Monday, November 1, 2021

57. ගුරු දියවර නවකතාව - පළමු කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                 

                                                               පළමු දියවර 

 

‘‘මිනිස් ජීවිතය දෙස සානුකම්පික දෑසක් ඇති මිනිසුන් ලෝකයට අවශ්‍ය යි. එවැනි මිනිසුන්ගේ දෑස් දිනයක පියැවී ගියත් ජීවත් ව සිටින අය ඒ ඇස්වලින් ලෝකය දකිනවා.”                                            

 

ගඟුල්, ගුරුවරයකු වශයෙන් සුවිසල් සේවයක් කළ ඒ ආදරණීය සහෘදයාගේ  මේ ප‍්‍රකාශය දැන් කියැවූයේ සත්වන වරට ය. සිය සොහොයුරා සමග සෞන්දර්ය සරසවියේ එකට ඉගෙන ගත් ඔහු තමා ඇසුරු කළ බොහෝ දෙනාට දෑසක් ම වූ ආකාරය ගඟුල් සිහිපත් කෙළේ ඉමහත් හැඟීමකිනිි, එසේ ම බලවත් සංවේගයකිනි. ඒ, එම ආදරණීය මිනිසාගේ භෞතික රූපකාය යළි කිසිදිනක දැක ගැන්මට නොලැබෙන බැවිනි. මේ ගඟුල්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නාගොල්ලාගම මැදි මහා විදුහලට ගුරු පත් වීමක් ලැබ යන පළමු දවස යි.සිය සොහොයුරා නිසා හඳුනාගැන්මට ලැබුණු ඒ  සහෘදයාගේ ඇසුර තම ජීවිතය ඉමහත් වෙනසකට පත්කළ ආකාරය ද  ගඟුල්ට සිිහිපත් විය. ගුරුවරයකු වශයෙන් ඔහු විසින් සිදු කරන ලද මෙහෙවර තමාට සිතා ගැන්මටත් බැරි තරම් විසල් ය. සිය ජීවන දැක්ම වෙනස් කළ එම ආදරණීය ගුරුවරයාට කළ හැකි උසස් ම උපහාරය වන්නේ තමාගේ ශිෂ්‍ය ප‍්‍රජාවට ඇසක් දිය හැකි ආදරණීය ගුරුවරයකු වීම මිස අන් කිසිවක් නොවේ ය යන හැඟුම අන් කවදාටත් වඩා බලවත් ව මේ මොහොතේ ඔහුගේ සිතට නැඟිණි.

 

සිංහල විශේෂවේදී උපාධිය හදාරා ඉන් ප‍්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලද ගඟුල්ගේ ඒකායන අපේක්ෂාව වූයේ  කවදා හෝ කවර හෝ කාල වකවානුවක් දුර ඈත පාසලක දරුවනට ඉගැන්වීම ය. පාසල් ශිෂ්‍ය ජීිවිත කාලයේ පටන් පැවති ඔහුගේ මේ අපේක්ෂණය වඩාත් පෝෂණය වූයේ සිය සොහොයුරා ඇතුළු බොහෝ දෙනාගේ ජීවන දර්ශනය වෙනස් කළ ඒ ආදරණණීය සහෘදයාගේ සමීප ඇසුරත් සමග ය. ඔහුගේ කායික අභාවය සිය ජීවිතයේ ගඟුල් ලද අතිප‍්‍රකම්පනීය අද්දැකීම විය. වෙනත් රැකියා අවස්ථා දෙකක් ඒ වනවිට ගඟුල් ඉදිරියේ තිබුණ ද මේ මොහොතේ ඔහු සිතට ආ බලවත් හැඟීම වූයේ ඒ සහෘදයා ගත් මග ගැනීම ය. වෘත්තීය වශයෙන් ගුරුවරයකු නොවූ සිය සොහොයුරා ද එකහෙළා ම එය අනුමත කිරීම ගඟුල්ට ආශි්ර්වාදයක් මෙන් ම මහත් සතුටට හේතුවක් ද විය.

 

