Saturday, May 30, 2026

148. ගුරු දියවර 55 - සමන් චන්ද්‍ර රණසිංහ

වැව් තෙර සැඳෑ පිළිසඳර සහ 

එකලා හද පිළිසඳර



ඒ සුන්දර සන්ධ්‍යාවේ මොනරාගල සහෘදයෝ සිය ආදි ගුරු මවුපියන් දකින්නට ඔවුන් නැවතී සිටි නිවාඩු නිකේතනයට පැමිණියහ. අධ්‍යාපන අධ්‍යක්ෂ අසංක දිසානායක, විදුහල්පති ගුණරත්න, ගුරු නිශාන්ත, සුදර්ශී - චතූ - ගිමාරා යන ගුරු ත්‍රිත්වය ද ඇතුළු චරිත ෂට්කයෙන් ඒ සහෘදය පර්ෂදය සමන්විත විය. ඔවුන් පැමිණ ගත වූයේ මොහොතකි. තත් නිවහන ඉදිරියේ නැවත්වූ යතුරු පැදියකින් බැස ඔවුන් වෙත ආවේ තරුණයන් දෙදෙනෙකි.

“ආ මේ සිරිලුයි සුසන්තයිනෙ. එන්න එන්න ඔය දෙන්නටත් ආරංචි උනා ද අපි ආවා කියලා.”

“සර්, මට නං ඉතින් අමුතුවෙන් ආරංචි වෙන්න දෙයක් නැහැ. ගිමාරයි මමයි දෙන්නම උගන්නන්නෙ එකම ඉස්කෝලෙනෙ. සිරිල්ට නං පණිවිඩේ දුන්නෙ මම. එයා නිවාඩුවට ගෙදර ඇවිල්ලා හිටියෙ. සර්ලා ඇවිත් කිව්වහම අනික් වැඩ ඔක්කොම දාලා මෙයා මාත් එක්ක මෙහෙ එන්න ලෑස්ති උනා.”

මේ, සහන් සෞන්දර්ය සිද්ධාන්ත ඉගැන්වූ, සංගීත විශේෂ උපාධිය හැදෑරූ, ජපුර විදුදයේ ආදි ශිෂ්‍යයන් දෙදෙනෙකි. සුසන්ත බුත්තල දුටුගැමුණු විදුහලේ සංගීතය උගන්වන අතර සිරිල් ඒ විෂය ම උගන්වන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ය.

“ඔන්න මම මේ ඔක්කොටමයි කියන්නෙ. අපි අද සර්ලා මැඩම්ලා බලලා වචනයක් දෙකක් කතා කරලා යන එක විතරයි කරන්නෙ. හෙටයි අනිද්දා කරන සම්පූර්ණ වැඩ සටහනේ විස්තර මම ගෙනාවා. ඒක මම දීලා යනවා. ඒක කරන්න ඕනෙ සුදුසු විදිහ ගැන සර්ලා මැඩම්ලා කතා කරගනීවි. ඒකෙ වෙනසක් කරන්න තියෙනව නං ඒක කරන්නත් අපේ සර්ලට සම්පූර්ණ නිදහස තියෙනවා.”

“බලන්ඩකො සර්, අපේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමා - අපේ සුපර් සීනියර් ගුණරත්න විදුහල්පතිතුමා ළඟවත් නෑනෙ මේ සුදර්ශි ළඟ තියෙන විදිහෙ සැරක්.”

සුදර්ශීලාට පූර්වයෙන් විදුදයේ උගත් සියඹලාණ්ඩුව පාසලේ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයා වන නිශාන්ත එසේ පැවසුවේ සිනාසෙමිනි. 

“අපේ සුදර්ශි ඉස්සර වගේම තමයි. අපිට මහන්සි නැහැ සුදර්ශි. අපි ටික වෙලාවක් කතාබහ කරමු. අපිත් කොච්චර කාලෙකට පස්සෙ ද ඔය ඔක්කොම කට්ටිය දකින්නෙ.” 

සහන් යටකී සිනහවේ කොටස්කරුවකු බවට පත් වෙමිනි, එවදන් පැවසුවේ. අනතුරුව තවදුරටත් මෙසේ ද කීවේ ය.

“රටේ පවතින වර්තමාන තත්ත්වය නිසා අපට කොළඹ යන්න හදිස්සි නැහැ. විශ්වවිද්‍යාලයවල දැන් භෞතික ව දේශන කරන එකත් සීමා කරලනෙ තියෙන්නෙ. ඒක නිසා අපිට තව දවසක් දෙකක් මෙහෙ ඉඳලා යන්න පුළුවන්. අපි යන්න ම ඕනෙයි කියලා ඔයගොල්ලො හිතන තවත් ඉස්කෝල දෙක තුනකටත් ගිහිල්ලා මේ මොනරාගල අපට කොච්චර බැලුවත් එපා නොවන කොච්චර දැන ගත්තත් තවත් දැන ගන්න දේවල් තියෙන ඓතිහාසික තැන් කීපයකටත් ගිහිල්ලා එන්නත් පුළුවන් විදිහට මේ වැඩ සටහන හදා ගනිමු.”  

“සර්ලා දවස් දෙකක් තුනක් නෙමෙයි හැමදාම මෙහෙ ඉන්නව නං ඒකටයි අපි කැමති. මම හෙට ම මේ වැඩ සටහනට තව පාසල් කීපයක් එකතු කරනවා. ඒ වගෙම අපි කැමතියි තවම අපි එකිනෙකා හරියට අඳුනගෙන නැති නිසා මුලින් ම ඒ හඳුනා ගැනීම කරන්න. අපි ගැන නං සර් කලින් ම මේ අලුතින් ම සම්බන්ධ වෙන අයට කිව්වා කියලා සර් කිව්වනෙ. සර්රුයි මැඩමුයි සදසි නංගියි අපි ගොඩක් දෙනා කොහොමත් දන්නවනෙ කාලෙක ඉඳලා. අනික් අයව අඳුන්නලා දෙන්න සර්.”

“ඔව් අසංක, මේ ගඟුල් ඔයගොල්ල වගෙම ඔයගොල්ලන්ට පස්සෙ කාලෙක ජපුරෙ ඉගෙන ගත්ත අපේ ආදි    ශිෂ්‍යයෙක්. නාගොල්ලාගම ඉස්කෝලෙ කාලයක් උගන්නලා දැන් සිංහල අධ්‍යයනාංශෙ ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. මේ මිහිදිනී නාගොල්ලාගම ඉස්කෝලෙ ඉංග්‍රීසි ගුරුවරියක්. දැන් එයා නිවාඩු අරන් ඇවිත් ඉංග්‍රීසි සාහිත්‍යය ගැන උපාධියක් කරනවා. ඔයගොල්ලො, පුංචි කාලෙ ඉඳලා හොඳටම දන්න සදසිත් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරියක්. එයා වැඩ කරන්නෙ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලෙ. මේ හසිත් එයාගෙ මහත්තයා. එයා ආරාධිත කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරන ගමන් තමන්ගේ ආචාර්ය උපාධියෙ වැඩ කරනවා. මැඩමුයි නංගියි ඔයගොල්ලන්ගෙන් කාටවත් අමුතුවෙන් අඳුන්නලා දෙන්න දෙයක් නැහැනෙ.”

“බලන්ඩකො ගුණේ අය්යෙ, සම්පත් පුද්ගල කණ්ඩායමක්නෙ මේ අපි ළඟට ම ඇවිල්ලා ඉන්නෙ. අපි විශ්වවිද්‍යාලෙට යන්නෙ නැතුව විශ්වවිද්‍යාල කීපයකම අය - අපේ ගුරු සේවයෙ ඉන්න අය අපි ළඟට ම ඇවිල්ලා ඉන්න එකේ අපිත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගම්මු.”

අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එසේ පැවසුවේ සහන්, ඔහුගේ බිරිඳ, ඇගේ නැගණිය, හසිත්, ගඟුල්, සදසි සහ මිහිදිනී යන සරසවි සහ පාසල් සේවයේ නියුතු සහෘදයන් දෙස බලා කෘතඥතාපූර්වක බැල්මක් හෙළමිනි.

“ඔයගොල්ලන් ගැන දැනන් හිටියත් මට තව කියන්ඩ දේවල් තියෙනවා. මේ අධ්‍යක්ෂතුමා අපිට මුණ ගැහෙන්නෙ එයා පළවෙනි අවුරුද්දෙ සරසවි ශිෂ්‍යයෙක් ව ඉන්න කාලෙ ඉඳලා. එයා ඉගෙන ගත්තෙ පාලි බෞද්ධ අධ්‍යයනාංශෙ උනාට අපිත් එක්ක කිට්ටු ඇසුරක් තිබුණා. ඔයගොල්ලන්ගෙ මැඩම්ගෙ විෂයත් මම හිතන්නෙ උපවිෂයක් විදිහට අපේ අසංගත් කළා කියලයි මට මතක. මේ දිරිය මිනිහෙක්. වැටිලා වැටුණු තැන ඉන්නෙ නැතුව නැගිට්ට කෙනෙක්. අපේ සමහර දෙනා අතපය හොඳට තියාගෙනත් වැඩ නොකරන කාලෙක මිනිහෙකුට අතක් කකුළක් අහිමි වෙලත් නැගිටින්නත් පුළුවන් කියන එක අන් කිසිම දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතෙන් ම ඔප්පු කරපු, රුසියානු සාහිත්‍යයෙන් නෙමෙයි අපේ ජීවන සාහිත්‍යයෙන් හමු වෙන සැබෑ මිනිසෙකුට තමයි අසංක දිසානායක කියලා කියන්නෙ.”

සියලු දෙනා ගෞරවපූර්වක ව මෙන් ම ස්නේහපූර්වක දෑස්වලින් බලා සිටින නිමේශයේ සහන්ගේ දෑස් නතර වූයේ නිශාන්ත ළඟ ය. 

“මේ අපි සෝරත නේවාසිකාගාරෙ ඉන්න කාලෙ අපේ ගෙදර ආගිය ශිෂ්‍යයෙක්. මමවත් අපේ නෝනවත් එක දවසක් වත් නිශාන්තට උගන්නලා නැහැ. මොකද නිශාන්තගෙ විෂය දේශපාලන විද්‍යාව නිසා. ඒ උනාට නිශාන්ත අපට සැලකුවෙ තමන්ගෙම ගුරුවරුන්ට විදිහට. අපේ තාත්තා අසනීප වෙච්ච වෙලාවෙ අපට ගොඩක් උදව් කරපු ශිෂ්‍යයන් අතරින් කෙනෙක් තමයි මේ නිශාන්ත. අපේ ජීවන ඉතිහාසෙ නිශාන්තට හිමි වෙච්ච පිටු තියෙනවා. ඊ ළඟට මේ සුදර්ශි. කොහෙ හිටියත් අපිට කතා කරන ආදි ශිෂ්‍යාවක් මේ. මේ තමයි මිහිදිනී, ඉගෙන ගන්න කාලෙ පොද වැස්සක් ව වැගිරෙමි මේ ගම් දොරට කියන ඔයත් කැමති විසාකාගෙ කවි පන්තිය ලස්සනට ගායනා කරලා ඒක යථාර්ථයක් කරපු සිසු දියණිය. අදටත් අපිත් එක්ක නොකැඩෙන සම්බන්ධයක් තියෙන පවුලක ගෘහනිය තමයි මේ සුදර්ශී. අපි එයාගෙ මහත්තයත් අඳුනනවා. දරුවොත් දන්නවා. කොටින් මගෙන් තමයි ඒ දරුවන් ඉපදුනාම ඒ ගොල්ලන්ට දාන නම් ගත්තෙත්.”  

“මේ ගුණරත්න විදුහල්පතිතුමා. මේ තමයි මේ කණ්ඩායමේ ඉන්න මගෙ පැරණිම ශිෂ්‍යයා. මම තරුණ ආචාර්යවරයෙක් ව ඉන්න කාලෙ තමයි  මට ගුණරත්න හමු උනේ. අපේ මාදුරුඔයේ ධම්මිස්සර හාමුදුරුවන් හිටපු පන්තියට අයිති ගිහි ශිෂ්‍යයා. ඒ පන්තියෙ තව අනුලා කියලා ශිෂ්‍යාවකුත් හිටියා මට මතකයි. මීට අවුරුදු දහයකට දොළහකට විතර ඉස්සෙල්ලා මොනරාගල මහදිසාපතිතුමිය හැටියට වැඩ කරපු අපේ මිතුරිය ධීතා පද්මකුලසූරියගේ ආරාධනයෙන් මෙහෙ වැඩ සටහන් කීපයකට ආපු වෙලාවෙ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙ ශ්‍රවණාගාරෙ තිබිච්ච වැඩ සටහනේ දි අපිව පිළිගන්න තමන්ගෙ ඉස්කෝලෙ බෑන්ඩ් කණ්ඩායම අරන් ආවෙ මේ ගුණරත්න. ඒ වගෙම ඒ දරුවන්ටත් ඒ දේශන අහන්න සලස්වන්න ගුණරත්න වැඩ කළා. දැන් සදසි දුව කියන්න කාලෙකට පස්සෙ අද හමු වෙච්ච තමන්ගෙ සමකාලීන මිතුරිය ගැන. ඔයා කියන්න ඔයාගේ මේ සිසු දියණිය චතූ ගැන.”

