Showing posts with label ගුරු දියවර. Show all posts
Showing posts with label ගුරු දියවර. Show all posts

Thursday, October 1, 2026

154. ගුරු දියවර 59 - සමන් චන්ද්‍ර රණසිංහ


               නොරැඳ හමා, සිසිල බෙදා, අඳුර මුදා, සුවය සදන සුළඟ



 
සහන් සිය කුඩා ගෙවත්තට පැමිණ මඳ වෙලාවක් එළිමහනෙහි නිර්මිත අසුනෙහි හිඳ සිටියේ ය. එඅසුන මත හිඳ ඉදිරිපස බලන විට දිස් වන්නේ නොබෝදා නික්ම ගිය පූස් පැංචී කිරී මිහිදන් කළ තැන යි. එතැන මල් පෝච්චි තුනක් තබා වට කොට තිබිණ. කවදා හෝ ඒවායේ පිපෙන මල් දිගු කලක් මෙගෙදර ළබැඳි සාමාජිකාවක බවට පත් ව ජීවත් වූ ඒ බිඩාලිනියට උවසර පුදනු ඇතැයි ඔහුට සිතිණ. හිඳ සිටි අසුනින් නැගිට කිරී නිදන තැනට ගිය සහන්, ඇය නික්ම යාමෙන් පසු දින රැයේ නික්ම ගිය පූස් පැංචී කිරීට යනුවෙන් නම් කළ ඇය වෙනුවෙන් හද පිළිසිඳි තෙකව මෙසේ සිහිපත් කෙළේ ය. ඒ, එකව්වල අරුත යථාර්ථයක් ම වේවා යන හෘදයාරම්මණයෙන් යුතු ව ය.

  අබිමානයේ පාඩම         කාටත් දුන්න
‘කිරි’ නම ලද ද කිරි කෑමට නොම දන්න
  දඩයම් ලොවින් දිනකදි   ඉවතට පැන්න
 නුඹ පූසියෙකි.   හොඳ මගකට පිළිපන්න

ඇවිදින අතර මෙසසර නුඹ හෙට   දවසේ
නිබඳ ව හොඳ දසුන් හමු වේවා    සුවසේ
පාළුව දැනෙන මුත් නුඹ නැති මේ නිවසේ
ජයගත් හැටි දුටිමු. නුඹ දිවිය ම     රහසේ

මිනිසත් බවය තෙක්    මෙගමන යන   අතර
සුළබැඳි නිවහන් ම        හමු වේවා   නිතර
බුදු හිමි වෙතින් ලැබ. දිනකදි      දම්  වතුර
නිම කළ මැනවි දියණිය.    මෙගමන  සසර

