වැසි දැරිය පුංචි අවදියෙ ඉඳන් ගමන් බිමන් ගියේ තාත්තා එක්කයි.. අදටත් ඉස්සර වගෙම දෙන්නා එක්ක කොහෙ හරි තනියම යද්දි කරන විප්‍රකාර වැඩවල ලොකු වෙනසක් වෙලා නෑ. ඒවා එහෙම්මයි.. අම්මා කියන්න වගේ කවදාවත් මේ දෙන්නා හැදෙන දෙන්නෙක් නම් නෙමේ...)))
එක දෙක වසරවලදි මට මතකයි තාත්තත් මාත් උදේට පාසල් යන හැටි. පැය විසි හතරෙන් පැය පහළොවක් විතර සිසු දූ දරුවන් වෙනුවෙන් කැප කරන අම්මගෙනුයි තාත්තගෙනුයි මට මඟඇරෙන වෙලාව මං අල්ලන්නෙ උදේ ඔය සිසු සැරියෙදියි.. ඒ යන අතරමග මං තාත්තගෙන් කතන්දර අහගන්නව. ඒවා ඒ මොහොතෙ හදලා කියපු කතන්දර බව මට වැටහෙන්න ගත්තෙ සෑහෙන ලොකු වුණාට පස්සෙදියි.. මාලු වේටර්ලා, පියාඹන ගල් පර්වතවලින් යුක්ත ඒ කතා නැවත නැවත අහමින් මං කොච්චර කරදර කරන්න ඇත්ද කියලා මතක් වෙද්දි දැන් තාත්තා ගැන දැනෙන්නෙ දුකක්.. ඒත් අලුතින් කෑලි එකතු කරමින් තමන් ම ගෙතූ කතා යළි යළි කිව්වා මිස තාත්තා කවදාවත් මට ඒ ගැන දොස් පැවරුවේ නම් නැහැ.
ඒ කතා අස්සට සමහර දවසට නවකතා පොත්වල තිබුණ කතන්දරත් එකතු වුණා.අපූරු නවකතාවල සාරාංශ කොටස් තාත්තා චිත්තරූප මැවෙන විදියට වැසි දැරියට රස කර කර කියා දෙනවා.. මට මතකයි සමහර කතාවල අවසානය තාත්තට කතුවරයාගෙ කිසිදු අනුදැනුමකින් තොර ව මං නිසා වෙනස් කරන්න සිදු වුණා.ඒ වගේ එක පොතක් තමා ජිනපාලගෙ කතන්දරේ.. ඒ පොතේ දුක්බර අවසානය නිසා මං කොයි තරම් වේදනාවට පත් වුණාද කිව්වොත් තාත්තා අලුත් අවසානයක් නිර්මාණය කළා.
තවත් දවස්වල තාත්තා කතා කළේ රත්න ශ්‍රීගෙ,මොනිකාගෙ,කුමාරගමගෙ,කුඩලිගමගෙ කවි ගැන.. දෙක වසරෙ දරුවෙක්ට ඒ කවි දරාගැනීම අපහසුයි කියා ඕනැ කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඒවා කිසිසේත්ම බරැති දේවල් ලෙස නොව ජිවිතේ පුංචි පුංචි කොටස් ලෙස වැසි දැරියගෙ හිතට ඇතුළු කරන්න තාත්තට පුළුවන් වුණා.අද මාතින් ලියැවෙන කවිවල උල්පත එදා අපි දෙන්නා ඔහේ කියවමින් ගිය සංවාදවල සැඟවී තියෙන්නට ඇති වග මට අද හිතෙනවා..
ගංගාවක් වී ගලන්න
උල්පත පසුකර
වැවක් වෙලා නතර වෙන්න
නෙළුම් මලක් යට
ඔය පද පෙළ තමා තාත්තා එදා කියා දුන්න කවිවලින් වඩාත් ම තදින් වැසි දැරියගෙ හිතේ සටහන් වුණ සිතිවිල්ල...!!
