Monday, February 28, 2022

ගුරු දියවර නවකතාව - නවවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                     ගුරු දියවර 9


 “යහළුකම ඉතා උතුම් දෙයකි. එය ආත්මාර්ථයෙන් කිලිටි කළ යුතු නොවේ.”

“ගඟුල් ඔයා ගෙනාපු ප්‍රකාශ අතරෙ තියෙන ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයගේ මේ කියමන හරිම වටින එකක්. අපි අනිවාර්යෙන් ම ඒක ගම්මු.”

මෙසේ පැවසුවේ මුළුතැන්ගෙයට යාබද කෑම කාමරයේ විසල් මේසය මත අතුරා ඇති ප්‍රකාශ කියවමින් සිටි තෙන්නකෝන් මහතා ය.

තේ පානයෙන් පසු පාසලේ තැනින් තැන ගැසීමට සුදුසු ප්‍රකාශ තේරීමේ සාකච්ඡා වටය පැවැත්වීම සඳහා එතැන සුදුසු ය යන යෝජනාව ගෙන ආවේ ගඟුල් ය. තේ බීමෙන් පසු සාකච්ඡා මේසය සූදානම් කළේ ද ගඟුල් ය. ඒ මේසය වටා හිඳගනු පිණිස පුටු පහක් තැබුවේ ද ගඟුල් ය.

“මේ ගඟුල් මහත්තය කියමු බලන්න මෙතන මොකක් ද මේ වෙන්න යන්නෙ කියලා.”

එසේ ඇසුවේ ඒ සියල්ල දෙස විමසිලිමත් දෑසින් බලා සිටි රේණු ය.

“මේක යි රේණු මිස් මෙතන වෙන්න යන්නෙ. හරි ම වැදගත් සාකච්ඡාවක් තමයි තව පොඩ්ඩකින් මෙතන පවත්වන්න යන්නෙ.”

“ඇත්ත ද හුඟක් වැදගත් සාකච්ඡාවක් නං හුඟක් ම වැදගත් අය වෙන්ඩ ඇති මේකට සහභාගි වෙන්නෙ.” 

“නැතුව නැතුව රේණු මිස්. ඒ උනාට මෙතන පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා.”

“ඒ කිව්වෙ.” 

රේණු ප්‍රශ්න කළා ය.

“ඒ කියන්නෙ රේණු මිස් මේ අතිශයින් වැදගත් සාකච්ඡාවට අතිශයින් ම නොවැදගත් එක්කෙනෙකුත් සහභාගි කර ගන්න අපට සිද්ධ වෙලා තියෙනවා.”

ඒ වන විට තෙන්නකෝන් යුවළ ද මිහිදිනී ද  එතැනට පැමිණ සිටියහ.

“මේ තෙන්නකෝන් සර්රුයි මැඩනුයි මිහිදිනී මිසු යි මම යි තම යි වැදගත් පාර්ශවය නියෝජනය කරන්නෙ. ඉතින් අර කියපු නොවැදගත් පාර්ශවයට තම යි මේ......”

ගඟුල් එසේ පැවසුවේ රේණු දෙස බලා මඳක් ඈතට යමිනි.

“ඈ....හිටපන් මන් උඹට ....”

එසේ කියමින් රේණු ගඟුල් වෙත සමීප වත් ම ඔහු කෙළේ වහ වහා ගොස් තෙන්නකෝන් මහත්මියට මුවහ වී මෙසේ පැවසීම ය.

“මේ බලන්න මැඩම්, අර මැඩම්ලා කියපු හොඳ දුවලා දෙන්නගෙන් ලොකු දුව මට ගහන්න එනවා.” 

“ආ ගඟුල් මල්ලි මෙහෙ ආපු පළවෙනි දවසෙ ම උඹ එහෙනං අපේ මිහිදිනීගෙ තියරියත් ඉගෙන ගත්ත ද? හා කමක් කමක් නෑ හිටපන්කො මන් උඹ ව අල්ල ගන්නංකො කොයි වෙලාවෙ හරි. උඹේ වැරදි දෙකකට ම දඬුවම් දෙන්නත් තියෙනව මට එතකොට.”

පවුලක කුඩා දරු දැරියන්ගේ බොරු රණ්ඩු දෙස බලා දයාබර දෙමාපියන් විසින් විඳිනු ලබන සතුට යි, මේ මොහොතේ තෙන්නකෝන් යුවළ විසින් විඳගනු ලැබුවේ.

“ඇයි පුතා මේ පුටුපහක් තිබ්බෙ. ඔය ගොල්ලො හතර දෙනානෙ ඉන්නෙ මේ වැඩේට. හොඳට ඉඩකඩ ඇති විදිහට පුටු තියා ගත්ත නංනෙ හොඳ. අපේ මහත්තයා ඔයා තව කාට හරිත් එන්න කිව්ව ද මේ වැඩේට.”

“නෑ නීලා මන්නං අමුතුවෙන් කාටවත් කිව්වෙ නැහැ. අපේ ගඟුල්ලා කිව්ව ද දන්නෙ නැහැ.”

“නෑ දැන් තමයි සර් ඒ ආරාධනාව කරන්න යන්න ඕනෙ.”

ගඟුල් පැවසීය.

“කරන ආරාධනාවක් ඉක්මණට කරලා එයාව මෙතෙන්ට පුළුවන් ඉක්මණින් අරන් එනවා. ඔය කොළඹින් ආපු අලුත් අය වගේ නෙමෙයි අපි ගොඩාක් වැඩ තියෙන හුඟක් වැදගත් අය. නැද්ද තෙන්නකෝන් සර්.”

“ඔව් ඔව් රේණු මිස් නං හුඟාක් වැදගත් බව දැක්ක ගමන් පේනවා. වෙන වැදගත් අය ලෝකෙ නැත්තං.”

ගඟුල් මෙහි අවසන් කොටස පැවසුවේ ඒ වන විට තමාට සමීප දුරක සිටි තෙන්නකෝන් මහත්මියට සහ මිහිදිනීට පමණක් ඇසෙන සේ ය.

ඒ ඇසූ තෙන්නකෝන් මහත්මියගේ සිනහව ප්‍රකාශිත වූ අතර මිහිදිනීට සිදුවූයේ සඟවා ගන්නට ගත් උත්සාහය නිසා ම සිය සිනහව පුපුරා යෑම ය.

“ආ මෙයාට සපෝට් එකටත් දැන් තවත් එක්කෙනෙක් ලෑස්ති වෙලා. හොඳයි හොඳයි නංගි මං අල්ල ගන්නංකො උඹවත්.” 

“එහෙනං ගඟුල් කියල තියෙන කෙනා එනකං අපි වැඩේ පටන් ගම්මු.”

“මන් දැන් ම එක්කං එන්නංකො සර්.”  

මෙසේ පැවසූ ගඟුල් කෙළේ මහත් ගෞරවයකින් එම සාකච්ඡාවට තෙන්නකෝන් මහත්මියට ආරාධනා කොට ළඟම තිබූ අසුනෙහි ඇයට හිඳගැන්මට සැලැස්වීම ය.

“ඈ බොලේ බැලුවහම ඇත්තට ම මේ කොල්ලට වැදගත් අය අඳුර ගන්න පුළුවන්නෙ.”

රේණු පැවසුවේ ඉණට අත්දෙක තබාගෙන ය.

 “අන්න දැක්ක ද රේණු මිස් ම දැන් පිළිගත්තනෙ මට වැදගත් චරිත අඳුන ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට ම තම යි මන් ඉස්සෙල්ලත් වැදගත් කවුද නොවැදගත් කවුද කියලා කිව්වෙ.”

“ආ එහෙමද ආ ඒකට නං මන් උඹට දෙන්නං පස්සෙ සබ්බුව.”

“මේ ළමයිනෙ අපි දැන් ඔය නඩු තීන්දු, දඬුවම් දීම් ටිකකට පැත්තකින් තියල මේ වැඩේට බහිමු ද? ගොඩක් හොඳයි ඕගොල්ලොම අපේ නීලාවත් මේ වැඩේට සම්බන්ධ කර ගත්ත එක. එයාගෙ ඉස්කෝලෙ වැඩත් ගොඩක් තියෙන බව දන්න නිස යි මං එයාට කතා කරන්න ගියෙ නැත්තෙ.”

තෙන්නකෝන් මහතා එසේ පවසා කටයුත්ත ආරම්භ කිරීමෙහි ලා මුල් විය.

“අනේ මන්දා මන් ඕකට එන්නං. ඒත් මට හිතාගන්න බැරි මේ සංගීතෙ කරපු ගෑනිගෙන් ඔය වැඩේට වැඩක් වෙයි ද කියලා.”

“නෑ නෑ නැන්දා ඉන්න ම ඕනෙ මේකට.”

රේණුත් මිහිදිනීත් මෙසේ එකම වචන ප්‍රකාශ කෙළේ කලින් කතා කොට ගත්තාක් මෙනි.

“අනිත් එක්ක නීලා මැඩම්ගෙන් පිරෙන හිස්තැන අපි කාටත් පුරවන්න බැහැ කියල යි මට හිතෙන්නෙ.”

එසේ කීවේ ගඟුල් ය.

“දැන් අපි ආයි අදිකාරම්තුමාගෙ ප්‍රකාශෙට යමු ද? මිත්‍රත්වය උතුම් දෙයක් ඒක ආත්මාර්ථයෙන් කිලිටි කරන්න එපා. මේක ඉස්කෝල දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි අපටත් වැදගත්.”

එසේ කියා යළිත් යථෝක්ත ප්‍රකාශය දෙස තවත් මොහොතක් බලා සිටි තෙන්නකෝන් මහතා ගඟුල්ගෙන් මෙසේ ප්‍රශ්න කෙළේ ය.

“ගඟුල් මමත් අදිකාරම් මහත්තයගෙ සිතිවිලි පොත් ඔක්කොම වගේ කියවලා තියෙනවා. ඒ උනාට මන් මේක කලින් දැකලා තිබුණෙ නැහැනෙ.”

“සර් මන් ඕක උපුට ගත්තෙ අදිකාරම්තුමාගෙ ‘පළමු පියවර’ කියන පොතෙන්. ඉස්සර එතුමා ළමා සිතිවිලි සමාජෙ ළමයින්ට කරපු දේශන එකතු කරල පස්සෙ කාලෙක පොතක් ගහලා තිබුණා. ඒකෙ පිටපතක් තිබුණ සහන් සර් ගාව. ඒකෙ තියෙන්නෙ පුංචි පුංචි ලිපි. ඒ හැම ලිපියක ම සැලකිල්ලෙන් බලන ඕනෙම කෙනෙකුට පේන විශේෂ දෙයක් තියෙනවා.”

“මොකක් ද ගඟුල් සර් ඒ පේන විශේෂ දේ.”

එසේ විමසුවේ මිහිදිනී ය. අනෙක් තිදෙනා ද උනන්දුවෙන් සවන් දෙන ආකාරය පෙනිණ.

“ටිකක් වෙලා ගියත් ඒ ලිපිවල මට දැනිච්ච ඒ  දේ ගැන මන් කියන්න ද සර්.”

“කියන්න කියන්න. යහපත් දේවල් ගැන කතා කරන එක උනත් යහපතක්.”

“සර් ඔය කියපු දේට තරමක් සමාන දෙයක් අපේ කුලතුංග නෝනා කිව්වා. එතුමිය විශ්‍රාම ගිය විදුහල්පතිතුමියක්. මහ වෙනස් කතා කියන්නෙ. කුලතුංග නෝනගෙ දුවත් ගුරුවරියක්. එයා එයාගෙ වයසෙ තරමට වඩා සමාජෙට වැඩ කරලා තිබුණා. ඒ තරුණ ටීචර් අකාලෙ නැති උනා පිළිකාවකින්. අපි මළගෙදර ගියා. කුලතුංග නෝන නෙමෙයි අඬා වැලපුණේ.”

“ඔයා හිතින් දුක දරාගෙන අඬන් නැතුව ඉන්නව නේද කියලා අහපු කෙනෙකුට ඒ නෝනා දුන්නෙ අපූරු උත්තරයක්.”

“මන් අඬන්න ඕනෙ මගෙ දුව සමාජෙට හිරිහැරයක් කරදරයක් වෙන විදිහෙ නරක ජීවිතයක් ගත කළා නං. මේ කෙල්ල පුංචි කාලෙත් ඇඳුමක් අරන් දෙන්න හදන කොට අනේ අම්මෙ මට නැති උනත් කමක් නෑ, අපි රුවිනිට ගවුමක් ගම්මු ද කියනවා. ඒ තාත්තත් නැතුව ගොඩක් දුෂ්කර ජීවිතයක් ගත කරපු දුවක්. ඉතින් මන් කරන්නෙ මොන අමාරුකං තිබුණත් මේ කෙල්ලො දෙන්නට ම ගවුං දෙකක් ගන්න එක. ඒ දවසට මෙයා යාළුවගෙ ගවුම රෑ පාර්සල් කරන්නෙත් සින්දු කිය කිය හරි සතුටකින්. ගුරුවරියක් උනාට පස්සෙත් ළමයින්ට හරියට උදව් කළා. ඉස්කෝලෙ ළමයි එයාගෙ දේහය ළඟ වැටිල ඇඬුවෙ ‘අනේ අපේ අම්මා කිය කියා.’ ඉතින් මෙච්චර හොඳ දුවක් හිටපු අම්ම කෙනෙක් අඬන්න ඕනෙ ද? කියල යි කුලතුංග නෝනා කිව්වෙ.”

