Thursday, July 25, 2024

ගුරු දියවර නවකතාව - තිස්තුන්වන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                                             ගුරු දියවර 33

                                                      


 
    

                                         “දිවාකර ඔබ යි හිමියනි නිශාකර ඔබ යි හිමියනි

                                             සදා දෙරණ තෙමා ගලන අමා ගඟ ඔබ යි”

නාගොල්ලාගම විදු පියසට මතු නොව ඉන් ඔබ්බට ද ඇසෙන සේ මේ උදාසන සිත් සතන් පහන් කරමින් අමා ගඟක් සේ ගලා ගියේ මහා සංගීතඥ බී. වික්ටර් පෙරේරා සුගායනවේදියාණන්ගේ සුගැඹුරු හඬ යි. ඒ මොහොතේ ගඟුල්ට දක්නට ලැබුණේ විදුබිමේ ඈත කොණකට වී මේ සුගීතයට සවන් දෙන අතුල ගුරු සහෘදයා ය. සෙමෙන් සෙමෙන් එතැනට ගමන් කළ ගඟුල්, සිය ගුරු සහෘදයාට බාධා නොවන සේ ඔහුට පෙනෙන නොපෙනෙන තරම් දුරක හිඳිමින් තෙමේ ද එහි නිහඬ ශ්‍රාවකයකු බවට පත් විය. ගීතය නිමා වූ මොහොතේ තමා සමවැදී සිටි සංගීත ධ්‍යානයෙන්  මිදුණු අතුල දුටුවේ සිය සුමිතුරු ගඟුල් ය. ගඟුල් දුටුවේ සිය සහෘදයාගේ තෙත් දෑස යි. නිහඬතාව බිඳිමින් ඒ මොහොතේ කතාවට අවතීර්ණ වූයේ අතුල යි.

“මල්ලි, මේ වෙලාවෙ වෙන කෙනෙක් එන්නෙ නැතුව උඹ ම මෙතෙන්ට ආපු එක හොඳයි. උඹ දන්නවනෙ මල්ලි මන් මේ සින්දුවට කොච්චර කැමති ද කියන එක. කෙනෙකුට හිතෙන්න පුළුවන් ක්‍රීඩා උත්සවයක් පටන් ගන්න යන වෙලාවක දාන්න ඕන සින්දු මේව ද කියලා. මට මල්ලි මගෙ ජීවිතයට මේ ගීතය දෙවිදියකට සම්බන්ධ යි. මේක පැහැදිලි ව ම බුදු බැති ගීතයක් කියන එක අපි කවුරුත් දන්නවා. ඒක නිසා මේක අහන කොට අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ බුදුහාමුදුරුවො තමයි. හැබැයි මල්ලි මම මේක රස විඳිනවා ඒ භක්ති රසයෙන් වගෙම ඒ භක්තියට එහා ගිය මානයකිනුත්. ඒක එක විදිහක ක්‍රීඩා මානයකින් බැලීමක් කියලත් කියන්න පුළුවන්. මොකද මට බුදුහාමුදුරුවො වෙලාවකට දැනෙන්නෙ අනේ මේ ලෝකෙ පහළ වෙච්ච මහ ක්‍රීඩකයා නේද මේ කියන හැඟීමත් එක්ක යි. ඇයි සිද්ධාර්ථ කුමාරයා කියන්නෙ සිවුසැට කලාවන් ප්‍රගුණ කරපු ශාක්‍ය තරුණයනෙ. ඒ වගෙම සිද්ධාර්ථ තරුණයා යසෝදරා කුමාරි දිනා ගත්තෙත් ශිල්ප දක්වලා කියලනෙ බෞද්ධ සාහිත්‍යෙ තියෙන්නෙ. ඉතින් මට ක්‍රීඩා උත්සවේක ප්‍රවේශෙ ගන්න හොඳම ගීතයක් කියලා හිතෙන්නෙ මේ ගීතය තමයි. දෙවෙනි කාරණේ....”

අතුල ඒ දෙවෙනි කාරණය කියන්නට ගොස් මඳක් නිහඬ වූයේ ය. ඒ මොහොතේ එසංවාදයේ හිස්තැන පුරවන පූරකයා බවට පත් වෙමින් කතා කෙළේ ගඟුල් ය.

“දෙවෙනි කාරණේ අතුල අය්යෙ දිවාකර සර්. ඔයා මෙතෙක් කියලා තියෙන දේවල්වලින් මගෙ හිතේ මැවිලා ඉන්න දිවාකර සර් කියන්නෙ ඔයාට ඉර හඳ වගෙ දැනෙන චරිතෙ. ඔයාගෙ ජීවිතේ එළිය කරපු චරිතෙ. අද නැතිවත් ඔයාගෙ ඔය හිත තෙමාගෙන ගලන චරිතෙ. ඔයාගෙ ඇස්වලට කතා කරන්න පුළුවන්නං ඒ ඇස් අපිට කියන වචන නේද අතුල අය්යෙ මේ.”

“උඹ හරි මල්ලි, මන් නොකියපු ඒත් කියන්න හිතාගෙන හිටපු වචනවලින් තමයි මල්ලි දැන් උඹ හිස්තැන් පිරෙව්වෙ. මන් දන්නවා මේ අද පැවැත්තෙන ක්‍රීඩා උත්සවේ ගොඩක් දෙනාට වෙනස් අද්දැකීමක් වෙන බව. උඹ දන්නව ද මල්ලි වෙන ඉස්කෝලෙක උගන්නන මගෙ යාළු ක්‍රීඩා ගුරුවරයෙක් අපේ ක්‍රීඩා උත්සවෙ කෙරෙන විදිහ ගැන අහලා මට කියපු දේ.”

“ආයි වෙන මොකක් ද, තරඟ නෑ ආදරණීය ක්‍රියාකාරකම් තමයි මේකෙ තියෙන්නෙ, ඒ වගෙම නිවාස හැටියට නාමික බෙදීමක් විතරයි තියෙන්නෙ. ජයග්‍රාහකයා කවුද එයා මොන නිවාසෙ උනත් තමන් මොන නිවාසෙ උනත් කවුරුත් එක්ක එකට එයාට ප්‍රීතිඝෝෂා කරන එක තමයි කරන්නෙ කියලා අතුල අය්යා දෙන්න ඇති යාළුවට නියම ක්‍රීඩා කමෙන්ටි්‍රයක්. එතකොට ඒ යාළුවා කියන්න ඇති මචන් අතුල, අම්මා මුත්තා කාලෙවත් ඔය විදිහෙ ක්‍රීඩා උත්සවයක් ගැන අපි නං අහලා නැහැ කියලා. ඒ වගෙම අන්තිමට කියන්න ඇති මොන වැඩේ තිබ්බත් අපිත් එනවා බන් එදාට මේ උඹලගෙ අමුතු සෙල්ලම මොකක් ද කියලා බලන්න. 

“හරියට ම හරි එහෙම ම තමයි උනේ. උඹ මල්ලි එතන බලන් හිටිය වගේනෙ දැන් විස්තරේ දුන්නෙ. මන් එකක් කියන්නං කවුරු මොනවා කිව්වත් මේ වැඩේ කෙරෙන්නෙ අපි කතා කරගත්ත විදිහටම තමයි. අපිට තව පැයක් වගේ තමයි තියෙන්නෙ වැඩේ පටන් ගන්න. යන් අපි ලොකු මැඩම්ලා තෙන්නකෝන් සර්ලා ඉන්න පැත්තට.”    

ගුරු සහෘදයන් දෙදෙනා කාර්යාලය දෙසට යද්දී විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් ඔවුන් සිටි දෙසට එනු පෙනිණ. 

“හොඳයි අතුල සර්ව මට මෙතෙන්දිම මුණ ගැහිච්ච එක. හොඳයි අතුල අපි සැලසුම් කරගත්ත විදිහටම වැඩ ටික කරගෙන යමු. ඔයා දන්නව ද අද උදේ පාන්දරින් ම කතා කරලා අපට අපේ ක්‍රීඩා උත්සවේට සුබ පැතුවෙ කවුද කියලා?”

“අපේ ලොකු සර් නේද මැඩම්. මටත් කතා කළානෙ මහ පාන්දර ම. සර් තව ටිකකින් මෙහෙට ඒවි. ලොකු ඩිරෙක්ටර් මැඩමුත් එක්ක. දැන් ලොකු සර් වෙනුවට අපට ඉන්නෙ මැඩම්නෙ. මැඩම් අපේ හෙවණැල්ල වගේ ඉන්න. අපි කරගෙන යන්නංකො වැඩ ටික සුපිරියට.”

ඒ වූකලී සැබැවින් ම අමුතු ම ක්‍රීඩා උත්සවයක් විය. ඇසෙන ගීතවල ස්වරූපය අනුව කෙනෙකුට මේ භක්ති ගීත සන්දර්ශනයක් හෝ වෙසක් උත්සවයක සමාරම්භයක් යන හැඟුම ඇති විය හැකි ය. එසේ ම පාසල් භූමිය පුරා දෘශ්‍යමාන කවි ගී පුවරු දකින කෙනෙකුට මේ සාහිත්‍ය උත්සවයක් ය යන හැඟුම ද ඇතිවිය හැකි ය. එසේ ම තැනින් තැන ප්‍රදර්ශනයට තබා ඇති ක්‍රීඩාශීලී දරුදැරියන්ගේ චිත්‍රපුවරු මේ නම් ක්‍රීඩා උත්සවයක් මිස අන් කිසිවක් නොවේ ය යන හැඟුම ද ඇති කරනවා විය හැකි ය.

“හරි අපි දැන් එක කණ්ඩායමක් යනවා ඉස්කෝලෙ මේන් ගේට්ටෙක ගාවට. අතුල, ගඟුල්ලා නදීලා එක්ක අද වැඩ සැලසුම් කරගන්න. අපේ රේණු බලා ගනීවි සංග්‍රහ කටයුතු ගැන. චාරිකා මිස් ඔයත් අපේ සෞඛ්‍ය මිස්ට එකතු වෙලා ප්‍රථමාධාර වැඩ බලා ගන්න.”

චාරිකා යනු පාසලට අලුතින් ම පැමිණ සිටි විද්‍යා ගුරුවරිය යි. මෙයට පෙර සිය ප්‍රථම පත්වීම ලද පාසලේ සේවා අද්දැකීම් ලබා සිටි ඇය ගුරුවරියක වශයෙන් සේවා අද්දැකීම් ලබන දෙවන අවස්ථාව යි මේ. තමා සිටි පාසලට වඩා වෙනස් අද්දැකීම් ය, ඇය මේ පැමිණි දවසට දෙකට මේ පාසලේ දී ලැබුවේ. සැරපරුෂ භාවය ම සිය පෞරුෂයේ ප්‍රධාන අංගය කොට ගෙන සිටි විදුහල්පතිවරයකු යටතේ සේවය කළ චාරිකාට නියෝජ්‍ය විදුහල්පතිනියන් වශයෙන් ලැබී තිබුණේ ද එබඳු ම චරිත යි. ඇසුරට ලැබී තිබූ යහපත් ගුරු මිතුරු මිතුරියන් කිහිප දෙනා නොවන්නට ඇය මේ ගමන එන්නේ මෙයට පෙරාතුව ය. ආචාර්ය මණ්ඩලය දෙසිය ගණනක් සිටි බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ පාසලක විද්‍යා විෂය ඉගැන්වූ ඇයට ඈත පළාතකට මාරුවක් ඉල්ලූ සැණින් එයට ඉක්මන් ප්‍රතිචාර ලැබිණ. සිය කලින් නියමුවාගෙන් සිත රිදවන රුදු ප්‍රතිචාර ලබා සිටි චාරිකාට නව නියමුවරියගේ මෘදු චරණ ඉඩෝරය නිමා කරමින් ඇද හැළුණු වර්ෂාවක් ම විය. එසේ ම මේ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් සේවය කරන තෙන්නකෝන් ආචාර්යවරයා තාවකාලික කාලසටහනක් තම අතෙහි තබා පියෙකු මෙන් ආශිර්වාද කළ ආකාරය මෙන් ම තමා වන් තරුණ ආචාර්ය මණ්ඩලයට මෙහි වැඩිහිටි ගුරුවරුන් විසින් දුව, පුතා වශයෙන් කරන ආදරණීය ආමන්ත්‍රණ ඇයට හද සුවපත් කරන මහඟු ඔසු දිය දහරක් ම විය. මේ පසන් පරිසරය නිසා ම ය, චාරිකා සුමනා හේරත් විදුහල්පතිතුමිය තමාට පැවරූ මෙහෙවර ඉත සිතින් බාර ගෙන මෙසේ ද පවසන්නට යෙදුණේ.

“මැඩම්, සෞඛ්‍යයට සම්බන්ධ වැඩවලට මන් හිටපු ඉස්කෝලෙදිත් සම්බන්ධ උනා. ඒ වැඩ මට කොහොමත් හුරුයි. ඒ වැඩවල වගකීම බාර ගත්ත මැඩම්ට උදව් කරන අතරෙම මට තව වැඩ දෙක තුනකට උනත් උදව් වෙන්න පුළුවන්. මට මැඩම් හොඳට තේ හදන්න එහෙමත් පුළුවන්.”

“හරි හොඳයිනෙ. ඔන්න මිහිදිනී මට පේන හැටියට ඔයගොල්ලන්ට ම අල්ලා යන යාළුවෙක් තමයි අලුතින් හම්බ වෙලා තියෙන්නෙ. චාරිකා ඔයිට අමතරව  ඉස්කෝලෙ වැඩවලට එක එක තැන්වලට යන්න වෙනවා අපට. මන් හිතන්නෙ ඒ වැඩේට හරි යන්නෙත් මේ අලුත් මිස් තමයි. මොකද නමත් චාරිකානෙ. ඒත් ඒ දැන් ම නෙමෙයි. මොකද කියන්නෙ චාරිකා.”

“අනේ මැඩම් මට පුළුවන් උපරිම දේ මන් කරන්නං. ඉස්සෙල්ලම කොහාට ද මැඩම් යන්න ඕනෙ.”

“හරි ෂෝක්නෙ. මන් ඒක කිව්වෙ විහිලුවට කෙල්ලෙ. දැන් ඔයා වෙන කොහේවත් යන්න ඕන නැහැ. දැනට ඔයා මේ කට්ටියත් එක්ක එකතු වෙලා තියෙන වැඩක් හොයලා බලලා කරන්නකො.”

