Saturday, June 25, 2022

ගුරු දියවර නවකතාව - දහහතරවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                         ගුරු දියවර 14



මේ ක්‍රීඩා කමිටුව විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන ප්‍රථම දිනය යි. මෙතෙක් රැස් වූ පිරිසට අමතර ව සිල්වා ගුරුවරිය ද වැලිකල ගුරුවරිය ද එම ශාලාවේ හිඳ සිටිනු දැකගත හැකිවිය. ගඟුල්ට සිහිපත් වූයේ පසුගිය සිකුරාදා පාසල ඇරුණු පසු විදුහල්පතිතුමා තමා අමතා කී වචන යි.

''ගඟුල් මට ඔයත් එක්ක වැදගත් කාරණා තුනක් කතා කරන්න තියෙනවා. මන් මේ කියන්න යන පළවෙනි කාරණේ ගැන ඔයාට ඉස්සෙල්ල තෙන්නකෝන් සර්රුයි සුමනා මැඩමුයි අපේ අතුලයි එක්ක කතා කළා. මට තදින් ම හිතිච්ච දෙයක් තමයි අපේ මේ ක්‍රීඩා කමිටුවට සිල්වා ටීච යි වැලිකල ටීච යි අනිවාර්යයෙන් ම සම්බන්ධ කරන්න ඕනෙ කියන එක. තෙන්නකෝන් සර්රුයි සුමනා මැඩමුයි ඉහළින් ම ඒක අනුමත කළා. ටිකක් වෙලා වාද විවාද කරල අතුලත් කිව්වෙ ලොකු සර් මේක කරන්න ඕනෙමයි කියල කියනවනං කරමු. ඒත් සර් මට බය මේ දෙන්න මේ වැඩේදි ඇණ දෙකක් වෙයිද කියන එක. ඒ වෙලේ මම අතුලට කිව්වෙ එක දෙයයි. අතුල මේ ක්‍රීඩා කමිටුවෙ නායකයා ඔයා. ඒක නිසා ඔයාට පුළුවන් වෙන්න ඕන ඕනම ඇණයක් හරි තැනට ගහගන්න.''

''එතකොට මොකක් ද ලොකු සර් අපේ අතුල අය්යා කිව්වෙ.''

''කිව්වෙ ද ලොකු සර් මොකක් හරි හේතුවක් නිසානෙ ඔහොම කියන්නෙ. ඒක නිසා අමාරුවෙන් හරි කැමති වෙන්නං. හැබැයි සර්, සර් ම අපේ අනික් කට්ටියටත් පැහැදිලි කරලා දෙන්න මේ තීරණේ ගැන. මොකද සර් මේ දෙන්නම මට දිරවන් නැති දෙන්නෙක්. ඒ නිසා මේ ගොල්ලො මේකට අවශ්‍ය දෙන්නෙක් කියල කියන්න මගෙ දිවනං කැමති කරගන්න අමාරුයි.'' 

''අතුල ඔහොම කිව්වට පස්සෙ මම කිව්වෙ ඒක මම කරන්නං. අතුල සැහැල්ලු මනසකින් මේකට නායකත්වය දෙන්න කියලයි. මට මෙතෙන්දි ගඟුල්ගෙ උදව් අවශ්‍ය වෙන්නෙ මේකට ඔයාගෙත් කැමැත්ත තියෙන බව දැනගත්තට පස්සෙ ඊ ළඟට විරෝධ වෙන්න ඉඩකඩ තියෙන රේණුත් විරුද්ධ වෙන්න නොහිතන නිසා. නදී කොහොමත් ඔය මැඩම්ලා දෙන්නට හින්ට් ගහන එක නවත්තන්න කියලා කියන කෙනා නිසා එයා ඒ අය සම්බන්ධ කරගැනීම දකින්නෙ සාධනීය විදිහට. රත්නායක සර් කියන්නෙ අර මැඩම්ලා දෙන්නගෙන්ම ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්. එයා කොහොමටවත් මේකට විරුද්ධ වෙන්නෙ නෑ. කලින් කිව්ව වගේ තෙන්නකෝන් සර් වගෙම සුමනා ටීචත් මේක පුළුල් ව දකිනවා. සමරෙගෙනුත් ගයාගෙනුත් මිහිදිනීගෙනුත් මේ අදහසට විරුද්ධයක් එන එකක් නැහැ කියන විශ්වාසෙ මට තියෙනවා.''

''ඇත්තට ම සර් මමත් කැමති මේ ඉස්කෝලෙ පැරණිම ගුරුවරියන් දෙන්නෙක් වෙච්ච ඒ අය ව මේකෙ කොටසක් වෙච්ච එකට. අපි ඔක්කොම කැමති වෙනකොට අතුල අය්යා විරුද්ධ වෙන්නෙ නැහැ. කොහොමටත් එයා සර්ගෙ වචනෙකට උඩින් යන්නෙත් නැහැ. ඒ සර් විදුහල්පති තනතුරේ ඉන්න කෙනා නිසා නෙමෙයි. අතුල අයියා සර්ට ආදරේ නිසා, ගෞරව කරන නිසා, එහෙම කෙනෙකුගෙ වචනයක් නොතකා හරින්න බැරි නිසා. සර් මට කියන්න තියෙනවා කිව්ව දෙවෙනි කාරණේ මොකක් ද කියල කියන්න පුළුවන් ද?''

''ගඟුල් මට ගෙනත් දුන්න රොබින් ෂර්මගෙ පොත මම ඊයෙ රෑ කියවල අවසාන කළා. ඒක මහ අපූරු පොතක් ගඟුල්. සජීවි ආහාර පිළිවෙත ඒකෙ තියෙන වැදගත් එක දෙයක් විතරයි. මම කැමතියි ගඟුල් ඒ පිළිවෙත් දහය ගැනම සඳුදා ඉස්කෝලෙ ඇරුණට පස්සෙ අපි තියන්න යන ඒ රැස්වීමෙදි කතා කරනවනං.''

මේ එළැඹ ඇත්තේ ඒ සඳුදාවේ ඒ මොහොත යි. නැවතත් ගඟුල්ගේ සිත ගමන් කෙළේ සිය විදුහල්පතිවරයා සමග මේ සම්බන්ධ සාකච්ඡාව සිදු කළ ඒ සිකුරාදා සන්ධ්‍යාවට යි.

''ඉතිං සර්, සර් දැන් ඒ මුළු පොතම කියවල තියෙන එකේ සර්ම ඒ ගැන කතා කළොත්නෙ වැදගත්. අනිත්තෙක අලුතෙන් ආපු ගුරුවරයෙක් කියනවට වඩා තමන්ගෙ විදුහල්පතිවරයා කියන දේකට ඇහුම්කන් දෙන්න අපේ කමිටුවෙ කට්ටියත් කැමති වේවි. ඇත්තටම සර් ඒ වැඩේට ලොකු බරක් එන්නෙත් එතකොටනෙ.''

''නැහැ ගඟුල්, අලුත් ද පරණ ද කියන එකවත් විදුහල්පති ද ගුරුවරය ද කියන එකවත් නෙමේ වැදගත්. මුලින් ඒ අදහස මතු කරපු උල්පත ඔස්සේ ම ගඟ ගලන්නට සලස්වන එක. මේ කතාව මම දැනගත්තෙත් ඔයාගෙන්. අපේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කියනව නං ප්‍රාථමික මූලාශ්‍රය ඔයා. මන් ඇවිල්ල ද්විතීයික මූලාශ්‍රයක්. ප්‍රාථමික මූලාශ්‍රය ළඟ තියෙද්දි මොන පර්යේෂකය ද ගඟුල් ද්විතීයික මූලාශ්‍රයන් ළඟ නතර වෙන්නෙ.''

''ඒ උනාට සර් මේ කමිටු රැස්වීමෙ දි මන් අර පොතේ තියෙන පිළිවෙත් දහය ගැන කතා කරන්න යන එකේ ක්‍රීඩා උත්සවෙත් එක්ක ගළපන්න බැරි ගතියක් පෙනෙයිනෙ කට්ටියට.''

''නෑ ගඟුල් ගැළපෙන්නෙ නැහැ කියන්න බැහැ. මන් මෙච්චර මේ ගැන කියන්නෙ ඒ දේවල් ගැන කතා කරන්න හොඳම මොහොත මේක නිසා, ගැළපෙන ම මොහොත මේක නිසා.''

''හොඳයි සර්, ලැබෙන කාලයයි අවස්ථාවයි අනුව මන් මට පුළුවන් උපරිම විදිහට සර් මට පවරපු වැඩේ කරන්නං. ඒ වගේ ම සර් තුන්වෙනි කාරණයක් ගැනත් කියන්න තියෙනව කිව්වනෙ.''

''ඔව් ගඟුල්, ලබන සතියෙ ගුරු පුහුණු වැඩ සටහනක් තියෙනවා. ඒකට අපේ ඉස්කෝලෙනුත් හත් දෙනෙක් යනවා. නදී - මිහිදිනී - ගයා එහෙමත් ඒකට යනවා. ඒක නිසා ඒ දවස් තුනට ඒ අය උගන්නන කාල පරිච්ඡේදවලට ගුරුවරු දාන්න ඕන. මම කීපදෙනෙකුටම වැඩ බෙදලා දුන්න. මට ගඟුල්ගෙත් උදව් ඕන කරනවා මෙතෙන් දි. විශේෂයෙන් උසස්පෙළ දේශපාලන විද්‍යාව කරන ළමයින්ට.''

''සර් මට උදව් කරන්න පුළුවන් වෙන විෂයකට නං. මම දේශපාලන විද්‍යාව කරපු කෙනෙක් නෙමෙයිනෙ.''

''නැහැ ගඟුල්, ඒක අදාළ නැහැ මෙතෙන්ට. මේ ළමයින් අතර ඉන්නව ළමයි එකොළොස් දෙනෙක් ගඟුල්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව නොලැබිච්ච. මොකද ඒ එකොළොස්දෙනා සිංහල විෂයක් හැටියට කරන්නෙ නැහැ. ඔයාට තියෙන්නෙ ඒ දවස් තුනේදි ඔයා දන්න දේශපාලනයෙන් පටන් අරගෙන ජීවිතය ගැනයි සාහිත්‍යය ගැනයි කතා කරන්න.''

''හොඳයි සර්, මම මට පුළුවන් හැටියට ඒකට උත්සාහ කරන්නං සර්.''

''ඒයි මඟුල් ගැට්ටා, මොකක් ඔය මහ ලොකු කල්පනාව. අන්න ලොකු සර් රැස්වීම පටන් ගන්නයි යන්නෙ.''

එසේ කියමින් ගඟුල්ගේ උරහිසට ඇන්නේ රේණු ගුරුවරිය යි.

