Showing posts with label මිනිස් වැහි බිංදු. Show all posts
Showing posts with label මිනිස් වැහි බිංදු. Show all posts

Sunday, July 19, 2026

151. එයොවන්ලාට එදිරිව ඉන්ෆ්ලුවෙන්සා තරු! - Eowyens VS Influenser Girls!

ඔස්කාර් සම්මාන දහහතක් ලෝඩ් ඔෆ් ද රිංග්ස් සඳහා නොවටනා බවට ආ ප්‍රතිචාරයක් නිසාම එය බලන්නට ගෙන, දැන් හරිත පැහැ හොබිට් දේශයේ නතර වී සිටින වැසි දැරියට මේ ඉතා දිගු සිනමා සිත්තම් පෙළ නරඹන අතර ඉසිඹුවක දී සමාජ මාධ්‍යවල ඉන්ෆ්ලුවන්සාවන් ගැන කතිකාවක් දකින්න ලැබුණා.

එලෙසම ඒ සංවාදය විවිධ ස්වරූපවලින් විවිධ කණ්ඩායම් අතින් හයිජැක් වෙමින් පවතිනු ද දකින්නට පුලුවන්. නමුත් ඒ කතාව මේ විවේචනය වන පැරඩි වීඩියෝවෙහි හිමිකාරිණියට පමණක් අදාළ කරුණක් නොවෙයි. එසේම ඒ කතිකාව ජාතික කොඩිය ඔසවා සිටි යුවතියට අපහාස කිරීම නිසා පමණක් මතුව යට යන්නේ නම් සහ ඇගේ වීඩියෝවල ඇති ගෘහස්ථ හිංසනය සාමාන්‍යකරණය කිරීම, සිය පිරිසිදු කිරීමේ රැකියාවට අනුන් උපහාස කිරීම වරදක් වන මුත් තමා අනෙකුත් භූමිකාවන්ට අපහාස කිරීම ගැටලුවක් ලෙස නොදැකීම ආදී අවුල් නොපෙනී යන්නේ නම් ඒ සංවාදයේත් අවුලක් තියෙනවා. 

ඊටත් එහා ගැටලුව නම් ‍යම් ශක්තියක් සහිත ස්ත්‍රීන්ට පණ්ඩිත, අහංකාර, කටවාචාල ආදී විශේෂණවලින් පහර දෙමින් සමාජ මාධ්‍ය භාවිත කරන ගැහැණු පිරිමි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ විවේචනයට ලක් වන තැනැත්තිය සිය පැරඩි වීඩියෝස් සඳහා ඉල්ලුමට සපයන එක් තැනැත්තියක් පමණයි. එය පමණක් විවේචනය කරන්නන් අතරින් බොහොමයක් ඇගේ අනික් වීඩියෝ අගය කරන සහ නලුනිලියන් ගායක ගායිකාවන්ගේ එදිනෙදා ජීවන රටාව සම්බන්ධ යූටියුබ් නාලිකා පරමාදර්ශ ලෙස වන්දනාමානයෙන් අදහමින් සිය ජීවිතය ඔවුන්ගේ ඡායාපිටපත් බවට පත් කරගත් අයවලුන් පමණයි.

මේ සංවාදය දකින විට වසර කිහිපයකට කලින් එක්තරා රූපවාහිනී වැඩසටහනකට අවුදින් සිංහයාගේ දියණිය කවිය උපුටමින් පරිණත ගැඹුරු බවකින් කතා කළ පාසල් සිසුවියක් සිහි වුණා. ඊට ඉතාම නුදුරක වන සංහාරයට එරෙහිව හඬ නැගූ යුවතියක් ද ඔබට මතක ඇති. ඒ දෙදෙනා මතක නම් ඒ යුවතියන් දෙදෙනා වයිරල් වූ කාලයේ ම එවක ටික්ටොක් යූටියුබ් ආදි සමාජ ජාලවල නියුතු ඉන්ෆ්ලුවන්සාවක එවන් බුද්ධියෙන් සහ අභ්‍යන්තර ගැඹුරකින් යුත් ගැහැණුන් අපහාසයට පත් කරමින් කළ වීඩියෝවත් මතක ඇති. 

සරලවම කියනවා නම් ඉන්ෆ්ලුවන්සාවන්ට සමාජ ක්‍රියාකාරිනියන් හෝ තරු ලෙස පවතින්නට පුළුවන් එබඳු ගැහැණුන් තරු නොවන තාක් පමණයි. ගැහැණුන්ට ඇඳුම් විලාසිතා සහ ගෘහ උපකරණවලට එහා ගිය ගැඹුරක් සහ සුන්දරත්වයක් ඇති ලෝකයක් සොයාගත හැකි බව පෙහෙළි නොවන තාක් පමණයි.

සිංහයාගේ දියණිය කවිය ගැන කතා කරද්දි ඒ කවියෙ එක් තැනක ඉසුරි උදානී කරුණාතිලක කිවිඳිය මෙහෙම කියනවා ඔබට මතක ඇති..

අය්ය දුනු දිය අරන් ඊතලේ ගන්න කොට

පලිහක්ව මැදින් හිටගන්නවා..

තාත්තට මැරෙන්නට නොදී එසැණින් ඇවිත්

ඊ හිසට පපුව පා මැරෙනවා..

ලෝඩ් ඔෆ් ද රිංග්ස් හි එයොවෙන් එලෙසම ආලෝකයත් අඳුරත් - මනුෂ්‍යත්වයත් අමනුෂ්‍යත්වයත් අතර සටනෙදි, සිය පිය තනතුරෙහි ලා සලකන තියොඩන් රජු මරන්නට පැමිණෙන නස්ගුල් සෙබළා ඉදිරියට විත් ඔහුට අත නොතබන්නැයි කියමින් සටන් කරනවා.

නස්ගුල් ලොව කිසිදු පිරිමියකුට තමා ඝාතනය කළ නොහැකි බව කියද්දී තමා පිරිමියකු නොවන බව කියමින් ඇය අවසන් අසිපත් පහර එල්ල කරනවා.

එයොවෙන් යුද්ධයට යන්නේ පිරිමියකු නිසා. උදාර පිරිමියකු වන ඇරගොන් අසළ සටන් බිමක හෝ සද්ධිවිහාරිකව වෙසෙන්නට ඇති ආශය නිසා. ඉන්පසු ඇරගොන් අයත් එකම එක් දිව්‍යමය ගැහැණියකට පමණක් හෙයින් ඔහු එයොවෙන්ගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කොට ඇයට සහෝදරත්වය පිරිනමා ගෞරවණීයව නික්ම ගිය පසු එහි වේදනාව නිසා.

ඒත් ඉන්පසු ඇය සටන් පෙරමුණ තෝරාගන්නේ ඒ නිසා නොවෙයි. සිය ස්ත්‍රී ශක්තිය ගෙදරකට මැදුරකට සිරව තිබීමට ඇය තුළ ම නැගෙන විරෝධතාව නිසා. යහපත උදෙසා කෙරෙන සටන පිරිමින් අතින් පමණක් නොව තමන් අතින් ද සිදු විය යුතු නිසා.

ලෝකයේ ප්‍රගමනය උදෙසා විවිධ වෘත්තීන්වල නියැලෙන - සිය ශක්ති ප්‍රමාණයෙන් ලෝකය වඩා උස් තැනක් කිරීම සඳහා සටන් කරන ගැහැණුන් අන්න ඒ සටන් පෙරමුණුවල සිටින එයොවෙන්ලා වගෙයි. 

එහෙත් කණගාටුවට කාරණය නම් අපේ ඇල්ගොරිදමයන්ට - ඩිජිටල් සංග්‍රහකවලට එවන් ඇත්ත තාරුකාවල දිස්නය අල්ලාගන්නට බැහැ. 

ඒත් අප විසින් කළ යුතු වන්නේ ද, සෙලෝලයිඩ් තරුවල නියොන් එළිවලට අසු නොවී අසීරුවෙන් මුත් සැබෑ තාරකාවල දිස්නය සොයා යාම ම යි. 

Thursday, June 18, 2026

149. රවී මාමා - ඒ මනරම් තරුසුණු සදිසි වියුණු ලියන්නා! - Bidding Adieu to a Stardust Soul!

දාසය වසරකට ඉස්සර වැසි දැරිය දාහතර වියැති පාසල් දැරියක්ව ඉන්න කාලෙ තමා අන්තර්ජාලය අස්සේ පළමු වතාවට කරක් ගහන්න පටන් ගත්තෙ. ඉතිහාසය විෂයට අදාළ මොනවා හෝ හොයමින් හිටි වෙලාවක අහම්බයකින් සයුරි අක්කාගෙ පහන් යායට හෝ හසිත අය්යාගෙ ඊ අටුවාවට වැහිදැරිවිව යොමු වුණා. ඒ වියුණු අඩවි දෙකම දැන් ලියැවෙන්නෙ නෑ. හසිත අය්යා දෑවුරුද්දකට පෙරාතුව ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයකු විදියට පර්යේෂණ සම්මන්ත්‍රණයකදී මුණ ගැහුණත් සයුරි අක්කා වෙනත් අවකාශයකවත් හමු වුණේ නෑ.

එකල ලියැවුණු වියුණු අඩවි බොහෝමයක් එහෙමයි. බොහෝමයක් නිශ්ක්‍රියයි. බොහෝ වියුණුකරුවන් වෙනත් සමාජ මාධ්‍ය අවකාශ වෙත ලිවීමට විතැන්ව ගොසින්. වැහි දැරිවි සමාජ මාධ්‍යවල සැරිසැරීම නවතා බොහෝ කල් නිසා එකල ලියූ වියුණු කරුවන් සමඟ සබඳතාත් අඩුයි. ඒත් ඒ අතරේ අනවරත මිතුදම් සමඟ යාවත්කාලීන වුණ සුහද සබඳතාත් එමටයි.

එහෙම මිතුරියක් වන සිත්තමී අක්කා වැහි දැරිවිට පහුගිය සතියෙ එවා තිබූ මෙතෙක් වියුණු ලෝකයෙන් ආපු සංවේගදායකම පණිවිඩය වැහි දැරිවිව ඇහැට ඉනූ කඳුළක් සමඟ වසර දාසයක් දුර අතීතයකට අරගෙන ගියා. පණිවිඩය ලැබෙද්දි විදෙස් චාරිකාවක නියුතු නිසා එන්න නොහැකි වුණත් - අවම අන්තර්ජාල පහසුකම් යටතේ මේ ලිපියෙ කටු සටහන හද පොත උඩ වරින් වර ලියැවුණා.

මේ වියුණු අඩවියෙම මීට පෙර ලියා ඇති පරිදි වැහි දැරිවිගෙ වියුණු අතීතයෙ පළවෙනි වැහි බිංදුවෙ ඉඳලාම රවී විරසිංහ නමැති පරිණත - රසදායී වියුණුකරුවා ඉන්නවා. සටහන ඇරඹුමෙදි කිව්වා වගේ පහන් යායෙනුත් ඊ අටුවාවෙනුත් පටන් ගත්ත බ්ලොග් කියැවීම උච්චතම ස්ථානයකට ඇවිදිල්ලා වියුණු ලියන තැනට වැහි දැරිවිව ඇදලා දැම්මෙ රවී විරසිංහ නම් වියුණුකරුවාත් රන්දිල් නම් වියුණුකාරියත් සමෝසමේ ලියාපු නිදහස් සිතිවිලි නම් වියුණු අඩවියත් - ඒ ඔස්සේ මුණ ගැහුණ එවක වියුණු අවකාශයේ ජනප්‍රියම ලියන්නන් පිරිසක් විසින් කොටසින් කොටස ගෙතූ අන්දර මල්දම නම් වියුණු අඩවියත් විසිනුයි. 

ඒ අඩවි දෙකේ ලියැවුණ ආදර නිල් දෑසේ, සෙනෙහසේ නවාතැන, සරණ බන්ධන ආදී කතා ඒ අඩවිවල පදිංචි වෙලා පැල් බැඳගෙන කියවාපු දවස්වල කමෙන්ටු හුවමාරු හරහා - වියුණු කියැවීම් හරහා අන්දර මල්දමේ වැඩිහිටිම වියුණු ලියන්නා වැහි දැරිවිට රවී මාමා බවට පත් වෙලා තිබුණා.

බොහොම අපූරුයි දරුවා ඔබේ පරිකල්පනය කියා පටන් ගත් වියත් කමෙන්ටුවලට කාලයක් යද්දි රවී මාමගෙ සුපුරුදු හෙහ් හෙහ් හිනාව මුසු වුණා. කමෙන්ටු ඉතා දිගු වුණා. ඊයෙ කියැවූ බ්ලොග් අඩවියක - වියුණුකරුවකු තමා එදවස නිදහස් සිතිවිලි ලියන රවීගෙන් කමෙන්ටුවක් වැටෙන තුරු අලුත් ලිපියක් ලියුවාම බලා සිටි බව ලියා තිබුණා. ඔහුගෙ කමෙන්ටු එපමණ රසවත්. ඇතැම්වා අපි ලියන පෝස්ටුවලටත් වඩා දිගයි. එසේම ඊට වඩා රහයි. මිහිරියි. ගැඹුරුයි. 

හැත්තෑව අසූව දශකෙ ඉපදෙන්න හිටිය එකියක් වැරදිලා මේ කාලෙ ඉපදිලා කියලා බැන්නට - දැන්මම ඔච්චර ගැඹුරින් හිතන්න ගත්තාම උඹ අපි වගෙ නාකි වුණාම මොනවා හිතන්නද හිතාගන ඉන්නෙ බං කියා උපහාසයෙන් යමක් ලිව්වට ආයෙ ඊට යටින් ලිපිය අගය කරලා කමෙන්ටුවක් තියන පුරුද්ද හැමදාමත් රවී මාමාට තිබුණා.

ඔය කමෙන්ටු අතරෙ බොහොම මනරම් වියුණු සබඳතාත් ගොඩනැගුණා. මා කැමතිම ගී සොළොසට ඉයන් මාමා ලියාපු දැන් ළඳුන් සිංහාසනේ ගීතය වැහි දැරිවි එක් කළාම ඒකෙ එක පෙළක් වෙනස් කරලා ඒකට වියුණු ලියනා යුවතියන් - වැස්ස වැස්සන දැරිවියන් කියලා පදයක් එකතු කරන්න කියා කළ සරදම් එබඳු තැන්වල මිහිරි මතක.

