Tuesday, September 17, 2024

ජපුර හැර යාම: සෝක සහ සන්තුට්ඨි පරිච්ඡේදය


වසර විසිඅටකට කලින් දවසක අම්මගෙ අතට වී බිළිඳියක්ව ජපුරට ආ කුඩා ළදැරියක් මතක පොත අස්සෙ ඉඳන් එබිකම් කරනවා.


අනූව දශකයෙ අගභාගයෙ තරුණ කථිකාචාර්යවරු දෙදෙනෙක් වුණු වැසිදැරියගෙ අම්මාත්-තාත්තත් වැසිදැරියගෙ තුරුණු මහප්පා වුණ සමන් සිත්තරාගෙ හදිසි කායික අභාවයෙන් පසු භෞතිකවත්-අධ්‍යාත්මිකවත් හිස් වුණ හෝකන්දර මහගෙදර අත්හැර ජපුර ආචාර්ය නේවාසිකාගාරයට පදිංචියට ඇවිත් තිබෙනවා. වැසිදැරිය ඉපැදුමෙන් ඉක්බිති පළමු ගමන ලෙස ජපුරට පැමිණියෙ එනිසයි.


පස්අවුරුද්දකින් ආයෙ හෝකන්දර මහගෙදරට යන තුරු වැසිදැරිය ජීවත් වුණේ ජපුරේ. ඉතින් කුඩා දැරියකව ජපුර තෙල්බැමි උඩ සෙල්ලම් කරපු - ගල්පිට්ටනිය එපිටහින් ඉර බැහැගෙන යනවා බලන් ඉඳපු - අම්මා තාත්තාගෙ ගෝලයන් එක්ක සෙල්ලම් කරපු - ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙ අතේ එල්ලීගෙන දන් බත් කන්න ගියපු මනරම් අතීතයක අහුමුළු ජපුරෙ තැන් තැන්වල වැටී තියෙනවා.

නේවාසිකාගාරෙන් පිට වුණාට පස්සෙත් වැසිදැරිය පාසල නිම වුණායින් පස්සෙ බොහෝ විට ආවෙ ජපුරට. තමුන්ගෙ එකම දියණිය ඉහළ පෙළේ බාලිකා පාසලකට යැවීමේ හැකියාව තිබුණත්, ඇයට සියලු සමාජ පන්තිවල ගැහැණු පිරිමි දරුවන් සමඟ ඇසුර හිමි විය යුතු යැයි තදින් විශ්වාස කරපු අම්මාත් තාත්තාත් වැසි දැරිය යැව්වෙ සරසවියට කිට්ටුම මිශ්‍ර පාසලකට. ඒ නිසා පාසල් බස්වල කොළඹ තදබදයෙ ජීවිතේ දිය නොකර ඉක්මණින්ම ගෙදර නැත්නම් ජපුරට ඇවිත් තාත්තගෙ හෝ අම්මගෙ පුස්තකාල කාඩ් එකට ගත් පොතක් පතක් කියවමින්, සෙල්ලම් කරමින්, කැම්පස් එක වටේ සොබා සංචාරයක යෙදෙමින් ගත කරන්න වැසි දැරියට කාලය ඉතුරු වුණා.

ඒ අතරෙ වේදිකාවෙන් මහපොළොවට සිට හිමිදිරිය සහ නාට්‍ය වේදිකාගත කිරීම් දක්වා එකදු සංගීත-නෘත්‍ය-නාට්‍ය උළෙලක්වත් වැසිදැරියට මග හැරුණෙ නෑ. අය්යලාගෙ අක්කලාගෙ කර උඩ නැගගෙන වීදිනාට්‍ය බැලූ දවස් සිට අම්මා තාත්තාගෙ අධ්‍යනාංශ දෙකෙන්ම රට පුරා ගිය බිහිවැඩ චාරිකාවලට සම්බන්ධ වූ දවස් ජීවිතයේ මියෙන තෙක් අමතක නොවනු ඇති මිහිරි මතක එකතුවක්.

පහ හය වසරේ ඉඳන් පරණ ගීත දාස් ගණනක් කටපාඩම්ව හිටි වැසිදැරියව දුරචාරිකාවල ගීතෙන් ගීතය කරද්දි තමන්ගෙ පිළට එක් කරගන්න අය්යලා අක්කලා පොරකෑව අන්දමත්-ඔවුන් වැසිදැරියව තෙල්බැමි උඩ වාඩි කරවාගෙන සරසවි කුරුටු ගී හා සටන්පාඨ කියා දුන් අන්දමත්-අම්මා තාත්තාගෙ දේශනශාලාවල පිටුපස්සට වෙලා දේශන ඉවර වන තුරු සිත්තම් ඇන්ද අන්දමත් ජපුර යන අකුරු තුන හා බැඳී නිරන්තරයේ මතක් වෙනවා.

