ගුරු දියවර 56
වින්දන දිවි අරණ - සුන්දර ගුරු චරණ
මෙවර ගුරු දියවර අප අතරින් නොබෝදා වෙන් ව ගිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර සුප්‍රිය ගුරු සහෘදයා වෙත පිදෙන වනපස මලක් ම වේවා!
අනාගතයේ දී ශිෂ්‍ය ප්‍රජාව ඉදිරියේ වින්දනීය වූත් අවබෝධාත්මක වූත් ජීවන ක්‍රමවේදයක් නිර්මාණය කොට ගැන්ම උදෙසා සුන්දර ගුරු චරණ එනම් ගුරු චර්යා කොතෙක් නම් ඉවහල් වේ ද යන්න ගැන මේ උදෑසන සහන් කල්පනා කරමින් සිටින විට ය, ඒ ආදි සිසු දියණි සුදර්ශියගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ. ඇය පැවසුවේ මොනරාගල පළමු වැඩ සටහන ම බොහෝ දෙනාට දැනී ඇති බව ය. ප්‍රථම දිනයේ දී මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි විය. දෙවන දිනයේත් පාසල් දෙකකට අදාළ ව වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතු වෙයි. සහන් සිය සිසු දියණියට පැවසුවේ තමාට විශේෂ කාර්යයක් සඳහා සූදානම් වීමට ඇති බැවින් පසු දිනය නිදහස් කොට දෙන ලෙස යි. එහෙත් අදාළ වැඩ සටහන් සඳහා සිය බිරිඳ, හසිත් - සදසි - ගඟුල් සහ මිහිදිනී සමග සහභාගී වන බවත් ඒ කටයුතු සාර්ථක කොට ගැන්ම සඳහා නැගණියගේ සහාය ලැබෙන බවත් ඔහු කියා සිටියේ ය. ඔහු තවදුරටත් සිය සිසුවියට මෙසේ ද කියා සිටියේ ය.
“දුව සුදර්ශි, හෙට වැඩ සටහන කිසිම අඩුපාඩුවක් නැතුව කෙරේවි. ඔයත් ඇතුළු අපේ අලුත් පරම්පරාව අපටත් වඩා හොඳින් මේ වැඩ කරගෙන යන එක අපට ලොකු සතුටක්. ඔයාගෙ නංගිලා මල්ලිලාගෙ වයසෙ ඉන්න වර්තමාන ගුරු ප්‍රජාව නියෝජනය කරන අපේ හතර දෙනා මගේ පරම්පරාවට අයිති ඔයගොල්ලන්ගෙ මිස් එක්ක ඇවිත් ඒ වැඩ කරලා දේවි.”
එයට සුදර්ශියගෙන් ලැබුණේ පහත සඳහන් පිළිතුර යි.
“සර්, ඊයෙ වැඩ සටහනේ දී ඒ නංගිලා මල්ලිලා ඔප්පු කළා ඒ ගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් කියන කාරණේ උපරිමෙන් ම. ඊයේ මේ වැඩ සටහනකට සම්බන්ධ වෙච්ච අපේ විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙක් මේ අලුත් පරම්පරාවෙ කතා අහලා කියපු වචන ටික මම දකින්නෙ එතුමා අලුත් පරම්පරාවට දුන්න සහතිකයක් විදිහට.”
“මම කැමතියි සුදර්ශි ඒ සහතිකය ගැන ඔයාගෙන් දැන ගන්න.”
“එතුමා කිව්වෙ සර්, ඒ අය තාක්ෂණයෙ වහලුන් නොවී තාක්ෂණය තමාගෙ වහලෙක් කරගෙන සමාජගත කරන්න ඕන කාරණා ලස්සනට වගෙම දැනෙන්න ඉදිරිපත් කරනවා කියන එක. හැබැයි සර්රුයි මැඩම් දෙන්නත් අපට ඕනෙම දෙන්නෙක්. ඒකෙන් පිරෙන්නෙ වෙන ම හිස්තැනක්නෙ. ඇයි සර් හෙට දවස දෙන්න කියලා කිව්වෙ.”