පොකුරුවැහියි වැහි දැරිවියි කියලා වියුණුකාරියො දෙන්නෙක් ඉන්න එක හරි පැටලිල්ලක් නිසා එන්තරවාසි ගොනු කරන්න හිටපු රවී මාමා දවසක පොකුරු වැහි අක්කා වැහි දැරිවිට නිදි මරන්න එපාය - ස්නායු කරවේය කියලා දාපු කමෙන්ටුවක් අස්සෙ ගොහින් ආයෙ මේ යෝදිගෙ ස්නායු කරවෙන්න දෙයක් තියනවාය පොකුරු - රට බාරගන්න ඉන්න යොවුං පරපුර වුණාට සංගීත සංදර්සන බලන්න ගිහිං එළිවෙනකං නටන්න එපාය - ඒකට මේකි ලියන්නෙ ආත්තම්මෙක් ලියන එව්වා කියලා ලියා තිවුණාත් මතකයි. ඊටපස්සෙ ඕන්න වැහි දැරිවි තමනුත් යොවුං පරපුර වගෙ හිතන්න ගන්නවා කියලා විහිලුවට කිව්වාම ඉයන් මාමා කියා තිවුණ එහෙම ලියන එව්වා අපි එච්චර ගරුත්වයකින් කියවයි කියා හිතන්නට බැරි වග. ඕං එකට රවී මාමගෙ කමෙන්ටුව - ගරුත්වය කොච්චරද කියනව නම් ඉයන් මේ යෝදි ලියන එව්ව මං ලියන්නෙ පුටුවෙනුත් නැගිටලා!

වැහි දැරිවිගෙ තාත්තා වැහි වැටෙන තැන අඩවියෙ නවකතාවක් ලියන්න පටන් ගත්තාම - ඒකට කමෙන්ටුවක් දාලා වැහි දැරිවි කතාවක් ලියනවද අහපු තනි අලියාටද කොහෙදෝ නෑ යෝදයෝ මේක වැස්ස වලාහක දෙය්යන්ගෙ කතාවක් කියලා රවී මාමා කමෙන්ටුවක් දාලා තිබුණා.

ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියා සිය බිරින්දෑගෙ ගුරු ජීවිතයට ඈඳලා රවී මාමා ලියූ මතක පෙළෙහි එක කොටසකට වැහි දැරිවි නම් පාසල් දැරිවියගෙ සොඳුරු අඳුර නම් වියුණුවට ලින්කුවක් සපයලා තිබුණාට පස්සෙ වැහි වැටෙන තැනට යන පිරිසත් සෑහෙන්න වැඩි වුණා.

තාත්තා සමඟ ගමන් බිමන් කියා වැහි දැරිවි ලියාපු ලිපියක වැවදෙණියේ ඇල් ඩී මැන්දිස් නම් වෙසෙස් නවකතාකරුවා ගැන සඳහන් කළාම වැහි දැරිවිට පවුලෙ අයගෙන් පිට ඔහුගෙ පොත් ගැන කතා කරන්න සංවාදයක් හදාගත හැකි පළමු රසිකයා හමු වුණා. දකුණු පළාතෙ කතුවරයෙක් විදියට එච්චර ජනප්‍රිය නොවී වැහිලා ගිය එතුමාගෙ පොත් රවී මාමා ඔක්කොම කියවා තිබුණා. තව ජැක් ලන්ඩන්ගෙ කතා ගැන - අරඹෙගෙදර ඈන් ගැන - රුවන්වැලි සෑයෙ ගල් විහාරෙ ඉදිරිපිට හැන්දෑවරු ගැන - ආදී මෙකී නොකී දේවල් අපේ අනවරත සංවාද අතරෙ තිබුණා. 

වැහි දැරිවි උසස් පෙළ සමයෙ හෝ සරසවි සමයෙ අඩවි අක්‍රීය කරලා වියුණු නොලියා ඉන්න කාලවල රවී මාමා වැහි දැරිවිගේ අධ්‍යාපන කටයුතු ගැන විමසුම් කර ඊ පණිවිඩ එව්වා. පස්සෙන් පහු කාලෙක වැහි දැරිවි තුරුණු විහඟුන්ට උගන්වන බව දැනගත්තාම බොහොම සතුටු වුණා. 

ඒ වගෙම වැහි දරුව හඳුන්වන්න මානවකං අසරණං කියලා කිව්වට මොකද වැහි දැරිවිගෙ වැහි විප්‍රකාරවලට හරියන වැහි දරුවෙක් මුණ ගැහුණ එක ගැන රවී මාමා බොහෝම සන්තෝස වුණා. 

රවී මාමාගෙ අන්තිම ලිපියෙ මාතෘකාවෙ ලියැවී තිබුණෙ සත්‍යා අක්කාත් කසුන් අය්යා ගැනත්. එය අද යළි කියවද්දි එහි මැද තැනක වැහි දැරිවි ගැනත් ලියැවී තිබෙනු දැක වැහි දැරිවිගෙ ඇහැට කඳුළක් ඉනුවා. 

සම වයස් අයට මිසක දශක ගණනාවක වයස් පරතරයක් තියෙන හිතවතුන් මිත්‍රයන් වෙන්න බැරි යැයි කතාවක් කොතැන හරි වැහි දැරිවි අහලා තියෙනවා. ඒත් වැහි දැරිවිට සම වයසෙ බොහෝ අය වෙතින් ලද නොහැකි පිරිපුන් මිත්‍රත්වයක් අවුරුදු විසිපහක තිහක විතර පරතරයක් තිබුණ රවී මාමා වෙතින් මුණ ගැහුණා. වැහි දැරිවිත් රවී මාමාත් එකඟ වුණ තැන් බොහෝමයකුත් එකඟ නූන තැන් අතිශයාල්පයකුත් තිවුණා. ඒ වගේම කොච්චර කොහොම පිටු ගණන් කමෙන්ටු ලිව්වත් අප මුණ ගැහිලාත් නෑ. ඒත් ඒ කිසිදු හේතුවක් කවරදාවත් ඒ මනරම් මිත්‍රත්වයට බාධාවක් වුණේ නෑ.

වැහි වැටෙන තැන වියුණු අඩවියෙ පළ වුණ සටහන් එකතු කරලා ලියූ පොතක පිටපතක් රවී මාමාට දෙන්න විසල් වුවමනාවක් වැහිදැරිවිට තිවුණා. මනරම් තරු සුණු සදිසි වියුණු ලියන්නන්ට කියා ලියැවුණු ඒ පොතේ පිදුමේත් - පෙරවදන් සටහනෙත් රවී මාමා හිටියා. ඒක දෙන්නත් - වැස්ස වලාහක දෙය්යෝ සහ වැහි දරුවා ඇතුළු ඔහුව නොදැක දුටු වැහි දැරිවිගෙ පවුලේ අය සමඟ මුණ ගැහෙන්නත් සැලසුමක් තිබුණත් ඊට කලින් ඔහු ගමන ඉක්මන් කර යන්නටම ගියා.

පස්සෙන් පහු අන්දර මල්දම ලියැවෙන්නෙ නෑ කියා වැහි දැරිවි රවී මාමාට නෝක්කඩු කියන කොට ඒක තමන්ගෙ වැරැද්දක් නොවේය - වැරැද්ද ඒ වියුණු අඩවිය ලියාපු අනිත් විසුරුමාන බවලත්තු අතය කියා ලස්සනට සිත්තමී අක්කා - පොඩි කුමාරිහාමි - හංසකිකිණි ආදි වියුණුකාරියන් වෙත ඊතලය හැරෙව්වට මොකද ඉන්පස්සෙ නිදහස් සිතිවිලිවලත් ඉඳලා හිටලා ලිපි වැටෙන්න පටන් ගත්තා. එතකොට වැහි දැරිවි ඒ වෙද්දි අන්තිමටම ලියවුණු පෝස්ටුව හොයලා එතැන රවී මාමට බනින්නත් - වැහි වැටෙන තැන වැඩිය නොලියැවෙන කාලෙට රවී මාමා වැහි දැරිවිගෙ පොස්ටුවලට බනින්නත් පුරුදු වෙලා හිටියා. 

ඒ බොරු බැනුම් - රස සංවාද මැද සියලු දන සිත් නිවාලන්න දිගින් දිගටම සිසිල් වැසි වස්සවන්න කියා වැහි දැරියට කළ පැතුමක් රවී මාමාගෙ ඉපැරණි කමෙන්ටු අතර තිබී අදත් වැහි දැරියට හමු වුණා. 

වැහි වැටෙන තැන ලියැවෙන තාක් වැහි දැරිවි ඉඳලා හිටලා රවී මාමා එක්ක රණ්ඩුවක් අල්ලලා හෙට දවසෙත් නිදහස් සිතිවිලි අඩවියෙ කමෙන්ටුවක් ලියාවි.. ඔහුගෙන් වියුණු අවකාශෙ ගොඩක් දෙනෙක්ට පුරුදු වුණ හෙහ් හෙහ් ගාන හිනාවත් එක්කම! 

හැබැයි වැහි දැරිය දන්නවා ආයෙ වැහි වැටෙන තැනට රවී මාමාගෙ කමෙන්ටු වැටෙන්නෙ නෑ.. 

ඒත් වැහි වැටෙන තැනිනුත් වැහි දැරිය නමැති වියුණුකාරියගේ හදවතිනුත්  රවී මාමා කිසිදාක නික්ම යන්නේ නෑ! 



Friday, April 10, 2026

146. අඩසඳකිරණ යට රොමැන්තික ගී රේණු.. - The Romantic Ethos of a Melodious Soul of '90s!

සතියක් තිස්සෙ රොමැන්තික සාහිත්‍යය උගන්වලා කීට්ස්ගේ රොමැන්තික කවිවල මුවවිටක ගිලිලා උන්න දවසක හවසක තාත්තා ඇරයුම් කළා ගී සැන්දෑවකට යන්න..

ඒ ගී සැන්දෑවෙ හිමිකරු, වැහි දැරිය ඉතා ප්‍රිය කළ හඬක්ද - ගැඹුරක්ද සහිත වූ චිත්‍රා කළුබෝවිල සන්නිවේදිකාවකගේ සහෝදරයා වග දැනගත්තාම ඔහුගෙ ගී කලින් අහලා නැතත් ඒ සැන්දෑවට යන්න ඕනම කියා වැහි දැරිය හිතුවා. හැබැයි අලුතින්ම ඇහෙන - මීට කලින් කවදාවක් අහලා නැති ගීත ඇහීම - හුරු ගී අහනවා තරම් අප වගේ පොදු රසිකයන්ට වින්දනාත්මක දෙයක් නොවන නිසා ඉතා අවංකව කිව්වොතින් වැහි දැරියට ඒ ගී සැන්දෑවෙන් විසල් රසාල්පිතයක් විඳින බලාපොරොත්තුවක් නම් තිබුණෙ නෑ. 

ඒත් පළමු ගීයෙන්, පළමු වදනින්, පළමු සර-රටාවෙන් වැහි දැරිය තුළ තිවුණ ඒ විචිකිච්ඡාව පිළිස්සිලා - අළු දූලි වෙලා ගියා.. මොකද ඒ හැන්දෑව ගෙවුණු අවුරුදු විසිනවය ඇතුළෙ - ගෙවුණු විසල් පරිමාවක් වූ ගී හැන්දෑවන් අතරින් රොමැන්තික බවින් උඩම තිවුණ හැන්දෑවක් බවට තත්පර ගණනක් ඇතුළෙ පෙරැලුණ නිසා..

ලාල් ආනන්ද අබේධීරයන්ගේ රසාලිප්ත වචන - සවින්දක රසානන්දය.. රසාලංකාරය.. රසසංචිතය.. රසාර්ථයෙන් සහ සාරාර්ථයෙන් - සූක්ෂ්ම රසානුපාතයකින් ඒ හැන්දෑවෙ පූරක භූමිකාව රසගැන්වූවා. 

වැහි දැරිවිට ඒ ගී ගොන්න මැද ගෙවුණු හෝරාව දැනුණේ වැහි දවසක අලුතින් මැවුනු දියදොළක පා කරපු කරදාසි බෝට්ටුවක් වගේ.. හැඟුම් තෙමී වැගිරෙන සිහිලැල්ලකින් යුත් මෘදු හඬක්.. මෘදු තනු.. මෘදු වදන් එකතුවක්.. ඒ අතරින් ගලා ගියේ සිහිල් දිය උල්පතක් සේ කෘතීම බුද්ධියෙන් සහ තාක්ෂණයෙන් විනාශයට පත් නූන මෘදු සොබාවික මියැසි රටා.. 

වඩාත්ම විස්මයාවහ දේ වූයේ ඒ ගීත රචනා කළ ලලිත් කළුබෝවිල නමැති සංගීතවේදියා වාගේයකාරයකු වීමයි. ගී ලියා - තනු යොදා - ගැයීම එක් පුද්ගලයකු වෙතින් එසේ සිදු වීම එපමණ සාමාන්‍ය කරුණක් නොවෙයි.. ඊටත් වඩා ඒ සියලු කාරණා මනරම්ව කිරීමට එකම පුද්ගලයකු සමත් වීමත් සාමාන්‍ය කරුණක් නොවෙයි.. 

ඊටත් වඩා අසාමාන්‍යම කරුණ ඒ සා මනරම් ගීත ජනප්‍රිය නොවීමයි.. ඊට වඩා අතිශය අඩු මට්ටමේ ගීත සති ගණන් ගීත දර්ශකවල හිනිපෙත්තේ රැඳෙද්දී මෙවන් ගීත ඉන් පෙර කිසිදාක අපට නෑසී තිබූ ඒවා වීමයි..

ඒ අතුරින් යූනළයෙන් සොයා ගත හැකි වූ ඇතැම් ගීයක් දෙකක් මෙහි අමුණා තබන්නේ වැහි වැටෙන තැනට තෙමෙන්නට ආ ගිය කෙනෙකුට අසා රසවිඳින්නට මගක් ලෙසිනුයි..


සදෙව් කුමරී ඔබේ දැහැනිනා

සිහිලැල් කැලුම් ගලන 

ඔය නිල් නුවන් අසළ

රහසේ විඩා හරිමිනා..

බඳු මධුර වචන එක්තැන් වුණ

සන්ධ්‍යාවේ - වැසි හෝරාවේ.. ගීය පමණක් නොවෙයි,


චාරිකාව ආදරේ නිමා නොවේ ඉතින්

භවෙන් භවේ නිසංසලේ බැඳේ බැඳේ ඉතින්..

නමින් යෞවන ප්‍රේමයට දිව්‍යමය හැඩයක් අමුණන දෙව් ලෝ සිරි ගලා.. ගීයත් - එක් භවයකින් නිම නොවන සංසාරික ගමනක චමත්කාරීය පාරිශුද්ධත්වයක් සිහි ගන්වන වියමන් යුග්මයක්.. 


සත් සමුදුරු මත - හිරු එන මාවත

දඟ දෙන රළරැළි හැඩ නංවනවා

තුරුලිය ගොමුවේ පිනි මල් විසිරී

නුඹේ සිනා වත සිහිවෙනවා..