විදුහල්පතිතුමිය ඒ වදන් පැවසුවේ චාරිකාගේ අතින් අල්ලා ගෙන තමාට සුපුරුදු මඳහසින් නවක ගුරුවරියට සංග්‍රහ කරමිනි. විදුහල්පතිනිය ‘මන් ඒක කිව්වෙ විහිලුවට කෙල්ලෙ’ යනුවෙන් සිය අතින් අල්ලාගෙන පැවසූ හෘදයංගම වචනත් ඇගේ අව්‍යාජ මඳහසත් චාරිකා තැන්පත් කොට ගත්තේ සිය හදවතේ ගැඹුරු ම තැන ය.

ක්‍රීඩා උත්සවය ආරම්භ වූයේ ප්‍රදේශයේ මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනයෙන් පසු සමාජයේ විවිධ ස්තර නියෝජනය කළ දශ හස්තයකින් ආලෝක ප්‍රදීප දැල්වීමෙන් පසුව ය. ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, කලාප අධ්‍යක්ෂතුමා, මෙම පාසලට කිසිසේත් ම ආගන්තුකයකු නොවූ හිටපු විදුහල්පති අභිනව කොට්ඨාස අධ්‍යක්ෂතුමා, වත්මන් විදුහල්පතිතුමිය, මහව ප්‍රාදේශීය ලේකම්තුමා, මහව ආරෝග්‍යහාලාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමිය සහ නාගොල්ලාගම පොලිසියේ ස්ථානාධිපතිතුමා ද වූහ. එසේ ම මේ සත් දෙනාට අමතර ව සහෝදර පාසල් නියෝජනය කරමින් එක් පහනක් ද ගම නියෝජනය කරමින් තවත් පහනක් ද දැල්විණ. ප්‍රදීපාලෝක ක්‍රියාවලියේ සුවිශේෂත්වය සලකුණු කැරුණු තවත් සහභාගිත්වයක් විය. ඒ මේ ක්‍රීඩා උත්සවයේ සක්‍රිය නියමුවා වන අතුල ආචාර්යවරයා ඉගෙන ගත් ප්‍රථම පාසලේ ප්‍රථම පන්තිය භාර ව සිටි වියපත් ගුරුමාතාව සිය පුතු සමග පැමිණ සිය වෙව්ලන දෑතින් පහනක් දල්වා අතීත ශිෂ්‍ය රත්නයට මෙන් ම සමස්ත ක්‍රීඩෝත්සවයට ආශිර්වාදයක් වීම යි.

මේ ඓතිහාසික ක්‍රීඩෝත්සවයේ සියලු සිදුවීම් විස්තර කළ නොහේ. අප්‍රමාණ රාජකාරි මධ්‍යයේ වුව මුළු දිනාර්ධයක් නාගොල්ලාගම විදු පියසේ ගතකළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙළේ සිය සේවා ජීවිත කාලය තුළ හෘදයංගම වූත් තරඟ මානසිකත්වයෙන් බැහැර වූත් ඒ නිසා ම ආදරණීය වූත් ක්‍රීඩෝත්සවය නැරඹීමේ භාග්‍යය තමාට උදා වූ බව ය. 

චරණ, දෙරණ සහ කිරණ යන නිවාස නාම සඳහන් ධ්වජ ත්‍රයක් සම බිමක,  සම උසින් ස්ථානගත කොට තිබූ අතර හමා යන පවන් රළ වැද ඒවා එක්වන් ව සැලුණේ ද සාමග්‍රියේ උත්තුංග පණිවිඩයක් සමාජගත කරන්නාක් මෙනි. මෙහි දිවීම්, උස පැනීම්, දුර පැනීම් වැනි කොතැනත් දැකිය හැකි ක්‍රීඩා නොතිබුණා නොවේ. එහෙත් විශේෂත්වය වූයේ දක්ෂතා ප්‍රකට කරන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව කවර නිවාසයකට අයත් වූයේ වේවා යටකී නිවාස ත්‍රයේ ම ශිෂ්‍ය ප්‍රජාව එක්වන් ව ප්‍රීතිඝෝෂා කිරීම ය. අවුරුදු දහනවයෙන් පහළ බාලිකා තරඟයේ දී විශිෂ්ට කුශලතා පෙන් වූ ශිෂ්‍යාව අනපේක්ෂිත අනතුරකට ලක් ව ඇද වැටුණු මොහොතේ එතැනට දිව ආයේ ඇය නියෝජනය කළ දෙරණ නිවාසයේ සාමාජික සාමාජිකාවන් පමණක් නොවේ. චරණ නිවාසය නියෝජනය කළ ශිෂ්‍යාවක විසින් ඇය වත්තම් කරගනිද්දී කිරණ නිවාස පරිශ්‍රයේ සිට එතැනට දිව ආ තරුණ ශිෂ්‍ය මාණවකයා සිය සවිමත් දෑතින් දෙරණ නිවාසයේ තම සහෝදර ශිෂ්‍යාව ඔසොවා ගත් මොහොතේ කඳුළු නැඟුණේ එම දර්ශනය බලා සිටි විදුහල්පතිතුමියගේ දෑසට පමණක් නොවේ. මෙවිදුහලින් නික්ම යාමට පෙර විදුහල්පතිවරයා වශයෙන් මේ සියලු කටයුතු සංවිධානය කළ අභිනව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිය ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව දෙස මහදානන්දයෙන් බලා සිටින මොහොතේ ගඟුල්, මෙසේ අතුල ගුරු සහෘදයාට කතා කෙළේ ය.  

“අතුල අය්යේ, අපි කාටත් වඩා ඔයාට අද ගොඩක් සතුටු වෙන්න පුළුවන් තරඟවලින් දිනන ඒක නෙමෙයි මනුස්සකම ජයග්‍රහණය කරන ක්‍රීඩා උත්සවයක නියමුවා වෙන්න ලැබීම ගැන. අපේ චරණ කෙල්ල වැටෙන කොට එතෙන්ට දෙරණ කොල්ලො කෙල්ලොත් දුවගෙන එනවා. කිරණ නිවාසෙ කොල්ලෙක් තමන්ගෙ සහෝදරිය තමන්ගෙ අත් දෙකින් බොහොම පරිස්සමට අල්ල ගෙන ප්‍රථමාධාර දෙන තැනට අරගෙන එනවා. අපි දැන් දකින්නෙ ප්‍රීතිඝෝෂා නඟන මුහුණු වෙනුවට තමන්ගෙ සහෝදරියකට වෙච්ච කරදරේ ගැන අවංක ව කණගාටු වෙන මුහුණු. මේවා තමයි අතුල අය්යෙ සැබෑ ජයග්‍රහණ. අපිට මේකට නමක් දෙන්න පුළුවන් මනුෂ්‍යත්වයේ ජයග්‍රහණ කියලා.”

ගඟුල් කී දේ එක සිතින් අනුමත කළ අතුල ගඟුල්ගේ අවධානය ශිෂ්‍යාව රැගෙන එන ශිෂ්‍යයා දෙසට දිව එන තවත් ශිෂ්‍යාවක් වෙතට යොමු කෙළේ ය.

“උඹට පේනව ද මල්ලි අර දුවගෙන ගිය කෙල්ල. ඔය කෙල්ල අයිති දෙරණ නිවාසෙට. දැන් එයා අනිවාරෙන් ම තමන්ගෙ හිතට ම අරන් කරන ප්‍රධාන වැඩේ වෙන්නෙ චරණ නිවාසෙ අර වැටිච්ච කෙල්ලට සාත්තු කරන එක. බලපන් මල්ලි, මේවා කොච්චර ලස්සන දේවල් ද? උඹ කියනව වගේ මල්ලි අපි අපේ ඉස්කෝලෙ අපට හිමි වෙච්ච හොඳ දේවල් වගෙම අපිට අහිමි වෙච්ච හොඳ දේවල් අලුත් පරම්පරාවට පවරලා දෙන්න ඕනෙ. මල්ලි අපේ කාලෙ ඒ ඒ නිවාසවලට අයිති වැඩ බලා ගත්තෙ ඒ ඒ නිවාසවල කට්ටිය ම තමයි. ශිෂ්‍යයන්ට වඩා තරගෙ තිබුණෙ ඒ ඒ නිවාසවල වගකීම් බාරදීලා තිබිච්ච ගුරුවරුන් අතරෙ. උඹට කියන්න මල්ලි එක නිවාසෙක ළමයෙක් වැටුණොත් එයා ගැන බලාගන්න ඕනෙ ඒ නිවාසෙට අයිති ළමයි ම තමයි. අනික් නිවාසවල ළමයි නෙමෙයි වැටිච්ච එකා දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ. මහ ආත්මාර්ථකාමි විදිහට තමයි ඒවා සංවිධානය කරලා තිබුණෙ. උඹලට බොහොම පින් මල්ලි මටත් වෙනස් ක්‍රීඩා උත්සවයක් කරන හැටි කියලා දීලා එතතින් නවතින් නැතුව උදව් කරන එකට.” 

“අතුල අය්යෙ, අපි ඔයාට දෙයක් කරන්න කියලා දුන්නා නෙමෙයි, ඔයා තුළ ම හැංගිලා හිටපු මනුස්සයා තමයි දැන් මේ වැඩ කරන්නෙ. සමහර විට අපි කාගෙන් හරි කියවෙච්ච දෙයක් ඔයාට ශක්තියක් වෙන්න ඇති. ඒ උනාට අතුල අය්යෙ නිර්මාණශීලී ආදරණීය මනුස්සයා ඔයා තුළ කවදත් හිටියා. මන් ඒක තේරුම් ගත්තෙ මේ ඉස්කෝලෙට ආපු පළවෙනි දවසෙම. මතක ද සිල්වා මැඩම්ට අයිරාංගනී සදාකෝපාවිෂ්ට කියලා නම් එහෙම හැදුවා.”

“අනේ මචන්, දැන් මට ඒවා මතක් වෙන කොටත් ලැජ්ජයි. ඒ කරපු වැඩ අනුව නං මාව කොහොමටවත් ආදරණීය මනුස්සයෙක් කියලා අඳුන්නන්න බැහැ. උඹට කියන්න මල්ලි සිල්වා මැඩම් දැනන් ඉඳලා තියෙනවනෙ මන් මැඩම්ට එහෙම නමක් දාලා තියෙනවා කියන එක. කොහොම උනත් මේ ක්‍රීඩා උත්සවේ වැඩ හින්දනෙ මැඩම් අපිට ගොඩක් කිට්ටු උනේ. අපරාදෙ කියන්න බෑ මචන් එතෙන්දිත් සාමදූතයගේ රාජකාරිය කළේ අපේ ලොකු සර් ම තමයි.”

“සර් අපිට විදුහල්පති හැටියට විතරයිනෙ අතුල අය්යෙ අහිමි උනේ. ඒ වගෙම දැන් අපිට නායිකාව වෙලා ඉන්නෙත් සාමදූතිකාවක්නෙ. ලොකු සර් තමන්ගෙ දෝතට බාර දුන්න හබල දෑතින් අරගෙන දැන් ඔය ලස්සනට අපේ ඉස්කෝලෙ කියන යාත්‍රාව අරගෙන යන්නෙ.”

මෙසංවාදය යන අතර විදුබිමේ ඇගයීම් මට්ටමින් නොයෙක් ක්‍රීඩා පවත්වනු පෙනිණ. ශිෂ්‍ය ප්‍රජාව වොලිබෝල් ක්‍රීඩාවෙහි නිරත වූයේ නිතරඟ මානසිකත්වයෙනි. කිසිදු තැනක දැකිය නොහෙන ආකෘතියකට අනුව අතුල පාසලේ වොලිබෝල් කණ්ඩායම පෙළ ගස්වා තිබිණ. දෙපිළට වී ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක චරණ, දෙරණ සහ කිරණ යන නිවාස තුනට ම අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත විය. සමස්ත ක්‍රීඩාව නිරීක්ෂණය කොට ඔවුනොවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අනුව සෑම ශිෂ්‍යයකුට ම කිසියම් ඇගැයිම් ලකුණක් පිරිනමන්නට කටයුතු යොදා තිබිණ. ඒ සඳහා අතුල සහෝදර පාසල් කිහිපයක ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙකුට ආරාධනා කොට තිබිණ. මේ නව ආරක් ගත් වොලිබෝල් ක්‍රීඩනය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ බව පෙනිණ. ඒ මොහොතේ අතුල සහ ගඟුල් සිටි තැනට සිනහමුසු මුහුණින් යුතු ව ආ නුවන් සමරසිංහ ආචාර්යවරයා මෙසේ පැවසීය.

“ඒයි අතුල, උඹ අලුත් ගේම් හදලා මෙතෙන්ට වෙලා අපේ ගඟුලයත් එක්ක කතාව. අන්න මේ නිවාස හයේ ම අය එකට අනලා හදපු වොලිබෝල් ටීම්මෙක දැකලා පළාත් අධ්‍යක්ෂ මැඩම් හොල්මන් වෙලා ඉන්නෙ.” 

“මොකෝ සමරෙ මේ වැඩේ අවුල් ද? මැඩම් අප්සෙට් ගිහින් ද?”

“උඹ කරන සමහර වැඩවලටනං අතුල මැඩම් විතරක් නෙමෙයි අපිත් අප්සෙට් ගහන හොල්මන් වෙන වෙලාවල් තියෙනව තමයි. ඇයි බන් කොයි රටේ ද ඔය විදිහට ක්‍රීඩකයො අනලා දාන්නෙ. මුලින් ඩිරෙක්ටර් මැඩම් මේ මොන සෙල්ලමක් ද කියලා වික්ෂිප්ත උනා වගෙයි ඒ ළඟ සීමාවෙ හිටපු මට දැනුණෙ. ඒත් අපේ අලුත් කොට්ඨාස අධ්‍යක්ෂතුමා ඒ කියන්නෙ උඹලා අපි මොන ජංජාලයක් දාගත්තත් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන අපේ ලොකු සර් අන්න සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද දන්න හැම ජාතියෙන් ම මැඩම්ට කරුණු පැහැදිලි කරනවා.”

“ඉතින් මචෝ මැඩම් අපේ වැඩේ තේරුම් ගත්ත පාටක් පේනව ද?”

“මන් හිතන්නෙ තේරුම් අරන් තමයි. ඒකනෙ ලොකු සර් කියන දේවල්වලට අර විදිහට ඔළුව වනන්නෙ. මන් හිතන්නෙ මැඩම් උඹට මේ ක්‍රීඩා උත්සවෙන් පස්සෙ කතා කරාවි කියල යි.”