“කාරණා දෙකක් නිසයි සුදර්ශි, එකක් අපේ අසංක පද්මසිරි මහත්තයා ආවා ඊයෙ රෑ මෙහෙ ඔයගොල්ලන්ගෙ දිස්ත්‍රික්කයෙ අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්තුමත් එක්ක අපේ නවාතැනට. අනිද්දා ඒ කියන්නෙ මේ සෙනසුරාදා දිස්ත්‍රික්කයෙ ගුරුප්‍රජාවට වැඩ මුළුවක් තියෙනවා කියලා එදාට ගුරු ජීවිතය ගැන දේශනයක් කරලා දෙන්න පුළුවන් ද කියන එක ඇහැව්වා. ඒක අපි මෙහෙට ඇවිල්ලා ආපු බව දැන ගන්න ලැබිච්ච නිසා හදිසියෙ කරන ආරාධනාවක් උනාට ඒ වැඩේ කරලා දෙනව නං අපිට ලොකු දෙයක් කියලයි එතුමා කිව්වෙ.”
“හරි සර්, එතකොට අනික් කාරණේ.“
”අනිත් කාරණේ අනුවේදනීය එකක්. අපේ ශිෂ්‍යයෙක් නොවී අපට තමන්ගෙම ගුරුවරුන් විදිහට සලකපු බොහොම ආදරණීය මනුස්සයෙක් අපට අහිමි වුණා කියන ආරංචිය ලැබුණා. ඒ තමයි විවෘත විශ්වවිද්‍යාලෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර. ඔය හසිත්ලා ගඟුල්ලා වගෙම දෙයක් දැනෙන්න කතා කරන්න පුළුවන් කෙනෙක්. එතුමාගෙ විෂය ආර්ථික විද්‍යාව උනාට එතුමා අපේ සාහිත්‍ය මිත්‍රයෙක්. අපිට පස්සෙ ලෝකෙට ආපු මේ හොඳ මිනිස්සු අපට කලින් ලෝකෙන් නික්මිලා යන එකයි දුක. මම ඒ නලින් සම්බන්ධ අතීත ස්මරණත් එක්ක ඉන්න වෙලාවෙ තමයි අධ්‍යාපන අධ්‍යක්ෂතුමයි කලාප අධ්‍යක්ෂතුමයි අපිව හම්බ වෙන්න ආවෙ. මම හිතුවා සුදර්ශි අපේ මොනරාගල ගුරු ප්‍රජාව වගෙම අපේ නලින් ගැනත් හිතලා ඒ දේශනේ කරන්න. ඒක මට හදා ගන්න හෙට දවස ඕන කරනවා. ඒක අපේ ගුරු මෙහෙවරේ වගෙම ගුරු දියවරේ කොටසක් කරගෙන මම හෙට ලියන්න ගන්නවා. බය වෙන්න එපා, අපේ කණ්ඩායම හෙට දවසත් සාර්ථක කරාවි. ඔයගොල්ලොත් ඉන්නවනෙ පසුබිමේ. මට හිතෙනවා අපි ඉන්න තැනදිටත් වඩා අපි නැති තැනදි අපේ කණ්ඩායම ප්‍රබල වෙනවා කියලා.“
ඒ දූරකථන සංකථනයෙන් පසු සිය පිරිස ද එදින යායුතු පාසල් බලා නික්ම ගිය පසු සහන් වැව්තෙර නවාතැනේ එසොඳුරු වැව ද ඇසට හසුවන තැනක හිඳ ගත්තේ යටකී ලිපිය ලියනු පිණිස ය. සුන්දර ගුරු චරණ ලිපියට ඔහු අද මූලාශ්‍රය කොට ගන්නේ පෙරදා රැයේ 1608 ලේඛන අංකය යටතේ එනමින් ලියු ලිපිය, දෙවැනි ලිපි අත් පිටපත, මෙවසර සහ 1986 දින සටහන් පොත් කිහිපය යි. වර්තමානයෙන් අතීතයට යමින් යළි අතීතයෙන් වර්තමානයට එමින් මේ ලිපිය සහන් ආරම්භ කෙළේ නොකල්හි දේශයට අහිමි ව ගිය සිය සුප්‍රිය ගුරු සහෘදයාට හදවතේ ගැඹුරු ම තැනින් මෙසේ ප්‍රාර්ථනය කරමිනි.
කල්‍යාණමිත්‍ර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර සුප්‍රිය සහෘදයා නිවනින් නිවී සැනහේවා!
