Showing posts with label පෙම් වැහි බිංදු. Show all posts
Showing posts with label පෙම් වැහි බිංදු. Show all posts

Monday, March 2, 2026

142. මේ ජර්මානු ළයට පණ පොවන්නේ යුදෙව්වෙකුගේ ස්වාසනාලය!

විසිනව වැනි උපන්දිනේට හම්බවුණ පොත් විසිනවයත් කියවලා ඉවර කරලා, කියවන්න දෙයක් නැතුව, ආයෙ පුස්තකාලෙ පැත්තෙවත් යන්න වෙයි නේද.. අවුරුදු හතලිස්පහක් විතර වයස වුණා නම් පොත් හතලිස්පහක් තෑගි ලැබෙනව නේද.. යනාදි වසයෙන් ⁣හිතමින් ඉන්න මොහොතක, The Book Thief පොත අලලා අතීතෙ කියෙව්ව ෆෑන්ෆික්ෂන් එකක් මතක් වුණා. ඊටපස්සෙ ෆෝන් එක පීරලා පීරලා ෆෑන්ෆික්ෂන්ස් සිය ගණනක් අස්සෙන් මැක්ස්වයි ලිසෙල්වයි ඈඳලා ලියාපු ෆෑන්ෆික්ෂන්ස් ටික පෙරළා පෙරළා හොයාගත්තා. 

⁣බොරු කියන්න ඕන නෑනෙ. රූඩිවයි ලිසෙල්වයි ඈඳලා ලියාපු ෆෑන්ෆික්ෂන්ස් දැක්කාම වැහිදැරිවිගෙ හෘදයාභ්‍යන්තරේ කැළඹුමට පත් වෙනව. ලිසෙල් ගාවින් මැක්ස්ව ඇර වෙන කෙනෙක් ගලපා තියන්නවත් අකමැති පමණට වැහිදැරිවි ඇතුළෙ, ලිසෙල්ටත් - මැක්ස්ටත් යුවළක් විදියට ගැඹුරු ආදරයක් තියනවා. 

⁣යමෙක්ට ඒක විකාරයක් විදියට පේන්නත් පුළුවන්. කිසිදාක දැක හමු වී නොමැති, සම්මුති සත්‍යය තුළ නොපවතින, මනෝකල්පිත යුවළක් ගැන ආදරයක් ඇති වීම! ඒත් එහෙම තමා.. හෘද්‍යාභන්තරයෙ උපදින සියලු හැඟුම්වලට නිශ්චිත හේතුකාරක සපයන්න බැහැනෙ.

අනිත් කාරණය තමා මේ හැඟුම, තුරුණු පාඨිකාවක් තුළ මැක්ස් නම් සුවිශිෂ්ඨ ප්‍රබන්ධ චරිතය කෙ⁣රේ ඇති වූ ආකර්ෂණයකට - ක්‍රෂ් එකකට සීමා කළ හැක්කකුත් නෙමෙයි. මැක්ස් වාගෙ කොල්ලෙක් මුණගැහුණෙ නැත්තං කසාදයක් කරගන්නෙ නෑ කියන හෘදයවස්තුවට කිට්ටුම හරියක ඉන්න සහෝදරියො දෙන්නාට එහෙව් කොල්ලො නෑ ඔය කාගෙ හරි කරක එල්ලියං කියා බනින කුලකයෙ කිසිදාක නොසිටියා වුණත් වැහිදැරිවි එදා සිට ආදරය කළේ මැක්ස් යන තරුණයාට වෙනුවට මැක්ස් සහ ලිසෙල් යන ආල පරමාදර්ශයටයි. ආදරය සම්බන්ධ ඉතිහාසයෙ මුණගැහෙන පරමහංස-සර්ධාදේවි,විනය-ලලිතා,ගෝරා-සුචරිතා, ඈන්-ගිල්බර්ට්, ආදි පරමාදර්ශ අතරෙ, ලිසෙල්ගෙයි මැක්ස්ගෙයි ආලයත් ස්ථානගත කරන්න වැහිදැරිවි තීරණය කළේ The Book Thief සළරුව බලාපු මුල් වකවානුවෙදිමයි. 

ලිසෙල් හා මැක්ස් අතරෙ - සමුගැනුම් හිස සිපගැනුම හා අවසන් වැළඳගැනීම හැර වෙනත් කිසිදු ශාරීරික ළංවීමක් නෑ. ඒ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මිකයි. සාහිත්‍යාත්මකයි. ආභ්‍යන්තරිකයි. ප්ලේටොනිකයි. එතැනින් එහාට ඒ සම්බන්ධය දිගුවකට නොගෙනයන්න කතුවරයා නොසිතන්න ඇත්තෙත් එනිසයි. ඒත් ලිසෙල්ගෙත් මැක්ස්ගෙත් දෑස් අද්දර රොමාන්තික විශ්වයක් දැකපු වැහිදැරියට රොමාන්තික පරමාදර්ශයක් ඇතුළට ඔවුන් දෙන්නාව ඔබ්බවා නොසටින්න අපාසුයි..)

ඉතින් මේ සටහන නිම කරන්නෙ වැහිදැරිවි ලිසෙල්ට ආරූඪ වෙච්ච වෙලාවක කුරුටු ගාපු වචන ටිකකින්.


බිම්මහලෙ අන්ධ කළුවර මැද ඔබ සැඟවී උන්නු යාමය,

තරු ලකුණු සදිසි ඔබ වචන පමණකි අරන් ආවේ සාමය,

දොළොස් වස් දැරියකට නොහැඟුණ නිසා මිස කොයි පාටදැයි ප්‍රේමය 

ඒ කාලෙදිත් තරුණය, ඔබම විය මගෙ ක්ෂේම භූමිය..


ෆැසිස්ට් ගිනිදැල් ඇවිලෙයි, වේගයෙන් පිලිස්සෙයි කාලය,

ස්වස්තිකය මැද වැඩෙමි, අවි හඬින් කැලැත්තී යයි හැඟුම් ජාලය,

විප්ලවය අවුලවපු ඇසකින් උගත්තෙන් මුල් වරට ආලය,

මේ ජර්මානු ළයට පණ පොවන්නේ යුදෙව්වෙකුගේ ස්වාසනාලය!

Friday, May 17, 2024

98. නිය මත පිනි..)



වැහි දැරිවිට වියුණු ලියන්න හිතෙන්නෙ වැහි දවස්වලටමනෙ.. එකාතකට ඒකෙ අරුමයකුත් නෑ. වැහි දැරිවිට වැහි දවස්වලට අලුත් පණක් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න එපැයි..

