“If music be the food of love, play on”
අතීතයෙ දවසක ශේක්ස්පියර් පවා එහෙම කිව්වා. ප්‍රේමයත්, සංගීතයත් අතර තිබෙන සම්බන්ධය එපමණට අවියෝජනීයයි. ප්‍රේමයෙන් වියුක්ත ව ගත්තත් ගීතය පෘතග්ජන ජීවිතයත් එක්ක පුදුමාකාර විදියට බැඳී තියෙනවා. ජීවිත කාලය පුරා අපි අනන්ත සංඛ්‍යාවක් ගීත අහනවා. ඒ අතරින් ඇතැම් ගීත අපිට වෙනස් විදියටකට දැනෙන්න පටන් ගන්නවා. ඇතැම් විට ඊට හේතුව අපේ පුද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්.. අත්දැකීමක් නැතිව වුණත් මනරම් - හෘදය සංවේදී ගීත රස මනසක් ඇති ඕනෑ ම කෙනෙකුට ඉබේ ම සමීප වෙනවා.. ඒක ඔබටත් - මටත් පොදුයි..
මේ වාගෙ අනන්ත අප්‍රමාණ ගීත සංඛ්‍යාවක් අතුරින් තමන් වඩාත් ම ආශා කරන ගීත තෝරා බේරා ගැනීම ඉතා ම අපහසු කාර්යයක්. ඒත් බ්ලොග් අවකාශයෙන් මුණ ගැහුණ සුන්දර මනුස්සයෙක් වන ඉයන් මාමා, සියලු බ්ලොග්කරුවන්ගෙන් විවෘත ආරාධනයක් කරලා තිබුණා තමන් කැමති ම ගී කිහිපය ගැන සටහනක් තමන්ගේ බ්ලොග් අඩවියේ පළ කරන හැටියට. තරඟයකට හෝ රැල්ලකට එකතු වීමේ අරමුණින් ලියැවෙන ලිපියක් නම් නොවෙයි මේ. කලක සිටන් ප්‍රියතම ගී ගැන ලියන්නට අදහසක් තිබුණත් එයට ඉඩක් ලැබුණේ නෑ. ඉයන් මාමාගේ ඇරයුම ඊට සුදුසු ම මොහොත වග හිතුණ නිසා වැසි දැරියටත් තමන්ගේ කැමති ම ගීත කිහිපය ගැන සටහනක් තබන්නට හිතුණා.
පුංචි ම කාලයේ පටන් මගේ ගීත එකතුවේ මුලින් ම තියෙන ගීතය වුණේ “මගෙ දුවේ නුඹ අවදියෙන් නම්” ගීතය. තාත්තා, මා වෙනුවෙන් කියන ගීයක් වගෙයි මට හැමදාමත් මේ ගීය ඇහුණේ. යම් දිනයක මගේ දියණියත් ඇගේ තාත්තා ඈට කියන ගීයක් විදියට මේ ගීතය විඳිනු ඇති යැයි සිහින පැතුමක් වයසින් වැඩෙත් ම මට දැනෙන්නට පටන් ගත්තා. ඒ හේතුව උඩත්, මෙහි අවසන් කොටසේ ඇති මේ වචන ටික නිසාත් වැසි දැරිය මෙගීයට හුඟක් ම කැමතියි..
“ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණයගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොව ම ඔබටත් ආදරෙයි..”
පද - රත්න ශ්‍රී විජේසිංහ/ සංගීතය - කරුණාරත්න විජේවර්ධන / ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
දෙවනු ව මා තෝරා ගත්තේ නන්දා මාලිනියගේ පවන ගීත එකතුවේ එන ගීතයක්. අසූව දශකයේ දේශපාලන වියවුල් පැවති කාලයේ නිර්මාණය වුණු ගීයක් මෙය. මා උපත ලබන්නටත් පෙර ලියැවුණු - ගැයුණු මේ ගීතය ගැන එදා මේ දේශපාලන අදහස් ම දරපු ඇත්තන් අද දරන්නේ වෙනත් අදහසක් වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් පළමු ව මේ ගීය අහපු දවසේ වගේ ම අදත් මේ ගීය අහද්දී මගේ සිරුරේ හිරිගඩු පිපෙනවා. නන්දා මාලිනියගේ අයෝමය ස්ත්‍රී කටහඬ මගේ සිරුරේ ඇටමිදුළු තුළ පවා ගලා යන බවකුයි ඒ අසා සිටින කල දැනෙන්නේ.
“සාදු ජන ගණ මනා - සබා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන් - හිඳින් පුටු කබල් මත සීරුවෙන්..
