Tuesday, October 31, 2023

ගුරු දියවර නවකතාව - විසි හතරවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                           ගුරු දියවර 24

 


ගඟුල් - මිහිදිනී දෙදෙනා එදා නවාතැන් ගත් කඳුබිම හදවතේ පුංචි කුටියට එහි කවුළුවෙන් සඳ දිය ගලමින් තිබිණ. ඒ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ සිය සොහොයුරා ඇතුළු සමකාලීන කලාකරුවන් විසින් මහත් සේ අගය කළ තමාට ද දැක ගැන්මට ලැබුණු සමන් සිත්තරාගේ මේ වන විට අස්ථානගත ව ඇති සඳ දිය ගලන සඳ නම් චිත්‍රය යි. සුනිසල වන පරිසරයක පිහිටි ගල් තලාවක් මත හිඳ, ඉසොඳුරු රැයෙක බටනලාවක් වයන යෞවනයකුගේ නොකිලිටි ආත්ම ප්‍රකාශනයක් වශයෙනි, ගඟුල් එය හඳුනා ගත්තේ. අනතුරුව ඔහුගේ සිහියට නැඟුණේ සරසවි සිසුවකු සිටිය දී උගත් රාමායණේය සකු පැදියකි.

 රාත්‍රිඃ ශශාංකෝදිතසෞම්‍යවක්ත්‍රා - තාරාගණෝන්මීලිතචාරුනේත්‍රා

 ජ්‍යොත්සනාංශුකං ප්‍රාවරණා බිභර්ති - නාරීව ශුක්ලාංශුකසංවෘතාංගී

ඒ වූකලී මහාකවි ව්‍යාස ඍෂිවරයා එදා ඒ විස්තර කළ අතීත රාත්‍රිය ම විය. සඳකිරණ නමැති වතින් සැරසී, චන්ද්‍රෝදය නමැති සොමි වතින් හෙබි, තරු රැස නමැති මනහර නෙතැති රාත්‍රී තොමෝ සුදුවන් වතක් හැඳි කතක මෙන් අලංකාර ව සිටියා ය. ඒ මොහොතේ ඒ හදබිම ගෙදර කුටි කවුළුවෙන් සඳ දිය ගලමින් තිබිණ. ඒ  සඳ වතුරින් නැහැ ව තිබුණේ සුදට හුරු වතක් හැඳ එකුටි යහනෙහි නිදන මිහිදිනියගේ වත කමල යි. සාහිත්‍යකරුවකුට තමා උගත් සාහිත්‍යයෙන් මිදිය හැකි ද? මේ නිකෙලෙස් රැයෙහි දී යළිදු ගඟුල්ට සිහිපත් වූයේ සකු සැහැටියාගත පැදියක් ම ය.

සිතේෂු හර්ම්‍යේෂු නිශාසු යෝෂිතාං - සුඛප්‍රසුප්තානි මුඛානි චන්ද්‍රමාඃ

විලෝක්‍ය නූනං භෘශමුත්සුකශ්චිරං - නිශාක්ෂයේ යාති හ්‍රියේව පාණ්ඩුතාම්

එදා ඒ අතීත රාත්‍රීන්හි සුදු සඳළුතලාවල සුවසේ සැතපී හුන් යෞවනියන්ගේ සොඳුරු මුහුණු දුටු සඳ, උදෑසන සිය වත කමල ගැන ලජ්ජාවට පත් ව පඬුවන් පැහැයට පත් ව ගියාක් මෙන් අද්‍යතන රාත්‍රියේ උදිත සඳමඬල ද මිහිදිනියගේ මුවමඬල දැක හෙට දින උදාවේ දී ලජ්ජිත ව හැකිලී යනු ඇතැයි  ගඟුල්ට සිතිණ. ඔහු සැනසිලිදායක හැඟුමින් යුතු ව සුවසේ නිදාහුන් මිහිදිනියට බාධා කිරීමට සිතුවේ නැත. ඇය දෙස මඳක් හැරී බැලූ ගඟුල්ට දක්නට ලැබුණේ ඇයගේ පොරෝනයෙන් කොටසක් පසෙකට වී ඇති ආකාරය යි. ඇය නිදා හුන් යහන වෙත සෙමින් ආ ගඟුල්, සිය ළබැඳි මිතුරියගේ ගත වැසෙන සේ සෙමින් පොරෝනය අතුරා එතැනින් නික්ම ආවේ හඬ නොනැගෙන පරිදි ය. ගඟුල්ට සිහිපත් වූයේ රබීන්ද්‍රනාත් තාගෝර් සාහිත්‍යධරයාගේ ගෝරා නවකතාවේ එන ඔහුට වඩාත් දැනුණු චරිත යුග්මය වන බිනය සහ ලලිතා ය. නෞකා ගමනක යෙදී හුන් ඒ දෙදෙනා ඔවුනොවුනට සවියක් මෙන් ම සහායක් වෙමින් ගිය නික්ලේශී සංසිද්ධි හා බැඳුණු ඒ ආනන්දනීය රාත්‍රිය ම මේ මොහොතේ තමාට සිහිපත් වන්නේ ඇයි? මෙවන් හුදෙකලා රාත්‍රියකදී  තරුණයකු හා තරුණියක් පමණක් සිටින තැනක සාමාන්‍යයෙන් සිදුවෙති යි කියන ප්‍රචලිත සිදුවීම් සමග අංශුමාත්‍රයකින් හෝ සම්බන්ධ කළ නොහෙන චරණාවලියකට ය, මේ දෙහද යොමු වූයේ. මුදු සඳ වතුරෙන් මහ පොළොව ද හද සඳ වතුරින් ජීවිතය ද තෙත් ව යන ඒ ආලෝක රාත්‍රියේ ගඟුල් එළියට ගියේ අතිපසන් මානසිකත්වයකින් යුතු ව ය. අනතුරුව කුටි කවුළුව විවර කළ ඔහු ඒ සමග අනන්තාකාශය වෙත වුව යා හැකි හද කවුළුව ද විවර කෙළේ ය.

අනතුරුව ගඟුල්ට සිනහ ගියේ නිදා ගන්නා තැන පිළිබඳ ව තමාත් මිහිදිනීත් අතර ඇතිවූ ප්‍රණයකලහයක ස්වරූපය ගත් සංකථනය සිහිවීමෙනි. මේ කුටියේ ඇත්තේ එක් ඇඳක් පමණක් බැවින් දෙදෙනාට ම අවශ්‍ය වූයේ අනෙකාට යහන දී බිම නිදා ගැන්මට යි. මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූයේ සංවිවදනයකි. ඔහුට දැන් මේ සිහි නැඟෙන්නේ ඒ සංසිද්ධිය යි; ඒ හා බැඳුණු සංකථනය යි. විවාද ස්වරූපී සංකථනය ඇති වූයේ නිදා ගන්නා තැන සම්බන්ධයෙනි. ගඟුල්ට මිහිදිනියට යහන දී බිම නිදා ගැන්මට සැරසෙද්දී මිහිදිනියට අවශ්‍ය වූයේ ගඟුල්ට යහන දී බිම නිදා ගැන්මට යි. පළමු ව කතා කෙළේ ගඟුල් ය.

මට හරි කණගාටු යි මිහිදිනී මේ වෙච්ච දේට. විශේෂයෙන් ඔයාට වෙච්ච අපහසුව ගැන. ඔයා බය නැතුව සැහැල්ලුවෙන් නිදාගන්න ඔය ඇඳෙන්. ඔයාගෙ මහන්සිය ඔය ඇස් දෙකෙන් ම පේනවා. මට අර පුස්තකාලෙ කාමරේ තව ටිකක්  වෙලා ඉඳලා පොතක දෙකක පිටු හරි පෙරළලා බලන්න හිතෙනවා. බැලුවහම අපේ මේ හදබිම අයිති අලුත් යාළුවා පුංචි දාර්ශනිකයෙක්නෙ. දැන් ඔයා නිදියගන්න. මන් යනවා පුස්තකාල කාමරේට.”