උසස්පෙළින් පසු විසාකාවට යද්දි වෙනදා තරම් ජපුරට එන්න බැරි වුණත්, ඒ දෑවුරුද්දෙත් තිබු කිසිදු කලා උලෙළක් වැසිදැරියට මග හැරුණේ නම් නෑ. අනිත් අතට නිරන්තරයෙ ගෙදරට යන එන- ගෙදර පුස්තකාලයෙ පොතපත පරිහරණය කරමින් ගෙදර නවතින-ඉන් නොනැවතී මුලුතැන්ගෙට ⁣පැන අහර පිසගෙන යන තරමටම අපේ ගෙදර තමන්ගේ ගෙදරක් කරගත් මාපියන්ගේ ශිෂ්‍ය ප්‍රජාව නිසා වැසි දැරියට තමා එකා යකා වීමේ කිසිදු හුදෙකලාවක් දැනුණෙත් නෑ. ඉතින් ජපුරේ සිසුවියක් වන තාක් වැසිදැරියට ජපුර ගැන තිබුණේ මිහිරි මතක පමණයි.

විශ්වවිද්‍යාල අයැදුම්පත් පුරවද්දී පේරාදෙණිය පළමු තීරණය ලෙස⁣ තෝරාගන්න බවට දැඩිව හිතා උන් වැසිදැරිය, ඓන්ද්‍රීයව වාගේ එය පුරවන දවසෙ පළමු තෝරාගැනීම ලෙස ජපුර සටහන් කළා. ඉතින්, වැසිදැරිය ජපුරට ඇවිත් අවුරුදු විස්සකට පස්සෙ ජපුරෙ සිසුවියක් වුණේ ඒ අහඹු තීරණය නිසයි.

ඉන්පසු ගෙවුණු කාලය මිහිරත්-අමිහිරත් එක් වූ කාලයක්. කිසිදාක අධ්‍යාපනය කටුක යමක් සේ නොසැලකූ වැසිදැරියට, මේ සිව්වසරේ සාහිත්‍යය වශයෙන් හදාරන්නට සිදු වූ ඇතැම් අඳුරු තේමා සහිත - ලෝකය වඩා යහපත් තැනක් කරන්නට කිසිසේත් දායක නොවන ග්‍රන්ථ, කිසිසේත් මිහිරක් වූයේ නෑ. ඒ වාගේම වැසිදැරිය හැදෑරූ මුඛ්‍ය විෂය හදාරන සිසුන්, අනෙක් ශිෂ්‍ය සංහතියෙන් වෙන් වී පැවතීමේ ප්‍රවණතාව, කුඩාකාලයේ පටන් ඉතා සාමාන්‍ය යැයි සම්මත මිශ්‍ර පාසලකට ගිය, සමාජවාදී දර්ශනය රැගත් සෝවියට් පොත් ඇසුරේ වැඩුණ, ජාතිකුලමල භේද නොතකා සිය ගෝලයන්ට හැම විටක ගෙදර දොර හැර තබා නවාතැන් දුන් මව්පිය යුවළකට දාව උපන් වැසි දැරියට දිරෙව්වේත් නෑ. ඒ වගේම ඒ මව්පිය යුවළගේ දියණිය ලෙස සරසවිය තුළ විශේෂ වරප්‍රසාද ලබන්නට හෝ තම අනන්‍යතාව සිය දස්කම් මත මිස ඒ සබඳතාව මත ගොඩනගාගන්නට වැසි දැරියට අවැසි වුණෙත් නෑ. ඒ නිසා බොහෝ කල් යන තුරු බොහෝ දෙනා වැසිදැරිය, වැසිදැරිය ලෙස මිස ඒ සබඳතාව මත හඳුනාගෙන සිටියෙත් නෑ.

'සර්-මැඩම් කොච්චර හොඳ වුණත් දුව ආඩම්බර ඇති නේද.. අපේ බැච් එකේ වුණාට අපි ඒකිව දන්නෙත් නෑ' කියා වැසි දැරියගේ මිතුරන් කියද්දී වැසි දැරිය ඒවාට හූමිටි තබමින් අසා සිටි දවස් පවා තිබුණා.