ලී යකඩ ගොඩවල් ය වැයෙන්නේ - කටුක පදපෙළවල් ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන් ය ගයන්නේ වයන්නේ..
කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින් එදළ රළ පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි - මග තොටේ ඔබ දකින ගැහැණියයි..
කලා මර්යාදා බිඳින්නට වි නම් මට - බිඳ හළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක් ව
යළි කියමි නැත අපට භද්‍ර වූ දේශයක් - භද්‍ර වූ කාලයක් - රාජයක්..
අනන්ත වු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ,
ගයව් තෙපි වැස භද්‍ර දේශයක - රාජයක
අප වෙතින් පළා ගිය මධුර ගී..!”
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න/ සංගිතය- රෝහණ වීරසිංහ / ගායනය - නන්දා මාලිනී
කැමැත්තේ අනුපිළිවෙළට ගීත නම් කිරීම අපහසු නිසා මතක් වෙන පිළිවෙළටයි මෙගී පෙළ ලියා තබන්නෙ. නිදහස් සිතිවිලි ලියන රවි මාමා කියන්නා වගේ වැසි දැරිය හැත්තෑව අසූව දශකයේ ජීවත් වෙන තලත්තෑනි බවලතියක් හින්දා ඊළඟට තෝරා ගත්තේ පැරණි රසාංගයක්.
හංසරාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ
මගේ සිත උදුරා ගනූ..
පද - නිහාල් ජයසිංහ/ සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න - හරූන් ලන්ත්‍රා/සුජාතා අත්තනායක
මේ ගීයේ පදවැල අතිශයින් රොමන්තිකයි. ඒ නිසාමයි මං මේ ගියට මෙපමණ ආශා කරන්නේ. හංසරාණී ආදරේ - හංසයාණෙනි ආදරේ වැනි මෘදු පෙම්වත් වදන් යොදා යුග ගී තනන්නට අද කාලේ ගීත රචකයන්ට බැරි මොකද කියා මේ ගිය අහන හැම මොහොතක ම කල්පනා වෙන්නෙ නිරායාසයෙන්. එක අතකට අඬා වැළපෙන සින්දු විතරක් බිහි වෙන යුගයක ගීතවල මේ වාගෙ සෞන්දර්යාත්මක පද දකින්න නොලැබෙන එක පුදුමයකුත් නොවෙයි.
සිව්වනු ව මෙහි සටහන් කරන ගීතය මේ ලිපියට තරමක් අදාළයි. ඒ, මේ ගීය රචනා කොට තිබෙන්නේ අපිට ගීත තෝරාගන්නට ආරාධනා කළ ඉයන් මාමා වීම නිසායි. ඔහු බ්ලොග් රචකයෙක් වීම නිසාවත්, පුද්ගලික හිතවත්කමක් නිසාවත් නොවෙයි කිසිසේත් ම මෙගීය මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවට එකතු වෙන්නේ. අඩුම තරමේ මා ඔහුව මුණ ගැසී කතාබහ කොටවත් නැහැ. මේ ගීය වැදගත් වන්නේ මෙහි ගැබ් වී තිබෙන මනුෂ්‍යත්වයත් - පුළුල් චින්තනයත් - ස්ත්‍රීත්වය පිළිබඳ යහ ආකල්පයත් හෙට ලෝකය තනනු පිණිස අතිශයින් ම අවැසි වන හෙයින්. කාන්තා දිනය උදෙසා රචනා වුණු මේ ගීය ඇසූ පළමු දිනයේ මගේ ඇසට කඳුළක් ආවා. ගැහැණිය සෙල්ලම් බඩුවක් කොට සලකන බියකරු සමාජ වකවානුවක ඇය ගැන අසීමිත ගෞරවයක් සහිත ව ලියූ මේ ගීය මා තුළ ඇති කළේ ප්‍රහර්ෂයක්. ඇතැම් පිරිමින් පමණක් නොව ගැහැණුන් පවා ගැහැණිය හෙළා දකින තත්ත්වයක් තවමත් ලංකාවේ දකින්නට ලැබෙනවා. එවන් සමයක ලාංකේය කවියකු අතින් සටහන් වන මේ පදපෙළ නිහඬ විප්ලවයක් ලෙසයි මා දකින්නේ. ඉයන් මාමේ, සමස්ත ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ඔබට ස්තූතියි..!