ගඟුල්ගේ මේ කතාවට සවන් දී සිටි රේණුගේත් මිහිදිනීගේත් දෑස් එක්වන් ව තෙමී ගියේ අකාලයේ සමාජයට අහිමි ව ගිය කිසිදා නුදුටු ඒ තුරුණු ගුරු සුහදිනිය සහ ඒ තෙදවත් මෙන් ම වියපත් ගුරු මාතාව පිළිබඳ ව සිය හදවත්වල පිළිසිඳි සුපහන් සංවේගය නිසා ය.

වැඩිහිටි ගුරු යුවළ ද හෘදය සංවේදී දෙය කතාකරන තරුණ ගුරුවරයා සහ ඒවාට ආත්මීය ප්‍රතිචාර දක්වන තරුණ ගුරුවරියන් දෙදෙනා දෙස බලා සිටියේ ඉමහත් ආදරයකිනි. අනතුරුව කටහඬ අවදි කෙළේ තෙන්නකෝන් මහතා ය.

“දැන් මට හිතා ගන්න පුළුවන් රේණු, අපේ ලොකු සර් ගඟුල්ට ම මේ වැඩේ බාර දීලා අපි කීප දෙනාට එයාට උදව් කරන්න කියලා කිව්වෙ ඇයි කියලා.”

“ගඟුල් සර් කිව්වෙ නැහැනෙ කුලතුංග නෝනා කියපු අපේ සර් අර කියපු යහපත් දේ ගැන කතා කරන එකත් යහපත් ය කියන කතාවට සමාන කතාව.”

ඒ මිහිදිනී ය.

“අනේ මට අමතක උනානෙ ඒක. කුලතුංග නෝනා ඒ කතාව කිව්වෙත් මළ ගෙදර දවසෙදි ම තම යි. ඒක හරි ලස්සන වගේ ම අර්ථවත් ප්‍රකාශයක්. ඒක එතුමියගෙ වචනවලින් කිව්වොත් මෙහෙම යි.”

“යහපත් පිරිමියෙක් හරි යහපත් ගැහැනියක් හරි ගැන කතා කරන එකත් පිනක්. අයහපත් පිරිමියෙක් හරි අයහපත් ගැහැනියක් හරි ගැන කතා කරන එකත් පවක්.”

“ඒක ගඟුල් අර ප්‍රකාශ අතරට අනිවාර්යයෙන් ම ගන්න ඕන එකක්නෙ.”

මෙසේ පැවසුවේ තෙන්නකෝන් මහතා ය. අනතුරුව ඔහු තවදුරටත් කතා කෙළේ ය.

“ගඟුල් කිව්ව නේද අදිකාරම් මහත්තයගෙ ‘පළමු පියවර’ පොතේ ඔයාට දැනිච්ච විශේෂයක් තිබුණ කියලා.”

“ඔව් සර් මට මතක හැටියට ඒ මුළු පොතේ ම තිබුණෙ ලිපි විසි දෙක යි. ඒ ලිපි අතර සතුන් ජීවත් වන සැටි, තාරකා, ග්‍රහලෝක, සමතුලිත නිර්මාංස ආහාරය, ඉර එළිය, යහළුවෝ වගේ මාතෘකා යටතේ ලියපු ලිපි තිබුණා. මේ ලිපිවල කලාවත් තිබුණා. විද්‍යාවත් තිබුණා, ජීවිතයත් තිබුණා.”

“ඒක පුතා හොඳ නිරීක්ෂණයක්. ඔයාට පුළුවන් ද ඒ කාරණේ අපට පැහැදිලි කරලා දෙන්න.”

එසේ කතාවට එක් වූයේ මෙතෙක් ඉතා උනන්දුවෙන් ගඟුල්ට සවන් දෙමින් සිටි තෙන්නකෝන් මහත්මිය යි.

“උදාහරණයක් හැටියට මැඩම් ඒ පොතේ තියෙන තාරකා ලිපිය ගන්න පුළුවන්. ඒ ලිපිය මුලදි අදිකාරම්තුමා කරලා තිබුණෙ තාරකා ගැන විද්‍යාත්මක කරුණු දැක්වීමක්. මේ තාරකාවල තිබෙන විසල් ගුණය ගැන කියන එතුමා අපට පෙන්නලා දෙනවා තාරකාවක් එක්ක සංසන්දනය කරන කොට අපි ජීවත් වෙන මේ මහ පොළොව කොච්චර පුංචි ද කියන කාරණේ. ඊට පස්සෙ එතුමා කියනවා මේ පොළොවේ තමාට අයිති යි කියල හිතාගෙන ඉන්න සුළු වස්තුවක් ගැන අපි අහංකාර උනාට තාරකා ගැන දැනුමක් ඇති කර ගත්ත කෙනාට තමන්ගෙ තරම මොකක් ද කියන එක අවබෝධ වෙනවා කියලා.”

“ඒක හරි ලස්සන අදහසක් ගඟුල්. මට ඉතිහාසෙ පේන්නෙත් ඔයිට සමාන විදිහකට. ඉතිහාසය පුරා සිද්ධ වෙලා තියෙන අප්‍රමාණ සිද්ධි අධ්‍යයනය කරන කොට අපේ ජීවිතය හා බැඳිච්ච සිද්ධි කියන්නෙ ඒකෙන් අංශුමාත්‍රයෙනුත් අංශුමාත්‍රයක් කියල යි හිතෙන්නෙ.”

“සර් ඉතිහාසය විෂය ගෙනල්ල රඳවන්නෙත් මහ වෙනස් ම තැනකනෙ.”

“ඕනෙ ම විෂයක් දිහා වෙනස් ඇහැකින් බලන්න පුරුදු උනොත් මං හිතන්නෙ තමන් උගන්නන විෂය මොකක් උනත් මේ ගැඹුර මතුකර ගන්න පුළුවන්. ඒක අපේ මේ කෙල්ලො දෙන්න උගන්නන ඉංග්‍රීසිවලටත් අපේ නීලගෙ සංගීතෙටත් ගඟුල්ගෙ සිංහලවලටත් අදාළ යි.”

“තෙන්නකෝන් සර්ලගෙ ගෙදර ආව එක මට දැනෙන්නෙ අලුතින් ආයෙ විශ්වවිද්‍යාලෙට ආවා වගේ.”

ගඟුල් පැවසීය.

රේණු ද මිහිදිනී ද එක්වන් ව හිස සලා එකරුණ අනුමත කළහ. අනතුරුව කටහඬ අවදි කෙළේ රේණු ය.

“ඒ වගෙම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා මෙතෙන් දි.” 

“ඒ මොකක් ද රේණු මිස්.”

එසේ ප්‍රශ්න කෙළේ ගඟුල් ය.

“මෙහෙමයි.”

රේණු ගැඹුරු මුහුණක් මවා ගනිමින් කතාවට ප්‍රවිෂ්ට වූවා ය.

“දැන් ඔබතුමා කිව්වනෙ අපේ මේ තෙන්නකෝන් සර්ලගෙ ගෙදර ආවහම දැනෙන්නෙ විශ්වවිද්‍යාලෙකට ආවා වගේ කියලා. අන්න ඒක නිවැරදි වෙන්න ඕනෙ, මේක විශ්වවිද්‍යාලෙකට ආවා වගේ නෙමේ, මේක විශ්වවිද්‍යාලයක්. ඊළඟ කාරණේ තමයි, අලුත් අය කියන්න ඉස්සෙල්ල ඕක තේරුම් ගත්ත ශ්‍රේෂ්ඨ බුද්ධිමත් කාන්තාවො දෙන්නෙකුට තම යි රේණු සහ මිහිදිනී කියල කියන්නෙ කියන එක. ඒක නිසා ඔය අලුතො දැනගන්න ඕන ඒ ජ්‍යෙෂ්ඨ උත්තමාවන්ට ගරු නම්බු දීලා කතා කරන්න. තේරුණා ද?”

“එහෙම යි ජ්‍යෙෂ්ඨ උත්තමාවිය, එහෙම යි. තේරුණා. හොඳට ම තේරුණා..”

ගඟුල් එසේ පැවසුවේ මහත් යටහත් පහත් බවක් ආරූඪ කොට ගනිමිනි.

“හා බොහොම හොඳයි. එහෙමනං දැන් කියමු බලන්න අදිකාරම්තුමාගෙ ලිපිවල දැනිච්ච විශේෂතා ගැන තවත් තොරතුරු.”

නැවතත් කතාවට අවතීර්ණ වූයේ රේණු ය.

“රේණු මිස්, අදිකාරම්තුමාගෙ තවත් ලිපියක් තිබුණා මේ පොතේ මට වැඩියෙන් දැනිච්ච. ඒකෙ නම ‘ඉර එළිය.’ පුංචි ළමයින්ට විතරක් නෙමෙයි අපි කාට උනත් වැදගත් විද්‍යාත්මක කරුණු තමයි ලිපියෙ මුලදි ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒකෙ ඉර එළියෙ වර්ණ ගැන කරන විග්‍රහය සෞන්දර්යාත්මක යි. අන්තිමට අදිකාරම්තුමා අපිව ගේන්නෙ හරිම ලස්සණ තැනකට. ඒක සම්බන්ධ වෙන්නෙ අපේ ම ජීවිතයට.” 

“මට දැන් හිතෙන්නෙ ඒ පොත හොයාගෙන ගිහිල්ල කියවන්න.”

එසේ පැවසුවේ මිහිදිනී ය.

“ ඔව් මිස් සමහර දුර්ලභ මිනිස්සු ඉන්නෙ කොච්චර දුරක හිටියත් හොයාගෙන ගිහිල්ල හම්බ වෙන්න හිතෙන. ඒ වගෙ සමහර පොත් තියෙනවා කොහොම හරි හොයාගෙන කියවන්න හිතෙන. එහෙම පොතක් තමයි මේ ‘පළමු පියවර.’

“කොහේ හිටියත් ගිහිල්ල හම්බ වෙන්න ම ඕන චරිත ගැන කියද්දි එකපාරට ම මගෙ ඔලුවට ආපු චරිත දෙකක් තමයි අපේ මේ තෙන්නකෝන් සර්රුයි අපේ ලොකු සර්රුයි.”

“ඒකනං හරියට ම හරි.” 

රේණු කළ ප්‍රකාශයට එසේ ප්‍රතිචාර දැක්වූයේ මිහිදිනී ය.

“ගඟුල් සර්, අදිකාරම්තුමා ජීවිතයට ඉර එළිය සම්බන්ධ කරලා තිබිච්ච විදිහ ගැන තාම කිව්වෙ නැහැනෙ.”

එසේ සාකච්ඡාවට මැදිහත් වූයේ තෙන්නකෝන් මහතා ය.

“සර් අදිකාරම්තුමා ඒ ලිපිය අන්තිමට කියනවා, මනුෂ්‍යයන්ට තියෙන්න ඕනෙ ඉර එළියත් ඒ එළියෙන් බලා ගන්න ඕන භෞතික ඇස් දෙකත් විතරක් නෙමෙයි කියලා. එතුමා කියන්නෙ මනුෂ්‍ය ධර්මය නිසා අප තුළ ඇති වෙන්න ඕන තවත් එළියක් සහ තවත් ඇස් දෙකක් තියෙනවා කියල යි. ඒ තමයි ආධ්‍යාත්මික ඇහැ. ඒ ඇහැ නැහැ කියන්නෙ මනුෂ්‍යයා අන්ධ යි කියන එකට. මනුෂ්‍යයා තුළ ආලෝකය ඇති කරවන ධර්මතාව විදිහට අදිකාරම්තුමා හඳුන්නල දෙන්නෙ ආදරය, දයාව, කරුණාව. එතුමා කියනවා මනුෂ්‍යයන්ට ගැටුම් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ ඒ එළියත් ඒ එළිය ඇති කරවන ඇසත් අපට තිබුණොත් විතර යි කියලා. ඒ නිසා ඉර එළිය ගැන ඉගෙන ගන්න කොට අමතක කරන්න එපා කියනවා ආදර කරුණාවේ එළිය - ආලෝකය ගැන.”

“හරිම ලස්සන අර්ථවත් අදහසක්නෙ මේ. මට හිතෙන්නෙ මේ වගෙ අදහස් අපේ දරුවන්ට දෙන්න ඇයි අපි මෙච්චර පරක්කු උනේ කියලා.”

තෙන්නකෝන් මහතා පැවසීය.

“විද්‍යාව යි කලාව යි දෙක ඇත්තට ම ජීවිතයට සම්බන්ධ කර ගත්තු මිනිස්සුන්ගෙ ජීවිත හරි ලස්සණ යි. ඒ මිනිස්සු තමන්ගෙ ජීවිත ලස්සන කර ගැනීමෙන් විතරක් සෑහීමට පත්වෙන්නෙ නෑ. තමන්ගෙ කායික අභාවය සිද්ධ වෙනකං ඒ අය කටයුතු කරන්නෙ ලෝකය තියෙනවාට වඩා ලස්සන කරන්න, අර්ථවත් කරන්න.”