නලින් අබේසේකර ශ්‍රී ජයවර්ධනපුර විදුදය සරසවියේ සුකීර්තිමත් ආදි විද්‍යාර්ථියෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ සුපහන් ආදි ශිෂ්‍යයකු වන ඔහු සැබැවින් ම ආනන්දයට ආනන්දයක් ම විය. සහන් නලින් සම්බන්ධයෙන් මෙහි සැබැවින් ම යන වචනය යෙදුවේ කලාතුරකින් හෝ ආනන්දයට ආනන්දයක් නොවන චරිත ද ඔහුට මුණ ගැසී තිබූ බැවිනි. ඔහුගේ කායික අභාවයෙන් පසු සමීපතමයන් විසින් තබන ලද සෑම සමරු සටහනක් ම අපට නලින්ගේ ජීවිතය දැක්මෙහි ලා වන කැඩපතක් වෙයි. සමීර - නිරෝෂා විසින් තබන ලද සටහනෙහි සඳහන් වූයේ නලින් යනු සිය ජීවිත කාලය තුළ මුණ ගැසුණු උතුම් මිනිසකු මෙන් ම තථ්‍ය මිත්‍රයකු ද වූ බව ය. 2
නලින්ගෙන් ඉගෙන ගැන්මට භාග්‍යවත් වූ සුපුන් ලියනගේ සඳහන් කොට තිබුණේ සිය ජීවිත කාලය තුළ මුණ ගැසුණු නිහතමානී ම ගුරුවරයා ඔහු බව ය. සුපුන් තවදුරටත් සඳහන් කොට තිබුණේ නලින් අබේසේකර යනු අලෙවි කළමනාකරණය විෂය ළඟ පමණක් නතර නොවී ජීවිතයට වටිනා පාඩම් රැසක් කියා දුන් අපූර්ව මාර්ගදර්ශකයකු වූ බව ය. අම්බිගා වෙල්සාමි හිතවතිය, සිය සංස්කෘතිය නියෝජනය කරමින් නලින් උදෙසා පළ කොට තිබුණේ ඕම් ශාන්ති යන උත්තම ප්‍රාර්ථනය යි. මේ අතර පියනන්ද රාජපක්ෂ සඳහන් කොට තිබුණේ නලින් උතුම් චරිතයක් සේ ම දක්ෂ ආදරණීය ගුරුවරයෙක් ද වූ බව ය.
සහන් විසින් ඉහත දක්වා ඇත්තේ නලින් පිළිබඳ ව ලියැවුණු සටහන් අතුරින් සිය ඇස ගැසුණු අනුවේදනීය සහ හෘදයහාරී සටහන්වලින් කිහිපයක් පමණි.
සහන් මෙවර ගුරු දියවර ලියන්නේ ද විශිෂ්ට පර්යේෂකයකු සුදක්ෂ දේශකයකු මෙන් ම කෘතහස්ත ලේඛකයකු ජාතික සහ ජාත්‍යන්තර තලයේ ද ලා වන මහාර්ඝ මෙහෙවර අප්‍රමාදී ව සහ නොමඳ ව ඉටු කළ ඒ උතුම් පුරුෂරත්නය ඒ ආනන්දනීය චරිතය සිය හදබිම්කඩෙහි තබා ගත හැකි ඉහළ ම තැන තබා ගෙන ය.
