Tuesday, August 29, 2023

ගුරු දියවර නවකතාව - විසි දෙවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                      

                                                         ගුරු දියවර 22



                                     ගිලිහී මලක පෙති උපවර්තන    උයනේ

                                     කිසිදා නොමැති ලෙස මිහිමවුනට රිදුණේ

                                     නොකියා පුරහඳටවත් බුදු ඇස   නිවුණේ o

                                     යළි බුදු පුතකු බිහිකළ මැන   මවුවරුනේ

සල් සපු නා තුරින් සුසැදි එවෙහෙර බිම තැනූ පූජනීය පුෂ්පෝද්‍යානයට  ප්‍රවේශ වූ මොහොතේ ය, ගඟුල් සදරුත් මුසු මෙපැදිය පැවසුවේ. ඔවුන් මේ පැමිණ සිටියේ ගඟුල් සමග එකම යුගයක විදුදය සරසවියේ සිප් සතර හදාළ පූජ්‍යපාද බළන්ගොඩ ධම්මජීව තුරුණු යති පඬිරුවන වැඩ වෙසෙන ඉසොඳුරු බිම් කඩෙක තනන ලද දම් අරණකට යි. ගත ව ගිය දිනයේ බදුලු නුවරින් මඳක් ඈතට වන්නට නිසසල පරිසරයක පිහිටි නිවාඩු නිකේතනයක නැවතී විඩා හළ මේ සහෘදයෝ සිය පාඨශාලාවේ ක්‍රීඩා උත්සවය පිළිබඳ ඇරයුම් පත් කිහිපයක් ඒවා පත් කළ යුතු අත්වලට පත්කොට මෙදම් අරණට පැමිණ සිටියහ.

‘‘දැන් ඔය කියපු කවිය කවුද මල්ලි ලියලා තියෙන්නේ.” 

ඒ ප්‍රශ්නය රේණුගෙනි.

‘‘අපේ ආදි ශිෂ්‍ය අය්යා කෙනෙක්. නම ප්‍රියන්ත ජයලත්. සිංහල ගෞරව උපාධියක් තමා එයා කරලා තියෙන්නෙ. දැන් ඈත පළාතක ඉස්කෝලෙක ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා.”

‘‘ඒ කවිය මට දැනෙන්නෙ ගඟුල් සර්, කවියා සමස්ත ස්ත්‍රී වර්ගයාට ම කරපු ගෞරවයක් විදිහට. මන් මට තව දැනෙන දෙයකුත් කියන්න ද?”

‘‘ඔව් කියන්න මිහිදිනී අපිත් කැමතියි මේ ගැන ඔයාගෙ කියවීම දැනගන්න.”

‘‘ලුම්බිනි සල් උයන ගැන කියන කොට අපට දැනෙන්නේ ලෝකයට මහ විශාල දෙයක් හිමිවීම නිසා දැනෙන සතුට. එහෙත් උපවර්තන උයන ගැන කියන කොට හිතට එන්නෙ මහ දුක්මුසු හැඟීමක්. අලෞකික හිතක් අපට වඩා වෙනස් මානයකින් මේ අවස්ථා දෙක දිහා බලනවා වෙන්න පුළුවන්. මේකෙ විශේෂය තමයි ලෝකයට බුදුවරයෙක් උරුම කොට දීමේ ගෞරවය ගැහැනියට ලබා දීම. කවියා අපට මේ නොකියා කියන්නෙ මහමායා කියන විශිෂ්ට ගැහැනියට පුළුවන් උනා නං ලෝකයට සිද්ධාර්ථ චරිතයක් ප්‍රදානය කරන්න මේ නූතන යුගයේ ගැහැනියකටත් ඒ උත්තුංග මෙහෙවර කරන්න පුළුවන් කියන කාරණේ නේද?”

‘‘ඔයා හරි මිහිදිනී, තව දුරටත් අපට පුළුවන් මේක පැහැදිලි කරගන්න. බුද්ධෝත්පාදය හරිම දුර්ලභ තමයි. ඒ උනාට මේ ලෝකෙ කොතැනක හරි ඉන්න අම්මාවරුන්ගෙ පුතුන්ට හොඳ බුද්ධපුත්‍රයො වෙන්න පුළුවන්. අපි මේ ඇවිල්ලා ඉන්නෙ මගෙ ජීවිත කාලෙදි අන්න ඒ කාරණේ තමන්ගෙ ජීවන ප්‍රතිපදාවෙන් ම ඔප්පු කරලා පෙන්නපු බුද්ධ පුත්‍රයෙක් වැඩ වෙසෙන පින්බිමකට. ඒ වගෙම අමතක කරන්න නරක යි ඒ අම්මාවරුන්ගෙම දියණිවරුන්ට තමන් කැමතිනං බුද්ධදුහිතෘ කියන අභිධානය ලබා ගන්න වාසනා ගුණය තිබෙන බව. ”

‘‘මල්ලි මන් උඹේ ඔන්න ඔය ගුණයට හරිම කැමතියි.”

‘‘රේණු අක්කා අපේ මේ ගඟුල් සර්ගෙ ඔන්න ඔය ගුණයට කැමතියි කිව්වට ඒ ගුණය මොකක් ද කියලා කිව්වෙ නැහැනෙ.”

‘‘නංගි, ඒ ගුණේ තමයි ගෑනු අපට අපි ගැන කතා කරන්න අමතක වෙන කොට ගඟුල් අපට අපේ තැන මතක් කරලා දෙන එක.”

‘‘ඒක රේණු අක්කලා ගුණයක් හැටියට සලකනවනං මට වඩා ගොඩක් ඉදිරියෙන් ඔය සම්බන්ධ ව අදහස් දක්වපු, ක්‍රියා කරපු චරිත දෙකක් මට මේ මොහොතෙ මතක් වෙනවා. ”

‘‘ඒ කවුද මල්ලි? ”

‘‘එක් කෙනෙක් බුද්ධ පුත්‍රයෙක්. අනිත් එක්කෙනා ගිහියෙක්. ”

‘‘ගිහි චරිතෙ නං සමන් සිත්තරා. පැවිදි චරිතෙ ධම්මජීව හාමුදුරුවො වද්ද?”

‘‘ඔයා මිහිදිනී ස්ථිර වශයෙන් කියපු ගිහි නමත් හරි. අනුමානෙට කියපු පැවිදි නමත් හරි. ”

‘‘මොනාද මල්ලි මේ ධම්මජීව හාමුදුරුවො උපාධියට කළේ? ”

‘‘හාමුදුරුවො විශ්වවිද්‍යාලෙදි තමන්ගෙ ප්‍රධාන විෂය හැටියට තෝර ගත්තෙ බුද්ධ භාෂිතය. ඒ කියන්නෙ මන් දෙවෙනි අවුරුද්දෙදි සිංහල ගෞරව කරන්න යොමු වෙන කොට අපේ මේ ධම්මජීව හාමුදුරුවො තෝරගත්තෙ පාලි. එක පැත්තකින් උන්වහන්සෙ මගෙ සමකාලීන ගෞරවනීය සරසවි මිත්‍රයෙක් වෙන කොට තව පැත්තකින් උන්වහන්සේ මගේ ගුරුවරයෙක් වෙනවා දෙවිදියකට.”

‘‘මොකක් ද මල්ලි, අද අපි මේ හමු වෙන්න යන හාමුදුරුවො දෙවිදියකට උඹේ ගුරුවරයා උනා කියන එකේ තේරුම.”

‘‘ඒක මෙහෙමයි රේණු අක්කෙ කියන්න වෙන්නෙ. මන් ටික ටික පාලිත් ඉගෙන ගන්න පටන් ගත්තා. මට ඒ භාෂාවෙ ගැටලු ආපු හැම වෙලාවකදිම මට ඒ ගොඩක් ගැටලු විසඳලා දුන්නෙ අපේ මේ ධම්මජීව හාමුදුරුවො.”

‘‘ඔව් එකක් හරි, මොකක් ද එතකොට තවත් පැත්තකින් උන්වහන්සේ ගුරුවරයා උනා කිව්වෙ.

‘‘ඒ කිව්වෙ රේණු අක්කෙ, ධම්මජීව හාමුදුරුවො මට ජීවිතය පිළිබඳ වත් ගුරුවරයෙක් උනා කියන එකයි. අපි කාගෙත් ජීවිත පසුබිමේ අපේ ජීවිත අර්ථවත් කරන චරිත ඉන්නවා. ඒ චරිත ගිහි වෙන්න පුළුවන් පැවිදි චරිත වෙන්න පුළුවන්. මගෙ මේ අවුරුදු විසිපහකට පොඩ්ඩක් වැඩි ජීවිතය ගත්තොත් අද අපි මේ කතා කරන මාතෘකාවට ගියොත් ඒ කියන්නෙ පැවිදි චරිත ගැන කතා කළොත් මටත් තියෙනවා නම් වශයෙන් කියන්න පුළුවන් චරිත. ඇතැම් චරිත අපේ විෂය ජීවිතය පෝෂණය කරලා තියෙනවා. ඇතැම් චරිතයක් විෂය දැනුමත් එක්ක අපේ අධ්‍යාත්මය පෝෂණය කරලා තියෙනවා. සමහර චරිතයක් කවදාවත් මේ ජීවිත කාලෙදි භෞතික ව හම්බ වෙලත් නැහැ. ඇතැම් උත්තමයෙක් සමාජයට අහිමි වෙලා තියෙන්නෙ මන් උපදින්නත් ඉස්සර. ඒත් ඒ චරිතවලින් අදත් මන් පෝෂණය වෙනවා.”

‘‘මල්ලි උඹට කියන්න පුළුවන් ද ඒ වගෙ තමන්ට දැනිච්ච පැවිදි චරිත දෙක තුනක නම් අපටත් දැනගන්න.”

‘‘නම් වශයෙන් සඳහන් කළොත් රේරුකානෙ ලොකු හාමුදුරුවො, බළන්ගොඩ නායක හාමුදුරුවො, කටුකුරුන්දෙ ලොකු හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, ආනන්ද හාමුදුරුවො, ධම්මිස්සර හාමුදුරුවො, නාරද හාමුදුරුවො, පේමානන්ද හාමුදුරුවො, සීලරතන හාමුදුරුවො, ශාන්ත හාමුදුරුවොසුදස්සි හාමුදුරුවො, සුඛිත හාමුදුරුවො, සුසීල හාමුදුරුවො, පුඤ්ඤසාර හාමුදුරුවො වගෙ නම් කීපයක් කියන්න පුළුවන්. ඒ උනාට ඔය නාමාවලිය ඔයිට වැඩිය දිග යි. මන් ඔය කවර මට්ටමකින් හරි පෝෂණය ලබපු භික්ෂූන් වහන්සේලා ටික දෙනෙක් ගැන විතරයි ඔය කිව්වෙ.”