“රේණු මිස් මෙතෙන්දි පාවිච්චි කළා හරි ලස්සන වචනයක්. ඒ තම යි කායික අභාවය. ඇත්ත, සමහර මිනිස්සු ඉන්නවා ඒ අය මැරෙන්නෙ කායික ව විතර යි. ඒ ගොල්ලො නැතිවෙලත් අපේ හදවත්වල ජීවත් වෙනවා. හැබැයි එහෙම චරිත හරි දුර්ලභ යි. ඒක නිසා අපි වෑයම් කරන්න ඕන අපේ ශිෂ්‍යයන් අතරින් ඒ වගේ චරිත බිහි වෙන්න අවශ්‍ය කරන පසුබිමක් හදන්න.” 

රේණු කළ ප්‍රකාශයට මෙසේ අදහස් දැක්වූයේ ගඟුල් ය. මේ දෙදෙනාට ම සාවධාන ව සවන් දී සිටි තෙන්නකෝන් මහතා අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

“ඔය දෙන්න කතා කළේ අපිවත් තව ගොඩක් දුරට හිතන්න යොමු කරන ගොඩක් වැදගත් දේවල්. ඒ වගේ ම අදිකාරම් මහත්තයා කියන්නෙ මට දැනෙන විදිහට මේ රටේ බිහිවෙච්ච සුවිශිෂ්ට ම අධ්‍යාපනඥයා. මට හිතෙන්නෙ ගුරුවරු හැටියට අපිත් අදිකාරම් සාහිත්‍යය ගැන, අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන අවධානය යොමු කළා හොඳට ම මදි කියල යි.” 

“එතුමා ගැන මෙතෙක් කතා කරපු දේවල් අහගෙන හිටපු මට මතක් උනේ ඉන්දියාවෙ බිහි වෙච්ච විශිෂ්ට අධ්‍යාපනඥයෙක් වගේ ම හොඳ චින්තකයෙක් විදිහටත් සලකන්න පුළුවන් ආචාර්ය විනෝබා භාවේතුමා කරපු ප්‍රකාශයක්.”

මෙසේ කතාවට එක්වූයේ මිහිදිනී ය.

“කියපන් නංගි කියපන් ඒ ප්‍රකාශෙ මූලාශ්‍රයත් එක්ක ම. ගඟුල් සර්, මේ අපේ මිහිදිනී ඉන්නව නේද? හොඳ මීටරේ. කතාසරිත් සාගරයක්. ඒ වගේ ම ලස්සන ලස්සන ප්‍රකාශ තැන්පත් කරගෙන ඉන්න මහා භාණ්ඩාගාරයක්. අපේ ලොකු සර් ආවට ගියාට මිනිස්සුන්ට වැඩ බාර දෙන්නෙ නැහැ. මේ වැඩේට අපේ මිහිදිනීව තෝර ගත්ත එකම මදි ද? ඒ උනාට.....”

මෙසේ කී රේණු සිය මුහුණට ගැඹුරු බවක් ආරූඪ කොට ගෙන මඳ වෙලාවක් ගඟුල් දෙස බලා මෙසේ කීවා ය.

“එක තෝරා ගැනීමක් නං වැරදීමකින් උනා කියල යි මට හිතෙන්නෙ.”

“හොඳයි රේණු මිස් අපි ඒ වැරැද්ද පස්සෙ හදාගම්මු. මිහිදිනී මිස් කියනව ද අර ප්‍රකාශෙ.”

ඒ ගඟුල් ය.

“මේක තියෙන්නෙ විනෝභා ආචාර්යතුමාගෙ The Talks on the Gita කියන පොතේ. භගවද්ගීතාව ගැන එතුමා හිරගෙදර දි කරපු දේශන 18ක් තම යි ඒ පොතේ තියෙන්නෙ.”      

“එතුමා හිරගෙදරදි කරපු දේශන කිව්වෙ හිරකාරයන්ට කරපු දේශන ද?”

එසේ ප්‍රශ්න කෙළේ තෙන්නකෝන් මහත්මිය යි.

“එතන ඇත්තට ම වැඩිපුර හිටියෙ දේශපාලන හිරකාරයෝ. ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් වැඩ කරපු අය. ගාන්ධිතුමාගෙ ප්‍රධාන ශිෂ්‍යයෙක් වෙච්ච විනෝභා ආචාර්යතුමත් ගුරුවරයගෙ නිදහස් සටනට එකතු වෙලා වැඩ කරපු නිසා ඉංග්‍රීසි නීතිය යටතෙ හිරබාරෙට ගත්තා. එතුමා මේ දේශන ඉංග්‍රීසි භාෂාවෙන් කළේ එතන හිටපු ඉංග්‍රීසි ජාතික නිලධාරීන් ගැනත් හිතලා. ඒ පොතේ එක තැනක තියෙනවා ශරීරය ගැන තියෙන ඇල්මට නෙමෙයි ආදරය කියන්නෙ කියලා. තව තැනකදි කියවෙනවා විද්‍යාව හා කලාව යම් තැනකදි එකතු වෙනව ද එතනදි ජීවිතය සුන්දරත්වයට පිපෙනවා කියලා.”

මිහිදිනීගේ මේ වචන අසා සිටි රේණු මෙසේ කීවා ය.

“උඹේ කටහඬින් ම මේකෙ මුල් ප්‍රකාශත් කරපන් නංගි. එතකොටයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ. උඹට කටපාඩංනෙ මේවා.”

''Attachment to the body is not love.''

''When Science and Art meet, life blossoms into beauty.''

මිහිදිනී ආචාර්ය විනෝභාගේ මුලින් කී අදහස් ඇති එහි ඉංග්‍රීසි පාඨ දෙක මතකයෙන් කීවා ය.

“මේ දෙකත් හොඳයිනෙ තෙන්නකෝන් සර් අපේ ප්‍රකාශ අතරට ගන්න.”

එසේ පැවසුවේ ගඟුල් ය.

“බලන්ඩකො නීලා මේ කොල්ලො කෙල්ලන්ගෙ සාකච්ඡාවෙන් ම ලස්සන ලස්සන දේවල් මතු වෙනවනෙ. ආයි අලුතින් ලියලා ගේන්න දෙයක් නෑ. මට හිතෙන්නෙ තව පැයක් දෙකක් මේ සාකච්ඡාව ගෙනිච්චොත් මුළු ඉස්කෝලෙ පුරා ගහන්න අවශ්‍ය කරන ප්‍රකාශ ටික මේ මේසෙ උඩ තියේවි.”

“ඒක නං ඇත්ත අපේ මහත්තය, මේ වැඩේ දැන් ඉවරයක් ම කරමු. මේ ළමයින්ට ඉන්න ගැටලුවක් නැත්තං. අපි කට්ටියටම රෑ කෑමටත් මොනවා හරි හදාගම්මු.”

“අන්න ඒකනං හරිම වැදගත් අදහසක්. මම නැන්දෙ, නැන්දගෙ යෝජනාව එක පයින් නෙමෙයි දෙපයින් ම අනුමත කරනවා.”

රේණු එසේ කියද්දී ගඟුල් ද මිහිදිනී ද අත් ඔසොවා එය අනුමත කළහ.

“ඊට ඉස්සෙල්ලා තවත් තේ වටයක්.” 

සිනාසෙමින් එසේ කීවේ තෙන්නකෝන් මහතා ය.

සාකච්ඡාව මොහොතක විරාමයකට නවතිද්දී සෙමෙන් සෙමෙන් ගඟුල් ළඟට ආ රේණු, සිය දකුණතින් නොරිදෙන සේ ඔහුගේ පිට මැදට පහරක් එල්ල කළා ය. අනපේක්ෂිත පහරින් වික්ෂිප්ත වූ ගඟුල්ට රේණුගේ එබඳු ම දෙවන ප්‍රහාරයකට ද ලක්වීමට සිදුවිය. ඔහු අනතුරුව තෙන්නකෝන් මැතිනිය ළඟක ඇද්දැ යි බැලුවේ එල්ල වන තෙවන පහරකින් ගැලවීමේ අරමුණිනි.

“මිස්ට ගඟුල් බය වෙන්න එපා. වැරදි දෙක යි දඬුවම් දෙක යි. අපි මේ අසාධාරණ විදිහට දඬුවම් දෙන මිනිස්සු නෙමෙයිනෙ.”

“මැඩම් මෙන්න මැඩම්ගෙ හොඳ ලොකු දුව මට ගැහැව්වා.”

ගඟුල් එසේ කියද්දී තෙන්නකෝන් මහත්මිය එදෙසට පැමිණියා ය.

“මට ඇහුණා මට ඇහුණා. මොකක් ද අප්පේ ආපු පළවෙනි දවසෙම මේ දරුවා කරපු වැරදි දෙක.”

තෙන්නකෝන් මහත්මිය සිනාසෙමින් එසේ ප්‍රශ්න කෙළේ මේ ආදරණීය කලහයට බලපෑ හේතූන් දැනගනු රිසියෙනි.

“මේක යි නැන්දෙ. අපේ සර්රුත් අහගෙනයි ඉන්නෙ. මිහිදිනීත් අහගන්න. නැන්දෙ මෙයා ආපු මේ පළවෙනි දවසෙම රටේ ලෝකෙ ලොකු පිළිගැනීමක් තියෙන ශ්‍රේෂ්ඨ කුල කාන්තාවකට අපහාස කළා. ඒක තමයි පිට මැද්දට ඩෝන් එකට හේතුව. ඊළඟට පිට මැද්දට ඩෝන් දෙකට හේතුව. මට රේණු අක්කා හරි රේණු හරි කියන්නැතුව ආපු වෙලාවෙ ඉඳලා හරියට මාව ඩිස්මිස් කරන්න වගේ මිස් මිස් ගෑම. මන් හිතුව දැන් හදා ගනියි දැන් හදා ගනියි කියලා මෙයාගෙ මිස්සෙක. ම්හ් කොහෙද ඒ වැරැද්ද දිගට ම කළා.”

“හරි හරි මන් දෙවෙනි වැරැද්ද පිළිගන්නවා. ඒක පිළි අරගෙන දැන් ඉඳලම රේණු අක්කා හරි රේණු නංගි හරි කියන්නංකො.”

“මේ මේ මට රේණු නංගි කියන්න ඕනෙ නැහැ. මන් උඹට වඩා අවුරුදු තුනක් වැඩිමල් හොඳේ. ඒ වගේ ම ඔය සමහර ගෑනුන්ට පිරිමින්ට වගේ මට මගේ ඇත්ත වයස හංගන්න ඕනෙත් නෑ.”

“ආ මන් කිව්වනෙ අද ඉඳලා ඔයා මගෙ රේණු අක්කා. ඒ උනාට මගෙ අක්කේ. අර වැදගත් ගොඩට නං ඔයාව දාන එක නං.....”

“ඔව් මොකක් ද උඹට තියෙන ප්‍රශ්නෙ.”

“මට නං ප්‍රශ්නයක් නෑ. ඒ උනාට නොවැදගත් කෙනෙක් වැදගත් කියලා කියන එකම ලොකු සමාජ ප්‍රශ්නයක්. ඒක නිසා රේණු අක්කා මේ ඇත්ත තේරුං අරන් පැත්තකට උනානං නේද හොඳ.”

“ගඟුල් මල්ලී මට පේන්නෙ උඹට පිට මැද්දට ඩෝන් තුනත් ඕනෑ වෙලා වගේ.”

“බලන්ඩකො මැඩම් අපේ රේණු අක්කගෙ අසාධාරණ වැඩ.”

“හැබැයි පුතා, රේණු දුවගෙ එක චෝදනාවක් එක්ක මාත් එකග යි.”

“ඒ මොකක් ද මැඩම්.”

“ඔය දැනුත් පුතා කරන්නෙ ඒ වැරැද්ද ම තම යි.”

“ඒ කිව්වෙ මැඩම්.”

“ඒ කිව්වෙ ඔයා මට අම්මා හරි නැන්දා හරි නොකියා මැඩම් කියන එක.”

“හරි හරි මන් දැන් ඉඳල ම රේණු අක්කලා වගේ මැඩම්ට නැන්දා කියල යි කතා කරන්නෙ. හැබැයි සර් නං සර් ම තම යි.”

“ඒක හරි සර් අපි කාටත් ගුරුවරයෙක්නෙ. ඒක නිසා සර් සර් ම තමා. නැන්දා නැන්දා ම යි.”

ඒ ප්‍රකාශය මිහිදිනීගෙනි.

“ගඟුල් සර් ඔයා ගෙනාපු ප්‍රකාශ අතර සමන් සිත්තරාගෙ හරි දැනෙන ප්‍රකාශ කීපයක් ම තියෙනවා. බලන්ඩකො සර් මේ ප්‍රකාශ දෙක.”

මිහිදිනී තවදුරටත් කතාවට මැදිහත් වෙමින් ඒ ප්‍රකාශ දෙක ශබ්ද නඟා කියැවූවා ය.

“ගුරු ජීවිතය උත්තරීතර ය. එය ශිෂ්ටාචාරයක ආලෝකය යි.”

“‍නිවැරදි අධ්‍යාපනය යනු තරගකාරී විභාගවලින් සමත් වීම පමණක් ම නොවේ. පිවිතුරු අධ්‍යාපනය යනු ජීවිතය නිවැරදි ව හඳුනා ගැනීම යි.”

