Monday, May 27, 2024

ගුරු දියවර නවකතාව - තිස්එක්වන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                  ගුරු දියවර 31



                                    තරු පිරුණු අහස ඇත සඳ නැත       කුමට                     නවතිමි

                                    සඳඑළිය නොමැත තරු එළියට කුමට                        නතු වෙමි

                                    හිරු නොමැති ලොවක හිමි වන ජය කිරුළ               නොතකමි

                                    හිරු දකිමි හිරුට පැරදෙමි ජය විලස                             සලකමි

“ඇයි ඔයාට මේ වෙලාවෙ ඔය කවිය මට කියන්න හිතුණෙ; ඇයි ඔයා දැන් ටික වෙලාවක ඉඳලා ලොකු කල්පනාවක හිටියෙ?”

“ඔයාගෙ ඔය ප්‍රශ්න දෙකටම මට දෙන්න තියෙන්නෙ එකම උත්තරයයි මිහිදිනී; අපේ සර් සර්ගෙ අය්යා අහිමි උනාට පස්සෙ ලියපු කවිය මට මෙතෙක් මතක් උනේ සමන් අය්ය ගැන තියෙන ආදරණීය මතකයත් එක්ක. දැන් මට මේක මතක් උනේ ඒ වගෙම ආදරණීය චරිතයක් එක්කයි. භෞතික ව අපි අතර ජීවත් ව හිටියත් අපෙන් වෙන් වෙලා යන චරිතයක් එක්කයි.”

“අනේ ඔයා ඔහොම කතා කරන කොට මට බයත් හිතෙනවා. කවුද දෙය්යනේ අපට අහිමි වෙන්න යන ආදරණීය චරිතෙ.”

“අනේ කෙල්ලෙ අපේ ඉර තමයි අපට නැති වෙන්න යන්නෙ.”

“ගඟුල් සර් ඔහොම කතා කළාට මට තේරෙන්නෙ නැහැ. මට කියන්න අපි වැටුණහම අපිවත් නැගිට්ටවන ඔයා මේ තරමට කඩා වැටිලා තියෙන්නෙ ඇයි කියලා.”

“අපේ ඉර අපිට නැති වෙන්නයි යන්නෙ මිහිදි.”

“ඒ කියන්නෙ අපේ ලොකු සර්ට ආයෙ හදා ගන්න බැරි විදිහට ඈතකට මාරුවක්වත් ඇවිල්ල ද?”

“ඒක ආයෙ හදාගන්න බැරි මාරුවක් ද නැද්ද කියන්න නං මන් දන්නැහැ ළමයො. ඒ උනාට ආරංචි හැටියට සර්ට යන්ඩ වෙලා තියෙන එකනං පැහැදිලියි. මන් ඔය කාරණේ දැන ගත්තෙ තෙන්නකෝන් සර්ගෙන්. මන් මේ සර්ලගෙ ගෙදර යන්න කියලයි හිතුවෙ. සර් කිව්වෙ දැන්ම ලොකු සර්ගෙන් අහන්න යන්න එපාය සර් කියනකං කියලා.”

“අන්න රේණු අක්කලත් මේ පැත්තට එනවා. මට පේන්නෙ ඒ ගොල්ලන්ටත් වැඩේ ආරංචි වෙලා වගෙයි.”

ඒ මොහොතේ රේණු සහ නදී එදෙසට එමින් සිටියේ අතුල සමග යි.

“මල්ලි, උඹලට ආරංචි ද වැඩේ. මේ ක්‍රීඩා උත්සවෙත් පටන් ගන්න කටේ අපේ ලොකු සර් අපිට නැති වෙන්නයි යන්නෙ. මේකට නං මොකක් හරි කරන්න වෙනවා හොඳින් හරි නරකින් හරි.”

“ඔයාට අතුල මන් කොච්චරනං කියනව ද ආරංචියක් අහපු පළියට ඔහොම කලබල වෙන්න එපා කියලා. අපි තවම දන්නැහැනෙ ඔය ආරංචිය ඇත්තක් ද කියන එකවත්.”  

“නදී අක්කෙ, ආරංචිය නං ඇත්ත. විහිලුවකට වත් බොරුවක් නොකියන තෙන්නකෝන් සර් තමයි මට මේ ගැන කිව්වෙ. ඒත් ඔයා කියනවා වගේ කලබල වෙලා බෑ තමයි. තෙන්නකෝන් සර් කිව්වෙ මේ වෙලාවෙ ලොකු සර් කියනකං ඒක සර්ගෙන් අහන්න යන්න එපා කියලා. මන් මිහිදිනීටත් කිව්වෙ අද හවස සර්ලගෙ ගෙවල් පැත්තෙ ගියොත් හොඳයි කියන එක.”

“ඒ කිව්වෙ මල්ලි තෙන්නකෝන් සර්ලගෙ ගෙදර ද? ලොකු සර්ලගෙ ගෙදර ද? මටත් හිතයි සර්ව හම්බ වෙන්න යන්න එන්න.”

“ඇයි ඔයගොල්ලො විතරක්. අපිත් එනවා නැද්ද රේණු අක්කෙ. මොකක් හරි දෙකෙන් එකක් බේර ගන්න එපැයි.”

“ඔය කොච්චර කිව්වත් වැඩක් නැහැ රේණු මෙයාටනං. මොකක් ද ඔයා දැන් බේර ගන්න යන දෙකෙන් එක. ඒ වගෙම කාත් එක්ක ද ඔයා ඔය දෙකින් එක බේර ගන්න යන්නෙ.”

“නදී හොඳට අහ ගන්න. දෙකෙන් එක කියන්නෙ ලොකු සර් මෙහෙ තියා ගන්න ඉඩ දෙනව ද නැත්තං සර්ව මෙහෙන් යවනව ද කියන කාරණා දෙකෙන් ඇත්තට ම සිද්ධ වෙන්නෙ මොකක් ද කියන එක. වෙන්නෙ සර්ව මාරු කරන එකනං ඒක බේර ගන්න යන්නෙ අධ්‍යාපන ලොක්කොත් එක්ක.”

“අතුල අය්යෙ දැනට පොඩ්ඩක් ඔයා කලබල නොවී ඉන්නකො. අපි අද තෙන්නකෝන් සර්ව හම්බ වෙලා හරියටම විස්තරේ දැන ගෙන ඉස්සරහට කරන්න තියෙන දේ තීරණය කරමු.”

“බලන්න රේණු, අපි අතරෙ ඉන්න මේ පොඩිම කෙල්ලට තේරෙන දේ අපේ මේ ලොකු මහත්තයට තේරෙන්නෙ නැහැනෙ. කවදාවත් වේවැලක් පාවිච්චි නොකරන මට දැන් හිතිලා තියෙන්නෙ මෙයාට වේවැලක් පාවිච්චි කරන්න.”

නදී රේණුට එසේ පැවසුවේ අතුුල දෙසට අත දිගු කරමිනි.

අවසානයේ මේ සියලු දෙනා තීරණය කෙළේ වැඩිදුර විස්තර දැන ගැන්ම සඳහා එදින සවස් වරුවේ තෙන්නකෝන් ආචාර්යවරයාගේ නිවෙසට යාමට යි. ඒ අනුව අතුල හැර සියලු දෙනා ම තම තමන්ට ඒ මෙහොතේ නියමිත ව තිබූ පාඩම් සඳහා තම තමන්ගේ පන්ති වෙත නික්ම යාමට සැරසුණහ.

“ඇයි අතුල අය්යෙ මේ වෙලාවෙ ඔයාට පන්තියක් නැද්ද?”

“පන්තියක් නං නෑ නංගි. ඒ උනාට මන් සමරෙත් එක්ක පොඩි වැඩක් දාගෙනයි හිටියෙ. ඒ උනාට මට ඒක කරන්නවත් හිතක් නෑ. මන් මෙතනම ටිකක් ඉඳලා එන්නං ඔයගොල්ලො යන්න.”

අතුලගෙ මේ වචනත් සමග යන්නට ගිය නදී යළි නැවතුණා ය. අනතුරුව කතා කළා ය.

“අතුල, ඔයා පොඩ්ඩක් වෙලා ඔතන ඉඳලා ස්ටාෆ් රූම්මෙකට යන්න. මන් ළමයින්ට පොඩි වැඩක් පවරලා ඉක්මණට එන්නං.”

අනතුරුව සිය සහෘදයන් දෙසට හැරුණු නදී අතුලට නොඇසෙන සේ ඔවුනට පැවසුවේ මේ වදන් කිහිපය යි.  

“අපේ අතුල වෙලාවකට පොඩි දරුවෙක් වගේ. ලොකු සර්ට පණ ඇරලනේ ඉන්නෙ. ඉස්කෝලෙ පැත්තකට කරලා හිටපු අතුලව අඳුන ගෙන එයාට කරන්න පුළුවන් වැඩ බාර දීලා ඇත්තම හිතවත්කමකින්නෙ හැම තිස්සෙම ලොකු සර් වැඩ කළේ. මේ වෙලේ කොහොමටවත් එයාට තනි වෙන්න දෙන්න නරකයි. අද හවස ගමනින් පස්සෙ ගොඩක් දේ තීරණය වේවි. දැන් අපි යමු අපේ පන්තිවලට.”

හිරු සිය සැඬ කිරණ මුදු කිරණ බවට හරවා මිහිකතට එවන සන්ධ්‍යාවේ ය, ඔවුන් තෙන්නකෝන් ආචාර්යවරයාගේ නිවහන බලා පිටත් වූයේ. සුපුරුදු සිනහවෙන් සේ ම ආදරණීය ළබැදියාවෙන් යුතු ව ගුරු තරුණ පර්ෂදය පිළිගන්නා ලද්දේ තෙන්නකෝන් පතිනිය වෙතිනි.  

“කෝ නැන්දා අපේ සර් පේන්නවත් නැත්තෙ දුරකටවත් ගිහිල්ල ද?”

“නෑ පොඩි දුව දුරකටනං ගියේ නෑ. එයා මේ වෙලාවෙ ඉන්න තැන ටක්කෙට ම කියාවි බලන් හිටියා වගේ මේ ගඟුල් පුතා.”

“මොකෝ මැඩම් එයා කෙනෙක් යන එන තැන් කියන්න දන්න තරන් වැඩ්ඩෙක් ද?”

“ගඟුල් ඒ ගැන වැඩ්ඩෙක් ද නැද්ද කියන්නනං එයාට අවස්ථාව දීලා බලන්න ඕනෙ අතුල, නැද්ද මැඩම්. කියන්න මල්ලි සර් කොහෙට ගියා කියල ද ඔයා හිතන්නෙ.”

එසේ කතාවට මැදිහත් වූයේ නදී ආචාර්යවරිය යි.

“නදී අක්කෙ මට හිතෙන හැටියට කිසිම සැකයක් නැතුව වැව ගාව තමයි දැන් සර් ඇත්තෙ. සර් මේ වගෙ හවසක වැව ගාවට තමයි යන්නෙ. ඒ විතරක් නෙමෙයි සර් කියලා තියෙනවා හිතට පීඩා දෙන ප්‍රශ්නයක් ආපු වෙලාවටත් වැව ගාවට ගියහම ඒවට උත්තර ලැබෙනවා කියලා.”

“යමල්ලා එහෙනං සේරම වැව ගාවට. ඇයි යකෝ තෙන්නකෝන් සර්ටත් වඩා හිතට පීඩා දෙන ප්‍රශ්නෙ තියෙන්නෙ අපිටනෙ.”

“මේ මොකෝ අතුල පුතා අද හරි කලබලයකින් වගේ. ලොකු දුව අතුල පුතාට මොකුත් ප්‍රශ්නයක් වත් ද?”

“මෙයා කවද්ද නැන්දෙ කලබල නොවුණෙ. දැන් ඔය තරමට හරි ඉන්නෙ අපේ නදීට බයේ. නැන්දට ආරංචි ඇතිනෙ අපේ ලොකු සර්ව මාරු කරලා කියන කාරණේ. ඒක ඉතින් අතුලට විතරක් නෙමෙයි අපි ඔක්කොටම කරදර වෙන්න තරන් හේතුවක් තමයි. අපි ආවෙ මේ සම්බන්ධයෙන් සර් මොකක් ද කරන්න හිතන්නෙ කියන එක දැන ගන්න. ඇයි නැන්දට කිව්වෙ නැද්ද මේ ගැන මොකවත්.”

“මට තේරුණා මොකක් හරි බරපතල ප්‍රශ්නයක් තියෙන වග. මන් වැව පැත්තට ගිහින් ටිකක් ඉඳලා එන්නං කියලා කියන්නෙ එහෙම වෙලාවට. ඒ ආවට පස්සෙ එයාට හිතිච්ච දේවල් ගැන මටත් කියලා මගෙ අදහස අහනවා. හැබැයි මේ වෙලාවෙ ලොකු සර් ඉස්කෝලෙට අහිමි වෙන එකනං බරපතල පාඩුවක් තමයි.”