වැනි ගීයක් වගේම පාවී පාවී ඈත යාවී නම් ජනප්‍රිය ගීයත් මේ කලාකරුවා කොතරම් වදනින් සිත්තම් අඳින්නට දස්කම් දක්වන සිත්තරෙක්ද යන්නට නිදසුන්! 


සඳ වට බැස ගියාට ගණඳුරු රජ වුණාට

සංකා හිතේ රැඳෙන්නෑ..

ලොවටම නොදැනුණාට රූසිරු අඩු වුණාට

නුඹ නම් සඳට දෙවැනි නෑ.. 

නම් ළතෙත් ගීය Beauty is in the eyes of the beholder නම් වැකිය සිහිපත් කර දුන්නා. 

දුල් දියරැළි නංවා හඳින් විසිරෙතේ 

නුඹ මුව රැඳුණු සිනා හඳට සම වෙතේ.. 

චවනවල ගලන්නේ Artemis මෙහෙයුම්ලට වඩා බරපතළ චන්ද්‍ර යාන්ත්‍රණයක් තැන කතාවක්..


බොහෝ ඊනියා තරු රසික ආකර්ෂණය දිනාගැන්ම උත්සාහ කරද්දී ඔවුන් වෙතින් ඉබේම රසිකයන්ගේ ගෞරවාදරය ගිලිහී යනු දකින්නට ලැබෙන සමයක, 

ජීවිතේ පුරා ඔබේ සුවද මට තියේ

ඔබේ නමින් ආදරයේ ගීතිකා ගැයේ.. 

කියා සිය බිරිඳ ගැන ගී ලියන කලාකරුවෙක් - ව්‍යතිරේකයක් පමණක් නොවෙයි තාරකා දර්ශකයක්!

තාරකා ලෙසින්ම පායලා

වේදිකාවෙ පහන් දැල්වුණා

පාද බැඳුණු සසල ගිගිරි නදින් සෙලවුණා

මේ රැයේ රඟන්න චන්දිමා!

ගීය ඒ තාරකා දර්ශකයට සනිදර්ශනයක්..


මෙහි සටහන් කරන්නට යොමුවක් සොයාගත නොහැකි වූවත් ඔහු සිය දියණිය අපූර්වා ගැන ගැයූ,

සඳ සිසිල හා බැඳෙන්

හිරු කිරණ මැද රැඳෙන්..

ගීතය වැහි දැරිවිට තාත්තා වසර ගණනකට පෙර ලියූ, සඳ සේ උදාවන්න දියණී - මට නොව ලොවට දෙන්න දියණී.. නම් හදකුටීරයක රැඳී ඇති වචන පෙළ සිහිගැන්වූවා..


බිඟු රෑන් රෑන් රඟන බමන තුරුණු යෞවනේ
සුවඳ ගලා රොන් වැගිරෙයි සිහින මල් වනේ..

මල්රේණු වන් මුදු සිත් නොතලා රැකගැනීම පිළිබඳ පණිවිඩයක් සහිත මේ වචන රොමැන්තික යුගයේ Romantic Ethos යට සැඟව තිබූ යහපත - උත්තර ජීවන පැවැත්ම සමාජගත කිරීමේ ආරම්මණය සිහි ගන්වන සුලුයි.


මිටියාවතක - ‍‍වෙල් එළියක - අතුපැලක

කඳු බෑවුමක - වන මල් කැකුළක - මලක

සමනළ ගමක - ගම මැද කේතකි බිලක

විමසා බලමි මේ හැම නැවතුම් පොළක

කියා ලියපු කුඩලිගම සේ ම 

Season of mists and mellow fruitfulness,
   Close bosom-friend of the maturing sun;
Conspiring with him how to load and bless
   With fruit the vines that round the thatch-eaves run;
To bend with apples the moss'd cottage-trees,
   And fill all fruit with ripeness to the core;
      To swell the gourd, and plump the hazel shells
   With a sweet kernel; to set budding more,
And still more, later flowers for the bees,
Until they think warm days will never cease,
      For summer has o'er-brimm'd their clammy cells.


කීට්ස් තුළ තිබුණ මේ රොමැන්තික චමත්කාරයත් එවන් බොහෝ ගී වෙතින් සිහිපත් වුණා.. 

නිවන කුමක්දැයි කියාවත් නොදන්නා ඇතැමුන් ඉන්න
ක්ෂේත්‍රයක අඩසඳකිරණ අවසන් වූයේ නිවන ගැන වදන් සටහනකින්..
ලලිත් කළුබෝවිල නමින් ගායකයකු අතිශය ජනප්‍රිය නොවීම ගැන
කණගාටුවීම් ඒ රැයේ කන වැකුණත් අන්තිමට ඔහු කියූ ඒ වචනවල තැවරී
තිබුණේ ජනප්‍රියත්වය වෙනුවට ඊට එහා ආධ්‍යාත්මික ගැඹුරක් සොයා යන
මනුෂ්‍යයකුගේ සරල සුන්දරත්වයයි. 

ඒ සා ගැඹුරක් සේම රොමැන්තික සුන්දරත්වයක් මුවවිටට පිරී තිබුණ හැන්දෑව අහවර වෙද්දී කීට්සියානු චමත්කාරය උගන්වපු එදා උදේ වරුවෙත් - ඉන් පෙරාතුව වසරෙ කීට්සියානු දේශන⁣ය⁣දිත් දෙස් විදෙස් තුරුණු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අහපු ප්‍රශ්නයක් වැහිදැරිවිට මතක් වුණා..

How did Keats write with such a beautious depth?

කීට්ස්ගේ කවියක් මුල් වරට කියවපු දා ඉඳන් තාම තමන්ගෙන්ම ඒ ප්‍රශ්නය අහන ගමන් ඉන්න වැහිදැරිවිට ඒ ප්‍රශ්නයෙ දේශීය හරස්කඩක් අඩසඳරැයේ මුණගැහුණා. 

ආත්මීය ගැඹුරක් සහිත පද ලියූ අතින්ම ඒවාට තනු මියැසිය යොදා ගී බවට පත් කළ රොමැන්තිකවාදියකු හැම රැයකම මුණගැහෙන්නේ නැහැ. හැම තැනකම මුණගැහෙන්නේ නැහැ. 

එහෙම අල්පමාත්‍රික රොමැන්තිකවාදීන් පොළොවේ ඇවිද යන කාලය තුළ ඔවුන් ජනප්‍රිය වූවාත් නැතත් ඔවුන් විසින් නිර්මිත රොමැන්තික චමත්කාරය විශ්වය පවතින තුරු සොබාදහමේ මනරම්ම ඒකදේශයන් තුළ රැඳී තිබෙනවා නිසැකයි..

Sunday, December 1, 2024

120. අනුරාධපුරේ දවසකුත් ඇති!

ග්‍රීසියෙන් පෙරදිගට පාත් වුණ දැරිවියක්ය කියලා කේන්දරේ තිබ්බට ⁣වැහිදැරියට හිතෙන්නෙම පූර්වාත්මභව හුඟක ඉන්න ඇත්තෙ අනුරාධපුරේ කියලයි. ඒ තරම් තද ආදරයක් වැහිදැරියට අනුරාධපුරේ එක්ක තියෙනවා.

මාසෙකට දෙතුන් පාරක් යන්න සැලසෙන දිගු තීර්ථ චාරිකා එකතුව පිරික්සලා බැලුවම, කොවිඩ් කාලෙ ඇරුණම ජීවිතේ අනිත් හැම අවුරුද්දෙම වැසි දැරිවිට වසරකට කීප වතාවක් අනුරාධපුර යන්න වැඩ සැලැස්වෙනව. හරියට තද ආත්මීය බන්ධනයකින් වැහිදැරිවිව රජරටට බැඳලා තියෙනවා වගෙයි.

ඉස්සර හැම අවුරුද්දෙම අනුරාධපුරේ යන්න වැහිදැරිවිට වැදෙන චාන්ස් එක තමා තාත්තා යන බිහිවැඩ චාරිකාව. 

ඒ හැම අනුරාධපුර චාරිකාවකදිම වැහිදැරිය ගියත් නැතත් තාත්තා කුට්ටම්පොකුණ අද්දර සුට්ටං කඩේක රෙදි බෝනික්කො විකුණපු යුවතියකගෙන් බෝනික්කො අරන් ආවා. අදටත් වැහිදැරිවි ගාව මේ රෙදි බෝනික්කො රංචුවක් ඉන්නවා. එයාලාට එක එක කාලෙට නම් වැටුණේ එක එක විදියට. ලෝරා පොත් පෙළ කියවන කාලෙ ලෝරා,මේරි,කේරි. ඉන්දියානු පොත් කියවන කාලෙට රත්නා, ක්රිෂ්ණි.. ඔය විදියට නානාප්‍රකාර නම්වලින් හැඳින්වුණ බෝනික්කො එකතුව ටික ටික වැඩි වෙද්දි බෝනික්කො විකුණූ යුවතිය පුංචි යතුරුපැදියෙන් කාර් පොඩ්ඩෙක් දක්වා විතැන් වෙලා ව්‍යවසායිකාවක් වෙලා උන්නා.

වැහිදරුවා වැහිදැරිවිගෙ ජීවිතේට ආවට පස්සෙ අනුරාධපුරට ගිය හැම වතාවෙම ඔහු මේ බෝනික්කො වෙළඳසැලෙන් වැහිදැරිවිට බෝනික්කෙක් අරන් දෙන්න බලන් උන්නත් ඒ එක වතාවකවත් ඒ වෙළඳසැල තිබුණෙ නෑ. බාගෙදා වෙනත් තැනක - වෙනත් පෙදෙසක - වෙනත් දේසෙක ඒ හුරුබුහුටි රෙදි බෝනික්කියො ඈ අතින් අළෙවි වෙනවා ඇති! 

කුට්ටම්පොකුණු මතකෙත් එක්ක වැහිදැරිවිට මතක් වෙන්නෙ අනුරාධපුරේ අස්සක් මුල්ලක් නෑර සරසවි අය්යලා අක්කලා එක්ක ඇවිදපු හැටි. එදා වැහිදැරිවිගෙ අතින් අල්ලන් නැත්නම් වඩාගෙන ගල්පඩිපේළි නැගපු ඇතැමෙක් අදටත් මුණගැහෙන සහෝදරාත්ම.  තවත් සහෝදර සහෝදරියන් බොහොමයක් ඔවුන්ගෙ සරසවි සමයෙන් පස්සෙ වැහිදැරිවිට හමුවෙලාම නැති තරම්. වැහිදැරිවිගෙ අම්මායි වැහිදැරිවියි එක්ක නටබුන් අතරෙ ඇවිද යන අතරෙ මනරම් සාහිත සංවාද කරපු අරුණ අය්යා ඇතුළු සමහර සහෝදරවරු ආයෙ නොඑන්නම ජීවිතෙන් සමුගෙන ගිහින්. ඒත් බටු ඇටේක සිට නවයොවුන් දැරියක් වන තෙක් කුඩා වැහිදැරිවිව පරිස්සමින් ගල්පඩි නග්ගවාපු ඔවුන්ගෙ අත්වල සහෝදර උණුහුම, තනියම ගල්පඩිවල පැන පැන යන්න ගත්ත වයස⁣ට ආව නමුත් වැහිදැරියට කිසිදාක අමතක වන්නෙ නෑ.

මතක ඇති කාලෙ ඉඳන් ඒ සරසවි සංචාරවලත්, නිවාඩු සමයන්හි නිවැසියන් එක්ක යෙදුණු ඉසිඹු ගමන්වලත් බොහෝ විට මාර්ගෝපදේශක භූමිකාව දැරුවෙ ශාන්ත හාමුදුරුවෝ. සරසවි ශිෂ්‍ය භික්ෂුවක්ව හාමුදුරුවෝ වැඩවිසූ ආරණ්‍ය සේනාසනය තිබුණේ අනුරාධපුර නිසා නිතැතින්ම හාමුදුරුවෝ මග පෙන්වීමේ කාර්යය භාරගත්තා. ඉන්පස්සෙ හාමුදුරුවෝ සරසවියෙ කථිකාචාර්යවරයකු වීමත් එක්ක නිරන්තරයෙ අපේ අනුරාධපුර චාරිකාවන්වලට ආරණ්‍යමය සැහැල්ලුවක් සහ සන්තුෂ්ටියක් එක් කළේ හාමුදුරුවෝ. වැහිදැරිවිගෙ ආච්චිව රෝදපුටුවෙ තියාගෙන රුවන්වැලි⁣සෑ මලුවෙ පැදකුණු කරවලා ආශිර්වාද කිරීමේ ඉඳලා ප්‍රත්‍යසම්පාදනය දක්වා හාමුදුරුවෝ අපේ අනුරාධපුර චාරිකා සුවිසාල කරුණාවකින් පුරවලා තියෙනවා.තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති සාටෝපී විවාහ උත්සවයක් ගන්නවා වෙනුවට සරලව විවාහය ලියාපදිංචි කරලා උත්සවයක⁣ට වෙන් කරන මුදලින් පාසලකට උපකාර කරන්න තීරණය කරපු වැසි දැරියටයි වැසි දරුවාටයි ජීවිතේ මනරම්ම දවසෙ ස්වේච්ඡාවෙන්ම පිරිත් දේශනා කරන්න භාරගත්තෙත් ශාන්ත හාමුදුරුවෝ. ඉතින් අනුරාධපුර විතරක් නොවෙයි ජීවිතයේ ගොඩක් තැන් ඒ කල්‍යාණ මිත්‍ර ආශිර්වාදයෙන් වියුක්ත කරලා සිහි නංවන්න බෑ. 

කෝම හරි ඔය අනුරාධපුර ගමන්වලදි වැහිදැරිවි ආසාම රියේ පිටිපස්සෙ වීදුරුව⁣ පැත්තට මූණ යොමාගෙන පහුවෙලා යන ගස් වකාරෙන් පිරුණු ලස්සන පාරවල් දිහා බලාගෙන යන්නයි. ඉන්පස්සෙ පූජා නගරයෙ ප්‍රදක්ෂිණා පථවල, ගල් ⁣අල්ලපු පාරවල සහ තණපිඩැලි මත්තෙ, දියබෙරලියා මලක් වගේ සරල වනපස මල් අතින් අරගෙන නිස්කාංසු⁣වෙ ඇවිදගෙන යන්නයි. ඊටත්පස්සෙ නටබුන් - ගල්කණු - ආරාම සංකීර්ණ - පොකුණු - ගරාවැටුණු පුරාතන විශ්වවිද්‍යාල අතරෙ සරමින් - මුරගල්වල හුරුබුහුටි සංඛ-පද්ම රූප අතගාමින් - සමන් සිත්තරා කියපු අනුරාධපුර යුගයෙ සරල සම්භාව්‍ය බව සඳකඩපහණක ලියපෙත්තකින් විඳිමින් - දැක්මෙන් පවා තපස්වරියන්ගෙ සිල් බිඳුණාය කියන නාග මානවකයන්ගෙ සුනම්‍ය තුරුණු කොපුල් මඟඅරිමින් - ඔ⁣රලෝසු කටු ගැන වගේ වගක් නැතුව අමා රස්තියාදුවෙ යන්නයි. 