“මිහිදිනී මිස්.. නෑ මිහිදිනී ඔය ප්‍රකාශවලටත් වඩා අපට දැනුණෙ ඔය ප්‍රකාශ කරපු චරිතෙ. එයා ජීවතුන් අතර ඉන්න කොටත් අපි එයාගෙ චිත්‍ර මූර්ති බලන්ඩ ගිහින් තියෙනවා. ඒවා හරිම අපූරු හරිම සුන්දර චිත්‍ර මූර්ති. හැබැයි අපිට ඒ හැම චිත්‍රයකටත් වඩා හැම මූර්තියකටත් වඩා සුන්දර මූර්තිය, සුන්දර චිත්‍රය උනේ ඒ අය්ය තම යි.”  

“පුතා ඔයා ඔච්චර උනන්දුවකින් චිත්‍ර මූර්ති ගැන, ඒවා කරපු චරිතයක් ගැන කතා කරන්නෙ ඒකට විශේෂ හේතුවක් තියෙනව ද?”

“ඔව් මැඩම් මගේ විතරක් නෙවෙයි අපි ගොඩක් දෙනෙක්ගෙ ජීවිතවලට අතිප්‍රබල විදියට බලපාපු චරිතයක් තම යි මේ චිත්‍ර මූර්ති ශිල්පියා.”

“හිටියා කියන්නෙ  එයා දැන් නෑ කියන එක ද පුතා.”

“ඔව් මැඩම් අපි පාවිච්චි කරන සාමාන්‍ය අර්ථයෙ හැටියට නං එයා නැහැ තම යි. ඒත් අද අපි අතින් කෙරෙන හොඳ වැඩක් තියෙනව නං ඒ හැම දේක ම ඉන්නෙ එයා.”

“ඒ අද්දැකීම මටත් තියෙනවා. එකට ඉගෙන ගත්ත කාටත් එයා ගැන තියෙන්නෙ මහ ආදරණීය මතකයක්. එයා අපි ඔක්කොට ම හරි හෘදයංගම යාලුවෙක් උනා. වෙලාවකට අපිට අපේ ම සහෝදරයෙක්. තවත් වෙලාවකට අපට හොඳ ගුරුවරයෙක්. තවත් වෙලාවකට තාත්තා කෙනෙක්. අපිට හිතා ගන්නවත් බෑ එක චරිතයක් තුළ මේ ඔක්කොම දෙනා කොහොම ජීවත් උනා ද කියලා. අපේ මහත්තයටත් එයා දවස් දෙකක් හමුවෙලා තියෙනවා. එක දවසක් මාව බලන්න සෞන්දර්යෙට ආපු දවසෙ. අනික ලොකු පුතා හම්බ වෙලා ඉන්න කොට අපේ ගෙදෙට්ට ආපු ගමන. එතකොට අපි හිටියෙ මෙහෙ නෙමෙයි දඹුල්ලෙ.”

“දවස් දෙකක් හම්බ උනාට මුළු ජීවිත කාලෙ ම මතක හිටින මනුස්සයෙක්නෙ නීලා එයා.”

එසේ පැවසුවේ නිහඬ ව මේ දෙබසට සවන් දී සිටි තෙන්නකෝන් මහතා ය.

“මෙච්චර මහ සෙනඟක් ආශ්‍රය කරපු - කරන අපේ මහත්තය අදටත් කියන්නෙ තමන්ගෙ ජීවිතේ දි හමු වෙච්ච සුවිශේෂ ම චරිතය එයා කියල යි.”

“මැඩම් මන් මේ කල්පනා කළේ අපි මේ කතා කරන්නෙ එක ම චරිතයක් ගැන වත් ද කියලා.”

“ඔයාට ඔය තරමට බලපෑව කියන ඒ සර්ගෙ නම මොකක් ද පුතා.”

“එයා සමන්. අපි කිව්වෙ සමන් අය්ය කියලා.” 

“සමන් සෞන්දර්යෙ සමන්. අපිට කෑම නැති දවසක් නං ගෙනාපු බත් එක අපට දීලා බඩගින්නෙ හිටපු සමන්. පාර පැන ගන්න බැරුව ඉන්න වයසක කෙනෙක් දැක්කම එයා හිඟන්නෙක් හිඟන්නියක් උනත් අතින් අල්ලගෙන පාරෙන් අනිත් පැත්තට ඇරලවපු සමන්. නැති බැරි කෙනෙකුට බස් එකේ යන්න තියෙන සල්ලි ටික දීලා හිනා වෙවී පයින් ගෙදර ගිය සමන්. එහෙනං මේ එයා ම තම යි.”

“එහෙනං මැඩම් අපිට වඩා වාසනාවන්ත යි. සමන් අය්යත් එක්ක එක ම කාලෙක එකට ඉගෙන ගන්න ලැබිච්ච එකත්.”

“එකට ඉගෙන ගත්ත කියන එක ම නෙමෙ යි මොක ද අපි දෙන්න කළේ විෂය දෙකක්. මම සංගීතේ. එයා චිත්‍ර. මේ අංශ දෙක තිබුණෙ තැන් දෙකක. ඒ උනාට ඇත්ත සහෝදරකංවලට ඒවා අදාළ නැහැ පුතා. එයා මට තදින් ම දැනිච්ච දවස තමයි අපේ දුව උපන් දවස. එතකොට සමන් ජීවතුන් අතර නැහැ. හැබැයි මහ පුදුම විදිහට සමන්ගෙ ලියවිල්ලක් මගෙ අතට ආවා. මට අද වගේ මතක යි ඒ දවස. දුව හම්බ උනේ කාසල් එකේ තුනේ වාට්ටුවෙ දි. මේ තුන හතර වාට්ටු භාර ව හිටියෙ එල්. ඒ. ඩබ්ලිව්. සිරිසේන දොස්තර මහත්තයා. එතුමා සංගීත විශාරද උපාධියත් කරපු කෙනෙක්. එතන මව්පිය මෙහෙවර කියලා වැඩ සටහනක් ක්‍රියාත්මක උනා දෙමාපියන් දැනුවත් කරන. ඒ වැඩ සටහනේ ම කොටසක් හැටියට ඒ නමින් සඟරාවක් නිකුත් කරලා තිබුණා. ඒ සඟරාවෙ තිබුණා අපේ සමන්ගෙ ප්‍රකාශයක්. අලුත උපන්න දුවගෙ මූණ දිහා බල බල අඬ අඬ තම යි මන්  ඒක කියෙව්වෙ.” 

“ඒ සඟරාව තියෙනව ද මැඩම්.” 

“ඔව් දොස්තර මහත්තය ම අපි ඔක්කොට ම ඒකෙන් පිටපත ගානෙ දුන්නා. මට පාඩම් සමන්ගෙ ප්‍රකාශෙ. ඒ උනාට ඉන්නකො ඔයාලට ම කියව ගන්න මන් ඒක ගෙනත් දෙන්නං.”

මෙසේ පවසා නිවෙස ඇතුළට ගිය තෙන්නකෝන් මහත්මිය පෙරළා පැමිණියේ ඒ 4 ප්‍රමාණයට මුද්‍රණය කරන ලද සඟරා පිටපතක් ද රැගෙන ය.

ගඟුල් එය සිය දෝතට ගත්තේ මහත් ගෞරවයකිනි.

එහි මුලින් ම තිබුණේ විශේෂඥ වෛද්‍ය සිරිසේන මහතාගේ ප්‍රකාශයකි.

“මේ දේශයට දරුවන් බිහි කරන පුණ්‍ය භූමිය යි.”

පිටුවෙන් පිටුව පෙරළාගෙන ගිය සඟරාවේ තවදුරටත් පිටු පෙරළිම නතර වූයේ සමන්ගේ ප්‍රකාශය හමු වීමත් සමග ය.

“අනේ මැඩම් මේක නේද ඒ ප්‍රකාශය.”

“ඔව් ඕක කියවන්න පුතා, මේ අපේ රේණු මිහිදිනී දුවලට ඇහෙන්නත් එක්ක.”

ගඟුල් පළමු ව කෙළේ ධ්‍යානයකට සම වැදුණාක් මෙන් ඒ ප්‍රකාශය දෙස බලා හිඳීම ය. අනතුරුව මානව වර්ගයා ඇතුළු මුළු මහත් සත්ත්ව සංහතියට - අපරිමිත සොබාදහමට කොන්දේසි විරහිත ව ආදරය කළ, ඒ සත්‍ය ආදරවන්තයාගේ හෘදයවිිහාරී ප්‍රකාශය කියැවීමට පටන් ගත්තේ ය.

“ලෝකය දැන් ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව කියතත් ඒ බව පිළිගන්නේ කෙසේ ද? 

උගත් නූගත් භේදයකින් තොර ව බොහෝ දෙනෙක් තවමත් කතා කිරීමට රුචි කරන්නේ ස්ත්‍රීන්ගේ දෙතන හා දෙකලවා ගැන ය ; කතා කරමින් සිනහ වෙන්නට ය. නිරුවත් වුණු ස්ත්‍රියක විසින් අපමණ වේදනා විඳ තමන් බිහි කළ බව ඔවුන්ට අමතක ය.

තමන් බිහි කිරීම පිණිස ස්ත්‍රියකගේ දෙකලවා රුධිරයෙන් තෙමුණු බව ද තමන් ජීවත් කරවීම සඳහා ඇගේ දෙතනට කිරි එරුණු බව ද සිහිපත් කරන දිනයක පමණක් ලෝකය දියුණු යයි පවසන්න.”

පරිසරය පුරා පැතිර තිබුණේ සුගැඹුරු නිහඬතාවකි. ඒ නිහඬතාව අතරින් එචරිතය දිවමන් ව නුදුටු දෙහදක හැඟුම එක මුවකින් ප්‍රකාශයට පත් කිරීමෙහි ලා ඉදිරිපත් වූයේ රේණු ය.

“අනේ අපිට අපේ ඇස්වලින් එයා දැක ගන්ඩ ලැබුණෙ නැහැනෙ.”

“නැහැ රේණු අක්කෙ, අපේ භෞතික ඇස් ම ඕනෙ නෑ කෙනෙක් ව දකින්න. ඔයයි මිහිදිනි යි ගැන මේ දවසට දෙකට අහපු දේවල් එක්ක, ඒ වගේ ම අද දවසෙ ඔය දෙන්න මගේ හිතේ ඇති කරපු හැඟීමත් එක්ක, මන් ඔය දෙන්නව ම තියන්නෙ සමන් අය්ය ව දැකපු ගොඩට. ඒ වගේ ම තවත් කෙනෙක් ඉන්න පුළුවන් දැකලා නොදැකපු. අපේ සර්රුයි නැන්ද යි මම දකින්නෙ සමන් අය්ය ව භෞතික වත් ආධ්‍යාත්මික වත් කියන ක්‍රම දෙකෙන් ම දැක ගත්ත චරිත විදිහට.”

මෙතැන් සිට මේ සහෘදය සංසදයේ අවධානය යොමු වූයේ ඒ ආදරණීය සිත්තරා ගැන කතා කිරීමට ය; ඔහුගේ නිර්මාණ ගැන, ප්‍රකාශ ගැන කතා කිරීමට ය. රාත්‍රී ආහාරයෙන් පසු මැදියම් රැයට ද සමීප වන තෙක් ඇදී ගිය ඒ සාකච්ඡාව නතර කරන ලද්දේ, ගඟුල් තමා එන තෙක් බලා සිටින සුහද සුහදිනියන් සිටින සොඳුරු නිවහනට යා යුතු බැවිනි. ඒ වන විට වසන්ත,  ගඟුල් රැගෙන යාම සඳහා නිවහනින් පිටත් ව තිබූ අතර රේණු සහ මිහිදිනී එදින තෙන්නකෝන් නිවහනෙහි රැඳීමට තීරණය කොට තිබිණි.

සංකථන සමාප්තිය සලකුණු කරමින් ගඟුල් කියැවූයේ සමන් සිත්තරා පිළිබඳ ව ඔහුගේ සොහොයුරා විසින් ලියන ලද පහත සඳහන් කවිය යි.

                       “දියදම් දිනිතියගෙ සුන්දරතා         සෙව්වේ

                        සිතුවම ගීය උපදින තැන් ගැන       කිව්වේ

                        හද තෙළිතුඩිනි ලෝකය අප ළඟ   මැව්වේ

                        ඇයි මේ තරම් සුන්දර දෑසක්         නිව්වේ”

Tuesday, February 15, 2022

ගුරු දියවර නවකතාව - අටවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

 

                          ගුරු දියවර 8

 


          මල් පොකුරු පොකුරු ඇය එන මග

           ඈ දෙසට ම නැමීයන්

           මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්

           මල් පොකුරට ලැබීයන්”

මල් නොපිපි ශුෂ්ක ගිම්හානයේ රිවි කිරණ වෙනදාටත් වඩා සුසැඬ ව මිහි මත පතිත වන මේ රිවි දිනයේ ගඟුල් නිවහනින් එළියට ආවේ තෙන්නකෝන් ඇදුරුතුමන් හමුවනු පිණිස ඔහුගේ නිවහනට යනු පිණිස ය.

