Showing posts with label චාරිකා වැහි බිංදු. Show all posts
Showing posts with label චාරිකා වැහි බිංදු. Show all posts

Sunday, December 1, 2024

120. අනුරාධපුරේ දවසකුත් ඇති!

ග්‍රීසියෙන් පෙරදිගට පාත් වුණ දැරිවියක්ය කියලා කේන්දරේ තිබ්බට ⁣වැහිදැරියට හිතෙන්නෙම පූර්වාත්මභව හුඟක ඉන්න ඇත්තෙ අනුරාධපුරේ කියලයි. ඒ තරම් තද ආදරයක් වැහිදැරියට අනුරාධපුරේ එක්ක තියෙනවා.

මාසෙකට දෙතුන් පාරක් යන්න සැලසෙන දිගු තීර්ථ චාරිකා එකතුව පිරික්සලා බැලුවම, කොවිඩ් කාලෙ ඇරුණම ජීවිතේ අනිත් හැම අවුරුද්දෙම වැසි දැරිවිට වසරකට කීප වතාවක් අනුරාධපුර යන්න වැඩ සැලැස්වෙනව. හරියට තද ආත්මීය බන්ධනයකින් වැහිදැරිවිව රජරටට බැඳලා තියෙනවා වගෙයි.

ඉස්සර හැම අවුරුද්දෙම අනුරාධපුරේ යන්න වැහිදැරිවිට වැදෙන චාන්ස් එක තමා තාත්තා යන බිහිවැඩ චාරිකාව. 

ඒ හැම අනුරාධපුර චාරිකාවකදිම වැහිදැරිය ගියත් නැතත් තාත්තා කුට්ටම්පොකුණ අද්දර සුට්ටං කඩේක රෙදි බෝනික්කො විකුණපු යුවතියකගෙන් බෝනික්කො අරන් ආවා. අදටත් වැහිදැරිවි ගාව මේ රෙදි බෝනික්කො රංචුවක් ඉන්නවා. එයාලාට එක එක කාලෙට නම් වැටුණේ එක එක විදියට. ලෝරා පොත් පෙළ කියවන කාලෙ ලෝරා,මේරි,කේරි. ඉන්දියානු පොත් කියවන කාලෙට රත්නා, ක්රිෂ්ණි.. ඔය විදියට නානාප්‍රකාර නම්වලින් හැඳින්වුණ බෝනික්කො එකතුව ටික ටික වැඩි වෙද්දි බෝනික්කො විකුණූ යුවතිය පුංචි යතුරුපැදියෙන් කාර් පොඩ්ඩෙක් දක්වා විතැන් වෙලා ව්‍යවසායිකාවක් වෙලා උන්නා.

වැහිදරුවා වැහිදැරිවිගෙ ජීවිතේට ආවට පස්සෙ අනුරාධපුරට ගිය හැම වතාවෙම ඔහු මේ බෝනික්කො වෙළඳසැලෙන් වැහිදැරිවිට බෝනික්කෙක් අරන් දෙන්න බලන් උන්නත් ඒ එක වතාවකවත් ඒ වෙළඳසැල තිබුණෙ නෑ. බාගෙදා වෙනත් තැනක - වෙනත් පෙදෙසක - වෙනත් දේසෙක ඒ හුරුබුහුටි රෙදි බෝනික්කියො ඈ අතින් අළෙවි වෙනවා ඇති! 