සහන් එතැන රැඳී සිටින මොහොතේ ය, ගඟුල් මිහිදිනිය ද සමග ඒ නිවහනට පැමිණියේ.   
“සර් ඇයි මෙතැන, යනුවෙන් ගඟුල් ඇසු ප්‍රශ්නයට සහන් කෙළේ යටකී තෙකව සටහන් කොළය ඔහු අතට පත් කිරීම ය. ඒ තුරුණු යුග්මය එකව් කියැවූයේ එකට ය. මේ ගෙදරට ආගිය කිසිවකුට කිරී ආගන්තුක තැනැත්තියක් නොවූවා ය. දෙදෙනා ම මොහොතක් සිය ගුරුවරයා සමග එතැන රැඳි නික්ම ගිය මේ සත් සාමාජිකාවට සිය අවසන් බුහුමන පිදීමෙන් පසු ය, ඒ ගුරු නිවහනට ගොඩ වූයේ.
පැවති නිහඬතාව නිමා කරමින් කතා කෙළේ මිහිදිනී ය.  
මේ වෙලාවේ මට මතක් වෙන්නෙ සර්ම දවසක් කියපු දෙයක්. සර් එදා කිව්වා, සමීපව ජීවත් වෙච්ච කෙනෙක් හරි සතෙක් හරි විතරක් නෙමෙයි, තමන්ට කාලයක් තිස්සෙ හෙවන දුන්න ගහක් හරි අහිමි උනාම අපි පෘථග්ජනයන්ව ඉන්න තාක් අපට පාළුවක් දුකක් හුදෙකලාවක් දැනෙනවා කියලා. ඒක ඇත්ත සර්. මමත් ඔය අවස්ථා තුන ම විඳලා තියෙනවා.̎
“මම කැමතියි දුව, ඔයා විඳපු ඒ අවස්ථා තුන ගැන කියනව නං. ඒක අපිට ජීවිතය පිළිබඳ හොඳ සාකච්ඡාවකට පදනමක් වේවි. ඒක සමහර විට ජීවිතය පිළිබඳ ගැඹුරු කියවීමකට යන්නත් අපට උදව් කරාවි.”
“සර් මන් සමීප මිනිස් ජීවිතයක් අහිමි වීම නිසා ඇති වන ලොකුම දුක ලබන්නේ අපි හතේ පන්තියෙ ඉන්න කොට අපේ පන්ති බාරව හිටපු ගුරුතුමිය හදිසියේ නැති වුණ දවසේ. එදා ගහක් ගලක් වගේ හිටලු අපේ කුමාරිට මොකද මේ උනේ කියලා ටීචර්ලා අඬන කොට ඊටත් වඩා සද්දෙට ඇඬුවෙ ශිෂ්‍යයන් වෙච්ච අපි. අපි ඔක්කොටම වඩා හය්යෙන් ඇඬුවෙ පන්තියෙ දඩබ්බරය හැටියට හිටපු සචිත්. කවදක්වත් අඬන්නෙ නැති අනිත් අයව අඬවන්න පුරුදු වෙලා හිටපු අයත් අඬනව නේද කියන හැඟීම අපේ පුංචි හිත්වලට ආවෙ එදා.”
“ඔයා කියන ඔය හැඟීම මට ආවේ පහේ පන්තියෙදි. ඒ අපිට හරිම ආදරයකින් හිටපු කරුණාරත්න මිස් නැති වෙච්ච දවසෙ. මට ඒක නිසා ඔයාගෙ ඔය දුක තේරුම් ගන්න පුළුවන්.”
“ඒ කියන්නෙ ඔය දෙන්නම පුංචි කාලෙදි ජීවිතය ගැන එකම විදිහෙ අද්දැකීමක් ලබල තියෙනව කියන එකනෙ. මට කියන්න තියෙන්නෙත් මටත් එහෙම අද්දැකීමක් නැත්තෙ නෑ කියල තමයි.”
“සර් මට හරි දුකයි කියනවට වඩා මට දුකක් නැත්තෙ නෑ කියන එකේ මොකක් දෝ ගැඹුරක් තියෙනව නේද?”
“මන් මේ වෙලාවෙ නං ගඟුල් එහෙම ගැඹුරක් ගැන කියලා කතා කළා නෙමෙයි. ඒ උනාට ඔයා අහපු ප්‍රශ්නෙ නිසා අපට හැදෙන්නෙ වෙනම සාකච්ඡාවක් කරන්න පුළුවන් වේදිකාවක්. ඒ කියන්නෙ නිෂේධාර්ථයෙන් අස්ත්‍යර්ථය මතු කිරීම. ඒක වඩාත් සරල කළොත් නැත යන අර්ථයෙන් වඩාත් ප්‍රබල විදිහට ඇත යන අර්ථය මතු කිරීම. අපි ඒක ගැන වෙනම දවසක විස්තර ඇතුව කතා කරමු. ඔය ගැන ගැඹුරින්ම කතා කරපු කෙනෙක් තමයි, අපේ අදිකාරම්තුමා. දැන් කියන්න දුව, ඔයා අපිට මේ පූසි නැති උනා වගේ ලබපු අද්දැකීමක් ගැන.”  
“මට සර් තියෙන්නෙ පූසියෙක් නෙමෙයි, පූසෙක් ගැන අද්දැකීමක්. අපි එයාට දාලා තිබ්බෙ පුරු කියන නම. එයා පේන මානයක නැති කොට අපි පුරු පුරු කියලා කතා කරන කොට කොයි ලෝකෙන් හරි ඉඳලා මතු වෙනවා. විශේෂයෙන් මන් පුරු පුරු ගාන කොට තමයි වැඩියෙන්ම ප්‍රතිචාර දැක්කුවෙ. ඒ දවස්වල අපේ තාත්තා විහිලුවට කියනවා අපි මෙයාට මිහිදිනී කියන්නෙ නැතුව පුරී පුරි කියලා කතා කරමු ද කියලා. අනේ සර් දවසක ඒ පුරුත් නැති උනා. වකුගඩු අමාරුවක් කියලයි එයාව බලපු ඒ පශු වෛද්‍යතුමිය කිව්වෙ. එදා පුරුට ගොඩක් කිට්ටුවෙන් හිටපු මට විතරක් නෙමෙයි ගෙදර කාටත් දුකයි. ඒ දුක කාලයක් යනකන් අපේ හිත්වල වගෙම ගෙදරත් තැවරිලා කියලා තමයි අපිට හිතුණෙ.”
“සර් මට අපේ මිහිදිනී කතා කරපු දේවල් ඇහැව්වහම මතක් උනේ අපේ විමලරත්න කුමාරගම කවියගෙ එක කවියක්. තමන්ගෙ තනියට ගෙදර හිටපු තමන් ගෙදර සාමාජිකාවක් විදිහට සලකපු පූසි හදිසියේ නැති වෙනවා. ඒ පූසිගෙ මරණය සිද්ද වෙච්ච දවසෙ අපේ කවිය කෑම මේසෙට එන්නෙ පුරුද්දට මිසක් වෙනද වගේ බඩගිනි දැනිල කෑම රුචියක් ඇතුව නෙමෙයි. එදා ඒ කුමාරගම කවියගෙ හදවතේ ඇති වෙච්ච දුක අපට අදටත් දැනෙන කවියකට උල්පත වෙනවා.”
“ඔයාට මතක නං කියන්නකො ඒ කවිය සර්ටයි මටයි ඇහෙන්න.”
ගඟුල් මිහිදිනියගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ එකව මෙසේ ප්‍රකාශයට පත් කිරීමෙනි.
කන්නට ගිය පසුව එදවස      රෑ කෑම
හිත බර වුවත් කෑවෙමි   වෙනදා සේම
බැළලී කොයි ද වෙනදා කන මේසේ ම
කඳුළැලි හෙළුෑයෙමි මම රෑ    රාසේ ම
මඳ වේලාවක් නිහඬ ව සිටි සහන් අනතුරුව කතා කෙළේ ය.
“සමීප සුරතල් සතුන්ගෙ නැතිවීම් නිසා ලෝකයට හිමි වෙච්ච සාහිත්‍යයක් තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි අපට වර්තමානෙ ඉන්න විශිෂ්ට ලේඛිකාවක් වන කැත්ලීන් ජයවර්ධනගෙ මංජු, මරණය හා ස්මරණය කියන පොත. මංජු කියන්නෙ ගෙදර සාමාජිකයෙක්ගෙ තැන හිමි කරගත්ත සුනඛ හිතවතාට. ඌ නැති උන දවසෙ මේ කැත්ලීන් සහෝදරී මට කතා කරලා එයාටත් මහත්තයටත් ඒ හිස් තැන දැනෙන හැටි ගැන හරිම වේදනාවකින් කතා කළා. සංවේදී ලේඛිකාවක් වන ඇය තමන්ගෙ වේදනාව ප්‍රකාශයට පත් කරන්න යොදා ගන්නෙ තමන්ගෙ ලේඛන හැකියාව. අර මම කලින් කියපු පොත තමයි ඒකෙ ප්‍රතිඵලය. ඒ පොතේ මට වැඩියෙන්ම දැනුණෙ ඇය හද විදාරණය කියලා ලියලා තිබිච්ච පිටු 59ක් පුරා විහිදෙන ප්‍රවේශ ලිපිය. ඒක මහ වෙනස්ම ලිපියක්. ඔය දෙන්න ඒක කියවන්න ඕන කරන පොතක්. ඉන්න කැත්ලීන් සහෝදරී මටයි ඔයගොල්ලන්ගෙ මිස්ටයි දීපු පොත තියෙනවා. ඉන්න මම ඒක අරගෙන එන්නම්.”
මෙසේ කියා මඳ වෙලාවකින් එපොත රැගෙන ආ සහන් යළි කතා කෙළේ ය.  
“මේ පොත කියවීම නිසා අපේ හිත්වල ඇති වෙන්නෙ දුකක් නම් රිදුමක් නම් මම මේ පොත ඔයගොල්ලන්ට දෙන්නෙ නැහැ. දුක ළඟ නතර වෙන්නැතුව අපට අපේ ජීවිතය දැක ගන්න සලස්වන ගැඹුරු කියමන් මේකෙ අන්තර්ගත නිසයි මේක මම දෙන්න හිතුවෙ. දුව මිහිදිනී ඔයා කියවන්න අපි දෙන්නට ඇහෙන්න මේ පොතේ දහතු්වෙනි පිටුවෙ අන්තිම ඡේදය.”  
සිය ආචාර්යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මිහිදිනිය විසින් කියවන ලද්දේ පහත සඳහන් ඡේදය යි.
“ඔබට ජීවිතය හඳුනාගන්නට, ජීවිතය හදාරන්නට, ජීවිතය සාක්ෂාත් කරගන්නට ඇති හොඳ ම කමටහන වන්නේ සුනඛයන් හා සුරතල් සතුන් ම යැයි මම කියමි. ජීවිතයේ අනියත ස්වභාවය ඔවුහු ඔබට මනා ලෙස සාක්ෂාත් කර දෙති. ඒ ඔවුන්ගේ ජීවිත කාලය අපගේ ජීවිත කාලයට වඩා බෙහෙවින් කෙටි වන බැවිනි.”
“දැන් මම ඔය පොත ගැන මොකුත්ම කියන්නෙ නැහැ. ඔයගොල්ලො ඒක කියවන්න ගෙනියන්න.”
මෙසේ කියා එපොත මිහිදිනීගේ අතේ තිබෙන්නට සැලැස්වූ සහන් නිහඬ විය. මඳ වෙලාවක් පැවති ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ ගඟුල් ය.
“සර් සත්ත්ව ජීවිත ගැන ලියවෙච්ච සාහිත්‍යයක් අපට තියෙනවා. ඒක පෙරදිගට වගෙම අපරදිගටත් පොදුයි. අපේ රටවලට වගෙම වෙනත් රටවලටත් පොදුයි. ඒ වගෙම සර් ආදරණීය සත්ත්ව සාහිත්‍යයක් බිහි වෙන්න අහිමි වීම් වගෙම හිමිවීම් හේතු වෙලා තියෙනවා නේද”
“මම කැමතියි ගඟුල් ඔය කාරණේ තව ටිකක් පැහැදිලි කරනව නම්.”
“ඇයි සර් භද්‍රා ඉන්ද්‍රාණි අමරකෝන් ලේඛිකාව රැම්බෝ කියන යොවුන් නවකතාවට පාදක කරගන්නෙ ගෙදර ඉන්න ඒ නම තියෙන බලු සුරතලාවනෙ. ඇයි සර් ඒ දවස්වල පත්තරේට ලිපියක් ලියල තිබුණෙ තිස්ස මහගෙදර ඉන්න බල්ලො පස්දෙනෙක් ගැන උන් ගතිගුණ අතින් එකිනෙකාගෙන් වෙනස් වෙන හැටි කියලා. ඉතින් ඒවා ලිව්වෙ උන් ජීවතුන් අතර ඉන්දැද්දිනෙ.”
“හරි අපි ඔයාගෙ මේ රටේ උදාහරණෙ පිළිගත්තා. ඔයාට පුළුවන් ද වෙනත් රටකින් උදාහරණයක් ගේන්න.”
“ඇයි සර් සර්ගෙ අර යාළුවා ඒ කියන්නෙ මේ මෑතකදි සම්මානයටත් පාත්‍ර වෙච්ච මහින්ද සෙනරත් ගමගෙ මහත්තය පරිවර්තනය කරපු බියන්කා.”
“ඒක මට බලන්න හම්බ වෙලා නැහැනෙ. කියන්ඩකො මටත් දැන ගන්න මුල් ලේඛකයගෙ නමත්.”
“මිහිදිනී ඒක ලියල තියෙන්නෙ දිමිත්‍රි ඇල්පර්තෝවිච් කියන රුසියානු ලේඛකයා. එයා බියන්කා කියන්කෙ සුරතල් බැල්ලකට.”
“හරි ගඟුල් මට මතක් උනා ඒ පොත. මහින්දම තමයි මට ඒකෙ පිටපතක් දුන්නෙ. හැබැයි ඒකට පදනම් වෙන්නෙ බියන්කා ගැන ස්මරණ නේද? ඒක නිසා නේද ඒ රුසියානු ලේඛතයා අපට කියන්නෙ මේ පොත කියන්නෙම ඒ සුරතලාට හිස නමා ප්‍රණාමය දැක්වීමක් කියලා. ඒ විතරක් නෙමෙයි මගේ හිතේ ජීවත් වෙන බියන්කා ඔබේ හදවතෙත් ජීවත් වේවා කියලා නේද එයා ඒක ලියන්නෙ.” 
“ඇත්ත නේන්නං. සර් කිව්වහමයි මටත් ඒක මතක් උනේ.”
“ඒ විතරක් නෙමෙයි ගඟුල්, අපේ මහින්ද පරිවර්තකගෙ සටහනේදි කියනවා පිටතින් බියන්කා සුදු පැහැ බැල්ලකගෙ කතාවක් විදිහට ගලාගෙන ගියත් මේ මුළු කෘතිය වර්තමාන රුසියාවෙ නාගරික වගෙම ග්‍රාමීය ප්‍රදේශවල ජීවිතය ඇති සැටියෙන් කියාපාන්නක් හැටියට.”
“සර් මට මේ වෙලාවෙ වියට්නාම් ජාතිකයෙක්ව ඉපදිලා ඇමෙරිකානු පුරවැසියෙක් ව ඉඳගෙන ලෝක සාම චාරිකාවෙ සලකුණක් ලංකාවෙත් තියපු අපේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලාගෙ පා ගමන ගැනත් වචනයක් දෙකක් කියන්න හිතෙන්නෙ ඒ ගමනට එකතු වෙච්ච ආලෝකා බැල්ලත් අපට අමතක නොවෙන චරිතයක් නිසයි. පඤ්ඤාකර හාමුදුරුවො වගෙම ආලෝකත් අපේ හිත්වල ලොකු ඉඩක් අයිති කරගත්ත නිසයි.”
“ඇයි ඒ වගෙම අපට අමතක කරන්න බැහැ නේද සෝවියට් රුසියාව අභ්‍යවකාශතරණයට සම්බන්ධ කරගත්ත ලයිකා කියන බැල්ල. එයා ගැනත් හදලා තියෙනවනෙ ගොඩක් වැඩ සටහන්.”
“මන් හිතන්නෙ ගඟුල්, අපි මේ කතා කරන මාතෘකාව ගැන පොතක් ලියන්න තරං කරුණු එකතු වෙනවා ඒ ගැන කතා කරද්දි. අපි ඒ වගකීම බාර දෙමු අපේ මිහිදිනීට. ඔයයි මමයි දෙන්නම උදව් කරමු ඒ වැඩේට.”
මිහිදිනියගේ පසන් නිහඬතාවෙන් පළ වූයේ ඒ සඳහා වන අනුමැතිය යි. කතාවේ දිශානතිය සුරතල් ෂතුන් හා බැඳුණු පුස්තක වෙතට හරවමින් ඒ මොහොතේ කතාවට මෙසේ මැදිහත් වූයේ ගඟුල් ය.  
“සර්, දන්නවද දැන් අපේ මිහිදිනීට මොකක්ද ඕන වෙලා තියෙන්නෙ කියලා.”
“ඇයි අපේ කෙල්ලට බඩගිනි වෙලා ද?”
“හැබැයි සර් ඒක එක් විදිහක බඩගින්නක් තමයි. අපිට ඒකට කියන්න වෙන්නෙ පොත් ගින්න කියලයි.”
“හෝ හෝ දැන්නෙ මට තේරුණෙ. හරි හරි මම යනකොට මිහිදිනීට බියන්කත් දෙන්නංකො ගෙනියන්නෙ. බැලුවහම ගඟුල්ට පුළුවන්නෙ අපේ මිහිදිනීගෙ හිත කියවන්නත්.”
ගඟුල් සිනාසුණා මිස ඊට පිළිතුරු දීමට ගියේ නැත. අනතුරුව කතාව වෙනත් පැත්තකට හැරවූයේ සහන් ය.
“දැන් මිහිදිනී ගහක් අහිමි වීම ගැන ඹයාට ඇති වෙච්ච හැඟීමත් අපට කියනව ද?”
“මන් ඊළඟට අහන්න හිතන් හිටපු ප්‍රශ්නෙ තමයි අපේ ගඟුල් මතු කළේ. ඒ ගැනත් කියන්න දුව.”  
“සර්, මම ඒ අද්දැකීම ලබන්නේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක්ව ඉන්න කොට. අපේ ගෙදර වත්තෙ තිබුණා ලොකු ජෑම් ගහක්. තාත්තා ඔය ජෑම් ගහ යට, ඒ හෙවණෙ ඉඳගෙන ඉන්න පුළුවන් විදිහට බිම හදලා තිබුණා. අපි පාඩම් කළේ කවි සින්දු කිව්වෙ විතරක් නෙමෙයි, සමහර දවසක ගෙදර කට්ටියම බත් බෙදාගෙන ඇවිත් කෑවෙත් ඒ ගහ යටට වෙලා. කොටින්ම අපි ඔක්කොටම එයා ඕනෙ. මන් හිතන්නෙ එයාටත් අපිව ඕන උනා.”
“ඉතින් මිහිදිනී, ඒ ගහට මොක ද උනේ.”
“ඒ හරි තදින් හුළං හමපු දවසක්. ඒ හුළඟට ගහ වැටිලා තිබුණා. එයා වැටිලා හිටපු හැටි දැන් මතක් වෙන කොටත් හිතට දුකක් දැනෙනවා. ලොකු ළමයෙක් වෙලත් මම කාලයක් යන කන් හුළඟත් එක්ක තරහ වෙලත් හිටියා.”
“ඔයා ඔහොම කියන කොට මිහිදිනී, මට මතක් වෙන්නෙ අපේ මේ සර්ගෙ මිතුරුසඳ කවි පොතේ එන නොමළ රුක කියන කවි පන්තිය. ධර්මසිරි ගමගේ මහත්තයා දවසක් මහා වෘක්ෂයක් බිම වැටිලා තියෙන හැටි දැකලා, හෙවණ දීපු ගහක් වැටුණත් - ඒක මියගියත් ඒ මළගමේ පවා හරිම ලස්සනක් තියෙනවා කියලා කියලා තිබුණා. අපේ සර් ඒක සම්බන්ධ කරලා තිබුණෙ තමන්ගෙ සහෝදරයගෙ අහිමිවීමට. සර් ලියලා තිබුණෙ ඒ සෙවන රුක අහිමි උනත් ඒකම තමයි හදවතේ ජීවත් වෙන්නෙ කියලා.”
“ඔයාට මතක නම් ඒ කවිය දැන් කියන්ඩකො. මොකද මටත් තියෙනවා මම හුළඟත් එක්ක තරහ නැති කරගන්න හේතු වෙච්ච දෙයක් කියන්න.”  
“මේකයි මිහිදිනී ඒ කවිය,  
වැටුණු ගසකට සිනාසෙන ගුණය නැත  හදේ
එපමණක් නොවේ එහි සොඳුරුතා හද   රැඳේ
සෙවණ දුන් ගසේ රුව නිබඳ ව ම හද  ඇඳේ
ඒ රුව ම හිරු විලස දකිමි, නැග එන    උදේ ”
“ලියපු මටවත් පාඩම් නැති කවිනෙ ගඟුල් මේ මතකෙන් කියන්නෙ. දැන් මම කැමතියි අපේ මිහිදිනී හුළඟ එක්ක තරහෙන් මිදිච්ච හැටි දැන ගන්න.”
“ඒකට මට බලපෑවෙත් පොතක්. කොටින්ම කියනවනං ඔයා දැන් කියපු කවිය තියෙන පොතම තමයි.”  
“ඒ කියන්නෙ මිතුරුසඳ.”
“ඔව් ඒ පොත තමයි. අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ ඒකෙන් පිටපතක් තිබුණා. ඔය ජෑම් ගහ නැති දුකයි හුළඟ එක්ක තරහයි තදටම තිබුණ ඒ දවස්වල අහම්බෙන් මම මේ පොත ගත්තා. මන් ඒ වෙන කොට අපේ මේ සර් ගැන අහලවත් තිබුණෙ නැහැ.”
එසේ කියා මිහිදිනී නැවතුණේ ඒ ප්‍රකාශය නිසා සිය ආචාර්යවරයා අපහසුවට පත් වෙතියි යන හැඟීම සිත ඇති වූ බැවිනි.
“කියන්න ආපු කතාව කියන්න දරුවො. මේ ලෝකෙ හැම කෙනෙක්ම මන් ගැන දැනන් ඕනෙ කියල මම හිතාගෙන හිටියනංනෙ ප්‍රශ්නයක් වෙන්නෙ. අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ අපිව දන්න අයට වඩා නොදන්න අයගෙන් තමයි මේ ලෝකය පිරිල තියෙන්නෙ කියන එක. ඒක නිසා මගෙ අර පොත කියවන කන් ඔයා මන් ගැන දන්නෙ නැහැ කියන පුදුම වෙන්න දෙයක් නෙමෙයි ඒක හරි සාමාන්‍ය දෙයක්නෙ.”
“අනේ සර් ඒකෙ තියෙන්නෙ සර්ගෙ ඒ මහා අහිමි වීම ලෝකයට හිමි කරලා දීමක්නෙ.”
“ඔව් ඒක හරි, දැන් මට දැනගන්න ඕනෙ ඔයා හුළඟ එක්ක තරහෙන් මිදෙන්න හේතු උනේ කොයි නිර්මාණෙ ද කියන එක.”
“ඔයාට මතක ද ගඟුල් සර්, ඒ පොතේ අන්තිම හරියෙ තියෙනවා සුළඟ කියන මාතෘකාව යටතෙ ලියපු කවියක්. එකම එක කවියක් විතරයි එතන තියෙන්නෙ. මට කටපාඩම් ඒ කවිය. මන් කැමතියි ඒ කවිය ලියපු සර්ම ඒ ගැන අපට පොඩි ප්‍රවේශයක් අරගෙන දෙනව නං.”  
“ගඟුල්, මිහිදිනීගෙ ප්‍රශ්නෙත් එක්ක මම යන්නෙ අවුරුදු ගාණක් අතීතෙට. ඒ වෙන කොට අය්යා නැතිවෙලා අවුරුදු තුනක් විතර ගත වෙලා. මම මට හිතුණ වෙලාවට අය්යා මිහිදන් කරපු තැනට ගිහිල්ලා ටික වෙලාවක් ඉන්නවා. අය්යා ගොඩක් ප්‍රිය කරපු දැවැන්ත නුග ගහක් තියෙනවා ඒ ළඟ. ඒක අදටත් තියෙනවා. එදා වැහි අඳුර තිබුණත් වලාකුළු තිබිච්ච ඒ අහසේ පැහැදිලි බව නැති වෙලා තිබුණෙ නැහැ. එදා පුංචි පුංචි කුරුල්ලො පියඹලා ගිය හැටිත් මට මතකයි. ඒ වෙලාවෙ හරිම සුවදායක සුළඟක් තමයි හමා ගෙන ගියේ.”
සහන් මඳ වෙලාවක් නිහඬතාව රැකි ඒ මොහොතේ කතා කෙළේ ගඟුල් ය.
“ඔව් ඒ වෙලාවෙ සර්ට මතක් වෙන්නෙ ඇත්තෙ අපි කාගෙත් හිත්වල අද සමන් සිත්තරා හැටියට ජීවත් වෙන තමන්ගෙ සහෝදරයව.”  
“ඔව් ගඟුල්, ඔයා හරි. ඒ වගෙම මට අය්යා හුළඟ ගැන කියපු දෙයකුත් මතක් උනා. අය්යා කියනවා සුළඟ හමාගෙන යන්නෙ තමාගෙ ගුණය රැකගනිමින් කියලා. වරෙක මුදු විදිහටත් තවත් වෙලාවකට ප්‍රචණ්ඩ විදිහටත් සුළඟ හමා යනවා කියලා. මඳ පවන සිසිලයසි සුවදායකයි කියලයි මිනිස්සු කියන්නෙ. සැඬ සුළඟ විදිහට හමා යනකොට ඒක පීඩාකාරියි විපත්තිදායකයි කියලා කියන්නෙත් අර සුවදායක කියලා කියපු අයම තමයි. අය්යා කියන්නෙ මුදු බව හරි සැඩ බව හරි තුළින් සුළඟ දකින්න බැහැ කියලයි. එයා කියන්නෙ සුළඟ තුළින් සුළඟ දකින්න කියලයි.”
“ඔව් සර්, මම සුළඟ සුළඟ විදිහට දැක්කෙ සර්ගෙ ඒ අය්යා නිසා. කවදාවත්ම මම දැක්කෙ නැති කවදාවත්ම මට දකින්න නොලැබෙන ඒ අය්යා නිසා.”
“එහෙම කියන්න එපා දුව, මට මිහිදිනී කියන්නෙ මගෙ අය්යව ගැඹුරින්ම ඒ වගෙම ආධ්‍යාත්මිකව දැකපු කෙනෙක්.”
“ඒ සර්ගෙ මල්ලිම මට එහෙම ගෞරවයක් දෙන එක මට සතුටක්. දැන් සර් මට ඉඩ දෙන්න හුළඟත් එක්ක තියෙන තරහ නැතිවෙලා හුළඟ ශුළඟ විදිහට දැකලා මගෙ හිතේ තිබිච්ච අන්ධකාරය නැති කරගන්න උදව් වෙච්ච කවිය කියන්න.”
ඒ මොහොතේ සහන්ගෙන් සහ ගඟුල්ගෙන් පළ වූ පසන් නිහඬතා අනුමැතිය මැද අසන්නට ලැබුණේ  මිහිදිනියගේ අව්‍යාජ කටහඬ යි.
සිසිල ගෙන දිදී මුදු සුළඟ        නොරැඳී හමයි
ඔබ ද සුළඟකි සොයුර නොරැඳ  හදවත රැඳෙයි
නොරැඳ හමනා සුළඟ      නිබඳ සිසිලස  සදයි
ඒ සුළඟ විඳි හදක් හදින්           ගනඳුර මුදයි
සුළඟේ මාතෘකාවෙන් පසු කතාව ආරම්භ කෙළේ සහන් ය.
“දැන් අපි ආයෙත් යමු අපි කලින් කතා කළ මාතෘකාවට. පහුගිය දවසක අපි අනුරාධපුරේ ශාන්ත හාමුදුරුවො ගෙදරට වඩම්මලා උන් වහන්සේට දානෙ පිළිගන්වලා පැංචි වෙනුවෙන් පොඩි පින්කමක් කළා. එදා අපේ හාමුදුරුවො පැංචිට පින් පැමිණුවෙ කෙටි ධර්මානුශාසනයකුත් කරලයි. එදා උන් වහන්සෙ කියපු කතාවක් නිසා අහිමි වීම නිසා ඇතිවන වේදනාවන් ගැන මම මෙතෙක් හිතාගෙන හිටපු විදිහෙ වෙනසක් සිද්ද උනා.”
“සර්, අපි කැමතියි සර් ඒ වෙනසට කලින් හිතාගෙන හිටපු විදිහයි ඒ ධර්ම දේශනයෙන් පස්සෙ ඇති උන වෙනසයි ගැන දැන ගන්න.”  
“ඔව් ගඟුල්. මම කොහොමත් ඒ ගැන ඔය දෙන්නට කියන්න තමයි හිටියෙ. අහිමිවීම නිසා ඇති වන වේදනා තුනක් ගැනයි එතෙක් දවසක් මගෙ හිතේ තිබුණෙ. ඒ අපට සමීප මිනිස් ජීවිතයක් එහෙම නැත්තං සත්ත්ව ජීවිතයක් ඒ වගෙම අපේ හිත්වලට කිට්ටු වෙලා තිබිච්ච ගහක් නැති වුණාම තමයි කෙනෙකුට තව කෙනෙක් අහිමි වීමේ වේදනාව දැනෙන්නෙ කියලා. එදා ශාන්ත හාමුදුරුවො කිව්වා අනේපිඬු සිටුවරයගෙ පුංචි මිනිබිරී තමන්ගෙ කිරි අම්මා මේ ඔයාගෙ දුව කියලා එයාව ආදරෙන් බලා ගන්න කියලා පිටිවලින් හදල දීපු බෝනික්කා බිම වැටිලා කැඩිලා බිඳිලා ගියාම අඬලා තියෙන්නෙ අනේ මගෙ දුව මැරුණනෙ කියලයි. ඒ වෙලාවෙ ඒ පුංචි දුවගෙ හිත වැඩ කරන හැටි ගැන හැඟීමක් තිබිච්ච අනේපිඬු සිටුවරයා මුලින්ම කරලා තියෙන්නෙ අපි ඒ නැති වෙච්ච දුව වෙනුවෙන් දානයක් දෙමු කියලා අර පුංචි දැරිවියගෙ හිත සනසන එක. ඊට පස්සෙ ඒ කිව්ව වගෙම බුදුන් වහන්සේ ප්‍රධාන සහා සංඝරත්නයට දානයක් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ කතාව ඇහුවට පස්සෙ මට දැනුණෙ මනුස්සයෙක් සතෙක් ගහක් විතරක් නෙමෙයි ජීවිතයට සමීප දෙයක් අහිමි උනාමත් කෙනෙකුට ඒ වේදනාව දැනෙන්න පුළුවන් කියන එක.”
“ඒ කියන්නෙ අර ධර්ම දේශනයෙන් පස්සෙ සර් හිතන් හිටපු කාරණා තුනට දෙයක් කියන එකත් එකතු කරගත්තා කියන එකනෙ. හැබැයි ඒ අපි කැමති බඩුවක් මුට්ටුවක් නෙමෙයි ජීවිතයක් වගේ සමීපව දැනෙන දෙයක්.”
“ඔව් ගඟුල් ඔයා හරි.”
“අනේ සර් අපටත් දැනගන්න කියන්ඩකො ඒ ධර්ම දේශනාව ගැනත් පොඩි විස්තරයක්.”
“අපේ ශාන්ත හාමුදුරුවො එදා ඒ ධර්ම දේශනෙ කළා විතරක් නෙමෙයි ඊට පස්සෙ අපට ඒකෙ මූලාශ්‍රයත් එවලා තිබුණා. ඒකෙ තියෙන හැටියට අර කලින් කිව්ව වගෙම බුදුහාමුදුරුවො අනේපිඬු සිටුවරයගෙ ආරාධනයෙන් පන්සියයක් නමක් පිරිවරාගෙන සිටු ගෙදරට වඩිනවා.”
“සර් ඔය කතාවෙ මූලාශ්‍රෙ මොකක් ද?”
“මට අපේ හාමුදුරුවො මූලාශ්‍රෙ එවලා තිබුණා. ඒක තියෙන්නෙ ත්‍රිපිටක සාහිත්‍යයටම අයිති කරන්න පුළුවන් පේතවත්ථු පාළියෙ. ඒකෙ උරග න්‍ග්ග කියන කොටසෙ එන පිට්ඨධීතලික කියන කතාවයි ඒ. ඒ ධර්ම දේශනය නම් කරල තියෙන්නෙ ‘යං කිඤ්චාරම්මණං කත්වා’ කියලයි. යම්කිසි අරමුණක් කොට යම්කිසි අරමුණක වෙනුවෙන් වගේ අර්ථයක් තමයි ඒකෙ තියෙන්නෙ. ඒ පාළි පාඨයෙන් කියවෙන්නෙ නොමසුරු අය යම්කිසි අරමුණක් කොට, පෙර කළුරිය කළවුන් ද ගෘහවස්තු ආදියට අධිගෘහිත දෙවිවරුන් ද අරබයා දන් දෙනවා කියන එකයි. මේක බුද්ධ දේශනාවක් විදිහටයි සඳහන් වෙන්නෙ.”  
“සර්, දැන් මට හිතිල තියෙද්දි මේ ඔක්කොම තියෙද්දී පාළි ඉගෙන ගන්න.”
“බොහොම හොඳ අදහසක්. හැබැයි දරුවො ඔයා ඒක කරන්න ඕනෙ අනික් වැඩ නවත්තල නෙමෙයි, අනිත් වැඩ කරන අතරෙ. ඒක නෙමෙයි අද ඔය දෙන්නා ආවෙ නිකන්ම වෙන්ඩ බැහැ, මොකක් හරි විශේෂ දෙයක් හිතේ තියාගෙන නේද?”
“ඔව් සර්, මිහිදිනිත් මමත් දෙන්නම වෙනුවෙන් මන් ඒකට උත්තරයක් දෙන්නම්. සර් ඇත්තටම අපි ආවෙ සර්ගෙ දිනපොත්වලිනුයි සර්ගෙ ලේඛන අත්පිටපත්වලිනුයි සමාජෙට දුන්නොත් හොඳයි කියන දේවල් ගැන සාකච්ඡා කරන්න. අපි අද උනත් ලෑස්තියි සර්ට වෙලාව තියෙනවනං. නැත්නං සර් තීරණය කරලා අපි ඒකට එන්න ඕන දවස සර් අද අපිට කියන්න. එදාට අපි එන්නම්. එහෙම හොඳයි නේද මිහිදිනි?” 
ඊට පිළිතුරු වශයෙන් මිහිදිනී කෙළේ සිය හිස සැලීම ය. අනතුරුව කතා කෙළේ සහන් ආචාර්යවරයා යි.
“මම ඉදිරි දිනයකුත් ඔය ගොල්ලන්ට දෙන්නම්. අද උනත් ඔය දෙන්න ඒ වැඩේට ලෑස්තියි කිව්වනෙ. එහෙම නං අදත් අපි ටිකක් හරි වැඩ කරමු.”
“සර්, අපි මේ වෙන කොට පළවෙනි ලේඛන අත්පිටපතේ අන්තර්ගතය ගැන කතා කරලා තියෙනවා. ඒ වගෙම මට මතක හැටියට 1986 අවුරුද්දෙ සැප්තැම්බර් අග වෙනකන් සර් ලියපු දින සටහන් ගැනත් කතා කළා. සර්ගෙ දිනපොත් කියවද්දි අපි නූපන් කාලයට අයත් සිද්ධි ගැනත් අපට චිත්‍රයක් මැවෙනවා. අපි දෙන්නම ගොඩක් කැමති වැඩක් තමයි මේ.”   
“මෙහෙමයි දරුවනේ, මම රස්සාවට ගිය දවස්, බේත් ගන්න ගිය දවස්, පොලේ ගිය දවස් වගෙ අද වෙන කොට මටවත් වෙන කෙනෙකුටවත් ප්‍රයෝජනයක් නැති දේවල් පැත්තකින් තියල, කාට හරි මොන විදිහකින් හරි වැදගත් වෙන අපෞද්ගලික සටහන් ගැන විතරක් කතා කරමු.”
“සර්, ඒ විතරක් නෙමෙයි සර් කියවපු පොතක උද්ධෘතයක්, ගිය ගමනකින් උගත් පාඩමක්, හමු වෙච්ච විශේෂ චරිතයක් ගැන කියන එකත් අපෞද්ගලික තලයක රඳවන්න පුළුවන් කියලයි මටනං හිතෙන්නෙ. මන් කැමතියි සර් නොවැම්බර් 13 වෙනිදා ලියලා තියෙන මේ සටහනින් ප්‍රවේශයක් ගන්න.”
“අප ආත්මාර්ථකාමිත්වයෙන් වෙළි පවත්නා තෙක් අපෙන් අන් අයට සැබෑ සේවයක් සිදු නොවෙයි. මා තුළ පවත්නා ආත්මාර්ථකාමී ගති මොනවා ද යන්න ගැන මම නිතර විමසිල්ලෙන් සිටිමි. බස්රියක හිඳ සිටින විට ගැබිනියක, කුඩා දරුවකු වඩා ගත් මවක හෝ මහලු මවක හෝ පියකු බස්රියට ගොඩ වූ විට වහා නැගිට අසුන පිරිනමන්නෙමි. මා මෙය කරන්නේ යාන්ත්‍රික ක්‍රියාවක් වශයෙන් ද නැත්නම් තවත් කෙනෙකුගේ අපහසුව දැකීමෙන් ඇති වූ ආදරණීය හැඟීම නිසා ද? ආදරය නිසා යනු මට දීමට ඇති අවංක පිළිතුර යි.”
“සර්, අපේ ගඟුල් සර් කියන එක ඇත්තනෙ. මේක අද සර්ට වැදගත් දෙයක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒක වැදගත් වෙන්නෙ අද තරුණ වයසෙ ඉන්න අපට.”
“සර් ලියෝ ටෝල්ස්ටෝයිගෙ ඇනා කැරනිනා නවකතාව කියවලා ගත්ත දැනෙන උද්ධෘත ගොඩක් තියෙනවා, මේ දින සටහන් අතර. අපි ඒකෙනුත් උද්ධෘතයක් දෙකක් ගම්මු ද?”
“නෑ ගඟුල් ඒකට කරන්න තියෙන හොඳම දේ අපේ පාඨකයන්ට ඒ පොත කියවන්න කියන ඉල්ලීම කරන එක මිස, මේ උද්ධෘත ආයෙත් උපුටල දක්වන එක නෙමෙයි.”
“ඒ උනාට සර්, වර්තමානෙ ජීවත් වෙන අයට වැදගත් වෙන දෙයක් නම් ඒක, සර්ගෙ දිනපොතක හරි පොතක හරි මිහිදිනීගෙ හරි මගෙ හරි උනත් සමාජ යහපත කියන දේට පුංචි හරි උදව්වක් වෙනව නං ඒක උපුටලා දක්වන එකේ වරදක් නැහැ කියලයි මට නං හිතෙන්නෙ. මේ බලන්න මිහිදිනී, මේ නොවැම්බර් 28 සටහන. ඔන්න දැන් මම මේක උපුටලා දක්වන්නෙ නෑ. ඒ උනාට ඒ ගැන මගෙ වචනයෙන් කියනවා. ඒක වැදගත් වෙන්නෙත් සර්ට නෙමෙයි අපේ පරම්පරාවට.”
“මොකක් ද අප්පේ ඔය කියන වැදගත් සටහන.”  
“සර් එදා ලියනවා කෙනෙකුට උදව්වක් කරන්න ලැබීම ලොකු සතුටක් කියලා. මේ සටහන ලියපු දවස කියන්නේ තදින් වැහපු දවසක්. එදා සර් හොරණ ඉඳලා මහරගම එනවා. අතරමගදි බස්සෙකට ගොඩ වෙච්ච තරුණයෙක් සර් ඉඳගෙන හිටපු සීට්ටෙක ළඟට ඇවිල්ල හිටගන්නවා. සර් ඒ තරුණයට කියලා තියෙනවා ඒ සීට් එකේ ඉඩ තියෙන පැත්තෙ ඔයා ඉඳ ගන්න කියලා. කොහොමද ඉඳගන්නෙ, ඔය සීට්ටෙකේ ඒ පැත්ත තෙමිලනෙ කිව්වහම තමයි සර් දැකලා තියෙන්නෙ ඒක ඇත්තනෙ කියලා. සර් කරන්නෙ ඒ තෙමුණ තැන සර් ඉඳගෙන අර තරුණයට නොතෙමුණු පැත්ත දෙන එක. එයා ටික වෙලාවක් සර් දිහා පුදුමෙන් වගේ බලන් ඉඳලා එතැන ඉඳගත්තා කියලයි මේකෙ ලියලා තියෙන්නෙ. සර් මේක බැලූ බැල්මට ඒ තරන් දෙයක් නෙමෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ උනාට සර් මිනිස්සුන් අතර මනුස්සකං බෝවෙන්නෙ මේ වගෙ සිද්දි නිසා නේද?”
“ඔන්න දැන් අපිට හම්බ උනා උද්ධෘතයක් හැටියට දක්වනවට සර්ගෙ සම්පූර්ණ අනුමැතිය ලැබෙන එකක්.”
“ඒ කියන්නෙ ගඟුල් සර්, අදිකාරම්තුමාගෙ හරි සමන් සිත්තරාගෙ හරි ප්‍රකාශයක් ද?”
“ඔයාගෙ අනුමානෙ හරි මිහිදිනී, මේ අදිකාරම්තුමාගෙ ප්‍රකාශයක්. මේක සර් එකතු කරගෙන තියෙන්නෙ දෙසැම්බර් හත දින සටහන් අතරට. ඔන්න දැන් මම ඒකයි මේ කියවන්නෙ.”
“අද අපට අඩුපාඩු වී ඇත්තේ, ශීඝ්‍රයෙන් අපෙන් තුරන් වී යන්නේ දයාව, කරුණාව සහ අනුකම්පාවයි. ඉගෙනීම, දක්ෂකම, ක්‍රියාශූරත්වය කොපමණවත් තිබේ. එහෙත් අප තුළ දයාව නැති නිසා ඒ දක්ෂකම අප විසින් බෙහෙවින් ම පාවිච්චි කරනු ලබන්නේ අපේත් සමාජයේත් යහපත පිණිස නොව වැඩි වැඩියෙන් අපරාධ කිරීමට ය.
අපරාධ වැළක්වීමට ඇති හොඳම ක්‍රමය මිනිස් ගතිය යයි කිව හැකි ඒ දයාව, කරුණාව සහ අනුකම්පාව යයි සිතමි.”  
“සර් දවසක් කිව්ව නේද වචනෙ නිරුක්ති අර්ථයට අනුව අපරාධ කියන්නෙ වැරදි ලෙස සතුටු වීමට කියලා.”
“ඔව් මිහිදිනී, එහෙම ගත්තහම තව කෙනෙකුට මානසික වශයෙන් රිදවනව කියන්නෙත් අපරාධයක්. කෙනෙකුගෙ අධයාපන ගමනට කවුරු හරි බාධා කරනවනං ඒකත් අපරාධයක්.”
“ඉතින් සර් උගත් යයි කියන ඉහළටම ඉගෙන ගත් සමහර අයත් එහෙම කරනවනෙ.”
“ඔව් ඒක එච්චර ඉගෙන ගත්තෙ නැති කෙනෙක් කරනව වඩා බරපතලයි. කොහාම උනත් ඔයා කියන ඒ උගත් අයත් අපට අයිති කරන්න වෙන්නෙත් අපරාධකාරයන්ගෙ ලැයිස්තුවට තමයි.”
“සර් දෙසැම්බර් 26 දින සටහනට සර් ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශයක් එකතු කරගෙන තියෙනවා. ඔන්න දැන් මම ඒක කියවනවා.”
ඒ ඉල්ලීම ඉදිරිපත් කොට එය ක්‍රියාවක් බවට පත් කරන ලද්දේ මිහිදිනී ය.  
“ඔබගේ හදවතෙහි සාමය සහ ආදරය ඇති විට, ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලැබෙනු ඇත.”
මේ ප්‍රකාශය කිරීමෙන් පසු මිහිදිනී අතට ගත්තේ සහන්ගේ ඉංග්‍රීසි දිනපොත යි.
“සර් මේ පොතේ ඔක්තෝබර් 05 වෙනිදත් ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශයක් තියෙනවා. සර් ඒක උපුට ගෙන තියෙන්නෙ Book of Life  කියන පොතෙන්. ඒක හොඳ සාකච්ඡාවකට පදනමක් කියලයි මට හිතෙන්නෙ. මම ඒක දැන් කියවන්න ද?”  
“මට දැනිච්ච විදිහට අපි ප්‍රයෝජන ගන්නව නං අදිකාරම්තුමාගෙ ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශ කියන්නෙම හොඳ සංකථනවලට ප්‍රවේශයක්. ඔයා කියවන්න දුව, ඔයාට දැනිච්ච දැන් අපටත් දනවන්න හදන ඒ ප්‍රකාශෙ.”