දෑවුරුද්දක⁣ට විතර ඉහතදි වැහිදැරිවිත්, වැහිදරුවාත්, සරසවි මිතුරු ගයන්තත් අනුරාධපුර දක්වා යන්න සැලසුම් කරපු ගමනත් කදිම අනුරාධපුර මතකයක්.

ඒ ගමනෙදි තමා වැහිදැරිවි වැඩිපුරම වෙලාවක් නටබුන් අතර රැඳී උන්නෙ. එක ⁣කොරවක්ගලක් ගාව සෑහෙන වෙලා අපි රැඳීගෙන කැටයම් අත ගගා ඉන්න ඇති. රාත්‍රියෙ රුවන්වැලි සෑ මලුවෙ කාලය ගැන හැඟුමක් නැතුව රැඳී ඉඳලා, මහබෝධියට යන මග පහන් පූජා නරඹමින්, ගත කළ වෙලාව හෝරා ගණනක් වෙන්න ඇති. 

වෙස්සගිරියෙ ඇතුළු ගල්ගුහා වෙතටම ගිහින් මිහිඳු මහරහතන් වහන්සේ භාරත රාජ්‍යයම අත්හැරලා සැතපෙන්න තෝරාගත්ත ශිලා යහන වෙතත්, ඉන්පස්සෙ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න තෝරාගත්ත විශ්ව ශක්ති කේන්ද්‍ර වෙතත් නැගගෙන ගිය ගමන කිසිදා අමතක කරන්න බෑ. වෙස්සගිරියෙ එකිනෙක මත සමබර කරපු සුවිශිෂ්ට තාක්ෂණයකින් යුතු ශිලා කේන්ද්‍රවල විස්මයාවහ බවත් විඳගනිමින් භාවනා කළ මතකය අටවිසිවසක ජීවිතයේ සන්සුන්ම මතකයක්.

'ඒ අමා රස්තියාදුව' නමින් ගයන්ත, ඒ ගමන ගැන කවි හත අටකුත් ලියා තිබුණා මතකයි. 

'ලියවැල් මත වෙලී පැටලී වෙමිනි පමා...

ඇත් අස් සිහ රඳුනි මේ ලෙස දුවනු කිමා...

සඳකඩපහණ මත ඇවිදින හිස ද නමා...

හස රද පැවසුවේ නවතින අයුරු තමා...'

කියා තමයි ඒ කවි ටිකෙහි පළමු කොටස අවසන් කරලා තිබුණෙ. ඒකෙ දෙවෙනි කො⁣ටස බාගෙදා මනුස්සයා දෑවුරුද්දක් තිස්සෙ තාම ලියනවා ඇති. ඕං මේ බ්ලොග් පෝස්ටුව කියෙව්වොත් හෙම මේ තියෙන්නෙ ඒක සම්පූර්ණ කරන්න සිහි කැඳවීමක්!

මෑතක පටන් නිසැකවම අනුරාධපුරේ වාර්ෂිකව යන්න හේතුවක් සපයන්නෙ අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පර්‍යේෂණ සම්මන්ත්‍රණය. 

ගිය වසරෙ සම්මන්ත්‍රණයට ගිය වතාවෙ තදින් අසනීප වී රෝහල්ගතව උන් සුමින්ද අය්යාට අපි දෙන්නා රුවන්වැලි සෑ මලුවෙදි වීඩියෝ ඇමතුමක් ගත් හැටිත් වැහි දරුවාටයි වැහි දැරිවිටයි සිහිපත් වුණා. කොහොමටත් අනුරාධපුරය හැම විටම සුමින්ද අය්යා ලියූ ලුම්බිණි ආඛ්‍යානය සමඟ ඔහුව සිහිපත් කරනවා. ඔහු ඒ ආඛ්‍යාන කාව්‍යයෙහි ප්‍රධාන චරිතය නම් කරන්නෙ අනුරාධ නමින් නිසා. ඒ රජරට ශිෂ්ටාචාරයෙහි පැවති සුවිශිෂ්ටත්වය පිළිබඳ සංකේතීය නිරූපණයක් විලසිනුයි.

'මං උඹලා දෙන්න⁣ගෙ ආදර කතාවට හෙන ආදරෙයි' කියා අප දෙන්නාට යළි කියන්නට අනුරාධ මැවූ හෘදයවාසී වැඩිමහල් සහෝදරයාගේ හඬ නැවත කිසිදාක නෑසෙන බවට දැනෙද්දි ඔහුගෙ අකල් වියෝවෙ රිදුම් අලුත් වුණා. ඒ හිස්තැන කිසිදා නොපිරවෙනු ඇති මුත්, මේ ලෝකයෙ ජීවත් වුණ සුන්දරම ආත්මයක් වුණ ඔහු මේ භවයෙ වේදනාවෙන් මිදී යාම ගැන සැහැල්ලු සැනසුමකුත් මෙවර අනුරාධපුර ගමනෙදි දැනුණා.

වෙනදා මෙන් දින ගණන් නවාතැන්ගත නූන මේ වතාවෙ අනුරාධපුර ගමන අවසන් වුණේ ඇතුගල්පුර මල්ගොමුවෙන්. ජීවිතයෙ මුණගැහුණ සුන්දරම පවුල් අතරින් එකක් වන ඔවුන් සමඟ ගෙවුණු සංවාද රාත්‍රියත් අනුරාධපුර උදා-දිවා-හවස්වරු තරම්ම මිහිරියි. නරක දේකට කියලා තිවුණෙ, මල්රේණු සහෝදරයා පළ කරපු අලුත් පොතේ පිටපතක් ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා, වැහිදැරිවිට අපහාස කරලා වැහිදරුවාට හොඳ මල්ලි කියලා ආමන්ත්‍රණය කරලා  අත්සන් කරලා දුන්න එක.

හැබැයි මල්රේණු සහෝදරයා එක්ක මතක ඇති කාලෙ ඉඳලා නයි මුගටි ගැටුම වාගෙ කොයි තරම් රණ්ඩු සරුවල් වුණත්, ඔහුගෙ අලුත් පොත - 'රතු කොණ්ඩකාරියගෙ කතාව' ගාව පූර්ව භවයක තරම් ඉඳලා එන රණ්ඩුව තාවකාලිකව අමතක කරලා දාන්න වැහිදැරිවි තීරණේ කළා.

ළදරු නාමකරණයේ පටන් ස්ත්‍රියගේ ස්වාධීන බව අහිමි වීමේ හා ස්ත්‍රිය වාස්තවීකරණය වීමේ අවුල, පුරුෂෝත්තමවාදයෙහි අඳුර සහ ඊට එදිරිව ස්ත්‍රී විභවතාව, ස්ත්‍රීත්වයෙහි/මනුෂ්‍යත්වයෙහි වටිනාකම් බාහිර රූපයට පමණක් සීමා කිරීමේ ඛේදය, Bullying හෙවත් අනවරත හිරිහැරකිරීම් ළමා මනසක් කෙරේ ඇති කරන බලපෑම,  සමාජදේහය පුරා දිවෙන පන්ති විෂමතාව සහ නවයොවුන් ආලයේ මිහිරි සිහිලැල්ල ආදී සොඳුරු - සුගැඹුරු සංලක්ෂයන් රැසක් රතු කොණ්ඩකාරි විසින් ස්පර්ශ කරලා තියෙනවා.

අලුත් සෙමෙස්තරය පටන් ගන්න ළඟ නිසා ඒ පොත ගැන දිගට ලියන්න වෙලාවක් තියේද සැකයි. ඒත් එය එහෙම මඟ හැරී යා යුතු නොවන මනරම් පොතක් වන නිසායි, ඒ ගැනත් මේ සටහනටම ඇතුළු කළ යුතුම යැයි හිතු⁣ණේ.

කෝම හරි අනුරාධපුර සිට ඇතුගල්පුර දක්වාත්, ඉන්පස්සෙ ඇතුගල්පුර සිට කො⁣ළොම්පුර දක්වාත් රියේ කවුළු ඇරන් එද්දි වැව් තල සිපගෙන එන සුළං පහස තමන්ව සිපගන්න කොට වැහිදැරිවිට දැනුණේ වෙනදා වගේ දින ගණන් ගත නොකළත් අනුරාධපුරේ ගත කරන මොහොතක් පවා කොතරම් නම් මිහිරිද.. සිහිලැතිද කියායි..

ඉන්දීය හයි කොමිසමේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කූරන් දත්තා නම් තරුණ විද්වතා තමාට අනුරාධපුරයේ පෞරාණික නටබුන් අතර ඇවිද යද්දී ඇඬෙන බව කී අයුරුත්, ඊනියා සාහිත්‍ය සම්මානවලට හැමදාම මඟඇරෙන ඉසුරු චාමර සෝමවීර සහෝදරයාගේ කවි අතරෙ වූ මහබෝධියට යන මග කවියත්, මහබෝධියට යන මග වෙසෙන කුමාර සේනානායක වැඩිහිටි විද්වතා තුළ වන තමාට මියෙන්නට ඕනෑ බෝ සෙවණ දැනෙන මානයක බවට වන ප්‍රාර්ථනයත්, ලබ්ධියෙන් බොදුනුවකු නොවන මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන් ලෝකයේ සුවැතිම සුළඟ හමන්නේ අනුරාධපුර රාජධානියෙන් බවට කළ ප්‍රකාශයත් ඒ එක්ක සිහිපත් වුණා..

ඉතින්.. ජීවිතේ මාස ගණනාවකට නිවෙන්න අනුරාධපුර ගෙවෙන එක දවසකුත් ඇති කියා වැහි දැරිවිටත් හිතෙන එක අරුමයක් නෑ නේද..)

Tuesday, November 12, 2024

118. සිහිල් දිය උල්පත්, උත්තර තාරකා එළි සහ සුමින්ද කිත්සිරි ගුණරත්න!


'ලෝකය අද තව හොඳ මිනිසකුගෙන් හිස් වුණා..'

සුමින්ද කිත්සිරි ගුණරත්න, සුවිශිෂ්ට මනුෂ්‍යයාගේ නික්ම යාම ගැන, වැහිදැරිවිගේ තාත්තා, අද දින පොතේ එහෙම ලියා තිවුණා. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම ඇසූ මොහොතේ පටන් හිරකරගෙන සිටි ඇස අස වැසි, ගලන්නට ඉඩ දෙමින්, වැසි දැරිය, ඒ දින සටහනින් පටන්ගෙන තාත්තා ඔහු ගැන තැබූ හෘදය සටහන කියවූවා.  

ලුම්බිණි ආඛ්‍යාන කාව්‍යයයේ සිට ප්‍රිස්මහි සංකිත කවි දක්වා ඕනෑම කාව්‍ය ආකෘතියක විස්කම් පෑ අතිදක්ෂ නිර්මාණකරුවා, වැසිදැරියගෙ ජීවිතයෙ පළමු ගුවන්විදුලි වැඩසටහන මෙහෙයවූ සුවිශිෂ්ට සන්නිවේදකයා, මානවවංශවේදී සිනමා ක්ෂේත්‍රයෙහි දුර්ලභ පර්යේෂකයා ආදී විවිධ ස්වරූපවලින් සුමින්ද අය්යාව මතක් විය යුතු වූවාට, වැසිදැරියට ඔහුව මුලින්ම මතක ඒ කිසි විදියකට නොවෙයි. 'චක්කරං' විදියටයි. ඒ ඔහුගෙ සරසවියෙ අන්වර්ථ නාමය. 'චක්කරං කොටුව' ඔහුගෙ පළවෙනි කවි පොත. සුමින්ද අය්යා අලුත් පොතක් ලියලා කියලා, පස් හැවිරිදි වැසි දැරියට අම්මා කිව්වම, 'එයා ආයෙත් චක්කරං කොටුවක් ලියලද?' කියලා අහපු අතිපණ්ඩිත ළමයාට සුමින්ද අය්යා දුන්න පළවෙනි තෑග්ග තමයි 'ඇහැළි' - ඔහුගෙ දෙවැනි කවි පොත.

ඒ පොතේ පළමු පිටුවෙ, 

'අප හද හර්ෂා-තෙමනා වර්ෂා

සිඟිත්තියට මේ ආදර වර්ෂා'

කියා විසල් අකුරින් ඇබින්දන් වැහිදැරියට අත්සන් කරලා දීලා, තමන්ගෙ ගුරුවරු වූ වැහිදැරිවිගෙ අම්මාවත් තාත්තාවත්, සුමින්ද අය්යා, වරහන් ඇතුළෙ කුඩා අකුරින් සිහිපත් කරලා තිබුණා. 

ඊට අවුරුදු දහයකට විත⁣ර පස්සෙ, ඔහුගෙ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සම්බන්ධ පර්යේෂණ කෘතියෙ පිදු⁣ම, වරහන් නැතුව, වැහිදැරිවිගෙ අම්මාටත් තාත්තාටත් පිළිගන්වමින් ඔහු ලියා තිබුණෙ මෙහෙම සටහනක්.

'ගිනිගහනා අගනගරේ කූටමහල් තෙමා

සමන් කුසුම් වර්ෂාවකි හදවත් දිය දමා

සංසාරේ විෂ රුක මත පල දුටුවෙමි අමා

ඔබ දැකුමෙන් යුගනෙතු පින සපුරාගති සැමා'

ගිනිගහනා අගනගරයෙ වැහිදැරිවිලාගෙ ගෙදර, මනරම් සංවාද විසල් ප්‍රමාණයක්, සුමින්ද අය්යා එක්ක සිද්ධ වෙලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයෙ වැඩ  අවසන් කරලා හැන්දෑවරුවෙ, හිටපු ගමන් නොකියාම ඇවිත් අපි එක්ක හෝරා ගණන් ගෙවමින් සුමින්ද අය්යා කළ සංවාද, වැහිදැරිවිගෙ හදවත් පොතේ තද මතක තීන්තෙන් සටහන් වෙලා තියෙනවා.

පස්සෙ කාලෙක ඒ සංවාදවල නිත්‍ය සාමාජිකයකු වූ වැහිදරුවා, වැහිදැරිවිගෙ ජීවිතය බෙදාගන්නා ගමන් සගයා බවට පත් වෙන්න පෙරයි, වැහිදරුවාත් සුමින්ද අය්යාත් කළණ මිතුරන්-සහෝදරයන් වී තිබුණේ.