⁣කොහොම හරි අද හැන්දෑවරුවෙ ලා පොද අස්සෙ ගෙට ගොඩවැදුණු වැහි දැරිවි ගෙඋයනේ තුරු යට ඇවිද්⁣දෙ ගහේ බඳ වටේයි, වැහිදරුවා පත් තුඩු කියා කියන දළු අග්ගිස්සෙයි එතිලා තියෙන ඇබින්දන් වැහි බින්දු නිය මත තියාන සමබර කරන්න හදන අතරෙ.. නිය ආලේපන ගාලා කැත කරන්න ආසා නැති නියපොතු උඩින් වැහි බින්දු රූටලා යද්දි ඒක පෙනුණෙ හරියට දිලිසෙන නිය ආලේපනයක් ගාලා වගෙයි..

'ආභරණ ගන්නවුන්ට සිල් නමැති ආභරණයට වඩා ආභරණයක්ද නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නමැති සුවඳට වඩා සුවඳකුත් නැත..'

කියලා අම්මා කුඩා කාලෙ වැහි දැරිවිට ඇහෙන්න සද්ධර්මරත්නාවලියෙන් කියවපු කොටසක් මතක් වෙනවා හැමදාම ඔය අලේපන, ආභරණ,විච්චූරණ ජාති ගැන කතාවක් ඇදෙද්දි. 

සමහර කාන්තාවො 'හානේ.. කන විදලා නෑනෙ' කියලා බය බිරාන්ත වෙද්දි හැමදාක ඒ කතාව මතක් වුණත් වැහිදැරිවි ඒක නොකියා කන නොවිදීමේ අතීත කතාව විතරයි කියන්නෙ. 

සද්ධර්මරත්නාවලියෙ කතාව නිතර නොකියන්නෙ ඒ කතාවෙන් ආභරණ නොලන්නන් සිල්වත්ය,අන් අය දුසිල්වත්ය කියා වැරදි වැටහීමක් ඒක අහන අබරණ ලන ඇත්තෝ ගම්‍ය කරගනීය කියා හිතලයි. මොකද වැහි දැරිවි ඒ කතාවෙ එන සීලය දකින්නෙ හුදු සිල්වත් බවක් යන තැනකින් එහා ගිහිනුයි. එහි සීලය යැයි අදහස් කරන්නෙ යහපත කියලයි දැනෙන්නෙ වැහි දැරියට. ඉතින් යහපත සියල්ලට වඩා සුන්දරයි කියන එක වැනි සරල සුන්දර සත්තාවක් විකෘතියකින් භාර ගන්නවට වැහි දැරිවිගෙ ඇති අකැමැත්ත නිසයි, දිගු සාකච්ඡාවක් කළ හැකි මොහොතක මිසක කෙටි සංවාදවලදි ඒ සද් වාක්‍යය මතු කරනොගන්නෙ..

ඉතින් අර කියන්න ගිය අතීත කතාවෙ ඉන්නෙ වැහි ළදැරියට රිදේ යැයි, කන විදීම නොකළ යුත්තක් ලෙස තීරණය කළ තරුණ තාත්තෙක්. කොල්ලන්ට නොකරන කෙල්ලන්ට පමණක් කරන ඒ චාරිත්‍රය තමන්ගේ දියණියට අවැසි නැති බවත් - ලොකුවුණාම කන බැරි නම් නහය හරි විදගනීවි යැයි හිතූ නිර්භීත මව් යුවතියක්.

අතීතයත් වර්තමානයත් යා කරන මැද  තැනක හිටගෙන ඉන්නේ, ආභරණ නයාට අඳුකොළ මෙන් වූද - කන නොවිද පැළඳිය හැකි ආභරණ ගැන අනේකවිධ යෝජනා පිළිකෙව් කළා වූද, වැහිදැරියක්.

වර්තමාන කතාවෙ ඉන්නෙ නොවිදපු කන්පෙතිවලට කොඳුරන, කන මත්තෙ රිද්දන්න කිසිවක් නැති නිසා, බයක් නැතුව කන්පෙති සිපගන්න, නිය ආලේපන නොගෑ අතැඟිලි අස්සෙ කුඩා කවි කෑලි තියන තරුණයෙක්. 

ඉතින් ඔය අතීත කථාවත් වර්තමාන කථාවත් අතරෙ ජීවත් වෙන වැහි දැරියට, ආභරණාදිය ගැන විමසුම්වලදී, සද්ධර්මරත්නාවලියේ තිබුණු ඒ  වාක්‍යය ගාථා පාඨයක්ව හදේ කොතැනකද රැඳී තිබිලා.. හද මතුපිට ඇඳී යනවා දැනීම සාමාන්‍යයක්. ඒත් පිනි බින්දු ගැන ලියන්න ගත්ත සටහන සද්ධමරත්නාවලියෙන් කෙළවර වීම නම් හිතේ කොතැනකටත් නොතිබුණ අහම්බයක්..

Saturday, August 19, 2023

87. ආයෙ ආයේ වැසි වැටේ...

වැහි වැටෙන දවසක වැහි මැද්දෙ පින්තූරු අරගෙන, ආදරේම කීප දෙනෙක් මැද විවාහ දිවියට එළැඹිලා නුවර ආපු වැහි දැරිවිත්, වැහි දරුවාත් ගෙව්වේ වැහි දවස් ගණනාවක්. විවාහ උත්සවයක් නොගෙන ඒ වියදම් පුස්තකාලයක් හදන්න වැය කරන්න අප දෙන්නා තුළ තිබුණ ආරම්මණයටත්, ආසාවටත් දෙපසම නෑසියන් කැමති වුණු නිසා ඉතාම සරලව වැහි දවසක තමයි අපේ අතිනත් ගැන්ම සිදු වුණේ. 

විදේසෙකට යන්න සැලසුම් කරන් උන්නත් ඒ තීරණේ පස්සට දාලා නුවර එන්න ගත් තීරණේ ඊට වඩා සෑහෙන්න හොඳ බව වැසිබරිත හෝරාවල්, ඇවිද ගිය තැන්, මුණගැහුණු මිනිස්සු සහ නුවර ආරාණ්‍ය, ආරාම හා සිතුවම් විසින් ඒත්තු ගැන්නුවා.