''මේ මේ රෙන් ගෝනු මැඩම්. මම මඟුල් ගැට්ටවත් ගඟුල් මැට්ටවත් නෙමෙයි, මිස්ටර් ගඟුල් සමරනායක. තව විදිහකට කියනවනං  ගඟුල් සමරනායක තරුණ මහතා.''

''මේ ගඟුල් සමරනායක තරුණ මහතා, ඔහේ මට නම්බු දීල කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි. මම රෙන් ගෝනු නෙමෙයි. උත්තම රේණු ස්ත්‍රී රත්නය.''

''උත්තම රේණු ස්ත්‍රී රත්නය, අපි මේ රැස්වීම ඉවර වෙලා ඔබතුමියගේ උත්තමභාවය ගැන කතා කරමු හොඳේ.''

එතැනට රැස් ව සිටි සියලු සාමාජිකයනට ප්‍රසන්න සිනහවකින් සංග්‍රහ කළ විදුහල්පතිවරයා අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

''මේ මොහොතේ මෙතනට රැස්වෙලා ඉන්න ක්‍රීඩා කමිටුවේ ගරු අනුශාසක සුමනා හේරත් මැතිනිය, එම කමිටුවේ නායකයා ලෙස කටයුතු කරන ක්‍රීඩා භාර ආචාර්ය අතුල පෙරේරා මහතා ඇතුළු ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අපේ ආචාර්ය මණ්ඩලයේ මේ සියලු ම දෙනාට මම මගේ ගෞරවය පළ කරන්න කැමතියි ඉස්සෙල්ලම. ක්‍රීඩා කමිටුව හැටියට මෙතෙක් කරගෙන ගිය වැඩ කොටස ගැන මේ කමිටුවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන අතරේ ම මන් කැමතියි අපේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන මේ කමිටුවට සම්බන්ධ වෙන අපේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියන් දෙදෙනෙක් වන සිල්වා මහත්මියටත්, වැලිකල මහත්මියටත් මෙතෙක් වැඩ කරගෙන ගිය මේ සියලු ම කමිටු සාමාජිකයන්ගෙ වගෙම වර්තමාන විදුහල්පතිවරයා වන මගෙත් ගෞරවපූර්වක ස්තුතිය පුද කරන්න. ඒ වගෙම මම කැමතියි මේ පාසල වෙනුවෙන් ක්‍රීඩා කමිටුවෙ බර සිය කැමැත්තෙන් ම තමන්ගේ කරට අරගෙන කටයුතු කරන අතුල සර් මුලින් ම අපට කරුණු පැහැදිලි කිරීමක් කරනවනං.''

විදුහල්පතිවරයාගේ ඇරයුම පරිදි අනතුරුව කතා කෙළේ අතුල යි.

''ගරු විදුහල්පතිතුමනි, මේ පාසලේ ජ්‍යෙෂ්ඨතම ආචාර්යවරිය වන අයිරාංගනී සිල්වා මැතිනියනි, ඒ වගෙම ජ්‍යෙෂ්ඨ ආචාර්ය මණ්ඩලය නියෝජනය කරන තෙන්නකෝන් සර්, සුමනා මැඩම් වගේ ම අපේ වැලිකල මැඩම්ගෙනුත් අවසරයි, ආචාර්ය මණ්ඩලයේ මේ කමිටුව නියෝජනය කරන අනෙකුත් සහෝදරයනි සහෝදරියනි, පළමුවෙන් ම මම කැමතියි, අපි මෙතෙක් කරපු වැඩවල ප්‍රගති සමාලෝචන සටහනක් ඔබේ අතට පත් කරන්න. මන් හිතනව මම දිගට කතා කරනවට වඩා ඒක බලලා අපේ සාකච්ඡාව ඉදිරියට ගෙනියනව නං හොඳයි කියලා.''

මෙසේ පවසා අතුල අනතුරුව කෙළේ යටකී ප්‍රගති සමාලෝචනයේ ඡායා පිටපත බැගින් කමිටු සාමාජිකයනට බෙදාදීම ය. පළමු පිටපත දෝතින් ම සිය විදුහල්පතිවරයාට පිරිනැමූ අතුල, ඒ ආකාරයෙන් ම එහි දෙවන පිටපත පිළිගැන්වූයේ සිල්වා ආචාර්යවරියට යි. අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය අනුව තෙන්නකෝන් මහතාටත් සුමනා මහත්මියටත් වැලිකල මහත්මියටත් ඒ පිටපත් ප්‍රදානය කළ ඔහු අවසන සිය තරුණ මිතුරු මිතුරියනට ද ඉන් පිටපත බැගින් බෙදා දුන්නේ ය.

සිය පිටපත අතට ගන්නා මොහොතේ රේණු පැවසූ පහත සඳහන් වචන ඇසුණේ ඒ සමීපයේ සිටි ගඟුල්ට, නදීට සහ මිහිදිනීට පමණි.

''ඈ අතුල, උඹටත් අවස්ථාව තේරුන් අරන් වැඩ කරන්න මොළේ තියෙනවනෙ.''

ඊට අතුල දුන් පිළිතුර ඇසුණේත් කලින් කී තිදෙනාට ම ය. ඒ, ඔහු ඒ තිදෙනාට ඇසෙන මානයට සමීප වී කතා කළ බැවිනි.

''ඈ අක්කෙ, උඹ හිතුවෙ මේකෙ ඉන්න අර ගොබ්බ රේණු අම්මණ්ඩි වගේ මමත් ගම කා ගනියි කියල ද?''

''අතුල ඔයා නවත්තන්න ඕක, ලොකු සර් ආයෙත් කතා කරන්න යි යන්නෙ.''

''අන්න බලපන් ගඟුල් මල්ලි, නදී කියන මහා බලවේගය එක වාක්‍යයයි කිව්වෙ ඒකට අතුල කියන නර පණුවා තූෂ්ණීම් භාවයට පත්වෙච්ච හැටි.''

රේණුගේ ඒ කතාවෙන් මඳ වෙලාවක් ගත වූ පසු ඇසුණේ විදුහල්පතිවරයාගේ කටහඬ යි.

''මම දැන් කැමතියි, අපේ අතුල මහත්තය දීපු ප්‍රගති සමාලෝචන  වාර්තාව බලලා ඉවර වෙච්ච අය අදහස් දක්වනවනං. අපිට තෙන්නකෝන් සර් අරන් දෙනවනං ඒකට ආරම්භයක්.''

''අපි සර් කමිටුවෙ දි දක්වපු අදහස් ම පදනම් කරගෙන තමයි අතුල සර් ඔය වාර්තාව හදලා තියෙන්නෙ. ඒක නිසා අපිට වැඩියෙන් වැදගත් වේවි, අද ඉඳල මේ කමිටුවෙම ගරු සාමාජිකාවන් දෙන්නෙක් විදිහට කටයුතු කරන සිල්වා මැඩම් වගේම වැලිකල මැඩම් ඒ ගැන අදහස් දක්වනවනං.''

''ඒක හරි තෙන්නකෝන් සර්, එහෙනං අපේ මැඩම්ලා දෙන්න කියන්නකො මේක සම්බන්ධයෙන් තමන් දරන අදහස් වගේම මේකට අලුතෙන් එකතු කරන්න ඕනෙ දේවල්.''

මෙහිදී පළමුවෙන් ම අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ සිල්වා ගුරුතුමිය යි.

''මම පළමුවෙන් ම වැලිකල ටීචරුත් මමත් දෙන්නම වෙනුවෙන් විශේෂ ස්තුතියක් පුද කරන්න කැමතියි අපේ විදුහල්පතිතුමාටත්, ක්‍රීඩා කමිටුවේ අනුශාසකතුමියටත්, අතුල සර් ප්‍රධාන ගරු කමිටු සාමාජික භවතුන්ටත් අපි දෙන්න ගැන ලොකු විශ්වාසයක් තබලා අපිවත් මේකට සම්බන්ධ කරගැනීම ගැන. අපි තවත් ටිකක් කල්පනා කරලා අපේ හිත්වලට එන අදහස් මේ කමිටුවට පුළුවන් තරම් ඉක්මණට දෙන්නං. ඒ වගේ ම මේකෙ තියෙන එක යෙදුමක් ගැනත් පොඩි පැහැදිලි කරගැනීමක් කළොත් හොඳයි කියල හිතෙනවා. මන් මේ ගමන් ම ඒකත් කියන්නං. මේ වාර්තාවෙ තියෙන හැටියට මේ මුළු ක්‍රීඩා උත්සවය පැවැත්වෙන කාලය පුරා ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට විතරක් නෙමෙයි අපේ ආරාධිත  අමුත්තන්ටත් සංග්‍රහ කළ යුත්තේ සජීවි ආහාරවලින්. කමිටුවෙ කලින් හිටපු අයට නං ඒ කාරණාව පැහැදිලි ඇති. ඒත් මේක මුලින් ම දකින කෙනෙකුට පැහැදිලි වෙන තරම මදි කියලයි මට හිතෙන්නෙ. මේ කමිටුවෙ ප්‍රධානියා හැටියට අතුල මහත්තයට පුළුවන් ද ඒක ටිකක් අපිට පැහැදිලි කරල දෙන්න.''

මේ මොහොතේ අතුල බැලුවේ සිය විදුහල්පතිවරයාගේ සහ ගඟුල්ගේ මුහුණු දෙස යි.

අතුල පත් ව සිටින තත්ත්වය අවබෝධ කොටගත් විදුහල්පතිවරයා, ඒ සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය.

''ඇත්තෙන් ම මිසිස් සිල්වගෙ හිතට ආපු හැඟීමම තමයි ඕක දැකපු මුල්ම මොහොතෙ මගෙ හිතටත් ආවේ. ඒ නිසා මමත් ඔය ප්‍රශ්නෙම ඇහැව්වා. ඒ වෙලේ තමයි මම දැනගත්තෙ මේක අපේ ගඟුල් සර්ගෙන් ආපු අදහසක් බව. ගඟුල්ගෙන් මේ ගැන ඇහැව්වහම ඒ අදහස උකහා ගත්ත පොතක් ගැන කියලා ඒක මට කියවන්නත් ගෙනත් දුන්නා. ඊයෙ රෑ පුරා මම ඒ පොත කියෙව්ව. ඒක බෞද්ධ ශික්ෂණය ලබපු ජීවිතය ගැන මහ ගැඹුරක් තියෙන ප්‍රඥාවන්තයෙක් ලියපු පොතක්. ඒක කියෙව්වහම මට හිතුණෙ මේ ක්‍රීඩා කමිටුවෙ වැඩවලට විතරක් නෙමෙයි අපේ ගුරු ජීවිතයටත් ශිෂ්‍යයන්ගෙ ජීවිතවලටත් ඒ කාරණා  දහයම වැදගත් නේද කියන එකයි. විශේෂයෙන් මේ අවස්ථාවෙ ක්‍රීඩා උත්සවයෙ කටයුතු අපට වෙනස් ම මානයකින් දැකලා ඒ වැඩේ වඩාත් සාර්ථක විදිහට කරගන්න මේ කාරණා පදනම හැටියට ගන්න පුළුවන් කියලා හිතිච්ච නිසා මම කැමතියි ඔබතුමන්ලගෙ කැමැත්ත පරිදි එහෙම සාකච්ඡාවකට මේ වෙලාව යොදාගන්න.''