කුට්ටම්පොකුණු මතකෙත් එක්ක වැහිදැරිවිට මතක් වෙන්නෙ අනුරාධපුරේ අස්සක් මුල්ලක් නෑර සරසවි අය්යලා අක්කලා එක්ක ඇවිදපු හැටි. එදා වැහිදැරිවිගෙ අතින් අල්ලන් නැත්නම් වඩාගෙන ගල්පඩිපේළි නැගපු ඇතැමෙක් අදටත් මුණගැහෙන සහෝදරාත්ම.  තවත් සහෝදර සහෝදරියන් බොහොමයක් ඔවුන්ගෙ සරසවි සමයෙන් පස්සෙ වැහිදැරිවිට හමුවෙලාම නැති තරම්. වැහිදැරිවිගෙ අම්මායි වැහිදැරිවියි එක්ක නටබුන් අතරෙ ඇවිද යන අතරෙ මනරම් සාහිත සංවාද කරපු අරුණ අය්යා ඇතුළු සමහර සහෝදරවරු ආයෙ නොඑන්නම ජීවිතෙන් සමුගෙන ගිහින්. ඒත් බටු ඇටේක සිට නවයොවුන් දැරියක් වන තෙක් කුඩා වැහිදැරිවිව පරිස්සමින් ගල්පඩි නග්ගවාපු ඔවුන්ගෙ අත්වල සහෝදර උණුහුම, තනියම ගල්පඩිවල පැන පැන යන්න ගත්ත වයස⁣ට ආව නමුත් වැහිදැරියට කිසිදාක අමතක වන්නෙ නෑ.

මතක ඇති කාලෙ ඉඳන් ඒ සරසවි සංචාරවලත්, නිවාඩු සමයන්හි නිවැසියන් එක්ක යෙදුණු ඉසිඹු ගමන්වලත් බොහෝ විට මාර්ගෝපදේශක භූමිකාව දැරුවෙ ශාන්ත හාමුදුරුවෝ. සරසවි ශිෂ්‍ය භික්ෂුවක්ව හාමුදුරුවෝ වැඩවිසූ ආරණ්‍ය සේනාසනය තිබුණේ අනුරාධපුර නිසා නිතැතින්ම හාමුදුරුවෝ මග පෙන්වීමේ කාර්යය භාරගත්තා. ඉන්පස්සෙ හාමුදුරුවෝ සරසවියෙ කථිකාචාර්යවරයකු වීමත් එක්ක නිරන්තරයෙ අපේ අනුරාධපුර චාරිකාවන්වලට ආරණ්‍යමය සැහැල්ලුවක් සහ සන්තුෂ්ටියක් එක් කළේ හාමුදුරුවෝ. වැහිදැරිවිගෙ ආච්චිව රෝදපුටුවෙ තියාගෙන රුවන්වැලි⁣සෑ මලුවෙ පැදකුණු කරවලා ආශිර්වාද කිරීමේ ඉඳලා ප්‍රත්‍යසම්පාදනය දක්වා හාමුදුරුවෝ අපේ අනුරාධපුර චාරිකා සුවිසාල කරුණාවකින් පුරවලා තියෙනවා.තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති සාටෝපී විවාහ උත්සවයක් ගන්නවා වෙනුවට සරලව විවාහය ලියාපදිංචි කරලා උත්සවයක⁣ට වෙන් කරන මුදලින් පාසලකට උපකාර කරන්න තීරණය කරපු වැසි දැරියටයි වැසි දරුවාටයි ජීවිතේ මනරම්ම දවසෙ ස්වේච්ඡාවෙන්ම පිරිත් දේශනා කරන්න භාරගත්තෙත් ශාන්ත හාමුදුරුවෝ. ඉතින් අනුරාධපුර විතරක් නොවෙයි ජීවිතයේ ගොඩක් තැන් ඒ කල්‍යාණ මිත්‍ර ආශිර්වාදයෙන් වියුක්ත කරලා සිහි නංවන්න බෑ. 

කෝම හරි ඔය අනුරාධපුර ගමන්වලදි වැහිදැරිවි ආසාම රියේ පිටිපස්සෙ වීදුරුව⁣ පැත්තට මූණ යොමාගෙන පහුවෙලා යන ගස් වකාරෙන් පිරුණු ලස්සන පාරවල් දිහා බලාගෙන යන්නයි. ඉන්පස්සෙ පූජා නගරයෙ ප්‍රදක්ෂිණා පථවල, ගල් ⁣අල්ලපු පාරවල සහ තණපිඩැලි මත්තෙ, දියබෙරලියා මලක් වගේ සරල වනපස මල් අතින් අරගෙන නිස්කාංසු⁣වෙ ඇවිදගෙන යන්නයි. ඊටත්පස්සෙ නටබුන් - ගල්කණු - ආරාම සංකීර්ණ - පොකුණු - ගරාවැටුණු පුරාතන විශ්වවිද්‍යාල අතරෙ සරමින් - මුරගල්වල හුරුබුහුටි සංඛ-පද්ම රූප අතගාමින් - සමන් සිත්තරා කියපු අනුරාධපුර යුගයෙ සරල සම්භාව්‍ය බව සඳකඩපහණක ලියපෙත්තකින් විඳිමින් - දැක්මෙන් පවා තපස්වරියන්ගෙ සිල් බිඳුණාය කියන නාග මානවකයන්ගෙ සුනම්‍ය තුරුණු කොපුල් මඟඅරිමින් - ඔ⁣රලෝසු කටු ගැන වගේ වගක් නැතුව අමා රස්තියාදුවෙ යන්නයි. 