එහි යාමට ඇති පහසු කෙටි මග වෙනුවට ඔහු දිගු මග තෝරා ගත්තේ ශුෂ්ක ප්‍රදේශයක ජීවත් වන තමා විසින් ශුෂ්ක භාවයේ අද්දැකීම නොමඳ ව විඳ ගත යුතු ය යන හැඟුමින් මඬනා ලද බැවිනි. මල් නොපිපි මාවතේ ගමන් කරන තමාට මල් හා බැඳුණු ඒ සොඳුරු ගීතය සිහිපත් වූයේ ඇයි? තමා සරසවියේ ඉගෙන ගන්නා සමයේ දවසක සංගීත වැඩ සටහනකට සරසවියට ආ ආචාර්ය වික්ටර් රත්නායක මහතා මුලින් ම කෙළේ මේ ගීතය රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයන් සහ ඒ සංගීතවත් කළ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියාණන් ගෞරවයෙන් සිහිපත් කිරීම ය. පැහැදිලි ව ම යෞවන ප්‍රේමය හා බැඳුණු ගීතයක් වන මෙය ඒ ප්‍රේමය ළඟ පමණක් සිර නොකොට ඊටත් වඩා පෘථුල අර්ථයක රැඳවිය නොහැකි ද? ගඟුල් ඇයට පමණක් සීමා නොවී ඇය ඇති තැනට ඔහු ද කැඳවයි. මල් පොකුරු පොකුරු පිපිය යුත්තේ ඇය එන මග දෙපස පමණක් නොවේ. ඔහු එන මග දෙපස ද ඒ හා සමාන ව ම මල් පිපිය යුතු ය. මෙහි දී ගඟුල් ඔහු සහ ඇය යන වචන දෙක භාවිත කරන්නේ පෙම්වතා සහ පෙම්වතිය උදෙසා නොව සිය ආදරණීය ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් උදෙසා ය. මේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ ජීවිතවල මල් පුබුදුවාලීම වෙනුවෙන් තමාට කළ හැකි උපරිම දෙය කළ යුතු ය. කඩහත වැව් ඉවුරේ නැවතී ගඟුල් අත රැඳි අත් ඔරලෝසුව දෙස බැලී ය. එහි දහවල් 1.35 ලෙස වෙලාව සටහන් ව තිබිණි. ඔහු ගණ සෙවණැති ගසක් යට හිඳ ගත්තේ තෙන්නකෝන් මහතා තමාට එන්නැ යි කී වෙලාවට ම එහි යාම වඩා සුදුසු නොවේ දැ යි සිතමිනි.

ගඟුල් සිය ජීවිතයේ මෙතෙක් දුර ආවේ මල් මාවතක නම් නොවේ. රළු ගල් මත සීරුවෙන් පා තබමිනි, ඔහු මේ ගමන ආවේ. එහි දී අන් බොහෝ දෙනාට සිදු වූ පරිදි ඔහුගේ ජීවිතය මත ද ගල් වැසි මෙන් ම මල් වැසි ඇද වැටිණි. මේ දෙවැසි දෙස ම උපේක්ෂාසහගත සිතක් තමා තුළ වර්ධනය වීමෙහි ලා බලපෑ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් සහ සමන් සිත්තරා යන තුඟු තුරු යුග්මය මේ මොහොතේත් ඔහු සිහිපත් කෙළේ අප්‍රමාණ ගෞරවයකිනි. ගල් වැසි හෙළුෑ චරිත කෙරෙහි ද මෛත්‍රීසහගත චිත්තයකින් අද වන විටත් ඔහුට බැලීමට හැකි වී තිබෙන සුප්‍රබල සාධකය වන්නේ ද එචරිත ද්වයෙන් ජීවිතයට උකහා ගත් ගුණාංග ය. ඔවුන් විෂයයෙහි කළ යුතු හොඳම උපහාර පූජාව වන්නේ ද එසේ උකහා ගත් සච්චරිතාංග සිය ශිෂ්‍ය පරපුරට උරුම කොට දීම ය.

යටකී චරිත ද්වය හැරුණු කොට තමාගේ ජීවිතය ආලෝකවත් කළ ගුරු තුරු රැසක් පිළිබඳ වන ආදරණීය මතකය අවදිවත් ම ගඟුල්ගේ සිත දිව ගියේ ඒ සුපසන් අතීතය වෙත යි. පළමු සහ දෙවන පන්තිය හා බැඳුණු ශිෂ්‍ය ජීවිතය අයත් ගංගොඩවිල ශ්‍රී රේවත යුගය පිළිබඳ කිසියම් මතකයක් තිබේ. ඒ මතකය අපැහැදිලි මුත් සුන්දර ය. දෙවනු ව තෙවන වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා උගත් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයේ දී මුණගැසුණු පේමා ධර්මදාස, මල්ලිකා රත්නායක, සුජාතා ජීවන්දර, වීරක්කොඩි, කරුණාරත්න, මැදවල, පෙරේරා, රන්මුතු, සුමනා, ගීතා, බන්දු, සුනීතා, සෝමා යන ගුරු උතුමියන් සහ  පසුව උසස් පෙළ සඳහා ගිය කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ දී හමු වූ හේමා විජේරත්න, සූරියආරච්චි, නවරත්න, අනුලා විජයරත්න මැණිකේ යන ගුරු උතුමියන් බඳු චරිත ගුරු ජීවන චරණය පිළිබඳ වන ස්ත්‍රී රූප ආදර්ශ යි. එසේ ම විද්‍යාරාජයේ චන්ද්‍රසේන ගෝමස්,  විජේපාල පල්ලියගුරු, සුසිල් එදිරිසිංහ, සෝමසිරි, තෙන්නකෝන්, භුවනෙක බණ්ඩාර, සමරනායක යන උත්තම ගුරු කුලකය නියෝජනය කරන  ගුරු තාරකා ද කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ දී හමු වූ ව. පි. රාජපක්ෂ, රාජා සෝමරත්න, ආනන්ද දේවප්‍රිය, ප්‍රේමතිලක හඳපාන්ගොඩ, පියතිලක, සමරකෝන්, එම්. කේ. දයාරත්න, රෝලන්ඩ් අබේපාල බඳු චරිත ගුරු ජීවන චරණය පිළිබඳ වන පුරුෂ රූප ආදර්ශ යි.  

ගල් ඇතිරූ මාවතේ ඇවිද ආ පසු මල් පිපුණු උද්‍යානයට ඇතුළු විය හැකි බව කියා දුන්නෝ ඔවුහු‍ ය. මෙ උතුම් නාමාවලියට ඇතුළත් කළ යුතු තවත් නම් තිබේ. මේ සියලු ගුරු චරිත පිළිබඳ වන ආදරණීය ස්මරණ හදගැබට ගලා එද්දී මේ අතුරින් අද වන විට ජීවතුන් අතර නැති ඇතැම් ගුරු තාරකාවන් සිහි වී ගඟුල්ගේ දෑස් කඳුළින් තෙමී ගියේ ය. මේ අතර ගඟුල්ගේ මතකයට ආවේ යට කී චරිත අතුරින් රෝලන්ඩ් අබේපාල සහ අනුලා විජයරත්න මැණිකේ සොඳුරු ගුරු යුග්මය හා බැඳුණු සිදුවීම් කිහිපයකි.

එවක කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ රෝලන්ඩ් අබේපාල මහතා කොට්ටාව ආනන්දයේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ තද්යුගයේ විදුහල්පති ව සිටි දයා ගුණවර්ධන මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය. උසස් පෙළ පන්ති දෙකකට සිංහල මෙන් ම ඉතිහාසය ද මැනැවින් ඉගැන්වූ ගුරුවරයා දේශපාලන හේතු මත අයුක්තිසහගත ලෙස මාරු කොට යැවීම නිසා ගඟුල්ලාට හොඳ ගුරුවරයෙක් අහිමි විය. සිංහල විෂය ඉගැන්වීම සඳහා සුදුසුකම් ඇති උපාධිධාරි ගුරුවරුන් කිහිප දෙනෙකු ම සිටියත් ඉතිහාසය සම්බන්ධ තත්ත්වය ඊට සපුරා වෙනස් විය.

වෙනත් විෂයයකට අදාළ ව ගෞරව උපාධියක් දිනා සිටි රෝලන්ඩ් අබේපාල මහතා ඉතිහාසය විෂයයට ගුරුවරයකු අහිමි වූ ගඟුල් ද ඉගෙන ගනිමින් සිටි පන්තියට ඉගැන්වීමට සිය කැමැත්ත පළ කෙළේ ය. පසුකාලීන ව ගඟුල් ඇතුළු බොහෝ ශිෂ්‍යයන්ගේ ජීවිතයේ සන්ධිස්ථානයක් බවට පත්වන ඒ ගුරුවරයා ඔවුන්ගේ ඇසුරට ලැබෙන්නේ ඒ ආකාරයට ය. ගඟුල්ගේ ශිෂ්‍ය ජීවන සමයේ දී ම ඔහු ලේඛකයකු ලෙස සමාජගත කෙළේ ද මේ ආදරණීය ගුරුවරයා ය. මේ මොහොතේ සිතුවම් පටක් මෙන් ඔහු අබිමුව මැවී ගියේ එකරුණ හා බැඳි සංසිද්ධි දාමය යි.

පුවත්පතකට දෙකකට කවියක් දෙකක් ලියා තිබුණත් එතෙක් මුද්‍රිත ප්‍රකාශනයකට කිසිදු ලිපියක් ලියා නොතිබූ ගඟුල්ට එවැන්නක් ලිවීම පිළිබඳ වන ප්‍රථම ආරාධනය ලැබෙන්නේ අබේපාල ගුරුතුමන් වෙතිනි. තමා විසින් ඉතිහාසය හදාරන උසස්පෙළ සිසුනට ලියන්නට දුන් නිබන්ධන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු පන්තියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපිට ගඟුල්ගේ පිළිතුර අගය කෙළේ ය. එසේ ම අඩුපාඩු පෙන්වා දෙමින් සැම දෙනාට ම ලිවීමෙහි ඇති වැදගත්කම අවධාරණය කෙළේ ය. පාසල ඇරුණු පසු තමා හමු වන මෙන් ද ගඟුල්ට දැන්වීය.

පාසල ඇරුණු පසු ගඟුල් ගියේ ගුරු විවේකාගාරයට යි. ඒ වන විට ද ගුරුවර ගුරුවරියෝ කිහිප දෙනෙක් ම එහි රැඳී විවිධ කටයුතුවල නිරත ව සිටියහ. එහෙත් එතැන අබේපාල මහතා සිටියේ නැත. එළියට පැමිණි ගඟුල් දුටුවේ පාසලේ උණ ගස යට හිඳ තවත් ගුරුවරයකු සමග කතා කරමින් සිටි  රෝලන්ඩ් අබේපාල මහතා ය. ඈත දී ම ගඟුල් දුටු අබේපාල මහතා සිය අත වනා සංඥා කෙළේ එතැනට පැමිණීමට ය.

ඔය දිසා එන්නෙ අපේ අනාගත ලේඛකයෙක් තමයි. ”

උණ ගස දෙසට ඇවිද එද්දී ගඟුල්ට ඇසුණේ අබේපාල මහතා කෘෂිවිද්‍යාව උගන්වන දිසානායක ඇදුරුතුමන්ට තමන් ගැන පවසන වචන යි.

ඉස්කෝලෙයි විශ්වවිද්‍යාලෙයි එකට එකතු කරන්න පුළුවන් අබේල වගේ අය මෙහෙට ආපු එකේ එක හොඳක් තමයි මේ. මොකද අපිට වඩා අබේලට තමයි පුළුවන් මේ කොල්ලො කෙල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙන වෙන පාරවල් හදල දෙන්න, තමන්ගෙ තියෙන හිතවත්කං පාවිච්චි කරලා. ”

ගඟුල් පළමු ව කෙළේ මේ ගුරුවරුන් දෙදෙනාට වැඳ ආචාර කිරීම ය.

සර් ඉස්කෝලෙ ඇරිල සර්ව හම්බ වෙන්න කියල කිව්වනෙ.”

ඔයාට ගඟුල් හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා. මන් අපේ අනුලටත් කිව්ව ඒ ගැන.”

ඔහු අනුලා යැයි සඳහන් කෙළේ පසුකාලීන ව ගඟුල්ලාගේ ආදරණීය ගුරුවරියක බවට පත් වූ විශිෂ්ට සාහිත්‍යවේදිනියක ලෙස ද නමක් දිනාගත් අනුලා විජයරත්න මැණිකේ ගුරු උතුමිය ගැන ය.

ගඟුල්ට පොඩි ආරාධනයක් තියෙනව අපෙන්. ලංකාව පුරා ම බෙදල යවන අධ්‍යාපන පත්තරේකට මම උසස් පෙළ සිංහල ලිපිය ලියනවා. ඒ ලිපි එකතු කරලා පොතක් ගහන්න යි යන්නෙ. මගෙ ලිපිවලට අමතර ව අපේ අනුලගෙ ලිපි තුනකුත් ඒකෙ පළ වෙනවා. අනුලයි මායි කතා උනා ඒකට ඔයාගෙ ලිපියකුත් ඇතුළත් කරන්න.”