“ සිව් සැටක් වූ මායමින් - හැදිමිටක් දිග නුවණකින්
පින තියෙන්නේ දොර කොණේ කිවූ කාලය දැන් ගිහින්
ලේවලින් පෙව් කිරිවලින් - දරු රැකී ගෙදරැති බුදුන්
තොටිලි පැදවූ අනුහසින් - දැන් ළඳුන් සිංහාසනේ..
අකුරු කියැවූ ගුරු මවුන් - ඇදුරියන් සරසවි බිමේ
දූවරුන් රැකි මව්වරුන් - රට මුදල් සෙවු දූවරුන්
රණ බිමේ යුද සෙබළියන් - ගුවනෙ සැරිසැරු නියමුවන්
රටට බත දුන් ගෙවිලියන් - ලක ම ජය ගත් බව කියයි..”
පද - ඉයන් ලින්තොට/ සංගීතය සහ ගායනය - ජගත් වික්‍රමසිංහ
ඊළඟ ගීතය පැරණි රසාංගයක්. ලංකාවේ එදා මෙදාතුර බිහි වුණ මනරම් ම යුග ගීත අතුරින් මගෙ ජීවිතයට වඩාත් ම සමීප ගීය ගැනයි මේ ලියන්නෙ.
ඒ සමීප බවට හේතු වන්නෙ පහත පදපෙළ..
“ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා..”
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ/ සංගීතය- ක්ලැරන්ස් විජේවර්ධන / ගායනය - ජෝති/සුජාතා
ඕනෑ ම පෙම්වතෙක්, පෙම්වතියක් මේ හිත උතුරා ගලන හැඟීම අත් විඳ ඇතුවා නිසැකයි. අනෙකා කෙරෙහි අප්‍රමාණ ප්‍රේමයකින් තමන්ගේ හදවත පිරී යන නිමේෂය හඳුන්වන්නට වඩාත් ම ගැළපෙන වචන, අපූරු ම අන්දමකට එක්තැන් කරන්නට ගේයපදරචකයා සමත් වෙලා තිබෙනවා. අනෙක් අතට ජෝතිගේ යෞවනය උතුරා හැලෙන ගැඹුරු කටහඬත්, සුජාතාගේ ළතෙත් මධුර ස්වරයත් ගීයෙහි පදවැලට උපරිම සාධාරණය ඉටු කොට තිබීමත් මේ මනරම් බවට හේතු වී ඇති වගයි මට දැනෙන්නේ. මේ කලබල ජීවන රටාව ඇතුළෙ මත් විය හැකි තරමෙ ගුණ සුවඳක් සහිත පෙම්වතුන් විරළ වෙන්න පුළුවන්. ඒත් ප්‍රේමය මනරම් වෙන්නෙ එහෙව් ගුණ සුවඳක් ඇති හදවත් දෙකක ඉපිදුණාමයි..
මීළඟ ගීය ලංකාවේ එක්තරා සංගීතමය යුගයක් නියෝජනය කළ මධුර ස්වරයකින් ගැයුණු එකක්. රේඛා ටෙලිනාට්‍යයේ ගීත ගැන කවුරුන් හෝ මිට පෙර ලියා තිබුණත් ඒ බ්ලොග් අඩවිය කුමක්දැයි මට එකවර සිහිපත් වන්නේන නැහැ. රේඛා හී ගීත රාශියක් ම ගැයුණේ චන්ද්‍රලේඛාගේ මනෝහර හඬින්. ඇත්තටම මට මෙහි සටහන් කරන්නට වුවමනා වූයේ ඇගේ වෙනත් ගීතයක්. සුරාසොඬ සැමියෙකු වෙතින් බිරිඳක් කරන ආයාචනයක් සඳහන් වූ ඒ ගීයේ මුල පද මට මතක නැහැ. ඒත් මැද කොටසක මෙසේ සඳහන් ව තිබුණ වග මතකයි, මගේ මතකය නිවැරදි නම්..!
“සඳකැළුම් අතුළ දිගු මාවතේ ඇවිදින්න
නීල පලුපත් අතර මොහොතකට තනි වෙන්න
දෙතොල් පෙති මත රැඳුණ මධු පැනින් මත්වෙන්න
මධු සැලේ දොර වසා මා වෙතට යළි එන්න”
ඒත් ඒ ගීයේ මුල කොටස අමතක නිසාත්, එහි හඬපටයක් සොයාගැන්මට නොහැකි වූ නිසාත් ඒ වෙනුවට රේඛා හි ම එන වෙනත් මා ආසා කරන ගීයක් මෙහි සටහන් කරන්නට සිතුවා. මල් කිති කවන මේ ගීයටත් මං ඉතාමත් ම ආදරෙයි.