If you look into yourself don't you discover for yourself that you are a secondhand human being? It may be rather understand to consider oneself as a secondhand human being. But we are full of others people's knowledge – what somebody has said, what somebody or some teacher or some guru – what the Buddha said, what the Chirst said and so on.


“මට හොඳට මතකයි දුව, ඔය ප්‍රකාශෙ. මම ඕක මුලින්ම ඇහැව්වෙ 1980 ක්‍රිෂ්ණජී ලංකාවට ඇවිල්ලා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදි  Book of Life       කියන මාතෘකාව යටතෙ කරපු දේශනේදි. මම එතකොට උසස්පෙළ ශිෂ්‍යයෙක්. මට නොතේරෙන තැන් අනිත් අයට බාදාවක් නොවෙන විදිහට ළඟ ඉඳන් තේරුම් කරලා දුන්නෙ අපේ අය්යා. පස්සෙ කාලෙක තමයි මගෙ ශාස්ත්‍රපති පශ්චාද් උපාධියට භාරතීය දර්ශන කවුළුවෙන් ක්‍රිෂ්ණ ජී ගැන අධ්‍යයනය කරන කොට එතුමාගෙ දර්ශනයෙ හරය මගෙ මට්ටමට තේරුම් ගන්න උත්සහ ගත්තෙ.”
“ඉතින් සර්, ක්‍රිෂ්ණ ජී කියන හැටියට එතුමගෙ දේවල් අරන් කතා කරන්න යනකොට වෙන්නෙත් අර කියන විදිහෙ සෙකන්ඩ් හෑන්ඩ් හියුමන් බීන් කෙනෙක් වෙන එකමනෙ.”
“ඔයා හරි දරුවො ගොඩක් දුරට අපේ උගත්කම් එක්ක අපි අනුන් උපුටා දක්වන දෙවන පන්තියේ මිනිස්සු බවට තමයි පත් වෙන්නෙ. ඒත් අපි ඒක පිළිගන්න කැමති නැහැ. කොටින්ම ඔක්කොටම කලින් මම පිළිගන්න ඕන ක්‍රිෂ්ණජී කිසිම තරහකින් නෙවෙයි අපි ගැන ආදරයෙන් කරන මේ චෝදනාව සම්බන්ධයෙන් මමත් චුදිතයෙක් වෙනවා කියන එක.”  
“සර්, අපි කෝකටත් කලින් මේ ප්‍රකාශය ගැන පැහැදිලි අදහසක් ඇති කරගෙන ඉම්මු ද?”
“එහෙමනං ඉතින් ඒක කරන්න ඕනෙ අපේ මේ ඉංග්‍රීසිකාරි මිහිදිනීම තමයි. දුව ඔයා කරනව ද මේක දිහා බලාගෙන මේකෙ පැහැදිලි නිරවුල් පරිවර්තනයක්. මොකද ඒක අපට වැඩිය ප්‍රයෝජනවත් වේවි, මේ ගැන කරන සාකච්ඡාවෙදි.”
“සර්, මේකට මම පරිවර්තනයක් කරන්න අවශ්‍ය නැහැ. ඇයි අදිකාරම්තුමා මේ ප්‍රකාශය ඇතුළත් ඒ මුළු දේශනේම සිංහලට දාලා තියෙනවනෙ 1985 දී.”  
“පොඩ්ඩක් ඉන්න එහෙනං අපි ඒක ගම්මු. මගෙ ළඟ තියෙනවා ඔයා කියන ඒ පොත.”
මෙසේ කියා සුළු මොහොතකින් සහන්, ඔබේ පොත නමින් මුද්‍රිත ඒ පොත ගෙනැවිත් එහි අදාළ පිටුව ද පෙරළා එය පත් කෙළේ මිහිදිනී අතට යි.
සහන් ආචාර්යවරයාගේ ඉල්ලීම පරිදි අනතුරුව මිහිදිනිය විසින් කරන ලද්දේ ඒ සිංහල අනුවාදය මෙසේ ඉදිරිපත් කිරීම ය.   
“ඔබ කිසිකලෙක තමා දෙස ගැඹුරට බලා නැති හෙයින් ඔබ එසේ සිටිනවා වන්ට ඇති. එහෙත් ඔබ ඔබ දෙසම බැලුව හොත් ඔබ ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති මනුෂ්‍යයෙකු බැව් ඔබට පෙනෙනවා නොවේ ද? එසේ පෙනීම අමිහිරි වන්ට පුලුවන. එහෙත් අප පිරී සිටින්නේ අනුන්ගේ දැනුමෙන් ය. වෙන කෙනෙකු කිවූ දෙයින් ය, යම් ශාස්තෘවරයෙකු හෝ ගුරුවරයෙකු හෝ කිවූ දෙයින් ය, බුදුන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේ හෝ වෙන කිසිවෙකු කිවූ දෙයින් ය.”
“හැබැයි සර්, ක්‍රිෂ්ණජී මේ කියන්නෙ ශාස්තෲන් වහන්සේලාට හරි ගුරුවරුන්ට හරි සවන් දෙන්න එපා කියන එක නේද?”
“ඔව් ගඟුල් ඔයා හරි. කිසියම් දහමක තියෙන හරය දකින එකයි, දහම නොදැක වචන මට්ටමින් කියන එකයි දෙකක්නෙ. ඇත්තටම ක්‍රිෂ්ණජී කියපු දේ නෙමෙයි එතුමට වශී වෙච්ච සමහර දෙනා කළෙත් එතුමගෙ ප්‍රකාශ ආයෙ ආයෙ කියන එක හරි ලියන එක හරි. ඇතැම් වෙලාවකට ඒ චෝදනාව මටත් අදාළ වෙනවයි කියලයි මට හිතෙන්නෙ. වෙලාවකට ක්‍රිෂ්ණජී කියනවා අපි ගොඩක් දෙනා සෙකන්ඩ් හෑන්ඩ් නෙමෙයි තර්ඩ් හෑන්ඩ් හියුමන් බීන්ස්ලා තියලා. ඇයි වෙලාවකට අපි කරන්නෙ කෙනෙක් කියපු දෙයක් තව කෙනෙක් කිව්වට පස්සෙ තුන්වෙනි වතාවට කියන එකනෙ.”  
“සර්, ඇතම් විද්වතෙක් ඉන්දියානු දර්ශන හෙළා දැකලා ක්‍රිෂ්ණජී විතරක් ඉහළට අරන් කතා කරපු අවස්ථා තියෙනවා නේද?”
“ඔව් මිහිදිනී, ඒක ක්‍රිෂ්ණජී ගැන සමහර දෙනා කරන වැරදි කියවීමක්. මට පුළුවන් ඒකට එතුමගෙ වචනවලින්ම උත්තරයක් දෙන්න. දවසකදි conditioning mind  ගැන, තව විදිහකට කිව්වොත් කාලයක් තිස්සෙ විවිධ අදහස්වලින් මතවලින් තත්ත්වාරෝපිත වෙන අපේ මනස් ගැන කතා කරමින් එතුමා එන්නෙ ඉන්දියානු මනස ගැන කතා කරන්න. ඒ වෙලාවෙ ඒ සභාවෙ හිටපු කෙනෙක් අහනවා, ඉන්දියානු මනසත් තත්ත්වාරෝපිතයි නේද කියලා. ඒකට උත්තර දෙමින් එතුමා කියන්නෙ, උපනිෂද්වලින් බුදුන් වහන්සේගෙ ඉගැන්වීම්වලින් යුක්ත මහා ශ්‍රේෂ්ඨ දේ තැන්පත් කරගත්ත ගබඩාවකට ඉන්දියාව සමාන කරන්න පුළුවන් කියලයි. ඒ වගෙම එතුමා අර ප්‍රශ්නෙට උත්තර දෙන්නෙත් ප්‍රශ්නයකින්. ඒ තමයි වසර පන්දහසක් තිස්සේ බුද්ධ මනසින් පෝෂිත ඉන්දියානු මනස තත්ත්වාරෝපිත විය හැකි ද කියන ප්‍රශ්නෙ.”  
“ඒක සර් වෙනස්ම කතාවක්නෙ. ක්‍රිෂ්ණජී වගෙ චින්තකයෙක් කරයි කියලා හිතන්න බැරි කතාවක්නෙ.”
“නෑ ගඟුල්, ක්‍රිෂ්ණජී ඒ ප්‍රකාශෙ කරලා තියෙනවා. ඒක අපිට දෙන්නෙ එතුමා ළඟින් ඇසුරු කරපු, එතුමාගෙ දේශන ලේඛන එකතු කරපු, එතුමාගෙ ජීවන වෘත්තාන්තය ලියපු පුපුල් ජයකාර් මැතිනිය. මම ඒ ප්‍රකාශය ගත්තා මගෙ ක්‍රිෂ්ණමූර්ති සහ භාරතීය දර්ශන පොතේ සමාලෝචනයටත්.”
“ඉතින් සර්, අපි ඒකත් අපේ සාකච්ඡාවට වගෙම අපේ ලියවිලිවලටත් එකතු කරමුකො.”
ගඟුල්ගේ ඉල්ලීම පරිදි ඒ කෘතිය ගෙනැවිත් මිහිදිනී අතට දුන් සහන් පැවසුවේ එහි සමාලෝචනයට එක් කොට ඇති අදාළ පාඨය කියවන ලෙස ය. දැන් ඔබට මිහිදිනියගේ කටහඬින් අසන්නට ලැබෙන්නේ ක්‍රිෂ්ණමූර්තීන්ගේ ඒ ප්‍රකාශය යි.  

"…… Do you see what I am saying? It is not a geographical question. I am talking about the Indian mind that has produced the Upanishads, the Buddha. India has been the store of something very very great.

…… So I am asking, is the mind of India-not my mind or your mind, but the mind that has evolved through five thousand years, the mind of the Buddha – can that mind ever be conditioned ? "

“සර්, ක්‍රිෂ්ණජීගෙ මේ ප්‍රකාශෙ අපිව කැඳවන්නෙ වෙනම තැනකටනෙ. ඇත්තනෙ සර් කතාව. බුදුහාමුදුරුවො පහළ වෙන්නෙත් ඉන්දියාවෙ, ජෛනමහාවීරතුමත් එහෙ. ඒ වගෙම පසුකාලීන චින්තකයන් රාශියකටත් ඒ රට උරුමකම් කියනවා. කොටින්ම ක්‍රිෂ්ණජීත් ඉන්දියාවෙනෙ. ඒක නිසා වර්තමාන ඉන්දියාවෙන් අපට දැන් වෙන හොඳ නරක ගැන හිතලා මේ මහකාරණේ අමතක කරන එක වැරදියි.”
“ඔයා හරි දුව, ඔතනින් පස්සෙත් මම ක්‍රිෂ්ණජී වගෙම තවත් ගත්ත විවිධ උද්ධෘත ඇති. ඒවා පස්සෙ කාලෙක ඔයගොල්ල ප්‍රයෝජනයට අරගෙන ලෝකයටත් දෙන්න. ක්‍රිෂ්ණජීගෙ අර ප්‍රකාශෙන් පස්සෙ ඉංග්‍රීසි දිනපොතේ වෙන උද්ධෘතවලට යන්නෙ නැතුව ඒ දිනපොතට විරාමයක් දෙමු.”
“එහෙනං සර් දැන් අපි සංස්කෘත දිනපොතට යමු ද, දෙන්න ද ඒක සර්ගෙ අතට.”
“ඒක මගෙ අතේ නෙමෙයි ඔයාගෙ අතේ තියෙනවටයි මම කැමති. කාරණා දෙකක් නිසයි, මම එහෙම කියන්නෙ. එක, අපි නවතින තැන ඉඳලා වඩා හොඳට මේ ගමන යන්න පුළුවන්කම - වාසනා ගුණය තියෙන්නෙ නව පරපුර නියෝජනය කරන ඔයගොල්ලන්ට. දෙවෙනි කාරණේ තමයි ඔයත් සංස්කෘත හදාරපු කෙනෙක්. දැන් ඔය පොතේ මොකක් හරි හොඳ ප්‍රකාශයක් තියෙනවනං ඒක මතු කරන්න මන් අවශ්‍ය නැහැ. ගඟුල්ටම පුළුවන් ඒ වැඩේ ලස්සනට කරන්න.”
“ඔන්න අපේ සහන් සර් ඔයාට දැන් පවරා දීමක් තමයි කළේ. ඔන්න සංස්කෘත ප්‍රකාශ මතු කරලා විතරක් මදි. ඒවයෙ අර්ථත් මට කියලා දෙන්න ඕනෙ ඔයා.”  
“එහෙනං මට පැවරුම් දෙකයි සර්ගෙ පැවරුමයි ඔයාගෙ පැවරුමයි. මන් උත්සහ කරන්නන්කො ඒ දෙකම මට පුළුවන් විදිහට ඉෂ්ට කරන්න. දැන් මට හිතාගන්න බැරි මන් කොතනින්ද පටන් ගන්නෙ කියන එක.”
“ඇයි ගඟුල් සර් එහෙම කියන්නෙ.”
“ඇයි කියන්නෙ මේ දිනසටහන් අතර තියෙනවා අපටත් වැදගත් වන සර් ලියපු ජීවන සංසිද්ධි. ඒ වගෙම මහාකවි කාලිදාස - ශුද්‍රක වගෙ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගෙ නිර්මාණ. ඉතින් මම කොතනින් ද මේකට ප්‍රවේශයක් ගත්නෙ.”
“ඉතින් සර් ඔයාට නිදහස දීලනෙ තියෙන්නෙ කැමති තැනකින් අරන් කතා කරන්න.” 
“එහෙමනම් මම කැමතියි, සර්ගෙ සංස්කෘත දිනපොතට සර් අ.ග. සි. කාරියවසම් මහත්තය සම්පාදනය කරපු ප්‍රභාදේවී කියන පොතට ඇතුළත් කරලා තියෙන උදෑසන දෙවඟන ගැන ලියැවෙච්ච සංස්කෘත ගීතෝක්තියකින් පටන් ගන්න. ඍග්වේදෙ උෂස් නමින් හැඳින්වෙන උදා දෙවඟනටම තමයි මිහිදිනී ප්‍රභාදේවී කියලා කියන්නෙ. තමන්ට උදෑසනක් වගෙ දැනෙන, ජීවිතයට ඇසක් දෙන, ජීවය ප්‍රදානය කරන, හදවත විකසිත කරවන ගැහැනියකට මේ ගීතය පූජෝපහාරයක්. මේකෙ සිංහල භාෂක සමාජෙටත් ආගන්තුක නැති සදා යෞවනී - චාරුදේහිනී - බුද්ධිදායිනී - භාග්‍යකාරිණී වගෙ වචනවලින් ඇයට ආමන්ත්‍රණය කරලා තමයි කවියා ඔබට මගෙ නමස්කාරය වේවා කියලා කියන්නෙ. මම කියන්න ද මේ ගීතෙ එන වචන.”
,කියන්න කියන්න ගඟුල්, හැබැයි මන් දිහා බලාගෙන නෙමෙයි අපේ මේ.....”
වාක්‍යයේ ඉතිරි කොටස සම්පූර්ණ නොකළ සහන් ආචාර්යවරයා සිනාසෙමින් ඒ මොහොතේ බැලුවේ මිහිදිනී දෙස යි.
“අනේ සර් මට විහිලු කරනවනෙ.”
“ඔයා දුව අපට විහිලුවක් නෙමෙයි. ඔයා ඇත්තටම මේ කියන විශේෂණවලින් හඳුන්වන්න පුළුවන් ස්ත්‍රී රත්නයක් විදිහටයි අපට දැනෙන්නෙ. ඒක මට වඩා හොඳින් දන්නෙ අපේ මේ ගඟුල්ම තමයි. දැන් කියන්න ගඟුල් ඔය ප්‍රභාදේවී ගීතය.”
“තමෝනාශිනී නයනකාරිණී
 ජීවදායිනී හෘද්විකාශිනී
 ප්‍රභාදේවී නමස්තේ
පහ මුදුන් සිසාරා - ඔබ කැළුම් දිවෙන  සඳ
සෝ තැවුල් මඳින් මඳ - සන්සිඳී නිවෙයි හද