“ඒ මොන එකකට ද බන්. උඹට ඇහුණ ද මැඩම් කියනවා මට මේකෙ ක්‍රීඩා සර්ව හම්බ වෙලා දෙකක් කතා කරන්න ඕනෙ වගෙ දෙයක්.”

“ඒක මන් දන්නෑ මචන්. හැබැයි මැඩම්  කියලයි අම්මට සිරි දුන්නෙ නැද්ද මචන් ලොකු සර් උඹ ගැන හෙන කැරැක්ටර් සර්ටිෆිකේට් එකක් අපි වගේ එවුන්ට ඉරිසියාවෙන් පැලෙන්න හිතෙන විදිහෙ.”

“අනේ උඹ ද මචන් ඉරිසියාවෙන් පැලෙන මිනිහා. ඒක නෙමෙයි උඹ මොකක් ද මචන් මේ වැඩ කෙරෙන විදිහ ගැන හිතන්නෙ.”

“කියලා වැඩක් නෑ මචන් කියන එක තමයි මට බොක්කෙන් ම කියන්න තියෙන්නෙ. උඹයි උඹේ ටීම් එකයි මේ කළේ මචන් මටනං හිතන්නවත් බැරි වැඩක්.”

“සමරසිංහ සර් එහෙම කිව්වට සර් මේ වැඩේ දි කරන්න ඕන සමහර දේවල් මතක් කරලා දුන්නෙ අපි කාටත් නොහිතිච්ච පැති ගැන හිටන් හිතලනෙ.”

“ඔව් වෙලාවකට මාත් එහෙම වචනයක් දෙකක් දාන්න ඇති තමයි ගඟුල් මල්ලි. ඒ උනාට බලපන්කො මල්ලි මුගෙ සංවිධාන ශක්තිය. මේකා කුරුණෑගල දිස්ත්‍රික්කෙම වගේ ගුරුවරු මෙතෙන්ට ගෙන්නලනෙ. මේ අහල පහල තියෙන විජයබා, ඇඹලේගොඩ, මිනුවන්ගැටේ, ගජනැග්ගම වගේ ඉස්කෝලවලින් එන එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්. ඒත් බැලුවහම කුරුණෑගල මලියදේවෙ, ලක්දාස් එකේ, සෙන්ට් ඈන්ස් එකේ සර් ජෝන් එකේ ගුරුවරු හිටන් ඇවිත්නෙ අද මෙතෙන්ට. කොටින් ම කියනවනං මාත් එකේ එකට කැම්පස් එකේ ඉගෙන ගත්ත දැන් මලියදේව බාලිකාවෙ උගන්නන බැචියකුත් හම්බ උනා මට මෙහෙදි. මන් ඇහැව්වා සචී ඔයා කොහොම ද අපේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ බලන්න ආවෙ කිව්වහම එයා කියාපි. ඇයි සමරෙ ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ස්පෝට්ස් කරන සර් අපේ ඉස්කෝලෙට ඇවිත් අපේ ලොකු මැඩම්ගෙන් වෙලාව ඉල්ලගෙන අපේ ගුරු මණ්ඩලේට කතා කළානෙ. තව එයත් එක්ක ගොඩක් තරුණ සර් කෙනෙකුත් ඇවිල්ලා මේ ක්‍රීඩා උත්සවේ කරන විදිහ ගැන අමුතු කමෙන්ටි්‍රයක් දුන්නනෙ. ඔන්න කමෙන්ට්රියෙ යෙදිහට ම වැඩ කෙරෙනව ද කියලා බලා ගෙන යන්න තමයි මන් මගෙ යාළුවො දෙන්නෙකුත් එක්ක ආවෙ කියලා කියාපි.”

“හරි දැන් එතුමියයි එතුමියගෙ යාළුවොයි සැටිස් ද මෙතෙක් බලා ගත්ත දේවල් ගැන.” 

“සැටිස් ද පැටිස් ද කියලනං දන්නෙ නැහැ මචන්. හැබැයි මේ ක්‍රීඩා උත්සවෙ මහ මොළකාරයා හම්බ වෙලා වචනයක් දෙකක් කතා කරලා යන්න ඕනෙ කියන එකනං කිව්වා. ඒ වගෙම අපේ ඉස්කෝලෙට ඇවිල්ලා අපිට ක්‍රීඩා ෆිලොසොපි කතා කරපු සර්රුත් හම්බ වෙන්න ඕනෙ කිව්වා. අනිවාරෙන් ම ඒ නං ගඟුලො උඹ තමයි. උඹ නේද මූත් එක්ක ඉස්කෝල ගාණෙ ගිහින් ෆිලොසොපි තියරි දාලා ටීචර්ස්ලා සර්ලාගෙ මොළේ කචල් කළේ. හැබැයි මචන් උඹල දෙන්නනං මිනිස්සු නෙමෙයි යක්කු කියලා තමයි මට කියන්න තියෙන්නෙ. ඇයි බන් වටපිටාවෙ ඉස්කෝලවල වැඩ කරන අයගෙත් මොළේ කොලොප්පන් කරන වැඩනෙ උඹලා කරන්නෙ. ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ උඹලටම හරියන අමුතු කාන්තා බලකායකුත් ඉන්නවනෙ උදව්වට. අන්න රේණුත් පටන් අරන් එයාගෙ අමුතු සංග්‍රහ.” 

සමරසිංහ ආචාර්යවරයා අවසන් වැකිය පැවසුවේ සිනාසෙමිනි.

“අන්න අතුල අය්යෙ සමරෙ අය්යා යනකොට කවුද බලන්න මේ පැත්තට එන්නෙ.”

“අම්මට සිරි ලොකු සර් නේද?”

“අතුල අය්යෙ දැන් ඒ අපේ ලොකු සර් නෙමෙයි අපේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා.”

“ආ මේ ඉන්නෙ දෙන්නම, මන් ඔය දෙන්නව තමයි හෙව්වෙ. අන්න ඩිරෙක්ටර් මැඩම්ට ටිකකට අතුලව හම්බ වෙන්න ඕන කරලත් තියෙනවා.”

“සර් මට ලෙඩක්වත් ද?”

“හපෝ අතුල උඹ දාගත්ත ලෙඩ මතක් වෙන කොට දැනුත් මට හිනා යනවා. හැබැයි මේකනං ලෙඩක් වෙන්න බෑ. මැඩම් මේ වෙනස් ක්‍රීඩා උත්සවේ දැකලා මට පේන්නෙ මැඩම්ටත් තව වෙනස් අයිඩියා ඇවිල්ලා වගේ. මගෙන් උඹ ගැන වගේම ඇහැව්වා මේකෙ සාහිත්‍ය ගුරුවරු කවුද කියලත්. මැඩම් මන් හිතන්නෙ අපේ ඉස්කෝලෙට මේ ආවාමයි. එයා ඒ ටිකට ඉස්කෝලෙ වත්තෙ තැනින් තැන තියෙන අර ප්‍රකාශ ඔක්කොමත් කියවලා. ලෙඩ කෙසේ වෙතත් මට පේන හැටියට අතුලලට ගඟුල්ලට වැඩ නං වැඩි වේවි. දැන් මැඩම් රේණුයි එයාගෙ සංග්‍රහ කමිටුවෙ ළමයිනු යි එක්ක කතාව. මැඩම්ට ගොඩක් හිතට අල්ලලා නිවාස භේදයක් නැතුව එකම තැනකින් ඔක්කොම නිවාසවල අයට එක විදිහට සංග්‍රහ කරන එක. ඒ වගෙම රේණුලා මේ අවට ඉස්කෝලවලින් එන අයට දෙමව්පියන්ට වගෙම ක්‍රීඩා උත්සවේ බලන්න එන කොයි කාටත් සංග්‍රහ කරන වැඩ පිළිවෙළක් හදලා.”

“ඉතින් සර් අපේ සංග්‍රහ කමිටුවට හම්බ වෙච්ච ආධාර මදිනෙ මේ ඔක්කොටම සංග්‍රහ කරන්න.”

“මටත් ඔය ප්‍රශ්නෙ ආවා අතුල, මන් ඉතින් මේකෙම හිටපු මිනිහනෙ. මන් ටිකක් වටින් පිටින් සෝදිසි කරලා බැලුවා. මේ වැඩවලට සුමනා මැඩම් පෞද්ගලිකව ම ලොකු මුදලක් දීලා තියෙනවා රේණුගෙ අතට ඒක ප්‍රසිද්ධ කරන්න එපා කියන පොරොන්දුව අරගෙන. ඒ වගෙම රේණුගෙ අය්යා අර උපදිසාපතිතුමත් ඒකට පරිත්‍යාගයක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වැඩිහිටි ගුරුවර ගුරුවරියො කීප දෙනෙකුත් මේ වැඩ ගැන හොයලා බලලා සංග්‍රහවලට අවශ්‍ය දේකට ගන්න කියලා සල්ලි දීලා තියෙනවා. තවත් දෙන්නෙක් උදව් කරලා තියෙනවා මේ වැඩේට. මන් හිතන්නෙ අතුලටවත් ගඟුල්ටවත් ඒ දෙන්න ගැන නං ඒ තරන් නිච්චියක් නැතුව ඇති කියල යි.”

“කවුද සර් අපි දෙන්නට නිච්චියක් නැති දෙන්නා මේ ගුරු මණ්ඩලේ ඉන්න.”

“මට මතක හැටියට එක්කෙනෙක් නදී කියලා ටීචර් කෙනෙක්. අනිත් එක්කෙනාට තියෙන්නෙ මිහිදිනී වගේ නමක්. එක ඉස්කෝලෙ හිටියත් ඔය දෙන්න ඒ දෙන්නව එච්චර දන්නෙ නැහැ නේද?”

දේවනාරායණ මහතා තරුණ ගුරුවරුන් දෙදෙනාගෙන් එසේ ප්‍රශ්න කෙළේ සිනාසෙමිනි. සිය ආදරණීය ප්‍රධානියා ව සිටි මේ වන විට තම ප්‍රධානියාගේත් ප්‍රධානියා එසේ පවසද්දී අතුල සහ ගඟුල් දෙදෙනා කෙළේ ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගෙන හිස කැසීම ය.

“හරි හරි දැන් මන් යන්නන්කො. අපි මේ වැඩ ඉවර වෙලා ටිකක් කතා කරමු.”

මෙසේ කියා යන්නට ගිය දේවනාරායණ මහතා යළිත් නැවතී මෙසේ කීවේ ය. 

“අතුල, අද මට ගොඩක් ම සතුටු වෙන්න පුළුවන් මන් මේ ඉස්කෝලෙ ක්‍රීඩා වගකීම දෙන්න ම ඕන ගුරුවරයට දුන්නා කියන කාරණේ ගැන හිතලා.”

එසේ පවසා නව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යෂක්ෂවරයා එතැනින් නික්ම ගියේ සුපුරුදු මන්දහාසයෙන් ගුරු යෞවනයන් දෙදෙනාට ම සංග්‍රහ කරමිනි.

දැන් අපි අපගේ අවධානය අයිරාංගනී ද සිල්වා ජ්‍යෙෂ්ඨ ගුරු භවතියගේ මාර්ගෝපදේශකත්වයෙන් රේණුකා වීරසිංහ ගුරු තරුණියගේ සහභාගිත්වපූර්වක අධීක්ෂණයෙන් සමන්විත සංග්‍රහ කමිටුවට යොමු කරමු. මන්ද ඉන් ක්‍රීඩා උත්සවයේ තවත් පැතිකඩක් අනාවරණය වන බැවිනි. මෙහිදී ජ්‍යෙෂ්ඨ ගුරුවරිය ගතයුතු සුදුසු තීරණ ගැනීමේ නිදහස තරුණ ගුරුවරියට ලබා දුන්නා ය. දුව පැන ක්‍රීඩා කරන දරුකැළ එම ක්‍රියාකාරකම්වල නිරතවද්දී ක්‍රීඩා නොකරන දරුකැළ ඔවුනට සහාය වද්දී ආරාධිත අමුත්තන් දෙමවුපියන් ගම්වැසියන් ක්‍රීඩා උත්සවය නැරඹීම සඳහා විදුබිමට පැමිණෙද්දී මේ සියලු ම දෙනාට සංග්‍රහ කිරීමෙහිලා වන සුවිසල් කාර්ය භාරයෙහි වගකීම පවරා දියයුතු ශිෂ්‍ය මාණවකයා කවුද? සංග්‍රහ කමිටුවෙහි වගකීම පැවරුණු ප්‍රථම දිනයේ දී ම රේණු ඒ ගැන ගැඹුරින් ම කල්පනා කළා ය. මෙම කාර්යයට යෝග්‍ය චරිතය වශයෙන් ඇය හඳුනා ගත්තේ 12 ඒ පන්තියේ ශිෂ්‍ය සුසිත් රත්නායක ය. 

සුසිත් ගුරු දියවරෙහි දී අපට පළමුවෙන් මුණ ගැසෙන්නේ එහි දහහත්වැනි පරිච්ඡේදයේ දී ය. එහි ක්‍රීඩා උත්සවය පැවැත්වීමෙහි ලා ක්‍රියාත්මක වියයුතු කමිටු සතක් ගැන සඳහන් වෙයි. ඉන් එකකි, මේ සංග්‍රහ කමිටුව. සුසිත් යනු තෙන්නකෝන්, අතුල යන ගුරු භවතුන් දෙදෙනා අතින් ම යෝජිත ව ප්‍රචාරණ වගකීම් පැවරුණු ශිෂ්‍යයා ය. සත්වැනි පන්තියේ සිටියදී අනපේක්ෂිත ව සිදු වූ රිය අනතුරක් නිසා ආබාධිත වූ සුසිත් පාසලට පැමිණියේ රෝද පුටුවකිනි. ඔහු ගුරු ශිෂ්‍ය දෙපිරිස අතර ම ප්‍රකට ව සිටියේ ඉතිහාසය සහ සාහිත්‍යය පිළිබඳ උණ ඇඟේ ම ඇති ශිෂ්‍යයා ලෙස ය. අනතුරින් පසු සුසිත් වෙනදාටත් වඩා පොතපත කියැවීමෙහි ලා නිරත විය. අමිල ආචාර්යවරයා සමග ප්‍රචාරණ කටයුතුවල නිරත ව සිටි සුසිත් ය, සංග්‍රහ කමිටුවේ ද සක්‍රිය චරිතය බවට පත් කිරීමට රේණු සිතුවේ. ඒ අනුව එම ආචාර්යවරයාට දන්වා ඇය සුසිත්ට සංග්‍රහ කමිටුවේ කාර්ය භාරය පැහැදිලි කළා ය.