“තරු එළිය ද හිරිහැර කරයි
දිලි දිලි නිවෙමින් - නිවි නිවි දිලෙමින්
මඳ සුළඟ ද කලබල කරයි
මල් කිති කවමින් - දියරළ බිඳිමින්..”
පද - මහාචර්ය සුනිල් ආරියරත්න/ ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
අමරදේවයන්ගේ ගීත අතුරින් එකක් තෝරා ගැනීමේ අන්ත අසීරු මෙහෙයුමෙන් තේරී පත් වුණේ මෙන්න මේ ගීතය. ජනකවි ආරට ටිකක් හුරු ව, ළයාන්විත බසකින් ගෙතුණු පදවැලත්, හිත උඩ අඩි තියා ඇවිදින සංගීත රටාවත් නිසා එතුමන්ගේ අනෙක් ගීත රාශියක් අතරින් මට මේ ගීය ම තෝරගන්න හිතුණ ද කොහෙද.. ඔකඳ සඳ, සඳකත්මිණි විල, වැටී මල් පොකුරු ළැම පිට, ඇළී වෙළී හමන පවන්.. වාගෙ සරල සුන්දර වචනවලින් පිරුණු මේ ගීතය මාව පිස්සු වට්ටන තරමට මනරම්.. මට නම්..!
පද - මහගමසේකර/ ගායනය - පණ්ඩිත් අමරදේව
ඒ වාගේ ම වැසි දැරිය ආදරය කරන ගීතයක්, නන්දා මාලිනියගේ නවාතැන්පොළ. මා මේකට ආසා කරන්නෙ පුද්ගලික හැඟීම් මත වුණත් ඕනෑ ම හිතකට අහු වෙන චමත්කාරයක් මේ ගීතයෙ හැම අහුමුල්ලක ම හැංගිලා තියෙනවා. ජීවිතය වන්දනාවක් නම් එහි නවාතැන්පොළ පෙම්වතාගේ සිනහව වගයි, පෙම්වතිය කියන්නේ.. ප්‍රේමයට ඊටත් වඩා අපූරු නිර්වචන කොතැනින් සොයන්න ද..?
"දයාවේ සඳ සිහිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ.."
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න/ සංගීතය - රෝහණ විරසිංහ/ ගායනය-නන්දා මාලිනී
මෑතක දී ම අහන්නට ලැබුණ ගීයකුත් මේ ගී පෙළට එක් කරගන්නට සිතුණා. වික්ටර් රත්නායක - සුජීව ප්‍රසන්න ආරච්චි සුසංයෝගයෙන් බිහි වුණ ගීත ඇල්බමයෙනුයි මා පළමු වරට මේ ගීතය ඇසුවේ. එහි තිබුණ ගීත සියල්ල ම වාගෙ මනහර වුණත් මේ ගීයේ පැවතුණ වෙනස මාව මේ ගීය ම තෝරාගන්නට පෙළැඹුවා. ආධ්‍යාත්මික ප්‍රේමයක තිබෙන පවිත්‍ර සුන්දරත්වය මේ ගීයෙන් ගලා හැලෙනවා. බෞද්ධ සංස්කෘතිය තුළ අපට හමු වන ශුද්ධ භූමි ගේහසිත ප්‍රේමයට සම්බන්ධ කිරීම තුළ ඇත්තේ අලෞකික මිහිරක්. මේ ගීය අසන කෙනෙක් තුළ ලෞකික හැඟීම් වෙනුවට උපදින්නේ ප්‍රේමය පිළිබඳ භක්තිපූර්ණ හැඟීමක්.
“බෝ කොළයක් වෙන්නම්
මම මහ බෝ මළුවේ
ඔබ නළමුදු සුවඳ වෙන්න
මහමෙව්නාවේ.."
පද - සුජීව ප්‍රසන්න ආරච්චි/ සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක
තවත් ගීයක් මේ මොහොතේ අහම්බෙන් සිහිපත් වෙනවා. එහි වචන පෙළත්, ගායක දෙපළගේ තියුණු ගීතවත් හඬ මාධූර්යයත් වචනින් විස්තර කළ නොහැකි තරමට අපූරුයි. එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි අවියෝජනීය පෙම් යුවළකගේ ප්‍රේමයක් ගැනයි මින් කියැවෙන්නේ.. පදවැල සඳහා යොදා ගෙන ඇති වචනවල තැවරුණු අනුරාගය අතිශය සියුම්.. ඒ වාගේ ම රසවත්..
“පුෂ්ප මකරන්දය මාගේ
භෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ
වෑහේ රසේ..”
