Thursday, November 24, 2016

මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.

Tuesday, November 15, 2016

උසස්පෙළ කියන්නේ ආදරේ ගලන තැන...

උසස්පෙළ කියන්නේ
ආදරේ ගලන තැන
හදවතින් හදවතට
යාලුකම පිරෙන තැන

නෝට් පොත් අගිස්සේ
කවි කෑලි ලියන තැන
ඉසිඹු ලන මොහොතකට
හිස් වචන කියන තැන

පුටු ගොඩක් තියෙද්දිත්
බිමින් ඉඳගන්න තැන
විහඟ රෑනක් වගේ
ඔහේ කෑ ගහන තැන

ටයි පටිය අග රැඳුණ
පහන සේ දිලෙන තැන
පහනකින් තව පහන්
දහක් බබළවන තැන

ඇහිඳ අකුරින් අකුර
හෙට දවස තනන තැන
ලබා සරසවි වරම්
විදු මවුන් පුදන තැන

ළදළු යුත් බෝධියේ
සෙවණ යට වඳින තැන
වෙළා සෙනෙහසේ අත්
යාලුකම් රකින තැන

ප්‍රංඥාකුර ලෙසින්
නැණ නුවණ වඩන තැන
වීර දූවරු හදා
රට දැයට පුදන තැන

දහතුනේ අන්තිමේ
ඇස් දුකින් තෙමෙන තැන
වෙන් වෙලා යන්න පෙර
බදාගෙන අඬන තැන