ඒ වාගේම වැසිදැරිය දෙවන වසරේ අගභාගය පමණ වෙද්දී, සිය විෂය හදාරන සිසුන්, අන් සිසුන් සමඟ - වෙසෙසින්ම ශිෂ්‍ය දේශපාලනය කරන සිසුන් සමඟ මුහු නොවී සිටීමේ අමිහිරි සම්ප්‍රදාය බිඳ දැමුවා. අදටත් වැසිදැරියට ඉන්නා හොඳම සරසවි මිතුරන් වන්නේ ඒ නිෂ්ක්‍රමණයෙන් පසු හමු වූ සුන්දර ආධ්‍යාත්මයන් තිබූ සත්‍ය විද්‍යාධරයන්. ශිෂ්‍ය සංගමය සංවිධානය කළ පරිසර-සාහිත ⁣කටයුතුවලට එක් වූ-සටන්පාඨ ඉංග්‍රීසියට පරිවර්තනය කළ වැසිදැරිය සහ එවන් තවත් කිහිප දෙනෙක් ඇතැමුන්ට අමුතු සතුන් ලෙස පෙනුණා වෙන්නටත් පුළුවන්. ඒ කෙසේ වෙතත්, ඒ සියල්ලෙන් විසිවසක ජපුර මතක මත තැව⁣රුණේ මිහිරක්.

කොවිඩ් ආගමනය නිසා වසර එකහමාරත් පමණ සරසවි දිවිය මඟහැරීයාමත් අමිහිරක්. නමුත් මේ සියල්ල අතරේ සිසුවියක ලෙස ජපුරේ ගෙවූ කාලයේ වැඩිමනත් පිපුණේ අමිහිරි නොව මිහිරි මල් වගයි අද හැරී බලද්දී, වැසි දැරියට දැනෙන්නේ.

ඉන් දෙවසරකට පමණ පසුයි වැසිදැරිය තාවකාලික කථිකාචාර්යවරියක ලෙස ජපුරට යළි පැමිණෙන්නෙ. එහි සම්මුඛ පරීක්ෂණයට යද්දීත්, වැසි දැරිය කාගේ දියණියද යන්න සම්මුඛ පරීක්ෂණ මඩුල්ල දැන සිටියේ නෑ. ජපුරේ ඉගැන්වුම් කළ තෙවසර ඍජුව ගත කරන්නට වැසිදැරියට හැකි වූයෙත් එනිසයි.

මා හිතන්නේ ඒ තෙවසර ගැන නම් යළි යළිත් ලිවිය යුතු නෑ. පසුගිය කාලයේ වැඩිපුරම බ්ලොගයේ ලීවේත්, ඩ්‍රාෆ්ට් ෆෝල්ඩරයේ අඩක් ඉවර කළ ලිපි ලෙස වැඩිපුරම තිබෙන්නේත් වැසිදැරිය ගුරුදැරියක ලෙස ලෝකයේ සුන්දරම රස්සාවට භාග්‍යවත් වූ දා ප⁣ටන් එක් කළ මිහිරි මතක එකතුව මිස අන් කිසිවක් නොවෙයි.

ඒත් ජපුරේ ගත කළ කාලය තුළ වරින් වර වැසිදැරියට මුහුණදෙන්නට සිදු වුණ අඳුරේත් අසාධාරණයේත් නිමේෂයන්, වෙනත් සරසවියක දොරටුවක් ගුරුදිවිය උදෙසා විවර වෙද්දී, ජපුර හැරයාමේ තීරණය ගන්නට පහසුවක් වුණා.

එක්ව ඉගැන්වීම් කළ සුන්දර සද්ධිවිහාරියකයන් විසින් ලියා දුන් අනේකවිධ සුපැතම්, තෑගි සහ මගේ කුඩා කුරුලු පැටවුන්ගේ සෝකී පණිවිඩ එක් කරගෙන ජපුරෙන් පිටව ආ දවසෙ, පිළිගන්න, වැසිදැරියගෙ ඇසින් කඳුළක්වත් වැටුණෙ නෑ.

වැසිදරුවා ජපුරෙන් සමුගන්න කලින් දවසෙ හවස වැසිදැරියව ජපුර කෙළවර ග්‍රීන් කැෆටීරියාවෙන් තේ බොන්න එක්කං ගිහින් ජපුර වටා සංචාරයක එක්කන් ගියා. මුලින්ම කුඩා බිළිඳියකව වැසිදැරිය පැමිණි ආචාර්ය නේවාසිකාගාරයේ වසා තිබු ගේට්ටුව ගාව රිය නවත්තං ටික වෙලාවක් උන්නා.

ජපුර හැර යාම ජීවිතයේ අපහසුම තීරණය වනු ඇති බව වැසිදැරිය හිතා උන් කාලයක් තිබුණත් ඇත්තෙන්ම ඒ තීරණය ගැනීම හිතුවාට වඩා පහසු කටයුත්තක් වුණා.

අවසන් දවසෙ ජපුර ගේට්ටුවෙන් පිටව යන්නම යද්දි වැසි දැරියට වසර ගණනාවකට පස්සෙ ජපුර, මෑත අතීතයෙ අමිහිරි මතක යටපත් කරලා - අතීතයෙ දැක්ක මිහිර පිරුණු චමත්කාර මණ්ඩපය වාගෙ දකින්න පුළුවන් ඇස් දෙකක් ලැබී තිබුණා!