‘‘එතකොට තව පොඩ්ඩකින් අපට හම්බ වෙන්න ලැබෙන ධම්මජීව හාමුදුරුවන්ගෙ නම ඇතුළත් වෙලා නැද්ද ඔය ලැයිස්තුවට.”

‘‘මොකද රේණු අක්කෙ නැත්තෙ. මන් හිතන්නෙ අදින් පස්සෙ ඔය දෙන්නත් එහෙම ලැයිස්තුවක් හදනවනං ධම්මජීව හාමුදුරුවන්ගෙ නම අනිවාර්යෙන් ම ඒ ලැයිස්තුවට ඇතුළත් කරගන්නවා.”

‘‘ඔය දෙන්න කිව්වෙ මල්ලි, මමයි මිහිදිනි යි ද? ඈ මල්ලි, උඹ තමන්ගෙම සහෝදරයගෙ නම හළලා දැම්මා නේද?”

‘‘අය්යගෙ නම හළන්න දෙයක් නෑ. එයා අපේ ෆස්ට් ඉයර්රෙකේ ඉඳල ම ධම්මජීව හාමුදුරුවො අඳුනනවා.”

‘‘ඒ කොහොම ද බන්. මොකෝ හාමුදුරුවො සෞන්දර්යෙයැ ඉගෙන ගත්තෙ උඹත් එක්ක විද්‍යෝදෙනෙ.”

‘‘ඔව් මාත් එක්ක විද්‍යෝදෙ ඉගෙන ගත්ත එක හරි. මන් විශ්වවිද්‍යාලෙට ගිය පළවෙනි දවසෙ මාත් එක්ක මගෙ අය්යත් ආවා. එදා අය්යටයි මටයි දෙන්නට ම හරි අහඹු විදිහකට තමයි ධම්මජීව හාමුදුරුවන් ව අඳුන ගන්න ලැබුණෙ. ඒ ඇඳුනුම්කම අපි දෙන්නව ම බළන්ගොඩ මේ පන්සලට අරගෙන ආවා ෆස්ට් ඉයර්රෙකේ දිම.”

‘‘මල්ලි කියන එක ඇත්ත නංගි, අපේ විශ්වවිද්‍යාලෙදි අපට යාළුවො හැටියට ඇසුරු කරන්න භික්ෂූන් වහන්සේලා ලැබෙන්නෙ නැහැනෙ. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේලත් එක්ක දායකයො හැටියට ළඟ ඇසුරක් තිබුණ තමයි. ඒ උනාට ගමට පිටින් මට ළඟින් ඇසුරු කරන්න ලැබුණෙ අපේ මේ ධම්මජීව හාමුදුරුවො තමයි.”

‘‘විපුල් අය්යලට මේ ස්වාමින් වහන්සෙ ඔච්චර දැනෙන්න තරං උන් වහන්සෙගෙ තිබිච්ච විශේෂත්වෙ මොකක් ද? ”

‘‘ඔව් ඒකට මන් මෙහෙම උත්තර දෙන්නං.  නංගි, අපිට යම් දවසක අපේ මේ ධම්මජීව හාමුදුරුවො මුණ ගැහුණ ද ඒ හැම හමුවීමක් අවසානෙ දි ම අපි උන් වහන්සේගෙන් සමු ගත්තේ මොකක් හරි ධර්ම කාරණයක් ජීවිතයට එකතු කරගෙන. අද බලන්ඩකො ඔයගොල්ලොත් ඒ අද්දැකීම අනිවාරෙන් ම ලබනවා කියන විශ්වාසෙ තමයි මට තියෙන්නෙ.”

‘‘එතකොට හාමුදුරුවො දන්නව ද විපුල් අය්යෙ, අද අපි උන් වහන්සෙ දකින්න එනවා කියන එක.”

‘‘අපෝයි ඔව් මේ ගමන තීරණය වෙච්ච මුල් දවස්වල ම වගේ අපේ මල්ලි ධම්මජීව හාමුදුරුවන්ට කතා කළා. මල්ලිට ලොකුවට ම ඕනකම තිබුණා මේ ජීවිතයට අපි උන්වහන්සේගෙන් යම් ආලෝකයක් ලැබුවනං ඒ ලබපු එළිය ඔය දෙන්නටත් ලබලා දෙන්න. ඒ කතා කරපු දවසෙ රෑ හාමුදුරුවො මටත් කතා කළා. උන්වහන්සේ එදා කිව්වෙ මහත්තයලට මගෙ ඇසුරෙන් යම් සතුටක් අස්වැසිල්ලක් ලැබෙනව ද ඒ වගෙ තමයි මටත් කියලා කිව්වෙ. එදා හරි ලස්සන ප්‍රකාශෙකුත් කළා. ඒකෙ තියෙන අර්ථෙ වගෙම  වචනවල ලස්සන නිසාම මන් ඒක මතක තියා ගත්තා. ”

 ‘ඉතින් කියන්ඩකො විපුල් අය්යෙ, ඒක අපටත්.”

‘‘හැබැයි රේණු ඒක හාමුදුරුවො අපට කියන එක නෙමේ ගැළපෙන්නෙ. ඒක අපි උන්වහන්සෙ ඉස්සරහ තියාගෙන අපි උන්වහන්සෙට කියනවනං. ඉන්ඩකො ඒක මන් අර්ථෙත් එක්ක ම කියන්නංකො.

                                ‘‘ත්වං මේ අමෝඝදර්ශනං භවේත්.     

                                     ඔබ මට නොහිස් දැක්මකි.”

‘‘ඒ ප්‍රකාශෙ ලස්සන යි. ඒකෙ අර්ථෙත් ලස්සන යි. ඔය ප්‍රකාශෙ තවත් ලස්සන වේවි ඔය තුන් දෙනාම මගෙ ඉස්සරහට ඇවිල්ලා ඕක කියනවනං.”

‘‘මොකක් මොකක් රේණු අක්කෙ කියන්නෙ. ”

‘‘මොකක් මොකක් නෙමේ ගඟුලො මේ රේණු අක්කා කියන්නෙ උඹත් ඇතුළු ව ඔය තුන් දෙනා මගෙ ඉස්සරහට ඇවිල්ල ඕක කියන්ඩ සුදුසු යි කියන එක. ”

‘‘අප්පේ කියන්ඩ ම වටින අමෝඝ දර්ශනේ. ඔයා ද එතකොට අපේ නොහිස් දැක්ම.”

‘‘නැතුව, ඒක මල්ලි උඹට තේරෙන්නෙ නැති උනාට මට කරන්න දෙයක් නෑ. අපරාධෙ කියන්ඩ බෑ මල්ලිට ඒක තේරුන් නැති උනාට එයාගෙ අය්යනං ඒක බොහොම නොමසුරු ව මගෙ ඉස්සරහට ම ඇවිත් කිව්වනෙ.”

‘‘ඉතින් අක්කෙ විපුල් අය්යා ඒක කිව්වෙ ධම්මජීව හාමුදුරුවො කරපු ප්‍රකාශයක් හැටියට මිසක් ඔයා ගැන හිතලා නෙමෙයිනෙ. ”

‘‘ඉරිසියාව ඉරිසියාව වෙන මොකුත් නෙමේ ඉරිසියාව”

‘‘මොකට ද අප්පෙ අපි ඉරිසියා කරන්නෙ”

‘‘වෙන මොකටවත් නෙමෙයි මන් වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවක් ලෝකයෙන් ගරු බුහුමන් ලබන එකට.

විපුල් මන්දහාසිත ව එදෙස බලා සිටියා විනා ඊට පිළිතුරු දීමට ගියේ නැත.

එයිනික්බිති ව ඔවුනට දක්නට සන්සුන් ගමනින් එතුරු උයන වෙත වැඩම කරන තුරුණු යතිවරයකුගේ රූපකාය යි. උන් වහන්සේ වෙත පියමන් කළ විපුල් පළමු ව කෙළේ සිය පැවැත්මෙන් ම නික්ලේශී චරණ ප්‍රකාශයට පත් කරන ධම්මජීව හිමියන්ගේ පාදාභිවන්දනය කිරීම ය. තදනන්තර ව ගඟුල් ද රේණු ද මිහිදිනී ද අනුගමනය කෙළේ විපුල්ගේ මග යි.

සුවපත් වේවා යන හෘදයාශීර්වාදය නිකෙලෙස් මුවකින් ප්‍රකාශයට පත් කරමින් ඒ සුයාමයේ පළමු ව කතා කෙළේ එ තුරුණු යති රුවන යි.

‘‘අපේ කල්‍යාණ මිත්‍රයො දෙන්නෙක් තමන්ගෙ කල්‍යාණ මිතුරියන් දෙන්නෙක් එක්ක ආපු එක අපටත් ලොකු සතුටක්. අපි යමු ඉස්සෙල්ල ම අපේ ප්‍රාණාධාර කුටියට.  එතෙන්ට ගිහිල්ල ම මට මේ තරුණ සහෝදරියො” දෙන්න ම අඳුන්නලා දෙන්නකො ගඟුල්.”

‘‘මොකක් ද ගඟුල් මල්ලි, ප්‍රාණධාර කුටිය කියන්නෙ.”

රේණු ගඟුල්ට සමීප වී යථෝක්ත ප්‍රශ්නය ඇසුවේ පහත් හඬකිනි. එහෙත් ගඟුල්ට පෙර ඒ ප්‍රශ්නයට පමණක් නොව රේණු සිත පිළිබඳ අප්‍රකාශිත තවත් ප්‍රශ්න දෙකකටත් පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ නොබැහැර වන මන්දහාසය ජීවිතාංගයක් බවට පත් කොට ගෙන සිටින ධම්මජීව හිමියෝ ය.

‘‘ප්‍රාණාධාර කුටිය කියලා කියන්නෙ මේ පන්සලට දුරක ඉඳලා හරි ළඟක ඉඳලා හරි කෙනෙක් ආවොත් ඒ ඇත්තන්ට සංග්‍රහ කටයුතු සිද්ධ කරන කුටියට.”

‘‘විශේෂ හේතුවක් ඇතුව ද අපේ හාමුදුරුවනේ ආහාරපානවලින් සංග්‍රහ කරන තැනට ඒ නම දාලා තියෙන්නෙ.”