උදාගිර දිලෙන ඔබ  -     මඳහසින් දිරි ලබමු
ඉසුරුබර සුබ දිනක් - ලබා දෙන මෙන් පතමු

සදා යෞවනී චාරුදේහිනී
බුද්ධිදායිනී භාග්‍යකාරිණී  
ප්‍රභාදේවී නමස්තේ”            
“ඇත්තටම ගඟුල්, ඔය සමස්ත ස්ත්‍රී වර්ගයා පිහිටන්න ඕන තැන කියලයි මට හිතෙන්නෙ. ඔය උෂස් දෙවඟන ගැන ඍග්වේදෙ ගීතිකා රාශියක් තියෙනවා. එයින් මට වැඩියෙන්ම දැනිච්ච එකක අර්ථය විතරක් මම කියන්නම්. ඒක මෙහෙමයි.
පෙරදිගින් ආලෝකය කාන්තිමත් වී අඳුර පරයා ඉදිරියට අවුත් සිටියි. සැබැවින් ම ඒ ආකාශ දියණි වූ උෂස් දෙව් කුමරියෝ බබළන්නාහු ජනයාට මග සලසා දෙත්වා!
“දැන් සංස්කෘත උද්ධෘතත් ඇති. අපි පස්සෙ දවසක 1987 දිනපොත්වල කාට උනත් ප්‍රයෝජන ගන්න පුවළුන සටහන් ගැන කතා කරමු.”
“එහෙනං සර් අපි සර්ගෙ දෙවැනි ලේඛන අත්පිටපත ගැන කතා කරමු ද?”
“මට මතක හැටියට මීට කලින් මොකක් හරි දේකට මම ඔය පොතේ අන්තර්ගතය ගැන කතා කළා. ඕකෙ තියෙන්නෙ 40 ඉඳලා 57 දක්වා තියෙන ලිපි දහ අට. සන්දේශ කාව්‍ය, නීතීඥ, අහිංසක, අසාමාන්‍ය මිනිසා, ආදරණීය විරෝධය, පරවීම, පීඩා, අපූර්ව කියන නම්වලින් තමයි මුල් ලිපි අට එන්නෙ.”  
“සර්, මට පොඩි බාධාවක් කරන්න ඉඩ දෙන්න. මොකක් ද සර් අසාමාන්‍ය මිනිසා ලිපියෙ අන්තර්ගතය.”
“මම හිතන හැටියට ගඟුල්, සාමාන්‍ය මිනිසා ඉන්න තැනින් ඉහළට ගේන්න තමන්ගෙ ජීවිත කාලය පුරා වැඩ කරන ආදරණීය ප්‍රඥාවන්තයන් තමයි ලෝකයට අසාමාන්‍ය මිනිස්සු වෙන්නෙ. බුදුහාමුදුරුවො, ක්‍රිස්තුස් වහන්සෙ වගෙ ශාස්තෘාන් වහන්සේලා විතරක් නෙමෙයි විවිධ යුගවල එහෙම චරිත ලෝකයට එනවා. ඒ ගොල්ලො ලෝකය වෙනුවෙන් වැඩ කළාට තමන්ට ලෝකයෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”
“සර්ට ඔය ලිපිය ලියන්න හේතු වෙච්ච විශේෂ කාරණයක් තියෙනව ද?”
“ඔව් මිහිදිනී, ඔය ලිපිය මට ලියන්න උල්පත උනේ ශරත්චන්ද්‍ර චට්ටෝධ්පාධ්‍යාය ලියපු ශ්‍රී කාන්ත කියන සුන්දර නවකතාව. ඒක සිංහලට පරිවර්තනය කරලා තිබුණෙ අපේ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි කියන විශිෂ්ට පරිවර්තිකාව. ඒකෙ එන තරුණ ඉන්ද්‍රනාථගෙ චරිතය මට මතක් කරලා දුන්නෙ අය්යව. මේ මුළු ලිපියම ලිව්වෙ අය්යව හිතේ තියාගෙන.”
“සර් මේ ලිපියට අරන් තියෙන උද්ධෘත අතරින් මට ගොඩක් දැනිච්ච එක මම කියන්න ද?”
සහන්ගේ නිහඬතාව ඒ කියැවීම උදෙසා ගඟුල්ට දුන් අනුමැතිය විය. ඒ තරුණ කටහඬට සාවධාන ව සවන් දුන් චරිත යුග්මය වූයේ සහන් සහ මිහිදිනිය යි.
ජීවිතයත් මරණයත් අතර සිටිමින් ආත්මාර්ථය අතහැර කටයුතු කිරීමට මේ වයසේ සිටින කෙනෙකුට හැකි වේ ද? කිසි පැකිලීමක් නොමැති ව කවදා හරි මැරෙන්න සිටිනවා යයි කියා සැහැල්ලු ස්වරයෙන් කිව හැක්කේ කීයෙන් කී දෙනාට ද? තමාගේ හදවතින්, නොඉල්ලූ වටින දෙයක් පහසුවෙන් රැගෙන දෙන මොහුගේ හදවත කවුරුන් විසින් කුමන පදාර්ථයකින් නිමා කරන ලද්දේ ද?    
“මම ඔය ලිපිය ගැන තව කතා කරන්නෙ නැහැ. මම කැමතියි මිහිදිනී, ඔයා හරි අපේ සදසි හරි ගඟුල් හරි හසිත් හරි ඔය පරම්පරාවට අයිති වෙන සුදුසු කෙනෙක් හරි මේවා අතට අරන් වැඩ කරනව නං. අන්න ඒ අරමුණෙන් තමයි මම දැන් මේවා ගැන කතා කරන්නෙ. මන්ද අපට ලැබිච්ච මේ කෙටි ජීවිත කාලෙදි කොහොමත් තනි කෙනෙකුට බැහැ මේ ඔක්කොම දේවල් කරන්න.”
“සර්, ඊට පස්සෙ මේකෙ 48 අංකය යටතෙ එන්නෙ කොසොල් සිහින කියන ලිපිය. ඊට පස්සේ ලෝක නිර්මාංසාහාර ව්‍යාපාරෙ තේමා පාඨය වෙන කාටත් ඉඩ දෙමු ජීවත් වීමට කියන ලිපිය තියෙනවා. දෙවියන් හමුවීම සහ පවරාදීම කියන ලිපි දෙක එන්නෙ ඊටත් පස්සෙ. ඊළඟට දිවීම සහ නොදිවීම. ඒකට පස්සෙ සුන්දරත්වයේ හදවත.”
“ඔන්න ගඟුල් ඔහොම ඔයා කියාගෙන යනකොට තමයි මට මතක් උනේ මන් ඔය ලිපි ගැන සටහනක් තියපු තැන. ඒ තමයි ගුරු දියවර දෙක මිහි රැඳි ගඟුල ද මේ පොතට ලියපු හද සටහන.”
“සර්, මේ 54 අංකය යටතෙ තියෙන සංස්කෘත කියන ලිපිය කඳුපාමුල පොතෙත් තියෙනව නේද? ඒ වගෙම ඒක පත්‍රිකාවක් හැටියටත් මුද්‍රණය කළා නේද?”  
“ඔව් ගඟුල්, ඒ වගෙ සැරින් සැරේ පළ වෙච්ච දේවල්වලට ඔයගොල්ලන්ගෙ කාලය අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. මම හිතනවා අපේ මිහිදිනීට පුළුවන් මේකෙ තියෙන ස්ත්‍රී ලිපිය තව විකාසනය කරලා මේකට වඩා හොඳ ලිපියක් ලියන්න. ඒ වගෙම හිරු ලිපිය පාදක කරගෙනත් ඔයගොල්ලන්ගෙන් කෙනෙකුට ලිපියක් හදන්න පුළුවන්.”
“සර්, මේ අත් පිටපතේ එන අන්තිම ලිපිය අපි ජීවත් වන හැටි හරි ද? කියන එකයි. ඒ ලිපිය ගැන සර්ට මොකක් ද විශේෂයෙන් කියන්න තියෙන්නෙ.”
“මන් හිතන්නෙ ඒ ලිපිය අද දවසෙ අපේ මේ සාකච්ඡාවෙ අවසානය සලකුණු කරන්න යොදා ගන්න පුළුවන්. මන් ඒ ගැන විශේෂයෙන් දෙයක් කියනවට වඩා හොඳයි ගඟුල් ඔය ලිපියෙ ප්‍රවේශය ගැන කතා කරන එක.”
“සර් මේ ලිපිය ආරම්භ කරන්නෙ සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා 1991 අවුරුද්දෙදි මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරපු චෙකොව් සන්ධ්‍යාවෙන්. ඒක හරිම ලස්සන තැනක්. මම පටන් ගන්නංකො ඒකෙන්ම මෙහෙම.
ඔබ අප අතර ඉතා කෙ ටිකාලයක් ජීවත් වී අපගෙන් සමුගත්තේ යැයි කීම මේ සන්ධ්‍යාවේදී අපට කිසිසේත් ම අදහන්න බෑ. අපට දැන් දැන් හැඟෙන්නේ ඔබ නිරන්තරයෙන් ම අප සමග වෙසෙන බව යි.
“සර් මේ වගෙම ලස්සන උද්ධෘතයක් තමයි ඒ පොතෙන් ඊළඟට අරන් තියෙන්නෙත්. අන්න ඒ පාඨය තමයි අර ලිපියෙ මාතෘකාව එක්කත් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නෙ. අපි ඒකත් කියවලම ඉඳිමු.”
මෙන්න මේ කාරණය මතක තියා ගන්න. මට උවමනා කරල තියෙනව හැම කෙනෙක් ම මෙන්න මේ ප්‍රශ්නය තමන්ගෙන් ම අහනව දකින්න. ..... නෝනාවරුනි, මහත්වරුනි! අහන්න තමන්ගේ ම හදවතින් මම මේ ජීවත් වෙන හැටි හරි ද වැරදි ද කියන එක.
“විශේෂයෙන් සුනන්ද සර්ගෙ පොතේ එන ඔය ප්‍රකාශෙ තමයි මට අර ලිපිය ලියන්න උල්පත උනේ. මට හොඳට මතකයි ඔය ලිපිය ලියපු දවස. එදා මගෙ ඥාති සහෝදරයෙක් වෙන ප්‍රමිල අය්යගෙ දුව සමීරා චාරුතරංගී දුවට මම අකුරු කියවපු දවස. එද මම මට හිතිච්ච දේ ලියල ඇති ගඟුල් ඔය ලිපියෙ.”
“ඔව් සර්, සර් එදා ලියනව මෙහෙම. අපි දරුවන්ට කියල දෙන්න ඕනෙ භෞතික අකුරු විතරක් නෙමෙයි ඒ ඉගෙන ගන්න අකුරු අනාගතයෙදි සමාජය තියෙනවට වඩා යහපත් කරවීම සඳහා යොදවන්න කියලා. මොකද මේ වෙන කොට අකුරු ඉගෙන ගත්ත අය යහපතට අකුරු යොදවද්දි අකුරු ඉගෙන ගත්ත තව පිරිසක් ඒ අකුරුම සමාජ අයහපතටත් යොදවන නිසා.”
“මට ඔය දෙන්න කියන්න තියෙන්නෙ මේ ගතව ගිය ජීවිත කාලෙ පුරා මන් මම ඉගෙන ගත්ත සිංහල හරි සංස්කෘත හරි ඉංග්‍රීසි හරි මොන අකුරක් හරි යොදා ගත්තෙ මම විශ්වාස කරන සමාජ යහපත වෙනුවෙන්. ඒ අකුරුවලින් ලියපු සටහන් දැන මම ඔයගොල්ලන්ට පවරල දෙන්නෙ ඔය ගොල්ලන් ඒ සමාජ මෙහෙවර මටත් වඩා හොඳින් ඉස්සරහට ගෙන යයි කියන දැඩි විශ්වාසෙ මට තියෙන නිසා.”  
“සර්, මාත් මිහිදිනිත් දෙන්නම මේ වැඩේට එකතු උනේ බොහොම කැමත්තකින්. සර් අපි ගැන තියපු විශ්වාසෙ කවදාවත් අපෙන් කඩ වෙන්නෙ නැහැ කියන වචන ටික තමයි මට අපි දෙන්න වෙනුවෙන්ම කරන්න තියෙන්නෙ.”
“එහෙනම් මට මෙතෙන්ටත් සම්බන්ධ කරන්න වෙන්නෙ අය්ය කියපු දෙයක්ම තමයි. එයා පොඩි සටහනක් ලියල තිබුණා පෘථිවි ගීතය කියලා මෙන්න මෙහෙම.  මෙතනින්
මම ඔබ වෙමි - ඔබ මා වනු මැනවි
දැන් මේ එළඹිලා තියෙන්නෙ මම ඔබ වීම කෙසේ වෙතත් ඔය ගොල්ලන්ගෙ වැඩ කරන අතරෙ මන් මෙතෙක් කරගෙන ආපු වැඩත් කරන එක.”
“සර් අපි තවදුරටත් අද වැඩ කරනව ද? එහෙම නැත්තං අදට මෙතනින් නවතිනව ද?”
“ඔය දරුවො දෙන්නට අපේ අද දවසෙ නැවත්ම සලකුණු කරන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නෙ මන් කිව්වත් නොකිව්වත් ඔය දෙන්න කොහොමත් කරන දෙයක්. මම කෝකටත් ඒක මගෙ වචන මට්ටමින් කියන්නම්.
ගඟුල් - මිහිදිනී, ලෝකයෙ කඳුළු තියෙන තැනට ඔය දෙන්න ස්නේහයේ රූපයෙන් යන්න. අඳුර තියෙන තැනට පහනක් වෙන්න. දාහයෙන් දැවෙන තැනට වැසි පොදක් වෙලා එන්න. සුවඳ අහිමි වෙච්ච තැනට මල් සුවඳක් වෙලා යන්න.
කිරට අඬන තැනට අම්මා කෙනෙක් වෙන්න. තාත්තා නැති තැනට පිතෘ ප්‍රේමය අරගෙන යන්න. කෙනෙක් සිසිලස හොයන කොට එතෙන්ට මුදු සුළඟක් වෙලා යන්න. මාව අමතක කරන්න. ඒත් මම නිතර නිතර කතා කරන ඒ අහිමි වෙච්ච හදවත ජීවිතයට සමීප කරන් ඒ හදවතින් ලෝකයට එන්න.”
“සර් මේ කතා කරන්නෙ 1999 අවුරුද්දෙ සර් ලෝකයට කවියෙන් කියපු දේම මිස වෙන දෙයක් නෙමෙයි. ඔය අදහස තියෙන කවි දෙක තියෙන්නෙ මගෙ හිතේ ගැඹුරුම තැනක. අපි ඒ කවි දෙකෙන් මේ සාකච්ඡාව අවසාන කරමු.”
මෙසේ සංකථන සමාප්තිය සිදු කරන ලද්දේ ගඟුල් විසිනි.

කඳුළු මුදන විට ලොව, සෙනෙහස වෙසින් එමි
අඳුර නැගෙන විට     මම පහනක් වෙමින් එමි
සිරුර දවන විට වැසි දිය පොද       අරන් එමි
සුවඳ අහිමි විට මල් සුවඳක් වෙසින්         එමි

කිරට අඬන විට අම්මා කෙනෙකු ලෙස      එමි
පියෙකු සොයන විට පිය සෙනෙහස වෙසින් එමි
සිසිල සොයන විට සුළඟක       දැවටෙමින් එමි
මහද අතැර අහිමි ව ගිය            හදවතින් එමි

Saturday, July 25, 2026

152. ගුරු දියවර 57 - සමන් චන්ද්‍ර රණසිංහ


පෙරදිග අධ්‍යාත්මයේ එක් ඉසව්වක් සොයා චීනය වෙත ගිය ගමනක්

ආදරණීය සිසු පුතු ගඟුල් සහ දයාලු සිසු දියණි මිහිදිනිය වෙත ඉතා ආදරයෙනි,

ඔබ දෙදෙනාට චීනයට යාමට පෙර පොරොන්දු වූ පරිදි එහි දී ලද අද්දැකීම් ඔබ දෙදෙනා සහ ගුරු දියවර සහෘදය පාඨකයන් සමග මේ ආකාරයට බෙදා ගනු කැමැත්තෙමි. 

අපි ජූනි 02 රාත්‍රියේ සම්මත වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12. 05 ට එනම් 03 වැනිදා සමාරම්භයේ කටුනායක ගුවන් තොටුපලින් මැලේසියානු ගුවන් යානයකින් එරට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පිටත් වූයෙමු. ඒ සඳහා පැය තුනකට මඳක් වැඩි වේලාවක් ගත විය. ඔබේ ආදරණීය ගුරු මව, ඇගේ සොයුරිය, ඔබ දෙදෙනාගේ හද ගත් හසිත - සදසි යුග්මය මෙන් ම අපගේ ආදිවිද්‍යාර්ථි සහෘදයකු වන සුසිල් විජේරත්න ද මේ ගමනට එක් වූහ. 

මැලේසියානු ගුවන් තොටුපල, චීනය බලා යන ගමනේ දී අපගේ එක් නැවතුම්පලක් විය. එහි අපි පැය දොළහකටකට මඳක් වැඩි කාලයක් ගත කෙළෙමු. එය අපට ගුවන් තොටුපල පරිශ්‍රයේ සිට මැලේසියාව විඳීමට ලැබුණු අවස්ථාවක් විය. ඒ ගුවන් තොටුපල විසල් මුත් සරල ය. එසේ ම පිරිසිදු ය. එහි සිට එළිමහන දෙස බලන අපට මැලේසියාවේ මාර්ග දෙකක ගමන් කරන රථවාහන දිස් වෙයි. ඒ අතර බස්රථ මෝටර් රථ ත්‍රීවීලර මෙන් ම යතුරුපැදි ද විද්‍යමාන ය. මේ හැරුණු කොට තරමක ඈතින් දිස්වන වන රොදක් ද විය. මේ මොහොතේ අපගේ සිහියට නැඟුණේ මේ දේශයේ  පුත්‍රමැලේසියා සරසවියේ සිය ආචාර්ය උපාධිය උදෙසා අධ්‍යයන කටයුතු කළ අද්‍යතනයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වශයෙන් සේවය කරන ඔබ ද දන්නා හඳුනන අපගේ චිරකාලීනමිත්‍ර ආචාර්ය ශාන්ත අබේසිංහ සහෘදයා ය. ඔහුගෙන් මේ රට පිළිබඳ ව බොහෝ දේ දැන ගැන්මට අපට අවකාශ ලැබී තිබේ.

මැලේසියාව පිළිබඳ දෙවැනි අද්දැකීම නම් තරමක උත්ප්‍රාසාත්මක එකකි. මෙයින් විසිපස් වසරකට පමණ පෙර දවසක මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සඳහා වැඩමුළුවක් විය. ජපුර සරසවිය නියෝජනය කරමින් පසුකලෙක එහි උපකුලපතිවරයා වශයෙන් සේවය කළ ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහාත්මා ඇතුළු නියෝජිතයන් පස් දෙනෙකු සහභාගී වූ අතර මම ද ඒ කණ්ඩායම නියෝජනය කෙළෙමි. දෙදිනක් තිස්සේ පැවති එහි පළමු දිනයේ හවස් වරුවේ එක් දේශනයක් සිදු කරන ලද්දේ මැලේසියානු සරසවියක මහාචාර්යවරයකු විසිනි. මාතෘකාව Human Relatioionships  - මානව සම්බන්ධතා නම් විය. දේශනය අවසන් වූ පසු ආචාර්ය කරුණාරත්න මහාත්මා මානව සම්බන්ධතාවල වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ විට යටකී මහාචාර්යතුමා පැවසුවේ වෙලාව හවස පහ බැවින් ද එය අද දවසේ වැඩමුළුව අවසන් කරන වෙලාව බැවින් ද තමාට ඊට පිළිතුරු දීමට කාලයක් නොමැති බව ය. අවශ්‍ය නම් පසුදා පිළිතුරක් දිය හැකි බව ය. අපට ඒ මොහොතේ ඇති වූ ගැටලුව වූයේ මානව සම්බන්ධතා ගැන පැය දෙකක් තිස්සේ කතා කළ මහාචාර්යවරයාට සුහද ව ඇසූ ප්‍රශ්නයට ඒ මොහොතේ පිළිතුරු දිය නොහැකි වූයේ මන් ද යන්න යි. එහෙත් මේ කාරණය සමස්ත මැලේසියාව පිළිබඳ සිතේ චිත්‍රයක් ඇඳගැන්මෙහි ලා කාරණයක් කොට නොගන්නා මෙන් ඔබ දෙදෙනාගෙන් ඉල්ලා සිටිමි. මන්ද මැලේසියාව යනු තනි පුද්ගලයකුගේ නියෝජනයක් නොවන බැවිනි.  

සිනහ වන විට සිනහ වන, භාෂාවකින් තොර ව අදහස් හුවමාරු කොට ගැන්මට ප්‍රයත්න දරන, මානවයන් හමු වන විට අපට දැනුණේ සන්නිවේදන කාර්යය භාෂාවකින් තොර ව ද සිදු කළ හැකි බව ය. භාරතීය මහාසාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ද මේ සම්බන්ධ ව සිය සිය කුණාටුව නවකතාවේ දී එවන් අදහසක් පළ කොට තිබුණා මට මතක ය.

ශ්‍රී ලංකාවේ වෙලාවත් මෙරට වෙලාවත් අතර පැය දෙකහමාරක වෙනසක් තිබේ. මෙරට උදෑසන 8.30 යනු ලංකා වෙලාවෙන් අළුයම හය යි. චීනයේ තියැන්පූ ගුවන් තොටුපල බලා යන මැලේසියානු ගගනයාත්‍රාව ඇත්තේ මෙරට වෙලාවෙන් රාත්‍රි 7.05 ට ය.

ගඟුල් - මිහිදිනී, මෙතැන් සිට මම ලේඛන භාෂාවෙන් නොව කථන භාෂාවෙන් ද සුදුසු පරිදි අදහස් ඉදිරිපත් කරනවා. මෙරට මෙන් ම නොරට දරුවන් ද ගුවන් තොටුපල පුරා ඒ මේ අත දිව යන ආකාරය අපට පේනවා. කොයි රටේත් දරුවන් යනු දරුවන් ම තම යි. මේ දරුවන් අතර ජාති - දේශ - ආගම් - කුල භේදයක් නැහැ. මට හිතෙන්නේ වැඩිහිටියන් තමන් ආදර්ශයට ගන්නැ යි කියනු වෙනුවට ඔවුන් දරුවන් ආදර්ශයට ගැනීම වඩා සුදුසු බව යි.

ගුවන් තොටුපලේ තරමක් විශාල සොබාදම් පරිශ්‍රයක් තිබෙනවා. එය අපේ විහාරමහාදේවී උද්‍යානය වගෙයි. මෙහි පරිසර සංරක්ෂණය උදෙසා තාක්ෂණය ද භාවිතයට ගෙන තිබෙනවා. නිර්මාංසාහාර තිබෙන ආපනශාලාවක් ද දෘශ්‍යමාන යි. අපි උදේ ආහාර ගත්තේ එතැනින්. මෙහි මුදල් ඒකකය  රිංගිත්. රිංගිත් විස්සක් ගෙවා යන්ත්‍රාණසාරී පුටුවක හිඳ විනාඩි විස්සක් හිස - අත් පා සම්බාහනය කොට ගත හැකි යි.

සිනහව - දුක - සතුට - කම්පන ලොව ඕනෑම රටක මනුෂ්‍යයනට පොදු යි. ගුවන් තොටුපලක් යනු ද ඒවා ප්‍රකාශයට පත් වන තැනක්. මෙහි දී මහපොළොව යටින් දිවෙන මෙට්‍රෝ දුම්රිය ගමන් පිළිබඳ අද්දැකීම අපි කීප වරක් ලැබුවා.

නිශ්චිත වෙලාවට එනම් රාත්‍රී 7. 05 ට චීනයේ තියැන්පූ බලා අපේ ගුවන් යානය ගමන් ආරම්භ කළා. වැසි සහිත ගිගුරුම් දෙන වාතාවරණයක් තුළ යි, මේ ගුවන් ගමන් සිදු වුණේ.

ගඟුල්, ජීවිතයට දේශාටනය අවශ්‍ය යි.  ජීවිතාටනය පිළිබඳ වෙනස් ඇසකින් දැකීම වෙත මේ දේශාටන අපට උදව් කරනවා. අවිදූර අනාගතයේ දී මිහිදිනී සමග දේශාටනයෙහි යෙදීම සඳහාත් දැන් ම සිට පසුබිම සකස් කරගන්න.  

චීනයේ තියැන්පූ ගුවන් තොටුපළ ද විශාල එකක්. එතැනින් කුලීරියකින් අපි අපේ නවාතැන වන හෝටලය වෙත යාමට පිටත් වුණා. කිලෝමීටර් 50 කට ආසන්න දුරක් අපි ආවා. මෙහෙත් කුලී රථවලට සංචාරකයන් සම්බන්ධ කර ගැන්මෙහි ලා තරගයක් තිබෙනවා. ඒ සඳහා තැරැව්කරුවන් ද සිටිනවා. ඒ අය වෑයම් කරන්නේ තමන්ට යම් කොමිස් මුදලක් ලැබෙන රථයකට අප සම්බන්ධ කිරීමට යි. මේ අවස්ථාවලදීත් මා කරන්නේ මේ දේශයේ මානව චරණ නිරීක්ෂණය කිරීම යි. මට මතක් වන්නේ ආචාර්ය අදිකාරම්තුමන්ගේ සිතිවිලි 4 නිකම් ඉඳීම පොතේ එන එක් ප්‍රකාශයක්. එම ලිපියේ මාතෘකාව වන්නේ අද සිටින ප්‍රමාණයට වඩා සතුටින් ජීවත් වීමට අපට නොහැකි ද? යන්න යි. මන් කැමතියි දැන් ඒ ප්‍රකාශයට ඔය දෙන්නගෙත් අවධානය යොමු කරන්න.  

“පාරක් අයිනට වී පාරේ ගමන් කරන අයගේ මුහුණු දෙස බලා සිටිය හොත් ඇතුළේ සතුට පිළිබිඹු වන මුහුණක් ඇති වැඩිහිටියකු දකින්ට ලැබෙන්නේ කලාතුරකින් බව පෙනෙනවා ඇත. ප්‍රීතිය හඟවන මුහුණක් දකින්ට ලැබෙතොත් ඒ ලාබාල වියෙහි හෝ තරුණ වියෙහි හෝ පිහිටි කෙනෙකුගේ පමණ ය. මිනිසුන් සහ ගැහැණුන් වයසින් වැඩෙත්ම කුඩා කාලයේ දී ඔවුන් ඇතුළේ තිබුණ ස්වාභාවික ප්‍රීතියට කුමක් සිුද වන්නේ ද? කෙනෙකු තුළ ප්‍රීතිය තිබේද නැද්දැයි දැන ගත හැකි වන්නේ ඔහු ක්‍රීඩාවක් බලන විට හෝ වෙනයම් විනෝදයක යෙදී සිටින විට හෝ නොව නිකම් සිටින විට ය. මිනිසෙකුගේ අභ්‍යන්තරික තත්ත්වය ඔහු වැඩක හෝ විනෝද ක්‍රියාවක හෝ නොයෙදී නිකම් සිටින විට ඔහුගේ මුහුණෙහි පිළිබිඹු වන බැවිනි. අභ්‍යන්තරික ප්‍රීතිය මලක ලස්සන මෙන් ස්වාභාවිකව ද නිරායාසයෙන් ද පිහිටන දෙයකි. ක්‍රීඩා කිරීම, විනෝද ක්‍රියාවක යෙදීම, මත්පැන් බීම ආදි වූ යමකින් ප්‍රීතිය ඇතිකර ගැනීමට කෙනෙකු උත්සාහ කරන්නේ කුඩා කාලයේ දී තමා තුළ ස්වාභාවික ලෙස පැවති අභ්‍යන්තරික ප්‍රීතිය නැති වී ගිය විට ය. ඒ කරන සෑම දෙයක් ම තමා ප්‍රීතිමත් යයි තමා රවටා ගැනීමට කෙරෙන උත්සාහයක් නොවේ ද?”