⁣හරිත පැහැ තෙතබරිත වැහි සිතුවමක් මැද ගෙවිලා ගිය දවස් අතරෙ නවාතැන් ගත් ගිමන්හල් - හමු වුණ මිනිස්සුත් ඉතා විශේෂයි. ඒ අතරින් හන්තාන මුදුනේ සහ හන්තානට මුහුණලා තිබූ සුන්දර නවාතැන් සහ සහෘද නිවහනක ගෙවී ගිය දවස්, පේරාදෙණි අවන්හලේ හයිකු සාකච්ඡා වාගෙම අමතක නොවන මතකයක් සහෝදර බ්ලොග්කරුවන්-වෘත්තීය සගයන් සහ මිත්‍රයන් වන නිර්මාණි - කසුන් දෙන්නාගෙ නිවහනට ගිය දවස.

ඒ දෙන්නගෙ කතා පෙට්ටිය සවර්ෂා අපි ඉදිරියෙ සද්ද බද්ද නැතුව චිත්‍ර අදිද්දි අපි බ්ලොග් ගැන කතා කළා. හිටපු බ්ලොග්කාරයො හතර දෙනෙක් තමනුත් වග කියන්න ඕනැ බ්ලොග්වල අභාවය ගැන කතා කරද්දි අපිටම දුකත් නොහිතුණා නෙමේ. හිටපු රජවරු, හිටපු ජනාධිපතිවරු උන්නට හිටපු කවියො කියා ජාතියක් නෑ කියලා සුමින්ද අය්යා කිව්වට මොකද මේ යන විදියට අපිට හිටපු බ්ලොග්කාරයො කීවට වරදක් නෑ කියලා හිතෙනව.

අතීතේම බ්ලොග් පටන්ගත්ත කාලෙ ඒ සංවාදෙත් එක්ක වැහි දැරියට මතක් වුණා. එතකොට උන්දැ යාන්තමට දහය වසරට ගොඩ වුණා විතරයි. බූන්දියට කවියක් දෙකක් ලියාන ඉද්දි බූන්දි බ්ලොගයෙ එක් එක්කෙනාගෙ බ්ලොග්වල⁣ට මංමාවත් තියෙනව දැකල පටන්ගත්තු බ්ලොග් කියවිල්ල අවසන් වුණේ දවල් වරුව සාමානපෙළට පාඩම් කරලා රෑ දෙගොඩහරිය වෙනකං බ්ලොග් කියවන වැහි දැරියක් ඉපැද්දීමෙන්. ඒ කාලෙ පැල් බැදං, බෝඩ් වෙලා කියවපු බ්ලොග් අතරෙ රවී මාමාගෙ නිදහස් සිතුවිලි, සඳරු අය්යාගෙ හිත් අහස, නෙතූගෙ නවකතා බ්ලොග්, අයේෂාගෙ අයිස්ගෙ කොලම, හිතුවක්කාරිගෙ හිත, දිනේෂ් අය්යාගෙ වර්ණ, තනි අලියා, දිලිනි ආරියවංශ අක්කගෙ බ්ලොගය, ජනූගෙ සටහන් විතරක් නෙවෙයි ඒ කාගෙ ලීඩින් බ්ලොගර්ස්ලා එක්කහු වෙලා අමු්නාලු අන්දර මල්දම වාගෙ බ්ලොග් උඩහින්ම තිබ්බ.

ඒ දවස්වල වාගෙ බ්ලොග් අවුරුදු උත්සව, ගෙට්ටු ආදිය නැතත් ආයෙ බ්ලොග් ලියැවිල්ල හරි අප්ඩේට් වෙනවං නං කිය කියා සංවාදෙක පැටලුණු සහෘද බ්ලොග්කාරයො හතර දෙනා ආයෙ අපි තනි තනියෙං හරි ලියන්න ගත්තොත් මොකද කියලා කතා කරගත්තා විසිර යන්න කලින්..

ඉතින් ඒ හන්දා තමා ඕං මේ වැහි බින්දුව වැටුණෙ. ආයෙ කවර කලක වැහි වැටෙයිද නොදැන වුණත් වැහි වැටෙන තැන තාත්තාගෙ වියුණු නවකතාවට අමතරව වැහි දැරිවි ලියන වැහි නිතර වැටේවිය කියා බලාපොරොත්තුවකින් මේ පෝස්ටුව අවසන් කරන්න හිත කියනව!

අලුත් වැස්සක් වහින්න්නට සැරසේ.. සින්දුවත් හිත ඇතුළෙන් වාදනේ වෙනවා.. ඒත් ඒ කාලෙ ලියාපු කියවාපු ආපු ගිය සහෘද වියුණු නෑ හිතවතුන් නැතුව වැස්සක් කොහොම නම් සුන්දර වෙන්නද...?

Tuesday, April 11, 2023

84. හයිකු ඩේට්ස්!

ඉස්සර ඉතා බරපතළ ලෙස බ්ලොග් ලියාපු ජීවියෙක් වන වැසිදැරිය ළගක ඉදන් බ්ලොග් වෙනුවට දින සටහන් ලිවීම තෝරගත්තෙ ⁣ඓන්ද්රීයව වෙන්න ඕන - ටික්ටොක්මය - බුකිමය  වකවානුවක වුණත් පොතක් පෑනක් අරන් දිනය සටහන් කරන්න ලාලසාවක් සහිත පරණ ආත්මයක් වැසි දැරියගෙ සරීර කූඩුව අස්සෙ හැඟවිලා ඉන්න හන්දා..

ඒ වාගෙ වාක්‍යයක් මූර්ති නවකතාවෙ සචී ගැනත් වැසිදැරිය ලිව්වා මතකයි. සචී කියන්නෙ වැසි දැරිය අත්පත් කරගන්න ආසා කරන යුටෝපියානු ආත්මය සහිත ගෑණු දරුවා නිසා සචී ගැන ලියන දේවලට තමන් තුළ තියන විප්රකාර ආසාවනුත් වැසිදැරිය අතින් එකතු වෙනව. ඒ නිසා තමා මෙහෙම පුනරුක්ති දෝස සිද්ද වෙන්නෙ..

