Tuesday, November 30, 2021

ගුරු දියවර නවකතාව - තෙවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                          තෙවන දියවර


සිසු දරු දැරියන් නික්ම ගිය පසු පාසල් භූමිය පුරා පැතිර පැවතියේ සුනිහඬතාවකි. ඒ දරු දැරියන්ගේ සජීවි කටහඬවල් සමග මුසු වූ සක්‍රිය සුන්දරත්වය මෙන් ම සර්වශබ්දවිහීන නිහඬ සුන්දරත්වය ද ජීවිතයට අවශ්‍ය බව ගඟුල් දැන සිටියේ ය. ඔහු මහත් අවධානයකින් යුතු ව සිය කටයුතුවල නිරත ව සිටින විදුහල්පතිවරයා දෙසත් ලේඛන සැකසීමේ වගකීම ඉතා ඕනෑකමින් ඉටු කරන ගුණවර්ධන මහතා දෙසත් ඒවාට පසන් වතින් සහාය වන තරුණ ලිපිකාරිණිය දෙසත් බලා සිටියේ පහන් හදවතිනි.

නිහඬතාව නිමා කරමින් ඇසුණේ විදුහල්පතිවරයාගේ කරුණාන්විත කටහඬ යි.

නිම්මි මට දෙන්න ළමයො ඔය හයේ පන්ති දෙකේ ප්‍රගති සමාලෝචන ෆයිල් දෙක.”

මෙසේ පවසා විදුහල්පතිවරයා හැරුණේ ගුණවර්ධන මහතා දෙසට ය.

කොහොමද ගුණේ හතේ පන්ති දෙකේ වැඩ.”

තව පොඩි වෙලාවකින් ඉවර කරන්න පුළුවන් වෙයි සර්.”

මේ දෙන්නත් නොකා නොබී වැඩ කරන්න පුරුදු දෙන්නෙක් වගේ” ගඟුල් කියා ගත්තේ තමාට ම ය.

දැන්නං අපේ ගඟුල් සර්ටත් බඩගිනි වෙලා වගේ. මන් අර දෙන්නට ග්‍රවුන්ඩ් එකට යන්න ඉස්සෙල්ලත් කියලයි ගියේ දවල්ට කාලා ඉන්ඩ කියලා. කොහෙද ඒ දෙන්නටත් ඒ වැඩේ ඉවර කරන එක තමා ප්‍රධාන.”

ගඟුල්ගේ සිතිවිලි කියැවූවාක් මෙන් කීවේ විදුහල්පතිවරයා ය.

තමන්ගෙ ප්‍රධානියා වගේ නැතෑ වැඩ කරන අයත්.”

විදුහල්පතිගේ වචන ඇසුණු ගුණවර්ධන මහතා  සිනා සී කීවේ ඒ වචන යි.

සර් මේ ප්‍රගති සමාලෝචන වාර්තා කිව්වෙ....” විදුහල්පතිවරයාගෙන් එසේ විමසුවේ ගඟුල් ය.

ගඟුල්, අපි මේ ඉස්කෝලෙ හැම ළමයෙක් ගැනම වාර්තාවක් තියා ගන්නවා. ඒ, මේ පන්තියෙ අර ළමයට වඩා මේ ළමය හොඳයි කියන මානසිකත්වය ගොඩනගා ගන්නනං නෙමෙයි, ඒ වගේ ම මේ වාර්තා ප්‍රගති වාර්තා වගේ ළමයින්ට දීල ළමයි අතර බෙදීමක් ඇති කරන්නත් නෙමෙයි. කොටින්ම ගඟුල් මන් ඉන්නෙ මේ තරඟකාරි අධ්‍යාපන ක්‍රමයම වෙනස් වෙන්න ඕන කියන මතේ. පවතින තත්ත්ව යටතෙ මේක සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් එහෙම හිතල අධෛර්යවත් වෙන එක නෙමෙයි අපි කරන්න ඕන, පුළුවන් තැනකින් වෙනස පටන් ගන්න එක.”

විදුහල්පතිතුමාගේ මේ වචනත් සමඟ ගඟුල්ගේ සිහියට නැඟුණේ ඒ ආදරණීය සහෘදයාගේ වචන යි. සෞන්දර්යයේ මෙහෙවර පිළිබඳ ව එදා ඔහු අධ්‍යාපනවේදීන් වෙත යොමුකළ ලිපියේ වචනයක් පාසා ගඟුල්ට මතක ය. එය සෞන්දර්යය සම්බන්ධයෙන් පමණක් නොව මුළු මහත් අධ්‍යාපන ක්‍රමය සමග ම ගළපාලිය යුතු ආකාරයේ එකකි.

අනාගත පරපුර වෙත ආලෝකය ලබා දීමේ සත් කාර්යයේදී නිර්මාණශීලී නව මං සොයා ගත යුතු ව තිබේ. එවැනි ගමනක යෙදෙන ගුරුවරුනට හා සිසුනට උපකාර කරන ලෙසටත් ඔවුන් ආරක්ෂා කරන ලෙසටත් සියලු ම අධ්‍යාපනවේදීන්ගෙන් ඉතා ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.”

එහෙත් බොහෝ අධ්‍යාපන බලධාරීන් කෙළේ ඒ නිර්මාණශීලී මිනිසාට උදව් කිරීම නොව ඔහුට බාධා කිරීම ය. අදටත් ඒ අතීතය සිහිපත් කරන විට සිය සොහොයුරා පළමු ව කෝපයට පත් වෙයි. දෙවනු ව සංවේගයට පත් වෙයි. තෙවනු ව කිසිවක් කතා නොකර එතැනින් නික්ම යයි. කෝපය සිය කලණ මිතුරාගේ අගය වටහා නොගත් ඒ අධ්‍යාපන නිලධාරීන් කෙරෙහි ය. සංවේගයට හේතුව මනුෂ්‍ය සමාජයට නොකල්හි අහිමි ව ගියේ කවර නම් විශිෂ්ට මිනිසෙක් ද යන්න අන් බොහෝ දෙනාට වඩා හොඳින් ඔහු දැන සිටීම ය. නික්ම යාමට හේතුව උත්තම මිනිසකු නිසා ඇස උපදින කඳුළ කිසිවකුට ප්‍රදර්ශනය වනු දැකීමට ඔහු තුළ ඇති අකැමැත්ත ය.

ගඟුල් බලා සිටියේ හඳුනාගත් කෙටි කාලසීමාව තුළ නිර්මාණශීලී මිනිසකු ලෙස දැනෙන මේ විදුහල්පතිවරයා දෙස ය.

සර්ගෙ විෂය මොකක් ද සර්” ගඟුල් විමසීය.

මම ගඟුල් උපාධියට කළේ භූගෝලවිද්‍යාව. ඔයා හිතුවෙ අධ්‍යාපන විද්‍යාව කියල ද?”

නෑ සර් මේ අධ්‍යාපන විද්‍යාව උපාධියට පශ්චාත් උපාධියට කරපු අයවත් නොකරන වැඩනෙ සර් මේ කරන්නෙ.”

ඒ ගොල්ලො කරන් නැත්තං අපිවත් කරන්න එපායැ ගඟුල්”

එම කතාවේ අරුත අධ්‍යාපන විද්‍යාව උපාධි පාඨමාලාවක් ලෙස හදාරා පැමිණි අයවත් සිය මෙහෙවර ඉටු නොකරන බව ද? තමා එම පාඨමාලාව හදාරන අවදියේ එහි සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ චින්තක රණවීර නමැති තරුණ කථිකාචාර්යවරයා ප්‍රථම දිනයේදී ම පැවසුවේ වැටුප් වැඩිකොට ගැනීමේ අරමුණින් නොව යහපත් දැක්මක් ඇති ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නව දැනුම උකහා ගනු පිණිස  එය හදාරන ලෙස යි. ඇතැම් ගුරුවරයකුට එම කථිකාචාර්යවරයාගේ වචන ‘බයිලා’ විය.

තවත් කෙනෙකුට ඔහු ‘පිස්සු පොරක් ’ විය. තවත් ගුරු මුවකින් පිටවුණේ මිනිහ වයසට වඩා පැහිලා”යන වචන කිහිපය යි. එහෙත් මුල පටන් ම ඔහුගේ අදහස් අගය කළ ශිෂ්‍ය පිරිසක් ද වූහ. ගඟුල් ද අයත් වූයේ එම පිරිසට යි. පාඨමාලාව පටන් ගෙන කෙටි කලක් ගත වන විට ඔහු මුල දී හෙළා දුටු බොහෝ දෙනා අගය කරන්නන් බවට පත්වූහ. එයට හේතු වූයේ අන් කිසිවක් නොව එම ආචාර්යවරයාගේ ම පැවැත්ම යි. කිසි විටෙකත් ආත්ම වර්ණනයෙහි නොයෙදුණු ඔහු සැමවිට ම වෑයම් කෙළේ පාඨමාලාවට අදාළ ඒ ඒ දේශන පැවැත්වීම සඳහා සුදුසු ආචාර්යවරයා හෝ ආචාර්යවරිය කවර හෝ විශ්වවිද්‍යාලයක සිටියත් ආරාධිත ආචාර්යවරුන් ලෙස ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ය. කිසියම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒ කාට හෝ පැමිණීමට නොහැකි වුවහොත් පමණක් ශිෂ්‍ය ප්‍රජාව හරවා නොයවා හදවතට ම දැනෙන සේ සුදුසු දේශනයක් කිරීමේ හැකියාව ද චින්තක රණවීර කථිකාචාර්යවරයාට  තිබිණි.

සර් අපේ අධ්‍යාපන විද්‍යා පාඨමාලාවෙ සම්බන්ධීකාරක විදිහට වැඩ කළේ තරුණ සර් කෙනෙක්. කලාතුරකින් තමයි ඒ සර් දේශනයක් කළේ. හැබැයි එහෙම ආපු හැම දවසකම අපට අරන් යන්න දෙයක් දුන්න අපේ ඔලුවලට. මට දැන් චින්තක සර්ව මතක් උනේ සර් මේ  කරන ප්‍රගති සමාලෝචන වැඩේ නිසයි. දවසක් ඒ සර්, ක්‍රිෂ්ණමූර්ති කියන චින්තකයා  ඉස්කෝලවල කරන ප්‍රගති වාර්තා ගැන කියල තියෙන, එතෙක් අපි අහල තිබ්බෙ නැති වෙනස් කතාවක් කිව්වා.”

මන් කැමතියි ගඟුල් ඒක අහන්න. මම ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ පොතක් දෙකක් නං කියවල තියෙනව. ඔයා කියන කතාව නං අනිවාරෙන්ම මං අහපු නැති එකක් වෙන්න ඕනෙ.”

සර් ක්‍රිෂ්ණමූර්තිතුමා කියනව ශිෂ්‍යයන්ට ලකුණු දෙන එක ශිෂ්‍ය බුද්ධිය මනින හොඳ මිනුම් දණ්ඩක් නෙමෙයි කියලා. ඒ වගේම එතුමා කියනව මේක නිසා වෙන්නෙ ශිෂ්‍යයන්ගෙ අභිමානය පිරිහෙන එක කියලා. ඒත් ගුරුවරයා ශිෂ්‍ය ප්‍රගතිය ගැන වාර්තාවක් තියා ගන්න එකට එතුමා විරුද්ධ නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා කියන්නෙ සර් මේ ප්‍රගති වාර්තාව තියා ගන්න කියල ශිෂ්‍යයන්ව හඳුනගන්න. ඒ වගේම එතුමා කියනව ශිෂ්‍යයන්ව සන්සන්දනය කිරීමේ අපේක්ෂාවක් නැතිව තියා ගන්න ප්‍රගති වාර්තාවකින් පුළුවන් කියලා ශිෂ්‍යයන්ට උදව් වෙන්න ඕන තැන හඳුනගන්න කියලා.”

ඒක හරි වටින කතාවක්නෙ ගඟුල්. මට ඕනෙත් මේ දරුවන්ට උදව් කරන්න ඕන තැන් අඳුන ගන්න. ඒකටයි මේ ඉස්කෝලෙ හැම ළමයෙක් ගැනම මෙහෙම වාර්තාවක් තියා ගන්න හිතුවෙ. හැබැයි ඔයා කියනකං ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ මේ තරං වටින කියමනක් නං මන් දැනං හිටියෙ නැහැ.”

මේ කතා ගැන දන්න ගොඩක් දෙනා තමන්ට අවස්ථාව ලැබිලත් ඒව ක්‍රියාත්මක කරන්නෙ නැහැ සර්. සර් කතාව නොදැන ක්‍රියාව කරනව. මට හරි සතුටුයි සර් වගේ කෙනෙක් යටතෙ වැඩ කරන්න ලැබුණට.”

ගඟුල් ඒ වචන කිහිපය කීවේ ඉමහත් හැඟීමකිනි.

මගෙ යටතෙ නෙමෙයි ගඟුල් අපි එකට වැඩ කරමු කියලා කියමු.”

සර් අටේ පන්තිවල ප්‍රගති වාර්තා දෙක හැදුවා. මන් සර් නවයෙ ෆයිල් ටික හදන්න ගන්න ද ?”

එසේ ඇසුවේ එතැනට පැමිණි නිම්මී ය.

අදට ඇති ළමයො. තේ ගෙනාවට පස්සෙ තේ බීල ඔය දරුව ගෙදර යන්න. තවම දවල්ට කාලත් නැහැනෙ.”

ඇයි සර් අර සර් කියපු කතාව අහන්ඩ එපායැ භයානක ගුරුවරයා ගැන.”

තුන් දෙනාම හරිද එහෙනං, තේ එනකං මන් කියන්නං ඒක.”

විදුහල්පතිවරයා කතාව ඇරඹියේ ය.

ගඟුල් මගෙ යාලුවෙක් ඉන්නව දිනිල් කියල, ගුරුජීවිතය ගැනත් පොත් කීපයක් ම ලියපු. එයත් උපාධියට සිංහල කරපු කෙනෙක්, කොළඹ විශ්වවිද්‍යාලෙ. එයා ලංකාවෙ ඉස්කෝල ගණනාවක උගන්නල පස්සෙ ගුරු උපදේශක කෙනෙක් උනා. සමහර විට ගඟුල්ට කියවන්න ලැබිලත් ඇති එයාගෙ පොතක් දෙකක් වත්.”