මානව නිරීක්ෂණයෙහි යෙදෙන විට පමණක් නොව විවේකී ව සිටින විට ද අදිකාරම්තුමා කී ලියූ මෙබඳු දේ සිහි වෙනවා. ඔබ දෙදෙනාටත් අදිකාරම්තුමාගේ ඉහත සඳහන් ආලෝක ප්‍රකාශය සතිමත් ජීවිතයක් උදෙසා වන කමටහනක් වේවා යි ප්‍රාර්ථනා කරනවා.

දැන් යළිත් අපි අපේ කතාවේ නැවත්වූ තැනට යමු. තැරැව්කරු කෙසේ වෙතත් අපට ලැබුණු තරුණ රියැදුරු මිතුරා නම් ප්‍රසන්න යි. අප ආ රථය අඩු මානව ක්‍රියාකාරිත්වයක් සහ වැඩි තාක්ෂණික භාවිතයක් ඇති නවීන මෝටර් රථයක්. අපගේ රශ් රියේ මෙන් එහි ද සත් දෙනෙකුට ගමන් කළ හැකි යි. මට සිහිපත් වූයේ ඔබ අප සියලු දෙනා එක් ව ගිය මොනරාගල ගමන යි. අපි රෑ බෝ වී අපේ නවාතැනට ආවා. ගමන් වෙහෙස නිසා අප කාටත් තදින් නින්ද ගියා. 

මිහිදිනී, මම දිනක් ඔබ සමග විස්තර කතා කළ චීන ජාතික බාජින්ගේ පවුල නවකතාවත් එය සිංහලයට පරිවර්තනය කළ ආනන්ද කුමාර ජ්‍යෙෂ්ඨ ලේඛක සහෘදයාත් සිහිපත් වුණා. ඒ වගේ ම අපේ පීඨාපතිවරයකු වූ මහාචාර්ය චන්ද්‍රකුමාර මිතුරා සමග එවක කැලණිය සරසවියේ චීන භාෂාව ඉගැන් වූ මහාචාර්ය හව් මින් මහාත්මා හොඳ සිංහලයෙන් කතා කළ සැටි ද සිහි වුණා. ඒ චීන මහාචාර්යවරයා එදා අප සමග ඉතා හොඳ සිංහලයෙන් කතා කළ ආකාරය ද අපට අනුස්මරණීය මතකයක්.

දැනට චීනයේ ජීවත් වන මහේශ් - දිලිනි දම්පතීන් සහ කුඩා දියණි තරුචමා මෙරට ඉතා දුර ඈත පෙදෙසක සිට අප ගැන සොයා බලනවා. චීනය බලා එන ගමනේ දී අප අධ්‍යයනාංශයේ කථිකාචාර්ය තිලිණි රණසිංහ දියණිය ද අපට යම් යම් උපදෙස් දුන්නා. 


මට චීනයේ අධ්‍යාත්මය සොයා යන ගමනේ දී මෙයට තිස්පස් වසරකට පෙර කියැවූ චීන බුද්ධි මහිමය පොත මතක් වෙනවා. ඒ පොත සිංහලයට නගා තිබෙන්නේ එච්. ඇම්. සෝමරත්න මහාත්මා යි. එය එවක අය්යාත් මාත් දෙන්නාම ආශාවෙන් කියවූ පොතක්. මගේ දින සටහන් අතර එයින් උපුටා ගත් යම් යම් උද්ධෘත ද තියෙනවා. ඒ පොත ගැන ද මෙහි යම් සඳහනක් කොට, මේ මොහොතේ ඉන් ගත් උද්ධෘතයක් දෙකක් ඔබ දෙදෙනා සමග බෙදා ගැන්මට මට සිතෙනවා. මෙය 1961 වර්ෂයේ කොළඹ ගුණසේන සමාගමෙන් මුද්‍රණය කරන ලද පොතක්. පරිච්ඡේද හතකින් එය සමන්විත යි. එහි එන පළමු පරිච්ඡේදයේ චීන උපදේශ 62 ක් අන්තර්ගත යි. එහි එන ප්‍රකාශ අතර එන පහත සඳහන් ප්‍රකාශ මට තදින් දැනුණා.

අලුත් අර්බුදයක් නිසා පැරණි කරුණාවන්තකම් අමතක නොකරන්න.

මල් පිපෙන හා පරවන අන්දම පමණක් බලා ගන්න. මේ තැනැත්තා හරි ය අර තැනැත්තා වැරදි යයි නොකියන්න. 

මේ පොතේ දෙවනු ව චීන දාර්ශනික ලාඕට්සේ ගැන හැඳින්වීමක් කොට ඔහුගේ සූශීල ගුණධර්ම නම් ග්‍රන්ථයෙන් උපුටා දැක්වීම් සිදු කොට තිබෙනවා. ජීවිතය පිළිබඳ රිද්මය, ක්‍රියාවිරහිත කාර්යය, ජලය, තරග කිරීමේ නිස්සාරත්වය, මිනිස් හදවත්, බිළිඳාගේ සාධුගුණ, පාලන කලාව, ත්‍රිවිධ සම්පත්තිය, දැඩි සහ මොළොක්  යන මාතෘකා යටතේ එන, එක්තරා අන්දමක කාව්‍යෝක්ති සේ ද සැලකිය හැකි ඒ ලාඕට්සේ ප්‍රකාශ මට තදින් දැනුණා. ඔබ දෙදෙනා යම් දිනයක මේ පොත කියැවිය යුතු යි. ඒ සඳහා වන පෙළඹවීමක් වශයෙන් එහි ජලය නම් මාතෘකාව යටතේ එන ප්‍රකාශයේ මුල් වගන්ති කිහිපය මම මෙහි උපුටා දක්වනවා.

උත්තරීතර පුද්ගලයෝ ජලය වැන්නෝ ය.

ජලය හැම දෙයට ම ප්‍රයෝජනවත් වෙයි.

එසේ ම අන් දෑ සමග තරග නොකරයි.

එය හැම දෙන ම අවමන් කරන පහත් තැන්වල වැජඹෙයි.  

එහෙයින් එය සත්‍යයට නුදුරු ය.

මෙබඳු ආලෝක ප්‍රකාශ 35 ක් මෙහි දෙවැනි කොටසේ අන්තර්ගත යි.

මෙහි තෙවනු ව ඇත්තේ ලාඕට්සේගේ මරණයෙන් අවුරුදු 150 කට පමණ පෙර මෙලොව උපන් බව කියැවෙන චූආට්සේ නම් යෝගියාගේ ප්‍රඥෝක්ති යි. පුංචි පුංචි කතා අනුසාරයෙන් එතුමා විසින් කරනු ලැබ ඇත්තේ ජීවිතය විවරණය කිරීම යි. නියම තරාතිරම, මිනිස් ලොව, ශිෂ්ටාචාරත්වයට විරෝධය ප්‍රකාශ කිරීම සහ අශ්ව කූර යන ලේඛන මාර්ගයෙන් එතුමන් විසින් කරනු ලැබ ඇත්තේ එම කාර්යය යි. මෙහි සිවුවැනි කොටසේ ඇත්තේ කොන්පියුසියස්  නමැති මහා චීන දාර්ශනිකයාගේ සදුක්ති අන්තර්ගත ලේඛන යි. මේ වූකලී ලොව සිටින තාක් රාජ්‍ය පාලකයන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ලේඛන යි. විශේෂයෙන් රාජ්‍ය තන්ත්‍රයේ නියෝජිතයන් ද සරසවිවල දේශපාලන විද්‍යා අංශ සහ පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරු ප්‍රජාව ද මෙම ලේඛනවලට සාවධාන විය යුතු යි. හමු වූ දවසක මේ පොත අපේ සරසවියේ පුස්තකාලයෙන් අරගෙන බලන්න. ඒ බලා රාජ්‍යයේ විශිෂ්ටාර්ථය, ආචාර නීතිය හා දේශපාලනය, මැදුම් පිළිවෙත, මානව මිම්ම යන මාතෘකා යටතේ ඇති ලේඛන ඔබ ද කියවා අදාළ අනෙකුත් අය විසින් ද කියවීමට සලස්වන්න.  

තදනන්තර ව එන්නේ සාර්වභෞමික ප්‍රේමය සමාජයේ මෙන් ම සාමයේ පදනම බව ඉගැන්වූ මොට්සේ නමැති දාර්ශනිකයාගේ ප්‍රකාශ යි. කොන්පියුසියස්තුමාට වසර සියයකට පමණ පසු ජීවත් වූ මොට්සේට කොන්පියුසියස්ගේ ඇතැම් අදහස් සම්බන්ධයෙන් විවේචනයක් තිබුණා. මෙහි එන ඔහුගේ  සර්ව ව්‍යාප්ත ප්‍රේමය, ආක්‍රමණික යුද්ධ ගර්හා කටයුතු ය, ආදර්ශ අවශ්‍ය යි යන ලේඛන ත්‍රිත්වය ඔබ දෙදෙනා විසින් ද අනිවාර්යයෙන් ම කියවා බැලිය යුතු යි. මෙයින්කිබිති චීන භාව ගීත යන මාතෘකාව යටතේ කාව්‍ය නිර්මාණ කිහිපයක් ද චීන උපදේශ කථා යන මාතෘකාව යටතේ කතා කිහිපයක් ද චීන ජන කථා යන මාතෘකාව යටතේ ජන කතා කිහිපයක් ද දක්නට ලැබෙනවා. අවසාන වශයෙන් ඇත්තේ ඉතිහාසය - චීන ප්‍රජාතන්ත්‍රවාදය යන මාතෘකාව යටතේ ඇති ලේඛනය යි. එම ලේඛනය අවසානයේ ඇති සඳහන අප කාගේත් අවධානයට ලක් විය යුතු යි. චීන චාරිකාවේ දෙවැනි දිනයට අදාළ තොරතුරු ලියන්නට මා යොමු වන්නේ එම පාඨය උපුටා දැක්වීමෙන් පසුව යි.

රටක පරිහානිය හා විනාශය එක් මිනිසකුගේ දුර්ගුණය නිසා සිදු විය හැකි යි. රටක ශ්‍රී විභූතිය සහ ශාන්තිය ද එක් මිනිසකුගේ සද්ගුණය නිසා පහළ විය හැකි ය’

අපේ චාරිකාවේ දෙවැනි දිනය චෙණ්ඩු පෙදෙසේ සුන්දර අර්ථ සොයා ගිය ගමනක් කියා නම් කරන්නට කැමතියි. නිල් අවකාශයේ සුදු පක්ෂීන් හෝ සුදු වලාකුළු සේ හැඟෙන සේ නිර්මිත චිත්‍ර අප නැවතී සිටින මෙම හෝටලයේ දෘශ්‍යමාන යි. උදේ හෝටල් පරිශ්‍රය මැදින් ඇවිද අපි සය දෙනා දුම්රියපලට ආවා. භාෂා පරිවර්තකගේ මෙහෙවර අඛණ්ඩ ව සිදු කරන්නේ අපේ ගමන් සගයා වන සුසිල් විජේරත්න යි. ඔහුගේ චීන භාෂා දැනුම අප කාටත් ඉතා ප්‍රයෝජනවත් වුණා. භූගත දුම්රියකින් තමයි, අපේක්ෂිත තැනට යා යුත්තේ. ඒ යන ගමන මානව නිරීක්ෂණයක් ද වුණා. මෙහි චීන භාෂා භාවිතය උපරිම යි. ඉංග්‍රීසි භාවිතය අවම යි. උදේ පැණි රස පාන් සහ සුදු පාන් තමයි අපට ආහාරයට ගන්නට තිබුණේ. අනතුරුව අපි තේ හදාගෙන පානය කළා. පුංචි කාලයේ ඉතිහාසය ඉගෙන ගනිද්දී පෘතුගීසීන්ගේ පැමිණීම ගැන කොට ඇති ප්‍රකාශය යි, මා සිහිපත් කළේ අපේ පිරිසට. ඒ පෘතුගීසීන් සුදු ගල් සපා කමින් ලේ බොන්නාහ ආදි වශයෙන් ඇති ප්‍රචලිත ප්‍රකාශය යි.  

එලිවේටර් භාවිතය මෙහි අත්‍යධික යි. අද අපි චීන පන්සලක් බැලීමට ගියා. පැරණි ගෘහනිර්මාණ සහිත එතැන අද වන විට වෙළඳ නගරයක් බවට පත් ව තිබෙනවා. එතැන සංචාරක ආකර්ෂණය දිනා ගන්නා තැනක් බවට යි, පත් කරගෙන ඇත්තේ. මෙහි නිර්මාංසාහාර භාවිතය අත්‍යල්ප වුවත් අපගේ අවශ්‍යතාව කී විට අපට අවශ්‍ය පරිදි ආහාර සකසා දීමට ආපනශාලාවේ සේවක - සේවිකා ප්‍රජාව මැලි වුණේ නැහැ. ඒ අනුව පහසුවෙන් අපට මස්මාංසයෙන් තොර නූඩ්ල්ස් දිවා ආහාරය සඳහා ලබා ගත හැකි වුණා.

අද එන ගමන් අපි සියෑන් සහ බීජින් බලා යන ඉදිරි ගමන් සඳහා අවශ්‍ය කරන දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත්තා. මේ දුම්රියපළත් එක්තරා ආකාරයක ගුවන් තොටුපලක් වැනි යි. අපගේ අවශ්‍යතා කී හැම අවස්ථාවක දී ම පොලිස් නිලධාරීන්, දුම්රිය නිලධාරී මහතුන් මෙන් ම මගී ජනතාව ද අපට උදව් කළා. උපකාරක ගුණය මේ කා වෙතිනුත් නොමඳ ව ප්‍රකාශයට පත් වුණා. කොන්පියුසියස්තුමා අවධාරණය කොට ඇති කරුණාව මුසු ආදරය චීන ජනතාවගේ ජීවිතවලින් ප්‍රකාශයට පත් වන ආකාරය අපි දුටුවා.   

මෙහි සිටියදී මට ලියෝ ටොල්ස්ටෝයි නම් රුසියානු මහා සාහිත්‍යධරයාට බලපෑ තෝරෝ නම් මහා චීන දාර්ශනිකයා සිහි වෙනවා. එසේ ම සටන හුදු සටනකට එහා ගිය කලාවක් බවට පත් කළ බෲස්ලී නමැති මහා සටන්කරු සිහි වෙනවා. එසේ ම එවක සමන් සිත්තරා සමග බැලූ ඩේවිඩ් කැරඩීන් නමැති විශිෂ්ට රංගධරයා කේන් නමැති ආදරණීය මහා සංග්‍රාමිකයාගේ භූමිකාව රඟ පෑ ඒ කතා මාලාව සිහි වෙනවා. ඒවාට ඉතා හොඳ සිංහලෙන් 

දෙබස් කවා අපට සමීප කළේ මෙරට සිටි සුදක්ෂ අධ්‍යක්ෂවරයකු වන ටයිටස් තොටවත්ත සූරීන්. ඒ වගෙම අය්යා සමග ෂැඔලින් ආරාම ගැන කළ කතා බහ ද සිහි වෙනවා. 

චීන ගෘහ නිර්මාණ කලාව ගැන ද යම් අදහසක් ඇති කර ගත්තා. චීන අකුරු ද චිත්‍ර වැනි යි. එසේ ම මට සිංහල අක්ෂර සහ සහ නාගරී අක්ෂරවල ඇති සෞන්දර්යය ද අමතක කරන්නට බැහැ. හවස චීන වෙළඳසල් කිහිපයකට ද ගොඩ වුණා. මෙයට වර්ෂ ගණනාවකට පෙර කියවූ චීනයේ බුද්ධාගම නම් පොත දැන් කොතනක ද කියා දන්නේ නැහැ. ඒත් චීනයේ ඇවිදිද්දී ඒවා සිහි වෙනවා. අපට මගදී හමු වන චීන භික්ෂූන් වහන්සේලාට ආචාර කළ විට උන් වහන්සේලා ද පෙරළා අපට ආචාර කළා. අද හවස මහේෂ් - දිලිනි යුවළ අපට කතා කොට ඉදිරි දින කිහිපය චීනයේ ගත වන ආකාරය ගැන විමසුවා. හසිත්ට ඔහුගේ පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා පෙරදිග ආගමික දර්ශන විමර්ශනය අත්‍යවශ්‍ය යි. ඒ අනුවත් ගමන සැලසුම් කර ගන්නැයි පැවසුවා. මේ එළැඹ තියෙන්නේ ඔවුන්ගේ - ඔබේ යුගය යි.

රාත්‍රියට සරල ආහාරයක් ගත්තා. ඊයේ රූපවාහිනියෙන් බලන්නට ලැබුණ වැඩ සටහන් සහ කතා සියල්ලම ඉදිරිපත් වන්නේ චීන භාෂාවෙන්. චැනල් 40 ක් තිබුණත් ඒවා එහෙට මෙහෙට කර බැලුවත් ඉංග්‍රීසි උප සිරසි කතාවකට තිබුණේ එකක් පමණ යි. චීන ජාතිකයන් බොහෝ දෙනාට  ඉංග්‍රීසියට විවෘත විමෙහිලා වුවමනාවක් ද නැහැ. ඉංග්‍රීසි නැතුව කිසිවක් කළ නොහැකි යයි සිතා සිටින අපේ විජාතික මනස් ඇති අය ද ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අයෝග්‍ය රාජ්‍ය නායකයන් ද අදීන චින්තනයක් ඇති මනුෂ්‍යයන් ද ලෝකයේ ජීවත් වන බව දැන ගත යුතු යි. මෙම විවේචනය කිසිසේත් ම යම් යම් භාෂා ශාස්ත්‍ර හදාරා ලෝකයට සැලකිය යුතු මෙහෙවරක් කරන සැබෑ විද්වතුන් සම්බන්ධයෙන් අදාළ වන්නේ නැහැ. ඒ වගෙම තවත් දෙයක් මෙහි දී සඳහන් කළ යුතු යි. ඒ තාක්ෂණික ඥානයෙන් බොහෝ ඉදිරියෙන් සිටින බව කියන ඇමෙරිකාව, චීනය ළඟ අසරණ වන බව යි. චීනයේ සංචාරයන් සඳහා පැමිණෙන බටහිර තරුණ ප්‍රජාවේ විස්මිත මුහුණු සනාථ කරන්නේ එය යි.

අද දවසේ ඉන්දියානු යුවළක් හමු ව කතා කළා. ඒ අනිල් සහ අනීටා යි. ඒ දෙදෙනාට අදිකාරමිතුමාගේ First Step  පොතක් පරිත්‍යාග කළා. ඒ දෙදෙනාගේ හමුවීම අපට සමාන සංස්කෘතික දෙකක සහෘදය හමුවීමක් වුණා. එසේ ම චීන සංස්කෘතියේ සුහදභාවය ප්‍රකාශයට පත් කළ එක් සිදුවීමක් ද මෙහි සඳහන් නොකර බැහැ. ඒ මුදල් බිම වැටුණු චීන ජාතිකයකුට ඒ බව පෙන් වූ විට ඔහු දැක්වූ ප්‍රතිචාරය යි. මේ ගමනේ දී අවස්ථා කිහිපයක දී ඔහු අපට හමු වුණා. ඒ හැම අවස්ථාවක දී ම මිත්‍රශීලී සිනහවකින් සංග්‍රහ කොට අපට අත වනා යාමට ඔහු අමතක කළේ නැහැ. ඇතැම් අවස්ථාවක දී ඇතැම් චීන ජාතිකයෙක් අප හඳුනා ගත්තේ ඕ හින්දූස් කියමින්. නැහැ අපි ලංකාවෙන් ආ බෞද්ධයන් යි කී විට සිය දුරකතනය අතට ගෙන ඉන්දියාව ළඟ පිහිටි ලංකාවේ රුව ළඟට අත තියා අප සමග සුහද වන්නට ඔවුන් අමතක කළේ නැහැ. මා මෙය ලියන්නේ ඉන්දියානු - ලාංකික වශයෙන් හෝ හින්දු සහ බෞද්ධ වශයෙන් බෙදීමක් මතු කරන්නට නොව භාෂාවකින් තොර ව හෝ චීන ජාතිකයන් අනෙකා හඳුනා ගැනීමට දරන ප්‍රයත්නය ප්‍රකාශ කිරීමට යි.

ගඟුල් - මිහිදිනී, දැන් මම කොන්පියුසියස් දහම ගැන චීන භාෂාව හදාළ අපේ තරුණ විද්වත් යතිවරයාණන් වහන්සේ නමක් විසින් ලියන ලද පොතක් ගැන යම් යම් දේ සඳහන් කිරීමට කැමති යි. පොතේ නම කොන්පියුසියස්ගේ ආදරය යි. එය ලියා ඇත්තේ පූජ්‍ය සඳමඩුල්ලේ සුමනසාර ස්වාමීන් වහන්සේ යි. මම පසුගිය දිනවල මේ පොත ද කියවීමට ගත්තා. එය කියවීමෙන් ඉගෙන ගත් දෙය ද මේ මොහොතේ මා ඔබ සමග බෙදා ගන්නේ ඔබ දෙදෙනාගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ද මේ අදහස් සම්ප්‍රේෂණය වන බව මා හොඳාකාර ව ම දන්නා නිස යි. ඔබ මෙන් ම අපගේ ආදිවිද්‍යාර්ථි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දුනේශ් ගුණතිලක ලියා ඇති පෙරවදන ද මේ පොත කියැවීමෙහි ලා අභිරුචියක් ඇති කරනවා. මෙය පරිච්ඡේද විස්සකින් සමන්විත යි.    

තමාට වඩා උසස් ගුණාංගයන්ගෙන් යුතු පුද්ගලයකු හමු වූ විට තම වැරදි නිවැරදි කොට ගත යුතු බව කියන කොන්පියුසියස්තුමා එය නිවැරදි අධ්‍යාපනයේ අංගයක් බව ද ප්‍රකාශ කරනවා. යම් පුද්ගලයකු හොඳින් තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ සියලු වාචසික සහ කායික හැසිරීම් නිරීක්ෂණය කළ යුතු ය යන්න ද මෙතුමාගේ තවත් ඉගැන්වීමක්. උත්තම පුරුෂයන්ට අන් අය සමග තරග කිරීමට කිසිවක් නැතැයි යන කොන්පියුසියස් ප්‍රකාශය ද මට තදින් දැනුණු එකක්. එතුමා පෙන්වා දෙන අන්දමට ආදරය සහ කරුණාව ගමන් කරන්නේ එකට යි. තවත් වරෙක එතුමා පවසන්නේ තමාට කිරීමට අවශ්‍ය නොවන දේ අන් අයට කිරීමට ඉඩ දීම තමාගේ අපේක්ෂාව නොවන බව යි. තවත් අවස්ථාවක දී එතුමා කියන්නේ උත්තම පුරුෂයා අන් අයට යහපත් කටයුතු කිරීමේ දී හැම අයුරින් ම ඒවාට දායක වන බව යි. එහෙත් අයහපත් කටයුතුවලට දායක නොවන බව යි. 

