Wednesday, March 30, 2016

27. පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න!

තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න

සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න

වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

කුසුමක් සේ මැ ඇස් අස්සේ සුපිපෙන්න
සුසුමක් සේ මැ මුව අද්දර දැවටෙන්න
පැතුමක් සේ මැ නෙත් පත්ළේ සැතපෙන්න
පහනක් සේ මැ හිත් මලුවේ ඇවිලෙන්න.


Saturday, March 26, 2016

26. පෙම්වත් උදාසන...

ගමට ඉර පායන්නෙ කොළඹට ඉර පායනවට වඩා බොහෝම වෙනස් අන්දමකටයි. ගොඩනැගිලි උඩින් අවලස්සනට කොළඹට පායන ඉරු දෙය්යො මෙහෙට උදා වෙන්නෙ වෙලට උඩින්.. ලා ඉර එළිය රත්තරන් පාටත්, රන් පාටත් අතරමැද වර්ණෙකින් අහස උඩ ඉහිරෙද්දි ගස් මුදුන්වල කොළ පාට බොඳ වී ගෙන යන්නෙ තමන්ගෙ හිස්මුදුන් මතින් වැතිරෙන රත් පැහැයට ඉඩකඩ දෙමින්. ඉරට මඳ දුරක් තියාගෙන කොක්කු පියාඹන අතරෙ මං තනියම වෙල දිහාවට ඇවිදගෙන ගියා..

පෙම්වත් ඇමතුමකට කියාපු වෙලාව...

"මං වෙල අයිනට ආව.."

"තනියම?" ඒ පැත්තෙන් ඇහෙන්නෙ මවිතය මුසු වුණ කටහඬක්..

"ඔව්.. ගෙදරින් තරහ වෙලා තනියම ආවෙ." 

මං කිව්වෙ මුසාවාදයක් බව ඒ කටහඬේ අයිතිකාරයා දන්නව..

"අම්ම අද බබාට සත පනහක් දුන්නෙ නැද්ද..?" 

මගේ අතීත කතන්දරවලින් විනෝදයට පත් වෙන ඒ කටහඬ මතක් කර දෙන්නෙ අතීත සිද්ධියක්. අවුරුදු දෙකහමාරක් තුනක් විතර කාලෙ මං ගෙදරින් තරහ වෙලා ඉස්සරහ දොර ඇරගෙන මිදුලට දුවනවලු. අම්මා මාව වඩාගන්න පිටිපස්සෙන් දුවගෙන එන අතරෙ මග වියදමට සත පනහක් දෙන්නද කියාත් අහනවලු. ඔය සිදුවීම අම්මා හිනා වෙවී මතක් කරන මතකයක්..මාත් කොයි මොහොතක හරි ඒ අතීත මතකය මගෙ වර්තමානයට මතක් කර දීලා තියෙනවා. ඒක නෙව මේ සමච්චල් කරන්නෙ..

"සත පනහක් දුන්නෙ නෑ අනේ.."

"ඔහොම්මම මෙහෙ එන්නකො.. ඔයා සත පනහක් නෙමේ සත පහක්වත් නැතුවයි මං ගාවට එන්න ඕන.."

මං හිනාවෙන්නෙ වෙලට උඩින් ඉරු නැගගෙන එන දිහා බලාගෙන. කොක්කු අහසේ ඉගිල්ලෙනව පේනව. මගෙ හිතත් ඒ එක්ක අහස පුරා ඉගිල්ලීගෙන යනව. පෙම්වත් උදාසන වෙල්යාය උඩින් - පැහෙන ගොයමට ඉහළින් - මගේ හදවත ඉස්මත්තෙන් මනරම් ව පායාගෙන එනව..

ආයේ දින කිහිපයකින් කොළොම්පුරවරේ නපුරු දූවිල්ලත් - වාහන තදබදයත් මැදයි මගෙ ජීවිතේට ඉරු උදා වෙන්නෙ. ඒ අරුණෝදය මෙපමණ මිහිරි බවකින් යුතු නැහැ. පෙම්වත් ව විඳින්නටත් අපහසුයි..