“අන්න අපේ මැඩම් හරියටම ප්‍රශ්නෙ කියෙව්වා. කියන්න මැඩම් මේ වගෙ වෙලාවට කලබල වෙන්නෙ නැත්තං අපි කොයි වෙලාවට ද කලබල වෙන්නෙ කියලා. මන් ඇරුණහම මෙතන ඉන්න ඔක්කොම සන්සුන් මහත්තුරු නෝනලනෙ. මන් තමයි කලබලයා. කවුරු මොනව කිව්වත්...”

අතුලට සිය වාක්‍යය සම්පූර්ණ කිරීමට නොලැබුණේ නදීගේ සිත් විනිවිද යන බැල්ම ඔහු වෙත යොමු වූ බැවිනි.

“අම්මෝ මැඩම් මන් කතා නොකර ඉන්නං අන්න එක්කෙනෙක් දැන්ම ප්‍රචණ්ඩ නෙත් හී සර එවන්න පටන් අරගෙන.”

“අතුල අය්යෙ මන් අරක කියන්න ද?”

“මොකක් ද බන් අරක කියන්නෙ.”

“ඇයි ඔයා දවසක් කිව්වෙ අපේ නදී අක්කට බැල්මවල් පහක් තියෙනවා කියලා ඒවා එකින් එකට විස්තර කළේ.”

“කියපන් ගඟුල් කියපන්. නදී හිටියට කමක් නෑ. නැන්දා හිටියට කමකුත් නෑ. නැන්දා ඔය බැල්මවල් දාන්න ඇත්තෙ උඹලා අපි ඉපදෙන්නත් ඉස්සර.”

“අනේ මේ ළමයා කියන දේවල්. කොහොම උනත් මමත් කැමතියි අපේ නදී දුවගෙ අර කියපු බැල්මවල් ගැන දැන ගන්න. විශේෂයෙන් ඔයගොල්ලන්ගෙ ටිකක් හිත් ගිනි අරන් තියෙන වෙලාවෙ මේ වගෙ නිවෙන කතාවක් කියන එක හොඳයි කියලයි මටත් හිතෙන්නෙ.”

තෙන්නකෝන් ගුරු පතිනිය නදී දෙස ද ආදරයෙන් බලමින් එවදන් ප්‍රකාශ කෙළේ සිනාසෙමිනි. නදී විලිබර වතින් යුතු ව නිහඬ ව බලා සිටියා විනා ඊට කිසිවකට පිළිතුරු දීමට ගියේ නැත.

“හරි නැන්දගෙ අවසරේ ලැබුණා. අතුලයගෙ අවසරේ මෙතෙන්ට අදාළම නෑ. දැන් ගඟුල් අපෙත් කුතුහලය ඇවිස්සිච්ච වෙලාවෙ උඹ ඕක කියන්නම ඕනෙ. නැත්තන් මන් උඹට තමයි මගෙ ළඟ තියෙන ඔක්කොම සැර බැල්මවල් ටික දාන්නෙ.”

ඒ ප්‍රකාශය රේණු වෙතිනි.

“අනේ නදී අක්කෙ තරහ වෙන්න එපා. අතුල අය්යා ඒ කියපු දේවලින් පවා මටනං දැනුණෙ එයා කොයිතරන් සමීප ව කොයි තරන් හොඳින් ඔයාව කියවලා තියෙනවා කියන එකම තමයි.”

“හරි මන් දැන් කියන්න එපා කිව්වෙ නැහැනෙ. මාත් කැමතියි මාත් නොදන්න වෙන අයට පේන මගේ බැල්මවල් ගැන දැන ගන්න.”

“අන්න අපේ නදීගෙත් අවසරේ ලැබුණා. දැන් ඉතින් උඹට මල්ලි කියන්න ම වෙනවා. අතුලයගෙන් ප්‍රශ්නයක් ආවොත් ඒක මන් බලා ගන්නං. උඹ දැන් අර බැල්මවල් ගැන අතුලයා කියපුවා හරි අතින් දාලා හරි කියන්න ම ඕනෙ.”

“හරි රේණු අක්කෙ මං කියන්නම්. අතුල අය්යා කියන හැටියට නදී අක්කගෙ එක බැල්මක් තමයි දවන බැල්ම. ඒක එවන්නෙ එයා නුසුදුසුයි ඒ වගෙම කරන්න ඕනෙ නැති දෙයක් කෙනෙක් කරන්න යනකොට. අර ‘අනික් ඔක්කොම සන්සුන් මන් තමයි කලබලයා කියලා’ අපේ අතුල අය්යා පොඩි සද්දයක් දාන්න හදපු වෙලාවෙ අතුල අය්යට හම්බ උනේ ඒ බැල්ම තමයි.”

“කුළුණු බැල්ම. ඒක තමයි නදී අක්කට වැඩියෙන් ම තියෙන්නෙ. අපේ ශිෂ්‍යයන් වගෙම අපිත් ගොඩක් වෙලාවට ලබන්නෙ අන්න ඒ කුළුණු බැල්ම.”

“හරි දැන් දෙකක් හරි. අපිත් පිළිගන්නවා ඒ බැල්මවල් දෙකම අපේ නදී අක්කට තියෙනවා කියලා.”

“ඈ මිහිදිනී කවදා ඉඳල ද ඔයා ගඟුල් කියන දේවලට අඩු වැඩි පුරවන්න පටන් ගත්තෙ.”

“ඉතින් ඒකෙ වැරැද්දක් නෑනෙ නදී. මන් කරන්නෙත් ඒකනෙ. ඔයා මොනව ද කියන්නෙ මාත් ඒවා අනුමත කරනවනෙ. මන් හිතන්නෙ ගඟුල් ඔය වැඩේ පටන් ගත්තෙ මට ටිකක් පහුවෙලා. කොහොමත් ජ්‍යෙෂ්ඨයන් අනුගමනය කරන එක කනිෂ්ඨයන්ගෙ සිරිතනෙ. දැන් කියලා දාපන් මන් කියපු ඉතිරි බැල්මවල් තුනත්. කොහොමත් දැන් නොවුණත් පස්සෙ වෙලාවක හරි උඹට නදී අක්කගෙන් හම්බ වේවි සම්බෝල.”

“හරි හරි දැන් කියපන් ඉතිරි බැල්මවල් තුනත් ඉක්මනට. නැත්තං නදී අක්කට ඉස්සෙල්ලා මේ ගඟුලයට සම්බෝල හම්බ වෙන්නෙ මගෙන්.”

“අම්මෝ රේණු අක්කටනෙ ඒවා දැන ගන්න ලොකුම හදිස්සිය තියෙන්නෙ.”

“හොඳයි, තුන්වෙනි එක තමයි රවන බැල්ම. ඒක අර දවන බැල්මට පස්සෙයි එන්නෙ. දවන බැල්ම එවලා ඒකට ප්‍රතිචාර දැක්කුවෙ නැත්තං ඊළඟට අනිවාරෙන්ම හම්බ වෙන්නෙ අන්න ඒ බැල්ම කියලයි අතුලය්යා කියන්නෙ.”

“මොකෝ බන් හැම තිස්සෙම මන් කිව්වා කියන එක කිය කියම කතාව දාන්නෙ. උඹ කතාව පටන් ගත්තෙම ඔය බැල්මවල් ගැන කිව්වෙ මන් ය කියන එක කියලනෙ. උඹ හදන්නෙ මේවා අතුලය්යා කියපුවා මිසක් මගෙනං කිසිම සම්බන්ධයක් නැහැ කියන එක ඇඟෙන විදිහට කතා කරන්න. ඒ උනාට නදී ඔයාට කියන්න මන් ඕවා කියන වෙලාවෙ මේකා කළේ ඔළුව වන වන ඒ ඔක්කොම අනුමත කරන එක. හරි ඒකෙන් කමක් නෑ අපි ආවෙ වෙන වැදගත් වැඩකට. කොහොම උනත් මේ වෙන කතන්දරයක් ආපු එකෙන් මාව ටිකක් රිලැක්ස් උනා කියන එක නං මටම පිළිගන්න වෙනවා.”

“හරි අතුලය්යෙ ඔයා කියන විදිහට නදී අක්කගෙ හතරවෙනි බැල්ම තමයි යවන බැල්ම. ඒ බැල්මෙ දැවීමක් වක් රැවීමක් වත් නැහැ කියලත් ඒ උනාට ඒ කියන බැල්මවල් දෙකටම වඩා බරපතලයි කියලත් ඒ නිසාම ඒ බැල්මට ලක්වෙන කෙනාට මොහොතක් වත් එතන නොයිඳ එතනින් යන්න හිතෙනවා කියලයි අතුලය්යා කියන්නෙ.”

“ මේ ගඟුල්, උඹට අතුලය්යා කියන හැටියට, අතුලය්යා කිව්වෙ, අතුලය්යා කියන්නෙ කියන වාක්‍යාංශ එකතු කරන්නැතුව බැරි ද ඔය කතාව කියන්න.”

“සාහිත්‍ය ගුරුවරයෙක් හැටියට මට එහෙම කරන්න අමාරුයි, මොකද එතකොට මේ කතාවෙ තියෙන රසවත් ගතිය නැතුව යනවා.”

“ඇච්චද එහෙනං හොඳට මතක තියාගනින් උඹට මගෙන් කොයි වෙලාවෙ හරි හොඳ ඩෑෂ් පාරක් හම්බ වෙන වග ඉස්කෝලෙ ක්‍රීඩා බාර ගුරුවරයා හැටියට.”

“ඔව් මටත් හිතෙනවා මන් මේ අන්තිම බැල්ම ගැන කිව්වට පස්සෙනං මට එක්කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි දෙන්නෙක්ගෙ ඩෑෂ් පාරවලට ලක්වීමේ සම්භාවිතාවක් තියෙන බව. ඔක්කොම රක්ෂාවලට වඩා ආත්මාරක්ෂාව හොඳයි කියලත් කියනවනෙ. ඒක නිසා මන් ආරක්ෂාකාරි පියවරක් හැටියට නැන්දට මුවාවෙලාම ඒ බැල්ම ගැන කතා කළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

අනතරුව ගඟුල් කෙළේ තෙන්නකෝන් මැතිනියට මුවහ වී යළිත් කතාව පටන් ගැනීම ය.

“මෙහෙමයි රේණු අක්කේ, ඒක ජීවිතේ කෙනෙක් එකම වාරයක් විතරක් කෙනෙකුට පිරිනමන දෙයක්. මේ ගැන දැන ගන්න ලොකුම උනන්දුවක් දක්වන රේණු අක්කට විශේෂයෙන් කියන්න අපේ මේ නදී අක්කා ඉන්නව නේද?”

“ඔව් නදී අක්කා ඉන්නවා මොකද ඒ පාර මට තවත් කතාවක් හදන්න ද යන්නෙ.”

“නෑ නදී අක්කෙ මේක ප්‍රබන්ධයක් නෙමෙයි, ඉතිහාසයෙ කිසියම් අවස්ථාවක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. කොටින් ම කියනවනං ඓතිහාසික සංසිද්ධියක්.”

“මොකක් බන් ඓතිහාසික සංසිද්ධියක්.”

“ඔව් රේණු අක්කෙ අපේ තෙන්නකෝන් සර් ඉතිහාසය කියන වචනෙ අර්ථ දක්වන විදිහට මේකත් ඓතිහාසික සංසිද්ධියක් ම තමයි. සාලිය කුමාරයට අශෝකමාලාගෙන් හම්බ උනේ ඔය කියන පිරුණු බැල්ම. ඒ වගෙම සංස්කෘත සාහිත්‍යෙ නල කුමාරයට දමයන්ති එව්වෙත් ඔය කියන බැල්ම. ඒ විතරක් නෙමෙයි අරාබි සාහිත්‍යෙ ලයිලා මජ්නූන්ට එව්වෙත් ඔය බැල්මම තමයි. ඉතිහාසෙ කියන දේ ආයෙ ආයෙත් වෙනවා ඒ කියන්නෙ රිපීට් වෙනවා කියලා කතාවක් තියෙනවනෙ අක්කෙ. මේ මෑත ඉතිහාසෙ ඒ සංසිද්ධිය වෙච්ච අවස්ථාවක් ගැන තමයි මන් මේ කියන්නෙ යන්නෙ.”

“හරි දැන් අපිට හිතාගන්න පුළුවන්. නැද්ද නැන්දෙ. හොඳයි උඹම කියපන්කො බලන්න ඒ මෑතකාලීන ඓතිහාසික සංසිද්ධිය.”

“නදී අක්කගෙ ඒ පිරුණු බැල්ම ලබන වාසනාවන්තයා වෙන්නෙ වෙනින් කවුරුවත් නෙමෙයි.....”

“ලෙනින් මොරායස් නෙමෙයි කෘෂිවිද්‍යාඥ ක්‍රීඩා උපදේශක අතුල අතුල අතුල.”

සංගීත සන්දර්ශනයක දී නිවේදකයා විසින් කියනු ලබන ආකාරයට ඒ නම තාලයකට පුනරුච්චාරණය කෙළේ අතුල ය. අනතුරුව යලිත් කතා කෙළේ ද රේණු ම ය.