ගඟුල් - මිහිදිනී, කොන්පියුසියස්තුමා පවසන පරිදි දේශපාලනය යනු අන් කිසිවක් නොව දැහැමිකම යි. එසේ ම මහජනයාට පළමු ව යහපත් විය යුත්තේ පාලකයා යි. වරෙක කරුණාව කුමක් දැයි ඇසූ විට එතුමා කියා ඇත්තේ කරුණාව යනු ආදරය දැක්වීම බව යි; ප්‍රඥාව යනු මනුෂ්‍යයන් අවබෝධ කොට ගැනීම බව යි. ඇතැම් අවස්ථාවක දී කොන්පියුසියස් දර්ශනය අප කරා ළඟා වන්නේ ප්‍රශ්න ස්වරූපයෙන්. එය සනාථ කිරීම සඳහා මෙම පොතේ දහතුන් වැනි පරිච්ඡේදයේ එන එක් තැනක් මෙසේ උපුටා දක්වන්නට කැමැතියි.

ඔබට ඔබව නිවැරදි කර ගත නොහැකි නම්, රාජ්‍ය කටයුතු පාලනය කිරීමේ දී ඔබට ඇති ගැටලුව කුමක් ද? ඔබට ඔබව නිවැරදි කර ගත නොහැකි නම්, ඔබ අන් අයව නිවැරදි කරන්නේ කෙසේ ද?

වරෙක එතුමා ප්‍රකාශ කරන්නේ අචල බව, නිර්භීත බව, සරල බව හා පරීක්ෂාකාරී බව යන ගුණාංග සතර කරුණාවට අප සමීප කරවන ගුණාංග බව යි. එසේ ම තවත් අවස්ථාවක දී එතුමා පවසන්නේ උත්තම පුරුෂයන් ආචාර ධර්ම මත රැඳී පවතින විට බාලයන් ලාභ අපේක්ෂා මත රැඳී සිටින බව යි. තව විටෙක එතුමා අවධාරණ කරන්නේ කළ වරද නිවැරදි නොකිරීම යනු සැබෑ වරද බව යි

මේ ග්‍රන්ථය කියවන්නේ ඔබ දෙදෙනා නම් ඔබට මෙයට අමතර වශයෙන් තවත් තැන් රැසක් මතු කොට ගත හැකි වනු ඇති. මේ දිනවල පුස්තකාලයෙන් ගත් පොත මා ළග තිබෙනවා. එය ඔබ දෙදෙනා අතට පත් කිරීම ද මගේ එක් අපේක්ෂාවක්. 

දැන් අපි අපේ චාරිකාවේ තෙවැනි දිනයට යමු. මා එයට ප්‍රවේශයක් ගන්නේ ඔබ මිතුරිය - අප දියණිය සහ පුත් හසිත බීජින්හි පොත් සාප්පුවකින් ගත් පොතකින් උපුටා ගත් පාඨයක් දක්වමින්. එය පැරණි චීන නවකතාවක්. එහි ඉංග්‍රීසි පරිවර්තනය යි, අපට ලැබුණේ. ඒ පරිච්ඡේද 37 ක් තියෙන ලොකු පොතක්. පොතේ නම සඳහන් වන්නේ Outlaws of The Marsh   කියා යි. ෂී නය්යාම් විසින් ප්‍රතිකථිත චීනයේ ඉන්ටකොන්ටිනන්ෂල් මුද්‍රණාලය මගින් 2018 වර්ෂයේ දී ප්‍රකාශිත මේ නවකතාව යුගයෙන් යුගය ජනාදරය දිනාගත් එකක්. මෙහි 115 වැනි පිටුවේ දැක්වෙන පරිදි මේ කතාවේ එන වූ සෝන් 14 සියවසේ ජීවත් වී යැයි සැලකෙන අභීත සිරකරුවෙක්. දිනක් ඔහු දකින සැන්ග් නම් ජනරාල්වරයා සිනහමුසු මුහුණින් යුතු ව පවසන්නේ ඔබ සුවිශිෂ්ට මිනිසෙක් ය යන්න ගැන තමා අසා ඇති බව යි. තත්ත්වයට සරිලන තනතුරක් නොලද ඔබ සිය මිතුරන් උදෙසා සිය මරණය සිදු වන තෙක් අභීත ව සටන් වදින සංග්‍රාමිකයකු බව ද තමා දන්නා බව ජනරාල්වරයා කියනවා. තමාට සිය සහායක නිලධාරියා වශයෙන් අවශ්‍ය වන්නේත් එබඳු කෙනෙකු යැයි ඔහු තවදුරටත් කියා සිටිනවා. 

මෙය ඔබ දෙදෙනා තේරුම් ගත යුත්තේ මෙහි කියැවෙන සංග්‍රාමිකයා භෞතික රණවිරුවා යන තැන පමණක් සිර නොකොට ආලෝකයේ රණකාමියා යන ආදේශනය ද ඊට ඇතුළත් කරමින්. අදාළ පාඨය උපුටා දැක්වීමෙන් පසු මම අප සංචාරයේ තෙවැනි දිනයට අදාළ තොරතුරු ලියනවා.  

Seeing Wu Song coming in, Zhang said with a smile in his face. "I have heard that you're a splendid man, a hero without peer, a fearless fighter who stands by his friends to the death. I need someone like you. Would you be willing to serve under me as an adjutant.   

චුවැන්ලි හෝටල් පරිශ්‍රයේ සිට අප ප්‍රාචීන බුද්ධ සහ යෝධ බුද්ධ ප්‍රතිමා වහන්සේ වශයෙන් ප්‍රචලිත ආගමික ස්ථාන අධ්‍යයනය පිණිස පිටත් වුණා. සුසිල් සහෘදයා උදෙන් ම ළඟ ආපනශාලාවකට ගොස් නිර්මාංසික ආහාර සහ සෝයා කිරි ආදිය ගෙන ආවා. උදේ ආහාර ගැනීමෙන් පසු අප හය දෙනාට ම යා හැකි රියකින් අපි අදාළ ස්ථාන බලා පිටත් වුණා. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇති තැනට අප නැවතී සිටින හෝටලයේ සිට කිලෝමීටර් 160 දුරක් තිබෙනවා. මේ ගමනට පැය දෙකහාමාරකට ආසන්න කාලයක් ගත වුණා. චීන අධිවේග මාර්ග මනා කළමනාකරණයකින් යුක්ත යි. මට මතක හැටියට චීන ජාතික ඉංජිනේරුවන් අපගේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමට ද පැමිණියා. අවශ්‍ය මොහොතක දී ලොව කොතැනක හෝ සිටින දක්ෂයන්ගේ සේවය ගත්තාට වරදක් නැහැ, මුදල් මත පදනම් වන න්‍යාය පත්‍රයන්ගෙන් තොර ව. පසුව කුරූණෑගල අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී මොරටුව, පේරාදෙණිය යන සරසවිවලින් බිහි වූ ඉංජිනේරුවන්ගේ සහ ඉංජිනේරුවරියන්ගේ උපදෙස් ලබා අදාළ ඉදිකිරීම් සිදු කළ බව මා අසා තිබෙනවා. ගඟුල්, කෙටි ඉතිහාසයක් ඇති ඉංජිනේරු පීඨයක් තමා ඔබත් මමත් සේවය කරන ජපුරට තියෙන්නේ. අවිදූර අනාගතයේ දී ජපුරත් එවන් දායකත්ව මෙරටට සහ ලෝකයට ලබා දේවි. 

මට මෙරට දී තරුණ චීන ඉංජිනේරුවෙක් සහ ඔහුගේ මාර්ගෝපදේශිකාව හමු වුණා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ව තමාට ඇත්තේ අල්ප දැනුමක් බව ඉංජිනේරු තරුණයා කීවේ සිනාසෙමින්. එය දැනුම ලබා ගැන්මෙහි ලා වන බාධකයක් ද වී නැහැ ඔවුනට. මට අපේ සරසවියේ පුස්තකාලයේ නව ඉදිකිරීමක් සඳහා පැමිණි චීන ඉංජිනේරුවරුන් කිහිප දෙනෙක් ද මුණ ගැසී තිබෙනවා. ඔවුන් වැඩ කරනවා මිස කතාබහ කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ. සිනා සී ප්‍රතිචාර දක්වන ඔවුන් සිය මාතෘ භාෂාව තමයි වැදගත් කොට සලකන්නේ. ජාත්‍යන්තර පාසල් චීනයේ තිබුණත් ඉන්ටර්නැෂනල් වීම සහ දරුවන්ට මාතෘ භාෂාව නොතකා හැර ඉංග්‍රීසි ඉගැන්වීම නමැති භයානක රෝග දෙක චීන ජාතිකයන්ට නම් වැළඳී නැහැ. අද මේ ගමන යද්දී ඔබේ ජ්‍යෙෂ්ඨ සරසවි මිත්‍ර සුසිල් භාෂාව ගැන මෙහෙම ප්‍රකාශයක් කළා.

“කිසිම කෙනෙකුට තමන් දෙවනු ව ඉගෙන ගන්නා භාෂාව කොතරම් නම් දුරකට ඉගෙන ගත්තත් එය ඔවුන්ගේ ප්‍රථම භාෂාව වන්නේ නැහැ. දෙවන භාෂාවක් ඉගෙන ගන්නා කරන්නේ ඒ ඒ දේට ඇති වචන මතක තබා ගැනීමක් පමණ යි.”  

මේ ප්‍රකාශය කළේ චීන භාෂාවෙන් මනා සේ සන්නිවේදන කාර්යය කළ හැකි කෙනෙක් නිසා අපට ඒ ප්‍රකාශය නොතකා හරින්නට බැහැ. ගඟුල්, ඔබට මතක් වෙනවා නේද දැන් සමන් අය්යා ප්‍රථම භාෂාව හැඟීම යි. ඉංග්‍රීසි, දෙමළ, හින්දී ආදි භාෂා යනු ඒ හැඟීම්වලට දුන් ක්ෂණික පරිවර්තන යි යනුවෙන් කළ ප්‍රකාශය.

බුද්ධ ප්‍රතිමා වහන්සේලා යන නමින් හැඳින්වුණාට මෙතන ඇත්තේ මහා බුද්ධ පරිශ්‍රයක්. අද දවස පුරා අපට ඒ බුද්ධ පරිශ්‍රයේ ඇවිදින්නට, නරඹන්නට අධ්‍යයනය කරන්නට අවකාශ ලැබුණා. අද දවස පුරා අප රැඳී සිටියේ මෙතන යි. චීන සංචාරකයන් මෙන් ම විදේශීය සංචාරකයන් වැඩි දෙනෙක් මෙතනට පැමිණ කරන්නේ බුදුන් වහන්සේ සොයා යාමක් කියා යි අපට සිතුණේ. කලා නිර්මාණ, ගෘහ නිර්මාණ, වන රොදවල් කඳු තරණය කොට ඒ කඳු මුදුනට ආ පසුවයි, අපට මින් නමින් ප්‍රසිද්ධ සුන්දර නදියට මුහුණලා වැඩ හිඳින බුදුන් වහන්සේගේ ඒ මහා බුද්ධ ශීර්ෂය දැක ගැන්මට ලැබෙන්නේ. එය අපූර්ව අද්දැකීමක් වුණා අප කාටත්. 


Giant Buddha වශයෙන් ප්‍රචලිත බුදු රුව තමයි ලෝකයේ තිබෙන සුවිශාල බුද්ධ මූර්තිය වන්නේත්. මේ සම්බන්ධ වැඩ සටහනක තිබුණා මේ මහා කන්ද යනු බුද්ධ මූර්තිය බවත් බුද්ධ මූර්තිය යනු කන්ද බවත් යනුවෙන් වන ප්‍රකාශයක්.

The mountain is a Buddha, and the Buddha is a mountain.  

බුද්ධ මූර්ති ඇතුළු ව අපේ රටේ අපට හුරුපුරුදු මූර්ති නිර්මාණ මෙන් ම අපට ආගන්තුක මුත් හදට දැනෙන මූර්ති මෙහි තිබෙනවා. කාන්තා සහ  පුරුෂ සෞන්දර්යය ප්‍රකාශයට පත් කෙරෙන මේ විශිෂ්ට මූර්ති අපට අපේ පෙරදිග කලාව මෙන් ම ග්‍රීක කලාව ද සිහිපත් කරනවා. කවදා හෝ දවසක ග්‍රීසියට යාමේ වුවමනාව ද තිබෙනවා. ඒ වුවමනාව දිනයක ක්‍රිියාවක් බවට පත් කළ යුතු ය යන හැඟීමත් මෙහෙදි බලවත් ව ඇති වුණා. තණ්හා - රතී - රඟා යනුවෙන් අපේ රටේ ප්‍රචලිත මාරදුහිතෲන් තිදෙනාගේ මූර්තිවල ද අප දුටුවේ අනුපම සෞන්දර්යයක්. කාරුණික ගුණය මොනොවට ප්‍රකාශිත ශාන්ත භාවයේ උපරි සංකේත බඳු නිර්මාණ ද මෙහි දෘශ්‍යමාන යි.

ඉදිරියට නෙරා ආ විසල් කුසකින් යුක්ත ව නිර්මාණය කොට ඇති රහතන් වහන්සේගේ මූර්තිය ද විශේෂ එකක්. චීන සංස්කෘතියට අනුව ඒ විසල් කුස සංකේතවත් කරන්නේ ලෝකයේ සිදුවන අපමණ අයුක්තීන් දරා ගැන්මෙහි ලා වන හැකියාව යි.

කිසියම් සීනුවක් ද තිබෙනවා බැතිමතුනට නාද කිරීමට හැකි වන පරිදි සදා තිබෙන. එය වරක් නාද කිරීම එක් දිනයකට පැවිදි වීම සමග සමාන කොට තිබෙනවා. එය තාවකාලික පැවිදි බව ලැබීම යන අදහස සමගත් සම්බන්ධ කළ හැකි නේද?

සතරවරම් දේව ප්‍රතිමා සේ සැලකිය හැකි මූර්ති සතරක් ද දුටුවා. ඒ අතර තිබෙන දහසත් අත් ඇති දේව මූර්තිය අපට සිහිපත් කොට දුන්නේ අපේ ශක්‍ර දේව සංකල්පය යි. ඒ මූර්ති භාෂාවකින් තොර ව ලෝකයට කතා කරන බවයි දැනෙන්නේ. කලාව විශ්ව භාෂාවක් ය යන්න උපරිමාකාරයෙන් දැනෙන්නේ මෙබඳු තැනක දී යි. මේවා ගැඹුරින් ම විඳිය හැකි උපරිම සහෘදයා අපට අහිමි විමේ වේදනාව ද මෙහෙදීත් තදින් ම දැනුණා. මට මතක් වන්නේ උල්පතේ දී ඔහු ගැන ලියූ දෙයක්.

      මේ පින් බිමේදිත් ඔබ සිහි වෙයි සොයුරු

අහිමි ව ගියා මිනිසෙක් ලොවකට  මහරු

ගඟුල්, අනාගතයේ කවර හෝ දිනෙක මිහිදිනීත් සමග පැමිණ මේවා දැක බලා ගන්න. ඔබ දෙදෙනාට කියන්නට ඕන කරන තවත් දෙයක් තමයි, මෙහෙ සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලා දෙනම නිර්මාණය කොට ඇත්තේ චීන අනන්‍යතාව සහිත ව බව.

පරිසරයෙන් වියුක්ත කලාවක් නොව පරිසරය හා බැඳුණු කලාවකු යි අප දුටුවේ. අප මගතොටදී වැඩි වශයෙන් දුටුවේ කේතුකාකාර ගස් උනත් මේ බුද්ධ භූමියේ දී අපට අපේ රටේ, අපට හුරු පුරුදු තුරුලතා ද කිසියම් ප්‍රමාණයකට දැක ගැන්මට ලැබුණා. මේ පින්බිමේ දී අපට අවශ්‍ය ආකාරයේ දිවා ආහාරයක් ද ලබා ගත හැකි වුණා. ඒ සෝයා සෝස් සමග තැම්බූ අර්තපල්.  

මේ පුණ්‍ය භූමිය බැලීමට යා යුතු ය යන කරුණ කිහිප වරක් ම අවධාරණ කළේ මහේශ් - දිලිනි යුවළ සහ ඔවුන්ගේ සිඟිති දියණිය තරුචමා යි. ඉංග්‍රීසි, සිංහල සේ ම චීන භාෂාව ද මනාසේ කතා කිරීමට දන්නා මේ පුංචි කෙල්ල තමයි, ඔවුන්ගේ චීන සංචාරවලදී මාර්ගෝපදේශිකාව වන්නේ. ඒ දෙදෙනා කිව්වේ යාත්‍රාවකින් ගඟ මැදින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙත ගමන් කිරීම පිළිබඳ වන ඉසුන්දර අද්දැකීම ලබා ගන්නා ලෙස යි. එහෙත් තිබු කාලය අනුව අපට එය කරන්නට හැකි වූයේ නැහැ. අපට නොහැකි වූ දෙය සාධනය කර ගැන්මට ඔබ දෙදෙනාට හැකි වේවා යි, අපි ඉතා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. 

අද තරමක් අසනීප උනත් ටික වේලාවක් ගත වන විට තත්ත්වය සමනය උනා. අපි මේ ගමන සඳහා රථය වෙන් කොට ගත්තේ පැය දහයක කාලයට යි. මකරා චීනයේ සංස්කෘතික ප්‍රකාශනයක්. දේශපාලන දාර්ශනිකයකු වශයෙන් චීනයට මහත් බලපෑමක් කළ මා ඕ සේතුං ද රාජ්‍ය නායකයකු වශයෙන් චීනයේ පැවැත්ම සහතික කළ චෞ එන් ලායි ද අපට අමතක කරන්නට බැහැ. මට මතකයි 1976 දී එනම් අප පාසල් ශිෂ්‍යයන් ව සිටින අවදියේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අප අගමැතිනිය ව සිටි කාලයේ ඒ රාජ්‍ය නායකයා ඇතුළු රාජ්‍ය නායක නායිකාවන් රැසක් මෙරටට පැමිණි ආකාරය.

අදත් රූපවාහිනියෙන් චීන වැඩ සටහන් බැලුවා. හවස සාප්පු සවාරියක් ද ගියා. රාත්‍රී ආහාරය ගත්තා අතරමග ආපනශාලාවකින්. හෙට දවසේ ගමන සැලසුම් කළා උදෑසන 6. 30 ට හෝටලයෙන් නික්ම යන සේ. අපට තවම පැන්ඩාවරුන් දකින්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. අප අධ්‍යයනාංශයේ චීන භාෂා සාහිත්‍යය උගන්වන තරුණ කථිකාචාර්යවරිය වන තිලිණි රණසිංහ අවධාරණයෙන් කියා සිටියා ඒ අද්දැකීම අනිවාර්යයෙන් ම ලබා ගන්නා ලෙසත් එය ලබා ගත හැක්කේ චෙන්දුවලදී බවත්. ඒ අනුව අපි හෙට උදය වරුවේ ඒ සඳහා ගොස් අනතුරුව චීනයේ තවත් ප්‍රසිද්ධ ප්‍රාන්තයක් සේ සැලකිය හැකි සියෑන් බලා දුම්රියෙන් යාමට සැලසුම් කර ගත්තා.  

අද සුසිල් සහෘදයා සමග රටවල්වල විශාලත්වය ගැන කතා කළා. ඒ අනුව වර්තමාන ලෝකයේ දැවැන්තම රට වන්නේ සෝවියට් දේශය යි. කැනඩාව, ඇමෙරිකාව, චීනය, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව ආදිය ද විශාල රටවල් අතරට අයිති යි. මේ මා කතා කරන්නේ භෞතික විශාලත්වය ගැන යි. එහෙත් ආධ්‍යාත්මික වශයෙන් සුවිසල් රට ලෙස මට දැනෙන්නේ අපේ මාතෘභූමිය ම තම යි.

ඒ කෙසේ වෙතත් ඔබ මිතුරා හසිත්ගේ පෙරදිග චින්තන විධි ගැන කෙරෙන පශ්චාද් උපාධි අධ්‍යයනයට මේ ගමන ඉතා වැදගත්. කලාශිල්ප උගන්වන ඔයගොල්ලන්ගේ ආචාර්යතුමියට ද අපට වඩා මෙය වැදගත්.

කුඩා චීන දරුවන් විදේශික අපට අත වනා සිය සුහදතාව පළ කරනවා. ස්වර්ගයට යාමට නම් වැඩිහිටියන් ද කුඩා දරුවන් සේ විය යුතු යි යන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශය ද මේ මොහොතේ සිහි වෙනවා.

මහනුවර උඩවත්ත කැලේ, රිටිගල, සීගිරිය, දඹුල්ල වැනි අපේ ඓතිහාසික බිම් සිහිපත් කරවන තැන් දුටුවා. එහෙත් සිංහරාජයක් නම් දුටුවේ නැහැ.   

මෙහෙ රථ ධාවනය වන්නේ ද ජර්මණිය - ප්‍රංශය ආදි බටහිර රටවල මෙන් වම් පසින්. අපේ රටේ අප කලාතුරකින් දකින වමින් පැදවෙන වාහනවල මෙම රථය වම්පසින් පැදවෙන්නකි වශයෙන් වන සඳහනක් තිබුණා. අපේ රථයක් මෙහෙ ගෙනාවොත් අපට ගහන්නට සිදු වන්නේ මෙම රථය දකුණු පසින් පැදවෙන්නකි කියල යි. කාන්තාවන් වාහන එළවීම බහුල යි. ඒ තත්ත්වය දැන් ලංකාවේත් තියෙනවානේ. අපේ මිහිදිනී දුවටත් දැන් හොඳින් වාහන පැදවිය හැකි බව දැන ගැන්මට ලැබීම සතුටක්. අපේ රටේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පදවියට කාන්තාවක් පත් වීම ද වැදගත් දෙයක්. කොළඹ - කැලණිය - යක්කල යන සරසවිවල උපකුලපති පදවියට කාන්තාවන් පත් උනත් ජපුර අපට නම් ඒ අද්දැකීම මෙතෙක් ලැබී නැහැ. අප විශ්‍රාම ගිය පසුව හෝ නව කාන්තා පරපුරට කිසියම් දිනෙක ඒ අද්දැකීම ලැබීමට හැකි වේවා යි ප්‍රාර්ථනය කරනවා.

චීන සංචාරක වන්දනාකරුවන් සමග අප ගත් පලතුරු බෙදා ගත්තා. මේ විසල් මුදුනේ සිට මිටියාවත දෙස බලද්දී සිහි වන්නේ කවුද? එය ඔබ දෙදෙනාට අමුතුවෙන් කිව යුතු නැත්තේ ඒ චරිතය ඔබගේ හදවත්වල ද ජීවත් වන චරිතයක් නිස යි. ඒ සොඳුරු උල්පත ගැන 90 දශකයේ දවසක අනුරාධපුර පුදබිමේ සිට ලියූ කවක් ඔබ සමග බෙදා ගන්නට කැමතියි. මේවා ඔබ කලින් අසා තිබුණත් මෙබඳු මොහොතක එය යළිත් මතක් කරන්නට සිතෙනවා.