පෙම්වතා එසේ අසද්දී පෙම්වතිය මෙසේ පිළිතුරු දෙනවා..
“භෘංග හිමි හංස විමානේ
පුෂ්ප රේණු රන් ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාගේ
වෑහේ රසේ..”
ගායනය - නාරද දිසාසේකර/ සුජාතා අත්තනායක
ආධ්‍යාත්මික ප්‍රේමයක් ගැන මනරම් හද සිත්තමක් අඳින නිරෝෂාගේ මේ ගීයත් කොතෙකුත් ඇහුවත් එපා නොවෙන්නක්.. අනුරාගය මුල් කොට ගෙන ලියැවුණු ගීත කොතෙකුත් තිබුණත් මානසික ප්‍රේමය හෙවත් ප්ලේටෝනියානු ආදරය පිළිබඳ ව ලියැවුණු පදවැල් හරි අඩුයි. ඒ අතරේ මේ ගීය මන්ද මාරුතයක් ව හිතේ තන්ත්‍ර පිරිමදිනවා.
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනක වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී..
පද - බන්දුල නානායක්කාරවසම්/ ගායනය - නිරෝෂා විරාජිනී
වැසි දැරියගේ හිත බැඳි, මිල්ටන් පෙරේරාගේ තවත් පැරණි රසාංගයක් මේ. පෙම්වතිය වෙනුවෙන් දෑවැදි ඉල්ලන පෙම්වතුන් සහ පෙම්වතාට වෙනුවට පෙම්වතාගේ කාර් එකට පෙම් කරන පෙම්වතියන් දකින කල මට නිරායාසයෙන් ම මේ ගීතය සිහිපත් වෙනවා.
“හද පියුම මගෙ නෙළාලා - ඔබෙ දෙපා ළඟ පුදාලා
හිස් දෑතිනි අද ඉන්නේ..
පිදු පියුම පර නොවේවා - මතු මතු ද පුබුදු වේවා
මා එපමණයි පතන්නේ..”
ගායනය - මිල්ටන් පෙරේරා
ප්‍රේමකීර්තිගේ ගණන් කළ නොහැකි ගීත සමුච්චයෙන් මා වඩාත් ම ආශා කරන එක් ගීතයක් මෙහි ලියා තැබිය යුතු යි. ප්‍රේම් අතින් ලියැවුණු හැම වචනයකට ම වාගේ ආසා කරන පිස්සුවක් මට තිබුණත් එක් ගීයකින් පමණක් මෙතැනදී සෑහීමකට පත් වෙනවා..
මේ පෙම් හසුන කන වැකෙන වාරයක් වාරයක් පාසා ම මට හිතෙන්නෙ දුරකථන කියා යමක් නොතිබුණා නම් කොච්චර අපූරුද කියලයි..
“කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැන ම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරිය ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවණක එක ම පැල්පතේ”
පද - ප්‍රේමකීර්ති ද අල්විස්/ සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක
ඊළඟ ගීයත් ඉතාම අසීරුවෙන් තෝරා ගත් ගීයක්.. ශබ්ද මාධූර්යයත් - අර්ථ මාධූර්යයත් බොහෝ ම අපූරුවට එක්තැන් වෙච්ච නිමේෂයන් ගණනාවක් මේ ගීයේ එක පිට අත් විඳින්නට ලැබෙනවා.
“නෙළා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපී ඉමී..
ගලා යන්නෙ ඟඟුලක් වගේ නම්
ළතැවෙන්න ඉවුරේ ඉමී.."
පද- / ගායනය- මිල්ටන් මල්ලවආරච්චි
අපේ පරපුරේ ගීත නම් තෝරා ගත්තේම නැති තරම්.. උඩුබුරන සහ වැළපෙන ගීතවලට ආසා උපදවාගන්නට අසීරුයි. ඒත් අනූව දශකයේ උපන් අපේ පරම්පරාව ගැන ආඩම්බර විය හැකි අන්දමේ ගීතත් ඉඳහිට බිහි වෙනවා. ශානිකා සුමනසේකර, හර්ෂණ දිසානායක, ලක්ෂණා ලක්මිණී ආදී ශාස්ත්‍රීය සංගිතය වෙනුවෙන් ඇපකැප වෙන යහපත් තරුණ පරම්පරාවක් සිටින බව මේ මොහොතේ මතක් කළ යුතුමයි. අහම්බයෙන් කන වැකුණු මේ අපූරු ගීය තෝරා ගන්නේ අපේ පරපුරේ දිගු ගමනක් යන්නට ඔවුන්ට සුබ පතන අතරේමයි..