සුසිත් යනු මුළු පාසලේ ම ගුරු ශිෂ්‍ය සේවක ප්‍රසාදය දිනා ගත් චරිතයකි. ඔහු රෝද පුටුවෙන් පාසලට ගෙන ඒම සහ නැවත ගෙදරට ඇරලවීමේ වගකීම භාරගත්තෝ ශිෂ්‍යයෝ ය. ඔවුහු ඊට අදාළ කාල සටහනක් ද සකසා ගෙන සිටියහ. පාසල අභ්‍යන්තරයේ සිය සිසු සොහොයුරා ඔහුට අවැසි තැන්වලට රෝද පුටුවෙන් ගෙනයන ලද්දේ සහෝදර ශිෂ්‍යාවන් විසිනි. සංග්‍රහ කමිටුවේ වගකීම් බාරගැනීමෙන් පසු පාසල් ප්‍රජාවට දැකගැන්මට ලැබුණේ වෙනදාටත් වඩා වාරගණනක් එබිම සැරිසරන සුසිත් කෙනෙකි. සිය වගකීම කිසිදු අඩුපාඩුවකින් තොර ව ඉටු කිරීමට ඔහු වගබලා ගත් සේ ය. එදා එබිමට එන කිසිදු කෙනෙකු මග නොහැරෙන සේ ඔහු කටයුතු සංවිධානය කොට ගත්තේ ය. මෙහි දී සිය ශිෂ්‍යයා දිරිමත් කරමින් ඔහු ළඟ රැඳී සිටියේ රේණු ආචාර්යවරිය යි.

මේ අතර සංග්‍රහාවකාශ ලද විරාමයේ දී පළාත් අධ්‍යක්ෂතුමිය එවිදුබිම තැනින් තැන ප්‍රදර්ශිත සුන්දරාර්ථවාහී ප්‍රකාශ අවලෝකනය කළා ය. ඇය එක් තැනකදී නතර වූයේ ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකයන්ගේ ගිගිරි නවකතාවෙන් ගත් උපුටනයක් ළඟ ය.

“පුංචි කාලෙ ඉඳලම තේරුම් ගන්න ඕන සත්තු ඉන්නෙ මිනිස්සු සතුටු කරන්ඩ නෙමෙයි කියන එක. නිදහසේ ඉන්න සතෙක් දිහා බලලා මිසක් කූඩු කරපු සතෙක් දිහා බලලා සතුටු වෙන එක මහ නපුරුකමක් කියලා”

මේ වූකලී අධ්‍යාපනයකි. මෙවන් දෑ කියවීමෙන් දරු දැරියන් මතු නොව මේවා දකින වැඩිහිටියන් විසින් ද ඉගෙන ගනු ලබන්නේ ජීවිතවලට ආදරය කිරීමේ පාඩම යි. ඇය අනතුරුව හැරුණේ තමා සමීපයේ සිටි කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දෙස ය.  

“මට හරිම සතුටුයි දේවනාරායණ සර්,  ඔබතුමා මේ ඉස්කෝලෙන් එළියට බැහැලා තියෙන්නෙ යහපත පැළ කරලා. ඇයි අධ්‍යක්ෂතුමා අපට බැරි එක ඉස්කෝලෙක කරපු දෙයක් කව ඉස්කෝලෙක කරන්න. දැන් සර්ට නිල වශයෙන් ම පුළුවන් සර්ට අයිති මුළු කොට්ඨාසෙට ම මේක බෝ කරන්න. ඒ ආදර්ශය මට උදව්වක් වේවි ඒක වයඹ පළාතට බෝ කරන්න. අපි මොනව ද සර් නිලධාරීන් හැටියට වැඩිපුර කරන්නෙ. අපි අපේ නිල බලේ පාවිච්චි කරමු, මෙහෙම වැඩක් ඇති වැඩක් කරන්න.”

“මැඩම්, ඔහොම කතා කරන කොට අපිට දැනෙන හැඟීම සතුට ළඟ විතරක් නතර කරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඔය වචන අපට ලොකු ශක්තියකුත් දෙන නිසා. විශේෂයෙන් උගත්කමත් නිලබලයත් තවම තරුණකමත් තියෙන මැඩම්ලා හිතට ගත්තොත් මේ තියෙනවට වඩා හොඳ අධ්‍යාපන පරිසරයක් අපට අපේ මේ පාසල් පද්ධතියෙ නිර්මාණය කරන්න පුළුවන්. ඔබතුමිය නායකත්වය දෙන්න. අපි ලෑස්ති යි වැඩ කරන්න.”

“මිස්ට දේවනාරායණ, මන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මට මේ ඉස්කෝලෙ ක්‍රීඩා ගුරුවරයවයි මේ ප්‍රකාශන තැනින් තැන ගහන්න වැඩ කරපු ආචාර්යවරුයි මුණගස්සනව ද?”

“අර එල්ලෙ ටීම්මෙකට  උපදෙස් දීලා මේ පැත්තට එන්නෙ ඔබතුමියට හම්බ වෙන්න ඕනෙයි කියලා කියපු ක්‍රීඩා ගුරුවරයා අතුල. එයා ළඟ ම ඉන්නෙ මේ සාහිත්‍ය ප්‍රකාශන වැඩේට මුල් වෙච්ච ගුරුවරයා. අපි දැන් දෙන්නට ම වචනයක් දෙකක් කතා කරමු මැඩම්.”

ඒ මොහොතේ ඒ දෙදෙනා එතැනට කැඳවනු වෙනුවට ඔවුන් ඉදිරියට තමා යායුතු බව පැවසුවේ වයඹ පළාත් අධ්‍යක්ෂතුමිය යි. ඒ වචනයට අනුව පළමු ව ඔවුන් වෙතට ගමන් කෙළේ ද ඇය යි. මෙතැන දී සංකථන ප්‍රවේශය ගන්නා ලද්දේ දේවනාරායණ මහතා විසිනි.

“ඔන්න අපේ ඩිරෙක්ටර් මැඩම්ට ඔය තරුණ ගුරු භවතුන් දෙදෙනා හම්බ වෙන්ඩ ඕන වෙලා. මේ තමයි මැඩම් මෙහෙ ක්‍රීඩා විෂය බාර ගුරුවරයා අතුල. මේ සර් තමයි ඔය ප්‍රකාශන වැඩේට මුල් උනේ.”

“මන් ඉස්සෙල්ලම සුබ පතනවා අතුල ඔයාට. ඔයාගෙ ක්‍රීඩා මෙහෙයුම අතිවිශිෂ්ට යි කියන එක තමයි මට මුලින් ම කියන්න තියෙන්නෙ.”

“අනේ මැඩම්, ඒක මගෙ තනි වැඩක් නෙමෙයි ටීම් වර්ක් එකක්. කෘෂිකර්ම විෂයට විතරක් සීමා වෙලා හිටපු මාව මේ පැත්තට ඇදගත්තෙ අපේ මේ ලොකු සර්. ඒක නිසා ඒ ගෞරවය හිමි වෙන්න ඕනෙ අපේ මේ දේවනාරායණ සර්ට තමයි. අනිත් එක අපේ සුමනා මැඩම්ගෙ ඉඳලා මුළු ආචාර්ය මණ්ඩලය ම මේ වැඩේට එක විදිහට මහන්සි උනා. ඒ වගෙම අපේ ළමයි, දෙමව්පියො වගෙම ගමේ මිනිස්සු දක්වපු සහයෝගෙත් මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බැහැ.”

“මේක ටීම් වර්ක් එකක් කියන එක මම දන්නවා ළමයො. ඒ වගෙම මම දන්නවා අතුල, ටීම් ලීඩර් අප්සට් උනොත් ඒ මුළු වැඩේම අප්සට් වෙනවා කියනවා එකත්. ඒක නිසා ක්‍රීඩා නියමුවා හැටියට ඔයාට හිමි ගෞරවය අපි ඔයාට දෙන්න ම ඕනෙ. ඒ වගෙම ඉස්සරහට මෙහෙ උගන්නන ගමන් ම ක්‍රීඩා උපදේශකයෙක් විදිහට ඔයාගෙ සහයෝගෙ මේ වටපිටාවෙ ඉස්කෝල කීපෙකටවත් අපි ලබලා දෙන්න ඕනෙ. අපිට ඉතින් ඔයාට දෙන්න පුළුවන් වෙන්නෙ ගමන් වියදම විතරයි.”

“ගමන් වියදම් එපා මැඩම්. මට මගෙ බයික්කෙක තියෙනවනෙ. මන් මට පුළුවන් සහයක් දෙන්නං ඒ දරුවන්ගෙ ක්‍රීඩා වැඩවලට. මැඩම්ට ගොඩක් ස්තුතියි මේ සම්බන්ධයෙන් මන් ගැන විශ්වාසෙ තිබ්බට.”

“අතුල ඔයා ඒ විශ්වාසෙ දිනා ගත්තෙ ඔයාගෙම වැඩවලින්. මන් අද හෙට ම මේ කාරණේට අදාළ කරලා නිල ලියමනක් ම දෙන්නම්. අනිත් කාරණේ මේ පුංචි සර්ට. මන් කියෙව්වා තැනින් තැන තියෙන ප්‍රකාශ. වයසින් පුංචි උනාට වැඩවලින් හරි ලොකු මිනිහෙක්නෙ සර් ඔයා.”  

අධ්‍යක්ෂතුමිය ඉහත සඳහන් දෙවන වැකිය ප්‍රකාශ කෙළේ ගඟුල් දෙසට අවධානය යොමු කරමිනි. අනතුරුව ඇය යළිත් සිය හඬ අවදි කළා ය. 

“මේ සර්ගෙ නම ගඟුල් කිව්ව නේ ද? බැලුවහම ඔයා සාහිත්‍ය ගඟුලක්නෙ. කොහෙන් ද අප්පච්චියෙ මෙච්චර දැනෙන ප්‍රකාශ හොයා ගත්තෙ.”

“අනේ මැඩම් ඕවා මන් විතරක් තනියෙන් හොයා ගත්ත ඒවා නෙමෙයි. මෙතෙන්දි මට කියන්න තියෙන්නෙත් මැඩම් අතුල අය්යා කියපු ටිකම තමයි. මැඩම් ඒකත් ටීම්වර්ක් එකක්.”

“ඔයගොල්ල හරි අපූරු මිනිස්සුනෙ. වැඩක් කරන්න මුල් වෙනවා. කට්ටියගෙ සහයත් ගන්නවා. වැඩෙත් කරනවා. ඒත් ඒ වැඩේට මුල් උනේ ඒක සාර්ථක උනේ තමන් නිසා ය කියන එක පිළිගන්න ලෑස්ති නැහැ. මිස්ට දේවනාරායණ මට ඕන කරන්නෙ මේ ජාතියෙ මිනිස්සු. මට ගඟුල් අනික් ඉස්කෝලවලටත්  ඔයා කරපු සාහිත්‍ය ප්‍රකාශ  ගහන වැඩේ අරන් යන්න ඕනෙ. මෙන්න මගෙ කාඩ් දෙකක් ඔය දෙන්නට. ඕකෙ තියෙන අංකෙට කතා කරලා අද හෙට ම දවසක ඔය දෙන්නට මගෙ කුරුණෑගල ඔෆිස්සෙකට එන්න පුළුවන්නං හොඳයි. දේවනාරායණ සර්, අද දෙකට මට කලාප අධ්‍යක්ෂවරුන්ටයි කොට්ඨාස අධ්‍යක්ෂවරුන්ටයි කතා කරන්න තියෙනවා. සර් ඒකට එන්න අවශ්‍ය නැහැ. එතෙන්දි ගත්ත තීරණ ගැන මම සර්ව පස්සෙ දැනුවත් කරන්නං. සර් මේ වැඩේ ඉවර වෙනකන් මෙතනම ඉන්න. ඒ වගෙම ඒ ගමන් ඔබතුමාම මගෙ නියෝජනයත් කරන්න. මන් කිව්වා අපේ ගලිගමුවෙ කොට්ඨාස අධ්‍යක්ෂතුමාටත් අපේ රැස්වීමට එන්නැතුව ඔබතුමත් එකක් මේ වැඩේට ඉන්න කියලා. මන් මේ යන ගමන් අර සංග්‍රහ කමිටුවෙ මිස්ට යි අර ආබාධිත පුතාටයි කතා කරගෙන ම යන්නං. අපි එහෙනං පස්සෙ හමුවෙමු.”

එසේ පවසා අධ්‍යක්ෂතුමිය එතැනින් නික්ම ගියා ය. 

“අතුල ගඟුල්, දැන් ඔය මෙතන ඉඳලා ගිය අධ්‍යක්ෂතුමිය කියන්නෙ වයසින් වගේම අදහස්වලිනුත් තරුණ නිර්මාණශීලී ගැහැනියක්. ඒ වගෙම කාගෙ හරි හොඳ දෙයක් දැක්කොත් ඒක එක තැනකට දෙකකට සීමා කරන්නැතුව වැඩි පිරිසක් අතරට ගෙන යන්න තමයි එතුමිය වැඩ කරන්නෙ. මන් එතුමිය එක්ක වැඩ කරපු ටික කාලෙ ඇතුළෙදි තේරුම් ගත්ත දෙයක් තමයි ඒ.”

“ඔව් සර් සමහර දෙනා ඉන්නවා මේ ලෝකෙ වයසින් තරුණ උනාට අදහස්වලින් තරුණ නැහැ. තවත් කෙනෙක් ඉන්නවා වයසින් වැඩුණු අදහස්වලින් තරුණ. දැන් සර්ලා අපේ තෙන්නකෝන් සර්ලා අයිති කරන්න පුළුවන් ඒ කැටගරියට. දැන් සර් කියපු හැටියට අපේ පළාත් අධ්‍යක්ෂතුමිය අයිති වෙන්නේ වයසිනුත් යම් තරුණකමක් තියෙන අදහස්වලිනුත් තරුණ කොටසට.”

“දැන් කොහොම හරි ගඟුල් මාව වයස ගොඩට දැම්ම නේද?“

දේවනාරායණ මහතා එවදන් පැවසුවේ සිනාසෙමිනි.