මේ සංවාද අතරේ ගොඩක් වෙලාවට වැසි දැරිය මහා විචිත්‍රවත් ලෝකයක අතරමං වුණා. ඒ හින්දාම වෙන්න ඕනෑ මං සමහර දවස්වල පොත් බෑග් එක නැතුව ඉස්කෝලෙ ගියෙත්. පොඩි විමලා කඳුළු සලන හැටි,ඩෙනිස් සමනළ ආර පීනුම් තරඟෙට සහභාගි වුණ හැටි,ඈන් ඩයනා එක්ක කැලෑ පාරවල ඇවිදන් ගිය හැටි ආදී මෙකී නොකී සකලවිධ කතාන්දරවලින් ඔළුව පුරවාගෙන පාසල් යන අතරෙ මට පොත් බෑග් එක වැදගත් දෙයක් විදියට දැනෙන්නෙත් නැතුව ඇති.ශිෂ්‍යත්වය ලියන්න එපා යැයි මට උපදෙස් දුන්න අම්මට තාත්තට වුණත් වඩා වැදගත් වුණේ මගෙ ඔළුවෙ මැවිල තිබුණ ඒ සාහිත සිහින ලෝකය මිසක ඉස්කෝලෙන් බලහත්කාරෙන් කරන්න කියා දුන්න ශිෂ්‍යත්ව ප්රශ්න පත්තර නොවෙන වග ඒ කාලෙදි නැතත් පස්සෙන් පහු මං තේරුම් ගත්ත..
ඒ වගෙම පාසල නිම වෙලා ආපහු එන ගමන තමා වැසි දැරිය ආසම කොටස වුණේ.. හෙම්බිරිසාව හැදිලා දුක් විඳිනවා බලන්න බැරි නිසා අම්මාගෙන් අයිස්ක්‍රීම් කෙරෙහි බරපතළ තහනම් නියෝගයක් පැනවිලා තිබුණා.ඒත් ඉතින් සතිපතා තාත්තත් දුවත් පාසල ඇරිලා පාර අයිනේ නැවතිලා සෝයා අයිස්ක්‍රීම් කන බව දැනගන්න අසරණ අම්මට දිවැස් තිබුණේ නැහැ නොව..
ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක්??
තාත්තා එහෙම අහද්දි වැසි දැරිය ඊට එකඟ වෙන්නෙ උඩ පැන පැන. හොරෙන් අයිස්ක්‍රීම් කාපු වග ඊළඟ දවසෙ උදේ වෙද්දි අම්මට අහු වෙන්නේ වැසි දැරියගෙ නොනවතින කිවිසුමෙන්.. ඒත් එදා වගෙම අදත් තාත්තත් වැසි දැරියත් පාරට බැස්සොත් සෝයා අයිස්ක්‍රීම් වලට වග කියන්න අමතක කරන්නෙ නැහැ.දැන් ඉස්කෝලෙ යන්නෙ නැතිය කියල මුල අමතක කරන්න හොඳ නැහැ නොවැ.. එහෙම නැතුව බඩජාරිකමකට එහෙම නෙමේ...))
අඟහරුවාදා හවස තාත්තා එක්ක එන ගමන වැසි දැරියට වඩාත් විශේෂයි.. එදාට නොවැ විජය පත්තරේ එන්නෙ.. ඒ දවස්වල මං අතින් කුරුටු ගෑවෙන බලි කුරුටු ආදිය තැපැල් කරලා විජය පත්තරේ
ට යවන පුරුද්දක් අම්මට තිබුණ හින්දා එව්වායින් මොනවා හරි පල වෙලා ඇතිය කියලා හිතාගෙන තමා විජය පත්තරේ අතට ගන්නෙ. අද වගේ උදාසීන හැඟීමක් නෙවෙයි පුංචි කාලෙ කවියක් පත්තරේ තියනව දැක්කම ඇති වෙන්නෙ, ඉතිරිල යන සතුටක්.