මෙහේ අන්තර්ජාල පහසුකම් නැති නිසා කලින් ම නින්දට යන්න පුළුවන්. කොළඹදි වගේ රෑට රෑ වෙන තුරු සින්දු අහන්න, ඊ පොත් කියවන්න සහ චිත්‍රපටි බලන්න ආදී මෙකී නොකී කාරණාවලට මෙහෙ ඉඩක් නැහැ. කලින් නින්දට යන නිසා ඉරු උදාවත් එක්ක ම ඇහැත් ඇරෙනව..

කොළඹත් මේ වගේ එක යායට විහිදුණු කෙත් යායවල් තියෙනවා නම්.. ඇඟේ ගෑවි ගෑවී දුවගෙන යන පුංචි වහු පැටව් ඉන්නවා නම්.. පාටපෙට්ටියෙවත් නැති අපූරු පාට එක්කහු වෙලා වර්ණ ගැන්විච්ච සමනළ යාළුවෝ ඉන්නව නම්.. මං කල්පනා කළේ අරමුණක් නැතිව ඔහේ ඇවිදගෙන යන ගමන්..

කොළඹදි හරි කළාතුරකිනුයි පාවහන් නැතිව ගමනක් බිමනක් යන්න ඉඩක් ලැබෙන්නෙ. පුංචි කාලෙදි සපත්තු ගළවලා ජනේලෙන් විසි කරපු වැසි දැරියට පාවහන් පැළඳීම කොයි තරම් එපා කරපු අත්දැකීමක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා වැරදිලාවත් මං නෙමේ මේ උදා සංචාරවලදි සෙරෙප්පුවක් කකුල අහලකට ගන්නෙ..  නිරුවත් දෙපාවලට මඩ වතුරත් - තණ පතුත් පෑගෙද්දි දැනෙන සනීපය වචනවලට නගන්න ඇත්තටම අපහසුයි..

"ගහකොළවල, වැව් පතුළෙ, ඇළදොළවල හැම තැනම කවි තියනව. පරිස්සමින් ඇවිදලා කවි  හොයාගන්න.."

කනටත් උරහිසටත් හිර වෙලා තිබුණ දුරකථනයෙන් ගලාගෙන එන කටහඬ ඇහෙන්නෙ වෙන කවරදාටත් වඩා සුන්දර ව..

පෙම්බර ඇමතුම් වුණත් වඩාත් මනරම් වටපිටාවක වඩා සුන්දර ව දැනෙන්න පටන් ගන්නව. බොහෝ වේදයිතයන් නගරයෙදි ඇති සැටියෙන් විඳින්න අපහසුයි..    හෝ ගාන පොකුණෙ ගුරුතුමිය තමන්ගෙ පෙම්වතාට අමතන්නෙ ගහක් උඩ ඉඳන්.. ඒත් සිග්නල් ඇඟෙත් හැපෙන කොළඹදි පිපෙන පෙම් මලකට වඩා ඒ මල් කැඩිල්ල හරි අපූරුයි...

හෙට ඉඳලා ආයෙමත් අර කාස්ටක පොළොවටයි ඉර ඇහැරෙන්නෙ. ඒ බව දැනෙද්දි හිත පිරෙන්නෙ වේදනාවකින්. ඇත්ත.. කොළඹ බොහොම පහසුකම් තියෙනවා. ඒත් මේ මිහිරෙන් අංශුමාත්‍රයක් කොළොම් පුරවරේ ඉරු උදාවක නැහැ..

ඒ දුකත් දරාගෙන ම මං වෙළ අද්දර හිටගත්තා. අපි කැමති වුණත් - අකැමැති වුණත් ජීවිතේට හැම වර්ගෙකම අරුණෝද උදා වෙනව. මනරම් උදා අරුණෝද වගේ ම - නොපහන් අරුණෝදත් අපි එක සේ ජීවිතේට පිළිගත යුතුයි. හෙට උදා වන කොළඹ අරුණ ගැන නොහිතා මං අද මේ පෙම්වත් උදාසන විඳගන්නා අරමුණින් පින්නෙන් නෑවිලා තිබුණ තණපත් යායක් මැද්දෑවෙ ඉඳගත්තා.. 