ගුරුවරයා සන්දේශ ප්‍රේෂකයකු විය යුතු ය. මෙහි ලා සහන්ට උල්පත වූයේ 2011 ජනවාරි මාසයේ දිනක සන්දේශ කාව්‍යය යනුවෙන් ලියන ලද 40 වැනි ලිපිය යි. එදින ඔහු කොළඹ සරසවියේ දී යථෝක්ත මාතෘකාව යටතේ සිංහල අධ්‍යයනාංශයේ අවසන් වසර ඉගෙනුම ලබන ශිෂ්‍ය ප්‍රජාවට ආරාධිත දේශනයක් කොට තිබිණ. සන්දේශ යන වචනය සැදෙන්නේ ‘සැමතින් ම’ ‘යහපත් ව’ සහ ‘එක් ව’ යන සදර්ථයන්හි යෙදෙන සම් යන උපසර්ගය පූර්වයෙන් යෙදී දැක්වීම - පෙන්වීම - කියාදීම යන අර්ථවල යෙදෙන දිශ් ධාතුවෙනි. ගුරුවරයා සමාජය යහපත් කරවන - සුන්දර කරවන කිසියම් පණිවිඩයක් හෝ දෙයක් සමාජය වෙත රැගෙන යන සන්දේශහාරකයකු එනම් සන්දේශ සම්ප්‍රේෂකයකු විය යුතු ය. සංස්කෘත සාහිත්‍යාගත ප්‍රථම සන්දේශ කාව්‍යය ලෙස සැලකෙන මහාකවි කාලිදාසකෘත මේඝදූතයේ එවන් ගුරු පණිවිඩ රැසක් විද්‍යමාන ය. සමස්ත ගුරු ප්‍රජාව මෙවන් පණිවිඩ සිය ශිෂ්‍ය ප්‍රජාව වෙත අඛණ්ඩ ව මුදා හරීවා යන ප්‍රාර්ථනය ද සමග මේඝදූතගත ගුරු පණිවිඩ කිහිපයක් පමණක් ඒවායේ සිංහල පරිවර්තන ද සමගින් ගුරු දියවරට මුසු කරනු රිසියෙමි.
මන්දායන්තේ න ඛලු සුහෘදාමභ්‍යුපේතාර්ථකෘත්‍යාඃ
මිතුරන්ගේ එළැඹි වැඩ කටයුතු විෂයයෙහි ලා ඒකාන්තයෙන් ප්‍රමාද නොවෙත් මැ යි.
ආපන්නාර්තිර්ප්‍රශමනඵලාඃ සම්පදෝ හ්‍යුත්තමානාම්
උතුමන්ගේ සම්පත් විපතට පත් වූවන්ගේ පීඩා සංසිඳවීම උදෙසා වෙයි.
ප්‍රායඃ සර්වෝ භවති කරුණාවෘත්තිරාර්ද්‍රාන්තරාත්මා
බොහෝ සෙයින් ඇතුළත තෙත් වූ හදවත ඇති සියලු දෙය කාරුණික පැවතුම් ඇත්තේ වෙයි.
මේඝදූතයේ රස’රුත් සොයා යනු රිසි සිංහල පාඨක සහෘදයනට මෙරට කීර්තිමත් යති පඬිරුවනක් වන අතිපූජ්‍ය වටගෙදර විමලබුද්ධි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිංහලයට නඟන ලද මේඝදූතය අත් පොතක් වේවා යන ප්‍රාර්ථනය කොට සහන් ගුරු චර්යාවේ තවත් ඉසව්වක් සොයා ගියේ ය.
එහි දී ඔහුගේ ඇස ගැසුණේ සිය දෙවැනි අත්පිටපතේ 41 අංකය යටතේ දැක්වෙන නීතීඥ නම් ලිපිය යි. නීති යනු මනුෂ්‍යයා වැරදි තැනින් නිවැරදි තැනට පමුණුවාලීම සඳහා පනවාගෙන තිබෙන එක්තරා ආකාරයක ප්‍රඥප්ති සමූහය යි. එසේ නම් නීතීඥයා යනු කවරෙක් ද? තද්වචනයේ නිරුක්ති අර්ථයට අනුගත ව සිතද්දී සිය සොහොයුරා යනු වෘත්තීය වශයෙන් නීතීඥයකු නොවී අර්ථමය වශයෙන් ඊට සම්බන්ධ කළ හැකි චරිතයක් නොවේ දැයි සහන්ට සිතිණ. පමුණුවාලීම යන අර්ථයේ යෙදෙන නී ධාතුව පූර්වයෛන් යෙදී, දැන ගැන්ම යන අර්ථවාචී ඥා ධාතුව සමග එක් ව හැදෙන නීතීඥ වචනයෙන් අර්ථවත් වන්නේ වැරදි තැනින් නිවැරදි තැනට පමුණුවාලීමේ ක්‍රියාව දන්නා තැනැත්තා ය. මේ මොහොතේ සහන් සොඳුරු ගුරු චරණයක් වශයෙන් දෙවනු ව හඳුන්වා දීමට කැමති වන්නේ එය යි. වෘත්තීය වශයෙන් මතු නොව සමාජීය වශයෙන් ද තමා ජීවත් වූ සමාජයට නීතීඥයකු වූ මහාත්මා ගාන්ධිතුමන්ගේ පහත සඳහන් ප්‍රකාශය ගුරුවරයා සම්බන්ධයෙන් ද අත්‍යන්තයෙන් අදාළ වන්නේ විවිධ අදහස් දරන ශිෂ්‍ය ප්‍රජාවක් එක හුයකින් සම්බන්ධ කිරීමෙහි ලා වන පැහැර හැරිය නොහැකි වගකීම ඔහු ඉදිරියේ ඇති බැවිනි.