මේ මේ පොඩ්ඩක් නවතින්න ගඟුල් සර්, දැන් මට විතරයි එතකොට මහන්සි, ඔයාට මහන්සි නැහැ. සර් අපි ඇත්ත කතා කරමු. මට නෙමෙයි ඔයාට යි මහන්සි. දන් ඔයා නිදිය ගන්න ඕන මේ ඇඳෙන්. මටත් තියෙනවා පුස්තකාලෙට යන්න ඕනකමක්.”

මේ රෑ ඇයි ඔයාටත් පුස්තකාලෙ පොත් බලන්න ඕන උනේ. කියන එක අහලා ඔයා නිදිය ගන්න මිහිදිනී, හෙටත් අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවනෙ.”

මටත් කියන්න තියෙන්නෙ ඒක ම තමයි. කියන එක අහලා ඔයා නිදිය ගන්න ගඟුල් සර්, හෙටත් අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවනෙ. දැන් ම නිදිය ගන්න මේ ඇඳෙන්.”

එතකොට ඔයා.”

මට පුළුවන් බිමට බෙඩ්ෂීට් එකක් දාලා බිම නිදිය ගන්න.”

නෑ නෑ ඒක හොඳ නෑ. මම කොහොමටවත් කැමති නෑ ඒකට.”

ඔන්න ඉතින් ඔයත් සාම්ප්‍රදායික ව හිතන ගෑනියක් වෙන්න ද යන්නෙ. පිරිමියා තමයි උසස් එයා තමයි උඩ ඉන්න ඕනෙ. එයාට ඉස්සෙල්ලා කන්න දීලා, නිදිය ගන්න හදලා දීලා, ඒ ඔක්කොම කළාට පස්සෙ තමයි ගෑනු කන්න ඕනෙ, නිදියන්න ඕනෙ කියන කතාවනෙ මේ කියන්නෙ. ඔයා එහෙම හිතුවත් නැතත් ඒක තමයි මේ වැඩෙන් තහවුරු වෙන්නෙ.”

ගඟුල් සර්, මම කොහොමටවත් එහෙම අදහස් කළේ නැහැ. ඔයා දැන් මේ පාවිච්චි කරපු අර්ථෙන් නෙමෙයි, ඔයාම දවසක මට කියලා දුන්නු අර්ථෙන් නං මන් සාම්ප්‍රදායික ගැහැනියක් තමයි. ඔයාමනෙ මට කිව්වෙ සම්ප්‍රදාය කියන්නෙ හැම පැත්තෙන් ම එකට යහපත් විදිහට දීමක් ප්‍රදානය කිරීමක් කියලා.ඒත් එහෙම කියපු ඔයාම ගතානුගතික වගේ අර්ථයක් ළඟ සම්ප්‍රදාය තියන එක හරි නැහැ කියල යි මට හිතෙන්නෙ. මන් හිතන්නෙ ඔයා ඔය නිතර මතු කරන විද්‍යෝදය සම්ප්‍රදාය එක්කත් ඒක ගළපන්න බැහැ කියල යි.”

අපෝ මිහිදිනී ඔයාට වචනයක් වරදින්න බැහැනෙ. හරි එහෙමනං මන් අර ගතානුගතික අර්ථෙන් ඔයා සාම්ප්‍රදායික යි කියලා කියපු එක ඉල්ලා අස්කර ගන්නවා.”

එහෙමනං ගඟුල් සර් ඒක ඉල්ලා අස්කර ගන්නව වගේ ම ඔයා ඒ වචනෙත් එක්ක සම්බන්ධ කරලා මට කරන්න කියපු ක්‍රියාවත් ඉල්ලා අස්කර ගන්න.”

ඔයා ඔය කියන දේ මට තේරෙන්නෙ නැහැනෙ.”

ඒ කියන්නෙ මට ඇඳෙන් නිදිය ගන්න කියලා කරපු ඉල්ලීම. මෙතෙන්දි සර් මන් බලන්නෙ ගැහැණු - පිරිමි - මල් - පලතුරු ක්‍රීඩාවට එහා ගිය දැක්මකින් මේ කාරණේ විග්‍රහ කර ගන්න. මොකද මේ වගෙ වෙලාවට අපි බලන්න ඕනෙ ගැහැණු ද පිරිමි ද කියන එක නෙමේ. කාට ද වැඩියෙන් මහන්සි කියන කාරණේ. එහෙම බැලුවහම ඔයානෙ ගඟුල් සර් මට වඩා වෙහෙසට පත් වෙලා ඉන්නෙ. ඒක නිසා ඔයාට තමයි සුව පහසු නින්දක් අවශ්‍ය කරන්නෙ. ඒක නිසයි ඔයා දැන් මේ ඇඳෙන් නිදාගන්න ඕන.”

නෑ නෑ ඒක හරියන්නෙ නැහැ. ඔයා නිදිය ගන්න මේ ඇඳෙන්. මට පුළුවන් බිම ඉන්න. මම ගෙදරදිත් කැමැති එහෙම ඉන්න යි බොරු නං අපේ අය්යට කෝල් එකක් දීලා අහලා බලන්න මන් කියන්නෙ බොරු ද කියලා.”

මේ මහ රෑ පුළුවන් ද සර් අය්යට කෝල් කරන්න. අනිත්තෙක විපුල් අය්යට කෝල් කරලා  මට පුළුවන් ද අහන්න අය්යෙ මල්ලි නිදිය ගන්න කැමති ඇඳේ ද බිම ද කියලා. අය්යා හිතයි මට පිස්සු යි කියලා.”

ඉතින් ඒක අපේ අය්යා දන්නවනෙ.”

මොකක් ද සර් අය්යා දන්නෙ.”

අය්යා දන්නෙ ද එයා දන්නවා ඔයාට පිස්සු යි කියලා. මොක ද එයා දන්නව එයාගෙ මල්ලිගෙ පොඩි පිස්සු ගතියක් තියෙන හින්දා එයත් එක්ක යාළුකං පවත්තන්නත් පොඩි පිස්සුවක් නැත්තං බැහැ කියන එක.”

ඔන්න දැන් මේ පිස්සු ගෑනිට කේන්ති යන්න යි එන්නෙ. දැන් ඔයා නිදිය ගන්නව ද නැද්ද මේ ඇඳෙන්.”

අප්පේ ඔයාට අපේ රේණු අක්කා වැහී ගෙන එනවා වගෙයි මට පේන්නෙ.”

ඇයි ගඟුල් සර්ට

අමතක උනාද මන් වැඩියෙන් ම ආශ්‍රය කරන්නෙ වැඩියෙන් ම ආභාසෙ ලබලා තියෙන්නෙ රේණු අක්කගෙන් කියන එක. මට අක්ක කියලා තියෙන්නෙ නිවැරදි ම දේ කරන්න කරවන්න හරි ඕන වෙලාවට මුලින් ම පත්තිනි අම්මගෙ වේසෙන් කියලා බලන්න, එහෙම බැරි උනොත් කාලි අම්මගෙ වේශෙන් ඒ වැඩේ කරන්න ඕන කියල යි.”

හරි දැන් ඒකෙ මොකක් ද මෙතෙන්ට තියෙන සම්බන්ධෙ. මොකක් ද මෙතන තියෙන වැරදි දේ මොකක් ද හරි දේ.”

හරි දේ තමයි ගඟුල් සර් නිදා ගන්න ඕනෙ ඇඳෙන් කියන එක. ඒ කියන්නෙ මොනම විදිහකින්වත් පුරුෂෝත්තමවාදී දෘෂ්ටි කෝණයකින් නං නෙමෙයි. ඔයා හොඳට ම දන්නවනෙ ගඟුල් සර්, රේණු අක්ක යි මම යි දෙන්නම පුරුෂෝත්තමවාදී හරි ස්ත්‍රී උත්තමවාදී හරි නොවෙන බව. කොටින් ම ඔයත් එහෙමනෙ. මන් මේ කතා කරන්නෙ ලොකු දුරක් වාහනේ එළෝ ගෙන ආපු හෙට දවසෙත් ඒ විදිහට ම කරන්න ඕනෙ කෙනාට ඉෂ්ට වෙන්න ඕන සාධාරණේ ගැන.”