දෑවුරුද්දක⁣ට විතර ඉහතදි වැහිදැරිවිත්, වැහිදරුවාත්, සරසවි මිතුරු ගයන්තත් අනුරාධපුර දක්වා යන්න සැලසුම් කරපු ගමනත් කදිම අනුරාධපුර මතකයක්.

ඒ ගමනෙදි තමා වැහිදැරිවි වැඩිපුරම වෙලාවක් නටබුන් අතර රැඳී උන්නෙ. එක ⁣කොරවක්ගලක් ගාව සෑහෙන වෙලා අපි රැඳීගෙන කැටයම් අත ගගා ඉන්න ඇති. රාත්‍රියෙ රුවන්වැලි සෑ මලුවෙ කාලය ගැන හැඟුමක් නැතුව රැඳී ඉඳලා, මහබෝධියට යන මග පහන් පූජා නරඹමින්, ගත කළ වෙලාව හෝරා ගණනක් වෙන්න ඇති. 

වෙස්සගිරියෙ ඇතුළු ගල්ගුහා වෙතටම ගිහින් මිහිඳු මහරහතන් වහන්සේ භාරත රාජ්‍යයම අත්හැරලා සැතපෙන්න තෝරාගත්ත ශිලා යහන වෙතත්, ඉන්පස්සෙ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න තෝරාගත්ත විශ්ව ශක්ති කේන්ද්‍ර වෙතත් නැගගෙන ගිය ගමන කිසිදා අමතක කරන්න බෑ. වෙස්සගිරියෙ එකිනෙක මත සමබර කරපු සුවිශිෂ්ට තාක්ෂණයකින් යුතු ශිලා කේන්ද්‍රවල විස්මයාවහ බවත් විඳගනිමින් භාවනා කළ මතකය අටවිසිවසක ජීවිතයේ සන්සුන්ම මතකයක්.

'ඒ අමා රස්තියාදුව' නමින් ගයන්ත, ඒ ගමන ගැන කවි හත අටකුත් ලියා තිබුණා මතකයි. 

'ලියවැල් මත වෙලී පැටලී වෙමිනි පමා...

ඇත් අස් සිහ රඳුනි මේ ලෙස දුවනු කිමා...

සඳකඩපහණ මත ඇවිදින හිස ද නමා...

හස රද පැවසුවේ නවතින අයුරු තමා...'

කියා තමයි ඒ කවි ටිකෙහි පළමු කොටස අවසන් කරලා තිබුණෙ. ඒකෙ දෙවෙනි කො⁣ටස බාගෙදා මනුස්සයා දෑවුරුද්දක් තිස්සෙ තාම ලියනවා ඇති. ඕං මේ බ්ලොග් පෝස්ටුව කියෙව්වොත් හෙම මේ තියෙන්නෙ ඒක සම්පූර්ණ කරන්න සිහි කැඳවීමක්!

මෑතක පටන් නිසැකවම අනුරාධපුරේ වාර්ෂිකව යන්න හේතුවක් සපයන්නෙ අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පර්‍යේෂණ සම්මන්ත්‍රණය. 

