Sunday, May 26, 2013

නික්මෙන්න පෙර සෙනෙහෙන් ලියන්නෙම්!

ජීවිතය අපිට වුවමනා දේවල්ම හැම විටම දෙන්නේ නැත.මගේ තාත්තා කියන අන්දමින් ජීවිතයේ සමහර හිමිවීම් යනු අහිමිවීම් වෙන්නට පුලුවන.අහිමිවීම් යනු හිමිවීම් වෙන්නට පුළුවන.යම් දෙයක් හිමි වෙනවා යනු ජීවිතයේ තවත් දේවල්වල අහිමිවීමක් වෙන්නට පුලුවන.සමහර දේ අහිමි වීම ඒ දෙයට වඩා ඉතා සුන්දර දෙයක් හිමි වන්නට ඉඩ සැලසීමක් වෙන්නට පුලුවන.ප්‍රේම සම්බන්ධතා බිද ගෙන ජීවිතය ගැන කලකිරුණු සිය සිසු සිසුවියන්ට ඔහු එසේ කියනවා මම අසා ඇත්තෙමි.

දැන් ඉතින් මගේ ජීවිතයටත් හිමි අහිමි ලෙස වෙන් කළ නොහෙන තැනක් උදා වී තියේ.උසස් පෙළ හදාරන්නට මගේ ඉස්කෝලයෙන් සමු අරන් යා යුතුය.මට ජීවිතයේ බොහෝ තැන් කියා දුන්නේ ඒ පාසලයි.ජීවිතය යනු මේ යැයි, මිත්‍රත්වය යනු මේ යැයි, ආදරය යනු මේ යැයි, ගුරු ජීවිතය යනු මේ යැයි නිදර්ශනත් සමගම මට කියා දුන්නේ මගේ සොදුරු තක්සලාවය.ඒ හෙවණේ වැඩුණු කාලය තුළ මම අනන්ත වතාවක් හිනාවෙන්නට ඇත.ඊටත් වඩා අඩා වැටෙන්නට ඇත.හිත් සැනසීම් මෙන්ම හිත් රිදවීම් අනන්ත වාරයක් සිදු විය.ඒත් කදුලු අස්සෙන් හිනා වෙද්දී ළමයින් බොහෝ ලස්සන බව අප ඉගෙනගත්තේ ඒ තක්සලාවේ ඉගෙනගත් කාලයේදීය...

පසු ගිය දවස්වල අපේ ඉස්කෝලේ උසස්පෙළ පන්ති පටන් ගැනුනි.එක බත්පත බෙදාගෙන කෑ,එක පිට්ටනියේ  සෙල්ලම් කළ,එකට හොර වැඩ කළ අපේ අනිත් අය පෙරදා වාගේම සුදු ඇදගෙන පෙර පුරුදු ටයි පටියම පැළදගෙන, පෙර පුරුදු ගේට්ටුවෙන්ම ඇතුළු වී පාසල් යති.හොද ප්‍රතිඵල ගත් අපට ඒ වාසනාව නැත.එය අපේ ජීවිතවල අහිමි වීමක් සේ දැනේ...

ඒත් අනික් පැත්තට අලුතින් ජීවිතය පටන් ගැනීමත් වාසනාවකි.වෙනත් පාසලකට යන්නට වරම් නොලද්දෝ අප ගැන සිතන්නේ එසේය.එහෙත් නුඹලාට තව අවුරුදු දෙකක් හෙවණ විදින්නට ලැබෙන ඔය දයාබර පොළොවට අපි කොයි තරම් නම් පෙම් බදිනවාද... ඔය සියඹලා ගස් හෙවණේ ආයෙත් දවසක් වාඩි වී හිස් වචන කතා කරන්නට අපි කොයි තරම් ආසා කරනවාද කියා නුඹලා දන්නේ නැත.



Saturday, March 16, 2013

ම'කිවිදි!