ඉතිං සර් ඒකට මන් ලියන්නෙ කොහොම ද? මාත් තාම උසස් පෙළ ශිෂ්‍යයෙක් විතරයිනෙ. ”

ඉතිං මොකක් ද ඒකෙ තියෙන වැරැද්ද? හරි නං උසස් පෙළ ළමයි ලියන ලිපිවලින් හොඳ ඒවා තෝරලා තමයි ඒකෙ දාන්න ඕන. ”

ඒ උනාට සර් කවියක් දෙකක් ලිව්වට මට අද්දැකීමක් නැහැනෙ ඔය වගෙ ලිපි ලියලා.”

වැඩ කරලම තමයි ගඟුල් අපි අද්දැකීම් ගන්න ඕන. මොකක් හරි දෙයකින් අද විශිෂ්ට තැනකට ගිය හැම කෙනෙක් ම ඒ දේ මුලින් ම පටන් ගත්ත දවසක් තියෙනවා. මේ තමයි ඔයාගෙ ලේඛන ජීවිතයේ ආරම්භය. වැඩි කතා ඕනෙ නැහැ, වැඩේ පටන් ගන්න. ”

කාව්‍ය නිර්මාණයක සාර්ථකත්වය උදෙසා වෙසෙසින් බලපාන සාධකය වන්නේ කවියා විසින් භාෂාව භාවිතයට ගනු ලබන ආකාරය යි.”

සුදුසු නිදසුන් ආශ්‍රයෙන් යථෝක්ත ප්‍රකාශය පිළිබඳ ව ඔබේ අදහස් දක්වන්න.

ඔන්න මාතෘකාව. ඔයාට සතියක් දෙනවා. ඒ කියන්නෙ අද සිකුරාදා. මට ලබන සිකුරාදා ලිපිය ඕනෙ. පැහැදිලි අත් අකුරෙන් ලියන්න. අපිට පුළුවන් ඒක ටයිප් කරව ගන්න.

ඒ උනාට සර්......” ගඟුල් මේ කාර්යය සඳහා තමන්ට ඇති නුසුදුසුකම් ගැන කීමට සැරසුණත් ඊට ඉඩක් ලැබුණේ අබේපාල ආචාර්යවරයාගෙන් නම් නොවේ.

ඒ උනාට මේ උනාට වචන වැඩක් නෑ. මට ඊළඟ සිකුරාදා වෙන කොට ලිපිය ඕනෙ. දැන් ඔයා යන්න.”

විභාගයක් උදෙසා  ලියැවුණු පොතකට ලිපියක් ලියූ  ලේඛකයා ම සිය සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් ඒ පොත අධ්‍යයනය කරන විභාග අපේක්ෂකයා ද බවට පත්වීමේ දුර්ලභ සංසිද්ධිය ද මතු කරමිනි, ගඟුල් ලේඛකයකු බවට පත් වූයේ.

එසේ ම තමාගේ නිර්මාණ ජීවිතය ඔපවත් කළ තද් ආචාර්ය පත්නිය සම්බන්ධ සිදුවීමක් ද ගඟුල් මේ මොහොතේ සිහිපත් කෙළේ භක්තිපූර්වක හැඟීමෙනි.

සිය දෙවන දාරක ප්‍රසූතිය සමීප ව තිබිය දීත් නිවාඩු යාමට හැකියාව තිබිය දීත් අනුලා ගුරුතුමිය දිනපතා පාසලට පැමිණියේ මෙසේ පවසමිනි.

මේ කොල්ලො කෙල්ලන්ගෙ උසස් පෙළ කට ළඟ තියෙද්දි මං කොහොම ද අනේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ.”

ඇය උසස් පෙළ කට ළඟ යැයි කීවේ එම විභාගයට සය මාසයකටත් වැඩි කාලයක් තිබිය දී ය. එගුරු ගෙදරට දෙවන දරු සම්පත ද තිලිණ කරමින් දියණියක් උපන්නා ය. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා මෙන් ම ඇගෙන් උගත් නූගත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද මව සහ දියණිය බැලීමට ගියේ හමුවන කා සමගත් හෘදයංගම ලෙස සිනාසී කතා කරන මේ කාරුණික ගුරුවරිය පිළිබඳ ව සිය හදවත්වල පිළිසිඳි පසන් හැඟීම නිසා ම ය. දියණිය බිළිඳියක ව සිටියදී ම තවදුරටත් නිවාඩු තිබිය දී ඒ නිවාඩු අවලංගු කොට ගත් ඇය සේවයට පැමිණියා ය. තම දියණියට උපන් කිරෙන්, හැඳ සිටි හැට්ටය තෙත් වද්දී ඇය තම සිසු දරු දැරියනට ඉගැන්වීම පිළිබඳ වන උතුම් මෙහෙවරෙහි අඛණ්ඩ ව නිරත වූවා ය. අද දවසේත් ඇගෙන් උගත් අතීත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෑසට කඳුළු නංවන පහත සඳහන් ඉසොඳුරු පැදිය එගුරු සිත පිළිසිඳුණේ ද එවන් දවසක ය.

                  අම්මා නැත නුඹට ඉර ගල වැටෙන තුරු

                   මා වට කොට සිටිති සිප් කිරි උරන  දරු

                   උන් පුත හෙට දවස පිබිදෙන කැකුළු  බඳු

                   නුඹ සිහි වෙතත් මා උන් වෙත සිටිය යුතු”

එදා මව් කිරි අහිමි වූ සිඟිති දියණිය වත්මන කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඥාන සම්ප්‍රදානය කරයි.

සරසවියේ දී තමාට ඉගැන්වූ සහන් ආචාර්යවරයා, වරෙක සිය ගුරු තාරකාවන් සිහි කරමින් ලියා තිබූ එක් පැදියක් ගඟුල් මේ මොහොතේ සිහිපත් කෙළේ එය ම තමාගේත් ගුරු ස්මරණය නොවේ ද යන බැතිබර හැඟීමෙන් යුතු ව ය.

           “ වදනින් කියා නොම හෙන ගුණ රැස  දරනා

                ගුරු සල් මල් සිහි ව ඇස කඳුලැලි නැඟුණා

                සල් මල් සුවඳ විහිදී  යන  ලෙස    දැනුණා

                මුළු දිවියට ම එසුවඳ  ඇති   මට   හැඟුණා ”

දන්නැතුවම වෙලාවත් ගත වෙලා.”

පස්වරු දෙකට විනාඩි පහක් තිබිය දී ගඟුල් හුන් තැනින් නැඟී සිටියේ තෙන්නකෝන් ඇදුරුතුමන් හමුවීමට යනු පිණිස ය.

ගඟුල් යන විට තෙන්නකෝන් මහතා නිවස ඉදිරිපස ආලින්දයේ අසුනකට වී වැව දෙස බලා සිටියේ ය. ඒ වියපත් පසන් මිනිසාගේ බාහිර ස්වරූපය පවා ඔහුගේ අභ්‍යන්තරය ප්‍රකාශයට පත් කරන කැඩපතක් නොවේ දැ යි ගඟුල්ට සිතිණ. සිංහල විශේෂ උපාධිය හදාරන ශිෂ්‍යයන් විසින් අනිවාර්යයෙන් හැදෑරිය යුතු භාෂාන්තර ඥානය පාඨමාලාවට අදාළ ව යම් යම් කරුණු දැනගැන්ම උදෙසා භාෂා අධ්‍යයනාංශයේ සහන් ආචාර්යතුමන් හමුවීමට ගිය මොහොතක ඔහු පළ කළ අදහසක් සහ එය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ සිංහල කවියත් රාමායණ පාඨයත් ගඟුල්ට සිහිපත් වූයේ තෙන්නකෝන් ඇදුරුතුමන්ගේ හද පහන් කරවන රූපකාය දෙස බලා සිටින විට ය.

"සමහර මිනිස්සු ඉන්නව ගඟුල් ඒ මිනිස්සුන්ගෙ මුහුණ දිහා බැලුවහම හදවත පේන. මට එහෙම චරිත අතළොස්සක් දකින්න ඇසුරු කරන්න ලැබිල තියෙනව. ඒ චරිත දැකපු නිසාම මේ චරිත කියල හිතාගෙන ඉන්න ගොඩාක් චරිත චරිත නොවන බවත් මට තේරිල තියෙනව."

හරි ලස්සන කවියක් ලියැවෙනව දවසකදි පී.බී.අල්විස් පෙරේරා කවියා අතින් විමලරත්න කුමාරගම කවියා ගැන. මේ දෙන්නා අතර බොහොම ලොකු කල්‍යාණ මිත්‍රත්වයක් තිබුණා. මේ කවිය අල්විස් පෙරේරා ලියන්නෙ කුමාරගමගෙ දේහය ඉදිරිපිට ඉදගෙන. එදා එයත් එක්කම ළඟ හිටපු දෙන්න තමයි ආරියවංශ පතිරාජ කවියා සහ කුලරත්න බුලත්ගම කවියා. දැන් මේ අය අතරින් ජීවමාන ව ඉන්නෙ බුලත්ගම කවිය විතරයි. එතුමාටත් දැන් අවුරුදු අනූවකට වැඩියි. මට මේ සිද්ධිය විස්තර කළෙත් එතුමා. එවකට බොහොම තරුණ වයසෙ හිටපු බුලත්ගම කවියගෙන් කොළයක් ඉල්ල ගෙන අල්විස් පෙරේරා මෙහෙම ලියල තියෙනවා.”

           පියා ගත් යුග නෙත - තුළ ඇත සදා            නිදිමත

            හිමකඳකි ඇඟපත - එහෙත් මුහුණේ තිබුණි හදවත

ගඟුල් අපි අහල කියවල තියෙන කුමාරගම කියන්නෙ මූණේ හදවත ලියැවිලා තිබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්.”

සර් දවසක් සංස්කෘත සහතිකපත්‍ර පන්තියෙදි ඔය කාරණේට තරමක් දුරට සමාන අදහසක් තියෙන ශ්ලෝකයක් කිව්ව නේද?

ඔව් ගඟුල්, රාමායණේ බාල කාණ්ඩෙ තියෙනව එක ඍෂිවරයෙක් ගැන කියද්දි මෙහෙම අදහසක්.

          අකර්දමමිදං තීර්ථං - භරද්ද්වාජ නිශාමය

          රමණීයං ප්‍රසන්නාම්බු -  සන් මනුෂ්‍යමනෝ යථා

භරද්ද්වාජ අහන්න, මේ තොටුපොල මඩින් තොර යි. රමණීය ප්‍රසන්න ජලය යි මේකෙ තියෙන්නෙ. හරියට සත්පුරුෂයෙක්ගෙ මනස වගෙයි.

බලන්න ගඟුල්, කොච්චර ලස්සන අදහසක් ද කියල මේක.”

ඒ අතීත ස්මරණය රැඳි හදැති ගඟුල්, වැව දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටින, මුහුණේ හදවත ලියැවි, පිරිසිදු ජලය බඳු සිය වැඩිහිටි ගුරු සහෘදයා දෙස මොහොතක් නිහඬ ව බලා සිටියේ ය. අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

ආයුබෝවන් සර්, සර් වැව දිහා බලාගෙන භාවනා කරනව වගෙයි මට දැනුණේ.”

ආ ගඟුල්නෙ. මේ වැව දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ. මේක ජීවිතය අවබෝධ කර ගන්න කැමති කාට උනත් හොද කමටහනක් තමයි. මට නං ගඟුල් වැව කියන්නෙ මහ ඉතිහාසයකට. මට මේ වැව දිහා බලන් ඉන්න කොට ඈත අතීතය පේන්න ගන්නව ගඟුල්.”

කොහොම ද හොඳ ප්‍රකාශ ටිකක් හොයා ගත්ත ද අපේ වැඩේට. අපේ මිහිදිනීත් ඒවි රේණුත් එක්ක මෙහෙට තුනෙන් පස්සෙ. දෙන්න එක්ක එකේ ඉදන් තුන වෙනකං ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා.”

ඒ කිව්වෙ සර් පෞද්ගලික ඉංග්‍රීසි පන්තියක් ද?”

ඔව් පන්තියක් නං තමයි ඒ උනාට ගාස්තු අය කිරීමක් නැහැ. ඒක නිසා ඒකට ප්‍රයිවෙට් ටියුෂන් පන්තියක් කියන නම ගැළපෙන්නෙ නැහැ. හුඟක් දවස්වලට මේ ළමයින්ට කන්නත් දීලයි යවන්නෙ.”

හරි වටින වැඩක්නෙ සර් ඒක.”

ඔව් හරිම වටින වැඩක් තමයි ඒක. ඒ උනාට මේකෙ සමහර දෙනාට ඒව පිස්සු වැඩ. ගඟුල්, ඔය රේණු ගොඩක් දේපල තියෙන පවුලක ළමයෙක්. මීට අවුරුදු තුනකට විතර ඉස්සර දවසක තමයි මෙහෙට ආවේ. මට මතකයි අද වගේ, ඒ ළමය ආපු පළවෙනි දවසත්.