"ගමේදි තමා ඔයා ඇතුළෙ ඉන්න කවිකාරි කොටහළු වුණේ.."

දුරකථන රැහැන් අතරින් ඒ මොහොතෙ එහෙම කියැවෙනව ඇහුණ...

Tuesday, March 15, 2016

25. සොඳුරු අඳුර..

මේ දිනවල රැයට අන්ධකාරයි.. කළුවරින් වැහිලා. මේ විදුලි විසන්ධි වීම උස්තැන්වල මැදිහත් වීමෙන් සිදු වන්නේ නම් එය පිළිකුල් සහගතයි. නමුත් මේ කියන්න යන්නෙ ඒ ගැන නොවෙයි.. විදුලි විසන්ධියත් සමඟ ඇති වුණු සොඳුරු අඳුර ගැනයි..

විදුලි විසන්ධි වීම අපේ ගෙදර ඇත්තන්ට නම් කොහොමටත් ලොකු ගැටලුවක් නොවෙයි. ගෙදර රූපවාහිනියක් නැති නිසා ගෘහස්ත හිංසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් බඳු වස්සානේ ප්‍රේමයටවත්, අනන්තයෙන් ආ තරු කුමාරයන්ටත්, අහස පළාගෙන මතු වෙන ගායන සහ නර්තන තරුවලටත් අපේ ගෙදර කිසිම තැනක් නැහැ.. ගැටලුවක් ඇති වෙනව නම් ඇති වෙන්නෙ අඳුරේ පොත් කියවන්න අකුරු නොපෙනෙන නිසා පමණයි.. ඒත් ඒකත් ගණන් නොගත යුතු තරමට මේ අන්ධකාරය අපට එකිනෙකා හා සංවාද වෙන්න සුන්දර වටපිටාවක් තනා දෙනවා. 

ඊයෙ සුමින්ද කිත්සිරි ගුණරත්න, අපේ පරම්පරාවේ ප්‍රතිභාපූර්ණ ම කවියාගේ නව කවිපොත පිළිබඳ මිහිරි ඇගයුමක් පැවතුණා. එය නිම වී අම්මාත් - මාත් නිවසට එද්දි රෑ බෝ වෙලා. ගෙදර ඇත්තො අන්ධකාරෙ ඉටි පහන් දල්වාගෙන අපි එන තුරු බලන් ඉන්නවා. විදුලිය නැවත ලැබෙන තුරු අපි ජීවිතේ ගැන, සාහිත්‍යය ගැන කතාබහේ නියැලුණා. අ.පො.ස විභාගත් එක්ක පැටලෙමින් ගෙවුණ ජීවිතේ පහු කාලෙදී එහෙම සුන්දර සංවාදවල නිමග්න වෙන්න ලැබුණු කාලය අඩුයි.. ඒත් මේ අන්ධකාරය විසින් ඉබේම මනුස්සකම්වලට - කවි කතන්දරවලට මතු වෙන්න කාලෙ සකසලා දෙනවා.. ඒක පුදුමාකාර මිහිරක්..!! 