පැතුම් මල් නෙළා පැසකට
අතින් අත අරන්
ගොසින් ජීවිතේ සමනොළ
වඳිමු අත් බැඳන්
පද - බුද්ධිකා නිශාන්ති සෙනරත් යාපා/ සංගීතය-දර්ශන රුවන් දිසානායක/ ගායනය - හර්ෂණ දිසානායක/ලක්ෂණා ලක්මිනී
මෙගී පෙළ අවසන් කරන්නට තෝරා ගත්තේ නන්දා මාලිනියගේ ගීතයක්. වැසි දැරියගේ හද තන්ත්‍ර වඩාත් ම අපූරුවට පිරිමදින කටහඬ හිමි ඈට නිසා, ඇගේ ගී වැඩිපුර තෝරා ගැනෙන්නටත් ඇති. තවත් ගීත රාශියක් එක පෙළට මතකයට නැගුණත් මේ මොහොතේ වඩාත් ම දැනෙන ගීයෙන් ලිපිය නිමැවීම සුදුසු යැයි හිතෙනවා..
දැන් මැදියම් රෑ.. මේ මොහොතේ නිවසින් ම අවදි ව ඉන්නෙ මා විතරයි.. අවට නිවෙස්වලත් විදුලි පහන් නිවිලා. බොහෝ දෙනා නිදි ඇති. ඉතින් මට මේ මොහොතේ මේ ගීය ලෝකේ තියෙන අපූරු ම ගීයක් ලෙස හැඟී යාම වරදක් ද..?
“මුළු නුවර ම නිදිගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදි ව ඇත යහනේ..
එක ම සඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ..
වන උයන් පුරා මල් සමය උදා වී
දියදම් දිනිතිය යොවුන් වියේ..
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප්‍රාර්ථනා කරන්නී...
කවදාද අප හමු වන්නේ..?
කවදාද අප හමු වන්නේ..?
ඔබ ඔබ පැලේ..
මම මගේ පැලේ..”
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න/ සංගීතය - රෝහණ වීරසිංහ/ ගායනය - නන්දා මාලිනී
Wow Thats great. Thank you. I am humbled to see that you have also selected a song I wrote. Thanks .
ReplyDeleteYou are always welcome uncle..))
DeleteAnd I really love your song.. That's why I selected it.It will always be in my top song list..!!
වැසි දැරිය , හැමෝම නිදි අතරේ අඩ අඳුරේ මේ වගේ ගී ගඟුලක පහස ලබන වෙලාවක ඒ ගී ගඟුල කැලතු ඉයන්ගෙ පද රචනයක් ඔබේ ගී අතර දැකීම සතුටක්.... ඔබේ තේරිම් හරි අපූරුයි...
ReplyDeleteඉයන් මාමා බ්ලොගර් කෙනෙක් විදියට දැනගන්න කලින් ඉඳලාම මං ඒ ගීතයට හුඟක් ම කැමතියි.අහම්බෙන් මුණ ගැහුණු අපූරු ම ගීතයක්..!
Deleteස්තූතියි හින දකින්නී..
ඔයත් ලියයි කියලම හිතුවා... මොකද කලින් පෝස්ටු වලත් සිංදු ගැන කතා කරල තියනවානේ..
ReplyDeleteඅපුරු එකතුව...
ඒකනේ.. ඒකනේ.. සින්දු පිස්සෙක් බව දන්නවනෙ නේද..
Deleteස්තූතියි අක්කේ..!
මෙතන මට නුපුරුදු ගීත මහ ගොඩක් තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ඇත්තටම ලස්සනයි. ස්තූතියි නංගි ඒ ගීත අහන්න ඉඩක් ලබා දුන්නාට. :)
ReplyDeleteස්තූතියි සිතූ අක්කේ මේ පැත්තට ආවට..
Deleteමේ මගෙ ප්‍රියතම ගීත එකතුවෙන් බොහොම අමාරුවෙන් තෝරා ගත්තු ගි ටිකක්.. කියවන අයත් වින්දා නම් ඒක ගොඩාක් ලොකු සතුටක්..
අපූරු ගීත ටිකක් ඔබ තෝරලා තිබෙන්නේ. තෝරපු ගීතවල හැටියට නම් පෙන්නේ වැසි දැරිය බොහොම පරිණත දැරියක් බව.
ReplyDeleteවැසි දැරියට තාම අවුරුදු විස්සක් වුණේ නම් නෑ.. පරිණතයි කියා නම් හිතන්නෙ නෑ.. ජිවිතේ ඉගෙනගනිමින් ඉන්නේ..))