නිල් තාරුකා පෝළිම් සැදී
දුර අහස මත නෑගම් යතී
කිසිදාක නොබිණූ නුඹ අදත්
මා අසළ නොමවයි සුර ලොවක්

පෙන්නුවා නම් නුඹ මට යමක්
අද මතු නොවෙයි එදවස වුණත්
ඒ පෙන්නුවේ ඇත්තම මිසක්
නොව සිහින දුහුවිලි රැදි තැනක්

පෙන්නා දුකින් වැළපෙන දනන්
ජීවිත ඉරුණු සන්නාලියන්
නව ඇසක් දී මා ඉපදවූ
මගෙ කිවිදියේ මෙවදන් අසන්

කවියක්ය නුඹ හැම දෙන කියත්
කිසි දිනක නොහගිමි ඒ බවක්
මේ සසර මග නිම වන තුරුත්
හැමදාම නුඹ නම් මට මවක්

Thursday, March 7, 2013

එපා වෙන සිහින කතන්දර..

සිහින දැකීම යනු සාමාන්‍ය දෙයකි.ඒත් පොඩි අවදියේ මම සිහින දැකීම ගැන හිතා උන්නේ ඒ දවස්වල මගේ ප්‍රියතම කතුවරයා වූ රෝල්ඩ් ඩාල්ගේ ක්‍රමයටය.ඔහු සිය The BFG නම් කෘතියේ සදහන් කරන්නේ (මෙය මමියෝ-මහ මිතුරු යෝධයා නමින් උපාලි උබයසේකර වෙතින් සිංහලයට නැගී තිබේ.) බිග් ෆ්‍රෙන්ඩ්ලි ජයන්ට් නොහොත් මහ මිතුරු යෝධයා ලොකු මල්ලක සිහින පුරවා ගෙන විත් ඒවා නිදා සිටිනා අය වෙත විසල් බටයකින් පිඹිනා බවය.ඔහු ළග හොද මෙන්ම නරක සිහිනද තිබේ.හොද අයට හොද සිහිනත්,නරක අයට නරක සිහිනත් පිඹීම ඔහුගේ රාජකාරියයි.කතන්දරය අවසන් වන විට මේ සිහින පිඹීමේ හැකියාවෙන් ඔවුහු එංගලන්තය කනපිට හරවති....

..මට කියන්නට වුවමනා කළේ එය නොවේ.සිහිනයෙන් පෙනෙනා කතන්දර ගැනය.සමහර දිනකදී මට සම්පූර්ණයෙන් කතන්දර දෙක තුන පෙනේ.එහෙත් උදේ නැගිට බලද්දී සිහිනයේ තැනින් තැන මිස කතන්දරය මතක නැත.තව දවසකදී සිහින කතන්දරයේ පොඩිත්තක්වත් මතක නැත.... 
..මෙතෙක් මා එලෙස දැක ඇති සිහින ටික ගණන් කළා නම් නවකතා විසිතිස් ගණනක් ලියන්නට තිබුණි.මට ජීවිතය ලබා දී ඇති දේවලට දොස් පවරනවා නොවේ.එහෙත් අඩුම තරමේ ඒ කතන්දරවල ශේෂයන්වත් මතක තබා ගැනීමේ හැකියාව මට ලබා දුන්නා නම් මම බෝ සෙයින් සතුටු වෙමි.

ඒ දවස්වල මගේ ප්‍රියතම ලේඛකයා වූ ඩාල් මෙන්ම මේ දවස්වල මගේ ප්‍රියතම ලේඛකයා වන භද්‍රජී මහින්ද ජයතිලකද මේ හීන කතන්දරයට සම්බන්ධය.ඒ ඔහු සිහින ගැන ලියා ඇති හින්දාම නොවේ.ඔහුටත් සිහිනයෙන් කතන්දර පෙනෙන හින්දාය.තමා ලියන කතන්දරවල අනුභූතින් තමන්ට සිහිනයෙන් පෙනෙන බව දිනක් ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණි....ඒ හැරුණාම මගේ පවුලේ තව කීප දෙනෙකුටම සිහිනයෙන් කතන්දර දැකීමේ වාසනාව මෙන්ම ඒ සිහින මතක තබාගැනීමේ හැකියාවද තිබේ.මගේ අවාසනාවට පළමුවෙනි වාසනාව මට ඇතත් දෙවෙනි වාසනාව නැත.ඉතින් එහෙයින් පළමු වාසනාවෙන්ද පලක් නැති වී තිබේ... කොහොම වුණත් ජීවිතය අපට හැම දෙයක්ම එක වර ලබා දෙන්නේ නැත.එහෙයින් පළමු වාසනාව හෝ ලබා දීම වෙනුවෙන් ජීවිතයට ස්තූතිවන්ත වෙමි...