ඒ වාක්‍යය කියා සහන් බැලුවේ සිය බිරිඳ දෙස ය. ඒ අනුව මුලින් කතා කෙළේ ඇය යි.

“මේ චතූ සිංහල ගෞරව උපාධියක් ගත්ත අපේ ආදි ශිෂ්‍යාවක්. අපි කලින් ආපු වතාවක ඒ ගොල්ලන්ගෙ ගෙදරටත් ගියා. අපිට කොච්චර සැලකුවත් එයාගෙ හිතට මදි. තමන්ගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ ආදරයත් ගෞරවයත් දිනා ගත්ත කරුණාවන්ත ගුරුවරියක් විදිහට එයාව අඳුන්නලා දෙන්න පුළුවන්. මට සතුටු මම උගන්නපු දරුවො මගෙ මහත්තයගෙ ගෝලයො අපි දෙන්න ම එක දවසක් වත් උගන්නලා නැති උනත් විශ්වවිද්‍යාලෙ ඉන්න අවුරුදු හතරෙම අපේ ම ශිෂ්‍යයන් විදිහට සම්බන්ධ වෙච්ච ආදි ශිෂ්‍යයොත් මෙතන ඉන්නවා. ඒ විතරක් ද අපේ දුවත් එක්ක එකට ඉගෙන ගත්ත දුවකුත් දැන් මේ පළාතෙ ම ඉස්කෝලෙක ගුරුවරියක් විදිහට අද මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ගුරුවරුන්ට මේකටත් වැඩි වෙන සතුටක් තියෙනවා ද? දැන් දුව කතා කරන්න ඔයාගෙ යාළුවා ගැන.”

එසේ කියා ඇය බැලුවේ සිය දියණිය දෙස යි.

“මට කතා කරන්න තියෙන්නෙ අපේ ගිමාරා ගැන. මගෙ ජීවිත කාලෙදි මට හම්බ වෙච්ච හොඳ කල්‍යාණ මිතුරියක් තමයි මේ. අපි දෙන්න විශ්වවිද්‍යාලෙදි වෙන වෙන ම ඉගෙන ගත්තෙ බැලූ බැල්මට එකිනෙකට වෙනස් භාෂා උනාට අපි හමු වෙච්ච හැම වෙලාවෙම කතා කළේ ඕනෑම භාෂා සාහිත්‍යයකින් ලෝකයට දෙන්න පුළුවන් පණිවිඩ ගැන. එයා දැන් ගුරුවරියක් වෙලා සිංහල සාහිත්‍යෙ තියෙන සුන්දර දේවල් ලෝකයට දෙනවා. මම මට පුළුවන් දේ කරනවා. එයා ගැන තියෙන අලුත් ම මතකය තමයි තමන්ගෙ දරුවා ලැබුණහම එයා මුලින් ම කතා කළේ අපට. දරුවට දාන නම හදවගත්තෙ අපේ තාත්තට කියලා. විශේෂ ම දේ තමයි අපි දන්න තරමින් දරුවා ලැබිල තාම මාස තුනක් ගත උනෙත් නැහැ. එයාගෙ ප්‍රසුත නිවාඩුව ඉවරත් නෑ. එහෙම තියෙද්දිත් ගිමාරා දරුවා තමන්ගෙ අම්මයි මහත්තයගෙ අම්මයි මහත්තයි ළඟ තියලා සිසු දරුවන් වෙනුවෙන් වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා. එහෙම බැලුවහම මේ ගිමාරා කියන්නෙත් අපේ සුදර්ශි අක්කා වගෙම මෙහෙට පොද වැස්සක් වගේ ඇද හැළෙන චරිතයක්.”

“දැන් මම කතා කරන්නම්කො අපේ මේ සංගීත කොල්ලො දෙන්න ගැන. මම මේ ගොල්ලන්ගෙ පන්තියට සෞන්දර්ය සිද්ධාන්ත කළා. ඒ කියන්නෙ අපේ මේ සිරිල්ලගෙ සුසන්තලගෙ පන්තියට. මේ ගොල්ලන්ගෙ සම්පූර්ණ විශ්වවිද්‍යාල ජීවිත කාලෙදි භාෂා සෞන්දර්ය අංශෙ අංශප්‍රධාන විදිහට වැඩ කළෙත් මම නිසා අපේ අංශෙන් කරන වෙනත් පොදු කටයුතුවලදිත් මට ශිෂ්‍යයන් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න ලැබුණා. ඒ වැඩවලදි බොහොම උද්‍යෝගයෙන් වැඩ කරපු ශිෂ්‍යයන් දෙන්නෙක් තමයි මේ. මේ දෙන්න ගැන සමකාලීන ශිෂ්‍යයන් අතර විතරක් නෙමෙයි ඒ ගොල්ලන්ට උගන්නපු ගුරුවරුත් දන්න කතන්දර තියෙනවා. කියන්න ද එයින් එකක් විතරක්.”    

ඒ ආදි ශිෂ්‍යයන් දෙදෙනා සිනාසෙමින් නිහඬ ව බලා සිටිය දී සහෘදය පිරිසෙන් ඉදිරිපත් වූයේ වෙනසකටත් සමග ඒ කතාවක් කිව යුතු බව ම ය. ඒ අනුව සහන් යළි කතාවට අවතීර්ණ වූයේ ය.

“ඔන්න අපේ අංශෙ සංගීතෙ හදාරන පාඨමාලා ඒකකයක් විදිහට තියෙන ජන ගී අධ්‍යයනය කරන ශිෂ්‍ය කණ්ඩායමත් එක්ක අපි මොනරාගල එන්න තීරණය කළා. මෙහෙන් විශ්වවිද්‍යාලෙට ආපු ශිෂ්‍යයන් විදිහට ඒ ගමනෙ සංවිධාන කටයුතුවල වැඩි බරක් ගත්තෙ මේ දෙන්නා. ඔන්න ඒ ගමනට අපේ මීපිටියෙ සීලරතන හාමුදුරුවොත් සංගීතය උගන්නන ප්‍රියන්ත සර්රුත් මමත් ගුරුවරුන් විදිහට සම්බන්ධ උනා. ආ මේ ගමන එන්න ඉස්සෙල්ලා අපි අපේ ඒ සංගීත ශිෂ්‍ය කණ්ඩායමත් එක්ක මූලික සාකච්ඡාවකුත් කළා. මුලින් ම පැරණි ජනගීවල නටබුන් තවමත් තියෙන ප්‍රදේශයක් හඳුනාගෙන අපි එහෙ යමු කියලා ප්‍රියන්ත සර් කිව්වා. අපේ ළමයින්ගෙන් විවිධ නම් යෝජනා උනත් අන්තිමට අනුමත උනේ මේ දෙන්න ඒ වෙලාවෙ කරපු විස්තරත් එක්ක මොනරාගල දිස්ත්‍රික්කෙ අපේ මේ සිරිල්ලගෙ ගම. ඉතින් අපි ඒ ගමන ගියා.”

“ඉතින් සර්ලට පැරණි ජන ගී හරි ඒවයෙ නෂ්ටාවශේෂ හම්බ උනා ද?”

ඒ ප්‍රශ්නය ඉදිරිපත් වූයේ ගඟුල්ගෙනි.

“හම්බ උනා හම්බ උනා නෂ්ටාවශේෂ නෙමෙයි අවිනෂ්ටාවශේෂ.”

“ඒ කතාව තේරුණේ නැහැනෙ සර්.”

“ඉන්ඩකො ගඟුල් මේ කතාව ඔක්කොම ඇහැව්වට පස්සෙ හොඳටම තෙරෙයි මම කියපු දේ. ඔන්න අපි මොනරාගලටත් එතනින් අපේ මේ සිරිල්ලගෙ ගමටත් ගියයි කියමුකො. හැබැයි අපරාදෙ කියන්න බැහැ අපිට ශීලාචාර ආහාරපානවලින් හොඳට සංග්‍රහ කළා.”

මේ මොහොතේ සරසවියේ දී මෙන් ම ප්‍රශ්නයක් ඇසීම සඳහා අත ඔසොවාගෙන සිටියේ සුදර්ශී ය.

”ඇයි සුදර්ශි ප්‍රශ්නයක් නේද? අහන්න අහන්න.“

”කතාවට බාදා උනත් සර් මට මේ ප්‍රශ්නෙ අහන්නම හිතුණනෙ.”

“ඉතින් අහන්න දුව. ඒකට අපෙන් බාදාවක් නැහැ.”

“සර්ගෙන් කියවුණා අපේ මේ සිරිල් අය්යලගෙ ගෙදරදි ඒ ගොල්ලො ශිලාචාර ආහාරපානවලින් සංග්‍රහ කළා කියලා. එතකොට සර් ආහාරවල තියෙනව ද ශීලාචාර ආහාරයි අශීලාචාර ආහාරයි කියලා දෙවර්ගයක්?”

“දුවේ ඔයා නම් මීට අවුරුදු ගාණකට හමු වුණ සුදර්ශිම තමයි.”

සිනාසෙමින් එසේ පැවසූ සහන් අනතුරුව මෙසේ කීවේ ය.

“සුදර්ශි කොතැනක හරි හොඳට ජීවත් වෙලා හිටපු ගඟේ මුහුදෙ පිනපු මාළුවෙක් හරි ගොඩබිම හිටපු සතෙක් හරි පියාඹන්න පුළුවන් පක්ෂි කුලකයෙ සතෙක් මරලා හරි මරවලා හරි වෙනත් කොතනක හරි ඉන්න කෙනෙක් මරපු හරි මස්මාංසවලින් සංග්‍රහ කරන තැන තියෙන්නෙ අශීලාචාර ආහාර. ඒව දෙන එකට ඇත්තටම සංග්‍රහ කියන වචනෙ පාවිච්චි කරන එකත් වැරදියි. ජීවිත විනාශ කරන එක, කරවන එක ඒවට අනුබල දෙන එක ශීලාචාර වැඩක් නෙමෙයිනෙ.”

“හරි ඒක පැහැදිලි යි. එතකොට සර් අශීලාචාර පාන කියන්නෙ?”   

“හොඳ සිහියෙන් ඉන්න මිනිස්සු අශීලාචාර කරන -  බීමවලට. නම්බුකාර නම්වලින් තියෙන බීම වගෙම අවනම්බුකාර නම්වලින් තියෙන සියලුම මත්පැන් වර්ග අයිති වෙන්නෙ ඒකට.”

“දැන් මට තවත් ප්‍රශ්නයක් ආවනෙ සර්?”

“අහන්න දුව, අපි ඒකත් අහලම ඒකට උත්තර දීලම අපේ කතාවට යමු.”

“නැහැ සර්, මට නම් වශයෙන් ම දැනගන්න ඕනෙ කරන්නෙ මොනව ද නම්බුකාර අශීලාචාර බීම මොනව ද අවනම්බුකාර අශීලාචාර බීම කියනෙක. මොකද සර් අපි ගුරුවරුනෙ. අපිටත් වගකීමක් තියෙනවනෙ ඒවා ගැන ලෝකෙට සමාජෙට පැහැදිලි කරන්න.”

“මේ මම කතා කරන්නෙ ඒ ගැන මගෙ තියෙන කියවීම. ඒක පිළිගන්න එක හරි නොගන්න එක හරි අනෙක් අයගෙ වැඩක්. දැන් අපි සුදර්ශිගෙ ප්‍රශ්නෙට යමුකො. බ්‍රැන්ඩි - විස්කි - ජින් වගෙම රාජ්‍ය අනුග්‍රහය යටතෙ රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව කියලා තියෙන මනා පිහිටුවීමක් කියන සංස්ථා කියන අර්ථෙට කිසිසේත් ම නොගැළපෙන වැඩක් කරන ඒ ආයතනෙන් හදන අරක්කුත් ඒකට අයිතියි. ඒවා සමාජවිරෝධි උනාට නීති විරෝධි නැහැනෙ. කසිප්පු - ගංජා වගේ දේවල් අයිති වන්නෙ නීතිවිරෝධි අනීතික බීම හැටියටනෙ. මන් කියන්නෙ මේ දෙකම අශීලාචාර බීම. නීතියට අනුගත ව කළත් නීතිවිරෝධී ව කළත් වැරැද්ද වැරැද්ද ම යි. ශීලාචාරයි කියන මිනිස්සු මේවා තමන් පාවිච්චි කරන එකයි අනුන්ට දෙන එකයි දෙකම අශීලාචාර වැඩ හැටියට මිසක් වෙන මොන නමකින් ද අපි හඳුන්වන්න ඕනෙ.”

“ඇත්තට ම සර්, ඔය වගෙ වැඩ කරන පිරිසක් ඉන්නවා තමයි හැම ක්ෂේත්‍රෙකම. ඒ උනාට මේවට සපුරා විරුද්ධ අතිවිශාල පිරිසක් ඉන්නව කියනෙකත් අපි අමතක කරන්න නරකයි.”

“ හරි ගඟුල්, ඒ කාරණෙ අපිට පැහැදිලියිනෙ. දැන් අපි යමු ද ආයෙත් අපේ මේ ගෝලයො දෙන්නගෙ කතාවට.”

“මම සර්, ඒක දැන් මේ මතක් කරන්න හැදුවා විතරයි.”