ඒ අතරෙ මං විභාගය සමත් වීම වෙනුවෙන් අපේ අසරණ තාත්තට ගෙවන්න වුණු දඩය අතරට එක් වෙලා තිබුණ ස්ටෙෆ්නි මේයර් කියන මැජික්කාරිගෙ ට්වයිලයිට් කෘතිය ( ඔව්.. ඔව්.. ෆිලුම් එක හැදුවෙ ඒ පොතෙන් තමා) මාව අමන්දානන්දයට පත් කරමින් තිබුණ වෙලාවක විදුලි විසන්ධි වීම කියැවීමට බාධාවක් කරගන්න හිත් දුන්නෙ නැහැ. ඒ නිසා කට්ට කළුවරේ තමා එඩ්වඩ්, බෙලාට ආදරය ප්‍රකාශ කරන අන්දම කියෙව්වෙ.. පුංචි විදුලි පන්දමක් ආධාරයෙන්. වැම්පයර් කොලුවෙකුත් - මනුස්ස කෙල්ලෙකුත් අතර ඇති වුණ මේ අසාමාන්‍ය ආදර අන්දරය තනිවම බෙදා ගැනීම වරදක් යැයි හිතුණ නිසා ඒ මොහොතෙ මගෙ සමීප ම මිතුරියකට කෙටි පණිවිඩයකුත් කෙටුවා කලුවරේ ම. ඇගෙන් හැරෙන තැපෑලෙන් ආවා තරමක් දිගු කෙටි පණිවිඩයක්..

Enjoying the bliss of darkness in the company of a glowing candle.. 

ඒ කෙටි පණිවිඩයෙ තැනක එහෙම සටහන් ව තිබුණා. අන්ධකාරය සාපයකැයි නොසිතා එය අත් විඳින්නට පුළුවන් මිතුරු සිත් සිටීම වාසනාවකැයි සිතන ගමන් ම මම තව දුරටත් ට්වයිලයිට් නමැති මන්ද්‍ර අන්ධකාරය ඇතුළෙ කරක් ගැහුවා..

රූප පෙට්ටියෙන් එහා ගිය ජීවිතයක් තමන්ට තිබෙන බව මතක් කරගන්න මේ මොහොතෙ අපිට හැකි වුණොත් ඒක අන්ධකාරයෙන් උදා කර ගත හැකි අපූර්ව ආලෝක පුංජයක් යැයි සිතෙනවා.. 

Thursday, March 3, 2016

24. අට වසරේ දුටු සිහිනය - මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

   
මා අට වසරේ දී පමණ දුෂ්කර පළාතක ගුරුතුමියක් වන්නට ඇත්නම් යැයි සිහින මැවූයෙමි. ඉනික්බිති දිගින් දිගට ම ඒ ගැන අවදියෙන් හිඳ සිහින දකින්නට පටන් ගතිමි. එය ඉතා මිහිරි සිහිනයක් විය. ඒ හීනයේ මම යොවුන් ගුරුතුමියක් වී උනිමි. දුෂ්කර පළාතක ඉගැන්වූ ගුරුවරයෙක් මගේ අනාගත පෙම්වතා වනු ඇති යැයි මම ඒ කාලයේ කල්පනා කෙළෙමි. රජරට හැඩහුරුකම් තිබූ පෙදෙසක මා ඒ නාඳුනන පෙම්වතා සමඟින් අත්වැල් බැඳ ඇවිදින යුරු ද, පුංචි දරු දැරියන්ට උගන්වන යුරු ද ඒ හීනවල කොටස් විය. අට වසරේ කෙල්ලක ලෙස මා දුටු සුන්දර ම සීනය එය විය.

නිවසට පැමිණි මව්පියන්ගේ හිතෛෂීහු මගෙන් අනාගත බලාපොරොත්තුව විමසූහ.

මම තනි වාක්‍යයකින් ඊට පිළිතුරු දුනිමි.

මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

ප්‍රශ්නය විමසූවෝ මුහුණින් මුහුණ බලා ගත්හ. වෛද්‍යවරියක වන්නට එසේත් නැත්නම් ගණකාධිකාරිවරියක වන්නට කිසිදාක මම සිහින නොදිටියෙමි. 

දිවුරමි! කිසිදාක මසිතේ එවන් සිහින පැන නැඟුණේ නැත.

ගුරු හීනයට මුල් වූයේ කුමක් දැ යි මම නොදනිමි. ඇතැම් විට මම මගේ දෙමව්පියන් වෙතින් දුටු පරමාදර්ශී ගුරු භූමිකාව වන්නට පිළිවන. එසේත් නැත්නම් රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල දුෂ්කර සේවයේ යෙදුණු කාලයේ ලියැවුණු සුන්දර කවි - ගීත ඊට උල්පත වූවා වෙන්නට පිළිවන.