හොඳයි ඒකට ලක්වෙන කෙනා සාධාරණේ කියලා පිළිගන්නෙ ඒක නෙමේ නං.”

එහෙමනං ගඟුල් සර් ඒක පිළිගන්නකං මට කාලි අම්මගෙ වේශෙ ගන්න ම වෙනවා.”

හරි ඒක එහෙමයි කියමුකො. එහෙමනං මට පුළුවන් ද කාලි අම්මෙ, මේ ගැන තව පොඩ්ඩක් කතා කරන්න.”                                                                                

අපොයි පුළුවන්. කාලි අම්මා කියන්නෙ හරි ම සාධාරණ කෙනෙක්.”

මෙහෙම යි මිහිදිනී, නෑ නෑ කාලිමාතාව. මට ඔබතුමියට කියන්න තියෙන්නෙ කාලි මාතාව බිමට දාලා මේ නරපණුවට ඇඳේ නිදා ගන්න බැහැ කියන එක යි. ඒක නිසා ඔබතුමිය මට සමා වෙලා ඇඳට වඩින්න.”

ගඟුල්ගේ කතාවට සිනහ යන්නට ආවත් මිහිදිනී එය ආයාසයෙන් මැඬගෙන බැරෑරුම් ස්වරූපයක් මුහුණට ආරුඪ කොට ගෙන කතා කළා ය.

මන් මේ නර සත්ත්වයට මුලින් ම දැනුම් දෙන්න කැමති යි මන් කාලි මාතාව නොවන බවත් ඒත් ඇයගේ ස්වරූපයට අවශ්‍ය ම මොහොතේ දී ආරූඪ වෙන්න පුළුවන් කාන්තාවක් බවත්. මේ මොහොතේ කාලි මාතාව දන්නනවා මගේ නම වන මිහිදිනී යන්නෙහි අර්ථය අනුවත් බිම නිදා ගැනීමේ පරම අයිතිය ඇත්තේ මට යි කියන එක  මේ නරසත්ත්වයාට දැනුම් දෙන්න කියලා.”

එහෙනං ඔබතුමිය මන් වෙනුවෙන් එතුමියගෙන් මේ ප්‍රශ්නය අහනව ද?

ඔව් ඕන ප්‍රශ්නයක් අහන්න. මට පුළුවන් ඒවා එතුමියට යොමු කරලා උත්තරයක් ලබලා දෙන්න.”

කාලි දෙවඟනගෙ එහෙම නැත්තං කාලි යක්ෂණියගේ දූතිකාව වන ඔබතුමිය එතුමියට කියන්න මිහිදිනී කියන තැනැත්තියට වඩා මහපොළොව මත සැතපීමේ පරම අයිතිය ඇත්තේ ගඟුල් නමැති නාමය දරන නරපණුවාට බව. එසේ ම තවදුරටත් එතුමියට දන්වා සිටින්න, ගඟුල ඇත්තේ පොළොව මතුපිට නොව ඊට යටින් බව. ඒ වගෙම එතුමියට තවදුරටත් දැනුම් දෙන්න උල්පතත් සමග මතු වන්නේ ගඟුල මිස මහපොළොව දිනූ තැනැත්තිය ලෙස පෙනී සිටින මිහිදිනී නොවන බව.”  

මන් ඔබේ ප්‍රශ්නය එය ශ්‍රවණය කළ මොහොතේ ම කාලි මාතාව වෙත ඉදිරිපත් කළා. ඇය කියා සිටිනවා ගඟුලට යටින් ඇත්තේ ද මහපොළොව බව. එසේ ම උල්පත් මතු වන්නේ ද මහපොළොවෙන් බව. ඒ නිසා පොළොව මත සැතපීමෙහි ලා වන මිහිදිනිය සතු පරම අයිතිය ප්‍රශ්න කිරීමට එක ගඟුලක් නොව ගඟුල්ලා සිය දහසක් ආවත් ඉන් පලක් නොවන බව. ඒ වගෙම එතුමිය මට තවදුරටත් කියා සිටිනවා පිළිගත් විශ්වවිද්‍යාලයක සිය මාතෘභාෂාව වන සිංහල ගෞරව උපාධිය හැදෑරූ තැනැත්තෙක් ඒ බව නොදැන සිටීම ගැන තමා මවිතයට පත් වන බව.”

කෙසේ වෙතත් බොහෝ වාරයක් ඉල්ලීම් කිරීමෙන් පසු අවසානයෙහි මිහිදිනී, ගඟුල්ගේ ඉල්ලීමට එකග ව යහනෙහි නිදා ගැන්මට ගියා ය. එහෙත් ඇය එසේ කළේ කඳුබිම අවන්හලේ දී මුලින් ම හඳුනාගත් තරුණයාගෙන් ගණ ඇඳ වියමනක් ඉල්ලා ගෙන එය බිම අතුරා, ඒ මත සිය පොරෝනාවක් ද තබා ගඟුල් උදෙසා මිහි යහනක් සැකසීමෙන් පසුව ය.

මඳ නින්දකින් පසු අවදි වූ මිහිදිනී තමා විසින් සකසා දෙන මිහි යහනෙහි ගඟුල් නොමැති බව දුටුවා ය. ඇය නිදිබර දෙනෙත් පිසිමින් කුටියෙන් එළියට පැමිණියේ සිය සහෘදයා කොතැනක සිටීදැයි බැලීමට ය. ඇය දුටුවේ සඳළුතලයේ හුදෙකලාව සිට සොබාදහමේ අප්‍රමාණ වූ සෞන්දර්යය විඳ ගන්නා ගඟුල් ය. ඔහු හැරී බැලුවේ මිහිදිනියගේ පිය ගැටෙන හඬ සිය සවන් පත් වෙත ළඟා වීමත් සමග ය. ඇගේ මුහුණත් යළි සඳ මුහුණත් දෙස බැලූ ඔහුට සිහිපත් වූයේ බෞද්ධ - මුසල්මානු සම්බන්ධතා දූරස්ථ කරන්නට නොව සමීපස්ථ කරන්නට තමාගේ කායික මරණය සිදු වන තෙක් සිය හඬ පෞරුෂය භාවිත කළ අල්හාජ් මොහිදීන් බෙග් නම් සුගායකයාණන්ගේ ගීතයක එන මුල් පද කිහිපය යි.

ඈත ආකාසෙ ආලෝකෙ නෑවී ඈ ද අර පේන සඳ මූණ වාගේ”

මන් බැලුවා ගඟුල් සර් කොහෙද කියලා. බැලුවහම භාවනාවකට සම වැදිලා වගේ අහස දිහා බලන් ඉන්නවනෙ.”

මේ අහස කියන්නෙම භාවනාවක් මිහිදිනී, මහ නික්ලේශී හැඟීමක් තමයි අහස දිහා බලන් ඉන්න කොට ඇති වෙන්නෙ.”

අනේ මන් ඇවිල්ල සර්ගෙ භාවනාවට බාදාවක් වත් කළා ද කියල යි දැන් මම හිතන්නෙ.”

අනේ නැහැ මිහිදිනී, හොඳ ගැහැනියක් හරි හොඳ පිරිමියෙක් හරි කියන්නෙ භාවනාවට බාදාවක් නෙමෙයි කමටහනක් කියල යි මන් නං හිතන්නෙ.”

ඒ කියන්නෙ ගඟුල් සර්, මමත් හොඳ ගැහැනියක් කියන එක ද?”

නැත්තං ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනෙ මිහිදිනී ඔයා දවසක් හරි ඇසුරු කරන ඕනෙම කෙනෙක් ඔයාට දෙන සහතිකයක්නෙ.”                                                     

ගඟුල් එවදන් පවසද්දී ඊට සවන් දෙමින් මිහිදිනී බලා සිටියේ ද ඉසුන්දර චිත්‍රයක් බඳු අහස දෙය යි.