මේ මතක ඔක්කොම සිහියට නැඟුණෙ තාත්තා එක්ක මේ මෑතක දි ම රියැදුරු පුහුණුවට යත්දියි.. එදා මං වාඩිවෙලා ගිය අසුනෙ අද තාත්තා හිඳගෙන.. එදා තාත්තා පැදවූ රිය මං පදවනවා. දූගෙ කොට ජීවිතෙත් සැලකිය යුතු ප්‍රමාණෙකින් උස ගිිහිල්ලා.. එදා තරුණ වියේ උන් තාත්තගෙ කොණ්ඩෙ අද පැහිලා.. සිඟිත්තියක් ව උන් මං යුවතියක් වෙලා..
ඒ අතරෙ මට අපේ අතීත ගමන් බිමන් මැවිලා පෙනෙනවා.අද අපි කතා කරන්නෙ එදා කතා කළාට වඩා ගැඹුරු කවි පද ගැන.. ජීවිතේ බරපතළ තැන් ගැන..
ඒත් අද මේ ඉන්නෙත් එදා ඒ අනවරතයෙන් කතා කරමින් ගිය තාත්තයි දූයි ම තමා.. අම්මා කියන්නා වාගෙ කවදාවත් හැදෙන්නෙ නැති පිස්සු තාත්තයි දූයි ම තමා..!!
හරි අපූරු අතීතයක්....
ReplyDeleteඔව් රසික.. ස්තූතියි ආවටත්..
Deleteලස්සන මතක ගොඩක් නංගී
ReplyDeleteඔව් අක්කෙ.. මේ පැත්තෙ ආවට ස්තූති..))
Deleteඒත් අද මේ ඉන්නෙත් එදා ඒ අනවරතයෙන් කතා කරමින් ගිය තාත්තයි දූයි ම තමා.. අම්මා කියන්නා වාගෙ කවදාවත් හැදෙන්නෙ නැති පිස්සු තාත්තයි දූයි ම තමා..!!
ReplyDeleteසුන්දර අතීතයක් සහ සුන්දර ළමා කාලයක්. පුද්ගලයෙකුගේ පෞරුශ වර්ධනයට අඩිතාලම. ඔබගෙත් පියාගෙත් බැඳීම අති සුන්දරයි. මගේ පාලනයෙන් තොර හේතුවක් නිසා මගේ දුවගේ ළමා කාලයෙක් එක් කොටසක මෙම අත්දැකීම් දෙන්න මට හැකි වුණේ නැහැ. ඇය වෙන රටක ජීවත්වුණත් ඒ අදටත් මගේ දියණිය සමඟ තියෙන්නේ ඉතා සමීප බැඳියාවක්.
ඔබ සහ දෙමව්පියන් අතර තියෙන සමීප සබඳතාවය අත්දකින්න තව තියෙන්නේ සීමිත කාල සීමාවක් බව මතකේ තියාගෙන ලැබෙන සෑම අවස්ථාවක්ම ඔවුන්ගේ සතුට වෙනුවෙන් යොදවන බවනම් සැකයක් නැහැ
සුන්දර කමෙන්ට් එකට ස්තූතියි...
Deleteදියණියකත් තාත්තා කෙනෙකුත් අතර තියෙන බැඳීම බොහොම සුන්දර එකක්.. ඇයට ඒ ආදරය කොයි මොහොතකවත් අහිමි වෙන්න දෙන්නට එපා..
අනිවාර්යෙන්... ඔවුන් ව හැමදාමත් බොහොම ආදරයෙන් රැකබලාගන්නවා.මගේ සතුට එයාලගේ සැනසීම වගේම තමා එයාලගේ සතුට තමා මගේ සැනසීම..
හරිම සුන්දර මතකයක් නේද... දුවෙකුයි තාත්තෙකුයි අතර හරි පුදුමාකාර බැඳීමක් තියෙන වග මමත් අත්දැකීමෙන්ම දන්නවා..
ReplyDeleteඔව් තුශානියෝ.. ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුණට..
Deleteමාත් ආසම දෙයක් තමා සෝයා අයිස්ක්‍රීම්. මං ඉන්නෙ පුතණ්ඩියටත් පුරුදු කරන්න. තව, ගම්පහ තියෙනව සෝය කිරි. ඒකත් හොඳයි. බීල තියෙනවද? කිරි පිටි පැකට් විදිහටත් තියෙනව.
ReplyDeleteදැන් ඉඳන්ම පුරුදු කරන එක හොඳයි වැම්පයර් පැටියට..))