කඳු මුදුන දකිමි එහි සිට හිනැහෙන ඔබ දකිමි

කඳු මුදුනට කැඳවන ඔබගේ හදවත     දනිමි  

කඳු මුදුනට යන මග හඳුනා    ඒ මග ඇදෙමි

කඳු මුදුනට පිවිසෙමි මම මිටියාවත     දකිමි

ගඟුල් - මිහිදිනී සුපියකර සිසු දරුවනි, ඔබ ඉදිරියේ ඇත්තේ මේ මෙහෙවර යි. අප අපගේ ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් ලෝකයට දිය යුත්තේ කඳුමුදුනක සිට ලෝකය අවලෝකනය කොට අන්‍යයන් ද කඳුමුදුනට කැඳවීමේ හැකියාව සහ සිත ඇති අය යි. ඒ වගේම අප අපේ ශිෂ්‍යයන් ලෙස ලෝකයට දිය යුත්තේ කඳු මුදුනට ගියත් මහපොළොවේ ඇවිද යාමට දන්නා අය යි.

මේ සඳහා අපට අහිමි වී ගිය සුමින්ද නිතර කතා කළ අනුරාධපුර සංස්කෘතිය අමතක නොකිරීම, ඔබේ මිත්‍ර හසිත් නිතර අවධාරණ කරන අනුරාධපුර සංස්කෘතිය පදනම වශයෙන් ගෙන අපට අනන්‍ය වූ විචාර කලාවක් නිර්මාණය කිරීම ගැන ඔබ දෙදෙනා ද සාවධාන විය යුතු යි.

ඊළඟට මා යන්නේ අපේ චාරිකාවේ සිවු වැනි දිනය ගැන කතා කිරීමට යි. ඊට ප්‍රවේශයක් වශයෙන් චීනයේ සිට ගෙන ආ තවත් පොතක් ගැන යම් සඳහනක් කිරීම අවශ්‍ය යි. ඒ පොතේ නම Don't Forget of Year The Loveliest Scene යනු යි. ඒක චීන කවි පොතක්. ඒවා ඉංග්‍රීසියට නගා තිබෙන්නේXu Yuanchong  විසින්. පෙර චීනයේ විවිධ යුගවල ජීවත් වූ කවීන්ගේ නිර්මාණ මෙහි අන්තර්ගත යි. ඒ කවි හා බැඳුණු චිත්‍ර ද මෙහි දැක්වෙනවා. මේ පොත මම ආ ගමන් දෙන්නේ අපේ මිහිදිනී අතට යි. ඒ ඇයට, සිය ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ දී ඒ කවි භාවිතයට ගත හැකි නිස යි. එයින් එක කවියක් පමණක් මේ මොහොතේ මම ඔබ දෙදෙනා සමග බෙදා ගන්නවා. එය ලියා තිබෙන්නේ 1037-1101 කාලය තුළ චීනයේ ජීවත් වූ කවියෙක්. කවියේ මාතෘකාව වන්නේ Written On the Wall of West Forest Temple යන්න යි. එය පේළි හතරක් තිබෙන තනි කවියක්.

It's a range viewed in face and peaks viewed from the side,

Assuming different shaps viewed from far and wide.  

Of Mountain Lu we can not make out the true face,

                                        For we are lost in the heart of the very place.    

මේ කවිය ගැන මම ඔබ දෙදෙනාට විවරණ ලිවීමට යන්නේ නැහැ. ඒ කඳු මුදුනක හෝ මිටියාවතක හිඳ හෝ අපගේ නිවැරදි මුහුණුවර අවබෝධ කර ගැන්මටත් මෙහි අවසන් කාව්‍යෝක්තියෙන් කියැවෙන සුගැඹුරු අරුත සුගැඹුරින් ම ඔබ දෙදෙනා ම අවබෝධත් කර ගැන්මටත් ඔබ දෙදෙනා සමත් වන නිස යි. මෙබඳු කවි සහ සිතුවම් හතළිහකින් මේ පොත සමන්විත යි. මෙහි ඇති තවත් එක් විශේෂයක් වන්නේ කවි සහ චිත්‍ර රස විඳින පාඨක සහෘදයනට තමන්ගේ කවි සහ චිත්‍ර ඇඳීම සඳහා තැනින් තැන හිස් පිටු ඉතිරි කොට තිබීම යි.  

මිහිදිනී දුව, දැන් ගඟුල්ටයි ඔබටයි අපේ චාරිකාවේ සිවුවැනි දිනය ගැන විස්තර කියන්නයි මේ යන්නේ. අපි තවම වෙන්දුවල. අද උදේ පැන්ඩාවරුන් බැලීමට ගියා කුලී රථ දෙකකින්. ඒක පැන්ඩාලන්තයක්. පැන්ඩා කියන්නේ දුටු විට ආදරේ හිතන මහ කම්මැලියෙක්. හොඳට ඉඩකඩ තියෙන බිම්කඩක් හැම ලොකු පැන්ඩෙක්ටම තියෙනවා. උන් ලොකු උනාම හුදෙකලාව ඉන්ඩලු කැමති. පොඩි එවුන් නම් කැමති සමූහයක් වශයෙන් ඉන්නයි. මේ ලොකු පැන්ඩලා අඩි දෙක තුනක් දුර ඇවිද හති දමන්නේ හරියට ම අපි සැතපුම් කිහිපයක් වේගයෙන් ඇවිද පෙරළා ආපසු හතිදාන ආකාරයට යි. වරෙක පැත්තක ඉඳගෙන උණබට කනවා. ඔවුන්ගේ හැසිරීම වරෙක හාස්‍යජනක යි. ඒත් ආදරණීය යි. පෙර ප්‍රචණ්ඩ සත්ත්ව විශේෂයක් ව සිටි පැන්ඩා දැන් අහිංසක සත්ත්ව කොට්ඨාශයක් බවට පරිණාමය වෙලා තියෙනවා. පැන්ඩා ද අද්‍යතනයේ චීන සංස්කෘතියේ ප්‍රකාශනයක් විදිහට ද සලකන්න පුළුවන්. මේ වන විට පැන්ඩා නම යටතේ ඇති හුරුබුහුටි කුඩා මෝටර් රථය ලංකාවේත් ජනප්‍රිය යි නේද? ඒ විතරක් නෙමෙයි ටෙඩිබෙයාටත් වඩා මෙහෙ සුරතල් බෝනිකි සංකේතය නියෝජනය කරන්නේ පැන්ඩා යි. මේ අහිංසක සත්ත්වයා දාරක ප්‍රජාව තුළ සත්ත්වානුකම්පාව ජනිත කරවීමට ප්‍රබල හේතුවක් කියා සිතෙනවා. පැන්ඩාවරුන් බැලීමට එන අය අතර වැඩි වශයෙන් සිටියේ චීනයේ දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන ස්වදේශික ජනතාව යි. 

අපි චීනයෙන් උගත යුතු ගත යුතු දේ මෙන් ම චීනය අපෙන් උගත යුතු සහ ගත යුතු දේ එමට තිබෙනවා. මෙහෙ ධූමපානය අත්‍යධික යි. පිරිමින් තරමට නොවුණත් ප්‍රසිද්ධියේ දුම් බොන කාන්තාවන් අපට චීනයේ දී දක්නට ලැබෙනවා. ඒ අතර විශාල වශයෙන් තරුණ තරුණියන් සිටීම සංවේගයට කරුණක්. අපේ රටේ තත්ත්වය මීට වඩා වෙනස් නේද? දුම්වැටියක් දල්වාගෙන සිටීම සිය දියාරු උජාරු බව පෙන්වීමේ ලක්ෂණයක් ලෙස සිතු කාලයක් මෙහෙද තිබුණා. අපේ ධම්මික සර්ලා සමග එකට ඉගෙන ගත් මිතුරෙක් දිනක් අප සරසවියේ පැවති සංගීත රාත්‍රියක් නැරඹිම සඳහා පැමිණ සිය දුම්වැටිය දල්වා ගැන්ම උදෙසා දුම්වැටියක් බොන හෝ ලයිටරයක් අතැති හෝ ගිනි පෙට්ටියක් අතැති කෙනෙක් සෙව්වා. මේ අපි ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූ අලුත යි. ඔහුට ඒ සඳහා කිසි කෙනෙකු හමු නුවූ විට සිය සමකාලීන සරසවි මිතුරා දෙසට හැරී බලා ඔහු ඇසුවේ මොකෝ ධම්මික මේ, මගෙ සිගරැට්ටෙක පත්තු කරගන්න එකෙක් වත් නැහැනෙ මෙතන කියා යි. ඒ මොහොතේ ධම්මික සර් සිනා සී පැවසුවේ අපි ඉගෙන ගත් කාලයට වඩා වෙනස් තැනක අලුත් පරපුර සිටින බව යි. ඒ හතළිස් වසරකට පෙර තිබූ අද යුගය ද දැන් නිමා වෙලා. වර්තමානයේ අපට ආරංචි වන ඇතැම් සිද්ධි නම් අප කම්පනයට පත් කරනවා. දුම් වැටි කෙසේ වෙතත් මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අය ගැන විවිධ තැන්වලින් ආරංචි වෙනවා.

සිගරැට් පැකට්ටුවේ රජයේ අවවාදය දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය කියා තමයි මට මතක හැටියට මුලින් තිබුණේ. අහිතකර විය හැකි යි කියා එහාටත් නැති මෙහාටත් නැති ප්‍රකාශ ගසා වැඩක් නැහැ ඍජු විරෝධය පළ කළ යුතු තැන එය නොකර ඊට පැලැස්තර දැමීමෙන්. අපි උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ අපේ පන්තියේ මා සමග එකට ඉගෙන ගත් අද දවසේත් සිය කල්‍යාණ මිත්‍රත්වයේ දෑත දිගු කරන දයාරත්න සහෘදයා අප පාසල් ඇරිී එන වෙලාවේ දුම්වැටියක් දල්වාගෙන උජාරුවෙන් ඇවිද යන කෙනෙක් පෙන්වා කී ප්‍රකාශය මට අද වාගේ මතක යි.

“බලපන් සහන්, අර යකා යන්නෙ හරියට නොකර ම බැරි මහ වැදගත් දෙයක් කර කර යන එකෙක් වගේ. අර ආණ්ඩුවෙ දැන්වීම ටිකක් වෙනස් කරලා ගහන්න ඕනෙ සිගරැට් පැකට්ටෙකේ නෙමේ කාටත් පේන්න අර ජාතියෙ එවුන්ගේ ඇඟේ.”  

ඒ ගහන අලුත් දැන්වීම කුමක් දැයි ඇසූ විට දයා දුන්නේ මේ පිළිතුර යි.  

රජයේ අවවාදය දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය. ඒත් එය අහිතකර විය හැකි නොව අහිතකර බව දැන දැන මම මෙසේ මගේ මුග්ධභාවය ලෝකයට ම දැක ගත හැකි වන සේ දුම් බොමි. මම වනාහි පට්ට මෝඩයෙක්මි.

මේ මොහොතේ ආදරණීය අදිකාරම්තුමා අනුන්ගේ දුම යන මාතෘකාව යටතේ ලියූ ලිපියක් ගැන යමක් සඳහන් කළ යුතු යි. එය සිතිවිලි පොතක තිබෙන ලිපියක්. පසුව මට මතක හැටියට එය තරුණ කාන්තා සිතිවිලි සමාජය මගින් ප්‍රකාශිත පත්‍රිකා මාලාවේ දෙවැනි පත්‍රිකාව හැටියටත් ගත්තා. එහි තිබෙන්නේ අනුන්ගේ දුම්බීම නිසා දුම් නොබොන අයට ද පිළිකා රෝගය සෑදීමට ඇති ඉඩකඩ ගැන යි. එහිදී අදිකාරම්තුමා අපගේ අවධානය යොමු කරන්නේ ජපානයේ ටෝකියෝවේ ජාතික පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය තකේෂි හිරියාමා විසින් කරන ලද පර්යේෂණයකට යි. මේ ගැන නිවුස් වීක් සඟරාවේ පළ ව තිබූ ලිපියක අන්තර්ගතය යි, එතුමා අපට සිංහලෙන් කියා දෙන්නේ.

යටකී පර්යේෂණයේ දී මත්පැන, දුම්බීම, රැකියාව, විවාහ තත්ත්වය ආදිය කෙනෙකුගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද යන්න ගැන අවධානය යොමු ව තිබෙනවා. වැඩිහිටියන් සම්බන්ධ කොට ගනිමින් කළ මේ පර්යේෂණයේ දී කාන්තාවන් 91000 කට වැඩි පිරිසක් ද ඊට එක් කර ගෙන තිබෙනවා. එහි දී කාන්තා මරණවලට ඔවුන්ගේ සැමියන්ගේ දුම්බීමේ බලපෑමක් ඇද්ද යන්න ගැන සොයා බලා තියෙනවා. ඒ ගැන අදිකාරම්තුමන්ගේ වචනවලින් ම කියන්නම්.

“සැමියන්ගේ දුම්බීම නිසා භාර්යාවන් පෙණහැලි පිළිකාවෙන් මරණයට පත් වීමට වැඩි ඉඩක් ඇති බැව් ද එහි මරණ අනුපාතය ගෙදර දුම්බීමේ ප්‍රමාණයට එක එල්ලේ හරි හරියට වැඩි වූ බැව් ද  පර්යේෂණවලින් අනාවරණය විය.

දුම්බීම අත් හැරිය හෝ දිනකට පැකට් එකකට අඩුවෙන් හෝ දුම් බොන සැමියන්ගේ භාර්යාවන්ට දුම් නොබොන සැමියන්ගේ භාර්යාවන්ට වඩා පිළිකා රෝගය වැළඳීමේ අනතුර වැඩි බව ද සැමියන් පැකට් එකක් හෝ වැඩියෙන් හෝ දවසකට බොනවා නම් භාර්යාවන්ට පිළිකා රෝගය දෙගුණයකින් වැඩි වන බව ද එම පර්යේෂණවලින් ම දැන ගන්ට හැකි විය.

අහිංසක ස්ත්‍රීන්ට සිදු විය හැකි මේ විපත ගැන ස්ත්‍රී පක්ෂය සැලකිලිමත් වීම වටී.”

ඒ වගේ ම වර්තමාන චීන සමාජය දෙස බලන විට බිරිඳ දුම් බොන්නියක වී ඇයගේ සැමියා දුම් නොබොන්නකු නම් මේ තත්ත්වය අනෙත් පැත්තට යි පෙරළෙන්නේ. එවිට ලියන්නට සිදු වන්නේ අහිංසක පුරුෂයන්ට සිදු විය හැකි මේ විපත ගැන පුරුෂ පක්ෂය සැලකිලිමත් වීම වටී කියා යි.

මේ ලියන්නේ අප චාරිකාවේ සිවු වැනි දිනය ගැන වුවත් එය ලියැවෙන්නේ අද එනම් ජූලි පස් වෙනි දා යි. මේ සමන් සිත්තරාගේ ජන්ම දිනය යි. ඔබ දෙදෙනාගේ කලණ මිතුරිය, සිය මහප්පා ගැන අද දවසේ කවියෙන් සිය අකුටිල හැඟුම මෙසේ පළ කොට තිබෙනවා. එකව්හි සුගැඹුරු අරුත අප දරු දෙදෙනාගේ ජීවිතවල ස්වභාවය මෙන් ම නිර්මාණයක ගැඹුර දන්නා ඔබ දෙදෙනා මැනවින් අවබෝධ කොට ගන්නා බව මම දන්නවා. එකව් ඔබ දෙදෙනා සමගත් ගුරු දියවර පාඨක සහෘදයන් සමගත් මෙසේ බෙදා ගන්නේ ඒ නිස යි.

සා පැටව් ළං කරන් සිල්ප බෙදනා කලට ගොර සපුන් වට වෙමින්        හපනවා

උජු කයින් සිටින්නට - කොතෙක් වෙර දරන මුත් මහන්සියි - ඉඳහිටක ඇඬෙනවා   

ඒත් මෙත් වැහි වහින - විස නසන ඔසු රඳන මහ විසල් වන රොදක්    තියෙනවා

ඒ හරිත වන පොදේ පොඩි පතක් වනු පිණිස ආයෙමත්     වැහි දැරිය නිවෙනවා

විහඟ ගී තානයේ - දිය ගලන තාලයේ අසා නැති කටහඬක්        ඇසෙනවා

අනුරාධ භූමියේ - ගල් කුළුණු පාවුලේ හිඳ ගනිත    අසල ඔබ        ඉන්නවා

පොළොන්නරු භූමියේ  - ගල් වෙහෙර පන්සලේ පසන් සුවඳට මුසු ව හමනවා

ඈත භාරත බිමේ ලෙෂාන් වන ගුල්මයේ කොහි ගියත්     එතැන ඔබ ඉන්නවා  

සදා සීතල වතුර ගලනවා   

ආදරණීය ගඟුල් - මිහිදිනී ඔබ දෙදෙනා ද මට දැනෙන්නේ සදා සීතල වතුර ගලන උල්පත් ලෙස යි. ඒ පිරිසුදු ජලය ගලා යන උල්පත් කිලිටි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නට එපා.  

ඉන්දියාවේ වැසිකිලි සංකීර්ණ උදෙසා පවිත්‍ර වන ස්ථානය යන අදහස දෙන ශෞචාලය යන නම යොදා තිබුණත් එය වඩාත් තථ්‍ය ක්‍රියාකාරකමක් ව දුටුවේ චීනයේ දී යි. අපි දිවා ආහාරය රැගෙන චෙන්දු දුම්රියපළට ආවා සියෑන් බලා යාම සඳහා. එය අපට හුරුපුරුදු දුම්රියපළකට වඩා ගුවන් තොටුපලකට යි සම කළ හැක්කේ. දුම්රිය ගාඩ්ලා වශයෙන් අපට වැඩි වශයෙන් දැකිය හැකි වූයේ තරුණියන්. මෙය පැය තුනක කාලයකට සීමා වන අධිවේගී ගමනක්. පැයකට දුම්රිය ගමන් කරන වේගය පැයකට කිලෝමීටර් 300 ඉක්මවනවා. ඒත් මේ ගමන යද්දී බදුලු - මහනුවර - පොළොන්නරු ගමන්වල දී තරමට සුන්දර දර්ශන මට නම් දැක ගැන්මට හැකි වුණේ නැහැ. ලංකාව භෞතික ව පුංචි යි තමයි. ඒත් සුන්දරත්වයෙන් ඒ සා විසල් රටක් තවත් ඇද්ද කියා සිතෙන්නේ වෙනත් රටවල ඇවිදින විට යි.

සවස හයයි කාල වන විට අපි සියෑන් වෙත ළඟා වුණා. අපට අපේ කාමර තුන ලැබුණේ මහල් තුනකින්. මෙහි සේවක සේවක තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව නොදැන්ම මොන ආකාරයකින් වත් ගැටලුවක් කරගෙන නැහැ. චෙන්දුවල මෙන් මෙහි ද රොබෝවරියක් සිටිනවා. මා ඒ රොබෝවරියක් කියා සඳහන් කළේ එයට කවා තිබෙන්නේ කාන්තා කටහඬක් නිස යි. අපේ කාමරවලට අවශ්‍ය වතුර බෝතල් මෙන් ම පිටතින් ඇණවුම් කර ලබා ගන්නා ආහාර ද මෙහි රැඳී සිටින අමුත්තන්ගේ කාමර ඉදිරිපසට පැමිණ ඇය ලබා දෙනවා. ඇයට අප ආදරයට දැමූ නම ජිගිසිමුටී යන්න යි. ස්වභාවයෙන් ජීවියෙක් නොවන දෙයක් ජීවියෙක් ලෙස පෙනී සිටින තැන ද අමුතු ම සුන්දරත්වයක් තිබෙනවා.

හෝටලයට පැමිණීම සහ පිට ව යාම සඳහා ඇත්තේ කැරකෙන දොරටුවක්. අපි එළිමහන් ආපනශාලාවකට ගොස් අපේ රාත්‍රී ආහාරය ගත්තා. එතැන සිටි සේවක සේවිකාවන් මෙන් ම ආහාර ගැන්ම සඳහා පැමිණ සිටි චීන ජාතිකයන් කිහිප දෙනෙක් ද අප සමග හිතවත් වුණා. එතැන සිටි චීන තරුණයෙක් අපට ඔහු ගානේ බියර් ලබා දී සිය සුහදතාව පළ කිරීමට ඉදිරිපත් වුණා. අප කිසිවෙක් ඒවා භාවිතයට නොගන්නා බව පවසා ඒ වෙනුවට පිරිසුදු ජලය මාධ්‍යය කරගෙන අපේ සුහදතා ඇති කර ගත්තා.

අපේ අදහස් හැඟීම් චීන ජාතිකයන් වෙත සම්ප්‍රේෂණය කරන වාහකයා වුණේ අපේ විජේරත්න යි. ඒ තරුණයා අප වැළඳ ගෙන සිය සහෘදභාවය පළ කළ මොහොත මට සිහිපත් කොට දුන්නේ මෙයින් විසිපස් වසරකට පෙර භාරතයේ දී ගයාවලදී අපගේ මාර්ගෝපදේශකයා වශයෙන් කටයුතු කළ නාරායන් මිතුරා අප වැළඳ කී මේ වචන යි.  

ීසරල හදම ්රු බදඑ පහ රෙසැබාග ශදම ්රු දඅබ ඉරදඑයැරග   

කලින් ද කී පරිදි තැරැව්කරුවන් මෙහි ද සිටිනවා. එහෙත් එවැන්නකු නිසා අපට අප සියෑන්වල සිටින දින තුනේ අප සමග රථාචාර්යවරයා වශයෙන් එක් වන හොඳ ගමන් සගයෙක් ලැබුණා. ඔහුගේ නම වන්. එය ක්ෂණ විපත්තියක් ක්ෂණ සම්පත්තියක් බවට පත් කරගැනීමක් වුණා. යන මගදිගට වන් අපේ විජේරත්න සමග චීන භාෂාවෙන් විස්තර කතා කරමින් තමයි ගියේ. අපි ටෙරා කොටාවලින් නිර්මිත ස්ථාන බැලුවා. ඒ තැන්වලට ගියේ ද වන් සමග යි. ඔහු උස චීන ජාතිකයෙක්. විජේරත්න ඔහු ගැන කතා කරද්දී භාවිතයට ගැන්ම සඳහා හැදූ නම වන්නේ ටෙරා දිගා යි. එය අවමානයේ නොව ලෙන්ගතුකමේ ප්‍රකාශනයක්. වන් යනු නිතර සිනාමුසු මුහුණින් සිටින සුහදශීලී මනුෂ්‍යයෙක්.

මෙහි නවතින දේශීය වේවා විදේශීය වේවා සංචාරකයනට තමන්ගේ රෙදි සෝදා වේලා ගැන්මේ පහසුකම තිබෙනවා.    