අප විවාහ වූ දවසෙ වැහිදරුවා වෙනුවෙන් අත්සන් කරන්න ඔහුව තෝරාගත්තෙත් අපි දෙන්නාගෙම ජීවිතයෙ ඔහු සුවිසල් තැනක විසූ හින්දයි. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම, ⁣හද රිදවන කාරණාවක් වන්නෙ, ඔහු එපමණ කිට්ටුවන්ත සහෝදරයකු-මිතුරකු-සංවාද සගයකු වූ නිසා පමණක් නොවෙයි. ඔහු සිය ජීවිත කාලය පුරා යහපත් සාහිත්‍යයක් සමාජගත කරන්න⁣ටත් - දැන් ⁣බොහෝ විට සිදු වන්නාක් මෙන්, කවිය ලිංගිකත්වය හා ඕපාදූප පළ කරන්නට යොදාගන්නා හුදු ප්‍රකාශන මාධ්‍යයක් නොකොට, උත්තර තලයක රඳවන්නටත් අත්‍යන්තයෙන්ම කටයුතු කළ සාහිත්‍යධරයකු නිසයි. 

ජපුර සුමංගල කියැවීම් ශාලාවෙ, ⁣ශේන්‍යා ප්‍රනාන්දු සහෝදරියගෙ පළමු පොත එළිදකින දවසෙ, සුමින්ද අය්යා, පාලුව-හුදෙකලාව-පරම හුදෙකලාව සංකල්ප මතු කරලා, නිර්වාණය එක්ක ඒ සංවාදය ගලපලා කළ කතාව ඔහුගෙ උත්තර සාහිත භාවිතාවට එක් නිදර්ශනයක් පමණයි.

සුමින්ද අය්යාට, ඡායාව අනපායිනී වෙමින්, නිරෝගී සමයේත් ගිලන් සමයේත් එක ලෙස - අනලස්ව ආදරය දුන් දර්ශි අක්කා, ඉතා වාසනාවන්ත බිරිඳක් වන්නේත්, සරිත් සහ සාධ්‍යා ඉතා වාසනාවන්ත දරුවන් වන්නේ එවන් මනුෂ්‍යයෙක් සමඟ ජීවිතය බෙදාගැනීමට ලැබීම, කලාතුරකින් ජීවිතයක⁣ට හිමි වන හිමිවීමක් නිසයි.

සුමින්ද අය්යා, වෘත්තියෙන් ඊනියා ඇකඩමික් කෙනෙක් නොවුණාට, ඇකඩමික්ස්ලා දාස් ගණනකගෙ ඇකඩමික් වැඩ කරපු ශාස්ත්‍රවන්තයෙක්. 

දේශන විසල් ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් - සතයක් නොගෙන - පෙරළා කිසිවක් අපේක්ෂා නොකොට සිදු කළ සුවිශිෂ්ට දේශකයෙක්. 

සිය සාහිත්‍ය භාවිතාවෙ ස්වාධීන සුගැඹුරකින් නියැලුණ පරිණත සාහිත්‍යවේදියෙක්.

අවුරුදු අසූ - අනූ ගණනක් ජීවත් වෙන ඇතැමකුට කරන්න බැරි වන තරමෙ වැඩ ප්‍රමාණයක් සිය කෙටි ජීවිතකාලය ඇතුළෙ කරපු සදාකාලික තරුණයෙක්.

ලෞකිකත්වයේ සිට ආධ්‍යාත්මිකත්වය වෙත, ව්‍යාජයකින් හෝ මුලාවකින් නොව, ගැඹුරු අවබෝධයකින් විතැන් වුණ ගවේශකයෙක්.

බුදුදහමේ සුවිශිෂ්ටත්වය, අතිනව්‍යත්වය හා පරම විප්ලවීය බව ගැඹුරින්ම වටහාගන්න සමත් වුණ දාර්ශනිකයෙක්.

ඔහු තදින් ගිලන්ව සිටි අවසන් වකවානුවෙ කෙරුණු සංවාදවල තිබුණ - කවියට එහා ගිය ආධ්‍යාත්මිකත්වයකුත් කැටි වුණ ගැඹුර - සුගැඹුර - සුමිහිර ඒ සඳහා නොබිඳෙන සාක්ෂ්‍යයි.

ඒ ගැඹුර, ගැඹුරු නින්දකට හරවාගෙන, ඔහු යන්නම ගිහින් ඇති වග ආරංචි වුණ මොහොතෙ, වැහිදැරිය, රිය පදවමින් උන් වැහිදරුවාට ඒ බව කිව්වෙ නෑ. සුමින්ද අය්යා කෙරෙහි වැහිදරුවා තුළ තිබුණ ආදරයෙහි, සහෝදරත්⁣වයෙහි දිගපළල කොතෙක්ද කියා දන්නා නිසා, සන්සුන් මොහොතක් එනතුරු පොරොත්තුව ඒ බව නොකියා සිට, ඒ ගැන කියූ ඉක්බිති, වැහි දරුවා කියපු යමක්, මේ සටහන නිමවන්න සුදුසුම පසු සටහන කියා හිතෙනවා.

'සුමින්ද අය්යා නැතුව පාලුයි. ඉස්සරහට ඒ පාලුව තවත් දැනෙයි. ඒත් එයා නතර කරලා ගියපු තැනින් අපි ඉදිරියට වැඩ කරන්න ඕන..'

සුමින්ද අය්යා ජීවිත කාලය පුරා වඩා යහපත් ලෝකයක් - වඩා යහපත් කලාවක් වෙනුවෙන් කළ වැඩ, විවිධ ස්වරූපයෙන් අපේ ජීවිත කාලය පු⁣රා කෙරේවි.. ඔහුගේ කවි - සටහන් - අපි අතරේ ජීවත් වේවි.. 

ඉතින්, සුමින්ද අය්යා වගේ මිනිසුන් නික්ම යන්නේ නෑ. පරම හුදෙකලාවෙන් හෝ ඊට මෙපිටින් නිවී ගියත්, සුපැහැදිලි උල්පත් වතුර ප්‍රදායනය කරමින්, උස් කඳු මුදුනකින් ගලා එන සිහිල් දිය උල්පත් වගේ ලෝකය සුවපත් කරමින් - උත්තර තාරකා එළි වගේ ජීවිත ආලෝකවත් කරමින් ජීවත් වෙනවා..!

Monday, November 4, 2024

116. ටියැං ලූ සහ සිංහල බැරි සිංහල බබ්බු!

වැසිදැරිය දන්න ඇතැම් බබ්බු ඉන්නවා, ඒ බබ්බුන්ට සිංහල බෑ. ඇතැම් අය නෑදෑ වෙන බබ්බු. ඇතැම් අය යාලුවන්ගෙ බබ්බු. සමහරක් පිටරට පදිංචි අය. තවත් සමහරක් ලංකාවෙම ඉන්න අය. ඇතැමුන් කියන්නෙ ප්‍රායෝගිකව සිංහල භාවිත කරන්න විදියක් සහ අවශ්‍යතාවක් නැති වග. ඇතැමුන් කියන්නෙ තමන්ටත් දැන් සිංහල අමතක වෙලා වාගේ නිසා දරුවන්ට කොහොමත් අමතක වෙලා යාම සාමාන්‍ය දෙයක් වග. සිංහල ඉගෙනගත්තා කියලා වැඩකුත් නැති වග. මාතෘ භාෂාව හෙළා දැකීමේ මානසික තත්ත්වය, වාග්විද්‍යා සහ මනෝවිද්‍යා ක්ෂේත්‍රවල Schizoglossia කියන මානසික රෝගී තත්ත්වය ලෙස හඳුනා‍ගෙන තියෙන වග දන්නවා නම් එයාලා එහෙම නොකියන්නත් සමහරක් විට ඉඩ තියෙනව.

කොහොම හරි ඔය කියාපු සමහර දෙමව්පියන්ට තමුන්ගෙ බබ්බුන්ට සිංහල බැරි වීම පුදුම තරමේ ආඩම්බරයක්. ඒ අරුම පුදුම ආඩම්බරේ ඒ බබ්බුන්ට ඉංග්‍රීසි බැරි වුණොත් එහෙම්මම තියේවිද කියලා අහන්න කටට එන ප්‍රස්නේ එහෙම නරක විදියට අහන්නෙ නැතිව තමන්ගෙ භූමිකාව ඇතුළේ, ඒ ආඩම්බරය තුළ තියෙන භයානකකම ගැන නොරිදෙන සාකච්ඡාවක නිරත වෙන්න වැහිදැරිවි උත්සාහ කරනවා. වාග්විද්‍යාව (Linguistics) සහ පශ්චාත්කොලනිකරණය (Post colonialism) විෂයන් ලෙස හදාරපු බැවින්, සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිවීම් සහ සන්නිවේදන කටයුතු කරන බැවින් සහ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය විෂයක් ලෙස උගන්වන බැවින් වැහිදැරියට එහෙම කතා කරන්න හැකි නොනිල බලපත්‍රයක් ලැබිලා තිබීම නිසා ඒක බොහෝ වෙලාවට, යම් තාක් දුරක හෝ පලක් ඇති සංවාදෙකට ගෙනියන්න පුළුවන් වෙලා ති‍බෙනවා. හැබැයි සංවාදෙකට ඇතුළු වෙන්නවත් අකැමැති ඇතැම් අයත් එක්ක එහෙව් සංවාද කරන්න අවකාශයක් හදාගන්න අසීරුනෙ. එවන් වෙලාවට කළ හැක්කෙ, එවන් යටත්විජිතවාදයෙන් හා කොලනිකරණයෙන් නොමිදුණ මානසික තත්ත්වයන් තව දුරටත් අනිත් අය තුළ ඇති වීම වැළැක්වීම සඳහා අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරන එක කියලා හිත හදාගන්නව!

හැබැයි මේ සටහන ලිව්වෙ එහෙම බබ්බු ගැන ලියන්න නොවෙයි. එහෙම නොවන බබෙක් ගැන ලියන්න. එහෙම නොවන බබෙක් කියන්නෙම, ඔය ඉහත සඳහන් කළ ඩිස්කෝස් එකට ප්‍රතිඋත්තර සපයන නිදර්ශනයක්නෙ. ඒ නිසා ඒ බබා ගැන ලියන්න පෙර එහෙම නොවන බබ්බු ගැන ලිවිය යුතුයි කියලා හිතුණා. ඇත්තටම ලියන්න ඕනෑ ඒ බබ්බු ගැන නොවෙයි, එයාලාගෙ දෙමව්පියො ගැන තමා. මොකද බබෙක්ගෙ භාෂා පරිසරය හැදෙන්නෙ දෙමව්පියන්ගෙන්නෙ. පළමු භාෂාව අන්තර්ග්‍රහණය කරගැනීම ස්වාභාවික සිද්ධියක් වුණාට එයට ඉඩ හසර සපයන්නෙ අවට පරිසරය නිසා දෙමව්පියන්ට ඒ සම්බන්ධ සුවිසාල - අත්හළ නොහැකි වගකීමක් තියෙනවා. ඒ නිසා යම් බබෙක්ට මාතෘ භාෂාව - සිංහල වේවා, දෙමළ වේවා, තමුන්ගෙ මාතෘ භාෂාව බැරි නම්, ඒ වෙනුවට ප්‍රථම භාෂාව විදියට පුළුවන් ඉංග්‍රීසි භාෂාව විතරක් නම්, ඒ ගැන බබා තුළත් ආඩම්බරයක් වගා කරලා දෙමව්පියනුත් බොහෝම ආඩම්බර වෙනවා නම්, එතැන තියෙන්නෙ යටත්විජිතවාදයට සම්බන්ධ බරපතළ දේශපාලනික - සමාජ - සංස්කෘතික - වාග්විද්‍යාත්මක - මානවවිද්‍යාත්මක... ඔන්න ඔහොම ක්ෂේත්‍ර ගණනාවක යටතෙ කතා කළ යුතු බරපතළ ප්‍රශ්නයක්.

මං මේ සටහනේ ලියන බබාට ඉන්නෙ යටත්විජිතවාදෙන් මිදුණු, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් හිස මත තියාන වන්දනයක නොයෙදෙන, ඉංග්‍රීසිය තවත් එක් බසක් ලෙස සලකන, දැනුම පමණක් නොව ප්‍රඥාව සහිත මව්පිය යුවළක්. ඒ නිසා ඒ බබා වාග්විද්‍යාත්මක ශක්‍යතා එකතුවක් වීමේ ගෞරවය ඔවුන්ට හිමි විය යුතු බව මේ සටහනට එක් කළ යුතුමයි.

වැහිදැරිවි ඒ බබාව මුලින්ම දැක්කෙ දවස් දෙක තුනක පුංචි බබෙක් විදියට. එයාගෙ අම්මා, වැහිදැරිවිගෙ මව්පියන්ගෙ ශිෂ්‍යාවක වීම නිසා, (වරහන් ඇතුළෙ කියන්නම ඕන - ආදරණීයම කියලා.. නැත්තං වැහිදැරිවිට ආදරණීය ශිෂ්‍යාවගෙන් බැනුං අහන්න වෙන්නත් ඉඩ තියෙනව) එයා සතියක්වත් වයස නැති පුංචි බබෙක් විදියට අපේ ගෙදර ආවා. එච්චර පොඩි වයසකින් බබෙක්ව එහෙම ගෙනියනවද කියන එක අරුම පුදුම කාරණයක් වුණාට, බබාගෙ අම්මාට ඕනෑම වුණා තමන්ගෙ ගුරුවරු දෙන්නා මුලින්ම බබාව දකින අය බවට පත් කරන්න. ඉතින් එහෙම දවස් ගාණකින් දැකපු පුංචි බබා ආපහු වැහිදැරිවි බලන්න ආවෙ, වැහිදැරිවිගෙ නමයි - වැහිදැරිවි වගේ කොණ්ඩෙ ඉස්සරහින් අපිළිවෙලට ෆ්‍රින්ජ් එකක් කපාගත්ත දැරිවියෙකුගෙ පින්තූරෙකුයි ප්‍රින්ට් කරපු ටෝට් බෑග් එකකුත් - අත්බෑග් එකකුත් - හුරුබුහුටි පර්ස් එකකුත් ආදී තෑගි ගොඩක් අරගෙන.

