ඒ අපරිමිත මිනිස්කම ආගමික අන්තවාදීන් අතින් මිය නොයා යුත්තේ එහෙයිනි. නමුත් වෙන් වී සිටින පමණට අපි අනාරක්ෂිත වෙමු. ජාති වශයෙන්ද, ආගම් වශයෙන්ද අප වෙන් ව ඇත්තේ උපතේදී ලද සම්මිතියක් නිසා වීම, මේ අකාරුණික සිදුවීම්වලට හේතුව වීම කොපමණ කණගාටුදායකද?
බුදුන් වහන්සේ බුදුදහම, ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස ගන්නැයි වදළ හේතුව වඩාත්ම හොඳින් පැහැදිලි වූයේ මේ සිදුවීමත් සමගය. දර්ශනයක් අප ආලෝකය කරා ගෙන යන්නේ කෙසේද ඒ පරිමාණයෙන්ම ආගමක් අප අන්ධකාරය කරා ගෙන යන බැවිනි. එසේම ජේසු ස්වාමි දරුවන්ටද, අන් ශාස්තෘවරුන්ටද, තමන් වදාළ දහමේ නාමයෙන් බලහත්කාරයෙන් යටත්විජිතවාදය හා ත්‍රස්තවාදය පතුරුවන අනුගාමිකයන් දකින්නට අවැසි වී යයි නොසිතමි.
මිනිස් ඝාතන සිදු කළ විට ස්වර්ගස්ථ වන්නේ යැයි අප අදහන ආගමකින් උගන්වයි නම් එය ඇදහිය යුතුද නැතිද යන්න තීරණය කිරීමට අපට වගකීමක් තිබේ. අප යමක් අදහන්නේ නම් ඒ අදහන කිසිවකින් කිසිවෙකුටත් අල්පෙනෙති තුඩක හානියක් නොවිය යුතු යයි අදහමි.
මේ අකාරුණික සිදුවීම් සිදු වන්නට පෙර සිට මුහුණුපොත් කතිකාවල අවිහිංසාව ද, යහ පැවැත්ම ද විහිළුවක් කොට ලියූ සටහන් දුටිමි. බොහෝ දෙනාට වැරදී ඇත්තේ එතැනය. කුඩා වැරදි වරද සහිත ලෙස නොදකින්නට පෙළඹෙන තාක් අපට විසල් වැරැද්දක් සිදු වීම වළකන්නට නොහැකිය. නසන්නට, සිය ආදරණීයයන්ට සහ මනුෂ්‍යත්වයට වංචා කරන්නට, අනියම් සබඳතාවල පැටලෙන්නට, වැරදි දේ කරන්නට කොන්දක් වුවමනා නැත. කොන්දක් - පෞරුෂයක් වුවමනා වරදින් වළකින්නටය. නිවැරදි දේ කරන්නටය.
යළි කියමි.
කුඩා වැරදි නොහැදෙන තාක් විසල් වැරදි නොවැළැක්විය සුළුය.