උදෑසන හයට කොළඹින් කුරුණෑගල යන බස් රියකට ගොඩ වූ ගඟුල් කුරුණෑගලින් බසින විට පෙරවරු නවයට ආසන්න ව තිබිණ. යම් තරමකට කොළඹ - කුරුණෑගල ගමනේ හුරුපුරුදු බවක් තිබුණ ද එතැන් සිට නාගොල්ලාගම දක්වා වන ගමන ඔහුට නැවුම් අද්දැකීමක් විය. ගණේවත්ත, හිරිපිටිය ආදි ගම් හරහා පොල්වතු, කුඹුරු, කුඩා වනරොදවල් මැදින් බස් රියේ කවුළුවක් අසල අසුනක හිඳ අවට දසුන් නරඹමින් ආ ඒ ගමන සැබැවින් ම මහත් ආස්වාදජනක එකක් විය. හෙට සිට තමා ඉදිරියේ නිර්මාණය වන සුන්දර ගුරුජීවිතයක් හා බැඳුණු දසුන් සොඳුරු සිහිනයක් මෙන් ඔහු අබිමුව මැවිණ. එහෙත් සුන්දර ජීවිතය යනු තමා පමණක් හෝ තමාට සීමා වූ චරිත කිහිපයක් පමණක් හෝ සුන්දර කරගෙන ජීවත්වීම නොවන බව ගඟුල් දැන සිටියේ ය. ඔහුට කිසිවිටෙකත් එබඳු ජීවිතයක් අවශ්‍ය ද නොවීය. සරසවි ජීවන සමයේ දී කවර හෝ භාග්‍යයකට සමීප ව ඇසුරු කරන්නට ලැබුණු එසරසවියේ ප‍්‍රථම සම්මාන කුලපතිවරයා ද වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා නිතර අවධාරණ කෙළේ ද ආත්මාර්ථයෙන් තොර වූ පෘථුල ගුරු ජීවිතයක් ගැන ය. ගුරු ජීවිතය පිළිබඳ තමාට ඇති පරමාදර්ශය වන ඒ ආදරණීය සහෘදයා  පැවසුවේ ද පරාර්ථකාමී වූත් ආදරණීය වූත් ගුරු ජීවිතයක් ගැන ය. ලෝකය පවතිනවාට වඩා සුන්දර කිරීම උදෙසා තමාට කළ හැකි දෙය කිරීම ද සුන්දරත්වයේ අර්ථයට ම අදාළ වන බව ඒ දෙදෙනා ම පැවසූහ. එචරිත ද්වය වූකලී ගඟුල්ගේ ජීවිතය මත වැටුණු ආලෝක කිරණ යි; ළඟ නොහිඳ මග කියන පහන් කණු යුග්මය යි.

 

කුරුණෑගලදී තමා සමග ම බස්රියට ගොඩ වූ ඇතැම් මගියෙක් අතරමගදී බසිති. ඒ අතර අලුත් මගියෝ බස්රියට ගොඩවෙති. මේ වන විට හිරිපිටිය ද ගණේවත්ත ද පසු වී තිබේ. අතරමග ගමකදී බරැති මල්ලක් ඔසොවා ගත් මහලූ කාන්තාවක් බස්රියට ගොඩ වූවා ය. ඇය අපහසුවකින් වටපිට බලනු දුටු ගඟුල් අසුනෙන් නැඟිට තමා හිඳ සිටි අසුනේ ඇයට හිඳගැනීමට සැලැස්වීය. ඇය එතැන හිඳ ගත්තේ ‘පිං සිද්ද වෙනව පුතේ’ යන වචන කිහිපය ද පවසමිනි. ඉදිරි බස් නැවතුමක දී එම කාන්තාව ළඟ හිඳ සිටි මගියා බැස ගිය බැවින් ගඟුල් එම හිස් අසුනෙහි හිඳ ගත්තේ ය. ගඟුල් දෙස බලා ප‍්‍රසන්න සිනහවක් පෑ ඇය මෙසේ ඇසුවා ය.

 

‘‘මේ පුතා මේ කොහෙට ද යන්නෙ. පුතා මට ලොකු උදව්වක් කළේ.”

 

‘‘ඒක මොකක්ද අම්මෙ මට මේ නාගොල්ලගම ඉස්කෝලෙටයි යන්න  ඕන. නාගොල්ලගමට තව දුරයි ද අම්මෙ.”

 

‘‘ඒ කියන්නෙ මේ පුතා...” ඇය ප‍්‍රශ්නකාරි ස්වභාවයකින් ගඟුල් දෙස බැලූවා ය. 

 

‘‘අම්මෙ මට ඒ ඉස්කෝලෙ ගුරුවරයෙක් විදිහට වැඩ බාරගන්න තියෙනව හෙට ඉඳලා.”

 

 ‘‘අනේ වාසනාවයි! මේ ඉස්කෝලෙ මහත්තයෙක්නෙ. අනේ මට සමා වෙන්න  ඕන මහත්තයො.” 

 

‘‘ඇයි අම්මා සමාවෙන්න කියන්නෙ, මට පුතා කිව්වට ද ? ඒක මහත්තයට වඩා කොච්චර ලස්සන වචනයක් ද ? ”

 

‘‘එහෙනං මන් පුතා කියලම කියන්නංකො. මේ පුතා ඇහැව්වෙ නාගොල්ලාගම ඉස්කෝලෙට තව දුරද කියලනෙ. පුතේ, එකක් නාගොල්ලගම කනිස්ටෙ. අනික සැන්ට‍්‍රල් එක.” 

 

‘‘අම්මෙ සෙන්ට‍්‍රල් එකට තමයි මට යන්න තියෙන්නෙ.”

 

‘‘අනේ වාසනාවයි ! අපේ මුනුබුරාලා මිනිබිරියොත් යන්නෙ ඒකටම තමා. කනිස්ටෙ නම් පුතේ රේල් පාර පැනපු ගමන් ම වං අත පැත්තෙ. ඒ කියන්නෙ ටවුම කිට්ටුවමයි. සැන්ට‍්‍රල් එක ඊට ඉස්සෙල්ලයි තියෙන්නෙ. තව ටික දුරයි.”

 

‘‘එහෙනං අම්මෙ මම ටවුමට ගිහිල්ල ටවුමත් බලාගෙනම එන එක හොඳයි කියල හිතෙනව.”