මේ මොහොතේ එය අනුමත කරමින් අදහස් දැක්වූයේ තෙන්නකෝන් මහතා ය.

''මම හිතන්නෙ නැහැ මෙතන ඉන්න කිසිම කෙනෙක් තමන්ගෙ ගුරු ජීවිතයටත් වැදගත් වෙන්න පුළුවන් එහෙම සාකච්ඡාවකට විරුද්ධ වෙයි කියලා. හැබැයි කාට හරි කාලය ගැන ප්‍රශ්නයක් තියෙනවනං හරි ඒ ගැන කියන්න. එහෙම හොඳයි නේද විදුහල්පතිතුමා.''

''ඔව් මොකක් හරි වළක්කන්න බැරි හේතුවක් තියෙන කෙනෙකුට ඒ අවස්ථාව දීලා අපි මේ සාකච්ඡාවට යමු.'' 

සියලු දෙනාගෙන් ඊට අනුමැතිය සහ රැඳී සිටීමට කැමැත්ත පළ වූ පසු විදුහල්පතිවරයා නැවතත් කතා කෙළේ ය.

''මම කැමතියි මේ ගැන අපේ ගඟුල් සර් ම කතා කරනවනං. මොකද මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ මම නෙමෙයි එතුමයි. ඒ විතරක් නෙමෙයි මට ඒ පොත හොයාගෙන ගිහින් කියවන්න හිතෙන තරං හරි ආකර්ෂණීය විදිහට ඒ ගැන පැහැදිලි කළෙත් එතුමයි. ඒ වගෙම පහුවදාම ඒ පොත මගෙ අතට ගෙනත් දුන්නෙත් එතුමයි. ඒක නිසා ගඟුල් සර්ම මේ ගැන කතා කළොත් තමයි හොඳ.''

සියලු දෙනා හිස සලා ඊට අනුමැතිය පළ කළ පසු ය, ගඟුල් ඒ සඳහා ඉදිරිපත් වූයේ.

''මන් ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු විදුහල්පතිතුමාට මට මේ අවස්ථාව ලබාදීම ගැන. ඒ වගේ මෙතන ඉන්න කනිෂ්ඨ  ගුරුවරයෙක් කතා කරන දේකටත් සවන් දෙන්න තරං නිහතමානී වීම ගැනත් මේ සියලුම ජ්‍යෙෂ්ඨ ආචාර්ය භවතුන්ට ඒ කියන්නෙ අපේ සිල්වා මැඩම්, තෙන්නකෝන් සර්, සුමනා මැඩම්, වැලිකල මැඩම් කියන ජ්‍යෙෂ්ඨම ගුරු භවතුන්ටත් ඒ වගෙම සමරෙ අය්යා අතුල අය්යා, නදී අක්කා, රේණු අක්කා කියන මගේ ජ්‍යෙෂ්ඨයන් වන තරුණ ගුරු භවතුන්ටත්, අපේ ගයා, මිහිදිනී සොයුරියන්ටත් මගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරන්න කැමතියි. මන් වෑයම් කරනවා මන් තේරුං ගත්ත මට්ටමට රොබින් ෂර්මා කියන දාර්ශනික ලේඛකයා පෙන්වා දෙන දීප්තිමත් ජීවිතයකට අවශ්‍ය කරන පිළිවෙත් දහය ගැන කරුණු දක්වන්න. ඒකෙ පළවෙනි එක තමයි හුදෙකලා පිළිවෙත. ඒ පොතේ මේක නම් කරලා තියෙන්නෙ The Ritual of Solitude කියලයි. මන් තේරුන් ගත්ත විදිහට අපි මේ ගත කරන දවසින් සුළු කාලයක් හරි, ඒ කියන්නෙ විනාඩි දහයක් පහළොවක් හරි කමක් නෑ කායික හා මානසික විවේකයෙන් ගත කිරීම. හැබැයි වැඩක් නොකර හිටියත් ඒ වෙලාවෙ ඉන්නෙ ලොකු ප්‍රශ්නයක් ගැන කල්පනා කර කර නං ඒක හුදෙකලා පිළිවෙත වෙන්නෙ නැහැ කියලයි ෂර්මා කියන්නෙ.''

''මට පේන හැටියට මේක ටිකක් සතිමත් භාවනාව වගේ වැඩක්නෙ.''

''ඔව් තෙන්නකෝන් සර්, ගොඩක් දුරට අපිට ඒකට මේ වැඩේ සමාන කරන්නත් පුළුවන්.''

''අනේ ළමයො මට නං කිසි දවසක ඔය වැඩේ කරන්න බැරි වේවි තියෙන ප්‍රශ්නත් එක්ක.''

ඒ කතා කෙළේ කමිටු රැස්වීමේ මෙතෙක් අදහස් ප්‍රකාශ නොකොට සිටි වැලිකල ගුරු භවතිය යි.

''එහෙම හිතන්න එපා මැඩම්, මේ කතාවෙ කියවෙන්නෙත් ගොඩාක් ප්‍රශ්නවලින් හෙම්බත්  වෙලා හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට ඒවයෙන් නිදහස් වෙලා සතුටින් ජීවත් වෙන්න මේ කරුණු දහය හේතු උනා කියන එක ගැන.''

''මට හිතෙන්නෙ මිසිස් වැලිකල, ක්‍රීඩා කරල කරල වෙහෙසට පත් වෙච්ච ක්‍රීඩකයන්ටත්, පාඩං කරලා කරල වෙනසක් හොයන ශිෂ්‍යයන්ටත් වගේම කාලපරිච්ඡේද කිහිපයක් එක දිගට වැඩ කරලා විරාමයක් හොයන ගුරුවරුන්ටත්, දවසෙ වැඩවලින් හෙම්බත් වෙච්ච  දෙමව්පියන්ටත් මේ හුදෙකලා පිළිවෙත වැදගත් කියන එකයි.''

''ලොකු සර් කියන ඒ අදහස ම තමයි මේකෙන් හැඟෙන්නෙ කියලයි මටත් හිතෙන්නෙ. එහෙනං මැඩම් මන් දෙවෙනි කාරණේට යන්නං. මේක නම් කරලා තිබුණෙ The Ritual of Physicality කියලයි. මේ පොත සිංහලට පරිවර්තනය කරපු ලීලානන්ද ගමාච්චි මහත්තයා මේකට හොඳ නමක් දීලා තිබුණා කායිකත්ව පිළිවෙත කියලා. මේකෙන් අදහස් කරල තිබුණෙ යෝග, භාවනා, ව්‍යායාම වගේ කායික වගේම මානසික සුවය ගෙන දෙන වැඩක දවසේ තමාට පුළුවන් වෙලාවක යෙදෙන එක.''

''ඉතින් ගඟුල් මල්ලි, අපේ ක්‍රීඩා කරන ළමයි කොහොමත් මේ ව්‍යායාම කරනවනෙ.''

''ඔව් අතුල අය්යෙ ඒක ඇත්ත. ඒත් ඒ ළමයි පුරුදු වෙලා තියෙන්නෙ ව්‍යායාම කියන වැඩේට. අපිට බැරි ද අය්යෙ ඒ ගොල්ලො ඒ කරන වැඩේට ම භාවනා මුහුණුවරක් දෙන්න.''

''ඒ විතරක් නෙමෙයි ගඟුල්, අපි වැඩ පිළිවෙළක් හදන්න ඕනෙ මේක අනිත් ළමයින්ටත් ලබා දෙන්න පුළුවන්.''

ඒ විදුහල්පතිවරයා ය.

''ඊට පස්සෙ සර් ගුරුවරුන් වන අපිටත් කරන්න වෙන වැඩ පිළිවෙළක් වෙයි නේද ඒක.''

''අනිවාර්යෙන් ම රේණු මිස්. අපි ක්‍රීඩා උත්සවෙන් ම හාපුරා කියලා ඒ ආදර්ශෙ දීලා ඉමු.''

ඒ පිළිතුර දුන්නේ ද විදුහල්පතිවරයා ය. අනතුරුව ඔහු ගඟුල්ට අතින් සංඥා කෙළේ සිය අදහස් දැක්වීම දිගට ම කරගෙන යාමට ය.

''ඊට පස්සෙ තුන්වෙනි කාරණේ හැටියට තමයි සජීවි ආහාර පිළිවෙත එන්නෙ. ඒක නම් කරලා තියෙන්නෙ The Ritual of Live Nourishment කියලයි. මේ අදහස තමයි අපේ ක්‍රීඩා උත්සවයෙදි අනිවාර්ය අංගයක් කරගනිමු ද කියලා යෝජනාවක් හැටියට එදා ගෙනාවෙ. ඒක එදා ක්‍රීඩා කමිටුවෙදි සාකච්ඡා කරලා අනුමත උනාට පස්සෙ තමයි ප්‍රගති සමාලෝචන වාර්තාවටත් ඇතුළත් කරල තියෙන්නෙ.''

''ගඟුල් සර්, අද අලුතින් කමිටුවට සම්බන්ධ වෙච්ච මැඩම්ල දෙන්නට ඒ කාරණේ ටිකක් විස්තර කරලා එතුමියන් දෙන්නගෙ අදහසුත් අරගෙන ඊළඟට කරන්නෙ මොකක් ද කියලා අපි බලමු. මොකද මුලිනුත් අපේ සිල්වා මැඩම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලීමක් කළානෙ.''

ඒ ප්‍රකාශය කෙළේ ද විදුහල්පතිවරයා ය.

''මැඩම්, රොබින් ෂර්මා මේකෙන් අදහස් කරලා තිබුණෙ මරණයට පත් කළ දේ ආහාරයට නොගැනීම යි. ඒ කියන්නෙ සත්ත්වාහාර ගන්නෙ නැතුව ශාකාහාර  තවත් විදිහට කියනවනං නිර්මාංසාහාර ගැනීම. මේක අපිට ආදරයේ ආහාර වේලක් කියලත් නම් කරන්න පුළුවන්.''

''ගඟුල්, ඔයා ආදරයේ ආහාර වේල ගැන කතා කරද්දි මට මතක් වෙන්නෙ මේ ගමේ අනාදරයේ ආහාර වේල් ඇතිවීමට විරුද්ධ ව වැඩ කරපු කෙනෙක්. ඒ චරිතය තමන් විශ්වාස කරපු ඇත්ත වෙනුවෙන් ගමේ ගෙයක් ගානෙ ඇවිද්දා.''

''ලොකු සර් කියපු ඒ කාරණේ මට පැහැදිලි මදිනෙ සර්.''

