එක දෙක වසරවලදි මට මතකයි තාත්තත් මාත් උදේට පාසල් යන හැටි. පැය විසි හතරෙන් පැය පහළොවක් විතර සිසු දූ දරුවන් වෙනුවෙන් කැප කරන අම්මගෙනුයි තාත්තගෙනුයි මට මඟඇරෙන වෙලාව මං අල්ලන්නෙ උදේ ඔය සිසු සැරියෙදියි.. ඒ යන අතරමග මං තාත්තගෙන් කතන්දර අහගන්නව. ඒවා ඒ මොහොතෙ හදලා කියපු කතන්දර බව මට වැටහෙන්න ගත්තෙ සෑහෙන ලොකු වුණාට පස්සෙදියි.. මාලු වේටර්ලා, පියාඹන ගල් පර්වතවලින් යුක්ත ඒ කතා නැවත නැවත අහමින් මං කොච්චර කරදර කරන්න ඇත්ද කියලා මතක් වෙද්දි දැන් තාත්තා ගැන දැනෙන්නෙ දුකක්.. ඒත් අලුතින් කෑලි එකතු කරමින් තමන් ම ගෙතූ කතා යළි යළි කිව්වා මිස තාත්තා කවදාවත් මට ඒ ගැන දොස් පැවරුවේ නම් නැහැ.
ඒ කතා අස්සට සමහර දවසට නවකතා පොත්වල තිබුණ කතන්දරත් එකතු වුණා.අපූරු නවකතාවල සාරාංශ කොටස් තාත්තා චිත්තරූප මැවෙන විදියට වැසි දැරියට රස කර කර කියා දෙනවා.. මට මතකයි සමහර කතාවල අවසානය තාත්තට කතුවරයාගෙ කිසිදු අනුදැනුමකින් තොර ව මං නිසා වෙනස් කරන්න සිදු වුණා.ඒ වගේ එක පොතක් තමා ජිනපාලගෙ කතන්දරේ.. ඒ පොතේ දුක්බර අවසානය නිසා මං කොයි තරම් වේදනාවට පත් වුණාද කිව්වොත් තාත්තා අලුත් අවසානයක් නිර්මාණය කළා.
තවත් දවස්වල තාත්තා කතා කළේ රත්න ශ්‍රීගෙ,මොනිකාගෙ,කුමාරගමගෙ,කුඩලිගමගෙ කවි ගැන.. දෙක වසරෙ දරුවෙක්ට ඒ කවි දරාගැනීම අපහසුයි කියා ඕනැ කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඒවා කිසිසේත්ම බරැති දේවල් ලෙස නොව ජිවිතේ පුංචි පුංචි කොටස් ලෙස වැසි දැරියගෙ හිතට ඇතුළු කරන්න තාත්තට පුළුවන් වුණා.අද මාතින් ලියැවෙන කවිවල උල්පත එදා අපි දෙන්නා ඔහේ කියවමින් ගිය සංවාදවල සැඟවී තියෙන්නට ඇති වග මට අද හිතෙනවා..
ගංගාවක් වී ගලන්න
උල්පත පසුකර
වැවක් වෙලා නතර වෙන්න
නෙළුම් මලක් යට
ඔය පද පෙළ තමා තාත්තා එදා කියා දුන්න කවිවලින් වඩාත් ම තදින් වැසි දැරියගෙ හිතේ සටහන් වුණ සිතිවිල්ල...!!
ඒ වගෙම පාසල නිම වෙලා ආපහු එන ගමන තමා වැසි දැරිය ආසම කොටස වුණේ.. හෙම්බිරිසාව හැදිලා දුක් විඳිනවා බලන්න බැරි නිසා අම්මාගෙන් අයිස්ක්‍රීම් කෙරෙහි බරපතළ තහනම් නියෝගයක් පැනවිලා තිබුණා.ඒත් ඉතින් සතිපතා තාත්තත් දුවත් පාසල ඇරිලා පාර අයිනේ නැවතිලා සෝයා අයිස්ක්‍රීම් කන බව දැනගන්න අසරණ අම්මට දිවැස් තිබුණේ නැහැ නොව..
ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක්??
තාත්තා එහෙම අහද්දි වැසි දැරිය ඊට එකඟ වෙන්නෙ උඩ පැන පැන. හොරෙන් අයිස්ක්‍රීම් කාපු වග ඊළඟ දවසෙ උදේ වෙද්දි අම්මට අහු වෙන්නේ වැසි දැරියගෙ නොනවතින කිවිසුමෙන්.. ඒත් එදා වගෙම අදත් තාත්තත් වැසි දැරියත් පාරට බැස්සොත් සෝයා අයිස්ක්‍රීම් වලට වග කියන්න අමතක කරන්නෙ නැහැ.දැන් ඉස්කෝලෙ යන්නෙ නැතිය කියල මුල අමතක කරන්න හොඳ නැහැ නොවැ.. එහෙම නැතුව බඩජාරිකමකට එහෙම නෙමේ...))
අඟහරුවාදා හවස තාත්තා එක්ක එන ගමන වැසි දැරියට වඩාත් විශේෂයි.. එදාට නොවැ විජය පත්තරේ එන්නෙ.. ඒ දවස්වල මං අතින් කුරුටු ගෑවෙන බලි කුරුටු ආදිය තැපැල් කරලා විජය පත්තරේ
ට යවන පුරුද්දක් අම්මට තිබුණ හින්දා එව්වායින් මොනවා හරි පල වෙලා ඇතිය කියලා හිතාගෙන තමා විජය පත්තරේ අතට ගන්නෙ. අද වගේ උදාසීන හැඟීමක් නෙවෙයි පුංචි කාලෙ කවියක් පත්තරේ තියනව දැක්කම ඇති වෙන්නෙ, ඉතිරිල යන සතුටක්.
මේ මතක ඔක්කොම සිහියට නැඟුණෙ තාත්තා එක්ක මේ මෑතක දි ම රියැදුරු පුහුණුවට යත්දියි.. එදා මං වාඩිවෙලා ගිය අසුනෙ අද තාත්තා හිඳගෙන.. එදා තාත්තා පැදවූ රිය මං පදවනවා. දූගෙ කොට ජීවිතෙත් සැලකිය යුතු ප්‍රමාණෙකින් උස ගිිහිල්ලා.. එදා තරුණ වියේ උන් තාත්තගෙ කොණ්ඩෙ අද පැහිලා.. සිඟිත්තියක් ව උන් මං යුවතියක් වෙලා..
ඒ අතරෙ මට අපේ අතීත ගමන් බිමන් මැවිලා පෙනෙනවා.අද අපි කතා කරන්නෙ එදා කතා කළාට වඩා ගැඹුරු කවි පද ගැන.. ජීවිතේ බරපතළ තැන් ගැන..
ඒත් අද මේ ඉන්නෙත් එදා ඒ අනවරතයෙන් කතා කරමින් ගිය තාත්තයි දූයි ම තමා.. අම්මා කියන්නා වාගෙ කවදාවත් හැදෙන්නෙ නැති පිස්සු තාත්තයි දූයි ම තමා..!!