මේ බබාගෙ නම තරුචමා. න⁣ම වගේම තාරකාමය චමත්කාරයක් සහිත බබෙක්. හැබැයි එයාට තවත් නමක් තියෙනවා. ඒ ටියැං ලූ. එහෙම වෙන්න හේතුව එයා දැන් ජීවත් වන්නෙ චීනයෙ වීම. එයා සම්බන්ධ විශේෂ දේ රටවල් දෙකකදි  භාෂා දෙකක් නියෝජනය කරන නම් දෙකක් තිබීම නොවෙයි. එයා භාෂා තුනක් එකම විදියට හැසිරවීමේ ශක්‍යතාව සහිත අපූරු දැරිවියක් වීම. ටියැං ලූ කතා කරනවා අඩ හෝරාවක් අහං හිටියොත්, එයාගෙ මව්භාෂාව සිංහලද-චීන-ඉංග්‍රීසිද කියා හිතාගන්න අහං ඉන්න කෙනාට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

ඒකට හේතුව එයාගෙ ප්‍රථම භාෂාව හෙවත් ෆස්ට් ලැන්ග්වේජ් එක විදියට භාෂා තුනම අන්තර්ග්‍රහණය වී තිබීම. එයා එක්ක කතා කරද්දී මට දැනුණේ වසර ගණනක් ඉගෙනගත් වාග්විද්‍යා මූලධර්ම ගැන ප්‍රායෝගික පර්යේෂණයක නියැලෙනවා වගෙ හැඟීමක්. එයා එපමණ බුද්ධිමත් සහ සංවේදී බබෙක්. සංවාදයක් පවත්වාගෙන යන්න ආසා හිතෙන අන්දමේ බබෙක්.

කවදා හරි තරුචමා හෙවත් ටියැං ලූ මේක කියවාවි කියා මං දන්නවා. එයාගේ අම්මා එයාට මේක කියාදේවි කියන එක නොවෙයි මං කියන්නෙ. එයාගෙ ධාරිතාවෙ හැටියට එයාට සිංහල කියවන්න ඉගෙනගන්න එක සහ තව ටිකක් වැඩුණාම මේක කියවන එක කරන්න පුළුවන් දෙයක් වග පැහැදිලියි.

තරුචමා නමැති කුඩා තාරකා එළිය දවසක සුවිසාල ආලෝක ධාරාවක්ව දිලිසෙන වග විශ්වාස බව මෙතැන ලියා තියෙන්නෙ දවසක එයා ලොකු බබෙක් වුණ දවසක එයාට කියවන්නයි. ඒ වගේම එයා ‍නොදැනුවත්වම එයා විසින් ඇති කරන පූර්වාදර්ශය මව්බස අමතක නොකොට අනිත් බස් සමෝසමේ අන්තර්ග්‍රහණය කරගැනීම පිළිබඳ මනරම් වාග්විද්‍යාත්මක පාඩමක් මේ සහශ්‍රයේ ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකික වැඩිහිටියන්ට කියා දෙන බව මතක් කරන්නයි. 

ප.ලි - 
මේ මාතෘකාව ගැනම කලකට කලින් ලියාපු හදබස් දොරටු ලිපිය මෙතන පසුව ලිවීමක් ලෙස අමුණා තියනවා.

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම නිසා කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය නිදසුන් සහිතව කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ මාතෘ භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෘ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය. 

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන මේ සම්මුඛ සාකච්ඡාව මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. 



ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


Sunday, November 3, 2024

115. පිං කුසුමී! 🌸

ජපුරෙ හිටපු උපකුලපතිවරයෙක් වුණ චන්දිම සර් ආයු සංස්කාරය අත්හැරියාය කියා අද උදේ පණිවිඩයක් ආවා.

වැසිදැරිවිට ඒක අහපු ගමන් පිං කුසුමී මතක් වුණා. වැසිදැරිවි  මුණගැහුණ හැම දවසකම චන්දිම සර් වැසිදැරිවිට කතා කළේ පිං කුසුමී කියලයි.

පිං කුසුමී කියන්නෙ චන්දිම සර් ලියාපු පොතක්. ළමා කතා පොතක්. ඒ පොත ලියපු දවස්වල, අවුරුදු පහක් විතර බබෙක් වුණ කුඩා වැහිදැරිවිට, චන්දිම සර් ඒකෙ පිටපතක් අත්සන් කරලා දුන්නෙ, පිං කුසුමීට කියලයි. 

⁣කොතෙක් තෑගි ලෙස පොත් ලැබිලා තිබුණත් පිං කුසුමී වෙසෙස්ව දැනෙන්න එක හේතුවක් අම්මා තාත්තාගෙන් ලැබුණ තෑගි ලෙස එතෙක් ලැබිලා තිබුණ පොත්වලට අමතරව, වෙනත් කෙනෙකුගෙන් තෑගි ලැබුණ මුල්ම පොතක් විදියට වැහිදැරියට මතක තියෙන්නෙ පිං කුසුමී වීම!

ඒ වගෙම වැහිදැරිවිගෙ නම, කුසුම්වර්ෂා නිසා සර් වැහිදැරිවි මුණගැහෙන හැම වෙලාවකම, 'ඔයාට තමා ඒ පොතේ වැඩිම අයිතිය තියෙන්නෙ' කියා මතක් කිරීමත් ඒකට හේතුවක්.

ඒක අවිහිංසාවාදය සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පුංචි දැරියකගෙ කතාවක් වීම නිසා, පූසෙකුගෙ කෑම පිඟානක මාලු කටුවක් අඳින්න බෑ කියලා චිත්‍ර පන්තියෙදි කෑ ගහලා මීන අයිතිවාසිකම් වෙනුවෙන් විප්ලව කරපු කුඩා වැහිදැරියට ඒ ප්ලොට් එක තදින් දැනීම තවත් හේතුවක් වෙන්න පුළුවන්.

කොහොම හරි ඔය පිං කුසුමී කතාවට අමතරව චන්දිම සර්යි වැහි දැරිවිගෙ අම්මයි මුණගැහුණම හිනා වෙවී මතක් කරන තව කතාවක් තියෙනව.

වැහිදැරිවි ඉතා කුඩා බබෙක් කාලෙ, සුමංගල මන්දිරය ඉදිරිපිට සුදු වලාකුළු පිරිච්ච ආකාසෙට අත දික් කරලා, චන්දිම සර්ට කිව්වලු, තමුන් මේ ලෝකෙට එන්න කලින් උන්නෙ ඒ වලාකුළු අස්සෙ වග.

ඉතින් ඒ වලාකුළු අස්සෙ ඉඳලා ආවාය කියලා කටකමසිරියාවක් නැතුව කියවපු අතිපණ්ඩිත පොඩි එකී, ඒ සුමංගල මන්දිරයෙදිම කථිකාචාර්යවරියකව මුණගැහුණ දවසෙ චන්දිම සර් සුබ පැතුවෙ හුඟක් සන්තෝසෙන්.

ඉන් කලකට පස්සෙ වැහිදැරිවි බෞද්ධ අධ්‍යයන කටයුතු සිදු වෙන සරසවියක, උගන්වන්න ගිය වග බෞද්ධ දර්ශනය උගන්වපු සර් දැනගෙන උන්නෙ නෑ. දැනගත්තා නම් ඊටත් වඩා සතුටු වේවි කියා වැහිදැරියට, නෑ, පිං කුසුමීට හිතෙනවා.⁣ 

කුඩා ⁣බබෙක්ට තෑග්ගක් ⁣තෝරන වෙලාවක, බෝනික්කෙක්-තුවක්කුවක්-ආදී ලිංගභේදය අනුව වර්ග කරපු භයානක තෑගි මග ඇරගෙන ගිහින් පොතක් තෝරද්දි වැහිදැරිවිට තමන් බබෙකු කාලෙ තෑගි ලැබුණ පිං කුසුමීගෙ සතුටු මතකය මතක් වෙනවා.

තමන් මාර ආදරේ හරිනි සහෝදරීගෙ සාරි ජැකට්ස් ස්වේච්ඡාවෙන් මහලා දෙන්න කැමතියි කියලා සද්භාවයෙන් යුතු සහෝදරත්වෙකින් කියමින්, වැහිදැරියට සාරි ජැකට්ස් මහන අක්කාගෙ බබාට පොතක් ගෙනියන වෙලාවක, වඩා ලාභ ලැබිය හැකි සිරුර විකිණීමේ රැකියාව තෝරාගන්න හැකියාව තියෙද්දි ඒ වෙනුවට ඉතා ගෞරවණීය ලෙස ⁣පලා හෝ හඳුන්කූරු විකුණන ළඳකගෙ බබෙකු⁣ට පොතක් දෙන  වෙලාවක, ඒ බබ්බුන්ගෙ මූණු සන්තෝසෙන් පිරෙනවා දකින කොටත් පිං කුසුමී වැහිදැරිවිගෙ මතක අස්සෙන් එබිකම් කරනව.

ඉතින් ඉස්සරහටත්, චන්දිම සර් දැන් නොහිටියා වුණාට, එහෙම කුඩා බබෙක් අතින් පොතක් තියන හැම දවසකම වැහි දැරිවිට පිං කුසුමී මතක් වේවි! 



Thursday, October 31, 2024

114. අඳ වාදකයා, මනරම් ගැඹුරු සර සහ අඳුර විනිවිදින හී!

ගිය අවුරුද්දෙ මුල දවසක වැහිදැරිවිට තමුන් කුඩා දැරියකව ඉන්දැද්දි කියවපු වී.කරලෙන්කො ලියපු - දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කරපු, අඳ වාදකයා කියන රුසියානු කතන්දර පොත මතක් කරමින්, උස හීන්දෑරි තරුණයෙක් දේශන ශාලාවෙ දොරකඩ පෙනී හිටියා.


'මැඩම්, මට පේනවා අඩුයි. ඒ නිසා පාඩම්වලදි අඩුපාඩුකම් වුණොත් සමාවෙන්න.'


යාලුවෙක්ගෙන් උදව්වෙන්, ස්ථිර පදපාතයෙන් මා වෙත ඇවිදගෙන ආපු ඒ තරුණයා පළමු හමුවීමෙදි මට කිව්ව පළමු වචන ටික ඒ. මාව පළමුව විස්මපත් කළේ ඒ ඍජු බව. දෙවනුව, අඳ වාදකයා සිහිපත් කරමින් බොහෝ දේශනවල අවසන් විනාඩි කිහිපයෙ සහෝදර සිසු සිසුවියන්ගෙ අසන්නන්ගෙ ඉල්ලීම් ඉටු කරමින් ඔහු ගී ගායනා කරපු මාධූර්යය. තෙවනුව, අධ්‍යාපන කටයුතු කෙරෙහි ඒ තරුණයා දක්වපු විශිෂ්ටත්වය. මේ ඒ වසරෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ හොඳම ප්‍රතිඵල ලබා සරසවි ආව ශිෂ්‍යයා බව මං කලින් දැන හිටියෙ නෑ. ඇස් පේන - සටහන් තබාගන්න - නැවත ඒ සටහන් කියවා පාඩම් කරන්න හැකියාව සහිත සිසුන් පනහක් මැද්දෙ, එක් වරක් අසා සිට ග්‍රහණය කරගැනීමෙන් ඒ බොහෝ දෙනාට වඩා විශිෂ්ටත්වයක් පෙන්නූ ඔහු මාව දිගින් දිගටම ආහ්ලාදයට පත් කළ සිසුවෙක් වුණා. 


ඔහු එක්තරා මධ්‍යවාර පරීක්ෂණයකට 20/20 උපයාගෙන වැඩිම ලකුණු ගත්ත සහ සම්පූර්ණ ලකුණ ගත්ත එකම ශිෂ්‍යයා බවට පත් වුණා. උපදෙස් අහගෙන ඉඳලා - අඩවන් ඇස්වලින් පේන ප්‍රමාණයත් එක්ක විසල් අකුරින් පිළිතුරු ලියන්න කල් ගත වෙන නිසා, අනිත් සිසුන් පරීක්ෂණය නිමා කරලා පැය එකහමාරක් විතර යන තුරු මං ඔහුගෙ පරීක්ෂණයට අවශ්‍ය ප්‍රශ්න ටික කි‍යෙව්වා. පරීක්ෂණය නිම වෙලා යද්දි, ඔහු, 'මං වෙනුවෙන් මෙච්චර කැපවෙනවට ස්තූතියි' කියලා වැහිදැරිවිගෙ පාවහන් දෙක මත අත තියලා වැඳලා වැසිදැරියගෙ හදවතේ ඊයම්බරුවක් වගේ බරට සමස්ත දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ප්‍රජාවේ අධ්‍යාපනය ගැන විසල් බරක් ඉතිරි කරලා පන්තියෙන් එළියට ගියා.


ඒ බර, ජපුරෙන් ඇවිත් දැන් මාස ගණනක් ගත වුණත් - දැන් උගන්වන සරසවියෙ එකදු දෘශ්‍යාබාධිත සිසුවෙක්වත් නැති වුණත්, වැසිදැරියට දැනෙනවා. ඉතින්, ඒ නිසා කොහේ කොතැනක ගියත්, කොතෙක් සිසු විහඟ පැටවුන් මුණ ගැහුණත්, වැසිදැරියට තමන්ගෙ අඩවන් සහ පියැවුණු ඇස් ඇති විහඟ පැටවුන්ව අමතක කරන්න බැහැ.


ඒ විහඟ පැටවුන්, කිචිබිචි සද්දවලින් අමතලා, වොයිස්නෝට්ස් එවලා, සෙමෙස්තරයෙ අවසාන සතියෙ පවත්වන්න නියමිත තමන්ගෙ සංගීත සන්ධ්‍යාව නරඹන්න එන්න කීවාම, දැන් වැහිදැරිවි ජපුරෙ නොහිටියා වුණත්, දෙපාරක් නොහිතා යන්න හිතුවේ ඒ නිසයි. 


සංගීත සන්ධ්‍යාව ඇරඹෙද්දි වැහිදැරියට බ්ලොග් ඉතිහාසෙත් මතක් වුණා. මොකද මීට වසර දහයකට කලින් දෘශ්‍යාබාධිත ගීත සැන්දෑවක නිවේදනය කළ සත්‍යා අක්කා මුණ ගැහුණෙ බ්ලොග් ලෝකෙන් නිසා. සත්‍යා අක්කාව නිර්මාණි විදියට දැනගෙන ඉඳලා කාලෙකට පස්සෙ වැහිදැරිවි ජපුරෙ සිසුවියක් වුණාම බ්ලොග් යාලුකම, හෘදය බන්ධනයකට කිට්ටු මිත්‍රත්වයකට හැරුණා. දෘශ්‍යාබාධිත සිසුන් සම්බන්ධ උපදේශකවරු/සම්බන්ධීකාරකවරු විදියට දැන් කටයුතු කරන සත්‍යා අක්කාගෙත් කසුන් අය්යගෙත් දියණි, සවර්ෂා, මේ ලෝකෙට එන්න කලින්, එයාට ඇහෙන්න මාත් සත්‍යා අක්කාත් ඉස්සර දෘශ්‍යාබාධිත ශිෂ්‍ය සුබසාධක සංගම් කුටියෙ කතාපොත් ගැන කියවන හැටිත් සංගීත සන්ධ්‍යාව ඇරඹෙන මොහොතෙ මතක් වුණා. 