“ඔව්, මන් දැන් එතෙන්ට එන්නම්. ඔන්න අපි දැන් අතීත ජනකවි නොනැසී ඒ ආකාරයෙන් ම වර්තමානයෙ රැකිලා තියෙන හැටි ගැන කතා කර කර යනවා. ඔහොම යන අතරෙදි සිරිල් කියනවා අපේ ගම් තවමත් ඒ අතීත උරුමය ඒ විදිහටම රැක ගෙන තියෙන ගම්, මේවා අධ්‍යයනය කරන අය හැටියට අපි කරන්න ඕනෙ ඒවයෙ පැවැත්ම සහතික කරන්න අපේ බුද්ධිමය දායකත්වය දෙන එක වගේ කතා. ඒ හැම කතාවක් ම අපේ සුසන්තත් ඔළුව වන වන අනුමත කරනවා. එක පටු පාරක් ළඟදි සිරිල් නැවතුණා. අපේ හාමුදුරුවනේ අපේ සර්ලා දැන් අපි මේ යන්නෙ ඉස්සර විදිහෙම කරත්ත ගොඩක් තියෙන අපේ මාමා කෙනෙක්ගෙ ගෙදරට. මටත් ගොඩක් කාලෙකින් බැරි උනා එහෙ යන්න. අද බලා ගන්ඩ සර් ඒ අතීත උරුමය ඒ ගොල්ලො රකින හැටි කියලත් සිරිල් කිව්වා. ඒකත් මේ සුසන්ත ඔළුව වනලා අනුමත කළා. ඔන්න අපි දැන් කිට්ටු කළා ඒ ගෙදරට.”

“ඒ අතීත කරත්ත පේළියට නතර කරලා තියෙන්ඩ ඇති. සර්ලා පුදුම වෙන්ඩත් ඇති.”

“ඔව් පුදුම උනා තමයි හැබැයි ඒ දැකපු දර්ශනේට නං නෙමෙයි, අපේ සිරිල් කියපු කතා මතක් වෙලා මිහිදිනී දුව.”

“ඇයි කරත්ත තිබුණෙම නැද්ද එහෙ?”

“කරත්ත කෙසේ වෙතත් එකම එක කරත්තයක් තිබුණා. හැබැයි ඒකෙ රෝද වෙනුවට ඒකට හයි කරලා තිබුණෙ පරණ ටයර් දෙකක්. අපි අපේ ජීවිතේට එහෙම කරත්තයක් දැක්කමයි. හැබැයි කරත්ත වෙනුවට ඒ ඉස්සරහ මිදුලෙ අලුත් මෝටර් සයිකල් නම් තුනක් නතර කරලා තිබුණා.” 

“ඉතින් සර් ඒක වරදක් නෙමෙයිනෙ.”

“කවුද කියන්නෙ ඒක වරදක් කියලා. මම කියන්නෙ සමාජෙක ඇති වෙන වෙනස්කම් අපට වළක්වන්න බැහැ කියන එක. අනිත් එක අපි කාර් - වෑන් - මෝටර් සයිකල් පාවිච්චි කරන ගමන් මේ රටේ කවුරු හරි එක පිරිසක් අතීත උරුමය රකින්න කියලා කරත්තවලින් ම තමයි ගමන් යන්න ඕනෙ කියන එක වැරදියි. ඒක අතීත උරුමය රැකීම ගැන තියෙන වැරදි කියවීමක්.”

“සර්, දැන් මේ කියන කතාව මොකක් උනත් ඒ වෙලාවෙ සිරිල් අය්යගෙ මූණෙ හැටි මට මැවිලා පේනවා.”

“ඔව් ගඟුල්, ඒක නම් එහෙම තමයි. මට මේ දැනුත් මැවිලා පේන්නෙ ඒ දර්ශනේ තමයි. සිරිල් වික්ෂිප්ත වෙලා බලන් ඉන්නවා. සුසන්ත ඔළුව කසනවා. ඔන්න ඊට පස්සෙ සිරිල් කියනවා ඔය අවස්ථාව ඔහොම උනාට අපේ ගමේ තාමත් පැල් රකිනවා, පැල් කවිත් කියනවා. යන්කො අපි තව ටිකක් ඉස්සරහට කියලා අපිව එක්කන් ගියා හේනකට. ඇත්ත, එතන තිබුණෙ එක හේනක් නෙමෙයි ලොකු හේන් දෙකක්. අපි ගමන් මහන්සියට එතන ගහක් යට හදලා තිබිච්ච ලෑලි බංකුවක ඉඳගත්තා. මෙන්න ටික වෙලාවයි ගියේ එක හේනක ගහක් උඩ හදලා තිබිච්ච පැලකින් හරිම ලස්සනට පැල් කවියක් කියනවා අපට ඇහෙනවා. ඒ වගෙම ඒකට ඒ වගෙම හොඳ හඬකින් තාලෙකට උත්තර හැටියට කියන පැල් කවියක් අනික් හේන පැත්තෙන් අහන්න ලැබුණා.”

“අපේ සිරිලයා කිව්වෙ ඇත්තනෙ. ඔය ඇහෙන්නෙ හොඳ පැල් කවිනෙ කියලා ප්‍රියන්ත සර් කිව්වා.”

“පැල් කවි නම් තමයි, ඒත් ඇයි සර් මේ මහ දවල් පැල් කවි කියන්නෙ කියලා එක ශිෂ්‍යයෙක් ප්‍රශ්න කළහම තමයි අපිටත් මතක් උනේ මේ දවල් නේන්නං කියන කාරණේ.” 

“මොකා් සිරිල්, මේ මහ දවල් පැල් කවි කියලා මම අහද්දි ඒකට උත්තර නැති නිසා මම පිටිපස්සට හැරිලා බැලුවා. ටිකකට කලින් මගෙ ළඟ හිටපු සිරිල් එතන නැහැ. එතකොට තව ළමයෙක් කියාපි සර් දැන් ටිකකට කලින් මගෙ ළඟ හිටපු සුසන්ත අය්යත් නැහැනෙ කියලා.”

“හරි හරි අපිට තේරුණා වැඩේ. එහෙනම් කණ්ඩායම මග ඇරලා ගිහිල්ලා සිරිලුයි සුසන්තයි තමයි පැල දෙකේ ඉඳගෙන පැල් කවි කියලා තියෙන්නෙ. ඔය කතාව මටත් වටිනවා අපේ ගුරු රැස්වීමකදි කියන්න.”

“ඒ උනාට අපරාදෙ කියන්න බැහැ අසංක, දෙන්න හරිම ලස්සනට ඒවා ගායනා කළා කියනනෙක නම් කියන්නම ඕන. ඒවා ගැන උගන්නන ප්‍රියන්ත සර් තමයි හිනාවෙවී හොඳම කමෙන්ට් එක දුන්නෙ. හැබැයි ඒක බොහොම ආදරයකින් දීපු කමෙන්ට්ටෙකක්.”

“මොකක් ද සර් ඒ කමෙන්ට්ටෙක.”  

“මොකක් උනත් මුන් දෙන්නා අපේ මහසංඝරත්නය ඇතුළු අද ආපු ඔක්කොම ආචාර්යවරු ඇන්දුවා ඇන්දිල්ලක් කිව්වා ආයෙ කට උත්තර නැති වෙන්න. ඒ ඇන්දිල්ල ගැන ගොඩක් සතුටු වෙන්නෙ මේ දෙන්නට උගන්නන සංගීත ගුරුවරයෙක් හැටියට දෙන්නගෙම පැල්කවි ගායනා බොහොම හොඳ මට්ටමක තිබීම නිසයි කියන සහතිකෙත් දුන්නා.”  

“තාත්තෙ, සිරිල් අය්යලා අදත් අපිව අන්දයි ද දන්නෙ නැහැ.”

“නෑ දුව, අද එහෙම කරනෙකක් නැහැ. කොහොම උනත් එදා ඒ ගමනත් ගුරු ශිෂ්‍ය අපි කාටත් හරිම සුන්දර අද්දැකීමක් උනා.”

“සිරිල් අය්යෙ, අර එදා විදිහට අපට පැලක් උඩ ඉඳලා නෙමෙයි මෙතන ඉඳලා දෙන්නකො සුසන්ත අය්යත් එක්ක අපට ඒ වගෙ සුන්දර අද්දැකීමක්.”

හසිත්  කළ ඉල්ලීම සියලු දෙනා විසින් අනුමත කළ බැවිනි, පළමු ව සිරිල් ද දෙවනු ව සුසන්ත ද ඊට මෙසේ ප්‍රතිචාර දැක්වූයේ.

“උට්ටි මඩුව වෑ කන්දෙන් යන කල ට

බැල්ම වැටුණි වැව මැද්දේ  මල් විලට

කහට කුණු නැතිව පායන   පුන්සඳට

පූජා කරමි මල් විල එන   දෙපෝයට”

සිරිල්, සඳ කිරණ වැටී දිදුලන මල්විල, එකිරණ ප්‍රදානය කරන පුන්සඳට ම පූජා කරන්නැයි කියද්දී සුසන්ත ඊට පිළිතුරු වශයෙන් පැවසුවේ, වෑ කන්දෙන් යන එන අතර එහි ඇති දිවුල් තුරකින් පලනෙලා කා, ඒ වැව් දියෙන් දෝත පුරා පැන්ගෙන බී, වැව රකින වැව් බැම්මට පින් දිය යුතු බව ය.

“අපේ වැවේ වෑ කන්දෙන් පලයල්ලා

  පුංචි දිවුල් ගැට තල තල කාපල්ලා

  දෝත පුරා පැන් අරගෙන බීපල්ලා

  කුලංකට්ටි බැම්මට    පින් දීපල්ලා”

“වැව ගැන, හඳ ගැන, ගහකොළ ගැන අපේ පපුවලට ම දැනෙන කවිනෙ මල්ලියෙ, ඔය දෙන්නා කිව්වෙ. නැද්ද සර්.” 

“හැබැයි රාගධාරි සංගීතෙට වැඩි අවධානයක් යොමු කරපු අපිව මේ ජනකවි පැත්තටත් යොමු කළේ අපේ  ප්‍රියන්ත සර්. ඒ නිසා ඒ සර්ට තමයි මේවයෙ ගෞරවේ යන්න ඕනෙ.”

“කලාශිල්ප උගන්නන අපේ මැඩම් මේ ජනකවි ගැන යමක් කියනව නං හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

ආචාර්ය පත්නිය දෙස බලා එසේ පැවසුවේ දිසානායක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යි.  

“අපි අපේ අම්මගෙන් මුත්තලගෙන් ඉගෙන ගත්ත කවි ම තමයි, තව තවත් අලුත් දෘෂ්ටි කෝණවලින් බල බල විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගත්තෙ. වැඩිදුර අපේ මේ ජනකවිය ගැන හොයාගෙන යන්න කැමති ඔයගොල්ලන්ට ඒකට උදව් වෙන පොත් කීපයක් ගැන මම මේ වෙලාවෙ කියන්නම්. ඩබ්ලිව්. ආතර් සිල්වා මහත්තයයි අපේ ගුණපාල මලලසේකර මහත්තයයි  දෙන්න එකතු වෙලා සම්පාදනය කරපු සිංහල ජනසම්මත කාව්‍ය ඒකෙන් එකක්. ඒ වගෙම 1990 අවුරුද්දෙදි මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වෙච්ච ඔරුක්මාන්කුලමෙ චන්දන හාමුදුරුවන්ගෙ නුවර කලාවියෙ ජනකවි තවත් ඒ වගෙම වටින පොතක්. ඒ අතරට 2019 අවුරුද්දෙදි සිරිසේන වීරසුන්දර මහත්තයා සම්පාදනය කරපු සිංහල ජන කවියාගේ සන්නිවේදන කුසලතාව පොතත් එකතු කරන්න පුළුවන්. තව ඒවගෙ පොත් ගොඩක් තියෙනවා මේකට එකතු කරන්න පුළුවන්.” 

“ඇයි මැඩම්ගෙ ජන සංස්කෘතික ලිපි කියන පොතත් ඒකට අයිතියිනෙ. ඒකෙ තියෙනවනෙ අමුතු අමුතු මාතෘකා යටතෙ ලියපු ලිපි හයක්.”

“සහන් සර්, සිරිල් එහෙම කියන කොට මට මතක් වෙන්නෙ ශාකුන්තලේ දුෂ්‍යන්ත රජතුමා අනසූයට කියපු  ජනිතං මේ කුතූහලම් ආ මූලාච්ඡේ‍රා්තුමිච්ඡාමි කියන කොටස.”

“ගුණරත්න සර් කියන්ඩකො  පසුබිමත් එක්ක අර්ථයත් අපට.”

“අපිට ශාකුන්තලේ උගන්නපු ගුරුවරයත් ඉන්න තැන තමයි මට කතා කරන්න වෙන්නෙ. මන් කතා කරන්න ද සර් එහෙනම්.” 

“නැතුව නැතුව අවුරුදු තිස්පහකට විතර ඉගෙන ගත්ත පාඩමක් ගැන ආදිශිෂ්‍යයෙක් මතකෙන් ආයෙ කියන කොට මොන ගුරුවරයට ද සතුටු නොවී ඉන්න පුළුවන්. කියන්න ගුණරත්න කියන්න.”

