Thursday, June 18, 2026

149. රවී මාමා - ඒ මනරම් තරුසුණු සදිසි වියුණු ලියන්නා! - Bidding Adieu to a Stardust Soul!

දාසය වසරකට ඉස්සර වැසි දැරිය දාහතර වියැති පාසල් දැරියක්ව ඉන්න කාලෙ තමා අන්තර්ජාලය අස්සේ පළමු වතාවට කරක් ගහන්න පටන් ගත්තෙ. ඉතිහාසය විෂයට අදාළ මොනවා හෝ හොයමින් හිටි වෙලාවක අහම්බයකින් සයුරි අක්කාගෙ පහන් යායට හෝ හසිත අය්යාගෙ ඊ අටුවාවට වැහිදැරිවිව යොමු වුණා. ඒ වියුණු අඩවි දෙකම දැන් ලියැවෙන්නෙ නෑ. හසිත අය්යා දෑවුරුද්දකට පෙරාතුව ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයකු විදියට පර්යේෂණ සම්මන්ත්‍රණයකදී මුණ ගැහුණත් සයුරි අක්කා වෙනත් අවකාශයකවත් හමු වුණේ නෑ.

එකල ලියැවුණු වියුණු අඩවි බොහෝමයක් එහෙමයි. බොහෝමයක් නිශ්ක්‍රියයි. බොහෝ වියුණුකරුවන් වෙනත් සමාජ මාධ්‍ය අවකාශ වෙත ලිවීමට විතැන්ව ගොසින්. වැහි දැරිවි සමාජ මාධ්‍යවල සැරිසැරීම නවතා බොහෝ කල් නිසා එකල ලියූ වියුණු කරුවන් සමඟ සබඳතාත් අඩුයි. ඒත් ඒ අතරේ අනවරත මිතුදම් සමඟ යාවත්කාලීන වුණ සුහද සබඳතාත් එමටයි.

එහෙම මිතුරියක් වන සිත්තමී අක්කා වැහි දැරිවිට පහුගිය සතියෙ එවා තිබූ මෙතෙක් වියුණු ලෝකයෙන් ආපු සංවේගදායකම පණිවිඩය වැහි දැරිවිව ඇහැට ඉනූ කඳුළක් සමඟ වසර දාසයක් දුර අතීතයකට අරගෙන ගියා. පණිවිඩය ලැබෙද්දි විදෙස් චාරිකාවක නියුතු නිසා එන්න නොහැකි වුණත් - අවම අන්තර්ජාල පහසුකම් යටතේ මේ ලිපියෙ කටු සටහන හද පොත උඩ වරින් වර ලියැවුණා.

මේ වියුණු අඩවියෙම මීට පෙර ලියා ඇති පරිදි වැහි දැරිවිගෙ වියුණු අතීතයෙ පළවෙනි වැහි බිංදුවෙ ඉඳලාම රවී විරසිංහ නමැති පරිණත - රසදායී වියුණුකරුවා ඉන්නවා. සටහන ඇරඹුමෙදි කිව්වා වගේ පහන් යායෙනුත් ඊ අටුවාවෙනුත් පටන් ගත්ත බ්ලොග් කියැවීම උච්චතම ස්ථානයකට ඇවිදිල්ලා වියුණු ලියන තැනට වැහි දැරිවිව ඇදලා දැම්මෙ රවී විරසිංහ නම් වියුණුකරුවාත් රන්දිල් නම් වියුණුකාරියත් සමෝසමේ ලියාපු නිදහස් සිතිවිලි නම් වියුණු අඩවියත් - ඒ ඔස්සේ මුණ ගැහුණ එවක වියුණු අවකාශයේ ජනප්‍රියම ලියන්නන් පිරිසක් විසින් කොටසින් කොටස ගෙතූ අන්දර මල්දම නම් වියුණු අඩවියත් විසිනුයි. 