''මන් ඉතිරි ටිකත් කිව්වහම තමයි රේණු කාරණේ වඩාත් පැහැදිලි වෙන්නෙ. අපි හැම කෙනෙක් ම දන්නවා මේ ගමේ සත්ත්ව පාලනය සිදුවෙන බව. ඒ කියන්නෙ කුකුළන්, එළුවන් වගෙම ගවයන් ඇති කරන ගෙවල් තිබෙන බව. ගොඩක් දෙනා කරන්නෙ ඒ සත්තුන්ගෙන් ගන්න තියෙන ප්‍රයෝජන අරගෙන අන්තිමට මසට විකුණන එකනෙ. විශේෂයෙන් කුකුළන්ගෙ කිකිළියන්ගෙ අනිවාර්ය ඉරණම උනේ ඒක. කලාතුරකින් ගෙදරක තමයි ඊට වෙනස් තත්ත්වයක් තිබුණෙ. එළුවන් ගැන තත්ත්වයෙත් වැඩි වෙනසක් තිබුණෙ නැහැ. හැබැයි කුකුළන්ට සාපේක්ෂ ව එළුවන්ගෙ තත්ත්වය හොඳයි. මොකද එළුවන් හදන ගෙවල්වල දරුවන් ඒ සතා තමන්ගෙ හුරතලුන් විදිහට සලකපු නිසා වැඩිහිටියන්ට ලේසි උනේ නැහැ උන්ව මස් කඩේට දෙන්න. අද දවසෙ අපිත් එක්කම එකට හැදිච්ච සත්තුන්ට උරුම වෙන්න යන්නෙ අවාසනාවන්ත ඉරණමක් ය කියන එක යන්තං හරි ඉව වැටුණනං ඒ ළමයි එදාට ඉස්කෝලෙ එන්නෙ නැතුව තමන්ගෙ හුරතලුන්ව රැක්කා. මේ දෙගොල්ලන්ට වඩා ස්වාභාවික මරණය සිද්ධ වෙනකං තමන් හැදිච්ච ගෙදර ම ඉන්න වාසනාව ලැබුණෙ ගවයන්ට තමයි.'' 

මෙම සාකච්ඡාව පැවැත්වෙන ශාලාව පුරා පැතිර තිබුණේ දැඩි නිහඬතාවකි. අද සිය විදුහල්පතිවරයා කතා කරන්නේ වෙනදාට වඩා වෙනස් මාතෘකාවකි. ක්‍රීඩා උත්සවය ගැන සාකච්ඡාවකට සහභාගි වන්නට ආ තමන් මේ සවන් දෙන්නේ ඊට අදාළ නැති කාරණාවලට නොවේ ද යන හැඟුම ද ඇතැම් සිතක ඇති නුවූවා නොවේ. එහෙත් සිය ප්‍රධානියා යමක් කතා කරන්නේ කවර හෝ පදනමක් ඇතුව ය යන්න ගැන ද ඔවුනට අවබෝධයක් තිබේ. ඔවුන් තවදුරටත් අනවධානයෙන් නොව සාවධාන ව ඔහුට සවන් දෙන්නේ එහෙයිනි. 

''මේ තත්ත්වය වෙනස් කරන අපූරු දෙයක් මේ ගමේ සිද්ධ උනා. මම මේක අපූරු දෙයක් කියල කිව්වෙ මීට කලින් එහෙම දෙයක් මේ ගමේ සිද්ධ නොවිච්ච නිසා. එක කාන්තාවක් ටිකක් අමුතු වැඩක් පටන් අරගෙන තිබුණා. එයා තමන්ගෙම පුතා ගෙදර කුකුළු කොටුවක් දානවට විරුද්ධ වෙච්ච කෙනෙක්. තමන් කියන එක ඇහැව්වෙ නැත්තං මේ අම්මා මේ ගෙදරින් යනවා කියලත් එයා පුතාට කියල තිබුණා. ඒ නිසා පුතා තමන්ගෙ අදහස වෙනස් කරගෙන තිබුණා. හැබැයි ඒ ගෙදරත් එළුවො හැදුවා, හරක් පට්ටියක් හිටියා. හැබැයි ඒ කිසිම සතෙකුට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ උනේ නැහැ. මේ කාන්තාව තමන්ගෙ කටයුත්ත ආරම්භ කළේ වෙනස් ම තැනකින්. එයා ගෙයින් ගෙයට යමින් ඉල්ලා හිටියෙ ගෙදර හදන එළුවන් ව මස් කඩේට දෙන්න එපා කියන ඉල්ලීම යි.''

''එහෙමනං සර් ඒක මහ කොන්දේසිසහගත සත්ත්ව කරුණාවක්නෙ.''

''නෑ නදී, මටත් මුලින් හිතුණෙ එහෙම තමයි. ඒත් ඒ කාන්තාවත් එක්ක කතා කළාට පස්සෙ මගෙ අදහස වෙනස් උනා. එයාට ඒකට පදනමක් තිබුණා. එයා දැනන් හිටියා මේ සත්ත්ව තුන් වර්ගය ගැන ගමේ මිනිස්සුන්ගෙ ආකල්පයත් තුන් විදිහක් බව. මොකද එයත් මේ ගමේ ම ඉපදිලා මේ ගමේ ම හැදිච්ච කෙනෙක් නිසා. ගවයන් සම්බන්ධයෙන් වැඩ කරන විදිහට එළුවන් ගැනත් කුකුළන් ගැනත් වැඩ කරන්න බැරි බව එයා දැනගෙන හිටියා. ගවයන්ට අභයදානය දීමක් ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ කියන එකත් එයා දැනගෙන හිටියා. ඒ නිසා එයා තමන්ගෙ කාර්යය පටන් ගත්තෙ එළුවන්ගෙන්.''

දැන් සියලු ම දෙනාගේ සිත්වල ඇත්තේ සිය විදුහල්පතිවරයා කාන්තාව යන විශේෂණ පදය යොදමින් කතා කරන මේ අපූරු කාන්තාව කවරෙක් ද යන්න දැනගැනීම උදෙසා වන කුතුහලය යි. සිය ආචාර්ය මණ්ඩලය වෙනදාටත් වඩා උනන්දුවෙන් තමාට සවන් දෙන බව නිරීක්ෂණය කළ විදුහල්පතිවරයා යළි තම කටහඬ අවදි කෙළේ ය.

''එයා ඊට පස්සෙ ගමේ ගෙයක් ගානේ ගිහිල්ල ගෙදර ඇති කරන එළුවන් ව අන්තිමට මස් කඩයට දක්කන්න එපා කියන ඉල්ලීම කළා. එයා මේ වැඩිහිටියන්ගෙන් මේ ඉල්ලීම කළේ දරුවොත් ඉන්න තැන. එළුවන් ගැන කතා කරන ගමන් කොයි සතාගෙත් ජීවිතය වටිනවා කියන කාරණය විශේෂයෙන් ඒ දරුවන්ගෙ හිතට කාවද්දන්නත් එයා අමතක කළේ නැහැ.'' 

''ඉතින් සර්, ඔය කියන කාන්තාවට තමන්ගෙ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් උනා ද? එයාව ප්‍රශ්න කරපු අය හිටියෙ නැද්ද? හැම වැඩිහිටියෙක් ම එක විදිහට එයාව පිළිගත්ත ද? වචනයක් වත් කතා නොකර එයාව පන්න ගත්ත අය හිටියෙම නැද්ද'' 

''ඈ රේණු මිස්, ඔයා මගෙ ඉස්සරහින් ගෙනත් තියන්නෙ එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්නපත්‍රයක්නෙ. කමක් නෑ ඒකත් හොඳයි, මම මට ඉන්නෙ ළමයින්ට විතරක් නෙමේ තමන්ගෙ විදුහල්පතිටත් ලියන්න ප්‍රශ්නපත්‍ර දෙන ගුරුවරු කියල හිතලා ඔයාට උත්තර දෙන්නංකො.''

විදුහල්පතිවරයා එම වචන කිහිපය කීවේ රේණු දෙස බලා සිනාසෙමිනි.

''රේණු, මම කියන්නෙ නැහැ එයා සම්පූර්ණයෙන් ම සාර්ථක උනා කියලා. ඒත් එයා අසාර්ථක උනේ නැහැ. සියයට සීයක් සාර්ථක උනා කියල කියන්න බැරි උනත් එයා සාර්ථක උනේ නැහැ කියල කියන්න බැහැ. ඒ වගෙම එයාව ප්‍රශ්න කරපු අයත් හිටියා. ඒත් ඒ හැම කෙනෙකුටම දෙන්න උත්තරයකුත් එයා ගාව තිබුණා.  මම මේ ගමේ ම සමහර කෙනෙක්ගෙන් අහල තියෙන විදිහට එයා උත්තර දෙන්න කලින් ඒ අයගෙ දරුවොම තමන්ගෙ දෙමව්පියන්ට උත්තර දීල තිබුණා. ඒ වගේ ම මේ කාන්තාව කියන්නෙ මේ ගමේ කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි කෙනෙක් උනා. මන් හිතන්නෙ ගමේකම වගෙම එයා කරන රැකියාව ඒකට හේතු උනා කියලයි. මේ ගමේ අයට මේ කාන්තාව කියන්නෙ එයත් එක්ක වචනයක්වත් කතා නොකර ආපහු හරවල අරින්න පුළුවන් කෙනෙක්නං නෙමෙයි.''

''සර්, ක්‍රීඩා උත්සවේ ආහාරපාන දෙන්නෙ මේ වාර්තාවෙ සඳහන් කරලා තියෙන විදිහටම නම් ගෙදරට හොයාගෙන ගිහිල්ල අපේ  සංග්‍රහ කමිටුව බාර දෙන්න තරං හොඳ කෙනෙක්නෙ මේ.''

ඒ කතා කෙළේ මෙතෙක් නිහඬ ව සිටි මිහිදිනී ය.

''ඔයගොල්ල ඔක්කමගෙ ඉල්ලීම ඒක නං ඒක ක්‍රියාත්මක කරන එක මහ දෙයක් නෙමෙයි.''

''ඒත් සර් මේ ඉස්කෝලෙ අපේ ම ගුරු මණ්ඩලේ මේ වැඩේ බාර දෙන්න පුළුවන් අය ඉඳිද්දි අපි එහෙම කරන එක හරි ද?''

''මම නං හිතන්නෙ නදී එහෙම කරන එක තමයි හරි.''

''සමාවෙන්න සර්, මන් මේ සර්ගෙ අදහස විවේචනය කරනව නෙමෙයි. සර් කියපු කතාව අනුව නං අපිට මැවෙන්නෙ සත්තුන්ට ආදරේ තියෙන චරිතයක් තමයි. ඒ උනාට අපි කොහොම ද අපි ඇහැටවත් දැකපු නැති කෙනෙකුට සංග්‍රහ කමිටුවේ නායකත්වය බාර දීම පිළිගන්නෙ.''