බිම් තඹුරු මලයි ඔබ
මල් නැති සුදුවැලි යානේ
බිම්පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ..

වැනි මිහිරි ගීත ඔහු අතින් ලියැවෙන්නට ඇත්තේ මෙසමයේ යැයි මම විශ්වාස කෙළෙමි. ඒ ගුරු ජීවිතය කොතෙක් සුන්දර වන්නට ඇත්දැයි කල්පනා කොට පිනා ගියෙමි. ඒ මිහිරි හැඟුම් මේ හීනයේ උල්පත යැයි අද මට සිතෙයි.

හීනය අලුත්වැඩියා වූයේ දහය වසරේ දී ය. සාමාන්‍ය පෙළට පාඩම් කරන්න යැයි කියා මව්පියෝ කිසිදාක මට  බල නොකළහ. මම පාඩම් ද කළෙමි. නමුත් වැඩියෙන් කියැවූයේ නවකතා ය. දියණිය පාඩම් කළ යුතු යැයි කියා තාත්තා මට පොත් ගෙනැවිත් දීම නතර කළේ ද නැත. තමා යම් සුන්දර පොතක් කියැවූවා නම් මා ද එය කියවිය යුතු යැයි විශ්වාස කළ ඔහු හදවතට දැනුණ යමක් වෙතොත් එය මාතට ද පත් කළේ ය. එසේ මා අත පත් වූ පොතකි අලුත් ඉස්කෝලෙ හාමිනේ.. යන අපූරු ප්‍රබන්ධ කතාව!

එහි පරමාදර්ශී ගුරු යුවළක් විය. ඔවුන් දෙදෙනා ළඟ ළඟ පාසල් දෙකක සේවය කළ ගුරු යුවළකි. ඔවුන් තමන් සේවය කළ දුෂ්කර පාසල් ද්වයය දාඩිය මහන්සියෙන් ගොඩ නගන්නට අත්‍යන්තයෙන් ම වෙහෙස වූ අන්දම විදහා පෑ ඒ කතාව අදටත් මගේ ප්‍රියතම කෘති අතර ඉහළින් ම පවතින්නකි. ඒ කියැවීමත් සමඟ ම දුෂ්කර සේවා හීනය වඩාත් සුන්දර ලෙස දකින්නට පටන් ගතිමි.

ඒ අතරේ දුෂ්කර පළාතකට ගුරු පත්වීම් හිමි වූවන් විඳින නොවිඳිනා දුක්  දකිමි. ඉදිරියටත් දකින්නට සිදු වනු ඇත. එහෙත් පුදුමයකට මෙන් ඒ සියල්ල දැක දැකත් මගේ දුෂ්කර සේවා සිහිනය බොඳ ව නොයේ. ජීවිතය ඉදිරියේ කොතෙක් පහසු අවස්ථා තිබියදීත් ඒ සිහිනය දළු ලා වැඩෙයි. ඉතා කෙටි කාලයකට හෝ දුෂ්කර පාසලක ස්වේච්චාවෙන් උගන්වන්නට සිත් වෙයි.

ඒ දුක දකිද්දී මට හෝ ගානා පොකුණේ ගුරුතුමිය සිය පෙම්වතාට පවසන දෙබසක් සිහි වෙයි.

හිතුවට වඩා අමාරුයි.. 
ඒත් හිතුවට වඩා ලස්සනයි..                                                                                                                                                                                                          
ඒ අතරේ යමෙක් හෝ ගානා පොකුණ බලන්නට ගියේය. ඉනික්බිති මගේ දුරකථනයට කෙටි පණිවිඩියක් පැමිණ තිබිණි. එහි මෙසේ සඳහන් විය.

ඔයාට දුෂ්කර පළාතකට ගිහින් ඉගැන්නුවොත් ඒ ටීචර් වගේ ඉඳීවි..

ඔහු එසේ කියද්දී මට අට වසරේ දුටු සිහිනය සිහිපත් විය.