Friday, July 15, 2022

ගුරු දියවර නවකතාව - පහළොස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                        

                                                             ගුරු දියවර 15




‘‘අද අපේ දේශපාලනවිද්‍යා මිස් එන්නෙ නැහැලු. ඒ වෙනුවට වෙන ගුරුවරයෙක් එවන නිසා සද්ද නොකර ඉන්න කියලා දැනුම් දීලා ගියා.”

‘‘කවුද ඒ දැනුම් දීම කරලා ගිය නිසි බලධාරියා ? ”

12 ඒ පන්තියේ පන්තිනායිකා නිශිකා කළ ප්‍රකාශය ගැන ඒ ප්‍රශ්න කිරීම සිදු වූයේ ඒ පන්තියේ සිදුවන ඕනෑම දෙයක් පිළිබඳ ව ප්‍රශ්න කරන ප්‍රශ්න විචාරකයා ලෙස ප්‍රචලිත නදීරගෙනි.

‘‘ඒ වෙනින් කවුරුවත් නෙමේ ප්‍රශ්න විචාරකතුමනි, මහා නිසි බලධාරි පියසේන මැතිතුමා. එපමණක් නොවෙයි නදීර මැතිසඳුනි, මේ දිනවල අතිඋග්‍ර ගුරු හිඟයක් ද පවතින බැවින් එම විෂයට සමගාමී ව ඇති අනික් විෂය ඉගෙන ගන්නා සිසුන් ද ඊට සම්බන්ධ වී සිය දැනුම් වපසරිය ප්‍රවර්ධනය කරන මෙන් දන්වා තිබෙනවා ගරු විදුහල්පතිතුමා.”

‘‘තමන්වත් අර්ථය නොදන්නා බරසාර වචනවලින් අපට දමා ගසන ගරු පන්ති නායිකා නිශිකා මැතිනියනි, දේශපාලන විද්‍යාව විෂයක් ලෙස තෝරා ගත් අනුවණ පුරුෂයන් තිදෙනා සහ අනුවණ ස්ත්‍රීන් අටදෙනා ඊ්ට සහභාගි වූවාට කම් නැත. එහෙයින් ඔය මුග්ධ විෂය හදාරන්නනට ඉඩ දී මා ඇතුළු අනෙකුත් ප්‍රඥාවන්තයන් සහ ප්‍රඥාවන්තියන් පන්තියෙන් බැහැර වී ක්‍රීඩා උද්‍යානය වෙත ගමන් කරන බව තී දැනගනුව. ”

‘‘මේ නිශිකා - නදීර ඔයගොල්ලන්ගෙ ඔය සාහිත්‍යය තියාගන්න ඔයගොල්ල ළඟ ම. ඕන කෙනෙක් ක්‍රීඩා උද්‍යානය බලා ගමන් කරන්න. දේශපාලන විද්‍යාව නොකළට මම ඉන්නවා පන්තියෙ. කැමති ප්‍රඥාවන්තයෙක්ට ප්‍රඥාවන්තියක්ට  යන්න කියන්න. ”

‘‘ඔන්න ඔන්න මුදුහසී, ඔයා ගම කන්නනෙ හදන්නෙ. ඔයා අපේ සාමූහික ප්‍රයත්නයටනෙ මේ බාධා කරන්නෙ. කවුද වස්තුවෙ, ඔයාට ඔය නම දැම්මේ මුදුහසී කියලා. ඔය දැනුත් රවා ගත්ත ගමන්නෙ ඉන්නෙ. ඔයාට දාන්න තිබ්බෙ මුදුහසී කියල නෙමෙයි රුදුහසී කියලා.”

‘‘නදීර, කොහොම ද ඕක සාමූහික ප්‍රයත්නයක් වෙන්නෙ කියල මම දැනගන්න කැමතියි. ඔයා හැමදාමත් කරන්නෙ ඔයාට ඕන දේට අනික් අයවත් ඈඳා ගන්න එක. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගෙ ඔය වැඩ නිසා වෙන්නෙ මෙතෙක් හොඳ නම රැකගෙන හිටිය 12 ඒ එකේ නම කැත වෙන එක. නිශිකා දෙන්න එපා මෙයාලට බුරුලක්. දැන් නරකයි කියලා හංවඩු ගහපු 12 බී එක අපිට හිතාගන්නවත් බැරි විදිහට හොඳ පැත්තටයි වෙනස් වෙවී යන්නෙ. තව ටික දවසක් යනකොට අපිට හොඳයි හොඳයි කියපු ගුරුවරුම කියන්න බැරි නැහැ 12 ඒ එක තමයි නැහැදිච්ච උන් ඉන්න පන්තිය කියලා. එතකොට ඒකට වග කියන්න ඕනෙ නදීර ඔයාලම තමයි. තව එක දෙයක් මතක තියා ගන්න. මේ මුදුහසීට අවශ්‍ය තැනදි රුදුහසී වෙන්නත් පුළුවන් කියන එක.”

‘‘ඇත්තනෙ මචං, අපේ මුදුහසී කියන්නෙ. අපි දේශපාලන විද්‍යාව නොකළට කියන ඒවා අහගෙන ඉම්මු. කවුද දන්නෙ අපේ පන්තියෙන් අනාගතයෙදි පාර්ලිමේන්තුවට යන අයත් නොයිඳීවි ද කියලා.”

‘‘හරියට ම හරි සාරංග. අද දේශපාලනේ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති වැඩි දෙනෙක් පාර්ලිමේන්තු ගිහින් ඉන්න නිසා නේද මේ රට මෙච්චර පරිහානියකට පත් වෙලා තියෙන්නෙ කියලා නේද අපේ දේශපාලන විද්‍යා මිසුත් කිව්වෙ. ඉන්න නදීර පන්තියෙ. අහමු අපි ඒ එන සර් හරි මිස් හරි කියන දෙයින් අද නැත්තං හෙට දවසෙදි හරි අපේ ජීවිතවලට ගන්න දෙයක් තියෙනව ද කියලා.”

‘‘හොඳයි මුදුහසී, හොඳයි සාරංග, උඹලා ඔක්කොම කියන්නෙ එහෙමනං මමත් අමාරුවෙන් හරි පන්ති කට් නොකර ඉන්නංකො. එහෙනං ඒ දේශපාලන විද්‍යාධරයා හෝ විද්‍යාධාරිණිය එන තෙක් අපට සින්දුවක් කියන්න අවසර ද? පන්ති නායකතුමියනි, විශේෂයෙන් අපේ මුදුහසී මැතිනියනි, කමක් නැද්ද වස්තුවෙ සින්දුවක් කිව්වට.”

‘‘ඕන සින්දුවක් කියාගන්න එකයි තියෙන්නෙ ඉතින් මට මොකෝ.”

‘‘ආදරණීය මිතුරනි - මිතුරියනි, සිය නිහඬ බැල්මෙන් අප පන්ති නායකතුමියගේත්, රුදුරු බැල්මෙන් අපේ පන්තියේ අතිසීරියස් කාන්තාව වන මුදුහසී මැතිනියගේත් ඒ අතිදුර්ලභ අවසරය ලැබුණු මේ අතිසුන්දර නිමේශයේ ගීත ගායනය ආරම්භ වෙනවා ඇති. නෝනාවරුනි මහත්වරුනි, මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමට යි.”

‘‘කියපන් නදීර උඹේ ඔය ගීතේ ඔය විච්චූරණ නවත්තලා.”

පන්තිය දෙසට ඇවිද එමින් සිටි ගඟුල්ට ඇසුණේ මියුරු ගීයක මුල් ගී පද යි. මේ ඔහු පාසලේ දී ලබන එබඳු වූ දෙවන අද්දැකීම යි. මේ වූ කලී ප්‍රවීණ ගීතරචක ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියන ලදුව, මොහොමඩ් සාලි සංගීතවේදියාණන් විසින් සංගීතවත් කරන ලදුව, එච්. ආර්. ජෝතිපාලයන්ගේ හෘදයංගම කටහඬින් අසන්නට ලැබුණු එවක තමාට ද දනුණු තමා ද විඳි ගීතයකි, මේ ඇසෙන්නේ. ඔහු ශිෂ්‍ය ප්‍රජාවට පෙනෙන - නොපෙනෙන මානයක සිට ඒ ගීයට සවන් දුන්නේ ය. 


                    ‘‘ඔබ දැකුමින් මා නෙත ලැබුවේ - ඇති ඉහළ ම සතුටයි මෙලොවේ

                      සඳ කිඳුරියෙ ඔබ ප්‍රිය සෙවණේ - ලොව සොඳුරු ය පින්බර    ළඳුනේ


                      මිහිරිය ඔබ අහසෙහි සඳු වේ - මගෙ සිතිවිලි එහි ඇති කඳු  වේ

                      ඒ තරමට සෙනෙහස මතු වී - නිහඬ ව නිදියයි සිත නතු වී


ගීතය නිමාවූ මොහොතේ ය, ගඟුල් පන්තිය දෙසට පියමං කෙළේ.

‘‘මචං ඒ එන්නෙ අර 12 බී එකේ සිංහල උගන්නන අලුත් සර්නෙ.”

‘‘එයා සරිත්, සිංහල උපාධිධාරියෙක්නෙ. එයා කොහොම ද අපිට දේශපාලන විද්‍යාව උගන්නන්නෙ.”

‘‘ආපුවාවෙ මචං ආපුවාවෙ, දෙමු අපි පොරට අපේ සබ්ජෙක්ට් එකෙන් ම කොරවෙන්න.”

‘‘මිනුද - චන්දුල මන් මේ ඔය දෙන්නටමයි කියන්නෙ. ඔය දෙන්න හිතාගෙන ඉන්නෙ අපි තමයි දේශපාලන විද්‍යාව පිළිබඳ කුශාග්‍ර බුද්ධිමතුන් කියලනෙ. අපිත් බලාගෙන ඉන්නංකො ඔය දෙන්න ඒ සර් ව කොර කරන හැටි.”

‘‘ආයුබෝවන් දරුවනේ, ආයුබෝවන්.”

ගඟුල් සිය ශිෂ්‍ය ප්‍රජාවට එසේ ආචාර කොට පන්ති ප්‍රවේශය ගත්තේ ය.

‘‘ආයුබෝවන් සර්, ආයුබෝවන්.”

‘‘මන් දන්නවා මේ පන්තියෙ දරුවො එකොළොස් දෙනෙක් දේශපාලන විද්‍යාව කරන බව. එතකොට මේ අනිත් දරුවො ටික කරන්නෙ?”

‘‘සර් අපි කරන්නෙ භූගෝල විද්‍යාව. අපේ මැඩම්ටත් අද එන්න විදිහක් නෑ කියලා දන්වලා තියෙන නිසා අපේ ලොකු සර් කියලා එවලා තියෙනවා මේ වෙලාවෙ කොහෙවත් යන්නැතුව මේ පන්තියෙම ඉන්න කියලා.”

‘‘හොඳයි ළමයිනේ එහෙනං මන් උත්සාහ කරන්නං ඔයගොල්ල කාටත් වැදගත් වෙයි කියලා මට දැනෙන කාරණා ටිකක් කතා කරන්න. ඒත් මගෙ විෂය දේශපාලන විද්‍යාවවත් භූගෝල විද්‍යාවවත් නෙමෙයි. ඒක නිසා මට පුළුවන්කමක් නැහැ මෙහෙ දේශපාලන විද්‍යාව උගන්නන මිස්ගෙ හරි භූගෝල විද්‍යාව උගන්නන මැඩම්ගෙ හරි  හිස්තැන පුරවන්න. හොඳයි මන් කැමතියි ඔය ගොල්ලොම ආරම්භයක් ගන්නව නං.”

‘‘ඔන්න ඕකට තමයි මචං ගුරුවරයම ඉල්ලන් කනවා කියන්නෙ. අහපන් මචං පොර කොරවෙන ප්‍රශ්නයක් ම දේශපාලන විද්‍යාවෙන්.”