ඒ වගෙම එදා මටත් අමතක නොවෙන දවසක් උනේ මේ රේණු ළමය කටයුතු කරපු විදිහ ම තම යි. එදා එයාගෙ අම්ම තාත්තත් අය්යත් නංගිත් එයාව ඇරලවන්න ඇවිත් හිටියා. තමන්ගෙ දුව නවත්තන්න වෙලා තියෙන පරිසරය ගැන, ඉස්කෝලෙ ස්වරූපෙ ගැන අම්මගෙ නං කැමැත්තක් තිබුණේ ම නැහැ. තාත්තා අඩු කතාකාරයෙක්. වචනයෙන් නොකිව්වට දුවට නාගොල්ලාගම වගේ පිටිසර පළාතකට එන්න සිද්ධ වීම ගැන තියෙන අප්‍රසාදය එයාගෙ මූණෙත් ලියවිලා තිබුණා. අය්යගෙ අපි දැක්කෙ නංගිගෙ කැමත්තට ඉඩ දෙන ගතියක්. රේණුගෙ නංගිට තිබ්බෙ මේ අලුත් පරිසරය ගැන කුතුහලයක්.”

බැලුවහම සර්නෙ එතන ඉඳලා තියෙන හොඳම නිරීක්ෂකයා.”

එසේ පැවසුවේ ගඟුල් ය.

නැහැ ගඟුල්, ඒ සහතිකය දෙන්න ඕනෙ අපේ විදුහල්පතිතුමාට යි. රේණුගෙ අම්ම කේන්තියෙන් වගේ කතා කරද්දිත් විදුහල්පතිතුමා කේන්ති ගත්තෙ නෑ. රේණුගෙ අය්යා ඉගෙන ගත්ත හොඳ මිනිහෙක්. එයා උපදිසාපති කෙනෙක්. අම්ම කෝ මේ ඉස්කෝලෙවත් කිසිම පහසුකමක් තියෙන පාටක් නැහැනෙ කියල කියද්දි මේ උපදිසාපතිතුමා කිව්වෙ ඉතින් අම්මෙ මන් වැඩ කරන පළාතත් මේ වගේනෙ. මන් හිතන්නෙ මීටත් වඩා අමාරුයි එහෙ ජීවිතේ කියල කියද්දි මේ අම්මට තවත් කේන්ති ගියා.”

ලොකු පුතේ ඔයත් මන් කියන දේ අහන්නැතිව කැලෑවකට ගියේ සේවෙ කරන්න කියලා. ඔයාගෙ ඔය වචන නිසා මෙයත් ලෑස්ති වෙයි මේ කැලෑ පැත්තෙ නවතින්න. මේ ළමයින්ගෙ තාත්තට කොච්චර දේශපාලන සම්බන්ධකං තියෙනව ද? ඒ උනාට ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න මෙයාට ඕනෙත් නෑ තාත්තට ඕනැකමකුත් නැහැ. දැන් මට බය මෙයාගෙ නංගිත් අය්යගෙයි අක්කගෙයි අඩි පාරෙ ම යයි ද කියලා”

මන් නං කැමතියි අම්මෙ මෙහෙ වැඩ කරන්න. මගෙ නං හිතට ඇල්ලුවා.”

හිතට ඇල්ලුව ද හොඳට”

ඇය ඒ වචන නැවත උච්චාරණය කෙළේ උපහාසයෙනි. එසේ ම කෝපයෙනි.

ඈ ලොකු දුව ඔයා මෙච්චර මහන්සි වෙලා ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගත්තෙ, ඒකට ම උපාධියත් ගත්තෙ මේ ගොඩේ පළාතකට වෙලා ජීවිතේ නාස්ති කර ගන්න ද? මන් හිතන්නෑ ජගත් පුතා ඔයාගෙ මේ මෝඩ තීරණේට එකග වෙයි කියලා.”

ඉතිං අම්මෙ එයාගෙ කැමැත්ත හරි අකැමැත්ත හරි මට මොකට ද? මන් කැමති මේ වගෙ පළාතකට වෙලා මේ අහිංසක ළමයින්ට මන් දන්න දෙයක් කියල දෙන්න.”

අනේ මන්දා විදුහල්පතිතුමා, ඔබතුමාවත් වැඩිහිටියෙක් හැටියට මෙයාට අවවාද කරන්ඩකො මෝඩ තීරණ ගන්නැතිව වැඩක් කරන්න පුළුවන් තැනකට යන්න කියලා. මොකද ලොකු සර් මෙයා කරපු සබ්ජෙක්ට් එකේ හැටියට මෙයාට ලේසියෙන් ම පුළුවන් කොළඹ ඉස්කෝලෙක උනත් පත්වීමක් ගන්න.”

කෝ අම්ම ම කතා කරනව මිසක් මේ ලොකු සර්ට කතා කරන්න ඉඩක් දුන්නෙ ම නැහැනෙ.”

එසේ කීවේ රේණුගේ සොහොයුරා ය.

නෑ දිසාපතිතුමා, අම්මට කතා කරන්න ඉඩ දෙන්න. මන් දන්නව අම්ම කෙනෙක්ගෙ වේදනාව. මේ තරහට කතා කරනව නෙමෙයිනෙ. මමත් මගෙ මුල්ම පත්වීමට ඈත පළාතකට තමයි යන්නෙ කියල දැන ගත්ත මොහොතෙ අපේ අම්ම හැසුරුණෙත් මෙයිට වඩා වෙනස් විදිහකට නෙමෙයි. අම්මා කෙනෙක් කියන්නෙ දරුවන්ට වැඩිම ආදරේ ඇති කෙනා. තාත්තල ආදරේ නැහැ කියනව නෙමෙයි. අම්මලගේ ආදරේ හැටි මම අද්දැකීමෙන් ම දන්න නිස යි මෙහෙම කියන්නෙ.”

සර් මේ අන්තිම කාරණේ කිව්වෙ මොකක් හරි විශේෂ හේතුවක් නිසා ද?”

තරුණ දිසාපතිවරයා එසේ ඇසුවේ කතා කළ වචන කිහිපයෙන් ම තමා තුළ පසන් හැඟුම් ජනිත කරවීමට සමත් වූ විදුහල්පතිතුමන් පිළිබඳ වන ගෞරවපූර්වක හැඟීමත් සමග ය.

මම අනුරාධපුරේ, පොළොන්නරුවෙ, බදුල්ලෙ, අම්පාරේ ඉස්කෝලවල උප ගුරුවරයෙක් විදිහට වැඩ කරල තියෙනවා. ඒ වගෙ ම ඉස්කෝල තුනක මීට කලින් විදුහල්පති විදිහට වැඩ කරල තියෙනවා. ග්‍රාමීය - නාගරික පරිසර දෙකේ ම ලබපු අද්දැකීම් අනුව අම්මල තමයි ළමයි ගැන හොයන්න වැඩියෙන් ම ඉස්කෝලෙට ආවෙ. තාත්තලට හැමදාම හේතුවක් තිබුණ නොඑන්න. කලාතුරකින් ඉරිදාවකට යොදා ගන්න ගුරු දෙගුරු රැස්වීමට ආවෙත් අම්මලම තමයි. තාත්තල ඒකට නොඑන හේතුව තමයි මුළු සතියෙ ම වැඩ කරල වැඩ කරල ලැබෙන එකම නිවාඩු දවස නැති කර ගන්න බෑ කියන තර්කය. හැබැයි එකම දවසක් වත් නිවාඩු නැතුව ගෙදර වැඩ ඔක්කොමත් කරන, ජීවත් වෙන්න පොඩි පොඩි රස්සාවලත් යෙදෙන අම්මල, දරුවො වෙනුවෙන් ආවා මිස අර වගෙ තර්ක ගෙනල්ලා එන්නැතිව හිටියෙ නෑ. මේ නිසා තමයි දිසාපතිතුමා, මන් කිව්වෙ අම්මලගෙ කැක්කුම ගැන මට තේරෙනව කියලා. මේ රේණු ටීචර්ගෙ අම්ම කියන්නෙත් ඒ වගෙම තවත් අම්ම කෙනෙකුට. ඒ නිසා අපි අම්මට කතා කරන්න දෙමු.”

ඒ වන විට රේණුගේ මව කිසියම් සන්සුන් බවකට පත් ව සිටියා ය. විදුහල්පතිවරයා පළ කළ අදහස් ද ඔහුගේ සන්සුන් ස්වරූපය ද ඇය තුළ කිසියම් නිවීමක් ඇති කිරීමට සමත් වූ බව පෙනිණ.

විදුහල්පතිතුමා මේ ළමයට පහසුකම් ඇති නවාතැනක් හොයා ගන්න පුළුවන් වෙයි ද මේ පැත්තෙන්.”

අම්මාගේ මේ වචන ඇසූ දිසාපතිවරයාට සිනහ ගියේ ය.

මොකෝ ලොකු පුතා ඔයා හිනා වෙන්නෙ මන් වැරදි දෙයක් කිව්ව ද මෙතන හිනා වෙන්න.”

අනේ නෑ අම්මෙ, ලොකු නංගිව නවත්තන්න බෑ කියල තදින් ම විරුද්ධ වෙච්ච අම්ම ම දැන් නංගිට නවාතැන් හොයන්න ලෑස්ති වෙච්ච නිස යි මට හිනා ගියේ.”

මොකෝ මන් විරුද්ධ උනා කියල මෙයා එයාගෙ තීරණේ වෙනස් කරන්නැහැනෙ. ඒක හින්දා ඊළඟට කරන්න තියෙන දේවල් ගැන හොයල බලනව මිසක් වෙන මොකක් කරන්න ද මට කියන්නෙ?”

මට හරි සතුටුයි, තමන්ගෙ දරුවන් ගැන මේ තරන්  හොයල බලන එක ගැන. දුවගෙ නවාතැනේ වගකීම මට බාර දෙන්න. අවශ්‍ය මූලික පහසුකම් තියෙන, ලොකු ගෙයක් නොවුණට ලොකු හිතක් තියෙන මිනිස්සු ඉන්න ගෙදරක් දුවට හොයලා දෙනව කියල මම පොරොන්දු වෙනවා. ඔබතුමියට ඒ වගේම මන් පොරොන්දු වෙනව මේ අම්ම තාත්තගෙ හිස්තැන පුරවන්න මට බැරි උනත් මෙහෙ දි මේ දරුවව මගේ ම දුවක් හැටියට බලා ගන්නවා කියලා.”

විදුහල්පතිවරයාගේ වචන ඇසීමත් සමග රේණුගේ දෑසට කඳුළු නැඟිණි. වහා තමා හිඳ සිටි අසුනින් නැඟී සිටි ඇය විදුහල්පතිතුමන් ළඟට ගොස් ඔහුට දණ ගසා වැන්දා ය.

වචනයකුදු කතා නොකළ විදුහල්පතිවරයා ඉමහත් ආදරයකින් ඇගේ හිස පිරිමැද්දේ ඇය තමාගේ ම දියණියක ලෙස බාර ගැනීම පිළිබඳ වන සන්නිවේදනය ඒ මොහොතේ එතැන සිටි සියලු ම දෙනාගේ හදවතේ ගැඹුරු ම තැනට ගෙන යමිනි.

කියන්න ගඟුල් ඒ වෙලාවෙ මගෙ ඇස්වලටත් කඳුළු ආවා.”

තෙන්නකෝන් මහතා ඒ වදන් පැවසුවේ හැඟීම්බර ව ය.

මන් සර් රේණු මිස් ගැන අහල තිබුණා ඒ උනාට තාම එක දවසක් වත් දැකලා කතා කරන්න ලැබුණෙ නැහැ. මිහිදිනී මිසුත් එහෙම යි.”

අද ඔයාට ඒ දෙන්නම හම්බ වෙනවනෙ මෙහෙ දි. මම අහපු කතාවක් තියෙනව ගඟුල්, පිරිමියකුට තමන් පිරිමියෙක් කියල වැටහෙන්නෙ හරි ගැහැනියක් ළඟින් හිට ගත්තම කියලා. ඒ වගෙම තමයි ගඟුල් ගැහැනියකට තමන්ගෙ ගැහැණුකමේ තියෙන හැබෑ අර්ථය දැනෙන්න ගන්නෙ හැබෑ පිරිමියෙක් ළඟින් හිට ගත්තමයි කියලා. ඇත්තට ම ගඟුල් මට මේ කෙල්ලො දෙන්න ගැන ම තියෙන්නෙ ලොකු ආදරයක්, ඒ වගේ ම ගෞරවයක්.”

දැන් ගඟුල්ගේ සිතෙහි ඇති ව ඇත්තේ ද මේ කාන්තා යුග්මය දැක කතා බස් කිරීමෙහි ලා වන අභිරුචියකි. විශේෂයෙන් තෙන්නකෝන් මහතා බඳු සාවබෝධී මිනිසකුගේ හද පහන් කළ චරිත යුග්මයක් දැක ගැනීමෙහි ලා වන ප්‍රසාදජනක කැමැත්තකි.

සර්. මම ඉස්කෝලෙ තැනින් තැන ගහන්න ප්‍රකාශ කීපයක් අරන් ආවා.”

අපි ඒවා ගඟුල් බලමු ද, අපේ කෙල්ලො දෙන්නත් ආවට පස්සෙ. අපි දැන්  ඔක්කොට ම ඉස්සෙල්ල තේකක් බීල ඉමු ද ? නීලා අපිට අලුත් යාළුවෙක් ඇවිල්ල. ඔයත් එන්ඩකො මෙහෙට එයාව අඳුන්නල දෙන්න.”

තෙන්නකෝන් මහතා මේ කතා කෙළේ සිය බිරිඳට ය. ඊට ප්‍රතිචාර දක්වමින් නිවසේ ආලින්දයට පැමිණියේ මැදිවියේ ප්‍රසන්න කාන්තාවකි.

