Sunday, April 30, 2023

ගුරු දියවර නවකතාව - විසි වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                        

                                                              ගුරු දියවර 20





                           සව     න      පස න්     පද  පහ   සි  න්      සමන්                           ගිරේ

                         වැටෙ  න     නිති න්     සිරි  සිලියෙ  න්      සතන්                        කෙරේ

                         සුම     න     සම  න්     මහ දෙවොලින්      රුවන්                           පුරේ

                         ලැබෙ න   නොමින්     බල  මහිමෙ  න්      නුවන්                          පිරේ

සමන් දෙවි පසන් සුපිළිරුව අබිමුව හිඳ සුමියුරු හඬින් මෙවක ගායනා කරන ලද්දේ මිහිදිනී විසිනි. පූර්ව දිවසේ අසේල විජේසුන්දර ජීවක සහෘදයා ඇතුළු තත් කුටුම්භයෙන් සමුගෙන කඩවත - රාගම - යක්ක ත්‍රිනගරයන්හි ආරාධිතයනට ක්‍රීඩෝත්සවයේ සමාරාධනාපත්‍ර බෙදා, දිනාවසානයේ ආදිශිෂ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද හමුවන්නට විපුල්, ගඟුල්, රේණු සහ මිහිදිනී යන කලණ මිත් සංසදයට අවකාශ සැලසිණි. රාත්‍රියේ ඒ තුරුණු ගුරු මෙණෙවියන් දෙදෙනා රේණුගේ නිවහනට ඇරවා පසුදා සුප්‍රභාතයේ ඔවුහු රත්නපුර බලා පිටත් වූහ. කඩවතින් අධිවේගී මගට පිවිසි චත්වාර මිත්‍ර පර්ෂදය ගැනිගම නික්මුමෙන් පානදුර රත්නපුර මගට පිවිස, පළමු ව රුවන්පුර මහ සමන් දෙවොට පැමිණියහ. මේ, ඒ භක්තිපූර්ණ හෘදයපූජනීය නිමේශය යි.

 ‘‘ කොහෙන් ද නංගියෙ, උඹට ඔය ලස්සන කවිය හම්බ උනේ. කවුද ඕක ලියලා තියෙන්නෙ.”

 ‘‘ අපි දවසක් දේව භක්තිය නිසත් ලෝකයට අපූරු නිර්මාණ දායාද වෙලා තියෙනව නේ ද කියන කාරණය ගැන කතා කර කර ඉන්න වෙලාවක ගඟුල් සර් තමයි ඔය කවිය දුන්නේ. ඕක ලියලා තියෙන්නෙ සැරින් සැරේ සුන්දර චිත්‍රයක් වගේ මේ අය්යලා දෙන්නා අපි ඉදිරියෙ මවන සමන් සිත්තරාගෙ තාත්තා අක්කෙ. ”

 ‘‘ ඒ තාත්තත් අපේ සමන් අය්යා වගේ ම අපූරු චරිතයක් රේණු අක්කෙ. ඔයගොල්ල තාගෝර්තුමා ගැන කතා කරන්නෙ. හැඩ රුවෙන් අන්න ඒ වගෙ. ඒ වගෙම අපි ඉගෙන ගත්ත මහාභාරත වීරකාව්‍යෙ එන ගංගාපුත්‍ර භීෂ්ම වගේ. සුදු රැවු සුදු කොණ්ඩෙ. අවුරුදු 104 ක් ජීවත් වෙල යි ඒ තාත්තා නැති උනේ. අපිට ඒ තාත්තා නැති වෙනකං ම කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ලැබුණා. හරිම ආදරණීය චරිතයක්. හොඳ කවියෙක්. ”

 ‘‘ඒකනං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙහෙම පස්තැනක ස්සනට එළිසමය තියලා කවි ලියන්න බැහැ කවිකම නැති කෙනෙකුට. ගඟුල් සර්, ඒ තාත්තා රත්නපුරේ ම කෙනෙක් ද?

 ‘‘ ඇයි මිහිදිනී, ඔයා ඒ තාත්තා රත්නපුරේ ද කියලා  ඇහැව්වෙ? ” 

 ‘‘ නෑ මට දැනුණෙ සමන් දෙවියන්ගෙ අඩවියෙ උපන්න සමන් දෙවියන්ගෙ ඇල්ම බැල්ම තියෙන කෙනෙක් විදිහට යි ඒ තාත්තා.”

 ‘‘ ඔයා හරි මිහිදිනි මිස්, ඒ තාත්තා රත්නපුරේ තමයි. රත්නපුරේ කුරුවිට. සමන් දෙය්යන්ට ලියපු කවි ගොඩක් තියෙනවා ඒ තාත්තගෙ. ”

 ‘‘ අනේ අපි පැය බාගයක්වත් මෙතන ඉඳිමු ද රේණු අක්කා?

 ‘‘ මෙතන ඉඳලා, ඒ කිව්වෙ?

 ‘‘ ඒ කිව්වෙ ඒ තාත්තා ගැන ටිකක් කතා කරමු. එහෙම හොඳයි නේ ද ගඟුල් සර්.”

 ‘‘ එහෙම ටිකක් නැවතිලා ඒ වගෙ තාත්තා කෙනෙක් ගැන කතා කරන එක හොඳයි නෙමෙයි, ගොඩක් හොඳයි කියලයි මට කියන්න තියෙන්නෙ. හැබැයි ඒ තාත්තා ගැන කතා කරන්න හොඳ කෙනා මන් නෙමෙයි අපේ අය්යා. ”

 ‘‘ විපුල් අය්යෙ, අපි මේ ලොකු ගහ යට ඉඳගෙන කතා කරමු.”

මෙසේ කියා මිහිදිනී රේණුගේ ද අතින් අල්ලා ඇය ද ඒ සුවිසල් තුර යට හිඳුවා ගත්තේ විපුල් මුවින් සමන් සිත්තරා වන් උතුම් පුතකු ලොවට ප්‍රදානය කළ ඒ කිවියර පියතුමන් පිළිබඳ තොරතුරු අසනු රිසියෙනි.

විපුල් තමා ඇතුළු සහෘදය පර්ෂදය හිඳ සිටින, තමා අවුරැස් විඳිමින් සිය සෙවණ ලොවට දෙන ඒ තුඟු තුර දෙස මොහොතක් නිහඬ ව බලා සිටියේ ය. අනතුරුව සිය හඬ අවදි කෙළේ ය.

 ‘‘ මන් මෙහෙම පටන් ගන්නං නංගි ඒ තාත්තා ගැන කතා කරන්න. තාත්තගෙ මරණයෙන් පස්සෙ අපේ සමන්ගෙ මල්ලි ඒ කියන්නෙ - මේ ගඟුල්ගෙ සර් පොතක් ලිව්වා තාත්තා කියලා. ඒ පොතේ පූර්විකාවෙදි එයා ලියනවා මෙහෙම. ”

 ‘‘ තාත්තා අපට ශිෂ්ටාචාරයකි. තාත්තා අපට සියවස් තුනකි. ”

 ‘‘ ඒකෙ ලොකු කතාවක් ඇතිනෙ අය්යෙ. ”

 ‘‘ ඔව් නංගි ඔයා හරි, ඒකෙ ලොකු කතාවක් තියෙනවා තමයි. ඒ තාත්තා උපදින්නෙ 1898. නැති වෙන්නෙ 2001. ඒ කියන්නෙ 19 සියවසේ ඉපදිලා 20 වෙනි සියවසට අයිති අවුරුදු 100 ජීවත් වෙලා 21 වෙනි සියවස අගදි තමයි නැති උනේ. ඒ භෞතික පැත්ත. ඒ තාත්තා අපිට ශිෂ්ටාචාරයක් උනේ ලෝකයට පීඩා කරන මිනිස්සු වැඩි ලෝකයක ඉඳගෙන ආදරය - කරුණාව හදවතේ තියාගෙන ඕනෙම මනුස්සයෙකුට ශිෂ්ට සම්පන්න ව ජීවත් වෙන්න පුළුවන් කියන පණිවිඩය වෙන කිසිම දේකටත් වඩා තමන්ගෙ ජීවිතයෙන් ම උගන්නපු නිස යි. ”

 ‘‘ අපේ අය්යා කිව්වා හරි නංගි, මන් ඒකට තව පොඩි දෙයක් එකතු කරන්න කැමති යි. සියවස් තුනකට අයිති මේ තාත්තා තමන් මේ දීර්ඝ කාලය පුරා ලබපු අද්දැකීම් අය්යා දැන් කියපු විදිහට ප්‍රධාන වශයෙන් තමන්ගෙ චර්යාවෙන් ඒ වගෙම කවිය ප්‍රධාන කරගත්ත ලේඛනයෙන් ලෝකයට උරුම කළා.”

 ‘‘ ඒ විතරක් නෙමෙයි රේණු - මිහිදිනී, ඔයගොල්ලන්ට මේ තාත්තා ගැන කියන්න තියෙන්නෙ. මන් දැකපු විශේෂ ම දෙයක් තමයි මේ තාත්තා තාත්තා උනේ තමන්ගෙ දරුවන්ට විතරක් නෙමෙයි. එයා අපේ යුගේ විශාල පරපුරකට තාත්තා උනා. ඒ තාත්තට පුළුවන්කම තිබුණා ඇසුරු කළ කාටත් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. තව පැත්තකින් ගත්තොත් නිර්මාංසික ව ජීවත් වෙමින් මුළු ලෝකයට ම ඒ කල්‍යාණ මිත්‍රකම තමන්ගෙ පැවැත්මෙන් ඔප්පු කරලා පෙන්නුවා. මහාචාර්ය මහින්ද පලිහවඩන සර්ගෙයි මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සර්ගෙයි සංස්කාරකත්වයෙන් පළවෙච්ච සඟරාවක් තිබුණා ඒ දවස්ව මිතුරුලොව කියලා.  ඒක ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතියෙ ප්‍රකාශනයක්. තාත්තා ලෝකයට දෙන මිත්‍රත්වයේ පණිවිඩය පේළි හතරකින් ඒකෙ එක සඟරාවක දක්වලා තිබුණා. ”

 ‘‘ ඒ කියන්නෙ විපුල් අය්යෙ කවියක්. ”

 ‘‘ ඔව් කවියක්. නිකන් ම කවියක් නෙමෙයි ආදරයේ කවියක් මිත්‍රත්වයේ - මෛත්‍රියේ කවියක්. මට මතක යි ඒ කවිය. ”