“මේ ගඟුල් ඔය මෑතකාලීන ඓතිහාසික සංසිද්ධියටත් වඩා  මෑතකාලීන සංසිද්ධියක් ගැන උඹට මොකුත් ආරංචියක් ලැබුන් නැද්ද මල්ලි උඹට. අඩු ගානේ නංගි උඹටවත්.”

ගඟුල් සිය හිස කසා ගන්නා තත්ත්වයටත්  මිහිදිනීගේ මුව විලියෙන් රත් පැහැයටත් හරවමින් මේ ප්‍රශ්නය යොමු කෙළේ ද රේණු ය.

“ඒ මොකද අප්පේ මාත් නොදන්න අලුත් කතන්දරයක් යනව ද මෙතන.”

“ඇත්ත වශයෙන් ම නැන්දේ ඇත්ත වශයෙන් ම. මන් ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අපේ තෙන්නකෝන් ගුරු යුග්මයට පසුව සපයන හැටියට ගඟුල් සහ මිහිදිනී යන දෙදෙනාට නියෝග කරනවා.”

“ඇද්ද ගඟුලෝ උඹට. මට කෙළවන්න ගිහිල්ලා උඹට ම කෙළවුණා නේද?”

“මේ අපි ආවෙ තෙන්නකෝන් සර් එක්ක අපේ ලොකු සර්ගෙ මාරුව ගැන දැනගන්න නේද? ඒ වැදගත් කාරණේ ගැන සාකච්ඡා කරන්න නේ ද අපි අද මෙතෙන්ට එකතු උනේ.”

“ඈ උඹට මෙච්චර වෙලා කියවා කියවා ඉඳලා දැන් ද ඒ වැදගත් කාරණේ මතක් උනේ. කොහොම උනත් උඹේ වෙලාව හොඳයි වගේ. තෙන්නකෝන් සර් මේ පැත්තට එනවා.”

රේණු එසේ පැවසුවේ වැව පැත්තේ සිට නිවහන දෙසට හැරී ඉදිරියට එන තෙන්නකෝන් ආචාර්යවරයා පෙන්වමිනි.

“ඔය ළමයි කොච්චර දෙයක් ද මේ පැත්තට ආපු එක. මන් කොහොමටත් ඔය කට්ටියම හම්බ වෙන්න තමයි හිටියෙ. හොඳයි හොඳයි ඔයගොල්ලොම ආපු එක. මොකද කට්ටියට තේකක්වත් හම්බ උනා ද?”

“මොන තේ ද සර් මේ ගඟුල් ආපු වෙලාවෙ ඉඳලා වෙන විකාර කරනවනෙ ආපු ප්‍රධාන වැඩේ ගැන නැතුව.”

“හැබැයි සර් එක දෙයක් කියන්න ඕනෙ. ගඟුල්ගෙ ඒ කතා නිසා තමයි ෆයර් වෙලා හිටපු අතුල දැන් ටිකක් කූල් ඩවුන් වෙලා ඉන්නෙ. වරෙන් නදී, අපි තේ ටිකක් හදලම කතාව පටන් ගම්මු. අපි එනකන් අපේ මාතෘකාව සාකච්ඡාවට ගැනීම සම්පූර්ණයෙන් තහනං.”

මෙසේ කියා රේණු නදීත් ඇදගෙන ගියේ එනිවහනේ මුළුතැන් ගෙය දෙසට යි.

තේ පානයෙන් පසු කතාව ආරම්භ කෙළේ තෙන්නකෝන් මහතා ය.

“මන් දන්නවා අද මේ තරුණ ගුරු කණ්ඩායම එහෙම නැත්තං අපේ ම සමහර දෙනෙක් කියන හැටියට පංචමහ බලවේගෙ මෙහෙට ආවෙ ඇයි කියලා. අපි කෙළින්ම මාතෘකාවට බහිමු.”

“ඔව් අපි සර්වම හම්බ වෙන්ඩ ආවෙ මේ ගැන පැහැදිලි අදහසක් සර්ගෙන් දැනගෙන ඉස්සරහට කරන්ඩ ඕන මොනව ද කියන එක තීරණය කරලා කෙළින්ම වැඩේට බහින්න.”

“හරි ඉස්සෙල්ලම මට කියන්න අතුල කෙළින් ම වැඩේට බහින්න කියන එකෙන් අදහස් කළේ මොකක් ද කියන එක.”

“මෙහෙමයි ඉස්සෙල්ලම අපි කෙළින්ම අපේ ඔය අධ්‍යාපන බලධාරීන්ගෙන් තදින්ම ඉල්ලා හිටිනවා ඔය මාරුවීම කැන්සල් කරන්ඩ කියලා. ඒකට ප්‍රතිචාර දැක්කුවෙ නැත්තං ගුරුවරු ශිෂ්‍යයො ඔක්කොමගෙ සහභාගිත්වයෙන් පාසල් මට්ටමින් අපේ විරෝධය දක්වනවා. ඒකටත් ප්‍රතිචාරෙ නිල් නං අපි අධ්‍යාපන කාර්යාලෙ ඉස්සරහට ගිහිල්ලා අපේ විරෝධෙ දක්වනවා.”

“හොඳයි අතුල දැන් ඔයා කියන හැටියට ඒ ඔක්කොම කරලත් වැඩක් උනේ නැත්තං අපි මොකක් ද ඊළඟට කරන්නෙ.”

“ඊළඟට කරන වැඩේ මන් කරන්නෙ තනියම.”

“හරි ඉතින් මොකක් ද මල්ලි උඹ ඔය තනියම කරන විරෝධෙ. කියපන් ඒකත් අපිට. මොකද අපි උඹ ඔය ඉස්සෙල්ලා යෝජනා කරපු වැඩවල අපිත් අනිවාර්ය කොටසක්නෙ. එහෙව් අපිට කියපන් උඹ ඊළඟට කරන්නෙ මොකක් ද කියන එක. මොකද උඹේ හැටියට උඹ අධ්‍යාපන කාර්යාලෙ ඉස්සරහ අර මහ විදුලි කණුව මොකක් ද ඒකට කියන නම. මට මතක නැහැනෙ.”

“හයි ටෙන්ෂන් ලයින් යන කණුව ද අක්කා.”

“අන්න හරි නංගි ඒක තමයි.”

“හරි රේණු අක්කෙ, ඔයා කියන්නෙ මට ඒකත් කරන්න බැහැ කියල ද?”

“අපොයි නැහැ උඹට ඉතින් ඊටත් වැඩි ඔලමොට්ටල වැඩක් උනත් කරන්න බැරි නැහැ.”

“එතකොට රේණු අක්කෙ ලොකු සර් මේ ඉස්කෝලෙම රඳවා ගැනීම වෙනුවෙන් කරන කැපවීම් ඔයාට දැන් පේන්නෙ එහෙනං ඔලමොට්ටල වැඩ හැටියටයි.”

“හරි ඉස්සෙල්ලා කියපන්කො උඹ කරන්න හදන වැඩේ. අපිත් දැනගන්න එපැයි උඹේ ඔය වැඩේ. මොකද ඕක කරන්න අපේ අනුමැතිය දෙනව ද කියන එක අපි එපෑ තීරණය කරන්න.”

“සර්ව ආපහු ඉස්කෝලෙට ලැබෙනකන් මැරෙනකන් මන් උපවාස කරනවා. කවුරු කැමති උනත් නැතත්. කවුරුවත් ලෑස්ති වෙන්න එපා මාව නතර කරන්න. ඒක මන් පුද්ගලිකව මගේ විරෝධෙ දක්වන අන්තිම ක්‍රමේ.”

“ඔය කිව්වෙ ඔය කිව්වෙ. එතකොට දැන් අපි මේ එකතු වෙලා අද මෙතෙන්ට ආවෙ අපේ පුද්ගලික විරෝධෙ දක්වන්න ද එහෙම නැත්තං හරියට ම ප්‍රශ්නෙ දැනගෙන කරන්න ඕන දේ සාකච්ඡා කරන්න ද?”

“හරියටම හරි නදී ඔයා. මෙයාට කියන්න ඕන හොඳම දේ කිව්වා.”

මේ තරුණ ගුරුවරුන්ගේ කතාවනට මෙතෙක් සාවධාන ව සවන් දී සිටි තෙන්නකෝන් මහතා අනතුරුව සිය හඬ අවදි කෙළේ ය.

“අපේ කැමැත්ත අකැමැත්ත මොකක් උනත් ලොකු සර්ට මේ වෙලාවෙ ඉස්කෝලෙන් යන්න ම වෙනවා. මොකද ඔය තීරණය කියපු වෙලාවෙ ලොකු සර් ළඟ හිටපු අනිත් කෙනා මම.”

“ඒ කියන්නෙ අපි ඔක්කොම වෙනුවෙන් සර්රුත් ඒකට අර ලොක්කන්ට කැමැත්ත දුන්නා කියන එකද ඔය කියන්නෙ. ඇයි සර්, සර් එහෙම අපරාධ තීරණේකට කැමැත්ත දුන්නෙ.”

“බලන්න රේණු අපේ අතුල දෙයක් හරියට කියන්නත් ඉස්සෙල්ලා දැන් තෙන්නකෝන් සර්ට උනත් චෝදනා පත්තර බඳින්නයි ලෑස්ති. මටනං තේරෙන්නෙ නැහැ මෙයා කවදා හැදෙයි ද කියලා.”

“නෑ දුව මේ වෙලාවෙ අතුලගෙ හිත වැඩ කරන විදිහ මට තේරුන් ගන්න පුළුවන්. මන් දන්න තරමින් අතුල ම මට කියලා තියෙන හැටියට දිවාකර සර්ගෙන් පස්සෙ අතුලගෙ ජීවිතේට බොහොම තීරණාත්මක විදිහට බලපාපු චරිතෙ තමයි අපේ ලොකු සර්. ඒ වගෙම මේ ඉස්කෝලෙන් අපි ඔක්කෝටම ඉස්සෙල්ලා අතුලව අඳුරගෙන අපිටත් එයාව අඳුන ගන්න ඉඩ සැලැස්සුවේ ලොකු සර්. අතුලගෙ ඔයගොල්ලන්ගෙ විතරක් නෙමෙයි මගෙ හිතෙත් ලොකු ඉඩක් අයිති කරගත්ත මනුස්සයෙකුට තමයි අපි ලොකු සර් කියලා කියන්නෙ. ඉතින් එහෙම චරිතයක් මේ ඉස්කෝලෙට අහිමි වෙන එක ලොකුම ලොකු පාඩුවක් තමයි. ඉස්කෝලෙ පැත්තෙන් ඒ අඩුව සිද්ධ උනත් පොදු සමාජයට මේ යාම නිසා ලොකු ලැබීමක් නං සිද්ද වෙන්නෙ අපිට මේ තීරණේට ඉඩ දෙන්න වෙනවා ළමයිනෙ.”

තෙන්නකෝන් ආචාර්යවරයාගේ කතාවත් සමග පළමු ව කඳුළු නැඟුණේ දඩබ්බරයාගේ ඇසට ය. ඒ මොහොතේ ඒ දෑස් හිමිකරුගේ දෑත ඉමහත් ආදරයෙන් අල්ලා ගත්තේ කඳුළු පිරි තවත් දෑසකි. ඒ දෑසෙහි හිමිකාරිය වූයේ නදී ය. ඒ සුසංවේදී මොහොතේ යළිත් කතා කෙළේ තෙන්නකෝන් ආචාර්යවරයා ය.

“දරුවනේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය අපේ ලොකු සර්ට පහුගිය දවසක එන්න කියලා තිබුණා තවත් ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් එක්ක. ලොකු සර් ඒ ජ්‍යෙෂ්ඨ ගුරුවරයට තෝර ගෙන තිබුණෙ මාව. අපි මීට සතියකට කලින් දවසක කුරුණෑගල පළාත් අධ්‍යාපන කාර්යාලෙට ගියා. මේ මොකට ද එන්න කියලා තියෙන්නෙ කාරණාව ගැන ලොකු සර්රුත් කිසිම දෙයක් දැනන් හිටියෙ නැහැ කියන එක මන් පැහැදිලිවම කියන්න ඕනෙ. අපි එදා ගියා. ඔය ළමයින්ට මතක ඇති පහුගිය සතියෙ සුමනා මැඩම් විදුහල්පතිනිය හැටියට වැඩ ආවරණය කරපු දවස. අන්න එදයි මේ තීරණාත්මක සාකච්ඡාව කෙරිච්ච දවස. එදා ඒ සාකච්ඡාවට අපි පස් දෙනෙක් සම්බන්ධ උනා.”

“කවුද සර් ඒ පස්දෙනා.”

ඒ ප්‍රශ්නය නැඟුවේ මේ වන තෙක් ද අතුලගේ අත අත නොහළ නදී ය.

“දුව අපි කාර්යාලෙට ගියහම අපි දෙන්නව කෙළින්ම පළාත් අධ්‍යක්ෂතුමිය ගාවට යොමු කළා. එතුමියගෙ දකුණු පැත්තෙ පුටුවෙ ඉඳගෙන හිටියෙ කලාප අධ්‍යක්ෂතුමා ඒ කියන්නෙ මජීඩ් මහත්තයා. වම් පැත්තෙ පුටුවෙ හිටියෙ රාජරත්නම් මැඩම්.”