“සර්රුත් එහෙම කියනව නම් මම කියන්ඩ ම එපායැ. ශකුන්තලාගෙ උපත ගැන ඇහැව්වහම ඇගේ එක් මිතුරියක් වන අනසූයා කියනවා මෙයාගෙ තාත්තා විශ්වාමිත්‍ර ඍෂිවරයා අම්මා මේනකා අප්සරාව කියලා. ඒ දෙන්නගෙන් අත හැරිච්ච නිසා තමයි ඇය කණ්ව ඍෂිවරයා හදා වඩා ගන්නෙ කියලා. මේ අත්හැර දාපු කියන අර්ථෙ දෙන උජ්ක්‍ධිත කියන වචනෙ ඇහැව්වහම තමයි දුෂ්‍යන්තට කුතුහලයක් ඇති වෙන්නෙ කොහොම ද ඒක උනේ කියලා. ඒ නිසයි එයා කියන්නෙ මගෙ හිතේ කුතුහලයක් ඇති වුනා, මම කැමති ඔය කතන්දරේ මුල ඉඳලා අහන්න කියලා. අර සිරිල් කියපු අමුතු මාතෘකා කියන වචනෙ ගැනයි මගෙ කුතුහලය. මන් කැමතියි සිරිල් ඒ ගැන යමක් කියනව නම්.”

“ඒක පිටු හැටකට සීමා වෙච්ච පුංචි පොතක්, ලිපි හයක් තියෙන. අපි මේ ඉගෙන ගන්න ජනකවිවලින් ම තමයි අපේ මැඩම් මාතෘකා දාලා තියෙන්නෙ. පළවෙනි මාතෘකාව ශාන්ත නිවනට වැඩපන් මයෙ කිරි අම්මේ, තව මාතෘකාවක් වෙන්නෙ බරටම දර කඩා ගෙනේ - එයි අම්මා විගසකිනේ තව එකක් නිල් මල් බිසව් දිය කෙළිනා වැවාණෝ. මට දැනිච්ච තවත් මාතෘකාවක් තමයි, බුදුන් දැක නිවන් පලයන් මගෙ ලේලි කෙල්ල.  

“සර්, සිරිල් ඔය මාතෘකාව තියෙන කවිය කියන්නෙ එයා කැමති ම එකක්. ඕක හරිම රහට කියනවා එයා.” 

“එහෙනම් ඉතින් සිරිල්ට ඒක කියන්නම වෙනවා. මොකද නැන්දා ලේලි සම්බන්ධෙ ගැන වැරදි කියවීමක් තියෙන සමාජෙකට ගලා යන්ඩ ඕන කරන්නෙ එහෙම කවි. සිරිල් ඔයාගෙ ඔය ප්‍රබල හඬින් ඒ කවිය කියන්ඩ කියලා මම නියෝග කරනවා, ඔයාට නිල වශයෙන් නියෝග දෙන්න බැරි මෙහෙ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට.”

අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ඒ ආදරණීය නියෝගයට සිරිල් ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

“වැදුංලන්නෙ එල්ලී ගෙන වැදුවත්    රජ ගොල්ල

 පුතුන් දූන් මට දුන්නේ          උන්ගේ අටුපල්ල

 ඉතින් මගේ කණවැල ගෙන උඹ දෙන සැනසිල්ල

 බුදුන් දැක නිවන් දැකපන්    මගේ ලේලි කෙල්ල”

අනතුරුව තවත් අඩ හෝරාවක් පමණ කාලයක් පුරා පැවති වැව් තෙර සැඳෑ පිළිසඳර සුදර්ශීගේ ආයාචනාත්මක මුත් තීරණාත්මක චවනවලට අනුගත ව එතෙකින් නිමා කොට පසුදින හමුවීමේ අදිටනින් යුතු ව සහෘදය පර්ෂදයට එතැනින් නික්ම යාමට සිදු විය. පර්ෂද සන්ධ්‍යා සම්භාෂණය එසේ නිමා වූ නමුත් හිරු බැස ගොස් සඳ උදාවන ඒ සුන්දර නිමේශය සහන්ට ඒකල හද පිළිසඳරක් උදෙසා උල්පත් වූයේ ය.

එක පසෙකින් තද රත් පැහැයෙන් යුතු හිරු බැස යයි. ඒ මොහොතේ ම රන්වන් පැහැයෙන් යුතු සඳ නැඟ එයි. මෙයට වසර සිය දහස් ගණනකට පෙර දවසක සවසක නොව උදෑසනක මහාකවි කාලිදාසයන් විසින් විඳ ගන්නා ලද්දේ මෙහි පිරිවිදු අද්දැකීම නොවේ දැයි සහන්ට සිතිණ. එදා කාලිදාස දුටුවේ හිරු නැග එද්දී සඳ බැස යන ආකාරය යි. මෙය ඒ මහා කවියා දකින්නේ එක් බලවතකුගේ බලය අවසන් වී යද්දී තවත් බලවතකුගේ ආගමනය සිදුවීමක් හැටියට ය. එසේ ම මේ හිරුගේ උදාවීම සහ සඳුගේ බැස යාම ලෝකයට සිය ජීවිතයෙහි ඇති විය හැකි පෙරළි උස් පහත් වීම් ගැන උපදෙස් ලබාදීමක් වශයෙන් කවියා දකියි. සහන් අභිඥානශාකුන්තල දෘශ්‍ය කාව්‍යයේ විද්‍යමාන එකී සුන්දරාර්ථවාහී පද්‍යයට ඇතුළු වීම සඳහා මෙසේ සිය හද කවුළු විවර කෙළේ ය.

“යාත්‍යෙකතෝ‘ස්තශිඛරං පතිරෝෂධීනාං

 මාවිෂ්කෘතාරුණපුරඃසර ඒකතෝර්කඃ

 තේජෝද්වයස්‍ය යුගපද්ව්‍යසනෝදයාභ්‍යාං

 ලෝකෝ නියම්‍යත ඉවාත්මදශාන්තරේෂු”    

හිරුට සඳුට පමණක් නොව මේ ජීවිත කාලය තුළ අප කොයි කාටත් අප ඉදිරියේ පවත්නා මෙහෙවරක් වෙයි. හිරු සඳුට කළ හැක්කේ ලොව පවත්නා ගණ අඳුර දුරු කිරීම යි. එහෙත් ලෝකයේ හද අඳුර දුරු කිරීම පිළිබඳ මෙහෙවර පැවරී ඇත්තේ ගුරුවරයාට යි. ඒ හද අඳුර දුරුකිරීමෙහි ලා අඛණ්ඩ ව නිරත ව සිට ලොවින් නික්ම ගිය සුප්‍රිය සහෘදයන් දෙදෙනකුගේ නොමියෙන රූපකාය ද්වය මේ මොහොතේ සහන්ගේ හදැසෙහි ඇදී ගියේ ය. ඒ කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න සහ මහැදුරු ජගත් වංශපාල යි. තමාට පසුව ලෝකයට ආ මේ සහෘදයන් දෙදෙනා ම තමාට පෙර නික්ම යාම සහන් සිහිපත් කෙළේ අතිමහත් සංවේගයෙනි. ඔහුට මේ දෙදෙනා සිහිවන්නේ ඔවුන්ගේ නිර්මාණත් සමග ය. වරෙක බිඳුණු වැව ගැන ලියූ සුමින්ද වැවත් සඳත් අතර ඇති අවියෝජනීය සම්බන්ධය කවි බසින් ප්‍රකාශයට පත් කෙළේ ය. මූසල හඬකැයි කියා නිගා දෙන අහිංසක උලමාගේ හඬ සෝ ගීතයක් ලෙස දුටුවේ ය. සොබා දහම තුළ ජීවිතය දැකීම මහාකවි කාලිදාසයන්ගේ කවිතාවේ ඇති එක් සුවිශිෂ්ට ලක්ෂණයකි. දේශයට අහිමි ව ගියේ ඒ කව් ලකුණ තව දරටත් සිය හදේ විකසිත කොට ගෙන ලෝකයට මහරු නිමැවුම් ප්‍රදානය කළ හැකි නිර්මාණකරුවකු නොවේ දැයි සහන්ට සිතිණ. සහන් ඔහුගේ ඇහැළි කාව්‍ය ග්‍රන්ථයේ එන, යථෝක්ත හැඟුම් තමා තුළ ජනිත කරවන බිඳුණු වැව පැදි පන්තිය කිහිප වරක් ම කියැවූයේ ය. මේ එහි පළමු පැදිය යි.

“ඈත ඇසෙන උලමෙකුගේ සෝ ගීතය    දුරස් වෙලා

රෑ පිනි කැට කඩා වැටෙයි වෙඩි හඬකින්  තිගැස්සිලා

හඳ ඇවිදින් වැව් ඉවුරේ නා ගහකට       මුවා වෙලා 

බිඳුණු වැවට ආල වඩයි සොරොව්ව ළඟ   වාඩිවෙලා

ජගත් වංශපාල යනු විද්‍යාධර සෞන්දර්යවේදියෙකි. ඔහුට දහම පිළිබඳ වත් ගැඹුරු හැඟීමක් විය. කිසිදු ප්‍රතිලාභයකින් තොර ව දුර ඈත ප්‍රදේශවල පාසල් දාරක ප්‍රජාවට මෙන් ම පාසල් ශිෂ්‍ය ප්‍රජාවට කතා කිරීම සඳහා ගිය ගමන්වල සක්‍රිය සම්පත් ප්‍රදායකයකු වූ ආකාරය ද සහන් කෘතගුණපූර්වක මනසින් සිහිපත් කෙළේ ය. දිනෙක ඔහුගේ මිහිදිය කාව්‍ය ග්‍රන්ථය නිර්මාණ සංකථනයක් උදෙසා උල්පත කොට ගත යුතු යයි සහන් සිතුවේ ය. තුරු මෙහෙවර කොට නික්ම ගිය ඒ ආදරණීය සහෘදයන් දෙදෙනා සිය සුවයෙහි නිරපේක්ෂ ව ලෝකාභිවෘද්ධිය උදෙසා වෙහෙසුණු විශිෂ්ට චරිත ද්වයකි. කාලිදාස කවියා පෙන්වා දෙන අන්දමට එය එබඳු චරිතවලට ආවේණික ස්වභාවයකි. ඒ චරිත තුරු සේ තමා අව්වේ හිඳිමින් ඒ දැඩි උණුසුම හිසින් දරා ගනිමින් තමා වෙත පැමිණෙන අයගේ වෙහෙස දුරලන්නේ ය. ඒ සදර්ථය කාව්‍ය චින්තාවක් බවට පත් කළ මහාකවි කාලිදාසයන්ගේ අභිඥානශාකුන්තලයේ එන ඉසොඳුරු පැදියක් සහන් මෙසේ සිය හඳ පිළිසඳරට එක්කොට ගත්තේ ය.

“ස්වසුඛනිරභිලාෂඃ ඛිද්‍යසේ ලෝකහේතෝඃ

 ප්‍රතිදිනමථවා තේ වෘත්තිරේවං විධෛව

 අනුභවති හි මූර්ධ්නා පාදපස්තීව්‍රමුෂ්ණං

 ශමයති පරිතාපං ඡායයා සංශ්‍රිතානාම්”  

තදනන්තරව සහන්ගේ හද පිළිසඳරට ආවේ හිරු මෙහෙවර  සඳ මෙහෙවර තුරු මෙහෙවර මෙන් ම ගුරු මෙහෙවර ගැන ද ගැඹුරු හැඟීමක් ඇති ඊළඟ පරපුර ගැන යි. ඒ පරපුර සත්පුරුෂයන්ගෙන් මෙන් ම සත් ස්ත්‍රීන්ගෙන් ද සමන්විත ය. දෙටු මහැදුරන්, මහැදුරන් කථිකාචාර්යවරුන් කථිකාචාර්යවරියන්, ලේඛක ලේඛිකාවන් සිනමාවේදීන් - සිනමාවේදිනියන් පුවත්පත් කලාවේදීන් තත්කලාවේදිනියන් බඳු විවිධ ක්ෂේත්‍රගත මහරු චරිත ඒ අතර සිටිනවා නොවේද යන සිතිවිල්ල සහන්ගේ සිතට ගෙනාවේ මහත් සැනසුමකි. ඒ හැඟීමෙන් ඔවිදනා ලදුව හාත්පස නිරීක්ෂණය කරන සහන්ට පෙනුණේ ගඟුල් - මිහිදිනී යුග්මයත් හසිත - සදැසි යුග්මයත් වැව් තෙර හිඳ නොකඩ සංකථනයක යෙදී සිටිනා ආකාරය යි. ඒ වූකලී ද නව පරපුර යි. එතැන ඔහු දකින්නේ ද ඔහු විශ්වාස කරන සේ ම අපේක්ෂා කරන හිරු මෙහෙවර යි; සඳ මෙහෙවර යි; තුරු මෙහෙවර යි; ගුරු මෙහෙවර යි.