                                          ‘‘ අහ    ස පොළොව හුළඟත් ගින්දර      වතුර

                                             වෙසෙස යෙන් ම කාටත් හිමි ය  එක      යුර

                                             සව     ස  දිවා මෙය සතුටින් මෙනෙහි    කර

                                             දෙ   ඇස මිතුරු ලොවට යි දිය යුතු      නිතර ”

 ‘‘ මෛත්‍රියේ ප්‍රඥාවේ ලෝකයක් නිර්මාණය කරන්න තමන්ගෙ මුළු ජීවිත කාලෙම ගත කරපු අපේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය ලොකු හාමුදුරුවෝ, රේරුකානේ චන්දවිමල ලොකු හාමුදුරුවෝ වගේ ඒ යුගේ ජීවත් වෙලා හිටපු මහා භික්ෂූන් වහන්සේලා ගැන වගෙම ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ගැනත් තාත්තගෙ හිතේ ලොකු ආදරයක් ගෞරවයක් තිබුණා. බුදු හාමුදුරුවන්ට අප්‍රමාණ ගෞරවයක් භක්තියක් දක්වන අතරෙ ඒ දහම තමන්ගෙ ජීවිතයෙන් ම ක්‍රියාත්මක කරන අදිකාරම්තුමා ගැන තාත්තා කතා කළේ ලොකු හැඟීමකින්. මල්ලිට මතක යි නේ ද අපි එහෙ ගියාම සමන් අය්යලගෙ අම්මා කියන, තාත්තා අදිකාරම්තුමා ගැන ලියපු කවිය.”

 ‘‘ මොකෝ අය්යෙ අමතක. අදිකාරම්තුමාගෙ ජීවිතේ අපිට පෙන්නන කවියනෙ ඒ. ”

 ‘‘ ඉතින් අපිටත් ඉඩක් දෙන්නකො ඒ කවියෙන් අදිකාරම්තුමා දැක ගන්න. ”

 ‘‘ හොඳයි රේණු අක්කෙ මන් කියන්නංකො එහෙනං ඒ කවියත්. ”

                                ඉහළ පහළ උස් පහතට නොකර        ගරූ

                                සියල සතට මෙත කරුණා ගුණය       පිරූ

                                පබල ගුණැති පින්වත් ගුණයෙන් ම   සැරූ

                                උදුල මැතිඳ ඔබ ම ය පව් හරින           ගුරූ 

 ‘‘ ඒ විතරක් ඒ නෙමෙයි වෙලාවකට පුංචි ළමයි පිරිවරන් ඉන්න තාත්තා තරුණ තරුණියන් අතරෙදි ප්‍රගතිශීලි තරුණයෙක්. වැඩිමහල්ලන් අතරෙදි ඒ අයගෙ ගරුබුහුමනට වැඩියෙන් ම ලක්වෙන වැඩිහිටියත් එය යි. තරුණ අපි විවිධ හේතු නිසා හිතෙන් වැටෙන කොට අපිව අවදි කරවන කවි තමයි ඒ තාත්තා කිව්වෙ ලිව්වෙ. ඒවා අදටත් වලංගුයි. මල්ලිට මතකයි නේද ඉදිරිය වෙතට කවිය. ”

 ‘‘ මට මතක හැටියට මන් ඒක මේ රේණු අක්කලට කියලා තියෙනවා. ඒක කියන කොට මටත් හරි ගැම්මක් එන නිසා මන් දැනුත් කියන්නංකො ඒක.”

                                ඉදිරිය වෙතට එන බාදක ඔහෙ     එද්දෙන්

                               නොබිය ව ඉදිරියට යමු අනතුරු  මැද්දෙන්

                               කවදත් පුරුදු සහයෝගය දෙන     ද්දෙන්

                               අපි යමු පෙරට සිදුවන දෙය සිදු   වෙද්දෙන්

රේණු සහ මිහිදිනිය සමග එකව සාවධාන ව අසා සිටි විපුල් අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

 ‘‘සමන්ගෙ මරණෙ නිසා අපි තැවෙන කොට අපිව නැගිට්ටුවෙ මේ තාත්තා. තමන්ගෙ පුතාගෙ මරණෙ නිසා ඇතිවෙච්ච තදබල කම්පනේ හිතින් දරාගෙන ඒ තාත්තා අපිට කියලා දුන්නෙ ශෝකය නිසා උපදින කඳුළ ශක්තියේ කඳුළක් බවට පත් කරන්න ඕනෙ කියයි. අපි මේ කතා කරන්නෙ එහෙම තාත්තෙක් ගැන. මිහිදිනී නංගි ඒ තාත්තා ගැන කතා කරමු කියන එක මම දකින්නෙ මනුෂ්‍යත්වය ගැන කරන කතාවක් විදිහට. නංගි, අපි තාත්තගෙ ගුණරුව දැනගෙන හිටියා, ඒ සුවඳ වින්දා. ඒ වගෙම අපි විශ්වාස කරනවා ඒ වගෙ චරිතයක් අහිමි ව ගියාට පස්සෙ වඩාත් තියුණු විදිහට දැනෙන ඒ සුවඳ ලෝකයට උරුම කරලා දීම අපේ වගකීමක් කියලා. ඒ තාත්තා ගැන කතා කරන එක - ලියන එක කවියක් නංගි, කවියක්. ඒ වගෙම නංගි, ඒ තාත්තා අපිට මහ ඉතිහාසයක්. පුදුම හිතෙනවා නංගි, ඒ තාත්තා ඇසුරු කළ චරිතවල නාමාවලිය දකින කොට. මේ රටේ අධ්‍යාපනේ මහා සන්ධිස්ථාන වෙච්ච මහා චරිත එයාගෙ සමකාලීනයො. අපේ ගඟුල් දන්නවා මට වඩා හොඳට ඒ චරිත ගැන. මල්ලි කියන්න ඒ ගැන. ”

 ‘‘ ඇත්තට ම රේණු අක්කෙ ඒ තාත්තා මැරෙන්නෙ මේ රටේ එක් සුවිශේෂ යුගයක් සටහන් කරපු පරපුරක අන්තිම පුරුක විදිහට. මහා ප්‍රසිද්ධ චරිත ගොඩක් සමීප ව ඇසුරු කරපු ඒ තාත්තා ගත කළේ අප්‍රකට ජීවිතයක්. අපේ සමන් අය්යගෙ මල්ලි ඒ කියන්නෙ අපේ සර්ගෙ ඉල්ලීම පිට තාත්තා තමන්ගෙ මරණෙ සිද්ධ වෙන්න අවුරුදු විස්සකට විතර කලින් සටහනක් ලියලා තිබුණා. ඒ සටහනෙන් තමයි මමත් දැන ගත්තෙ මන් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලෙ හදන්න මුල් වෙච්ච චරිත ගොඩක් තාත්තගෙ සමකාලීනයො බව. තාත්තා අපේ විශ්වවිද්‍යාලෙට උල්පත වෙච්ච මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ශිෂ්‍යයෙක් බව. තාත්තා ජ්‍යෝතිෂය ඉගෙන ගෙන තිබුණෙ බත්තරමුල්ලෙ සුභූති නායක හාමුදුරුවන්ගෙන්. ඒ සටහනේ සඳහන් වෙච්ච හැටියට වැලිවිටියෙ සෝරත නායක හාමුදුරුවො, පලන්නොරුවෙ විමලධම්ම නායක හාමුදුරුවො, දෙවුන්දර වාචිස්සර නායක හාමුදුරුවො, ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවො වගෙම කැටව වෙද මහත්තයා, චාල්ස් සමරසිංහ, ඩී. එම්. සී. සිල්වා කියන ගිහි පඬිවරුත් තාත්තගෙ සමකාලීනයො. ඒ කියන්නෙ විද්‍යෝදෙදි එකට එක පන්තියෙ ඉගෙන ගත් අය. මේ ටික දෙනෙක් විතරයි. ඉන්න තාත්තා 1979 අවුරුද්දෙදි ලියපු සටහනක් අපේ සර් තාත්තා පොතට ඇතුළු කරලා තිබුණා. මට ඒක ගොඩක් දැනිච්ච ප්‍රකාශයක් නිසා මන් ඒක මගෙ මේ ෆෝන් එකටත් දාගෙන යි තියෙන්නෙ. ඉන්න මන් ඒක කියවන්න.”

සහෘදය මානස ත්‍රිත්වය ඉදිරියෙහි තබාගෙන ගඟුල් තදනන්තර ව ප්‍රකාශයට පත් කෙළේ යථෝක්ත ප්‍රකාශය යි.

 ‘‘ නැති වෙන්නෙ තියෙන දෙය යි. මට නැති වී යාමට තරම් දෙයක් නැත. තියෙන්නේ ඉගෙන ගත් දෙයත් පණ ටිකත් පමණ යි. එම නිසා නැති වෙනවාට මගේ බයක් නැත. ඒ හැරත් ඇති වුණොත් නැති වීමත් ළඟ ම එන බව හොඳින් දන්නා මට නැතිවීම එතරම් ලොකු කාරණයක් නොවේ. මගේ තියෙන රෙදි හන්කඩය හෝ කවුරු නමුත් පැහැර ගත්තත් එයින් මට රිදීමක් නැත. අතපය කපා ගත්තත් මගේ වෛරයක් හෝ පලි ගැනීමට එය කරුණු නොවේ. ඉගෙන ගත් දෙය මගෙන් පැහැර ගැනීමට හැකි ජගතෙක් තවම මෙලොව ඉපදී නැත. මට ඒ ඇති. මගේ ඉගෙන ගත් දෙය මා ළඟ තියෙන නිසාත් එය කාටවත් ගත නොහැකි නිසාත් සතුටෙන් මට විසිය හැක. ”

 ‘‘ අච්චර ප්‍රසිද්ධ චරිත අතරෙ හිටපු මේ තාත්තා විතරක් කොහොම ද ගඟුල් අප්‍රකට චරිතයක් උනේ.”