‘‘බොහොම හොඳ ප්‍රශ්නයක් මේ ඇහැව්වෙ. ඔය ප්‍රශ්නෙ මෙහෙට මුලින් ම එන ගොඩක් දෙනෙක් අහනවා. විපුල් අය්යත් මට මතක යි මෙහෙ ආපු පළවෙනි දවසෙ ම ඔය ප්‍රශ්නෙ ඇහැව්වා. දැන් මන් මේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නංකො. ප්‍රාණාධාර කියන වචනෙට තියෙන වාච්‍යාර්ථෙ අපි කවුරුත් දන්නවනෙ. අපේ ගඟුල්ගෙන් ඇහැව්වොත් ඔය වචනෙ ගැන භාෂාත්මක පැහැදිලි කිරීමක් කරන්න කියලා. එයා මුලින් ම කියාවි ප්‍රාණ ආධාර කියන වචන දෙක එකතු වෙලා හැදිච්ච සන්ධි පදයක් ය කියලා. දෙයක් තේරුම් ගන්න මේ වචනාර්ථත් වැදගත් වෙනවා තමයි. හැබැයි ඊටත් වඩා වැදගත් වෙන්නෙ ඒ වචනෙ තියෙන සංකල්පීය අර්ථෙ. ගඟුල්ට මතකනෙ අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙත් මේ වචනාර්ථ - ධ්වනිතාර්ථ ගැන කතා කරනවා.”

‘‘හොඳට මතක යි හාමුදුරුවනෙ. පළවෙනි දවසෙ ඇති වෙච්ච අඳුනා ගැනීම කල්‍යාණ මිත්‍රත්වයක් දක්වා වර්ධනය වෙන්නත් බලපෑවේ භාෂාවක වචන  අපේ මේ ජීවිත තියෙනවාට වඩා අර්ථවත් කරගන්න භාවිත කරන්න පුළුවන් ය කියන කාරණාව ගැන කරපු සාකච්ඡානෙ.”

‘‘දැන් මේ සහෝදරියට දැනගන්න ඕනකම තියෙන ඒත් අහපු නැති තවත් ප්‍රශ්නයක් තියෙනව නේද? හොඳයි මම ම ඔය හිතට ආපු ප්‍රශ්නෙ කියල ම උත්තර දෙන්නංකො.”

‘‘මේ හාමුදුරුවො ඇයි මට මේ සහෝදරිය කියලා කතා කරන එක ඔය දරුවට ගැටලුවක් උනා නේ ද? ඒක භික්ෂුවක් කාන්තාවකට කතා කරන්න හොඳ විදියක් නෙමෙයි කියන හැඟීමත් හිතට ආවා නේ ද?”

‘‘අනේ මට සමාවෙන්න හාමුදුරුවනෙ මන් එහෙම හිතුවා තමයි.”

‘‘සමා වෙන්න කියන්න තරන් දෙයක් නෑ මෙතන. ඒ වගෙම බෞද්ධ සම්ප්‍රදාය රකින්න ඕන නේද කියන හැඟීමත් අහපු නැති ප්‍රශ්නෙ තියෙනවා. මොකද වර්තමාන සමාජෙ ප්‍රචලිත ඇතැම් දේශපාලන දර්ශන ගැන හැඟීමක් ඇති අයත් සමානාත්මතාව කියන අදහස හිතේ තියාගෙන සහෝදරයා සහෝදරිය කියලත් භාවිත කරනවා. මන් ඒ ආමන්ත්‍රණයෙත් වරදක් දකින්නෙ නැහැ. ඒත් මන් මෙතුමියට සහෝදරී කියලා කතා කළේ බුද්ධ වචනයට අනුගත ව යි. නූතන සමාජවාදී දේශපාලන දර්ශනය කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවත් බුදු හාමුදුරුවො කියන්නෙ ලෝකයෙ පහළ වෙච්ච සුවිශිෂ්ට සමාජවාදියාට. මොකද ජාති ආගම් කුල කියන මේ කොයි භේදයකින්වත් තොරව උන්වහන්සේ වැඩ කළා. අපි ප්‍රාණාධාර කුටියට ගිහිල්ල ම කතා කරමුකො. හැබැයි ඉස්සරහට ඔය ඇත්තියන් දෙන්නට මන් නෝනා කියලත් කතා කරනවා මොක ද දැන් ඒකත් අපේ සංස්කෘතියට බද්ධ වෙච්ච වචනයක් වෙලා ඉවරයිනෙ.”

ප්‍රාණාධාර කුටිය පිහිටා තිබුණේ ද එක්තරා අන්දමක වන රොදක් යැයි කිව හැකි බිම් කඩක ය. ඔවුන් දැක සිනාසෙමින් ඉදිරියට පැමිණියේ පිරිසිදු වතක් හැඳි මැදිවියේ පසු වන ප්‍රසන්න පුරුෂයෙකි.

‘‘අපරාධෙ කියන්න බැහැ ඔබවහන්සෙ මෙතන උදව්වට ඉන්න අයටත් ඔබවහන්සෙගෙ හිනාව බෝ කරලා තියෙනවා. නංගිලා මේ තමයි අපේ උපාලි අය්යා. අපේ හාමුදුරුවො හිටියත් නැතත් කවුරු ආවත් සංග්‍රහ කරන්න සැදී පැහැදී ඉන්න ආහාර සම්පාදනය පිළිබඳ මහ මොළකරු.”

ගඟුල් එසේ පවසද්දී පහත සඳහන් ප්‍රකාශය කරමින් සංවාදයට  එක් වූයේ රේණු ගුරුවරිය යි.

‘‘මල්ලි, මහ මොළකරු කියන යෙදුම මෙතුමාට ගැළපෙන්නෙ නැහැ කියල යි මට හිතෙන්නෙ. සාමාන්‍යයෙන් ඕක පාවිච්චි කරන්නෙ වැරදි දෙයක් උපරිම විදිහට සැලසුම් කරන කෙනාට නේ ද?”

‘‘නෑ රේණු අක්කෙ, එහෙම අයට මේ වගෙ හොඳ නමක් පාවිච්චි කරන එකයි වැරදි. මන් හිතන හැටියට මහ මොළකරු කියන යෙදුම ලබන්න සුදුසු වෙන්නෙ හොඳ ප්‍රතිපල ලැබෙන විදිහෙ හොඳ වැඩ සංවිධාන කරන අයට මිසක් ජීවිත විනාශ කරන ජීවිත අවුල් කරන වැඩ කරන අයට නං නෙමෙයි.”

‘‘ගඟුල් මතු කරන අදහස තමයි නෝනා හරි. වචන වැරදි අර්ථවල යෙදෙනවානං ඒවා නිවැරදි කිරීමේ වැඩි වගකීමක් තියෙන්නෙ ගඟුල්ලා නෝනලා වගේ භාෂා සාහිත්‍යයන් ඉගැන්වීමේ වගකීම මේ යුගයේ පැවරිලා තියෙන අයට ම තමයි.”

අනතුරුව කලණමිත් සංසදය ප්‍රවේශ වූයේ පසන් අහර සුවඳ රැඳි කුටියකට ය. එහි මනා පිළිවෙළකට අහර බඳුන් තබා තිබිණ.

‘‘දැන් අපේ හාමුදුරුවනේ කෑම ගන්න ඉස්සෙල්ලා මේ නංගිලා දෙන්න ම අඳුන්නලා දීලා හිටින්නං.”

‘‘විපුල් මහත්තයා, දැන් එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැනෙ. මේ රේණු නෝනා. අර මිහිදිනී නෝනා. ගඟුල් මට කලින් කියලා තියෙන හැටියට දෙන්නම ඉංග්‍රීසි ගුරුවරියො.”

‘‘ඔබ වහන්සෙ කොහොම ද අපි කියන්නත් කලින් මේ දෙන්නගෙ නං  දැනගත්තෙ.”

‘‘එතන මහත්තයො අමුතු හාස්කමක් නං නැහැ. දැන් කතාබහ කරද්දිම ඔය නම් දෙක කියවුණාවෙ. කොහොමටත් මේ නෝනලා දෙන්න ම ගුරුවරියන් බවත් උගන්නන්නෙ ඉංග්‍රීසි බවත් මන් දන්නවනෙ. මන් ඒ දෙකට අමුතුවෙන් කළේ ඒ දෙන්න ම මෙතෙක් කතා කරපු හැසිරිච්ච දිහා චරියා සූත්‍රය කියන කවුළුවෙන් බලලා කිසියම් අදහසක් ඇති කරගන්න එක.”

‘‘අනේ අපේ හාමුදුරුවනෙ අපටත් දැන ගන්නත් එක්ක එක්ක ඒ චරියා සූත්‍රයෙ අදහස් කියලා දෙන්න බැරි ද?”

‘‘මොකෝ බැරි නෝනෙ. භික්ෂූන් වහන්සේලා විදිහට බුදුහාමුදුරුවො අපට පවරපු ප්‍රධාන කාරියක්නෙ ඒක. දැන් ඔය ඇත්තො තේ එහෙම බීලා ඉවර වෙලා මන් විතරක් කරන ධර්ම දේශනයක් නොවී චරියා සූත්‍රය ගැන අපි ධර්ම සාකච්ඡාවක් ම කරමුකො. එහෙනං උපාලි අය්යා තමන්ගෙ පරණ යාළුවො දෙන්නට යි අලුත් යෙහෙළියො දෙන්නට යි සංග්‍රහ කරලා හතරදෙනාම ධර්මාගාරයට එවන්ඩකො.”

මෙසේ පවසා පිරිසට නිදහසේ සංග්‍රහ භුක්ති විඳීමට අවැසි පරිසරය සකසා ධම්මජීව හිමියෝ ප්‍රාණාධාර කුටියෙන් නික්ම වැඩම කෙළේ ධර්මාගාරයට යි.

‘‘උපාලි අය්යා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලානෙ.”

‘‘මොන මහන්සියක් ද නෝනා, මන් මේ තනියම මේවා කරනවා නෙමේ අර පැත්තක ඉඳගෙන ඉන්න චන්ද්‍රසිරි මල්ලි තමයි මේ වැඩවලදි ගොඩක් ම උදව් කරන්නෙ. එයා නිහඬ ව වැඩ කරන්න කැමති කෙනෙක්. තමන් මහන්සි වෙලා කරන වැඩකින් අනික් අය පල ප්‍රයෝජන ලබන කොට පැත්තකට වෙලා ඉඳගෙන ගොඩක් සතුටු වෙන කෙනෙක්. දැන් ඔය කරන්නෙත් ඒක. ඔය ඇත්තන්ට දවල් කෑම පිළියෙල කරන කටයුත්තටත් මට උදව් කරන්නෙ චන්ද්‍රසිරි තමයි.”

‘‘ෂා ඒ කියන්නෙ අපට දවල් කෑමත් මේ පන්සලෙන්. ”

‘‘අනේ අනේ රේණු අක්කෙ ඔයාට ඉතින් කෑම කිව්වහම ආයෙ වෙන මුකුත් ඕනෙ නැහැනෙ.”