Deleteස්තූතියි කෙන්කියුෂා.. මාත් ඊයේ තමා ඒ පැත්තෙ ආවේ..
මේක කියවද්දී නම් හිතුනෙම නැහැ අවුරුදු 20 ට අඩුයි කියලා.
Deleteඅජිත් මාමා කියා කතා කරන්නම්කෝ..))
Deleteමං එච්චර පණ්ඩිතයි කියලා දැනන් හිටියේ නැහැනේ..))
හප්පේ මාමා කෙනෙකුත් වුණා එහෙනම්. බ්ලොගා මාමා :)
Deleteනැතුව නැතුව.. බ්ලොගා මාමා...))))
Deleteවැසි දැරිය, මනුෂ්‍යයෝ පරිනත වෙන්නේ ලැබෙන අත්දැකීම් අහන දකින කියවන දේවල් වලින් සුක්ෂමව කල්පනා කරලා ජීවිතේට එකතු කරගන්න දේවල් වලින් මිසක් වයසින්ම විතරක් නෙවෙයි.
Deleteතරුණ වයසේදීම බොහොම පරිණත වුන අය වගේම කෙස් පැහිලත් අපරිණත ළදරු හැසිරීම් හැමවිටම පෙන්වන අයත් ඉන්නවා.
සමහර ගීත අද කාලේ නිතර ඇහෙන ගීත නොවුනත් හරිම අපූරු ගීත සොලසක්...
ReplyDeleteඔව්.. මේ ගොඩක් ඒවා දැන් ඇහෙන්නෙ නෑ.ඒත් මීටත් වඩා ලස්සන පැරණි සින්දු බොහොමයක් යූටියුබ් තියෙනවා ඒත්.. ස්තූතියි අක්කෝ..))
Delete'දැරියකගෙන්' බලාපොරොත්තු වෙන්න බැරි තරම් ඉහල රසවින්දනයක්.. ඉදිරිපත් කරලා තියෙන විලාශය සිත් ගන්න සුළුයි..
ReplyDeleteඉයන් ගේ ගීතය ගැන අලුත් ආදරයක් ඇති උනා..
දැරියක් නෙමේ.. ළදැරියක්..
Deleteස්තූතියි කළ්‍යාණ මිත්‍ර.. මාමා කෙනෙක්ද මන්දා..))
ශා . . අපූරු සින්දු 16ක්. මම කැමති ගීත බොහොමයක් මේ ලිස්ට් එකේත් තියෙනවා . .
ReplyDeleteස්තූතියි දුකා..!
Deleteඔව්! නුහුරු ගීත ගොඩයි, නිරෝෂාගේ 'සිනා තොටක් විය' සිංදුව නම් හුරුයි. අලුත් ඒවායින් දෙකකට පමනක් සවන් දෙන්න කාලයක් ලැබුනා, ඒවත් ලස්සනයි...(කාලයේ පරතරයයි කාරනේ)
ReplyDeleteගීත මෙසේ එකිනෙකාට හුරු නුහුරු වන්න හේතුව, මා මගේ ලිපියේ කිව්වා වගේ ශ්‍රාවකයා තම තරුණ විය පසු කල අවදියන්වල වෙනස්කමයි.
ඔබට ජය
ශ්‍රාවකයා තරුණ විය පසු කල අවදිය මීට යම් ආකාරයකින් බලපානවා ඇති.ඒත් එ්ක එකම කාරණය නෙමෙයි.උදාහරණයක් විදියට තාම මගෙ තරුණ විය පටන් ගත්තා පමණයි.ඒත් මං වැඩිපුර අහන්න ආසා කරන්නෙ පැරණි ගීත.ඒ නිසා ඒක රසවින්දනය සම්බන්ධ කාරණයක් කියලා මම නම් හිතන්නෙ..
Deleteමේ පැත්තට පැමිණියාට ස්තූතියි..))
mageth priyathama geeyak nanada malanige geeya, sthuthiyi
ReplyDeleteඇය මගේ ආසම ගායිකාව.. ඇගේ ගීත ගොඩක් අතරින් ආසම තුනක් තමා තෝරගත්තෙ..))