මිනුද, චන්දුල දෙසට හැරී මේ ප්‍රකාශය කෙළේ සෙමෙනි.

‘‘සර්, සර්ට පුළුවන් ද දේශපාලන විද්‍යාව කියන්නෙ මොකක් ද කියන එක අපට පැහැදිලි කරලා දෙන්න.”

‘‘දේශපාලන විද්‍යාව ගැන විවිධ උගත්තු නොයෙකුත් නිර්වචන ඉදිරිපත් කරල තියෙන බව මේ විෂය ඉගෙන ගන්න දරුවො දන්නවා. ඒ වගේම ඒ හැම කෙනාටම පුළුවන්කම ඇති මාත් ඇතුළුව දේශපාලන විද්‍යාව නොකරපු අනිත් අයට කරුණු කියලා දෙන්න. අර ප්‍රශ්නෙ අහපු පුතාගෙන් මමත් ඉස්සෙල්ල ම ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි දේශපාලන විද්‍යාව කියන්නෙ මොකක් ද ඔයා අපිට ඒක පැහැදිලි කරලා දෙන්නෙ කොහොම ද කියන එක. ඒකට උත්තරයක් දුන්නට පස්සෙ මම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා.”

‘‘සර්, දේශපාලන විද්‍යාවට අනුව අපි කවුරුත් දේශපාලන සත්ත්වයො. අපි කිසිම කෙනෙකුට දේශපාලනයෙන් තොර ව හුස්ම ගන්නවත් බැහැ. මේක තමයි සර් අපිට දේශපාලන විද්‍යාව ගැන කරන්න පුළුවන් හොඳම සහ නූතන ම විග්‍රහය.”

‘‘හොඳයි, මොකක් ද මේ උත්තරේ දුන්න පුතාගෙ නම?”

‘‘සර් මම චන්දුල.”

‘‘චන්දුල, ඔයා කියපු කාරණෙත් දේශපාලන විද්‍යාව ගැන හොඳ විග්‍රහයක් තමයි. හැබැයි ඒක හොඳම විග්‍රහය නම් නෙමෙයි. ඒ වගෙම පුතා ඕක පැරණි විග්‍රහයක් මිස නූතන ම විග්‍රහයක් නෙමෙයි. ඒ වගෙම චන්දුල ඒක අපේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයකුත් නෙමෙයි. මන් ඇහැව්වෙ දේශපාලන විද්‍යාව කියන්නෙ මොකක් ද ඒක පැහැදිලි කරන්නෙ කොහොම ද කියන එක යි. දැන් ඔයා දුන්නෙ දේශපාලන විද්‍යාව කියන්නෙ මොකක් ද කියන එකට උත්තරයක් නෙමෙයි, ඒ ගැන ඉදිරිපත් කරලා තියෙන මතයක්.”

අසරණ ව ගිය චන්දුල ප්‍රශ්න ඇසීමට තමා යොමු කළ මිනුද දෙස බැලුවේ ඔහුගෙන්වත් තමාට සහායක් ලැබේ ද යන හැඟීමෙනි.

‘‘සර් දේශපාලන විද්‍යාවට ම තමයි ආණ්ඩු ක්‍රමය කියලා කියන්නෙ. ඒ කියන්නෙ රටක් පාලනය කළ යුතු ව්‍යවස්ථානුකූල ආකාරය.”

ඒ පිළිතුර චන්දුලගේ සහායට පැමිණි මිනුදගෙනි.

‘‘ඒකත් දේශපාලන විද්‍යාව යම් තරමකට පැහැදිලි කරගන්න අපට උදව් කරගන්න පුළුවන් කියමනක් තමයි. හැබැයි දේශපාලන විද්‍යාව කියන්නෙ මොකක් ද කියන එකට පැහැදිලි උත්තරයක් නෙමෙයි.”

‘‘සමාවෙන්න සර්, දේශපාලන විද්‍යාව විෂයක් හැටියට ඉගෙන ගන්න අපි දෙන උත්තර සර්ගෙ ප්‍රශ්නෙට පැහැදිලි උත්තර නෙමෙයි කියලනෙ සර් කියන්නෙ. එහෙනං සර්ට තියෙනව ද මේකට පැහැදිලි උත්තරයක්.”

‘‘මට නැහැ පුතා ඒකට පැහැදිලි උත්තරයක්. ඒ උත්තරය තියෙන්නෙ මන් ගාව නෙමෙයි.”

‘‘ඒ කියන්නෙ සර්.”

‘‘ඒ උත්තරේ තියෙන්නෙ දරුවනේ භාෂාවෙ. දේශපාලන විද්‍යාව විතරක් නෙමෙයි කොයි විෂය උනත් අපිට හරියට පැහැදිලි කරගන්න ඕන උත්තරය තියෙන්නෙ භාෂාවෙ.”

‘‘එහෙනං සර් ම පැහැදිලි කරන්නකො ඒක.”

‘‘මන් ඉස්සෙල්ල ම අගය කරන්න ඕනෙ මේ ප්‍රශ්න අහපු ඒ වගෙම ඒවට උත්තර දුන්න දරුවන්ගෙ ඉදිරිපත් වීම.  ඒ වගෙම ඒ දෙන්න කියපු දේවල් දේශපාලන විද්‍යාවට අදාළ නැහැ කියලා අපි කිසි කෙනෙකුට බැහැර කරන්නත් බැහැ. අපි ඒකත් හිතේ තියාගෙන භාෂාත්මක පැහැදිලි කිරීමට යමු. මේක මම ඉගෙන ගත්තෙ අපිට අන්තර් භාෂා  ඥානය කියන විෂය යටතෙ සංස්කෘත උගන්නන්න ආපු සර්ගෙන්. එදා සර් උගන්නපු දේ මන් ග්‍රහණය කර ගත්ත විදිහ මගෙ මතකයෙන් කියන්නං.”

දැන් පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු ම දෙනා සාවධාන ව බලා සිටින්නේ ගඟුල් දෙස ය.

‘‘දරුවනේ, දේශපාලන විද්‍යා කියන්නෙ  වචන දෙකක්. ඒ දෙක සමාස වෙලා ඒ කියන්නෙ එකට එකතු වෙලා තමයි දේශපාලනවිද්‍යා කියන  වචනෙ හැදෙන්නෙ. අපි මුලින් ම තනි වචනයක් හැටියට දේශපාලන කියන වචනෙ ගත්තොත් ඒක හැදෙන්නෙ දැක්වීම, පෙන්වා දීම, ඉගැන්වීම කියන අර්ථවල යෙදෙන දිශ් ධාතුව යි ආරක්ෂා කිරීම, පාලනය කිරීම, බලාගැනීම කියන අර්ථවල යෙදෙන පල් ධාතුව යි එකතු වෙලා. මේ විදිහට දිශ් ධාතුවෙන් දේශ කියන වචනය යි පල් ධාතුවෙන් පාලන කියන වචනය යි හැදෙනවා. ඊට පස්සෙ අපි තනි වචනයක් විදිහට දේශපාලන කියන වචනෙ ගත්තොත් අපිට ඒකට මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. එහෙම ගත්තහම දේශපාලනය කියන්නෙ යමක හරි යම් තැනක හරි ඇති සැටිය දැකලා දැනගෙන අවබෝධ කරගෙන දේශය විදිහට සලකුණු කරලා තියෙන භූමිය ආරක්ෂා කරගෙන ඒක පිළිවෙළකට තැබීමේ ක්‍රියාවලිය යි.”

‘‘සර් එතකොට දේශපාලනඥයා අපි අර්ථ දක්වන්නෙ කොහොම ද? ”

‘‘මේ දුව හොඳ ප්‍රශ්නයක් ඇහැව්වෙ. මොකක් ද දුවේ ඔයාගෙ නම.”

‘‘සර් මන් මුදුහසී.”

‘‘හොඳ අර්ථයක් තියෙන ලස්සන නමක්නෙ පුතේ ඔයාට තියෙන්නෙ. ”

‘‘සර් ඒ උනාට අපේ මේ මුදුහසී වෙලාවකට නමේ විරුද්ධාර්ථයට මුල් තැන දීලයි වැඩ කරන්නෙ. සර් එන්න ඉස්සෙල්ලත් හිටියෙ මුදුහසී නෙමෙයි රුදුහසී. බලන්න සර්, මන් දැන් මේ කතා කරන වෙලාවෙත් මගෙ දිහා බලාගෙන ඉන්නෙ රෞද්‍ර යක්ෂණියක් විදිහට. කිසිම මුදු හිනාවක් නෑ සර් මූණෙ රුදු හිනාවක් මිස. ”

‘‘මේ සමාජෙ ජීවත් වෙන්න ඉතින් එහෙම  නැතුවත් බැහැනෙ නැද්ද මුදුහසී. මන් කැමතියි  මේ මුදුහසී දුවගෙ රුදු හිනාවට පාත්‍ර වෙච්ච ඔය පුතාගෙ නමත් දැන ගන්න. ”

‘‘අනේ සර් ඒ අසරණයා වන මගේ නම නදීර. ”

නදීර තමා පිළිබඳ වන ඒ හැඳින්වීම ඉදිරිපත් කෙළේ ගඟුල් පමණක් නොව මුදුහසී මෙන් ම පන්තියේ අනෙකුත් සිසු දරු දැරියන්ගේ මුහුණු වෙත සිනා මල් කැන්දවමිනි.

‘‘දැන් අපි ආයෙත් යමුකො මේ මුදුහසී දුව මතු කරපු ප්‍රශ්නෙට. එයා ඇහැව්වෙ දේශපාලනඥයා අර්ථ දක්වන්නෙ කොහොම ද කියලා. මන් මෙතෙන්දි ඒකට භාෂාව පැත්තෙන් උදව් කරගන්න පුළුවන් කාරණයක් කියන්නං. සංස්කෘත භාෂාවෙ තියෙනවා ඥා කියලා ධාතුවක් දැන ගන්නවා - දැනගැනීම කියන අර්ථයේ යෙදෙන. දැන් අර ඉස්සෙල්ල අපි කතා කරපු භාෂා නිරුක්තියි තමන් මෙතෙක් ඉගෙන ගත්ත විෂය කරුණුයි පදනම් කරගෙන මම කැමතියි අර කලින් කතා කරපු පුතාලා දෙන්නත් ඇතුළුව දේශපාලන විද්‍යාව හදාරන කවුරු හරි පුතෙක් හරි දුවක් හරි දේශපාලනඥයා කියන්නෙ කවුද කියලා අපට පැහැදිලි කරලා දෙනවනං.”

‘‘සර් ඊ්ට ඉස්සෙල්ල මන් පොඩි බාධා කිරීමක් කළාට කමක් නැද්ද?”

‘‘ඔව් නදීර ප්‍රශ්නයක් තියෙනව නං අහන්න.”

‘‘සර් දැන් පාවිච්චි කළා භාෂා නිරුක්ති කියලා වචනයක්. භාෂා කියන එක ගැනනං මන් හිතන්නෙ අපි හැම කෙනෙකුටම වගේ අදහසක් තියෙනවා. මොකක් ද සර් මේ නිරුක්ති කියන්නෙ?”

‘‘අපේ නදීර බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහැව්වෙ. සරල ව කිව්වොත් භාෂාවක මුල් හොයාගෙන ගිහින් ඒ ඒ වචනවල තියෙන නිවැරදි අර්ථ දැක්වීමට තමයි නිරුක්ති දක්වනවා කියන්නෙ. අපි ඉස්සෙල්ලම මේ නිරුක්ති කියන වචනෙ නිරුක්තිය පැහැදිලි කරගෙන ඉම්මු. මේ වචනෙ හැදෙන්නෙ නිෂේධාර්ථයේ ඒ කියන්නෙ  නැත යන අර්ථයේ හරි විශේෂාර්ථයේ හරි යෙදෙන නිස් කියන උපසර්ගය මුලින් යෙදිලා  කතා කිරීම, කීම කියන අර්ථයේ යෙදෙන වච් ධාතුවෙන් හැදෙන උක්ති කියන වචනයයි එකතු වෙලා. උක්ති කියන වචනයෙ තියෙන්නෙ  කී දෙය, කියන ලද්ද වගේ ගන්න පුළුවන් තේරුමක්. එහෙම බැලුවහම මොකක් හරි වචනයක් අරගෙන කොටස්වලට කඩලා විශේෂයෙන් අර්ථ දක්වන එකට නිරුක්ති අර්ථ දැක්වීම කියලා කියන්න පුළුවන්. දැන් ඔයගොල්ල දේශපාලනඥයා කියන එක අර්ථ දක්වන්නකො එහෙනං.”