Deleteසෝයා කිරිවලට නම් මං කැමති නැහැ.රස ටිකක් අප්සැට් වගේ..))
දැන් ගම්පහ සෝයා අයිස් කඩේ කිසිම කොලිටියක් නෑ ඩ්‍රැකී.
Deleteයනවට ගානක් අපිට දෙන්න ඕනේ (සරසටිය ලග තියෙන එක)
මටත් ඒ ගැන බයක් නෑ.....
ReplyDeleteදෙමාපියෝ දූදරුවෝ නොහඳුනන කාලෙක අපිට ලැබුණ දෙමවුපියෝ ගැන අපි ආඩම්බර වෙන්න ඕනි...
පිළිගැනීමට ස්තුතී වැසී...
ඔව් නිර්මාණි.. ඒ වගේම අපෙන් පසු පරම්පරාවට අපේ පරම්පරාවෙ අය හොඳ දෙමව්පියන් වෙන්නත් ඕන..
Deleteමටත් ඒ ගැන බයක් නෑ...
ReplyDeleteදෙමාපියෝ දූදරුවෝ නොහඳනන කාලෙක අපේ දෙමව්පියෝ ගැන අපි ආඩම්බර වෙන්න ඕනී...
පිළිගැනීමට තුති...
වැසි දැරියයි, තාත්තයි රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ සාහිත්‍ය සංවාදයෙදි ශාලාවෙ මැද හරියක ඉන්නව වගේ දැක්කා... මම කළින්ම ආව නිසා කතා කරන්න බැරි වුණෘ..
ReplyDeleteමේ තාත්තයි දූයි නම් හරිම ෂෝක්.. අපේ තාතතත් අපි එක්ක හරිම යාලුයි... ඒත් මේ තරම්ම සුන්දර අත්දැකීම් නම් තිබුණෙ නැහැ.
මාත් දැක්ක ඔබතුමී ඇවිල්ල ඉන්නව.. ඉවර වෙලා කතා කරන්නයි උන්නෙ.ඒත් ගොඩක් දෙනා ගිහිල්ලා තිබුණා.කීප දෙනෙක් එක්ක තමා කතා කරන්න ලැබුණෙ..
Deleteඅපේ අම්මා තාත්තා ගැනත් ඉතින් මට වඩා සුන්දර අත්දැකීම් තියෙන්නෙ එයාලගෙ ගෝල බාලයන්ට තමා.මාත් එක්ක ගත කරනවට වඩා වැඩි කාලයක් ගෙවන්නෙ ගෝලයෝ එක්ක නොවැ..))
ඒ ගැන නම් අවුලක් නෑ වැසී මටත්...
ReplyDeleteදෙමාපියෝ දූදරුවෝ නොහඳුනන කාලෙක අපේ දෙමාපියෝ ගැන අපි ආඩම්බර වෙන්න වටිනවා...
ඒ ගැන අව්ලක් නෑ.
ReplyDeleteඅපිට අපේ දෙමාපියෝ ගැන ආඩම්බර වෙන්න පුලුවන්. මේ කාලේ හැටියට...
+++++++++++
ReplyDeleteස්තූතියි ලකියෝ..
Deleteහරිම ලස්සන මතක ගොඩක් ආපහු මතක් කළා නංගෝ මේ ලිපිය. ඉස්සර මමත් හරි ආසාවෙන් හිටියේ විජය පත්තරේ ගන්න. තාත්තා තමයි අරන් දෙන්නෙ. අපි ඉතින් හැම අඟහරුවාදම බලන් ඉන්නේ පත්තරේ එනකල්. අදත් අපි කොච්චර ලොකු වුණත්, තාත්තා විජය පත්තරේ ගෙනත් තියෙනවා..
ReplyDeleteතව ගොඩක් මතක තියෙනවා. ගොඩක් ස්තූතියි ඔයාට ඒ මතක ආපහු මතක් කරලා දුන්නට...
අක්කගේ කමෙන්ට් එක දැක්කම මටත් ආස හිතුණා ආපහු විජය පත්තරේ ගෙනත් ඉස්සර වගෙ කියවන්න..