“ඒ කියන්නෙ අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමියනෙ.”

“ඔව් රේණු දුව එතුමිය තමයි. මට තේරිච්ච විදිහට ඒක කලින් ඒ තුන්දෙනා කලින් කාරණා සාකච්ඡා කරලා යොදා ගත්ත රැස්වීමක්.”

“බැලුවහම මල්ටිනැෂනල් කන්ෆරන්ස් එකක්නෙ තිබිලා තියෙන්නෙ.”

“රේණු දුව කියන එක හරි. ඒක එක විදිහක මල්ටිනැෂනල් කන්ෆරන්ස් එකක්ම තමයි. මේ රටේ ජීවත්වෙන ප්‍රධාන ජාතීන් තුනක නියෝජනය තිබිච්ච රැස්වීමක් ඒක. ඒ වගෙම ඒකෙ විශේෂත්වෙ තමයි ඒ ජාතීන් තුන නියෝජනය කරන අධ්‍යාපනේ ක්ෂේත්‍රෙ විද්වතෙක් ඒ වගෙම විද්වතියන් දෙදෙනෙක් එකම තීරණයකට ඇවිල්ලා තිබීම.”

“මට පේන හැටියට අපේ ඉස්කෝලෙ පැත්තෙන් අපට හිතකර තීරණයක්නං වෙන්ඩ බෑ ඕක.”

“ඔව් අතුල කියන හැටියට අපේ ඉස්කෝලෙ පැත්තෙන් ගත්තහම නං ඒක හිතකර තීරණයක් නොවෙන්න පුළුවන්. ඒ උනාට අධ්‍යාපන කොට්ඨාසය විදිහට හිතුවොත් ඒ අය කියන විදිහටත් මට දැනෙන විදිහටත් ඒක හිතකර තීරණයක් නෙමෙයි කියලා කියන්න බැහැ.

“ඒ කියන්නෙ තෙන්නකෝන් සර් කියන්නෙත් ඔය ගත්තය කියන තීරණේ හරි එකක් කියන එක ද?”

“ඔව් ඒක හරි තීරණයක්. ඔය ගොල්ලන්ට විතරක් නෙමෙයි මටත් පුද්ගලිකව සර්ගෙ ඇසුර දුරස් වෙනවය කියන එක ලොකුම ලොකු පාඩුවක් තමයි. ඒ උනාට අපි මේ ගැන හිතන්න වෙන්නෙ ඒ පෞද්ගලික කාරණා පැත්තකින් තියලයි.”

“හරි සර් අපට තවම කිව්වෙ නැහැනෙ හරියටම මොකක් ද උනේ කියලා. ඒ මේ පළාතෙම ඉස්කෝලෙකටනං ඒ කොහෙට ද ඒ වෙනුවට අපිට කවුද එවන්නෙ කියන එක. ඔය කාරණාත් එතන කතා වෙන්න ඇතිනෙ.”

“ඔව් ගඟුල් ඔය කියන ඔක්කොම කතා උනා තමයි. අපේ ලොකු සර්ව මාරු කරලා තියෙන්නෙ තවත් ඉස්කෝල‌ෙක විදුහල්පති කරලනං නෙමෙයි.”

“එහෙනං මොකක් ද වෙලා තියෙන්නෙ.”

තරුණ පංච ගුරු මණ්ඩලයෙන් පමණක් නොව තෙන්නකෝන් මැතිනියගෙන් ද ඒ ප්‍රශ්නය නැඟුණේ එකට ය.

”රාජරත්නම් මැඩම් විශ්‍රාම යනවා. මැඩම්ගෙ නිර්දේශය මේ කොට්ඨාසෙ විතරක් නෙමෙයි මහව කලාපෙම ඉන්න වැඩිම සුදුසුකම් තියෙන විදුහල්පති වෙච්ච අපේ ලොකු සර්ව තමන්ගෙ තනතුරට පත් කරන්න කියන එක. කලාප අධ්‍යක්ෂ මජීඩ් මහත්තයා කළෙත් ඒක තහවුරු කරමින් කතා කරන එක. ඒ විතරක් නෙමෙයි පළාත් අධ්‍යක්ෂතුමිය කළෙත් ඔළුව වන වන ඒක අනුමත කරන එක.”

“එතකොට සර් මොකද කළේ.”

අතුල ඇසුවේ නොඉවසිල්ලෙනි.

“මන් කොහොම ද පුතා විරුද්ධ වෙන්නෙ, මගෙ සහෝදරයෙක් වගේ ඉන්න අදාළ සුදුසුකම් ඕනෙවටත් වැඩියෙන් තියෙන මනුස්සයෙකුට ප්‍රමාද වෙලා හරි ලැබෙන්න ඕන තනතුර ලැබෙන කොට. මාත් කළේ ඒක අනුමත කරන එක. වෙන සුදුසු කෙනෙකුට ඔය තනතුර දෙන්න කියලා කතා කළේ එකම එක්කෙනෙක් විතරයි.”

“ඒ කියන්නෙ අපේ ලොකු සර් තමන්ට ඒ තනතුර එපා කියල කතා කළා.”

“ඔව් දුවේ ඒ අපේ ලොකු සර්ගෙ හැටිනෙ. අනුන්ගෙ තනතුරු රකින්න අවශ්‍ය කරන වැඩ කරනවා මිස තමන් වෙනුවෙන් කවදාවත් කතා කරපු කෙනෙක් නෙමෙයිනෙ මේ. හැබැයි ඒකටත් එක්ක මන් සර් ඒක බාර ගන්නම ඕනෙ කියන කාරණේ වෙනුවෙන් පෙනී සිටියා.” 

“ඒ කියන්නෙ ලොකු සර්ගෙ සහායට කියලා එක්ක ගිය තෙන්නකෝන් සර් කළෙත් සර්ව අපිට නැතිවෙන තැනට වැඩ කරන එක.”

“ඔව් අතුල ඔයා මට කරන්නෙ චෝදනාවක්නං මන් කැමතියි ඒ චෝදනාවේ චුදිතයා බවට පත් වෙන්න.”

“මන් චෝදනා කරනව නෙමෙයි සර්. මට හරි දුකයි සර්.”

“මන් දන්නව පුතා අපි ඔක්කොටම වඩා ලොකු දුකක් ඔයාට තියෙනව කියන එක. මොකද ඔයා ලොකු සර්ට සලකන්නෙ තමන්ගෙ තාත්තට වඩා ගෞරවයකින්. අර හිටපු කොට්ඨාස අධ්‍යක්ෂතුමත් එක්ක ඔයාට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවෙ සාමාන්‍යයෙන් විදුහල්පති කෙනෙක් වැඩ කරන විදිහට නෙමෙයි අපේ ලොකු සර් වැඩ කළේ. ඒවා අපිටත් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඇයි එදා එහෙම ප්‍රශ්නයක් ඇති උනේ. ඒ තනතුරට නොගැළපෙන කෙනෙක් ඒ තනතුරේ හිටපු නිසයි. ඒ ලොකු සර්ම තමයි හෙට දවසෙ ඒ පුටුවට යන්නෙ. ඒකෙ තේරුම හෙට දවසෙ තමන් නිවැරදියි කියලා නිවැරදි දේ වෙනුවෙන් වැඩ කරන උඹලා වගේ ගුරුවරුන්ව අමාරුවෙ දාන්නෙ නැති මිනිහෙක් කොට්ඨාස අධ්‍යක්ෂ උනා කියන එකයි. ඒ ගැන හිතලා සතුටු වෙයන් පුතා.”

“මට සර් කියන දේ තේරෙනවා. මන් මුලින් හිතුවෙම සර්ව ඈත පළාතක විදුහල්පති කරලා යැව්වා කියන කාරණෙයි. ඒත් සර් කියන හැටියට අපේ ලොකු සර්ටත් යහපතක් වෙලා අපේ අධ්‍යාපන කොට්ඨාසෙටත් යහපතක් වෙනවනං අපිට ඉතින් හිත හදා ගන්න තමයි වෙන්නෙ.”

“ඇයි මේ වැඩේදි ලොකු සර් එක්ක සර්ටත් එන්න කියලා තිබුණෙ.”

ඒ ප්‍රශ්නය නැඟුණේ නදී වෙතිනි.

“ඒකටත් ඒ අයට පැහැදිලි හේතුවක් තිබුණා. ඒ ගොල්ලො ලොකු සර්ට එක්ක එන්න කියලා තිබුණෙ ඉස්කෝලෙ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් ව කියන කාරණේ මන් මේ දරුවන්ට කිව්වනෙ. ඉතින් සර් මාවනෙ එක්ක ගියේ. ඒ අය එහෙම කැඳවලා තිබුණෙ ලොකු සර්ගෙන් පස්සෙ ඒ තනතුරට පිටින් කෙනෙක්ව පත් කරන්නැතුව ඉස්කෝලෙන්ම අදාළ විදුහල්පති ශ්‍රේණිය පාස් වෙලා තියෙන කෙනෙක්ව පත් කරන්න. ආපු කෙනා සුදුසුයි කියලා හිතෙනවනං ඉන්න විදුහල්පතිවරයත් එයාව නිර්දේශ කරනවනං එයාව පත් කරන්නත් එයා අකැමැතියි කියලා වෙන ගැළපෙන කෙනෙක්ව යෝජනා කරනවනං ඒ ගැන සලකලා බලලා සුදුසු තීරණයක් ගන්නත් එක්ක තමයි මාව කැඳවලා තිබුණෙ.”

“ඒ කියන්නෙ ඉස්සරහට අපේ ලොකු සර් වෙන්නෙ තෙන්නකෝන් සර් නං අපිට ලොකු අහිමි වීමක් උනත් තවත් සුදුසුම මනුස්සයෙක් අපේ විදුහල්පති හැටියට ලැබුණා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කියන එක නේද?”

“ඔව් අපිට සතුටු වෙන්න පුළුවන් කෙනෙක් තමයි ඊළඟ විදුහල්පති හැටියට එන්න නියමිත.”

“ඒ කියන්නෙ සර් නෙමෙයි ද එන්නෙ.”

“ඔව් මම නෙමෙයි ගඟුල් එන්නෙ විදුහල්පතිනියක්. මන් අර දෙවෙනි කාරණේට ගියා. ඒ කියන්නෙ ඒ සාකච්ඡාවට සහභාගි වෙන්න අවස්ථාව ලැබිච්ච ජ්‍යෙෂ්ඨ ගුරුවරයා හැටියට මේ වෙලාවෙ ලොකු සර්ගෙ හිස්තැන යම් ප්‍රමාණෙකට පුරවන්න පුළුවන් කෙනාගෙ නම යෝජනා කළා. අන්තිමට එතන හිටපු ඔක්කොම ඒකට එකඟත් උනා.”

“කවුද සර් ඒ.”

“ඔව් ඒ තමයි අපේ සුමනා මැඩම්. තාම එයා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. හැබැයි පුතා ඔයගොල්ලො අපි ඔක්කගෙම තියෙන වගකීම තමයි එයා මේකට අකැමැති උනොත් කොහොම හරි කැමති කරවා ගන්න එක.”

“ඉතින් තෙන්නකෝන් සර්රුත් ඔය තනතුරට හැම අතින්ම සුදුසුනෙ. අපේ සුමනා මැඩමුත් හොඳයි තමයි. ඉතින් ඒ වගෙම සර්රුත් සුදුසුයිනෙ. ඒ වගෙම සර්ගෙන්නෙ මුලින්ම මේ ගැන අහලා තියෙන්නෙත්.”

“නදී දුව අපි එක එක්කෙනා උපදින්නෙ එක එක දේට. මන් හිතන්නෙ මන් ඉපදිලා තියෙන්නෙ ගුරුවරයෙක් හැටියට වැඩ කරන්න මිස පරිපාලන තනතුරු දරන්න නෙමෙයි. දැන් බලන්න ලොකු සර් වගෙ කෙනෙක් ගුරුවරයෙක් හැටියට ඉන්න එකත් අපරාධයක්. මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ අපේ ලොකු සර් කියන්නෙ ජාතීන් තුනක් නියෝජනය කරන අයටත් එක විදිහටම දැනිච්ච චරිතයක්. ඊළඟට ඔයගොල්ලො ඔක්කොම දන්නවා ලොකු සර් ගුරුවරු ශිෂ්‍යයො වැඩ කරන අය වගෙම දෙමව්පියො විතරක් නෙමෙයි මේ මුළු ගමම එකතු කරපු පාලමක් වෙච්ච කෙනෙක් බව. මන් දන්නවා අපේ සුමනා කියන්නෙත් ඒ වගෙම කෙනෙක්. අපි එකම කාලෙක විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තෙ. එයා ශිෂ්‍යාව කාලෙදි කළෙත් විවිධ හේතු නිසා වෙන් වෙලා ඉන්න අය එකතු කරපු එක. එතුමිය මේ ඉස්කෝලෙ වැඩ කරන පිළිවෙළ ගැන මන් ඔයගොල්ලන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නැහැනෙ.”