“සර් අපේ අධ්‍යක්ෂ මැඩම්ගෙ විෂය මොකක් ද?”

ඒ ප්‍රශ්නය ඇසුවේ අතුල යි.

“මැඩම්ගෙ විෂය ඉංග්‍රීසි සාහිත්‍යය. කැලණිය විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගත්තෙ. මැණික් මැඩම්ගෙ ගෝලයො.”

“මැණික් මැඩම් කිව්වෙ සර් එහෙ ඉංග්‍රීසි අධ්‍යයනාංශෙ උගන්නපු ඉංග්‍රීසි ලියුමෙත් මැණික් කියලා සිංහලෙන් අස්සන් කරපු මැඩම් නේද?”

“ඔව් ගඟුල්, ඒ මැඩම් තමයි. මහාචාර්ය මැණික්. ගඟුල් දන්නවනෙ දැන් එතුමිය දැන් අපි අතර නැහැ කියන එකත්. එතුමිය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලෙ තිබිච්ච පින්කමකදි මහාචාර්ය ධම්මරතන හාමුදුරුවො කිව්වා හරි ලස්සන කතාවක්. උන්වහන්සෙ කිව්වෙ අපිට මැණික් වෙන්නෙ මහපොළොවෙන් ලැබෙන අර පාෂාණ නෙමෙයි ය, මේ මැණික් මහාචාර්යතුමිය වගෙ මනුස්සකමයි උගත්කමයි එකතු කරපු චරිත ය කියලා.”  

“සර් එහෙම කිව්වහම මට මතක් වෙන්නෙ අපේ සර් කියපු කතාවක්. සර් කැලණිය විශ්වවිද්‍යාලෙ ආචාර්ය උපාධියක ඇගයීම් පරීක්ෂකවරයෙක් හැටියට ගිය දවසක වෙච්ච සිදුවීමක් මේක. එතකොට පශ්චාද් උපාධි පීඨෙ පීඨාධිපතිතුමිය විදිහට ඉඳලා තියෙන්නෙ මැණික් මැඩම්. සර් ඒ නිබන්ධෙ සාධනීය පැති පෙන්නලා භාෂාත්මක ව හදා ගන්න ඕන කරන තැන් පෙන්නලා දීලා තියෙනව. සර් දන්නව ද, අපේක්ෂකයටත් ඉස්සෙල්ලා නෝට් බුක් එකක ඒවා සටහන් කරගෙන තියෙන්නෙ මැණික් මැඩම්. කොහොමත් මහාචාර්ය මැණික් කියන්නෙ මහපොළොවෙ පය ගහගෙන හිටපු බොහොම සරල ගැහැණියක්.”

“අපේ අධ්‍යක්ෂතුමියත් එතුමියගෙන් ඉගෙන ගෙන තියෙන්නෙ ඉංග්‍රීසි විතරක් නෙමෙයි අතුල, එතුමිය තමන්ගෙ ආචාර්යවරියගෙන් ජීවිතයත් ඉගෙන ගෙන තියෙනවා. එතුමියට වඩා තනතුරෙන් පහළ මට්ටම්වල ඉන්න ඇතැම් දෙනා තමන්ගෙ තනතුරුවලින් මත් වෙන කොට මේ මුළු වයඹ පළාතෙම අධ්‍යාපන බලධාරිනිය විදිහට කටයුතු කරන එතුමියට පුංචි දරුවෙක්ගෙ අහිංසකකම ඇතුව වැඩ කරන්න පුළුවන්. ඔය දෙන්නට පුළුවන් උපරිම උදව් එතුමියට කරන්න. ඒක ඉතින් අනිවාරෙන්ම පෞද්ගලික අරමුණු ඉක්මවා ගිය යහපත් වැඩ කියන එක ගැනනං මට සහතික වෙන්න පුළුවන්.”

“සර්ට අද දවසෙ මේ දක්වා වෙච්ච වැඩ ගැන සෑහීමට පත් වෙන්න පුළුවන් ද?”

“සෑහීමට පත්වීම ඉක්මවා ගිය ලොකු සතුටක් අද දවසෙ මන් පෞද්ගලිකවමත් ලබනව කියන කාරණේ මන් පැහැදිලි ව ම කියන්න ඕනෙ. මට හිතෙනවා මන් විදුහල්පති විදිහට වැඩ කළාටත් වැඩි වැඩි ධාරිතාවකින් අපේ විදුහල්පතිතුමිය වැඩ කරනවා කියලා. මොකද ගැහැණු හිතකට යමක් තදට වැදුණොත් පිරිමින්ටත් වඩා ප්‍රබල විදිහට ඒ අය ක්‍රියාත්මක වෙනවා කියල යි මට හිතෙන්නෙ. ඇත්තටම ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නෙ ඉතාම හොඳ නායිකාවක්.”

“ඒ උනාට එතුමිය ඔය තනතුර ගන්න කොච්චර අකමැති උනා ද අපි කී දෙනෙක්නං කොච්චරක් කරුණු කාරණා කියල ද සර් අපි සුමනා මැඩම්ව කැමති කරගත්තෙ.”

“ඒක අතුල, මේ ලෝකයට මානවයා බිහි වෙච්ච දවසෙ ඉඳල ම තියෙන තත්ත්වයක් කියලයි මට හිතෙන්නෙ. අපේ ඉතිහාසය දිහා බැලුවහමත් අපට පේන්නෙ යමකට සුදුසු ම කෙනා කවදාවත් මන් තමයි ඕකට හොඳම කෙනා කියලා ඉදිරිපත් වෙලා නැහැ. කවුද සුදුස්සා කියන කාරණේ තේරුම් ගත්ත කීපදෙනෙක් තමයි බලකරලා හරි ඒ චරිත වේදිකාවට ගෙනත් තියෙන්නෙ. අන්තිමට බැලුවහම රටට ලෝකෙට පිරිමහින වැඩක් කරලා තියෙන්නෙත් අනික් අය එහෙම බලෙන් හරි ගෙනාපු චරිත මිසක් වේදිකාවට බලෙන් කඩන් පැනපු චරිතනං නෙමෙයි.”

“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ වෙන දෙයක්. මන් මේ කියන දේ මේ කාරණෙත් එක්ක ගැළපෙන්නත් පුළුවන් නොගැළපෙන්නත් පුළුවන්.”

“ගැළපෙයි ද නොගැළපෙයි ද බලන්න කියන්ඩ බලන්න අතුල අය්යෙ ඒ කාරණාව අපේ මේ ලොකු සර් ඉන්න තැනම. අපි සර් එක්ක කොච්චරක්නං දේවල් බෙදාගෙන තියෙනව ද? මන් හිතන්නෙ කොට්ඨාස අධ්‍යක්ෂ නෙමෙයි පළාත් අධ්‍යක්ෂ උනත් අපිට ඒ ලොකු සර් නැති වෙන එකක් නෑ.”

“ඔයා හරි ගඟුල්, මේ ඉස්කෝලෙ විදුහල්පති විදිහට හිටපු දේවනාරායණ ම තමයි මේ දැන් ඉන්නෙත්. මන් හිතනව මට මන් මැරෙනකම්ම මට මාව නැති කරගන් නැතුව වැඩ කරන්න පුළුවන් කියලා. හොඳයි අතුල කියන්ඩකො දැන් ඔයාගෙ කතාව.”

“සර් මට මතක් වෙන්නෙ මළ ගෙවල්වල කතා පැවත්වීම. සමහර දෙනෙක් කැමති නෑ කොතනකවත් කතා පවත්තන්න. එහෙම කෙනෙකුට කතාවක් දෙනවා කියන්නෙ තමන් ව මරන්න හදනවා වගෙ වැඩක්. තවත් කෙනෙක් ඉන්නවා කතාවක් නුදුන්නොත් අවමංගල සංවිධාන කමිටුවෙ අයට මැරුම් කන්න තමයි වෙන්නෙ. හැබැයි ඒ බලෙන්ම ඉදිරිපත් වෙලා කතා පවත්තන්න එන මනුස්සයා අවමංගල සබාව විහිලුවක් කරනවා. එහෙම නැත්තං ඒ වෙලාවට පොඩි වැස්සක් එහෙම වැටුණොත් මේ වහිනවා නෙමෙයි මැරිච්ච මනුස්සය වෙනුවෙන් සොබාදහම කඳුළු හෙළනවා කියලා මහ මෝඩ කතාවක් කියනවා. හැබැයි අර සංවිධායකයන් බලෙන් හරි මෙයා නං වැදගැම්මක් ඇති දෙයක් කියාවි කියලා දාපු කෙනා අඩු වචන ගාණකින් එතන ජීවත් ව ඉන්න මිනිස්සුන්ට අරන් යන්න දෙයක් කියනවා.” 

“අතුල කියපු කතාව මටනං දැනෙන්නෙ මන් කියපු කතාවක් එක්ක ගළපන්න බැරි එකක් නෙමෙයි ගළපන්න පුළුවන් එකක් කියලයි. මොකද මටත් ඔය ගැන අද්දැකීම් තියෙනවා. මන් ඒවයින් එකක් ගැන විතරක් කියන්නං. දවසක් මන් මෙහෙට ඉස්සෙල්ලා විදුහල්පති වෙලා ඉන්න කාලෙ මගෙ හිතවත් මහාචාර්යවරයෙක් එක්ක මළගෙදරක ගියා. නැතිවෙලා තිබුණෙ අපේ යාළුවෙක්ගෙ අම්මා. ඒ අම්මට අවුරුදු අසූ ගණනක්. පාංශුකූලෙ පටන් ගත්තෙ හවස දෙකට. ඔයගොල්ලන්ට කියන්න පැවිදි අනුශාසනා හතයි, අතුල හිතන්නෙ ගිහි කතන්දර කීයක් විතර තියෙන්න ඇති කියල ද?”

“පැවිදි අනුශාසනා විතරක් හයක්නං ගිහිකතා අඩුම තරමින් දහයක් වත් තියෙන්න ඇති.”

“නෑ අතුල අපිට හරි ගාණ හදා ගන්න වෙන්නෙ ඒක දෙකෙන් වැඩි කරලා ඒකට තව එකකුත් එකතු කරලයි.”

“අපොයි දෙය්යනේ එතකොට ගිහිකතා විසි එකක්නෙ. ඔය අස්සෙ සර් ඒක ගණනුත් කළා ද?”

“නෑ ගඟුල් මන්නං නෙමෙයි අපේ මහාචාර්යතුමයි ඒක කළේ. එයත් මහ අමුතු වැඩ කරන මනුස්සයනෙ. මට එයා මුලින් ම කිව්වා. නාලක අපි අපේ යාළුවට අඟවන්න ඕනෙ මේ පාංශුකූලෙ වෙලාවට අපි දෙන්නා මෙතන නැති බව. නැත්තං අපේ යාළුවා අනිවාරෙන්ම අපි දෙන්නට කතා දෙකක් දානවා. අමතක කරන්න එපා මිනිහ කාලයක් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් විදිහට වැඩ කරපු බව. නමුත් මේ අම්මා වෙනුවෙනුත් අපේ යාළුවගෙ ජිවිතේ මොනවා හරි හොඳ කෑලි ටිකකුත් තියෙන නිසත් අපි ඈතට වෙලා ඉඳලා වැඩ කටයුතු ඉවර උනාම මිනිහට කියල ම මෙතනින් යමු කියලා. එහෙම නැති උනොත් අපි දෙන්නට වෙන්නෙ නාලක අපිට තියෙන උපාධි තනතුරු එහෙම කියලා මේ අවස්ථාවෙ ඒ විද්වතා ඔබ අමතනවා ඇත කියලා අන්න අර අවමංගල සබාව මෙහෙයවන්න ඉන්න හාදයා කවියකුත් එක්ක අපිව අඳුන්නලා දෙන කොට කතා පවත්තන්න තමයි. ඒ පාර මන් ඇහැව්වා දැන් ඒ මනුස්සයා කවියකුත් කියල ද කෙනෙක්ව අඳුන්නලා දෙන්නෙ කියලා. එතකොට ප්‍රොෆෙසර් කියනවා නාලක, අපේ මේ යාළුවා වගෙම ඔය යාළුව ගැනත් මන් හොඳට දන්නව. ඔයා බලන් ඉන්නකො වැඩේ වෙන හැටි.”

“ඉතින් සර් ඔය විදිහටනං වැඩ කෙරුණෙ හවස හය වෙනකන්වත් වැඩේ යන්න ඇතිනෙ.”

“හය වෙනකන්නං කමක් නෑ. ඒ වැඩේ ඉවර වෙනකොට හයහමාරත් පහුවෙලා. අපි ඒ අම්මගෙ බොඩි එක කනත්තට අරන් ගියේ වටින් පිටින් කළුවර වැටීගෙන එන වෙලාවෙ. තවත් වෙලාව යනවා අපේ ස්වාමින් වහන්සේලා තමන්ගෙ අනුශාසනා පවත්තන වැඩේ තමන්ගෙ බාරයට අරන් උන්වහන්සේලගෙ කෙටි අනුශාසනා සිද්ධ වෙන්නෙ මෙහෙමයි කියන එක හිතලා තමන් ම ඒ වැඩපිළිවෙළ කලින් ම තමන්ගෙ අතට ගත්ත නිසා. හැබැයි මිනිහා ස්වාමින් වහන්සේලාට ආගමික කටයුතු කරන්න ආරාධනා කරන වෙලාවෙ කවි තුනක් කියා ගත්තා. ඊට පස්සෙ ඒ කටයුත්ත ඉවර උනාටත් පස්සෙ කවි තුනක් කියා ගත්තා. කොහොම හරි මිනිහා එතෙන්දිත් තමන්ගෙ වැඩේ ගොඩ දා ගත්තා.”

“ඉතින් සර් කවි කියන්නෙ ලස්සන දෙයක්නෙ.”

“කවි කියන්නෙනං ලස්සන දෙයක් තමයි. ඒ උනාට ගඟුල් ඕනෙම දේකට ගැළපෙන වෙලාවක් තියෙනවා. අනිත් එක ඒවා කවි ද කියන එකයි ප්‍රශ්නෙ. ඔයගොල්ලන්ට කියන්න සමහර මිනිස්සු කනත්තට ගියෙත් බැන බැන. හැබැයි අර අම්මට නෙමෙයි අපේ යාළුවටයි කවි යාළුවටයි.”

“අන්න මචන් අපේ ඉංගිරිසි කවි දෙක මේ පැත්තට එනවා.”