ඔයාට නිදිමත නැත්තං ම ඔයා බලන් ඉන්න අහස දිහා බලන් ඉන්න වෙලාවෙ මගෙ මතකයට ආපු කවි තුනක් කියන්න ද?

 මට පොඩි නිදිමතක් තිබුණා තමයි හැබැයි දැන් නැහැ. සාහිත්‍ය සාකච්ඡාවක් නං එළිවෙනකං උනත් මට අවදියෙන් ඉන්න පුළුවන්. ගඟුල් සර් ලියපු කවි ද ඒ ?

මගෙ නෙමෙයි බඹරකොටුවෙ සුධර්ම සෙනෙවිරත්න කවියගේ නිර්මාණයක් මේක. මේ කවුළුව ළඟට ඇවිල්ලා පෙණ බිඳු විසුර විසුර ගලන දොළ දැක්ක ම, ඒ දොළ ගීතයක් වගේ පහළට ඇදෙන කොට, සමන් අය්යා කියන සඳවතුර දොළට වැටිලා තියෙන දර්ශනය දකින කොට, තාරකා පිරිච්ච අහස දකින කොට, මට මාව නැතිවෙලා ගිහින් මන් මුළු සොබාදහම ම වෙන කොට, මට මතක් වෙන්නෙ සුධර්ම කවියගෙ ඒ කවි ටික තම යි.”

ගඟුල් සර් මන් ඔය කවුළුව ළඟට ඇවිල්ලා දොළේ වතුරට අපේ සමන් සිත්තරා කියන සඳවතුර වැටෙන දිහා බලාගෙන ඉන්නං. එතකොට මට ඇහෙන්නත් එක්ක ඒ කවි ටික කියන්නකො.”

මෙසේ කියූ මිහිදිනී හැර තිබූ කවුළුව වෙතට පියමන් කළා ය. ගඟුල් මොහොතක් ඇය සෙමින් සෙමින් කවුළුව වෙත යන ආකාරය දෙස බලා සිටියේ ය. සොබාදහම සිය අසිරිමත් සෙඳිරියාවෙන් යොවුන් දෙහදක් මහදානන්දයට පත් කළ ඒ සුන්දර රාත්‍රියේ එහි පැවති පූර්ණ නිහඬතාව මැදින් ඇසුණේ එකම එක කටහඬක් පමණි. ඒ සිය භද්‍ර යෞවනයේ පටන් ම ඇළ - දොළ - ජල නදට සංවේදී වූ ගඟුල්ගේ කටහඬ යි.

 

කණ ළඟ මදුරු ගී රාවය නැගෙනු අසා

අවදි ව පැමිණියෙමි එළියට දෙඇස පිසා

සඳරැස් වතුර මුළු දෙයි මුළු ලොව ම වසා

පැහැබර ගතිය ඇත මිනිසුන් නිදන නිසා

 

මල් වට්ටියක සිරි ගත් අහස      තරුබර

නිහඬ ව සිටී ලෝ දම් අසිරි      පළ කර

කොතැන ද ගියා හද තුළ   රැඳුණු කරදර

වැටහෙයි සිතට සිත නැති ලොවක විසිතුර

 

ගත පිරිමදින විට බටගස් ඉවුරු                     හිසේ      

දොළ දෙන ගීත රාවය පැහැදිලි ව                 ඇසේ

නොහැඟෙන මොහොතක දි මා වැනි අයට     රසේ

රුක්ගොමු අවදි වී ඉමිහිරි ලොවක                වෙසේ

 

අනේ ගඟුල් සර් මුනි මනසක ජීවිතය විඳීම ද මේ. ඇයි අපේ දරුවන්ගෙන් මේ වගෙ අපූරු නිර්මාණ ඈත් කළේ.”

ජීවිතේ මිහිරි වින්දන අහිමි කර ගත්ත කර්කශ මිනිසුන්ට මෙහෙම නිර්මාණ දැනෙන්නෙ නැහැ මිහිදිනී. ඒ විතරක් නෙමෙයි එහෙම මිනිස්සු ඔය පෙළ පොත් හදන මණ්ඩලවල සාමාජිකයො උනොත් ඒ අය මුලින් ම කරන්නෙ ඊළඟ පරපුරට වින්දනීය ජීවිතයක් අහිමි කිරීම වෙනුවෙන් තමන්ට පුළුවන් හැම දේ ම කරන එක.”

ඉතින් ඒක ලොකු වැරැද්දක්නෙ. නොකළ යුතු ම දෙයක්නෙ.”

ඒ ඉතින් ඔයාලා අපි වගේ අයට හිතෙන විදිහනේ මිහිදිනී, ඒ අයට පේනවා ඇති ඒක තමයි කළ යුතු ම වැඩේ හැටියට.”  

අපි මේ පරිසරය වගෙම අපේ හිතුත් ලස්සන වෙච්ච මේ රෑ සර් මේ දැන් කියපු අපූරු නිර්මාණෙ ගැන කතා කරමු ප්‍රගතිගාමී කියලා හිතාගෙන ඉන්න පසුගාමී මිනිස්සුන්ගෙ වැඩ මතක් නොකර.”

ඔයා පාවිච්චි කරපු අපූරු කියන වචනෙ තමයි මේ නිර්මාණය ගැන කරන විචාරයක දි මුලින් ම පාවිච්චි කරන්න ඕනෙ. අපූරු කියන්නෙ පෙර නොවූ විරූ කියන අර්ථෙ දෙන, සංස්කෘත අපූර්ව කියන වචනෙන් බිඳිලා සිංහලට ආපු තත්සම වචනෙනෙ. ඔයා දැකපු විදිහට මුනි මනසක් තියෙන චරිතයක් විඳගත්ත ඒ අලෞකික අද්දැකීම පසු කාලයක ගිහියෙක් හැටියට විඳගන්නත් සුධර්ම කවියා සමත් උනා. මේ කවිය ඇහෙන කොට කලිනුත් කිව්ව වගේ මට මාව අමතක වෙනවා මිහිදිනී.”

මන් දන්න තරමින් නං සුධර්ම කවියා එකම කවි පොතක් වත් පළ කරලා නැහැ. මන් හරි නේද?

ඔව් ඔයා හරි මිහිදිනී, වෙන වෙන ම පත්තරවලට, ඒ කාලෙ තිබිච්ච කවි සඟරාවලට කවි ලිව්ව මිසක් කවි පොත්නං මුද්‍රණය කරලා නැහැ. ඒ උනාට ඒ එක කවියක් කියන්නෙ මටනං කවි පොතක්. අර අපේ ලොකු සර් නිතර කියනව වගේ වැදගත් වෙන්නෙ යමක ප්‍රමාණයෙන් වැඩිකම නෙමෙයි, ගුණයෙන් වැඩිකම. සුධර්ම කවියට උනෙත් සංස්කෘත සාහිත්‍යය හදාරන කොට අපට හමු වෙන භර්තෘමෙණ්ඨ කවියට වෙච්ච දේ ම තමයි. එතුමාත් කවි පොත් ලියලා නැහැ, හැබැයි ලියපු අතළොස්ස හරි සුන්දර යි, අර්ථපූර්ණ යි.  මන් උදාහරණ දෙකක් විතරක් ඔයාට කියන්නං.

තථාප්‍යකෘතකොත්තාල හාසපල්ලවිතාධරම්

මුඛග්‍රාමවිලාසින්‍යාඃ සකලං රාජ්‍යමර්හති”

අව්‍යාජ සිනහවෙන් විකසිත වන යටිතොල ඇති ගම්බද යුවතියන්ගේ අව්‍යාජ සිනාව මුළු රාජ්‍යයකට වඩා වටිනවා කියල යි ඒකෙන් කියන්නෙ.”