''සමාවෙන්න දෙයක් නැහැ රේණු . මම හරිම කැමතියි මගෙ ආචාර්ය මණ්ඩලය මෙහෙම ඍජු ව කතා කරන එකට. හැබැයි මමත් කැමතියි, අපේ මිහිදිනී මිස් යෝජනා කරපු විදිහට මේ වැඩේට එතුමිය සම්බන්ධ කරගන්නවනං.''

''අනේ මන්දා සර්, සර්ගෙ කැමැත්තක්. මම අර විදිහට කතා කළේ සර් කියන කාන්තාව අපි ජීවිතේට දැකලවත් නැති නිසා.''

''ඒකද රේණු හේතුව.'' 

''ඇත්තට ම ඔව් සර්.''

''එහෙනං මට පුළුවන් ඒ ප්‍රශ්නය ලේසියෙන් ම විසඳලා දෙන්න මේ දැන් ම.''

''ඒ කිව්වෙ සර් ඒ නෝනව මේ දැන් මෙතනට ගෙන්නනව කියන එක ද?''

''නැහැ රේණු, ගෙන්වන්න අවශ්‍ය නැහැ. මම එතුමිය මේ වැඩේට දානවට කැමති එතුමිය ඇත්තටම සත්තුන්ට ආදරේ නිසා. එතුමිය ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඒ අහිංසකයන් වෙනුවෙන් පෙනී හිටියයි කියන එක බොරුවක් නොවන බව මන් හොඳාකාරවම දන්න නිසා. ඒ වගෙම එතුමියව  මේ වැඩේට දානවට මම කැමති එයා නිර්මාංසික ජීවිතයක් ගත කරන නිසා. එතුමිය ජීවිතේට දැකලා නැහැ කියන එකට බරක් නොඑන්නෙ මේ හැම කෙනෙක් ම එතුමිය දැකලා තියෙන නිසා. එතුමිය මෙතනට ගෙන්වන්න අවශ්‍ය නැත්තෙ ඒක කරන්න අවශ්‍ය නැති නිසා. එතුමිය මේ මොහොතෙත් අපිත් එක්ක මෙතනම ඉන්න නිසා.'' 

නාගොල්ලාගම දිගු කලක් තිස්සේ ජීවත් වන ගුරුභවතුන් කිහිප දෙනා හැර අන් සියලු ගුරු භවතුන් සිය විදුහල්පතිවරයා දෙස බලා සිටියේ විස්මයාර්ථය රැඳි මුහුණිනි.

''පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වෙන කිසි කෙනෙක් නෙමෙයි ඔයගොල්ලන්ගෙ ළඟම ඉන්න අපේ මේ සිල්වා මැඩම්.''

මෙය විය හැකි දෙයක් ද? අනුන්ගේ වැරදි දැක ඔවුනට දොස් පැවරීම හැර අන් කිසිවක් කිරීමට නොදන්නා තැනැත්තියකැයි ප්‍රකට සිල්වා මහත්මිය තුළ මේ සා ආදරණීය ගැහැණියක ජීවත් වන බව කෙසේ නම් විශ්වාස කරන්න ද? තමාට කියවා ගත නොහැකි වූ චරිතය සිය විදුහල්පතිවරයා නිවැරදි ව කියවා ගැන්මට සමත් ව තිබේ. සියලු දෙනා සිල්වා මහත්මිය දෙසත් සිය විදුහල්පතිවරයා දෙසත් බලා සිටියේ ආදරය සහ ගෞරවය මුසු දෑසිනි.

විනාඩි කිහිපයක් ගත වන තෙක් රැස් ව සිටි ශාලාව පුරා පැතිර තිබුණේ පූර්ණ නිහඬතාවකි. ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ ක්‍රීඩා කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතුල යි.

''මමත් කැමතියි සංග්‍රහ කමිටුවේ නායිකාව හැටියට අයිරාංගනී සිල්වා මැඩම් ම පත්කරගන්නවනං. ඒ යෝජනාව මුලින් ම යෝජනා කළේ මිහිදිනී මිස් නිසා ඒ ගෞරවය ඒ මිස්ට දෙන්න. එතුමියගේ නම ස්ථිර කරන්නා වීමේ ගෞරවය සහ ඒ නිසා ඇති වන සතුට විඳින්නා වීමේ වාසනාව මට දෙන්න. ඒ වගේම මම මේ විදුහල්පතිතුමා ප්‍රධාන මෙතන ඉන්න අපේ ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉදිරියේ එතුමියගෙන් ඉල්ලා හිටින්නෙ මෙතෙක් දවසක් එතුමියගෙ වචනවලට හරහට යන විදිහට කියපු වචනවලින් යම් හිත් රිදුමක් උනානං ඒ හැම වචනයකට ම මට සමාව දෙන්න කියල යි. අම්මා කෙනෙක් තමන්ගෙ නොහික්මුණු පුතෙකුගෙ වැරදිවලට සමාව දෙනවා කියල හිතල මට සමාව දෙන්න කියල යි.''

මෙසේ කතා කරද්දී හැඟුම්බර වීම නිසා බිඳී ගියේ අතුලගේ කටහඬ යි. යළිත් ශාලාව පුරා පැතිර ගියේ දැඩි නිහඬතාවකි. 

අනතුරුව රැස් ව සිටි සියලු දෙනා දුටුවේ සිල්වා මහත්මිය තමා හිඳ සිටි අසුනින් නැඟිට අතුල දෙසට ගමන් කරන ආකාරය යි. ඉන්පසු ඒ නිහඬ නිමේශය නිමා කරමින් එම ශාලාව පුරා පැතිර ගියේ ගැහැනියකගේ කාරුණික කටහඬ යි.

''පුතා අතුල, ඔයා මගෙන් කොච්චර බැණුම් අහල තියෙනව ද? හරි නං මම යි ඔයාගෙන් සමාව ගන්න ඕනෙ. මම අද මේ ඔක්කොම ඉස්සරහ පිට ආයෙත් කියන්නෙ අපේ විදුහල්පතිතුමා ඇතුළු මේ කමිටුව මාවත් වැලිකල ගුරු මහත්මියත් මේ කටයුත්තට සම්බන්ධ කර ගන්න ගත්ත තීරණය ම අපි දෙන්නට ම කරපු ගෞරවයක් හැටියට සලකන බව යි. අපි මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ. ඒ වගෙම මේ ඔක්කොම දෙනා කැමති නං විතරක් මට පුළුවන් සංග්‍රහ කමිටුවෙ වැඩේ ඒ බලාපොරොත්තු වන අරමුණුවලට - ප්‍රතිපත්තිවලට අනුව කරන්න. ඒ වගෙම මම දන්නවා හුඟක් වෙලාවට මගෙ දුකේදිත් සැපේදිත් ළඟින් ම හිටිය දැනුත් ළඟින් ඉන්න වැලිකල ටීචර්ගෙ සහයත් මේකට ලැබෙන බව. ඒ විතරක් නෙමෙයි ඔබ සියලුම දෙනත් අවශ්‍ය කරන සහය දෙයි කියන විශ්වාසය මට තියෙන නිසා මන් මේ වැඩේ බාර ගන්නං.'' 

අනතුරුව ආදරණීය මවක මෙන් අතුලගේ හිස පිරිමැද ඇය ප්‍රකාශයට පත් කෙළේ පහත සඳහන් වචන යි.

''බය නැතුව වැඩ කරගෙන පලයන් පුතා. මමත් මේ හැම දේකෙදිම උඹත් එක්ක ඉන්නවා.'' 

දුරස්කම් දුරු ව මිනිස්කම් මතු වූ ඒ සොඳුරු මොහොතේ යළි කතා කෙළේ විදුහල්පතිවරයා ය.

''බොහොම ස්තුතියි මිසිස් සිල්වා, ඔබතුමිය අනිවාර්යෙන් මේ වගකීම ඉෂ්ට කරන බව අපි දන්නවා. ඒ වගෙම මේ දවස්වල අපේ වැලිකල මැඩම්ට ටිකක් කරදර තියෙන කාලයක් බවත් අපි දන්නවා. එහෙම තියෙද්දි එතුමියත් අපිට ලොකු ශක්තියක් වෙන්න ආපු එක අපි ගොඩාක් අගය කරනවා. ඇත්තටම අද අපි කරන මේ සාකච්ඡාව ක්‍රීඩා උත්සවයට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි. මන් තවත් දෙයක් කියන්න ඕනෙ. මේ පුංචි කොල්ලා ගඟුල් ආපු දවසෙ ඉඳලා කළේ අපිව අවදි කරවන එක. ඒ වගෙම එයා ඒ කටයුත්ත කරද්දි කාගෙවත් හිත් නොරිදවා වැඩ කරන්නත් දන්නවා. අපි මේ සාකච්ඡාව තවදුරටත් කරගෙන යමු. ඒක ඉවර උනාම අද මගෙ ගානෙ අද ඔක්කොට ම සජීවි ආහාර වේලක් පිරිනැමෙනවා.''

විදුහල්පතිවරයාගේ මේ ප්‍රකාශය සවන් වැකීමත් සමග වේගවත් අත්පොළසනක් දී එයට පළමු ව ප්‍රසාදය පළ කෙළේ රේණු ය. දෙවනු ව එම ප්‍රතිචාරය ම පළ කෙළේ අතුල යි. අන් සියල්ලෝ පසන් සිනහ වතින් සිය ප්‍රධානියාගේ ප්‍රකාශය අනුමත කළහ. අනතුරුව විදුහල්පතිවරයා කෙළේ කාර්යාලයීය කාර්ය සහායක පියසේනයනට තමා වෙත එන මෙන් සංඥා කිරීම ය.

''පියසේන, අපේ සංග්‍රහ වැඩේ කොහොම ද මොකද මම මන් අපේ සර්ල, මිස්ලට තේ ටිකක්වත් දෙන්න සූදානං නොකළේ අපේ අර සංග්‍රහය නිසානෙ.''

''ඔක්කොම හරි ලොකු සර්, සර්ලගෙ මේ රැස්වීම ඉවර වෙන කොට ම ඒ වැඩේ කරන්න පුළුවන් වෙන විදිහට අපි වැඩ පිළිවෙළ කරලයි තියෙන්නෙ. අපේ නිම්මි මිස් හරි ලස්සනට ඒ වැඩේ කරනවා.''

''පියසේන, ගුණවර්ධන සර්ටත් මතක් කළා නේද ඉන්න කියලා. ඒ වගෙම නිම්මි මිසුයි ඔයයි ඔය වැඩේ පිළිවෙළ කරලා මදි, අපිත් එක්කම කෑමටත් ඉන්න ඕනෙ.'' 

