Wednesday, October 16, 2024

112. ගුරු දියවර නවකතාව - තිස්පස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                         ගුරු දියවර 35



ආදරණීය ගඟුල්,

ඔබ විසින් මවෙත එවන ලද සුදිගු ලියමන අද උදේ වරුවේ මා අතට පත්වුණා. ‘ස්තුති කිරීමෙහි ලා මට වචන නැත’ යන අර්ථය දෙන ගඟුල්ලාට එවක අන්තර් භාෂා ඥාන පන්තියේ දී මා ඉගැන්වූ සංස්කෘත ප්‍රකාශයකින් ම මේ ලියමන පටන් ගන්නවා.

“ස්තුතිකරණේ වචනානි න සන්ති මේ.”

ගඟුල්, ඔබ විසින් මට එවන ලද්දේ ලියමනක් ද නැත්නම් කෙටි නවකථාස්වරූපී කෙටිකථාවක් ද? ඔබගේ ලියමන මට ඉසොඳුරු අරුත්බර කෙටිකථාවක් කියැවීමෙන් ලැබෙන ප්‍රසන්න අද්දැකීම ලබා දුන්නා. මෙය අවිදූර අනාගතයේ ඔබගෙන් ලියැවෙන කෙටිකතා සංග්‍රහයක කෙටිකතාවක් වී සමාජයට යායුතු යි. ඔබ සතුටු නම් ඒ කෙටිකතා සංග්‍රහයට පෙරවදන ලියන භාග්‍යවන්තයා වීමට මම කැමැතියි.

ඔබේ ලේඛනය, දැන් මගේ සිතේ නාගොල්ලාගමත් එහි පරිසරයත් එගම ජීවත් වන ජනතාවත් ඔබේ සහෘදයනුත් ගැන මනා සිත්තමක් මැවීමට සමත් වුණා. එය මට අය්යාගේ සිත්තමක් සේ දැනුණා. මේ මොහොතේ ගඟුල්ට කියන්නට විශේෂ දෙයක් තියෙනවා. ඒ ඔබ ද නිතර අවධාරණ කළ ඒ සිත්තම්වලින් කොටසක් සංරක්ෂණය කිරීමට හැකි වූ බව යි. වැටුපෙන් සැලකිය යුතු කොටසක් බදු වශයෙන් කපා හැර නොතිබුණේ නම් මෙයට වැඩි කොටසක් සම්බන්ධයෙන් එකී ආරක්ෂණ ප්‍රතිපදාව ක්‍රියාත්මක කළ හැකි ව තිබුණා. එපමණක් නොවෙයි වෙනදා ජීවත් වීම සඳහා ප්‍රමාණවත් ආර්ථිකයක් තිබූ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකුට දැන් ගොඩක් අමාරුකම් තියෙනවා. අපි අපට පුළුවන් හැටියට ඒ අයටත් උදව් කරමින් අපත් ජීවත් වෙනවා. මා මෙහි දී අප කියා සඳහන් කළේ එසේ කටයුතු කරන්නේ මා පමණක් නොවන නිස යි. 

මේ ළඟදී දවසක ලද හද පාරන අද්දැකීමක් ගැන ඔබට කියන්නට සිතෙනවා. ඒ අපගේ මිතුරකුට අත්‍යවශ්‍ය බෙහෙත් ගැන්ම සඳහා ඔහුට යැවූ මුදල ඔහු භාවිතයට ගෙන තිබූ ආකාරය ගැන යි. ඔහු බෙහෙත් වර්ග මිල දී ගැනීම වෙනුවට කර තිබුණේ සිය බිරිඳ හා දරු තිදෙනා සමග තමා ද ජීවත් වීමට අවශ්‍ය ආහාර පානාදිය රැගෙන ගෙදර යාම යි. මා මේ කරුණ සරසවියේ අපගේ සහෘදය මිතුරියකට කී මොහොතේ මහත් කම්පාවකට පත්  වූ ඇය ඒ මොහොතේ ම මගෙ අතට මුදලක් දුන්නා, ඖෂධ වට්ටෝරුව ගෙන්වා ගෙන මින් ඒවා මිල දී ගෙන මිතුරාගේ ගෙදරට ම ගෙන ගොස් දෙන්නැයි යන ඉල්ලීම ද කරමින්. මම ඒ මොහොතේ ම අප මිතුරාගෙන් අදාළ ඖෂධ වට්ටෝරුව ගෙන්වා ගත්තා. පසුදින උදය වරුවේ වැඩ සැලසුම් කරගෙන එහි යාමට යි මා සිතා සිටියේ. රාත්‍රී 11 ට පමණ අර සරසවි ඇදුරු මිතුරිය මට කතා කළා. ඇය කීවේ මිතුරු නිවහනට යාමට පෙර මා හමු විය යුතු බව යි. එහෙත් එදින ඇයට සරසවියට එන්නට ලැබෙන්නේ දහවල බැවින් දිවා ආහාර වෙලාවෙන් පසු එහි යාමට යොදා ගත හැකි දැයි ඇසුවා. මම ඒ අනුව මගේ දෛනික වැඩ සටහන වෙනස් කොට හවස එහි යාමට වැඩ සැලසුම් කර ගත්තා. ගඟුල්, දහවල් එක පමණ වන විට මගේ මිතුරිය ආවා. ඇය අනතුරුව මගේ රිය නවතා ඇති තැනට ඇගේ රිය පදවා ගෙන ආවා. ඒ ඔබ ද හොඳින් දන්නා භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය ඉදිරිපස ඇති බිම්කඩට යි. ඇය තම වාහනයේ ඩිකිය ඇරියා. එහි එළවළු, කිරිපිටි, සබන් ආදි ගෙදරකට අවශ්‍ය කරන ගොඩක් ජාති තිබුණා. ඒ මිතුරාගේ ගෙදරට ගෙන ගොස් දීමට යි. මන් ඒ වෙලාවෙ කිව්වෙ ‘ඇයි ඔයා මට ඊයෙ ලොකු මුදලක් දුන්නනෙ බෙහෙත් ගන්න කියලා. ඉතින් ඇයි මේ තව....’ මන් මෙහෙම කියද්දී ඇය මට මගේ වාක්‍යය සම්පූර්ණ කරන්න දුන්නේ නැහැ. ‘සර් බය වෙන්න එපා මන් ඊයෙ කළේ මට කරන්න පුළුවන් දෙයයි. මේක මගේ වැඩක් නෙමෙයි’ කියලයි ඇය කිව්වෙ. ‘එහෙනම් මේක කාගෙ වැඩක් ද’ කියලා ඇහැව්වහම ඇය හිනාවෙවී මට උත්තර දුන්නෙ මෙහෙම යි. 

“සර්, මම ඊයෙ මේ කතාව අපේ අම්මටයි නංගිටයි කිව්වා. ඒක අහලා ඒ දෙන්නගෙ ම ඇස්වලට කඳුළු ආවා. මන් ඒ කඳුළුවලට ආසයි සර්. අපේ පෞද්ගලික දුකකදි අපෙන් වැටෙන කඳුළකට වඩා අනුන්ගෙ දුකකදි වැටෙන කඳුළෙ ලොකු අර්ථයක් වගෙම ලස්සනක් තියෙනවා කියන එක අපිට කියලා දුන්නෙත් සර් ම තමයි. සර් දන්නවනෙ මන් විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යාවක් විදිහට ඉන්න කාලෙ අපේ තාත්තා නැති වෙච්ච බව. ඇයි සර්ලත් ආවනෙ මළගෙදර. මගෙ අම්මා විශ්‍රාම ගිය ගුරුවරියක්. නංගි බැංකු නිලධාරිනියක් විදිහට වැඩ කරනවා. ඊට පස්සෙ මන් දැක්කා අම්මයි නංගියි පැත්තකට ගිහින් මට නෑහෙන්න කුටු කුටු ගානවා. මන් ඒ දෙන්නට කතා කරගන්න ඇරලා මගෙ කාමරේට ගිහින් පහුවදාට කරන්න තියෙන දේශනේට සූදානම් උනා. ටික වෙලාවකට පස්සෙ අම්මා මගෙ ළඟට ඇවිත් මගෙ ලියන මේසෙ ළඟ තියෙන ඇඳෙන් ඉඳගත්තා. එහෙම ඉඳගෙන ලොකු දුව ලොකු වැඩක් ද කියලා ඇහැව්වා. මන් හිනාවෙවී අම්මට කිව්වෙ අම්මගෙ ලොකු දුවට ලොකු වැඩ මිසක් පොඩි වැඩ නෑනෙ කියලයි. ඒ එක්කම කිව්වා ලොකු වැඩක් නං මන් කරන්නං. පොඩි වැඩක් නං අන්න අරයට කියන්න කියලා නංගිව පෙන්නුවා. මොකද ඒ වෙලාව වෙන කොට නංගිත් මගෙ කාමරේට ඇවිල්ලා හිටපු නිසා. සර් දන්නව ද අපේ නංගි දුන්න උත්තරේ. එයත් ලොකු වැඩක් කරන්න ය යන්නෙ. කළාට පස්සෙ බැරියා මගෙ මේ අක්කා කියන ලොක්කිට ඒක බලා ගන්න කියලා මගෙ ළඟට ඇවිල්ල මාව ඉඹලා මගෙ කොණ්ඩෙනුත් ඇදලා එළියට දිව්වා.”

“ඉතින් ගඟුල් ඊට පස්සෙ මොකක් ද උනේ කියලා කියලා මන් අපේ මිතුරියගෙන් ඇහැව්වා. එතකොට එයා මෙහෙම කිව්වා.”

“අම්මගෙ අවශ්‍ය ම වැඩ ටිකක් කර ගන්න තියෙනව ය ඒ නිසා එයත් එක්ක ළඟ තියෙන ටවුමට යන්න එන්න ය. නංගිවත් එක්ක යමු ය කියල යි අම්මා කිව්වෙ. ඉතින් සර් ඔහොම අපි යනවා කියමුකො. ඔන්න ෆුඩ් සිටියක් ළඟදි අම්මා මට වාහනේ නතර කරන්න කිව්වා. මමත් එතන කාර්රෙක නතර කළා. මෙන්න අපේ නංගි කියනවා ඔබතුමියට අවශ්‍ය නං කාර්රෙකේ ම ඉඳලා තියෙන වැඩක් කරගන්න පුළුවන්. නැත්තං ඉතින් අපිත් එක්ක එන්න පුළුවන් කියලා. හැබැයි ඒකෙ ඇතුළෙ අම්මයි මමයි කරන කියන දේවල් ගැන ඔයාට ප්‍රශ්න අහන්නත් තහනම් කියලා කිව්වා. මන් කිව්ව මටත් තනියෙම මේක ඇතුළට වෙලා ඉන්න බැහැය ඒ නිසා මාත් ඇතුළට එනවය ඒ උනාට ඒ ආවට පස්සෙ මට හිතුණොත් මන් ප්‍රශ්නත් අහනවය කියල. එහෙම කියාගෙන මාත් ඒ දෙන්න එක්ක ම ෆුඩ්සිටිය ඇතුළට ගියා. ඔන්න අම්ම යි දුවයි දෙන්න එක්ක අර බඩු දාගන්න ට්‍රොලි දෙකක් ගත්තා. ඒ පාර මන් ඇහැව්වා එක ගෙදරට බඩු ගෙනියන්න ට්‍රොලි දෙකක් මොකට කියලා. එතකොට අපේ නංගි කියාපි මන් ඔයාට කිව්ව නේද ඇතුළට ආවට කමක් නෑ අපෙන් ප්‍රශ්න අහන්න තහනම් කියලා. මන් ඒ වෙලාවෙ කිව්ව මතක ද මට හිතුණොත් මන් ප්‍රශ්න අහනව කියලා මන් උත්තර දුන්නා. 

ඔව් සර් මන් ප්‍රශ්න කළා. ගෙදර පොඩි හරි දානයක් දෙනවනං මාවත් සම්බන්ධ කර ගත්තනං නේද හොඳ කියන එකයි මන් ඇහැව්වෙ. ඒකට එයාගෙ නංගි කියලා තිබුණෙ අක්කෙ මේ වෙන කොට ඔයා ඔයාගෙ දායකත්වෙ කරලා ඉවරයි දැන් මේ අපේ දාන සහභාගීත්වෙ. ඒකට ඔයා බාධා කරන්න එපා කියලයි. අනේ සර් මොකක් ද දන්නව ද වෙලා තියෙන්නෙ. මන් සර්ගෙ යාළුවට බේත් ගත්ත නිසා අම්මයි නංගියි මේ කරන්නෙ එයාගෙ ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න එකයි. මට කවදත් මගෙ අම්මයි නංගියි ගැන අබිමානයක් තිබ්බා ඒ දෙන්නා මගෙ අම්මයි නංගියි වීම ගැන. එදා ඒ හැඟීම තවත් වැඩි උනා සර්. ඒ වෙලාවෙ මන් කිව්වා ඉතින් ළමයො මගෙ යාළුවා වෙනුවෙන් දැන් මට කරන්න දෙයක් නැහැනෙ කිව්වහම එයා දුන්න උත්තරේ. සර් අපිට ඉගැන්නුවෙ විෂය කරුණු විතරක් නෙමෙයි මනුස්සකං ගැනත් ඉගැන්නුව නේද කියලා මේ ඉතින් ඒකෙන් බොහොම අල්පයක් ක්‍රියාත්මක කරන සුයාමය යි කියලා හිනාවෙවී කිව්වා. 

ගඟුල්, මට මේ වෙලාවෙ මතක් වෙනවා ඔයගොල්ල අපේ ශිෂ්‍ය කාලෙ කියපු සමහර දේවල්. මීට කාලෙකට ඉස්සෙල්ලා අපේ මිත්‍රයෙක්ගෙ පොතක් එළි දක්වන උත්සවයකදී සරච්චන්ද්‍ර සර්ගෙ ශිෂ්‍යයෙක් හමු උනා. එතුමා ඒ වෙන කොට විශ්‍රාම ගිය ගුරුවරයෙක්. පේරාදෙණියෙ ඉගෙන ගෙන තිබුණෙ. ඔය කාලෙම තමයි සුචරිත ගම්ලත් සර් ආචාර්ය මණ්ඩලයට සහකාර කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙච්ච කාලෙ. දවසක් සරච්චන්ද්‍ර සර්රුයි සුචරිත සර්රුයි අර මට හම්බවෙච්ච සර් ඇතුළු ශිෂ්‍යයො කීප දෙනෙකුයි කතා කර කර විශ්වවිද්‍යාලෙන් එළියට එනකොට තමන්ට අතපාපු හිඟන මනුස්සයෙකුට සරච්චන්ද්‍ර සර් මුදලක් දීලා තිබුණා. සුචරිත සර් සමාජවාදි ආකල්ප දරන අර වගෙ වැඩවලට පැලැස්තර කියලා කියන කෙනෙක්නෙ. ඒ වෙලාවෙ සුචරිත සර්ගෙ කට කොණට නැගෙන උත්ප්‍රාසාත්මක හිනාව දැකලා සරච්චන්ද්‍ර සර් මෙහෙම කිව්වලු.

“අයිසෙ සුචරිත මන් දන්නව තමුසෙ ඇයි හිනාවෙන්නෙ කියලා. ඒ උනාට තමුසෙලගෙ ක්‍රමේ එනකන් මේ මනුස්සයා ජීවත් වෙන්නත් ඕනනෙ කියලා. ඇත්තට ම මන් විශ්වාස කරන්නෙත් මේ වගෙ දේවලට දීර්ඝකාලීන විසඳුමක් එනකන් කෙටිකාලීන විසඳුම් උවමනයි කියන එකයි. ඒ දීර්ඝකාලීන විසඳුම දේශපාලනිකයි. ගඟුල්ලා දන්නවනෙ මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි. ඒක නිසාම පක්ෂයකට අයිති වෙච්ච කෙනෙකුට වඩා එහෙම අයට හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. අවුරුදු හැට හැත්තෑවක් තිස්සෙ මේ රට පාලනය කරපු අය අතර හොඳ මිනිස්සු නොහිටියා නෙමෙයි. ඒත් ඒ අයට වඩා බලවත් උනේ නරකේ නියෝජිතයන්. රට මේ තරන් ප්‍රපාතයකට වැටුණෙ ඒ නිසානෙ. ඔයගොල්ලන්ට මතක ද මන් ඒ දවස්වල සුභාෂිතරත්නාවලිය දේශපාලනඥයා ගැන කියපු දෙකක්. ඒ ප්‍රකාශෙ කියවෙන විදිහෙ චරිත එදාටත් වඩා ඕන කරන්නෙ අදටයි ගඟුල්. මන් ඒ ප්‍රකාශෙ මෙතන ලියනවා. ඔයා මේක ටයිප් කරලා පුළුවන් තරන් දෙනෙකුට යවන්න.”

“තමන්හට වරදක් කළත් නොකිපෙන, කරුණාවෙන් යුතු ව ඒ තැනැත්තාටත් පිළිසරණ වන, කාගෙන්වත් උදව් උපකාර සැලකිලි කිසිවක් අපේක්ෂා නොකරන, චාම් ගති ඇති අය දේශපාලනයට සුදුසු ය.”

ගඟුල්, මට නුදුරු අනාගතයේ දී වේවි කියලා හිතට දැනෙන මොකක්දෝ දෙයක් තියෙනවා. ඒක ඈත තිබිලා ටික ටික ළංවෙන ආලෝකයක් වගෙයි. ඔය හැඟීමත් එක්ක මන් ඊයෙ රාත්‍රියෙ දේශපාලනය සහ දේශපාලනඥයා කියලා ලිපියක් ලියන්න ගත්තා. හෙට අනිද්දා දිහාට ඒක ඉවර කරගන්න පුළුවන් වේවි. මේ ලිපිය ලියලා ඉවර උනාම සදසි දුව ලවා ඉංග්‍රීසියටත් භාග්‍යා දුව ලවා දෙමළටත් දාන්නයි මන් හිතාගෙන ඉන්නෙ. අපි හිතන යහපත හැම සමාජෙකට ම යන්න ඕන නේද ගඟුල්. මන් මේ ලියන ලිපිය ගැන මගෙ උදය කියන මිත්‍රයට කිව්වා. මට ගෙනත් දෙන්න මන් ඒක මුද්‍රණය කරන්නං කියලයි එයා කිව්වෙ. මන් කැමතියි ඒ ලිපියෙ අවසානය සලකුණු කරන්න මන් හිතාගෙන ඉන්න, ඒ කියන්නෙ සමාප්ති වාක්‍යය විදිහට ලියන්න ඕනෙයි කියලා හිතන අදහස මේ වෙලාවෙ ඔයත් එක්ක බෙදා ගන්න.

දේශපාලනඥ යන වචනයේ ඇති පවිත්‍ර නිරුක්ති අර්ථය සිය ජීවිතයෙන් ප්‍රකාශයට පත් කරන උතුම් දේශපාලනඥයන් හඳුනාගෙන, ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යැවීම සඳහා වන ප්‍රඥාවත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ ධෛර්යයත් මගේ මේ ආදරණීය දේශයේ ජනතාවට නොමඳ ව ම ලැබේවා!

ගඟුල්, ලෝකයේ යහපත වෙනුවෙන් අපට කරන්න පුළුවන් පුංචි ම දේ හරි අපි කරන්න ඕනෙ. ඔයා ගුරුවරයෙක් විදිහට තමන්ගෙ සිසු දරුවන්ට දැනුමට අමතර ව දැක්මක් දෙන බව සිහි කිරීමත් ඔබේ ගුරුවරුන් වන අපට සතුටක්.

ගඟුල්, අද මන් ඔබට මේ ලියමන ලියන්නෙ ආගිය තොරතුරු වගෙම රට ගැන මට දැනෙන දේවල් කියන්න විතරක් නෙමෙයි. ඔබට ආරාධනයක් කරන්නත් තියෙනවා. ඔයා ෆස්ට් ක්ලාස් එකක් එක්කනෙ උපාධිය ගත්තෙ. ඒ එක්කම ඔයා කැලණිය විශ්වවිද්‍යාලෙ එක් අවුරුදු පශ්චාද් උපාධියත් කරගත්තනෙ. සම්භාව්‍ය සිංහල ගැන හැඟීමක් වගේම දැනීමකුත් ඔයාට තියෙනවා. ඒක නිසා අපේ අධ්‍යයනාංශෙ ආරාධිත කථිකාචාර්යවරයෙක් විදිහට ඔයාව බඳවා ගනිමු කියන යෝජනාව පසුගිය අධ්‍යයනාංශ රැස්වීමට ආවා. ඒ යෝජනාව ගෙනාවෙ නං මම නොවේ. ඒත් ඒක සතුටින් අනුමත කරපු අය අතරෙ මාත් හිටියා. ඒ විස්තර මන් පස්සෙ ඔයාට කියන්නං. විවේක තියෙන වෙලාවක මට කතා කරන්න. 

ගඟුල්, මේ ඉල්ලීමට ඔයා කැමැත්ත දෙන්න. ඒක අපේ ශිෂ්‍යයන්ටත් ඔබටත් කියන දෙපාර්ශ්වයට ම හොඳයි. පාසලින් එක දවසක් නිදහස් කරගන්න පුළුවන් ද බලන්න. ඔබට බ්‍රහස්පතින්දා ඉස්කෝලේ ඇරුණට පස්සෙ එන්න පුළුවන්නං ගොඩක් හොඳයි. එහෙම උනොත් සිකුරාදාටත් සෙනසුරාදාටත් අපිට දේශන යොදා ගන්න පුළුවන්. විදුහල්පතිතුමිය දැනුවත් කරලා අවසරේ ගන්න. අද හෙට ම විශ්වවිද්‍යාලෙන් ඔයාගෙ ලියමන ලැබේවි. ඒ එන දවස්වලට ඔබේ දර්ශනපති උපාධියෙ වැඩත් කරන්න පුළුවන්. ඒ වගෙම ඔයාගෙන් අපේ සමාජෙට පොතක් පතක් යන්නත් ඕනෙ. මෙහෙ ආවහම ඒකටත් ඉඩක් හදාගන්න. ඔන්න ඒ වැඩ තුනට ම මගෙන් සුබ පැතුම්.

ඉතුරු විස්තර අපි හමු වී කතා කරමු.

ඔබට ගමට රටට ලොවට යහපත ම වේවා!

ලියමන එසේ අවසන් කොට මා අදරැති ඇදුරු යයි සඳහන් කොට ගඟුල්ගේ ඒ හද බැඳි ගුරුවරයා සිය අත්සන තබා තිබිණි. ගඟුල් දෙතුන් වරක් සිය ගුරුවරයා විසිත් තමා වෙත එවන ලද හෘදයංගම ලේඛනය කියැවීය. ඔහුට දැනුණේ සිය ළබැඳි ගුරුවරයා සමීපයේ සිට කතා කරන සෙයකි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ සිය ගුරුවරයා එක් දේශනයක් අවසන සිසුන් අමතා කළ ප්‍රකාශයකි.

“දුරකථනය අපට ගොඩක් වැඩ පහසු කරලා දෙන එක ඇත්ත. ඒ උනාට දුරකථනයට කරන්න බැරි දේවලුත් තියෙනවා. වෙලාවකට අපේ හදවතේ තියෙන හෘදයංගම ආදරණීය දේ කියන්න පුළුවන් දුරකතනයක් ඔස්සෙ කටින් කතා කරන වචනවලට නෙමෙයි මුලින් හිතේ ලියැවිලා කොළේක ලියැවෙන අකුරුවලට.”  

එසේ නම් සිය ගුරුවරයා විසින් මේ කරනු ලැබ ඇත්තේ ඒ කාර්යය ද? මේ මොහොතේ ගඟුල්ගේ සිතට නැඟුණේ තම කලණ මිතුරියක වන චතුරි දමයන්ති නම් ජීවක සුහදිනිය විසින් ලියන ලද කවි දෙකකි. 

“දිය උනන කුඩා උල්පත්   පොකුරු

තුරු කිනිති අග සැලෙන මල් අහුරු

සඟවගෙන පපු ගැබෙහි  දුක් අකුරු

ලියන කවි කන්දක් ද     ඔබ මිතුරු


තියාගෙන තනියෙන් ම ගිනි පුපුරු

දකින්න ද දුම් නඟින දිය    පුපුරු

නාය යන්නට කලින්    මල් අහුරු

ලියමු අපි අලුත් කවියක     අකුරු”

සිය හද නැඟි මල් අහුරු විසිර යන්නට කලින් තම ගුරුවරයාට අලුත් කවියක අකුරු ලියනු පිණිස ගඟුල් සිය ලියන මේසය ළඟ ඇති අසුනෙහි හිඳ ගත්තේ ය. මෙතැන් සිට අත් අකුරු වී ගඟුල් අතින් ලියැවෙන්නේ ඒ හද අකුරු ය.

සදාදරණීය සහන් සර් වෙත අපරිමිත ආදරයෙනි.

සර් අකුරු බවට පත් කොට තිබූ හැඟුම් මල් පොකුරු මට ලැබුණා. මේ ජීවිත කාලය තුළ ඇසුරට ලද මනු සම්පත් අතර සිත්තර සමන් අය්යා මෙන් ම  ඔබ ද ඉහළ ම තැනක සිටින බව කියන්නට පළමු ව මට අවසර දෙන්න. 

සර් කිව්වා හරි. වෙලාවකට අපි කතා කරන වචනවලට වඩා කොළයක ලියන අකුරු බලවත්. ඒ වගෙම සමන් අය්යා වගේ කෙනෙක් ගත්තොත් අපේ වචනවලට වඩා එයාගේ රේඛා බලවත්. කවියන් කලාකරුවන්ගේ බලය පිළිබඳ ව දැන් මට වෙනදාටත් වඩා දැනෙනවා. ඒ අය අතරින් අපට වඩාත් තදින් දැනුණු ඇතැම් චරිතයක් දැන් අප අතර නැහැ. ඒත් ඒ අය ඉන්න කාලෙටත් වඩා ඔවුන්ගේ අකුරු සහ රේඛා ඉතා බලවත් ව අපට කතා කරනවා. 

සර්ලා සමන් අය්යාගේ චිත්‍ර සංරක්ෂණය සඳහා ගත් පියවර ප්‍රශස්ත යි. සර්ලාගේ අම්මා ජීවත් ව සිටින තාක් ඒ කාර්යය නොකළේ ඒවා දකින මොහොතක් පාසා ඒ ආදරණීය අම්මාට දුක හිතෙන නිසා බව අපි දන්නවා. ඒත් ඔබ, ඔබේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් මෙන් ම සමන් අය්යාගේ කල්‍යාණ මිත්‍රයන් මෙන් ම ඒ ශිෂ්‍ය ප්‍රජාව මෙතෙක් ඒවා පරිස්සම් කිරීම සඳහා ගත් පියවර අගය කිරීමට ද මම මෙය අවස්ථාව කොට ගන්නවා.

සර්ගෙ සතුට පිණිස කරුණක් සඳහන් කරන්නට කැමතියි. ඒ මා අතින් වෙනදාට වඩා කවි කෙටිකතා ආදිය ලියැවෙන බව යි. සර්ලගේ තාත්තාගේ වචනවලින් කියනවා නං ඒ ගැන කියන්න වෙන්නේ මෙහෙම යි.

  ‘ලියනවා නෙමෙයි මේවා ලියැවෙනවා ඉබේ’

සර්, මන් ලියන ඒවා කියවන සහෘදය පාඨක කණ්ඩායමක් ද ඉන්නවා. ඒ අය අතර අපේ ගුරු මණ්ඩලයේ අය, අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ත්‍රී රෝද රථ එළවන මිතුරන් කිහිප දෙනෙක් වගෙම මන් ඉන්න ගෙදර තාත්තා ඇතුළු පිරිසත් ඉන්නවා. ඒ ඔක්කොම සර් ගැන දන්නවා. අපේ ඉස්කෝලෙ ඇතුළු අවට ඉස්කෝල කීපයකට ම සර් ලවා දේශන මාලාවක් කිරීම අපේ බලාපොරොත්තුවක්. ස්වාමි විවේකානන්දතුමාගෙ ප්‍රකාශයක් එහෙම කියලා සර් ම නේ ද අපට ඉගැන්නුවෙ හොඳම දේවල් තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ලෝකයටත් දෙන්න කියලා. ඒක නිසයි සර් ලවා අපේ ඉස්කෝලෙ අයට විතරක් දේශනයක් කරව ගන්නෙ නැතුව ඒක විහිදුවන්න තීරණය කළේ. මන් මෙහෙම ලිව්වහම මන් දන්නවා සර් කියන දේ. මගෙ දේශන ද බන් ලෝකෙට දෙන්න තියෙන හොඳ ම දේ කියලා සර් හිනාවෙන හැටි මට මැවිලා පේනවා. කොහොම උනත් සර්ගෙ වචනවලින් ම කියනවනං නං මේ වචනවලට සීමා නොවිච්ච ක්‍රියාවක් කරන්න තමයි ලෑස්ති වෙන්නෙ. සර්ව නොදැක දකින අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ ඔක්කොට ම මගෙ සර්ව හඳුන්වා දෙන එකත් මේ ක්‍රියාන්විතයේ ම කොටසක්.

සර් එන්නෙ ගෙදර කට්ටියත් එක්කනෙ. මටත් අපේ යාළුවන්ටත් ඒ අද්දැකීම තියෙනවනෙ සර්ලා එක්කම ගමන් ගිහිල්ලා. අපි සර්ලට මෙහෙ නවාතැන් හදන්නෙ අපේ ශිෂ්‍යයෙක්ගෙ ගෙදර. ඒ ගේ තියෙන්නෙ මිරිහන්පිටිගම වැව අයිනෙ. පුංචි සිරියාවන්ත ගෙදරක්, අවශ්‍ය කරන මූලික පහසුකම් ඔක්කොම තියෙන. හැබැයි සර්, සර්ලව බලන්න හවසට ඒ ගෙදරට නාගොල්ලගම ඉස්කෝලෙන් නෑයො එන එක නවත්තන්න නං මට බැරි වේවි. මට දැන් මැවිලා පේනවා ඒ අය වැව් කණ්ඩිය දිගේ නෑ ගං එන හැටි.

සර් අර බෙහෙත් ගන්න බැරිව හිටිය යාළුවා ගැනත් එයාට උදව් කරපු ආචාර්යතුමිය ගැනත් මන් අපේ දරුවන්ට කියනවා. මිනිස්සු මනුස්සකම් ඉගෙන ගන්නෙ ඔය වගෙ දේවලින්. එතුමියට අපේ ආදරය ගෞරවය වගේ ම ප්‍රසාදය පළ කළ බව කියන්න. ඒ වගෙම සර් ලියන දේශපාලනය ගැන ලිපියෙ වැඩ ඉවර උනාම ඒකෙන් පිටපත් අපටත් එවන්න. 

සර් කියන ආලෝක රේඛා දැන් මටත් පේනවා. දේශපාලන බලය යන්න ඕන හොඳ මිනිස්සු අතට. එහෙම හිටපු අතළොස්ස බහුතරයක් වෙන දවසක වැඩි ඈතක නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. මේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකෙ කිසි කෙනෙක් දුකෙන් අසහනයෙන් ඉන්ඩ අවශ්‍ය නැහැ. අපිට පුළුවන් දේ තමයි මේ රට යහපත් තැනක් කිරීම සඳහා අපට පුළුවන් දේ කරන එක. මට මේ වෙලාවෙත් මතක් වෙන්නෙ කිසිම දේක කොටසක් නොවී තමන් විශ්වාස කරපු යහපත තහවුරු කරන්න, තමන්ගෙ කායික මරණය සිද්ධ වෙනකන් වැඩ කරපු සමන් අය්යව යි. මට රත්න ශ්‍රී අය්යගෙ සර්රුත් කැමති එක කවි පන්තියක් දැන් මතක් වෙනවා. මට මතකයි මේ කවි දෙකත් සම්බන්ධ කරලා සර් සැරයක් සමන් අය්යා ගැන ලිපියකුත් ලියලා තිබුණා. 

“එදා පාසල් මවුන් තුරුළේ ඉර එළිය යට    උණුසුමේ

විදා නෙත් හැර බලා ලොව දෙස අකුරු කියවූ ජීවිතේ

ගසා කන විට බුරා අගහිඟ කුරිරු වූ      ගිම්හානයේ

සහෝදරයා නුඹ ය මග කී කටු පඳුරු නැති  නිම්නයේ 


පියාපත් සිඳ තලා මැරුව ද තුඩින් ගී පද   නොවෑහේ

මුසා රන් ලියකමින් සැදුව ද එයින් සත්‍යය  නොසෑදේ

අපේ සිත් තුළ ඇස පියා නුඹ නිදන මේ රැය  නිමාවේ

එදා දහසක් බුදුන් බුදු වුණ උදෑසන යළි        උදාවේ”

සර්ලගේ අපේ ජීවිතවලට මග කිව්ව කෙනා තමයි සමන් අය්යා. සර්ට මතක ද දවසක් අපිට සර් බෞද්ධ සාහිත්‍යෙ එන චරියා සූත්‍රෙ අරගෙන ඒවා අපේ ජීවිතවලට සම්බන්ධ කරලා කරුණු පැහැදිලි කළා. ඒ කිව්ව හැටියට මනුස්සයෙක්ගෙ ඉරියව්, ඇහ කණ ඇතුළු ඉන්ද්‍රියන් සංවර කරගෙන ඉන්න විදිහ, සිහියෙන් කටයුතු කරන හැටි,  තමන්ගෙ ජීවිතය සමාධිගත කරගෙන තියෙන හැටි, එයාගෙ ප්‍රඥාව, එයා යන මාර්ගය පෞද්ගලිකව උපය ගත්ත දේවල් පවා ලෝකයේ යහපතට යොදන හැටි කියන ඒ කාරණා ඒ අතරෙ තිබුණා. සමන් අය්යා තෝරගත්තේ ආදරයේ මාර්ගය. එයා තමන්ගෙ කායික මරණය සිද්ද වෙනකම්ම ඒකෙන් අංශුමාත්‍රයක්වත් බැහැර උනේ නැහැ. ඒක අපි කාටත් වඩා හොඳින් ම දන්නෙ සර්. එයාව දැකලා නොතිබිච්ච අය එයාව දැක ගත්තෙ සර්ලා එයා ගැන සමාජගත කරපු එයාගෙම දේවල්වලින්. සර්ට මතක ද දවසක් අපිත් එක්ක ඉගෙන ගත්ත අපේ කවිකාරි හසිනි අනුත්තරා සංයෝගය සහ වියෝගය පොත කියවලා ඉවර වෙලා ලස්සන කවි පන්තියක් ලියලා තිබුණා. ඒකෙ එයා නොදැක්ක සමන් අය්යව තියලා තිබිච්ච තැන. ඔන්න සර් දැන් මට ඒ කවිත් මතක් වෙනවා. ඒක හින්දා මන් ඒ කවි තුනකුත් මෙතන ලියනවා.


“නොනිමෙන ගමන නොනිදා ගිය අරුම  දැනී

නුඹෙ සෙවණින් බිඳක් සුවයක් අවැසි     වුණි

නුඹේ සෙවණ ලද දිවිවල           අරුම දැනී

නුඹ ලොව නැති දැ මා නුඹ සිසුවියක්     වුණි


මුදු ස්වරයෙන් ගැයී මහ සිහනදක     බලේ

නොකළැකි ඒ අරුම නුඹ වැකි පසක්  කළේ

නුඹ ගුරු දියවරින් සුපිපුණු නෙළුම්     විලේ

උරුමය අපට නැතිව ද? ඒ       සුනිල් විලේ


නින්දේ පිය සිසුන් තැබුවේ නැහැ     නින්දේ

බැන්දේ සිය සුතන් ලෙස සෙනෙහස බැන්දේ

වැන්දේ සොඳුරු මිනිසුන්ටයි ලෝ    වැන්දේ

වන්දේ සමන් ගුරු පිය නිරිඳුන්        වන්දේ”


හසිනි එදා ලියලා තිබිච්ච කවි අට ම මට පාඩම් සර්. සර් ඒකට උත්තර එවලා තිබුණෙත් කවියෙන්. ඒ කවි අදටත් අපේ හසිනි ගාව පරිස්සමට තියෙනවා. වැදගත් ම දේ ඒක නෙමෙයි සර්, ඒ හසිනි අද ගුරුවරියක් වෙලා ඒ දරුවන්ට ජීවිතය උගන්නනවා. ඒක නේද සර් වෙන්ඩ ඕන දේ. ඒක නේද සර්ලගෙ ප්‍රාර්ථනාවත්. දැන් අර සර්ලගෙ සිසු දියණියගෙ වගෙම අපිත් එක්ක විෂය කරුණු වගෙම ජීවිතය ගැන කරුණු කතා කළ අපේ සර් හසිනිට යවපු පිළිතුරු ලියමනේ කවි දෙකක් උපුටලා දක්වන්න යි යන්නෙ. ඒ කවි පෙළ සර් නම් කරලා තිබුණෙ ‘අහිමි ගුරු’ අහිමි නොම කොට දුවට කියලයි. ඔන්න දැන් මම සර්ගෙ කවි සර්ට ම එවන්නයි යන්නෙ.

“නොම දැක ගුරු හදක විසිතුර දුටු  දියණි

නුඹ හද පිපුණු කවි කුසුමන් නෙත රැඳුණි

අහිමි ව සදා හිමි වූ රුව හද      මැවිණි

සිත පියුමක් ව ඒ රුව පාමුල      පිපුණි


මුදු ස්වරයෙන් ගැයුණු සිහ නද   හඳුනා ගත් 

දියණිය හසිනි, ලොව ගුණ රුව   උකහා ගත් 

‘ගුරු දියවරින්’ දිනකදි මට    ලැබුණා නෙත්

ලද නෙත් දුනිමි, දුටුවෙමි  මම තෙමුණා සිත්” 


සර්, මන් අද මේ ලියමන ලියන දවස සැප්තැම්බර් තුන. කිසිම දේශපාලන පක්ෂෙක සාමාජිකයෙක් නොවෙච්ච සර් කිසි දවසක ශිෂ්‍යයන් වන අපි දරන දේශපාලන අදහස්වලට බාදා කළේ නැහැ. මන් විශ්වාස කරනවා සර් ආදරණීය සමාජයක් බිහි කරන්න නම් ආදරණීය මිනිස්සු හැම අතින් ම බලවත් වෙන්න ඕනෙයි කියන කාරණාව. සර් එහෙව් මිනිහෙක් කවදා හරි මේ රටේ නායකයා වෙන්න ඕනෙ කියන එක තමයි මගෙ හීනෙ. එහෙම චරිතයක් ආවොත් අවංකව සාධාරණයෙන් ජීවත් වෙන කොයි කාටත් යහපතක් සර් වෙන්නෙ. මේක වැඩිකල් නොගිහින් මිනිස්සු තේරුම් ගන්නවා සර්.

සර්ට මතක ද අපට එක දවසක් සර්ගෙ දේශනයකදි අපිට අංගුත්තර නිකායෙ එන වඩ්ඪි සූත්‍රය ගැන කතා කළා. සර් එදා කිව්වා බුදුහාමුදුරුවො අපට පෙන්නලා දෙන හැටියට අපි කරුණු දහයකින් වැඩෙන්න ඕනෙ කියලා. ඒ කෙත්වතුවලින්, ධනධාන්‍යයෙන්, දූ පුතුන්ගෙන්, පරිවාර සම්පත්තියෙන්, සිවුපාදි සත්ත්ව සම්පත්තියෙන් කියන භෞතික කාරණා පහෙන් වගේම ශ්‍රද්ධාව, සිලය, ඇසූ දෙයින්, පරිත්‍යාගශීලී ගුණයෙන්, ප්‍රඥාවෙන් කියන ආධ්‍යාත්මික කාරණා පහෙනුත් වැඩෙන්න ඕනෙ කියලයි ඒ සූත්‍රයට අනුව සර් පැහැදිලි කළේ. සර් එදා අපිට කිව්වා ඒ අතීත කාරණා වර්තමානයත් එක්ක ගළපලා තේරුම් ගන්න කියලා. සර් ඒ කියපු දේවල් වැදුණෙ සිංහල සංස්කෘතික සමාජය නියෝජනය කරපු ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි. සර්ට මතක ද සිංහල කවි ලියලා සර්ට අපිට පෙන්නන අපිත් එක්ක හිටපු ෆාතිමා. එදා ෆාතිමා තමයි ශිෂ්‍ය අපි ඔක්කොම නියෝජනය කරමින් ඔය සම්බන්ධයෙන් හොඳම විග්‍රහය කළේ. එයා කෙත්වතුවලින් අපි වැඩෙන්න ඕනෙයි කියන කාරණාව සම්බන්ධ කළේ කෘෂිකාර්මික අතින් ලබන දියුණුවට. ධනය සම්බන්ධ කළේ අවංක ව වැඩ කරලා ලබන සතුටට. දූ පුතුන්ගෙන් වැඩෙනවා කියන කාරණේ ෆාතිමා රැඳෙව්වෙ අම්මා තාත්තා හැටියට ලබන දරුවන් ළඟ විතරක් නෙමෙයි. ගුරුවරුන් හැටියට අපි ශිෂ්‍යයන්ව හරියට හදා ගත්තොත් ඒක දරු සම්පතින් වැඩීමක් විදිහටයි එයා අර්ථකථනය කළේ. මේ කෙල්ල ඒවා වචනවලට විතරක් සීමා කළේ නැහැ. උපාධිය ගත්ත ගමන් අධ්‍යාපන පරිපාලන විභාගෙත් කරලා ඒකෙනුත් ඉහළින් ම පාස් වෙලා මේ කෙල්ල දැන් අනුරාධපුරේ ඉස්කෝලෙක විදුහල්පතිනිය හැටියට වැඩ කරනවා. හැම සංස්කෘතියක අයම එයාට ආදරෙයි. මේ ළඟදි එයාව වෙන ඉස්කෝලෙකට අයුක්තිසහගත විදිහට මාරු කරන්න හැදුව ම ඒකට විරුද්ධව ඍජුවම පෙනී හිටියෙ අනුරාධපුරේ භික්ෂූන් වහන්සේලා. මේක නේද සර්, සර්ලත් අපට කියලා දුන්න සහජීවනේ. අපි සර් වෙලාවක අපේ ෆාතිමාව පුදුම කරන්නත් එක්ක නොකියම කෙල්ලගෙ ඉස්කෝලෙට යන්. හැබැයි සර්ට ඒ ළමයින්ට පොඩි වෙලාවක් හරි කතා කරන්න වෙනවා කියන කාරණෙත් අමතක කරන්න එපා. 

සර් මෙහෙ ආපු දවසක අපේ ගුරු මණ්ඩලේට අපේ දරුවන්ට ඒ ගොල්ලන්ගෙ දෙමවුපියන්ට වඩ්ඪි සූත්‍රය මුල් කරගෙන හොඳ සාහිත්‍ය දේශනයක් කරමු. එදාට සර්ගෙන් වැඩිපුරම බලගල්ල ශාලාවෙදි ඉගෙන ගත්ත ශිෂ්‍යයෙකුත් පැත්තක ඉඳගෙන ඒ දේශනය අහාවි. 

සර්ලා මැඩම්ලා මන් ගැන තියන විශ්වාසය බලාපොරොත්තු ගැන මගේ ගෞරවය පළ කරන්න ඉඩ දෙන්න. සර්රුත් දන්න අපේ හිටපු විදුහල්පතිතුමා වගෙම දැන් විදුහල්පතිනිය විදිහට වැඩ කරන සුමනා මැඩනුත් බොහොම හොඳ කෙනෙක්. ජපුරෙ විසිටින් යන යෝජනාවට මට එතුමියගෙන් අවසර ලබා ගන්න පුළුවන්. අපේ මෙහෙ දරුවන්ට අසාධාරණයක් නොවෙන විදිහට වැඩ සැලසුම් කරගන්න මට පුළුවන් වේවි. කොහොමත් සර් ඉස්කෝලෙ ඇරුණට පස්සෙත් අපි මන් විතරක් නෙමෙයි අපි ගුරුවර ගුරුවරියො කීප දෙනෙක් ම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට උගන්නනවා. හැබැයි ටියුෂන් නෙමෙයි. ඒ දරුවන්ගෙ අම්මලා තාත්තලා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ අපි කොච්චර එපා කිව්වත් තමන්ගෙ වත්තෙ එළවළු පලා මළු අපට ගෙනත් දීලා. මේ ළඟදි ගොවිතැන් වැඩ කරන තාත්තෙක්ට මන් කිව්වා මලින්ද මේ එයාගෙ නම. එළවළු විතරක් නං කමක් නෑ ඔයා හාල් පොල් හිටන් උස්සන් එනවනෙ කියලා. එතකොට මිනිහා කියාපි සර් මන් එහෙම නොකෙළොත් ඒ ගොල්ලො මට බනිනවනෙ කියලා. මන් ඇහැව්වා ඒ ගොල්ලො කියලා කිව්වෙ ඔයාගෙ නෝනයි දරුවොයි ද කියලා ඇහැව්වහම මිනිහ මට දුන්නෙ මහ පුදුම උත්තරයක්. සර් මේ මේ ගොල්ලන්ව ඉඳලා හිටලනෙ සර් අපි ගේන්නෙ. අපේ දරුවන්ට උගන්නන සර්ලට මැඩම්ලට අපිව ගෙනිහින් දෙන්නෙ නැති උඹලා මිනිස්සු ද කියලා බණින්නෙ මෙන්න මේ ගොල්ලො කියලා සර් දන්නව ද මෙයා මට පෙන්නුවෙ මොකක් ද කියලා. එයා ගෙනාපු එළවළු මල්ල. මේ මිනිස්සු හරි අහිංසකයි, නිර්ව්‍යාජයි සර්. මට ඒ වෙලාවෙ මතක් උනෙත් සර් අපි දෙවෙනි අවුරුද්දෙ ඉන්න කොට උගන්නපු දෙයක්. දැන් ඔන්න ගෝලයා උගන්නපු සර්ට ම ඒක මතක් කරන්නයි යන්නෙ. 

සර් අපිට දවසක් උපනිෂද් අධ්‍යාපන ක්‍රමය ගැන කියලා කිව්වා ධර්මශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් හැටියට ගුරු ශිෂ්‍ය දෙපිරිස එක තැනක නැවතිලා ඉගෙන ගන්න එක තමයි වැදගත් කියලා. යම් මට්ටමකට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙදි වෙන්නෙ ඒකයි කියලා කියපු සර් අවධාරණ කළා ඒ උනාට ඒකෙ හැඩය මීට වඩා වෙනස් වෙන්න ඕනෙයි කියන කරණාව. අද ගුරුවරයට ජීවත් වෙන්න වැටුපක් තිබුණට එදා ගුරුවරයා එහෙම වැටුපක් ලැබුවෙ නැහැ. ගුරුවරයා ජීවත් කෙරෙව්වෙ ශිෂ්‍යයා. මේ වෛදික අධ්‍යාපන ක්‍රමය ගැනවත් උපනිෂද් අධ්‍යාපන ක්‍රමය ගැනවත් දන්නෙ නැති අපේ ශිෂ්‍යයන්ගෙ තාත්තලා අම්මලා අපි නොමිලයේ කරන සේවය අගය කරන්නෙ එහෙමයි. හරි පුදුමයි නේද සර්.

සර්, මේ වාරෙ ඉවර වෙන්න තියෙන්නෙ තව මාස දෙකයි. මේ ටිකේ අපේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙන වැඩ වැඩියි. මන් ඒවා පිළිවෙළක් කරලා ලබන අවුරුද්ද මුල ඉඳලා වැඩ කරන්න එන්නම්. මගෙ පශ්චාත් උපාධියෙ වැඩවලත් යෙදෙන්නම්. ඒ වගෙම ඉස්සර වගෙ සර් ඈත දේශනවලට යනකොට මටත් යන්න තිබුණොත් හොඳයි. අද ඉරිදා උනත් සර්ට ලියන මේ ලියමන ඉවර කළාට පස්සෙ මන් ඉස්කෝලෙට යනවා. ඒ මන් ඉරිදා හවස් වරුව ම අපේ උසස්පෙළ පන්ති දෙක එකට දාලා උගන්නන නිසයි. අනික් උසස් පෙළ පන්තිය බාර ව ඉන්න සුදර්ශි ටීචරුත් මට උපරිම සහය දෙනවා. එයා කලුතර. තාත්තා අසනීප තත්වෙන් ඉන්න නිසා හැම සිකුරාදා හවසකම ගෙදර යන එයා ඒ වැඩ පිළිවෙළක් කරලා සඳුදා ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවට මෙහෙ. යම් විදිහකින් මේ මට කොළඹ එන්න වෙලා සති අන්ත පන්තිය කර ගන්න බැරි තත්ත්වයක් ඇති උනොත් සුදර්ශි ගෙදර වැඩවලට පිළිවෙළක් යොදලා මේ දරුවන්ට උගන්නනවා. ඒ වගෙම ගම්පහින් ඇවිල්ලා ඉන්න රේණු අක්කා. කුරුණෑගලින් ආපු නදී අක්කා. කොළඹින් ආපු මිහිදිනී මේ ඔක්කොම ඉරිදට තම තමන්ගෙ විෂයන් උගන්නනවා. අර කලින් කියපු දෙනා තමයි අක්කලා. ඒක නිසයි ඒ දෙන්නට අක්කලා කියලා මිහිදිනීට විශේෂණයක් නොදැම්මෙ. ඒ එයා මට බාල නිසයි. මේ ගොල්ලන් වැඩ කරන හැටි දැක්කහම මට මතක් වෙන්නෙ සර්රුත් අගය කරපු විසාකා දිසානායක ගුරු ජීවිතය ගැන ලියපු කවි පන්තිය. සර් මගෙ නවකතාවක් හැටියට සර්ට දැනෙන මේ ලියවිල්ලට දැන් ඒ කවි පන්තියත් ඇතුළු කරන්නයි මේ ගෝලයා යන්නෙ. සර්ට ඔය කවි ටික කොච්චර දැනුණ ද කියනවනං සර් ඒ මුළු කවිපන්තිය ම සර්ගෙ පොතකටත් දාලා තිබ්බනෙ. උපුටා ගැනීම පාඩම් පොත 39 වෙනි පිටුව. සර්ට හරි හිනහයි නේද? සර්ගෙම පොතකින් උපුටලා අරන් තමයි මන් දැන් ඒක ලියන්නෙ. සර් උපුටා ගන්නව කිව්වට මට ඒ කවි පන්තිය ම කටපාඩම්. සර්ට ගෝලයා ගැන සතුටු වෙන්න පුළුවන් නේද? දැන් මට සර් හිනාවෙන විදිහ උපහාසෙට නෙමෙයි ආදරේට හිනාවෙන විදිහත් මට මැවිලා පේනවා.


“මස් ලේ සිඳී යන තුරු වන පොත්       කළෙමි

ලස් නොව නැණ නුවණ ලැබ කෙළ පැමිණියෙමි

තිස් පැය දුර ගෙවා ගෙන        පියමං කෙළෙමි

දුස්කර සේවයට අද දින      පැමිණියෙමි


කරවුණු පොළොව මත තෙතමනයෙන්  තොර ව

වියළුණු ඉපල් ඇත දුහුවිල්ලෙන්           තර ව

මැලවුණු මුහුණු පොඩි ලෙන්ගතුකම       බර ව

හිනැහෙනු පෙනේ මා එනු දැක        විලිබර ව


හිරු මැදියමේ ගත ගිනි ගෙන       දැවෙන සඳ

දරු පැටවුන් පෙනේ දූවිලි            හුළඟ වැද

තුරු යට බොරළු පොළොවේ      රළු පහස විඳ

ශුරු බුහුටි ව ගයයි තනුවක            මිහිරි පද


මුදු සෙනෙහසට ලය තෙමමින්       එරෙයි කිරී

සුදු පුතු සිහි ව සිඳුණා ගත            රැඳුණු දිරී

කඳුලැලි ගලයි තවමත් නෙතු           අතර පිරී

රිදුණත් සිතට දැන් ආපසු          හැරෙනු බැරී


හදවත ඉකි ගසයි ළැම පිරි කිරි බරට

සඳ වන් දරු පැටවු ළත වෙති          සිප් කිරට

රිද වා උන්ගෙ සිත යා නොහැකි ය         දුරට

පොද වැස්සක් ව වැගිරෙමි මේ      ගම් දොරට”


මමත් ආපහු හැරෙන්නෙ නං නැහැ. ඕනෑම සමාජයක ඉන්න කොට හිත සැනසෙන හේතු වගෙම හිත රිදවන දේවලුත් අපට වෙනවා තමයි. ඒ උනාට මට මේක දාලා එන්න බැහැ. මට දවසින් දවස නිර්මාණය වෙන්නෙත් සර් දාලා එන්න බැරි හේතු තමයි. ජීවිතේ හරි පුදුමයි නේද සර්. කොහොම උනත් සර්ගෙ මේ ගෝලයා සති අන්තෙ විද්‍යෝදෙට එන්නෙ මේ ගම් දොරට පොද වැස්සක් ව ඇද වැටෙන ගමන් ම තමයි. එහෙම කරන්න නේද සර්ලත් අපිට ඉගැන්නුවෙ. දැන් සර් මට මේ පණිවිඩේ ඉක්මණින් ම දෙන්න ඕනෙ කීප දෙනෙක් ම ඉන්නවා. මන් මේ ලියුම ලියලා ඉවර වෙලා යන්නෙ ඒ ගොල්ලන් ව හම්බ වෙන්න. ඒ ගොල්ලො මේ පණිවිඩේ අහලා සතුටු වේවි. ඒ වගෙම ඒ ගොල්ලන්ට දුකකුත් දැනේවි. ඒ සති අන්තෙ පවා ඒ ගොල්ලොත් එක්ක ඉන්න හිතවතෙක්ගෙ ඇසුර තරමකට හරි අහිමි වෙන නිසා. බලන්ඩකො සර් එකම කාරණේ අපේ සතුටට වගෙම දුකටත් හේතු වෙන හැටි. හරි පුදුම යි නේද?

සර්ලගේ අපේ රෝලන්ඩ් සර් නැති උනා කියන කාරණෙත් හිතට ලොකු දුකක් ගෙනාවා. සර්ට ළඟකදි අපේ අනුලා ටීචර්ව හම්බ උනේ නැද්ද එතුමිය සනීපෙන් ද? මේ සැරේ කොළඹ ආපුවහම අපි එතුමිය ව බලන්න යමු. අදිකාරම්තුමා ජාතිවාදෙ මුළාව බොහොම සරල වචනවලින් සමාජයට කියලා දෙන කොට එතුමිය ඒ පණිවිඩේ ම දෙන්න පාවිච්චි කළේ කවිය.

“ලොව වෙසෙනා ගැහැණුන් විඳි අපමණ    දුක් පිපිරී ගෙන

බිහි ව වැඩෙන කිරි කැටියොයි සිහල දෙමළ සියලු ම  දෙන”

මේක බොහෝ දුරට තේරුම් ගත්ත සමාජයක් තමයි දැන් බිහි වේගන එන්නෙ. ඉස්සරහට පවතින්න පුළුවන් අවංක දේශපාලනඥයන්ට විතරයි. ඉස්සරහට මිනිස්සු බෙදලා වෙන් කරලා ඔවුනොවුන් අතර ගැටුම් ඇති කරලා වාසි ගන්න බලන් ඉන්න අයගේ යුගය අවසන් වේවි. ඒත් මම දැන් අතීතයට අයිති කරන්න පුළුවන් ඒ හැම දේශපාලනඥයෙක් ම නරකයි කියන්න තරම් සාහසික වෙන්නෙත් නැහැ. ඒ වගෙම හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් උනත් නරක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්න ඕනෙ අපිව නරක් කරවන හේතුවලින් අයින් වෙන එක. 

මට මේ වෙලාවෙත් මතක් වෙන්නෙ අපේ සමන් අය්ය ම තමයි සර්. මතක ද සර්ගෙ අය්යා කාලෙකට ඉස්සෙල්ලා කිව්වා ලෝකයේ ජාතීන් අතර ඔවුනොවුන්ට භාෂා සාහිත්‍යවලින්, ආගමික අදහස්වලින්, හැඩරුවෙන් එකිනෙකාට ඉතාම සමීප සංස්කෘතීන් දෙකක් එකම මිනීවලක දමා යට කිරීම මහා ඛේදවාචකයක් කියලා. මෙතෙන්දි කරන්නෙ ජාතිය ආයුධය කර ගැනීම යි කියපු සමන් අය්යා අපිට මතක් කරලා දුන්නා යුද්දෙදි වෙඩි කන සිංහල දරුවන් අම්මා යයි හඬමින් මැරෙන කොට දෙමළ දරුවොනුත් අම්මා කියන වචනෙම කියමින් මියයාවි කියන කාරණේ. එදා ලියපු ඒ ලේඛනය අවසන් කරලා තිබුණෙ මේ විදිහට නේද සර්.

“දිවයින තුළ ද ලෝකය පුරා ද ආන්දෝලනයකට ලක් වෙමින් සිදුවීම් සිදුවෙමින් සත්‍යය ලොවට හෙළිදරව් වනු ඇත.”

සර් වෙනදා අපිට ලියන කියන දේවල් දැන් අපි සර්ට ලියනවා නේද? සර් මේ ගැන සතුටු වෙන බව අපි දන්නවා. සර්ලා අපිට උගන්නපු දේවල් දැන් තමන්ගෙ දෛනික ක්‍රියාකාරකම් බවට පත් කරගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා සර්. සර් දැන් මම ලියුම ඉවර කරන්නං ඉස්සෙල්ලා කියපු අය හම්බ වෙන්ඩ යන්න තියෙන නිසා. දැන් මට අවසර දෙන්න සර්, ප්‍රණීත් සර්ගෙ තාත්තා විමල් අභයසුන්දර මහත්තයගෙ කාව්‍යෝක්තියකින් මගෙ මේ ලියමන අවසාන කරන්න.

“ඔබ දුන් උතුම් හර දම් සළු පිළි පෙර ව 

පසු වෙමි අදත් පිළිවෙත් මග තිර සර ව”

සදා අදරැති ශිෂ්‍ය

ගඟුල් සමරනායක

මෙම ලිපිය ලියා අවසන් කළ ගඟුල් අනතුරුව නාගොල්ලාගමට ගොස් එය තැපැල් කොට තදනන්තර ව යාමට තීරණය කෙළේ රේණු සහ මිහිදිනී නැවතී සිටින නිකේතනයට යාමට ය. ඒ නිවහනෙහි දරු තිදෙනා ඇතුළු දම්පතීනටත් සිය සුහදිනියනටත් ගෙනයාම සඳහා පලතුරු මිල දී ගත් ඔහු එයිනික්බිති අසල ත්‍රීරෝද රථ නැවතුම්පළට ගියේ ය. මේ වන විට මේ සියලු ම රියැදුරන්ගේ මිත්‍ර සම්පත්තිය දිනා ගැන්මට ඔහු සමත් ව තිබිණ. ගඟුල් එතැනට ළඟා වත් ම ඔහු සමීපයට ආවේ සිය සිසු දරුවකුගේ ද පියකු වන අමිල යි.

“සර් කොහාට ද යන්න ඕනෙ. නගින්න මන් ඕන තැනට ගිහින් දාන්නම්.”

තමාට හුරුපුරුදු සිනාවෙන් ඊට ප්‍රත්‍යාචාර දැක්වූ ගඟුල් එම රියට ගොඩ වූයේ අවට සිටි රියැදුරු සහෘදයනට ද සිනාවෙකින් සංග්‍රහ කිරීමෙන් පසු ය.

“අමිල කොහොම ද අපේ හාදයා ක්‍රීඩාවට වගෙම පොතපතේ වැඩටත් උනන්දුයි නේද?”

“පොතපතට කොහොම වෙතත් ක්‍රීඩාවට නම් හරිම උනන්දුයි සර්. මිනිහ කියනවනේ සර් කවදා හරි එයා අතුල සර් වගේ ක්‍රීඩා සර් කෙනෙක් වෙනවා කියලා.”

“අපේ අතුල සර් වගේ ක්‍රීඩා ගුරුවරයෙක් වෙන්න හිතපු එක හොඳ දෙයක්. ඒත් එතෙන්ට එන්න තව කඩයිම් කීපයක් ම පනින්න තියෙනවනෙ අමිල. ඒ සහතික නැතුව කොල්ලට ඒ වගෙ තනතුරකට ඉල්ලුම් කරන්නවත් බැහැනෙ. ඒක නිසා පොතපතේ වැඩවලටත් උනන්දු කරවන්න, ක්‍රීඩාවට තියෙන ඇල්මටත් බාදාවක් නොවෙන විදිහට. මන් අතුල සර් වගෙ වෙන්න නං මොනාද දැන් කරන්න ඕනෙ කියන එක එයාට පැහැදිලි කරලා දෙන්නම්.“

”සර්ට කියන්න මමයි අපේ පුතාලගෙ අම්මයි එයාට කොච්චරක් නං කියනව ද ඉගෙන ගන්න වැඩේටත් උනන්දු වෙන්න කියලා. සර් දන්නව ද මිනිහ මේ ළඟදි ඉඳලා අපට ඒකට ලොකු උනන්දුවක් තියෙන බව පෙන්නුවා. හවසට හවසට පොතපතත් කියවන්න පටන් ගත්තා. අපි දෙන්නත් සතුටු උනා ඒ ගැන. මොකද සර් තව අවුරුද්දක් වත් නැහැනෙ උසස් පෙළ විභාගෙට. සර් ඉරිදට ඉස්කෝලෙ කරන සිංහල පන්තියටත් එනව කියලයි ගෙදරින් එන්නෙ. මිනිහා ඇත්තට ම එනව ද සර්? හැබැයි ඒ දවසට ගෙදර එන්නෙනං ඉරත් තමන්ගෙ සේවය අවසාන කළාට පස්සෙ.”

“ඇයි අමිල එහෙම සැකේකින් වගෙ ඇහැව්වෙ. පුතා එනවා. මන් උගන්නන්නෙ උදේ වරුව විතරයි. ඒ උනාට හවස තුනට විතර අතුල සර් පන්ති භේදෙකින් තොර ව අපේ ඉස්කෝලෙ ක්‍රීඩා කරන ළමයින්ට අවශ්‍ය පුහුණුවීම් කරනවා. මන් දන්න තරමින් පුතා ඒවටත් උනන්දුවෙන් සහභාගි වෙනවා. මට දවසක් අතුල සර් කිව්වා එයා කවදා හරි දවසක අපේ රටේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයෙක් වෙනවා කියලා.“

“සර් එහෙම කිව්වහම මට එකක් මතක් උනා. මිනිහ ළඟදි කරපු වැඩක්. අම්මයි මායි දෙන්නම කියන හින්දා මිනිහ හැමදාම හවසට පොත්පත් බලන්න පටන් ගත්තා. මටනං පොඩි සැකේකුත් තිබුණා පාඩම් පොත් බලන විදිහට නවකතා පොත්වත් බලනව ද කියලා. බැලුවහම සර් මිනිහ බලලා තියෙන්නෙ නවකතා පොතුත් නෙමෙයි.”

“එහෙනං මොනව ද අපේ මිනිහා බොහොම උනන්දුවෙන් බලලා තියෙන්නෙ.”

“සර්ට කියන්න සර් අපේ ස්වර්ණට තමයි ඒක අහු උනේ. මෙයා බලපු පොතක් එයාගෙ මේසෙ උඩ තිබිලා තියෙනවා. මේ පොතට ලස්සනට පිට කවරෙකුත් දාලා. ඒ කවරෙ පොතේ නම නූතන සිංහල කවියේ විකාසය කියලත් ලියලා. පොත් ප්‍රදර්ශනවලින් අරන් එන පොත්වලට පිටකවර දාලා පොතේ නම ඒකෙ ලියන සිරිතක් මෙයාට තිබුණා. අපේ ස්වර්ණත් කවියට ආස කෙනෙක් නිසා නිකමට ඒ පොත පෙරළලා. ඒ උනාට උදාහරණෙකටවත් ගත්ත එක කවියක් වත් තිබිලා නැහැ. ස්වර්ණා ඒ පොත අරන් මගෙ ළඟට ඇවිල්ලා අහනවා අමිල පොතේ නම එකක් වෙලා ඒ නමට සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක් ඒක ඇතුළෙ තියෙන්න පුළුවන් ද කියලා. මන් ඉතින් ප්‍රෙස් එකකත් කාලයක් වැඩ කරපු මිනිහනෙ සර්. මන් කිව්වා එකම මුද්‍රණාලෙක එකම කාලෙක පොත් දෙකක් මුද්‍රණය කරන කොට වැරදීමකින් එක පොතක කවරයක් අනික් පොතකට දෙකකට දැමෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම කලාතුරකින් සිද්ද වෙන්න ඉඩ තියෙන දෙයක් කියලත් ස්වර්ණට කිව්වා. සර් දන්නව ද අපේ ස්වර්ණා ඊළඟට මොකක් ද කිව්වෙ කියලා.”

“මටනං හිතා ගන්න බැහැ අමිල. මොකක් ද ස්වර්ණා කිව්වෙ.”

“මෙයා අහපි මාත් නොදැනුවත්ව මේ ගෙදර ප්‍රෙස් එකක් දාලා තියෙනව ද කියලා තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා කියලා. එහෙනං ඔයාම බලන්ඩකො මේ ගෙදරත් එහෙම වැඩක් වෙලා තියෙනවනෙ කියලා අර පොත මගෙ අතට දුන්නා. ඉතින් මන් අපේ පුතාගෙ නූතන සිංහල කවියේ විකාසය අරන් බැලුවයි කියන්ඩකො. අපිත් ආසයිනෙ සර් කවියට. අපි දෙන්නත් නාගොල්ලගම ඉස්කෝලෙනෙ ඉගෙන ගත්තෙ උසස්පෙළට එනකන්. අපි දෙන්නට ම එතනින් එහාට යන්න බැරි උනානෙ සර්. ඒකනෙ සර් අපි දෙන්නම මේ දත කන්නෙ අපිට බැරි වෙච්ච ලෝකෙ කොල්ලට උරුම කරලා දෙන්න.”

“ඒක හැම අම්ම තාත්තා දෙන්න කෙනෙක්ගෙ හිතේ තියෙන්න ඕන හොඳ ප්‍රාර්ථනාවක්. හැබැයි අපි වැඩ කරන්න ඕනෙ අපිට බැරි වෙච්ච දේට කොහොම හරි දරුවා යවන්න ඕනෙ කියලා විතරක් නෙමෙයි අපේ දරුවට වැඩියෙන් ම ගැළපෙන්නෙ මොකක් ද කියන කාරණෙත් හිතලයි. ඇත්තට ම අතුල මොකක් ද අර පොත?”

“නම නූතන සිංහල කවියේ විකාසය උනාට ඒක එක ක්‍රීඩාවක් ගැන ලියැවුණු පොතක්. පොතේ ඇත්ත නම සර් වොලිබෝල් ක්‍රීඩාවේ විකාසය.”

“අමිල මට දෙයක් පැහැදිලි යි. දරුවගෙ ඇඟේ තියෙන්නෙ ක්‍රීඩාව. අපි ඒක තේරුම් අරගෙන ඒකට අපි බාදා නෙමෙයි කරන්නෙ කියන හැඟීම පුතාගෙ හිතට එන විදිහට වැඩ කරමු. මන් අතුල සර් එක්කම පුතත් එක්ක කතා කරන්නං. හැබැයි මොනවා උනත් අපේ කොල්ලා හරි නිර්මාණශීලි කෙනෙක්. එයා ඒ නිර්මාණශීලී බව කවද හරි ක්‍රීඩාවටත් ගෙනේවි.”

“ඔන්න සර් අපි කතාවෙන් කතාවෙන් පංචකන්‍යාවන්ගෙ තුරු උයනට ආවා.”

“මොකක් පංචකන්‍යා තුරු උයන. අපේ මිස්ලා නැවතිලා ඉන්න තැනට ගමේ අය එහෙම කියනව ද?”

“අනේ සර් ඒක අපි දාපු නමක් නෙමෙයි අර මිස්ලගෙ ගෝලයො ම ආදරෙයි ගෞරවෙයි හින්දම දාපු නමක්.”

“ඔයා ඔහොම කිව්වහම මට මතක් උනේ අදටත් ඉන්දියාවේ කියවෙන සංස්කෘත කවියක්.”

“ඒ මොකක් ද සර් මේ අපිට දැන ගන්න හොඳ නැති එකක් ද?”

අමිල එය පැවසූ ආකාරයට ගඟුල්ට සිනහ ගියේ ය. ඒ සිනහ වතින් බැහැර නොවෙමින් ම ඔහු මෙසේ අමිලට පිළිතුරු දුන්නේ ය.

“අපොයි නෑ මන් කියන්නංකො ඒක අර්ථෙත් එක්කම. එහෙනං ඔයා අහගෙන පුළුවන්නං කටපාඩම් කරගෙන වෙනදටත් වැඩිය තමන්ගෙ බිරිඳට ආදරෙන් ගෞරවෙන් සලකන්න පුරුදු වෙන්න.

අහල්‍යා ද්‍රෞපදී කුන්තී - තාරා මන්දෝදරී තථා

පංචකන්‍යා ස්මරේන්නිත්‍යං - මහාපාතකනාශනම්

මේකෙන් කියන්නෙ අහල්‍යා, ඒ කියන්නෙ ගෞතම ඍෂිවරයගෙ බිරිඳ තවත් විදිහකට කියනවනං ඍෂිපත්නිය, ඒ වගෙම පංච පාණ්ඩවයන්ගෙ බිරිඳ දෞපදී, පණ්ඩුපත්නී කුන්තී තවත් විදිහකට කිව්වොත් පස්සෙ කාලෙක පංචපාණ්ඩවයන්ගෙ අම්මා වෙච්ච කුන්තී, අවලෝකිතේශ්වර පත්නී තාරා, රාවණපත්නී මන්දෝදරී. මේ කියන ස්ත්‍රීරත්න පහ යම් කෙනෙක් නිතර සිහි කරනව ද ඒ තැනැත්තගෙ මහපව් නැසෙනවා කියලයි මේකෙ අර්ථෙ තියෙන්නෙ.”

“ඔන්න සර් කිව්ව පංචකන්‍යාවන්ගෙ තැනට අපි ආවා. ඔන්න දැනුත් පස්දෙනාම එකට වැඩ. ගැහැණු -පිරිමි - මල් - පලතුරු කියන්නෙ මෙන්න මේවට තමයි.”

“ඔයා ඔහොම කිව්වට කෝ මෙතන පිරිමි නැහැනෙ.”

“මොකෝ නැත්තෙ බැලු බැල්මට පේන්න නැහැ තමයි පිරිමි. හැබැයි ඔය ගෙදර ඉන්න අම්මා වගෙම ඔය ගෙදර තාත්තයි පුතයි දෙන්නගෙ සම්පූර්ණ සහයෝගෙ ලැබෙනවා මේ පස්දෙනාට.”

“ආ එන්ඩ ගඟුල් සර්. අපේ අමිලත් එක්කනෙ ඔයා ඇවිත් ඉන්නෙ. අපි පහ එකම අරමුණකට එකට වැඩ.”

“ඔය පස්දෙනා එකට ඉන්න එකනං කාට උනත් පේනවනෙ. මොකක් ද ඒ එක අරමුණ.”

“අරමුණ තමයි මල් සම්පත සහ පල සම්පත ලබාගැනීම.”

එසේ පිළිතුරු දුන්නේ රේණු ය.

“ඔය විදිහට එකට වැඩ කිරීම ගැන හරි ලස්සන කතාවක් කියනවා අපේ අදිකාරම්තුමා. එතුමා කියන්නෙ මනුෂ්‍යයා සමාජ සත්ත්වයෙක් නිසා අපිට තනියම කරගන්ඩ බැරි වැඩ කරගන්න තවත් කෙනෙක්ගෙ සහය අවශ්‍යයි කියන එක. තනිව අරන් යන්න බැරි බරක් අරගෙන යන්න අපිට තව කෙනෙක්ගෙ උදව් අවශ්‍යයි. එතකොට ඒ වැඩේ පහසු වෙනවා. දැන් බලන්න මේ වත්තෙ තියෙන මල්, පලතුරු, එළවළු මෙතෙන්ට නිකන්ම ආවා නෙමෙයිනෙ. ඔයගොල්ලො ඔක්කොමගෙ ඩාදිය මාන්සිය තමයි මෙතන තියෙන්නෙ.”

“හැබැයි සර් ඊටත් වඩා ලස්සන දෙයක් මෙතන තියෙනවා කියලයි මටනං හිතෙන්නෙ.”

“ඒ මොකක් ද අමිල.”

“මේ මිස්ලගෙ තියෙන සමගිය සර්, සමගිය.”

“ඔයා කියන එක හරි අමිල. මේ ගැන බොහොම ගැඹුරින් කතා කරනවා අදිකාරම්තුමා. වෙලාවක මන් අමිලටත් ගෙනත් දෙන්නං ඒ ගැන සඳහන් ලිපිය. ලිපියෙ නම එක්ව වැඩ කිරීම. එතුමා කියන්නෙ සංවිධානයක් හරි කණ්ඩායමක් එකට වැඩ කරන කොට ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒත් පිරිස අතර සමගිය තියෙනවනං ඒක එහෙම වෙන්නෙ නැහැ කියලයි. අදිකාරම්තුමා අපිට පෙන්නලා දෙන්නෙ සමගියේ උල්පත යි.” 

“මොකක් ද මල්ලි උඹ කියන සමගියේ උල්පත.”

“රේණු අක්කෙ මන් නෙමෙයි අදිකාරම්තුමා කියන සමගියේ උල්පත තමයි ආදරය. අපි එකිනෙකා අතර තියෙන අන්‍යොන්‍ය ආදරය. ඒක නැත්තං ඉතින් ගැටුම් තමයි. එතුමා කියන්නෙ ආදරේ තියෙනවනං කණ්ඩායමක මොන අඩුපාඩුකම් තිබුණත් කාගෙන් හරි වැරැද්දක් උනත් ගැටුම්වලට මග පෑදෙන්නෙ නැහැ කියලයි.”

“ඉතින් සර් අපි කාළඟ උනත් මොනයම් තරමකට හරි ආදරේ තියෙනවනෙ. දැන් අපේ ත්‍රීවීලර් සංගමේ ඉන්න කට්ටිය ගත්තත් ආදරේ අඳුනන්නෙ නැති අය කියලා කියන්න බැහැනෙ.”

“අපොයි ඔව්. අපි ඒක නැහැ කියන්නෙ නැහැනෙ අමිල. අපි කාගෙත් අඩුපාඩු තියෙනවා. ඒවා නැති කරගන්න කොහොම ද කියන කාරණේ ගැනයි අපි හිතන්න ඕනෙ. බලන්න අදිකාරම්තුමාට මේ ගැන තියෙන උත්තරේ.

“දැනට අපට කළ හැකි එකක් තිබේ. ඒ ඉතාම කුඩා සංවිධානය වන තම පවුලේ හෝ ඊට වඩා විශාල සංවිධානයක දී හෝ යමෙකු සමග ගැටුමක් ඇති වේ ගෙන එන විට මම මේ තැනැත්තාට ආදරේ ද නැද්දැයි තමා තමාගෙන් ම විමසා බැලීම ය.”  

“අපේ ළමයි විතරක් නෙමෙයි සර්ලා එක්ක හිටියහම අපිත් ඉගෙන ගන්නවා. මන් සර් එහෙනං ගිහින් එන්නං. යන්න හදන වෙලාවට මට කෝල් එකක් දෙන්න සර්.”

“අමිල අය්යේ, ඉන්න අපි අදට වැඩ නතර කරන්නයි යන්නෙ. අය්යා තේකක් බීලම යන්න ඉන්න.”

ඒ ඇරයුම ගෙදර දෙටු දියණිය මාධවීගෙනි.

තේ පානයෙන් පසු අමිල නික්ම ගියේ ය. ගඟුල්ට සහ මිහිදිනියට නිදහසේ කතා කොට ගැන්මට අවකාශ සැලසිය යුතු යයි සිතුූ රේණු නිවැසි දියණයන් තිදෙනා සමග යළි ගෙවුයනට ගියා ය. විසල් අඹ තුර යට ගඟුල් හිඳ ගත්තේ ය. එහි ම පසෙකින් හිඳගත් මිහිදිනී විනාඩි කිහිපයක් යන තෙක් කිසිවක් නොකියා සිය හෘදයනිවාසී සහෘදයා දෙස බලා සිටියා ය. ගඟුල්ට සිහිපත් වූයේ අභය හේවාවසම් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද A Digit of the Moon නම් කෘතියේ සිංහල පරිවර්තනය වන සඳරේඛාවේ එන ඉසොඳුරු සංකථනයකි.

“මගේ දෑස් දෙස බලන්න, නැඹුරු වී. එවිට ඔබට පෙනෙනු ඇත මගේ හදවතේ පිළිබිඹුව මගේ නෙත් තුළින්.

පෙම්වතා ඇගේ නෙත් තුළට එබී බැලූ විට ජලාසයකින් සූර්යයා පිළිබිඹු වන්නාක් මෙන් තම පිළිබිඹුව ඇගේ දෙනෙත් තුළින් දුටුවා.

“ඔබ මගේ ආත්මය සොරකම් කර ඇත. ඒ නිසා ඔබගේ ස්වරූපයෙන් එය මට දෙන්න.”

පැවති නිහැඬියාව බිඳිමින් කතා කෙළේ ගඟුල් ය.

“ඔයාට මන් දවස් දෙකකට කලින් දුන්න පොත බැලුව ද මිහිදිනී.”

“කුලරත්න බුලත්ගම කවියගේ නොව පැරණිය කවි සරණිය පොත ද? බැලුවා බැලුවා ඒකෙ සමහර කවි දැනටමත් මගෙ හිතෙත් ලියවිලා තියෙන්නෙ. හැබැයි ඔයා ආවෙ නං ඒ කවි පොත බැලුව ද ඒකෙ කවි මට පාඩම් ද කියන එක දැන ගන්නනං වෙන්න බැහැ. කොහොම උනත් ඒ පාඩම් කවි මොනව ද කියලා මගෙන් අහන්න තහනම්. දැනුත් ඒකෙ කවියක් මගෙ හිතේ ලියවෙමින් තමයි තියෙන්නෙ. සමහර දේවල් කියනවට වඩා හිතේ තියෙන එක ලස්සනයි කියලයි මට හිතෙන්නෙ.”

මේ මොහොතේ ඇගේ සිතේ ලියැවෙමින් තිබෙන ගඟුල් අබිමුව අප්‍රකාශිත ව ගිය මිහිදිනියගේ හෘදය ප්‍රකාශනය මෙය නොවේ ද?

“රැයේ අඳුරේ මෙන් ම නොනැවත උදේ දහවල හවස වරුවේ

මගේ නෙත්වල වැටෙන පිළිබිඹු දහස් ගණන ම යළිදු  දුරුවේ

එහෙත් ඔබ මේ මොකද නැවතී මගේ සිතිවිලිවලට  කෙරුවේ

බවේ කොයි කාලයක ඉඳල ද මෙයට ඔබ මුල් පිටුව   පිරුවේ”

“මිහිදිනි මට මීට පස්සෙ මේ විදිහට ඔයගොල්ල හම්බ වෙන්න බැරිවේවි. ඒ උනාට මන් අපේ සුදර්ශිත් එක්ක කතා කරලා අපේ දරුවන්ගෙ පන්තියට පිළිවෙළක් යොදනවා. ඉංග්‍රීසි උගන්නනවට අමතර ව අපිට ඒකට ඔයාගෙ උදව්වත් ඕන වේවි.”

“ඇයි ඔයගොල්ලන්ගෙ අම්ම හරි තාත්තා හරි අසනීපවත් වෙලා ද හැම සති අන්තෙම ගෙදර යන්න වෙන්නෙ.”

මිහිදිනී විමසුවේ මඳක් කලබල සහගත ස්වරයකිනි.

“නෑ ළමයො එහෙම දෙයක් නෙමේ. ඔයා බලන්නකො අපේ සර් මට එවලා තියෙන මේ ලියමන. එතකොට කාරණේ තේරේවි.”

ගඟුල් දුන් ලියමන මිහිදිනී එක් වරක් නොව දෙවරක් ම ඉතා සැලකිල්ලෙන් කියවූවා ය. අනතුරුව ඇය තිරසර හඬින් මෙසේ පැවසුවා ය.

“ඔයා මේකට යන්න ඕනෙ. මේක මන් සලකන්නෙ අපේ ඉස්කෝලෙයි විශ්වවිද්‍යාලයයි එකට සම්බන්ධ කරන වැඩක් විදිහට. ඒ විතරක් නෙමෙයි සහන් සර් කියලා තියෙන විදිහට ඔයාගෙ පශ්චාත් උපාධියෙ වැඩත් ඒ ගමන් කරගන්න පුළුවන්. පුරුදු හමුවීම් සීමා වෙන කොට අමාරුයි තමයි. අනාගතේ එකට ඉන්න හිතාගෙන දැනට අපි තාවකාලික වෙන්වීම්වලට ඉඩ දෙමු. එහෙමනං ඔයා උපාධිය ගන්නකන් ගෙදර හිටපු ඔයා මෙහෙ ඇවිත් නැවතුණාම ඔයාගෙ අම්මට තාත්තට කොච්චර අමාරු වෙන්න ඇද්ද? මේ වැඩේ යන විදිහට දැන් ඒ ගොල්ලන්ටත්  දවස් තුනක් ඔයාව ලැබෙනවා. නාගොල්ලාගමට දවස් හතරයි.”

“ඔයා පටු විදිහට හිතන් නැතුව ඔහොම හිතන එක ගැන මට සතුටුයි මිහිදිනී. අපේ රේණු අක්කටත් විස්තරේ කියන්න ඔයා. මන් දන්නවා එයත් මට මුළු හදවතින්ම සුබ පතන බව. ඒ තමයි මිහිදිනී මගෙ වැඩිමහල් සහෝදරී.

“ඔයා මේ ගමන සැහැල්ලුවෙන් යන්න. ආදරය කියන්නෙ හිර කරන දෙයක් නෙමෙයි කෙනෙක් ව නිදහස් කරන දෙයක් කියලා මට කියලා දුන්නෙත් ඔයාමනෙ. මේ දරුවන්ට වගෙම ඒ දරුවන්ටත් ඔයා ගඟුලක් ම වෙන්න. මට ඉස්කෝලෙදි මේ විදිහට සමු ගන්න බැරි නිසා දැන් මට ඒකට ඉඩ දෙන්න.”

එසේ පැවසූ මිහිදිනී කෙළේ ගඟුල්ගේ දකුණත ගෙන සිය ලය මත තබාගැනීම ය. ගඟුල්ට ඇසුණේ සුපවිත්‍ර වූ ආදරණීය කාන්තා හෘදයක අනවරත රිද්මය යි. කොළඹ කවි යුගය සුන්දර කළ එච්. ඇම්. කුඩලිගම කවියාගේ ඉසොඳුරු කවි සිත්තමක් සිය හදබිතුවෙහි ඇඳගනිමිනි, ඔහු ඇගෙන් සමුගෙන එතැනින් නික්ම ආවේ.


“සඳරැස් සමග සඟවා          මඳ සිනාවේ

දිවගට පරම සංගීතය             ගෙනාවේ     

ඇය නොදැනුවත් ව යි එය නොදැනුනාවේ

මට එහි සදා ජීවය             වුවමනා වේ”


  


No comments:

Post a Comment