දෙවෙනි කවිය ඔහු ලියන්නෙ මිනිස්සු අනාථ කරන්න නෙමෙයි, සනාථ කරන්න, තමන්ගෙ ජනතාව සතුටින් තියන්න මුළු ජීවිතය ම කැප කරපු රජෙක් ගැන. ඒ වගෙම තමන් කරන කියන වැඩවලට මොනම විදිහකින් වත් කීර්තියක් අපේක්ෂා නොකළ රජෙක් ගැන. ඒ හින්ද ම තමන්ගෙ මරණයෙන් පස්සෙත් ජනතාවගෙ හදවත්වල ජීවත් වෙච්ච රජෙක් ගැන. මන් ඒ පද්‍යය කියල ම ඔයාට අර්ථෙ කියන්නං මිහිදිනී.”

නාකාරමුද්වහසි නෛව විකත්ථසේ ත්වං

දීත්සාං න සූචයසි මුඤ්චසි සත්ඵලානි

නිඃශබ්දවර්ෂණමිවාම්බුධරස්‍ය රාජන්

සංලක්ෂ්‍යතෙ ඵලත ඒව තව ප්‍රසාදඃ

ඔබ හැඟීම් ප්‍රකාශ කරන්නෙ නැහැ, ආත්ම වර්ණනා කරන්නෙ නැහැ, පරිත්‍යාග කරන්න තියෙන කැමැත්ත පෙන්නන්න යන්නෙත් නැහැ, හරියට ම සද්ද කරන් නැතුව වහින වැහි වලාකුළක් වගේ ප්‍රතිඵලවලින් තමයි, අපිට ඔබ කරපු දේ දැක ගන්න ලැබෙන්නෙ.”

අර්ථයෙන් කොහොම වෙතත් සංඛ්‍යාවෙන් අඩු නිසා ම සංස්කෘත පද්‍ය සාහිත්‍යය ගැන කරන වර්ගීකරණවල දි භර්තෘමෙණ්ඨ ව දාලා තියෙන්නෙ සුළු මහ කවීන් කියන කුලකයට මිහිදිනී.”

ඒ වර්ගීකරණය කරන පදනමට අනුව බැලුවොත් සුධර්ම කවියා දාන්න වෙන්නෙත් සුළු මහ කවීන් අතරටනෙ. ඉතින් ඒ වර්ගීකරණය ම හරි අසාධාරණ එකක්නෙ.”     

අපේ සර් මුලින් ම මේ ගැන කියපු වෙලාවෙ මමත් කිව්වෙ ඔය කතාව ම තමයි. ඒ අපේ සෙකන්ඩ් ඉයර්රෙක. සර් ඔය වර්ගීකරණය ම අයුක්තිසහගත යි කියලා මන් කිව්වහ ම සර් කිව්වෙ බැලූ බැල්මට නං එහෙම තමයි පේන්නෙ. ඒත් මට නං මේ වර්ගීකරණෙ කරපු කෙනා කවුරු උනත් හොඳට හිතලා මතලා තමයි මේක කියලා තියෙන්නෙ කියල යි සර් කිව්වෙ.”

ගඟුල් සර් මට නං ඒක හිතලා මතලා කරපු නිවැරදි විචාරයක් කියලා හිතෙන්නෙම නැහැනෙ.”

ඔයා හිටපු තැනම තමයි මිහිදිනී මාත් හිටියෙ. ඒත් සර් හරි වෙනස් කතාවක් කිව්ව අපට, එදා ඒ දේශනේ දී ම. සර් අපිට කිව්වෙ මෙතන යොදලා තියෙන වචන දිහා බලන්න කිව්වා. සර් කිව්වෙ කවුරු හරි ඒ වර්ගීකාරකයා සුළු කියන වචනෙ වාච්‍යාර්ථෙ එක්කත් මහ කියන වචනෙ ධ්වනිතාර්ථවත් විදිහට යොදලා තියෙනවා කියල යි.”

ඒක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද ගඟුල් සර්ට.”

ඇත්තට ම මිහිදිනී භර්තෘමෙණ්ඨ සුළු කවියෙක් වෙන්නෙ අඩු සංඛ්‍යාවක් කවි ලියපු නිස යි, ඊළඟට සුළු සංඛ්‍යාව තුළ තිබිච්ච මහත් බව විසල් ගුණය නිස යි එතුමා සුළු මහ කවියෙක් වෙන්නෙ.”   7

අන්න දැන්නං මට පැහැදිලියි. ඒ වගෙම ඒක ඇහැව්වට පස්සෙ මට මෙහෙමත් හිතෙනවා ගඟුල් සර්.”

ඒ මොකක් ද මිහිදිනී”

ඇයි ගඟුල් සර් ඔය කාරණාව ම අනිත් පැත්තටත් වෙන්න පුළුවන්නෙ. ”

ඒ කිව්වෙ මිහිදිනී”

ඇයි ගඟුල් සර් සංඛ්‍යාවෙන් සුළුතරයක් උනාට, ගුණයෙන් විශාල වීම නිසා ම සුළු මහ කවි කියන අභිධානය ලබනවා වගේ අපිට බැරිද මහ ගොඩක් ලිව්වට ගුණාත්මක පැත්තෙන් අඩු නං අපිට පුළුවන්නෙ එහෙම කවියන් ව මහ සුළු කවියො කියලා නම් කරන්න.”

ඒකත් හරි වර්ගීකරණයක් තමයි. හැබැයි මේ වෙනකං එහෙම වර්ගීකරණයක් කවුරුවත් කරලා නැති නිසා මේ වර්ගීකරණයේ නිර්මාපිකාව වීමේ ගෞරවය හිමි වෙන්නෙ නං ඔයාට.”

අනේ මන් ඔය ලොකුවට හිතලා කියපු දෙයක් නෙමෙයි, සර්ගෙ සර්, සුළු මහ කවීන් ගැන කරපු අර අදහස් දැක්වීම ඇහැව්වට පස්සෙ යි මට එහෙම හිතුණෙ.”                              

මන් මේ කල්පනා කළේ එච්චර හිතන්නෙ නැතුව ඔයා මේ කියන්නෙ අපිටත් තව තවත් හිතන්න තරං දේවල්නං, ඔයා හිතලා දෙයක් කිව්වොත් අපි ඒක ගැන මොනවා කතා කරන්න ද කියල යි මන් මේ කල්පනා කරන්නෙ.”

ගඟුල් සර් මට විහිලු කරනව ද කොහෙද?    

නෑ මිහිදිනී මන් මේ හරිම සීරියස් විදිහට යි මේ කතා කරන්නෙ. අපේ බෞද්ධ සම්ප්‍රදායෙ තියෙනවනෙ උසස් හැසිරීම් රටාවක් ඇතුව එකට ජීවත් වෙන අයට කියන වචනයක් සද්ධිවිහාරික කියලා. ඔයා නං නංගි අපිට සද්ධි විහාරිකාවක් ම තමයි.”

ගඟුල් මේ මොහොතේ නංගී සහ සද්ධිවිහාරිකා යන වදන් භාවිත කෙළේ බලවත් හැඟීමකිනි.

හැබැයි අපට වැඩියෙන් අහන්න ලැබෙන්නෙ සද්ධිවිහාරිකයන් ගැන මිසක් සද්ධිවිහාරිකාවන් ගැන නෙමෙයිනෙ.”

මොකද නැත්තෙ මිහිදිනී අපට බෞද්ධ සාහිත්‍යයෙන් ම මතු කරගන්න පුළුවන් සද්ධිවිහාරිකා චරිත. එහෙම විශිෂ්ට කාන්තා චරිතත් ඇසුරු කරන්න කියලා තමයි අපිට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ.”

මන් හිතන්නෙ ඒ කාරණා ගැන දන්න ගඟුල් සර්ලා මීට වඩා ඒවා ගැන සමාජයට කියන්න ඕනෙ කියල යි. දැන් මට බෞද්ධ සාහිත්‍යය පරිශීලනය කරමින් අපිට ආධ්‍යාත්මික ව ඇසුරු කරන්න පුළුවන් චරිතවල නාමාවලියක් හදන්න කියලා කවුරු කෙනෙක් කිව්වොත් මගෙ මතකයට එන්නෙ මහප්‍රජාපතී ගෝතමී, ධම්මදින්නා, යසෝදරා, භද්දකච්චානා, සංඝමිත්තා වගේ රහත් මෙහෙණින් වහන්සේලාගෙ නම්. ගඟුල් සර් මන් කැමතියි අපිට මගහැරිච්ච, ඒත් සර්ලට මග නොහැරිච්ච එහෙම එක සද්ධිවිහාරිකාවක් ගැන හරි කතා කරන්න. විශේෂයෙන් මේ වගෙ ප්‍රසන්න රාත්‍රියක වෙන දේවල් කතා නොකර එහෙම චරිතයක් ගැන කතා කරන එකත් අපේ සිත් පහන් කරවන අද්දැකීමක් කියල යි මට හිතෙන්නෙ.”