‘‘මොකෝ නැත්තෙ කෑමත් ඕනෙ කෑමෙන් පස්සෙ ධර්ම සාකච්ඡාවට යන්නත් ඕන. බලන්න අපේ හාමුදුරුවො අපට ධර්මාගාරයට එන්න කිව්වෙත් තේ බිව්වට පස්සෙනෙ. බුදුහාමුදුරුවොත් බණ කිව්වා කියන්නෙ බඩගින්නෙ ඉන්න අයට කන්න දීලා කියලා නේ ද බෞද්ධ සාහිත්‍යෙ තියෙන්නෙ.”

‘‘උපාලි අය්යෙ හොඳ වෙලාවට අපේ රේණු අක්කා බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටියෙ නැත්තෙ. හිටියනං බුදුහාමුදුරුවො ළඟටත් ගිහිල්ලා කියාවි. අනේ මට බඩගිනියි බුදුහාමුදුරුවනේ කියලා. ”

ගඟුල්ගේ ඒ ප්‍රකාශයට සිනහ රේඛා ඇදී ගියේ මෑත සිටි උපාලිගේ මුව මත පමණක් නොවේ. ඈත සිටි චන්ද්‍රසිරිට ද ඒ සිනහව බෝ විය. අවසන කල්‍යාණ මිත්‍ර චතුර්ථය එතැනින් නික්ම ධර්මාගාරය වෙත පියමන් කෙළේ තවත් හදවත් දෙකක පිවිතුරු සුමිතුරු සලකුණ තබමිනි. මෙමිතුරු පිරිස විසින් ගිය ගිය තැනදී සොරකම් කොට ගනු ලබන සම්පතක් වෙයි. ඒ වූ කලී ධන සම්පත නොව හද සම්පත යි. සංස්කෘත කවියා පහත උද්ධෘත කොට දක්වනු ලබන ප්‍රකාශය කෙළේ මෙවන් පසන් මිනිසුන් ගැන විය නොහැකි ද?

වරං තස්කරසම්බන්ධං - න ච සාධුසමාගමම්

තස්කරෝ හි හරත්‍යර්ථං - සාධුස්තු හෘදයං හරේත්

සොරකු සමග මිතුරු වීම උතුම් ය. සජ්ජනයන් සමග මිතුරු වීම  නූතුම් ය. සොරා වනාහි ධනය පැහැර ගනියි. සාධු මිනිසා හද පැහැර ගනියි. 

බලයෙන් හෝ ධනයෙන් නොව ගුණයෙන් හද පැහැර ගන්නා මිනිස් කුලකයට අයත් ධර්මය ම ජීවිතය කොට ඇති එ උතුම් යතිරුවන හා සිදු වන ධර්ම සංකථනයට ය, මේ දොරටු ඇරුණේ. මෙහිදී තත් සංකථනයෙහි ලා වන ප්‍රථම ප්‍රවේශය ගන්නා ලද්දේ ද ධර්මජීව හිමියන් විසිනි 

‘‘මන් දන්නවා අපේ උපාසක ඇත්තියන් දෙන්නට ම අහන්ට කරන්ට දැනගන්ට දේවල් තියෙනවා කියන එක. හොඳයි බුද්ධ පුත්‍රයෙක් හැටියට මන් පුබ්බභාසි වෙන්නංකො.”

‘‘අපේ හාමුදුරුවනේ, මන් මේ දැනගන්ට අහන්නෙ මොකක් ද හාමුදුරුවනේ පුබ්බභාසී වෙනවා කියන්නෙ.”

‘‘නෝනා බුදුහාමුදුරුවන්ගෙ චරිතෙ තියෙන අප්‍රමාණ ගුණාංග අතර කැපිලා පේන ගුණාංග දෙකක් තමයි පුබ්බභාසි ගුණය වගේම පුබ්බහාසි ගුණය. පුබ්බභාසි කියන්නෙ මුලින් කතා කරන කෙනාට යි. පුබ්බහාසි කියන්නෙ මුලින් හිනාවෙන කෙනාට යි. කෙනෙක් හමු උනා ම එයත් එක්ක මුලින් ම හිනාවෙන්නෙ බුදු හාමුදුරුවො. දැන් අපි ගොඩක් දෙනා බලන් ඉන්නෙ අපිත් එක්ක අරයා හිනා උනොත් මාත් හිනා වෙනවා මාත් එක්ක කතා කළොත් මාත් කතා කරනවා කියලනෙ. බුදු හාමුදුරුවො වගේ අතිඋත්තම චරිතයකට කෙනෙක් එක්ක මුලින් හිනා වෙන්න මුලින් කතා කරන්න පුළුවන් නං ඇයි අපිට බැරි ඒ ආදර්ශෙට අනුව කටයුතු කරන්න.”

රේණු ගුරුවරියගේ ප්‍රශ්නයට පූජ්‍ය ධම්මජීව හිමියන් විසින් ලබා දෙන ලද්දේ ඉහත සඳහන් පිළිතුර යි.

‘‘හාමුදුරුවනේ අපි මේ දැන් කතා කරන තැන ධර්මාගාරයනෙ. අපිට ශ්‍රවණාගාරය, කලාගාරය වගේ නම් නං අහලා පුරුදු යි. ධර්ම ශාලාව, ධර්ම නිකේතනය, ධර්ම ආශ්‍රමය වගේ නමුත් පුරුදු යි. ඔබ වහන්සේ මෙතෙන්ට ධර්මාගාරය කියලා දැම්මෙ විශේෂ හේතුවක් ඇතිව ද?” 

‘‘මේ මිහිදිනී නෝනා බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහැව්වෙ. ගඟුල්ට මතක ද අපි දෙන්න ම ගිය සංස්කෘත සහතික පත්‍ර පාඨමාලාව බාර ව කටයුතු කරපු සර් දවසක් රාමායණයෙ ක්‍රෝධාගාරය කියලා තැනක් තියෙනවා කිව්වා. අන්න එදා තමයි මට හිතුණෙ අතීත සමාජෙ ඒ තිබුණයි කියන ඒ ක්‍රෝධාගාරය වෙනුවට අපිට ධර්මාගාර සංකල්පය ගේන්න බැරි ද කියන එක.”

‘‘එතකොට මොකක් ද හාමුදුරුවනේ ඔය එදා තිබුණ ක්‍රෝධාගාරෙ?”

‘‘රේණු නෝනා ඒක පැහැදිලි කරන්න මට ඔය කතාවෙ පසුබිම ගැන ටිකක් කියන්න වෙනවා. රාමායණෙ එන දශරථ රජතුමාට කෞසල්‍යා, සුමිත්‍රා, කෛකේයි කියලා බිසෝවරුන් තුන් දෙනෙක් හිටියා. කෞසල්‍යාගෙ පුතා තමයි රාම.  සුමිත්‍රට පුත්තු දෙන්නෙක් හිටියා ලක්ෂ්මණ ශත්‍රැඝ්න කියලා. කෛකේයිට හිටියෙත් පුතෙක්. එයාගෙ නම භරත. මේ හතරදෙනාගෙන් වැඩිමහලු පුතා තමයි රාම. එයා තමයි දශරථ රජතුමාගෙන් පස්සෙ රාජ්‍ය උරුමක්කාරයා උනේ. ඒත් කෛකේයිට අවශ්‍ය උනේ තමන්ගෙ පුතා භරතට රජකම අරන් දෙන්න. එයා ඒකට පාවිච්චි කරපු උපක්‍රමේ තමයි ඒ කාලෙ ප්‍රභූ කාන්තාවන්ට ලොකු කේන්තියක් ආවහම ඒ කේන්තිය මුදා හරින්න තිබිච්ච ක්‍රෝධාගාරෙ කියන තැනට ගිහිල්ලා පලි දරන එක. එදා කෛකේයී බිසව කළෙත් ක්‍රෝධාගාරෙට ගිහිල්ල කොණ්ඩෙ කඩාගෙන බිම වැතිරිලා අඬ අඬ පලි දරන එක.”

‘‘ඉතින් අපේ හාමුදුරුවනේ එහෙම කරලා ඒ බිසව බලාපොරොත්තු උනේ මොකක් ද?”

‘‘බලාපොරොත්තු උනේ ද කොහොම හරි රජ්ජුරුවන්ට කියලා තමන්ගෙ පුතාට රජකම ගන්න එක.”

‘‘ඉතින් හාමුදුරුවනේ මේ රජතුමාට තිබුණනෙ ඒ බිසවගෙ ඇඬිලි වැලපිලි ගණන් ගන්නැතුව ඉන්න.”

‘‘ඒ උනාට රේණු නෝනා මේ රාමායණ කතාවෙ ඉන්න දශරථ රජතුමා එහෙම කළේ නැහැනෙ. මොක ද ඒ බිසවට තිබිච්ච ඇලීම වගෙම කලින් දවසක තමන්ගෙ ජීවිතේ අනතුරක වැටෙන්න ගිය වෙලාවක තමන් කැමති ඉල්ලීමක් කරන්න කියලා රජතුමා ම දීපු පොරොන්දුවක් තමයි මේ කෛකේයී පාවිච්චි කළේ තමන්ගෙ ඉල්ලීම දිනා ගන්න.”

‘‘ඉතින් ඒ ඉල්ලීම දිනාගන්න පුළුවන් උනා ද එයාට.”

‘‘පුළුවන් වෙච්ච නිසානෙ නෝනා රාම කුමාරයට අවුරුදු දොළහක් වනවාසී ජීවිතයක් ගත කරන්න උනේ.”

‘‘ඒ උනාට හාමුදුරුවනේ අපි අහලා තියෙන්නෙ අර බිසව රජකම අරන් දෙන්න වලිකාපු භරත කුමාරයත් රජකම ප්‍රතික්ෂේප කළා කියලනෙ.”

‘‘ඔව් නෝනා ඒ විතරක් නෙමෙයි සහෝදරයන් අතරින් වැඩිමලා වෙච්ච රාම සහෝදරයට තමන්ගෙ අම්මා කරපු අසාධාරණේ ගැන ලොකුම විරෝධය එල්ල උනෙත් භරත කුමාරයගෙන් ම තමයි.”

‘‘රේණු අක්කෙ, දැන් අපි අපේ හාමුදුරුවන්ගෙන් චරියා සූත්‍රය ගැන අහ ගම්මු ද? මොක ද රාමායණ කතාව මටත් පුළුවන් පස්සෙ වෙලාවක කියන්න. ඒ උනාට මන් චරියා සූත්‍රය ගැනනං දන්නෙ නැහැ.”

‘‘හරි මල්ලි, එහෙනං හාමුදුරුවනේ අපිට ඒ සූත්‍රය ගැන කරුණු කියන්නකො.”

මිත්‍ර පර්ෂදය ධර්මාගාරයේ සුදුසු තැන්වල හිඳගත් පස් ධම්මජීව හිමියෝ කතා කළහ.