Deleteඅතීතකාමය කොයිතරම් සුන්දරයි ද..))
ඒ මතක ගැනත් වෙලාවක පෝස්ට් එකක් ලිව්ව නම් මොකද..))
//ඩෙනිස් සමනළ ආර පීනුම් තරඟෙට සහභාගි වුණ හැටි
ReplyDeleteඔ්කේ! අලියත් ඔය style එකෙම්ම සහභාගී වෙච්ච තරඟයක් තියනෝ :)
//වඩා වැදගත් වුණේ මගෙ ඔළුවෙ මැවිල තිබුණ ඒ සාහිත සිහින ලෝකය මිසක ඉස්කෝලෙන් බලහත්කාරෙන් කරන්න කියා දුන්............
ඔය ටොම් සොයර් ලියපු මහත්තයත් කිව්ව නේද පාසල අධ්‍යාපනේට බාධාවක් කරගත්තෙ නෑ කියල? :)
ඩෙනිස්ගෙ දස්කම් පොතේ මතකයක් ගැනයි ලිව්වෙ.. කවුද දන්නෙ අපේ අලි අය්යට අතීතේ මතක් වෙයි කියල මෙව්ව දැක්කම.. ඔය සරීරෙත් එක්ක පීනන්නත් පුළුවන් වුණාද අප්ප..))
Deleteමාක් ට්වේන් මහත්තය නේද.. එයා එහෙම කියා තියෙන විත්තියක් දැනගෙන උන්නෙ නැහැ.. ස්තූතියි ඒ ගැන කීවට..!!
වර්ෂා ,
ReplyDeleteඉතාම නරක ලෙස මං ඔබට අකමැති වෙනවා මේ ලිපිය වෙනුවෙන් . ලිපිය කියවලා ඉවර වෙනකොට අවුරුදු හතරක් තිස්සේ අමාරුවෙන් මහන්සිවෙලා වලදාපු මතකය ඔබ මොහොතකින් ගොඩ ගෙන හමාරයි. මෙතුවාටත් හිටියා අමතර පන්ති වලින් පස්සෙ ගෙදර එක්කන් යන කෙනෙක් . ඒ කෙනත් බස් රථය තුළ එන තුරාවට මෙතුවාට කතා කියලා දුන්නා . බසයෙන් බැහැලා ඔහුගේ කබල් බයිසිකලයේ ඉදිරිපස මෙතුවව වාඩි කරගෙන වෙළ මැද පාර පසුකරන තුරුම සැළලිහිණියේ කවි කිව්වා . මෙතුවාට වගේම හිනා වෙනකොට වී ඇට දෙකක් වගෙ සිහින් වෙන ඇස් දෙකක් ඔහුටත් තිබුණෙ. එහෙත් දැන් ඔහු දිව්‍ය ලෝකය වෙත ගිහින් . ඇස් දෙක කඳුලින් පිරෙව්වාටත් ඔබේ ආදරණීය පියාණන් ගැන ආදරණීය සටහනක් තැබුවටත් ගොඩක් පිං !
පළමුවෙන් ම මට සමාවෙන්න අක්කේ.. මරණය වේදනාවක් වෙන්නෙ මිය යන කෙනාට නොවෙයි ජීවත් ව ඉන්න අයටයි යන්න නැවත සිහිපත් කරපු කතන්දරයක්.ඒත් බොහෝ දරුදැරියන්ට හිමි නොවෙන අන්දමෙ,මං ලියා තියෙනවාටත් වඩා මිහිරි අතීතයක හිමිකාරියක් ඔබ.මේ වේදනාබර වදන්වලින් පවා ඒ බව හොඳින් ම පැහැදිලි වෙනවා..
Deleteසෝයා අයිස්ක්‍රීම් ඉස්සල්ලම කෑවේ 6 වසරේ ඉන්න කොට අම්මත් එක්ක බොරැල්ලේ ශ්‍රීනා පලස් එකට ගිය වෙලාවේ.මට ඒක තාම මතක මැශින් එකකින් ආපු රවුම් රවුම් කරකෙවිලා තිබුන අයිස්ක්‍රීමක් කාපු පළමු වතාව නිසා.1998 විතර.