ඔයා ඔහොම කියන කොට මට මතක් වෙන ලස්සන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිමනිකායෙ භද්දේකරත්ත සූත්‍රය කියලා. මේ මුළු සූත්‍රය ම ප්‍රඥාවන්තයා ගැන කරන විවරණයක් විදිහට සලකන්න පුළුවන්. ඒකෙ තියෙන එක කාරණාවක් තමයි හෙට මරණය ඒවි ද නැද්ද කියලා අපි දන්නෙ නැති නිසා අදම වීර්යය කරන්න කියන එක. ඒක නිසා නිවන කියන භද්‍ර වූ, ඒ කියන්නෙ යහපත් අරමුණෙහි එල්බ ගෙන සිහියෙන් වැඩ කරන්න කියන එක යි ඒ සූත්‍රයෙ අවධාරණය කරන්නෙ.”

එතකොට මොකක් ද ගඟුල් සර් රාත්‍රියත් එක්ක මෙතන තියෙන සම්බන්ධෙ.”

මෙතෙන්දි තමයි අපිට භාෂා පාඩම සම්බන්ධ කරගන්න වෙන්නෙ. මෙතෙන්දි තමයි මන් අවුරුදු කීපයක් පස්සට ගිහිල්ලා ආයෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා බවට පත් වෙන්නෙ. මට අද වගේ මතකයි එදා පාඩමෙන් උකහා ගත්ත දේවල්. මිහිදිනී පාලි භද්ද කියන වචනෙ යහපත් කියන අර්ථෙ තියෙනවා. රත්ත කියන වචනෙ රක්ත - ඇළුණු කියන අර්ථෙ වගෙම රාත්‍රිය කියන අර්ථයත් තියෙනවා. මේ විදියට බැලුවහම යහපත් වූ එකම අරමුණක ඇළුණු කියන අර්ථෙ වගෙම යහපත් වූ රාත්‍රියකට ඇළුණ කියන එකයි මේකෙන් කියවෙන්නෙ.”

ඔව් දැන් මට ගොඩක් ම පැහැදිලි යි ගඟුල් සර්, ඒ කියන්නෙ මේ යහපත් වූ රාත්‍රියට ඇළුණු අපි එතන විතරක් නතර වෙන්නෙ නැතුව යහපත් වූ අරමුණකත් ජීවිතය රඳව ගන්න ඕනෙයි කියන එක නේ ද?

ඔයා හරි මිහිදිනී, ඔයා ගත වෙන මොහොතක් පාසා මේ තහවුරු කරන්නෙ ඔයා සද්ධි විහාරිකාවක් කියන එක ම තමයි.”   

ගඟුල් සර් මාව වර්ණනා කරනවා මිසක් තාම මට වගෙම අපි ගොඩක් දෙනාට බෞද්ධ සාහිත්‍යය මග හැරිච්ච සද්ධි විහාරිකාවක් ගැන කිව්වෙ නැහැනෙ.”

හොඳයි දැන් මන් ඒ මාතෘකාවට එන්නංකො. ඔයා අහලා තියෙනව ද මිහිදිනී කජඞ්ගලා රහත් මෙහෙණින් වහන්සේ ගැන.”

අනේ නෑ සර් මන් හරි කැමතියි එහෙම චරිතයක් ගැන දැන ගන්න.”

මට හිතෙනවා මිහිදිනී අපේ සාකච්ඡාව අහගෙන ඉන්න කාට හරි හිතෙන්න පුළුවන් මේ හඳ තියෙන රෑ අර පිස්සට යි පිස්සිට යි පිස්සු තදවෙලා නිදාගන්නැතුව විකාර කියවනවා කියලා.”

මේ වගෙ දේකට දෙන වචනෙ ඒක නං මන් කැමතියි ගඟුල් සර් ඔයාගෙන් ඒ මෙහෙණින් වහන්සේ ගැන කරුණු ඉගෙන ගෙන, මට පිස්සි කියලා දෙන නම්බු නාමෙත්  බොහොම ගෞරවයෙන් බාර  ගන්න.”

හොඳයි අපි දැන් එහෙනං අපි ඒ භික්ෂුණීන් වහන්සේ ගැන කතා කරමු. එතුමිය අපට හමු වෙන්නෙ අංගත්තුර නිකායෙ දෙවන මහාපඤ්හ සූත්‍රයෙදි.”   

ගඟුල් සර් මන් මේ නොදන්න හින්දයි අහන්නෙ. පාලියෙන්  පඤ්හ කියන්නෙ ප්‍රඥාව කියන එක ද?

නෑ මිහිදිනී ප්‍රඥාවට පාලියෙන් කියන්නෙ පඤ්ඤ කියල යි. පඤ්හ කියන්නෙ ප්‍රශ්නය කියන එක යි.”

එතකොට මහා ප්‍රශ්න කියන එක නේ ද මේකෙ අර්ථෙ. කාට ද සර් මේ මහා ප්‍රශ්න ඇති උනේ.”

මිහිදිනී, ඒ සූත්‍රෙ සඳහන් වෙන විදිහට මේ සිදුවීම වෙනකොට බුදුහාමුදුරුවො වැඩ හිටියයි කියන්නෙ කජඞ්ගලා නගරෙ වේළු කියන වනන්තරේ. මේ පළාතෙම වැඩ වෙසෙනවා කජඞ්ගලා කියලා  භික්ෂුණීන් වහන්සෙ නමක්. එහෙ ජීවත් වෙච්ච උපාසක උපාසිකාවො  බුදුහාමුදුරුවො මතු කරපු ප්‍රශ්න දහය යි ඒවට දීපු උත්තර යි ගැන එතුමියගෙනුත් අහනවා. ඇත්තට ම කාරණා වශයෙන් යම් යම් වෙනස්කං තිබ්බත් ධර්මය පැත්තෙන් ගත්තොත් ඒවා සමාන යි.”

සර් මට ඒ කාරණේ නං ටිකක් පැහැදිලි මදි. තව ටිකක් විස්තර කළොත්.”

උදාහරණයක් හැටියට පළවෙනි ප්‍රශ්නෙට තැන් දෙකක දි බුදුහාමුදුරුවොයි මේ භික්ෂුණීන් වහන්සෙයි දීලා තියෙන්නෙ එකම උත්තරේ. ඒ කියන්නෙ සියලු සත්ත්වයෝ ආහාරයෙන් තමයි ජීවත් වෙන්නෙ කියන අර්ථෙ දෙන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන ප්‍රකාශෙ. ඒත් අපි උදාහරණයක් හැටියට හතරවෙනි ප්‍රශ්නෙ ගත්තොත් බුදුන් වහන්සෙ දෙන උත්තරේ නෙමෙයි කජඞ්ගලා භික්ෂුණීන් වහන්සෙ දීලා තියෙන්නෙ.”

සර් මොකක් ද ඒ ප්‍රශ්නෙ ? මොනව ද ලැබිච්ච උත්තර දෙක?  

ප්‍රශ්නෙ ආහාර ගැන. ඒකට බුදුහාමුදුරුවො දෙන උත්තරේ තමයි සතර ආහාර. ඒ කියන්නෙ කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඤ්ඤාණ ආහාර. ඒත් ඒ ප්‍රශ්නෙට අපේ භික්ෂුණීන් වහන්සෙ දෙන උත්තරේ වෙන්නෙ සතර සතිපට්ඨානෙ. එතුමිය කියන්නෙ කාය - වේදනා - චිත්ත - ධම්ම කියන කාරණා හතර දිහා සිහිය පිහිටුවාගෙන ප්‍රඥාවෙන් දුක් කෙළවර කිරීම ගැන යි. වැඩේ කියන්නෙ ඒවත් බුද්ධ වචන ම වෙන එකනෙ.”