යළිත් සහන්ගේ සිත ගියේ මින් මොහොතකට පෙර හිරු සඳු දෙදෙන එකවර දෑසින් විඳගත් ඒ අනුස්මරණීය මොහොතට යි. ඔහුට දැන් සිහිපත් වන්නේ තමාට පමණක් නොව අන් බොහෝ දෙනාට ද හිරු සේ - සඳු සේ දැනුණ සිය සදාදරණීය සොහොයුරා ය. ඔහු සිය උල්පත කාව්‍ය සංග්‍රහයේ දී හිරු සඳු දුටිමි එක තැන වාසනාව යි කියා සඳහන් කෙළේ ද ඒ අප්‍රමාණ මිනිසා ගැන ය. වෙන කවදාටත් වඩා සහන්ට ඒ උල්පත අහිමි වීම නිසා ඇති වූ හිස් තැන දැනුණේ ය. උල්පතෙහි පිටු පෙරළා බලන ඔහු එහි හතළිස් දෙවැනි පිටුව ළඟ මෙසේ නතර වූයේ එහෙයිනි.

“යළි හමු විය හැකි නම් ඔබ මේ සසර      මගේ

වෙන සැප කුමට ද යන මේ කරුණ සිත නැගේ

දතිමි උගත්තෙමි ඔබගෙන් ගැඹුර දිවි       මගේ 

කොතැනක දැක ගන්න ද උල්පතක්    ඔබ වගේ”

ඒ ඉසොඳුරු සිත්තරා උල්පතක් වූයේ තමාට පමණක් නොවන බව සහන් මැනවින් දැන සිටියේ ය. මේ මොහොතේ ඔහුගේ සිතට ආවේ කොළඹ කවි යුගය සුවඳවත් කළ පී. බී. අල්විස් පෙරේරා කවියාගේ නොගයන ගීතය නම් කවි පොතේ එන එක් සුමහරු කවියකි. සහන්ට මතක ඇති අන්දමට ඒ කවිය ලියැවෙන්නේ එච්. ඇම් කුඩලිගම හෝ විමලරත්න කුමාරගම යන කවීන් දෙදෙනාගෙන් එක් අයකු අරබයා ය. ඇතැම් දේ සම්බන්ධයෙන් එදා තිබූ පැහැදිලි මතකය දැන් කෙමෙන් ගිලිහෙන බව ඔහුට දැනිණ. එහෙත් හෘදයහාරී කවි නම් මතකයෙන් ගිලිහෙන බවක් නොපෙනෙයි. සිත්තර සමන් සමග සාකල්‍යයෙන් ම සම්බන්ධ කළ හැකි යටකී කව සහන් සිය හද පිළිසඳරට මෙසේ එක්කොට ගන්නේ ඒ අනුව ය.

 මා පමණක් නොවේ ඔබගේ       සිතෙහි ගති

 දැන ගෙන වසඟ වූවෝ ඔබ         ළඟට එති

 කුමට ද ගෙයක් ලොකු කරමින්    පහන  නැති

 නුදුටිමි තැනක්   මෙතරම්      අත් ගුණය ඇති  

අය්යා මෙන් ම සිය තාත්තා සහ අම්මා ගැනත් කීමට ඇත්තේ මේ දේ ම ය. තාත්තාගේ ආදරණීය බවත් අම්මාගේ සංග්‍රහශීලී ගුණයත් අය්යාගේ සුගැඹුරු කතාත් ලොව සිත් ආකර්ෂණයෙහි ලා හේතු වූ බව සහන්ට දැනෙයි. දැන් මේ තිදෙනා ම නැත. සිය ජීවිතයේ ඉතිරි දුර යාමට තිබෙන්නේ ඔවුන්ගෙන් තොර ව ය. එහෙත් සිය ජීවිතයේ දැන් සමීපතමයන් ව සිටින පිරිස තමා අත් නොහරින බව ද ඔහු දනියි. හමුවීම් සහ වෙන් වීම් යනු ජීවිතයේ අනිවාර්ය අංග යි. ඒවායින් වෙන් ව ජීවත් වීමට කිසිවකුට නුපුළුවන. පර්ෂදීය සන්තුෂ්ටිය සහ හුදෙකලා මිහිර යනු එකම ජීවිතයක දි අපට වින්දනය කිරීමට ලැබෙන මහඟු අවස්ථා දෙකකි. පර්ෂදීය සන්තුෂ්ටිය විඳ ගත් අවස්ථා අප්‍රමාණ ය. මේ එළැඹ තියෙන්නේ හුදෙකලා මිහිර සොයා යා යුතු යුගය යි. හුදෙකලා ජීවිතය යන මාතෘකාව යටතේ ආචාර්ය අදිකාරම්තුමන් විසිනුදු අගනා ලේඛනයක් සම්පාදනය කොට තිබේ. වැව් තෙර එකලා ව සිටින සහන්ට මේ මොහොතේ සිහිපත් වූයේ ප්‍රවීණ පරිවර්තක සුගුණපාල සමරසේකරයන් විසින් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ සිංහලයට නගා තිබූ ලේඛනයකි. එහි මාතෘකාව හුදෙකලා ජීවිතය යි. මෙම ලේඛනය සිය අධ්‍යයනාංශය මගින් ප්‍රකාශයට පත් කළ යාත්‍රා සඟරාවේ 1991 අගෝස්තු කලාපයේ පළ ව තිබුණා සහන්ට මතක ය. එහි කියැවෙන චරිතය තමා ජීවත් වන මිනිස් සමාජය අතහැර වනගත වන්නේ දෙවියන් දැක ගැන්මට නොවේ. ඔහු තමා හුදෙකලාව සොයා ආ හේතූන් රැසක් ගැන කියයි. ඒවා ගැන තමන් කියනවාට වඩා යටකී ලේඛනයෙන් වඩාත් දැනෙන තැනක් මේ හද පිළිසඳරට එකතු කිරීම යෝග්‍ය නොවේ දැයි ඔහුට සිතිණ.

“මා හුදෙකලාව සොයා ආවේ තමන් ව විකුණා ලැබෙන මිලෙන් ආධ්‍යාත්මික වශයෙනුත් භෞතික වශයෙනුත් තමන්ට වඩා වටිනාකමින් පහත් දේ අර ගන්නා මිනිසුන්ගේ මුහුණු නොදකිනු පිණිසයි.

මා ලෝකය අතහැර හුදෙකලා බව සෙව්වේ නිහතමානී බව දුබලකමකැයි විශ්වාස කරන, කරුණාව බියගුළු කමකැයි ද ලොකු ලොක්කන් හා ඇසුරු කිරීම ශක්තියකැයි ද විශ්වාස කරන ජන සමූහයකට ආචාරශීලී බව පෙන්වීමෙන් වෙහෙසට පත් වූ නිස යි.”

සහන් මේ සටහනෙන් කොටසක් හෝ මෙගුරු දියවරට එක් කරන්නට සිතුවේ එයින් ඵල ලබනු රිසි කාට හෝ ඉන් සදර්ථයක් ම සැලසේවා යන හැඟීමෙනි.

ලෝකය ගැන කලකිරීමෙන් නොව ජීවිතයේ සහ විශ්වයේ රහස අනාවරණය කොට ගැන්ම උදෙසා හුදෙකලාව සොයා ගිය චරිත එදත් ලොව සිටියහ. අදත් කොතැනක හෝ සිටිනවා විය හැකි ය. එවන් උත්තම මානවයකුගේ සදැසුර ලැබීමට සහන් භාග්‍යවත් විය. ඔහු දැන් මේ හද පිළිසඳරට එක්කොට ගන්නේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් නමැති ඒ සුවිසල් මානවයාගේ ජීවන තොරතුරු නොව ඔහුගේ හුදෙකලා ජීවිතය ලේඛනයේ සාරාර්ථය යි.  

ආචාර්ය අදිකාරම් මහතා පවසන්නේ හුදෙකලාව යනු තනි බව නොවන බව ය. සැබෑ හුදෙකලාව විඳින තැන පාළුවක් නැත. ඔහු පවසන අන්දමට කෙනෙකු විවාහයකට එළැඹෙන්නේ ද පාළුවෙන් මිදීමට ඇති කැමැත්ත නිසා ය. එසේ ම අවිවාහක ව සිටි පමණින් ද කෙනෙකුට හුදෙකලා ජීවිතය හිමි නොවන බව ඒ මහතා කියයි. ඔහු අවධාරණ කරන්නේ සිතෙන් දුක් විඳිමින් ගත කරන අවිවාහක ජීවිතය ද අවබෝධාත්මක ජීවිතයක් නොවන බව ය. ඔහු පවසන අන්දමට පුද්ගලයන් - ද්‍රව්‍ය අල්ලා නොගෙන, සත්‍ය වශයෙන් ම ඒවා අල්ලා නොගෙන ජිවත් වන කෙනෙකුට හුදෙකලා ජීවිතය හමු විය හැකි ය. එහෙත් එය ඉතා කලාතුරකින් සිදු වන්නකි. සිද්ධාර්ථ චරිතයක් ලොව පහළ වන්නේ කලාතුරකින් ය යන්න මේ සම්බන්ධයෙන් ඒ මහතා දෙන සුනිදර්ශනය යි. එසේ ඉතා කලාතුරකින් ඇති වන චරිතය මනුෂ්‍ය ඉතිහාසයේ නව යුගයක් උදා කරන බවත් ඔහු ඇසුරු කරන ලෝකය තුළ ද ආදරණීය වුත් ප්‍රඥාවන්ත වූත් වෙනසක් ඔහු නිසා ඇති වන බවත් ඒ මහතා කියා සිටියි. අනතුරුව සහන් කෙළේ මේ සිතිවිලි ග්‍රන්ථමාලාවේ 19 වැන්නෙහි එන හුදෙකලා ජීවිතය නම් වූ ලේඛනය හැකි තාක් දෙනාගේ අතට පත් වේවා යන ආදරණීය ප්‍රාර්ථනය යි. 

මේ වැව් තෙර හිඳ සිටින මොහොතේ සහන්ගේ සිතට ආවේ මෙයින් කලකට පෙර එකොළොස් වන වියේ දී නොකල්හි අභාවයට පත් වූ ගීත් නම් ඥාති පුත්‍රයා ය. ඒ අද ජීවතුන් අතර නැති සිය ජ්‍යේෂ්ඨ ඥාති සොහොයුරකු වූ විපුල සේනාරත්නයන්ගේ පුත්‍රයා ය. ඒ දරුවාගේ අභාවය ගැන ශෝක වූ මෙන් ම සංවේගපූර්වක මනසින් ඒ දුටු සහෘදය චරිත කීපයක් ම මේ වන විට ජීවතුන් අතර නැත. එදා සිටි විපුල අය්යාගේ ම සොහොයුරන් තිදෙනෙක් ද සිය දෙමව්පියන්, රාණී පුංචී ඇතුළු බන්ධුමිත්‍රාදීන් මෙන් ම පැනසර සොහොයුරා ද මේ වන විට නික්ම ගොසිනි. ශෝකය සහ සංවේගය අතර ඇති වෙනස ගැන ලියන, පාළුව සහ හුදෙකලාව අතර ඇති වෙනස ගැන කතා කරන තමා තුළ මේ චරිත සිහිවන බොහෝ අවස්ථාවල දී ඇති වන්නේ පාළුව මුසු වූ ශෝකයක් නොවේ දැයි සහන් කල්පනා කෙළේ ය. ඒ ශෝකය සංවේගය බවටත් පාළුව හුදෙකලාව බවටත් පත්කොට ගත යුතු ය යන කල්පනය ද අනතුරුව ඔහු තුළ ඇති විය. ඔහු තමා එන විට සිය ලේඛනාවලියේ පළමු පිටපත ද ගෙන ආවේ ඉඩක් ලදහොත් ඉන් ඵල ලබනු පිණිස ය. ඔහු දැන් පෙරළා ගත්තේ ලිපි තිස්නවයකින් ඒ අත් පිටපත යි. එහි දහඅට වැන්න ලියා තිබුණේ ගීත් යන මාතෘකාව යටතේ ය.

අවසන් කටයුතු සිදු කරන මොහොතේ ඥාතීන් වෙනුවෙන් කතා කිරීම පැවරුණේ සහන්ට ය. මිනිසාට මිය යාමට බාල - තරුණ - මහලු ආදි වශයෙන් කාල සීමාවක් නැති බව ගීත් ඉගැන්වූ බවත් සතුටකටත් වඩා දුකකදි ජාති - ආගම් ආදි වශයෙන් නොබෙදී මනුෂ්‍යයාට එකතු විය හැකි බවත් සිය ජීවිතයෙන් ම කියා දී මේ කුඩා දරුවා ලොවින් නික්ම ගිය බවත් සඳුන් එදා ප්‍රකාශ කෙළේ ය. මාතලේ ගීත්ලා ජීවත් වූ ගමේ සිටි සිංහල - දෙමළ - මුස්ලිම් ආදි සියලු දෙනා දැක්වූ සහයෝගයත් ඔවුන්ගේ දෑස්වල රැඳී තිබූ කඳුළත් අද මේ මොහොතේ ද සහන්ට සිහිපත් වෙයි. ජීවිත ගැන අපට වෙනස් ම මානයකින් සිතිය හැකි ය. අද හමු වන තැනැත්තා හෙට දවසේ අපට හමු වීමට ඉඩ නොලැබී යා හැකි ය. මහමගදී සුළු මොහොතකට පමණක් හමුවී අප ගැටුමක් ඇති කොට ගැනීමට යන තැනැත්තා අපේ ජීවිත කාලය තුළ අපට හමු වන ප්‍රථම සහ අවසාන අවස්ථාව එය විය හැකි ය. මේ කල්පනය සියලු හිත්වල විකසිත වුවහොත් එදිනට ලෝකය මෙයට වඩා සුන්දර වූත් ආදරණීය වූත් එකක් වනු ඇතැයි සහන්ට සිතිණ.