 

‘‘ඔව් පුතේ මාන්සි කාරියත් ඇතිනෙ. පුතාට ටවුමෙන් තේකක් කාරිය බීල මහන්සි නිවාගෙනම යන්න පුළුවන්.”

 

බස්රිය නාගොල්ලාගමට ළඟා විය. ගඟුල් පළමු ව සිය බෑගය කරට දමා ගත්තේ ය. දෙවනු ව තමාට නාගොල්ලාගමින් හමු වූ පළමු මිතුරිය වූ මහලූ කාන්තාවගේ බරැති මල්ල අතට ගත්තේ ඇගේ විරෝධය නොතකමිනි. 

 

‘‘මට පව් සිද්ද වෙනවනෙ පුතේ අපේ දරුවන්ගෙ ඇස් පාදන්න ආපු ඉස්කෝලෙ මහත්තැන් ලව්වා අපේ බර අද්දව ගත්තම.”

 

‘‘අම්මෙ, අම්ම අමාරුවෙන් මේක අරන් යන බව දැන දැනම අහක බලාගෙන ගියොත් තමයි මට පව් සිද්ද වෙන්නෙ.” ගඟුල් සිනා සී කීවේ ය.

 

‘‘පුතාට පුළුවන් මෙතනින් ත‍්‍රීවීල්ලෙකකි්න් යන්න. රුපියල් පනහක් හැටක් ගනීවි මගෙ හිතේ.”

 

‘‘අම්මත් යන් මාත් එක්කම තේකක් බොන්න.” ගඟුල් පැවසීය.

 

‘‘අනේ, වාසනාවයි පුතේ. දැනටම පොළට යන්න පරක්කු වෙලයි තියෙන්නෙ. පොළ ඉවර වෙන්න කලින් මේ බඩු ටික ඉවර කර ගන්නැත් එපායැ. ඒ හින්ද මං යන්නම්. මයෙ පුතාට තුනුරුවන්ගේම සරණයි, අය්යනායක  දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි.” 

 

ඉමහත් හැඟීමකින් තමාට තෙරුවන් සරණ, දෙවි පිහිට පතන මේ වැඩිහිටි කාන්තාව දෙස ගඟුල් බලා සිටියේ අසීමිත ආදරයකිනි.

 

මේ ගඟුල් නාගොල්ලාගමින් ලද ප‍්‍රථම ආශිර්වාදය යි.   

 

‘‘ආ සීලවතී නැන්දේ දැන් සරු පාටයිනෙ. නැන්දා පොළේ යනවා වගෙයි.” 

 

මෙසේ පැවසුවේ එතැනින් යන්නට ගිය ත‍්‍රීවීලරය පැදවූ මැදිවියට ආසන්න මිනිසෙකි.

 

‘‘මොන සරුවක් ද බන්. මන් පොළේ යනව වගේ නෙමෙයි පොළේ යනව. ඒක නෙමෙයි මහතුන්, උඹ හම්බ වෙච්ච එක හොඳයි. මේ  අපේ නාගොල්ලගම ඉස්කෝලෙට අලුතෙන් පත් වෙලා එන ඉස්කෝලෙ මහත්තැන් කෙනෙක්. උඹට පුළුවන් නේද මහතුන්, මේ ඉස්කෝලෙ මහත්තයව සැන්ටරේ ගාවට ගොහින් ඇරලවන්න.”

 

‘‘මොකෝ බැරි මොකෝ බැරි” මහතුන් දෙවරක්ම කීවේය. ”නගින්න සර්, මං සර්ව ඉස්කෝලෙ ගාවට දාන්නම්.”

 

‘‘මහතුන් අයියා මං මේ කොළඹ ඉඳල එන ගමන්. අපි තේකක් බීලම යමු.”

 

‘‘හොඳයි සර් එහෙනන් තේ බීල එනකන් මං මෙතන වීල්ලෙක තියාගෙන ඉන්නම්.”

 

‘‘නෑ මහතුන් අයියෙ අපි දෙන්න එක්කම  තේ බොන්න යමු.”

 

මහතුන් ටික වෙලාවක් මේ තරුණයා දෙස බලා සිටියේය. ඔහුට දැනුණේ වෙනස් ම හැඟීමකි. තමාගේ ගමේ පාසලේ උගන්වන්නට ආ මේ උගත් තරුණයා හඳුනාගත් පළමු දවසේ ම තමාට මහතුන් අයියේ කියා කතා කරයි. දැන් තේ බොන්න යමු දැයි අසයි. මහතුන්, සිය ත‍්‍රීවීලරය පාරේ අයිනකට වන්නට නවතා ගඟුල් වෙත පැමිණියේය.

 

‘‘යමු සර්, අපි මේ නදීකා එකෙන් තේ බීල යමු.” මෙසේ කියා මහතුන් ඉස්සර විය. 

 

‘‘ආ මහතුන්, උඹට අද අලුත් යාලු මහත්තයෙක් හම්බ වෙලා වගෙයි.”