ඒ අඩවි දෙකේ ලියැවුණ ආදර නිල් දෑසේ, සෙනෙහසේ නවාතැන, සරණ බන්ධන ආදී කතා ඒ අඩවිවල පදිංචි වෙලා පැල් බැඳගෙන කියවාපු දවස්වල කමෙන්ටු හුවමාරු හරහා - වියුණු කියැවීම් හරහා අන්දර මල්දමේ වැඩිහිටිම වියුණු ලියන්නා වැහි දැරිවිට රවී මාමා බවට පත් වෙලා තිබුණා.

බොහොම අපූරුයි දරුවා ඔබේ පරිකල්පනය කියා පටන් ගත් වියත් කමෙන්ටුවලට කාලයක් යද්දි රවී මාමගෙ සුපුරුදු හෙහ් හෙහ් හිනාව මුසු වුණා. කමෙන්ටු ඉතා දිගු වුණා. ඊයෙ කියැවූ බ්ලොග් අඩවියක - වියුණුකරුවකු තමා එදවස නිදහස් සිතිවිලි ලියන රවීගෙන් කමෙන්ටුවක් වැටෙන තුරු අලුත් ලිපියක් ලියුවාම බලා සිටි බව ලියා තිබුණා. ඔහුගෙ කමෙන්ටු එපමණ රසවත්. ඇතැම්වා අපි ලියන පෝස්ටුවලටත් වඩා දිගයි. එසේම ඊට වඩා රහයි. මිහිරියි. ගැඹුරුයි. 

හැත්තෑව අසූව දශකෙ ඉපදෙන්න හිටිය එකියක් වැරදිලා මේ කාලෙ ඉපදිලා කියලා බැන්නට - දැන්මම ඔච්චර ගැඹුරින් හිතන්න ගත්තාම උඹ අපි වගෙ නාකි වුණාම මොනවා හිතන්නද හිතාගන ඉන්නෙ බං කියා උපහාසයෙන් යමක් ලිව්වට ආයෙ ඊට යටින් ලිපිය අගය කරලා කමෙන්ටුවක් තියන පුරුද්ද හැමදාමත් රවී මාමාට තිබුණා.

ඔය කමෙන්ටු අතරෙ බොහොම මනරම් වියුණු සබඳතාත් ගොඩනැගුණා. මා කැමතිම ගී සොළොසට ඉයන් මාමා ලියාපු දැන් ළඳුන් සිංහාසනේ ගීතය වැහි දැරිවි එක් කළාම ඒකෙ එක පෙළක් වෙනස් කරලා ඒකට වියුණු ලියනා යුවතියන් - වැස්ස වැස්සන දැරිවියන් කියලා පදයක් එකතු කරන්න කියා කළ සරදම් එබඳු තැන්වල මිහිරි මතක.

පොකුරුවැහියි වැහි දැරිවියි කියලා වියුණුකාරියො දෙන්නෙක් ඉන්න එක හරි පැටලිල්ලක් නිසා එන්තරවාසි ගොනු කරන්න හිටපු රවී මාමා දවසක පොකුරු වැහි අක්කා වැහි දැරිවිට නිදි මරන්න එපාය - ස්නායු කරවේය කියලා දාපු කමෙන්ටුවක් අස්සෙ ගොහින් ආයෙ මේ යෝදිගෙ ස්නායු කරවෙන්න දෙයක් තියනවාය පොකුරු - රට බාරගන්න ඉන්න යොවුං පරපුර වුණාට සංගීත සංදර්සන බලන්න ගිහිං එළිවෙනකං නටන්න එපාය - ඒකට මේකි ලියන්නෙ ආත්තම්මෙක් ලියන එව්වා කියලා ලියා තිවුණාත් මතකයි. ඊටපස්සෙ ඕන්න වැහි දැරිවි තමනුත් යොවුං පරපුර වගෙ හිතන්න ගන්නවා කියලා විහිලුවට කිව්වාම ඉයන් මාමා කියා තිවුණ එහෙම ලියන එව්වා අපි එච්චර ගරුත්වයකින් කියවයි කියා හිතන්නට බැරි වග. ඕං එකට රවී මාමගෙ කමෙන්ටුව - ගරුත්වය කොච්චරද කියනව නම් ඉයන් මේ යෝදි ලියන එව්ව මං ලියන්නෙ පුටුවෙනුත් නැගිටලා!