‘‘චරියා සූත්‍රය තියෙන්නෙ ඛුද්දක නිකායට අයිති පටිසම්භිදා මග්ගය කියන පොතේ. ඒකෙදි බුදු හාමුදුරුවො අපේ ජීවිතේ තියෙන්න ඕන කරන චර්යා අටක් ගැන සඳහන් කරනවා. ඉස්සෙල්ලම මන් ඒවා ඒ සූත්‍රයේ තිබිච්ච පිළිවෙළට පැහැදිලි කරන්නං. පළවෙනි එක තමයි ඉරියාපථ චරියාව.  ඒකෙ සංස්කෘත රූපය ඊර්යාපථ. සරල සිංහලෙන් පැහැදිලි කළොත් අපේ මේ ඉරියව්. ඔක්කොටම ඉස්සෙල්ලා අපි මේ චර්යා අටට තියෙන නම් ටික දැනගෙන ඉන්න එක හොඳයි. දෙවෙනි චර්යාව තමයි ආයතන චර්යාව. තුන සති චර්යාව. ඒ කියන්නෙ සිහියෙන් හැසිරීම. හතර සමාධි චර්යාව. පහ ඥාන චර්යාව. හය මාර්ග චර්යාව. හත ප්‍රාප්ති චර්යාව. තව විදිහකට කිව්වොත් ඵල චර්යාව. අටවෙනි චර්යාව තමයි ලෝකාර්ථ චර්යාව.”

‘‘ඒ නම් ටික දිහා බැලුවහමත් මට පේන දෙයක් තමයි අපි මේවයේ හැසිරුණොත් අපිත් ගොඩ ගිහින් රටත් ගොඩ ගන්න පුළුවන් කියන එක. ඒත් මේකෙ වචනවලින් තියෙන හැම දෙයක් ම මට තේරෙන්නෙ නැහැ. ඒ නිසා අපි කාටත් මේ ගැන පැහැදිලි චිත්‍රයක් හිත්වල ඇඳගන්න ඔබ වහන්සෙම පැහැදිලි කරලා දෙනවනං හොඳයි. ”

‘‘හොඳයි රේණු නෝනා, මේ ගැන දක්වන උනන්දුව බොහොම වටිනවා. දැන් අපි මේ ටික මේ විදිහට පැහැදිලි කරගන්න බලමු. දැන් බලමු මන් මේ කලින් ඉඳලා දන්න මේ යාළුවො දෙන්නා. එක්කෙනෙක් චිත්‍රමූර්ති ශිල්පියෙක් වෙනවා. අනිත් එක්කෙනා ගුරුවරයෙක් වෙනවා. ඒ ඉගෙන ගන්න කාලෙට අවශ්‍ය කරන විදිහෙ ඉරියව් පවත්තලා සිහියෙන් වැඩ කරපු නිසා තමයි මේ අය්යා මල්ලි දෙන්නට අද මේ ඉන්න තත්වෙට එන්න පුළුවන් උනේ. ඔය එක පැත්තක්. තව පැත්තකින් අපට පුළුවන් කෙනෙක්ගෙ චර්යා දිහා බලලා එයාගෙ ජීවිතේ කියවන්න.”

‘‘ පළවෙනි කාරණේ නං පැහැදිලියි හාමුදුරුවනේ. ඔබ වහන්සෙ කිව්ව දෙවෙනි කාරණේ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද?”

‘‘ගඟුල් බැලුවහම මේ රේණු නෝනනෙ ඍජුව ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නෙ.”

‘‘හාමුදුරුවනේ අපිත් උනන්දුවෙන් තමයි මේ සාකච්ඡාව අහගෙන ඉන්නෙ.”

‘‘හරි හරි මන් ඒක නැහැයි කිව්වෙ නැහැනෙ මිහිදිනී නෝනා.”

ධම්මජීව හිමියන් එවදන් පැවසුවේ සුපුරුදු මන්දහාසයෙන් බැහැර නොවෙමිනි. අනතුරුව උන්වහන්සේ තමා පළමු ව පැවසූ කරුණ සනාථ කිරීම උදෙසා නිදසුන් ලෙස ගත්තේ සිංහල පද්‍ය පන්තියකි. පළමු ව උන්වහන්සේ විසින් කරන ලද්දේ එහි පසුබිම පැහැදිලි කිරීම ය.

‘‘මන් මේ ගන්න කවි පන්තියේ මාතෘකාව තියෙන්නෙ නල්ලතම්බිට අඳිනවා කියල යි. මේ අර නල්ලතම්බි කියන ඇත්තටම අපේ සමාජෙ ජිවත් වෙච්ච නල්ලතම්බිවත් කණගාටුදායක ඉරණමකට ලක් වෙච්ච නල්ලතම්බි චරිතෙ රඟපාපු ප්‍රසිද්ධ නළුවවත් නෙමෙයි. බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරමින් තමන්ගෙ දරු පවුල නඩත්තු කරන සාමාන්‍ය මනුස්සයෙක් ගැනයි මේ කියන්නෙ. මේක ලියලා තියෙන්නෙ කුමාර හෙට්ටිආරච්චි කවියා. මේ කතාවෙ කියවෙන මනුස්සයගෙ ඉරියව් ම තමා එයාගෙ ජීවිතේ මොන වගේ එකක් ද කියන හැඟීම අපේ හිත්වල ඇති කරන්න උදව් වෙන්නෙ. මේක කිසියම් රිද්මයකුත් තියෙන නිදහස් කවි ආරෙට ලියවෙච්ච එකක්. මන් කවි අටම නෙමෙයි අපේ කාරණේ පැහැදිලි කරගන්න උදව් වෙන කවි දෙක තුනක් විතරක් උදාහරණෙට ගන්නං.”

‘‘ඔක්කොම කවි ටික ඇහැව්වොත් හොඳයි කියල යි මට හිතෙන්නෙ අපේ හාමුදුරුවනේ.”

මිහිදිනියගේ ඉල්ලීමට හිස් සලා සියලු දෙනාම අනුමැතිය පළ කළ පසු ධම්මජීව හිමියෝ යළි සිය හඬ අවදි කළහ.

‘‘අපේ සාහිත්‍ය ප්‍රිය නෝන මහත්තෙලා ඔක්කොමගෙ ඉල්ලීම ඒක නං මන් සම්පූර්ණ කවි පන්තිය ගඟුල් මහත්තයගෙ ජංගම දුරකතනෙට එවන්නං. ගඟුල් ඒක අනික් කට්ටියට යවන්න.”

අනතුරුව ධම්මජීව හිමියන් බලා සිටියේ විපුල් සහ ගඟුල් නිහඬ ව ද රේණු සහ මිහිදිනී මන්ද ස්වරයෙන් ද එය කියවන ආකාරය යි. තදනන්තර ව උන් වහන්සේ මෙසේ පැවසූහ.

‘‘මට හිතෙන්නෙ ඔය මන්ද ස්වරයෙන් කවි ගායනා කරන නෝනලා දෙන්නගෙන් කෙනෙක් අපි කාටත් ඇහෙන්නත් එක්ක කවි ටික කිව්වොත් හොඳයි කියල යි එතකොට ඒක අපට අර ධර්මකාරණා පැහැදිලි කරගන්නත් උදව්වක් වේවි.”

‘‘අපෙ හාමුදුරුවනේ අපි ඒ වැඩේ අපේ මිහිදිනීට බාර දෙමු. නංගි ඔයා කියන්ඩකො කවි පන්තිය.”

රේණුගේ ඒ වදන්වලින් පසු මිහිදිනී සිය දුරකතන මුහුණත දෙස බලා රිද්මානුකූල ව එකවි ගායනා කළා ය.


නල්ලතම්බිට අඳින සුමනෙට

වමනෙ එන බව දැනෙනවා

බෙල්ල ගාවට බඳින පටියට 

උගුර හිරවී රිදෙනවා


                

                            ප්‍රමෝෂන් එක තියෙන දවසට       

                                   නල්ලතම්බිට අඳිනවා

                                   කන්න බොන්නත් ගතමනාවත් 

                                   ඉතිං හවසට ලැබෙනවා


ෂොපිං කරනා දනෝ හිනැහී

ටිකක් නැවතී බලනවා

කටින් නාහෙන් හුළං ගිලිමින් 

නල්ලතම්බිත් නටනවා


                               පුංචි ඈයොත් එක්ක විමලා

                               මෙන්න හිත යට නටනවා

                               අන්න එතකොට නල්ලතම්බිත්

                               දිව විකාගෙන නටනවා


හිච්චි කොලුවා නුහුරු විදියට

ඇවිදිනා හැටි මැවෙනවා

ඔන්න එතකොට නල්ලතම්බිත්

නුහුරු ගමනක යෙදෙනවා


                             මද්දුමී නං දඟයි කොහොමත්

                             පිනුම් දෙක තුන ගහනවා 

                             ඈ මතක් වී නල්ලතම්බිත්

                             පිනුම් දහයක් ගහනවා


ගෙදර උන්දෑ අහිංසක ලෙස

හිනාවෙන හැටි මැවෙනවා

නල්ලතම්බිත් ඒ හිනාව ම

කටේ  එල්ලන් නටනවා

                           

                                  කොත්තු අරගෙන අප්ප ඒ දැයි

                            පුංචි උන් මග බලනවා

                            පට්ට රැවුලක් බැඳන් නැටුවට 

                            නල්ලතම්බිට ඇඬෙනවා 


තත් කාව්‍ය ප්‍රකාශනයෙන් පසු මොහොතක නිහැඬියාවක් පැවතිණ. අනතුරුව ඒ නිහඬතාව නිමා කරමින් ඇසුණේ ධම්මජීව හිමියන්ගේ උපශාන්ත ස්වරය යි.

‘‘මගේ මේ මිත්‍ර පිරිස දැන් ඉන්න විදිහම මට දෙන පණිවිඩය වෙන්නෙ ඉරියාපථ චරියාව ගැන මගෙන් අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියන එක යි. ඒත් මන් කැමති යි ඔය හතරදෙනාගෙන් කෙනෙක් මේ කවිපන්තිය ගැන තමන්ට දැනෙන අදහස කියනවනං.”

යළිදු මොහොතක නිහැඬියාවක් පැවතිණ. එවර ඒ නිහඬතාව අවසන් කරමින් ඇසුණේ නල්ලතම්බි මතු නොව ඔහු අයත් සමස්ත කුලකයේ හද ගැස්ම හඳුනාගත් ආදරණිය ගැහැනියකගේ හඬ යි. ඒ සිය සිසු දූ පුතුන්ගේ හද ගැස්ම හඳුනා ගැන්මට සමත් වූ රේණු ගුරුවරිය යි.