 

‘‘මට විතරක් නෙමෙයි මුදලාලි අපේ මුලු ගමටම යාලු මහත්තයෙක් තමයි මේ ඇවිල්ල ඉන්නෙ. මේ තමයි සෙන්ට‍්‍රල් එකට අලුතෙන්ම එනව කියල තිබිච්ච සර්.”

 

‘‘කොච්චර හොඳයි ද මහතුන්. එන්ඩ අපේ සර් එන්ඩ. අපේ දරුවන්ගෙ ඇස් පාදන්ඩ ආපු උත්තමයොනෙ මේ.” ඒ කුඩා හෝටලයේ හිමිකරු ගඟුල් පිළිගත්තේ මහත් සන්තෝෂයෙනි.”

 

‘‘මුදලාලි, බලන්ඩකො අපේ සර්ට මොනවද  ඕනෙ කියල. මේ සර් කොළඹ ඉඳලම එන ගමන්.”

 

‘‘අපේ සර් බත් කනවද එහෙම නැත්තං තේ බොන්න මොනව හරි ගේන්නද?”

 

ගඟුල්  තුළ ඇති වූයේ පහන් හැඟීමකි. මෙහි ආ පළමු දිනයේදී ම ඔවුනට තමා ‘අපේ සර්’ වී ඇත. කිසිදු හේතුවක් නිසාවත් ඔවුන් තමන් පිළිබඳ ව ඇති කොටගත් මේ පහන් හැඟුම කිලිටි නොකරන්නෙමි යි ඔහු දැඩි ව අදිටන් කොට ගත්තේ ය.

 

‘‘මට ඔය තියෙන හැලප බනිස් වගෙ දෙයක් හොඳයි. අපේ මහතුන් අයිය කැමති දෙයක් ගෙන්න ගන්න. නැත්තං දැන් දවල් එකත් පහුවෙලා නිසා මහතුන් අය්යා බත්ම කනවද?”

 

ගඟුල් එසේ පැවසුවේ සිය අත් ඔර්ලෝසුව දෙස බලමිනි.

 

‘‘නෑ සර් තේකක් බොමු. කීයට හරි ගෙදර ගිහින් අපේ ගෑනි හදන බත්තෙක කන්න  ඕන. නැත්තං ඔය මනුස්සයට හරියට දුක හිතෙනව සර්.”

 

මේ අතර හෝටලයට ආ ගැටවරයෙක් මහතුන් දැක මෙසේ පැවසීය.

 

‘‘ආ මහතුන් අයියෙ, ඇත්තද ඊයෙ සිරිලට නෙලුව කියන්නෙ පලුගස්වැවේදි.”

 

‘‘නෙලලා මදි බන්. අර උඩවත්තෙ ගෙදර මද්දුමී ඊයෙ මහව ගිහින් හැන්දෑකරේ ගෙදර යන කොට සිරිලා  ඕන්නැති කොලොප්පං කල්ලා.” 

          ‘‘ඉතින් මහතුන් අයියෙ,  ඕක සිරිල්ට ගහන්නත් තරං දෙයක්ද?”

 

‘‘කෙල්ලො ඉන්නෙ කොල්ලන්ට බයිට් කරන්නවත් කොල්ලො ඉන්නෙ කෙල්ලන්ගෙ බයිට් එකටවත් නෙමේ. සිරිල් මද්දුමීගෙ කොණ්ඩෙන් ඇදල තියෙනව රිදෙන්න. එතකොට කොච්චර රිදෙනවද බන්. රිදෙන කොට කොච්චර අමාරුද කියන එක සිරිල්ට දන්නන්නයි, ආයි ඒ ජාතියෙ වැඩ කවුරු හරි කරන්න හිතාගෙන ඉන්නවනං උන්ට දන්නන්නයි එහෙම කළේ. නැතුව තරහකට එහෙම නෙමෙයි බන්. ගමේ කෙල්ලො රකිනව වගේම කොල්ලො ටිකත් හදාගන්න එපැයි මල්ලි.”

 

‘‘මහතුන් අය්යෙ, තරහ වෙන්න එපා මෙහෙම ඇහැව්වට. මන් මේ නිකමට අහන්නෙ. අය්යා කොල්ලා කාලෙදි ඒ කියන්නෙ මේ අපේ වගේ නසරානි වයසෙදි කවුරු හරි කෙල්ලෙක්ගෙ කොණ්ඩෙන් ඇදලා නැද්ද?”

 

ගඟුල්ට හිනහා ගියේ ගැටවරයා මහතුන්ගෙන් තරමක් ඈත් වෙමින්  ඇදපැද එය ඇසූ ආකාරයට ය.

 

‘‘බලහන් මල්ලි උඹ අහන ඒවට මේ සර්ටත් හිනහයි. යකෝ, මං එහෙම ඇද්දෙ එකම එක කෙල්ලෙක්ගෙ කොණ්ඩෙන් විතරයි. ඒත් රිදෙන්න නෙමෙයි හෙමින්. ආදරේට.”

 

‘‘ආව් මහතුන් අය්යා, ඒ පැත්තෙන් බැලූවහමත් හරි වැඞ්ඩෙක්නෙ.”