ඒ වගෙ තවත් කරුණු අතින් විතරක් වෙනස් වෙන තවත් තැන් තියෙනව ද ගඟුල් සර්.”

ඔව් මිහිදිනී, තවත් ප්‍රශ්න කිහිපයකට බුදුන් වහන්සේත් මේ බුද්ධ ශ්‍රාවිකාවත් දෙන උත්තර සමාන නැහැ. තවත් උදාහරණයක් හැටියට අටවෙනි ප්‍රශ්නෙ ගත්තොත් බුදුහාමුදුරුවො අටවෙනි කාරණේ යටතෙ අට ලෝ දහම ගැන වදාරන කොට ඒකට අදාළ ව කජඞ්ගලා භික්ෂුණීන් වහන්සෙ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙ ගැන. ඒ විතරක් නෙමෙයි දහවෙනි කාරණාවට අදාළ ව බුදුහාමුදුරුවො දස අකුසල් දහම් ගැන කියන කොට මේ භික්ෂුණීන් වහන්සෙ කතා කරන්නෙ දස කුසල් දහම් ගැන.”

ත්‍රිපිටක සාහිත්‍යෙ එන හරිම ලස්සන තැනක්නෙ ගඟුල් සර් මේ මතු කළේ. බලන්ඩකො සර් බුදුහාමුදුරුවො එක ධර්ම කාරණාවක් මතු කරන කොට කජඞ්ගලා මෙහෙණින් වහන්සෙ බුද්ධ වචනෙට අනුගතවම තවත් ධර්ම කාරණාවක් මතු කරනවා. දැන් මට දැන ගන්න ඕනෙ ගඟුල් සර් බුදුහාමුදුරුවො එතුමිය කියපු දේවල් අනුමත කළා ද නැද්ද කියන එක.”     

ඔයා මතු කරන ප්‍රශ්නෙට දෙන්න තියෙන්නෙත් ලස්සන උත්තරයක් තමයි මිහිදිනී, ඇත්තට ම අර සූත්‍රෙ තියෙන විදිහට ඔය ප්‍රශ්න දහය එහෙම නැත්තං කාරණා දහය අරගෙන අර පිරිස මුලින් ම යන්නෙ කජඞ්ගලා භික්ෂුණීන් වහන්සෙ ළඟට. ඊට පස්සෙ ඒ අය එතුමියට වැඳලා ඒ ප්‍රශ්න අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ඉදිරිපත් කළා කියලයි සූත්‍රෙ සඳහන් වෙන්නෙ. එතෙන්දි බුදුහාමුදුරුවො අහලා තියෙනවා මේ නගරයේ ම වාසය කරන කජඞ්ගලා භික්ෂුණීන් වහන්සෙ මේ ගැන මොනව ද කිව්වෙ කියලා. ඒවා අහලා උන් වහන්සේ කරපු ප්‍රකාශෙ මට දැනෙන්නෙ අතීත - වර්තමාන - අනාගත  කියන කාල භේදයකින් තොර ව ඉස්සර හිටපු- දැන් ඉන්න - අනාගතේ දි ලෝකෙ ඇති වන සියලු ම ප්‍රඥාවන්ත ස්ත්‍රීන්ට කරපු ගෞරවයක් විදිහට යි. ඒ බුද්ධභාෂිතෙ හරිම අර්ථසම්පන්න යි මිහිදිනී, හරිම සුන්දර යි මිහිදිනී.”

ඒක අර්ථසම්පන්න නං සුන්දරනං සර්ට ඒක මතක තියෙනව ද කියලා අහන ප්‍රශ්නෙ කිසිම තේරුමක් නෑ. අනේ මට කියන්න ගඟුල් සර්, අපේ බුදුහාමුදුරුවො අන්තිමට කියපු දේ. අපේ මේ ධර්ම සාකච්ඡාව අවසාන කරන්න හොඳම තැන තමයි එතන කියලා මට හිතෙන්නෙ.”

ගෘහපතියනි මැනවි, මැනවි ගෘහපතියනි, මේ කජඞ්ගලා භික්ෂුණිය පණ්ඩිත ය, ප්‍රඥාවන්ත ය. ඉදින් තෙපි මා වෙත පැමිණ, යම් සේ මෙහි අරුත් විචාරහු ද මම ද ඇය විසඳන ලද පරිද්දෙන් ම මෙය විස්තර කරන්නෙමි. මේ භාෂිතයාගේ අර්ථය ඈ කී පරිදි ම වෙයි. එහෙයින් එය දරවු.”

අනතුරුව ඒ රාත්‍රියේ මධ්‍යම යාමයේ දී ඔවුන් රැඳී සිටි කුටියේ දොරට සෙමෙන් තට්ටු කරන හඬක් ඇසිණ. දොර විවර කළ ගඟුල්ට දක්නට ලැබුණේ දුම් දමන කෝපි බඳුන් දෙකක් සහිත බන්දේසියක් අතැති ව සිටි සිසිර යි.             

මන් දැක්ක සර්ලගෙ කාමරේ ජනේලෙ ඇරලා තියෙනවා. ඊට පස්සෙ මිස් ජනේලෙන් ඈත අහස දිහා බලන් ඉන්නවත් පෙනුණා. මට හිතුණා මේ වෙලාවෙ සර්ලට කෝපි එකක් තිබුණොත් හොඳ වෙයි කියලා. එක කරදරයක් වෙයි ද කියලා මුලින් හිතුවත් පස්සෙ හිතුණෙ නෑ මන් කෝපි හදාගෙන යනවමයි කියල යි.”

කියලා වැඩක් නෑ මල්ලි උඹේ හිතිවිල්ල නං. කෝපි ගෙනාපු එකනං නියමයි නේ ද මිහිදිනී.”

නැතුව ඒකෙ තේරුම අපේ සාකච්ඡාව තවදුරටත් කරගෙන යන්න ඕන කරන වාතාවරණෙ හදලා දුන්නා කියන එකනෙ. ඒ උනාට සිසිර මල්ලි මෙතෙන්දි වැරදි වචනයකුත් පාවිච්චි කළා කියල යි මට හිතෙන්නෙ.”

ඇයි මිස් මගෙන් මොකුත් වැරදි වචනයක්වත් කියවුණා ද?”

ඇයි ළමයො ඔයා කිව්වෙ සර්ලගෙ කාමරේ ජනේලෙ ඇරලා තිබුණා දැක්ක කියලා, සර්ට කොහෙන් ද සිසිර මෙහෙ කාමර. මේක ඔයාගෙ කාමරේනේ. සර්ලා අපි මෙතන ඉන්නෙ තාවකාලිකවනෙ.”

ඉතින් මමත් එහෙමනෙ. මන් ඉන්නෙත් තාවතාලිකවනෙ. අපේ සර් කියන හිටියට මේ එකක්වත් අපිට අයිති නෑ. කවුරු හරි සර්ගෙන් ඇහැව්වොත් මේ හොටෙල් එකයි කඳුකර නිවහන යි ඔයාගෙ නේ ද කියලා සර් කියන්නෙ ඔව් කවදා හරි මේ ඔක්කොම දාලා යනකං මගෙද කොහෙද කියල යි.” 

බැලුවහම ඔයාගෙ සර්රුයි  ඔයාලයි ඔක්කොම හරි දාර්ශනිකයොනෙ.”

සර්ලට හෙට උදේ කෑමට මොනව ද ලෑස්ති කරන්න ඕන කියලා කියන්න පුළුවන් ද?”

මොනවා හරි සරල දෙයක් තිබුණම ඇති නේ ද මිහිදිනී, හැබැයි ඔයා විශේෂයෙන් කැමති දෙයක් තියෙනවනං කියන්න මේ සිසිරට.”                         