ගිය වසරෙ සම්මන්ත්‍රණයට ගිය වතාවෙ තදින් අසනීප වී රෝහල්ගතව උන් සුමින්ද අය්යාට අපි දෙන්නා රුවන්වැලි සෑ මලුවෙදි වීඩියෝ ඇමතුමක් ගත් හැටිත් වැහි දරුවාටයි වැහි දැරිවිටයි සිහිපත් වුණා. කොහොමටත් අනුරාධපුරය හැම විටම සුමින්ද අය්යා ලියූ ලුම්බිණි ආඛ්‍යානය සමඟ ඔහුව සිහිපත් කරනවා. ඔහු ඒ ආඛ්‍යාන කාව්‍යයෙහි ප්‍රධාන චරිතය නම් කරන්නෙ අනුරාධ නමින් නිසා. ඒ රජරට ශිෂ්ටාචාරයෙහි පැවති සුවිශිෂ්ටත්වය පිළිබඳ සංකේතීය නිරූපණයක් විලසිනුයි.

'මං උඹලා දෙන්න⁣ගෙ ආදර කතාවට හෙන ආදරෙයි' කියා අප දෙන්නාට යළි කියන්නට අනුරාධ මැවූ හෘදයවාසී වැඩිමහල් සහෝදරයාගේ හඬ නැවත කිසිදාක නෑසෙන බවට දැනෙද්දි ඔහුගෙ අකල් වියෝවෙ රිදුම් අලුත් වුණා. ඒ හිස්තැන කිසිදා නොපිරවෙනු ඇති මුත්, මේ ලෝකයෙ ජීවත් වුණ සුන්දරම ආත්මයක් වුණ ඔහු මේ භවයෙ වේදනාවෙන් මිදී යාම ගැන සැහැල්ලු සැනසුමකුත් මෙවර අනුරාධපුර ගමනෙදි දැනුණා.

වෙනදා මෙන් දින ගණන් නවාතැන්ගත නූන මේ වතාවෙ අනුරාධපුර ගමන අවසන් වුණේ ඇතුගල්පුර මල්ගොමුවෙන්. ජීවිතයෙ මුණගැහුණ සුන්දරම පවුල් අතරින් එකක් වන ඔවුන් සමඟ ගෙවුණු සංවාද රාත්‍රියත් අනුරාධපුර උදා-දිවා-හවස්වරු තරම්ම මිහිරියි. නරක දේකට කියලා තිවුණෙ, මල්රේණු සහෝදරයා පළ කරපු අලුත් පොතේ පිටපතක් ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා, වැහිදැරිවිට අපහාස කරලා වැහිදරුවාට හොඳ මල්ලි කියලා ආමන්ත්‍රණය කරලා  අත්සන් කරලා දුන්න එක.

හැබැයි මල්රේණු සහෝදරයා එක්ක මතක ඇති කාලෙ ඉඳලා නයි මුගටි ගැටුම වාගෙ කොයි තරම් රණ්ඩු සරුවල් වුණත්, ඔහුගෙ අලුත් පොත - 'රතු කොණ්ඩකාරියගෙ කතාව' ගාව පූර්ව භවයක තරම් ඉඳලා එන රණ්ඩුව තාවකාලිකව අමතක කරලා දාන්න වැහිදැරිවි තීරණේ කළා.

ළදරු නාමකරණයේ පටන් ස්ත්‍රියගේ ස්වාධීන බව අහිමි වීමේ හා ස්ත්‍රිය වාස්තවීකරණය වීමේ අවුල, පුරුෂෝත්තමවාදයෙහි අඳුර සහ ඊට එදිරිව ස්ත්‍රී විභවතාව, ස්ත්‍රීත්වයෙහි/මනුෂ්‍යත්වයෙහි වටිනාකම් බාහිර රූපයට පමණක් සීමා කිරීමේ ඛේදය, Bullying හෙවත් අනවරත හිරිහැරකිරීම් ළමා මනසක් කෙරේ ඇති කරන බලපෑම,  සමාජදේහය පුරා දිවෙන පන්ති විෂමතාව සහ නවයොවුන් ආලයේ මිහිරි සිහිලැල්ල ආදී සොඳුරු - සුගැඹුරු සංලක්ෂයන් රැසක් රතු කොණ්ඩකාරි විසින් ස්පර්ශ කරලා තියෙනවා.