 

‘‘ඒ පැත්තෙන් විතරක් නෙමෙයි බන්, කොයි පැත්තෙන් බැලූවත් අපේ මහතුන් වැඞ්ඩෙක් තමයි.”

 

 එසේ කීවේ මුදලාලි ය.

 

‘‘ඒක නෙමෙයි මහතුන් අයියෙ, අපේ මාලක්කා දන් නැද්ද අයියගෙ ඔය පරණ සීන් කෝන් ගැන.”

 

‘‘මොකෝ නොදන්නෙ එයා තමයි ඒවා හොඳටම දන්නේ.”

 

‘‘ඉතින් මහතුන් අයියෙ, මාලක්කට කේන්ති යන් නැද්ද අය්යගෙ ඔය පරණ කෙල්ලන්ගෙ කතා කියන කොට.”

 

‘‘අපෝ නෑ. එයාට මොකටද කේන්ති යන්නෙ. ඒ කෙල්ල එයානෙ.”

 

‘‘නෑ.”  
 ගැටවරයා කීවේ විස්මයෙනි.

 

‘‘නෑ නෙමෙයි බන් ඔව්.” 

 

‘‘මල්ලි මං උඹටත් එකක් කියන්නම්. කවදා හරි උඹත් එකම එක කෙල්ලෙක්ගෙ විතරක් කොණ්ඩෙන් ඇදපන්. රිදෙන්න නෙමෙයි හෙමිහිට ආදරෙන්. හැබැයි මල්ලි ඒ කෙල්ල කැමති නං විතරයි.”

 

‘‘එයා කැමතිද නැද්ද කියලා කොහොමද මහතුන් අය්යෙ දැන ගන්නෙ.”

 

‘‘ඒවා මල්ලි, අපේ මේ සර්ලා කරන පාඩම් වගේ උගන්නන්න පුළුවන් දේවල් නෙමෙයි. මෙතෙන්ට දැනෙන ඒවා. මෙතෙන්ට දැනෙන ඒවා. උඹටම ඒක දැනෙන දවසක් එනවා මල්ලි.”

 

මහතුන් එසේ කීවේ සිය පපුවට අත තබා ය.

 

‘‘තව එක දෙයක් විතරක් කියන්නං මල්ලි. මන් මාලක්කගෙ කොණ්ඩෙන් ඇද්දෙ එයාට බලාපොරොත්තු දීල පස්සෙ අත හරින්න නෙමෙයි. මල්ලි, මිනිස්සු අහිංසක කෙල්ලෙක්ගෙ හිතේ බලාපොරොත්තු ඇති කරලා වෙන කෙනෙක් පස්සෙ යනවා. ඊටත් පස්සෙ තවත් වෙනම කෙල්ලෙක්ව බඳිනවා. ඒව හරි කැත වැඩ මල්ලි. ඒ වගෙම හරි පවක්.” 

 

ගඟුල්ට පුදුම හිතුණේ මේ මිනිසාගේ ජීවන දර්ශනය ගැන ය. සම්මත උපාධි සහතික නොමැති මුත් ඔහු ජීවන තක්සලාවෙන් ලබා ඇති උපාධි ගැන ය. තමා තේ බොන මේසයේ ඉදිරිපස වාඩි වී තේ බොන මහතුන් දෙස ගඟුල් මොහොතක් බලා සිටියේ ය. ඔහු ලොකු කල්පනාවක ය. කමිසයේ ඉදිරිපස බොත්තම් දෙක තුනක්ම ඇර දමා ඇති හෙයින් ඔහුගේ පපුවේ කොටා ඇති පච්චය ගඟුල්ට පැහැදිලිවම පෙනිණ.

 

                            ‘‘යුතුකමට දිවි දෙමි.” 

 

ගඟුල්ට සිහිපත් වූයේ සිය ගමේ, මේ පච්චය ම පපුවේ කොටාගෙන සිටි ඩොනල්ඞ් අයියා ය. එකී පච්චයේ අර්ථය සිය ජීවිතයෙන් ම ක‍්‍රියාත්මක කිරීමට ගිය ඩොනල්ඩ් අකාලයේ මැරුම් කෑවේ ය. ඔහු චණ්ඩියකු වූයේ අහිංසකයනට චණ්ඩිකම් කළ අයට ය. වරක් තරුණ පාසල් ගුරුවරියකට කලකොලොප්පං කළ ගමේ චණ්ඩින් යයි සිතා ගෙන සිටි තිදෙනෙක් ම ඩොනල්ඞ්ගෙන් ගුටි කෑවේ ය. එම ගුරුවරිය ම මැදිහත් වී ඔවුන් ගලවා නොහැරියේ නම් ඔවුන් තිදෙනා තව දුරටත් ඔහුගෙන් ගුටි කන්නට ඉඩ තිබිණි. ඒ මොහොතේ ඒ තරුණයනට ඩොනල්ඞ් අය්යා කී වචන ද ගඟුල්ට අද වාගේ මතක ය.