අනේ මට කියලා එහෙම විශේෂ දෙයක් අවශ්‍ය නැහැ මල්ලි, ඔයගොල්ල ඔය වෙනදට හදන දෙයක් අපිටත් හොඳයි.”    

එහෙනං ඉඳිආප්ප ආප්ප කඩල නූඩ්ල්ස් ඔය ඔක්කොම උදේට හදනවා. කොහොමත් මෙතන උදේ දවල් රෑ කෑම දෙන තැනක්නෙ. ඕවට අමතර ව මේ ළඟ තියෙන බේකරියෙන් උණු ම උණු පානුත් ගේනවා.”                                     

ඔයා සිසිර ඒක කියපු විදිහට අර ඔක්කොම කෑමවලට වඩා ඔයාගෙ ඔය උණු ම උණු පාන් හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

හරි මිස්, හරි සර් එහෙනං ඕන් මන් ගියා. උදේට අර මන් කියපු ඔක්කොම ජාති ලෑස්තියි. සර්ටයි මිස්ටයි සුබම සුබ රාත්‍රියක්.”

සිසිර ප්‍රාර්ථනා කළ පරිදි ම ඒ සහෘදය යෞවන යුග්මයට එය සුබ ම සුබ රාත්‍රියක් විය. ඒ වූ කලී හෘදයාවබෝධී තරුණයකුට සහ තරුණියකට එක ම කුටියක එක ම යහනක වුව රාගයෙන් නොව ආදරයෙන් බැඳී රැය පහන් කළ හැකි ය යන ඉසොඳුරු පාඩම වචනයෙන් නොව ක්‍රියාවෙන් ප්‍රකාශයට පත් කළ අසිරිමත් රැයක් ම විය.

රැය ගෙවී ගියේ ය. ප්‍රභාතය ද නිමා වී උදෑසන උදා විය. ගඟුල් අවදි ව කිසිවකුට නොඇසෙන සේ මුමුණන්නට වූයේ හෘදයහාරී මධුර නාදාවලියක් සිය ජන්ම දායාදය වශයෙන් රැගෙන උපන් ජේ. ඒ. මිල්ටන් පෙරේරා නම් සුගායකයාණන්ගේ සුන්දරාර්ථවාහී ගීතයකි. පද රචනය ප්‍රවීණ ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රවීණ ගේයපද රචකයාණන්ගේ ය; සංගීතය මොහොමඩ් සාලි සුසංගීතඥයාණන්ගේ ය. ජීවතුන් අතර නොහිඳිමින් සදාතනික ව අප්‍රමාණ හෘදය නිකේතනයන්හි ජීවත් වන්නට භාග්‍යවන්ත වූ ඒ කලාකරුවන් ත්‍රිත්වය පිළිබඳ ව සිය හද උපදින බැතිබර හැඟුමින් යුතු ව ම ගඟුල් ඇසෙන නොඇසෙන කටහඬකින් තව දුරටත් ඒ ලයාන්විත ළබැඳි ගීතය ගායනා කෙළේ ය.

 

මා අවදි කළා ඔබ දිනිදා සේ

අරුණෝදෝ

වැටහෙන්නෙම නෑ දන්නෙ ම නෑ

මේ  සිදු වූ දේ ”    

 

මගෙ දෙතොල පෙඟේ දෑස තෙමේ

හද හිනැහෙනවා

වෙනදා නොමැතී අරුම හැඟුම්

මල් පිබිදෙනවා                                                            

 

මධුරිය ආව ද මා ආව ද

නෑ වැටහෙන්නේ

සත්සර නැඟිලා හද වීණා           

හඬ පැතිරෙන්නේ

 

සිතුවිලි බඹරුන් ආයෙත්

වෙන අතක නොයේවා

අපෙ සබඳ රුවන් විමානයට

එළිය වැටේවා”

  

එහෙත් මේ මොහොතේ එකම එක සවනකට ඒ හඬ ඇසුණු බව, එකම එක හදවතකට ඒ හඬ දැනුණු බව ගඟුල් දැන සිටියේ නැත.

ඇත්ත ගඟුල් සර් ඇත්ත. අපේ මේ ජීවිත කාලෙ දි හිරු වගේ අපේ ජීවිත එළිය කරන චරිත වගේ ම අපේ ජීවිත අඳුරු කරන චරිතත් එනවා. විශේෂයෙන් හිරු වගේ එන චරිත අප තුළ ලොකු වෙනසක් ඇති කරලා තියෙන බව අපිට එකපාරට තේරෙන්නෙත් නැහැ තමයි. සර් ඔය මට ඇහෙන්නැති ගාණට කියපු සින්දුව මමත් ගොඩක් ප්‍රිය කරන එකක්. ඒ ගීතයෙන් කියන විදිහට ම වෙනදා නුපුරුදු නුහුරු හැඟීම් හදවතක උපදිනවා කියන කාරණෙත් අපේ ජීවිතයට සමීප ඇත්තක්. කාගෙ හිතට කවුරු කොහොම ආවද ගියාද කියන එක ඒ අද්දැකීම් විඳපු අයටවත් විස්තර කරන්න බැහැ. සිතිවිලි බඹරුන්ට සර්ට වගේම මට කියන්න තියෙන්නෙත් වෙන අතක නොයේවා කියලා තමයි. මේක මහ වෙනස් ම අමුතු ම රාත්‍රියක් සර්. සර් වගේ වෙනස් මනුස්සයෙක් එක්ක මෙහෙම ජීවිතය ගැන කතා කර කර ගත කරපු රාත්‍රිය මන් මැරෙනකං මගෙ හිතේ තියේවි.”  

මෙසේ කතා කරගෙන යද්දී මිහිදිනීගේ දෑස කඳුළින් තෙත් ව ගියේ ය. මහත් වූ ආදරයකින් ඇගේ දෑත අල්ලා ගත් ගඟුල්, ඒ දෑත ගෙන සිය ළය මත තබා මෙසේ පැවසී ය.

මිහිදිනී ඔයා මට වෙනස් පිරිමියෙක් කියන සහතිකේ එක සැරයක් දෙනවනං මට ඔයා වෙනස් ගැහැනියක් කියන සහතිකේ දහස් වාරයක් දෙන්න පුළුවන්. මට කියන්න තියෙන්නෙත් මේ අපූරු රාත්‍රිය මටත් මැරෙනකං අමතක වෙන්නෙ නැහැ කියන එක තමයි. ඔයා කියන වචනයක් ගානේ මගෙ ගුරු ජීවිතයත් ශක්තිමත් වෙනවා. අනේ අදිකාරම්තුමා - සමන් අය්යා ජීවතුන් අතර හිටියනං ඔයාට ආශිර්වාද කරාවි මිහිදිනී.”     

අනේ ගඟුල් සර් මගෙ මේ ජීවිත කාලෙ මට ගොඩක් සහතික ලැබිලා තියෙනවා. ඒවත් මට වටිනව තමයි. ඒ වගෙම ඔයාගෙන් අද මට ලැබිච්ච කොළයක ලියලා නැති ඒ වගෙම කොළයක ලියන්න බැරි ඔයා මට දැන් දුන්න සහතිකෙත් වටිනාකම කියලා නිම කරන්න බැහැ.”

චන්ද්‍රාලෝකයෙන් පරිසරය නැහැවී තිබිණ. ස්නේහාලෝකයෙන් දෙහදක් ආලෝකමත් වී තිබිණ. වචන නිහඬ ව හැඟුම් විකසිත වන ඒ ආනන්දනීය රාත්‍රියේ අප්‍රකාශිත ප්‍රේමයක අසීමිත සෞන්දර්යය විඳ ගැන්මට භාග්‍යමත් වූ යෞවන යුග්මයක ආදර අන්දරය සොබාදම් දිනිතිය විසින් පත්තිරු මත නොව සඳ එළිය වැටී දිදුලන තුරුපත් මත ලියමින් තිබිණ. ඒ මොහොතේ අසීමිත ආදරයක් ගඟුලක් සේ ගලා විත් මිහිකත සිප ගනිමින් තිබිණ.