 ‘‘රේණු අක්කා ඇහැව්වෙ හොඳ ප්‍රශ්නයක්. මේකට ඒ තාත්තා ම දීපු උත්තරයක් තියෙනවා. බොහෝ වෙලාවට ආරූඪ නම්වලින් මිස තමන්ගෙ නමින් ඉදිරිපත් නොවීම තමයි ඒකට හේතුව. තාත්තම සැරයක් ලියලා තිබුණා නිහඬත්වය තමන්ගෙ හදවතේ රජ කරන නිසා අන්තිම මොහොත වෙන කං ඒ නිහඬකම රැක ගන්න කැමතියි කියලා. සැරයක් ගුණදාස ලියනගේ මහත්තයා කර්තෘ වෙලා හිටපු සත් දින පත්තරේට චන්ද්‍රභානු සමරවීර මහත්තයා ප්‍රකටයන් අතර සිටි අප්‍රකට කවියා කවීන්ද්‍ර චන්ද්‍රසේන රණසිංහ කියලා ලිපියක් ලියලා තිබුණා. ඒ ලිපියෙ තිබුණා අපේ සමන් අය්යා - සමන් සිත්තරා තාත්තා හිතන විදිහට තාත්තා ගැන ලියපු කවියක්. ඒක හරියට තාත්තගෙ ආත්ම ප්‍රකාශනය පුතා අතින් ලියැවීමක්. ”

 ‘‘ අනේ ගඟුල් සර් අපිට දැන ගන්න කියන්නකො ඒ කවියත්. ”

ඒ ඉල්ලීම ඉදිරිපත් වූයේ මිහිදිනිය වෙතිනි.

                    ‘‘ තම නැණ පහළ පඬිවරු රිවිසඳු             සේ ම

                       සම මිතුකැළ විලස එක තැන            ඉගෙනීම

                       අම තක කළ නොහෙන මුදු අද            තනිවීම

                       මම කලබල නොවෙමි එය මගෙ     නොලැබීම ”

 ‘‘ ඒ තාත්තා ලියපු, අය්යලට දැනිච්ච මතකයේ රැඳිච්ච කාව්‍යෝක්තියක් දෙකක් කියන්නකො අපටත් දැනගන්න. ”

 ‘‘ අය්යලා කියලා කිව්වට ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නෙ නං අපේ මල්ලිම තමයි නංගි. මොකද දැනට ඒ තාත්තගෙ චරිතාපදානෙ හැටියට තියෙන තාත්තා පොතේ කවි පාඩම් එයාට නිසා. ”

මිහිදිනී ඇසූ ප්‍රශ්නයට එසේ පිළිතුරු දුන්නේ විපුල් ය.

 ‘‘ තාත්තා ඒ කාලෙ බොහොම ප්‍රචලිත ජනතා පත්තරේට කවි ලිව්වා අම්මගෙ නමින්. විශේෂයෙන් ඒ කාලෙ හුඟක් ජනප්‍රිය වෙච්ච කවි වාදෙකට පැටළුණෙත් ඒ  නමින්. ”

 ‘‘ එතකොට පද්මා කියන්නෙ ... ”

 ‘‘ ඔව් මට ඔයා හිතන දේ තේරෙනවා නංගි. පද්මා කියන්නෙ කවියාගෙ බිරිඳ. ඒ කියන්නෙ සමන් අය්යලගෙ තාත්තා.  ‘‘

 ‘‘ කොහොම ද විපුල් අය්යෙ වැඩේ. එයා කියන ඒවා මෙයාට පටස් ගාලා තේරෙනවා. මෙයා කියන ඒවා එයාට පටස් ගාලා තේරෙනවා. හොඳයි හොඳයි බොහොමත් ම හොඳයි. ”

 ‘‘ මොනාද රේණු අක්කෙ ඔයා මේ කරන්නෙ. හැදුව ද ඒකටත් පදයක් අපි මේ බොහොම වැදගත් සාකච්ඡාවක් කරන වෙලාවෙ.”

 ‘‘ මන් විපුල් අය්යෙ අතිදීර්ඝ කාලයක් තිස්සෙ මේ මාණවකයාගේ සහ මාණවිකාවගේ චර්යා පද්ධතිය ගැඹුරින් නිරීක්ෂණය කරපු විද්වතියක් විදිහට යි යථෝක්ත නිගමනයට එළඹුණේ. ඒක පිළිගන්නෙ නැත්තං මට කරන්න දෙයක් නැහැ. දෙන්න ම අපේ රටේ සැරින් සැරේ පත්වෙන ආණ්ඩු වගෙයි කියලා තමයි මට කියන්න වෙන්නෙ.”

 ‘‘ මේ මේ රේණු අක්කෙ මාව ගාගන්න එපා හරි ද? මන් මොකුත් කිව්වෙත් නැහැ. මේ දෙන්න මේ දෙන්න කිය කිය මාවත් ගාගෙන නිගමනවලටත් එළඹෙනවනෙ ඔයා.

‘‘උඹ ව ගාගන්නැතුව කොහොම ද මල්ලි මේ කතාව සම්පූර්ණ වෙන්නෙ. උඹ කැමති උනත් නැතත් මට මේකට උඹ ව ගාගන්න ම වෙනවා.”

 ‘‘ ඒක නෙමෙයි රේණු, ඔයා අර මේ දෙන්න ම අපේ රටේ සැරින් සැරේ පත්වෙන ආණ්ඩු වගෙයි කියලා කිව්වෙ නං ලොකු තේරුමක් ඇතුව කියලයි මට හිතෙන්නෙ.”

 ‘‘ ඇයි විපුල් අය්යෙ, මේ ආණ්ඩු කියන ජාතිය ඇහුන්කං නොදෙන්නෙම විද්වතුන්ටනෙ. ආ ඒකෙන් කමක් නෑ, දැන් මල්ලි උඹ අර සමන් අය්යලගෙ තාත්තා ගැන කරගෙන ගිය කතාව කරපන්. මොකද මමත් ආසයි ඒ ගැන අහන්න. ”

 ‘‘ හරි මන් නැවැත්තුවෙ සමන් අය්යලගෙ අම්මගෙ නමින් තාත්තා ජනතා පත්තරේ කවි වාදෙකට පැටලුණා කියන තැනින්නෙ. ඉතින් මේ වාදෙදි හරි ලස්සන දේවල් උනා. සැරයක් තාත්තා මෙහෙම කවියක් ලිව්වා අම්මගෙ නමින්.

                                        මුදු     මද මුදිත සිරිඟර රස ඉවත         නොලා

                                        හුදු     අද හසින් දුර දිග සහ දසත             බලා

                                        සුදු හොඳ ගුණය ඔප නැංවෙන රජත       නිලා

                                        මැදු    රද අපේ ඒ කවියෙන් ඔකඳ           කළා

ඔය විදිහට කවි පන්තියක් ම ලියලා තිබුණා. ලස්සන වැඩේ කියන්නෙ මේ වාදෙදි වැඩියෙන් ප්‍රතිචාර දක්වලා තිබුණෙ කිවිඳියො නෙමෙයි කවියො. ඒ අතර ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ කවියොත් හිටියා. එක කවියෙක් පද්මාට පිළිතුරක් කියලා ලියපු කවි පන්තියෙ මන් දැන් මේ කියන්න යන කවියත් තිබුණා.

                                  පද්මේ සුවඳ විහිදෙන හොඳ     රස කෝව

                                ඔබ දැන නොසිටියත් සරසවි       මා  ගාව

                                නැත හෙළ රසිකයන් මා හමුවට       නාව

                                පුබුදනු මැනවි තව තව හෙළ       ජනතාව 

 ‘‘ ඒකත් හරි ලස්සන කවියක්නෙ ගඟුල් සර්. ”

 

 ‘‘ කවිය ලස්සන උනාට මේ කවියෙ යවහන් දෝසෙ තියෙනවනෙ. ඔය යුගය කවි කිවිඳියො සම්මත කාව්‍ය රීති උල්ලංඝනය නොකොට කවි ලිවිය යුතු යි කියන අදහස තදින් ම ගත්ත යුගයක්. ඒකෙ මන් හොඳ නරක දෙකම දකිනවා. ”

 ‘‘ හෝව් පොඩ්ඩක් හිටපන් මලයා මේ රේණු නමැති මන් විද්වතියගෙ මනසෙ ප්‍රශ්න දෙකක් උද්ගත වෙනවා. මන් අහන්න ද?

 ‘‘ අහන්න රේණු අක්කෙ අහන්න. දන්න දෙයක් නං උත්තර දෙන්නං. ”

ප්‍රශ්න අංක එක   - යවහන් දෝෂ යනු කිමෙක් ද?

ප්‍රශ්න අංක දෙක - කාව්‍ය රීති රැකීමේ හොඳ නරක දෙක ම ඇත යන්නෙන් ඔබ අදහස් කළේ කුමක් ද?

 ‘‘ ප්‍රශ්න අංක එකට නං මන් රේණු අක්කත් ඉන්න තැන කලින් දවසකත් උත්තර දීලා තියෙනවා. කමක් නෑ මන් ආයිත් කියන්නං. සිවුපද කවියක් ය ව හ න් කියන අකුරු හතරෙන් අවසාන වෙනවනං ඒ හතරෙන් ඕනම අකුරකට මුලින් තියෙන අකුර එක සමාන වෙන්න ඕනෙ. ”

 ‘‘ ඒක මල්ලි උදාහරණයකින් පැහැදිලි කළොත් කොහොම ද?

 ‘‘ දැන් රේණු අක්කෙ. අර පද්මේ සුවඳ විහිදෙන කියලා පටන් ගන්න කවිය ගත්තොත් ඒක ලස්සනයි කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට ඒ කවිය දිහා අපි සම්මත කාව්‍ය රීති කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් වරදක් තියෙනවා. ඒ තමයි යවහන් දෝසෙ. ඒකෙ හැම පේළියක ම අන්තිම වචනෙ දිහා බන්න.  ”

 ‘‘  රසකෝව මා ගාව නාව ජනතාව. මේකෙ වයන්නට මුලින් තියෙන්නෙ එකකට එකක් වෙනස් අකුරු. ඒ කියන්නෙ කෝ ගා නා තා කියන අකුරු. යවහන් රැකිය යුතු යි කියන අදහසින් බැලුවොත් මේක වැරදියි. එක්කො වයන්නට මුලින් කෝ අකුරු හතරක් තියෙන්න ඕන. එහෙම නැත්තං ගා හරි නා තා හරි තියෙන වචන යොදන්න ඕනෙ. ”

 ‘‘ඒක හරි විකාරයක්නෙ මල්ලි. එහෙම උනාම හොඳම කවි අදහස් යට ගිහින් නිකං වචන මතු කරන ගතියක්නෙ ඇති වෙන්නෙ.”

 ‘‘  රේණු අක්කා කියන කතාවෙ කිසියම් විදිහක ඇත්තක් තියෙනවා. ඒක එහෙමත් වෙන්න පුළුවන් තමයි. ඒ උනාට හොඳ කවිකමක් එක්ක වාක් කෝෂයත් තියෙන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අය දක්ෂ වෙනවා සම්මත ආකෘතිය ළඟ විතරක් රැඳෙන් නැතුව රසයත් අදහසත් කවිකමත් රැකගෙන කවි ලියන්න. අපි කොළඹ කවි යුගයෙන් විතරක් උදාහරණ අරගෙන පෙන්නුවොත් කුමාරගම, කුඩලිගම, කේයස්, අල්විස් පෙරේරා, කපිල සෙනෙවිරත්න, බඹරකොටුවේ සුධර්ම ඒ අතරින් කිපදෙනෙක්. අපි දැක්ක ජීවමාන නිදර්ශන තමයි සමන් අය්යලගෙ තාත්තා, විමල් අභයසුන්දර වගේ චරිත. ඒ වගෙම කොළඹ කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කරන අලුත් පරම්පරාවක් අදත් ඉන්නවා. තවත් අපි අමතක නොකළ යුතු කාරණයක් තමයි නූතන පරම්පරාවට අයිති විශාල කණ්ඩායමක් ඉන්නවා මේ ආකෘතියෙන් මිදිලත් කවිතාව පෙන්නන්න පුළුවන් කියන එක තමන්ගෙ නිර්මාණවලින් ඔප්පු කරපු. ඒක අපි වෙනම දවසක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.  ”

 ‘‘  හරි උඹත් කවියනෙ. දැන් උඹට පුළුවන් ද මල්ලි අර මුලින් කිව්ව යවහන් දෝසෙ තියෙන කවිය ඒ දෝසවලින් මුදවලා ඒකෙ තියෙන ලස්සනත් රැකගෙන කියන්න .”

 ‘‘  ඒ ලස්සන රැකගැනීම කොහොම වෙතත් යවහන් දෝසෙන් මුදවලා ලියන එක සම්බන්ධයෙන්නං මට පොඩි උත්සාහයක් දරන්න පුළුවන්. ”

 ‘‘  එහෙනං දරන්නකො මහත්තයා ඒ පොඩි උත්සාහය. ”

 ‘‘  දැන් ද අක්කේ. ”

 ‘‘  නැතුව මට වැඩක් නැහැ හෙට ඕක හදලා පෙන්නලා. ”

ගඟුල් මඳ වෙලාවක් කල්පනා කෙළේ ය. තදනන්තර ව ඔහු මුවින් ප්‍රකාශයට පත් වූයේ පහත සඳහන් කවිය යි.

                                 ‘‘පද්මේ සුවඳ විහිදෙන හොඳ      රස තාව

                                   ගෙන මා වෙතට එයි  සරසවි     වනිතාව

                                   මේ කවි හදට ගරු කොට ලැබ   කවිතාව

                                   පුබුදනු මැනවි තව තව හෙළ      ජනතාව ”

 ‘‘ හරි අර මුල් කවියෙ අදහස ම නො උනත් ඔයාගෙ කවියෙත් මොකක් දෝ ලස්සනක් තියෙනවා කියන එක මට පිළිගන්න වෙනවා. දැන් මට යවහන් දෝසෙ මොකක් ද කියන එකත් පැහැදිලි යි. මන් කැමැතියි උඹට මතක තියෙනවනං මල්ලි කුඩලිගම කවියගෙයි තවත් කවුරු හරි කවියෙකුගෙ   උදාහරණ දෙකකුත් දැනගන්න. ”

 ‘‘ ඉස්සෙල්ලා රේණු අක්කෙ මන් ඔයාට අපේ කුඩලිගම කවියගෙන් උදාහරණයක් දෙන්නං මෙහෙම.

                           බක්මහ සුවඳ බිහි වෙයි වෙල් කුඹුරු  බඩින්

                           දිව එයි නැවුම් රසයක පණිවුඩය    ගොඩින්

                           රන්වන් හිරු නැගෙයි සමනල ගලට  උඩින්

                           පිබිදෙමු කොහා ආසිරි ගී ගයන         හඬින් 

 ‘‘  ෂා අලුත් අවුරුද්ද හිතට දැනෙන, ඇහැට පේන කවියක්නෙ ගඟුල් සර් ඒක. ”

එවදන් ප්‍රකාශයට පත් වූයේ මිහිදිනිය මුවිනි.

 ‘‘ අපේ මිහිදිනී කියන එක ඇත්ත. මට කුඩලිගම දැනුණෙ අපේ සිංහල පාඩම් පොතේ තියෙන ගංගාවේ ගීතය කවි පන්තිය කියවලා. දැන් සර්, අපේ රේණු අක්කට අර තවත් කවියෙකුගෙ උදාහරණෙකුත් ඕනෙයි කිව්වනෙ. අපි ඒකත් කියලම ඉම්මු. ”

 ‘‘ මන් කැමතියි අර සමන් අය්යලගෙ අම්මට උත්තර හැටියට එවපු කවි පන්තියට ප්‍රති උත්තරයක් හැටියට අම්මගෙ නමින් තාත්තා ලියපු කවි ලියන හැටි ගැන උපදෙස් දෙමින් ලියපු ලියමනේ එන කවියක් ම මෙතෙන්ට සම්බන්ධ කරන්න.

                                එ ක ය ම ර ජ අ ණ න  අං         අවාකර

                                යනුවෙන් පෙන් වු අව අකුරු ම මුට කර

                                එහැරත් වායු ගණයෙන් සැපයුන නොහැර

                                ලැබුණා ඔබේ ලියමන හිතවත්      සොයුර

මේ කවි ලිපිය ලබපු කවියා ඒකෙන් දැක්කෙ ගුරු කිවිඳියක්. ඒ කවියා එහෙම කාන්තාවක් තමන්ගෙ බිරිඳ උනානං හොඳයි කියලා හිතලා ඒකට උත්තර හැටියට එවපු කවි ලියමනේ කවි අතර මෙන්න මේ කවියත් තිබුණා.

                            කව් සත උගන්වන මෙන් මට   හිතවති ව

                            එව් පත කියෙව්වෙමි ඉමිහිරි රස    ඇති ව

                            අව් ලක් කළා ඉන් මට ඉවසුම්      නැති ව

                            සෙව් වන්දිය බෙජෙන් මහදෙහි සිරිමති ව 

 ‘‘ ඒක මල්ලි, දැන් ඔයා අපිට කියලා දීපු තොරතුරු අනුව මුල එළිසමයත් රැකලා ය ව හ න් දෝසෙනුත් මිදිලා ලියපු ස්සන කවියක්නෙ. ”

 ‘‘ ඒක තමයි රේණු අක්කෙ, මන් ඉස්සෙල්ලත් කිව්වෙ හොඳ කවියෙකුට තමන් ආකෘතියක වහලෙක් වෙන්නෙ නැතුව ආකෘතිය තමන්ගෙ වහලෙක් කර ගන්න පුළුවන් කියලා.

 ‘‘ ඉතින් ගඟුල් සර්, ඔය කවි වාදෙ දිගින් දිගට ම ගියා ද?

 ‘‘ නැතුව කවිවාදෙ අවසන් උත්තරේ ලිව්වෙ අර මහ කවියා. එයා අන්තිමට මෙහෙම ලියලා තිබුණා.

                                කවි මහ ඉහළටම උගතිය ලෙස    ලිව්ව

                                කිවිඳිය සුදෝසුදු තුටු තව ම      පෙව්ව

                                සුවියත්කමට ඔබ වෙත මගෙ හිත  දිව්ව

                                මවිත ව සිටිමි දුටු ලෙස සමනළ    පව්ව 

 ‘‘  ෂා ඒකත් හරි දැනෙනවනෙ. සඳස් කවි කියන්නෙ හුදෙක් ආකෘතියක් පමණක් ය එහෙම ආකෘතිවට හිර උනාම ස්සන කවි ලියන්න බැහැ යි කියන අයට ඒක එහෙම නෙමෙයි කියන එක තහවුරු කරන කවිනෙ මේ. ”

 ‘‘ ඔව් මිහිදිනී, අපි මේ කතා කරන යුගය කියන්නෙ සඳස් කවිය ජනගත වෙච්ච යුගයක්. ඔය වාදෙට තවත් ප්‍රසිද්ධ කවියො පැටලුණා. ඒ අතරෙ කොළඹ කවි යුගයෙ පසු පරම්පරාව නියෝජනය කරන දැන් අවුරුදු 95 ක් වෙලා ඉන්න කුලරත්න බුලත්ගම කියන කවිකාර පුවත්පත් කලාවේදියත් සම්බන්ධ උනා. බුලත්ගම කියන්නෙ සමන් අය්යලගෙ තාත්තගෙ අය්යගෙ පුතා. හැබැයි මේ පද්මා කියන නමින් ලියන්නෙ තමන්ගෙම බාප්පා බව එයා දැන ගත්තෙ සෑහෙන කාලයක් ගියාට පස්සෙ යි. ඒක එහෙම නේද අය්යෙ.”

 ‘‘  මේ තාත්තගෙ කවිකම ගැන කතා කරන්න සුදුසු ම තැනදි තමයි ඔයගොල්ලො මේ සාකච්ඡාව පටන් ගත්තෙ. තාත්තගෙ කවිව මන් දැකපු විශේෂත්වය තමයි රේණු, දෙවියන් - දේවත්වය මිනිස් ජීවිතයට සමීප කිරීම. තාත්තා විෂ්ණු, කතරගම, සමන් කියන දෙවිවරුන් වගේ ම සරස්වතී දෙවඟනත් අපිත් එක්ක ජීවත් වෙන අපේ කරදරවලදි අපට පිහිට වන චරිත බව ලෝකයට කියලා දෙන්න තෝරගත්ත මාධ්‍යය උනේ කවිය යි. ”

මඳ වෙලාවක් නිහඬ ව සිටි විපුල් ය, යළි ඒ සාකච්ඡාවට සම්බන්ධ වූයේ.

 ‘‘ විපුල් අය්යට පුළුවන් ද ඔය කියපු කාරණේ අපට තාත්තගෙ උදාහරණයකින් දෙකකින් ම පැහැදිලි කරලා දෙන්න. ”

මල්ලි යන ආමන්ත්‍රණ පදය පමණක් කියා විපුල් බැලුවේ සිය සොහොයුරා දෙස යි. එවිට කතාවට යළි අවතීර්ණ වූයේ ගඟුල් ය.

 ‘‘ තාත්තා තමන්ගෙ කායික මරණය සිද්ධ වෙනකම්ම කවිය මනුෂ්‍යයාගේ යහපතට මිස අයහපතට යොදා නොගත යුතු ය කියන අදහස හදවතේ ගැඹුරින් ම දරා ගත්ත චරිතයක්. තමන්ට, තමන්ගෙ පවුලට පෞද්ගලික ව ලැබෙන දුක් වේදනා හිතේ දරාගෙන ලෝකයට සෙත සැලසීම තමයි එයා මැරෙනකං කළේ. ඒක ම නිසා වෙන්න ඇති ඒ තාත්තා වස්කවි මග වෙනුවට සෙත් කවි මග ම තෝරගත්තෙ. නැති වෙන්න ටික කාලයකට කලින් තාත්තා මෙහෙම ලියලා තිබුණා. මේ කවියත් තියෙනවා තාත්තා පොතේ.

                                නක්සත සමග ලිවු සෙත් කවිවලින්    මගේ

                                සහනය ලබා ගත් බොහො දන කරති අගේ

                                අදටත් කවි රසය මා හද තුළින්        නැගේ

                                වයසත් වැඩියි ඉන්නව සරසවිය       ළඟේ 

 ‘‘  ගඟුල් සර්ට මතක නං කියන්නකො ඒ තාත්තා ලියපු සෙත් කවියක් දෙකක්. ”

 ‘‘ දැන් තව ටිකකින් අපි පිටත් වෙන්නත් ඕනෙ නේ ද? ඒ නිසා මන් කවියක දෙකක කොටස් හරි කියන්නං මිහිදිනී. සමන් අය්යා පොඩි කාලෙ අසනීප වෙච්ච වෙලාවක තාත්තා සමන් දෙවියන්ට ලියපු එක් සෙත් කවියක් අවසන් කරලා තිබුණෙ මෙහෙම යි.

                            මගපල ලද දෙවි රජුනේ මෙත සිසිලෙන  නහවමිනේ

                            පිසහළ මැන කුළුණුයෙනේ සමන් පුතා සළුපොටිනේ

 ‘‘ ඉස්සෙල්ලා විපුල් අය්යා කිව්වා නේද සමන් අය්යලගෙ තාත්තා දේවත්වය මහපොළොවට ගෙනාවා වගේ හැඟීම අපේ හිත්වල ඇතිකරන විදිහෙ අදහසක්. අපි ඒක පැහැදිලි කරගන්නෙ කොහොම ද?

 ‘‘ ඕකට හොඳම උදාහරණෙ තමයි රේණු නංගි, තාත්තා ගම්බාර දෙවියන්ට ලියපු කවි පන්තිය. මන් ඔය කවි පන්තිය මුලින් ම ඇහැව්වෙ මන් සෞන්දර්යෙ ඉගෙන ගන්න කාලෙ සමන්ලගෙ ගෙදරට ගිය දවසක සමන්ලගෙ අම්මගෙ හඬින්. මට ඒක කොච්චර දැනුණ ද කියනවනං මන් ඒ සංකල්පය චිත්‍රයක් කළා. ඒක මගෙ අවසන් අවුරුද්දෙ කෝස් වර්ක්වලටත් ඉදිරිපත් කළා.”

 ‘‘ අනේ අය්යෙ අපිට බැරි ද ඒ චිත්‍රෙ බලන්න. ”

 ‘‘ මොකෝ බැරි මිහිදිනී නංගි, ඒක අදටත් අපේ ගෙදර තියෙනවා. මන් ඇඳපු චිත්‍රවලින් අපේ අම්මා මට ලොකු ම සහතිකේ දුන්නු චිත්‍රයත් ඒක ම තමයි. ”

 ‘‘  එහෙනං නංගි, උඹ කලබල වෙන්න ඕනෙ නැහැ. උඹ කොහොමත් එහෙ යන්න ඉන්න එකනෙ.”

 ‘‘  මොකක් ද අක්කෙ ඒකෙ තේරුම?

 ‘‘ නෑ ඉතින් කොහොමත් අපි වෙලාවක ගඟුල්ලගෙ ගෙදර යන්නනෙ හිටියෙ. විපුල් අය්යා කියන්නෙ ගඟුල්ගෙ අය්යනෙ. ඒක නිසා අපිට ඒ චිත්‍රෙත් බලන්න පුළුවන් කියන එක යි මන් කිව්වෙ. ඔය සමහර දෙනා ඒකට වෙන වෙන තේරුං දුන්නට මට කරන්න දෙයක් නෑ. ආ ඒකෙන් කමක් නෑ දැන් විපුල් අය්යා කියන්නකො අර ගම්බාර දෙවියන්ගෙ කවි පන්තිය ගැන කියාගෙන ආපු කතාව.”

 ‘‘ නංගි, ගම්බාර දේව සංකල්පෙ විශේෂත්ව කීපයක් තියෙනවා. එකක් තමයි මහපොළොවෙ ගෙවල් හදාගෙන ජීවත් වෙන මිනිස්සු තමන්ගෙ දුක් ගැනවිලි වැඩියෙන් ම කියන්නෙ ගම්බාර දෙවියන්ට. තමන්ගෙ ගෙපැළ ඉස්සරහ පහන් පැළක් හදාගෙන ඒ ගොල්ලො වඳින්නෙ පුදන්නෙ ඒ දෙවියන්ට. ඒ වගෙම මේ දේව සංකල්පෙ තියෙන තවත් විශේෂයක් තමයි ඒ දෙවියො බුදු හාමුදුරුවන්ගෙ දහම තමන්ගෙ ජීවිතයට ළං කරගෙන කටයුතු කරන දෙවියෙක් ය කියන විශ්වාසය බොහෝ දෙනා තුළ පැවතීම. සමන් අය්යලාගෙ තාත්තා රටේ ලෝකෙ මිනිස්සුන්ගෙ හිත්වල දෝංකාර දෙන මේ හැම හැඟීමක් ම කැටි කරලා තමයි අර කවි පන්තිය ලියලා තිබුණෙ. ඒක ම නිසා තමයි මානව විද්‍යාඥයෙක් වෙච්ච මහාචාර්ය ජයන්ත ජයසිරි මේ කවි පන්තිය ගැන ඇගයීම් ප්‍රකාශයක් කරලා විතරක් නවතින්නෙ නැතුව තමන් මෑතදී ලියපු ශාස්ත්‍රීය ග්‍රන්ථයකටත් ඒ සම්පූර්ණ කවි පන්තිය ම ඇතුළත් කළේ. ඒ විතරක් නෙමෙයි මේක ගොඩක් අගය කරන, ඒක භාවිතයටත් ගත්ත තවත් කෙනෙක් තමයි විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්ෂ. එයත් අපේ සමාජෙ භාවිත අර්ථයෙන් කිව්වොත් අමුතු ඒ වගෙම ආදරණිය චරිතයක්. දවසක ඔය ගොල්ලන්ගෙ ඉස්කෝලෙ දේශනවලට මේ දෙන්න ම ගෙන්න ගන්න වටිනවා.”

 ‘‘  ඔය කියන තොරතුරු ඇහැව්වහම අපිට හිතෙන්නෙ ඒ කවි පන්තිය ම අහන්න තමයි. විපුල් අය්යට හරි ගඟුල්ට හරි මතක නං අපිට කියන්නකො ඒකෙනුත් කවියක් දෙකක්.”

 ‘‘  ඒක කරන්න පුළුවන් අපේ මල්ලිට ම තමයි රේණු. මට පුළුවන් දේ චිත්‍ර අඳින එක යි මූර්ති හදන එකයිනෙ. ”

 ‘‘  මන් මෙහෙම කරන්නං රේණු අක්කෙ. අය්යයි මමයි සමන් අය්යලගෙ හෝකන්දර ගෙදර ගිය දවසක ඒ අම්මගෙ කටහඬින් ම ඔය කවි පන්තිය මන් රෙකෝඩ් කර ගත්තා. මන් ඒක මගෙ ෆෝන් එකේ දාගෙනයි තියෙන්නෙ. ඔය ගොල්ලො කැමති නං මට පුළුවන් ඒක ප්ලේ කරන්න. මොක ද මේ කවි පන්තියෙන් එකක් දෙකක් අරන් අපි කතා කරන එක සමස්තයට කරන හානියක් කියල යි මට හිතෙන්නෙ. ”

 ‘‘  මොනව ද මල්ලි උඹ මේ අහන්නෙ, දාපන් දාපන් අපිත් කැමැතියි අපිට කවදාවත් දකින්න හම්බ උනේ නැති ඒ අම්මගෙ කටහඬින් ම ඒ කවි ටික අහන්න. ”

තදනන්තර ව තත් කලණ මිත් සංසදයට විඳින්නට ලැබුණේ දෙව් බැතිය මුසු වූ ළබැඳි හද ස්වරයක් සිය සවන්පත් වෙත ළඟා වන කාව්‍යානන්දනීය නිමේශය යි.

                     ‘‘අපට    ද   අපේ ගේ දොර        වතුපිටි      ව

                       නිසිලෙද   පිහිට සලසන       හැම       වෙලාවට

                      සුර     රද   තුමනි ගම්බාර වු            ඔබ    නමට

                      බැති  හද     තුතිය පිරි නැමෙ පින එකතු   කොට

 

                        දැල් වෙන ලෝහ ගිනිහුල අතකින්         රැගෙන

                        නිල් පැහැ තුරඟ රිය පිට නැග     මොහොතකින

                        කැල් මෙන මෙසිරි ලක වට කර       වඩින තැන

                        දැල්‍ වෙන පහන් කොපමණ දැයි   බලනු    මැන

 

                        ගෙයක්   ගෙයක් ගානේ        හැම මිදුලක    ම

                        හුදෙක්    පහන් දල්වා පින්        පෙත් යැදු    ම

                        තොරක්  නොවේ ඔබ නම ගැන     සැලකී    ම

                        සුරෙක්    වෙනින් කොද අප ඇස්    හමුවේ   ම

 

                        අසලි     නි       අපේ වොරඳන දුක සැප       බලන

                        දෙවිය    නි ගම්බාර, තද තෙදසිනි               පිරුණ

                        කුළුණෙනි සමාවී මේ දෙන පින                 රැගෙන

                        යසසි     නි දෙගුණ තෙගුණ ව වැජඹෙනුව      මැන

     

                        සමන් පිච්ච මල් පරයන        සුවඳ                කයේ

                        නිතින් පැතිර එතරම් පින        පිරී                 තියේ

                        බුදුන් වෙතෙහි පැවිදි ව සිට                   සාසනයේ

                        සඟුන් වේසෛ තවමත් නැහැ අත             හැරියේ

     

                        මගපල ලබාගෙන ගෞතම              මුනිදුගෙන

                        පිසහළ පාප අදහස් පින් කඳක්                මෙන

                        කලයල බලා කාටත් වන                  පිළිසරණ

                        මනකල ගම්බාර ම ය      මගෙ මහඟු        මිණ ”

එකව්සර නිමාවන ඒ මොහොතේ  මුළුමහත් පරිසරය පුරා පැතිර පැවතියේ අතිමහත් නිහඬතාවකි. ඒ නිහඬතාව නිමා කරමින් ඇසුණේ රේණුගේ හඬ යි.

 ‘‘  මල්ලි ඔයා කිව්ව නේද ඔයාගෙ සර් තාත්තගෙ ජීවන අද්දැකීම් අළලා තාත්තා කියලා පොතක් ලිව්වා කියලා. ඔයා ළඟ ඇතිනෙ  ඒකෙ පිටපතක්. දැන් මේ තොරතුරු ඇහැව්වට පස්සෙ මට හිතිලා තියෙන්නෙ පුළුවන් ඉක්මනට ඒ පොත කියවන්න.”

 ‘‘ ඔව් මන් ළඟ ඒකෙන් පිටපතක් තියෙනවා. සර් සාමාන්‍යයෙන් තමන් ලියපු හැම පොතකින් ම පිටපත් පහක් සංරක්ෂිත පිටපත් හැටියට අරන් තියෙනවා. අවශ්‍ය ම මොහොතක දි ඒ පැකටුත් කඩලා දෙන්න ඕනෙ තැනකට ඒකෙන් පිටපතක් දෙනවා. එහෙම නැත්තං මට ඒ පොතේ ෆොටෝ කොපි එකක් හදාගෙන එන්නත් පුළුවන්.

 ‘‘ පිටු හැටියට ගත්තොත් ඒ පොතේ පිටු කීයක් තියෙනව ද ගඟුල් සර්.”

 ‘‘ පිටු සීයකට ටිකක් වැඩි පොතක් මිහිදිනී. ඔය පොත ගැන අහපු දවසක සර් මට කිව්වා. ගඟුල්, මන් තාත්තා ගැන මෙතෙක් එකතු කරපු දේවල් ඔක්කොම දාලා ඔය පොත ගැහැව්වනං පිටු ගාණ දාහත් පනීවි. ඒ නිසා මන් තෝර බේරගෙනයි පොත ගැහැව්වෙ. හැබැයි ඒ කරුණු ඔක්කොම මන් ළඟ තියෙනවා. පුළුවන් දවසක ඔයා ඒ වැඩේ කරන්න. මොකද මට බැරි උනොත් අපේ ඊළඟ පරපුර අපි නතර කරපු තැන ඉඳලා ඒ වැඩ අපට වඩා හොඳට සම්පූර්ණ කරාවි කියන විශ්වාසෙ මට තියෙනවා. මොකද මම ඊළඟ පරපුර ගැන ගොඩක් විශ්වාසය තබන කෙනෙක් නිසා. ”

 ‘‘ ඒ කියන්නෙ ඔයගොල්ලන්ගෙ සර් ඔයාලා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන වැඩ කළා කියන එකනෙ ගඟුල්. විශේෂයෙන් ඔයා ගැන.

 ‘‘ නැහැ රේණු අක්කෙ, මම එක්කෙනෙක් විතරයි. අපේ සර් විශ්වාසය තැබුවෙ ඔයගොල්ල අපි ඔක්කොම අයිති වෙන තරුණ පරම්පරාව ගැන. අපි භෞතික ව ම සර්ට හම්බ වෙච්ච ශිෂ්‍යයො නිසා යම් යම් පැවරුම් දුන්නා අපට කරන්න කියලා.”

 ‘‘  මොකක් ද මල්ලි මෙතෙන් දි ඔයාගෙ සර් පැවරුම් කියලා අදහස් කළේ. ”

 ‘‘  ජීවන පැවරුම් අක්කෙ, ජීවන පැවරුම්. විෂය පැවරුම්වලට එහා ගිය ජීවන පැවරුම්. සර් අදිකාරම්තුමාගෙන් පලිහවඩන සර්ගෙන් තමන්ගෙ සහෝදරයගෙන් තමන්ට පැවරුණ ඒ ජීවන පැවරුම් තමන්ගෙ මරණය දක්වා ම කරගෙන යන්න ඕනෙයි කියලා විශ්වාස කරන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඒ පැවරුම් ඊ ළඟ පරම්පරාව තමන්ට වඩා හොඳින් කරාවි කියන විශ්වාසය තියාගෙන ඒ පරපුරේ ක්‍රියාකාරකම් දිහා බොහොම ආදරයෙන් බලාගෙන ඉන්න කෙනෙක්. ”

 ‘‘ එතකොට මේ වෙන කොට මොනව ද ඔයාගෙ සර් ඔයාට බාරදීලා තියෙන පැවරුම්. ”

 ‘‘ ලොකුම පැවරුම බාර දුන්නෙ මට ගුරුවරයෙක් හැටියට මේ ඉස්කෝලෙ පත්වීම ලබලා ඒ ගැන කියන්න අය්යත් එක්ක සර්ලගෙ ගෙදරට ගිය දවසෙ. එදා සර් මට කිව්වෙ ශිෂ්‍යයන්ට විෂය කරුණු විතරක් නෙමෙයි ජීවිතයත් කියලා දෙන්න කියලා. ඒ වගෙම තමන් තමයි දන්න කෙනා කියන මමංකාරෙන් මිදිලා ශිෂ්‍යයන්ගෙනුත් ජීවිතය ගැන ඉගෙන ගන්න කියලා. එදා මන් ඉස්සෙල්ලා කියපු චරිතවලින් සර් තමන්ගෙ ජීවිතයට උකහා ගත්ත ගොඩක් දේවල් මට කිව්වා. ”

 ‘‘  එතකොට ගඟුල් සර්,  ඔයාගෙ සර් ඔයාට දුන්නු අනික් පැවරුම් මොනව ද?

 ‘‘ ඒක මන් කලිනුත් කියපු විදිහට මීට අවුරුදු කීපයකට කලින් දුන්න මට තවම කරගන්න බැරි වෙච්ච පැවරුම. සර් කියන හැටියට සර්ලගෙ තාත්තා කවි විතරක් දසදහස් ගාණක් ලියලා තියෙනවා. ඒ වගෙම කෙටිකතා කියන ප්‍රවර්ගයට අයිති කරන්න පුළුවන් ඒවත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මන් ඉන්නෙ මිහිදිනී කොතනින් කොහොම මේ වැඩේ පටන් ගන්නව ද කියන කාරණේ හිතා ගන්න බැරුව.”

 ‘‘ ගඟුල් සර්, පටන් ගන්න ඒ වැඩේ. සර් ලොකුම ලොකු විශ්වාසෙකින්නෙ තමන්ගෙ තාත්තගෙ නිර්මාණ ඇතුළත් කරලා තාත්තා පොතේ ඔය දෙවෙනි කොටස ලියන එක සර්ට බාරදීලා තියෙන්නෙ. මට ඒ සර්ගෙ අවසරේ ලැබෙනවනං මන් කැමතියි සර් ලියපු තාත්තා පොත ඉංග්‍රීසියට දාන්න. මන් දන්නවා ඒ වැඩේ දි රේණු අක්කත් මට උදව් කරන බව. ”

 ‘‘  කොච්චර වටින වැඩක් ද නංගි ඒ. අද මේ ගමන නිසා කොයි තරං නං හොඳ දේවල්වලට පදනම වැටුණ ද කියන කාරණෙ යි මම මේ කල්පනා කරන්නෙ.”

විපුල් ය, ඒ ප්‍රකාශය කෙළේ.

 ‘‘ අය්යට මතක ද සමන් අය්යා පොඩි කාලෙ අසනීප වෙච්ච දවසක තාත්තා ලියලා අම්මා කියපු සෙත් කවියකට ඔයා ඇඳපු චිත්‍රෙ.”

 ‘‘ මොකද මල්ලි අමතක. ඒ කවිය මන් දැක්කෙත් ඔය පොතේනෙ.”

 ‘‘  රේණු අක්කෙ,  අය්ය ඇඳපු චිත්‍ර අතරින් මන් ගොඩක් ම කැමති එකක් ඒක. ඒක ස්වාභාවික චිත්‍රයක්. අය්යගෙ කලාකාර උගත් මිතුරු මිතුරියන්ගෙන් අතළොස්සක් ඇරෙන්න ගොඩක් දෙනා අගය නොකරපු චිත්‍රයක්. ඈත ගමක චිත්‍රයක් අපි හමුවෙ මවපු කේයස්ගෙ ගොඩමඩ දෙක ම සරු සාරය කියන කවිය ඒ යුගයෙ ප්‍රබුද්ධ යයි කියන විචාරකයො හුඟක් දෙනා විවේචනය කළා වගේ අය්යගෙ අනික් චිත්‍ර අගය කරපු යහලු යෙහෙලියොම හරියට විවේචනය කරපු චිත්‍රෙ තමයි ඒක.”

 ‘‘ ගඟුල් සර්ට පුළුවන් ද ඒක ගැන අපට පොඩි විස්තරයක් කරන්න. ”

 ‘‘ මිහිදිනී, ඒකෙ සමනළ කන්ද තියෙනවා. සීත ගඟුල තියෙනවා. පුංචි දරුවෙක් ළඟ තියාගෙන දෑත ඉහළට ඔසොවාගෙන තමන්ගෙ දුක කියන අම්ම කෙනෙකුගෙ රූපයක් තියෙනවා. ඒ අම්මගෙ ඇස්වල ආදරය තියෙනවා. දරුවගෙ ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු තියෙනවා. දේව භක්තිය තියෙනවා. මේ දේවල් ඔක්කොම ප්‍රකාශ කරන්න අය්යා වැඩියෙන් ම පාවිච්චි කරලා තිබුණෙ වර්ණ දෙක යි. ඒ කහපාට යි නිල් පාට යි. ”

 ‘‘  එතකොට මොකක් ද විපුල් අය්යෙ, අපේ ගඟුල් සර් මේ තරං හැඟීමකින් කතා කරන ඔයාගෙ චිත්‍රෙට උල්පත වෙච්ච කවිය.”

 ‘‘ එක කවියක් නෙමෙයි නංගි කවි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මට මතක පේළි ටික කියන්නං. සම්පූර්ණ කවි වෙලාවක අපේ මල්ලිගෙන් අහගන්න. ඇත්තට ඒ දෙකේ මිශ්‍රණයක් තමයි ඔය චිත්‍රය. තව විදිහකට කිව්වොත් මුදු - දැඩි දේව සංකල්ප දෙකක් එක තැනකට ගේන්න දරපු උත්සාහයක්. හැබැයි ඕක වැඩියෙන් ම අගය කළේ නං සමනුයි අපේ මල්ලියි තමයි. ”

 ‘‘ අය්යෙ මාව පැත්තකින් තියන්න. ඒ උනාට සමන් අය්යා වගේම අය්යත් එක්ක එකට සෞන්දර්යෙ ඉගෙන ගත්ත දිනසිරි අය්යා, වසන්ත අය්යා, කෝලිත අය්යා, පියසේන අය්යා, ලාල් අය්යා, දීපක්කා වගේ චිත්‍ර කලාව ඉගෙන ගත්ත අයත් මේක අගය කළානෙ. ”

 ‘‘  ඉතින් කියන්නකො විපුල් අය්යෙ ඔයාට මතක විදිහට ඔයාගෙ චිත්‍රෙට බලපාපු ඒ කවි. ”

 ‘‘  දකුණු දිගට රුහුණු රටට කිරි වෙහෙරට මහ දෙවොලට

   පිපුණු කුසුම් කිහිරි වනෙට මැණික් ගඟට      කඳුවැටියට

ඒක එක කවියක්. අනික අපේ මල්ලි අතින් ඉස්සෙල්ලත් කියවෙච්ච මේ කවිය.

                 මග පල ලද දෙවි රජුනේ මෙත සිසිලෙන    නහවමිනේ

                පිස හළ මැන කුළුණයෙනේ සමන් පුතා සළු පොටිනේ ”

 ‘‘  ෂා චිත්‍ර අඳින්න බැරි අපේ ඇස් ඉදිරියෙත් ලස්සන චිත්‍ර මවන කවිනෙ විපුල් අය්යෙ මේ.”

 ‘‘  මෙතෙන් දි තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. මගෙ චිත්‍රෙට අර කවි දෙක වගේම තවත් එක විශේෂ චිත්‍රයක් හේතු උනා. අපේ මල්ලිගෙ වචනවලින් කියනවනං උල්පත උනා.”

 ‘‘ ඒක කාගෙ චිත්‍රයක් ද විපුල් අය්යෙ. ”

 ‘‘ වෙන කාගෙවත් චිත්‍රයක් නෙමෙයි අපේ සමන්ගෙම චිත්‍රයක්. ඒක සමන්ලා අපි සෞන්දර්යෙ ශිෂ්‍යයන් හැටියට පළවෙනි අවුරුදු දෙක හොරණ ශ්‍රීපාලියෙ ඉගෙන ගන්න කාලෙ සමන් කෝස් වර්ක්වලට ඉදිරිපත් කරපු චිත්‍රයක්.  අපිට තිබුණා චිත්‍ර නම් කරලා වගෙම නම් නොකර ඉදිරිපත් කරන්න. ඔය සමන් නම් කරලා ඉදිරිපත් කරපු චිත්‍රයක්. ”

 ‘‘ මොකක් ද ඒ චිත්‍රෙ අන්තර්ගතය? මොකක් ද ඒ චිත්‍රෙ නම. ?

 ‘‘ රේණු, ඔයාගෙ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වන පෙතක් මැද ගල්තලාවක ඉඳගෙන බටනලාවක් වයන තරුණයෙක්. හඳ එළිය වැටිලා තියෙනවා ඒ තරුණයා මත. ඒ වගෙම ඒ ගල්තලාවට. ඒ වගෙම ඒ වනරොදට.”

 ‘‘ එතකොට ඒ චිත්‍රෙ නම.”

 ‘‘ සඳ දිය ගලන සඳ. රේණු, මගෙ මෙතුවක් ජීවිතේට මම දැකපු ලස්සන ම ස්වාභාවික චිත්‍රෙ තමයි ඒක. ”

 ‘‘  ඉතින් කෝ දැන් ඒ චිත්‍රෙ ?

 ‘‘  ඒක හරිම අවාසනාවක්. කෝස් වර්ක් ඉවර කරලා ඒ චිත්‍ර ආපහු දෙනකොට සමන්ගෙ ඒ චිත්‍රෙ ආපහු හම්බ උනේ නැහැ.”

 ‘‘ හරිම අපරාධයක්නෙ අය්යෙ. ”

 ‘‘  ඔය වචන ටික ම තමයි නංගි එදා මගෙන් කියවුණෙත්. ඒත් ඔයාලා දන්නව ද එදා ඕකට සමන් දුන්න උත්තරේ. ”

 ‘‘ විපුල් අපේ ජීවිතත් ඇතුළු ව හැම දේම අනිත්‍ය වෙන ලෝකෙක මගෙ චිත්‍රෙ විතරක් කොහොම ද නිත්‍ය වෙන්නෙ. ඔන්න සමන් දීපු උත්තරේ. සමන්ට තමන්ගෙ චිත්‍රෙ ලේසියෙන් අමතක කරලා හිනාවෙලා ඉන්න පුළුවන් උනාට ඒක උපරිමයෙන් විඳපු රසිකයෙක් හැටියට මට එහෙම ඉන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. ඔය අතරෙදි තමයි මට තාත්තගෙ අර කවි දෙක දකින්න ලැබෙන්නෙ. මට ඒකත් එක්ක මතක් වෙන්නෙ සමන්ගෙ නැති වෙච්ච චිත්‍රෙ. හඳ එළිය වැටිච්ච එක රෑක අර කවි දෙක මගෙ ඉස්සරහින් තියාගෙන අපේ සමන්ගෙ චිත්‍රෙ හදවතේ තියාගෙන තමයි ඔය මල්ලි කියන චිත්‍රෙ මම ආවේසෙකින් වගෙ ඇන්දෙ. ”

 ‘‘  මට ඒ රෑ හොඳට මතක යි. අය්ය ම කෑමට එනකං අම්මා නොකා හිටපු රෑ. තාත්තා බලපු පත්තර ම ආයෙ ආයෙත් බලපු රෑ. මන් මොන්තො ක්‍රිස්තො සිටුවරයා පොතේ දෙවෙනි කොටස කියවලා ඉවර කරලා ඒකෙ තුන්වෙනි කොටසත් කියන්න පටන් ගත්ත රෑ. අන්තිමට පවුලෙ සාමාජිකයො හතර දෙනාම රාත්‍රී ආහාරය රෑ දෙකට ගත්ත රෑ. එදා මට මතකයි අපේ තාත්තා බත් කන ගමන් හිනාවෙවී කිව්ව කතාව.”

 ‘‘ ඒ මොකක් ද අප්පේ ඔයගොල්ලන්ගෙ තාත්තා ඒ වගෙ මහ රෑක හිනාවෙවී කිව්ව කතාව. ”

  ‘‘ හිනාවෙවී කිව්වෙ ද? ලොකු පුතේ උඹ කවදහරි කසාද බඳිනවනං මුලින් ම ඒ දැරීවිට කියලා හිටපන් මේ ගෙදර රාත්‍රී ආහාරය ගන්නා කාලය යෙදී ඇත්තේ රාත්‍රී දෙකට යි කියලා.”

 ‘‘ අනේ තාත්තෙ මන් එහෙම කාටවත් නීති දාන්නෙ නැහැනෙ, මන් කන වෙලාවට ම තමයි මන් බඳින කෙනත් කන්න ඕනෙ කියලා. අනික කවුද දන්නෙ මන් බඳියි ද නැද්ද කියලා. ඔන්න ඔය කෝකටත් කියලා අපේ මලයාලසිංහයාට අපි ඉස්සෙල්ල ම චාන්ස් එක දීලා බලන්න කියලා. ඕක තමයි අපේ අය්යගෙ උත්තරේ. ”

 ‘‘  ඉතින් ඉතින් ඊළඟට මොකක් ද උනේ. ”

 ‘‘  අප්පේ මේ බලන්ඩකො අපේ රේණු අක්කට ඒක දැනගන්න තියෙන ඕනෙකම.”

 ‘‘ මේ නංගි උඹට ඕන්නැත්තං උඹ කට වහගෙන හිටපන්. මට ඕන හින්දනෙ මන් මේවා අහන්නෙ. ”

 ‘‘  ඊට පස්සෙ ද අවසාන වාක්‍යය ඒ කියන්නෙ තීරක වාක්‍යය කිව්වෙ අපේ ගෙදර නිසි බලධාරිනී. ඒ කිව්වෙ අපේ අම්මා. ”

 ‘‘ ඉතින් නිසි බලධාරිතුමිය කිව්වෙ මොකක් ද?

 ‘‘ එතුමිය කියපු වචනවලින් ම කියනවනං මෙහෙම යි. ඔය තාත්තාසිංහයි අය්යාලසිංහයි මලයාලසිංහයි දැන් ඔය කතා නවත්තලා කටවහගෙන බත් කන්න කියලා. ”

 ‘‘ රේණු දන්නව ද ඒ වෙලාවෙ ඔයගොල්ලන්ගෙ මේ ගුරු සහෘදයා අපේ අම්මගෙන් අහපු ප්‍රශ්නෙ?

 ‘‘ බුද්ධිමත් භාවයක් ආරෝපණය කරගෙන මහ තකතිරු ප්‍රශ්නයක් අහන්න ඇති. ”  

 ‘‘  හැබැයි නංගි ඒක තකතිරු ප්‍රශ්නයක් නං නෙමෙයි. මෙයා ඇහැව්වෙ කොහොම ද අම්මෙ කට වහගෙන බත් කන්නෙ කියල යි. ”

සියලු වත්හි සිනා රේඛා ඇදී යද්දී විපුල් තවදුරටත් සිය කතාව කරගෙන ගියේ ය.

 ‘‘ අපේ තාත්තටත් හරි හිනහයි. හිටපන් මන් උඹට කට වහගෙන කන හැටි කියලා දෙන්න කියලා අම්මා බත් බෙදන හැන්දත් අරන් මල්ලි ළඟට එන්න හදනකොට ම මෙයා කියාපි, ඔව් අම්මෙ එහෙම ක්‍රමයක් තියෙනවා කියලා. එහෙම කියලා සද්ද නැතුව බත් කන්න පටන් ගත්තා.”

 ‘‘  හොඳ වැඩේ අපේ පණ්ඩිතයට. ”

රේණු තත් සංසිද්ධියේ හාස්‍යෝත්පාදනීය පක්ෂය තහවුරු කරද්දී මිහිදිනී පැවසුවේ පහත සඳහන් වචන යි.

 ‘‘  අනේ විපුල් අය්යෙ ඔයගොල්ලන්ට හරිම සුන්දර ගෙදරක්නෙ තියෙන්නෙ. ”

 ‘‘ ගෙදරක් සුන්දර වෙන්නෙ ගෙදර ඉන්න සාමාජිකයො නිසාම නෙමෙයි. ගෙදරට යන එන ඇතැම් සාමාජිකයො නිසාත් ගෙදරක් සුන්දර වෙන්න පුළුවන්. තවත් සාමාජිකයෙක් නිසා ගෙදරක් අසුන්දර වෙන්නත් පුළුවන්.  ”

 ‘‘ කවුද ඉතින් ඔයගොල්ලන්ගෙ ගෙදර තියෙනවටත් වඩා සුන්දර වෙන්න බලපාපු චරිතෙ.”

 ‘‘ රේණු, අපේ මල්ලිට වගෙම මටත් ඒකට දෙන්න තියෙන්නෙ එක ම උත්තරය යි. ඒ අපේ සමන්. ඒ වගෙම මෙතෙන්දි අර දැන් කතාවට ගත්ත මගෙ චිත්‍රෙ ගැනත් සමන් කියපු කතාවක් කියන්න මට ඉඩ දෙන්න. මන් ඇඳපු චිත්‍රෙ අපේ ගෙදර සාමාජිකයන් තුන් දෙනාට පස්සෙ මන් මුලින් ම පෙන්නුවෙ සමන්ට. ඒක දිහා සමන් ගොඩක් වෙලා බලාගෙන ඉඳලා ඒක හරියට අගය කළා. ඒ වෙලාවෙ මන් සමන්ට කිව්වා මේ චිත්‍රය ඔයා ඔය කියන තරං හොඳ එකක් නං ඒකෙ ගෞරවේ යන්න ඕනෙ ඔයාට යි ඔයාගෙ තාත්තට යි කියලා.”

 ‘‘ ඒ කොහොම ද විපුල්, ඔයාගෙ මේ චිත්‍රෙ ගෞරවේ මටයි අපේ තාත්තටයි ලැබෙන්නෙ කියලා සමන් ඇහැව්වා. මන් ඒ වෙලාවෙ සමන්ට කිව්වා තාත්තගෙ කවි දෙකක් වගෙම ඔයාගෙ නැති වෙච්ච චිත්‍රෙ තමයි මේ චිත්‍රෙට උල්පත උනේ කියලා.”

 ‘‘ ඉතින් ඉතින් ඒකට මොකක් ද සමන් අය්යා කිව්වෙ. ”

 ‘‘  සමන් අය්යා කිව්වෙ ද හරි අපූරු උත්තරයක් රේණු. එයා කියනවා මගෙ අර සඳදිය ගලන සඳ චිත්‍රය නැතිවීම ගැන මගෙ හිතේ කොණක පුංචි හරි දුකක් තිබුණනං ඒ දුක කියන්න බැරි තරං සතුටකට පත් උනේ අද කියලා කිව්වා.”

 ‘‘  ඉතින් විපුල් අය්යෙ ඔයා ඒකට හේතුව ඇහැව්ව ද?

 ‘‘ ඔව් මිහිදිනී නංගි, මන් ඇහැව්වා. එයා කිව්වෙ විපුල් මගෙ චිත්‍රෙ නැති නොවුණානං ඔයාගෙ මේ විශිෂ්ට චිත්‍රෙ බිහි වෙන්නෙ නැහැනෙ කියලා. ඊට පස්සෙ ඕකට තමයි කියන්නෙ විපුල් එක දේක නැති වීම තව හොඳම දේක උපතට හේතු වෙනවා කියලා හරි හය්යෙන් හිනා උනා. ”

 ‘‘  අපි අද කතා කළේ හොඳ තාත්තා කෙනෙකු යි හොඳ පුතෙකු යි ගැන. මේවා තමයි මේ ගමන නිසා අපට හිමිවෙච්ච විශිෂ්ට අතුරු පල. දැන් ගඟුල්, සමන් අය්යලගෙ තාත්තාගෙ කවිතාවෙ ඔයා දැකපු තව එක විශේෂත්වයක් ගැනවත් අපට කියලා අපේ ගමනට පිටත් වෙමු.”

 ‘‘ සමන් අය්යලගෙ තාත්තගෙ ඒ මහ කවිකම ඔප මට්ටං කරපු අනික් කාරණේ තමයි එයාට හොඳ වාක් කෝශයක් තිබීම. මේක තහවුරු කරන හොඳම නිදර්ශනේ මට කිව්වෙ අපේ සර්. සර් සංස්කෘත භාෂා සාහිත්‍යයට උපාධි ලබපු කෙනෙක්. සර්ගෙ නෝනා සිංහ භාෂා සාහිත්‍යයට අදාළ උපාධි ලබපු කෙනෙක්. දවසක් සර් කිව්වා සංස්කෘත ඉගෙන ගත්ත මට යි සිංහල කරපු මගෙ නෝනට යි දෙන්නට ම තේරුං ගන්න බැරි වචන, තේරුං කියලා දුන්නෙ අපේ තාත්තා කියලා. ඒක පැහැදිලි කරන්න සර් ගත්තෙ තමන්ගෙ තාත්තගෙ කවියක්. මෙන්න මේක යි ඒ කවිය. ”

                                 ‘‘ ඔත් සඳ සඳ කිරණ ඇළලි ඔප් නංවන              සයුර කිරි

                                   සිත් පොබ කර පියුම් පිපෙන විල් ජල මත වන නොවිසිරි

                                   නිත් රැඳි වීණාව දෙඅත කරවන             දෙසවන සුමිහිරි

                                   අත් බැඳ සොම්නසින් මුදුන නමදිමි         විසි දිවිය කුමරි ”

 ‘‘  හරි ලස්සන කවියක්නෙ ගඟුල් සර් ඒක. සර් මේකෙ මේ විසිදිවිය කුමරි කියන යෙදුම හරි ලස්සන ඒ වගෙම අමුතු යෙදුමක්. එතකොට ඒකෙ තේරුම.”

 ‘‘ ඔයාට ආපු ප්‍රශ්නෙ ම තමයි මිහිදිනී, ඔය කවිය සර් මට මුලින් ම කියපු වෙලාවෙ මටත් ආවේ. ඒ වගෙ ම අපේ සර්ටයි මැඩම්ට යි හිතට ඇවිත් තිබුණෙත් ඒ ප්‍රශ්නෙ ම තමයි.”

 ‘‘ අපේ සර් ඒකෙ තේරුම අහපුවහම තාත්තා කියලා තිබුණා ජීවිතය වසඟ කරවන කුමාරිය කියන අර්ථයෙන් සරස්වතී දෙවඟනට පැරණි සිංහ සාහිත්‍යෙ විසිදිවිය කුමරි කියලා කියනවා කියලා.”

 ‘‘ අපිට පැයක් දෙකක් නෙවේ මාසයක් උනත් කතා කරන්න පුළුවන් මහා සාහිත්‍යයක්නෙ ඒ තාත්තට තියෙන්නෙ.”

 ‘‘ කොටින් ම සමන්ලගෙ තාත්තා කියන්නෙ ගුරු කියන වචනෙට අයිත් වෘත්තීය - සේවා අර්ථයෙන් ගත්තත් ගුරුවරයෙක්. මොක ද මට තාත්ත ම කියලා තියෙනවා තාත්තා කාලයක් කොළොන්නාවෙ ටෙරන්ස් විද්‍යාලෙත් තව කාලයක් බොරැල්ලෙ සුසමයවර්ධනෙත් ඉගැන්නුවා කියලා. කොහොමටත් තාත්තගෙ ලේඛන සාහිත්‍යය වගෙම ජීවන සාහිත්‍යය කියන්නෙ යුගයෙන් යුගය මේ මනුෂ්‍ය සමාජය තෙමා ගලන ගුරු දියවරකට.  මල්ලි අදට අපේ මේ සාකච්ඡාව නිමා කරන්න හොඳම තැන තමයි ඒ තාත්තා නැති උන දවසෙ  රෑ ඔයාගෙ සර් ලියපු කවි තුන. ”

 ‘‘ එහෙනං තාලෙකට නෙමෙයි මට දැනෙන විදිහට මන් ඒ කවිවල වචන ටික කියන්නං.”

 ‘‘  එහෙනං මල්ලි, ඒක අද අපේ මේ උදය සංකථනෙ සමාප්ති වාක්‍යය විදිහට සලකමු.”

අනතුරුව අසන්නට දකින්නට විඳින්නට ලැබුණේ ගුරු හදක රැඳි පිය ගුණ දියවර සිසු මුවකින් ප්‍රකාශයට පත් ව තවත් තෙහදක් තෙමා ගලා බස්නා ආකාරය යි.

 

                      ‘‘    කරුණා ගුණය කැටි වුණු මුදු හද        දකිමි

                        ඒ මුදු ගුණය නෙත් තෙත් කළ බව         දනිමි

                        නෙත තෙත දුරැර හද බිම තෙත් කොට   සිටිමි

                        ඒ තෙත් බවින් යුතුව ම ලෝකය            දකිමි

 

යා යුතු හෙයින් තව දුර ඔබ නැතිව         පියේ

ඔබ ගුණ රුව ම යළි යළි ඇඳ ගනිමි       යේ

ලෝකය අතැර ඔබ නික්මුණු අඳුරු        පැයේ

හදවත දුටිමි මම සඳවත සදිසි                රැයේ

 

                           වෙත ආ දනන් හද බිම් තෙත් කොට     යැව්ව

                           නැවියා ඔබ යි ජීවිතයට මග                කිව්ව

                           ඉපදී රුවන්පුර ලොවකට කවි             මැව්ව

                           පින්බර පියේ, ඔබ මට සමනළ             පව්ව  ”