මන් හිතන්නෙ සර් මේ කියන්නෙ දිනිල් ලියනගේ මහත්තය ගැන වෙන්න ඕන. එයා ගුරුජීවිතය ගැන ලියපු ‘වනමල් සුවඳ’, ‘සපත්තු පාලම’, ‘තුරුසෙවණ’ කියන පොත් මන් හරි ආසාවෙන් කියෙව්ව. ඒව කියෙව්වම ගුරුවරයෙක් වෙලා ඈත ඉස්කෝලෙක උගන්නන්න යන්න හිතෙනවා.”

හරි සන්තෝසයි ඒක ඇහැව්වම. මම ගඟුල් ඔය තුරුසෙවණ එළි දකින උත්සවේටත් ගියා. ඒක තිබුණෙ තංගල්ලෙ කොටවාය ඉස්කෝලෙ. හරි මිස්ට ගුණවර්ධන, මට හිතෙන්නෙම මන් හොය හොය හිටිය භයානක ගුරුවරයා ලැබුණ කියලම තමයි.”

විදුහල්පතිතුමා එසේ කීවේ ගඟුල් දෙස බලා යළිත් සිනාසෙමිනි.

ගඟුල්ට තවමත් මේ විදුහල්පතිතුමාගේ භයානක ගුරු කතාව අපභ්‍රංසයකි.

ඉතින් සර් කියන්ඩකො මමත් කැමතියි කවුද මේ භයානක ගුරුවරය කියල දැනගන්න.”

දිනිල් ලංකාවෙ ඉස්කෝල ගණනාවක උගන්නපු ගුරුවරයෙක්. එයා  ගුරු ජීවිතයෙ මිහිරි අමිහිරි අද්දැකීම් දෙක ම එක විදිහට ලබපු කෙනෙක්. දිනිල්ට ලොකු උණක් තිබුණ ළමයින් වෙනුවෙන් වැඩ කරන්න. එයා ඒවා කළේ අනික් ගුරුවරුන්ගෙන් කැපිල පේන්නවත් වෙනත් ප්‍රතිලාභ බලාගෙනත් නෙමෙයි. මේක තේරුම් ගත්ත විදුහල්පතිවරු, ගුරුවරු දිනිල්ට උදව් කළා. තේරුම් නොගත්ත ඒ වගේම තේරුම් ගන්න කිසිම ඕනකමක් නොතිබිච්ච අය එයාට බාධා කළා. එක ඉස්කෝලෙකදි දිනිල් මූණ දීපු අද්දැකීමක් ගැන යි මන් මේ කියන්නෙ.”

විදුහල්පතිතුමා මඳ වේලාවක් නිහඬ ව හිඳ යළි කතා කිරීමට පටන් ගත්තේ ය.

දිනිල් එයා හිටපු එක ඉස්කෝලෙක සාහිත්‍ය සංගමයක් පටන් ගත්තා. ඊට පස්සෙ ළමයි එක්ක බිත්ති සඟරාවකුත් පටන් ගත්තා. සාමාන්‍යයෙන් නොලියන ළමයිනුත් මේකට ලියන්න ගත්තා. ඒ විතරක් නෙමේ මේ වැඩේ එක හිතින් ම අනුමත කරපු ගුරුවරු ගුරුවරියො කීපදෙනෙකුත් මේ බිත්ති සඟරාවට ලියන්න ගත්ත. වැඩේ පත්තු වෙන්න පටන් ගත්තෙ ඔන්න ඔතනින්. විශ්වවිද්‍යාලෙදි හරි ගුරුවිද්‍යාලෙදි හරි විභාගෙ පාස් වෙන්න විතරක් ලියල පුරුදු  ගුරු කණ්ඩායමට මේ වැඩේ විතරක් නෙමෙයි මේකට ලියන ළමයිනුත් ලියන ගුරුවරුනුත් පේන්න බැරිව ගියා. ඒ ගොල්ල මොකද කළේ විදුහල්පතිතුමා ළඟට ගිහිල්ල කිව්වා දිනිල් සර් දැන් ළමයිනුයි ගුරු කණ්ඩායමකුයි අරගෙන අමුතු නැටුමක් නටන්නෙ, කලාපෙ කට්ටියත් අන්දල අන්තිමේදි මිනිහ මෙතන විදුහල්පති වෙලා තමයි නවතින්නෙ කියලා.”

ඉතින් සර් ඊට පස්සෙ මොකද උනේ.”

 දැන් කතාව අසා ගැනීමට ගඟුල්ටත් වඩා හදිසි නිම්මිට ය.

ඒ විදුහල්පතිතුමා මෙතෙන්දි හරියට කලබල උනා. බයත් උනා. එදා ඉස්කෝලෙ ඇරිච්ච ගමන් ගුරු මණ්ඩලේ විශේෂ රැස්වීමකුත් කැඳෙව්වා. අර ගුරු කල්ලිය ඇරුණම බහුතරයක් ගුරුවරුන්ට හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවා  මොකක් ද මේ එක පාරටම කැඳවපු රැස්වීමෙ අරමුණ කියලා.”

ඉතින් ඉතින්”

දැන් කුතුහලය ගුණවර්ධන මහතාට ය.

විදුහල්පතිතුමා මුලින්ම මුළු ගුරු මණ්ඩලේම දිහාට ගැඹුරු බැල්මක් දාලා කිව්වලු මේ ඉස්කෝලෙට එක විදුහල්පති කෙනෙක් හිටියහම ඇති කියලා. ඊට පස්සෙ කිව්වලු ගුරුවරුන් හැටියට අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන දරුවන්ගෙ අධ්‍යාපනය දියුණු කිරීම මිසක් වෙන අනං මනං නෙමේ කියලා. ඒක නිසා මේ ඉස්කෝලෙට මීට පස්සෙ සාහිත්‍ය සංගං අර සංගං මේ සංගං අවශ්‍ය නැහැ කියලත් කිව්වලු. ඒ වගේම වර්තමානෙ පාසලේ උද්ගත වෙලා තියෙන තත්වෙ සැලකිල්ලට අරගෙන මේ වෙලාවෙ තමන්ට ක්‍රීඩා උත්සවය පවත්තන්නත් ඉඩ දෙන්න බෑ කිව්වලු. ඒත් තමන් ප්‍රජාතන්ත්‍රවාදි මිනිහෙක් හින්දා කැමතියි කිව්වලු ගුරු මණ්ඩලේ අදහසත් දැනගන්න. ඒත් අමතක කරන්න එපා කිව්වලු පාසලක විනය පවත්වා ගෙන යාමේ වගකීම තියෙන්නෙත් විදුහල්පතිගෙ හිස මත බව.”

ඉතින් සර් ඊට පස්සෙ මොකද උනේ.”

ඊට පස්සෙද? ඒක තමයි ලස්සන වැඩේ. පටස් ගාලා නැගිට්ටලු සහකාර විදුහල්පතිතුමා. කිව්වලු මෙහෙම.”

කවදත් අපට නිවැරදි නායකත්වය දෙන මේ පාසලේ දරුවන්ගෙ කටයුතු දිහා ආදරබර පියෙකු මෙන් බලා සිටින අපගේ ගෞරවණීය විදුහල්පතිතුමනි, අපි කාටවත් බැහැ මෙහෙම කරන්න, එහෙම කරන්න කරන්න කියලා ඔබතුමාට උපදෙස් දෙන්න. ඒත් ඔබතුමාට පුළුවන් මේ ආචාර්ය මණ්ඩලය කටයුතු කළ යුත්තෙ මෙහෙමයි කියලා කියන්න. ඒත් අරෙහෙමත් කරන්න පුළුවන් කියල හිතන කීප දෙනෙක් අපි අතරම ඉන්න බව අපි දන්නවා. එහෙම අයට අනුකම්පා කරනව මිසක් වෙන කරන්න දෙයක් නැහැ.අපි වැදගත් කොට සලකන්නෙ චක්‍රලේඛ මිසක් මේ එක එක්කෙනා කියන දේවල් නෙමෙයි. ඔබතුමා යම් තීරණයක් ගත්ත ද අපි කවුරුත් ඒකට එකගයි කියන එක තමයි අපට දැන් කියන්න තියෙන්නෙ. මෙහෙම කියල සහකාර විදුහල්පති ඉඳගත්තලු.”

එතකොටම විදුහල්පතිතුමා නැගිටල මෙහෙම කිව්වලු.

කවදත් තමන්ගේ වගකීම සහ සේවා වපසරිය හොඳින් තේරුම් ගෙන කටයුතු කරන සහකාර විදුහල්පතිතුමාට ස්තුති කරන අතරම මං කැමතියි මේ ගැන කාන්තා ආචාර්ය මණ්ඩලයේ අදහසත් දැන ගන්න.”

ඉතින් සර් ඊට පස්සෙ.”

විදුහල්පතිතුමා කරන ඕන වැඩක් අනුමත කරන කවුරු හරි මිස් කෙනෙක් කතා කරන්න ඇති.”

ගුණවර්ධන මහතා කීය.

නිම්මිට හිතෙන්නෙ මොකක් ද?”

ලොකු සර් මට නං හිතෙන්නෙ අපේ රේණු මිස් වගේ තරුණ මිස් කෙනෙක් ඒකට විරුද්ධව කරුණු කියාගෙන කියාගෙන යන්න ඇති මැෂිම වගේ.”

රේණු හිටියනං ආයි කතාවක් නෑ ඒක තමයි වෙන්නෙ. ගඟුල් මොකද කියන්නෙ.”

විදුහල්පතිතුමා ඇසුවේ නිහඬ ව මේ කතාවට සවන් දී සිටින ගඟුල්ගෙනි.

මට නං හිතෙන්නෙ සර් ඊළඟට වයසක මැඩම් කෙනෙක් කතා කරන්න ඇති කියලයි.”

හරියටම හරි ගඟුල් හරියටම හරි. ඊළඟට කතා කරලා තියෙන්නෙ එහෙම මැඩම් කෙනෙක් තමයි.”

ඒ කියන්නෙ සර් අපේ සිල්වා මැඩම් වගේ කෙනෙක් ද?” ඒ නිම්මි ය. 

අපි එහෙම හිතමුකො.”

ඒ මැඩම් කියලා තියෙන්නෙ මෙහෙමයි.”

අපේ ගුරුමණ්ඩලේම සමහරක් ප්‍රශ්න ඇති කරද්දිත් ඒ ඔක්කොමත් දරාගෙන මේ ගරු විදුහල්පතිතුමා කටයුතු කරන ආකාරය ඇත්තටම ප්‍රශංසනීයයි. එතුමා වෙනත් ප්‍රදේශයකින් ඇවිල්ලා මේ ගමේ වැදගත්ම පවුලකින් විවාහ වෙලා අපේම කෙනෙක් වෙලයි වැඩ කරන්නෙ. වෙන ඉස්කෝලෙකට ගිහිල්ල කිසිම කරදරයකින් තොරව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දිත් මෙහෙ ඉඳගෙන මේ කරන කැපවීම අගය කරන්න මට නං වචන නෑ. ඒ නිසා අපේ විදුහල්පතිතුමාගෙ -  අපේ නායකයගෙ වචනය අවසන් වචනය හැටියට අරගෙන කටයුතු කරන එක තමයි සුදුසුම දේ මගෙ හිතේ.”

මෙහෙම කියලා අර ටීචර් ඉඳගත්ත විතරයි ආයෙ විදුහල්පතිතුමා කතා කරන්න ගත්තලු.

මන් හිතන්නෙ කතා කරන්න ඕන හැම පැත්තකින්ම අපි කතාකළා. පිරිමි ගුරුවරුන් වෙනුවෙන් අපේ සහකාර විදුහල්පතිතුමා වටිනා අදහස් දැක්වීමක් කළා. ඒ වගේම කාන්තා පක්ෂය නියෝජනය කරමින් කතා කරපු මේ පාසලේ පැරණිම ඒ වගේම වැඩිහිටි ගුරුවරියක්  මෙහෙම වෙලාවට පරිණත කෙනෙක් වැඩ කරන්නෙ සහ වැඩ කළ යුත්තෙ කොහොමද කියන එක ආදර්ශයෙන් පෙන්නලා  දුන්නා. ඒක නිසා මම ඔබ තමුන්නාන්සේලාගේ වටිනා කාලෙ තවත් ගන්නෙ නැතිව අද අපි ගත්ත තීරණ හෙට ඉඳලම ක්‍රියාත්මක කරනවා. එහෙම නම් මේ රැස්වීමෙ කටයුතු මෙතෙකින් අව.... ”

ඒ කියන්නෙ සර් එයා එතනින්ම වැඩේ ක්ලෝස් කළා ද?”

මෙසේ ඇසුවේ ගුණවර්ධන මහතා ය.

ඒකට තමයි හදලා තියෙන්නෙ. කොහෙද කතා කරන්න හිතල නැගිටින්න හදපු තමන්ගෙ දෙපැත්තෙ හිටපු දිනිල්වයි ක්‍රීඩා සර්වයි අත් දෙක දෙපැත්තට කරල නවත්තල සංගීත සර් පටන් අරන් කතා කරන්න.”

නියමයි නියමයි”

 එක්වරම එසේ කියැවුණේ නිම්මිට ය. අනතුරුව ඈ තමාගෙන් මහත් වරදක් වූ නියායෙන් මුවට අත තබා ගත්තා ය.

විදුහල්පතිතුමාට සිනහ ගියේ ය.

ඈ නිම්මි, මටත් ඔහොම වැඩක් උනොත් උඹ නියමයි නියමයි කියයි නේද?”

අනේ නෑ ලොකු සර්. සර්ට කවුද එහෙම කියන්නෙ. සර් ඒ ලොකු සර් නෙමෙයිනෙ. අනික අපේ ලොකු සර් ඒ ජාතියෙ වැඩ කරන කෙනෙකුත් නෙමෙයිනෙ.”

ගඟුල් බලා සිටියේ මේ විදුහල්පතිවරයා ළඟ සේවය කරන අය මහත් සතුටකින් වැඩ  කරන ආකාරය දෙස යි. මේ ප්‍රධානියා නම් තමා ළඟ සේවය කරන්නන් සතුටින් තැබීමට දන්නා අපූරු මිනිසෙකි. මේ මොහොතේත් ඔහුට සිහිපත් වූයේ මුතුකුඩ විදුහල්පතිතුමා ය.

ලොකු සර් කොහොම ද ඒ දිනිල් සර් කියපු හැම දෙයක්ම මතක තියාගෙන ඉන්නෙ.”