වැහි දැරිවිගෙ තාත්තා වැහි වැටෙන තැන අඩවියෙ නවකතාවක් ලියන්න පටන් ගත්තාම - ඒකට කමෙන්ටුවක් දාලා වැහි දැරිවි කතාවක් ලියනවද අහපු තනි අලියාටද කොහෙදෝ නෑ යෝදයෝ මේක වැස්ස වලාහක දෙය්යන්ගෙ කතාවක් කියලා රවී මාමා කමෙන්ටුවක් දාලා තිබුණා.

ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියා සිය බිරින්දෑගෙ ගුරු ජීවිතයට ඈඳලා රවී මාමා ලියූ මතක පෙළෙහි එක කොටසකට වැහි දැරිවි නම් පාසල් දැරිවියගෙ සොඳුරු අඳුර නම් වියුණුවට ලින්කුවක් සපයලා තිබුණාට පස්සෙ වැහි වැටෙන තැනට යන පිරිසත් සෑහෙන්න වැඩි වුණා.

තාත්තා සමඟ ගමන් බිමන් කියා වැහි දැරිවි ලියාපු ලිපියක වැවදෙණියේ ඇල් ඩී මැන්දිස් නම් වෙසෙස් නවකතාකරුවා ගැන සඳහන් කළාම වැහි දැරිවිට පවුලෙ අයගෙන් පිට ඔහුගෙ පොත් ගැන කතා කරන්න සංවාදයක් හදාගත හැකි පළමු රසිකයා හමු වුණා. දකුණු පළාතෙ කතුවරයෙක් විදියට එච්චර ජනප්‍රිය නොවී වැහිලා ගිය එතුමාගෙ පොත් රවී මාමා ඔක්කොම කියවා තිබුණා. තව ජැක් ලන්ඩන්ගෙ කතා ගැන - අරඹෙගෙදර ඈන් ගැන - රුවන්වැලි සෑයෙ ගල් විහාරෙ ඉදිරිපිට හැන්දෑවරු ගැන - ආදී මෙකී නොකී දේවල් අපේ අනවරත සංවාද අතරෙ තිබුණා. 

වැහි දැරිවි උසස් පෙළ සමයෙ හෝ සරසවි සමයෙ අඩවි අක්‍රීය කරලා වියුණු නොලියා ඉන්න කාලවල රවී මාමා වැහි දැරිවිගේ අධ්‍යාපන කටයුතු ගැන විමසුම් කර ඊ පණිවිඩ එව්වා. පස්සෙන් පහු කාලෙක වැහි දැරිවි තුරුණු විහඟුන්ට උගන්වන බව දැනගත්තාම බොහොම සතුටු වුණා. 

ඒ වගෙම වැහි දරුව හඳුන්වන්න මානවකං අසරණං කියලා කිව්වට මොකද වැහි දැරිවිගෙ වැහි විප්‍රකාරවලට හරියන වැහි දරුවෙක් මුණ ගැහුණ එක ගැන රවී මාමා බොහෝම සන්තෝස වුණා. 

රවී මාමාගෙ අන්තිම ලිපියෙ මාතෘකාවෙ ලියැවී තිබුණෙ සත්‍යා අක්කාත් කසුන් අය්යා ගැනත්. එය අද යළි කියවද්දි එහි මැද තැනක වැහි දැරිවි ගැනත් ලියැවී තිබෙනු දැක වැහි දැරිවිගෙ ඇහැට කඳුළක් ඉනුවා. 