“එතකොට සර් කියන්නෙ අපි ඔක්කොම සුමනා මැඩම්ට කතා කරන්න ඕනෙයි කියන එක ද?”

“ඇත්තටම ඔව්, ඒක තමයි වෙන්න ඕන කරන දේ. ලොකු සර් කියන්න ඉස්සෙල්ලා අපියි පසුබිම හදන්න ඕනෙ. අපේ කැමැත්තත් ඉහළින් ම එතුමියට තියෙනවා කියන එක කිව්වට පස්සෙ එයාට බැරි වෙනවා මේකට බැහැ කියන්න. කොහොමත් මමත් එනවා ඔයගොල්ලොත් එක්ක එයාව හම්බ වෙන්න යන්න. මොකද ඔයගොල්ලො විතරක් ගියොත් එයා ඔය වැඩේට තෙන්නකෝන් සර් හොඳ නැද්ද කියලා අහන්න ඉඩක් තියෙනවා. මට එතකොට පුළුවන් විශ්වවිද්‍යාලෙ ඉතිහාසෙ ඉඳල ම සුමනා වැඩ කරපු හැටි කියලා එයා මේ මොහොතේ අපේ නායිකාව හැටියට අවශ්‍යමයි කියන කාරණේ තහවුරු කරන්න. මොකෝ අතුල ආයෙ ලොකු කල්පනාවකට වැටිලා වගේ ඉන්නෙ. ඇයි ඔයා කැමති නැද්ද සුමනා මැඩම් අපේ ප්‍රින්සිපල් වෙනවට.”

“අපොයි එහෙම එකක් නෙමෙයි. මට සුමනා මැඩම් කියන්නෙ අපිට අම්මා කෙනෙක්. මන් කල්පනා කළේ අපේ ක්‍රීඩා උත්සවෙ කට ළඟටම ආපු වෙලාවෙ විදුහල්පති හැටියට සර්ව අපට නැති වෙන එකට.”

“සර්ව අපට නැති වෙනවා තමයි අපේ විදුහල්පති හැටියට. ඒ වගෙම අමතක කරන්න එපා සර් මේ ක්‍රීඩා උත්සවේට සහභාගි වෙන්නෙ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හැටියට කියන එක. ඒ වගෙම සර්ට ඉදිරියට පුළුවන් වෙනවා ඔයගොල්ලො අපි ක්‍රීඩා උත්සවයක් පවත්තන්න යන ආකෘතිය තමන්ගෙ කොට්ඨාසෙ අනිත් ඉස්කෝලවලටත් බෝ කරන්න. අතුල, ලොකු සර් මෙහෙන් යන එක අපේ පරාජයක් විදිහට නෙමෙයි ලොකු ජයග්‍රහණයක් විදිහට අපි බාර ගම්මු.”

“මන් හිතන්නෙත් තෙන්නකෝන් සර් හරියි කියන එක. යහපත් දේවල් ක්‍රියාත්මක වෙන්න ඕනෙ අපේ ඉස්කෝලෙ විතරක් නෙමෙයිනෙ. මන් දන්නවා අතුල අය්යා ඉන්නෙත් එතැන. අපි යමු අය්යෙ සුමනා මැඩම් හම්බ වෙන්න. එතුමිය මේක තමයි වෙන්නම ඕන දේ කියලා තේරුම් ගත්තට පස්සෙ අපේ ඉල්ලීමත් එතුමියමනං මේකට කැමති වේවි.”

අනතුරුව තෙන්නකෝන් මහතා පෙරටු කොට ගත් පිරිස සුමනා ආචාර්යවරියගේ නිවහනට යාම සඳහා මගට පිළිපන්හ. දුර සිට ම ඔවුන් දුටුවේ සුමනා මහත්මියගේ සැමියා ය. ගජනැග්ගම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් කරන සේවයට අමතරව ගොවිතැන් කටයුතුවල ද නිරත වන ඔහු ගමේ කොයි කා සමගත් සහයෝගයෙන් කටයුතු කරන මිත්‍රශීලී මිනිසෙකි.

“ආ එන්ඩ එන්ඩ මන් බැලුවා කවුද මේ තෙන්නකෝන් මහත්තයා මුල් කරගෙන මෙහෙට එන පරිවාර සේනාව කවුද කියලා. බැලුවහම අද නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ බැටෑලියන් එකක්නෙ මේ එන්නෙ. මොකෝ තෙන්නෙ ආක්‍රමණයක් ද  එහෙම නැත්තං සංක්‍රමණයක් ද?”

“සිරීට මේ කට්ටිය මොකකට එනව වගේ ද පේන්නෙ.”

 “තෙන්නෙ නදී ඉන්න නිසා සංක්‍රමණයක් කියලා හිතන්නත් පුළුවන්. හැබැයි මේ අතුලයි රේණුයි ඉන්න නිසා ආක්‍රමණයක් වෙන්නත් බැරි නෑ. අනික් කට්ටිය ඉතින් මන් දන්න තරමින් නියුට්‍රල් අයනෙ.”

“බැලුවහම සිරී දන්නවනෙ ඔක්කොම ගැන.”

“මෙහෙමනෙ තෙන්නෙ අපේ සුමනා මට නාගොල්ලාගම ගැන සම්පූර්ණ වාර්තාවක් දෙනවා. මන් සුමනට ගජනැග්ගම ඉස්කෝලෙ ගැන සම්පූර්ණ වාර්තාවක් දෙනවා. අපි ඉතින් සාමයෙන් සමාදානෙන් අපේ ඉස්කෝලෙ දෙකේ තොරතුරු බෙදා ගන්නවා.”

“එහෙනං ඉතින් සිරී සර්ටයි අපේ සුමනා මැඩම්ටයි ඉස්සරහට මීටත් වැඩිය හොඳට ඉස්කෝල දෙකට සහයෝගෙන් වැඩ කරන්න වේවි.”

“ඒ මොකෝ රේණු දැන් අපි දීගන්න සහයෝගෙ මදි වගේ ද රේණු ඔයාලට පේන්නෙ.”

“අපෝ නෑ සර්. සර් ඉස්සෙල්ලා කිව්වා නේද අපි කණ්ඩායම ආක්‍රමණයකට ද සංක්‍රමණයකට ද ආවෙ කියලා. අපි සංක්‍රමණ ක්‍රමවේදයට මුලින් බලනවා. බැරි උනොත් අපිට ආක්‍රමණ ක්‍රමවේදය අනුගමනය කරන්න වෙනවා හොඳින් හරි නරකින්.”

“රේණු නෝනෙ අපි මුලින් හොඳින් බලලා ඉමු නේද? අපි ඉතින් කොහොමටත් සාමෙට කැමති අහිංසක මිනිස්සුනෙ. ඔක්කොට ම ඉස්සෙල්ලා ඔහොම්ම යමු ගෙට. මන් මේ සෙල්ලමට වගේ මය්යොක්කා ටිකක් ලිපේ තියන්න ලෑස්ති උනේ. දැන් ඒකෙ ප්‍රමාණෙ වැඩි කරන්න විතරයි තියෙන්නෙ.”

“ඒකට හොඳ ලුණු මිරිසක් හදලා හොඳට පොල් වඩියක් ගාලා ගත්තම ජාති.”

“අපේ රේණු අක්කා විහිලුවට කියන ඒවා ගණන් ගන්න එපා සර්. සර් දැන් කරදර වෙන්න එපා. අපි තෙන්නකෝන් සර්ලගෙ ගෙදරින් තේ බීපු ගමනුයි ආවෙ.”

“මේ මිහිදිනී උඹට එපානං නිකන් ඉඳින් හොඳේ. සිරී සර් තම්බන්න අපිටත් එක්ක මඤ්ඤොක්කා. කොහොමත් ඉතින් ඉස්සරහට සිරී සර්ලට අදටත් වැඩියෙන් අපේ ඉස්කෝලෙ ගැන හොයන්න බලන්න වෙනවා. ඒකට පෙරහුරුවක් වශයෙන් අද සර් මඤ්ඤොක්කා සංග්‍රහයෙන් පටන් ගම්මු. මේ නිහඬතාවෙන් පේන්නෙ අපේ මිහිදිනී ඇර ඔක්කොම කැමතියි ඒ සංග්‍රහයට කියන එක. අර ඒක කිව්වහම උනුහපුළු පැටියෙක් වගේ මගෙ දිහා බලන් ඉන්න හැටි. හරි හරි මගෙ පංගුවෙන් බාගෙට තැම්බිච්ච එක අලයක් හරි දෙන්නංකො නගෝ උඹට. කොහොමත් මගෙ දුකට සැපට ළඟම ඉන්න එකීනෙ උඹ.”

“තෙන්නෙ, අපේ රේණුගෙ කතාවෙ මට පේන හැටියට ලොකු තේරුමක් තියෙනවා. අපේ සුමනා ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ වැඩකටම අනුග්‍රහ ගන්න කියලා අද කීප දෙනෙක් හම්බ වෙන්න ගියා. උදෙන්ම තමයි ගියේ. තැන් දෙකකට තුනකට ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා තමයි ඉතිරි තැන්වලට යනවා කිව්වෙ. ඔය කියන්න හදන කාරණේ මට කියන්න පුළුවන් දෙයක් නං මට කිව්වොත් එයා ආවහම කියන්න පුළුවන්.”

“මේක සිරී ඔයාටත් අදාළ දෙයක් තමයි. මට හිතෙන්නෙ සුමනට ඉස්සෙල්ලා ඔයාට මේක කියන එක තමයි සුදුසු කියන එක. එහෙම හොඳයි ද ළමයිනෙ. මොකද මේ සිරී සර්ගෙත් සහයෝගය අපිට ලැබුණොත් වැඩේ ගොඩක් පහසු වෙනවා.”

“ඒක හරි සර්ගෙ කැමැත්තත් මෙතෙන්දි අපිට ගොඩක් වැදගත්.”

“නදී බය වෙන්න එපා. සර්ගෙ කැමැත්තත් අපි ගන්නවම තමයි. සිරී සර් දෙකින් එකක් නෙමෙයි අපි හිතන එකෙන් එක විසඳගෙන තමයි අපි අද මෙතනින් යන්නෙ. සර් පැත්තකට වෙන්න. ලිපට ගින්දර අඩු කරන එක මන් කරන්නං. ගඟුල් උඹ බිඳපන් මල්ලි ඔය පොල්ගෙඩිය. අතුල උඹේ මහා ක්‍රීඩා උත්සවේ සාර්ථක වෙන්නයි සුමනා මැඩම්ගෙ නායකත්වය ලැබෙන්නයි ප්‍රාර්ථනා කරලා ගාපන් ඔය ගෙඩියම උඹේ ක්‍රීඩා ජවේ යොදවලා. මිහිදිනී උඹ මොකෝ ඔතන ළමාතැනී වගේ බලන් ඉන්නෙ. සුද්ද කරපන් මේ රතුළුෑණු ටික ලුණු මිරිස හදන්න.”

“මට දෙන්නෙ බාගෙට තැම්බිච්ච අල නං මන් මොකට ද මහන්සි වෙන්නෙ. ඕන කෙනෙක් ඕන එකක් සුද්ද කරගන්න එකයි ඇත්තෙ.”

මිහිදිනී එසේ පැවසුවේ බොරු අමනාපයක් මවා පාමිනි.

“අනේ මගෙ අල ගෙඩිය, මන් එහෙම කිව්වෙ වස්තුවෙ ආදරේටනෙ. හොඳයි නගෝ මේ කට්ටියගෙම පිඟන්වල බාගෙට තැම්බිච්ච අල තිබ්බොත් ඒවා ඔක්කොම මගෙ මේ හොඳ නංගිගෙ පිඟානට දාන්න හොඳේ.”

එසේ කියා රේණු කෙළේ මිහිදිනීගේ නිකටින් අල්ලා සෙලවීම ය.

“මේ රේණු ඉන්න තැනක් පාළු නෑ කියලා අපේ සුමනා කියන වචනවල තියෙන ඇත්ත අද තමයි මට හරියටම තේරුණෙ.”

“රේණු දුව ගැන අපේ නෝනා කියන්නෙත් ඔය ටිකම තමයි සිරී. අනාගතේ කවදා හරි දවසක් ඉස්කෝලෙකට හරි වෙනත් ආයතනයකට හරි නායකත්වය දෙන්න උනත් සුදුසු යි ඔය කෙල්ල. දැක්ක ද මේ ටිකට කරපු මෙහෙයිල්ල. අන්න බලන්ඩ සිරී එක්කෙනෙක් පොල් ගානවා. එක්කෙනෙක් රතුළුෑණු සුද්ද කරනවා. අනිත් එක්කෙනා මඤ්ඤොක්කා ඇතිලිය ගාව ඇණ තියාගෙන. ඒ වගෙම හෙමින් සීරුවෙම ඔයාටත් නොදැනිම ඔයාව ඒ වැඩවලින් අයින් කළා. ඔය කෙල්ල ඒක කළෙත් හිතලමයි. ඒ නදීටයි මටයි ඔයත් එක්ක මේ වෙලාවෙ කතා කරන්න ඕන දේවල්වලට ඉඩ සලස්සන්න.”