අලුත් සෙමෙස්තරය පටන් ගන්න ළඟ නිසා ඒ පොත ගැන දිගට ලියන්න වෙලාවක් තියේද සැකයි. ඒත් එය එහෙම මඟ හැරී යා යුතු නොවන මනරම් පොතක් වන නිසායි, ඒ ගැනත් මේ සටහනටම ඇතුළු කළ යුතුම යැයි හිතු⁣ණේ.

කෝම හරි අනුරාධපුර සිට ඇතුගල්පුර දක්වාත්, ඉන්පස්සෙ ඇතුගල්පුර සිට කො⁣ළොම්පුර දක්වාත් රියේ කවුළු ඇරන් එද්දි වැව් තල සිපගෙන එන සුළං පහස තමන්ව සිපගන්න කොට වැහිදැරිවිට දැනුණේ වෙනදා වගේ දින ගණන් ගත නොකළත් අනුරාධපුරේ ගත කරන මොහොතක් පවා කොතරම් නම් මිහිරිද.. සිහිලැතිද කියායි..

ඉන්දීය හයි කොමිසමේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කූරන් දත්තා නම් තරුණ විද්වතා තමාට අනුරාධපුරයේ පෞරාණික නටබුන් අතර ඇවිද යද්දී ඇඬෙන බව කී අයුරුත්, ඊනියා සාහිත්‍ය සම්මානවලට හැමදාම මඟඇරෙන ඉසුරු චාමර සෝමවීර සහෝදරයාගේ කවි අතරෙ වූ මහබෝධියට යන මග කවියත්, මහබෝධියට යන මග වෙසෙන කුමාර සේනානායක වැඩිහිටි විද්වතා තුළ වන තමාට මියෙන්නට ඕනෑ බෝ සෙවණ දැනෙන මානයක බවට වන ප්‍රාර්ථනයත්, ලබ්ධියෙන් බොදුනුවකු නොවන මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන් ලෝකයේ සුවැතිම සුළඟ හමන්නේ අනුරාධපුර රාජධානියෙන් බවට කළ ප්‍රකාශයත් ඒ එක්ක සිහිපත් වුණා..

ඉතින්.. ජීවිතේ මාස ගණනාවකට නිවෙන්න අනුරාධපුර ගෙවෙන එක දවසකුත් ඇති කියා වැහි දැරිවිටත් හිතෙන එක අරුමයක් නෑ නේද..)

Saturday, August 19, 2023

87. ආයෙ ආයේ වැසි වැටේ...

වැහි වැටෙන දවසක වැහි මැද්දෙ පින්තූරු අරගෙන, ආදරේම කීප දෙනෙක් මැද විවාහ දිවියට එළැඹිලා නුවර ආපු වැහි දැරිවිත්, වැහි දරුවාත් ගෙව්වේ වැහි දවස් ගණනාවක්. විවාහ උත්සවයක් නොගෙන ඒ වියදම් පුස්තකාලයක් හදන්න වැය කරන්න අප දෙන්නා තුළ තිබුණ ආරම්මණයටත්, ආසාවටත් දෙපසම නෑසියන් කැමති වුණු නිසා ඉතාම සරලව වැහි දවසක තමයි අපේ අතිනත් ගැන්ම සිදු වුණේ. 

විදේසෙකට යන්න සැලසුම් කරන් උන්නත් ඒ තීරණේ පස්සට දාලා නුවර එන්න ගත් තීරණේ ඊට වඩා සෑහෙන්න හොඳ බව වැසිබරිත හෝරාවල්, ඇවිද ගිය තැන්, මුණගැහුණු මිනිස්සු සහ නුවර ආරාණ්‍ය, ආරාම හා සිතුවම් විසින් ඒත්තු ගැන්නුවා.

⁣හරිත පැහැ තෙතබරිත වැහි සිතුවමක් මැද ගෙවිලා ගිය දවස් අතරෙ නවාතැන් ගත් ගිමන්හල් - හමු වුණ මිනිස්සුත් ඉතා විශේෂයි. ඒ අතරින් හන්තාන මුදුනේ සහ හන්තානට මුහුණලා තිබූ සුන්දර නවාතැන් සහ සහෘද නිවහනක ගෙවී ගිය දවස්, පේරාදෙණි අවන්හලේ හයිකු සාකච්ඡා වාගෙම අමතක නොවන මතකයක් සහෝදර බ්ලොග්කරුවන්-වෘත්තීය සගයන් සහ මිත්‍රයන් වන නිර්මාණි - කසුන් දෙන්නාගෙ නිවහනට ගිය දවස.