 

‘‘මල්ලි මන් ගැහැව්වෙ උඹලට නෙමෙයි, උඹලා කරපු කැත වැඬේට. කවදා හරි දවසක ඒ වැඬේ මං කළොත් උඹලා එදාට මට ගහපල්ලා. එදාට මං ගුටි කනවා. උඹලා අපි මේ පාරවල්වලට වෙලා පිස්සු කෙළින්නෙ ඉගෙන ගත්තෙ නැති නිසා. මේ ටීචර්ලා අපේ ගම්වලට ඇවිල්ලා නැවතිලා ඉඳලා කරන්නෙ උඹලට අපට නැති වෙච්ච ලෝකෙ උඹලෑ අපේ ම නංගිලා මල්ලිලට හදලා දෙන්න වැඩ කරන එක. එහෙම අයට අපි කරන්න  ඕනෙ කලකොලොප්පං කරන එක නෙමෙයි, මල් තියලා වඳින එක.”  

 

තමා පාසල්  යාමට බස්රියක් එනතුරු පාරට වී සිටි දිනයක ඩොනල්ඞ් අයියා ළඟට ආ ආකාරය ද තමා ඉගෙන ගන්නා පාසල, පන්තිය ආදිය ගැන විස්තර විමසා ළඟම තිබූ කඩයකට ගොස් අභ්‍යාස පොත් තුනක් මිලට ගෙන තමා අත තබා කළ ප‍්‍රාර්ථනය ද ගඟුල්ට සිහිපත් විය.

 

‘‘මල්ලී, අපි වගේ නන්නත්තාර නොවී උඹලා හොඳට ඉගෙනගන්න  ඕනෙ. අන්න මල්ලි, බස්සෙක එනවා. කවදා හරි හොඳ ඉස්කෝලෙ මහත්තයෙක් වෙන්ඩ  ඕන හරිද මල්ලි. එදාට මේ ඩොනල් හිටියත් නැතත් මෙන්න ඒ දවසට මං ගහන සැලියුට් එක.

 

එසේ කියා තමා බස්රියට ගොඩවන මොහොතේ ඩොනල්ඞ් අය්යා ඒ ‘සැලියුට්’ එක ද ගැසුවේ ය.

 

මේ උදාවී ඇත්තේ ඒ දවස යි. ගඟුල් කල්පනා කෙළේ තමාගේ ගුරු ජීවිතය සමග ඩොනල්ඞ් අයියා එදා දුන් පොත් තුනේ සුවඳ ද තැවරී ඇති බව ය.

 

‘‘සර් ලොකු කල්පනාවක වගෙයි. එහෙනං සර් තේ බීලා ඉවර වෙලා එන්ඩකො. මං යන්නං වීල්ලෙකට. මූට උත්තර දෙන්න ගියොත් මට පිස්සු හැදෙයි සර්.”

 

ගඟුල් කල්පනා ලෝකයෙන් මෑත් වූයේ මහතුන්ගේ ඒ වචනත් සමග ය.
මේ මොහොතේ ගඟුල් ළඟට පැමිණි හෝටලයේ හිමිකරු මෙසේ පැවසීය.

 

 ‘‘මං බලාගෙන, සර් මහතුන්ගෙ පච්චෙ දිහා බලාගෙන ඉන්නව. පච්චෙ වගෙම තමයි මිනිහගෙ වැඩත්. යුතුකොමට බොක්ක හරි දෙන එකෙක් සර්, මහතුන් කියන්නෙ.”

 

‘‘මට ඒක තේරුණා මුදලාලි මේ ටික වෙලාවට. මහතුන් අය්යා වෙනස් මිනිහෙක් කියන එක මටත් දැනෙනවා. ඒ මනුස්සයගෙන් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.”

 


ගඟුල්  එසේ පැවසුවේ ඉමහත් හැඟීමකිනි. සමුගන්නා මොහොතේ  හෝටල් හිමියා මෙසේ පැවසීය. 

 

‘‘තෙරුවන් සරණයි. අය්යනායක දෙය්යන්ගෙ පිහිටයි. ගිහින් එන්න සර්.” 

 

මේ ගඟුල් නාගොල්ලාගමින් ලද දෙවන ආශිර්වාදය යි.

 

ගඟුල් කල්පනා කෙළේ මේ අයගේ දරුවන්ට උගන්වන අතර ම මේ මිනිසුන් වෙතින් තමාට ද ඉගෙන ගැනීමට  බොහෝ දේ ඇති බව ය. ත‍්‍රීවීලරය වෙත ඇවිද එද්දීත් යළි ගඟුල්ට සිහිපත් වූයේ ඩොනල්ඞ් අය්යා ය. දිනක් ගමේ පියදාස අය්යාට ඔහු කී කතාවක් ද මේ මොහොතේ ගඟුල්ගේ සිතට නැඟිණ.

 

                ‘‘සෙම සෙවල දෙක නෑ. පච්ච තියෙනව පච නෑ.”

 

ගඟුල්, මහතුන් දෙස බැලූවේ මහත් ආදරයකින් හා ගෞරවයකිනි. ඔහුට දැනුණේ මියගිය ඩොනල්ඞ් අය්යා නාගොල්ලාගම දී යළිත් හමු වී ඇති සෙයකි.

 

‘‘අපි යමු සර් එහෙනං.” 