'ප්‍රවේශපත්‍රයත් එක්ක ඔබේ අතට දුන්න කඩදාසිය දැන් කියවන්න.'


සුවිශිෂ්ට හඬින් නිවේදන කළ දෘශ්‍යාබාධිත නිවේදක තරුණයා සංගීත සන්ධ්‍යාව ඇරඹෙද්දි කිව්වා. රැඟුම්හලට පිවිසෙද්දි දැන්ම බලන්න එපා කියා අතට දුන්න කඩදාසිය අපි ඔක්කොම අතට ගත්තා. මොහොතකින් සියල්ල අන්ධකාර වුණා. 


ආසන්න පුටුවෙ වාඩි වී උන්නු වැහිදරුවාගෙ උරතලයට බර වෙලා, කියවගන්න බැරි කඩදාසිය දිහා බලා උන්නු වැහිදැරිවිගෙ ඇස් අගිස්සෙන් තෙතක් ඉනුවා.


ඉන්පස්සෙ ආයෙ ගණ අඳුර මැකිලා ගිහින්, ශාලාව ඒකාලෝක වුණා. 


කඩදාසියෙ ඉතා ලස්සන වචනවලින්, සහකම්පනය ගැන, අනුවේදනය ගැන, නොදැක දැකීම ගැන ලියැවිලා තිබුණා.  මේ සුවිශිෂ්ට විහඟ පැටවු ගැන අනුවේදනයක් මිස අනුකම්පාවක් කඳුළකින්වත් පෙන්වන්න අකැමැති නිසා වැහිදරුවාට විතරක් පෙනුණ කඳුළක් වැහිදැරිවි ඉක්මණට ඇහැ කොණින් පිහදාලා දැම්මා.


සංගීත සන්ධ්‍යාවන් සිය ගණනකට ‍මේ ‍විසිවයස් ඉක්මවු කෙටි ජීවිත කාලෙ සම්බන්ධ වෙලා තිබුණත් ඒ තරම් තදින් දැනුණ මොහොතක් තිබුණ සංගීත සන්ධ්‍යාවක් වැසිදැරියට මතක නැහැ. (හර්ෂණ දිසානායකගෙ සජීවි සන්ධ්‍යාවක - ඔහු චතුමධුරි ගීතය ගායනා කරද්දි - ඒක තමන් වෙනුවෙන් ගායනා කරනවා කියා හිතාගෙන වැසිදැරිවිගෙ අත අල්ලාගෙන ආයු සංස්කාරය අතඅරින්න ගියපු චතුමධුරිට නම් ඒක එහෙම නොවෙයි වෙන්න පුළුවන්..!) 


සංගීත සන්ධ්‍යාව ඉතා සන්සුන්ව - මනරම්ව හෝරා දෙක තුනක් ගලා ගියා. අඳ වාදකයා මතක් කර දෙන තරුණයා ඉමන්ත, ගැඹුරු, සන්සුන් තානයකින් ඉතා මනරම්ව ගායනා කළා. 'සාස්තර, පිරිත් සහ තරුඑළිය' බ්ලොග් පෝස්ටුවෙ හිටපු ඩිල්ෂාන් අඳුර විනිවිදන හීයක් බඳු හඬකින් ගී කියලා - කවි කියලා - නිවේදන කරලා සන්ධ්‍යාව තාරකා එළියෙන් පිරෙව්වා. තව දන්නා - නොදන්නා තරුණ තරුණියන් කීප දෙනෙක්ම - සිය අඩවන් සහ පියැවුණු ඇස්වලින් යුතුව වේදිකාවට ගොඩ වෙලා ප්‍රේක්ෂකාගාරයෙ උන්නු අපිව මනරම් තාරකා එළි අතර චාරිකාවක එක්කගෙන ගියා.


සංගීත සන්ධ්‍යාව නිම වුණ හැටියෙ මුලින්ම වැහිදැරිවිත් වැහිදරුවාත් ගියේ ඩිල්ෂාන් හොයාගෙන. ඩිල්ෂාන්, මම වර්ෂා කියන්න සූදානම් වුණාට, ඩිල්ෂාන් කියන්න විතරයි ඕන වුණේ, මගේ මැඩම් කියලා ඔහු නුහුරට අත දික් කරලා මගේ අතින් අල්ලාගත්තා. ඒ අත තදින් අල්ලාගෙන ඉන්පස්සෙ ඔහුගෙ කම්මුලට තද කරගෙන හිටියා. ඉරිසියාවක් කෝපයක් වෙනුවට මෛත්‍රියෙන් පිරුණු වැහි දරුවාගෙ ඇස් උතුරන කරුණාවකින් ඩිල්ෂාන් දිහා බලන් උන්නා.


'ඩිල්ෂාන්, මේ මගේ හස්බන්ඩ්.'


මං වැහිදරුවව අඳුන්නල දුන්නා.


'ඩිල්ෂාන්ගේ කටහඬ හරිම ලස්සනයිනේ.. විශේෂ අවශ්‍යතා නෙමෙයි විශේෂ දක්ෂතා තියෙන දරුවෙක් ඔයා..'


වැහිදරුවා ඩිල්ෂාන්ගෙ නිදහස් අතින් අල්ලගෙන කිව්වා.


ඩිල්ෂාන් වැහිදරුවාට 'තෑන්ක් යූ, අංකල්' කිව්වාම තමයි වැහිදැරිවිට පළමු වතාවට තේරුණේ ඩිල්ෂාන්ට වැහිදැරිවිගේ වයස ගැන කිසිදු අවබෝධයක් නැති වග. වැහිදැරිවි ඩිල්ෂාන්ට වඩා වැඩිම වුණොත් අවුරුදු පහක් වැඩිමල් ඇති. ඒත් එයා දැනගන්නෙ කොහොමද.. කටහඬින් වයස අඳුනන්න බැහැනේ. ඩිල්ෂාන් වැහිදැරිවිව මවාගෙන ඇත්තෙ හුඟක් වැඩිමහලු කෙනෙක් විදියට වෙන්නැති.


'අංකල් නෙමේ ඩිල්ෂාන්, අය්යා.. දැන් ඔයාගෙ මැඩම් සනීප නැති වුණාම පිරිත් කියලා සනීප කරන්න කෙනෙක් නෑනේ'


විනාඩි පහට කොල්ලා එක්ක යාලු වෙච්ච වැහිදරුවා කිව්වේ වැහිදැරිවි අසනීප වුණාම ඩිල්ෂාන් වැහිදැරිවි සනීප වෙන්න කියලා පිරිත් කියන බව දැන‍ගෙන උන්න නිසයි.


අපි සභාසදයෙන් පිට වෙලා එන්න පෙර, අඳ නොවන වාදකයා ඉමන්තත්, ඉතා මනරම් හඬකින් ගී ගයපු සෙව්මිණීත් හම්බවුණා. ඔවුන්ටත් සුබ පතලා, සුවිශිෂ්ට නිවේදක තරුණයාටත් සුබ පතලා යන්න යද්දී, ජීවිතය පිළිබඳ වෙනදා දැනුණාට වඩා ආලෝකී හැඟුමකින් හෘදයාභ්‍යන්තරය පිරිලා තිබුණා.


ඒ ආලෝකී හැඟුම ඇතුළෙ, මේ විහඟ පැටවුන්ගෙ විශිෂ්ටතාවන් ගැන දැල්වුණ අලුත් පහන් එළියක් එක්ක - ඊයම් බරුවක් වගේ දැනුණ බර වඩා සැහැල්ලුවක් අත්පත් කරගෙන තිබුණා!

Wednesday, September 25, 2024

109. රොමැන්තික ආහ්ලාදය සහ සහෝදර බිමක මල් සිටුවීම..!

අවුරුදු අටෙන් විතර සෝවියට් පොත් කියවන්න පටන් අරගත්ත පොඩි දැරියක්, රෝහණ විජේවීරට මංගල ඡන්දෙ දුන්න අම්මෙකුගෙ දුවක්, සමාජදේහය වසා පැතිර පවතින නූගත් බව නසමින් බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත පරපුරක් බිහි වනු ප්‍රාර්ථනා කරන අධ්‍යාපනවේදිනියක්, ස්ත්‍රී පුරුෂ පන්ති කුල සමානාත්මතාව අත්‍යන්තයෙන්ම විශ්වාස කරන තරුණියක් විදියට, පවත්නා දේශපාලන ප්‍රවාහය හා එකඟ වන නොවන තැන් ඇති මුත්, ඔව්, විසිදෙවැනිදාව යනු, වැසිදැරියට ජීවිතයේ සන්තුෂ්ටිදායක දවසක්!

ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම සමාජවාදී නොවේය යන තර්කය ඒ සන්තුෂ්ටියට කිසිසේත්ම බාධාවක් නොවෙයි. මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදය හෝ සෝවියට් සමාජවාදය සම්පූර්ණයෙන්ම මෙබිමෙහි ස්ථාපිත කිරීම ප්‍රායෝගිකත් නෑ. දේශයෙහි පවත්නා සමාජ,සංස්කෘතික ප්‍රවාහය වඩා යහපත්, වඩා අදූෂිත තැනක් කිරීම සඳහා සමාජවාදී දේශපාලනය යොදාගැනීමයි විය යුත්තෙ. ජාතික ජන බලවේගය මේ සා ජයග්‍රහණයක් අත් කරගන්න හේතුවත් ඒ අවශ්‍යතාව ඔවුන් හඳුනාගැනීම නිසයි.

කිසිදු දේශපාලන ප්‍රවාහයක කොටසක් නූනාට, ජීවිතයෙ මංගල ඡන්දය ධනවාදී පක්ෂයකට දෙන්නට තිබූ අකැමැත්ත නිසා දහඅට පිරුණාට පස්සෙ නන්නාඳුනන ජවි‍පෙ සහෝදරුවරු දෙන්නෙක්ටත්, සහෝදරියකටත් මහමැතිවරණෙදි ඡන්දෙ දුන්න වැසිදැරියට, එතෙක් මෙතෙක් පාර්ලිමේන්තුවෙ අසාධාරණයට එරෙහිව තනිව සටන් කළ නුදුටු සහෝදරයකු, 9වන විධායක ජනාධිපතිවරයා ලෙස, ඡන්ද පනස්හත්ලක්ෂයක් ලබමින්, පත් වෙද්දි යමක් නොලියා ඉන්න අපහසුයි. නමුත් එය රොමැන්තිකකරණයට ලක් වූ ලිවීමක් වනවාට වැසිදැරිය කැමති නැහැ.

පාර්ලිමේන්තුවේ දූෂිතයන්ට එරෙහිව කෑගහන විප්ලවකාරයා සහ ජනතාව අමතන සන්සුන් - තැන්පත් සහෝදරයා අතර පවතින විස්මය දනවන සුළු පරස්පරය සහ ජනතා නියෝජකයකු ලෙස අත්‍යයන්ත‍යෙන් හැඳින්විය හැකි අන්දමේ දුර්ලභ දේශපාලකයෙක්, දූෂකයන් අමතන දෘඩ ස්වරය සහ දූෂණයට ලක් වූවන් අමතන විශ්වාසදායී මන්ද්‍ර ස්වරය අතර ඇති වෙනස, රොමැන්තික ව දැනීම ඉතා ස්වාභාවික බව නොපිළිගන්නවා නොවෙයි.

පරිවාසවලට රිංගා මව්පියන් නැති දැරිවියන් පවා අත් නෑර වාර්තාගත ස්ත්‍රී දූෂණයන් කළ -ගැහැණුන්ව මුළුතැන්ගෙයි මෙවලම්, ලිංගික භාණ්ඩ හෝ ලස්සනට තබන මල් පෝච්චි ලෙස ගෙන වාස්තවීකරණයට ලක් කරන ඊනියා තරුණ නායකයන්ට ආකර්ෂණය නොවන තරුණියන් තුළ - ස්ත්‍රීන්ව නායිකාවන් සහ සහෝදරියන් ලෙස හඳුන්වන ජනාධිපතිවරයකු කෙරේ පවතින ආකර්ෂණයට එහා ගිය ගෞරවය අතිශය ස්වාභාවිකවයි. තරුණියන් පමණක් නොවෙයි, තරුණයන්, ඒ විතරද මැදිවියේ වැඩිහිටි ආදී විවිධ පරාසයන් නියෝජනය කරන - වසර ගණනක තට්ටු මාරු දේශපාලනයෙන් හෙම්බත්ව සිටි ඡන්දදායකයන් බහුතරයක්, අසාධාරණයට එරෙහිව නැගී සිටි අවුරුදු 'පනස් පහක' තරුණයෙක්ට ආකර්ෂණය වීම සිදු වූ වේගය ඇතුළේ ඡන්ද හාරලක්ෂ ගණනක් - පනස්හයලක්ෂය ඉක්මවා ඉහළ යාම මවිතයක් වන්නට කාරණයක්ද නෙමෙයි. 

අප සමඟ පශ්චාත් උපාධිය හැදෑරූ එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක ගුරුවරියක් ඒ පාසලේ දරුවන් අන් දරුවන්⁣ට වඩා හොඳ බව කියද්දී, ඊට ඉතා තදින් විරුද්ධ වී සියලු පාසල්වල සියලු දරුවන්ට සම පහසුකම් ලැබිය යුතු යැයි, පාර්ලිමේන්තු යන්න කලින්  විශ්වවිද්‍යාල ආචාර්යවරියකව සිටියදී පවා අධ්‍යාපනයෙහි පන්ති විෂමතාවට එරෙහිව තර්ක කළ ඇදුරුතුමියගේ මතකය, කෙටිකලකට පෙර අගමැතිතුමියගේ සිසුවියකව සිටි වැසිදැරියට අමතක කළ නොහැකියි.