තරුණිය විමසුවා ය.

මතක තියන් ඉන්නව නෙමෙයි බන්. මතක හිටිනවා. හොඳ මිනිහෙක් කරන කතාවක විතරක් නෙමෙයි එහෙම මිනිස්සුන්ගෙ කඳුලෙ හිනාවෙ පවා ලොකු අර්ථයක් තියෙනවා.”

ගඟුල් ඉතා සාවධාන ව මේ කෙරෙන කතාබහට සවන් දුන්නේ ය.

මේ අතර ආපනශාලාවට ගිය පියසේන පෙරළා පැමිණියේ කෙසෙල්, කැවිලි සහිත තේ බන්දේසියක් රැගෙන ය. මේ විදුහල්පතිවරයාට ඇත්තේ අමුතු වැඩ ය. ඔහු පළමු ව කෙළේ පියසේනගේ පංගුව වෙන් කිරීම ය. දෙවනු ව නිම්මිට ය. අනතුරුව සිය අතින් ම ගඟුල්ටත් ගුණවර්ධන මහතාටත්  සංග්‍රහ කොට අවසන සිය තේ කෝප්පය අතට ගත්තේ ය.

මන් කොතන ද බන් කතාව නතර කළේ?”

ඔහු ඇසුවේ නිම්මිගෙනි.

අර සර් හොඳ මිනිස්සුන්ගෙ හිනාවෙයි කඳුලෙයි දෙකේ ම ලොකු අර්ථයක් තියෙනව කියපු තැනින්නෙ.”

ඒක නෙමෙයි බන් අර කතාවෙ.”

සර් කතාව නතර කළේ සංගීත සර් කතා කරන්න නැගිට්ටා කියන තැනින්.”

ඒ ගඟුල් ය.

ඒ කතාව පටන් අරන් තිබුණෙ මෙහෙමයි...අපේ ගරු විදුහල්පතිතුමා කිව්වා එතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් කියලා. ඒක නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදිකම තවදුරටත් තහවුරු කිරීම අපෙත් වගකීමක්. ඔබතුමා කිව්ව එක විදුහල්පති කෙනෙක් හිටියම ඇති කියලා. ඔය කියනකං අපි දැනං හිටියෙ නෑ තව විදුහල්පති කෙනෙක් ඇවිල්ල ඉන්නව කියලා. ගුරුවරුන් හැටියට අපටත් ඕන දරුවන්ගෙ අධ්‍යාපනේ දියුණු කරන්න තමයි. ඒ වගේම මෙතන පිරිසක් අනං මනං කරනව කිව්ව. මොනවද ඒ අනං මනං. කවුද ඒවා කරන්නෙ. ඒ වගේම ඔබතුමා කිව්ව සාහිත්‍ය සංගමයක් අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම අපි දැනගන්ඩ කැමතියි අර සංගං මේ සංගං කියන්නෙ මොනවද කියලා. ඔබතුමා වහෙන් ඔරෝ ක්‍රමයට නෙමෙයි ඔහෙන් වරෝ ක්‍රමයට කියන්න තියෙන දේ පැහැදිලිව කියන්න.

මොකක්ද මේ පාසලේ අලුතින් උද්ගත වෙලා තියෙන තත්වෙ. ඒ ගැනත් අපි කැමතියි දැනගන්ඩ.

ක්‍රීඩා උත්සවය පවත්තන්න අනුමැතිය දුන්නෙ ඔබතුමා. දැන් ඒවයෙ සංවිධාන වැඩ කරල කලාප අධ්‍යක්ෂතුමාට හිටන් දැනුං දීල ඉවරයි. පහුගිය සති අන්තවල තමන්ගෙ දරුවන් බලන්න ගමටවත් යන්නෙ නැතිව මේ දරුවන්ව සංවිධානය කරගෙන මේ වැඩවලට ක්‍රීඩා සර්  මහන්සි වෙච්ච හැටි අපි දැක්ක. ක්‍රීඩා සර් නොගියත්, මේක නැවත්තුවොත් මම යනව අධ්‍යක්ෂතුමා හම්බ වෙලා මේ අවනඩුව කියන්න.

 ඉස්කෝලෙක විනය පවත්තන් යන එක විදුහල්පතිතුමාගෙ විතරක් නෙමෙයි, අපි කාගෙත් සාමූහික වගකීමක්. ඒ වගෙම විනය තියෙන්න ඕනෙ මේ දරුවන්ට විතරක් නෙමෙයි. ඒක අපටත් අදාළයි. පහුගිය මාසෙ ගුරුවරයෙක් සම්බන්ධයෙන් ලොකු විනය ප්‍රශ්නයක් මතු උනා. ඒකට මේ වෙනකං ඔබතුමා ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. ඒ අර ඉස්සෙල්ල කතාකරපු මැඩම් කියපු මේ ගමේ වැදගත්ම පවුලට ඒ සර්ගෙ ඥාති සම්බන්ධයක් තියෙන නිසාද? ඒ වගෙම මම කියන්න ඕන මේ හැම දරුවෙක්ගෙම පවුල අපිට වැදගත් කියලා.

සහකාර විදුහල්පතිතුමා කිව්ව ඔබතුමා යම් තීරණයක් ගත්තද අපි කවුරුත් ඒකට එකඟයි කියලා. එතුමා කොහොමද එහෙම කියන්නෙ. කවුරු මොන තීරණ ගත්තත් අපි එකඟ වෙන්න ඕන ඒක නිවැරදි තීරණයක් නං විතරයි. මොකක්ද ඔබතුමා ගත්ත තීරණ. සාහිත්‍ය සංගමය විසුරුවා හැරීමයි ක්‍රීඩා උත්සවය නතර කිරීමයි. ඒකට කවුරු කැමති උනත් මන් විරුද්ධයි. ඔය තීරණ ක්‍රියාත්මක කළොත් ඒකට එරෙහිව කටයුතු කරන බවත් පැහැදිලිවම කියා හිටින්න මන් කැමතියි. මට සවන් දුන් නුදුන් ඔබතුමන්ලා ඔබතුමියන් සියලු දෙනාටත් ඉතාමත්ම ස්තුතියි.”

නියම කතාව සර්.” ඒ නිම්මි ය.

ඇත්ත නියම කතාව. එතනින් වැඩේ ඉවර නැහැ. ඊට පස්සෙ නැගිටලා තියෙන්නෙ තරුණ ගුරුවරියක්. දිනිල් කියපු හැටියට ඩාන්සින් මිස්. එයා කිව්වලු මම නැගිට්ටෙ දිගකතාවක් කරන්න නං නෙමේ. මට කියාගන්න ඕන වෙලා තිබිච්ච, ඒත් කියාගන්න ඕන දේවල් ටික නුවන් සර් පැහැදිලිව කිව්වා. ඒ කරුණු සේරම කාන්තා පරපුර නියෝජනය කරන ගුරුවරියක් හැටියට අනුමත කරනවා. මන් ඒක නොකළොත් මගෙම හෘදය සාක්ෂිය මට කවදාවත් සමාව දෙන එකක් නැහැ. නැත්තං අද රැස්වීමෙ ගුරුවරියන්ගෙ අදහස හැටියට යන්නෙ අපේ වැලිකල මැඩම් කියපු දේවල් විතරයි. අපේ පාසලේ වැඩිහිටි ගුරුවරියකට දක්වන ගෞරවය පළ කරමින් එතුමිය පළකළ අදහස්වලට අප එකඟ නොවන බව කරුණාවෙන් දන්වනවා. ඒ වගේම අපේ ගරු විදුහල්පතිතුමාට නොව එතුමා අද දවසේ ගත් තීරණ දෙකට කිසිසේත් එකඟ නොවන බව ද ගෞරවයෙන් දන්වනවා, ඒ එතුමා එම තීරණ වෙනස් කරනු ඇතැයි යන බලවත් විශ්වාසයෙන් යුතුවයි. ඔබ සියලුම දෙනාට ස්තුතියි.”

අපේ රේණු මිස්ගෙ ජාතියෙ මිස් කෙනෙක් නේද ලොකු සර්.”

මේ කතාවට මහත් ඕනෑකමකින් සවන් දී සිටි නිම්මි ඇසුවා ය.

ඊළඟට තමයි ගඟුල් මේ කතාවෙ කූඨ ප්‍රාප්තිය එන්නෙ. දිනිල් කිව්ව විදුහල්පතිතුමා ටිකක් වෙලා වික්ෂිප්තව උන්නලු. ඊට පස්සෙ කිව්වලු අද ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියලා. ඒත් ඒ කාටවත් බයකට නොවන බවත් මේ ගුරු මණ්ඩලය හොඳින් දැනගන්න කිව්වලු. ඊළඟට තමයි මෙයා ලස්සනම කතාව කියල තියෙන්නෙ. ඒක මට ඇට් කරලම පෙන්නුව දිනිල්ගෙ තුරුසෙවණ දොරට වඩින දවසෙ ඇවිල්ල හිටපු අර සංගීත සර්.”

ගඟුල් දෙස මඳ වේලාවක් බලා සිටි විදුහල්පතිවරයා සිනාසී කතාව අවසන් කෙළේ මෙම සිදුවීමට සම්බන්ධ විදුහල්පතිවරයා එදා පැවසූ බව කියන වචන පුනරුච්චාරණය කරමිනි.

ඕනෑම ඉස්කෝලෙක ගුරුමණ්ඩලේක භයානක මිනිස්සු කීපදෙනෙක් ඉන්නව. ඒ අතර අතිභයානක මිනිස්සු තුන් දෙනෙක් ඉන්නව. ඒ තමයි සිංහල ගුරුවරයා, ක්‍රීඩා ගුරුවරයා ඒ වගේම සෞන්දර්ය ගුරුවරයා. මන් මගෙ ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් ඉල්ලා හිටින්නෙ ඒ අයගෙන් පරිස්සං වෙලා වැඩ කරන හැටියටයි.”

ඒක මහ පුදුම ප්‍රකාශයක්නෙ සර්.”

එසේ පැවසුවේ ගුණවර්ධන මහතා ය.

පුදුම විතරක් නෙමෙයි ඓතිහාසික ප්‍රකාශයක්. මේ ලෝක ඉතිහාසේ ඔහොම කතාවක් කියපු කිසිම විදුහල්පතිවරයෙක් නැතුව ඇති.”

ඔය තරං භයානකද සර් ඔය විෂය තුන උගන්වන ගුරුවරු.”

ගඟුල් ඇසුවේ සිනාසෙමිනි.

මහ මෝඩ මනුස්සයෙක් ඒ විදුහල්පති. ආශිර්වාද කරල තියා ගන්න ඕන මිනිස්සුත් එක්ක ගැටුණා. ඇත්තටම පරිස්සං වෙන්න ඕන අයව ළඟට ගත්ත. පස්සෙ ළඟම හිටපු අයම මේ විදුහල්පතිතුමාව අමාරුවෙ දැම්මා. ඒ වෙලාවෙ එයාව තනි කරන්නෙ නැතුව උදව් කරලා තියෙන්නෙ අර භයානක ගුරු කණ්ඩායමම තමයි. ඒ විතරක් නෙමෙයි ගඟුල්, මට එදා කොටවායෙදි ඒ සංගීත සර්, ක්‍රීඩා සර්, නැටුම් මිස් ඔය කට්ටියම හම්බ උනා. දිනිල් වගේම හරි සුන්දර මිනිස්සු. දිනිල් විශ්‍රාම ගියත් අර තුන් දෙනාට තව කාලයක් සේවය කරන්න තියෙනවා. දැන් ඒ ගොල්ලො තම තමන්ගෙ ගම්පළාත්වලට කිට්ටු ඉස්කෝලවල උගන්නනව. මන් ඒ තුන්දෙනාටම කිව්ව කවදා හරි ආයෙත් ඈත ඉස්කෝලෙකට යන්න ආසාවක් ආවොත් වෙන කොහෙවත් යන්නැතිව මේ නාගොල්ලගමට එන්න කියලා.”

මටත් ආසයි සර් ඒ වගෙ මිනිස්සු දැකලා කතා කරන්න. මොකද ඒ අත්දැකීම් අපේ ගුරු ජීවිතයටත් එළියක්.”        

එසේ කීවේ ගඟුල් ය.

ඒක ගඟුල් ලේසියෙන්ම  කරන්න පුළුවන් වැඩක්. අපට තියෙන්නෙ ඉස්කෝලෙ විශේෂ වැඩක් තියෙන වෙලාවක ඒ අය ගෙන්නන එකනෙ.”

එහෙනං ලොකු සර් මන් දැන් ගිහිල්ල හෙට උදේ එන්නං”

කොහොමද ගඟුල් දැන් නවාතැන් එහෙම”

සර් අපේ අය්යත් එක්ක සෞන්දර්යෙ එකට ඉගෙන ගත්ත යාලුවෙක් ඉන්නව මිරිහන්පිටිගම. මට මෙහෙ මූලික වැඩ ඉවර වෙලා කෝල් එකක් දෙන්න කිව්වා. එතකොට ඒ අය්ය එන්නං කිව්ව ඉස්කෝලෙ ළඟට මාව ගන්න.”

එහෙනං සර් මං ගිහිල්ල එන්නම්.”

ගඟුල් විදුහල්පතිතුමාට  වැඳ ආචාර කොට සමුගත්තේ ගුණවර්ධන මහතා සහ නිම්මි දෙසට හැරී මෙසේ පවසමිනි.

අපි හෙට හම්බ වෙමු ගුණවර්ධන සර්. මන් ගිහිල්ල එන්නං නිම්මි.”

කාර්යාලයෙන් පිට ව එද්දීත් ගඟුල්ට සිහිපත් වූයේ ඒ ආදරණීය සහෘදයා  යි. ඔහු නම් සුවඳ මලකි; පබසර සඳකි; සෙවණ දුන් රුකකි. ඔහු කෙසේ නම් අමතක කළ හැකි ද?

       “මලක් සේ ඔබ පියකරුයි - පර වුව ද සුවඳේ          මතකය යි

        සඳක් සේ ලොව එළි කරයි - බැස ගිය ද ආලෝකය    රැඳෙයි

        ගසක් සේ දුන් සෙවණ සිහි වී - ගසක් වන්නට  මට    සිතෙයි

        අනේ සොහොයුර ඉන්නවාටත් - වඩා වැඩියෙන් ඔබ දැනෙයි”

Saturday, November 20, 2021

සිහිල් සංවාද දිය උල්!