‘‘අපේ හාමුදුරුවනේ මට දැනෙන විදිහට මේ කවියා කරලා තියෙන්නෙ අනුන්ගේ වේදනාවල තරම කාටකාටත් තේරුං ගන්නන්න අපි අතරම ජීවත් වෙන මනුස්සයෙක්ගෙ ජීවන ඉරියව් පාදක කර ගන්න එක. අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා තියෙන්නෙ අපිව හිනස්සන්න විහිලු ඉදිරිපත් කරන කෙනාගෙ විහිලුවලට හිනාවෙලා පෞද්ගලික සතුටක් ලබන්නනෙ. ඒත් කවියා මෙතෙන්දි අපිව යොමු කරලා තියෙන්නෙ ඒ ඉරියව් දිහා බලලා හිනා වෙන්න නෙමෙයි, ඒ මනුස්සයගෙ ජීවිතය දිහා බලන්න අපි ව යොමු කරන එක. ඒ වගෙම ඒ මනුස්සයගෙ දුක අඩු කරන්න අපට කරන්න පුළුවන් දේ මොකක් ද කියලා ඒ උදව්ව කරන තැනට සමාජය යොමු කරන එක.”

‘‘රේණු නෝනා, මේ ඊර්යාපථ චර්යාව ගැන කවියා කියන දේ විතරක් නෙමෙයි, මේ සමාජෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ඉරියව් කියවලා අපි ඉන්න ඕන තැන ගැනත් කරන්න ඕන දේ ගැනත් අඩු වචන සංඛ්‍යාවක් පාවිච්චි කරලා බොහොම අපූරුවට පැහැදිලි කළා. ඒක නිසා දැන් අපි බුදු හාමුදුරුවො කියපු දෙවෙනි චර්යාවට ඒ කිව්වෙ ආයතන චර්යාවට අපේ අවධානය යොමු කරමු.”

‘‘හාමුදුරුවනේ, ඔය සූත්‍රෙ තියෙන හැටියට නං ආයතන කියන වචනෙ පාවිච්චි කරලා තියෙන්නෙ අපේ ඇස් කන් නාසා විදිහට පිහිටලා තියෙන ඉන්ද්‍රිය ආයතන නිවැරදි ව හසුරුවා ගන්නෙ කොහොම ද කියන එක කියන්න තම යි. ඒ උනාට අපිට බැරි ද ඔය චර්යාව අපේ ඉන්ද්‍රිය පද්ධතිය නිවැරදි ව හසුරුව ගන්න ඕනෙයි කියන කාරණාව ළඟ විතරක් නතර කරන්නෙ නැතුව තවත් තැන්වලටත් ගෙනි යන්න.”

‘‘ඔය කාරණෙ තවත් ටිකක් ගඟුල් ම පැහැදිලි කළොත් තමයි හොඳ.”

‘‘අපේ හාමුදුරුවනේ, මන් අදහස් කළේ ගැඹුරු ධර්ම කාරණාවක් නං නෙමෙයි. ඔය ආයතන කියන වචනෙ අපි පාවිච්චි කරනවනෙ අපි සාමාන්‍යයෙන් වැඩ කරන එහෙම නැත්තං රස්සාව කරන තැනටත්. එහෙම බැලුවහම අපේ ඉස්කෝලෙ, පන්සල, පොළ මේවත් ආයතනනෙ. ඒවත් පවත්වා ගෙන යන ආකාර අපට බැරි ද ඔය ආයතන චර්යා කියන කාරණෙත් එක්ක ගළපන්න.”

‘‘මොකෝ බැරි ගඟුල් පුළුවන්. බුදු හාමුදුරුවො හැම තිස්සෙම වෑයම් කළේ මානවයගෙ චින්තනය විකසිත කරන්න මිසක් ඒක මොට කරන්න නෙමෙයි. දැන් ඔය ගඟුල් පෙන්නපු පැතිකඩ කලින් මමත් දැකලා තිබුණෙ නැහැ. දැන් ඔයා කළේ අපි කාටත් අලුත් දොරක් විවෘත කරලා දුන්නා වගේ වැඩක්. මීට පස්සෙ අපි අපේ පුද්ගල චර්යා කියන කාරණේ විතරක් නෙමෙයි, අපි ඉගෙන ගන්න තැන, වැඩ කරන තැන කියන ආයතනවල චර්යාත් නිවැරදි ව පවත්තන්න ඕනෙයි කියන කාරණේ ආයතන චර්යා ගැන කරන අපේ ඉදිරි ධර්ම සාකච්ඡාවලටත් එකතු වේවි. එහෙම බැලුවහම ගඟුල් කරලා තියෙන්නෙ ගැඹුරු ධර්ම කාරණාවක් මතු කරන එක ම තම යි.”

‘‘මට ඔය කාරණේ කිව්වහම මතක් උනේ මගෙත් එක්ක ගුරු විද්‍යාලෙ එකට ඉගෙන ගත්ත මිතුරියක් ව. එයා ගුරු විද්‍යාලෙට එනකොට එයාගෙ තාත්තා ගොඩක් අසනීප තත්වෙක යි උන්නෙ. අම්මා තාත්තත් බලාගෙන අපේ යාළුවවත් ඉගෙන ගන්න තැනට යොමු කරලා උදව් කරලා තිබුණෙ ඒ ගෙදර හිටපු එකම පුතා. ඒ කියන්නෙ අපේ යාළුවගෙ අය්යා. ඒ අය්යා තමන්ගෙ නංගි ව බලන්න ගුරු විද්‍යාලෙට ආපු දවසක එයාගෙ යාළුවො ඇහැව්වහම ඒ කවුද කියලා මෙයා දුන්නෙ අපූරු උත්තරයක්. ඔයගොල්ලො දන්නව ද මට තාත්තලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අපිව මේ ලෝකෙට උත්පාද කරපු ලෙඩ වෙලා ඇඳට වැටෙනකං අපිව බලා ගත්ත තාත්තා. මේ තමයි ඒ තාත්තා ලෙඩ උනු දවසෙ ඉඳලා අම්මවයි නංගිවයි මාවයි බලා ගන්න අපේ දෙවෙනි තාත්තා. ඔන්න ඔහොමයි ඉෂාරා එයාගෙ අය්ය ව අපට අඳුන්නලා දුන්නෙ.”

‘‘ඉතින් මොකක් ද බන් ආයතන චර්යාවත් එක්ක එයාගෙ තියෙන සම්බන්ධෙ. චහ් මට අපේ හාමුදුරුවො ඉන්න එකත් අමතක උනානෙ. චිහ් මන් ඔයාට වෙනදා පුරුද්දට බන් කියලනෙ දැන් කතා කළේ.”

‘‘ජීවිතය නමැති ආයතනේ තාමත් හදා ගන්න බැරි වෙච්ච එකේ අඩුව තමයි රේණු අක්කෙ ඒ. 

ගඟුල්ගේ ඒ වචනවලට රේණු තර්ජනාංගුලිය ඔසවන ආකාරයත් සුධම්ම හිමියන් එය දුටු බව දැක ඇය ශාන්ත මුහුණක් සදා ගන්නා ආකාරයත් පළමු ව දුටුවේ සුධම්ම හිමියන් ම ය. උන් වහන්සේ සුපුරුදු මන්දහාසය ම පා මිහිදිනීට කීවේ සිය කතාව තවදුරටත් කරගෙන යන ලෙස යි.

‘‘අපේ හාමුදුරුවනේ, රේණු අක්කා අහපු ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් එනවා මේ සම්පූර්ණ කතාව ඇහැව්වට පස්සෙ. ඉෂාරගෙ අය්යා කණ්ඩායමක් එක්ක දුර චාරිකාවක යනවා. මේ චාරිකාව අතරමග තැනකදි ඒ ගොල්ලො ගඟක් ළඟ වාහනේ නතර කරලා නාන්න ගන්නවා. නාන්න ගඟට බැහැපු අය පැයකට විතර පස්සෙ ගොඩට ආවත් ඒ කට්ටිය අතරෙ ඉෂාරගෙ අය්යා ඉඳලා නැහැ. ඊට පහුවදා හවස තමයි අය්යගෙ මිනිය හම්බ වෙන්නෙ. ඔය පණිවිඩය එන වෙලාවෙ ඉෂාරා හිටියෙ අපිත් එක්ක. අපිට විහිලු කරන අතරෙ ම ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නැති යාළුවන්ටත් බැණ බැණ උපදෙස් දිදී තමයි එයා හිටියෙ. ඒ පණිවිඩය අරන් ආපු අය්යලා දෙන්න යි නැන්දල යි ඉස්සෙල්ල ම ආවෙ අපි ළඟට. එයින් එක නැන්දා කෙනෙක් ව මන් කලින් අඳුනනවා. ඒ නැන්දා මට පැත්තකට කතා කරලා වෙලා තියෙන කණගාටුදායක සිදුවීම විස්තර කළා. ඒ වෙලාවෙ අපි තුන්දෙනෙකුත් ඉෂාරා එක්ක ම එයාව එක්ක යන්න ආපු වාහනේට නැග්ගා. අපි ඉෂාරට කිව්වෙ ගෙදර කරදරයක් අපි කලබල නොවී යමු කියලා. එයා ඒක ඔළුවට දාගත්තෙ තාත්තා ලෙඩින් හිටපු නිසා ගොඩක් අමාරු වෙලා රෝහල් ගත කරන්න ඇති කියල යි. අපිත් එයාට එහෙම ම හිතා ගන්න ඇරලා එයත් එක්ක ම ගියා. ගෙදරට යන පාරට හැරෙන තැන දි අපි ඔක්කොටම කලින් සුදු කොඩි දැක්කෙ එයා. එයා අඬන්න ගත්තෙ ඒ තාත්තා කියලා හිතලා. ඒත් ගෙට ඇතුළු වෙන කොට එයා දැක්කා තාත්තව පුටුවක වාඩි කරලා තියෙනවා. තාත්තගෙ පැත්තකින් මලානික මුහුණෙන් හිටියෙ නංගි. එහෙනං මේ කවුද - පවුලෙ ඉතිරි සාමාජිකයන් වෙච්ච අම්මවත් අය්යවත් පේන්න හිටියෙ නැහැ. ඒ වෙලාවෙ සැරින් සැරේ සිහි නැති වෙලා වැටෙන අම්ම ව ඇතුළු කාමරේකට අරන් තිබුණා. කෝ අය්යා කියාගෙන අපිත් එක්ක මැද සාලෙට ඇතුළු වෙච්ච වෙලාවෙ තමයි එයා කවුද නැති වෙලා තියෙන්නෙ කියල දැක්⁣කෙ. අනේ හාමුදුරුවනේ මගෙ ජීවිතෙ මන් අහපු දරුණු ම දුක්ඛිත ම විලාපෙ ඇහැව්වෙ මන් එදා තම යි.”

‘‘ඉතින් නංගියෙ ඊට පස්සෙ මොකද උනේ.”