කෝ බලන්න අපේ මහත්තයගෙ අලුත් යාලුවා.”

එසේ සිනාසෙමින් පැවසුවේ තෙන්නකෝන් මහාත්මිය යි.

මේ තමයි නීලා අපේ ඉස්කෝලෙට අලුතින් ම ආපු සර්. සිංහල ගෞරව උපාධිධාරියෙක්. මේ පළවෙනි පත්වීම. අපේ ලොකු සර්රුත් ලොකු පැහැදීමකින් තමයි මාත් එක්ක මේ ගඟුල් ගැන කතා කළේ.”

හරි සතුටු යි පුතා, ඔයාව අඳුන ගන්න ලැබිච්ච එක. විශේෂයෙන් සාහිත්‍යය කරපු කෙනෙකුට මේ දරුවන්ට විතරක් නෙමෙයි ලෝකෙට ම ගොඩක් දේවල් දෙන්න පුළුවන්. මේ පුතාගෙ දැන් වයස කීය ද? මට පේන හැටියට විසි පහක් විසි හයක් විතර ඇති.”

ඔව් මැඩම් හිතුව හරි. දැන් මට විසි පහ යි.”

අපේ පුතාට වඩා අවුරුදු දෙකක් බාල යි එහෙනං මේ පුතා.”

ඉතින් සර් මං ගැන විස්තර කිව්වට අපේ මැඩම් ගැන විස්තර කිව්වෙ නැහැනෙ මට. එතුමිය ගුරුවරියක් බව නං මන් දන්නවා.”

ආ ඒ ටික මන් කියන්නං. මෙතුමිය නීලා දසනායක. දැන් නීලා තෙන්නකෝන්. ඒ උනාට පරපුරේ වාසගමත් අත් ඇරියෙ නෑ. දැන් එයා පාවිච්චි කරන්නෙ නීලා දසනායක තෙන්නකෝන්. විෂය සංගීතය. උගන්නන්නෙ ඇල්ලෙ ගජනැග්ගම ඉස්කෝලෙ. ගෙදරට වඩා මෙයාගෙ ජීවිතේ ගත වෙන්නෙ ඉස්කෝලෙ. මෙයා ඒ ළමයින්ටත්, ඒ ළමයි මෙයාටත් පණ ඇරල යි ඉන්නෙ. මගෙ ඉතිහාසෙට වඩා අපේ දුවට යි පුතාට යි පිහිටියෙ අම්මගෙ කලාව.”

අම්මෝ ඔයාගෙ මේ විස්තරේ මේ දරුව කොහොම මතක තියා ගන්න ද?”

තෙන්නකෝන් මහත්මිය ඒ වචන පැවසුවේ ද සුපුරුදු සිනහවෙන් බැහැර නොවෙමිනි.

මේ දරුවට මහන්සිත් ඇති. ඉන්නකො මන් තේ ටිකක් හදාගෙන එන්න.හැබැයි මේ ගෙදර මට වඩා රසට තේ හදන්නෙ නං...”

මෙසේ කියා ඇය සිනාසෙමින් බැලුවේ සිය සැමියා දෙස ය.

නෑ මැඩම් අපි තව ටිකකින් ම තේ බොමු. අපේ මිස්ලා දෙන්නෙකුත් එනවනෙ තව ටිකකින්.”

මිස්ලා කිව්වෙ අපේ කෙල්ලො දෙන්න නේද අපේ මහත්තය. මන් දන්නව ඒ ගොල්ලො මෙහෙ එනව කියලා. අපි දෙන්නගෙ ගෝලයන්ට මෙහෙ ගෙදර වගෙ. කොල්ලො කෙල්ලො ටික ආපු ගමන් ඉස්සෙල්ල ම කරන්නෙ අපිට කුස්සිය තහනං කරන එක. මට කුස්සි කාමරේට ගියොත්, අවසර තියෙන්නෙ එතන තියෙන පුටුවක ඉඳගෙන බලන් ඉන්න විතරයි. මේ දෙන්නත් එහෙමයි. හිටපු ගමන් දෙන්න එක්ක ඉරිදා දවසක එනවා. එදාට උයන්නෙ පිහින්නෙ, තේ හදන්නෙ මේ කෙල්ලො දෙන්න තම යි. හරිම ආදරේ හිතෙන ළමයි දෙන්නෙක් පුතා. අපේ ළමයි දෙන්නත් හරි කැමති යි මේ දෙන්නට.”

දුව යි පුත යි ගෙදර නැද්ද මැඩම් අද.”

නෑ පුතා අපේ පුතා දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙ උගන්නනවා, දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ. එයා නැටුම් කරන්නෙ.”

මේ දවස්වල එහෙනං දුව ඇත්තෙ විශ්වවිද්‍යාලෙ. පුතා මැඩම් සංගීත අංශෙ ද චිත්‍ර මූර්ති අංශෙ ද ?”

ගඟුල් ඇසුවේ දැඩි උනන්දුවකිනි.

එයා පුතා චිත්‍ර මූර්ති අංශෙ.”

තෙන්නකෝන් මහත්මිය පිළිතුරු දුන්නා ය.

ඒ කියන්නෙ මැඩම් මුළු ලලිත කලාව ම මේ ගෙදර තියෙනවා.”

එසේ පැවසුවේ ගඟුල් ය.

ඇය නැවත සිය කතාව ආරම්භ කළා ය.

අපේ කාලෙට වඩා එක පැත්තකින් ගත්තහ ම එතන ගොඩක් දියුණු වෙලා. දැන් අධ්‍යයනාංශ ගොඩක් තියෙන පීඨයක් වෙලා. සම්භාව්‍ය කලාව වගේ ම කොමර්ෂල් ආට් පැත්තට යොමුවකුත් තියෙනවා දැන්. ඒක හොඳ ද නරක ද කියන්න මන් දන්නෙ නැහැ. ඒත් කාල පරිණාමයත් එක්ක සිද්ද වෙන මේ දේවල් වළක්වන්න අපට බැහැ.”

මැඩම් සෞන්දර්යෙ ආදි ශිෂ්‍යාවක් ද?”

ඔව් පුතා, මන් ඉගෙන ගත්තෙත් එතන. අපේ කාලෙ ඒක සෞන්දර්ය අධ්‍යයන ආයතනය. කැලණිය විශ්වවිද්‍යාලෙට අනුබද්ධ ව යි තිබුණේ. ඒක නිසා වෙන්න ඇති සෞන්දර්යෙ ඉගෙන ගත්ත මට කැලණි විශ්වවිද්‍යාලෙ ආදි විද්‍යාර්ථියෙක් ම පස්සෙ කාලෙක දි අනුබද්ධ උනේ.”

ඇය මේ වචන ටික පැවසුවේ සිය සැමියා දෙස බලමින් සිනාසෙමිනි. මේ මොහොතේ තෙන්නකෝන් මහතා ද සිනහමුසු ව සිය බිරිඳ සහ ගඟුල් අතර ඇතිවන සංවාදයට සවන් දෙමින් සිටියේ ය.

ඒ වන විට රේණුකා - මිහිදිනී යන ගුරුවරියෝ දෙදෙන තෙන්නකෝන් නිවහන දෙසට එමින් සිටියහ. සුදෝසුදු උඩුකය ඇඳුමක් සහ සුදෝසුදු දිගු සායන්ගෙන් සැරසී සිටි ඒ දෙදෙනා දිස්වූයේ ඉරිදා දහම් පාසල වෙතට යන දැරියන් දෙදෙනකු මෙනි. ඒ දෙදෙනා  නිවහන වෙතට ළංවන විට තෙන්නකෝන් මහතා සිය බිරිඳ දෙසට හැරී මෙසේ පැවසීය.

නීලා, අන්න අර දෙන්නා එනවා. ඔයාට කුස්සිය පැත්තට ගිහින් එන්නහෙම ආසාවක් තියෙනවනං දැන් ම ගිහින් එන්න.”

ආ මගෙ කෙල්ලො දෙන්න එනව ද? අද ඒ ළමයි ඔයගොල්ලොත් එක්ක වැඩකටනෙ එන්නෙ. ඒක නිසා ඒ ගොල්ලො ඒ වැඩවලට අරන් හරි යන්නෙ නැහැනෙ. හරි ගියා නැතා ඒ දෙන්න ම තම යි තීරණය කරන්නෙ තමන් මොනවද කරන්නෙ කියලා.”

මේ ළමයින්ට පාර වැරදිලා මන් හිතන්නෙ. ළමයිනෙ දහම් පාසලට යන්න තියෙන්නෙ අනික් පාරෙන්. අනිත් එක මේ වෙලාවට කොයින් ද දහම් පාසල්.”

ඒ වන විට සිය නිවහන වෙත ළඟාවෙමින් සිටි තරුණ ගුරුවරියන් දෙදෙනා අමතා එසේ පැවසුවේ තෙන්නකෝන් මහතා ය.

නෑ නෑ අපිට කිසිම වැරදීමක් වෙලා නැහැ. මේක තමයි අපේ දහම් පාසල. මේ ඉන්නෙ අපේ දහම් පාසලේ සර්රුයි ටීච යි දෙන්නත්.”

නැන්දේ අපි ආවා.”

මිහිදිනී ගෙට ගොඩ වූයේ එසේ කියාගෙන ය.

නැන්දේ, මොනව ද අපිට කන්න තියෙන්නෙ.”

ඒ රේණු ය.

රේණු අක්කෙ අර අලුත් සර්රුත් ඉන්නවා. දැන් ඒ සර් හිතයි අපි මහ පෙරේත කෙල්ලො දෙන්නෙක් කියලා.”

හිතන්න දෙයක් නැහැ ඒක තම යි ඇත්ත. නංගි, උඹ කෙසේ වෙතත් මේ මුළු නාගොල්ලගම හැම ගෙදරක් ම හැම ගහක් කොළයක් ම දන්නව මේ රේණුගෙ ආහාර රුචිය ගැන.”

ඔයගොල්ල දෙන්න ගැන මේ අලුත් සර් දන්නවා. ඒත් තාම කතා කරන්න නං ඉඩක් උදා උනේ නැහැ කිව්ව.”

තෙන්නකෝන් සර් මොනව ද දන්නෙ නැහැ මේ සර් අපි ගැන දන්නෙ. අපිත් දන්නව මේ ගඟුල් සර් බව. අපිට අතුල සර් කිව්ව  අලුතින් එන අයට අනිවාර්ය, සිල්වා මැඩම්ගෙ ලෙක්චර් එක මේ සර්ටත් අහන්න උනා කියලා. එහෙනං අපි ගැන හොඳක් නං වෙන්න බැහැ අහන්න ඇත්තෙ.”

අනේ නැහැ, ඒ මැඩම් කවුරු ගැනවත් වරදක් කිව්වෙ නැහැ රේණු මිස්.”

ආ ඇත්ත ද හරි පුදුම යි. ඒ මැඩම් කාගෙවත් වැරැද්දක් කිව්වෙ නැද්ද? එහෙනං එතුමියගෙ පුදුමාකාර වෙනසක් සිද්ද වෙලා තියෙනවනෙ තෙන්නකෝන් සර්.”

ඒ උනාට ඔය දෙන්න ගැන ම හොඳට විස්තර කිව්ව අපේ තෙන්නකෝන් සර්රුයි මැඩමුයි.”

අන්න දැක්ක ද අපේ සර්රුයි මේ නැන්දයි හොඳට ම දන්නව අපි දෙන්නගෙ වටිනාකම. හොඳයි ගඟුල් මොනව ද ඒ ගොල්ලො අපි ගැන කිව්වෙ.”

කිව්වෙ ද? ඒ දෙන්න ගැන නං කතා කරලා වැඩක් නෑ කිව්ව. ආවැයින් ආවෙ නෑ කිව්ව නාගොල්ලගමට ඒ වගෙ එපා කරපු කෙල්ලො දෙන්නෙක්. අම්මෝ! තව කියපුව මට කියන්නත් ලැජ්ජ යි. දැනුත් මේ ඇඟ හිරි වැටෙනව ඒ කියපුව මතක් වෙන කොට.”

ගඟුල් අභිනයෙන් කියා පෑවේ මහත් බියකට පත් වූ ස්වභාවයකි.

මල්ලි උඹ නං අපිට ම හරි යන එකෙක්. දාපන් නංගි මෙයත් එක්ක සාකච්ඡාවක් සාහිත්යෙන් ම. උඹ ඉංග්‍රීසි, මෙයා සිංහල. මරු. අපි අහන් ඉන්නං. නැද්ද සර් නැද්ද මැඩම්. ”

රේණු ඒ වචන පැවසුවේ මිහිදිනී දෙස බලමිනි.

තෙන්නකෝන් යුවළ සිනාසෙමින් ආදරණීය ලෙස නිහඬ ව බලා සිටියා මිස එයට පිළිතුරු දීමට ගියේ නැත. නීලා මහත්මිය මුළුතැන් ගෙය දෙසට යාමට සැරසුණත් ගඟුල් දුටුවේ ඇය නැවත හුන් පුටුවේ ම හිඳුවා තරුණ ගුරු මෙණෙවියන් දෙදෙනා කුඩා දැරියන් දෙදෙනකු සේ මුළුතැන්ගෙය දෙසට දිව යන ආකාරය යි.