“මට පේන විදිහට සිරී ඕගොල්ලො අද මේ ඇවිල්ලා තියෙන්නෙ එසේ මෙසේ වැඩකටනං වෙන්ඩ බෑ. හරි අපි අර එළියෙ තියෙන බංකුවෙ ඉඳගෙන ම කතා කරමු.”

සුමනා මහත්මියගේ සැමියා වන සිරිනන්ද මහතා තෙන්නකෝන් මහතා සහ නදී කැටුව ගියේ තුරු සෙවණ වැටෙන තැනක සදා තිබූ බංකුවක් වෙත ය.

“තෙන්නෙ දැන් කියමු බලන්ඩ දැන් මොකක් ද මේ වෙන්ඩ යන්නෙ කියන එක.”

“නදී දුවේ එහෙනං මන් කෙළින් ම කියන්ඩ ද අපේ සිරී සර්ට වෙන්ඩ යන එක.”

“ඔව් සර් මට හිතෙන්නෙත් ඒක හොඳයි කියන එක. කොහොමටත් අපේ මැඩම්ට ඉස්සෙල්ලා සර් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක තමයිනෙ අපේ කට්ටියෙම අදහස.”

“මෙහෙමයි සර් අපේ ලොකු සර් මෙහෙන් යනවා උසස් වීමක් ලබලා. ඒ කියන්නෙ එතුමා යන්නෙ අපේ කොට්ඨාසෙ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදිහට පත්වීම ලබලා.”

“ඒකනං අපිට මෑතක අහන්ඩ ලැබිච්ච හොඳම ආරංචියක්නෙ. ඒ කියන්නෙ එතුමා නාගොල්ලාගමට විතරක් නෙමෙයි අපිටත් අයිති වෙනවා කියන එකනෙ. ඒක හොඳ උනාට ඊළඟට නාගොල්ලාගම ඉස්කෝලෙට මොකද වෙන්නෙ.”

“අන්න ඒකට විසඳුම හොයාගෙන තමයි සිරී අද අපි මෙහෙට ආවෙ.”

“ඉතින් තෙන්නෙ අපි කොහොම ද ඒකට විසඳුමක් දෙන්නෙ. ඒක තීරණය කරන්නෙ අධ්‍යාපන කාර්යාලෙනෙ.”

“අධ්‍යාපන කාර්යාලෙනං හරි සිරී. දැන් තියෙන්නෙ ඉතිරි වැඩ ටික මෙහෙන් කෙරෙන එක.”

“ඒ කිව්වෙ තෙන්නෙලා මේ කියන්නෙ මොකක් ද කියන එක මට පැහැදිලි මදි.”

“කොටින්ම කියනවනං විසඳුම තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි මේ ගෙදරම තමයි. දැන් නදී දුව ඉතුරු කොටස සර්ට කියන එක ඔයාට බාරයි.”

“මෙහෙමයි සර්, ඉස්කෝලෙ විදුහල්පතිනිය හැටියට අපේ සුමනා මැඩම්ව පත් කරන්නයි යන්නෙ. ලොකු සර්රුත් ඒ යෝජනාවට කැමතියි ආචාර්ය මණ්ඩලේ හැටියට අපිත් කැමතියි. මේ වෙන කොට අධ්‍යාපන කාර්යාලෙත් ඒකට කැමති වෙලා තියෙනවා.”

“මේ අපේ සුමනව.”

“ඔව් ඔයාගෙ සුමනව තමයි. ඇයි සිරි මේ පුදුමෙන් වගේ. ඇයි සුමනට බැරි ද අපිට නායකත්වෙ දෙන්නෙ.”

“ඉතින් තෙන්නෙ ඒක සුමනට වඩා හොඳින් කරන්න පුළුවන් කෙනා ඔයානෙ.”

“නෑ සිරී, මේ මොහොතෙ අපේ නියමුවරිය වෙන්න සුදුසුම කෙනා තමයි සුමනා. එයාගෙ කැමැත්ත විතරයි අපිට ඕනෙ. සිරීලට වෙනදට වැඩිය අපහසුකම් එන්න පුළුවන් වැඩ වැඩි වෙන්න පුළුවන් එයා  විදුහල්පතිනි උනාම. ඒ උනාට මේ වෙලාවෙ ඒ ඔක්කොම දරාගෙන අපට උදව් කරන්න කියන ඉල්ලීම තමයි අපිට සිරීටත් කරන්න තියෙන්නෙ.”

“ඒක වෙන්නම ඕනෙ දෙයක් කියලා ඔයගොල්ල ඔක්කොම කියනවානං මන් මගෙ සහයත් දෙන්නං. ඒ වගෙම අද හෙටම දවසක යන්න ඕනෙ ලොකු සර්වත් හම්බ වෙන්න. කිසිම අහංකාරයක් නැති මනුස්සයා. හරි මනුස්සයෙකුට පරක්කු වෙලා හරි හරි තනතුර ලැබීමයි මේ වෙලා තියෙන්නෙ. මට හිතෙන හැටියට මුළු කොට්ඨාසෙම තියෙන ඉස්කෝලවලට අලුත් ඉරක් පෑයුවා වගේ තියේවි මේ ලොකු සර්ගෙ පත්වීම. මට බය අපේ සුමනට ඔය විදුහල්පතිකම දරා ගන්න පුළුවන් ද කියන එක.”

“මොකෝ බැරි සිරී, මේ වෙලාවෙ සුමනටම තමයි මේ ඔක්කොම දරාගෙන ඉස්කෝලෙ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. අනිත්තෙක අපි ඔක්කොම ඉන්නවන‌ෙ එයාගෙ සහයට.”

“අනේ මන්දා ඔන්න කියන කොටම මේ පැත්තට ත්‍රීවීලර් එකක් එන සද්දෙ ඇහෙනවා. ඔය එන්නෙ සුමනා. දැන් ඔයගොල්ලම තමයි එයත් එක්ක කතා කරගන්න ඕනෙ. මට කරන්න පුළුවන් දේ තමයි ඔය අදහසට විරුද්ධ නොවී මට පුළුවන් විදිහට සහය දෙන එක.”

“අන්න හරි සිරී සර් ඒක තමයි සර්ගෙන් අපිට ලැබෙන්න ඕන කරන සහය. ඒ වගෙම සර් අපි මේ අදහස ඉදිරිපත් කළාම සර්රුත් ඉතින් පැත්තක ඉඳගෙන අපේ සහයෝගෙට වචනයක් දෙකක් කියන්න.”

එසේ කියා නදී ඒ වනවිට ත්‍රීරෝද රථය නවත්වා තිබූ තැනට ගමන් කළා ය. ගඟුල් ද එතැනට පැමිණෙනු දැකිය හැකි විය. සුමනා රියෙන් බැස්සේ පාර්සල් ගොඩක් ඔසවා ගෙන ය.

“ගඟුල් පුතා තව බෑග් දෙක තුනක් ඇතුළෙ තියෙනවා ඒවත් ගන්න. පුතේ අර ඇතුළෙ තියෙන පාර්සල් ටික අරගෙන මේ සර්ට දෙන්න.”

සුමනා එසේ පැවසුවේ තරුණ ත්‍රීරෝද රථ රියදුරාට ය.

“මේ මොනව ද මැඩම් මේ ගොඩක් ජාති.”

“ඔය පාර්සල්වල තියෙන්නෙ මොනව ද කියලා පස්සෙ කියන්නං. ඒවා අපේ ඉස්කෝලෙට හම්බ වෙච්ච ඒවා. අනිත් බෑග්දෙකේ තියෙන්නෙනං ඔයගොල්ලන්ට ගෙනාපු ජාති.”

“ඉතින් මැඩම් දන්නෙ නැහැනෙ අපි ඇවිල්ල ඉන්න වගක්.”

“නෑ මන් දන්නවා පුතා අපේ මහත්තයා මට කතා කරලා කිව්වා ඔන්න සුමනා නාගොල්ලාගම ඔයාගෙ ඉස්කෝලෙ ගුරු කණ්ඩායමක් ඔයා හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා. තේ ටිකක් දෙන්න මොනව හරි ගේන්න කියලා.”

“මේ මොකද අප්පච්චියෙ මෙයාකාර බඩු. අපි ආපු බව ආරංචි වෙලා ද කලින් ම අපේ මැඩම්ට.”

එසේ පැවසුවේ ඒ මොහොතේ එතනට ආ රේණු ය.

“නෑ නෑ ඔයගොල්ල ආවා කියලා නෙමෙයි මේ ජාති ගෙනත් තියෙන්නෙ. මැඩම්ට ආරංචි වෙලා තිනෙවා ගඟුල් පුතත් මෙතන ඉන්නවා කියන එක. ඔයාට තියෙන්නෙ අක්කෙ ගඟුල් පුතා ඇතුළු එයාගෙ කණ්ඩායමට හොඳ සංග්‍රහයක් කරන්න පුළුවන් තරන් ඉක්මණට තේ මේසෙ ලෑස්ති කරන එක.”

“හරි හරි උඹට කොහොමටත් මට හොඳ සංග්‍රහයක් කරන්න බැරි උනා කාලෙකින්. මන් ඒකට වෙලාව හදාගන්නං මල්ලි අනික් අයට තේ ටිකක් එහෙම දීලා. යන් මැඩම් අපි ගෙට.”

මෙසේ කියා රේණු කෙළේ ඒ වනවිට සුමනාවන්ගේ අතේ තිබූ පාර්සලය ද සියතට ගෙන අනිත් අතින් ඇය අල්ලා ගැනීම ය.

“ආ අපේ තෙන්නකෝන් මහත්තයත් ඇවිල්ලනෙ. කුස්සිය පැත්තෙන් ඇහෙන සද්දෙ හැටියට එතනත් කීප දෙනෙක් ම ඉන්නව වගේ.”

“ඔව් සුමනා අපි ආචාර්ය මණ්ඩලේ හය දෙනෙක් ම මේ වෙලාවෙ ආවෙ ඔයාව හම්බ වෙන්න ඉතාම වැදගත් වැඩකට. අපි ඔය අපිට කරන්න හදන සංග්‍රහයෙන් පස්සෙම කතා කරමු. ඒක කෙරෙන වෙලාවට මේ ආපු අය ඔක්කොම එතන ඉන්න ඕන.”

“මොකක් ද අප්පච්චියෙ මාත් එක්ක කරන්න තියෙන ඒ තරන් වැදගත් සාකච්ඡාව.”

“ඔයත් එක්කම මේ සාකච්ඡාව කරන්න තියෙන්නෙ ඔයා සුමනා මේ කතාවට අත්‍යවශ්‍ය කතා නායිකාව නිසා. හොඳයි කට්ටියම එක තැනකට එකතු උනාට පස්සෙ අපි ඒ ගැන කතා කරමු කො. නැද්ද සිරි.”

“මට පේන්නෙ අපේ මහත්තයත් අල්ලගෙන මේ කට්ටිය මොකක් ද ලොකු කතාවකට යන්න වගේ හදන්නෙ.”

“මේ සුමනා මාවනං අල්ල ගන්න එපා ඔය කතාවට. මොකද මන් ඇවිල්ලා වෙන ඉස්කෝලෙක මනුස්සයෙක්. මේක ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ඔයගොල්ලන්ට අදාළ ප්‍රශ්නයක් මිස මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. නැද්ද නදී.”

“හැබැයි සිරී සර් මේක සර්ට අදාළ නෑ කියලත් කියන්න බැහැ. මොකද මේකෙ බලපෑම ප්‍රධාන වශයෙන් ලබන චරිතයක් තමයි සර්රුත්.”

“අනේ මන්දා මට ඔයගොල්ලො කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. හොඳයි ඔයගොල්ලන්ට ඕන වෙලාවට කියන්ඩ ඕන දේ කියන්ඩකො. මන් එතකන් අර කුස්සිය පැත්තෙන් ඇහෙන සද්ද මොනාද කියලා බලන් එන්නංකො.”

එසේ කියා සුමනා ආචාර්යවරිය කෙළේ මුළුතැන් ගෙය දෙසට ගමන් කිරීම ය. ඇය ළංවත් ම රේණු කෙළේ අපේ නියමුවරියට ජය වේවා යි කියමින් ප්‍රීතිඝෝෂා කිරීම ය.

“මන් කොහොම ද ළමයිනේ නියමුවරියක් වෙන්නෙ. ඔන්න ලොකු සර් මෙතන හිටියනං ඔය ප්‍රීති ඝෝෂාව ගැළපෙනවා.”