සංදර්ශන නොපවත්වා විනාඩි දහයෙන් දිවුරුම් දී මිලියන දෙසීයක් ඉතුරු කිරීම, ඇතැම් දේසපාලුවන් විසින් මෙතෙක් නොගෙවා සිටි රජයට අය විය යුතු මුදල් නව රජය කෙරේ වන භීතිය හේතුවෙන් ගෙවීම, රජයේ භාවිතයටම පමණක් නොව පුද්ගලික අවැසියාවන් උදෙසා අනිසිව භාවිත වෙමින් කරක් ගැසූ වාහන හිටිඅඩියේ බ්‍රේක් ගසා නතර වීම, ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව හා අධ්‍යාපනයට ගරු කරමින් අගමැතිවරියකගේ සිදු වූ ආගමනය, පාසල් උත්සවවල දේශපාලන සංදර්ශන නතර වීම ඇතුළු ආර්ථික සමාජ දේශපාලනික ක්ෂේත්‍රයන්හි දින කිහිපයකට සිදු වූ සාධනීය වෙනස්කම් ඇසුරින්, තමන් ගත් තීරණය නිවැරදි බව බොහෝ තැන්වලින් සාධක සහිතව සනාථ වෙද්දි ඡන්දදායකයන්ට රොමැන්තික නොවී ඉන්නත් අපහසු ඇති. ඒත් ව්‍යතිරේකී විශිෂ්ට බවකින් යුතු වූ සහෝදරයකු සහ ඔහු නියෝජනය කළ සමාජ අසාධාරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකලාපය නිසා හටගත් රොමැන්තික බව ඩබල් පොකට් ෂර්ට් එකේ අත් නැවීම සිදු නොවුණහොත් නැසී යන්නේය වැනි තැනකට පමණක් ලඝු කිරීම කොතෙක් දුරට සාධාරණද යන්නත් නතර වී සිතිය යුතුයි.

දූෂිත දේසපාලුවො පාර්ලිමේන්තුවේ උඩබුරද්දි  - තමාට එරෙහි වන්නට නැගිටින නැගිටින සියලු ‍දෙනාගේ දූෂණ වංචා ගැන මතකයෙන් කතා කරන ජනතා නි‍යෝජකයෙක් අබිමුව, පොතක්-කඩදාසියක් නොබලා දේශපාලන-සමාජ-සංස්කෘතික සියලු කාරණා ගැන අනලස්ව විග්‍රහ කරන සුවිශිෂ්ට සන්නිවේදකයකු අබිමුව බහුතර ඡන්දදායකයන්ට, රොමැන්තික නොවී ඉන්න අපහසුයි. ඒක ඇත්ත. පිළිගන්නවා. ඒත් සහෝදර කුරුල්ලනි, රොමැන්ටිසයිස් වීමෙන් නතර විය යුතු නැහැ. වඩා හොඳ දේශයක් උදෙසා අප එක්ව වැඩ කළ යුතුයි. ඔවුන් පාර්ලිමේන්තුවේ වැඩ කරාවි. අපද වඩා නිවැරදි සමාජයක් උදෙසා අ⁣පේ වපසරිය තුළ වෙනදාටත් වඩා අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කළ යුතුයි.

අනෙක් අතට පාලන තන්ත්‍රයන්, කිසිදු විවේචනයකින් තොරව, රොමැන්ටිසයිස් කරන්නට ගොස් හොම්බ කට බිම ඇනී සමතලා කරගත් ජනතාවක් ලංකාවේ තරම් වෙනත් කොහේවත් නැති බවත් අප අමතක කළ යුතු නෑ. එසේම රොමැන්තික දෑස්වලට යථාවන් - යථාවන් ලෙසම නොපෙනී යන්න ඉඩ ඇති වගත් අමතක කළ යුතු නෑ.

මේ රොමැන්තික ආහ්ලාදය සහ වගකීම් සත්තාව අතර දෝලනය වන සටහන නිමවන්න පෙර ඊයෙ වූ සිදුවීම් කීපයක් ගැන කුඩා මතක කුරුටුවක් තබන්නත් අවැසියි.

විසිහතරවැනිදාවෙ, ජනාධිපති සහෝදරයා දිවුරුම් දීලා, දවස් දෙකකට පස්සෙ මාත් වැහි දරුවාත් දවසේ දේශන අවසන් කරලා බැරිස්ටා⁣ කෝපිහලට ගියේ ඡන්ද අසා නිදි මරා සිටි විඩාව නිවාගන්නත් එකයි. එවිට ආරක්ෂක සහෝදරයා දොර හරින්න එද්දි වැසිදැරිය දොර ඇරගෙන එළියට බැස්සේ වෙනදාත් කරන අන්දමටම තමයි. කොහොමත් කුඩා කාලෙදිවත් කවදාවත් මා කාටවත් දොර අරින්න දෙන්නෙ නෑ. අතපය හතර ගැන ලෙනින් කුඩා කොලුවකු කාලෙ කීවා යැයි ඇසූ කතාවක් කවුරු හරි දොර අරින්න එද්දි මතක් වන බැවින්. කොහොම හරි මගෙ දොර මංම ඇරගත්ත නිසා එහා පැත්තෙ දොර අරින්න කියායි ඔහු වැහිදරුවා පැත්තට ගියේ.

රටේ ජනාධිපති කාටවත් කියලා දොර ඇරගන්නෙ නැත්නම්.. ඇයි අපේ දොරවල් අරින්නෙ! 

කියා වැහිදරුවා අහද්දි ආරක්ෂක සහෝදරයා සුණු සිනහව ඇතුළේත්, මාත්- වැහිදරුවාත් තුළ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක පාරිභෝගිකයන් ලෙස නැගුණු හැඟුම් සමුදායෙත් තිබුණේත් ප්‍රථම වතාවට සහෝදරයකු ජනපති වීම තුළ තිබෙන රොමැන්තික ආහ්ලාදය.

තව කතා දෙක තුනක් තියෙනවා ඒ ආහ්ලාදෙට ඈඳන්න. අපේ ගෙදර මිනිස්සු, ඇකඩමික් වැඩ, ⁣පොදු වැඩ ආදි ඔය නොඑක් දේවල් මැද්දෙ ඉඩක් හම්බ වුණ ගමන් රෝන්දෙ යන්න, ගස්ගල් අස්සෙ, නටබුන් මැද්දෑවෙ ඇවිදින්න කකුල් දෙකම එලියට දාගෙන ඉන්න ජාතියෙ මිනිස්සු කොට්ටාසයක්. ඉතින් එහෙව් ගමනක් ගිහින් - මට කොහේදො කියන්න මතක නෑ, බාගෙදා බෙලිහුල්ඔය වෙන්න ඇති - එන ගමන් මොනවා හරි සප්පායම් වෙන්න, අවන්හලක් ගාව නතර වුණා, ජනාධිපතිවරණ උණුහුමේදිම.

ඒ අවන්හලේ යට කොටහ අමද්‍යප. උඩ කොටහ මද්‍යප. අවන්හලේ සේවයට හිටියෙ යාන්තං දැලිරවුල් ආව වයසෙ පොඩි කොල්ලන්ගෙ සිට තිහේ දශකයට විතර කිට්ටු කරලා හිටපු කොල්ලො ටිකක්.

වැඩිය සෙනඟ නොහිටිය හින්දත්, අපේ කණ්ඩායමේ හත් අට දෙනෙක් හිටිය හින්දත්, ඉල්ලීම් අටෝරාසියක් අපේ මේසවලින් නැගුණ හින්දත්, කොල්ලො ඔක්කොම ටික වාගේ අපි එක්ක හිතවත් වුණා.

අනික වැහිදැරිවිගෙ තාත්තා, අම්මා විතරක් නෙවෙයි වැහිදරුවගෙත් තියෙන පුරුද්දක් තමා, මළමිනී පවා කතා කරවන තරමට සමාජ සම්බන්ධතා හෙවත් පී.ආර් විෂයෙහි කෙළපැමිණි බව. කොහොම හරි තාත්තා එක තරුණයෙක්ගෙන් හීන්සිරුවෙ ඇහුව, උඩ අවන්හ⁣ල එයාලාවත් ගිල දාලාද කියලා. 

'ජනාධිපති සහෝදරයාත් බොන්නෙ නැත්තං අපි ඇයි සර් බොන්නෙ..?'

තරුණයා ඍජු ස්වරයෙන් කිව්වා.

පහුගිය කාලෙ වෛරල් වෙච්ච, මට බොන එක හරියන්නෑ.. අල්ලන්නෑ.. කියපු, මොකෝ ඔයා එක්ක මං කුඩුෂොට්ස් ඔට්ටු අල්ලන්නද.. බේරුවලින්ද දෙවුන්දරින්ද හෙරොයින් එන්නෙ කියලා ඔට්ටු දාන්නද.. කියා මත්ද්‍රව්‍ය ජාවාරමේ උඩින්ම ඉන්න දේශපාලකයකුගෙන් පාර්ලිමේන්තුවේදි අහපු - සිහියෙන් ඉන්න ජනාධිපති සහෝදරයාගෙ වීඩියෝ ඛණ්ඩ වැසිදැරියට මතක් වුණා. 

ආයෙ මේ ළඟදි විශ්වවිද්‍යාලෙ උත්සවයක් තිබ්බ. වැසිදැරියගෙ ප්‍රකාශනයකට ඒකෙන් සහතික කොළයක් ලැබෙන්න තිවුණා. ඉතින් ඒකට යද්දි, ළපටි කෙල්ලො දෙන්නෙක් ලස්සනට ඇඳගෙන, මූණු පින්තාරු කරගෙන, හිනාවක් අලවගෙන, දොර අල්ලාන ඉන්නව කට්ටියට ඇතුළට යන්න. 

'ප්‍රසිඩන්ට්ට තමුන්ගෙ අතින් දොර ඇරන් යන්න පුළුවන් නම් ඇයි ඔයාලා අපිට දොර අරින්නෙ?' ඇතුළට යද්දි මට ඇහුණා.

කෙල්ලො දෙන්නා එතෙක් මූණෙ ඇඳන් තිවුණ ව්‍යාජ හිනාව මැකිලා ගියා. හෙන රොමැන්තික සෞන්දර්යෙකින් එකිනෙකා එක්කයි මා එක්කයි හිනා වෙලා ආදරෙන් බලා උන්නා. 

ඊටපස්සෙ ඇතුළට යනකොට අප හා එක්ව වැඩ කළ කථිකාචාර්යවරියන් දෙන්නෙක් ආසන සංවිධානය කරනව. නෑ නෑ එහෙම ආසන සංවිධානේ නෙමේ.. දන්නෙ නැද්ද, වෙන් කොට තිබෙන වාඩි විය යුතු ආසන පෙන්වා දෙනව. මට සහතික කොළේ තිබීම සහ ඒ විශ්වවිද්‍යාලෙ හිටපු සහකාර කථිකාචාර්යවරියක් වීම නිසා ඉස්සරහට ගිහින් වාඩි වෙන්න කිව්වා.

'ඉස්සරහා බිග් ෂොට්ස් ගාව නෙමේ.. සාමාන්‍ය තැනක් නැද්ද වාඩිවෙන්න..' මං ඇහුවා - හැමදාම වගෙ පිටිපස්සෙම පුටුවල - ඕඩියන්ස් එක මැද්දෙ වාඩි වීමේ වුවමනාවෙන්. වෙනදා එහෙම ඇහුවම - මේ මොන සමයමක්ද - ඉස්සරහ ඉන්න හැකිකම තිබෙද්දි නොයන්නෙ - ආදි වසයෙන් - බලන පුදුමය අද තිබුණෙ නෑ. ඇයි, ආදර්ශ රූපයක් තියෙන හින්දා..  එක්ස්ට්රාවැගන්ස් එකක් සහිතව ජීවත් විය යුතුයි කියා නොහිතන, දිවුරුම් දීමට පවා මහාවිසාල උත්සවයක් ගන්න ඕනෑ කියා නොහිතුව, සිම්පල් සහෝදරයෙක් ජනාධිපති හින්දා.

මිනිස්සුන්ගෙ මූණුවල හිනාවක් තියෙනව. අද උදේ අපි යද්දි කුණු ගේන සහෝදරවරු ඉස්සරහට හම්බවුණා. වැහිදරුවායි මායි වාහනෙ එයාලට යන්න නැවැත්තුව. ඊට කලින් අපිට යන්න ලොරිය අතුරු පාරකට හරවපු සහෝදරවරුත් හිනා වෙවී ඉවසිල්ලෙන් බලා හිටියා. 

ආණ්ඩු රොමැන්ටිසයිස් කරන්නේ නම් නෑ. සියල්ල සදා මෙසේම පවතීයැයි බෙල්ල කඩාන ප්‍රතිඥා දෙන්නෙත් නෑ. ඒත් මේ පටන් ගත්ත කොම්රේඩියානු සහෝදර සෞන්දර්යය මේ පාලන තන්ත්‍රය අවසානය දක්වා රැකගත්තොත් ඒක මාරයි. අනෙක් අතට, අනාගතය ගැන පූර්ව නිගමන දිය නොහැකි වෙතත්, මේ මොහොත තුළ මේ තියෙන සහෝදර රොමැන්තිකේ මාරයි. ආන් ඒකට වැසි දැරිය මාර ආසයි! 


ඒ හැම තැනකින්ම දැනුණ සහෝදර බිමක, මල් පිපෙන්න පටන් අරන් ඇති බවට වන රොමැන්තික ආහ්ලාදය එපමණ සුන්දරයි..

නමුත් කඳුහෙල් යට කර ගලා ආ මහජන ගඟ මහමැතිවරණයෙ මීටත් වඩා ප්‍රබලව ගලනු ඇත්තෙ දැන් තමා අදූෂිත යැයි පෙන්වාගෙන එක් වෙන්න හදන දූෂිත දේශපාලුවන් මාලිමාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අන්දමටත් - තනතුරු සඳහා සිදු වන පත්කිරීම් සඳහා දේශපාලනික ආකල්ප හා අධ්‍යාපන සුදුසුකම් මතු නොව කැපවීම, අදූෂිත බව සහ ප්‍රඥාව සහිත නිවැරදි මිනිසුන් තෝරාගන්නා අන්දමටත්, ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි වගන්ති සත්තාවන්ව මහපොළොව මත ක්‍රියාත්මක වන අන්දමටත් අනුලෝමව සමානුපාතිකව වගත් - එසේ නොවුණහොත් ජනගඟ යළි වෙනත් දිශානතියකට ගලනු ඇති වගත් - අමතක කරන්න බැරි බවත් සටහන් කළ යුතුමයි. 

ඉතින් සහෝදර බිමේ බිම් මට්ටමේ මල් හිටුවන ගමන් නව දිශානතියකට රටේ මාලිමාව කැරකෙන අන්දම දිහා රොමැන්තික ආහ්ලාදයටම නතු නොවී, සහෝදරවරුනි අපි බලා සිටිය යුතු බවද, ඒ අතරේ කුමන ක්ෂේත්‍රයක් නියෝජනය කළද, වඩා යහපත් - වඩා පිරිසිදු හෙටක් සහ රටක් උදෙසා තනි තනි ඒකක ලෙස අපෙන් විය යුතු යුතුකම ඉෂ්ට කළ යුතු බව ද අමතක කළ නොහැකියි.

එවිට සහෝදර බිමේ මල් තව දශක ගණනාවක් යන තුරු පර නොවී දිගින් දිගටම පිපී තියේවි!