ReplyDeleteඒ උදවිය තමන්ගේ යුතුකම් හා වගකීම් ඉටු කලා වගේම තමන්ගේ අතින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ඉශ්ඨකිරීමට ඔබට වාසනාව ලැබෙත්වා නංගියේ.
සෝයා අයිස්ක්‍රීම් ගැන මටත් අප්‍රමාණ මතක ගොඩක් තියෙනව.. 98 අපි නම් ඉතින් අතදරුවො.කසුට්ටා කොච්චර වයස ඇද්ද අප්පා ඒ කියන්නෙ..)
Deleteඒක මගේ ජීවිතේ ලොකුම පැතුමක් අය්යේ.ස්තූතියි පැතුමට!
කාලය මැව් වෙනසක අරුමේ
ReplyDeleteඒක නොවැ ඉවාන්..))
Deleteවර්ෂා ඔන්න අද මම වර්ෂා කිව්වා අනේ ඒත් වැසි කියන්නමයි හිත :D ... දනන්වද මේ කතාව කියෙව්වම හිතුනේ වර්ෂ හරි වාසනාවන්තයි කියල.ඔය වගේ ලස්සන කවි කතා කියලාදෙන සාහිත්‍යට ආදරේ තාත්තෙක් ලැබුන එක වාසනාවක්.පොඩි කාලේ ඉඳන්ම පොත් එක්ක, ඒවායින් මවාගත්ත අරුම පුදුම ලෝක වල ජිවත්වේවි ලොකු මහත්වෙන ජිවිතේ තියන රහ දන්නේ ඒක විඳින අයමයි :) මට පොත් කියවන්න උනන්දු කලේ අපේ මාම එයාගේ තඩි පොත් අල්මාරියෙන් දුන්න සමහර පොත් දැන් මගේ පොත් අල්මාරියේ මමත් දැන් එයා වගේම පොත් කියව කියව එකතු කරද්දි ඒ පොත් දැක්කම මටත් හිතෙනවා මාත් දැන් 'පොහොසතෙක්' නේද කියල.ඔය විජය පත්තර මාත් ඉස්සර ගත්ත 1995 ගත්ත පත්තරයක් මතක් වෙන්න තාම මා ගාව තියනව එකේ කාලයක් තිබ්බ පින්තූරයක් දීල එකට කවි ලියල එවන්න කියල තරඟයක් මාත් එහෙම කවි ලිව්වා ලියල යැව්වා. දැන් උනත් මොනවා හරි පින්තූරයක් දැකල ලියද්දි මට මතක් වෙන්නේ පොඩි කාලේ එහෙම ලිව්වා හැටි. ඇඳ යටින් ටංක පෙට්ටිය ඇදල ආයෙ විජය පත්තරයක් කියවන්න හිතෙනවා අප්පා ... ලිපිය කියවද්දි මගේ තාත්තවත් මතක් උනා මම ඉස්සරම ලිව්වා තාත්ත ගැන ලිපිය ආයෙම කියවන්න ගත්ත .. මේ මතක සුන්දරයි නේ .. හැමදාටම සුන්දරයි
ReplyDeleteහය්යෝ වැස්සි වාගෙ..))
Deleteඅප්පා.. ඒ වුණාට ඉතින් තාත්තා වැඩිපුරම කවිකතා කියල දුන්නෙ මට නෙමේ.. ගෝල බාලයන්ට තමා.ඉස්සර නං ඔය ගැන කියල මං රණ්ඩුත් වෙනව..))
පොත් එක්ක ගෙවෙන ජීවිතේ ගැන කවර කතාද.. අදටත් මට ඕන කලබලයක් මැද්දෙ පොතක් අතට ගත්තම එර්දි වෙන්න පුළුවන් වෙන ම ලෝකෙකට.. පොඩි කාලෙ පුරුද්ද තමා..!!
විජය පත්තර මා ගාව තියෙන්නෙ 2002 ඉඳල.. ඒත් අම්මලගෙ පරණ මිහිර පත්තර පොදියක් නම් තියෙනව.කාඩ්බෝඩ් පෙට්ටියක දූවිලි ගොඩක් අස්සෙ අහුරලයි තියෙන්නෙ.