‘‘ඒ අය්යගෙ මරණෙන් පස්සෙ රේණු අක්කෙ අපේ ඉෂාරගෙ අධ්‍යාපන ජීවිතේ විතරක් නෙමෙයි මුළු ජීවිතේ ම කඩා වැටිච්ච ගතියක් තමයි අපි දැක්කෙ. මෙයා ගුරු විද්‍යාලෙට ආවෙ නැති නිසා අපි එයාව හොයාගෙන ආයෙත් ගෙදරට ගියා. දැන් අපේ අවසාන විභාගෙත් ළඟයි. අපේ අංශ භාරව හිටපු මැඩම් තවත් මැඩම් කෙනෙකු යි සර් කෙනෙකු යි එක්ක ගෙදරට ම ගිහිල්ලා ඉෂාරට කතා කරලා තිබුණා. අපිත් සැරින් සැරේ ඒ ගොල්ලන්ගෙ ගෙදර ගියා. එයාගෙ අඩුපාඩු සටහන් හිටන් හැදුවෙ අපි කට්ටිය එකතු වෙලා. ඔය අතරෙදි එයාගෙ හිතට ශක්තියක් ම වෙන්න ඕනෙ කියලා හදවතින් ම ප්‍රාර්ථනය කරලා රත්න ශ්‍රී මහත්තයා ලියපු ගීතයක් මන් යැව්වා. පස්සෙ දවසක ඉෂාරා මට කිව්වෙ ඒ ගීතයත් එයාට නැගිටින්න උදව් උනා කියල යි.”

‘‘මොකක් ද මිහිදිනී ඔයා ඔය කියන වැටිච්ච අය නැගිට්ටවන ගීතේ. 

‘‘ඔව් රේණු අක්කෙ ඒක එහෙම ගීතයක් තමයි. හැබැයි අපට මාධ්‍යවලින් ඉතාම කලාතුරකින් අහන්න ලැබෙන ගීතයක්. කලින්  කිව්වා වගේ රත්න ශ්‍රී ලියලා තියෙන්නෙ. සංගීතය එච්. එම්. ජයවර්ධනගෙ. සින්දුව කියන්නෙ කුමුදු ජයසිංහ.”

‘‘අහලා තියෙනව ද නැද්ද බලන්න කියන්න බලන්න ඒ සිංදුවෙ වචන ටික.”

අනතුරුව කල්‍යාණ මිත්‍ර පර්ෂදයට අසන්නට ලැබුණේ කිසියම් රිද්මයකට එම ගීතයේ වදන් පවසන මිහිදිනියගේ හඬ යි.

‘‘තන්තිරිමලේ මහ පෙරහැර

පහු කරද්දි වැව් කඩදොර

පන්තේරුව අතින් අරන් 

හිනාවෙවී උන්නේ

මාත් එක්ක නතර වෙන්න

හිතුණ ද වැව් බැම්මේ

 

දාඩිය මුතු බැබලි බැබලි 

එළියට පන්දම්

අවුල් හැරේ මැද පපුවේ 

දිලිසුණ අන්දම්

 

දෙනෝදහක් මහ සෙනගක

අය්යණ්ඩියෙ නුඹ විතරයි 

දුටුවේ මම නම්

 

සාදු නාද තාලම් හඬ

මැකුණට යන්තම්

නිවී ගියත්  පෙරහැරේ ම 

කොප්පර පන්දම්

 

කළුවර මැද දිලිසි දිලිසි

මගේ හිතේ නුඹ තාමත් 

නටනව වන්නම්

 

‘‘විශේෂයෙන් මේකෙ මේ අන්තිමට තියෙන වචන ටික එයාව අවදි කළා කියල යි ඉෂාරා අපිට කිව්වෙ.”

‘‘දැන් මොකක් ද මිහිදිනී නෝනා ඒ දරුවා කරන්නෙ”

‘‘දැන් එයා අය්යගෙ නමින් අධ්‍යාපන ඇකඩමියක් දාලා දරුවන්ට ඉංග්‍රීසිත් එක්ක ජීවිතය උගන්නනවා අපේ හාමුදුරුවනේ.”

‘‘ඒ කියන්නෙ අපේ මිහිදිනී නෝනගෙ යාළුවා තමන්ගෙ ජීවිතය නමැති ආයතනය හදාගෙන අනුන්ගෙ ජීවිත ආයතන හදාගන්නත් උදව් වෙනවා කියන එකනෙ. ආයතන චර්යාව පැහැදිලි යි. දැන් අපිට තියෙන්නෙ ඊළඟ චර්යාවට යන එක. ඒ කියන්නෙ තුන්වෙනි කාරණේ සති චර්යාව. බොහොම සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක්නෙ අපේ මේ විපුල් අය්යා. මන් කැමතියි අපේ මේ අනිත් අය වගේ විපුල් අය්යා තමන් කැමති විදිහකට ඒ කාරණේ පැහැදිලි කරනවනං.”

‘‘මන්නං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ වගේ සිහිය පිහිටුවා ගත්ත කෙනෙක්නං නෙමෙයි. එහෙම උනා නං මගෙ ජීවිතය මීට වඩා වෙනස් වෙන්න එපායැ. හැබැයි මන් එක දෙයක් දන්නවා. ඒ තමයි තමන් කරන කොයි වැඩේ උනත් සතිමත් ව කරන්න ඕනෙ කියන එක. මගෙ යාළුවා සමන්ගෙ වැඩවලින් මන් සිහිය පිහිටුවාගෙන වැඩ කරන මිනිහෙකුට සමාජෙට කොයි තරං නං දෙයක් දෙන්න පුළුවන් ද කියන කාරණේ ඉගෙන ගත්තා. එයා ඇඳපු චිත්‍රෙක, හදපු මූර්තියක විතරක් නෙමෙයි, කලාතුරකින් ලියපු කවියක පවා ලෝකය සතිමත් කරන ගුණය ගැබ්වෙලා තිබුණා.”

‘‘ඒ කියන්නෙ සමන් සිත්තරා කවිත් ලියලා තියෙනව ද?”

‘‘ඔව් හැබැයි හරි කලාතුරකින්. අපි ඒ ගැනත් වෙලාවක කතා කරමු. දැන් අපි සති චර්යාවට ආපහු ගියොත් අමුතුවෙන් අලුත් උදාහරණ නුදුන්නත් අපේ හාමුදුරුවො සාකච්ඡාවට ගත්ත කුමාරගෙ කවි පන්තියෙ එන නල්ලතම්බි කියන තාත්තා කොයි තරං දුෂ්කරතා තිබුණත් තමන්ගෙ සිහි කල්පනාව නැති කර ගත්තෙ නැති නිසා තමයි එයාට මුළු පවුලම ජීවත් කරවන්න පුළුවන් වෙන්නෙ. ඒ වගෙම අපේ මිහිදිනී නංගි කියපු ඉෂාරා සාමාන්‍යයෙන් කෙනෙක් ඇද වැටෙන මොහොතක වැටෙන්නැතුව නැගිට්ට නිසා තමයි එයාට තවත් පරපුරක් නැගිට්ටවන්න පුළුවන් වෙන්නෙ. ඒකට අපේ මිහිදිනීලත් උදව් කළා තමයි අවශ්‍ය ම මොහොතෙදි. ඒ වගෙම ඒ උදව් අරන් එයත් සිහියෙන් කටයුතු කරපු නිසා තමයි එයාට ගුරුවරියක් වෙලා තවත් පරපුරකට ආලෝකයක් වෙන්න ලැබෙන්නෙ. ඒ විතරක් නෙමෙයි සිහිය පිහිටුවා ගන්නවා කියන්නෙ තවත් පැත්තකින් සිත සමාධිමත් කර ගැනීමක් ම තමයි. එහෙම බැලුවහම මේ එක චර්යාවක් තවත් චර්යාවකට සම්බන්ධ යි.”

‘‘මන් හිතන්නෙ විපුල් අය්යා අපිව ගෙනාවෙ තවත් විශේෂ තැනකට. ඒ කියන්නෙ එක චර්යාවක හරියට පිහිටනවා කියන්නෙ තවත් චර්යාවක පිහිටීමක් ම තමයි කියන කාරණේ. මන් කැමතියි විපුල් අය්ය ම මේ චර්යා ගැන තවත් ටිකක් කතා කරනවනං.” 

‘‘එහෙමයි හා දැන් අපි මෙතෙක් කතා කරපු උදාහරණවල පළවෙනියට  ඉරියාපථ චරියාව තිබුණා. දෙවෙනි චර්යාව වන ආයතන චර්යාව වගේ ම තුන්වෙනි කාරණේ වෙච්ච සති චර්යාවත් තිබුණා. හතර සමාධි චර්යාව. කෙනෙකුට හිත සමාධිමත් කරගන්න තවත් කෙනෙක් වගේම දෙයක් මුල් වෙන්න පුළුවන්. මගෙ හිත සමාධිමත් කරපු කවි දෙකක් මට උදාහරණ හැටියට ගන්න පුළුවන්. ඔය කවි දෙක ලියන්න මල්ලිට බලපාලා තිබුණෙ අපේ සමන්ගෙ සටහනක තිබිච්ච වචන ටිකක්. 1979 අවුරුද්දෙ තරමෙදි ලියපු සමන්ගෙ සටහනක් අපට හම්බ වෙනවා. කාලයත් එක්ක වෙන වෙනස්කම්වලට උපද්‍රවවලට සමන්ගෙ සටහනත් මුහුණ දීලා තිබුණා. මල්ලිට මතක ද ඔයා සමන් අය්යගෙ අර සටහනක ඉතිරි වෙලා තිබිච්ච කවියක එක පේළියකුයි වචන දෙක තුනකු යි අරගෙන සමන් දෙවියන් ගැන කවි දෙකක් ලිව්වා. මල්ලි මන් මේ කතා කරන්නෙ ඒ කවි දෙක ගැන. මන් කැමැතියි හාමුදුරුවනේ ඒ පසුබිම ගැන මල්ලි ම කතා කරනවනං.”

‘‘ඇත්තට ම හාමුදුරුවනේ එක කවියක් ලිව්වෙ සමන් අය්යා ලිව්වනං මෙහෙම ලියයි කියලා හිතාගෙන. දෙවෙනි කවිය ඇවිල්ලා සමන් අය්යගෙ හද තෙමන්න ද බුදු මග කියා දී අප සැම නිවන්න ද කියන වචන දිහා බලලා අඩු පිරවීමක්. ඒකෙ පළවෙනි කවිය ලියද්දි මගෙ හිතට ආවෙ සමන් දෙවියන් ගැන බැතිමතුන්ගෙ හදවත්වල තියෙන පිරිසිදු හැඟීම. දේව සාහිත්‍යය හදාරන කොට හමුවන දෙවිවරුන් අතරින් හදවත නිවන, හිත සමාධිමත් කරන දෙවියන් විදිහට මට දැනෙන්නෙ සමන් දෙය්යො. හැබැයි දෙවෙනි කවිය ලිව්වෙ නං සමන් දෙවියන්ට නෙමේ. ඒක ලියද්දි මට මතක් උනේ දෙවියෙක් වගේ අපි අතර ජීවත් වෙච්ච සමන් අය්යව. සමන් අය්යා ගැන තියෙන ඒ හැඟීම තමයි ඒ කවියට උල්පත උනේ. අය්යට පාඩම් ඒ කවි දෙක. ඒක නිසා ඒවා අය්යම කියාවි. මන් අහගෙන ඉන්නං.”