“කාටද අතුල ඉංග්‍රීසි කවි කියන්නෙ.”

“ඔය එන්නෙ සර් මේ පැත්තට.”

“ඒ අපේ රේණු මිහිදිනී දෙන්නනෙ. හැබැයි අතුල ඒ දෙන්නට ඉංග්‍රීසි කවි කියලා විතරක් කියන එක නං වැරදියි. මොකද ඒ දෙන්නම හොඳට සිංහල කවිත් දන්න නිසා.”   

“කොහොම උනත් සර් ඔය සිංහල හරි ඉංග්‍රීසි කවි ඩබල එන්නෙනං සර්ව හොයාගෙන කෑමට එක්ක යන්න. ඉතින් අපි දෙන්නත් ඒ එක්කම ගොඩ යනවා. ඒ කියන්නෙ අපි දෙන්නත් සර් එක්කම විශේෂ ආරාධිත අමුත්තන් ගොඩට වැටිලා මහ ගම්භීර විදිහට කෑමට යනවා.”

“ඉතින් බන් මන් කොහොම ද විශේෂ ආරාධිත අමුත්තෙක් වෙන්නෙ. මන් මේ ඉස්කෝලෙ ම හිටපු මිනිහෙක්නෙ.”

“අපි හැමතැන ම සර්ව හොයනවා. බැලුවහම සර් මේ ඉස්කෝලෙ ඉන්න අණ්ඩ ම අණ්ඩ දෙන්නටනෙ අහුවෙලා තියෙන්නෙ.”

“මේ රේණු නෝනා, ඔය නෝනට ඉස්සෙල්ලයි මන් ලොකු සර්ව අඳුනන්නෙ. සර් දන්නවා හොඳටම මන් අණ්ඩයෙක් ද නැද්ද කියන එක. නැද්ද සර්.”

“ඉඳලා හිටලා අණ්ඩපාල වැඩක් දෙකක් කළාට අපේ මේ අතුල අණ්ඩයෙක් ම කියලා කියන්න බැහැ.”

දේවනාරායණ මහතා එසේ පැවසුවේ සිනාසෙමිනි.

“බලන්ඩ සර් අපි මේ හැමතැනම මේ දෙන්නව හොයනවා. කොයි වෙලාවෙ බැලුවත් මේ ලොකු අණ්ඩයයි පොඩි අණ්ඩයයි දෙන්න කතාව. ඇහැව්වහම කියන්නෙ අපි දෙන්න මේ ලොකු සාකච්ඡාවක හිටියෙ කියලයි. සාකච්ඡා සාකච්ඡා, කොච්චරවත් සාකච්ඡා අපි යන් සර් කෑමට. අපි දෙක වෙන කොට දවල් සංග්‍රහ වැඩ ඉවර කරලා ඉතිරි වැඩ පටන් ගන්න එපායැ. බලන්න සර් මේ වැඩවල නායකයා කරලා සර්ම පත් කරපු කෙනා මෙතෙන්ට වෙලා කිසි ගාණක් නැතුව කියෝ කියෝ ඉන්නවා. දැන් යමල්ලා අණ්ඩයො දෙන්නත් අපිත් එක්ක ම.”

“අන්න දැක්ක ද ලොකු සර්. අන්න බලන්න මොනවා උනත් අපේ මේ රේණු නෝනා වැදගත් මිනිස්සුන්ට සලකන්න දන්නවා. දැන් බලන්න සර් කියන විශේෂ ආරාධිතයා ගාව අපි දෙන්නව වාඩි කරලා අපිටත් සංග්‍රහ කරන්නයි යන්නෙ.”

“යමල්ලා යමල්ලා උඹලා දෙන්නත් යමල්ලා. දෙන්නං මන් ඔය අණ්ඩයො දෙන්නට ම හොඳ සංග්‍රහයක්.”

රේණු මෙහි අවසන් වැකිය කිව්වේ නාරායණ මහතාට ඇසෙන නොඇසෙන තරමේ හඬකිනි.

“මට නොඇහෙන්න වගේ කියපු එකත් මට ඇහුණා රේණු. ඒත් මන් මේ කල්පනා කළේ අපේ අතුල අණ්ඩයෙක් කියලා හිතමුකො. ඒ උනාට ගඟුලුත් එහෙම ද?”

“සර් මෙයා ද මෙයා අණ්ඩයෙක් නෙමෙයි අණ්ඩරාජ්. හිමිජ්ජා වගේ ඉඳගෙන මෙන්න මේ අතුල කියන හාදයගෙ න්‍යායාචාර්ය විදිහට වැඩ කරන්නෙත් මෙයා තමයි. මේ න්‍යායාචාර්ය කියන්නෙ මොකක් ද ඒක ඉතින් අපේ අතුලාචාර්යට දේව භාෂිතේ තමයි. ඒ වගෙම සර් තව දෙයක් තියෙනවා කියන්න. මේ න්‍යායාචාර්යට විරුද්ධ ව වචනයක් නෙමෙයි වචන මාත්‍රයක් කියනවට විරුද්ධ කෙනෙකුත් අපේ ම ස්ටාෆ් එකේ ඉන්නවා.”

“ඒ කවුද මිහිදිනී මන් නොදන්න මේ රේණු කියන කෙනා. කවුද එයා සර් කෙනෙක් ද එහෙම නැත්තං ටීචර් කෙනෙක් ද?”

මිහිදිනී බිම බලාගෙන ලජ්ජාවෙන් සිනාසුණා විනා ඊට පිළිතුරු දීමට නොගියා ය.

“ලොකු සර් මන් එයා කවුද කියලා පස්සෙ හෙමිහිට සර්ට කියන්නං. දැන් අපි කට්ටියම යමු කෑමට. ඒ වගෙම අතුල මහත්තයා කෑමෙන් පස්සෙ සාකච්ඡා බැහැ. තමන්ගෙ නායකත්වෙන් කෙරෙන වැඩ ගැන තමාගෙ අවධානය මීට වඩා යොමු වෙන්න ඕන. පස්සෙ මන් නරක ගෑනි යි කියලා කියන්න එපා.” 

“බලන්ඩකො සර්, සර් මගෙ ප්‍රධානියා වෙලා ඉන්න කොටවත් ඔහොම ඕඩර්ස් දුන්නෙ නැහැ. දැන් අපේ ප්‍රධානියා වෙලා ඉන්න සුමනා මැඩම් උනත් මේ දේ එහෙම නොකර මෙහෙම කරමු ද ළමයො කියල කියනවා මිසක් අපිට ඕඩර්ස් දෙන්න එන්නෙ නැහැ. මෙයාගෙන් තමයි සර් බේරිල්ලක් නැත්තෙ. හැබැයි සර් තමයි වැරදිකාරයා. ඇයි සර්ගෙ කාලෙදිනෙ මෙයාව මෙහෙට බඳවා ගත්තෙ.”

එදින නාගොල්ලාගම පාසලේ දිවා ආහාර ප්‍රදානය යනු ආරාධිත අමුත්තන් සහ පාසල් ප්‍රජාව වෙත පමණක් නොව මුළු මහත් ගම්මානය විෂයයෙහි කළ ජීව හිතවාදී ආහාර සම්ප්‍රදානයක් විය. එසේ ම එය කිසිදු මාංසාහාරයකින් තොර ව එනම් ප්‍රාණඝාතක අජීවී ආහාර වෙත නොව එය ප්‍රාණඝාතනයෙන් තොර ආදරණීය ආහාර වේලක් වෙත මානව ප්‍රජාව කැඳවීමක් විය.

දිවා ආහාරයෙන් අඩ පැයක් ගත වූ තැන ය, යළි ක්‍රීඩා උත්සවය ආරම්භ වූයේ. එහි පැවති සියලු ක්‍රීඩා අංග ගැන ලිවීමට අවස්ථාව මෙය නොවේ. ඒ වූකලී සුදක්ෂ ලේඛකයකුට සුවිසල් ගතක් ලිවීමෙහි ලා වූ උල්පතකි. ඒ උල්පතින් ගලා එන ජල ධාරාවෙන් සාහිත කෙත අස්වැද්දීමේ යුග මෙහෙවර අනාගත පරපුරට පවරා එක් කරුණක් අවධාරණ කොට දක්වනු කැමැත්තෙමි. ඒ මේ ආදරණිය ක්‍රීඩෝත්සවය වෙත සුගැඹුරු සිතක් ඇති අදරැති හදක් ඇති අධ්‍යාපන බලධාරීන්ගේ සාවධානපූර්වක චින්තාව නම් නොමඳ ව යොමු වන බව ය.

දවසේ වැඩ සටහන අවසන් වූයේ ද සමස්ත ක්‍රියාවලියේ ගුණරුව රැක ගනිමිනි. ඇගයීම් සහතික ප්‍රදානයෙන්, සෞන්දර්ය ක්‍රියාකාරකම් තුනකින් සහ කෙටි අදහස් දැක්වීම් තුනකින් ඒ සමන්විත විය. පළාත් අධ්‍යාපන කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් සිදු කළ යුතු කතාව සඳහා යෝජිත ව තිබුණේ මහව අභිනව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නාලක දේවනාරායණ නම වුවත් ඒ යෝජකයා විසින් මෙදින මෙම උත්සවයට සහභාගි වූ වෙනත් කොට්ඨාස අධ්‍යක්ෂවරයකුගේ නම ඒ සඳහා යෝජනා කොට තිබිණ. ඒ ගල්ගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ය. එතුමාගේ විශේෂත්වය කුමක් ද? ඒ ගැන දැනගැන්මට නම් ඔබ ‘ගුරුදියවරෙහි’ දසවැන්න වෙත පෙරළා ගමන් කළ යුතු වෙයි. ඒ රාජරත්නම් මැතිනියට පෙර මහව කොට්ඨාස අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළ චරිතය යි, තමා විසින් සිදු කරන ලද, නොකළ යුතු ක්‍රියාවකට අතුලගේ බැණුම් වර්ෂාවකට ලක් වූ පුද්ගලයා යි ඒ. පසුව යහ වෙනසකට ලක්වීම නිසා අතුල විසින් ම මෙම ක්‍රීඩා උත්සවයේ ආරාධිතයකු වශයෙන් කැඳවා ගත් චරිතය ය ඒ. ඔබට ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රගත බලධරයන් නියෝජනය කරමින් කරන ඒ කතාවෙන් අංශුමාත්‍රයක් හෝ දැනගැන්මට රුචියක් ඇතැයි යන උපකල්පනය පෙරටු කොට ගනිමින් ඉන් කොටසක් පමණක් මෙහි ලා උපුටා දැක්වෙයි.

“අපගේ කල්‍යාණමිත්‍ර මහව කොට්ඨාස අධ්‍යක්ෂතුමනි, හිතවත් විදුහල්පතිතුමියනි, මේ අර්ථසම්පන්න ක්‍රීඩා උත්සවයේ නියමුවර අතුල සෙනරත් ආචාර්යතුමනි, සම්භාවනීය අමුත්තනි, ගුරු සහෘදයනි, දයාබර දෙමවුපියනි, ආදරණීය සිසු දූ පුතුනි,  

අපි අපේ ජීවිත කාලෙදි විවිධ අවස්ථාවල දි විවිධ පුද්ගලයන්ගෙන් විවිධ පාඩම් ඉගෙන ගන්නවා. මේ නාගොල්ලාගම ඉස්කෝලෙ කියන්නෙ මන් මගේ ජීවිතයෙ තීරණාත්මක පාඩමක් ඉගෙන ගත්ත තැනක්. ඒ පාඩම දුවේ පුතේ මන් ඉගෙන ගත්තෙ ඔයගොල්ලන්ගෙ අතුල සර්ගෙන්. හැබැයි එදා මන් මේ ඉස්කෝලෙන් එළියට බැස්සෙ නං අතුල සර්ට හොඳ පාඩමක් උගන්නන්නං කියලා හිතාගෙන. ඒත් අන්තිමට ඒ සර්ගෙන් හොඳම පාඩම ඉගෙන ගත්තෙ මන් ම තමයි. 

දරුවනි, මේ ජීවිතේ දී අපට වැරදීම් සිද්ධ වෙනවා අපි කා අතිනුත්. අපි ඒ වෙලාවට බලන්නෙ ඒ වැරැද්ද පිළිගන්න එක වෙනුවට ඒ වැරැද්ද වහගැනීම සඳහා තව වැරදි කරන එක. දැන් මේ සභාවට කුතුහලයක් ඇති මොකක් ද මන් කරපු වැරැද්ද කියලා. ඒ තමයි මන් මේ පාසලේ ගුරුවරියකට, නිකන් ගුරුවරියකට නෙමෙයි ඒ වෙන කොට ගැබිණියක ව හිටපු ගුරුවරියකට ප්‍රසිද්ධියේ බැන්නා. හැබැයි අපේ ශිෂ්‍යයන්ගෙ භාෂාවෙන් කියනවනං මට ඒ වෙලාවෙම ප්‍රසිද්ධියෙම මට ඒකට රිටන් එක හම්බ උනා. ඒ වෙන කාගෙන් වත් නෙමෙයි ඔයගොල්ලන්ගෙ මේ ලස්සන ක්‍රීඩා උත්සවේට නායකත්වෙ දීපු අතුල සර්ගෙන්. එදා මම සර් එක්ක ගැටුණා. සර්ට විරුද්ධ ව මගෙ ප්‍රධානීන්ට පැමිණිලිත් කළා. හැබැයි දුරදිග යන්න තිබිච්ච මේ ප්‍රශ්නය බොහොම ලස්සනට කළමනාකරණය කරලා මේ ප්‍රශ්නය ප්‍රඥාවන්ත විදිහට විසඳන්න එක චරිතයක් මැදිහත් උනා. ඒ කෙනා තමයි තමන්ට කතා කරන්න තියෙන අවස්ථාවත් අද මට පූජාකළේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඔයගොල්ලන්ගෙ හිටපු විදුහල්පති දැන් එදා මන් හිටපු තනතුරේ ඉන්න මහව කොට්ඨාසෙ අලුත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා. මන් ඔබතුමාට වඩා වයසින් ටිකක් වැඩිමල්. අතුල සර්ට වඩා ගොඩක් වැඩිමල්. හැබැයි වයසින් විතරක් මට බාල මේ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනාගෙන් මන් ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. හෙට දවසේත් නාලක අතුල, මට ඔබේ කල්‍යාණ මිත්‍රත්වයේ දෑත අත්‍යවශ්‍ය යි.”