ගොඩක් අයට තමන්ගෙ තාත්තව මතක් වෙලා තිබුණ මේ ලිපිය කියවද්දි.. ඒක ඉතින් මටත් සතුටක්..!!
ජිනපාලගෙ කතන්දරේ - වැවදෙණියේ ඇල්.ඩී. මැන්දිස් මහත්මයගෙ පොත...පොඩි දවස්වල මම එතුමාගෙ පොත් ඔක්කොම වගෙ කියෙව්ව. ඒ භාෂා ව්‍යවහාරයෙ ආභාෂය මට අදටත් තියනව.
ReplyDeleteබොහොම අපූරුයි...වර්ෂේ..බොහොමත්ම අපූරුයි..පිය සෙනෙහස ගැන බොහොම චමත්කාරජනක ආවර්ජනයක්..:)
මාත් පිස්සු වැටිලා වාගෙ කියෙව්ව පොත් පෙළක් තමා ඒ..
Deleteහාමුමාමා,අවිචාරය,නස්පැත්තිය,දොළේ ගෙදර,අපේ වගතුග,උපාධිය.. ඔය හැම පොතකම ඉන්න චරිත මේ දැනුත් මට කටපාඩමෙන් කියන්න පුළුවන්.. මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු බොහෝ විද්වත් චරිතවල ප්‍රභාවෙන් වැහිලා ගියපු චරිතයක් තමා එතුමා.
ස්තූතියි මාමේ ඇගයුමට.. බොහොම ස්තූතියි..))
යම් යම් යමි.... සෝයා අයිස්ක්‍රීම් කොතනද අපි එතන..
ReplyDeleteසෝයා අයිස්ක්‍රීම් එක්ක නැගිටිමු.
වර්ෂා ජනපති කරමු..
මං කලටිපොල්වලට ආසාවක් නැහැ මෙයා..))
Deleteහනේ අර රියදුරු පුහුණුව ගැන කියපු ටිකනම් මටත් ඒ විදියටම හිතුනා. ඒ වෙලාවට ඕක හැම දුවෙක්ටම හිතෙනවා ඇති. එහෙම හිතෙන්න ඕනේ.
ReplyDeleteඑහෙම මොහොතක තමා මට මේ ලිපිය ලියන්න ඕනැ කියා හිතට ආවෙ..))
Deleteඅපුරු අතීතාවර්ජනයක් වැසි, මාවත් කොහේදෝ ඈතකට අරන් ගියා මේක කියවද්දී. විජය පත්තරේ මගෙත් ආසම පත්තරයක් පොඩි කාලේ, එකට කවි ලියන එක පොඩි කාලේ සුන්දරම වැඩක්. තාත්තත් එක්ක තියෙන බැඳීම අපුරුයි වර්ෂා. ඒ බැඳීම තවත් චිරාත් කාලයක් පවතීව මේ අලුත් අවුරුද්දේ.සතුට ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteවිජය පත්තරේ අපේ කාලෙ ගොඩක් ළමයි කියෙව්වා.. අපි ටෙලිවිෂන් යුගයට ඒ තරම් වහල් වූ ළමා පිරිසක් නොවූ නිසා.
Deleteසුන්දර පැතුමට බොහෝමත් ම ස්තූතියි සොමි..!!
ඔබටත් නිදුක්,නිරෝගි,සතුටු සුවබර වසරකට සුබ ප්‍රාර්ථනා කරනවා..
පිය සෙනෙහස.. මම හොඳට අඳුරන දෙයක්. මොකද මට ඉතුරු උනේ, ඉතුරු වෙලා තියන්නේ ඒක විතරයි. මම 5 වසරේ ඉඳල අප්පච්චිගේ සෙවනේ ඉන්නේ. අප්පච්චිත් එක්ක පාසල් යන්න හැකි නොවුනත්, ඒ අඩුව පිරිමහෙන්නත් එක්ක, මම හැම සෙනසුරාදාම අප්පච්චි එක්ක නුවර යනවා. මට වැඩක් නොතිබුනත් අප්පච්චිගේ අතේ එල්ලිලා ඇවිදින්න තිබ්බ ආසාවට.