“මැඩම් අපි ගැළපෙන වැඩ මිසක් නොගැළපෙන වැඩ කරන්න‌ෙ නැහැ. අපරාදෙ කියන්න බැහැ අද දවසට ඕන කරන උත්තේජනය සපයන්න අවශ්‍ය කරන ජාතිත් මැඩම්ම ගෙනත් තියෙනවා අපිට. වණ්ඩු ආප්ප ද ඤාණකතා ද ටී බනිස් ද කෙසෙල් ද ඔක්කොම ගෙනත් තියෙනවා. මැඩම් ගෙනාපු ජාතිවලින් අපි මුලින් ම සංග්‍රහ කරන්නෙ මැඩම්ට ම තමයි. ඒකෙන් පස්සෙ අපි මැඩම්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට මැඩම්ට තියෙන්නෙ ඒකට මන් එකඟයි කියලා කැමැත්ත පළ කරන එක විතරයි. බොහොම සුළු වැඩක් මැඩම් කරන්න තියෙන්නෙ. එකඟයි කියන වචනෙ කියන්න විතරයි තියෙන්නෙ.”

“ඉතින් රේණු යෝජනාව මොකක් ද කියලා දන්නෙත් නැතුව මන් කොහොම ද එකග හරි එකග නැහැ හරි කියලා කියන්නෙ.”

“මෙහෙමනෙ මැඩම්, අපිට බුදු හාමුදුරුවො කියලා දීලා තියෙන්නෙත් බොහෝ දෙනාගෙ හිත පිණිස බොහෝ දෙනාගෙ සුව පිණිස වැඩ කරන්න කියලනෙ. මේකත් අන්න එහෙම බහුජන හිතාය, බහුජන සුඛාය ජාතියෙම වැඩක්.”

“හොඳයි හොඳයි එහෙනං ඔයගොල්ලොම ඔය තේ මේසෙ ලෑස්ති කරලා ඉන්නකො. ඊට පස්සෙ අපි බලමුකො ඔයගොල්ලො කියන බහුජන හිත බහුජන සුඛ වැඩේ මොකක් ද කියලා.”

“මැඩම්, මේකට තේ මේසෙ කියල විතරක් කියන්ඩ බැහැ. මොකද ඒකට අපේ සිරී සර් දහඩිය මහන්සියෙන් හදපු මඤ්ඤොක්කත් එකතු වෙන නිසා. ඒක නිසා මන් කැමතියි මේක නම් කරන්න Tea Table with Mayyokkas කියලා.”

“හරි හරි ඔයගොල්ලන්ට කැමති නමක් දාලා ඕක ලෑස්ති කරන්නකො. මන් ඇඟපත හෝදගෙන ගවුමක් දාගෙනම එන්නංකො ඔයගොල්ලන්ගෙ සාකච්ඡාවට.”

සිනාසී එසේ පැවසූ සුමනා ආචාර්යවරිය එතැනින් නික්ම ගියා ය.

රේණුගේ මූලිකත්වයෙන් අතුලගේ ගඟුල්ගේ සහ මිහිිදිනීගේ සහාය ඇතුව සකසා තිබුණේ සුවඳ හමන කෑම මේසයකි. සුදු පෝසිලේන් විසල් බඳුනක බහා තිබුණේ පදමට තම්බා ගන්නා ලද මයියොක්කා ය. ඊට අවැසි නිසි ලුණුමිරිස සැකසුණේ අතුල අතිනි. ගඟුල් ප්‍රමාණවත් පොල් බඳුනක් ගෙනැවිත් මය්යොක්කා බඳුන ළඟින් තැබුවේ එහි පාළුව නැසීමට මෙනි. සුමනා ආචාර්යවරිය ගෙනැවිත් තිබූ කෙසෙල්, තල, වණ්ඩු ආප්ප ආදිය ද මිහිදිනී ඊට එක් කිරීමෙන් පසු එතැන නිර්මාණය වී තිබුණේ කදිම තේ මේසයකි. එතැන තිබුණේ ආහාර පානාදිය පමණක් නොවේ. එහි ආදරය ද විය. සංග්‍රහයෙන් පසු පළමු ව කතාබහ ආරම්භ කෙළේ සුමනා ආචාර්යවරිය විසිනි.

“ඔයගොල්ල අද මෙහෙ ආවා කිව්වෙ මාත් එක්ක ලොකු දෙයක් කතා කරගන්න කියන බව මන් දන්නවා. ඒ උනාට මොකක් ද ඒ කාරණේ කියන එක නං මන් දන්නෙ නැහැ. රේණුගෙන් ඇහැව්වහම ඒක මැඩම්ට අද සුදුසුම වෙලාවෙදි අපි අතර ඉන්න සුදුසුම කෙනා ලව්වා ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි හිනාවෙවී කිව්වෙ. අපේ මහත්තය නං මොනවා හරි දන්න බව පේනවා. ඒ උනාට එයා මට ඉන්නෙත් අනේ සුමනා මන්නං මේ මොකුත් දන්නෙ නෑ කියන ගාණට. ඒ උනාට එයාගෙ මූණෙන් ම මට තේරෙනවා එයා ඔයගොල්ලො ආපු හේතුව දන්නව කියන එක. මොකද අපේ මහත්තයට තියෙන්නෙ හැඟීම් හංගන හිතක් නෙමේ, හැඟීම් පෙන්නන හිතක්. හරි කමක් නෑ දැන්වත් ඔයගොල්ල මට ආපු කාරණේ කියනවනං හොඳයි මාව තවත් බය කරන්නෙ නැතුව.”

මේ මොහොතේ සියලුදෙනාගේ දෑස් යොමු වූයේ තෙන්නකෝන් මහතා වෙත ය. එහි අරුත වටහා ගත් ඔහු සිය හඬ අවදි කෙළේ ය.

“සුමනා මන් දන්න සුමනා කියන්නෙ බය වෙන නෙමෙයි බය නැති කරන කෙනෙක්. අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ කියන්නෙ මුළු රටේම බොහොම අවදානං දරුණු  කාලයක් කියන එක කියන එක මෙතන ඉන්න අයගෙන් අද්දැකීමෙන්ම දන්න එක්කෙනෙක් ඔයා. තව කෙනෙක් අපේ මේ සිරී. මමත් අයිති ඒ යුගේට. ඒ අවදානන් යුගේ ගොඩක් දෙනා තමන් කරන්න ඕන වගකීම් හිටන් පැහැර අරින කොට තමන්ගෙ ජීවිත අවදානම ගැන පවා නොතකා වැඩ කරපු චරිතවලින් ප්‍රධාන කෙනෙක් තමයි සුමනා ඔයා. අපි වීරයොයි කියලා හිතපු අයත් මග ඇරලා ගිය වෙලාවල පවා ඔයා ශිෂ්‍යයන්ට අවශ්‍යම කරන නායකත්වය බොහොම බුද්ධිමත් විදිහට ලබා දෙන්න ඉදිරිපත් උනා. මට ඒ ඉතිහාසෙ කවදාවත් අමතක නැහැ සුමනා. මොකද ඔයාගෙ ඒ අතීත නායකත්වෙ තිබිච්ච හැඩරුව ගැන මමත් ජීවමාන සාක්කියක් වෙච්ච නිසා. දැන් ඒ නායිකාව අපිට ආයෙත් අවශ්‍ය වෙලා තියෙනවා. නාගොල්ලාගම ඉස්කෝලෙට අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒකටයි අපි අද ඔයාව හොයාගෙන ආවෙ.”

“ඉතින් තෙන්නකෝන් සර් නායකයෙක් අවශ්‍ය වෙන්නෙ නායකයෙක් නැති තැනට. මන් විතරක් නෙමෙයි මෙතන ඉන්න නැති කවුරුත් ඒකමතිකව පිළිගන්න දෙයක් තමයි අපේ ඉස්කෝලෙට හොඳම හොඳ නායකයෙක් ඉන්නව කියන එක. නැද්ද මන් කියන්නෙ.”

“ඒත් මැඩම් මැඩම් කිව්වා වගෙම හොඳම හොඳ ඒ නායකයා අපට ඉක්මණින් ම නැති වෙන්නයි යන්නෙ.”

“ඇයි රේණු අපේ ලොකු සර් ගම් පළාතෙ ඉස්කෝලෙකට මාරුවක් අරන් යන්නවත් හදිසි තීරණයක් අරන් ද? එහෙම නැත්තං කලාපෙන් මාරු කරල ද වෙන ඉස්කෝලෙක ප්‍රින්සිපල් කරලා. සර් මා එක්කම කියලා තියෙනවනෙ මන් මේ පළාතෙම ඉන්නව මිසක් වෙන දිහාවකට යන්නෙ නැහැ කියන එක.”

“මැඩම් කියපු විදිහට සර්නං ඉස්කෝලෙන් යන්න තීරණයක් අරන් නැහැ. කලාපෙන් මාරු කරන්න තීරණයක් අරන් කියන එකනං හරි. ඒත් ඒ වෙන ඉස්කෝලෙක විදුහල්පති හැටියට නං නෙමෙයි. ඒ වගෙම සර් මේ පළාතෙන් යන්නෙ නැහැ කියන එකත් හරි.”

සුමනා රේණු වෙත යොමු කළ ප්‍රශ්නයට එසේ පිළිතුරු ලබා දුන්නේ නදී ය.

“ඒ කියන්නෙ නදී සර්ගෙ තනතුරෙන් පල්ලෙහාට දාලා කරපු දඬුවම් මාරුවක් ද මේ. ඒක එහෙමනං ඒක වෙනස් කරගන්නෙ කොහොම ද කියන එකත් අපි දන්නවා.”

“අන්න බලන්න අපිට ඕන කරන නායිකාව මතු වෙන හැටි. ඒ කියන්නෙ තෙන්නකෝන් සර් අපි ගත්ත තීරණේ හරි.”

“මොකක් ද රේණු අපි ගත්ත තීරණේ කියන්නෙ.”

“සර් ම පැහැදිලි කරලා දෙනවනං හොඳයි අපේ මැඩම්ට දැන් ඇතිවෙලා තියෙන තත්වෙ.”

“මේකයි සුමනා අපේ ලොකු සර්ව මාරු කරලා තියෙන එක ඇත්ත. ඒත් ඒක දඬුවමක් නෙමෙයි උසස් වීමක්. මන් කෙළින්ම කියන්නං කාරණේ. සර්ට උසස් වීමක්. සර් අපේ ඉස්කෝලෙන් යන්නෙ අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමා හැටියට උසස් වීමක් ලබලා. හැබැයි මුලින් ඒකට එතුමා කැමති උනේම නැහැ. හැබැයි පළාත් අධ්‍යක්ෂතුමිය, කලාප අධ්‍යක්ෂතුමා වගෙම ළඟදි විශ්‍රාම යන්න ඉන්න අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමිය දිගින් දිගටම කරපු ඉල්ලීම් අනුව සර්ට ඒකට එකඟ වෙන්න උනා. ලොකු සර් පළාත් කාර්යාලෙට ගියේ මාත් එක්ක. ඇත්තම කියන්න සුමනා මන් කළෙත් ඒ තුන්දෙනාගෙ අදහසට එකඟ වෙන එක. ඔය තනතුර මට නෙමෙයි වෙන සුදුස්සෙකුට දෙන්න කියලා ඒකට විරුද්ධව කතා කළේ ඉතින් අපේ ලොකු සර් විතරයි. මට මතකයි ඒ වෙලාවෙ පළාත් අධ්‍යක්ෂතුමිය දුන්න උත්තරේ. අපි වෙන කෙනෙක් ගැන හිතලා තිබුණනං ඒ කෙනාව මේ සාකච්ඡාවට ගෙන්නනවා මිසක් ඔබතුමා ගෙන්නන්නෙ නැහැනෙ කිව්වා. ඒ වගෙම විදුහල්පතිතුමා මේක මගෙ විතරක් නෙමෙයි කලාප අධ්‍යක්ෂතුමා වගෙම කොට්ඨාස අධ්‍යක්ෂතුමියගෙත් ඉල්ලීමක්. ඔබතුමාගෙ වටිනා සේවය දැන් ඉතින් එක ඉස්කෝලෙකට සීමා නොකර මුළු කොට්ඨාසෙටම ලබා දෙන්න ඕන වෙලාවක් මේක. තව මාස තුනකින් මෙතුමිය විශ්‍රාම යන්න නියමිතයි. එතුමිය කිව්වෙ මට සැනසිල්ලෙ යන්න පුළවන් වෙන්නෙ නාගොල්ලාගම විදුහල්පතිතුමා මේකට පත් කළොත් කියන කාරණේ. මේකට බැහැ කියන්න එපා විදුහල්පතිතුමා. දැන් බලන්න මේ ඇවිල්ල ඉන්න ඔබතුමාගෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා කියන්නෙත් ඔබතුමා මේක බාර ගන්න ඕනෙයි කියන කාරණේ. ඔන්න ඔහොමයි සුමනා වැඩ සිද්ද උනේ.”

“තත්වෙ ඕකනං අපිට ඕකට විරුද්ද වෙන්න බැහැ තමයි. මොකද සර් මෙහෙන් යන්නෙ තමන්ගෙ සේවෙ තිබුණටත් ගොඩක් වැඩියෙන් කරන්න පුළුවන් තනතුරකට නිසා. ඒක නිසා අපිට දැන් තියෙන්නෙ මුලින්ම අපේ ලොකු සර්ට සුබ පතලා ඊට පස්සෙ අපේ නායකත්වෙට සුදුසු කෙනෙක් පත් කරගන්න එක.”