‘‘අනේ හාමුදුරුවනේ, දැන් ඔබ වහන්සෙ මෙතන වැඩ ඉඳිද්දී අපිනෙ චර්යා සූත්‍රේ ගැන කතා කරන්නෙ.”

‘‘ඉතින් මොකක් ද විපුල් ඒකෙ වැරැද්ද. අර පලිහවඩන මහාචාර්යතුමා කියන විදිහට කියන කෙනා නෙමෙයි කියන දේ නේ ද වැදගත්. කියන්න කියන්න දැන් අපි කවුරුත් බලාගෙන ඉන්නෙ ඔයාගෙ හිත සමාධිමත් කරපු මල්ලිගෙ කවි දෙක අහන්න.”

‘‘ඔව් ඔව් විපුල් අය්යෙ අපිත් මේ බලාගෙන ඉන්න ඔයාගෙ හිත සමාධිමත් කළා කියන මෙයාගෙ මේ කවි දෙක අහන්න.”

එසේ කතාවට මැදිහත් වූයේ රේණු ය.

‘‘ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම ඉල්ලීම ඒකනං මන් ඒ කවි දෙක කියන්නංකො.”

ඉන්පසු ඇසුණේ විපුල්ගේ ආදරණීය කටහඬ යි.

 

 සෝ පත් දනන් මුදවන ගුණ රැඳි    හදිනි

 සුවපත් කරන දේශය ලද දෙව්   බෙලෙනි

 අතුරා සමන් මල් බුදු සිරිපද        ළඟිනි

 සුරරද සමන්, බුදු හිමි අස     වැඳ වැටුණි 

 

කරුණා ජලය දුන්නේ    හද තෙමන්න ද

දෙවියෙක් විලස රැඳුණේ   අප රකින්න ද

එක් වී සිටියෙ වෙන් වන  බව කියන්න ද

බුදු මග කියා දී      අප සැම නිවන්න 

 

‘‘ඇත්තට ම හිත නිවන කවි දෙකක් තමයි ඒ. ඒ විතරක් නෙමෙයි ඒ කවි දෙක අපි ඊළඟට කතා කරන්න තියෙන මාර්ග හතරත් පැහැදිලි කරනවා කියල යි මට හිතෙන්නෙ.

‘‘දැන් හාමුදුරුවනේ ඔබ වහන්සෙ කියපු හැටියට පස්වෙනි කාරණේ ඥාන චර්යාවනෙ. මේකෙ ඥාන චර්යාව කොහොම වෙතත් මාර්ග චර්යාව නං පැහැදිලි ව පේන්න තියෙනවා.”

‘‘නෑ මිහිදිනී නෝනා, ඔය ගොල්ලන්ගෙ යාළුවගෙ දෙවෙනි කවියෙ තුන්වෙනි පේළිය පැහැදිලි ව ම ඥාන චර්යාවට උදාහරණයක්.”

එක් වී සිටියෙ වෙන් වන බව කියන්න ද

‘‘බලන්නකො ජීවිතය පිළිබඳ ව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන කරන ඇත්තනෙ මේ කියලා තියෙන්නෙ. ඒ වගෙම බලන්න මාර්ග චර්යාව ගැනත් මේකෙ තියෙනවනෙ. සමන් දෙය්යො තෝරගෙන තියෙන්නෙ දුකින් ඉන්න මිනිසුන් දුකින් මුදවන මාර්ගය. කොටින් ම කියනවනං බුදු මග දෙවියොත් තෝරගෙන තියෙන්නෙ. මේ පළවෙනි කවියෙදි කියනවනෙ බුදු සිරිපද ළඟ සමන් මල්අතුරලා බුදුන් වහන්සෙ ළඟ සමන් දෙවියො වැඳ වැටුණා කියලා.”

‘‘ඔබ වහන්සෙ හරි හාමුදුරුවනේ, දැන් කාරණේ ගොඩක් ම පැහැදිලි යි. දැන් මට හිතෙන්නෙ සමන් අය්යා ගැන ගඟුල් සර් ලියපු කවියෙ ඵල චර්යාව වගෙම ලෝකාර්ථ චර්යාවත් තියෙනව කියල යි. මොක ද අපි මේ තාක් අහලා තියෙන දේවල්වල හැටියට සමන් සිත්තරා කියන්නෙ මොකක් හරි පලයකට පත් වෙච්ච උත්තම චරිතයක් කියල යි අපට හිතෙන්නෙ. ඔයා හරි ගඟුල් සර්. අකාරුණික අද්දැකීම් බහුල ලෝකයක ජීවත් වෙමින් තමනුත් ඒ අකාරුණික අද්දැකීම්වලට ගොදුරු වෙමින් ලෝකයට කරුණා ජලය දෙන්න පුළුවන් දෙවියකුට ම තම යි. ඒ අය්යගෙ ලෝකාර්ථ චර්යාව පෙන්නන තැන තමයි එයා ජීවත් වෙලා තියෙන්නෙ තමන්ට නොවීම.” 

දෙවියෙක් විලස රැඳුණේ අප රකින්න ද

බුදු මග කියා දී අප සැම     නිවන්න ද

‘‘ඔය කවි පේළි දෙක උනත් තහවුරු කරන්නෙ ඒ කාරණේ නේද?”

‘‘මිහිදිනී නෝනා කළෙත් ගඟුල්ගෙ කවි දෙක පාදක කරගෙන චරියා සූත්‍රය ම සමාලෝචනය කිරීමක් කියල යි මට හිතෙන්නෙ. මට හිතෙනවා අපේ ධර්ම සාකච්ඡාවෙ සමාප්තියත් ඔය තුන්දෙනාගෙන් කෙනෙක් අතින් කෙරෙනවනං හොඳයි කියලා.”

කල්‍යාණ මිත්‍ර ත්‍රිත්වයක දෑස් එක්වර යොමු වූයේ එක් චරිතයක් වෙතට යි. ඒ අනුව මෙදින ධර්ම සාකච්ඡාවේ සමාප්ති වාක්‍ය කථකයා බවට පත් වූයේ ගඟුල් ය.

‘‘හොඳයි ඔබ වහන්සෙගෙත් ඉල්ලීම ඒකනං අපේ අය්යයි රේණු අක්කයි මිහිදිනියි ඒ විදිහටම හිතනවනං මන් මට දැනෙන දේ කියන්නං. අපි මේ කතා කරපු  චර්යා අට ම ඒ කිව්වෙ ඊර්යාපථ - ආයතන - සති - සමාධි - ඥාන - මාර්ග - ඵල -  ලෝකාර්ථ කියන චර්යා අට ම තියෙනවා කියලා මට දැනෙන කවි තුනකින් අපට පුළුවන් අපේ මේ සාකච්ඡාව අවසන් කරන්න. මන් මේ කියන කවි පන්තිය අපට කිසිම මුද්‍රිත ලේඛනයක දකින්න ලැබෙන එකක් නෙමෙයි. ඒකෙ බුද්ධ චරිතයේ චර්යාව තියෙනවා. චන්ද්‍ර රශ්මිය පිහිටන චර්යාව - ඉරියව් ගැන තියෙනවා. අපේ සතිය පිහිටුවා ගත යුතු තැන් වගේ ම සිත සමාධිමත් කරගන්න ඕන කරන්නෙ කවර විදිහෙ චරිතයක් ළඟ ද කියන කාරණා තියෙනවා. ඒ වගෙ ම ඥාන චර්යාව  සොයා යා යුත්තෙ කොතැනට ද වගේ ම ඊට පස්සෙ අප යා යුතු මාර්ගය මොකක් ද කියන කාරණෙත් තියෙනවා. ඒ වගෙම ඵල චර්යාව ලබපු චරිතයක් ලෝකාර්ථ චර්යාව වෙනුවෙන් කටයුතු කරන්නෙ කොහොම ද කියන කාරණෙත් තියෙනවා. මන් අමුතු විග්‍රහවලට යන්න අවශ්‍ය නැහැ. මන් හොඳාකාරව ම දන්නවා අපේ හාමුදුරුවොත් අපේ අය්යා වගේම මගෙ මිතුරියො දෙන්නත් ගැඹුරින් ම මේ කවි තුනේ අර්ථය හොඳින් ම ග්‍රහණය කරගන්න බව.”

අනතුරුව ඇසුණේ සුන්දර පද්‍ය ත්‍රයක් සන්සුන් ව ප්‍රකාශයට පත් කරන යෞවනයකුගේ හඬ යි.

 

                                    හදවත වෙත සිහිල දෙන දින   සිහි කරනා

                                    පුදසුන සුවඳවත් වන බැති      මල් පිපුණා

                                    අද වන් දිනෙක ලද බුදු ගුණ ලොව රැඳුණා

                                    සඳරැස් වතුර බුදු රැස් වතුරෙන්    තෙමුණා

 

                                    හද මුදු කරන කරුණා ගුණ     මිහි කරනා

                                    අද වන් දිනෙක බුදු නෙත   හදවත රැඳුණා

                                    කොඳමල් කිණිති බැතිබර, පහතට නැමුණා

                                    සඳරැස් වතුර බුදු රැස් වතුරෙන්    තෙමුණා

 

                                    බුදු හිමියන් වෙතෙහි සිත් මල් දම්   අමුණා

                                    බැතිබර වෙමින් හද පුදසුන මල්     පිපුණා

                                    අද වන් දිනෙක ඇති මහ අසිරිය     හඳුනා 

                                    සඳරැස් වතුර බුදු රැස් වතුරෙන්    තෙමුණා 

 

‘‘අනේ ඒකෙ ලස්සන. කවුද දෙය්යනේ ඒ කවි පන්තිය ලියලා තියෙන්නෙ.”

මිහිදිනිය කළ ඒ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ගඟුල් කෙළේ තත් සාකච්ඡාවේ සමාප්ති වාක්‍යය ප්‍රකාශයට පත් කිරීම යි.

      ‘‘අපි අතර මනුස්ස වේශයෙන් හිටපු දෙවියෙක් තමයි ඕක ලිව්වෙ. ඒ තමයි සමන් සිත්තරා.”