මෙදින ගලිගමුව අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තව බොහෝ දේ කතා කෙළේ ය. ඒ සියල්ල ගැන ලිවීමට නොයා ඔහු සිය කතාවේ අවසනට කී කාරණා තුනක් පමණක් උපුටා දැක්වීම සුදුසු ය.

“ආදරණීය සහෘදයනි, මගේ දරුවනි, මන් ඔයගොල්ලන්ගෙන් බොහොම ආයාචනාත්මක ව ඉල්ලා හිටින්නෙ පොතපතින් විතරක් නෙමෙයි මේ ජීවිත කාලෙ දි ඔබට දකින්න ඇසුරු කරන්න ලැබෙන කාගෙන් උනත් තමන්ගෙ ජීවිතයට ගන්න ඕන කරන දේ ගන්න කියන එකයි. 

ඒ මම මුළු දවසම කොට්ඨාසෙ වැඩවලට මහන්සි වෙචච් දවසක්. ඒ කියන්නෙ මහවෙන් පස්සෙ ගලිගමුවට යන්න ඉස්සෙල්ලා ටික කාලයක් වැඩ කරපු කොට්ඨාසෙ. කුරුණෑගල දිස්ත්‍රික්කෙ උනාට මගෙ කොට්ඨාස කාර්යාලෙ ඉඳලා කිලෝමීටර් තිස්නවයක දුරක් තිබුණා මගෙ සේවා ස්ථානයට. මේ කාලෙ මගෙ අම්මා හිටියෙ නංගි ගාව අනුරාධපුරේ. මම කොට්ඨාසෙ වැඩ ඉවර වෙලා මගෙ රියදුරු මහත්තයත් එක්ක ම එයාගෙ ගෙදරට ගිහිල්ල එයාව එතනින් දාලා මන් වාහනේ එළවගෙන අනුරාධපුරේ යන්න පිටත් උනා. අපේ ඩ්‍රයිවර් තරුණයා එන්න හැදුවත් ඒ ගෙදර තත්වෙත් එක්ක මට එයාව එක්ක එන්න හිතුණෙ නැහැ. එයාගෙ නෝනට දෙවෙනි දරුවා ලැබෙන්න ඔන්න මෙන්න. අතුල මටම මන් ගැන පුදුමත් හිතුණු දවසක් ඒක. ඒ කියන්නෙ මේ ඉස්කෝලෙදි ගැබිණි ගුරු අම්මා කෙනෙකුට පාට් දාපු මම ම මගෙ රියදුරු මහත්තයගෙ දරුවෙක් ලැබෙන්න ඉන්න නෝනා ගැන හිතලා මට මහන්සි දැනෙද්දිත් එයාගෙ මහත්තයව ගෙදර නවත්තලා වාහනේ එළවගෙන අනුරාධපුරේ යන්න තීරණය කරපු එක. 

විදුහල්පතිතුමියනි, ජීවිතේ හරි පුදුම දේවල් අනපේක්ෂිත ව සිද්ධ වෙනවා කියන්නෙ නිකන් නෙමෙයි. අපේ නාලක හිතන් හිටියෙ විශ්‍රාම යනකන් ම මේ ඉස්කෝලෙ බලා කියා ගෙන ඉන්න. ඊළඟට ඔබතුමිය කැමතිම ගුරුවරියක් විදිහට ඉන්න මිසක් විදුහල්පතිනියක් විදිහට ඉන්න නෙමෙයි කියන එක අපි දන්නවා. එහෙම උනාට ඔබතුමියට ඒ වගකීම ගන්න සිද්ධ උනා. ඒ වගෙම අද දවසෙ ඔබතුමිය ක්‍රියාවෙන් ම ඔප්පු කරලත් තියෙනවා ඒ තනතුරට තමන් සුදුසු යි කියන එකත්.  

දැන් මන් කතා කරන්න යන්නෙ එදා දවසෙ සිද්ද වෙච්ච වැදගත් ම සිදුවීම ගැන. මගෙ ජීවිතේ පරිවර්තනීය වෙනසක් වෙන්න හරි ප්‍රබල විදිහට බලපාපු සිද්ධිය විදිහට ඒක හැඳින්නුවත් ඒකෙ වරදක් නෑ. දරුවනි, ඔයගොල්ලන්ට කියන්න ඒ මහ රෑ මන් ගිය වාහනේ නතර උනා. ඒ තඹුත්තේගමදි. මට මොන විදිහකින්වත් වාහනේ ස්ටාට් කරගන්න බැරි උනා. රෑ දොළහත් පහු වෙලා. වාහනෙන් බැහැලා උදව්වක් ඉල්ල ගන්න යන එන වාහනවලට අත දැම්මත් ඒ අය තමන්ගෙ වාහන නතර කළේ නැහැ. ඒකට මන් දොසක් කියන්නෙ නැහැ මොකද ඒ වෙලාව අනුව මන් තනියම ගිය වෙලාවක නම් මන් උනත් ඒ විදිහට ම වැඩ කරන්න ඉඩ තිබුණා. ඔන්න ඔහොම ඉන්න අතරෙදි මන් අතදාපු එක වාහනයක් නතර කළා. ඒකෙන් බැහැලා තරුණ වයසෙ දෙන්නෙක් මන් දිහාවට එන්න ගත්තා. බලාපොරොත්තු දල්වගෙන හිටපු මන් මගෙ බලාපොරොත්තු කඩ කර ගත්තෙ ඒ ළඟට ආපු දෙන්නගෙන් එක්කෙනෙක් ව හොඳට ම අඳුන ගත්ත නිස යි. එයත් මාව අඳුනගත්තා. මන් හිතුවෙම මාව අඳුනගත්තට පස්සෙ එයා යාළුවත් ඇදගෙන එතනින් යාවි කියලයි. නමුත් එයා එහෙම කළේ නැහැ. එයා යාළුවත් එක්ක කතා කරගෙන තමන්ගෙ ගමන වෙනස් කළා. ළඟම තියෙන ගරාජ් එකකට කතා කරලා මගෙ වාහනේ එතන දාලා, මගෙන් යන ගමනෙ විස්තර අහලා, මාව අනුරාධපුරේ නංගිලගෙ ගෙදරටම දාලයි ඒ දෙන්න පිටත් උනේ. ඔයගොල්ලො දන්නව ද දරුවනේ ඒ මහ රෑ මට එහෙම උදව් කළේ කවු ද කියලා. අද ඒ දෙන්න ම මෙතන ඉන්නවා. එයින් එක්කෙනෙක් ව නං මන් කලින් දැනං හිටියෙ නැහැ. අනිත් කෙනා ගැන දැනන් හිටියත් ඒ වෙන කොට ඒ සම්බන්ධතාවල ඇති වෙලා තිබිච්ච පළුදුවිම්වල හැටියට එයාගෙන් නං මට උදව්වක් ලැබෙයි කියලා මන් හිතුවෙ නෑ. මන් කලින් දන්න කෙනා තමයි අද මේ උත්සවේ විශේෂ ආරාධිතයෙක් විදිහට ඇවිල්ලා ඉන්න, ඒ කාලෙ අඹන්පොළ සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කරපු දැන් මහව උපදිසාපතිතුමා. අනිත් කෙනා එතුමත් එක්ක එකම කාලෙක එකම විශ්වවිද්‍යාලෙක ඉගෙන ගත්ත අද දවසේ අපේ කතානායකවරයා. ඒ වෙනින් කවුරුවත් නෙමේ දරුවනි, ඔයගොල්ලන්ගෙ මේ අතුල සර්. එහෙම මනුස්සයෙක් ගැන මන් ලබපු ඒ අද්දැකීම ගැන මන් මේ දරුවන්ට, මේ සභාවට නොකියා යනවනං ඒක මහ අකෘතඥකමක්.

අනික් කාරණේ සම්බන්ධ වෙන්නෙ සමාව ගැනීමකට. ප්‍රසිද්ධියේ කරන සමාව ගැනීමකට. අදාළ පාර්ශව දෙකම දැන් මෙතන ඉන්නවා. එක පාර්ශවයක් නියෝජනය කරන්නෙ මම. අනිත් පාර්ශවය නියෝජනය කරන්නෙ මේ නිමාලි ටීචර්. ඒ කියන්නෙ එදා මගෙන් නිරපරාදෙ බැණුම් අහපු ගුරුතුමිය. මන් ප්‍රසිද්ධියේ ම එතුමියගෙන් මේ ගුරු දියණියගෙන් ඉල්ලා හිටින්නෙ තාත්තා කෙනෙක් අතින් වෙච්ච අත්වැරැද්දක් විදිහට සලකලා මට සමාව දෙන්න කියල යි.

මට මෙතෙක් වෙලා සාවධානව සවන් දීපු ඔබ සියලුම දෙනාට ඉතාමත් ම ස්තුතියි.” 

සැබැවින් ම මේ වූකලී හුදු ක්‍රීඩා උත්සවයක් පමණක් නොවේ. ඒ වූකලී මානව චින්තනයේ ප්‍රබල වෙනසක් ඇති කොට මානව ක්‍රියාකාරිත්වයන්ගේ චර්යාත්මක වෙනසක් උදෙසා තැබූ අවංක ප්‍රයත්නයක් ද විය. මෙහි දක්නට ලැබුණේ පුද්ගල ඉස්මතුවීම් හෝ පුද්ගල ඉස්මතු කිරීම් නොව ක්‍රියාව ඉස්මතු කිරීම ය. මෙදින අභිනව විදුහල්පතිවරිය විසින් ද අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම මැදිහත් වීම් සිදු කරනු ලැබ තිබිණ. ඒ ක්‍රීඩෝත්සවයට පූර්ව දින පැවැති රැස්වීමේ දී සංවිධායක මණ්ඩලය විසින් ගත් බොහෝ තීරණ අනුමත කරමින් අනුමැතිය දුන් එතුමිය කළයුතු ම යැයි දැනුණු සංශෝධනයක් වෙතොත් ඒ සිදු කළා ය. යමකට විරුද්ධ විය යුතුයැයි හැඟී ඇයට හැඟී ගියේ නම් ඊට විරුද්ධ වූ ඇය ඇතැම් කෙනෙකුගේ අවධානය යොමු නොවූ පෙදෙසකට ඔවුන්ගේ නැණැස යොමු කළා ය. එසේ ම තමාට නිවැරදි ම දෙය යැයි දැනුණු දෙය ක්‍රියාත්මක කිරීම උදෙසා ඈ සිය නිලබලය ද භාවිත කළා ය. 

පාසල වෙනුවෙන් විදුහල්පතිනිය වශයෙන් කළයුතු කතාව ඇති තැනට ඇය ශිෂ්‍යයකු ආදේශ කළා ය. මේ අවස්ථාවේ පාසලේ නියමුවරිය අදහස් දැක්විය යුතු ම යැයි කී ඇතැම් ගුරු සහෘදයකුට අදහස් දැක්වීම යනු යම් ක්‍රියාවලියක එක් ක්‍රියාවක් පමණක් බැවින් ඒ වෙනුවට තමා විශ්වාස කරන දෙය ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දෙන ලෙස ඕ තොමෝ ඉල්ලා සිටියා ය. අඩපැයකටත් මඳක් වැඩි කාලයක් පුරා සංකථිත මෙකරුණ අවසන ඒකච්ඡන්දයෙන් අනුමත වූයේ විදුහල්පතිනියගේ මුවගට ඇයට සුපුරුදු මඳහස ද කැන්දමිනි. ඒ අනුව විදුහල්පතිනිය ඇතුළු සමස්ත පාසල නියෝජනය කරමින් කතා කිරීම පැවරුණේ ප්‍රචාරණ කමිටුවේ මෙන් ම සංග්‍රහ කමිටුවේ ද අතිමහත් කාර්යභාරයක් ඉටු කළ සුදම් රත්නායක ශිෂ්‍යයාට ය. ඒ සඳහා සුදම් සහෝදර ශිෂ්‍යාවන් දෙදෙනකුගේ සහායෙන් වේදිකාවට අවතීර්ණ වන මොහොතේ මුළු මහත් සබාගැබ පුරා පැතිරී ගියේ සුවිසල් අත්පොළොසන් හඬකි. එහඬ කෙමෙන් වියැකී යන නිමේශයේ සුදම් සිය හඬ අවදි කෙළේ ය.  

“අපගේ ආදරණීය විදුහල්පතිවරයා වශයෙන් හිඳිමින් අපේ ජීවිතවල වෙනස් ම රිද්මයක් ඇති කළ වත්මන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරු පියාණෙනි, ජීවිතයෙන් තමා උගත් පාඩම් නව පරපුර නියෝජනය කරන අපට කියා දෙමින් වෙනස් ම කතාවක් කළ ගල්ගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, ඔබ ඉපිද ඇත්තේ මානසික වශයෙන් ආබාධිත ව ඇති සමාජයක් සුවපත් කිරීම සඳහා මිස භෞතික වශයෙන් සිදු ව ඇති ආබාධ ගැන සිතමින් එතැන නතර නොවීමට ය යන පාඩම නිබඳ මට කියාදෙන අපේ පාසලේ ලොකු අම්මා වන සදාදරණීය විදුහල්පතිතුමියනි, පාසල නියෝජනය කිරීම උදෙසා වන කතාව මට පවරා දීම සම්බන්ධයෙන් සිය ඒකමතික අනුමැතිය ලබා දෙමින් පමණක් නොව මගේ අධ්‍යාපන ගමනේ දී මෙන් ම ජීවන ගමනේ දීත් අප්‍රමාණ උදව් උපකාර කරන සදාදරණිය ගුරු මවුවරුනි, ගුරු පියවරුනි, මගේ ආදරණීය පාසලේ අභ්‍යුන්නතිය නිබඳ ප්‍රාර්ථනා කරන අද දවසේත් අප බල ගන්වමින් මෙහි පැමිණ සිටින අපට කිසිසේත් අමුත්තන් වශයෙන් හඳුන්වා දිය නොහෙන සම්භාවනීය ආරාධිත උතුමනි, උතුමියනි, කවදත් මට තමන්ගේ ම දරුවකුට මෙන් සලකන මා ඔබ උපන් මේ සොඳුරු ගම්මානයේ ආදරණීය මවුවරුනි, පියවරුනි, ඔබ සියලු දෙනා නියෝජනය කරමින් කතා කිරීම සඳහා මා සභාවට අවතීර්ණ වන මොහොතේ මට හිතාගන්නවත් බැරි තරමේ ආදරණීය ප්‍රතිචාර දක්වන කවදත් ඉමහත් ආදරයෙන් මා ගැන සොයා බලන මගේම ආදරණිය සොහොයුරනි, සොහොයුරියනි,

සර් මැඩම්, මගේ ප්‍රවේශය ම ටිකක් දිග තමයි. ඒ උනාට ඒ ප්‍රවේශය නැතුව නං මට කතා කරන්න බැහැ. සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ස්තුති කතාව කරාවි. ඒත් මුළු පාසල ම නියෝජනය කරන කතාව කරන්න තියෙන්නෙ ඔයාට කියලයි ලොකු මැඩම් කිව්වෙ. මන් මොනව ද සර් කතා කරන්න ඕනෙ කියලා  අපේ ගඟුල් සර්ගෙන් ඇහැව්වහම සර් කිව්වෙ ඔයා ඉස්කෝලෙ ගැන අව්‍යාජ ව ඔයාගෙ හිතට දැනෙන දේවල් කතා කරන්න කියලයි. එතකොට තමයි ඔයා කතා කරන දේ නික් අයට දැනෙන්නෙ කියලයි. 