''ලොකු සර්, ඒ ගැන නං කිසිම සැක සංකාවක් තියාගන්න එපා. ගුණවර්ධන සර් කොහොම උනත් මම යි නිම්මි මිසුයි නං  ආයෙ කොහෙවත් යන්නෙ නැහැ. අපි දෙන්න ම බලන් ඉන්නෙ මේ රැස්වීම ඉවර වෙනකං.''

පියසේන ඒ ප්‍රකාශය කෙළේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු භවතුන්ගේ මුවගට සිනහරැල් කැන්දවමිනි.

''එහෙනං ගඟුල් විස්තර ටිකක් අඩු කරලා හරි අපි මේ සාකච්ඡාවෙ ඉතිරි ටිකත් කරමු.''

''අපි නැවැත්තුවෙ ලොකු සර් තුන්වෙනි කාරණයෙන්. හතරවෙනි කාරණය තමයි ඥාන ප්‍රතිපත්තිය එහෙම නැත්නම් නුවණ ලබා ගැනීමේ පිළිවෙත. ෂර්මා මේක නම් කරලා තියෙන්නෙ The Ritual of Abundant Knowledge  කියලයි. තමාගේ සහ සමාජයේ යහපත උදෙසා  දැනුම භාවිතයට ගැනීමයි මේකෙන් අදහස්  කරල තිබුණෙ. මේකෙ සඳහන් වෙනවා අපි ලබාගන්නා දැනුම ජීවිතය නමැති පන්ති කාමරයේ දී භාවිතයට ගත යුතු යි කියන කියමනත්. ඒ වගෙම දවසකට පොඩි වෙලාවක් හරි අර්ථවත් පොතක් බැරිනං ඒකෙන් කොටසක් හරි කියවන්න කියලයි මෙතෙන්දි කියන්නෙ.'' 

''ඊට පස්සෙ අපිට පස්වෙනි කාරණය හැටියට දකින්න ලැබෙන්නෙ The Ritual of Personal Reflection  කියන එනයි. ගමාච්චි මහත්තයා මේක සිංහලයට පරිවර්තනය කරල තියෙන්නෙ අන්තර් පරීක්ෂණ පිළිවෙත කියලයි. ඒ කියන්නෙ අනුන්ගෙ ජීවිත නෙමෙයි තමන්ගෙම අභ්‍යන්තරය ක්‍රියාකරන හැටි ගැන යම් අදහසක් ඇති කරගන්න කියන එකයි ඒකෙන් අදහස් කරලා තිබුණෙ. සර් මන් වෙලාව ගතවෙලා තියෙන හින්දා ඊළඟ කාරණේටත්  යන්න ද?''

''ඔව් ගඟුල්, අපි එහෙම කරමු. ඒ වගේ ම පුළුවන් තරං ඉක්මණින් දවසක අපි අපේ ශිෂ්‍ය දරුවන්ටත් මේ සංකල්ප කියල දෙමු. එදාට ඒකට සහභාගි වෙන්න කැමති ගුරුවරුන්ටත් අවස්ථාව සලසල තියමු.''

''සර් එදාටත් මම ද මේක කරන්න ඕනෙ.'' 

''නැතුව නැතුව එදාට අපි ඒක බලා ගනිමුකො. දැන් අපි හයවෙනි කාරණේට යමු.''

''හයවෙනි කාරණේ තමයි අවදි වීමේ පිළිවෙත. මේක ෂර්මා නම් කරන්නෙ The Ritual of Early Awakening කියලයි. මේකෙන් අදහස් කරන්නෙ හිරු උදාවීම සමග ම අවදි වෙලා දවසෙ වැඩ පටන් ගන්න කියන එක.''

''මෙතෙන්දි මම ගඟුල්ට පොඩි බාධාවක් කරනවා. ඇත්තටම ගඟුල් ඔය වැඩේ මේ පාසල් පද්ධතියෙ ඉන්න හැම කෙනෙක් ම වගේ කොහොමටත් කරන දෙයක්නෙ. උදාහරණයක් හැටියට ගත්තොත් මන් උදේ පාන්දරින් ළමයි ටික ග්‍රවුන්ඩ් එකට දාලා ක්‍රියාත්මක කරන්නෙත් ඔයා ඔය කියන අවදි වීමේ පිළිවෙතනෙ.'' 

''ඔව් අතුල අය්යා හරි. මේ ගොඩක් දේවල් ඇත්තට ම අපේ ම ජීවිතවලට කිට්ටු දේවල්. මේ දේවල් ගැන   බුදුහාමුදුරුවො හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. අපි ඔක්කොටම වඩා ගොඩක් හොඳට ඒ කාරණා දන්නෙ අපේ සුමනා මැඩම්. මොකද එතුමියගෙ විෂයත් බෞද්ධ දර්ශනය නිසා. මෙතෙන්දි ෂර්මා කියන්නෙ අපේ ගොඩක් වෛද්‍යවරු කියන කාරණයක්. ඒ කියන්නෙ නිරෝගී ජීවිතයකට පැය හයක නින්දක් ප්‍රමාණවත් ය කියන එක. ඒ වගේම උදේ අපිට නොමිලයේ ම ලබාගන්න පුළුවන් සූර්ය කිරණවල තියෙන වටිනාකම ගැනත් මේ ලේඛකයා අවධාරණය කරනවා.'' 

''ඊට පස්සෙ සත්වෙනි කාරණය හැටියට සඳහන් කරල තියෙන්නෙ The Ritual of Music කියන එකයි. මේ සංගීත පිළිවෙත ගැනත් මේ පොතේ හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.. ෂර්මා අපට කියන්නෙ සංගීතයේ බලය කවදාවත් අමතක කරන්න එපා කියල යි. දවසේ සුළු වෙලාවක් හරි ප්‍රසන්න සංගීතයකට සවන් දෙන්න කියලයි ඔහු කියන්නෙ.'' 

''ඒ කියන්නෙ ගඟුල් අපිව ඉන්න තැනෙනුත් ගොඩක් පල්ලෙහාට ඇදලා දාන මියුසික් එකක් නං වෙන්න බැහැ නේද ඔය සංගීතය කියන එක නේද?''

''ඔව් සමරෙ අය්යෙ, හොඳ සංගීතයකට මනුෂ්‍යයා සුවපත් කරන්න පුළුවන්. ෂර්මා මේ කතා කරන්නෙ අපව මානසික ව ලෙඩ කරන සංගීතයක් ගැන නෙමෙයි අපිව සුවපත් කරන සංගීතයක් ගැන යි.''

''අටවෙනි කාරණේ විදිහට මේ පොතේ සඳහන් වෙන්නෙ කතා කළ යුතු, නිතර නිතර මන්ත්‍රයක් වගේ කියන්න ඕන වචන ප්‍රකාශ කරන එක. ලේඛකයා ඒක නම් කරන්නෙ The Ritual of the Spken Word  කියලයි. මේකට අපිට ගැඹුරු අර්ථයකින් මන්ත්‍ර පිළිවෙත කියලත් කියන්න පුළුවන්. අර්ථවත් පුංවි ප්‍රකාශයක් උනත් අපේ ජීවිත ශක්තිමත් කරන මන්ත්‍රයක් විදිහට අපට පාවිච්චි කරන්න පුළුවන්. මේ ලේඛකයා මනසට වචන අතිප්‍රබල විදිහට බලපානවා කියන කාරණේ මතු කරනවා. එයා කියන්නෙ අපි අනික් අයට කියන දේටත් වඩා තමන් මන්ත්‍රයක් වගේ තමන්ට ම කියාගන්න දේයි වැඩියෙන් වැදගත් කියල.'' 

''සෙත් පිරිතකට සමාන අදහසක් තමයි මෙතෙන්දි මගෙ හිතට නං එන්නෙ පුතා.''

''සුමනා මැඩම් කිව්ව හරි. අපි එහෙම අදහසක් ඇති කරගන්න එකේ කිසිම වරදක් නැහැ. ෂර්මා කියන්නෙ භාරතීය සියලු ආගමික සම්ප්‍රදායන් අධ්‍යයනය කරලා අපි අර කලින් කියපු විදිහට බෞද්ධ ශික්ෂණය උපරිම විදිහට ලබපු චරිතයක්නෙ.''

''එහෙනං අපි ඊළඟ කාරණේට යමු ද?''

''හොඳයි තෙන්නකෝන් සර්. ඊළඟ කාරණේ නම් කරලා තියෙන්නෙ සමබර චරිත පිළිවෙත කියල යි. මේක ෂර්මා නම් කරන්නෙ The Ritual of Congruent Character  කියල යි. මේකෙ හරි ලස්සන යෙදුමක් තියෙනවා. ඒක හරිම දැනෙන විදිහට සිංහලයට නගලා තියෙනවා ගමාච්චි මහත්තයා. ඒ දැනෙනකම නිසාම මට ඒක මතක හිටියා.''

''සිතිවිල්ලක් වපුරන්න. ඔබට ක්‍රියාවක් නෙලා ගත හැකියි. ක්‍රියාවක් වපුරන්න. ඔබට පුරුද්දක් නෙලා ගත හැකියි. පුරුද්දක් වපුරන්න. ඔබට චරිතයක් නෙලා ගත හැකියි. චරිතයක් වපුරන්න. ඔබට ඔබගේ ජීවිත ඉරණම නෙලා ගත හැකියි.''

''සර් ඒක හොඳයිනෙ අපේ ඉස්කෝලෙ තැනින් තැන ප්‍රදර්ශනය කරන ප්‍රකාශ අතරින් එකක් කරන්න. අනේ ලොකු සර් බලලා ඉවරනං මටත් දෙන්නකො ඔය පොත කියවන්න.''

''බලන්න මේ මිහිදිනී මිස් කියන කාරණේ . මම මේ කල්පනා කරන්නෙ එක යහපත් වැඩක් කරන කොට තව යහපත් වැඩ කීයකට නං පාර කැපෙනව ද කියන එක. ගඟුල්, මම අදම මේ පොත මේ මිස්ට දෙන්නං හැබැයි පැවරුමකුත් එක්ක.'' 

''පැවරුමක් කිව්වෙ සර්.''

''පැවරුම තමයි මේ පොත කියවන් යද්දි ඔයාට හම්බ වෙන වියුක්ත ප්‍රකාශ හැටියට අපිට සමාජගත කරන්න පුළුවන් අර ගඟුල් දැන් කිව්ව විදිහේ ප්‍රකාශ වෙන ම ලියා ගන්න එක. ඒ වගෙම ළමයින්ට ඉංග්‍රීසි උගන්නද්දිත් පුළුවන් ඒවා ප්‍රයෝජනේට ගන්න. ඔයත් රේණුත් දැනටත් කරන වැඩක්නෙ ඒක. අපි මේ පොතින් ඒ ප්‍රයෝජනෙත් ලබා ගම්මු. එතකොට ළමයි ඉංග්‍රීසිත් ඉගෙන ගනීවි, ජීවිතයත් ඉගෙන ගනීවි. හොඳයි ගඟුල්, අපි එහෙනං අන්තිම කාරණෙත් කියලා මේ සාකච්ඡාව අවසන් කරමු, කට්ටියට බඩගිනිත් ඇතිනෙ. එහෙම හොඳයි නේද රේණු.''