අද රාත්‍රී 12 ටයි නින්දට ගියේ. අපි සාමාන්‍යයෙන් අපේ බයොලොජිකල් ඕඩර්රෙක කියා පවසන තත්ත්වයේ වෙනස් වීම නිසාදෝ මට නම් නින්ද ගියේ අළුයම තුන පමණ වන විට යි. මෙදින අළුයම හයයි තිහටයි අපගේ දෛනික සංචරණය ඇරඹෙන්නේ. බුදුන් වහන්සේගේ ජීවන චරණයේ සුවිශිෂ්ට ලක්ෂණ තුනක් වන පුබ්බහාසී - පුබ්බභාසී සහ පුබ්බකාරී චරණ පුහුදුන් මිනිසුන් වන අප සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි අවස්ථා මෙන් ම ඒවා ක්‍රියාත්මක කළ නොහැකි අවස්ථා ද එළඹෙනවා. 

මෙහෙ කොළපාට සහ ලානිල්පාට සහිත ටැක්සි රථ ද නිල්පාට සහ කහපාට මිශ්‍ර ටැක්සි රථ ද බහුල යි. චීන ජාතිකයන් අන්‍යයන්ගේ නිදහසට ගරු කරන ආකාරය අද්දුටුවා. වරක් මෑතක දී චීනයේ විදේශ ඇමතිවරයා  මෙවන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට තිබුණා. අපට මේ ගැන කිව්වේ අපේ විජේරත්න යි.

“චීනය කැමතියි, ලොව කාගේත් නිදහසට ගරු කරමින් නිදහසේ ජීවත් වන්නට. එහෙත් කවුරු හෝ ඒ ගැන නොතකා අපට පහර දෙනවා නම් ඔවුනට ඒ ක්‍රියාව දෙවන වරට කරන්නට අපි ඉඩ තබන්නේ නැහැ.”

පොඩි දරුවාගේ පටන් ජංගම දුරකතනවලට ඇති ඇබ්බැහිය නම් කණගාටුදායක යි. සරසවි ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ද මේ තත්ත්වය ඇති බව විජේරත්න කිව්වා. ඔහුට බීජින්හි පිහිටි චීන සරසවියක චීන ශිෂ්‍යයන්ට සිංහල ඉගැන්වීම ද දැන් එපා වී ඇත්තේ ඒ නිස යි. දැන් අපිත් චීන වචනයක් දෙකක් දන්නවා. 你好 (nǐ hǎo) නී හාඕ  කියන්නේ හලෝ යන්නට සමාන යෙදුමක්. 谢谢 (xièxie) ෂියේ ෂියේ යන යෙදුම භාවිත කරන්නේ ස්තුතියි කියා කීමට යි. කුඩා දරුවකුට ආමන්ත්‍රණය කරන්නේ 宝宝 (bǎobao)  යන වචන දෙකින්. එය අපට බාවෝ බාවෝ කියා සිංහල අකුරෙන් ලියා දැක්විය හැකි උනත් එහි නිරවද්‍යතාව ගැන මට සහතික වන්නට බැහැ. ඒ මම චීන භාෂාව නොදන්නා නිසයි. ඒ කෙසේ වෙතත් තවත් යෙදුම් දෙකක් ගැන පමණක් ලියා චීන යෙදුම් ගැන ලිවීම නවත්තන්නම්.  

මම ඔබට ආදරෙයි හෝ මම ඔබට කැමතියි කියා කීමට පාවිච්චි කරන්නේ 我爱你 (wǒ ài nǐ)  යන්න යි. ඒක මට සිංහල අකුරෙන් ලියා දක්වන්නට අමාරු යි. කෙනෙකුගෙන් සමුගැනීමේ දී නැවත හමු වෙමු කියා කියන්නට පවසන්නට අවශ්‍ය වූ විට කියන යෙදුම වන්නේ 再见 (zàijiàn)  යන්න යි. ඔය ටික මම අහගත්තේ ඔයගොල්ලන්ගේ වයසේ ම සිටින අපේ තිලිණිගෙන්.  


        



වර්තමාන චීන රාජ්‍ය නායකයාගේ නම හරිහැටි දැන ගත්තේත් මේ ගමනේ දී යි. ඔහු ජී. මින්. දුම්රියක යද්දී ඊළඟට තියෙන දුම්රියපලේ නම පුවරුවක දැක්වෙනවා. මට නම් ඒ නම් සියල්ල ම එක වගෙයි. මට මතක් වන්නේ අපේ දියණිය කුඩා දැරියක ව සිටිය දී එවක චීනයේ ගොස් පශ්චාද් උපාධියක් ලැබීම ගැන අදහසක් නොතිබූ අපේ ආදි ශිෂ්‍ය අපේ ගමන් සගයා විජේරත්න සමග තැබූ නම්. ඒ නම් තැබීමට අනුව චීනයේ තැපැල් ඇමති වන්නේ ලියුං කියුං. ආහාර ඇමති ඉවුං පිහුං වන අතර නිවාස ඇමති ඉඳුං හිටුං වෙනවා.

එවක චෞන් එන් ලායි මහාත්මා චීන රාජ්‍ය නායකයා ව සිටියදී 1959 සැප්තැම්බර් මාසයේ දී ඝාතනයට ලක්වූ බණ්ඩාරනායක අගමැතිතුමා වෙනුවෙන් කරන ගෞරවයක් වශයෙන් අපට කුඩා නෞකා පහක් එවා තිබෙනවා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට අගමැතිනිය ව සිටිය දී යි. ඒවා මෙහෙදී නම් කොට තිබෙන්නේ එතුමාගේ නමේ මුල් අකුරු වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. සහ බණ්ඩාරනායක නමේ මුලකුර වන බ එනම් බී. ද සංකේතවත් වන ලෙස යි. මට මතක හැටියට ශූරයා - වීරයා - රණකාමී - දක්ෂයා සහ බලවතා කියලයි ඒවාට මෙහෙදි නම් තබා තිබුණේ.

ජෝර්ජ් එලියට් යන පුරුෂ නාමයෙන් ප්‍රචලිත වූ ඉංග්‍රීසි ලේඛිකාවගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිහි වෙනවා, අපට හඳුනා ගැන්මට ලැබෙන බොහෝ චීන ජාතිකයන්ගේ සුහදතා දකින විට. අපි එයත් අප අතර බෙදා ගනිමු. මට මතක හැටියට මගේ 1987 හෝ 1988 දින පොතේ මේ පාඨය සටහන් කරගෙන තියෙනවා හොරණ උඩුකලකන්ද ගමේ එවක අපේ ශිෂ්‍ය නිවහන් කීපයක් වෙත කළ සංචරණයකින් පසුව. ඒ ගමනට සමන් අය්යා මෙන් ම දිනසිරි - දයාසිරි - උසන්ත යන සහෘදයන් ද එක් ව සිටි බව මට මතක යි. 

“පියකරු මල් ගලා හැලෙන දිය ඇළි හදවතේ සතුට ඇති කරන්නේ යම් සේ ද එපරිද්දෙන් කලාතුරකින් හෝ මුණ ගැසෙන ඇතැම් මනුෂ්‍යයෝ අප හදවත්වල සතුට ඇති කරති.”   

අපට හමු වූ රථාචාර්ය වන් යට කී ප්‍රකාශය සත්‍යයක් බවට පත් කළ චීන ජාතිකයෙක්.  

උණ ගස චීන ජාතිකයන්ගේ කලාව මත ඇද වැටුණු දැවැන්ත ඡායාවක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මේ ගැන මා බොහෝ දේ උගත්තේ අදිකාරම්තුමන්ගෙන් සහ අය්යාගෙනු යි. අද වන විට අස්ථානගත ව ඇති, අදිකාරම්තුමන් විසින් 1985 වර්ෂය ආරම්භයේ දවසක කළ නිර්මාණය හා නිෂ්පාදනය දේශනයේ මේ ගැන සඳහන් කිරීම් තිබෙනවා. මම ඒවා 2017 අවුරුද්දේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කළ උපාධි ප්‍රදානෝත්සව දේශනයටත් ගත්තා. ඒ වගෙම වරින් වර මගේ දින පොත්වල ලියා ගෙන ඇති කරුණු ඇසුරින් මා ඒ ගැන යම් යම් සටහන් ද තබා තිබෙනවා.

අප සොයා යායුත්තේ සහ ලොවට දිය යුත්තේ නිෂ්පාදන නොව නිර්මාණ යි. අපේ ශිෂ්‍ය දූ දරුවන් රැඳවිය යුත්තේ ද එතැන යි.  

අපේ චාරිකාවේ පස්වැනි දිනයේ ආරම්භයට පූර්වයෙන් අපි යළිත් චීන සාහිත්‍යයට යමු. 1990 පෙබරවාරි 08 සිට දෙසතියක් පමණ යන තෙක් අනුවේදනීය චීන නවකතාවක් වන බාජින්ගේ පවුල ත්‍්පසකහ නම් නවකතාවෙන් ගත් හදට දැනෙන උද්ධෘත මම සටහන් කරගෙන තියෙනවා. මේ නවකතාව පළමුවෙන් පළ වී තිබෙන්නේ 1931 වර්ෂයේ දී යි. ඒ එහි කතුවරයා වන බාජින් 27 වියැති තරුණයකු ව සිටිය දී යි. මෙය සිංහල පාඨක පර්ෂදය අතට පත් කෙළේ ආනන්ද කුමාර නමැති විශිෂ්ට පරිවර්තකයා යි. බාජින්ගේ ප්‍රබල ප්‍රකාශයක් ආනන්ද කුමාර සිය හැඳින්වීමට එක්කොට තිබුණා. එය ගඟුල්, ඔබ අප කාගේත් විශේෂ අවධානයට ලක් විය යුතු එකක්.

“මම උගතෙක් නොවෙමි. මම කිසි විශේෂ ගුරු කුලයකට අයත් ද නොවෙමි. එසේ ම කිසි අයුරකින් සීමා වී නොමැත්තෙමි. මා උගතකු නොවී සිටින තාක්. මා සාහිත්‍යයේ නීති අතුරෙන් කිසිවකට යටත් නැත. කවර සාහිත්‍ය කවයකින් වුව අහකට විසි කර දමනු ලැබීමක් නැත. බිය වන්නට ද මට කාරණයක් නැත. මගේ සතුරෝ කවරහු ද? සියලු යල් පිනූ ගතානුගතික සිතීම; සමාජ ප්‍රගතියට හෝ මානව අභිවර්ධනයට අවහිර කරන හේතු යුක්ති විරහිත කවර හෝ ක්‍රමයක්; ප්‍රේමය පයින් පාගා දමන කවර හෝ බලවේගයක් - මේ සියලු දේ මගේ සතුරෝ ය.”

ගඟුල් - මිහිදිනී, තමා ලියන්නේ තමා ජීවත් වන ආකාරයට ම බවත් සාහිත්‍ය කෘතියක උත්තම අරමුණ ජීවිතයක් සමග එක් වී පැවතීම බවත් ලේඛකයකුට සිය පාඨක සහෘදයන් සමග අනන්‍ය වීමට හැකි විය යුතු බවත් බාජින් අවධාරණයෙන් කියා සිටිනවා. මා පෙබරවාරි 09 වැනි දා බාජින් ඇතුළු ව මට දැනුණු විශ්ව සාහිත්‍යධරයන් පිළිබඳ ව ලියු දින සටහනක් ද ඔබ දෙදෙනා සමග බෙදා ගැනීමට කැමතියි.

“සිංහල වුවත් දෙමළ වුවත් ඉංග්‍රීසි - චීන - ජපන් - සංස්කෘත - හින්දී හෝ ලොව පවත්නා කවර භාෂාවකට හෝ කවර ජාතියකට අයත් වුවත් විශ්ව සාහිත්‍යයට එක් වූ ලේඛකයන්ගේ කෘතිවල මා සමාන බවක් දකිනවා. එවන් කෘතියක් කියවන විට අපට දැනෙන්නේ මේ අපේ ම අද්දැකීම් සාකච්ඡා කිරීමක් නොවේ ද කියා යි. එසේ ම අප නොවිඳි අද්දැකීම් ද අප විඳි අද්දැකීම් සෙයින් දැනෙන්නට ගන්නවා. ඒ කතාවල චරිත විඳින වේදනාවන් අපේ ම වේදනා බවට පත් වෙනවා. ඒ චරිත ශෝක වන විට එය අපගේ ම ශෝකයක් වෙනවා. ඔවුන් සතුටු වන විට ඒ සතුට අපේ සතුටක් බවට පත් වෙනවා. තාගෝර්, ටොල්ස්ටෝයි, ගෝර්කි, ෂේක්ස්පියර්, කාලිදාස, බාජින් වන් චරිත විශ්වය නමැති පවුලේ වෙසෙන සමාන අදහස් දරන චරිත කියා යි අපට සිතෙන්නේ.”      

බාජින්ට අනුව කලාව එළැඹිය හැකි උසස් ම තත්ත්වය වන්නේ නිර්කලාත්මකතාව යි. බාජින් යනු නිර්කලාත්මකතාව උපරිමාකාරයෙන් විඳි කෙනෙක්. එවන් තැනක යි, උපරිම අව්‍යාජ සෞන්දර්යය රැඳෙන්නේ. බාජින්ගේ පවුලේ එන පහත සඳහන් වාක්‍ය කිහිපය දෙස බලන්න.

“නිසා අහසෙහි එක් වලා රොදකදු නොවීය. පුන්සඳ මඬලක්, සිය රැස් දහරින් සියල්ලන් නින්දට යන ලෙස නලවමින්, අනන්ත වූ අන්තරීක්ෂය තුළ එකලාව නිර්මල ව යාත්‍රා කෙළේ ය. රාත්‍රිය නිසල විය.”  

මේ නවකතාවේ දී ආලය දිදුලන දැහැමි දෙයක් බවත් සැඟවුණු කිසිවක් ආලයට නොමැති බවත් මිනිසකුගේ හදවත ඇත්තට ම ආදරයෙන් දැවෙන විට කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව සිටින බවක් පෙන්වන්ට නොහැකි බවත් බාජින් හෘදයහාරී බසකින් අපට කියා සිටිනවා. අපේ ආනන්දකුමාර ඒ හෘදයහාරී භාෂාව ම තමයි සිංහලයට ගෙනෙන්නේ.  

අය්යාත් මමත් දෙදෙනාම මේ පොත කියෙව්වේ එකම කාලයක යි. එය බැලූ දිනවල ම මම ආනන්දකුමාරයනට ලිපියක් ලිව්වා. ඔහු මට එවා තිබූ ලිපිය අප කම්පනයට පත් කළා. ඒ සිය ලේඛනයෙන් දෑසක් දීමට වෑයම් කළ ඒ විශිෂ්ට පරිවර්තකයා ඒ වන විට දෑස් අන්ධ ව සිටි නිස යි. එතුමා ඒ ලියමන එවා තිබුණේ 1990 අප්‍රියෙල් 03 වැනි දා යි. එය වෙන කෙනෙකු ලවා ලියවා ගෙන එයට අපහසුවෙන් සිය අත්සන තබා තිබුණා. එතුමා හමුවීමට යාමට සිතා සිටියත් මම හොරණ විද්‍යාත්නයේ ගුරුවරයකු ලෙසත් ජපුර සරසවියේත් ආරාධිත කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරමින් සිටි කාලය යි, ඒ. මෙවැනි හේතු නිසා  මට එතුමා දකින්නට යන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මා දන්නා තරමින් මේ වන විට එතුමා ජීවතුන් අතර නැහැ. මේ හමු ව අතහැරීමේ වරද එතුමාගේ ලිපිය යළිත් කියවන හැම විටෙක ම මට දැනෙනවා. මම ඔබට කියන්නේ ජීවිතයේ එළඹෙන එබඳු අවස්ථා මග හැර නොගන්නා ලෙස යි. මන්ද අපගේ ජීවිත කාලයේ දී ඒ අවස්ථාව යළි කිසි දිනෙක උදා වීමට ඉඩ නොලැබෙන ලෙස යි.

මිහිදිනී, මග හැරී ගියේ කවර නම් මිනිසෙක් ද යන්න වඩාත් දැනෙන්නේ අද දවසේ මේ මොහොතේත්  ඒ ලිපිය යළි කියවන විට යි. එබඳු අවස්ථා පිළිබඳ ව මට වඩා වෙනස් මානයකින් කටයුතු කිරීම උදෙසා වන උත්තේජනයක් වශයෙන් ආනන්ද කුමාරයන්ගේ ලියමනේ සඳහන් වචන ඒ ආකාරයෙන් ම මෙහි සඳහන් කරන්නට මම කැමතියි.

“පවුල සම්බන්ධයෙන් ඔබ මා වෙත එවූ කාරුණික ලියමන ලදිමි. ඒ ගැන ඔබට ස්තුති කරමි. ඒ නවකථාවේ මගේ සිංහල පරිවර්තනය ඔබ වැනි රසඥ පාඨකයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වීම මගේ සතුටට හේතු වේ. පොත පරිවර්තනය කිරීමට මා ගත් උත්සාහය සහ වැය කළ ශ්‍රමය නිෂ්ඵල වී නැති බව පාඨකයන්ගේ පැසසුමෙන් දැක ගන්නට ලැබීම කොතරම් ප්‍රීතිජනක ද?

ඔබ එවූ The Flute  නමැති ලිපිය මගේ ම දෑසින් කියැවීමේ භාග්‍යය දැන් මට නැත. එහෙත් එය අන් කෙනෙකු ලවා කියවා ගතිමි. ආචාර්ය අදිකාරම් මහතාගේ බොහෝ අදහස් අප කියවා සහ අසා ඇත. ඒ අදහස් තුළ අගනා හරයක් ඇති බව මම පිළිගනිමි. 

ඹගේ පරිවර්තනය ගැන ඔබගේ මහත් ප්‍රසාදය පළ කරමින් කර තිබෙන පැසසුම් ගැන මගේ කෘතඥතාව ඔබ වෙත පළ කරමි.  

ස්තුතියි   

සැපවේවා  

මෙයට ඔබගේ හිතවත්   

ආනන්දකුමාර ”

ගඟුල් - මිහිදිනී, මගේ බිරිඳ ඔබේ ආචාර්යතුමිය තමයි, දැන් මෙබඳු ලේඛන සේ ම සමන් සිත්තරාගේ ලේඛනවල ද සංරක්ෂිකාව වශයෙන් කටයුතු කරන්නේ. මේ ලියමන ඔබ දෙදෙනාට කියැවීම සඳහා පිටපත් කළ වහා ඇති වූයේ එදා සංවේගයේ යළි අලුත් වීමක්. ඔබ දෙදෙනාට මා යළිත් අවධාරණයෙන් කියා සිටින්නේ මේ ගුරුවරයා පරිද්දෙන් ජීවිතයේ එබඳු අවස්ථා මග හැර නොගන්නා ලෙස යි.

ඔබට තවත් විශේෂ කාරණයක් ගැන ලියන්නට තිබෙනවා. ඒ ඔබේ ආචාර්යතුමියගේ ජන්ම දිනය දා ලියූ කවිය ගැන යි. එය මෙහි සඳහන් කරන්නේ අනාගතයේ දී ගඟුල්, අපේ මිහිදිනී උදෙසා ලියන කවියේ ගුණරුව ද ඉන් වෙනස් නොවන නිස යි.

සිසු දරු වෙතට ගුරු සඳ වී එන      පායා

සොහොයුරු සමන්ගෙන් දිවියට ගත් සේයා

යොදවන දැනුම දුරලනු වස් ලොව   මායා

සොඳුරිය නුඹ යි, මට අනපායිනි      ඡායා


මම චීන චාරිකාවේ පස්වැනි දිනය ගැන ලියන්නම් කියා කිව්වාට දැන් මට සිතෙන්නේ බාජින්ගෙන් එහි අවසානය සලකුණු කොට ඉදිරි ලිපියකින් ඒ ගැන ලියන්නට යි. මේ මොහොතේ මග හරවා ගත නොයුත්තේ බාජින් සහ ආනන්දකුමාර අපට දායාද කළ දෙය යි.

බාජින් යනු අනෙක් ලේඛකයන්ගේ නිර්මාණ ද අධ්‍යයනය කළ කෙනෙක්. ඉබ්සන්ගේ බෝනික්කකුගේ නිවස කියවා ඉන් උකහා ගත් දෙය අදාළ මූලාශ්‍රය සමග ම උපුටා දැක්වීමේ සද්ගුණය ඔහු ළඟ තිබුණා. මේ ඉබ්සන්ගේ පොතේ බාජින්ට වඩාත් දැනුණු තැනක්.

“සෙසු හැම දේටම කලින් මාත් ඔබ තරම්ම මනුෂ්‍ය ප්‍රාණියකු බව නැතහොත් යටත් පිරිසෙයින් මනුෂ්‍ය ප්‍රාණියකු වීමට උත්සාහ කළ යුතු බව මම විශ්වාස කරමි. බොහෝ දෙනා කියන දෙයින් සෑහීමට පත් වෙන්ට මට බැරි ය. මම කරුණු සිතා බලා ඒවා පැහැදිලි කර ගන්ට උත්සාහ කළ යුතු ය.”

බාජින් වරෙක අවධාරණයෙන් කියා සිටින්නේ පුද්ගලයකු කායික වශයෙන් දොරගුල් ලා හිරකර තබන්නට අපට හැකි වුවත් ඔහුගේ හදවත හිර කර තබන්නට නම් නොහැකි බව යි.

ගඟුල් - මිහිදිනී, අදිකාරම්තුමාගේ බටනලාව යළිත් කියවන්න. ඒ කියවා බාජින් බටනලාව ගැන කියන පහත ,දක්වා ඇති ප්‍රකාශයත් කියවන්න. ඒ කියවා යළිත් අදිකාරම්තුමාගේ බටනලාව අතට, ඇසට සහ හදට ගන්න. අපි දැනට බාජින් ළඟ නතර වෙමු.  

“සන්සුන් ව සංවර ව හඩන ඇඬුමක් වැනි හඬක් සඳ පහනින් ඒකාලෝක වූ රාත්‍රියේ අස්සක් මුල්ලක් පාසා විහිදී විහිදී, මුදු සුමුදු ලෙද පැතිරී ගියේ ය. එය මිනිස් කටහඬක් නම් නොවීය. කුරුල්ලකුගේ හෝ කෘමියකුගේ රාවයක් ද නොම විය. ඒ හඬ එවැන්නක් නොවිය හැකි සේ බෙහෙවින් ම සැහැල්ලු ය, බෙහෙවින් ම පැහැදිලි ය. විටෙක එය ඉඳුරාම ආත්මය කෙරෙන් නික්මෙන සිත නතු කරගන්නා විලාපයක් සේ, ස්වරයෙන් උච්ච වන්නාක් මෙන් විය. ඉක්බිති එය හමන මඳ පවන් පහරක හුදු සිඟිති ඉඟියක් සේ යළිත් ඇසෙන නොඇසෙන තරම් වන තුරු සෙමින් සෙමින් ප්‍රහීණ වූයේ ය. එහෙත් එවිට ද මුළු අහස් කුස දොම්නසින් පුරවමින්, වාත ස්කන්ධය තුළ පවත්නා එක්තරා ස්පන්දනයක් කෙනෙකුට දැනුණේ ය.”