එවිල් තෙර හිඳ සිටින සහන්ට ඈතින් උස් කඳුවැටියක් දැකගත හැකි වෙයි. ඒ සමග ඔහුට සිහිපත් වූයේ සිය සොහොයුරා සමග ගොස් විඳ ගත් හොරණ ශ්‍රීපාලී සරසවි පරිශ්‍රයට දෘශ්‍යමාන වන කපුකුල කඳුවැටිය යි. 2011 සැප්තැම්බර් හයවෙනි දා ඔහු විසින් ශ්‍රීපාලී නමින් ලිපියක් ලියනු ලැබ තිබිණ. එයට උල්පත වූයේ හොරණ ශ්‍රීපාලිය, ශාන්ති නිකේතනය, රබීන්ද්‍රනාත් තාගෝර්, විල්මට් ඒ. පෙරේරා සහ සිත්තර සමන් ය. ඒ ලිපිය එදා ආරම්භ කොට තිබුණේ පහත සඳහන් පැදියෙනි.

කඳු මුදුන දකිමි එහි සිට හිනැහෙන ඔබ දකිමි

කඳු මුදුනට කැඳවන ඔබගේ      හදවත දනිමි       

කඳු මුදුනට යන මග හඳුනා     ඒ මග ඇදෙමි

කඳු මුදුනට පිවිසෙමි මම මිටියාවත      බලමි

අර්ථ සම්පන්න ජීවිතයක් ගත කළ යහපත් මානව සම්පතක අහිමිවීම හුදු පුද්ගලික නැතිවීමක් නොව මුළු මහත් ලෝකය විෂයයෙහි වන නැති වීමකි. මහාත්මා ගාන්ධිතුමන්ගේ කායික අභාවයෙන් පසු සරෝජිනී නායිදු නැමැති භාරතීය මහා කිවිඳිය ගුවන් විදුලියෙන් කළ මහරු ප්‍රකාශය ලොව කොතැනක හෝ හිඳ ලෝකාභිවෘද්ධිය උදෙසා වැඩ කළ සියලු උත්තම පුරුෂයන් සහ සියලු උත්තම ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඇති ඒකාන්ත සත්‍යයකි. සහන් 1963 ජනවාරි 26 වැනි දා මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන ලද නවයුගය සඟරාවක තිබී ඒ උද්ධෘතය උපුටා ගෙන සිය ශ්‍රීපාලී ලිපියට ඇතුළත් කොට ඇත. සහන් මේ දැන් කරන්නේ සදර්ථවාහී සදුක්තිය ගුරු දියවරට මුසු කිරීම යි.

“අපි ඔහු මරණයට පත් වී යයි සිතමු නම්, ඒ නිසා ම සියල්ල ම නැති වී ගියේ යැයි සිතමු නම් ඔහු කෙරෙහි වූ අපේ භක්තිය සහ ආදරයෙන් ඇති ඵලය කුමක් ද? අප අතරින් ඔහුගේ සිරුර වෙන් වුණු පමණින් ම සියල්ලම නැති වී ගියේ යැයි සිතීමෙන් අප ඔහුට දක්වන පක්ෂපාතිත්වය කුමක ්ද? අපි ඔහුගේ දර්ශනය සහ ජීවන ප්‍රතිපත්තීන් ගරු කොට සලකන අනුගාමිකයෝ නොවෙමු ද? එහෙයින් ඔහුගේ හැම යහපත් ක්‍රියා මාර්ගයක් ම ඵල ගැන්වීමත් ඔහුගේ අදහස් ක්‍රියාවට පරිවර්තනය කිරීමත් අප සියලු දෙනාගේ ම යුතුකම නොවන්නේ ද? ශෝක කිරීමට ඉඩක් නැතැයි මා කියන්නේ එහෙයිනි.”

සහන් 1911 වසරේ ජනවාරි 11 වැනි දින සමු නොගත් සමුගැනීම යන මාතෘකාව යටතේ ලිපියක් ලියා ඇත්තේ යටකී හැඟීමෙන් මඩනා ලදු ව ය. ඒ ලිපිය පුරා ගලා යන චරිතය වන්නේ සමන් සිත්තරා ය. වරෙක ලක්ෂ්මන් දේවසේන නම් වෙනස් ම ආකාරයේ ලේඛන, පාඨක ලෝකයට දායාද කළ ප්‍රවීණ ලේඛතයා පැවසුවේ ශ්‍රේෂ්ඨ මිනිසුන් සම්මුතිය පසෙක තබා අදීන ව සිතා මනුෂ්‍යයාගේ අගය කුමක් දැයි අවබෝධ කොට ගන්නා බව ය. එබඳු උතුම් චරිත ජීවත් වන්නේ තමන්හට අපූරු ආකාරයකින් පෙනී යන ලොවක බවත් අපූරු ආලෝකයකින් ඔවුන්ගේ සිතිවිලි එළිය වී ඇති බවත් අපූර්ව සන්තුෂ්ටියක් ඔවුන්ගේ හදවත්වලට ලැබී ඇති බවත් එහි සඳහන් ව තිබිණ. දේවසේනයන් අනතුරුව සඳහන් කොට තිබුණේ සැබෑව, වීර්යය සහ හොඳකම යන තුන් ගුණයෙන් ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත වී ඇති බව ය. 

සහන් නැවතත් සිය අතේ තිබූ ලේඛන පිටපතට අවධානය යොමු කෙළේ ය. එහි 23 අංකය යටතේ ලියා තිබූ ලේඛනයේ මාතෘකාව වූයේ උත්තම සහෝදර යන්න යි. උල්පත කාව්‍ය සංග්‍රහයේ කවියකින් ආරම්භ කොට තිබූ ඒ සමස්ත ලිපිය කෙනෙකුට මුණ ගස්වන්නේ සමන් සිත්තරා ය. ඔහුගේ 25 ලිපිය වූයේ ඇද වැටී නැගිටීම යි. සරසවියේ එකට වැඩ කළ ජගත් වංශපාල - ප්‍රණීත් අභයසුන්දර - ජනක් කුමාරසිංහ යන සහෘදයන් සමග අතරමගදී කළ සංකථන ගැන ද එහි සඳහන් ය. පසුව මහාචාර්ය ධුරයකට පත් වූ ජගත් මිතුරා දැන් ජීවතුන් අතර නැත. එවක තරුණ කථිකාචාර්යවරයකු වශයෙන් දුටු ජනක් පසුව මහැදුරු පදවි ලැබ කලක් සේවය කොට මේ වන විට ජපානයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කිරීම සඳහා ගොස් ඇත. ප්‍රණීත් අභයසුන්දරයනට වූ අකටයුත්තක් ගැන කතා කරද්දී ඒ ගැන තමා සමග සංවේගයෙන් කතා කළ එක් සහෘදයකු වූයේ ජනක් ය. සිය දිනපොතේ සහන්, ඛලීල් ගිබ්රාන්ගේ පහත සඳහන් සදුක්තිය සටහන් කොට ගෙන තිබුණේ එම සිදුවීම වූ දා රාත්‍රියේ ය.

“ඔබ අතුරින් එකකු වැටෙන කල ඔහු වැටෙන්නේ පසුපසින් එන්නනට ඉදිරියේ ඇති බාධකය පරෙස්සම් වන්නට දෙන සංඥාවක් වශයෙනි.

එය එසේ ම ය. ඔහු වැටෙන්නේ ඔහුට ඉදිරියෙන් ගිය වුන් වඩා වේගයෙන් හා වඩා නිවැරදි ව පා තබමින් ගියේ වුවත්, ඔවුන් මාර්ගයේ තිබූ බාධකය ඉවත් නොකළ බැවිනි.”

දැන් ම අපගෙන් වෙන් ව නොයන්නැයි යන ආයාචනය කළත් ඔවුන්ගේ ආලෝකය සමාජයකට කොතෙක් අවශ්‍ය ව තිබුණත් ඇතැම් උත්තම පුරුෂ සහ උත්තම ස්ත්‍රී චරිත ලෝකයෙන් නික්ම යන්නේ අපට දන්වා නොවේ. එහෙත් ඔවුන් විසින් අනිවාර්යයෙන් ම කරන කාර්යයක් තිබේ. ඒ තමා නික්ම ගිය ද ආලෝකය සමාජයට ප්‍රදානය කොට යාම යි. නිදසුනක් වශයෙන් සමන් සිත්තරා ගතහොත් ඔහු ජීවිතය පිළිබඳ ව තමන් ඇතුළු බොහෝ දෙනාට නොපෙනී ගොස් තිබූ බොහෝ දේ දැක ගැන්මෙහි ලා කැඩපතක් වූවා නොවේ ද යන හැඟුම සහන් තුළ ඇති විය. අයිසැක් නිට්ටන්ගේ එක් ප්‍රකාශයක එන සදර්ථයක් සමග ගළපා කතා කරන්නේ නම් ඒ සමන් යනු ජීවිතය පිළිබඳ සුගැඹුරු රහස් සඟවා ගත් මහා සාගරයක් ම විය. ඔහු සිය ජීවිත කාලය පුරා කෙළේ එරහස් අනාවරණය කොට අප අබිමුව තැබීම යි.

ඛලීල් ගිබ්රාන් පවසන අන්දමට එවන් චරිතයක් විසින් වචනයෙන් ප්‍රකාශ කළ දෙයට වඩා තව දුරටත් ප්‍රකාශ කිරීමට තිබූ දෙය වැඩි ය. ගිබ්රාන් පවසන, ඔහු තුළ වූ වඩා ගැඹුරු රහස කියා ගැන්මට ඔහු අසමත් විය යන්න සමන් සිත්තරා සම්බන්ධයෙන් කිව යුත්තේ මඳක් වෙනස් කොට ය. එ ඔහු අවස්ථා ගණනාවක දී එරහස අනාවරණය කිරීමට වෑයම් කළත් ඒ අවස්ථාවලදී එය අවබෝධ කොට ගැන්මට අප අසමත් වූ බව ය.

අනතුරුව සහන් ගේ ඇස් නතර වූයේ කලකට පෙර ඔහු විසින් ලියන ලද නොමළ හදවත් නම් ලිපිය ළඟ යි. ඔහු එහි දී ආචාර්ය අදිකාරම්තුමන්, සිය ආදරණීය පියා, සොහොයුරා ගැන මෙන් ම විමලරත්න කුමාරගම එච්. ඇම්. කුඩලිගම යන කිවියන් ගැන ද යම් යම් සටහන් තබා තිබිණ. සහන්ගේ ලේඛනාවලියේ පළමු අත් පිටපතේ එන විසි නව වැනි ලිපිය නම් කොට තිබුණේ ආලෝකය සහ අඳුර නමිනි.  එම ලේඛනයේ ඇති උද්ධෘත අතුරින් ඔහුට වඩාත් දැනුණේ මහාත්මා ගාන්ධිතුමන් ගැන ආචාර්ය සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් සුධීමතුන් විසින් තබන ලද සටහනකි. සහන්ට මේ මේ මොහොතේ සිය ගුරු දියවර සහෘදය ප්‍රජාවට එසටහන ප්‍රදානය කරන්නට සිතිණ.

ආලෝකය අඳුරේ දිලෙයි. එහෙත් අඳුර එය වටහා ගන්නේ නැත. තත්කාලීන සමාජයට වඩා ඉදිරියෙන් සිතන සියලු ම දෙනාට ගෙවන්නට සිදු වන වන්දියක් වෙයි. එනම් වරදවා වටහා ගනු ලැබීම, වෛරයට ලක් වීම, විරෝධයට භාජනය වීම සහ ප්‍රචණ්ඩ මරණය යි.     

සහන්ගේ තදනන්තර ව එන ලිපිය වූයේ ගැඹුරු ගීතය යි. ඒ ලිපිය ආරම්භ කොට තිබුණේ ගුවන් විදුලියෙන් 2011 ජනවාරි නව වැනි දින ප්‍රණීත් අභයසුන්දර සහෘදයාගේ ආදරණීය කටහඬ අසන්නට ලැබුණා යන වැකියෙනි. එදා ප්‍රණීත්, සිය සොහොයුරා ඉතා ප්‍රිය කළ පණ්ඩිත් අමරදේවයන් විසින් ගයනු ලබන රන් සිකිපිල් විදා ඔකඳ සඳක් නටන්නේ යන ඉසොඳුරු ගීතය සම්බන්ධ කොට ගෙන තිබිණ. අනතුරුව ප්‍රණීත්, විශාරද ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් ගයනු ගයන ලබන සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් පිටවෙනවා ගීතයේ පසුබිම් වාදනය ද යථායෝග්‍ය පරිදි සිය වැඩසටහනට සම්බන්ධ කොට එයිනික්බිති අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ නිර්මාණ පිළිබඳ විමර්ශනයක් කළ බව ද එහි සඳහන් ව තිබිණ. කවදා කාට හෝ කවර හෝ ප්‍රයෝජනයක් වේවා යන අදහසින් නම් වශයෙන් හෝ මෙහි තමා විසින් ලියන ලද ලිපි ගැන සටහනක් තබා යාම සුදුසු යයි සහන්ට සිතිණ.  මෙහි තිස් එක් වැන්න විවාහය යි.  ඒ ලිපිවල රබීන්ද්‍රනාත් තාගෝරයන් මෙන් ම සමන් සිත්තරා ද විවාහය ගැන කළ ප්‍රකාශ විද්‍යමාන විය. තිස් දෙක කඳුළු නම් විය. පසු කලෙක සහන් යථෝක්ත මාතෘකාව යටතේ සංස්කෘත සාහිත්‍යය පාදක කොගෙන දීර්ඝ ශාස්ත්‍රීය ලේඛනයක් සම්පාදනය කෙළේ ය. මේ මොහොතේ ඔහුට සිහිපත් වූයේ අල්විස් පෙරේරා, කවියා විමලරත්න කුමාරගමයන් සිහි කරමින් ලියා තිබූ පහත සඳහන් කවිය යි.