“අන්න අපේ මැඩම්ගෙන්ම කියවුණා වෙන්න ඕන දේ. අපි ලොකු සර්ට සුබ පතලා ඉස්සරහට නායකයෙක් වෙනුවට නායිකාවක් පත් කර ගම්මු.”

ඇයි රේණු නායිකාවක්, අපේ තෙන්නකෝන් සර් හොඳයිනෙ ඒකට. කොහොමටත් සර් අපේ නියෝජ්‍ය විදුහල්පතිනෙ.”

“ඇයි මැඩම්ට අමතක උනාද අපේ ඉස්කෝලෙට තවත් නියෝජ්‍ය විදුහල්පති තනතුරක් තියෙන එක ගැන. ඒ තනතුරම දරන අනිත් කෙනා මැඩම්නෙ. අපි ඒ දෙන්නගෙන් කවුරු විදුහල්පති තනතුරට ආවත් කැමතියි. හැබැයි තෙන්නකෝන් සර් කියන හැටියටත් මේ වෙන කොට අධ්‍යාපන කාර්යාලයට අපේ සර්ලා කරුණු දක්වලා තියෙන හැටියටත් මැඩම්ටම තමයි ඒක බාර ගන්න වෙන්නෙ.”

“ඒක හරි කතාවක්නෙ මගෙ කැමැත්ත අකැමැත්ත අහන්නෙත් නැතුව කොහොම ද රේණු එහෙම පත්වීම් කරන්නෙ.”

“හැබැයි මට හිතෙන හැටියට ඒක හරි කතාවක් තමයි. මන් හිතන්නෙ යම් කෙනෙක් යම් තනතුරකට සුදුසු නං එයා කැමති උනත් අකමැති උනත් එයාවම තමයි පත් කරන්න ඕනෙ. මැඩම් මන් කියන දේට එකඟ ද නැද්ද කියන්න මන් දන්නෙ නැහැ. හැබැයි අපේ ලොකු සර්රුයි  තෙන්නකෝන් සර්රුයි දෙන්නම මේ වෙන කොට මැඩම්ගෙ නම යෝජනා කරලා කලාපෙන් අනුමත් වෙලත් තියෙන එක තමයි අපි දන්න ඇත්ත.”

“ඒක පුදුම කතාවක්නෙ. බලන්ඩකො අපේ මහත්තයා අපේ සර්ලා මටත් හොරෙන් කරලා තියෙන වැඩේ. ඔයාවත් පැහැදිලි කරලා දුන්නෙ නැද්ද මේ තෙන්නකෝන් මහත්තයට මට වඩා එයා නේද මේකට සුදුසු කියන කාරණේ.”

“අනේ සුමනා මන් පැහැදිලි කළා. ඒ උනාට මේ කණ්ඩායම කලින් කතාවෙලා තීරණයකට ඇවිල්ල තියෙන්නෙ ඔයාට ම මේක බාරගන්න කියන්න. ඉතින් මන් මොකද කරන්නෙ. මේක ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ප්‍රශ්නයක්නෙ.”

“රේණු බලන්ඩකො අනේ වෙන තැන්වල තමන්ට තනතුර ගන්න මිනිස්සු ගහමරා ගන්නවා. මෙතන තනතුරට උපරිම සුදුසුකම් තියෙන දෙන්න මන් නෙමෙයි ඔයයි සුදුසු කියලා රණ්ඩු වෙනවා.”

“නදී අක්කෙ, ඕවට අපි කියන්නෙ ආදරය නිසා අනිත් කෙනා ගැන තියෙන තැකීම නිසා ඇතිවන ස්නේහ කලහ කියලයි. කොහොම උනත් මේ රණ්ඩුවෙන් අපේ සුමනා මැඩම් පරාද වෙලා විදුහල්පති තනතුර ගන්නම වෙනවා. ඕන්නං අපි විහිලුවට වගේ ඡන්දයක් තියලා බලමු ද?”

“මොකක් කියල ද ඡන්දෙ තියන්නෙ. කවුද ගඟුල් ඡන්ද දායකයො වෙන්නෙ.”

“වෙන මොකක්වත් නෙමෙයි අපේ සුමනා මැඩම් මේ තනතුර බාරගන්න ඕනෙ ද නැද්ද කියන එකටයි ඡන්දෙ තියන්නෙ. දැනට ඡන්ද දායකයො වෙන්නෙ මේ ඉන්න අපිම තමයි. සුමනා මැඩම්ටත් එක ඡන්දයක් තියෙනවා.”

ගඟුල් එසේ පැවසුවේ සිනාසෙමිනි.

කවටකමට මෙන් තැබූ මේ ඡන්දයේදී සුමනා ආචාර්යවරිය විදුහල්පතිනිය වශයෙන් පත් කිරීමට පක්ෂ ව තෙන්නකෝන් මහතා ඇතුළු එහි පැමිණ සිටි තරුණ ගුරු මණ්ඩලයේ ඡන්ද සියල්ල ද සුමනාවන්ගේ ස්වාමියාගේ ඡන්දය ද ලැබී තිබූ අතර ඊට විපක්ෂ ව තිබුණේ එකම එක ඡන්දයකි. ඒ තමා තමාට එරෙහි වෙමින් සුමනා විසින් භාවිත කළ ඡන්දය යි. රේණු, නදී, මිහිදිනි, අතුල සහ ගඟුල්ගේ ප්‍රීති ඝෝෂා ද තෙන්නකෝන්, සිරී යන ගුරු භවතුන් දෙදෙනාගේ සිනහ වත් ද ඒ තීරණය අනුමත කරද්දී සුමනාවනට සිදු වූයේ නිහඬ ව ඊට අනුමැතිය දීමට ය. ඒ නිහැඬියාව බිඳ දමමින් අනතුරුව කතා කෙළේ ද සුමනා ය.

“බැලුවහම මට මගෙ මහත්තයගෙ ඡන්දෙවත් නැහැනෙ. හැබැයි ඉස්කෝලෙ කියන්නෙ මෙතන ඉන්න ගුරුවරුන් කීපදෙනාට විතරක් නෙමෙයි. ඒ ඔක්කමගෙ තීරණෙත් මේකම උනොත් මන් බාරගන්නම්. කොහොම උනත් මගෙ හිතටනං ලොකු බරක් තමයි දැනෙන්නෙ.”

“සුමනා අපේ ඉස්කෝලෙ කිසි කෙනෙක් ඔයාට විරුද්ද වෙන්නෙ නැහැ කියන එක අපට ස්ථිරයි. අපි අපි කතා කරපු වෙලාවෙ ඇයි ඔයාව මේකට සුදුසු වෙන්නෙ කියන කාරණාව ගැන හරි ලස්සන කරුණු කීපයක් කිව්වා. මුලින් මට බාර ගන්න කියලා කියපු නදිත් අන්තිමට ආපු ආපු තැනයි ඔයා ගැන කරපු විග්‍රහයයි මට මතක් කරලා දුන්නෙ මන් ඔයා ගැන පළාත් අධ්‍යාපන කාර්යාලෙදි ඒ බලධාරීන් ඉස්සරහ කියපු දේවල් මේ අලුත් පරම්පරාව කොයිතරන් හොඳට කොයි තරන් දැනෙන විදිහට පැහැදිලි කරනව ද කියන එක. ඒ විතරක් නෙමෙයි මේ පරම්පරාව කොයි තරන් සැලකිල්ලකින් අපේ පරම්පරාව කියෙව්ව ද කියන එක. නදී මන් කැමතියි දුව ඔයා ඒ කියපු දේවල් අපේ මේ සුමනා මැඩම් ඉන්න තැනත් ඒ විදිහටම කියනවනං.”

“ඇත්තටම සර් ඒක මගෙ විතරක් නෙමෙයි අපි ඔක්කොම සුමනා මැඩම්ව දකින විදිහ. මන් දැන් කරන්නෙ මෙතන ඉන්න නොඉන්න ඔක්කොම වෙනුවෙන් අපේ මැඩම් ගැන අපිට දැනිච්ච දැනෙන විදිහ කියන එක.”

මේ මොහොතේ එතැනට කවුරුන් හෝ පැමිණිය ද ඒ කාට වුව දැක ගන්නට ලැබෙන්නේ නදී ආචාර්වයවරියට සාවධාන ව සවන් දෙන ගුරු පර්ෂදය යි.

“පළවෙනි කාරණේ තමයි සුමනා මැඩම් කියන්නේ ගුරුවරුයි ශිෂ්‍යයොයි ගමයි අධ්‍යාපන කාර්යාලෙයි කියන මේ ඔක්කොම එකතු කරන පාලමක් වීම. ඒ වගෙම අපි මැඩම්ගෙ දකින අනිත් විශේෂත්වෙ තමයි යම් වැඩක් පටන් ගත්තොත් ඒක සාර්ථක නිමාවකට පත් කරගන්නකන් ඒ වැඩේ අත් නොහැරීම. ඒ විතරක් නෙමෙයි කරන කිසිම වැඩකින් තමන්ගෙ නම ඉස්මතු කරලා පෙන්නන්නත් මැඩම් කිසි දවසක වැඩ කරලා නැහැ. ඔය විශේෂත්වෙ ගැන ලොකු සර් අපි එක්කත් බොහොම ගෞරවයකින් කතා කරලා තියෙනවා. ඒ වගෙම මැඩම් කියන්නෙ ඔය තනතුර විතරක් නෙමෙයි ඊට වඩා උසස් තනතුරක් උනත් දරන්න සුදුසු දැනුමකින් සන්නද්ධ කෙනෙක්. ඒ විතරක් ද සිංහල, ඉංග්‍රීසි දෙකෙන් විතරක් නෙමෙයි දෙමළෙනුත් මැඩම්ට කතා කරන්න පුළුවන්. ඒකත් නායකයෙකුට හරි නායිකාවකට බොහොම ප්‍රයෝජනවත්. ඒ වගෙම මැඩම්ගෙ ආදි ශිෂ්‍යයො කීප දෙනෙක් මේ ඉස්කෝලෙත් උගන්නනවා. මේ වටපිටාවෙම තවත් ඉස්කෝලවලත් උගන්නනවා. ඒ විතරක් නෙමෙයි මැඩම්ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයො අද රජයේ නොයෙක් තනතුරුවලටත් පත්වෙලා තියෙනවා. අපි පහුගිය දවස්වල දැකපු දෙයක් තමයි ඒ සම්බන්ධකන් මේ ඉස්සරහට පවත්තන්න තියෙන අපේ ක්‍රීඩා උත්සවේ සාර්ථක  කරගන්නත් පාවිච්චි කළා කියන එක. ඒකට මට වඩා සාක්කි දරාවි අපේ අතුල. ඒ වගෙම ඔබතුමිය ඒ සම්බන්ධකම් පොදු දේකට මිස තමන්ගෙ පෞද්ගලික වැඩ කරගන්න කවදාවත් පාවිච්චි නොකරපු බවත් නොකරන බවත් අපි හොඳාකාරව දන්නවා. අනේ මැඩම් මේ වෙලාවෙ ඉස්කෝලෙ බාරගෙන අපට නායකත්වෙ දෙන්න මැඩම්. පැරෂුට්වලින් මේකට පනින්න බලන් ඉන්න කාටවත් ඉඩ තියන්න එපා මැඩම්.”

නදීගේ මේ ප්‍රකාශයෙන් පසු කිසියම් වෙලාවක් පූර්ණ නිහඬතාවක ගිලී පැවතිණ. අවසන ඒ නිහැඬියාව බිඳ කතා කෙළේ සුමනාවන්ගේ සමකාලීන සරසවි සහෘදය තෙන්නකෝන් මහතා ය.

“සිරී, ඔයාගෙ මේ ආදරණීය බිරිඳ ඒ වගෙම මගෙ සමකාලීන සරසවි මිතුරිය ගැන මේ අලුත් පරම්පරාවෙ කෙල්ල කියපු හැම දෙයක් ම එක වචනයක් නෑර මන් අනුමත කරනවා. සිරි ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන් එයාගෙ ස්වාමියා හැටියට මේ වෙලාවෙ. මේ සිරී අලුත් පරම්පරාව වැඩිහිටි පරම්පරාවට දෙන්න පුළුවන් ලොකුම චරිත සහතිකයක් තමයි අපේ සුමනට දුන්නෙ. මේ පරම්පරාව එහෙම ලේසියෙන් කෙනෙකුට චරිත සහතික දෙන්නෙ නැහැ සිරී.”

තෙන්නකෝන් මහතාගේ මේ ප්‍රකාශයත් සමග කඳුළු නැඟී තිබුණේ සිරී සුමනා යන ඒ පරිණත දම්පතීන්ගේ දෑස්වලට පමණක් නොවේ. ඒ මොහොතේ එතැන සිටි සමස්ත ගුරු පර්ෂදයේ දෑස් කඳුළින් තෙත් ව තිබිණ.

No comments:

Post a Comment