Friday, May 17, 2024

98. නිය මත පිනි..)



වැහි දැරිවිට වියුණු ලියන්න හිතෙන්නෙ වැහි දවස්වලටමනෙ.. එකාතකට ඒකෙ අරුමයකුත් නෑ. වැහි දැරිවිට වැහි දවස්වලට අලුත් පණක් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න එපැයි..

⁣කොහොම හරි අද හැන්දෑවරුවෙ ලා පොද අස්සෙ ගෙට ගොඩවැදුණු වැහි දැරිවි ගෙඋයනේ තුරු යට ඇවිද්⁣දෙ ගහේ බඳ වටේයි, වැහිදරුවා පත් තුඩු කියා කියන දළු අග්ගිස්සෙයි එතිලා තියෙන ඇබින්දන් වැහි බින්දු නිය මත තියාන සමබර කරන්න හදන අතරෙ.. නිය ආලේපන ගාලා කැත කරන්න ආසා නැති නියපොතු උඩින් වැහි බින්දු රූටලා යද්දි ඒක පෙනුණෙ හරියට දිලිසෙන නිය ආලේපනයක් ගාලා වගෙයි..

'ආභරණ ගන්නවුන්ට සිල් නමැති ආභරණයට වඩා ආභරණයක්ද නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නමැති සුවඳට වඩා සුවඳකුත් නැත..'

කියලා අම්මා කුඩා කාලෙ වැහි දැරිවිට ඇහෙන්න සද්ධර්මරත්නාවලියෙන් කියවපු කොටසක් මතක් වෙනවා හැමදාම ඔය අලේපන, ආභරණ,විච්චූරණ ජාති ගැන කතාවක් ඇදෙද්දි. 

සමහර කාන්තාවො 'හානේ.. කන විදලා නෑනෙ' කියලා බය බිරාන්ත වෙද්දි හැමදාක ඒ කතාව මතක් වුණත් වැහිදැරිවි ඒක නොකියා කන නොවිදීමේ අතීත කතාව විතරයි කියන්නෙ. 

සද්ධර්මරත්නාවලියෙ කතාව නිතර නොකියන්නෙ ඒ කතාවෙන් ආභරණ නොලන්නන් සිල්වත්ය,අන් අය දුසිල්වත්ය කියා වැරදි වැටහීමක් ඒක අහන අබරණ ලන ඇත්තෝ ගම්‍ය කරගනීය කියා හිතලයි. මොකද වැහි දැරිවි ඒ කතාවෙ එන සීලය දකින්නෙ හුදු සිල්වත් බවක් යන තැනකින් එහා ගිහිනුයි. එහි සීලය යැයි අදහස් කරන්නෙ යහපත කියලයි දැනෙන්නෙ වැහි දැරියට. ඉතින් යහපත සියල්ලට වඩා සුන්දරයි කියන එක වැනි සරල සුන්දර සත්තාවක් විකෘතියකින් භාර ගන්නවට වැහි දැරිවිගෙ ඇති අකැමැත්ත නිසයි, දිගු සාකච්ඡාවක් කළ හැකි මොහොතක මිසක කෙටි සංවාදවලදි ඒ සද් වාක්‍යය මතු කරනොගන්නෙ..

ඉතින් අර කියන්න ගිය අතීත කතාවෙ ඉන්නෙ වැහි ළදැරියට රිදේ යැයි, කන විදීම නොකළ යුත්තක් ලෙස තීරණය කළ තරුණ තාත්තෙක්. කොල්ලන්ට නොකරන කෙල්ලන්ට පමණක් කරන ඒ චාරිත්‍රය තමන්ගේ දියණියට අවැසි නැති බවත් - ලොකුවුණාම කන බැරි නම් නහය හරි විදගනීවි යැයි හිතූ නිර්භීත මව් යුවතියක්.

අතීතයත් වර්තමානයත් යා කරන මැද  තැනක හිටගෙන ඉන්නේ, ආභරණ නයාට අඳුකොළ මෙන් වූද - කන නොවිද පැළඳිය හැකි ආභරණ ගැන අනේකවිධ යෝජනා පිළිකෙව් කළා වූද, වැහිදැරියක්.

වර්තමාන කතාවෙ ඉන්නෙ නොවිදපු කන්පෙතිවලට කොඳුරන, කන මත්තෙ රිද්දන්න කිසිවක් නැති නිසා, බයක් නැතුව කන්පෙති සිපගන්න, නිය ආලේපන නොගෑ අතැඟිලි අස්සෙ කුඩා කවි කෑලි තියන තරුණයෙක්. 

ඉතින් ඔය අතීත කථාවත් වර්තමාන කථාවත් අතරෙ ජීවත් වෙන වැහි දැරියට, ආභරණාදිය ගැන විමසුම්වලදී, සද්ධර්මරත්නාවලියේ තිබුණු ඒ  වාක්‍යය ගාථා පාඨයක්ව හදේ කොතැනකද රැඳී තිබිලා.. හද මතුපිට ඇඳී යනවා දැනීම සාමාන්‍යයක්. ඒත් පිනි බින්දු ගැන ලියන්න ගත්ත සටහන සද්ධමරත්නාවලියෙන් කෙළවර වීම නම් හිතේ කොතැනකටත් නොතිබුණ අහම්බයක්..

9 comments:

  1. වැහි දැරිවි නිතර නිතරෝම බ්ලොග් ලිවිය යුතුයි

    ReplyDelete
  2. නොවිදපු කනක නිදහස!

    ReplyDelete
  3. ඇත්ත වැහි දැරිය... පොඩි දෙයකින් පටන් ගෙන ඔයා ගැඹුරු දර්ශනයකට යනව. මේක මට ලොකු ඉන්ස්පරේෂන් එකක් වුණා. අද හවස මාත් යමක් ලියන්න ඔ්නෙ, කියල හිතාගත්ත. ඒකට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද.. ඒ කොහොම වෙතත් හුඟක් සන්තෝසයි ඩ්‍රැකී ලියන්න ඉන්ස්පයර් වීමක් වුණ එක ගැන! ඒ පැත්‍ත‍ෙ ඇවිත් කියවන්න ඕනෑ!

      Delete
  4. මටත් ඕන වුණා පොඩි එ⁣කීගෙ කන් විදන්නැතිව තියන්න. ඒත් ආච්චිල දෙන්නෙකුයි අම්මටයි පරාද වෙන්න වුණා. 😁😁

    අපූරුයි ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. දවසක ‍ඒ ගැන එයා දැනගනීවි නොවැ! කන විදින්න තාත්තා අකැමැති වුණ වග!

      Delete
  5. මටත් ඕන වුණා පොඩි එ⁣කීගෙ කන් විදන්නැතිව තියන්න. ඒත් ආච්චිල දෙන්නෙකුයි අම්මටයි පරාද වෙන්න වුණා. 😁😁

    අපූරුයි ලියවිල්ල

    ReplyDelete