මේ දවස් ටිකක් වෙහෙස දවස්.. යුවතිපතීන් විදියට වගකීම් දරන්න ගන්න කොට තමයි අම්මා තාත්ත⁣ කොපමණ වගකීම් රැසක් කුටුම්භය තුළ දර⁣ලා තියෙනවද කියලා වැටහෙන්නෙ. ඉතින් තුරුණුවෝ විදියට ඒ වගකීම් ටික ටික ඉගෙනගද්දි දැනෙන වෙහෙසත් එක්ක කුඩා ඉසිඹුවකට වැසි දැරියත්, වැසි දරුවත.. එහෙම කියන්න මං ආසා නෑ.. ඔහුගෙ අනන්‍යතාව වැස්ස ඇතුළට ගන්නවා වගෙ කියල හිතෙනව. ඒත් ඔහුට බඹරා කියන අය වැසිදැරිවිට බඹරි කියලාත් කියන නිසා දෙන්නෙක් එක්කෙනෙක් වීම සහ කොහේදො කියෙව්ව විදියට එක්කෙනෙක් දෙන්නෙක් වීමක් මිස ඒ ආමන්ත්‍රණය ඇතුළෙ අනන්‍යතා දිය වීමක් නෑ කියලත් හිතෙනව. සුන්දර ලෙස අනන්‍යතා ඒකාත්මික වීමක් සහ අනුබද්ධ වීමක් ඒ වෙතින් දැනෙන්නෙ..

ඒ කොහොම හරි දෙන්නා එක්ක ලස්සන තුරු දසුනක් දිහා බලාන නෙස්කැෆේයි ප්ලේන්ටියි බොන අත⁣රවාරෙ හයිකු කවි ටිකක් කියෙව්ව. ඒ කියවන අතරෙ මට නව යොවුන් දැරියක කාලෙ එකට කවි කියවන කොල්ලෙක් ගැන දැකපු හීනයක් මතක් වුණා. තේ බිදෙන් බිදට හයිකුවක් තොල ගාන ආදරයක් කියන්නෙ කවියක් ලියන්න තරං සුන්දර දෙයක් කියල හිතුණා..

ඒත් කවියක් ලියන්න කලින් ඒ හයිකු ටික මව්බසට පෙරළන්න හිතුණ. ඕං ඔය යටින් අමුණන්නෙ ඒ පරිවර්තනය කරපු හයිකු පෙති ටික..






Friday, June 22, 2018

52. සිහින මන්දිරය- ඈන් සහ වැසි දැරිය!

මට මතක හැටියට 'ඈන්' කතා මාලාවේ පළමුවැනි පොත මුණ ගැහෙද්දී වැහි දැරිය හය වසරේ ය. 'ඈන්' පොත් පෙළ මනරම් සිංහලයට පෙරළා තිබුණේ ප්‍රේමසිරි මාහිංගොඩ විසිනි. ජපුර සරසවියේ කථිකාචාර්යවරියක ව සිට දැන් මරේ ඩාලිං නදිය අසබඩ පදිංචියට ගොස් සිටින සාරංගි නැන්දා එහි සිංහල පරිවර්තන කියවා මුල් පොතෙහි මතකය නසා ගන්නට අකැමැති වූයේ කොතෙක් ද - එපමණට ම මම ඉංග්‍රීසි පොත කියවා සිංහල පරිවර්තනයෙන් ලද ආනන්දය නසා ගන්නට අකැමැති වීමි. එහෙයින් පළමු ව ම ඒ මධුර පරිවර්තනය වෙතින් ලද ආස්වාදය සිහිපත් කළ යුතු යැයි සිතමි. හත වසරට සමත් වීමත් සමඟම ලද Anne of Green Gables ඉංග්‍රීසි කතා මාලාව හත වසර ඉක්මී වසර දහයකට වඩා ගත වී ඇතත් තවමත් නොකියවී - දූවිලි වැදි වැදී තිබෙන්නේ ඒ අපූරු සිංහල වචනවල බල පරාක්‍රමය හේතුවෙනි.



කතා මාලාවේ පස් වෙනි පොත නොහොත් සිහින මන්දිරය අතට ලැබෙද්දී මතකය නිවැරදි නම් මා අට වසරේ ය. ඒ යෞවනය 'මෙහෙ වරෙන්' යැයි කියා ළමාවියේ එළිපත්ත මත සිටින කෙල්ලන්ට - කොල්ලන්ට අත වනා කතා කරන කාලයයි. ගිල්බර්ට් වසර ගණනාවක් පුරා ඈන්ට ආදරය කළ අන්දමත්, උසස් පාසලේදී සහ රිච්මන්ඩ් සරසවියේදී ඒ ආදරය ඈන්ගේ නොයෙක් රැවුම් ගෙරවුම්වලට ලක් ව අන්තිමේදී මල්ඵල දැරෑ අන්දමත් සිය වරක් කියව කියවා රස විඳ තිබුණා වූ වැසි දැරිය සහ වැසි දැරියගේ යාලු මිත්‍රාදී පිරිස සිහින මන්දිරය එන තුරු බලා උන්නේ අසීමිත නොඉවැසුමකිනි. 

සිහින මන්දිරය හිතුවාටත් වඩා රස පිරි පොතක් විය. ගිල්බර්ට්ට ඈත දුර පළාතක වෛද්‍ය සේවයට පිවිසෙන්නට සිදු වූ හෙයින් ඈන් සහ ගිල්බර්ට් ඔවුන් උපන් දා පටන් එක් ව හැදී වැඩුණු සුන්දර ගම්පියස අතැර දමා ඈත දුරක සිහින මන්දිරයක් තනා ගන්නා අන්දම ඒ කතා පොතේ ඉතා සුන්දර අන්දමකට සටහන් වී තිබිණ. 

ගිල්බර්ට් ඔවුන්ට කදිම නිවසකුත් - ඊට සරිලන ලී බඩුත් මිළට ගත් බව කී පසු ඈන් ඔහුගෙන් අසන වචන මට අද වාගේ මතක ය. 

'ඒ වුණාට ගිල්බර්ට් අපට ලී බඩු එක්ක විතරක් ජීවත් වෙන්න බෑනේ. බොහොම වැදගත් දෙයක් ගැන ඔයා තවම කතා කළේ නෑ. ගේ වටේ ගස් තියෙනව ද?'

ඈන්ගේම ජාතියේ අපූරු පෙම්වතා ඈට මෙසේ පිළිතුරු දෙයි.

'ගස් වකාරෙ. රුක් දේවතාවොත් එක්කම.. ගේ පිටිපස්සෙ දේවදාර අරඹක්. ගෙදරට යන පාර දෙපැත්තෙ පේළි දෙකට පොප්ලර් ගස්. ගෙවත්ත වටේටම බර්ච් ගස් වළල්ලක්. ලස්සන ගෙවත්ත. අපේ ඉස්සරහ දොර ඇරපු ගමං ගෙවත්ත. තවත් පැත්තකිං ඇතුල් වෙන්න පුළුවං දේවදාර ගස් දෙකක් අතරිං දාපු පුංචි ගේට්ටුවකිං. එක ගහක කඳට තමයි ගේට්ටුවේ සරනේරු අල්ලලා තියෙන්නෙ. අගුල වැටෙන්නෙ අනික් ගහේ කඳට. ඊට ඉහළිං ගස් දෙකේ අතු විහිදිලා තියෙන්නෙ ආරුක්කුවක හැඩේට..'