ඇගෙ ඇස තිබුණ පිරිසුදු කඳුළ දුටු දින

මට තේරුණා ඔහුගේ    මහඟු ගතිගුණ

යම් දවසක් තිබේ     දිනු අය ද පරදින 

                                සිහිනෙන් වගේ දුටුවෙමි ඔහුගෙ අවසන

ඒ කවත් සමග ම සිතට ආවේ ආර්යශූරයන් විසින් සිය ජාතකමාලාවේ දී කරන ලද ප්‍රකාශයකි. එහි සඳහන් වන්නේ කරුණාව ආත්ම කොට ඇති උතුමන්, මහත් වූ සිය දුක් ධෛර්යසම්පන්න ව දරා සිටියත් අනුන්ගේ දුකකදී කම්පාවට පත්වීම ආශ්චර්යයක් බව ය. මෙවන් අදහසක් අන්තර්ගත පද්‍යයක් සිය රසික ප්‍රජාව අතට පත් නොකොට සිටිය හැකි ද? 

මහත් ස්වපිදුඃඛේෂු ව්‍යක්තධෛර්යාඃ කෘපාත්මනඃ

මෘදුනාප්‍යන්‍යදුඃඛේන කම්පන්තේ යත් තදද්භුතම්

සහන්ගේ යථෝක්ත අත්පිටපතෙහි තිස් තුන් වැනි ලේඛනය වන්නේ ගෙදර යි. අඩ සියවස් අඩකටත් වඩා වැඩි කලක් ජීවත් වූ නිවහනින් සමු ගත් 1996 ජනවාරි තෙවැනි දිනය හා බැඳුණු අතීත ස්මරණයකින් මෙම ලිපිය ඇරඹෙයි. මේ වන විට ඒ ගෙදර එක් ව ජීවත් වූ තාත්තාත් නැත; අම්මාත් නැත අය්යාත් නැත. ජීවිතයේ ඉතුරු දුර යායුත්තේ ඔවුන් නොමැති ව යි. මේ වූකලී ජීවිතයේ ස්වභාවය යි. වෛද්‍ය ලලිත් විfජීසිංහයන්ගේ නෙත පොතෙහි අගනා ප්‍රකාශයක් අන්තර්ගත වෙයි. ඒ ප්‍රකාශය අප කාගේත් අවධානයට ලක් කළ යුතු යි.

     නිවහන අප හිසට සෙවණක් විය යුතුවා මිස එය අප හිස මත තිබිය යුතු බරක් නොවිය යුතු ය.  

මෙහි තිස්පස් වැනි ලිපිය වන අහිමිවීමෙහි ඇතුළත් කරුණු ද ස්ථාන කීපයක දී මතු  කළා සහන්ට මතක ය. වරෙක මේ සම්බන්ධයෙන් මහාත්මා ගාන්ධිතුමන් විසින් හදවතට මෙන් ම බුද්ධියට දැනෙන අදහසක් කියා තිබිණ. ඒ මෙසේ ය.  

“සියල්ලන්ට ම අයිති ව තබා ගත හැකි එකම දෙය නම් අහිමිකම ය. එනම් මොනවා හෝ අයිති නැතිව සිටීම ය. නැති නම් වෙනත් වචනවලින් කිවහොත් කැමැත්තෙන් ම අයිතිය හැර දැමීම ය.”

තිස්හය ගුරු සුවඳ යි. එහි ආරම්භය සලකුණු කැරෙන්නේ ද සමන් සිත්තරාගෙනි. අනතුරුව ගුරු ජීවිතයේ සොඳුරු අරුත නිබඳ සමාජගත කළ දිනිල් ඩී ලියනගේ ලියූ සුවඳ පොත් ගැන සඳහන් වෙයි. තදනන්තර ව ගාන්ධිතුමන් ගුරු ජීවිතය ගැන කියූ දෙය ද එම ලේඛනයට එක් කරනු ලැබ ඇත. මෙය අවසන් වන්නේ ශාන්ති නිකේතනයේ සේවය කළ සතිශ්චන්ද්‍ර රෝයි නම් ගුරුවරයා පිළිබඳ ව වන ප්‍රකාශයකිනි. ඊට අනුව ඒ ගුරුවරයාගේ ඉගැන්වීම්වල සාර්ථකත්වයට හේතු වූයේ අන් කිසිවක් නොව ජීවිතය, අදහස් තමා අවට ඇති දේවල් සහ තම විෂයයන් කෙරෙහි ඔහු තුළ වූ අපරිමාණ උනන්දුව සහ උද්‍යෝගය යි. ඒ අපරිමාණ ගුරුවරයා ජීවන ප්‍රීතිය වින්දනය කොට ඇත්තේ හුදෙක් පොත්පත්වලින් නොවේ. එසේ නම් ඒ කුමකින් ද? යථෝක්ත ප්‍රකාශයේ අවසන් වැකිය වූ කලී ඒ සම්බන්ධයෙන් වන පිළිතුර යි. 

ඒ තමාගේ සුනිශිත විඥානය, ලෝකය සහ ගැටීමෙන් ජනිත වූ මිහිරි වේදනාවෙනි.

මේ ජීවිත කාලය තුළ මිහිරි වේදනාවනට මෙන් ම අමිහිරි වේදනාවනට ද මුහුණ දීමට සිදු වන බව සහන් දැන සිටියේ ය. එවන් වේදනාවක ප්‍රකාශනයකි, මේ ලේඛනාවලියේ තිස්හත් වැන්න වන අය්යාගේ මරණය. තාගෝර්තුමා පවසන්නාක් සේ ඒ අහිමි ව ගියේ තමා ඈත කඳුකරයේ සැඟ ව හිඳ, නදී දිය බඳුන් පුරවන වලාකුළක් බඳු චරිතයකි. වලාකුළු ගැන ලියන්නට අපමණ සාහිත්‍යයක් ඇති මුත් සහන්ට එයින් ලියා ගන්නට හැකි වූයේ ස්වල්පයක් පමණි. ඒ වලාකුළු සාහිත්‍යය ද ගඟුල්ලාගේ පරපුරට පවරා දිය යුතු ව තිබේ.

වලාකුළු බඳු චරිත උපදින්නේ ලොව බොහෝ දෙනා මෙන් ඉපිද කලක් හිඳ මියයන්නට නොවේ. රාමායණයේ සඳහන් වන පරිදි වලාකුළ මනා වැස්සෙන් ලෝකය මනා සේ සතුටු කොට, මහපොළොව ශස්‍ය සම්පත්තියෙන් ආඪ්‍ය කොට, අහස අතහැර මරණයට පත් වෙයි. එබඳු වූ මරණයක අප්‍රමාණ අගයක් තිබේ. අය්යාගේ මරණය ගැන ලියද්දීත් සහන්ට නිබඳ සිහිපත් වූයේ ඒ අප්‍රමාණ සහෝදරයා ය. ආචාර්ය සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් විද්වතා, මහාත්මා ගාන්ධිතුමන් සම්බන්ධයෙන් වරෙක කළ ප්‍රකාශයක් ආචාර්ය අදිකාරම්තුමන් මෙන් ම සිය උත්තම සොහොයුරා සම්බන්ධයෙන් ද අත්‍යන්තයෙන් ගැළපෙන්නේ නොවේ දැයි සහන්ට සිතිණ. රාධාක්‍රිෂ්ණන් පැවසුවේ ඉතිහාසයේ ඉතා උතුම් අයකු සිය ජීවන කාලයේ ජීවත් ව සිටීමත් ඔවුන් සමග ඇවිද යාමත් කතාබහ කිරීමත් ශීලාචාර ලෙස ජීවත් වන ආකාරය තමන් අයත් පරපුරට ඉගැන්වීමත් අත්‍යභිමානයට හේතුවක් බව ය. එම ප්‍රකාශය රාධා අවසන් කොට තිබුණේ මෙසේ ය.

“කිසිවකුට වැරදි නොකරන්නා කිසිවකුටත් බිය නොවේ. ඔහු ළඟ සැඟවීමට කිසිවක් නොමැති බැවින් ඔහු නිර්භය වේ. ඔහු සෑම අයෙකු දෙස ම කෙළින් මුහුණට මුහුණ දී බලයි. ඔහුගේ පියවර ස්ථිර ය. ශරීරය ඍජු ය. ඔහුගේ වදන් සරල හා අවංක ය.”          

ගුරුවරුන් වෑයම් කළ යුත්තේ එවන් ගුණ සහිත ප්‍රජාවක් බවට සිය ශිෂ්‍යයන් පත් කිරීම ය. ශිෂ්‍යයන් පිළිබඳ ව වන හද පිළිසඳරට සම්බන්ධ කළ හැකි ලිපියකි, සහන් සිය තිස් අට වන ලේඛනය වශයෙන් ලියා තිබුණේ. එහි මාතෘකාව වතුර යි. සංගීතය සිය උපවිෂය වශයෙන් ගනිමින් සංස්කෘත විශේෂවේදී උපාධිය හදාළ රත්නප්‍රිය විජේරත්න නම් ආදි ශිෂ්‍යයා වතුර සම්බන්ධයෙන් ලද අද්දැකීම් ගැන එම ලේඛනයේ සඳහන් වෙයි. කෙනෙකුගේ පිපාසය සංසිඳවීම සඳහා දෙන භෞතික වතුර මෙන් ම කෙනෙකුගේ ආධ්‍යාත්මික වූ ජීවන පිපාසය සංසිඳවීම සඳහා දෙන වතුර ද එකසේ වැදගත් වෙයි. අපෙන් වතුර ලද අය අවශ්‍ය ම මොහොතක දී අපට පෙරළා වතුර දීම ප්‍රතික්ෂේප කළත් අප ඒ ගැන තැවිය යුතු නැත. මුළු ලොවක දහම් පිපාසය සංසිඳවීම උදෙසා දහම් වතුර ප්‍රදානය කළ ගෞතම බුදුන් වහන්සේ ඒ වෙනුවෙන් පෙරළා කිසිවක් අපේක්ෂා කෙළේ නැත. අපගේ සංවේගයට කරුණ වන්නේ අඛණ්ඩ ව වතුර දුන් චරිත විෂයයෙහි ද එවතුර ලද ඇතැම් දෙනා අකාරුණිකකම් කිරීම යි. එවන් ජලප්‍රදානයක් අඛණ්ඩ ව සිදු කළ කලණ මිතුරකු විෂයයෙහි, ඔහුගෙන් උපකාර ලද ඇතැම් දෙනා සතුරුකම් කරනු දැකීමෙන් ඇති වූ වේදනාව හේතුවෙනි, හාතාගොඩ විමලසිරි කවියා අතින් පහත කව ලියැවුණේ.

“නොතකා විවේකය ගැන සිතටත්       කයටත්

වෙහෙසුණු හැටි දනිමි, ඔබ රටටත්      දැයටත්

කිසි හේතුවක් නොපෙනිණි, යුද ගිනි    බියටත් 

සතුරන් සිටිනව ද ලොව    ඔබ වැනි  අයටත් ”

සහන්ගේ ලේඛනාවලියේ පළමු වැනි අත්පිටපතෙහි අවසන් ලිපිය නම් කොට තිබුණේ බැඳීම සහ නොබැඳීම යනුවෙනි. ගාන්ධි පවසන්නේ සත්‍යය සමග බැඳෙන තැනැත්තා තනි විය යුතු බව ය. නොඑසේ නම් මුළු ලෝකය සමග බැඳිය යුතු බව ය. මේ ජීවිතයේ අප විසින් ඇති කරගනු ලබන බැඳීම් වේවා නොබැඳුණු අවස්ථා වේවා ඒ දෙයට තමා අවංක විය යුතු ය. සිය සොහොයුරා නොබැඳුණු ජීවිතය තෝරා ගනිද්දී සහන් තෝරා ගත්තේ බැඳීම් සහිත ජීවිතය යි. අවංක මිනිසකුගේ නොබැඳුණු ජීවිතය, අවංක ව බැඳීම් සහිත ජීවිත ගත කරන අය මත පතිත වන මහදාලෝකයක් වෙයි.

අනතුරුව සහන් මෙම වසරට අදාළ දිනපොත අතට ගත්තේ මේ වැව් තෙර හිඳ සිටියදී හද පිළිසිඳෙන යමක් සිය දිනපොතෙහි සටහන් කිරීමට ය. ඊට පෙර ඔහු කෙළේ ජනවාරි පළමුවැනි දා සිට මේ දක්වා ගත ව ගිය දිනවලට අයත් සටහන් කියවීම ය. ඒ කියවද්දී ඔහුගේ දෑස නතර වූයේ ජනවාරි 09 දින සටහන ළඟ යි. එහි මෙවන් සටහනක් තිබිණ.