මෙසේ කියා පන්තිය දෙස බැලූ ගඟුල්ට දක්නට ලැබුණේ චන්දුල ශිෂ්‍යයා කුමක්දෝ කියන්නට මෙන් සැරසී මිනුද දෙස බලා යළි නිහඬ වන ආකාරය යි.

‘‘ඔව් චන්දුල, ඔයා කතා කරන්න නේද හැදුවෙ. බය නැතුව කියන්න හදපු දේ කියන්න.”

‘‘නෑ සර් මන් මේ මිනුද එක්කත් කිව්වෙ ගැළපෙන්නැති උත්තරයක් උනොත් ඉස්සෙල්ල උනා වගේ අපිට පල් වෙන්න වෙයි ද කියන එකයි. ”

සිය හිස කසමින් මෙසේ පැවසුවේ චන්දුල යි.

‘‘කවුද පුතා ඔයගොල්ල පල් උනා කියලා කියන්නෙ. ඔය ගොල්ල දුන්නෙ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න දරුවන් හැටියට මන් අහපු ප්‍රශ්නෙට තමන් නිවැරදියි කියල හිතපු උත්තර. ඒක අර ප්‍රශ්නෙට තියෙන නිවැරදි ම උත්තරය නොවුණත් දේශපාලන විද්‍යාව පිළිබඳ ව තියෙන හොඳ විග්‍රහ. මන් හිතන්නෑ මේ කිසි කෙනෙක් ඉදිරියෙ ඔයගොල්ලන්  පල් උනා කියලා. මට හිතෙනවා චන්දුල මේ වෙලාවෙ නං ඔයාගෙ හිතට ඇවිල්ල තියෙන්නෙ අදාළ උත්තරයයි කියලා. කියන්න පුතා දැන් ඔයා කියන්න හදපු දේ.”

‘‘එහෙනං මන් කියන්නං සර්, සර් කියපු වචනාර්ථ පදනම් කරගෙන අපි හිතන දේවලුත් දාලයි සර් මේ ටික කියන්නෙ. හැබැයි මන් දන්නෑ මේක කොච්චර දුරකට හරි ද කියලා. ”

‘‘තමන් කියන්න යන දේ ගැන විශ්වාසයක් ඇති ව කතා කරන්න පුතා. ඒක හරි ද වැරදි ද කාරණේ ගැන අපි පස්සෙ බලමු.”

‘‘හොඳයි සර්, දේශපාලනඥයා කියල කියන්න පුළුවන් වෙන්නෙ යමක ඇති සැටිය අවබෝධ කරගෙන දේශය කියලා සලකූණු කරල තියෙන භූමිය ආරක්ෂා කිරීමට, රැකබලා ගැනීමට, පිළිවෙළකට තබාගැනීමට ඒ වගෙම පාලනය කිරීමට දන්නා තැනැත්තාට යි. මේ විදිහට කල්පනා කළහම සර් අපිට මේ දේශපාලනඥ කියන වචනෙ පාවිච්චි කරන්න පුළුවන් තමන්ගෙ දේශයට ආදරය කරමින් ඒක රැකබලා ගෙන, එහි අභිවෘද්ධියට කටයුතු කරන අයට විතරයි.  එහෙම හැඟීමක් නැතුව දේශපාලනේ කරන අය දේශපාලනඥයන් කියලා හඳුන්වන එකත් වරදක් කියලයි මට හිතෙන්නෙ.”

ගඟුල් හුනස්නෙන් නැගිට ඉහත පිළිතුර දුන් ශිෂ්‍යයා වෙතට ගමන් කෙළේ ය. අනතුරුව එතැන සිට මුළු පන්තියට ම ඇසෙන සේ කතා කෙළේ ය.

‘‘චන්දුල, ඔයා පුතා දුන්නෙ භාෂාත්මක පැත්තෙන් ගත්තත් නිර්මාණය වෙන්න ඕන කරන සමාජය පැත්තෙන් ගත්තත් ලෝකයට ඕන කරන නිවැරදි උත්තරේ. මෙච්චර හොඳ උත්තරයක් ළඟ තියා ගෙන ද පුතා ඔයා නිහඬ ව ඉන්න හැදුවෙ. ඒ විතරක් නෙමෙයි අද මම කතා කරන්න හිතාගෙන ආපු දේවලුත් කතා කරන්න අවශ්‍ය කරන වේදිකාවක් තමයි ඔයා නිර්මාණය කරලා දුන්නෙ. බලන්න මේ මගෙ අතේ තියෙන පොත.  ඒක ලියෝ ටොල්ස්ටෝයි කියන සුප්‍රකට රුසියානු සාහිත්‍යධරයා ලියපු නවකතාවක්. ඒකෙ නම ඇනා කැරනිනා. දැනටමත් මේ පොත කියවපු අය ඔයගොල්ලො අතර ඇති. කියවලා නැති අය හොයාගෙන කියවන්න. නිවැරදි සිංහලයෙන් පරිවර්තන කරපු මුනිදාස සෙනරත් යාපා මහත්තයා මේක සිංහලට දාලා තියෙනවා. ඒකෙ එක තැනක පාර්ලිමේන්තුව ගැන මෙහෙම ප්‍රකාශයක් තිනෙවා.”

‘‘අද කොයි මන්ත්‍රණ සභාවත් කෙළි මඬලක් වෙලා තියෙනවා.අපේ නියෝජිතයන් එතැනට වී සෙල්ලම් කරනවා.මේ සෙල්ලම් බලා විනෝද වීමට තරම් මම මහලු හෝ ළපටි හෝ නැහැ. අනෙක් අතට ආණ්ඩු සභාවට පත්වීම ලෙහෙසියෙන් මුදල් ඉපයීමේ මාවතක් වෙලා තියෙනවා. ඉස්සර නම් මහන්සි නොවී මුදල් ඉපයීමේ මාවතක් වෙලා තිබුණේ බූදල්වල භාරකාරයකු වීම සහ විනිශ්චයකරුවන් වීම යි. එහෙත් අද ඒ වෙනුවට තිබෙන්නේ පළාත් ආණ්ඩු සභා. පළාත් ආණ්ඩු සභා නියෝජිතයන් අල්ලස් ගන්නවා යයි මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් ලබන පඩිය ඩහදිය මහන්සියෙන් හම්බ කරන මුදලක් නොවේ.”

‘‘සර් ඔය කියමන එදාටත් වැඩිය ගැළපෙන්නෙ අදටනෙ.”

‘‘ඇත්ත නදීර මටත් හිතෙන්නෙ ඒ අතීත තත්ත්ව අපි ජීවත් වෙන වර්තමානෙ වෙන කොට වඩාත් බරපතල වෙලා කියල යි. ”

‘‘සර් ඔය වගෙ කියමන් තවත් ඇතිනෙ සාහිත්තියෙ.”

‘‘ඕන තරං තියෙනවා මුදුහසී, මීටත් වඩා උත්ප්‍රාසාත්මක ප්‍රකාශ තියෙන පොතක් තමයි චාල්ස් ඩිකන්ස්ගෙ පික්වික් පේපර්ස් කියන පොත. ඒකෙ හොඳ සිංහල පරිවර්තනයක් තියෙනවා ලෝක විචාරය කියලා. මට මතක හැටියට ඒක සිංහලට දැම්මෙ ජිනදාස ලේල්වල මහත්තයා. එතුමාත් අපිට හිටපු හොඳ පරිවර්තකයෙක් තමයි.”

‘‘සර් මට ආයෙත් ප්‍රශ්නයක් තියෙනව අහන්න. සර් කිව්වනෙ ඔය පොතේ තියෙනව කියල උත්ප්‍රාසාත්මක ප්‍රකාශ. ඇත්තටම මොකක් ද සර් ඔය උත්ප්‍රාසාත්මක කියන වචනෙ හරි තේරුම.”

‘‘සර්, සර්ට බේරුමක් වෙන්නෑ මේ නදීරගෙන් වචනවල අර්ථ කියලා.”

‘‘නෑ එහෙම හිතන්න එපා පුතා. නදීර හොඳ ප්‍රශ්නයක්නෙ ඇහැව්වෙ. අපි ගොඩක් වෙලාවට වචන පාවිච්චි කරනවා ඒවයෙ තේරුම ගැන හරි අවබෝධයක් නැතුව. තේරුම දැනගෙන පාවිච්චි කළොත් තමයි අපි කියන අදහස නිවැරදි ව සමාජගත කරන්න පුළුවන් වෙන්නෙ. ඔය නදීරගෙ ප්‍රශ්නෙම මටත් ආවා මම සෙකන්ඩ් ඉයර්රෙකේ ඉන්න කොට. එතකොට මට විශ්වවිද්‍යාලෙදි ආපු ප්‍රශ්නෙ ම අපේ නදීරට එනවා උසස්පෙළ පන්තියෙදි. කාටද පුළුවන් එහෙම වෙන එකේ ඒකෙ තේරුම කියන්න.”

‘‘සර්, ඒකෙ තේරුම නදීර අඩු වයසෙදි ම පඬියා වෙන්න හදනවා කියන එක.”

සරිත්ගේ කතාවට පන්තියේ බොහෝ දෙනා සිනාසුණත් ගඟුල් ඊට පිළිතුරු දුන්නේ  බැරෑරුම් ස්වරූපයෙනි.

‘‘සරිත්ගෙ ප්‍රකාශය හරි, හැබැයි උපහාස අර්ථයෙන් නෙමෙයි, ඒ වචනවලට අයිති සත්‍ය අර්ථයෙන්.”

‘‘ඒ කියන්නෙ සර්?”

‘‘ඒ කියන්නෙ ගුරුවරයා අවුරුදු තුන හතරක් පහුවෙලා අහපු ප්‍රශ්නෙ ම ශිෂ්‍යයා අවුරුදු තුන හතරකට කලින් ඇහැව්ව කියන එකයි.”

‘‘ඒත් මට තවම සර් කියන එක හරියට පැහැදිලි නැහැ. ඒ කියන්නෙ සර් අනිත් අයට කොහොම වෙතත් මට.”

‘‘තවදුරටත් පැහැදිලි කළොත් සරිත්, ශිෂ්‍යයා ගුරුවරයාට ඉදිරියෙන් ඉන්නව කියන එක. තවත් විදිහකට කිව්වොත් නදීර කියන ශිෂ්‍යයා ගඟුල් කියන ගුරුවරයට වඩා ඉස්සරහින් ඉන්නව කියන එකයි.”

ශිෂ්‍ය ප්‍රජාව මවිත වූ දෑස්වලින් බලා සිටියදී ය, ගඟුල් යළි කතා කෙළේ.