ඉන් පසුත් ඈන්ට අසන්නට එක ප්‍රශ්නයක් ඉතිරි වී තිබේ.

'මට හොඳටම සෑහෙනව. හරිම සතුටුයි. ගහ කොළ නැති තැනක මට ජීවත් වෙන්න බෑ. කන්න බොන්න නැති වුණත් ගහ කොළ තියෙන්නම ඕනි. ඊට පස්සෙ මම ඔයාගෙං දොළ පාරකුත් තියෙනවද කියල අැහැව්වොත් ඒක පමණ ඉක්මවා යාමක්..'

ඒත් ඔවුන් තනා ගත් සිහින මන්දිරයේ කෙළවර දොළ පාරකුත් තිබිණ. 

ඉතින් ඈන් සහ ගිල්බර්ට් අත් අල්ලා ඇවිද ගිය හැම තැනකම මායාවක් ව ඔවුන් අතරේ ඇවිද ගිය වැසි දැරියට ඈන්ටත් වඩා ඒ හැම තැනක්මත් - ඔවුනතර වූ හැම දෙබසක්මත් ඉතාමත් හොඳින් මතක ය. 

පෙම්වතියක තුළ පවතින ආදරය වඩාත් ශක්තිමත් වූත් - බරපතළ වූත් ආදරයකට පෙරළන්නේ සිහින තනන දෑතක් හිමි කොල්ලෙකුගේ ගිල්බට්මය අධ්‍යාත්මය බව වැහි දැරිය තේරුම් ගත්තේ සිහින මන්දිරය කියවා වසර ගණනක් ඉක්ම ගියායින් පසුය.

Sunday, February 19, 2017

50. හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රහසේ.. - Romance at its peak..!!

කැතී පොත් මාලාව කියවන්න ලැබෙද්දි වැහි දැරිවි හරිම ඇබිත්තන් දැරියක්. සූසාන් කූලිජ්ගේ ඒ නවකතාව, මානෙල් ජයන්ති ගුණසේකර විසින් හරිම අපූරුවට සිංහලයට නගලා තිබුණා. ඒ කතාව විසින් ඒ දවස්වල මගේ හිත මත තැබූ තෙත් පිය සටහන් එය කියවා අවුරුදු දහයක් එකොළහක් ගියත් තවම වියැළී ගිහින් නැහැ.

"වසන්තය ගැන දන්නැතී - ඉරි තැලුණු පොළොවක අරුමැතී        

 තෙත අඩි තියන්නට බර ඇතී -  හැම වැස්සටම බෑ හිතවතී.."

කියා මුදු සුමුදු කවියක් කලකට පෙර පොකුරු වැහි අක්කා ලියා තිබුණා. මට හිතෙන හැටියට බොහෝ පොත්වලටත් - ගීතවලටත් ඒ කවිය අදාළයි. හිතක් උඩ තෙත අඩි තියන්නට හැම පොතකට ම බැහැ. පයට පෑගෙන දූවිලි, ගෝරා, ඇටමැස්සා, The Longest Ride වගේ එබඳු තෙත් පොත් අතරට එක්කහු වෙන පොතක් තමා කැතී. එබඳු පොත් ගැන මතකය පවා සුන්දරයි. කැතී තෙවැනි කොටසේ එන එක්තරා සිදුවීමක් අතිශය රොමාන්තික බවකින් යුතු ව මහද පිරිමැද්ද හැටි ඒ තෙත් මතක අස්සෙන් හීන් සීරුවේ මතක් වෙනවා. 
                             
ඒ මතකය අලුත් වෙන්නටත් හේතුවක් තියෙනවා.

ඊයේ පෙරේදා දවසක මහරැයේ ලියකියවිලි අස්සේ නිදිමත පෙරළි කරන මොහොතක නිකමට වගෙ හිතුණා නිකං ඉන්න එකේ සිංදුවක් අහන්න. ඉන් පස්සෙ තමයි මෑතකදි අහපු රොමාන්තික ම ගීතය මුණ ගැහුණෙ. 

"හංස බෝට්ටුවෙ නැගලා
යන්න එන්න රවුමක්
ඔබ එනකොට ඇඳන් එන්න
මල් පිරිච්ච ගවුමක්
බේරෙ වැවත් සුන්දර වී 
ඔබත් සුවඳ පියුමක්
දකින දකින සැවොම කියයි
අන්න රෝස කුසුමක්.."

ෆේස්බුක් - ට්විටර් - වයිබර්වලින් පෙම් කරන අපේ පරම්පරාවෙ තරුණ තරුණියො එහෙව් රොමාන්තික සුන්දරත්වයක් ගාව නතර වෙයි කියලා හිතන්න තියෙන ඉඩ අඩුයි. අධිවේගී ගමනක, අධි තාක්ෂණික මෙවලම්වලින් ආදරය හොයාගෙන යද්දි කායික බැඳීමකට එහා ගිය පිවිතුරු බන්ධනයක බැඳෙන එක ඒ තරම් පහසු කටයුත්තකුත් නොවෙයි.

ඒත්  නෑ.. මේ ගයන්නෙත්.. අපේ කාලයේ පෙම්වත්තු...

"බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ
තරු මුතු කැට වෙලා පෙනේ නෙතු පැටලී පහසේ
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසි සේ
සුවඳ රොදට එකතු වෙලා ඔබෙ මුළු ලොවට ම රහසේ.."

විසි එක් වැනි සියවසේ ලංකාවෙ පෙම්වතෙක් එහෙම ගීයක් ලියද්දි දහනව වැනි සියවසේ දී බටහිර ලේඛිකාවක් මෙහෙම පදපේළි ටිකක් ලියා තබනවා.. ඒ පෙර සඳහන් කළ කැතී කතා මාලාවේ කථා නායිකාවත් ඇගේ පෙම්බරාත් වටා ගෙතුණු ගොන්ඩෝලා සවාරියක් ගැනයි..