ඒ දෙන්නගෙ කතා පෙට්ටිය සවර්ෂා අපි ඉදිරියෙ සද්ද බද්ද නැතුව චිත්‍ර අදිද්දි අපි බ්ලොග් ගැන කතා කළා. හිටපු බ්ලොග්කාරයො හතර දෙනෙක් තමනුත් වග කියන්න ඕනැ බ්ලොග්වල අභාවය ගැන කතා කරද්දි අපිටම දුකත් නොහිතුණා නෙමේ. හිටපු රජවරු, හිටපු ජනාධිපතිවරු උන්නට හිටපු කවියො කියා ජාතියක් නෑ කියලා සුමින්ද අය්යා කිව්වට මොකද මේ යන විදියට අපිට හිටපු බ්ලොග්කාරයො කීවට වරදක් නෑ කියලා හිතෙනව.

අතීතේම බ්ලොග් පටන්ගත්ත කාලෙ ඒ සංවාදෙත් එක්ක වැහි දැරියට මතක් වුණා. එතකොට උන්දැ යාන්තමට දහය වසරට ගොඩ වුණා විතරයි. බූන්දියට කවියක් දෙකක් ලියාන ඉද්දි බූන්දි බ්ලොගයෙ එක් එක්කෙනාගෙ බ්ලොග්වල⁣ට මංමාවත් තියෙනව දැකල පටන්ගත්තු බ්ලොග් කියවිල්ල අවසන් වුණේ දවල් වරුව සාමානපෙළට පාඩම් කරලා රෑ දෙගොඩහරිය වෙනකං බ්ලොග් කියවන වැහි දැරියක් ඉපැද්දීමෙන්. ඒ කාලෙ පැල් බැදං, බෝඩ් වෙලා කියවපු බ්ලොග් අතරෙ රවී මාමාගෙ නිදහස් සිතුවිලි, සඳරු අය්යාගෙ හිත් අහස, නෙතූගෙ නවකතා බ්ලොග්, අයේෂාගෙ අයිස්ගෙ කොලම, හිතුවක්කාරිගෙ හිත, දිනේෂ් අය්යාගෙ වර්ණ, තනි අලියා, දිලිනි ආරියවංශ අක්කගෙ බ්ලොගය, ජනූගෙ සටහන් විතරක් නෙවෙයි ඒ කාගෙ ලීඩින් බ්ලොගර්ස්ලා එක්කහු වෙලා අමු්නාලු අන්දර මල්දම වාගෙ බ්ලොග් උඩහින්ම තිබ්බ.

ඒ දවස්වල වාගෙ බ්ලොග් අවුරුදු උත්සව, ගෙට්ටු ආදිය නැතත් ආයෙ බ්ලොග් ලියැවිල්ල හරි අප්ඩේට් වෙනවං නං කිය කියා සංවාදෙක පැටලුණු සහෘද බ්ලොග්කාරයො හතර දෙනා ආයෙ අපි තනි තනියෙං හරි ලියන්න ගත්තොත් මොකද කියලා කතා කරගත්තා විසිර යන්න කලින්..

ඉතින් ඒ හන්දා තමා ඕං මේ වැහි බින්දුව වැටුණෙ. ආයෙ කවර කලක වැහි වැටෙයිද නොදැන වුණත් වැහි වැටෙන තැන තාත්තාගෙ වියුණු නවකතාවට අමතරව වැහි දැරිවි ලියන වැහි නිතර වැටේවිය කියා බලාපොරොත්තුවකින් මේ පෝස්ටුව අවසන් කරන්න හිත කියනව!

අලුත් වැස්සක් වහින්න්නට සැරසේ.. සින්දුවත් හිත ඇතුළෙන් වාදනේ වෙනවා.. ඒත් ඒ කාලෙ ලියාපු කියවාපු ආපු ගිය සහෘද වියුණු නෑ හිතවතුන් නැතුව වැස්සක් කොහොම නම් සුන්දර වෙන්නද...?

Thursday, November 24, 2016

43. මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.

Saturday, March 26, 2016

26. පෙම්වත් උදාසන...

ගමට ඉර පායන්නෙ කොළඹට ඉර පායනවට වඩා බොහෝම වෙනස් අන්දමකටයි. ගොඩනැගිලි උඩින් අවලස්සනට කොළඹට පායන ඉරු දෙය්යො මෙහෙට උදා වෙන්නෙ වෙලට උඩින්.. ලා ඉර එළිය රත්තරන් පාටත්, රන් පාටත් අතරමැද වර්ණෙකින් අහස උඩ ඉහිරෙද්දි ගස් මුදුන්වල කොළ පාට බොඳ වී ගෙන යන්නෙ තමන්ගෙ හිස්මුදුන් මතින් වැතිරෙන රත් පැහැයට ඉඩකඩ දෙමින්. ඉරට මඳ දුරක් තියාගෙන කොක්කු පියාඹන අතරෙ මං තනියම වෙල දිහාවට ඇවිදගෙන ගියා..

පෙම්වත් ඇමතුමකට කියාපු වෙලාව...

"මං වෙල අයිනට ආව.."

"තනියම?" ඒ පැත්තෙන් ඇහෙන්නෙ මවිතය මුසු වුණ කටහඬක්..

"ඔව්.. ගෙදරින් තරහ වෙලා තනියම ආවෙ." 

මං කිව්වෙ මුසාවාදයක් බව ඒ කටහඬේ අයිතිකාරයා දන්නව..

"අම්ම අද බබාට සත පනහක් දුන්නෙ නැද්ද..?" 

මගේ අතීත කතන්දරවලින් විනෝදයට පත් වෙන ඒ කටහඬ මතක් කර දෙන්නෙ අතීත සිද්ධියක්. අවුරුදු දෙකහමාරක් තුනක් විතර කාලෙ මං ගෙදරින් තරහ වෙලා ඉස්සරහ දොර ඇරගෙන මිදුලට දුවනවලු. අම්මා මාව වඩාගන්න පිටිපස්සෙන් දුවගෙන එන අතරෙ මග වියදමට සත පනහක් දෙන්නද කියාත් අහනවලු. ඔය සිදුවීම අම්මා හිනා වෙවී මතක් කරන මතකයක්..මාත් කොයි මොහොතක හරි ඒ අතීත මතකය මගෙ වර්තමානයට මතක් කර දීලා තියෙනවා. ඒක නෙව මේ සමච්චල් කරන්නෙ..

"සත පනහක් දුන්නෙ නෑ අනේ.."

"ඔහොම්මම මෙහෙ එන්නකො.. ඔයා සත පනහක් නෙමේ සත පහක්වත් නැතුවයි මං ගාවට එන්න ඕන.."

මං හිනාවෙන්නෙ වෙලට උඩින් ඉරු නැගගෙන එන දිහා බලාගෙන. කොක්කු අහසේ ඉගිල්ලෙනව පේනව. මගෙ හිතත් ඒ එක්ක අහස පුරා ඉගිල්ලීගෙන යනව. පෙම්වත් උදාසන වෙල්යාය උඩින් - පැහෙන ගොයමට ඉහළින් - මගේ හදවත ඉස්මත්තෙන් මනරම් ව පායාගෙන එනව..

ආයේ දින කිහිපයකින් කොළොම්පුරවරේ නපුරු දූවිල්ලත් - වාහන තදබදයත් මැදයි මගෙ ජීවිතේට ඉරු උදා වෙන්නෙ. ඒ අරුණෝදය මෙපමණ මිහිරි බවකින් යුතු නැහැ. පෙම්වත් ව විඳින්නටත් අපහසුයි..

මෙහේ අන්තර්ජාල පහසුකම් නැති නිසා කලින් ම නින්දට යන්න පුළුවන්. කොළඹදි වගේ රෑට රෑ වෙන තුරු සින්දු අහන්න, ඊ පොත් කියවන්න සහ චිත්‍රපටි බලන්න ආදී මෙකී නොකී කාරණාවලට මෙහෙ ඉඩක් නැහැ. කලින් නින්දට යන නිසා ඉරු උදාවත් එක්ක ම ඇහැත් ඇරෙනව..

කොළඹත් මේ වගේ එක යායට විහිදුණු කෙත් යායවල් තියෙනවා නම්.. ඇඟේ ගෑවි ගෑවී දුවගෙන යන පුංචි වහු පැටව් ඉන්නවා නම්.. පාටපෙට්ටියෙවත් නැති අපූරු පාට එක්කහු වෙලා වර්ණ ගැන්විච්ච සමනළ යාළුවෝ ඉන්නව නම්.. මං කල්පනා කළේ අරමුණක් නැතිව ඔහේ ඇවිදගෙන යන ගමන්..

කොළඹදි හරි කළාතුරකිනුයි පාවහන් නැතිව ගමනක් බිමනක් යන්න ඉඩක් ලැබෙන්නෙ. පුංචි කාලෙදි සපත්තු ගළවලා ජනේලෙන් විසි කරපු වැසි දැරියට පාවහන් පැළඳීම කොයි තරම් එපා කරපු අත්දැකීමක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා වැරදිලාවත් මං නෙමේ මේ උදා සංචාරවලදි සෙරෙප්පුවක් කකුල අහලකට ගන්නෙ..  නිරුවත් දෙපාවලට මඩ වතුරත් - තණ පතුත් පෑගෙද්දි දැනෙන සනීපය වචනවලට නගන්න ඇත්තටම අපහසුයි..

"ගහකොළවල, වැව් පතුළෙ, ඇළදොළවල හැම තැනම කවි තියනව. පරිස්සමින් ඇවිදලා කවි  හොයාගන්න.."

කනටත් උරහිසටත් හිර වෙලා තිබුණ දුරකථනයෙන් ගලාගෙන එන කටහඬ ඇහෙන්නෙ වෙන කවරදාටත් වඩා සුන්දර ව..

පෙම්බර ඇමතුම් වුණත් වඩාත් මනරම් වටපිටාවක වඩා සුන්දර ව දැනෙන්න පටන් ගන්නව. බොහෝ වේදයිතයන් නගරයෙදි ඇති සැටියෙන් විඳින්න අපහසුයි..    හෝ ගාන පොකුණෙ ගුරුතුමිය තමන්ගෙ පෙම්වතාට අමතන්නෙ ගහක් උඩ ඉඳන්.. ඒත් සිග්නල් ඇඟෙත් හැපෙන කොළඹදි පිපෙන පෙම් මලකට වඩා ඒ මල් කැඩිල්ල හරි අපූරුයි...

හෙට ඉඳලා ආයෙමත් අර කාස්ටක පොළොවටයි ඉර ඇහැරෙන්නෙ. ඒ බව දැනෙද්දි හිත පිරෙන්නෙ වේදනාවකින්. ඇත්ත.. කොළඹ බොහොම පහසුකම් තියෙනවා. ඒත් මේ මිහිරෙන් අංශුමාත්‍රයක් කොළොම් පුරවරේ ඉරු උදාවක නැහැ..

ඒ දුකත් දරාගෙන ම මං වෙළ අද්දර හිටගත්තා. අපි කැමති වුණත් - අකැමැති වුණත් ජීවිතේට හැම වර්ගෙකම අරුණෝද උදා වෙනව. මනරම් උදා අරුණෝද වගේ ම - නොපහන් අරුණෝදත් අපි එක සේ ජීවිතේට පිළිගත යුතුයි. හෙට උදා වන කොළඹ අරුණ ගැන නොහිතා මං අද මේ පෙම්වත් උදාසන විඳගන්නා අරමුණින් පින්නෙන් නෑවිලා තිබුණ තණපත් යායක් මැද්දෑවෙ ඉඳගත්තා.. 

"ගමේදි තමා ඔයා ඇතුළෙ ඉන්න කවිකාරි කොටහළු වුණේ.."

දුරකථන රැහැන් අතරින් ඒ මොහොතෙ එහෙම කියැවෙනව ඇහුණ...