‘‘දැන් අපි යමුකො අපේ නදීරගෙ ප්‍රශ්නයට. මන් එදා ඔය ප්‍රශ්නෙ ඇහැව්වහම අපේ සර් දුන්න උත්තරේම කියන්නංකො. උත්ප්‍රාස කියන වචනෙ හැදෙන්නෙ ඉහළට, උඩට යන අර්ථ දෙන උත් කියන උපසර්ගය යි ඉදිරියට, විශේෂයෙන් වගේ අර්ථ මතු කරගන්න පුළුවන් ප්‍ර කියන උපසර්ගය යි මුලින් යෙදිලා වීම, වෙනවා කියන අර්ථ දෙන අස් ධාතුවෙන්. එහෙම බැලුවහම උත්ප්‍රාස කියන්නෙ සාමාන්‍ය වීමකට වඩා විශේෂ වීමකට. ඒ වගෙම සාමාන්‍ය කියමනකට එහා ගිය විශේෂ කියමනකට තමයි අපට කියන්න පුළුවන් වෙන්නෙ උත්ප්‍රාසාත්මක එහෙම නැත්තං උත්ප්‍රාසය ආත්ම කොට ගත් ප්‍රකාශයක් කියලා. දැන් ඇත්තටම  හොඳ චරිතයක් ගැන කියද්දි අපි කියනවනෙ එයා හරි නිහතමානි කෙනෙක්, එහෙම නැත්තං ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. එතකොට ඒ වචනවලින් කියන අර්ථයම තමයි අහන කෙනා ග්‍රහණය කරගන්නෙ. අපි එහෙම නොවෙන කෙනෙක් ගැන කියද්දි ඒ නිහතමානි කියන වචනෙම ගන්නවා, ඒ ශ්‍රේෂ්ඨ කියන වචනෙම ගන්නවා උත්ප්‍රාසාත්මක තේරුමක් දෙන්න. එහෙම අරගෙන මෙහෙම කියනවා.”

‘‘අනේ මොකට කියනවද එයාගෙ නිහතමානිකම.”

‘‘අනේ එයාගෙ අපි නොදන්න ශ්‍රේෂ්ඨකම.”

‘‘සර් ඒ වාක්‍ය දෙකේ තියෙන්නෙ මහ උපහාසාත්මක ගතියක්නෙ. ”

‘‘අන්න හරි, මේ දුව මෙතෙන්දි පාවිච්චි කළා අපිට ඕනෙම කරන වචනෙ, උපහාසාත්මක කියන. උත්ප්‍රාසාත්මක දෙයත් එක්ක බොහෝ දුරට උපහාසය මුසු වෙලයි තියෙන්නෙ. ඒ වචනෙ කියපු දුවගෙත් නම දැනගන්න කැමතියි මම.”

‘‘සර් මම නිලාශා”

‘‘සර් කියලා වැඩක් නෑ සර් අද තමයි මට ඔය උත්ප්‍රාසෙ කියන එක හොඳටම තේරුණේ.”

‘‘සර්, අර ඩිකන්ස්ගෙ පොත ගැන විස්තර කියන්න හම්බ උනේ නැහැනෙ.”

‘‘ඒ පොත එක්දාස් අටසිය ගණන්වල ලියැවෙච්ච පොතක්. ඒ උනාට ඒකෙ තියෙන කරුණු දරුවනේ වර්තමානයටත් වලංගුයි. මේ වර්තමාන දේශපාලන පක්ෂ මොකක් හරි පාටක් තමන්ගෙ පක්ෂෙ පාට කරගෙන තියෙනව වගේ ඒ කාලෙ තමන්ගෙ පක්ෂෙ පාට කුඩ අරන් ගියා කියලා සඳහනක් තියෙනවා. ඒ වගෙම සමහර දේශපාලනඥයො පාරෙ යන ගමන් මග දි දකින අම්මලගෙ අතේ ඉන්න දරුවො උදුරගෙන වගේ අරගෙන හුරතල් කරනවා කියලත් තියෙනවා.”

‘‘මාරයිනෙ සර්, මේ අද වෙන වැඩමනෙ එදත් වෙලා තියෙන්නෙ.”

‘‘ඉතිහාසෙ වෙච්ච දේවල් ම තමයි වර්තමානයෙදි නැවත නැවතත් වෙන්නෙ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙන්නෙ ඒකනෙ නදීර. මම හිතන්නෙ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ එක ශිෂ්‍ය කණ්ඪායමක් විතරක් නෙමෙයි. රටක මුළු ජනතාවට ම මේ දේශපාලන අවබෝධය ලැබෙන වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෙ. මොකද අවුරුදු දහඅට පැන්නට පස්සෙ ඒ හැම කෙනෙක් ම ඡන්දදායකයෙක්නෙ.”

‘‘සර්, රටේ කොහොම වෙතත් අපේ පන්තියෙ අයගෙවත් නැහැනෙ ඒ ගැන උනන්දුවක්. ඔය දැන් සර් එක්ක බොහොම උනන්දුවෙන් කතා කරන පඬිතුමත් හැදුවෙ මේ පන්තිය කට් කරන්න.”

‘‘කවුද මේ අපේ නදීර ද?”

‘‘බලන්න සර්, කේලාම් කීම, පන්ති සගයන් පාවාදීම ආනන්තරිය පාප කර්මෙටත් වඩා බරපතල පාපයක් බව මේ මුදුහසීලට තේරෙන්නෙ නැති හැටි.”

‘‘මම කේලම් කිව්වෙත් නැහැ, කවුරුවත් පාවලා දුන්නෙත් නැහැ. මන් කිව්වෙ ඇත්ත.”

‘‘12 බී එක වගේම වැඩ කරන්න ආසා හිතෙන පන්තියක් තමයි මේකත්. ඒකෙ වගෙම මේකෙත් තියෙනවා රණ්ඩු. හැබැයි ඒවා ආදරණීය රණ්ඩු.”

‘‘අනේ සර්, අපිට තවත් දේශපාලනය ගැන තියෙන කියමන් කියන්නකො.”

‘‘මේක අපි දැන ගත්තෙ අපේ විශ්වවිද්‍යාලෙ උගන්නපු ආරියපාල පෙරේරා මහාචාර්යතුමාගෙන්.සර් දවසක් කිව්වා බර්ට්‍රන්ඩ් රසල් කියන පඬිවරයගෙ ප්‍රකාශයක්. එතුමා කියල තියෙනවා දේශපාලනය කියන්නෙ තක්කඩින් සඳහා ඇති ක්‍රීඩාවක් මිස මහත්තුරුන්ගෙ ක්‍රීඩාවක් නෙමෙයි කියලා. රසල්ගෙ වචනවලින් ම ඒක කියල තියෙන්නෙ මෙහෙම යි. ”

‘‘Politics is a dirty game for the rascals; not for the gentlemen.

‘‘සර්, මට නං බෑ ඒ ප්‍රකාශෙට එකග වෙන්න කවුරු කිව්වත්. ඒකෙන් තහවුරු වෙන්නෙ හැමදාම දේශපාලනය කපටින්ට කරන්න ඇරලා හොඳ මිනිස්සු පැත්තකට වෙන්න කියන එකනෙ.”

‘‘දුලාරා දුව, ඔයා කියන එකට මමත් එකග යි. ආචාර්ය අදිකාරම්තුමා ඔය නායකයා සහ අනුගාමිකයා ගැන හොඳ කතාවක් කියනවා. එතුමා කියන්නෙ කපටිකම නැතුව නායකයෙක් වෙන්න බැහැ. ඒ වගෙම මෝඩකම නැතුව අනුගාමිකයෙක් වෙන්නත් බැහැ කියලා.”

‘‘ඒකත් හරි අපූරු කතාවක්නෙ සර්.”

‘‘ඒ අපූරු කතාව එතනින් ඉවර නැහැ දරුවනේ. එතුමා තවදුරටත් කියන්නෙ මේ නිසා නායකයා හැම තිස්සෙම කරන්නෙ අනුගාමිකයන්ගෙ මෝඩකම තහවුරු කරන එක බව. ඒ වගෙම තමන්ගෙ මෝඩකම නිසා අනුගාමිකයො හැමදාමත් අර කපටි නායකයන්ට රැවටෙනවා. මේක නිසා අපි එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි රටක මුළුමහත් ජනතාවම දේශපාලනය ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබන්න ඕනෙ. අන්න ඒ දැනුම සමාජය වෙත ගෙන යන වාහකයො වෙන්නෙ ඔයගොල්ලො. මම විශ්වාස කරනවා මෙතනදි අපට ඒ ඒ භාෂා සාහිත්‍යයන්ගෙන් ලබාගන්න පුළුවන් එළිය සුළුපටු නොවන බව. සංස්කෘත සාහිත්‍ය ග්‍රන්ථයක් වන සුභාෂිතරත්නාවලියෙ තියෙනවා හරි ලස්සණ අර්ථවත් ප්‍රකාශයක්. මන් කැමතියි ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න.

‘‘තමන්හට වරදක් කළත් නොකිපෙන, කරුණාවෙන් යුතු ව ඒ තැනැත්තාටත් පිළිසරණ වන, කාගෙන්වත් උදව් උපකාර සැලකිලි කිසිවක් ප්‍රාර්ථනා නොකරන, චාම් ගති ඇති අය දේශපාලනයට සුදුසු ය.”

‘‘සර්, සංස්කෘත සාහිත්යෙ තවත් ඔය වගෙ කියමන් තියෙනව ද?”

‘‘මොකද නැත්තෙ දරුවනේ ඕන තරං තියෙනවා. අපි හැරෙමු රාමායණය දිහාවට. වාල්මීකී ඍෂිවරයා ලිව්වයි කියන, ශ්ලෝක විසිහතරදාහක් තියෙන ඒ සංස්කෘත වීරකාව්‍ය ග්‍රන්ථයෙන් නූතන දේශපාලනඥයන්ට ගන්න පුළුවන් උපදේශ ගොඩක් තියෙනවා. ඒ උපදේශ හරියට ක්‍රියාත්මක කරන පාලකයෙකුට තමනුත් රැකිල තමන් පාලනය කරන රටත් ආරක්ෂා කරගන්න පුළුවන්.”

‘‘ඉතින් සර්, රාජ්‍ය පාලකයො සංස්කෘත දන්නෙ නැහැනෙ. කෙනෙක් කොහොම ද තමන් නොදන්නා දෙයකින් උපදෙස් ගන්නෙ. ”

ඒ ප්‍රශ්නය නැගුවේ පන්තියේ දී සාමාන්‍යයෙන් ප්‍රශ්න නොනගන සුනෙත් නම් ශිෂ්‍යයා ය.

‘‘සර්, මේ සුනෙත් හිටපු ගමන් දාන්නෙ ඔය වගේ ගොන් ප්‍රශ්නයක්. ඔය වගේ ප්‍රශ්න අහලා මේ පන්තියෙ ඉන්නෙ මැට්ටො කියන වචනෙ ගුරුවරුන්ගෙන් අහගෙන, අපි ඔක්කොමත් ලැජ්ජාවට පත් කරල, අපේ පන්තිය තමයි මේ ඉස්කෝලෙ තියෙන මැටිමෝල් පන්තිය කියන සම්මානෙ අරන් දෙන්න ලොකුම දායකත්වයක් ලබල දෙන ලොකුම පඬිතුමා තමයි අපේ මේ සුනෙත්.”

නදීරගේ ප්‍රකාශයත් සමග පන්තිය පුරා නැගෙන මහත් සිනාහඬ අභිභවා යන හඬකිනි, ගඟුල් ඊට පිළිතුරු දුන්නේ.

‘‘ළමයිනේ මෙතන හිනාවෙන්න කිසිම කාරණයක් නැහැ. ලැජ්ජා වෙන්න කාරණයක් විතරයි තියෙන්නෙ.”

‘‘ඒක තමයි සර් අපිත් කියන්නෙ. ගුරුවරයා ඉස්සරහ අපේම යාළුවා මුළු පන්තියම ලැජ්ජාවට පත් කරන ප්‍රශ්නයක් නේද  ඇහැව්වෙ කියන එක. ”

සිය ගුරුවරයාගෙන් ද තමාගේ ප්‍රකාශය තහවුරු ව ගියේ ය යන හැඟීමෙන් ඔද වැඩුණු නදීර ශිෂ්‍යයා කීවේ ය.

‘‘නෑ පුතා ලැජ්ජ වෙන්න ඕනෙ ඒ ප්‍රශ්නය අහපු සුනෙත් නෙමෙයි. දැන් වගෙම කලිනුත් මේ වගෙ ප්‍රශ්නයක් අහපුවහම ඒකට උත්තරයක් නුදුන් අයයි, ඒ වෙලාවෙ හිනාවෙච්ච අයයි.”