''හුඟක් ම හොඳයි සර්. අපේ මේ නදීටත් ගොඩක් බඩගිනි පාටයි පේන්නෙ.''

''මේ මේ රේණු මාව අල්ල ගන්න එපා ඕකට හොඳේ.''

''හරි හරි කාවවත් අල්ලගන්න ඕන නැහැ, අපි කවුරුත් එක්ක කෑමට යමුකො, මේ වැඩේ ඉවර කරලා.''

විදුහල්පතිවරයා පැවසුවේ සිනාසෙමිනි.

''ඔන්න එහෙනං දැන් අන්තිම කාරණේ. ඒක නම් කරලා තියෙන්නෙ සරල භාවයේ පිළිවෙත. මේක ෂර්මා නම් කරන්නෙ The Ritual of Simplicity කියල යි. මේකෙන් අදහස් වෙන්නෙ දකින දකින දේ ගොඩ ගහගන් නැතුව බොහොම සරල ජීවිතයක් ගත කරන එක. මේ පොතේ ඒ ගැන තරමක විස්තරයක් තියෙනවා. අපේ මිහිදිනී මිස්ට පුළුවන් අපේ ශිෂ්‍යයන්ට යි අපිට යි කාටත් ප්‍රයෝජනවක් වෙන විදිහෙ ලිපියක් හදන්න මේ ඔක්කම කාරණා ගැන.''

''එහෙනං අපේ සාකච්ඡාව නතර කරන්න ඉස්සෙල්ලා කරන්න ඕනෙ තවත් වැදගත් වැඩක් තියෙනවා. ඒ තමයි සංග්‍රහ කමිටුවට නායිකාවක් පත් කර ගත්ත වගේ අපේ නිවාස කමිටුවට යි සෞඛ්‍ය කමිටුවට යි නායකයෙක් හරි නායිකාවක් හරි පත් කර ගන්න එක. ඒ වගෙම ඒ හැම කමිටුවටම මෙතන ඉන්න පිරිසත් බෙදිල යන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ඒ කමිටුවල අයට ම පුළුවන් සුදුසු විදිහට ආචාර්ය මණ්ඩලයේ අනික් අයගෙත් සහය ලබා ගන්න.''

''ලොකු සර්, නිවාස තුන හැදෙන්නෙ ඔවුනොවුන් අතර තරගයක් හැදෙන විදිහට නෙමෙයි කියන එකත් සෞඛ්‍ය කමිටුව තියෙන්නෙ නිවාස තුනට ම සමාන විදිහට සේවය කරන්න කියන එකත් කියවුණේ නැහැ නේද?'' 

''නදී, ඒක මෙතෙන්දි මතු නොකළෙ අතුල සර්ගෙ වාර්තාවෙ ඒ ගැන පැහැදිලි ව සඳහන් කරල තිබිච්ච හින්ද යි. කෝකටත් ඔයා මේ මොහොතෙ ඒක මතක් කරපු එකත් වටිනවා. හොඳයි දැන් අපි නිවාස කමිටුවට නායකයෙක් හරි නායිකාවක් හරි පත් කරගෙන ඉමු. ඔයගොල්ල යෝජනා කරන්නකො මෙතනින් කෙනෙක් ව.''

''මම කැමතියි, අපේ වැලිකල මැඩම්ගෙ නම යෝජනා කරන්න ඒ වැඩේට. මට මිසිස් වැලිකල මුලින් ම මුණ ගැහෙන කොට එතුමියට අවුරුදු තිහක් වත් නැහැ. ඒ දවස්වල මීට වඩා අපි දෙන්නා මුණ ගැහිලා කතා කළා. ලැබෙන ලැබෙන වෙලාවට මන් ඒ ගොල්ලන්ගෙ ගෙදරත් එයා අපේ ගෙදරත් ආවා. ගෙයක් ලස්සනට තියාගන්නෙ කොහොම ද කියන එක මම ඉගෙන ගත්තෙ මිසිස් වැලිකලගෙන්.''

''සුමනා මැඩම් යෝජනා කරපු නම මම සතුටින් ම ස්ථිර කරනවා. ඒ වගෙම මම කැමතියි එතුමිය නායකත්වය දෙන කමිටුවෙ සාමාජිකාවක් හැටියට වැඩ කරන්නත්.''

''ඔන්න එහෙනං ඒ වැඩෙත් හරි.''

''විදුහල්පතිතුමා, මටත් පොඩ්ඩක් කතා කරන්න දෙන්න. යම් යම් ප්‍රශ්න නිසා මේ ඔක්කොම අයගෙන් මම ටිකක් දුරස් වෙලයි හිටියෙ. ඒක දැන දැනත් මගෙ නම යෝජනා කරන්න තරම් සුමනා මැඩම්ට හැඟීමක් තිබුණා. මගෙ ජීවිතේ දුෂ්කරම වෙලාවලදි ළඟින් ම හිටපු කෙනෙක් තමයි මේ සුමනා කියන්නෙ. ඇත්තටම සුමනා නෙමෙයි මගෙන් දුරස් උනේ මමයි සුමනගෙන් දුරස් උනේ. ඒකට මගෙ පෞද්ගලික ජීවිතේ තිබිච්ච - තියෙන කරදර හේතු වෙන්න ඇති. මම කවදාවත් හිතාගෙන හිටියෙ නැහැ මෙහෙම කතා කරන්න. ඒ වගෙම ඉස්කෝලෙන් විශ්‍රාම යනකං මගෙ පාඩුවෙ ළමයින්ට උගන්නන වැඩේ කරගෙන ඉන්නව මිසක් වෙන වැඩකට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලයි මම හිතාගෙන හිටියෙ. ඒත් මේ ළඟදිම දවසක විදුහල්පතිතුමා මට කාර්යාලෙට එන්න කියල මේ ක්‍රීඩා කමිටුවට සම්බන්ධ වෙන්න කියන ඉල්ලීමත් කරල අද රැස්වීමටත් එන්න කියලා කිව්වහම මට ලොකු සර්ගෙ වචනෙ අහක දාන්න බැරුව ගියා. මම අද ආවේ ඒකට ගරු කිරීමක් හැටියට රැස්වීමට ඉඳලා මන් වෙනුවට වෙන කෙනෙක් දාගන්න කියන්න. ඒත් මගෙම වැරැද්දෙන් ඈත් වෙච්ච සුමනා මගෙ නම බැරෑරුම් වැඩකට යෝජනා කරන කොට, සමහර වෙලාවට මගෙ පැත්තෙන් හේතුවක් ඇතුව හරි නැතුව හරි ළමයි ඉස්සරහ පිටත් බැනලා මන් ම අපහසුවට ලක් කරපු මේ නදී මිස් මගෙ නායකත්වය යටතෙ වැඩ කරන්න පුළුවන් කියලා කියන කොට මම කොහොම මේවා දරාගන්න ද සර්. ලොකු සර් අපේ සුමන මැඩම්ව පත් කරන්න මේ වැඩේට. මම මේකෙන් අහක් වෙන තීරණේ වෙනස් කරල මගෙ සහයෝගය එයාට දෙන්නම්.''

''මිසිස් වැලිකල, මම මේ ඉස්කෝලෙ විදුහල්පති විදිහට පත්වෙලා එනකොටත් ඔබතුමිය මේකෙ අවුරුදු පහළොවකටත් වැඩි කාලයක් සේවය කරල තිබිච්ච ජ්‍යෙෂ්ඨ ගුරුවරියක්. මන් කවදාවත් මෙතෙක් කාටවත් නොකියපු කාරණාවක් අද කියන්නං. මම එහෙම කියන්නෙ මේ ඉස්කෝලෙ විදුහල්පති හැටියව සහභාගි වෙන වැදගත් ම රැස්වීම තමයි මේ කියන හැඟීම තදබල විදිහට මගෙ හිතට ආපු නිස යි. මන් ඇවිල්ල මාස හයක් විතර යනකං කළේ මගෙ ආචාර්ය මණ්ඩලය අධ්‍යයනය කරන එක. ඒ ගොල්ලන් ව නිරීක්ෂණය කරන එක. මන් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් අනුගමනය කළෙත් ඒ වැඩ පිළිවෙළ ම තමයි. ඒ අතරෙ ඇතැම් දෙනා මගෙ ළඟට ඇවිල්ල අහවල් ගුරුවරය වැඩ කරන කෙනෙක්, අරයගෙ චරිතෙ හොඳ නැහැ, අර මිස් මෝස්තරකාරියක් විතරයි කිසි වැඩක් නැහැ, ඔය විදිහට එක එක්කෙනා ගැන විවිධ අදහස් කිව්වා. ඒත් මම ඒවට ඇහුම්කන් දුන්න මිසක් ඒවා පදනම් කරගෙන චරිත වර්ග කරන්න ගියේ නැහැ. මට අවශ්‍ය නැහැ අනුන්ගෙ ඇස්වලින් දකින්න. මේ කමිටු සාමාජිකයන්ගෙත් කැමැත්ත ඇතුව මන් ආරාධනය කළේ මගෙ ඇස්වලින් දැකපු මිසිස් සිල්වට. මගෙ ඇස්වලින් දැකපු මිසිස් වැලිකලට. අපි කාගෙත් ජීවිතෙ මහ දුෂ්කර කාල එනවා තමයි. අපි ඒ අභියෝගවලටත් එකට මුහුණ දෙමු. මේ අභියෝගෙටත් මුහුණ දෙමු.'' 

''ලොකු සර්, මට තව එක දෙයක් කියන්න ඉඩ දෙන්න. සුමනා මැඩම් නිවාස කමිටුවෙ නායකත්වය ගන්න කියලා ආරාධනා කළේ ලස්සනට තමන්ගෙ නිවාසෙ තියාගෙන හිටපු වැලිකල ටීචර්ට මිස වර්තමානෙ තමන්ගෙ නිවාසෙත් හරියට තියාගන්න බැරි වෙච්ච වැලිකල ටීචර්ට වෙන්න බැහැ. ඒක නිසා එතුමිය නිවාස කමිටුවෙ නායිකාව කරන්න. මම අපේ නදිත් එක්ක එයාගෙ සහයට ඉන්නං.''

''මොකද සුමනා මැඩම්, අපේ වැලිකල මැඩම් කියන මේ කාරණේ ගැන ඔබතුමියට කියන්න තියෙන්නෙ.''