Wednesday, January 9, 2013

ඉගෙනීම

අධ්‍යාපනය ලබන ළමයෙක් විශේෂයෙන්ම මහන්සි විය යුතු බව මම අදහමි.ඔවුන් අනිත් පුද්ගලයන්ට වඩා මහන්සි විය යුත්තාහුද වෙති.සාමාන්‍යයෙන් මා නම් අධ්‍යාපනය විෂයෙහි වැඩි මහන්සියක් යොදවන්නෙමි.. සහ ඒ යෙදවීම සිදු වන්නේ කැමැත්තෙනි.නිරායාසයෙනි.එය මා අකමැත්තෙන් කරන දෙයක් නොවේ.මා දන්නා අතලොස්සක් මිතුරු මිතුරියෝ ද එසේ වෙති.එහෙත් බහුතරය එසේ නැත.ඔවුන්ට අධ්‍යාපනය සදහා යෙදවිය යුතු මහන්සිය කරදරයකි.

වඩාත් කණගාටුදායක කාරණය එසේ මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු උදවිය වීමය.ඔවුන් මහන්සි විය යුත්‍තේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණි.අනිත් සෑම දෙයක්ම ළගටම ලැබේ.ඉතින් එසේ තිබියදීත් කිසිවක් නොකරන ඔවුන් ගැන ඇත්තෙන්ම මම නම් දැඩි ලෙස කණගාටුවට පත් වෙමි.වාසනාවකට මා කිට්ටුවෙන්ම ඇසුරු කරන මිතුරියන් දෙදෙනා එබදු නැත.ඔවුන් අනායාසයෙන් ඉගෙන ගැනීම සදහා මහන්සි වෙති.ඉගෙනගත් දෙය අත්හදා බැලීමක් ලෙස නොව සැබෑ මනුසත් කමින් තමන් උගත් දෙය අන්‍යයන්ට කියා දෙති.ඒ ඔක්කෝටම වඩා ඒ දෙන්නා පොළොවේ පය ගසා ජීවත් වෙති.ඔවුන් ළග කෝලම් ද,මායම් ද නැත.ඒ යහපත් ගතිගුණ වඩාත් ඉස්මතු වන්නේ ඔවුන් ඉගෙනීමේ නිවැරදිම ක්‍රමයක් අනුගමනය කරන නිසා බව මට සිතෙන කාරණයකි.

මට ඉගෙනීම ගැන ලියන්නට හිතුණේ කරුණාදාස සූරියආරච්චි පුරුදු පරිදි සිළුමිණ පුවත්පතේ ලියා තිබුණු ලිපියක් නිසාය.සෑම ලිපියකටම ප්‍රිය නොකළත් ඔහු අතින් ලියැවෙන බොහෝ දෑ තුළ මට කුමක්දෝ අාකර්ශණීය බවක් දැනේ.මේ ලිපියත් එබදුය.එය ළමා කතාවකි.කතාව ගැන කිව යුතු තරමේ දෙයක් නොතිබුණත් එහි ලියැවී තිබුණු පහත වැකිය ඉගෙනීම සම්බන්ධයෙන් මෙහි ලියා තැබිය යුතුම යැයි මට සිතිණි.

"සරුවට බෝග හැදෙන්න නම් හොද පසක් තෝරාගන්න.හොද බීජ ඇට සොයාගන්න.හොදට මහන්සි වෙලා වැඩ කරන්න.අස්වැන්නෙන් කොටසක් නැති බැරි අයට දෙන්න."