Deleteබොහොම අපූරු ගීත එකතුවක්. නන්ද මාලිනීගේ පවන කියන්නේ කැමැති ගීත එකතුවක්. ඒ කාලේ නිතරම ඇහැව්වා. //ප්‍රේමයෙන් වියුක්ත ව ගත්තත් ගීතය පෘතග්ජන ජීවිතයත් එක්ක පුදුමාකාර විදියට බැඳී තියෙනවා. ජීවිත කාලය පුරා අපි අනන්ත සංඛ්‍යාවක් ගීත අහනවා. ඒ අතරින් ඇතැම් ගීත අපිට වෙනස් විදියටකට දැනෙන්න පටන් ගන්නවා. ඇතැම් විට ඊට හේතුව අපේ පුද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්.. // ඇත්තටම එකඟයි. මෙතන තිබෙන වික්ටර් ගේ . ජෝති ගේ නාරද ගේ හා මිල්ටන් ගේ සින්දු ඔක්කොම බොහෝවිට අහන ඒවා.
ReplyDeleteබොහෝම ස්තූතියි.. පවනට වගේම එතුමියගෙ ගොඩක් ගීතවලට මං කැමතියි..
Deleteමේ පැත්තට පලමු වරට නේද ගොඩ වැදුණේ.. පැමිණීමට බෙහෙවින් තුති..))
සින්දු ටික ලස්සනයි.සිලෙක්ෂන් එක බොහොම අපූරුයි.
ReplyDeleteඑත් බහුතරය මගේ ටේස්ට් එකට අහුවෙන්නේ නැහැ.
හැමෝම වෙනස් නේ..
ස්තූතියි..
Deleteපැහැදිලිව ම ලෝකය භින්න රුචිකයි තමා.. උදාහරණයක් විදියට මං වේග රිද්ම ගීත අහන්නේ නෑ..
'එකම සඳක් එක තරුවක් යට
ReplyDeleteඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ....'
ඒත් වැසි දැරිය අපි හැමෝම 'එකම පැලක'ඉඳගෙන මේ ගී රස විඳීම කෙතරම් සුන්දරද කියා මට හිතෙනවා. ඔබේ දායකත්වයත් අපූරුයි. නන්දා මාලිනියගේ ගීතය මතකයන් අෑතට ගෙනයයි.
ස්තූතියි.. මේක අපූරු වැඩක් තමා..))
Deleteනන්දා මාලිනිගේ හැම ගීතයක් ම ඒ වගෙයි.. හිත වෙන ලෝකෙකට ගෙන යන සුළුයි..))
සින්දු ටික අගෙයි...
ReplyDeleteඒත් කිව යුත්තක් තියෙනවා...
මට හිතෙන හැටියට මෙතෙක් තමන් කැමති ගී ඉදිරිපත් කල බ්ලොග් සින්දු ටික අගෙයි...
ඒත් කිව යුත්තක් තියෙනවා...
මට හිතෙන හැටියට මෙතෙක් තමන් කැමති ගී ඉදිරිපත් කල බ්ලොග් කරුවන්/කාරියන් ගේ ලයිස්තුවලට වඩා මේ ගී සැට් එක හරි වෙනස් කියලයි මට හිතෙන්නේ... මම වැරදි වෙන්නත් පුලුවනි!
නිරොශා ගේ "සිනා තොටක් විය" +++++++++++++++++++++++++++++
බෙහෙවින් ම ස්තූතියි..
Deleteකෙබඳු වෙනසක් ගැනද ඔබ කියන්නෙ..?
රටට බත දුන් ගෙවිලියන් - වියුණු ලියනා යුවතියන්
ReplyDeleteඉයන් අන්න එහෙම කොටසකුත් ගීතයට එකතු කලානම් මල් හතයි.
නැත්තං "වැස්ස වස්සන දැරිවියන්" කියල වුනත් අවුලක් නෑ...:)
මේ ගීය ලියන කාලෙ ඉයන් මාමා වියුණු ලියනා යුවතියො ගැන දැනගෙන ඉන්න නැතුව ඇති මයෙ හිතේ..))
Deleteඉස්සරහට එයා තනිකරම සින්දුවක් ලියාවි.. බ්ලොග්කාරියො ගැන.. හැබැයි ඉතින් මහජනතාව බලාවි කවුද ඒ අමුතු නමක් තියෙන කොට්ටාසෙ කියලා..))
ඇත්තටම වෙනස් ආකාරයේ සින්දු ලැයිස්තුවක්. සමහර ගීත අදමයි ඇහුවේ. ගොඩක් ස්තුතියි ඔයාට ඒවා අහන්න අවස්ථාවක් සැලසුවට.
ReplyDeleteස්තූතියි අක්කේ.. අනේ ඔයා කතාවට දාපු කමෙන්ට් එක මගෙ අතින් ඩිලීට් වුණා..)))
Delete