Wednesday, October 26, 2016

Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..