අම්මා නොමැති හිස් තැන තදින් දැනෙයි. අය්යා මෙන් ම තාත්තා ද අහිමි වීමෙන් පසු අප ළඟ රැඳී සිටියේ අම්මා යි. ඇය ද තෙවසරකට පෙර නික්ම ගියා. වසර ගණන වෙනස් කොට, අම්මා ගැන මට කියන්නට ලියන්නට ඇත්තේ ද අය්යා ගැන ලියූ වචන යි.

ඇය මිය ගියා යයි පවසනු හැකි ද කෙසේ 

ඇයගේ දයාබර හඬ      මට තවම ඇසේ      

සිය ජීවිත කාලය තුළ කළ යුතු දේ අතුරින් සහන්ට දැන් ප්‍රමුඛතාව දෙන්නට සිතෙන්නේ ගුරු දියවර ලිවීමට යි. ඔහුට එහි පළමු කොටස මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළ හැකි විය. එහි 11 සිට 20 දක්වා වන කොටස යි, මිහිරැඳි ගඟුල ද මේ යන නමින් මුද්‍රණය කරන්නට කටයුතු කරගෙන යන්නේ. මේ වන විට ලියා අවසන් කොට ඇති පරිච්ඡේදයනට අයත් වන 21 සිට 30 දක්වා වන කොටස් එක්කොට මුද්‍රණය කිරීමට අපේක්ෂිත පොතටත් නම් දෙකක් ජනවාරි 29 වැනි දා රැයේ සහන්ගේ සිතට පැමිණ තිබේ. ඒ මුදු සඳට හද බඳිමි හෝ මුදු සඳට හද බැඳේ යන්න යි.

එවසර මාර්තු දහතුන් වැනි දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මානව ප්‍රජාවට සහන් දේශනයක් කොට තිබිණ. ඒ අංගුත්තර නිකායේ එන වඩ්ඪී සූත්‍රය ඇසුරින් අපි වැඩෙමු යන මාතෘකාව යටතේ ය. මනුෂ්‍යයන් කෙත්වතුවලින්, ධනධාන්‍යයෙන්, පුත්‍රදාරාවන්ගෙන්, සේවාකම් කරන්නන්ගෙන් මෙන් ම සිවුපා සත්වග සමග ද වැඩිය යුතු ය. බුද්ධ වචනයට අනුව යටකී භෞතික වර්ධන පංචකය පමණක් ප්‍රමාණවත් නැත. ඔහු සහ ඇය ශ්‍රද්ධාවෙන් - ශීලයෙන් - දැනුමින් - ත්‍යාගශීලී ගුණයෙන් සහ ප්‍රඥාවෙන් ද වැඩිය යුතු යි. සහන් මේවා ගැන කතා කොට තිබුණේ සාහිත්‍යය ද සම්බන්ධ කොට ගනිමිනි මේ සම්බන්ධයෙන් නාගොල්ලාගම කෘෂිකර්ම මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන අතපත්තු මහාත්මා සමග කතා කළ විට ඔහු ඉල්ලා සිටියේ එවන් දෙසුමක් අවිදූර අනාගතයේ දී සිය කාර්ය මණ්ඩලයට ද සිදු කොට දෙන ලෙස යි. 

මාර්තු 25 වැනි දා සහන්, රසික නරසිංහ නම් තරුණ සහෘදයා සමග එදින හවස් වන තෙක් ජීවිතය සහ කලාව ගැන කතා කළ බවට වන සඳහනක් තිබිණ. රසික යූ ටියුබයේ ඇති ඇති සිය දේශන සහ සංකථන ඇසූ සහෘදයෙකි. ඔහු පළමු වරට හඳුනා ගැන්මට ලැබුණේ සංගීතවේදී ලලිත් ගුණතිලකයන්ගේ වැඩ සටහනට සහභාගී වී පෙරළා එන ගමනේ දී යි. සහන් මුලින් සිතුවේ ඒ තමාගේ ආදි ශිෂ්‍යයකු කියා යි. ඔහුගේ ප්‍රකාශනයට අනුව රසික යනු ශිෂ්‍යයකු නොවී ශිෂ්‍යයකු වූවෙකි. ඔහුට ජීවිතය ගැන යම් දැක්මක් තිබේ. නෞකා සම්බන්ධ සමීප අද්දැකීම් ඇති රසික වරක් මෙවන් ප්‍රකාශයක් ලියා සහන් වෙත යොමු කොට තිබිණ.

නැව් ගිලෙන්නේ එළියේ වතුර නිසා නොවෙයි; ඇතුළේ සිදුරු නිස යි. ඒ හින්දා ඔබගේ ජීවිතේ ඇතුළේ ඇති සිදුරු වසා දමන්න. එවිට එළියේ ඇති වතුර ඔබට ගමන යන්නට උදව් කරනු ඇති.

27 වැනි දා සර්වං මායා නමැති සිනමා සිත්තම සහන් බලා ඇත්තේ සිය ගෘහ සාමාජිකයන් සමගිනි. එය යම් ගැඹුරක් ඇති සුන්දර නිර්මාණයකි. සහන් එහි නම මෙහි සටහන් කෙළේ සිය සහෘදය ප්‍රජාව ඒ නරඹනු පිණිස යොමු කිරීමට යි. මේ දිනවල අප විසින් නැරඹිය යුතු ලෝකයේ කොතැනක හෝ බිහි වූ හොඳ සිනමා සිත්තම් ගැන සිය කලණ මිත් මහාචාර්ය ප්‍රසන්න මධුරංග ලියා තිබූ, මේ වන විට සංස්කරණ මට්ටමේ පවත්නා ඒ පොතේ සඳහන් සත් සිනමා කෘති අතරට මෙය ද ඇතුළත් කරන්නැයි සහන් ඉල්ලීමක් ද කොට තිබිණ.

මේ මොහොතේ සහන්ගේ ඇස් යොමු වූයේ මාර්තු 30 වැනි දා දින සටහනට යි. ඔහුට සිතුණේ එය ද සිය සහෘදයන් සමග බෙදා ගැන්මට යි. එය මෙසේ මෙවර ගුරු දියවරට එක් වන්නේ ඒ අනුව යි.  

“විවිධ වේශයෙන් අර්බුද එයි. ඒවා ජීවන අර්බුද, රටේ අර්බුද හෝ ලෝක අර්බුද විය හැකි යි. ඇතැම් විට එක් පුද්ගලයකුගේ ජීවිතයේ ඇති වන අර්බුදයක් හෝ මානසික වියවුලක් සමස්ත රටක අර්බුදයක් බවට පත් විය හැකි යි. එය ම ලෝක අර්බුදයකට ද හේතු විය හැකි යි. යටකී අර්බුදය ඇති - මානසික වියවුල සහිත පුද්ගලයා රටක් පාලනය කරන තැනැත්තා වුවහොත් තත්ත්වය වඩාත් බරපතල වෙනවා. වර්තමාන ලෝකය මේ මුහුණ දෙමින් සිටින්නේ එබඳු තත්ත්වයකට යි.”   

සමාජයක ජීවත් වන කොයි කා විසිනුත් ගැඹුරින් සිතා බැලිය යුතු ප්‍රකාශයක් වෙතට යි, අනතුරුව සහන්ගේ අවධානය යොමු වුණේ. ඒ අතිපූජ්‍ය කිරම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ප්‍රකාශයකි. එය සහන්, ඉංග්‍රීසි දිනපොතේ පෙබරවාරි 04, 05 සහ 06 දින සටහන් අතරට එකතු කොට ගෙන තිබිණ.  උන් වහන්සේ පවසන්නේ අන් අයට ගැටලු අර්බුද ඇති නොකොට, කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බව යි. ඔබ තුළ, මා මෙතෙක් කිසිවකුට හිංසාවක් වන දෙයක් කෙළේ නැතැයි යන කල්පනය ඇති කොට ගත හැකි නම්, ඔබේ සිතේ වරදකාරී හැඟීමක් ඇති වන්නේ නැති බවත් ඒ වූකලී අපට අපගේ ජීවිතවල ඇති කොට ගත හැකි මහත් ම සතුට බවත් උන් වහන්සේ විසින් අවධාරණ කරනු ලැබ තිබිණ. දැන් සහන් කරන්නේ මේ අදහස් ගැබ්වූ ඉංග්‍රීසි පාඨය ගුරු දියවරට මුසු කිරීම යි. ඒ ලෝකයේ කොතැනක හෝ සිටින, සිතන - මතන මානවයන්ගේ දෑස්වලට එය හසු වේවා යන ආදරණීය ප්‍රාර්ථනය ද සමගිනි.

උසඑයදමඑ ජරු්එසබට ාසිඑමරඉ්බජැ එද දඑයැරිල කැ්ා ් බදරප්ක අ්හ දf කසfැග ත්‍වගඋයැබ හදම එයසබන එය්එ හදම ය්ඩැ බදඑ ාදබැ ්බහ ය්රප එද ්බහඉදාහල එය්එ හදම ය්ඩැ බද ටමසකඑහ fැැකසබට සබ හදමර පසබාග ත්‍වග ඔය්එ ය්චචසබැි සි එයැ පදිඑ රුප්රන්ඉකැ ය්චචසබැි සබ දමර කසfැග 

රටක රාජ්‍ය නායකයා හෝ ආයතනයක ප්‍රධානියා වශයෙන් පත් විය යුත්තේ මුල් නුසුන් මනුෂ්‍යයෝ ය. ඒ නායකයා - නායිකාව මෙන් ම ආයතන ප්‍රධානියා හෝ ප්‍රධානවරිය මුල් සුන් චරිත වුවහොත් ඒ අය මුල් නැසුණු අය බිහි කරන ක්‍රියාවලියක අඛණ්ඩ ව නිරත වෙනවා ඇත. මුල් නැත්නම් ශාඛා ද ඇති නොවේ. මුලක් නැත - ශාඛා ද නැත යන අර්ථය ඇති මූලං නාස්ති - කුතඃ ශාඛා යන චරක සංහිතා ප්‍රකාශය මෙතැනට ද ගැළපෙතියි සහන්ට සිතිණ. කාව්‍යාදර්ශයේදී මහාකවි දණ්ඩීන්, කාව්‍ය සම්පත් ලෙස සඳහන් කරන නිසර්ග ප්‍රතිභාව, බහුනිර්මල ඥානය සහ සතතාභ්‍යාසය වැදගත් වන්නේ කවි නිර්මාණ ආදියෙහි නිරත වන අයට පමණක් නොවේ. සහන් විශ්වාස කරන්නේ ප්‍රතිභාසම්පන්න, ක්ලිෂ්ට ඥානයෙන් නොව නිර්මල ඥානයෙන් සමන්විත සතතාභ්‍යාසය - මඳ නොවන අභ්‍යාස ඇති එනම් අමන්දාභියෝගී චරිත  සමාජයක් පුරා විහිද සිටිය යුතු බව ය. ගුරු මෙහෙවරෙහි නිරත අය විසින් සිය කාර්යාවලියේ දී ප්‍රමුඛ තැනක් හිමි කොට දිය යුත්තේ ඊට යි. මොනරාගල සමස්ත වැඩ සටහන ක්‍රියාත්මක කළ යුත්තේ ද ඒ අදහස පෙරදැරි ව යි.  

වැව් තෙර හුදෙකලාව හිඳ සිටින සහන්ට තමන්ට තරමක් ඈතින් තිබෙන ගසක් යට තනා ඇති ගල් ආසන මත හිඳිමින්, සමාජය පවතිනවාට වඩා මෘදු සේ ම අර්ථවත් කිරීම සඳහා සංකථනයක යෙදෙන යෞවන චතුර්ථය දිස් වෙයි. මේ වූකලී තමා බිරිඳ ඇතුළු පිරිස සිය ශක්ති පමණින් කරගෙන ආ ගුරු මෙහෙවර ඉදිරියට කරගෙන යා හැකි, පැරණි සම්ප්‍රදායන් ගැන ද දැනුමක් සහ හැඟීමක් ඇති නව දැනුමින් ද සන්නද්ධ යෞවන ප්‍රජාව යි. අදිකාරම්තුමා, පලිහවඩන ඇදුරුතුමන්, සමන් සිත්තරා වන් උත්තම චරිත විසින් පවරා දුන් මෙහෙවර මේ අය විසින් තමනට වඩා සඵලදායක ව ඉදිරියට කරගෙන යන බව සිහි කිරීමත් සහන්ට අතිමහත් සතුටක් විය.    

සඳ කිරණ, මිහිකත සිප ගන්නා ඒ අතිසුන්දර මොහොතේ සහන් හුදෙකලා හද පිළිසඳර අවසන් කොට නැගී සිටියේ පසුදා කරන දේශන පිළිබඳ ව වන යම් අදහසක් ද සහිත ව ය.

මානව ප්‍රජාවක් සුන්දර,           දකිනු රිසින් 

ලෝකය දැකිය යුතු වෙයි, අප  පිරුණු ඇසින්

කවුරුන් ඇමතුව ද වරෙකදි      කටුක බසින්

පිළිතුරු නොදිය යුතු වෙයි කිසිවකුට රොසින්