‘‘සර් එහෙනං මන් තවත් ප්‍රශ්නයක් ඇහැව්වට කමක් නැද්ද?”

‘‘අහන්න සුනෙත්, ශිෂ්‍යයො තමන්ගෙ ගුරුවරුන්ගෙන් නැත්තං කාගෙන් ද ඒවා අහන්නෙ. දන්න දෙයක් නං මම දැන් කියලා දෙන්නං. නොදන්න දෙයක් නං දන්න කෙනෙක්ගෙන් අහල ඇවිත් පස්සෙ කියල දෙන්නං. බය නැතුව අහන්න පුතා ඔයාගෙ ප්‍රශ්නෙ.”

‘‘සර්, ඇයි මේ වගෙ ප්‍රශ්න  අහන වෙලාවට මන් අහන්නෙ ගොන් ප්‍රශ්න යි කියලා සමහර ගුරුවරුන් වගේම අපේම සමහර යාළුවො  කියන්නෙ. අනේ සමා වෙන්න සර් මම මෙහෙම ඇහැව්වට දැනටමත් මට අර ඉස්සරහ ඉන්න සමාධි යි විදසි යි දෙන්නම රවනවා සර්ගෙන් ප්‍රශ්න අහනවට.”

‘‘ඒක ඉතින් ආදරේ රැවිල්ලක්නෙ. මේ ප්‍රශ්න කිරීම නිසා තමන්ගෙ ගුරුවරය අපහසුවට පත් වෙයි කියන කාරණෙත්, ඊටත් වඩා තමන්ගෙ සහෝදර ශිෂ්‍යයා ගුරුවරයාගෙන් අපහසුවට පත් වේවි කියන බයත් නිසා තමයි ඔය විදසිලා සමාධිලා රවන්නෙ. මන් දරුවනේ ඔයගොල්ලන්ට කැමතිත් ඒකයි. මේක ආදරයේ පන්තියක්. පටු අර්ථයකින් නෙමෙයි ආදරය කියන වචනෙ තියෙන තැකීම, සැලකීම, ගෞරව කිරීම කියන  ගැඹුරු අර්ථයෙන් ම ආදරයේ පන්තියක්. මේ ආදරේ අපි ලැබෙන හැම වෙලාවකදි ම අනිත් අයට බෝකරමු.”

‘‘අනේ සර්, සර් නං කවුරු කිව්වත් අපේ පන්තිය දාලා යන්නත් එපා අපි මොනවා ඇහැව්වත් අපිව දාලා යන්නත් එපා. අපිට හැම සර් කෙනෙක්ගෙන් ම හැම මිස් කෙනෙක්ගෙන් ම මෙහෙම බය නැතුව ප්‍රශ්න අහන්න බැහැ. සර්ට බැරිද අපේ මිස්ට අමතර ව අපිට දේශපාලන විද්‍යාව උගන්නන්න එන්න. අපේ මිස්ගෙන්වත් කවදාවත් ඉගෙන ගන්න ලැබිච්ච නැති දේවල්නෙ සර් අද මේ කිව්වෙ.”

‘‘කවදාවත් පුතේ ඔය සන්සන්දනේ නං කරන්න එපා. මට බැහැ ඔයගොල්ලන්ගෙ මිස්ගෙ හිස්තැන පුරවන්න. මම කාලයක් උපාධියට සිංහල ඉගෙන ගත්ත වගෙ ඔයගොල්ලන්ගෙ මිස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙදි ගෞරව උපාධියට කළේ දේශපාලන විද්‍යාව. එතුමියගෙ ඒ දේශපාලන විද්‍යා දැනුම ළඟ දි මම ළදරුවෙක් දරුවනේ. මතක තියාගන්න, ඔයගොල්ලන්ට මගෙන් දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන කවදාවත් පුළුවන් වෙන් නැහැ උසස්පෙළ කඩුල්ලෙන් පනින්න. ඔයගොල්ලන්ගෙ මිස් කියන්නෙ ඒ ඉසව්ව ජයගෙන විශ්වවිද්‍යාලෙට ගිහිල්ල පන්ති සාමර්ථයක් එක්ක ඒකෙනුත් සමත් වෙලා දැන් පශ්චාද් උපාධියටත් දේශපාලන විද්‍යාව කරන කෙනෙක්.”

‘‘අනේ සර් ආයෙත් දවසක අපේ පන්තියට එන්න.”

ඒ වූකලී පන්තියේ සමස්ත දරුවන්ගේ මුහුණුවල ලියැවී තිබූ ඉල්ලීම පන්ති නායිකා නිශිකා සිසුවියගේ මුවින් ප්‍රකාශයට පත් වූ අවස්ථාව යි.

‘‘මන් දුවේ පුතේ, මේ පන්තියෙන් යන්න ඉස්සෙල්ලා එක ඉල්ලීමක් කරනවා. ඒ තමයි තමන් දේශපාලන විද්‍යාව විෂයක් හැටියට කළත් නොකළත් ඒ දැනුමින් සන්නද්ධ වෙන්න කියන එක. ඊ ළඟට රටේ ඡන්දයක් එනකොට මෙතන ඉන්න ඔක්කොටම තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාවක් එනවා. එදාට කවුරුවත් කියන නිසා නෙමෙයි රටේ පවතින තත්ත්වය දිහා බලලා ඒ ඒ පක්ෂවල ඡන්ද අපේක්ෂකයන්ගෙ ගති ස්වභාව අවබෝධ කරගෙන තමන්ගෙ හෘදය සාක්ෂියට අනුව ඡන්දෙ පාවිච්චි කරන්න. ඒ වගෙම මේ රටේ ඡන්දදායකයො කියලා කියන්නෙ වෙන රටකින් මේ රටට ආනයනය කරන අය නෙමෙයි කියන අවබෝධය ඔයගොල්ලන්ට තිබෙන බව මම දන්නවා. අපේ රටේ ඡන්දදායකයො කියල කියන්නෙ ඔයගොල්ලන්ගෙ අපේ අම්මල තාත්තල අය්යල අක්කල නැන්ද මාමල ආව්විල සීයල මිස වෙනින් කවුරුවත් නෙමෙයි. අපි දරුවනේ වැරදි තීන්දුවක් ගත්තොත් ඒකෙ බලපෑම විඳින්න වෙන්නෙ ඔයගොල්ලො අපි කීපදෙනෙකුට විතරක් නෙමෙයි මුළු රටටම. ඒක නිසා තමන් ඉගෙන ගන්න නිවැරදි දෙය තමන් එක්ක එකට ඉන්න අනිත් අයටත් කියල දෙන්න. ඒ කියන්නෙ වැරදි දේ නෙමෙයි, නිවැරදි දේ සමාජයට බෝ කරන්න. කවදා හරි මේ රටේ විවිධ ක්ෂේත්‍රවල නායක නායිකාවො වෙන්නෙත් ඔයගොල්ලොම තමයි. සමහර විට මේ රටේ අනාගත රාජ්‍ය නායකයා හරි අනාගත රාජ්‍ය නායිකාව හරි වෙන කෙනා මේ මොහොතෙ මේ පන්තියෙ ඔය පුටුවක ඉඳන් ඉන්න කෙනෙක් වෙන්නත් බැරි නැහැ. එයා හරි කෙනා උනොත් රටේ මිනිස්සු එයාට අධ්‍යාපනේ දීපු මේ ඉස්කෝලෙටත් ආශිර්වාද කරාවි. එයාට උගන්නපු ගුරුවරුන්ටත් ගෞරව කරාවි. හැබැයි එයා වැරදි කෙනා උනොත් මේ ඉස්කෝලෙටත් ශාප කරාවි. එයාගෙ අම්ම තාත්තටත් දොස් කියාවි. ඒ විතරක් නෙමෙයි එයාගෙ ගුරුවරුන්ටත්....”   

එසේ කියා ගඟුල් බැලුවේ සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙස ය.

පහත සඳහන් පරිදි ඔහුගේ අවසන් නොකළ වාක්‍යය සම්පූර්ණ කරන ලද්දේ නදීර ශිෂ්‍යයා විසිනි.

‘‘එතකොට ගුරුවරුන්ටත් සොරිම තමයි නේද සර්.”

‘‘සොරි කියලා බේරෙන්න හම්බ උනොත් ලොකු දෙයක්. එයා වැරදි කෙනෙක් උනොත් මෙතෙක් සාමාන්‍යයෙන් උනේ නං එයාගෙ අම්ම තාත්තා විතරක් නෙමෙයි මුළු හත්මුතු පරම්පරාවම බැණුම් අහන එක.”

‘‘සර් ඇත්තටම බැරිද කෙනෙකුට රටේ ජනතාවගෙ ආදරය දිනා ගත්ත නායකයෙක් වෙන්න.”

‘‘මොකෝ පුතේ බැරි. ඒ ඒ අවස්ථාවලදි  රටේ රාජ්‍ය නායකයා වෙන්නෙ ඒ මොහොතෙදි ජනතාවගෙ ආදරය දිනා ගත්ත කෙනානෙ. අවාසනාවකට මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල වෙලා තියෙන්නෙ ඒ දිනා ගත්ත ආදරය පවත්ත ගෙන යන්න බැරි වෙච්ච එක.”

‘‘ඇයි සර් එහෙම වෙන්නෙ. .”

‘‘ඒක දරුවනේ එයාගෙත් අවාසනාව රටෙත් අවාසනාව. සංවේගජනක කාරණාව තමන්ගෙ අතට බලය ලැබුණට පස්සෙ මේ බලය තමන්ගෙ අතට ආවෙ කොහෙන් ද කියන එක ඒ අය අමතක කිරීම. එහෙම අමතක නොකරන නායකයගෙ ආරක්ෂාවට අමුතුවෙන් ආරක්ෂා හමුදා ඕනෙ කරන්නෙ නැහැ. ඒ රටේ ජනතාවම තමයි එයාව රකින්නෙ. එහෙම කෙනාව ආදරයෙන් රැකගන්න කියන ඉල්ලීම තියෙන බොහොම අර්ථවත් ශ්ලෝකයක් තියෙනවා සංස්කෘත සාහිත්‍යෙ.”

‘‘අනේ සර් ඒක අපිටත් කියන්නකො.”

‘‘අපොයි සර් ඒක කියනව වගේම මේ මුදුහසීට කියන්න අපි ඒක පාඩම් කරල එයාට පාඩම් දෙන්න අවශ්‍ය නැහැ කියන එකත්.”

‘‘මොකෝ සරිත්, මුදුහසී එහෙම කරන්න කියලා ඔයගොල්ලන්ට බල කරනව ද?”

‘‘බල කරන්නෙ නං නැහැ සර් ඒ උනාට එහෙම වෙන තැනට පාර කපනවා.”

‘‘ඒ කියන්නෙ එයා හොඳ නායිකාවක් කියන එකනෙ. මේ පන්තියෙ නායිකාවත් මුදුහසී ද?”

‘‘නිල වශයෙන් නායිකාව නං නිශිකා. ඒ උනාට සර් එයත් මෙයාට සරෙන්ඩර්.”

‘‘එතකොට නිශිකා නායිකාව. කවුද එතකොට පන්ති නායකයා.”

‘‘එහෙම කෙනෙක් නැහැනෙ සර්.”

‘‘ඒ කියන්නෙ තවම මේ පන්තියට නායකයෙක් පත් කරල නැහැ කියන එක ද?”

‘‘අය්යෝ ගඟුල් සර් තවම දන්නැද්ද ඒක. කොටින් ම කියනව නං හොඳට නරකට දෙකට කට ම ය කියනවා වගේ අපිට එක පන්ති නායිකාවක් මිස පන්ති නායකයෙක් නැහැ.”

‘‘මට ළමයිනෙ ඔයගොල්ලො කියන එක තවම හරියට පැහැදිලි නැහැනෙ.”