 

මෙසේ කියා මහතුන්, සිය ත‍්‍රී රෝද රථයට නැඟුණේ ගඟුල් ඊට ගොඩ වූ පසුව ය. එය ගඟුල් පැමිණි පැත්තට ම යළි ධාවනය කෙරිණ. යාමට තිබුණේ කෙටි දුරකි.

 

‘‘අපේ සර්, ඔන්න තැන. අර ඉස්සරහ තියෙන දුඹුරු පාට ගාපු ගොඩනැගිල්ලෙ තමයි ලොකු සර්ගෙ ඔපිස්සෙක තියෙන්නෙ. සර් මගෙ සෙල් එකේ අංකෙත් ලියා ගන්න.  ඕන වෙලාවක මට කතා කරන්න.” 

 

ඒ ආ කෙටි දුර ද මග දෙපස සුන්දරත්වය බලමින් පැමිණි ගඟුල් කල්පනා ලොවින් මෑත් වූයේ මහතුන්ගේ ඒ වචනත් සමග ය.  ඒ සමග ම ඔහුට සිහිපත් වූයේ තමා ත‍්‍රී රෝද ගාස්තුව නොගෙවූ බව ය.

 

‘‘මහතුන් අය්යගෙ මන් හයර්රෙක දුන්නෙ නැහැනෙ.”

 

ගඟුල් පැවසුවේ සිය කමිස සාක්කුවට අත දමමිනි.

 

‘‘පිස්සු ද සර් අපේම දරුවන්ට උගන්නන්න ආපු සර්ලගෙන් අපට සල්ලි ගන්න පුළුවන් ද?”

 

‘‘එහෙම කියලා බැහැනෙ මහතුන් අය්යා. අය්යලත් ජීවත් වෙන්න එපායැ”.

 

‘‘ජීවත් වෙනවා ජීවත් වෙනවා. මොකෝ ජීවත් නොවෙන්නෙ. අමාරුවක්ම වුණොත් විතරක් සර්ට කියන්නංකො. අනිත් එක සර්. මං සර්ව අරන් ආවෙ පොඩි දුරක් විතරයි. සර් අපේ කොල්ලො කෙල්ලන්ව ගොඩක් දුර අරගෙන යන්න  ඕන.”

 

මහතුන්ගේ මේ හැඟීම්බර වචන ගඟුල්ගේ හදවතට ම දැනිණ. මේ සමාජ සම්මත උපාධි කිසිවක් නැති මේ ත‍්‍රීරෝද රථ රියැදුරා, අද දවසේ තමාට ඉගැන් වූ තවත් පාඩමකිි. මේ මොහොතේ ඔහුට සිහිපත් වූයේ සිය පාසල්  ජීවිතයේදී සහ සරසවි ජීවිතයේ දී හමු වූ ඇතැම් ආදරණීය ආචාර්යවරයෙකි, ආචාර්යවරියකි. මේ නම් නාගොල්ලාගම ගත කරන කාලය තුළ පමණක් නොව මුළු ජීවිත කාලය පුරාම ඇසුරු කළ යුතු මිනිසෙකි; ගුරුවරයෙකි.

 

ගඟුල්  ත‍්‍රීරෝද රථයෙන් බැස්සේ මහතුන්ට මෙසේ පවසමිනි.

 

‘‘එහෙනං මහතුන් අය්යෙ, අපි ඉක්මණින් ම ආයි හමුවෙමු.”

 

‘‘නැතුව, අනිවාර්යෙන්ම සර්, අනිවාර්යෙන්ම.” බුදුසරණයි සර්.

 

මේ ගඟුල් නාගොල්ලාගමින් ලද තෙවන ආශිර්වාදය යි.

 

ගඟුල්  පාසල දෙසට ගමන් කෙළේ බර වූ හදවතින් යුතු ව ය. අදිකාරම්තුමා කී ඒ ගුරු සහෘදයා කී ගුරු මෙහෙවරට තමා දැන් භාග්‍යවත් වී තිබේ. තමා මෙතෙක් ආ දුරක් තිබේ. ඒ දුර ආ පාර ද තිබේ. මේ මොහොතේ තමා විසින් කළ යුතු ව ඇත්තේ ඒ පාර, මේ අහිංසක දරුවන්ට ද පෙන්වා දීම පමණක් නොව තමාට ද වඩා දුරක් ඒ පාරේ ගමන් කිරීමට මේ දරු දැරියනට අවස්ථාව සලසා දීම ය. හෙට සිට ඇරඹෙන්නේ ඒ ගමන යි.  එහි දී සමාන ආකල්ප ඇති අයගේ ආශිර්වාදය මෙන් ම අසමානයන්ගේ විරෝධතා ද තමා ඉදිරියේ දර්ශනය වනු ඇත. ඒ සියලු අවස්ථාවලදී සිය ආදරණීය සහෘදයා සම මනසකින් කටයුතු කළ ආකාරය ද ඔහුට සිහිපත් විය. 

 

අවිරෝධි පරිසරයක දී මෙන් ම සවිරෝධී පරිසරයක දී ද වැඩ කරන ආකාරය පිළිබඳ තමාට ඇති පරමාදර්ශය වන්නේ ඒ ගුරු සහෘදයා ය. ඔහු සමග ගිය ගමන්, ඒ ගමන්වල දී දැක ගැන්මට ලැබුණු දෑ කළ කතාබහ ඈ සියල්ල සිතුවම්පටක් මෙන් ගඟුල් ඉදිරියේ දර්ශනය වන්නට විය. ඔහුට සිහිපත් වූයේ ඒ සහෘදයාගේ කායික අභාවයෙන් පසුව ඉතා අසීරුවෙන් ගෙවීගිය දින අතරට අයත් එක් රාත‍්‍රියක දී තමා අතින් ලියැවුණු කවියකි. ගඟුල්, නාගොල්ලාගම පාසල් භූමියට ඇතුළු වූයේ එකව හදවතින් මුමුණමිනි.

 

                      ”වෙස්සගිරිය ළඟ නැවතුණු මගෙ දෑස යි
                     මට පෙර සුන්දරත්වය දුටු ඔබෙ  දෑස යි
                     පියැවුණු නමුදු මා දුටුවේ ඒ      දෑස යි
                     දිවි ඇති තුරා ඒ දෑස ම මට       දෑස යි”

19 comments:

  1. ලස්සනම ලස්සන කතාවක්

    ReplyDelete
  2. බොහොම අපුරුයි. ඉතිරි ටිකත් කියවන්න බලං ඉන්නවා.

    ReplyDelete
  3. කතාව පට්ටම පට්ට. එක තැනක් ඇර.
    කොළඹ ඉඳල බර කරත්තෙකද කුරුණෑගල ගියෙ. පැය පහක් 🙄🙄🙄 හත්තික්කේ...

    ඉතුරු කොටහත් ඉක්මණට ඕනාාා

    ReplyDelete
  4. ආදරණීය සහෘදයනි,

    ගුරුදියවර කියවා පළ කළ අදහස් සම්බන්ධයෙන් වෙසෙසින් ස්තූතිවන්ත වෙමි. ඔබ සියලුම දෙනාගේ ජීවිතවල සාර්ථකත්වයට ඉත සිතින් සුබ පතමි.

    සමන්

    ReplyDelete
  5. නියමයි සර්. ඉතිරිය කියවන්න බලාගෙන ඉන්නවා. ජය වේවා 🧡💛💚💜️❤️

    ReplyDelete
  6. වැහි දැරිවී තාම ලියනව නේ! ගොඩක් සතුටුයි !

    ReplyDelete
    Replies
    1. මේක වැහි දැරිවිගෙ නෙවෙයි..වැස්ස වලාහක දෙයියන්ගෙ කතාවක්.. :)

      Delete
    2. ඇත්ත ඇත්ත. මේක වැහි දැරිවිගෙ පියතුමා ලියන කතාවක්!

      Delete
  7. දැනුම සොයා අනවරත අරගලයක යෙදෙන අතරම මිනිස් හද පත්ලෙහි සැඟව ඇති අරුමැති සොඳුරු දසුන් වදනින් චිත්‍රණය කළහැක්කෝ සැබෑ මානව හිතවාදියෝ වෙත්මය.
    'ගුරු දියවර' කතාවක් නොව මිහිකත සනසා නැලවෙමින් දොඩමළුව ගලාබස්නා දහස් ගණන් ගංගාදියවරින් සුපෝෂිත කතා සාගරයකියි මට සිතේ.
    -අමරසිරි ගනේවත්ත-

    ReplyDelete
  8. ආදරණීය මහඇදුරුතුමණි,සරල සුගම බසක් උපයෝගි කර ගනිමින් අප දෝතට පිළිගන්වන " ගුරු දියවර " අපේ මාතෘ භූමියේ ජීවත්වු අව්‍යාජ මිනිසුන්ගේ අමරණීය හද ගැස්මේ සනාතනික දෝංකාරය යැයි මට සිතේ.වයලට් අම්මා , මහතුන් , ඩොනල්ඩ් , මුදලාලි හා ගඟුල් ගුරුවරයා යන උදාර චරිත අප වෙත ගෙන එමින් දෑසට නැංවු කඳුලු කැට සාර්ථක නවකථාවක පෙරනිමිති පහළ කොට ඇත. ඉදිරි කොටස් කියවීමේ නොතිත් ආශාවෙන් පසුවෙමින් ඒ සඳහා අවැසි දිරිය හා සවිය නිබඳවම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  9. මාවත් එකතු කරගත්තාට ගොඩාක් ස්තූතියි..සුන්දර කතාවක්..මේ බැදීම් මොනතරම් ලස්සනද..

    ReplyDelete
  10. මාවත් එකතු කරගත්තාට ගොඩාක් ස්තූතියි..සුන්දර කතාවක්..මේ බැදීම් මොනතරම් ලස්සනද..

    ReplyDelete
  11. සමූහයට මාවත් එකතුකර ගත්තට ස්තූතිය මැඩම්.හරිම ලස්සන කතාවක්.පරක්කු වෙලා කියවන්න පටන් ගත්තෙ.ඒකත් හොදයි එක දිගට කොටස් කිහිපයක් කියවන්න පුලුවන්.අපේ සර්ටත් මැඩම්ටත් දුවටත් තෙරුවන් සරණයි.

    ReplyDelete