අද සුමින්ද කිත්සිරි ගුණරත්න, ඔහුම කියාගන්නා විදියට නම් 'හිටපු කවියාගේ' කව් විවරණිකාවකට සම්බන්ධ වුණා. ඒත් ඔහුගේ මනරම් විවරණ මැද ගෙවී ගිය අඩ හෝරාවෙදි මොහොතකටවත් ඔහු 'හිටපු කිවියරෙක්' කියා නම් දැනුණෙ නෑ.


ඔහු වැඩසටහනට සම්බන්ධ වී උන්නු හැම කෙනෙක් තුළම පාහේ සැංගී තිබුණ කවිකම් මතු කොටගත්තා. ගලන සිහිල් දිය පාරවල් වන් මිනිස්සු ඒ වගෙයි. ඔවුන් යන යන තැන අලුත් උල්පත් මතු වෙනවා.


සකු පන්තිය නිමා වෙලා වැඩසටහනේ ඉතිරි වී තිබූ අඩ හෝරාවට සම්බන්ධ වී ඉන්න විට වැහි දැරියට ඈත අතීතයෙ ඔහු වන් සිහිල් දියපාරවල් බඳු මිනිස්සු ගැහැණු නිතර අපේ දිහා ඇවිත් ගිය සැන්දෑවරු සිහිපත් වුණා. අපි එදවස හුරු වී උන්නා මනරම්, සංසුන් සාහිත්‍ය සංවාදවල යෙදෙන්න. 


එවන් මිනිස්සු, එවන් සංවාද පිළිබඳ මතකයන් පවා මොහොතකට ජීවිතේ සුවපහසු කරනවා. තරඟයෙන් ඈත් වී ඉන්න උත්සාහ කරද්දීත් බලහත්කාරෙන් ධාවන පථයකට ඇදගන්න ටොක්සික් කාලෙකටත්, නීරස ලොක්ඩවුන් සමයකටත් පස්සේ වැහිදැරියට හුරු වී තිබුණ ඒ පුරුදු ජීවිතේ, ඒ සංවාද කොතෙක් නම් මඟ හැරිලාද කියා දැනෙනවා. 


කවියක, සංවාදෙක, සත් බසක ඇසුර ලබමින් යෙදෙන සංසුන් ගමනක් කොපමණ ලස්සනද.. ඒ මනරම් සංවාදයට මොහොතකට සම්බන්ධ වන්නට ලැබුණු සැනසිලිදායක සැහැල්ලුවෙන් පස්සෙ කලබල හෙට දවසට අඩිය තියන්න කලින් වැහි දැරියට එහෙම හිතෙනවා.

Monday, November 15, 2021

ගුරු දියවර නවකතාව - දෙවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                          


  
                            දෙවන දියවර 


“පුතා, ලොකු සර් දැන් ඔෆිස්සෙකේ ඉන්නව ද?” ගඟුල් තමා ඉදිරියට එමින් සිටි ශිෂ්‍යයකුගෙන් විමසුවේ ය. ඒ හයවන හෝ හත්වන වසරේ පමණ විය හැකි දරුවෙකි. 

“මහත්තයා ඔතනින් හැරිලා අර දෙපැත්තෙ සල් ගස් තියෙන පාරෙන් ඉස්සරහට යන්නකො. හැබැයි දැන්නං ලොකු සර් ඔපිස්සෙකේ නෑ. මන් දැක්ක සර් ග්‍රවුන්ඩ්ඩෙක පැත්තට යනව.”

‘කෝකටත් ඔෆිස්සෙකට ගිහිල්ල ඉන්නවා.’ මෙසේ තමාට ම කියාගත් ගඟුල් කාර්යාලය දෙසට පිය මැන්නේ ය. ඒ යන අතර ඔහු සල් රුකක් යට නැවතී සල් මල් සුවඳ විඳ ගත්තේ ය. එතැන රැඳි මොහොතේ තමා දෙස බලමින් කතාබහක යෙදෙන උසස් පෙළ සිසුවියන් යැයි සිතිය හැකි තුරුණු දැරියන් තිදෙනකු ඔහුට දක්නට ලැබිණ. ඒ අතර සිටි තරමක් කටකාර දැරියක මෙසේ කියනු ගඟුල්ට ඇසිණ.

“ඒනං ෂුවර්රෙකටම අපේ ඉස්කෝලෙට අර අලුතින් එනව කියල තියෙන සර් තමා.”

“ඔයා කොහොමද එහෙම ඉස්තීරෙටම කියන්නෙ. වෙන වැඩකට ලොකු සර් හම්බ වෙන්න ආපු මහත්තයෙක් වෙන්ඩත් පුළුවන්. වෙන අපේ සර් කෙනෙක්ව මිස් කෙනෙක්ව හම්බ වෙන්ඩ ආ කෙනෙක් වෙන්ඩත් පුළුවන්. එහෙමත් නැත්නං මේ අපේ ඉස්කෝලෙ ගැන පැතිරිලා තියෙන කීර්ති රාවෙ නිසා තමන්ගෙ දරුව දාගන්ඩ ආපු තාත්තෙක් වෙන්ඩත් පුළුවන්. ඒත්...... එහෙම හිතන්ඩත් අමාරුයි. මොකද මේ මහත්තය ගොඩක් තරුණ කෙනෙක්. හ්ම්... එයාට ඉන්නවනං ඉන්න පුළුවන් එක වසරෙ විතර ළමයෙක් තමයි. එහෙනං එයා මෙහෙ එන්නැතිව යන්න ඕන අපේ ප්‍රාථමිකේට. කවුද මේ ඇත්තටම මෙයා.” 

සල් ගසට වැසී ඇති බැවින් ගඟුල් මෙතැන සිටින බවක් එම දැරියනට පෙනෙන්නේ නැත. ඒ නිසා ම ඔවුහු නිදහසේ කතා කරති. 

“අනේ සකුනි, ඔයාගෙ කට රිදෙන්නැද්ද කියවලා. හැබැයි කවුරු උනත් ඔයාට දාල තියෙන නම නං හරියටම හරි. ඇයි කිරිල්ලියෙක් වගේ හැම තිස්සෙම කියවනවනෙ.”

“ඕ ගොල්ල ඉතින් මගෙ දොස්මනෙ දකින්නෙ. තේරෙයි මන් නැති දවසක මගෙ අගේ.”

ඇය ඒ වචන ටික කීවේ ද අමුතු ම ආකාරයකට කට හදමිනි.

“අනේ වස්තුවෙ, විහිලුවක්වත් තේරෙන්නැද්ද? කෙනෙක් නැති වෙන්නම ඕන නැහැ එයාගෙ අගේ දැනෙන්න. ඔයා ඉස්කෝලෙ ආපු නැති දවසට උනත් අපිට කොච්චරක් නං පාළුයි ද?”

“ඒ කොහොම උනත් මයූ, ඒ සර් කෙනෙක් නං ඒ සරුත් අපේ පන්තියට නං දාන එකක් නෑ. මොකද අපි ඉතින් ඉස්කෝලෙ ඉන්න සුප්‍රසිද්ධ මැටි සහ වලි පන්තියනෙ.”

“ඔව් ඔව් ඒක ඇත්ත. මිහිදිනි මිස්, සංගීත මිස්, අතුල සර් වගේ කීප දෙනෙකුට ඇරුණම අනික් ගොඩක් සර්ලා මිස්ලට අපි තමයි එපා කරපු පන්තියෙ එවුන්. ඒත් සිංහලවලට නේද අලුත් උපාධි ගුරුවරයෙක් එනව කියල තිබුණෙ. එහෙම උනොත් ලොකු සර් නං අනිවාර්යෙන්ම ඒ සර්ව අපට දේවි.”

මෙසේ කීවේ ද සකුනි ය.

“ඉතින් සකුනි, ඇත්තත් ඒකනෙ. අපේ පන්තියෙ කෙල්ලන්ට එහා කොල්ලො, කොල්ලන්ට එහා කෙල්ලො. වැලිකල මිස්, සිල්ව මැඩම් එහෙම ඒ සර්ට කියාවි කොයි පන්තිය ගත්තත් කමක් නෑ එකොළහ බී එකට නං යන්න එපා කියලා.”

ඒ මයූ ය. 

“මිහිරි, මන් ඇට් කරල පෙන්නන්ඩ ද ඒ සර්ට වැලිකල මිස් කතා කරන හැටි.”

 එසේ පැවසුවේ සකුනි ය.

“මේ පුතා ඉගෙන ගත්ත හොඳ හැදිච්ච ළමයෙක් බව පේනවා. කොයි පන්තියට ගියත් යන්න නං එපා එකොළහ බී එකට. නැහැදිච්ච උන්ගෙනුත් නැහැදිච්ච උන් තමා ඔය පන්තියෙ ඉන්නෙ. නැද්ද මං කියන්නෙ.”

ඔන්න ඉතින් සිල්වා මැඩම් ඒකට උත්තර දෙන හැටි.”

“අනේ මේ මොනව කියනව ද මිසිස් සිල්වා. ඕකෙ කොල්ලො ටික නං ටිකක් හරි හොඳයි. එපාම එපාම කරපු කෙල්ලො තමයි ඔය පන්තියෙ ඉන්නෙ.”

සකුනි එපාම එපාම යනුවෙන් වචන උච්චාරණය කළ ආකාරය නිසා මතු වන්නට ගිය සිනහව ගඟුල් නතර කොට ගත්තේ අසීරුවෙනි.

“ඔයගොල්ල ඔය අපේම ගුරුවරුන්ට නේද හිනා වෙන්නෙ. ඉගැන්නුව නැතා මං නං ආස නෑ ඒවට.” 

මිහිරි පැවසුවා ය.

“ඔයා ආස නැද්ද මිහිරි. ඒ උනාට ඒ අපේම අපේම මැඩම්ලා අපිට වගේම ඔයාටත් ආස නෑ හොඳේ.” 

සකුනි ඇදපැද කීවා ය.      

“ඔය ගොල්ල මොනව කරනව ද මෙතෙන්ට වෙලා. ඉස්කෝලෙ ඇරෙන්ඩත් ළඟයි. ගුරුවරයෙක් නැත්තං පන්තියට වෙලා නිස්සද්දව ඉන්න දැනගන්න ඕන. මොකෝ මේ ඔය ළමයි අමුතු විදියට බලන්නෙ. සකූ.. මයූ.. මිහිරී.... මන් මේ ඔය ළමයි තුන්දෙනාටමයි කියන්නෙ. ඉස්කෝලෙ අනික් ළමයින්ට ආදර්සයක් වෙන්න ඕන ළමයි මෙහෙම ද හැසිරෙන්නෙ.” 

මෙසේ පැවසුවේ එතැනට පැමිණි මැදිවියේ ගුරුවරියකි.

“ඉතින් මැඩම්, අපි දැන් වැරදි දෙයක් කළේ නැහැනෙ. කතා කර හිටිය විතරනෙ.”

“සකුනි, මාත් එක්ක කට ගහගෙන විතරක් එන්ඩ එපා.කතා කර කර හිටිය විතරයි...හොඳ දේවල්ම කතා කරන්න ඇති මාර දූවරු තුන්දෙනා. දුවනව තුන්දෙනා ම පන්තියට.” 

“මොකෝ වැලිකල ටීචර් මේ කේන්තියෙන් වගෙ.”

 දැරියන් තිදෙනා පන්තිය කරා දිවයද්දී එසේ ඇසුවේ එතැනට පැමිණි තරුණ ගුරුවරියකි. 

“නැහැදිච්ච කෙල්ලො. අර තේරිච්ච එවුන් ඉන්න බී පන්තියෙ. මහ ලොකු උසස් පෙළ.  මන් දන්නව ඔවුන් කවදා හරි යන්නෙ විශ්වවිද්‍යාලෙට නෙමෙයි මැගසින් බන්ධනාගාරෙට.” 

“අනේ මැඩම්, ඒ නැහැදිච්ච ළමයි නං අපි වැඩියෙන් මහන්සි වෙන්න ඕනෙ ඒ ළමයින්ව හදා ගන්නනෙ.”

‘නියම උත්තරේ.’ මුළු සිදුවීම ම පසෙකට වී නිරීක්ෂණය කළ ගඟුල් තමාට ම කියා ගත්තේ ය.

“මේ නදී මන් එකක් කියන්නං,  ඕගොල්ලන්ගෙ සමාජවාදෙ මෙහෙට හරි යන්නෙ නැහැ. ඕගොල්ලො හිතන් ඉන්නව නං මුන්ට උගන්නල මුන්ව විස්වවිද්‍යාලෙට යවන්න. ඒක ඕගොල්ලන්ගෙ හීන ලැයිස්තුවෙ තියා ගන්න. ඕනම නං අර උසස් පෙළ ඒ පන්තියෙ වැඩ ඉල්ලගන්න. අඩු ගානෙ ඒ පන්තියෙ ගමේ වැදගත් මිනිස්සුන්ගෙ ළමයි දෙතුන් දෙනෙක්වත් ඉන්නව.  මන් මේ ගමේ ඉපදිලා ගමේ ම ජීවත් වෙන ගෑනි. ඕගොල්ලො එනව යනව හරියට මෙරු වගේ. මන් දන්නව ඔය කෙල්ලන්ගෙ අලගිය මුලගිය තැන් ඉඳලම.” 

තරුණ ගුරුවරිය ඊට කිසි පිළිතුරක් නොදී එතැනින් නික්ම යනු ගඟුල් දුටුවේ ය. එහෙත් ඒ නිහඬ වතින් ඔහු බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය. 

ගඟුල්ට සිහිපත් වූයේ සිය පාසල් ජීවිතය යි. තමා තුනේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වා උගත් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලය හා බැඳුණු සුන්දර අතීතයයි. විශේෂයෙන් තමා තුනේ පන්තියේදීත් සිය සොහොයුරා හයේ පන්තියේත්  සිටියදී විදුහල්පති ලෙස පත් ව ආ රන්ජිත් මුතුකුඩ මහතා විද්‍යාරාජයේ ඇති කළ පුනර්ජීවනය ඔහුට සිහිවිය. පසුකලෙක තමා ද ඉගෙන ගන්නට භාග්‍යවත් වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ භූගෝලවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධරයකු වූ එතුමා සිය වැටුපින් කොටසක් පවා වෙන් කෙළේ දුෂ්කරතා තිබූ සිසු දරුදැරියනට පොතපත අරන් දීමට ය. ගුරුමණ්ඩලයේ අතළොස්සක් හැරෙන්නට අනෙකුත් සියලු ම දෙනා එතුමාට මහත් ශක්තියක් ද ශිෂ්‍ය ප්‍රජාවට ආශිර්වාදයක් ද වෙමින් ද කටයුතු කළ ආකාරය ගඟුල් සිහිපත් කෙළේ මහත් ගෞරවයෙනි.

ගඟුල් කාර්යාලය ඇතුළට ගියේ ය. එහි තරමක ලොකු මේසයක් ද අනික් පස හිස් පුටුවක් ද විය. අනිවාර්යයෙන් ම මේ විදුහල්පතිතුමාගේ අසුන සහ පුටුව විය යුතු යැයි ගඟුල් සිතුවේ ය. ඊට තරමක් ඈතට වන්නට තිබූ මේසයේ යමක් ලියමින් හුන්නේ මැදිවියේ මහතෙකි. ඔහුට වම්පසින් තිබූ මේසය ළඟ තිබූ පුටුවේ හිඳ සිටි තරුණිය දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියා ය. ඇයගේ එම කටයුත්ත අවසන් වන තෙක් බලා සිටි ගඟුල් ඇය වෙත ගොස් කතා කෙළේ ය. 

    “මිස්, මන් මේ විදුහල්පතිතුමා හම්බ වෙන්න. සර් දැන් එයි නේද?”  

“ඔව් ඉක්මණට එයි. සර් ග්‍රවුන්ඩ් එකට ගියේ. සර් එනකං මේ සර්, මෙහෙන් වාඩිවෙලා ඉන්න.”

ඇය විදුහල්පතිතුමාගේ මේසය අනික් පස පනවා තිබූ අසුන් පෙළ දක්වා කීවා ය. අමුත්තකු පැමිණ ඇති බව දුටු මැදිවියේ මහතා හිස ඔසවා බැලී ය. අනතුරුව ගඟුල් දෙස බලා මඳ සිනහවක් පෑ ඔහු මෙසේ පැවසීය.

“මන් හිතන්නෙ මේ අද අලුතින් ඉස්කෝලෙට එනවා කියලා තියෙන සර් වෙන්න ඕන. එන්න ඉඳගන්න.”

“ඔව් සර් මට අද ඉඳලයි වැඩ බාර ගන්න තියෙන්නෙ.”

“විදුහල්පතිතුමා ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා. දැන් ක්‍රීඩා උත්සවේ ළඟයිනෙ. හැබැයි තව පොඩ්ඩකින් සර් ඒවි. එතකන් ඔබතුමා  ටිකක් ඉඳගෙන ඉන්නකො. නිම්මි මේ සර්ට අද පත්තරේ දෙන්නකො එතකන් බල බල ඉන්න.”

ගඟුල් පුවත්පත පිටුවෙන් පිටුව පෙරළාගෙන ගිය මුත් එය කියැවීමට ගියේ නැත. ඔහුට මොහොතින් මොහොත කල්පනා වන්නේ හෙට සිට ගුරුවරයකු ලෙස කටයුතු කළ යුතු ආකාරය ගැන ය. ගුරුකම වූ කලී පොතපතින් නොව ජීවිතයෙන් උගත යුතු කලාවකි. සිය දෙමව්පියනට අවශ්‍ය ව තිබුණේ වැඩිහිටි මාමා කෙනෙකු සමග මේ ගමන එවීමට ය. එහෙත් ගඟුල් එකහෙළා කියා සිටියේ ආරම්භක දවසේ සිට ම තමා එයට තනිව ම මුහුණ දිය යුතු බව ය. ඊට සම්පූර්ණ එකඟතාව පළ කෙළේ අය්යා ය.

“තාත්තෙ අපි මල්ලිට තනියම යන්න දෙමු. අපි ටික දවසක් ගිහිල්ලා ඕන නං ගිහිල්ලා බලලා එමු.”

අය්යා තමාගේ අදහස තහවුරු කෙළේ එසේ ය. අම්මා එතැනින් පිට ව ගියේ ‘අනේ මන්දා තාත්තලා පුතාලට ඕන එකක්’ යයි කියමිනි.

“පොඩි පුතේ අම්මට තාම ඔයා පොඩි පුතා. එහෙම තමයි අම්මල කියන අය.” 

තාත්තා මෙම ගමනට සිය අනුමැතිය ලබා දුන්නේ එම වචන කිහිපය ද පවසමිනි.

අය්යා තමාගේ හැම අදහසක් ම එක්වන් ව අනුමත නොකරයි. ඇතැම් කරුණක් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාව පළ කරන ඔහු තවත් කරුණක් පිළිබඳ ව සපුරා විරුද්ධ වෙයි. තවත් විටෙක කිසිවක් නොකියා නිහඬ ව සිටියි. මේ අවස්ථා තුනේ ම ඇති ගැඹුරු අරුත ගඟුල්ට වඩාත් හොඳින් අවබෝධ වූයේ පසු කලෙක ය. අය්යා එරෙහි වන්නේ මල්ලීට නොපෙනෙන පැති ඔහුට පෙනෙන විට ය. ඔහු එකඟ වන්නේ මල්ලී මේ යන පාර නිවැරදි ය යන හැඟුම ඔහුට ඇති වූ විට ය. නිහඬ වන්නේ එකරුණ සිය සොහොයුරා විසින් තම අද්දැකීමෙන් ම අවබෝධ කොට ගත යුතු ය යන හැඟීම ඇති වූ විට ය. තමාගේ ජීවිතයට ද මහත් ආලෝකයක් වූ ඒ ආදරණීය ගුරු සහෘදයාගේ - සමන් සිත්තරාගේ ජීවිතය වඩාත් හොඳින් කියැවීමට සමත් වූ මිනිසෙකි, සිය සොහොයුරා. එචරිතයෙන් ලද ආලෝකය ද වරින්වර සිය සොහොයුරාගේ ජීවිතයෙන් නොමඳ ව ප්‍රකාශයට පත්වනු ගඟුල් දැක තිබේ. විදුහල්පතිතුමා එන තෙක් කාර්යාලයේ හිඳ සිටින ඔහුට මේ බොහෝ දේ සිහි වෙයි.

වරෙක නූතන ගීතයේ මහගමසේකර ලකුණයන මාතෘකාව යටතේ තමා විසින් ලියන ලද ලිපියේ උපරිම සහෘදයා වූයේ ද අය්යා ය. එසේ ම එම ලිපිය අවසන් කොට තිබූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රබල විරෝධකයා  වූයේ ද අය්යා ය. මහගමසේකරගේ නිර්මාණ කෞශල්‍යය සනිදර්ශන ව පැහැදිලි කෙරෙන එම ලිපියේ අවසානය සලකුණු කිරීම සඳහා ගඟුල් තෝරාගෙන තිබුණේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ පහත  සඳහන් ප්‍රකාශය යි. 

“අවට බලන මට දක්නට ලැබෙන්නේ ප්‍රොඪ වූ ශිෂ්ටාචාරයක සිඳීබිඳී ගිය නටබුන් ය. එහෙත් මිනිසා කෙරෙහි විශ්වාසය නොතැබීම නැමති භයානක පාපය මම නොකරමි.”

“මේ තාගෝර්තුමාගෙ ප්‍රකාශෙ මේ ලිපියෙන් වහාම ඉවත් කරන්න.”

 එදා අය්යා අවධාරණයෙන් කියා සිටියේ ය. ගඟුල් පැවසුවේ සිය ලිපියේ හරය කුළුගැන්වෙන ප්‍රධාන ප්‍රකාශය එය බව යි. එහෙයින් එය ඉවත් කළ නොහැකි බව යි. සොහොයුරන් දෙදෙනාගේ මේ කෙළවරක් නොවන විවාදය දෙස බලා සිටි අම්මා, අන්තිමේ දී මෙසේ පැවසුවා ගඟුල්ට මතක ය.

“ලොකු පුතේ ඔයා මල්ලිට ඕන විදිහට එයාගෙ ලිපිය ඉවර කරන්න අරින්න. ඒක එයාගෙ ලිපියනෙ. ඔයා ලියන ඒව ඔයාට ඕන විදිහට ඉවර කරන්න. මල්ලි එයාගෙ ඒව එයාට ඕන විදිහට ඉවර කරපුවාවෙ.”

“ඒවා කොහෙද මාත් එක්ක. මන් ජීවත් ව ඉන්නකල් ඒ සෙල්ලම් කරන්න බෑ.”

 අය්යා කිව්වේ සිනාසෙමිනි. අනතුරුව ඔහු තමා ඊට විරුද්ධ වන හේතුව සිය සොහොයුරාට ඉතා ආදරයෙන් පැහැදිලි කර දුන්නේ ය.

’මල්ලි, ඔයා මහගමසේකරගෙ කවිතාවෙ විශේෂතා ලස්සනට පැහැදිලි කරගෙන ගිහිල්ල ඒක අවසාන කරන්නෙ තාගෝර්තුමාගෙ ප්‍රබල ප්‍රකාශයකින්. එතකොට වෙන්නෙ  ලිපිය බලන අයට සේකර අමතක වෙලා තාගෝර් ඉස්මතු වෙන එක. ඒක සේකරට කරන අසාධාරණයක්. මෙහෙමත් හිතන්න. ඔයා තාගෝර් ගැන ලිපියක් ලියනවා. ඒක ඉවර කරන්න තෝර ගන්නවා සේකරගෙ ලස්සන කවියක්, එහෙම නැත්තං එයාගෙ වඩාත් දැනෙන ගීතයක කොටසක්. ඔයාම හිතන්නකො එතකොට තාගෝර්ට මොකද වෙන්නෙ කියලා.”

නිදහස් නිර්මාණකරුවකු වශයෙන් කටයුතු කරන අය්යා වෘත්තීය වශයෙන් නම් ගුරුවරයෙක් නොවේ. එහෙත් ඔහු තමාට බොහෝ අවස්ථාවල දී ගුරුවරයකු වන බව ගඟුල් දනියි. සිය සොහොයුරාගේත් සමන් අය්යාගේත් ආකල්ප අතර ඇති සමතාව ඒ දෙදෙනාගේ කල්‍යාණ මිත්‍රත්වයේ පදනම විය. යටකී සිදුවීම වූ කාලයේ සමන් ජීවත් ව සිටියේ ය. මේ ගැන කියූ විට ඔහු ප්‍රකාශ කෙළේ මෙවන් අදහසකි.

“ගඟුල් මල්ලි, ඔයාගෙ අය්යා කියන එක හරි. අපට ඕන කරන්නෙ සේකරගේ  නිර්මාණ කුශලතාව ගැන කියන්න නම් ඒකට යි ප්‍රමුඛතාව දෙන්න ඕන. හැබැයි තමන්ට විශේෂම හේතුවක් තියෙනවනං අපි අර මතේම ඉන්න ඕනත් නෑ.”

ගඟුල් අනතුරුව තම අත රැඳි පුවත්පතට අවධානය යොමු කෙළේ ය. එහි මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට යටින් තරමක ලොකු අකුරින් මෙවන් සිරස් තලයක් විය.

                    “ගුරුවරයාට අතවර චෝදනා”

තවදුරටත් පුවත්පතේ පිටු පෙරළමින් යද්දී ඇතුළු පිටුවක  කුඩා තීරුවක සඳහන් කොට තිබූ තවත් ප්‍රවෘත්තියකට ඔහුගේ ඇස යොමු විය.

             “ගුරුවරයා සිය ලේ පුදා සිසුවියගේ දිවි ගලවයි.”

පුවත්පතට ප්‍රධාන වී තිබුණේ අසත් ක්‍රියාව කළ ගුරුවරයා සම්බන්ධ සිදුවීම යි. සිය සිරුරින් ලේ දී අහිංසක සිසුවියකගේ ජීවිතය ගලවා ගත් ගුරුවරයා සම්බන්ධ ප්‍රවෘත්තිය ඔවුනට අප්‍රධාන එකකි. සන්නිවේදකයාගේ මෙහෙවර මෙය ද? ගඟුල් ඒ ගැන සිතුවේ සංවේගයෙනි. මේ මොහොතේ ඔහුගේ මතකයට ආවේ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා ගුවන්විදුලි සාකච්ජාවක දී පළ කළ අදහසකි.

“සන්නිවේදන කියන වචනයේ හොඳ ගැඹුරු ලස්සන අර්ථයක් තියෙනවා. ඔය වචනෙ හැදෙන්නෙ ‘සැමතින් ම, යහපත් ව, එකට’ යනාදි අර්ථ දෙන ‘සම්’ කියන උපසර්ගය මුලින් යෙදිලා ‘දැනීම’ සහ ‘දැකීම’ යන අර්ථ දෙන ‘විද්’ ධාතුවෙන්. ඔය අතර මැද තියෙන ‘නි’ උපසර්ගය නිෂේධාර්ථයෙ, ඒ කියන්නෙ නැත යන අර්ථයෙ වගේම යමක් විශේෂ කිරීමේ අර්ථයෙනුත් යෙදෙනවා. එහෙම බැලුවහම හැම පැත්තෙන්ම යහපත් විදියට එකට එකතු වෙලා විශේෂයෙන් දැනගෙන, දැකීමකින් යුතුව සමාජයට කරන ඉදිරිපත් කිරීමකටයි සන්නිවේදනය කියල කියන්න පුළුවන්. සන්නිවේදකයා කියන්නෙ හැමතින්ම යහපත්ව, යමක් නිකන් නෙමෙයි විශේෂයෙන් දැනගෙන, දැකීමක් ඇතුව ලෝකය පවතිනවාට වඩා ඒ ඉන්න තැනින් අඟලක් හරි උඩට ගේන්න වෑයම් කරන කෙනාට යි.”

තමා ඇතුළු එම දේශනවලට සවන් දුන් කිහිපදෙනෙකු තුළ ම වචනවල අර්ථ දැනගැනීමේ උනන්දුව ඇති වූයේ අදිකාරම්තුමා නිසා ය. වචනවල නිවැරදි අර්ථ දැනගැනීම යනු තමා කරන ක්‍රියාවේ අරුත දැන කටයුතු කරන සමාජයක් බිහිවීම ය යන ආකල්පය තමා තුළ ඇතිවීමෙහි ලා උල්පත වූයේ ද එතුමා ය.  

ගඟුල් කල්පනා ලෝකයෙන් මිදුණේ කාර්යාලයට ඇතුළුවන කෙනෙකුගේ පියවර හඬ ඇසීමත් සමග ය. ඒ පැමිණියේ සුදෝසුදු ජාතික ඇඳුමකින් සැරසුණු ප්‍රසන්න පුද්ගලයෙකි. ඔහු දුටු මතින් ම මේ නම් විදුහල්පතිවරයා ය යන හැඟීම ගඟුල් තුළ ඇති විය. හිඳසිටි අසුනින් නැඟීසිටි ගඟුල් ඔහු එන පෙරමගට ගියේ ය. 

“ආයුබෝවන් සර් මන් හිතන්නෙ මේ ලොකු සර් වෙන්න ඕන.”

“ඔව්, මන් හිතන්නෙ මේ අපේ ඉස්කෝලෙට ආපු අලුත් මහත්තය නේද? යන් අපි ඉඳගෙනම කතා කරමුකො.”

විදුහල්පතිතුමා සිය අසුනේ හිඳගත්තේ ගඟුල්ට ද හිඳගන්නා මෙන් අතින් සන් කරමිනි.

“මොකක් ද මේ සර්ගෙ නම.” විදුහල්පතිතුමා ඇසී ය.

“මම සර් ගඟුල්. ගඟුල් සමරනායක.”

“ජාති. මේ පළාතටත් ඕන ගඟුලක් ම තමයි. මොකද මේ පැත්තෙ කොච්චර වැව් තිබ්බත් නියඟ නිසා ඒව හරි ඉක්මණට හිඳෙනවනෙ.“

විදුහල්පතිවරයා සිනාසෙමින් කීවේ ය.

“ලොකු සර් මේ පැත්තෙම කෙනෙක් ද?”

 ගඟුල් විමසීය.

“නෑ ගඟුල්, කුරුණෑගල ආපු මට උනෙත් වන්නියට ආපු කුමාරගමට වෙච්ච එක. මම ගම්පහ. මෙහෙ තරමක් දුෂ්කරයි තමයි. මෙහෙට ආවෙත් කෙටි කාලයක් වැඩ කරලා ගමට යන්න බලා ගෙන. ඒත් මේ අහිංසක ළමයි, ඒ ගොල්ලන්ගෙ අප්‍රමාණ බලාපොරොත්තු දැක්කට පස්සෙ මට යන්න හිතුණෙ නෑ.”

විදුහල්පතිවරයා ඒ වදන් පැවසුවේ කාර්යාලයේ කවුළුවෙන් බැලූවිට එක එල්ලේ ම පෙනෙන පන්තියේ සිටින සිසු දරුදැරියන් දෙස බලමිනි.

“අපි ගඟුල් ඔක්කොටම ඉස්සෙල්ල තේකක් බීලා හිටිමු.”

“පියසේන, අපිට ගේන්නකො තේ.ඔය තල රුලං මොනව හරි එක්ක.”

ඔහු එසේ පැවසුවේ කාර්යාලකාර්ය සහායකවරයාට ය.

“සර් මන් නං නාගොල්ලගමින් තේ බීලයි ආවෙ.”

“මොන... මේ තරුණ කොල්ලන්ට මොකෝ තව තේකක් බොන්න බැරි.  පියසේන ගේන්ඩ අපට තේ. අර සර්ටයි මිස්ටයිත් එක්ක.”

විදුහල්පතිවරයා එසේ පැවසුවේ කාර්යාලයේ ලේඛන කටයුතු කරමින් සිටි මැදිවියේ මහතා සහ තරුණිය පෙන්වමිනි.

මේ ගත ව ගිය කෙටි නිමේශය පමණක් වුව විදුහල්පතිවරයා පිළිබඳ යම් අදහසක් ඇති කොට ගැනීමට ප්‍රමාණවත් නොවේ දැයි ගඟුල් කල්පනා කෙළේ ය. ඒ අතර ම ඔහුට සිහිවූයේ සමන් අයියා සිය සොහොයුරා සමග කළ කතාබහකදී කී දෙයකි.

“ විපුල් ඔයාගෙ අවංකකමයි මනුස්සකමයි ගැන අපි දන්නව. ඒත් වංක මිනිස්සු ඒ දෙකෙන් ම තමයි වැරදි ප්‍රයෝජන ගන්නෙ. මන් ඔයාගෙ දකින අඩුව ඔයා මනුස්සයෙක් ඇසුරට ඇවිල්ල දවසයි දෙකයි එක්කො එයා ගැන වහා පැහැදෙනව. එහෙම නැත්තං කළකිරෙනව.”

“ඉතින් සමන් මට කියන්නෙ එයත් එක්ක මේ වැඩේ පටන් ගන්න එපා කියල ද?”

අය්යා එදා එසේ ඇසූ බව ගඟුල්ට මතක ය.

“නෑ විපුල් අපි ටිකක් කාලයට ඉඩ දෙමු.”

තමා විසින් කළයුතු ව ඇත්තේ ද එය යි. මේ අතර පළමු දසුනින් ම තමා තුළ පහන් හැඟුමක් ඇති කිරීමට සමත් වූ විදුහල්පතිවරයා, තමාගේ   පත්වීමේ ලිපිය ද සහිත ලිපි ගොනුව පෙරළා බලනු ගඟුල් දුටුවේ ය. 

“ඔයා ජයවර්ධනපුරේ නේද? සිංහල ෆස්ට් එකක්. හොඳයි හොඳයි. උසස් පෙළ පන්ති දෙකක් තියෙනව අපට. එක පන්තියකට ගුරුවරයෙක් අඩු යි. දැන් අපට අඩුවෙලා තිබිච්ච භයානක ගුරුවරයත් ලැබුණ කියලයි මට හිතෙන්නෙ.”

විදුහල්පතිවරයා සිනාසී කීවේ ය.

“ඒ කිව්වෙ සර්.”

 විදුහල්පතිතුමාගේ මේ භයානක කතාව ඇසීමෙන් අන්දමන්ද වූ ගඟුල් ඇසී ය.

“ඒක හරි ලස්සන කතාවක්. දැන් ඉස්කෝලෙ අරින්ඩ ළඟයි. අපි කොහොමත් මේ තියෙන වැඩ ඉවර කරලා තමයි යන්නෙ. ගඟුල්ටත් පුළුවන් වෙයි නේද ටිකක් ඉන්න.

“මට පුළුවන් සර්. කොහොමටත් අර සර් කිව්ව භයානක ගුරුවරයා ගැන නං සර්ගෙන් දැනගන්ඩම ඕනෙ.”

මේ අතර පාසල ඇරෙන සීනුව නාද විය. සිසු දරුදැරියන්ගේ මුවින් “යෝ වද තං පවරෝ මනුජේසු” යන ගාථා පාඨ ලයාන්විත ව ගැයෙද්දී විදුහල්පතිතුමා ඇතුළු පිරිස එක්වන් ව අසුන්වලින්  නැඟී සිටියහ. ඉනික්බිති දක්නට ලැබුණේ සුදු හංස රෑන් සෙයින් සිසුකැළ පාසල් බිමින් නික්ම යන ආකාරය යි.


Monday, November 1, 2021

ගුරු දියවර නවකතාව - පළමු කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                 

                                                               පළමු දියවර 

 

‘‘මිනිස් ජීවිතය දෙස සානුකම්පික දෑසක් ඇති මිනිසුන් ලෝකයට අවශ්‍ය යි. එවැනි මිනිසුන්ගේ දෑස් දිනයක පියැවී ගියත් ජීවත් ව සිටින අය ඒ ඇස්වලින් ලෝකය දකිනවා.”                                            

 

ගඟුල්, ගුරුවරයකු වශයෙන් සුවිසල් සේවයක් කළ ඒ ආදරණීය සහෘදයාගේ  මේ ප‍්‍රකාශය දැන් කියැවූයේ සත්වන වරට ය. සිය සොහොයුරා සමග සෞන්දර්ය සරසවියේ එකට ඉගෙන ගත් ඔහු තමා ඇසුරු කළ බොහෝ දෙනාට දෑසක් ම වූ ආකාරය ගඟුල් සිහිපත් කෙළේ ඉමහත් හැඟීමකිනිි, එසේ ම බලවත් සංවේගයකිනි. ඒ, එම ආදරණීය මිනිසාගේ භෞතික රූපකාය යළි කිසිදිනක දැක ගැන්මට නොලැබෙන බැවිනි. මේ ගඟුල්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නාගොල්ලාගම මැදි මහා විදුහලට ගුරු පත් වීමක් ලැබ යන පළමු දවස යි.සිය සොහොයුරා නිසා හඳුනාගැන්මට ලැබුණු ඒ  සහෘදයාගේ ඇසුර තම ජීවිතය ඉමහත් වෙනසකට පත්කළ ආකාරය ද  ගඟුල්ට සිිහිපත් විය. ගුරුවරයකු වශයෙන් ඔහු විසින් සිදු කරන ලද මෙහෙවර තමාට සිතා ගැන්මටත් බැරි තරම් විසල් ය. සිය ජීවන දැක්ම වෙනස් කළ එම ආදරණීය ගුරුවරයාට කළ හැකි උසස් ම උපහාරය වන්නේ තමාගේ ශිෂ්‍ය ප‍්‍රජාවට ඇසක් දිය හැකි ආදරණීය ගුරුවරයකු වීම මිස අන් කිසිවක් නොවේ ය යන හැඟුම අන් කවදාටත් වඩා බලවත් ව මේ මොහොතේ ඔහුගේ සිතට නැඟිණි.

 

සිංහල විශේෂවේදී උපාධිය හදාරා ඉන් ප‍්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලද ගඟුල්ගේ ඒකායන අපේක්ෂාව වූයේ  කවදා හෝ කවර හෝ කාල වකවානුවක් දුර ඈත පාසලක දරුවනට ඉගැන්වීම ය. පාසල් ශිෂ්‍ය ජීිවිත කාලයේ පටන් පැවති ඔහුගේ මේ අපේක්ෂණය වඩාත් පෝෂණය වූයේ සිය සොහොයුරා ඇතුළු බොහෝ දෙනාගේ ජීවන දර්ශනය වෙනස් කළ ඒ ආදරණණීය සහෘදයාගේ සමීප ඇසුරත් සමග ය. ඔහුගේ කායික අභාවය සිය ජීවිතයේ ගඟුල් ලද අතිප‍්‍රකම්පනීය අද්දැකීම විය. වෙනත් රැකියා අවස්ථා දෙකක් ඒ වනවිට ගඟුල් ඉදිරියේ තිබුණ ද මේ මොහොතේ ඔහු සිතට ආ බලවත් හැඟීම වූයේ ඒ සහෘදයා ගත් මග ගැනීම ය. වෘත්තීය වශයෙන් ගුරුවරයකු නොවූ සිය සොහොයුරා ද එකහෙළා ම එය අනුමත කිරීම ගඟුල්ට ආශි්ර්වාදයක් මෙන් ම මහත් සතුටට හේතුවක් ද විය.

 

උදෑසන හයට කොළඹින් කුරුණෑගල යන බස් රියකට ගොඩ වූ ගඟුල් කුරුණෑගලින් බසින විට පෙරවරු නවයට ආසන්න ව තිබිණ. යම් තරමකට කොළඹ - කුරුණෑගල ගමනේ හුරුපුරුදු බවක් තිබුණ ද එතැන් සිට නාගොල්ලාගම දක්වා වන ගමන ඔහුට නැවුම් අද්දැකීමක් විය. ගණේවත්ත, හිරිපිටිය ආදි ගම් හරහා පොල්වතු, කුඹුරු, කුඩා වනරොදවල් මැදින් බස් රියේ කවුළුවක් අසල අසුනක හිඳ අවට දසුන් නරඹමින් ආ ඒ ගමන සැබැවින් ම මහත් ආස්වාදජනක එකක් විය. හෙට සිට තමා ඉදිරියේ නිර්මාණය වන සුන්දර ගුරුජීවිතයක් හා බැඳුණු දසුන් සොඳුරු සිහිනයක් මෙන් ඔහු අබිමුව මැවිණ. එහෙත් සුන්දර ජීවිතය යනු තමා පමණක් හෝ තමාට සීමා වූ චරිත කිහිපයක් පමණක් හෝ සුන්දර කරගෙන ජීවත්වීම නොවන බව ගඟුල් දැන සිටියේ ය. ඔහුට කිසිවිටෙකත් එබඳු ජීවිතයක් අවශ්‍ය ද නොවීය. සරසවි ජීවන සමයේ දී කවර හෝ භාග්‍යයකට සමීප ව ඇසුරු කරන්නට ලැබුණු එසරසවියේ ප‍්‍රථම සම්මාන කුලපතිවරයා ද වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා නිතර අවධාරණ කෙළේ ද ආත්මාර්ථයෙන් තොර වූ පෘථුල ගුරු ජීවිතයක් ගැන ය. ගුරු ජීවිතය පිළිබඳ තමාට ඇති පරමාදර්ශය වන ඒ ආදරණීය සහෘදයා  පැවසුවේ ද පරාර්ථකාමී වූත් ආදරණීය වූත් ගුරු ජීවිතයක් ගැන ය. ලෝකය පවතිනවාට වඩා සුන්දර කිරීම උදෙසා තමාට කළ හැකි දෙය කිරීම ද සුන්දරත්වයේ අර්ථයට ම අදාළ වන බව ඒ දෙදෙනා ම පැවසූහ. එචරිත ද්වය වූකලී ගඟුල්ගේ ජීවිතය මත වැටුණු ආලෝක කිරණ යි; ළඟ නොහිඳ මග කියන පහන් කණු යුග්මය යි.

 

කුරුණෑගලදී තමා සමග ම බස්රියට ගොඩ වූ ඇතැම් මගියෙක් අතරමගදී බසිති. ඒ අතර අලුත් මගියෝ බස්රියට ගොඩවෙති. මේ වන විට හිරිපිටිය ද ගණේවත්ත ද පසු වී තිබේ. අතරමග ගමකදී බරැති මල්ලක් ඔසොවා ගත් මහලූ කාන්තාවක් බස්රියට ගොඩ වූවා ය. ඇය අපහසුවකින් වටපිට බලනු දුටු ගඟුල් අසුනෙන් නැඟිට තමා හිඳ සිටි අසුනේ ඇයට හිඳගැනීමට සැලැස්වීය. ඇය එතැන හිඳ ගත්තේ ‘පිං සිද්ද වෙනව පුතේ’ යන වචන කිහිපය ද පවසමිනි. ඉදිරි බස් නැවතුමක දී එම කාන්තාව ළඟ හිඳ සිටි මගියා බැස ගිය බැවින් ගඟුල් එම හිස් අසුනෙහි හිඳ ගත්තේ ය. ගඟුල් දෙස බලා ප‍්‍රසන්න සිනහවක් පෑ ඇය මෙසේ ඇසුවා ය.

 

‘‘මේ පුතා මේ කොහෙට ද යන්නෙ. පුතා මට ලොකු උදව්වක් කළේ.”

 

‘‘ඒක මොකක්ද අම්මෙ මට මේ නාගොල්ලගම ඉස්කෝලෙටයි යන්න  ඕන. නාගොල්ලගමට තව දුරයි ද අම්මෙ.”

 

‘‘ඒ කියන්නෙ මේ පුතා...” ඇය ප‍්‍රශ්නකාරි ස්වභාවයකින් ගඟුල් දෙස බැලූවා ය. 

 

‘‘අම්මෙ මට ඒ ඉස්කෝලෙ ගුරුවරයෙක් විදිහට වැඩ බාරගන්න තියෙනව හෙට ඉඳලා.”

 

 ‘‘අනේ වාසනාවයි! මේ ඉස්කෝලෙ මහත්තයෙක්නෙ. අනේ මට සමා වෙන්න  ඕන මහත්තයො.” 

 

‘‘ඇයි අම්මා සමාවෙන්න කියන්නෙ, මට පුතා කිව්වට ද ? ඒක මහත්තයට වඩා කොච්චර ලස්සන වචනයක් ද ? ”

 

‘‘එහෙනං මන් පුතා කියලම කියන්නංකො. මේ පුතා ඇහැව්වෙ නාගොල්ලාගම ඉස්කෝලෙට තව දුරද කියලනෙ. පුතේ, එකක් නාගොල්ලගම කනිස්ටෙ. අනික සැන්ට‍්‍රල් එක.” 

 

‘‘අම්මෙ සෙන්ට‍්‍රල් එකට තමයි මට යන්න තියෙන්නෙ.”

 

‘‘අනේ වාසනාවයි ! අපේ මුනුබුරාලා මිනිබිරියොත් යන්නෙ ඒකටම තමා. කනිස්ටෙ නම් පුතේ රේල් පාර පැනපු ගමන් ම වං අත පැත්තෙ. ඒ කියන්නෙ ටවුම කිට්ටුවමයි. සැන්ට‍්‍රල් එක ඊට ඉස්සෙල්ලයි තියෙන්නෙ. තව ටික දුරයි.”

 

‘‘එහෙනං අම්මෙ මම ටවුමට ගිහිල්ල ටවුමත් බලාගෙනම එන එක හොඳයි කියල හිතෙනව.”

 

‘‘ඔව් පුතේ මාන්සි කාරියත් ඇතිනෙ. පුතාට ටවුමෙන් තේකක් කාරිය බීල මහන්සි නිවාගෙනම යන්න පුළුවන්.”

 

බස්රිය නාගොල්ලාගමට ළඟා විය. ගඟුල් පළමු ව සිය බෑගය කරට දමා ගත්තේ ය. දෙවනු ව තමාට නාගොල්ලාගමින් හමු වූ පළමු මිතුරිය වූ මහලූ කාන්තාවගේ බරැති මල්ල අතට ගත්තේ ඇගේ විරෝධය නොතකමිනි. 

 

‘‘මට පව් සිද්ද වෙනවනෙ පුතේ අපේ දරුවන්ගෙ ඇස් පාදන්න ආපු ඉස්කෝලෙ මහත්තැන් ලව්වා අපේ බර අද්දව ගත්තම.”

 

‘‘අම්මෙ, අම්ම අමාරුවෙන් මේක අරන් යන බව දැන දැනම අහක බලාගෙන ගියොත් තමයි මට පව් සිද්ද වෙන්නෙ.” ගඟුල් සිනා සී කීවේ ය.

 

‘‘පුතාට පුළුවන් මෙතනින් ත‍්‍රීවීල්ලෙකකි්න් යන්න. රුපියල් පනහක් හැටක් ගනීවි මගෙ හිතේ.”

 

‘‘අම්මත් යන් මාත් එක්කම තේකක් බොන්න.” ගඟුල් පැවසීය.

 

‘‘අනේ, වාසනාවයි පුතේ. දැනටම පොළට යන්න පරක්කු වෙලයි තියෙන්නෙ. පොළ ඉවර වෙන්න කලින් මේ බඩු ටික ඉවර කර ගන්නැත් එපායැ. ඒ හින්ද මං යන්නම්. මයෙ පුතාට තුනුරුවන්ගේම සරණයි, අය්යනායක  දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි.” 

 

ඉමහත් හැඟීමකින් තමාට තෙරුවන් සරණ, දෙවි පිහිට පතන මේ වැඩිහිටි කාන්තාව දෙස ගඟුල් බලා සිටියේ අසීමිත ආදරයකිනි.

 

මේ ගඟුල් නාගොල්ලාගමින් ලද ප‍්‍රථම ආශිර්වාදය යි.   

 

‘‘ආ සීලවතී නැන්දේ දැන් සරු පාටයිනෙ. නැන්දා පොළේ යනවා වගෙයි.” 

 

මෙසේ පැවසුවේ එතැනින් යන්නට ගිය ත‍්‍රීවීලරය පැදවූ මැදිවියට ආසන්න මිනිසෙකි.

 

‘‘මොන සරුවක් ද බන්. මන් පොළේ යනව වගේ නෙමෙයි පොළේ යනව. ඒක නෙමෙයි මහතුන්, උඹ හම්බ වෙච්ච එක හොඳයි. මේ  අපේ නාගොල්ලගම ඉස්කෝලෙට අලුතෙන් පත් වෙලා එන ඉස්කෝලෙ මහත්තැන් කෙනෙක්. උඹට පුළුවන් නේද මහතුන්, මේ ඉස්කෝලෙ මහත්තයව සැන්ටරේ ගාවට ගොහින් ඇරලවන්න.”

 

‘‘මොකෝ බැරි මොකෝ බැරි” මහතුන් දෙවරක්ම කීවේය. ”නගින්න සර්, මං සර්ව ඉස්කෝලෙ ගාවට දාන්නම්.”

 

‘‘මහතුන් අයියා මං මේ කොළඹ ඉඳල එන ගමන්. අපි තේකක් බීලම යමු.”

 

‘‘හොඳයි සර් එහෙනන් තේ බීල එනකන් මං මෙතන වීල්ලෙක තියාගෙන ඉන්නම්.”

 

‘‘නෑ මහතුන් අයියෙ අපි දෙන්න එක්කම  තේ බොන්න යමු.”

 

මහතුන් ටික වෙලාවක් මේ තරුණයා දෙස බලා සිටියේය. ඔහුට දැනුණේ වෙනස් ම හැඟීමකි. තමාගේ ගමේ පාසලේ උගන්වන්නට ආ මේ උගත් තරුණයා හඳුනාගත් පළමු දවසේ ම තමාට මහතුන් අයියේ කියා කතා කරයි. දැන් තේ බොන්න යමු දැයි අසයි. මහතුන්, සිය ත‍්‍රීවීලරය පාරේ අයිනකට වන්නට නවතා ගඟුල් වෙත පැමිණියේය.

 

‘‘යමු සර්, අපි මේ නදීකා එකෙන් තේ බීල යමු.” මෙසේ කියා මහතුන් ඉස්සර විය. 

 

‘‘ආ මහතුන්, උඹට අද අලුත් යාලු මහත්තයෙක් හම්බ වෙලා වගෙයි.”

 

‘‘මට විතරක් නෙමෙයි මුදලාලි අපේ මුලු ගමටම යාලු මහත්තයෙක් තමයි මේ ඇවිල්ල ඉන්නෙ. මේ තමයි සෙන්ට‍්‍රල් එකට අලුතෙන්ම එනව කියල තිබිච්ච සර්.”

 

‘‘කොච්චර හොඳයි ද මහතුන්. එන්ඩ අපේ සර් එන්ඩ. අපේ දරුවන්ගෙ ඇස් පාදන්ඩ ආපු උත්තමයොනෙ මේ.” ඒ කුඩා හෝටලයේ හිමිකරු ගඟුල් පිළිගත්තේ මහත් සන්තෝෂයෙනි.”

 

‘‘මුදලාලි, බලන්ඩකො අපේ සර්ට මොනවද  ඕනෙ කියල. මේ සර් කොළඹ ඉඳලම එන ගමන්.”

 

‘‘අපේ සර් බත් කනවද එහෙම නැත්තං තේ බොන්න මොනව හරි ගේන්නද?”

 

ගඟුල්  තුළ ඇති වූයේ පහන් හැඟීමකි. මෙහි ආ පළමු දිනයේදී ම ඔවුනට තමා ‘අපේ සර්’ වී ඇත. කිසිදු හේතුවක් නිසාවත් ඔවුන් තමන් පිළිබඳ ව ඇති කොටගත් මේ පහන් හැඟුම කිලිටි නොකරන්නෙමි යි ඔහු දැඩි ව අදිටන් කොට ගත්තේ ය.

 

‘‘මට ඔය තියෙන හැලප බනිස් වගෙ දෙයක් හොඳයි. අපේ මහතුන් අයිය කැමති දෙයක් ගෙන්න ගන්න. නැත්තං දැන් දවල් එකත් පහුවෙලා නිසා මහතුන් අය්යා බත්ම කනවද?”

 

ගඟුල් එසේ පැවසුවේ සිය අත් ඔර්ලෝසුව දෙස බලමිනි.

 

‘‘නෑ සර් තේකක් බොමු. කීයට හරි ගෙදර ගිහින් අපේ ගෑනි හදන බත්තෙක කන්න  ඕන. නැත්තං ඔය මනුස්සයට හරියට දුක හිතෙනව සර්.”

 

මේ අතර හෝටලයට ආ ගැටවරයෙක් මහතුන් දැක මෙසේ පැවසීය.

 

‘‘ආ මහතුන් අයියෙ, ඇත්තද ඊයෙ සිරිලට නෙලුව කියන්නෙ පලුගස්වැවේදි.”

 

‘‘නෙලලා මදි බන්. අර උඩවත්තෙ ගෙදර මද්දුමී ඊයෙ මහව ගිහින් හැන්දෑකරේ ගෙදර යන කොට සිරිලා  ඕන්නැති කොලොප්පං කල්ලා.” 

          ‘‘ඉතින් මහතුන් අයියෙ,  ඕක සිරිල්ට ගහන්නත් තරං දෙයක්ද?”

 

‘‘කෙල්ලො ඉන්නෙ කොල්ලන්ට බයිට් කරන්නවත් කොල්ලො ඉන්නෙ කෙල්ලන්ගෙ බයිට් එකටවත් නෙමේ. සිරිල් මද්දුමීගෙ කොණ්ඩෙන් ඇදල තියෙනව රිදෙන්න. එතකොට කොච්චර රිදෙනවද බන්. රිදෙන කොට කොච්චර අමාරුද කියන එක සිරිල්ට දන්නන්නයි, ආයි ඒ ජාතියෙ වැඩ කවුරු හරි කරන්න හිතාගෙන ඉන්නවනං උන්ට දන්නන්නයි එහෙම කළේ. නැතුව තරහකට එහෙම නෙමෙයි බන්. ගමේ කෙල්ලො රකිනව වගේම කොල්ලො ටිකත් හදාගන්න එපැයි මල්ලි.”

 

‘‘මහතුන් අය්යෙ, තරහ වෙන්න එපා මෙහෙම ඇහැව්වට. මන් මේ නිකමට අහන්නෙ. අය්යා කොල්ලා කාලෙදි ඒ කියන්නෙ මේ අපේ වගේ නසරානි වයසෙදි කවුරු හරි කෙල්ලෙක්ගෙ කොණ්ඩෙන් ඇදලා නැද්ද?”

 

ගඟුල්ට හිනහා ගියේ ගැටවරයා මහතුන්ගෙන් තරමක් ඈත් වෙමින්  ඇදපැද එය ඇසූ ආකාරයට ය.

 

‘‘බලහන් මල්ලි උඹ අහන ඒවට මේ සර්ටත් හිනහයි. යකෝ, මං එහෙම ඇද්දෙ එකම එක කෙල්ලෙක්ගෙ කොණ්ඩෙන් විතරයි. ඒත් රිදෙන්න නෙමෙයි හෙමින්. ආදරේට.”

 

‘‘ආව් මහතුන් අය්යා, ඒ පැත්තෙන් බැලූවහමත් හරි වැඞ්ඩෙක්නෙ.”

 

‘‘ඒ පැත්තෙන් විතරක් නෙමෙයි බන්, කොයි පැත්තෙන් බැලූවත් අපේ මහතුන් වැඞ්ඩෙක් තමයි.”

 

 එසේ කීවේ මුදලාලි ය.

 

‘‘ඒක නෙමෙයි මහතුන් අයියෙ, අපේ මාලක්කා දන් නැද්ද අයියගෙ ඔය පරණ සීන් කෝන් ගැන.”

 

‘‘මොකෝ නොදන්නෙ එයා තමයි ඒවා හොඳටම දන්නේ.”

 

‘‘ඉතින් මහතුන් අයියෙ, මාලක්කට කේන්ති යන් නැද්ද අය්යගෙ ඔය පරණ කෙල්ලන්ගෙ කතා කියන කොට.”

 

‘‘අපෝ නෑ. එයාට මොකටද කේන්ති යන්නෙ. ඒ කෙල්ල එයානෙ.”

 

‘‘නෑ.”  
 ගැටවරයා කීවේ විස්මයෙනි.

 

‘‘නෑ නෙමෙයි බන් ඔව්.” 

 

‘‘මල්ලි මං උඹටත් එකක් කියන්නම්. කවදා හරි උඹත් එකම එක කෙල්ලෙක්ගෙ විතරක් කොණ්ඩෙන් ඇදපන්. රිදෙන්න නෙමෙයි හෙමිහිට ආදරෙන්. හැබැයි මල්ලි ඒ කෙල්ල කැමති නං විතරයි.”

 

‘‘එයා කැමතිද නැද්ද කියලා කොහොමද මහතුන් අය්යෙ දැන ගන්නෙ.”

 

‘‘ඒවා මල්ලි, අපේ මේ සර්ලා කරන පාඩම් වගේ උගන්නන්න පුළුවන් දේවල් නෙමෙයි. මෙතෙන්ට දැනෙන ඒවා. මෙතෙන්ට දැනෙන ඒවා. උඹටම ඒක දැනෙන දවසක් එනවා මල්ලි.”

 

මහතුන් එසේ කීවේ සිය පපුවට අත තබා ය.

 

‘‘තව එක දෙයක් විතරක් කියන්නං මල්ලි. මන් මාලක්කගෙ කොණ්ඩෙන් ඇද්දෙ එයාට බලාපොරොත්තු දීල පස්සෙ අත හරින්න නෙමෙයි. මල්ලි, මිනිස්සු අහිංසක කෙල්ලෙක්ගෙ හිතේ බලාපොරොත්තු ඇති කරලා වෙන කෙනෙක් පස්සෙ යනවා. ඊටත් පස්සෙ තවත් වෙනම කෙල්ලෙක්ව බඳිනවා. ඒව හරි කැත වැඩ මල්ලි. ඒ වගෙම හරි පවක්.” 

 

ගඟුල්ට පුදුම හිතුණේ මේ මිනිසාගේ ජීවන දර්ශනය ගැන ය. සම්මත උපාධි සහතික නොමැති මුත් ඔහු ජීවන තක්සලාවෙන් ලබා ඇති උපාධි ගැන ය. තමා තේ බොන මේසයේ ඉදිරිපස වාඩි වී තේ බොන මහතුන් දෙස ගඟුල් මොහොතක් බලා සිටියේ ය. ඔහු ලොකු කල්පනාවක ය. කමිසයේ ඉදිරිපස බොත්තම් දෙක තුනක්ම ඇර දමා ඇති හෙයින් ඔහුගේ පපුවේ කොටා ඇති පච්චය ගඟුල්ට පැහැදිලිවම පෙනිණ.

 

                            ‘‘යුතුකමට දිවි දෙමි.” 

 

ගඟුල්ට සිහිපත් වූයේ සිය ගමේ, මේ පච්චය ම පපුවේ කොටාගෙන සිටි ඩොනල්ඞ් අයියා ය. එකී පච්චයේ අර්ථය සිය ජීවිතයෙන් ම ක‍්‍රියාත්මක කිරීමට ගිය ඩොනල්ඩ් අකාලයේ මැරුම් කෑවේ ය. ඔහු චණ්ඩියකු වූයේ අහිංසකයනට චණ්ඩිකම් කළ අයට ය. වරක් තරුණ පාසල් ගුරුවරියකට කලකොලොප්පං කළ ගමේ චණ්ඩින් යයි සිතා ගෙන සිටි තිදෙනෙක් ම ඩොනල්ඞ්ගෙන් ගුටි කෑවේ ය. එම ගුරුවරිය ම මැදිහත් වී ඔවුන් ගලවා නොහැරියේ නම් ඔවුන් තිදෙනා තව දුරටත් ඔහුගෙන් ගුටි කන්නට ඉඩ තිබිණි. ඒ මොහොතේ ඒ තරුණයනට ඩොනල්ඞ් අය්යා කී වචන ද ගඟුල්ට අද වාගේ මතක ය.

 

‘‘මල්ලි මන් ගැහැව්වෙ උඹලට නෙමෙයි, උඹලා කරපු කැත වැඬේට. කවදා හරි දවසක ඒ වැඬේ මං කළොත් උඹලා එදාට මට ගහපල්ලා. එදාට මං ගුටි කනවා. උඹලා අපි මේ පාරවල්වලට වෙලා පිස්සු කෙළින්නෙ ඉගෙන ගත්තෙ නැති නිසා. මේ ටීචර්ලා අපේ ගම්වලට ඇවිල්ලා නැවතිලා ඉඳලා කරන්නෙ උඹලට අපට නැති වෙච්ච ලෝකෙ උඹලෑ අපේ ම නංගිලා මල්ලිලට හදලා දෙන්න වැඩ කරන එක. එහෙම අයට අපි කරන්න  ඕනෙ කලකොලොප්පං කරන එක නෙමෙයි, මල් තියලා වඳින එක.”  

 

තමා පාසල්  යාමට බස්රියක් එනතුරු පාරට වී සිටි දිනයක ඩොනල්ඞ් අයියා ළඟට ආ ආකාරය ද තමා ඉගෙන ගන්නා පාසල, පන්තිය ආදිය ගැන විස්තර විමසා ළඟම තිබූ කඩයකට ගොස් අභ්‍යාස පොත් තුනක් මිලට ගෙන තමා අත තබා කළ ප‍්‍රාර්ථනය ද ගඟුල්ට සිහිපත් විය.

 

‘‘මල්ලී, අපි වගේ නන්නත්තාර නොවී උඹලා හොඳට ඉගෙනගන්න  ඕනෙ. අන්න මල්ලි, බස්සෙක එනවා. කවදා හරි හොඳ ඉස්කෝලෙ මහත්තයෙක් වෙන්ඩ  ඕන හරිද මල්ලි. එදාට මේ ඩොනල් හිටියත් නැතත් මෙන්න ඒ දවසට මං ගහන සැලියුට් එක.

 

එසේ කියා තමා බස්රියට ගොඩවන මොහොතේ ඩොනල්ඞ් අය්යා ඒ ‘සැලියුට්’ එක ද ගැසුවේ ය.

 

මේ උදාවී ඇත්තේ ඒ දවස යි. ගඟුල් කල්පනා කෙළේ තමාගේ ගුරු ජීවිතය සමග ඩොනල්ඞ් අයියා එදා දුන් පොත් තුනේ සුවඳ ද තැවරී ඇති බව ය.

 

‘‘සර් ලොකු කල්පනාවක වගෙයි. එහෙනං සර් තේ බීලා ඉවර වෙලා එන්ඩකො. මං යන්නං වීල්ලෙකට. මූට උත්තර දෙන්න ගියොත් මට පිස්සු හැදෙයි සර්.”

 

ගඟුල් කල්පනා ලෝකයෙන් මෑත් වූයේ මහතුන්ගේ ඒ වචනත් සමග ය.
මේ මොහොතේ ගඟුල් ළඟට පැමිණි හෝටලයේ හිමිකරු මෙසේ පැවසීය.

 

 ‘‘මං බලාගෙන, සර් මහතුන්ගෙ පච්චෙ දිහා බලාගෙන ඉන්නව. පච්චෙ වගෙම තමයි මිනිහගෙ වැඩත්. යුතුකොමට බොක්ක හරි දෙන එකෙක් සර්, මහතුන් කියන්නෙ.”

 

‘‘මට ඒක තේරුණා මුදලාලි මේ ටික වෙලාවට. මහතුන් අය්යා වෙනස් මිනිහෙක් කියන එක මටත් දැනෙනවා. ඒ මනුස්සයගෙන් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.”

 


ගඟුල්  එසේ පැවසුවේ ඉමහත් හැඟීමකිනි. සමුගන්නා මොහොතේ  හෝටල් හිමියා මෙසේ පැවසීය. 

 

‘‘තෙරුවන් සරණයි. අය්යනායක දෙය්යන්ගෙ පිහිටයි. ගිහින් එන්න සර්.” 

 

මේ ගඟුල් නාගොල්ලාගමින් ලද දෙවන ආශිර්වාදය යි.

 

ගඟුල් කල්පනා කෙළේ මේ අයගේ දරුවන්ට උගන්වන අතර ම මේ මිනිසුන් වෙතින් තමාට ද ඉගෙන ගැනීමට  බොහෝ දේ ඇති බව ය. ත‍්‍රීවීලරය වෙත ඇවිද එද්දීත් යළි ගඟුල්ට සිහිපත් වූයේ ඩොනල්ඞ් අය්යා ය. දිනක් ගමේ පියදාස අය්යාට ඔහු කී කතාවක් ද මේ මොහොතේ ගඟුල්ගේ සිතට නැඟිණ.

 

                ‘‘සෙම සෙවල දෙක නෑ. පච්ච තියෙනව පච නෑ.”

 

ගඟුල්, මහතුන් දෙස බැලූවේ මහත් ආදරයකින් හා ගෞරවයකිනි. ඔහුට දැනුණේ මියගිය ඩොනල්ඞ් අය්යා නාගොල්ලාගම දී යළිත් හමු වී ඇති සෙයකි.

 

‘‘අපි යමු සර් එහෙනං.” 

 

මෙසේ කියා මහතුන්, සිය ත‍්‍රී රෝද රථයට නැඟුණේ ගඟුල් ඊට ගොඩ වූ පසුව ය. එය ගඟුල් පැමිණි පැත්තට ම යළි ධාවනය කෙරිණ. යාමට තිබුණේ කෙටි දුරකි.

 

‘‘අපේ සර්, ඔන්න තැන. අර ඉස්සරහ තියෙන දුඹුරු පාට ගාපු ගොඩනැගිල්ලෙ තමයි ලොකු සර්ගෙ ඔපිස්සෙක තියෙන්නෙ. සර් මගෙ සෙල් එකේ අංකෙත් ලියා ගන්න.  ඕන වෙලාවක මට කතා කරන්න.” 

 

ඒ ආ කෙටි දුර ද මග දෙපස සුන්දරත්වය බලමින් පැමිණි ගඟුල් කල්පනා ලොවින් මෑත් වූයේ මහතුන්ගේ ඒ වචනත් සමග ය.  ඒ සමග ම ඔහුට සිහිපත් වූයේ තමා ත‍්‍රී රෝද ගාස්තුව නොගෙවූ බව ය.

 

‘‘මහතුන් අය්යගෙ මන් හයර්රෙක දුන්නෙ නැහැනෙ.”

 

ගඟුල් පැවසුවේ සිය කමිස සාක්කුවට අත දමමිනි.

 

‘‘පිස්සු ද සර් අපේම දරුවන්ට උගන්නන්න ආපු සර්ලගෙන් අපට සල්ලි ගන්න පුළුවන් ද?”

 

‘‘එහෙම කියලා බැහැනෙ මහතුන් අය්යා. අය්යලත් ජීවත් වෙන්න එපායැ”.

 

‘‘ජීවත් වෙනවා ජීවත් වෙනවා. මොකෝ ජීවත් නොවෙන්නෙ. අමාරුවක්ම වුණොත් විතරක් සර්ට කියන්නංකො. අනිත් එක සර්. මං සර්ව අරන් ආවෙ පොඩි දුරක් විතරයි. සර් අපේ කොල්ලො කෙල්ලන්ව ගොඩක් දුර අරගෙන යන්න  ඕන.”

 

මහතුන්ගේ මේ හැඟීම්බර වචන ගඟුල්ගේ හදවතට ම දැනිණ. මේ සමාජ සම්මත උපාධි කිසිවක් නැති මේ ත‍්‍රීරෝද රථ රියැදුරා, අද දවසේ තමාට ඉගැන් වූ තවත් පාඩමකිි. මේ මොහොතේ ඔහුට සිහිපත් වූයේ සිය පාසල්  ජීවිතයේදී සහ සරසවි ජීවිතයේ දී හමු වූ ඇතැම් ආදරණීය ආචාර්යවරයෙකි, ආචාර්යවරියකි. මේ නම් නාගොල්ලාගම ගත කරන කාලය තුළ පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම ඇසුරු කළ යුතු මිනිසෙකි; ගුරුවරයෙකි.

 

ගඟුල්  ත‍්‍රීරෝද රථයෙන් බැස්සේ මහතුන්ට මෙසේ පවසමිනි.

 

‘‘එහෙනං මහතුන් අය්යෙ, අපි ඉක්මණින් ම ආයි හමුවෙමු.”

 

‘‘නැතුව, අනිවාර්යෙන්ම සර්, අනිවාර්යෙන්ම.” බුදුසරණයි සර්.

 

මේ ගඟුල් නාගොල්ලාගමින් ලද තෙවන ආශිර්වාදය යි.

 

ගඟුල්  පාසල දෙසට ගමන් කෙළේ බර වූ හදවතින් යුතු ව ය. අදිකාරම්තුමා කී ඒ ගුරු සහෘදයා කී ගුරු මෙහෙවරට තමා දැන් භාග්‍යවත් වී තිබේ. තමා මෙතෙක් ආ දුරක් තිබේ. ඒ දුර ආ පාර ද තිබේ. මේ මොහොතේ තමා විසින් කළ යුතු ව ඇත්තේ ඒ පාර, මේ අහිංසක දරුවන්ට ද පෙන්වා දීම පමණක් නොව තමාට ද වඩා දුරක් ඒ පාරේ ගමන් කිරීමට මේ දරු දැරියනට අවස්ථාව සලසා දීම ය. හෙට සිට ඇරඹෙන්නේ ඒ ගමන යි.  එහි දී සමාන ආකල්ප ඇති අයගේ ආශිර්වාදය මෙන් ම අසමානයන්ගේ විරෝධතා ද තමා ඉදිරියේ දර්ශනය වනු ඇත. ඒ සියලු අවස්ථාවලදී සිය ආදරණීය සහෘදයා සම මනසකින් කටයුතු කළ ආකාරය ද ඔහුට සිහිපත් විය. 

 

අවිරෝධි පරිසරයක දී මෙන් ම සවිරෝධී පරිසරයක දී ද වැඩ කරන ආකාරය පිළිබඳ තමාට ඇති පරමාදර්ශය වන්නේ ඒ ගුරු සහෘදයා ය. ඔහු සමග ගිය ගමන්, ඒ ගමන්වල දී දැක ගැන්මට ලැබුණු දෑ කළ කතාබහ ඈ සියල්ල සිතුවම්පටක් මෙන් ගඟුල් ඉදිරියේ දර්ශනය වන්නට විය. ඔහුට සිහිපත් වූයේ ඒ සහෘදයාගේ කායික අභාවයෙන් පසුව ඉතා අසීරුවෙන් ගෙවීගිය දින අතරට අයත් එක් රාත‍්‍රියක දී තමා අතින් ලියැවුණු කවියකි. ගඟුල්, නාගොල්ලාගම පාසල් භූමියට ඇතුළු වූයේ එකව හදවතින් මුමුණමිනි.

 

                      ”වෙස්සගිරිය ළඟ නැවතුණු මගෙ දෑස යි
                     මට පෙර සුන්දරත්වය දුටු ඔබෙ  දෑස යි
                     පියැවුණු නමුදු මා දුටුවේ ඒ      දෑස යි
                     දිවි ඇති තුරා ඒ දෑස ම මට       දෑස යි”