‘‘සර්, මේ ලොකු සර් එන්න ඉස්සර මේ හැම පන්තියකටම පන්ති නායකයෙක් වගේ ම පන්ති නායිකාවක් ඉඳල තියෙනවා. ඒත් අපේ ලොකු සර් ආවට පස්සෙ සර් තීරණය කරලා තියෙනවා මොකක් හරි පන්තියක නායකයා හරි නායිකාව වෙන්න වැඩියෙන් ම සුදුසු කවුද එයාව පත් කරන්න. ඒ විදිහට සමහර පන්තියකට ඉන්නෙ නායකයෙක්. සමහර පන්තියකට ඉන්නෙ නායිකාවක්. දැන් සර් සිංහල උගන්නන 12 බී එකට ඉන්නෙ පන්ති නායකයෙක්, අපිට නායිකාවක්.”

‘‘මන් ඇවිල්ල දැන් සති තුනකුත් උනා මට මට ඒක එච්චර නෝට් උනේ නැහැ.”

‘‘අපි මේ ටිකට සර් ගැන අහලා තියෙන දේවල්වල හැටියට සර්ට ඒක නෝට් වෙන්න ඕනෙ.  ඒ කොහොම උනත් සර් ඔය ක්‍රමේ පටන් ගත්ත මුල් දවස්වල ශිෂ්‍යයන් අතර විතරක් නෙමෙයි අපේ සමහර සර්ලා මැඩම්ලත් ඕකට විරුද්ධ වෙලා තියෙනවා. ගොඩක් දෙමව්පියන්ගෙනුත් විරෝධයක් ඇවිල්ල තියෙනවා.”

සිය විදුහල්පතිවරයා ගෙන ඇති තීරණය යෝග්‍ය නොවේ ද යන හැඟුම ගඟුල්ටත් දැනෙයි. සුදුසු මොහොතක එතුමන්ගෙන් ඒ ගැන විමසා තවදුරටත් කරුණු පැහැදිලි කොට ගත යුතු ය යනුවෙන් සිතන විට ය, පන්තියේ ශිෂ්‍යාවක් යළි කතා කරනු ඇසුණේ.

‘‘සර්, අර ශ්ලෝකය කියන්න හම්බ උනේ නැහැනෙ.”

‘‘හරි මන් දැන්  කියන්නංකො ඒකෙ අර්ථෙත් එක්ක ම. මොකද කට්ටියට මන් ගියාට පස්සෙ ඕක පාඩං කරලා අපේ මුදුහසීට පාඩං දෙන්නත් තියෙනවනෙ.”

ගඟුල් සිනා සී එසේ පවසා සිය ශිෂ්‍ය ප්‍රජාවට පද්‍යය කියා එහි අර්ථය ද පැහැදිලි කොට දුන්නේ ය.

‘‘යස්මින් කුලේ ය: පුරුෂ: ප්‍රධාන:  - ස සර්වයත්නෛ: පරිරක්ෂණීය: ”

‘‘යම් ප්‍රජාවකට යම් තැනැත්තෙක් නායකයා වෙයි ද සියලු ප්‍රයත්න යොදා ඔහු සැමතින් ම රැක ගත යුතු ය.” 

‘‘මොකද එහෙම කරන්න කියල තියෙන්නෙ එයා නැති උනොත් මුළු කුලය ම, මුළු ප්‍රජාව ම විනාශ වෙන්නත් පුළුවන් නිසා. හැබැයි අපි රැකගන්න ඕනෙ එයා සුදුසු නායකයෙක් නං විතරයි.”

‘‘සුදුසු නැත්තං මොකක් ද සර් කරන්න ඕනෙ.”

‘‘හරි ඉස්සෙල්ල ඔයගොල්ල මට කියන්න ඔයගොල්ලන්ගෙ තීරණේ.”

පන්තියේ තැනින් තැන සිය පිළිතුර දීම සඳහා අත් හත අටක් එසැවී තිබිණ.

‘‘ඔව් සරිත් මොකද කියන්නෙ.”

‘‘මන් නං කියන්නෙ සර් ගහල රටිනුත් පන්නන්න ඕනෙ.”

‘‘එතකොට මිනුද කියන්නෙ.”

‘‘මට නං හිතෙන්නෙ සර්, අපේ සරිත්ගෙ උත්තරේ තියෙන්නෙ අපේ ආවේග පිට කිරීමක් මිස ප්‍රශ්නෙට ඕන කරන උත්තරේ නෙමෙයි. අපේ දේශපාලනවිද්‍යා විෂය දෘෂ්ටි කෝණයට අනුව නං අපි කරන්න ඕනෙ ඒ නායකයා අධිකරණය ඉදිරියට කැඳවල එයාටත් අදහස් දක්වන්න අවස්ථාවක් දීලා ඒ ලැබෙන තීන්දුව ක්‍රියාත්මක කරන එක යි.”

‘‘මොකෝ මේ දුව අත උස්සගෙන ඉඳල එකපාරට ම අත පල්ලෙහාට දැම්මෙ.”

‘‘සර්, මටත් මුලින්ම හිතුණෙ සරිත් කියපු එකයි හරි කියලා. ඒත් මිනුද කියපු එක ඇහැව්වට පස්සෙ මටත් හිතුණෙ ඒක නේද වෙන්න ඕන දේ කියලා.”

‘‘සර්, මේ චමාශා හරියට ම අපේ ඡන්දදායකයො වගේමනෙ. කවුරු හරි අන්තිමට මොකක් ද කිව්වෙ ඒක තමයි හරි කියලා ඒකට අත උස්සනවා.”

‘‘යන්න නදීර යන්න. මම හිතපු දේට වඩා හොඳ දෙයක් මිනුදගෙන් කියැවෙච්ච නිසයි මම එහෙම කිව්වෙ. එහෙම නැතුව ඔයා හිතන විදිහෙ ඡන්දදායකයෙක් නං නෙමෙයි මන්.”

‘‘මන් හිතන්නෙත් දරුවනේ ඉස්සෙල්ල හරි පස්සෙ හරි නිවැරදි දේ කිව්වෙ කවුද ඒකයි අපි බාර ගන්න ඕනෙ.”

‘‘අපේ සරිත්ගෙන් කියැවුණෙත් සමාජෙ වැඩි පිරිසක් දරන අදහසක් වෙන්න පුළුවන්. ඒත් ඒක ක්‍රියාත්මක කළහම ඉදිරියෙ දි යහපතට වඩා වෙන්නෙ අයහපත නං අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙ නැහැ. මෙතෙන්දි මන් ඉන්නෙත් මිනුද ඉන්න තැන. ඒ වගෙම චමාශා එකග වෙච්ච තැන. කොටින් ම කිව්වොත් අපේ සරිතුත් තමන්ගෙම චර්යාවෙන් ඇත්තට ම ඉන්න තැන.”

‘‘සර් මට ආයෙත් ප්‍රශ්නයක් ආවා සර් දැන් කියපු දෙයත් එක්ක. සර් අවසර දෙනවා නං මන් කැමතියි ඒ ප්‍රශ්නෙත් අහන්න.”

‘‘අහන්න නදීක අහන්න අවසර තියෙනවා, අවසර තියෙනවා.”

ගඟුල් සිනාසෙමින් දෙවරක් ම සිය අවසරය ප්‍රකාශයට පත් කළ පසු නදීර කතා කෙළේ ය.

‘‘සර්, සර්ගෙ අවසරය දුන්නත් අපේ මුදුහසීගෙ රුදු බැල්ම මහ දරුණු විදිහට මන් දිහාවට යොමු වෙලා තියෙන තීරණාත්මක නිමේශයකයි මට කතා කරන්න වෙලා තියෙන්නෙ. මේකයි සර් ප්‍රශ්නෙ. රටේ නායකයන් ය කියා ගත්ත අය මෙතෙක් කරල තියෙනවයි කියපු වැඩ දිහා බලපුවහම මටත් සරිත් කියන එක කරන්න තමයි හිතෙන්නෙ. ඒ උනාට මිනුද කියන එක තමයි හරි.”

‘‘ඒ කියන්නෙ නදීර ඔයා අන්තිමට ක්‍රියාත්මක කරන්නෙ මිනුද කියපු දේ.”

‘‘ඔව් සර්, දැන් මගෙ ප්‍රශ්නෙට ආයිත් ගියොත් මිනුදයි චමාශයි අන්තිමට එක මතේක ඉන්නව කියන එක අපිට පැහැදිලියි. ඒත් සරිත් අර තරං පැහැදිලි ව තමන් කරන්නෙ මොකක් ද කියල තියෙද්දිත් කොහොම ද සර් අපි කියන්නෙ සරිත් ඉන්නෙත් මිනුදල ඉන්න තැනම කියලා.”

‘‘මෙතෙන්දි පුතා ඔයා පාවිච්චි කළානෙ වචනයක් අන්තිමට කියලා. හොඳයි අපි සරිත්ගෙන් ම අහල දැනගම්මුකො එයා අන්තිමට එන තැන. සරිත් දැන් කියන්න අර වගෙ දේශපාලකයන්ට මොකක් ද කරන්න ඕනෙ කියලා.”

‘‘මන් කිව්වෙ නං සර් ගහල රටිනුත් පන්නන්න ඕනෙ කියලා.”

‘‘හරි අපි මෙහෙම හිතමු. ඔයාට ඇත්තටම ඒකට ඉඩ ලැබෙනවා. අර කියපු දේශපාලනඥයොත් දැන් ඔයාගෙ ඉස්සරහින් ගෙනත් තියෙනවා. එහෙම තියල කියනවා දැන් ඔබේ අදහස ක්‍රියාත්මක කරන්න ඔබට කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ කියලා. ඔයා මොකද පුතා කරන්නෙ?”

සරිත් මොහොතක් නිහඬ ව සිටියේ ය; සිය හිස කැසුවේ ය; අනතුරු ව කතා කෙළේ ය.

‘‘අරෙහම කිව්වට ඇත්තට ම මට මනුස්සයෙක්ට ගහන්න බැහැ සර් කවුරු කිව්වත්.”

‘‘අන්න බලන්න දරුවනේ අන්තිමට සරිත් ආපු තැන. අන්න ඒ තමයි ඇත්ත සරිත්; අපිට දැනෙන සරිත්; අපිට ආදරේ හිතෙන සරිත්. අන්න ඒ සරිත්ලගෙන් තමයි අපේ අනාගත දේශපාලනඥයා නිර්මාණය වෙන්න ඕනෙ. අපේ අනාගත ඡන්දදායකයා නිර්මාණය වෙන්න ඕනෙ.”

‘‘සර් අපි ඔක්කොම අන්තිමට ගේන්නෙ හරි ම ලස්සන තැනකටනෙ.”

‘‘නෑ දුවේ මන් ගේනවා නෙමෙයි ඇත්තට ම ඔයගොල්ල අන්තිමට එන තැන. මේ අවාසනාවන්ත මිනිස්සුන්ට ගහන එක නෙමෙයි දරුවනේ වෙන්න ඕනෙ. තමනුත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන ගමන්, රටක් වාසනාවන්ත කරන්න පුළුවන් තරමේ බලයක් ලැබිච්ච මේ අයට වැරදුණේ කොතන ද කියල හොයන එක. අනාගතයෙදි ඒ වරද නොකරන අය බවට තමන් පත් වෙන එක. අපිට වෙන අයට ඇඟිල්ල දික්කරන එක පහසුයි, ඒත් අපහසු දේ අනික් අයගෙ ඇඟිල්ල දික්වෙන කෙනෙක් බවට තමන් පත් නොවෙන එක. අද ඇඟිල්ල දික්කරල පෙන්නන අයගෙ අවස්ථා තමන්ට ලැබුණොත් එදාටත් තමන් දරන නිවැරදි ස්ථාවරේ කෙනෙකුට ඉන්න පුළුවන්නං ඒක තමයි දරුවනේ වැදගත්.”

‘‘සර්, අපි දැන් අපිට තරහක් හිතේ තියෙන කෙනෙක් කරන වැරැද්දක් කියලා පේන දෙයක් දැක්කහම චෝදනා කරනවනෙ. ඒ උනාට අපිත් එක්ක එකටම ඉන්න කෙනෙක් ඒ වැරැද්දම කළහම අපිට අර හැඟීමම එන්නෙ නැහැනෙ. ඒ විතරක් නෙමෙයි සර් ඒ වැරැද්දම අපේ අතින් කෙරෙන කොට අපිට ඒක වැරැද්දක් කියල හිතෙන්නෙත් නැහැනෙ. ඇයි සර් එහෙම වෙන්නෙ.”

‘‘චමාශා, ඔයා දුවේ හරි අවංක ප්‍රකාශයක් කළේ. දරුවනේ ඔයාලගෙ පන්තියෙ ඉන්න ඔයාලගෙ මේ මිතුරියගෙ ප්‍රකාශෙ ඔයගොල්ල අපි කාටත් අපිට අපිවම දැක ගන්න ලැබෙන කමටහනක් කරගන්න පුළුවන්. ඔයා ඔහොම කතා කරන කොට මට මතක් වෙන්නෙ හරි ලස්සන බුද්ධ දේශනාවක්. මේක මගෙ ජීවිතේටත් ගොඩක් බලපාපු එකක්. ඉස්සර මමත් පුරුදු වෙලා හිටියෙ කෙනෙක්ගෙ වරදක් දැකපු ගමන් ඒක විවේචනය කරන්න. වරද කරපු කෙනාට අනිත් අයත් එක්ක එකතු වෙලා චෝදනා කරන්න. ඒත් දරුවනේ, මේ බුද්ධ වචනය මගේ ජීවිත කාලය තුළ මම හැසිරෙන්න ඕන විදිහ මට ම පෙන්නල දෙන කැඩපතක් උනා.”

‘‘සර්, සර්ගෙ ජීවිතේ වෙනස් කරපු ඒ කරුණු අපිටත් කියන්නකො අපේ පීරියඩ්ඩෙක ඉවර වෙන්න තව  ටිකක් වෙලාවත් තියෙන එකේ.”

‘‘හොඳයි දරුවනේ, අපි අපේ මේ ජීවිත කාලෙදි ගොඩක් දෙනාට මොකකට හරි චෝදනා කරනවා. එහෙම චෝදනා කරන අපිටත් ඇතැම් වෙලාවකදි අනික් අයගෙ චෝදනාවලට ලක්වෙන්න වෙනවා. ඒ කියන්නෙ චෝදක අපිට ම සිද්ධ වෙනවා චුදිතයා වෙන්න. මේ චෝදනා සහ චෝදකයා ගැන කරුණු හොයාගෙන යන කෙනෙකුට ඒ ගැන දැනගන්න තියෙන හොඳ පොතක් තමයි ත්‍රිපිටක සාහිත්‍යයට අයිති පරිවාරපාළි කියන පොත. විශේෂයෙන් ඒකෙ තියෙන අපරගාථා සංගණිකය කියන කොටසෙ තමයි මන් මේ  කියන කාරණා තියෙන්නෙ. බුදුහාමුදුරුවො අපිට කියනවා කෙනෙකුට චෝදනා කරන්න ඕනෙ එයාව හෙළා දකින්න නෙමෙයි කරපු වරද සිහි කරන්නයි කියලා. ඒ වගෙම උන්වහන්සේ අපිට කියනවා කෙනෙකුට චෝදනා කරන්න ඕනෙ කලබලයෙන් නෙමෙයි කියලා. ඊළඟට කියනවා ප්‍රචණ්ඩ භාෂාවෙන් චෝදනා කරන්න එපා කියලා. ආයෙත් කියනවා කුපිත වෙච්ච හිතකින් නෙමෙයි අපි චෝදනා කරන්න ඕනෙ කියලා.”

‘‘සර්, එහෙම කරන්න පුළුවන් ද කෙනෙකුට. මම නං සර් කවුරු හරි කෙනෙක් මට වැරැද්දක් කළොත් එයාව ඔක්කොම ඉස්සරහ පල්ම පල් කරල දාන්න තමයි හිතෙන්නෙ. ඒ වගේම ඒ වෙලාවට අපේ හිතත් සන්සුන් නැහැ හරි කලබල ගතියකින් තමයි තියෙන්නෙ. ඊළඟට අපි දන්න භාෂාවෙ තියෙන සැරම වචන ටික දාලා කේන්තියෙන් තමයි මන් එයාට බණින්නෙ.”

‘‘ඉතින් ඒ මොහොතෙදිත් ඔයා ඔයාවම දකිනවනෙ. ඒ කියන්නෙ අනික් කෙනාව පිරිස ඉස්සරහ පල් කරල දාන්න හිතුණ බව ඔයාම දකිනවා. තමන්ගෙ හිත සන්සුන්ව නෙමෙයි කලබලකාරි ගතියකින් තමයි තියෙන්නෙ කියන එක ඔයාම දකිනවා. ඊළඟට භාෂාවෙ තියෙන සැර  වචනවලින් තමයි මම බණින්නෙ කියන එකත් තමන්ම දකිනවා. ඒ කියන්නෙ ඔයාගෙ බැණීම තුළත් සතිමත් බව තියෙනවා.”

‘‘කොහොම ද සර් ඒක සතිමත් බවක් වෙන්නෙ.”

‘‘ඇයි තමන්ට කේන්ති ගිය බව තමන් ම දැකීම. ඔන්න ඔය දැකීමම තමයි දරුවනේ කෙනෙක් කේන්තියෙන් නිදහස් කරන්නෙත්. මොකද අපි කේන්තියෙන් කරන බැණ වැදීම ම තවත් කලකෝලාහලයකට මුල් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවො අපිට කියන්නෙ කලහ උපදවන කතා කරන්න එපා කියලයි. එහෙම අවස්ථාවක ඒක විසඳන්න වෙන නායකයට, විනිසුරුට උන්වහන්සේ කියනවා ඔබ චෝදකයා වගේම චුදිතයා දිහාත් මෛත්‍රී සිතින් බලන්න කියලා. අපි කියමු මේ පන්තියෙ දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති උනා කියලා. දැන් පන්ති නායිකාව වන නිශිකා දුවට ඉන් එක්කෙනෙක් ඇවිල්ල කියනවා මෙයා මේ විදිහෙ වරදක් කළා කියලා. එතකොට ඒ කියපු කෙනා චෝදකයා, අනිත් එක්කෙනා චුදිතයා. එහෙම වෙලාවක නිශිකා දුව මොකද කරන්නෙ.”

‘‘සර්,  මම ඉස්සෙල්ල චෝදනා කරන කෙනාට සවන් දෙනවා. ඊට පස්සෙ චෝදනා ලබපු කෙනා එක්කත් වෙනම කතා කරනවා. ඊට පස්සෙ ඒ දෙන්නම කැමතිනං ඒ දෙන්න එක තැනකට අරගෙන ඒ දෙන්න එක්ක ම සාකච්ඡා කරනවා. ”

‘‘මන් දුවට දැන් පොඩ්ඩක් බාධා කරලා මෙහෙම අහනවා. ඇයි පුතේ ඔයා පන්තියෙ අනික් යාළුවො ඉන්න තැනම කතා කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෙ නැත්තෙ.”

‘‘සර්, මම එහෙම කරන්නෙ නැත්තෙ ඒ දෙන්නගෙම ගෞරවය රකින්න ඕනෙ නිසා. පන්තියෙ අනික් අයගෙ ඔළුවලටත් මේක දාලා මේ ප්‍රශ්නය සංකීර්ණ කරගන්න එක හොඳ නැති නිසා.”

‘‘හරි දෙන්නම ඔයාගෙ විසඳුමට කැමති නැති උනොත් මොකද කරන්නෙ.”

‘‘එහෙම උනොත් මම කරන්නෙ දෙන්නගෙම කැමැත්ත අරගෙන අපේ පන්ති බාර මිස් ව ඒ කියන්නෙ නදී මිස් ව පෞද්ගලිකව ම හම්බ  වෙලා මේ ප්‍රශ්නය කියලා විසඳුමක් බලාපොරොත්තු වෙන එකයි.”

‘‘හරි ඒකත් අසාර්ථක උනොත්.”

‘‘ඒක අසාර්ථක වෙන්න තියෙන ඉඩ ගොඩක් ම අඩුයි සර්. මොකද නදී මිස් මට වඩා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. අනික මේ පන්තියෙ හැම කෙනෙක්ම මට වැඩියෙන් මිස්ට ආදරේ නිසා.”

‘‘සර්,  අපේ නායිකාව කියපු මුල් කාරණේ හරි කියලා අපි පිළිගන්නවා. ඒ උනාට දෙවෙනි කාරණේ නං වැරදියි.”

‘‘මොකක් ද සරිත් දෙවෙනි කාරණේ.”

‘‘ඇයි සර් අපේ නිශිකා කිව්වෙ අපි එයාට වඩා නදී මිස්ට ආදරෙයි කියලා. ඒක සර් සංශෝධනය වෙන්න ඕනෙ මෙහෙම. අපි සර්, නදී මිස්ට ගොඩක් ආදරෙයි. ඒ වගෙම අපේ නිශිකටත් ආදරෙයි. ඒ ආදරේ ම තමයි සර්  එයාව නායිකාව බවට පත් කළෙත්.”

පන්තියේ සියලු  හිස් එක්වර නැමී යාමෙන් ගඟුල් අවබෝධ කොට ගත්තේ සරිත්ගේ ප්‍රකාශය අන් සියලු  දෙනා විසිනුදු අනුමත කරන ආකාරය යි. මේ තරුණ ආදරණීයයන් දෙස දයාර්ද්‍ර බැල්මක් හෙලූ ගඟුල් යළිත් කතා කෙළේ ය.

‘‘වෙනවටම නෙමෙයි අපි හිතමු නිශිකා ඒකත් අසාර්ථක උනා කියලා. එතකොට මොකද කරන්නෙ.”

‘‘එතකොට නං ඉතින් ලොකු සර්ගෙ පිහිට තමයි. මන් අන්තිමට විශ්වාසෙ තබන තැන එතන. මන් දන්නවා මට ඉස්සෙල්ල ඒ තීරණේට එන්නෙ අපේ නදී මිස්.”

‘‘ඔයාට විශ්වාස ද දුවේ එතනින් විසඳුම එනවමයි කියලා.”

‘‘සර්, මන් මගෙ තාත්ත අම්ම ගැන ගොඩාක් විශ්වාසය තබන කෙනෙක්. මගෙ ජීවිතේ සම්බන්ධ ඕනෙම දෙයක් මන් ඉස්සෙල්ලම කතා කරන්නෙ ඒ දෙන්නත් එක්ක. ඊට පස්සෙ මගෙ පෞද්ගලික ප්‍රශ්නයක් උනත් මම කතා කරන්නෙ නදී මිස් එක්ක. අවශ්‍ය ම වෙලාවකදි ඒ ප්‍රශ්නෙ ලොකු සර්ට කියන්නත් මන් දෙපාරක් හිතන්නෑ. සර්  මන් මගෙ අම්ම තාත්තා ගැන වගේම, නදී මිස් ගැන වගේම, අපේ ලොකු සර් ගැන විශ්වාසය තබනවා. සර් ප්‍රශ්නෙ තියෙන දෙන්නටම නොරිදවල විතරක් නෙමෙයි ඒ දෙන්න ව ලොකු යාළුකමකින් බන්දවල තමයි නවතින්නෙ.”

තවත් කතා කිරීමට තරම් දෙයක් ඉතිරි ව නැති බව ය, ගඟුල්ට දැනුණේ. ඔහු සිය බුද්ධිමත් සිසු දියණිය දෙස මොහොතක් බලා සිටියේ මහත් ආදරයකිනි. මේ  නම්  අනාගත සමාජයේ නායකත්ව භූමිකාව දැරීමට සුදුසු ස්ත්‍රී රත්නයකි. අනතුරුව ඔහු කතා කෙළේ මුළු පන්තියේ ම සිසු දරු දැරියනට යි.