මන් මට වෙච්ච එක සිදුවීමක් ඉස්සෙල්ලා කියන්නං. මන් ඒක කියන්නෙ ඒක මේ සභාවෙ ඉන්න කාට උනත් අපේ ආදරණීය මුළු ගුරු මණ්ඩලය ගැන ම හොඳ චිත්‍රයක් මවා ගන්න උදව් වේවි කියලා හිතලයි. මන් අනතුරට ලක්වෙන්නෙ හතේ පන්තියෙදි. මන් ඉස්සර ඉස්කෝලෙට උදේ එන්නෙත් හය්යෙන් දුවගෙන. හයේ හතේ ඉන්දැද්දි මන් දුවලා තෑගිත් අරන් තියෙනවා. දවසක් ඔය දිවිල්ල දුවන්න ගිහිල්ලා මන් වැලිකල මැඩම්ගෙන් ගුටිත් කාලා තියෙනවා. එදා මන් හය්යෙන් දුවගෙන ආපු පාරට ඒ වෙනකොට අලුතෙන් ඉස්කෝලෙට ඇවිත් හිටපු අපේ ටීචර් කෙනෙක්ගෙ ඇඟේ හැප්පුණා. ටීචර්ගෙ පොත් කෑම එක කුඩේ මේ ඔක්කොම සීසීකඩ. ඒ වෙලාවෙ සිද්ධියට ලක් වෙච්ච ගුරුතුමිය ඒ කියන්නෙ අපේ මේ නදී ටීචර් ඒක ගණන් ගත්තෙ නැති උනාට සිද්දිය බලන් හිටපු වැඩිහිටි ටීචර් කෙනෙකුට හරියට කේන්ති ගියා. මගෙ ළඟට හය්යෙන් හය්යෙන් ආපු ඒ ටීචර් දුන්නෙ නැද්ද පිට මැද්දට අතින් ඩෝන් ගාලා එකක්. හැබැයි මන් එහෙම ගුටි කාලා යනකොට මට වඩා වැඩියෙන් රිදිලා තිබුණෙ මට ගහපු ටීචර්ට ම තමයි. මන් යනකොට ඒ ටීචර් ම ටිකක් සැරෙන් කිව්වා. නවතිනවා ඔහොම ටිකක් කියලා. ඔන්න අපේ මේ නදී ටීචර් එතකොට කියනවා අනේ මැඩම්, කොල්ලා හිතලා නෙමෙයිනෙ කළේ. ආයි නං ඒ ළමයට ගහන්න එපා කියලා ඉල්ලීමක් කළා. නෑ මන් මෙයාට ගහන්න නෙමෙයි නලවන්නයි කතා කරන්නෙ කියලා මැඩම් කිව්වා. මමත් හිතුවා වැඩේ බරපතල නිසා එක ගුටියක් ඒකට සෑහෙන්නෙ නෑ කියලා හිතලා ආයි සම්බුව දෙන්න තමයි ඔය කතා කරන්නෙ කියලා හිතාගෙන තමයි මන් එතෙන්ට ගියේ. ඔන්න දැන් නදී ටීචරුත් බොහොම දුකින් බලන් ඉන්නවා මන් දිහා. ඔන්න එතකොට අර ලොකු ටීචර් මගෙ අතට රුපියල් පනහක් දුන්නා. දැන් නදී මිසුත් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. එදා නදී මිස් හිතුව ද දන්නෙ නැහැ අලුතෙන් ආපු ටීචර් කෙනෙක්ගෙ ඇඟේ ශිෂ්‍යයෙක් දුවගෙන ගිහිල්ලා හැප්පිලා ඒ ටීචර්ගෙ බඩුමුට්ටු සීසීකඩ ගියාම මේ ඉස්කෝලෙ අනික් ටීචර්ලා ඒ හැප්පිච්ච ළමයගෙ පිටට එකක් ගහලා ඊට පස්සෙ එයාට රුපියල් පනහක් දෙන චාරිත්‍රයක් මෙහෙ තියෙනවා කියලා. මේ ගරු සබාවට කියන්න ඕනෙ අපේ ඒ ගුරු අම්මා ඊළඟට කියපු දේ. දැන් නෙමෙයි ඉන්ටවල් හම්බ උනාම මේක අරන් ගිහින් බනිස් ගෙඩියක් එහෙම කාලා හොඳ කිරි තේකක් හදවගෙන බොනවා නිමල් මාමා ලව්වා. ආයි එහෙම මේ වගෙ වැඩ කරලා මට අහු වෙන්න එපා කියලා මේ නදී මිස් එක්කම ස්ටාෆ් රූම්මෙක පැත්තට ගියා. කවුද දන්නව ද අපේ වැරැද්දකට පොඩි පාරක් එහෙම ගාලා තේ බොන්න සල්ලිත් දුන්නෙ කියලා. අපේ මේ වැලිකල මැඩම්. ඒ තමයි නාගොල්ලාගමේ ගුරු අම්මලා. ගුරු පියවරුන් ගැන අපට කියන්න තියෙන්නෙත් ඔය වගෙ ආදරණීය කතන්දර ම තමයි. අද අපේ සංග්‍රහ කමිටුව පිටිපස්සෙ ඉන්න එක දැවැන්ත චරිතයක් තමයි එතුමිය. 

එදා දුවපු මට අද දුවන්න බැහැ. ඒත් අද මම දුවන්න පුළුවන් මගෙ සහෝදර සහෝදරියන් දුවවන්න මට පුළුවන් උපරිම දේ කරනවා.  

මන් ඉස්සර ඉගෙන ගන්න වැඩ උනන්දුවෙන් කරපු කෙනෙක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි උනන්දුවෙන් ඉගෙන ගන්න අයටත් හිනාවෙච්ච කෙනෙක්. එත් අද ඉන්නෙ ඊට වඩා වෙනස් සුදම් කෙනෙක්. එයා අද තමනුත් උනන්දුවෙන් ඉගෙන ගන්නවා. අනික් අයවත් ඉගෙන ගන්න උදව් කරනවා. ඒ වගෙම මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට යන්න ඉන්න නංගිලා මල්ලිලට ඉස්කෝලෙ ඇරුණට පස්සෙ පන්තියක් දාලා ඒ අයට මන් දන්න දේවල් කියලා දෙනවා. අපි ඒවා ඉගෙන ගත්තෙ වෙන කොහෙන්වත් නෙමෙයි අපේ මේ ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් ම තමයි.  

මේ වගෙ මේ ඉස්කෝලෙන් මේ ගුරු මණ්ඩලයෙන් වගෙම මෙතන අද රැස්වෙලා ඉන්න මගෙ සහෝදර සහෝදරියන්ගෙනුත් මන් ඉගෙන ගත්ත දේ අනන්ත යි අප්‍රමාණ යි. නාගොල්ලාගම පාසල් මවුනි, ඔබ ඔබේ ආදරණීය ඇකයට අපිව ගත්තෙ එකම ආදරයකින්. ඔබෙන් ගත්ත දේවල් අපි ඔක්කොම අපිට පුළුවන් උපරිම විදිහට අපි ලෝකයට දෙනවා. ඒක තමයි අපි හදපු වඩමු අම්ම තාත්තලට අපිට ආදරයෙන් උගන්නපු ගුරු අම්මලා තාත්තලට අපිට කරන්න පුළුවන් හොඳම උපහාරය.”

සුදම් ශිෂ්‍යයා තව බොහෝ දේ කතා කෙළේ ය. නුදුරු අනාගතයේ දී ඔහු සමාජය අබිමුවට පැමිණ තමා කතා කරන දේ මත පිහිටමින් සදර්ථවාහී තවත් බොහෝ දේ කතා කරනු ඇත. ඒ වූකලී නාගොල්ලමින් සමාජය වෙත මුදා හරිනු ලබන අනාගත සිසු ගුණරුව යි.

එදා ක්‍රීඩා උත්සවය අවසන් කරන ලද්දේ මිහිදිනියගේ ස්තුති කතාවෙනි. තුතිපුද ලදයුතු සියලු චරිත විෂයයෙහි කෘතගුණපූර්වක ස්තුතිය පළකළ මිහිදිනී, සමස්ත පාසල වෙනුවෙන් කළයුතු කතාව හෘදයංගම ව මෙන් ම අර්ථසම්පන්න ව සිදු කළ සුදම් සිසු රුවනට පළමු ව තුති පුද කිරීමට අමතක නොකළා ය. අනතුරුව ලෝකය පවතිනවාට වඩා යහපත් කිරීම සඳහා ලද ජීවිතය භාවිතයට ගත් සුවිශිෂ්ට චරිත දෙකක් විසින් කරන ලද සුප්‍රකාශ දෙකක් මේ අවස්ථාවට ගැළපෙන පරිදි ඒවායේ මහදර්ථයනට හානි නොවන සේ මඳක් වෙනස් කොට ඉදිරිපත් කරන බව ඇය පැවසුවා ය. ඉන් පළමුවැනි ප්‍රකාශය සිදු කොට තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම විශ්වවිද්‍යාලයාධිපති එක බිම්කඩකට පමණක් සීමා නොවූ සාර්වභෞම සාහිත්‍ය චක්‍රවර්ති අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

මේ රටේ සභ්‍යත්වය අඳුනන එයට ගරු කරන, එයින් තැනුන ප්‍රයෝජනවත් පිරිසක් බිහි කිරීම මේ රටේ අධ්‍යාපන නිකේතනයක පරමාර්ථය විය යුතු ය. විමංසන බුද්ධිය ඇති, නිර්මාණ ශක්තිය ඇති, රටේ සභ්‍යත්වය අනුව හැදිච්චකම ඇති, ලජ්ජා බිය ඇති ඇති, රටට ආදරය ඇති, පරාර්ථ සේවය ගැන හැඟීම් ඇති, සීමාන්තික නොවූ, මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටි පුරවැසියන් පිරිසක් ඇති කරලීම සියලු අධ්‍යාපන නිකේතනවල පරමාර්ථය විය යුතු යි.

මෙහි දී මිහිදිනිය විසින් සිදු කරනු ලැබ තිබුණේ විශ්වවිද්‍යාලය යන වචනය ඇති තැනට අධ්‍යාපන නිකේතනය යන වචනය යෙදීම යි.

තදනන්තර ව ඇය භාවිතයට ගත්තේ මෙබඳු ක්‍රීඩා උත්සවයක් පිළිබඳ පූර්වාදර්ශයක් සැපයූ සමන් සිත්තරාගේ සුප්‍රකාශයකි. පොළොන්නරුව පළුගස්දමන පාසලේ අතීතයේ කිසියම් දිනක මේ සොඳුරු සිත්තරාගේ සංකල්පයන්ගේ අන්තර්ගත සදර්ථ හඳුනාගනිමින් ඔහුට උදව් කළ, අද වන විට ජීවතුන් අතර නැති තද් යුගයේ විදුහල්පතිතුමාටත් එයුගය හා බැඳුණු ගුරුමඬුල්ලටත් ඒ අතීත ශිෂ්‍ය ප්‍රජාවටත් වෙසෙසින් තුති පුද දීමෙන් පසුව ය, ඇය ඒ සුවවන සංචිතය භාවිතයට ගත්තේ. සමන් සිත්තරා ඒ ප්‍රකාශය කොට තිබුණේ සෞන්දර්යය ගැන ය. ඒ වූකලී සමන්, සෞන්දර්යයේ ශිෂ්‍යයකු ව සිටි සමයේ ආරාධිත ආචාර්යවරයකු වශයෙන් ඔවුනට ඉගැන්වීමට ආ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර ඇදුරුතුමන් වෙත යැවූ ලිපියක අන්තර්ගත වූ ප්‍රකාශයකි. මේ ප්‍රකාශය ද සහිත සිය ශිෂ්‍ය ලේඛනය ඒ මහැදුරුතුමන් සුරැකි ව තබාගෙන සිටින බව පැවසූ ගඟුල් ය, එතුමන්ගෙන් එහි ඡායාස්ථිති  පිටපතක් ලබාගෙන තමාට ද කියැවීමට දුන්නේ.

මිහිදිනී යථෝක්ත සුප්‍රකාශයේ එන සෞන්දර්යය යන වචනය සමග ක්‍රීඩාව යන වචනය ද මුහු කළා ය. ඔබ අපගේ අවධානය දැන් යොමු වන්නේ ඒ සුප්‍රකාශය වෙත ය.

“සෞන්දර්යයේ සේ ම ක්‍රීඩාවේ ද සැබෑ අර්ථය හඳුනාගත් අනාගතයක් උදා කරගන්නට නම් එයින් පරිපූර්ණ අතීතය ගැන දැකිය යුතු, ඇසිය යුතු, දැක අසා හදාළ යුතු දේ කොතරම් ද?”   

මිහිදිනී සිය ස්තුති කතාව අවසන් කෙළේ සිය හෘදයවිහාරී සහෘදයා ඒ සුවදන කියවා ලියු පහත සඳහන් පැදියෙනි.                

     “  ‘අද ලෝකය’ මුදා ‘දියුණුවෙ’     ජල ගැල්මෙන්

     පිරිපුන් අතීතය පිරිසිඳ                    හද ඇල්මෙන්

     ඒ ලොව සොඳුරුතාවන් දැක         මුදු බැල්මෙන්

     ‘නව ලොව’ හදා නහවමු         හද සඳ කැල්මෙන් ”


1 comment: