Wednesday, December 16, 2015

මැටිල්ඩා.. මෙමිහිපිට සුන්දර ම දැරිවිය..



මැටිල්ඩාට මා ආදරය කරන්න පටන් ගත්තේ කොයි කාලයේද කියා මට හරියට මතක නැත. කූරු කළු කොණ්ඩයකින් යුතු මේ දුඹුරු පාට කැහැටු කෙලි පොඩිත්තිය, මගේ පමණක් නොව, මගේ මව්පියන්ගේ ද, මගේ මිතුරු මිතුරියන්ගේ ද අන්තර්ජාතික වීරවරිය ව හුන් කාලයක් තිබුණි. මට නම් අදට කියා ඒකේ වෙනසක් නැත. මැටිල්ඩා යනු රෝල්ඩ් ඩාල්ගේ පෑනෙන් උපන් සුන්දර ම වස්තුවයි. මගේ සාහිත්‍ය ලෝකයේ වීරවරියන් අතර උඩින් ම ඉන්නා ඇබිත්තන් කෙල්ලයි...

මැටිල්ඩා යනු අසාමාන්‍ය දරුවෙකි. ඇගේ අසාමාන්‍යතා කිහිපයක් ඇත. ඒත් ඒ අතුරින් රෝල්ඩ් ඩාල් වඩාත් ම ඉස්මතු කොට දක්වන අසාමාන්‍ය බව වන්නේ පොත්වලට ඇති පෙරේතකමයි. මැටිල්ඩා පුස්තකාලයට ගොස් පස් වියැති දැරියක ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන් ආදීන්ගේ පොත් ගෙනැවිත්, උණු චොකලට් කෝප්පයක් පානය කරමින් ඒවා කියවන විට මම අමන්දානන්දයට පත් වීමි. 

කියන්නට ඕනෑ වුණේ එය නොවේ. වර්තමානයට මැටිල්ඩා වැනි කෙල්ලන් කොල්ලන් වුවමනා වන බවය. මෑතකදී දුටු බොහෝ දරුවන් කරන්නේ මැටිල්ඩා මෙන් පොත් කියවීම නොවේ. අම්මලා තාත්තලා ද වට කර ගෙන අවුරුදු හතරේ පහේ සිට ජෝදා අක්බාර් හෝ මේ ආදරයයි බැලීමය. මා හොඳින් ම හඳුනන පස් වියැති කුඩා දරුවෙක් ජෝදා බලන්නට නිදා නොගෙන ඇහැරගෙන සිටියි. අඩුම තරමේ පොඩි එකා කාටූන් එකක්වත් බලනවා නම් දුකක් නැත. වෙනස් විය යුත්තේ ළමයින්ව නළවාගන්නට ඔවුන්ට රූප පෙට්ටිය දමා දී තමුන්ගේ වැඩක් කරගන්නා මව්වරුන්ගේ මානසිකත්වයයි.

කියවීමේ රුචිය දරුවෙකුට ඇති විය යුත්තේ පුංචි ම කාලයේදී ය. ළමයින්ට කියවන්නට නොහැක. මව්වරුන් පියවරුන් ඉන්නේ කවා පොවා ඇඳුම් අරන් දී ළමයින් උස් මහත් කරන්නට ම නොවේ යැයි හඟිමි. අනාගතය තනන්නට සවි සත්තිය ඇති මිනිසුන් - ගැහැණුන් තැනිය යුතු වන්නේ කුඩා අවදියේ සිට ය. ඔවුන් එසේ ශක්තියකින් යුතු අය වන්නට නම් මැටිල්ඩාගේ වර්ගයේ සුන්දර වූ ත්, ප්‍රඥාවන්ත වූ ත් ළමා වියක් ඔවුන්ට හිමි විය යුතු යැයි හඟිමි. ඩාල්ගේ මනෝ ලෝකයේ මැවුණු මැටිල්ඩාට පාර පෙන්නන්නට තරම් ප්‍රඥාවකින් යුතු මව්පිය යුවළක් නොසිටියහ. ඈ පාර තනා ගත්තේ තනිවම ය. ඉනික්බිති ඇගේ ගුරුතුමිය මිස් හනී සඳක් මෙන් ඇගේ ජීවිතයට පායා ආවාය. ගුරුවරුන් සතු කාර්යභාරය වාර සටහන් පිරැවීම පමණක් නොව දරුවන්ගේ හිස්මොළ පිරැවීම බව ඩාල් ඒ ළාබාල ගුරුතුමිය හරහා ලෝකයට කියන පාඩමයි.

ඉතින්... යහපත් මව්පියගුරු සෙවණක් ද ලැබ, තීක්ෂණ කල්පනා ශක්තියකින් වැඩ කරන්නට සමත්, මැටිල්ඩා බඳු දරුවන් බිහි වන ලෝකයක් දිනක උදා වෙතැයි බලා හිඳිමි.


Monday, October 12, 2015

වෙනස් පෙම් කතා තියෙන්නට පිළිවන්...

ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...

මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්‍රයකින්
මොනිකාගෙ කවි පොතකින්..!

උද්‍යානයක ඉඳ පෙම් කරන්නට පිළිවන්..
ඊටත් වඩා මිහිරට
පුස්තකාලෙක.. ළං ව ඉඳගෙන
පොත් කියවන්ට පිළිවන්
වාද කෙරුමට පිළිවන්
සංවාද අස්සෙන්
පෙම් කරන්නත් පිළිවන්...

වෙනස් පෙමකට පාරක්
කපාගන්නත් පිළිවන්
ඇස් අගිසි නොව හිතගිසි
තේරුං ගන්ට පිළිවන්..

පොතක් අස්සේ ගැඹුරින්
හුස්ම ගන්නා ස්වරයෙන්
භවය නොව මුළු සසර ම
එක් ව ඉන්නත් පිළිවන්.. 





Wednesday, September 9, 2015

යළි වසිනු ඇත වැසි...

විභාගය නිමා විය.ඒත් ජීවිතය නිමා වෙන්නේ නැත.සුපුරුදු විප්‍රකාර තානයට ජීවිතය ගලා යයි.. අපිළිවෙළ බැව් ඇත්තය.ඒත් ජීවිතයේ ඇති ඒ අපිළිවෙළටත් මම ආසා කරමි.මගේ කුඩා කාලයේ වීරවරිය ඈන් පැවසූ පරිදි ඉතාම පිළිවෙළ දේ ප්‍රසන්න වන්නේ කළාතුරකිනි.ජීවිතය සැලසුම් කළ යුතු මෙන් ම ඊට සැනසුම් සහගත ස්වරයකින් ගලා යන්නට ද ඉඩ හැරිය යුතු ය.. 

...අප නොදන්නා අතීතය දෙස හැරී බලන විට ඉසියුම් වේදනාවක් ද දැනේ.අපේ මව්වරුන්ගේ යුගයේ නිර්මාණය වූ ගීතයක පවා නම් කළ නොහෙන සුන්දරතාවක් විය.ඔවුන්ගේ ජීවිතවල ද අපට අල්ලා බැලිය නොහැකි අන්දමේ සෞම්‍යතාවක් අදත් දක්නට තිබේ.එහෙත් අවාසනාවකට මෙන් විසිඑක් වෙනි සියවසේ අපේ මූණුපොත් පරම්පරාවට අහිමි වූ බොහෝ දේවල් ඇත.. 

අපේ පරම්පරාවේ ඇතැම් අය සංවේදී ය.අනුන්ගේ දුක දැනෙන සුළු ය.ඔවුන්ට හිස නමා ආචාර කරමි.එහෙත් පොදුවේ දකින්නට ලැබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.කොටසක් ජීවිතය දිනා ගත යුතු යැයි අනවරත අරගලයක නිරත වී සිටිති.එහි කිසිදු වරදක් නැත.නමුත් මනුෂ්‍යත්වයෙන් තොර අධ්‍යාපනයක අවාසනාව සඳහා පණපිටින් ඇති උදාහරණ අප අතරේම බහුල ය.තවත් පිරිසක් අන්තර්ජාල සිරකරුවන් ව සිටිති.මැච් එකකට-සිහින තරු තෝරන තරඟයකට-මේ ආදරයයි වැනි මාලා ටෙලා නාටකයකට මුළු මහත් ජීවිතයේ ම දුක - සතුට තීරණය කළ හැකි යැයි සිතන මට්ටමකට අප ළං වී සිටින බව අමතක නොකළ හැකි ය.

එහෙත් වඩාත් ඵලදායී ගමනක් යාමට නම් අප සියලු දෙනා උඩුගං බලා පිහිනිය යුතු ව තිබේ.මගේ දශක දෙකකට අඩු ජීවිතයේ අල්ප අත්දැකීම් ප්‍රමාණයට දැනෙන හැඟෙන හැටියට නම් ඒ සඳහා බොහෝ උත්සාහ කළ යුතු ද නැත.... ගහක් යට වාඩි වී පොතක් කියවද්දී දැනෙන මිහිර මෙතෙකැයි කියා විඳ ගත හැකි නම්, එක වර පෙම් සබඳතා දෙක තුන නඩත්තු කරනු වෙනුවට සංසාරගත පෙමක පැටලීමේ ඇති පවිත්‍ර සුන්දරත්වය ස්පර්ශ කළ හැකි නම්, ගඟක ඇළක දොළක දිය ඉහිරෙන තානයට සිත සංවේදී කරගත හැකි නම්... අප අත් විඳින මේ ජීවිතය මීට වඩා දශම ගණනකින් හෝ සුන්දර වනු නොඅනුමාන ය.. 

Tuesday, April 7, 2015

වැව



වාන් බිඳ නොයන්නට හිත නතර                කරගන්න
ඇතුළු වානෙන් ගලන පෙම පෙමින්            පිළිගන්න
ඉඳහිටක උනන කඳුළක් දෙකක්                පිටවෙන්න
පිටවාන සේ ම හයි හත්තියට නුඹ                     ඉන්න

දිය සැරෙන් වැදෙන කොට වැව් බැම්ම නොබිඳෙන්න
ඕන රළ පාරකට බය නැතුව ළය                    දෙන්න
සෙනේ රළ ජීවිතේ බිත්ති මත                     අතුරන්න
රළපනාවක් සේ ම මා ළඟ ම ඔබ                     ඉන්න

පිපාසෙන් යුතු දනට ඇති තරම් දිය                දෙන්න
විඩාබර උන්ට පැන් සනසන්න ඉඩ                දෙන්න
දිය බෙත්ම හරවලා කුඹුරු                     අස්වද්දන්න
මුත් බිසෝ කොටුව මට බුත්තියට               පවරන්න

මහද වැව වාන් දා රැල් නඟා                     උතුරන්න
එක සිනා සොරොව්වක දොර විවර කර        දෙන්න
මුට්ටි නමනා දිනට බැති සිතින්                 වැඳගන්න
අලුත් කළයකට පෙම් වැව් වතුර                පුරවන්න