ReplyDeleteවිජය පත්තරේ මමත් ගන්නවා. මගේ ගාව සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් තියනවා. 1998 වගේ ඉඳන් 2013 වෙනකල්.
ඒ අප්පච්චිව හැමදාම ආදරේ රැකබලාගන්න අඟහරුවො.. අප්පච්චි එක්කම හැදුණ වැඩුණ ඔයාට පිය සෙනෙහස අපිටත් වඩා තදින් දැනෙනවා ඇති.
Delete2013 වෙනතුරුම ගත්තද.. මට නම් සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක හිර වුණ නිසා අඟහරුවාදට විජය පත්තරේ ගන්න අමතක ම වෙලා ගියා.ඒත් මේ ලිපිය ලියද්දී ආයෙත් පාරක් විජය කියවන්න ලොකු ආසාවක් ඇති වුණා.
සෝයා අයිස්ක්‍රිම් දැක්කම අවුරුදු ගානක් හිත ආපස්සට ගියා... එකේ රස.. තාම තියනවද දන්නේ නැ ඒවා :) :)
ReplyDeleteඔව් ඔව් හීන දකි්න්නී.. මොරකැටිය හන්දියෙ නම් තාම තියෙනව.. හීන දකින වෙලාවට කන්න මරු ම අයිස්ක්‍රීම් එක සෝයා අයිස්ක්‍රීම්..!
Deleteමටත් මතක් වුනා පොඩි කාලෙ තාත්තගෙන් කතන්දර අහගන්න හැටි. මට හොඳටම මතක 'ගිනි පිඹපිය - හොරි කහපිය' කියලා කොටියෙකුයි, ගම රාළ අයියයි, මල්ලියි ඉන්න කතාවක්. මම ඒ කතාව තාත්තට එපා වෙනකල්ම කියවගෙන ඇති. අද මම ඒක මගේ පුන්චි පුතාටත් කියලා දෙනවා.
ReplyDeleteඔය හරිම වාසනාවන්තයි ඔය වගේ අම්මා කෙනෙකුයි , තාත්තා කෙනෙකුයි ලබන්න
තාත්තා නම් ගොඩක් වෙලාවට කියා දුන්නෙ එයාම හදාපු,ලෝකෙ නැති නම්වලින් හඳුන්වපු චරිත ඉන්න කතන්දර.. කූඹිච්චි අක්කා දරුවටත් දවසක මතක හිටින සුන්දර කතන්දර කියලා දෙන්න දැන් ඉඳලම.. එතකොට තව කාලයක් ගියාට පස්සෙ එයා ශක්තිමත් පරිකල්පනයක් තියෙන කෙනෙක් බවට පත් වේවි.
Deleteපොඩි කාලෙ අප්පච්චිගෙ ලග ඉදගෙන අම්මා රැට උයල ඉවර වෙනකල් ලස්සන කතා අහපු සුන්දර අතිතය මතක් කරල දුන්නට ස්තුතියි ඔයාට........................
ReplyDeleteහැමෝටම වගේ මේ ලිපියෙන් තමන්ගේ අතීතය මතක් වෙලා තිබුණා.. සතුටුයි..!
Deleteඅකුරු නොකලට, සුන්දර අතීත මතක තාමත් හිතේ රැව් දෙනවා විටින් විටේ ..
Deleteඒ කාලේ ආයේ එන්නේ නෑ කිසිම කාලෙක -_-
ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක් ? ))
ReplyDeleteමං මේ කල්පනා කළේ මේ ලිපිය කියවපු මාව දන්න අඳුනන අය මාව දකින දකින සැරේට ඕක කියන්න තියාගත්තනෙ..
Deleteපාරේදි හම්බුනොත් අහන්නම් :D
Deleteහපොයි.. ගෙට් එකකදි හම්බුණොත් තමා ඉතින්.. අපි බ්ලොග් ෆැමිලි..!!
Delete+++++++++
ReplyDeleteThank you!
Delete