සම වයස් අයට මිසක දශක ගණනාවක වයස් පරතරයක් තියෙන හිතවතුන් මිත්‍රයන් වෙන්න බැරි යැයි කතාවක් කොතැන හරි වැහි දැරිවි අහලා තියෙනවා. ඒත් වැහි දැරිවිට සම වයසෙ බොහෝ අය වෙතින් ලද නොහැකි පිරිපුන් මිත්‍රත්වයක් අවුරුදු විසිපහක තිහක විතර පරතරයක් තිබුණ රවී මාමා වෙතින් මුණ ගැහුණා. වැහි දැරිවිත් රවී මාමාත් එකඟ වුණ තැන් බොහෝමයකුත් එකඟ නූන තැන් අතිශයාල්පයකුත් තිවුණා. ඒ වගේම කොච්චර කොහොම පිටු ගණන් කමෙන්ටු ලිව්වත් අප මුණ ගැහිලාත් නෑ. ඒත් ඒ කිසිදු හේතුවක් කවරදාවත් ඒ මනරම් මිත්‍රත්වයට බාධාවක් වුණේ නෑ.

වැහි වැටෙන තැන වියුණු අඩවියෙ පළ වුණ සටහන් එකතු කරලා ලියූ පොතක පිටපතක් රවී මාමාට දෙන්න විසල් වුවමනාවක් වැහිදැරිවිට තිවුණා. මනරම් තරු සුණු සදිසි වියුණු ලියන්නන්ට කියා ලියැවුණු ඒ පොතේ පිදුමේත් - පෙරවදන් සටහනෙත් රවී මාමා හිටියා. ඒක දෙන්නත් - වැස්ස වලාහක දෙය්යෝ සහ වැහි දරුවා ඇතුළු ඔහුව නොදැක දුටු වැහි දැරිවිගෙ පවුලේ අය සමඟ මුණ ගැහෙන්නත් සැලසුමක් තිබුණත් ඊට කලින් ඔහු ගමන ඉක්මන් කර යන්නටම ගියා.

පස්සෙන් පහු අන්දර මල්දම ලියැවෙන්නෙ නෑ කියා වැහි දැරිවි රවී මාමාට නෝක්කඩු කියන කොට ඒක තමන්ගෙ වැරැද්දක් නොවේය - වැරැද්ද ඒ වියුණු අඩවිය ලියාපු අනිත් විසුරුමාන බවලත්තු අතය කියා ලස්සනට සිත්තමී අක්කා - පොඩි කුමාරිහාමි - හංසකිකිණි ආදි වියුණුකාරියන් වෙත ඊතලය හැරෙව්වට මොකද ඉන්පස්සෙ නිදහස් සිතිවිලිවලත් ඉඳලා හිටලා ලිපි වැටෙන්න පටන් ගත්තා. එතකොට වැහි දැරිවි ඒ වෙද්දි අන්තිමටම ලියවුණු පෝස්ටුව හොයලා එතැන රවී මාමට බනින්නත් - වැහි වැටෙන තැන වැඩිය නොලියැවෙන කාලෙට රවී මාමා වැහි දැරිවිගෙ පොස්ටුවලට බනින්නත් පුරුදු වෙලා හිටියා. 

ඒ බොරු බැනුම් - රස සංවාද මැද සියලු දන සිත් නිවාලන්න දිගින් දිගටම සිසිල් වැසි වස්සවන්න කියා වැහි දැරියට කළ පැතුමක් රවී මාමාගෙ ඉපැරණි කමෙන්ටු අතර තිබී අදත් වැහි දැරියට හමු වුණා. 

වැහි වැටෙන තැන ලියැවෙන තාක් වැහි දැරිවි ඉඳලා හිටලා රවී මාමා එක්ක රණ්ඩුවක් අල්ලලා හෙට දවසෙත් නිදහස් සිතිවිලි අඩවියෙ කමෙන්ටුවක් ලියාවි.. ඔහුගෙන් වියුණු අවකාශෙ ගොඩක් දෙනෙක්ට පුරුදු වුණ හෙහ් හෙහ් ගාන හිනාවත් එක්කම! 

හැබැයි වැහි දැරිය දන්නවා ආයෙ වැහි වැටෙන තැනට රවී මාමාගෙ කමෙන්ටු වැටෙන්නෙ නෑ.. 

ඒත් වැහි වැටෙන තැනිනුත් වැහි දැරිය නමැති වියුණුකාරියගේ හදවතිනුත්  රවී මාමා කිසිදාක නික්ම යන්නේ නෑ!