙන උන්දැට කියලා දෙන්න අක්කේ..)

      රවී මාමා- මෙන්න මේකනේ ප්‍රස්නේ මාමේ.. මං ඔය පොකුරු වැහි කියන නමට මාර ආසයි.අහලා ඇතිනේ සේකරගේ කවිය..

      පළමුව විදුලියක් සේ ඇස ගැසෙනු මැන
      දෙවනුව අහස් ගිගුරුම සේ ඇසෙනු මැන
      තෙවනුව නැවුම් සුවඳින් හද පුරවමින
      ඔබ මට පොකුරු වැස්සක් සේ වසිනු මැන

      ඒ කවියට මං සෑහෙන්න ආසයි.ඉතින් පොකුරු වැහි අක්කා නම හදාගන තියෙන්නෙ ඒ කවියෙන් නිසා මං ඒකට විරුද්ධව නීතිමය පියවරක් ගන්නෙ නෑ.. හරිය..))

      Delete
    5. වැහි,

      සේකර කියන්නෙ පුදුම හැකියාවක් තිබුනු මනුස්සයෙක්..ඔහු අකලට සමුගත්තෙ අපේම නොලැබීමට,

      මේ පරසතුමල් චිත්‍රපටයේ ගැයෙන ඔහුගේ කවියක්...

      බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
      දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
      මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
      මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ

      Delete
    6. මං ආසම කවියක් තමා ඒකත්.

      ඒත් මං වැඩිපුරම ආස සේකරගේ සින්දුවලට..!

      වක්කඩ ළඟ දිය වැටෙන තාලයට..
      අතීතයෙන් ගඟ ගලා බසී..
      ඈත කඳුකර හිමව් අරණේ..
      අන්න බලන් සඳ..
      ඔබේ දෑසයි..

      ඒ සර්වකාලීන ව මගේ ආසම ගීත එකතුවේ තියෙන එව්වා ටිකක්..))

      Delete
    7. හහ්, මදැයි කට්ටිය හිතල තියන දුර...රවී මහත්තය ලෝයර් ලත් හොයලා...

      මගේ බ්ලොගයට නමක් දාන්න දවස් ගානක් හිතුවා...පරණ සංදේශ කාව්‍ය පොත් වලින් පවා වචන හෙව්වා...එහෙම හොයද්දි බොහොම ලොකු තේරුමක් එක්ක ලැබුන වචනයක් තමයි මේ "පොකුරු වැහි"...පොකුරු වැස්ස කියන්නේ බුදු රජාණන් වහන්සේ දෙවරම් වෙහෙරට (තැන මතක හැටියට දෙව්රම්ව වෙහෙර)වැඩිය අවස්ථාවක පොකුරු වැස්සක් ඇද හැලුනා...මේ වැස්සේ තියන විශේෂත්වය තමයි, ඒ වැස්ස යට කැමති කෙනෙකුට තෙමෙන්නත්, අකමැති කෙනෙකුට නොතෙමි ඉන්නත් හැකියාව තියන එක...මුල්ම බ්ලොග් සටහන් යටින් මම ඒ විදියේ වාක්‍ය ඛණ්ඩයක් ලිව්වත් එක්ක..."කැමති කෙනෙක්ට තෙමෙන්නත්, අකමැති අයට නොතෙමි ඉන්නත්" කියල...ඔන්න ඕකයි ඉතිහාස කතන්දරේ...

      වර්ෂා නංගි කියපු සේකරගේ කවිය ඔයාම දවසක මගේ බ්ලොග් එකේ ලියනකල් මම දැනන් උන්නේ නැහැ...ඇත්තටම මම සාහිත්‍ය පොත් මහා ගොඩක් කියවපු කෙනෙක් නෙවේ...ජිවිතයෙන් සාහිත්‍ය හොයා ගත්ත කෙනෙක්...

      Delete
    8. පොකුරු වැස්සේ තේරුම නම් හරිම ලස්සනයි.සේකරත් තමන්ගෙ කවියට ඔය වචනේ අරගන්න ඇත්තේ ඔය බුද්ධකාලීන සිදුවීමෙන් වෙන්නත් පුළුවන්.කොහොමටත් ජන ව්‍යවහාරේ තියෙන දෙයක් ඔය පොකුරු වැස්ස.වෙලාවකට එළියේ වහිද්දි අම්මත් මට එක එක වැහි වර්ග ගැන කියා දෙනවා.අනෝරා වැස්ස,පොකුරු වැස්ස,මල් වැස්ස,නා කපන වැස්ස,පොද වැස්ස.. ඔය වාගෙ වැහි ජාති ගොඩයි..

      සේකරගේ ඒ කවිය තියෙන්නේ නොමියෙමි පොතේ.අවුරුදු ගාණක් ඒ කවි පොත හොයලා හොයලා හොයාගන්න බැරුව ඉන්න කාලෙක අහම්බෙන් වාගෙ ඊ බුක් එක හම්බවුණා.ඒකේ තිබුණ අපූරුම කවිය තමා ඔය පොකුරු වැස්ස ගැන කවිය..!

      Delete
    9. වර්ෂා,

      මුරුගසං වැස්ස ගැන දන්නෙ නැත?

      Delete
    10. මුරුගසං වරුසාව අහලා තියේ..

      තව එකක් තියෙනවා සෝමපාල ගුණධිරගේ උමතුසංවරුසාව කියලා නාට්‍යයක්..

      නාට්‍යය වේදිකාගත වෙලා නම් නෑ මයෙ හිතේ.ඒකේ පිටපතට අනුව උමතුසංවරුසාවට තෙමෙන හැමෝම උමතු වෙනවා.ජනතාව ඒ වැස්සේ තෙමෙන එක වළක්වන්න යොදවාපු හේවායො තමා මුලින්ම වැස්සට තෙමිලා උමතු වෙන්නෙ.. හරියට අපේ රටේ වගේ..))

      Delete
  8. You have a great talent to convert your thoughts to words Rain Girl..

    ReplyDelete
  9. අපේ ටීනේජ් යුගය වර්ණවත් කළ සිංදු තමයි ඔය

    ReplyDelete
    Replies
    1. කොච්චි මිරිස්ගේ වයස හිතා ගත්තැහැකි ඉතින්..))

      Delete