‘‘දරුවනේ, ඔයගොල්ලන්ගෙ නායිකාව හැටියට නිශිකව තෝර ගත්ත එක හරියට ම හරි. ඔයගොල්ලොත් හරි, ලොකු සර්රුත් හරි. පන්තියකට හරියන එක නායකයෙක් හරි නායිකාවක් හරි හිටියහම හොඳටම ඇති කියන එක ඔයගොල්ලො ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා, ගෑනු පිරිමි මල් පලතුරු සෙල්ලමට නොයා. ඇයි නදීර අත උස්සගෙන ආයෙත් ප්‍රශ්නයක් ද?”

‘‘සර්, මෙයා ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්නපත්‍ර පැට්ටේරියක්.”

‘‘කමක් නෑ, කමක් නෑ, ප්‍රශ්නයක්නං අහන්නකො නදීර.”

‘‘නෑ සර්, මන් මේ කල්පනා කළේ බුදුහාමුදුරුවො කියපුව තේරුන් අරගෙන තමන්ගෙ වරද පිළිගන්නෙ අවංක මිනිස්සුනෙ. එහෙම නොකරන චරිත ගැන බුදුහාමුදුරුවො මුකුත් කියලා නැද්ද සර් ඔය සූත්‍රේ.”

‘‘නදීර එය ඇසූ ආකාරයට සිනහ ගියේ පන්තියේ ශිෂ්‍ය ප්‍රජාවට පමණක් නොවේ. ශිෂ්‍යයන්ගේ සිනහව තමාට ද බෝ කොට ගත් ගඟුල් අනතුරුව සිය ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.”

‘‘නදීර ඒ ප්‍රශ්නෙ අහපු විදිහට අපි කාටත් හිනා ගියාට එයා ඇහැව්වෙ නං වැදගත් ප්‍රශ්නයක් තමයි. ඔව් නදීර ඔයාගෙ ප්‍රශ්නෙට ඒ සූත්‍රයෙම උත්තරයක් තියෙනවා. බුදුහාමුදුරුවො කියන හැටියට යමක් දැන තේරුම් අරගෙන ඒක නිවැරදි කරනවා කියලා ප්‍රතිඥා දෙන්නෙ ලැජ්ජ බය අඳුනන චරිත. අලජ්ජින්ට ප්‍රතිඥා අදාළ නැහැ. බුද්ධ වචනයට අනුව අලජ්ජීන්ගෙ ස්වභාවය තමයි දැන දැන වැරදි කිරීම, කරපු වැරදි හැංගීම. ඒත් ලැජ්ජ බය අඳුනන ප්‍රඥාවන්තයා දැන දැන වැරදි කරන්නෙත් නැහැ. නොදැනුවත්කමින් හරි වැරැද්දක් උනානං ඒක පිළිගන්න මැළි වෙන්නෙත් නැහැ.”

‘‘සමාජෙට අහුනොවෙන්න වැරදි කරලා තියෙන වංචනිකයෙකුට උනත් පුළුවන්නෙ සර් නිවැරදි කෙනෙකුට උනත් චෝදනා හදලා ඉදිරිපත් කරන්න. ”

‘‘ඔව් දුලාරා, ඔයා මතුකරන ප්‍රශ්නෙත් එක්ක අපිට මේ ප්‍රශ්නෙ දිහා වෙන ම දෘෂ්ටිකෝණයකින් බලන්න පුළුවන්. මේ සමාජෙ තව කෙනෙකුට චෝදනා කරන හැම කෙනාම නිවැරදි චෝදකයො නෙමෙයි දරුවනේ. එහෙම වැරදි විදිහට චෝදනා කරන අයට බුදුහාමුදුරුවො කියන්නෙ අධර්ම චෝදකයො කියලා. ඒ ගොල්ලො කෙනෙකුට චෝදනා කරන්නෙ සුදුසු වෙලාවෙ නෙමෙයි. ඒ වගෙම ඒ අය කරන්නෙ අභූත චෝදනා. ඊළඟට ඒ අය කිසිම අර්ථයක් නැතුව පරුෂ වචනයෙන් තමයි චෝදනා කරන්නෙ. ඒ විතරක් නෙමෙයි ඒ අය ඒ වැඩේ කරන්නෙ ද්වේෂයෙන්. ඒ අයට ඕනෙ කරන්නෙ තමන්ගෙ ආවේග පිට කරන්න, තමන් අකැමැති චරිතයකට රිදවන්න මිසක් වැරදි කරපු අය වැරදිවලින් මුදව ගන්න නෙමෙයි.”

‘‘ඉතින් සර් බුදුහාමුදුරුවො කියලා ඇතිනෙ හරියට චෝදනා කරන්න ඕන විදිහත්.”

‘‘ඔව් නිශිකා, උන්වහන්සේ අපිට කියලා දෙනවා ධර්ම චෝදකයා ගැනත්. සමාජයක් නිවැරදි දිසාවට යොමු කරගන්න අවශ්‍ය කරන්නෙ මේ ධර්ම චෝදකයො.  ඒ අයත් චෝදනා කරනවා, හැබැයි නිසි වෙලාවට. කොයි වෙලාවකවත් ධර්ම චෝදකයා කෙනෙකුට අභූත චෝදනා කරන්නෙ නැහැ. එයා මෘදු වචනවලින්, ද්වේෂයක් නැතුව, මෛත්‍රියෙන් තමයි තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කරන්නෙ. එයාට අවශ්‍ය කරන්නෙ වැරදි කරපු අය ඒවයින් මුදව ගන්න මිසක්  ඒ අය හෙළා දකින්න නෙමෙයි. මේ සූත්‍රෙ තවත් වැදගත් කරුණු තියෙනවා. අපි ඉඩ ලැබිච්ච වෙලාවක ඒවත් කතා කරමුකො.”

‘‘සර්, මන් මේ කල්පනා කළේ ඔය කියන විදිහට බැලුවහම කෙනෙකුට චෝදනා කරන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයිනෙ”.

‘‘ඔව් පුතා, ඔය සූත්‍රෙ පළවෙනි වතාවට කියවපු දවසෙ මට හිතුණෙ අපේ මේ ජීවිත කාලෙදි අපි අනික් අයට එල්ල කරන එල්ල කරපු චෝදනා කොච්චරක්නං දුරට සාධාරණ ද කියන එක. මේ බුද්ධ වචන දරුවනේ මට මාවම බලා ගන්න තියෙන කැඩපතක් උනා. මන් ඔය ගොල්ලන්ගෙන්  ඉල්ල හිටින්නෙත් අද අපි කතා කරපු දේවල් අපේ දැනීමක් විතරක් කරගන් නැතුව ජීවිතය දකින කැඩපතක් කර ගන්න කියලයි. ”

මෙසේ පවසා එම පන්ති කාමරයෙන් එළියට ආ ගඟුල්ට දක්නට ලැබුණේ සිනහමුසු මුහුණින් යුතු ව තමා දෙසට එන තෙන්නකෝන් මහතා ය.

‘‘කියලා වැඩක් නැහැ ගඟුල්, අද අහපු දේශනෙ එහෙම නැත්තං පාඩම නං හරි අනර්ඝ යි. මමත් අද නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.”

‘‘සර් දේශනේ අනර්ඝයි කිව්වෙ විශේෂ දේශනයකට කවුරු හරි ඇවිල්ල ඒකෙන් පාඩම් ඉගෙන ගත්ත කියන එක ද?”

‘‘ගඟුල් තවම දන්නෙ නැද්ද මේ ඉස්කෝලෙට විශේෂ දේශකයෙක් ඇවිල්ල ඉන්න එක.”

‘‘අනේ සර් මන් දැනන් හිටියෙ නැහැනෙ. කවුරුවත් මට කිව්වෙත් නැහැනෙ. දැන ගත්තනං මාත් එනවනෙ සර්ලත් එක්කම ඒ ලෙක්චර්රෙක අහන්න. කවුද සර් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ද?”

‘‘විශ්වවිද්‍යාලෙක ඉගෙන ගත්තට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් නං නෙමෙයි. හැබැයි වැඩේ නං නියමෙට ම කළා ගඟුල් එයා.”

‘‘කවුද සර්, ඒ සර්? අපි දන්න කියන හරි, අහලා හරි තියෙන කෙනෙක් ද?”

‘‘මන් හිතන්නෙ එයා ගැන හොඳට ම දන්න කෙනා තමයි ඔයා.”

‘‘ඉතින් සර් අගේ කරන්නැතුව කියන්ඩකො මටත් ඒ කවුද කියලා.”

‘‘මන් ඔයාට හින්ද කියන්නං. ඒ තමයි මිස්ට සමරනායක. කොටින් ම කියනවනං ගඟුල් සමරනායක.”

‘‘ඈ”

ගඟුල් මවිත වී බලා සිටිය දී තෙන්නකෝන් මහතා යළි කතා කෙළේ ය.

‘‘පුදුම වෙන්න දෙයක් නැහැ ගඟුල්. ඔයා, ඔය පන්තියෙ උගන්නන කොට එහා පන්තියෙ ඉතිහාසෙ තිබ්බෙ මට.”

‘‘ඒ උනාට සර් ඒ පන්තියෙ ඉන්නව මන් දැක්කෙ නැහැනෙ.”

‘‘ඔව් ඔයා දකින්න විදිහක් නෑ තමයි ගඟුල්. මම සාමාන්‍යයෙන් පන්තියකට වෙලාවට ම එනවා. ඒත්  වළක්කන්න බැරි හේතුවක් නිසා අද විනාඩි දහයක් විතර පරක්කු උනා. මන් එනකොට ඔයා ඔය 12 ඒ එකේ ළමයින්ට දේශපාලන විද්‍යාව කියන්නෙ මොකක් ද කියල පැහැදිලි කරනවා. අපේ ඉතිහාස ළමයිනුත් හරිම උනන්දුවකින් ඒවා අහගෙන ඉන්නව මන් දැක්කා. මම කළේ ඉතිහාසෙ උගන්නන එක නෙමේ ඒ මුළු කාලෙම ළමයිනුත් එක්ක ම ඒ ගොල්ලන්ගෙ පුටුවක ඉඳගෙන ඔයාටයි  ඒ ළමයින්ටයි  සවන් දෙන එක.

‘‘සර්රුත් මාර වැඩනෙ බැලුවහම කරන්නෙ.”

‘‘නෑ ඒක මාර වැඩක් නෙමෙයි ගඟුල්, ඒක බුද්ධ වැඩක්. අර්ථ දෙකකින් ම බුද්ධ වැඩක්. එකක් ඔයා තමන්ගෙ කතාවට පදනම හැටියට ගත්තෙ බුද්ධ වචන. තවත් විදිහකට ගත්තහම බුද්ධ කියන වචනෙ හැදෙන්න මුල් වෙන්නෙ අවබෝධයට පත් වීම කියන අර්ථෙ දෙන බුධ් කියන මූලයනෙ. කොහොම උනත් මට කියන්න තියෙන්නෙ හෙට දවසෙදිත් පුතා උඹගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එකයි. අද මේ කතා කරපු දේවල් ගැන මටත් තව පැහැදිලි කරගන්න තැන් තියෙනවා. අපි ඒවා ගැන පස්සෙ කතා කරමු. අන්න පියසේන ඇවිල්ල කියලා ගියා පන්තිය ඉවර උනාම ගඟුල් එක්කම ඔෆිස්සෙකට එන්න කියලා. මන් හිතන්නෙ සිල්වා මැඩමුයි අතුලයි දෙන්නත් මේ වෙලාවෙ එතන ඉන්නවා විදුහල්පතිතුමත් එක්ක ම.

අනතුරුව කතාබස් කරමින් මේ ගුරු භවතුන් දෙදෙනා ගමන් කෙළේ විද්‍යාලයීය කාර්යාලය දෙසට යි.

1 comment:

  1. මා පාසල් සමයට ගෙන යන බව
    ඒ සමයේ ගුරු සෙවණෙහි සිසිල ලබන බව
    දැනෙයි මෙගත විඳින සඳ.....ස්තුති වේවා...

    ReplyDelete