''ලොකු සර්, දැන් මම යෝජනා කරන්නෙ අතීතයෙ හිටපු වැලිකල ටීචර්ගෙ නමවත් මේ රැස්වීම ආරම්භ වෙන මොහොතෙ හිටපු වැලිකල ටීචර්ගෙ නමවත් නෙමෙයි. මේ මොහොතෙ අපි ඉදිරියෙ ඉඳගෙන ඉන්න තමන්ට ලැබුණු අවස්ථාව වෙන කෙනෙකුට දෙන්න හදන, ඒ වගෙම තමන්ගෙ ළඟින් මේ වෙලාවෙ ඉඳගෙන ඉන්න නදී මිස්ගෙ අත හරියට ම අම්ම කෙනෙක් හරිම ආදරයකින් අල්ලගෙන ඉන්නව වගේ හැඟීමකින් අල්ල ගෙන වැලිකල ටීචර්ගෙ නම. මට ආයෙ ආයෙත් කරන්න තියෙන්නෙ සර් ඒ යෝජනාව ම තමයි.''

විදුහල්පතිවරයා දුටුවේ තමා ඉදිරියේ හිඳ සිටින සියලු සාමාජිකයන් සිය හිස් සලා සිය සහෝදර ජ්‍යෙෂ්ඨ ගුරුවරියගේ යෝජනාව අනුමත කරන ආකාරය යි. ඔහු සිය හඬ යළි අවදි කෙළේ ඒ සුපහන් මොහොතේ ඇති සුපහන් බව නොබිඳෙන ආකාරයකිනි.

''ඔන්න දැන් එහෙනං ඒ කමිටුවත් හරි. වැලිකල මැඩම්ගෙ නායකත්වයෙන් තියෙන ඒකෙ සහායට අපේ ක්‍රීඩා කමිටුවෙ අනුශාසක සුමනා මැඩමුත් ඉන්නවා. නදී මිසුත් ඉන්නවා. මේ අනුකමිටුව කැමති විදිහට රැස්වෙලා තීරණ අරගෙන වැඩ කරන්න. පස්සෙ අපි ප්‍රධාන කමිටුව රැස්වෙච්ච දවසට ඒ තීරණ අනුමත කරගම්මු. එහෙම නැතුව මේ තියෙන කාලය මදි අපට වැඩ කරන්න. මේ විදිහටම අනිත් කමිටුත් ක්‍රියාත්මක කරමු. අතුල කොහොම ද දැන් සෞඛ්‍ය කමිටුව පත් උනොත් හොඳයි කියලා ඔයාට හිතෙන්නෙ.'' 

''තෙන්නකෝන් සර්ට පුළුවන් නං ඒක බාර ගන්න ඒක ලොකු දෙයක්. ඒ වගෙම ගඟුල් මල්ලි ඔයාට පුළුවන් නේද සර්ට උදව් වෙන්න. දැන් රේණු සංග්‍රහ කමිටුවෙ ඉන්න නිසා අපේ ආචාර්ය මණ්ඩලයෙ මෙතන නැති මේකට ගැළපෙන ගුරුවරියක් යොදා ගනිමු.''

''එහෙනං සර් අපිට පුළුවන්නෙ අපේ සෞඛ්‍ය මිස්ව ව ම යොදා ගන්න.''

''හරිම හොඳයි මිහිදිනීගෙ ඒ කල්පනාව. හෙට ම මන් මේ ගැන ඒ මිස්ට කියල එයාගෙ කැමැත්ත ගන්නං.''

''හොඳයි එහෙනං ඒ කමිටුවත් හරි. ලොකු සර් දැන් අපිට එක්කෙනෙක් අඩුයිනෙ සංග්‍රහ කමිටුවට. සිල්වා මැඩම්ගෙ සහයට ඉන්නවා රේණු මිස්. අපි කමිටුවට තුන් දෙනෙක්නෙ දාන්න හිතුවෙ. ඒ අඩුවත් දැන් පුරව ගන්න ඕනෙ.'' 

එසේ කියා අතුල බැලුවේ කමිටු සාමාජිකයන් දෙස යි.

''මමත් කැමතියි ඒ කමිටුවෙ වැඩ කරන්න. කොහොමත් සිල්වා මැඩම් කියන්නෙ මගෙ ගුරුතුමියක්නෙ.'' 

''ඔව් ඒක හොඳයි ලොකු සර්. මොකද සංග්‍රහය කරනකං සංග්‍රහයට දෙන දේවල් පරිස්සං කරගන්න රත්නායක සර් වගෙ කෙනෙක් ඉන්න එක හැම අතින් ම වටිනවා. මොකද ඔය කමිටුවෙ ඉන්නව හරි බරපතල කෙනෙක්. හැබැයි ඒ සිල්වා මැඩම් නං නෙමෙයි.''

අනතුරුව විදුහල්පතිවරයාට අහම්බෙන් මෙන් දැක ගැන්මට ලැබුණේ රේණු අතුල දෙසට තර්ජනාංගුලිය ඔසොවාගෙන සිටින ආකාරය යි. සිය ප්‍රධානියා තමා දෙස සිනාසෙමින් බලා සිටින ආකාරය දුටු ඇය වහා ඔසොවාගෙන සිටි අත වහා පහළට දැම්මා ය.

ඒ මොහොතේ විදුහල්පතිවරයා තමාට ආසන්නයේ සිටි අතුල සහ රත්නායක යන ගුරු භවතුන්ට පමණක් ඇසෙන සේ  මෙසේ පැවසීය.

''අතුල උඹ ඔය හදන්නෙ අර කෙල්ලගෙන් ගුටි කන්න. දැන් මට වෙන්නෙ ශිෂ්‍යයන්ගෙ ප්‍රශ්න මදිවට උඹලගෙ ප්‍රශ්නත් විසඳන්න.''

''ලොකු සර් ඒකට නං බයවෙන්න එපා. රේණු සාමාන්‍යයෙන් නදී ආදරේ කරන දේවල්වලට පහර දෙන්නෙ නැහැ.''

''ආ එහෙමත් එකක් ද? එහෙනං ප්‍රශ්නයක් නැහැ.'' 

අනතුරුව ඔහු යළි හැරුණේ අනෙකුත් කමිටු සාමාජිකයන් දෙසට යි.

''තව අපි මෙතෙක් කතා නොකළ ඒත් අනිවාර්යෙන් ම කතා කළ යුතු අපේ ප්‍රගති සමාලෝචන වාර්තාවෙත් සඳහන් නොවිච්ච අපිට මග හැරිච්ච කාරණාවක් ගැන කතා කරන්න තියෙනවා.''

''ඒ මොකක් ද සර් අපි කාටත් මග හැරිච්ච කාරණේ.'' 

''අපි කිව්වෙ අතුල මාත් එක්ක යි. ඇයි අතුල අපිට අනිවාර්යෙන් ම මේ වැඩේ දි මුදල් වියදම් කරන විදිහ ගැන තීරණ ගන්න මූල්‍ය කමිටුව අත්‍යවශ්‍යම එකක්නෙ. මොකද අනික් කමිටු තුනට ම අවශ්‍ය වෙන විදිහට සාධාරණ විදිහට මුදල් දෙන්න ඕනෙත් ඒ කමිටුව යි. විශේෂයෙන් ඉස්කෝලයක් වගේ පොදු ආයතනයක වැඩ කරන කොට මුල්‍ය පිළිබඳ විනිවිද භාවය තියෙන්නම ඕනෙ. මොකද මිස්ට තෙන්නකෝන් කියන්නෙ, කවුද මේකට ගැළපෙනවා කියලා ඔයගොල්ලො හිතන්නෙ.''

''ඇයි සර් අපේ ගණකාධිකරණය උගන්නන සමරසිංහ සර්රුත් මෙතන ඉන්නවනෙ. අපි ඒකට එතුමව පත් කරල සාමාන්‍ය පෙළ ගණන් උගන්නන අපේ මේ ගයා මිස්වයි මේකට ගැළපෙන තව මිස් කෙනෙක්වයි ඒකෙ කමිටු සාමාජිකයො කරමු. මේකෙ කෙහොමත් පාසල් ප්‍රධානියා ඉන්නම ඕනෙ. ඒක නිසා ලොකු සර්ට පුළුවන් අධික්ෂණ මට්ටමෙන් ඒ කටයුත්ත කරන්න. මේක යෝජනාවක් විතරයි,  මීට වඩා හොඳ වෙනස් යෝජනාවක් ආවොත් මේ කමිටුවෙන් අපි ඒක ක්‍රියාත්මක කරමු.''

''මට හිතෙන්නෙ නං අපේ තෙන්නකෝන් මහත්තයා කරපු යෝජනාව හොඳයි කියලයි. මේ කට්ටිය වෙන යෝජනාවක් ගේන්නැතුව නිහඬ ව ඉන්න එකෙන් පේන්නෙත් ඒකනෙ.''

විදුහල්පතිවරයා කතා කළ මොහොතේ සිට ගත ව ගිය ඒ කෙටි නිහැඬියාව බිඳිමින් කතා කෙළේ  සිල්වා ගුරුතුමිය යි.

''ඒ කියන්නෙ එහෙනං ඒකත් හරි. දැන් වෙලාව දෙකහමාරයි. සමා වෙන්න ඕනෙ අපේ ආචාර්ය මණ්ඩලය මට. දවල් කෑම වේල දෙන්න මෙච්චර ප්‍රමාද වීම ගැන. මට හරිම සතුටු දවසක් අද. නැද්ද ගඟුල් ඔයගොල්ල විශ්වවිද්‍යාලෙදි අර කළා කියපු භාෂාන්තර ඥානය පාඩමෙදි ඉගෙන ගත්ත ප්‍රකාශයක් වත් මෙතෙන්ට ගැළපෙන.'' 

''තියෙනවා සර්, අපි ඒ පන්තියෙදි ඉගෙන ගත්ත හරිම අර්ථවත් ප්‍රකාශයක්. ඒකෙන් කියවෙන්නෙ හොඳ අරමුණකට නං පිරිසක් එකතු වෙන්නෙ අවසානෙදි ඒ කටයුත්ත සාර්ථක වෙනවා කියලා. ඒකට නෙමෙයි ද සර් අද දවසෙ මේ පදනම වැටුණෙ.''

''හරිම ඇත්ත ගඟුල් හරිම ඇත්ත. කියන්න ඔයා ඉගෙන ගත්ත දේ ඒකෙ අර්ථයත් එක්කම. ඒකත් අහලම අපි ඔක්කොම යමු අපි අපේ සජීවි ආහාරවේල ගන්න.''

''සංහති: කාර්යසාධිකා''

''එක්වීම කටයුතු සාර්ථක කරයි.



 
අපි කාටත් හුරුපුරුදු ආප්තෝපදේශයකින් ම කිව්වොත් මේ කියන්නෙ සමගිය බලය වේ කියන දෙයම මිස වෙන දෙයක් නෙවෙයි.''

අවසානයේ දක්නට ලැබුණේ විදුහල්පතිවරයා ප්‍රධාන ඒ පිරිස දිවා ආහාරය සූදානම් කොට තිබූ කාමරය දෙසට පහන් හදින් ගමන් කරන ආකාරය යි.

1 comment: