Tuesday, December 13, 2016

ඔව්.. මං ලලිතා වගෙ තමයි..!

කලකට පෙර ලියූ මල් පොකුරු, ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට.. කියන ලිපියේ වැහි දැරිවි, ලලිතා ගැන පොඩි සඳහනක් කළා. ඈ මගේ වීරවරියක්. ඒ ලිපියට හිතවතියක් දැමූ කමෙන්ටුවකින් අසා තිබුණා වැහි දැරිවිව ලලිතා වගේ මවා ගන්නද කියලා..

ඒ ප්‍රශ්නයට පිළිතුර, ඔව්! ඒ විදියටම මවාගන්න.. ඒක මට විසල් ගෞරවයක්..!

ලලිතා කියන්නෙ තාගෝර්ගෙ මනෝ විශ්වයේ මැවුණු සුන්දර ම පහන් තාරකාවක්. ඈ ඉන්නෙ ගෝරා පොතේ. ගෝරාගෙ සහෘද මිත්‍රයා, විනයගේ හිත දිනාගන්න අපූරු යුවතියයි, ලලිතා.

ඈ මුරණ්ඩුයි. අතිශය මුරණ්ඩුයි. විප්‍රකාර සම්ප්‍රදායන්ට අනුව ජීවත් වෙන්න ඈ අසමත්. ඈ ජීවත් වෙන්නෙ නිවැරදි විදියට. ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයෙ. ඒත් ඒක මුග්ධ සම්ප්‍රදායන් අතහරින ලද ගමනක්. ඒ වගෙම යහපත් සම්ප්‍රදායන් අත් නොහරින ලද ගමනක්. 

ගෝරා පොත හරහා අපේ හිතේ මැවෙන ලලිතා බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් සුන්දර කෙල්ලක්. අභ්‍යන්තරය සුන්දර කර ගැනීම කොතෙක් අපහසු කාර්යයක් වුණත් ලලිතා වගේ වෙන්න ඇත්නම් කියා හිතෙද්දී සුපිරිසිදු ආධ්‍යාත්මයක වටිනාකම වඩ වඩාත් දැනෙන්නට පටන් ගන්නවා. 

ඒ වාගේම ලලිතා, ආදරය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්නට සූදානම් යුවතියක්. විරළ ගණයේ පෙම්වතියක්. විනය ලලිතා වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම් වෙද්දී ලලිතාත් විනය වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම්. ප්‍රේමය යනු කුමක්දැයි කියාවත් නොදන්නා ප්‍රාථමික පන්තිවල උන් කාලයේදී පවා ප්‍රේමය අප්‍රමාණ කැපවීමක් ලෙස කියැවූ වැසි දැරිවි ඒ අතින් ලලිතාට බොහෝම සමානයි. ඒ වගෙම කොපමණ දුකකදිවත් කඳුළු සලන්නට අකැමැති කෙල්ලක ලෙස තාගෝර් වරෙක ලලිතා ගැන සඳහන් කරනවා. ලෝකය ඉස්සරහ එක ම කඳුළක්වත් නොහෙළා ඕනෑ ම වේදනාවක දී ඉවසා දරා හිඳ කවුරුත් නැති තැනක පමණක් වැළපෙන්නටයි වැසි දැරිවියත් කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ.

තවත් කාරණයක්.. මේ සුන්දර කෙල්ල ස්ත්‍රීත්වය පිළිබඳ ව ආසියාවේ ඇති ඇතැම් සම්ප්‍රදායික ආකල්ප බරපතළ ලෙස ඉක්මවා යන කෙනෙක්. ගෝරා පොතේ තාගෝර් එක් තැනක සඳහන් කරන, "ගෑණු උදවිය ගෙදර දොර ඉවුම් පිහුම්, පිටි කෙටීම් වගේ දේවලට සීමා කරලා පහත් තත්ත්වයෙන් බැලීමෙන් අපි අපේ මුළු රටම පහත් තත්වයට පත් කරනවා. පුරුෂයා තමයි ශක්තියේ අනාවරණය කළ අංශය. ඒ වුණත් ඒක උසස්ම තත්වය නොවෙයි. ස්ත්‍රිය ශක්තියේ අනාවරණය නොකළ අංශය." යන ස්ත්‍රිය පිළිබඳ ආලෝක ප්‍රකාශය ඒ පොත තුළදී සිය ජීවිතයෙන් ඔප්පු කොට පෙන්වන ස්ත්‍රිය වන්නේත් ලලිතායි. ලලිතා යනු අනාවරණය නොවූ ශක්තිය සමාජගත කරනු පිණිස ම ගුරුදේව් තාගෝරයන් අතින් මැවුණු කෙල්ලක් ද කියාත් විටෙක හිතෙනවා. කතා නායිකාව වන සුචරිතා ඉක්මවා ගොස් සිය හදවත ස්පර්ශ කරන්නේ ද ලලිතා වග තාත්තාත් මා සමඟ පවසා තිබෙනවා. යහපත් සමාජයක් ගොඩ නගනු පිණිස කලාවෙන් ද - කතාවෙන් ද - ආකල්පයෙන් ද විප්ලවයක් කරන ලලිතා ඉන්දියාවෙන් අපට හිමි වන සුවිශිෂ්ට ආදර්ශ රූපයක්. ඒත් ඉන්දියාවේ ශිවන්‍යාගේ නයි නැටුම් නරඹන ලංකාවේ ළඳුන් කොතෙක් දුරට ලලිතාව ආදර්ශයට ගනීද යන්න ගැන නම් වැහි දැරිවිට සාධාරණ සැකයක් තියෙනවා..

ඒ වාගේ ම ලලිතා සමාජ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇත්තියක්. ඕනෑ ම කෙනෙකු අතින් තමා උපන් සමාජයට ඉටු විය යුතු මෙහෙවරක් ඇත්තේය යන්න ඇය විශ්වාස කරනවා වාගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. 

මං ලලිතා තරම් යහපත් යුවතියක් නොවන වග හොඳින් ම දැන උන්නත් ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් උඩ, මාව ලලිතා ලෙසින් මවාගැනීම මට මහා විසල් ගෞරවයක්..

විශාකා නූනත් විශාකාවගේ ශාකාවක්වත් වෙන්න යයි අප පාසලේ දැරියන්ට වරෙක හිමි නමක් පවසා තිබුනා.

ඉතින් ලලිතා ම නූනත් ලලිතා වගේවත් වෙන්නට උත්සාහ කරන මටත් ඒ හඳුන්වා දීම, ඇත්තමයි.. මහමෙරක් තරම් ඉස්තරම්..!

17 comments:

  1. //ඒ වාගේ ම ලලිතා සමාජ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇත්තියක්. ඕනෑ ම කෙනෙකු අතින් තමා උපන් සමාජයට ඉටු විය යුතු මෙහෙවරක් ඇත්තේය යන්න ඇය විශ්වාස කරනවා වාගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා

    පෝස්ට් එකෙං තුංකාලක් විතර මේ වචන ටිකෙං කවර් වෙනව කියලයි හිතෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඒ වචන ටික ලියවෙන්න බොහීමියානුවා ටෙලිනාට්‍යයේ අර දෙබසත් සෑහෙන්න බලපෑම් කළා මං හිතන්නෙ..))

      Delete
  2. ඔයාගේ අදහසට එකඟයි.. නියම ස්ත්‍රී චරිතයක්.. මාත් ආදරය කරන චරිතයක් තමයි ලලිතා කියන්නේ..

    වර්ෂට මතකද අපි එදා හම්බ උණු වෙලාවෙත් ගෝරා පොත ගැන කතා කළා.. මට මතක්වුනේ ම ඒ දවස...

    අපි එක්ක හිටපු යාලුවා කියුව මතක ද අපි දෙන්නට කතා කරන්න දේවල් ගොඩාක් තියනවා කියලා:d....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කතා කරලා ඉවර කරන්න බැරි තරම් දේවල් ගොඩක් තිබුණානේ එදත් අපිට කතා කරන්න..

      ඒත් ගෝරා ගැන වෙනම කතා කරන්නත් දවසක් මදි තරම්..!!

      Delete
  3. ඔයවගේම සම්ප්‍ර‍ායට පයින් ගහලා තමුන් කෝල්ලෙක්ය කියලා හිතාගෙන හිටපු සහෝදරියක් මට පුද්ගලික ජීවිතයේදී හමුවෙලා තියෙනවා. ඒ ගෙදර ඉස්සරහා තිබ්බ ලොකු ජෑම්ගහ කපන්න උනෙත් ඇය ගස්යන හින්දාමයි. ගොඩක් වැඩිහිටියෝ ඇයව විවේචනය කලා හැසීරීම කෙල්ලෙකුට හොදනැහැ කියලා.
    නමුත් ඇය නෑදෑයන්ගේ අනාවැකි බොරුකරලා තමන්ගේ ජීවිතේ ජයගත්තා විතරක් නෙවෙයි මෙවර කජුකැලේට සරසවි වරම් පවා හිමිකර ගත්තා.
    සම්මතයෙන් පිටපැනලා ඇය උඩුගං පීනුවේ නැත්තම් ඇයටත් සිදුවන්නේ සාමාන්‍ය ගමක තරුණියක්ව අඩු වයසෙන් විවාහ වන්නට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෙල්ලන් හැසිරිය යුත්තේ මෙහෙමයි කියලා ලේබල් ගහන එක නම් හරිම කැත වැඩක්.මං දකින විදියට කෙල්ලක් වේවා-කොල්ලෙක් වේවා යහපත් ව,කාටවත් කරදරයක් නොකර,රටට ලෝකෙට වැඩක් ඇති විදියට ජීවත් වීමයි වැදගත්.ඒත් ලංකාවෙ සමහරක් පුරුදු වෙලා ඉන්නෙ සියලු කෙල්ලන් මෙසේ හැසිරිය යුතුය කියලා හිතන්නයි.

      ඒත් ඒ තත්ත්වය මේ වෙද්දි වෙනස් වෙමින් යනවා.ජෙන්ඩර් එක වෙනුවට මනුස්සකම අගයන්න අපි පුරුදු වෙච්ච කාලෙක මේ රට ගොඩක් ලස්සන වෙයි..!!

      Delete
  4. බොහොමියානුවා සාර්ථක ටෙලි නාට්‍යයක්. එහි හරි ප්‍රබල දෙබස් තිබුනා. සිවගුරුනාදන්ගෙන් මෙහෙම නාට්‍යයක් නිර්මාණය වීම අගය කරනවා. මෙහි එන ස්ත්‍රී චරිත කිහිපය වෙන වෙනම අරන් බලන්න.
    කල්පගේ පෙම්වතිය සහ ඇයගේ මව
    කල්පගේ පුංචි අම්මා
    බෝඩිමේ අක්කා
    ජෙහාන්ගේ ආච්චි
    ඉස්පිරිතාලේ නර්ස්

    මේ චරිත හරි අපූරුවට ගොඩ නගා තිබුනා. මේ ඔක්කොම ලලිතාලද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔව් හැම එපිසෝඩ් එකක ම අතිශය ප්‍රබල ප්‍රකාශ ගණනාවක් තිබුණා.මට පුද්ගලිකව වඩාත් ම දැනුණ ප්‍රකාශය ගැන තමයි සඳහන් කළේ.

      ඔබ කියන කතාවට එකඟයි.ස්ත්‍රී චරිත වාගේම පුරුෂ චරිතත් එකිනෙකට වෙනස් පැතිකඩ ගණනාවක් නිරූපණය වෙන විදියට මතු කරලා තිබුණ විදිය කදිමයි.සජිතත් උමාලිත් හොඳම නළුවා සහ නිළිය යන සම්මාන ද්වයයට පාත්‍ර වීමට හැම අතින්ම ඔබින රංගනයක් ඉදිරිපත් කළ බවත් කිව යුතුමයි.ඒ වගෙම නාට්‍යයේ හිටපු වඩාත් ම බලපෑම් සහගත චරිතය ලෙස මා දකින්නෙ චොප්රාගෙ චරිතය.මගේ ආකල්පයේ හැටියට මානවීය ගුණ ගැන මෑත කාලීන ව ගැඹුරින් ම කතා කෙරුණු ටෙලිය වුණෙත් මේකයි-හැම තැනක් ගැන ම එකඟතාවක් නොතිබුණත්..!

      Delete
    2. ////මගේ ආකල්පයේ හැටියට මානවීය ගුණ ගැන මෑත කාලීන ව ගැඹුරින් ම කතා කෙරුණු ටෙලිය වුණෙත් මේකයි-හැම තැනක් ගැන ම එකඟතාවක් නොතිබුණත්..!//////////

      මට හිතුනෙත් එහෙමයි.

      උමාලි,සජිත් ඉතාමත් සංයමයෙන් නිර්මාණය එලිය කලා. චොප්‍රාගේ චරිතයට ප්‍රියන්ත සිරිකුමාර වටිනාකමක් එකෙතු කලා. ප්‍රියන්ත මේ වගේම ගොළුතාත්තා නාට්‍යයේ වට්ටක්කයාගේ චරිතයටත් ඉහල දායකත්වයක් දුන්නා.

      Delete
  5. මගේ ගෙදර පොඩි එකත් දැනට මේ වගේ චරිත ලක්ෂණ විදහා පානවා. මොනවා උනත් අප්පච්චි එයාව ගාඩ් කරනවා කියලා එයා විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. දරුවෙක් ස්වාධීන වෙන්න ඕන වගේම එයාට ගාඩ් එකත් තියෙන්න ඕනෙ කියලා මාත් පුද්ගලිකව විශ්වාස කරනවා.උදාහරණයක් විදියට මගේ දෙමව්පියෝ කවදාවත් නීති රීති දැම්මේ නැහැ.ඒත් හැම මොහොතකම පිටිපස්සෙන් උන්නා.ඒ රැකවරණය නොතිබුණා නම් යන පාර හොයාගන්න මට බැහැ.ඒ වගෙම එයාලා නීති රීති ගොඩක් දැම්මා නම් ඒත් මට නැගිටින්න බැරි වේවි.

      වෙනස් විදියට වැඩ කරන දරුවෙක් පිටිපස්සෙ තියෙන්න ඕනම දේ මහා විසාල ආදරයක් රැකවරණයක්..

      මල් බබාගෙ අනාගතයටත් ජය..!!

      Delete
  6. මේක කියෙව්වට පස්සෙ ගෝරා ආයෙම කියවන්න හිතුනා.සුචරිතාට වඩා මාත් ලලිතට කැමතියි. බොහීමියානුවා ආසාවෙන් බලපු ටෙලි නාට්‍යක්.

    ReplyDelete
    Replies
    1. ගෝරා මං නිතර දෙවේලේ කියවන පොතක්.. සුචරිතාටත් ගොඩක් ආදරේ වුණත් ලලිතාගෙ මුරණ්ඩුකම සුචරිතාව අභිබවා අපිව අල්ලගන්නවා කියලා හිතෙනවා.ආනන්දමයී සහ විනයගේ චරිතත් ඒ වගේම ආදරේ කරන්න පුළුවන් විදියෙ චරිත..

      Delete
  7. ආයෙත් ගෝරා ට පෙම් බදින්න හදවත කියනවා.. ලලිතා වගේ නම් වැසි දැරිවි හ්ම්.. නරකමත් නැහැ.

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න.. ආයෙමත් කියවන්න..!!

      Delete
  8. අඩේ ලලිතා කියල මාතෘකාව දැක්ක ගමං මට හිතුනෙ ජයලලිතා ගැනයි මේ කියන්නෙ කියල. ...:)

    ReplyDelete
    Replies
    1. හිතේ ඉන්නෙ ජයලලිතා වෙන්නැති එහෙනං..))

      Delete