"රෝස හා උත්පල පැහැය මිශ්‍ර වූ අහස යට රිදී වන් දිය රළ සෙලවෙමින්, නැළවෙමින් තිබූ අතර මෙය මෙම වශීකරණ බලයක් ඇති දිය මත පාව යන අන්තිම වාරය වූ බැවින් ගෙවී යන සෑම තත්පරයක් ම දෙගුණයක වටිනාකමකින් ඔවුනට දැනුණි.. හිරු බැස ගිය පසු තරු එබී බලා ග්‍රෑන්ඩ් කැනල්හි දිය මත පිළිබිඹු වූ ඔවුන්ගේ දීප්තිමත් මුහුණු දකින තුරුම ඔවුන් රැඳී සිටියේ මන්දැයි මම නොදනිමි. දෙදෙනා ම තරුණ වියේ පසුවන විට, එකිනෙකා හා සිහින් ස්වරයෙන් කතාබහේ නියැලෙන විට, ආපසු හැරීම සඳහා නියෝග කිරීමට බොහෝ පමා වන විට එහි අරුත කුමක්දැයි වැනීසියානු ඔරු කරුවන් හොඳින් ම දැන සිටියහ." (කැතී 03 - 238 වන පිටුව)

කැතී නවකතාවෙ ඒ වදන් පෙළත් මේ ගීයත් අතර අපූරු සමතාවක් හොයාගෙන වැහි කෙල්ල රොමාන්තික හීනෙක අතරමං වුණා. Api Machan සංගීත කණ්ඩායම එක්ක සුමිත් මන්දනායක ගයන මේ ගීය මෙපමණ සුන්දර වෙන්නෙ එය තුරුණු කටහඬවල් ගණනාවකින් ගැයෙන නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම විදග්ධ - සාමාන්‍ය භේදයකින් තොර ව ඕනම රසිකයෙකුගෙ හදවත ස්පර්ශ කරන සරල පද පෙළත් - සුගම නාද රටාවත් - රූප රචනාවේ ඇති මධුර බවත් - ගයන්නන් තුළ වන දුලබ ගණයේ සංයමයත් හංස බෝට්ටුව තව තවත් රොමාන්තික කරන බවයි මට දැනෙන්නෙ.

බැලූ බැල්මට මේ ගීයෙ වචන හරි සරලයි.. ඒත් ඒ වචනවලින් හිත මත අඳින සිත්තම මේ යැයි කියන්නට බැරි තරම් මනරම්.. 

ඒ වගෙම වඩාත් ම මනරම් අග පද පෙළ..!!

"ජීවිත කාලෙම එන්නම් මුළු
  ඔබ ම යි, මගෙ සිහිනේ.."

මේ හංස බෝට්ටු සවාරියෙ යන්න අමතන පෙම්වතා, අද කායික සුවයක් පතා හෙට සිය පෙම්වතිය අතැර යන අන්දමේ පෙම්වතෙක් නොවෙයි. ජීවිත කාලයක් පුරා සිය ප්‍රේමවන්තිය පතා එන යෞවනයෙක්.  එහෙම නොවන ලාබ ගණයේ පෙම්වතෙක්ට කොහොමටත් මෙවැනි අහිංසක රොමාන්තික සවාරියක් රස විඳින්න හැකි යැයි සිතන්නට අපහසුයි. ජීවිත කාලයක් පුරා - සංසාරයක් පුරා ඇදෙන දීර්ඝ සුපෙම් සංචාරයක එක සුන්දර මොහොතක් ගැනයි මේ ගීයෙන් කතා කරන්නෙ. 

එක් අතකට සමස්ත ප්‍රේම චාරිකාවක් කියන්නෙ මේ වගේ පුංචි පුංචි රොමාන්තික සිදුවීම්වල සුවිසාල එකතුවක්.



Sunday, November 6, 2016

41. දෑ සමන් සුවඳ..!!

මුළු හද ම දෑ සමන් සුවඳැති
පෙම්වතෙකි නිති මහදවත වැසි..!

~~~~~~~~~~~~~~~~

දිග දුරැති සසරෙහි
එක් භවයකට හෝ
නවාතැන් දෙන්නැයි ඉල්ලූ
කොලු හදවත් ද ඇත 
මෙතුවක් පැමිණි
වැසිබරිත මග දෙපස..

ඔවුන්ගේ හිත් නේක සුවඳය..
ඇතැමුන්ගෙ හිත් බලෙන් ගැල්වූ
සුවඳ විලවුන් සුවඳ ය..
ඇන්තූරියම් සුවඳ ය..
ඕකිඩ් - සැන්ඩ්‍රියානා
මිලාධික මල් සුවඳ ය..

එහෙත් මා පෙම්වත
දෑසමන් සුවඳැති
වෛවර්ණ නැති - සුදු පෑ
සුපිරිසුදු සුවඳක් ඇති..

ඔබට - ඔබෙ දෑසමන් සුවඳට
මට මේ සංසාරයත් මදි කොට
අන් කිසිදු මල් සුවඳකට
භවයකින් ඇබිත්තක හෝ
ඉඩ තියන්නට මට නොහැකි ය..

~~~~~~~~

සුපෙම්වත!
ඔබ හද
දැන් පිපුණු
දෑසමන් සුවඳ ය..!

Sunday, July 3, 2016

33. රහස්.. රස රහස්...

රඟහලේ මැද පෙළේ අසුනක
නෑසියන් අතර ඉඳ ඉන්න කොට
හිතෙනවා, ළඟක උන්නා නම් ඔබ
වාරු වන්නට
රඳවා මා සිඟිති හිස
පුළුලුර - කැරලි කෙටි කෙස් අස..

ගැහැණුන් පහත් යැයි දොඩවන
පුස් ම පුස් පිරිමි වෙති දස අත
ඔවුන් දකිනා කල
පිරී යන්නෙය මා හද
මහ බැතියකින් සිහි වැ ඔබ මුදු බස්..

මවමින් සිටිමි නෙක සිහින රූ
ඇවිද යන්නට අතිනත වෙළා ඔබ හා
පුරාවිද්‍යා බිම්වල.. කියවමින් සෙල්ලිපි..
පොත් ප්‍රදර්ශනවල.. සිතුවම් ප්‍රදර්ශනවල.. 

ඒත් හඬ ගා කියනු කෙලෙසද 
දැන් ම ලෝකෙට ඔබ ගැන..?

රහස්වලින් මැ නිමැවුණ
රහස් බසින් මැ ඉපදුණ
රහස් ඇසිනැසින් කියැවුණ
රහස් පෙමකිය අප සතු..!

Wednesday, March 30, 2016

27. පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න!

තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න

සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න

වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

කුසුමක් සේ මැ ඇස් අස්සේ සුපිපෙන්න
සුසුමක් සේ මැ මුව අද්දර දැවටෙන්න
පැතුමක් සේ මැ නෙත් පත්ළේ සැතපෙන්න
පහනක් සේ මැ හිත් මලුවේ ඇවිලෙන්න.


Saturday, March 26, 2016

26. පෙම්වත් උදාසන...

ගමට ඉර පායන්නෙ කොළඹට ඉර පායනවට වඩා බොහෝම වෙනස් අන්දමකටයි. ගොඩනැගිලි උඩින් අවලස්සනට කොළඹට පායන ඉරු දෙය්යො මෙහෙට උදා වෙන්නෙ වෙලට උඩින්.. ලා ඉර එළිය රත්තරන් පාටත්, රන් පාටත් අතරමැද වර්ණෙකින් අහස උඩ ඉහිරෙද්දි ගස් මුදුන්වල කොළ පාට බොඳ වී ගෙන යන්නෙ තමන්ගෙ හිස්මුදුන් මතින් වැතිරෙන රත් පැහැයට ඉඩකඩ දෙමින්. ඉරට මඳ දුරක් තියාගෙන කොක්කු පියාඹන අතරෙ මං තනියම වෙල දිහාවට ඇවිදගෙන ගියා..

පෙම්වත් ඇමතුමකට කියාපු වෙලාව...

"මං වෙල අයිනට ආව.."

"තනියම?" ඒ පැත්තෙන් ඇහෙන්නෙ මවිතය මුසු වුණ කටහඬක්..

"ඔව්.. ගෙදරින් තරහ වෙලා තනියම ආවෙ." 

මං කිව්වෙ මුසාවාදයක් බව ඒ කටහඬේ අයිතිකාරයා දන්නව..

"අම්ම අද බබාට සත පනහක් දුන්නෙ නැද්ද..?" 

මගේ අතීත කතන්දරවලින් විනෝදයට පත් වෙන ඒ කටහඬ මතක් කර දෙන්නෙ අතීත සිද්ධියක්. අවුරුදු දෙකහමාරක් තුනක් විතර කාලෙ මං ගෙදරින් තරහ වෙලා ඉස්සරහ දොර ඇරගෙන මිදුලට දුවනවලු. අම්මා මාව වඩාගන්න පිටිපස්සෙන් දුවගෙන එන අතරෙ මග වියදමට සත පනහක් දෙන්නද කියාත් අහනවලු. ඔය සිදුවීම අම්මා හිනා වෙවී මතක් කරන මතකයක්..මාත් කොයි මොහොතක හරි ඒ අතීත මතකය මගෙ වර්තමානයට මතක් කර දීලා තියෙනවා. ඒක නෙව මේ සමච්චල් කරන්නෙ..

"සත පනහක් දුන්නෙ නෑ අනේ.."

"ඔහොම්මම මෙහෙ එන්නකො.. ඔයා සත පනහක් නෙමේ සත පහක්වත් නැතුවයි මං ගාවට එන්න ඕන.."

මං හිනාවෙන්නෙ වෙලට උඩින් ඉරු නැගගෙන එන දිහා බලාගෙන. කොක්කු අහසේ ඉගිල්ලෙනව පේනව. මගෙ හිතත් ඒ එක්ක අහස පුරා ඉගිල්ලීගෙන යනව. පෙම්වත් උදාසන වෙල්යාය උඩින් - පැහෙන ගොයමට ඉහළින් - මගේ හදවත ඉස්මත්තෙන් මනරම් ව පායාගෙන එනව..

ආයේ දින කිහිපයකින් කොළොම්පුරවරේ නපුරු දූවිල්ලත් - වාහන තදබදයත් මැදයි මගෙ ජීවිතේට ඉරු උදා වෙන්නෙ. ඒ අරුණෝදය මෙපමණ මිහිරි බවකින් යුතු නැහැ. පෙම්වත් ව විඳින්නටත් අපහසුයි..

මෙහේ අන්තර්ජාල පහසුකම් නැති නිසා කලින් ම නින්දට යන්න පුළුවන්. කොළඹදි වගේ රෑට රෑ වෙන තුරු සින්දු අහන්න, ඊ පොත් කියවන්න සහ චිත්‍රපටි බලන්න ආදී මෙකී නොකී කාරණාවලට මෙහෙ ඉඩක් නැහැ. කලින් නින්දට යන නිසා ඉරු උදාවත් එක්ක ම ඇහැත් ඇරෙනව..

කොළඹත් මේ වගේ එක යායට විහිදුණු කෙත් යායවල් තියෙනවා නම්.. ඇඟේ ගෑවි ගෑවී දුවගෙන යන පුංචි වහු පැටව් ඉන්නවා නම්.. පාටපෙට්ටියෙවත් නැති අපූරු පාට එක්කහු වෙලා වර්ණ ගැන්විච්ච සමනළ යාළුවෝ ඉන්නව නම්.. මං කල්පනා කළේ අරමුණක් නැතිව ඔහේ ඇවිදගෙන යන ගමන්..

කොළඹදි හරි කළාතුරකිනුයි පාවහන් නැතිව ගමනක් බිමනක් යන්න ඉඩක් ලැබෙන්නෙ. පුංචි කාලෙදි සපත්තු ගළවලා ජනේලෙන් විසි කරපු වැසි දැරියට පාවහන් පැළඳීම කොයි තරම් එපා කරපු අත්දැකීමක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා වැරදිලාවත් මං නෙමේ මේ උදා සංචාරවලදි සෙරෙප්පුවක් කකුල අහලකට ගන්නෙ..  නිරුවත් දෙපාවලට මඩ වතුරත් - තණ පතුත් පෑගෙද්දි දැනෙන සනීපය වචනවලට නගන්න ඇත්තටම අපහසුයි..

"ගහකොළවල, වැව් පතුළෙ, ඇළදොළවල හැම තැනම කවි තියනව. පරිස්සමින් ඇවිදලා කවි  හොයාගන්න.."

කනටත් උරහිසටත් හිර වෙලා තිබුණ දුරකථනයෙන් ගලාගෙන එන කටහඬ ඇහෙන්නෙ වෙන කවරදාටත් වඩා සුන්දර ව..

පෙම්බර ඇමතුම් වුණත් වඩාත් මනරම් වටපිටාවක වඩා සුන්දර ව දැනෙන්න පටන් ගන්නව. බොහෝ වේදයිතයන් නගරයෙදි ඇති සැටියෙන් විඳින්න අපහසුයි..    හෝ ගාන පොකුණෙ ගුරුතුමිය තමන්ගෙ පෙම්වතාට අමතන්නෙ ගහක් උඩ ඉඳන්.. ඒත් සිග්නල් ඇඟෙත් හැපෙන කොළඹදි පිපෙන පෙම් මලකට වඩා ඒ මල් කැඩිල්ල හරි අපූරුයි...

හෙට ඉඳලා ආයෙමත් අර කාස්ටක පොළොවටයි ඉර ඇහැරෙන්නෙ. ඒ බව දැනෙද්දි හිත පිරෙන්නෙ වේදනාවකින්. ඇත්ත.. කොළඹ බොහොම පහසුකම් තියෙනවා. ඒත් මේ මිහිරෙන් අංශුමාත්‍රයක් කොළොම් පුරවරේ ඉරු උදාවක නැහැ..

ඒ දුකත් දරාගෙන ම මං වෙළ අද්දර හිටගත්තා. අපි කැමති වුණත් - අකැමැති වුණත් ජීවිතේට හැම වර්ගෙකම අරුණෝද උදා වෙනව. මනරම් උදා අරුණෝද වගේ ම - නොපහන් අරුණෝදත් අපි එක සේ ජීවිතේට පිළිගත යුතුයි. හෙට උදා වන කොළඹ අරුණ ගැන නොහිතා මං අද මේ පෙම්වත් උදාසන විඳගන්නා අරමුණින් පින්නෙන් නෑවිලා තිබුණ තණපත් යායක් මැද්දෑවෙ ඉඳගත්තා.. 

"ගමේදි තමා ඔයා ඇතුළෙ ඉන්න කවිකාරි කොටහළු වුණේ.."

දුරකථන රැහැන් අතරින් ඒ මොහොතෙ එහෙම කියැවෙනව ඇහුණ...

Saturday, February 27, 2016

23. ඒ සීත දිය පොදේ නහවන්න...


හිතට දුර නැති දුරක
ඇහැට අහු වෙන තැනක
අහම්බෙන් ඔබ පිපීගෙන ඉන්න
නොහිතපු ම විරාමෙක
එක්තරා අහම්බෙක
නෙළාගෙන යන්න මට ඉඩ දෙන්න..

අනවරත වැසි වසින
වැසි වනන්තරය අස
පුංචි ඔසු පැළයක් ව ඉපදෙන්න
සුව කරන්නට නොහැකි
සියලු රෝ දුක් රිදුම්
සෙනේ ඔසු ගල්වමින් සනහන්න..

රලු පරලු පොළොව මත
ලා තෙතක් ඇති බිමක
සීත දිය ඌලක් ව මතු වෙන්න
සපුන් විද රිදුම් දෙන
මහද දෝතට රැගෙන 
ඒ සීත දිය පොදේ නහවන්න..

Monday, October 12, 2015

18. වෙනස් පෙම් කතා තියෙන්නට පිළිවන්...

ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...

මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්‍රයකින්
මොනිකාගෙ කවි පොතකින්..!

උද්‍යානයක ඉඳ පෙම් කරන්නට පිළිවන්..
ඊටත් වඩා මිහිරට
පුස්තකාලෙක.. ළං ව ඉඳගෙන
පොත් කියවන්ට පිළිවන්
වාද කෙරුමට පිළිවන්
සංවාද අස්සෙන්
පෙම් කරන්නත් පිළිවන්...

වෙනස් පෙමකට පාරක්
කපාගන්නත් පිළිවන්
ඇස් අගිසි නොව හිතගිසි
තේරුං ගන්ට පිළිවන්..

පොතක් අස්සේ ගැඹුරින්
හුස්ම ගන්නා ස්වරයෙන්
භවය නොව මුළු සසර ම
එක් ව ඉන්නත් පිළිවන්.. 





Tuesday, April 7, 2015

16. වැව



වාන් බිඳ නොයන්නට හිත නතර                කරගන්න
ඇතුළු වානෙන් ගලන පෙම පෙමින්            පිළිගන්න
ඉඳහිටක උනන කඳුළක් දෙකක්                පිටවෙන්න
පිටවාන සේ ම හයි හත්තියට නුඹ                     ඉන්න

දිය සැරෙන් වැදෙන කොට වැව් බැම්ම නොබිඳෙන්න
ඕන රළ පාරකට බය නැතුව ළය                    දෙන්න
සෙනේ රළ ජීවිතේ බිත්ති මත                     අතුරන්න
රළපනාවක් සේ ම මා ළඟ ම ඔබ                     ඉන්න

පිපාසෙන් යුතු දනට ඇති තරම් දිය                දෙන්න
විඩාබර උන්ට පැන් සනසන්න ඉඩ                දෙන්න
දිය බෙත්ම හරවලා කුඹුරු                     අස්වද්දන්න
මුත් බිසෝ කොටුව මට බුත්තියට               පවරන්න

මහද වැව වාන් දා රැල් නඟා                     උතුරන්න
එක සිනා සොරොව්වක දොර විවර කර        දෙන්න
මුට්ටි නමනා දිනට බැති සිතින්                 වැඳගන්න
අලුත් කළයකට පෙම් වැව් වතුර                පුරවන්න

Friday, June 27, 2014

12. නොහඬමි...

කවියක් ව නුඹේ නෙත් දකිමි මම නිල් නුබේ
ඔය නුවන් සීරුවේ මා දෙනෙත් වෙත එබේ
දහසකුත් මේ ගැජුම් ඉපිද හදවත් ගැබේ
වැස්සක් ව මකවි පොත් මතට ඉහිරෙයි ඉබේ

මුළු දවස පොත් අතර සරා වෙහෙසින් තැවෙන
සිත අරන් කවි අතර රැයට සක්මන් කරන
මොහොතකට ස්වප්නෙකින් නුඹේ නෙත් මට පෙනෙන
ඇත්තමයි මිහිරි වෙන කවක් නැත ඔබ පමණ

තුරකි නුඹ මා හදට මිහිරි මල් පෙති ඉසින
ගඟකි බොර දිය මඟැර සිහිල් දිය මට පුදන
සඳකි වෙහෙසෙන සිතට සොමි කැළුම් දී නිවන
මලකි මා හද විලේ සදාකල්හි ම පිපෙන

දුරයි නුඹ මා හදට අන් හැමෝටම වඩා
ඒත් හැම දුරු බැඳුම් එකම නිමෙසෙන් කඩා
බිඳ හෙළන මතකෙකින් දුරු ව යයි හද විඩා
ඉතිං නෙත් බොඳ නොකර ඉඳිමි නොහඬා හඬා