“නීතීඥයාගේ නියම කාර්යය නම් දෙකඩ ව වෙන් වී ගිය දෙපක්ෂය එකමුතු කිරීම බව මම වටහා ගතිමි. මේ පාඩම නොමැකෙන අයුරින් කොතරම් මා තුළට කාවැදී ගියා ද කිවහොත් නීතීඥයකු වශයෙන් කටයුතු කළ අවුරුදු විස්සක කාල සීමාවෙන් වැඩි කොටසක් ගත වුණේ සිය ගණනක් වූ නඩු පෞද්ගලික ව සමථයට පත් කිරීමට ය. එයින් කිසිවක් මට නැති වුණේ නැත. මුදල් පවා නැති නොවී ය. නියත වශයෙන් මගේ ආත්මය නැති වුණේ නැත.”
ආත්මය මරා ගත් මිනිසකු ව වසර සියයක් ජීවත් වන මිනිසකු වනවාට වඩා, ආත්මය මරා නොගෙන ඉන් අඩක් වුව ජීවත් වීම අගනේ ය යන හැඟුම මේ මොහොතේ සහන්ගේ සිතට නැඟුණේ පනස් එක් වසක් පමණක් ජීවත් වී නික්ම ගිය නලින් සහෘදයා සිහිපත් වූ බැවිනි. එහෙත් මේ චරිත කරන බලවත් වරදක් වෙයි. ඒ ඔවුන් ලෝකයේ සුවපහසුව උදෙසා වැඩ කළ ද තම සෞඛ්‍යය උදෙසා සතිමත් නොවීම ය. මේ චෝදනාව වේදනාත්මක ව අද අප අතර නැති නලින් මිතුරා වෙත ද දැනට අප සමග සුජීවත් ව සිටින ඇතැම් කලණ මිතුරන් විෂයයෙහි ද සිදු කළ යුතු වෙයි.
දුර්දාන්ත සමාජයක දී යහපත් මනුෂ්‍යයා වුව චුදිතයකු බවට පත් කළ හැකි ය. ගුරුවරයා නීතීඥයාගේ වේශයෙන් සමාජාභිමුඛ විය යුත්තේ පවත්නා එවන් තත්ත්ව ගැන සිය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ය. එවන් ගුරුවරයා සමාජය විසින් තමා වෙත බුහුමන් දෙනු ලැබේ ද නොලැබේ ද යන කරුණු සැලකිල්ලට නොගනියි. ඔහු හෝ ඇය කරන්නේ පුෂ්ප මෙහෙවර යි. ප්‍රවීණ ලේඛක කේ. ජයතිලකයන්ගේ පහත සඳහන් ප්‍රකාශය එවන් ගුරු උතුමන් සහ උතුමියන්හට අදාළ වන්නේ ඒ අනුව ය.
“කැලේ පිපෙන මලක් මිනිසකු විසින් නොදක්නා ලද කල්හිදු මල යන නම ලැබීමට සුදුසු වෙයි. මලේ කාර්යය දකිනු ලැබීම නොවේ. කෙනෙකු විසින් නොදක්නා ලද කල්හි ද මල තම ප්‍රධාන කාර්යය ඉටු කරයි.”
හිංසකත්වයෙන් තොර සමාජයක් බිහි කිරීමෙහිලා ගුරු සම්ප්‍රදායන අතිශයින් වැදගත් වෙයි. ඒ සඳහා පළමු ව ගුරුවරයා අහිංසක විය යුතු වෙයි. සහන්ගේ ජීවිතයට පහන් කණු වූ එවන් ගුරුවරු සිටිති. නිර්මාංසික ජීවන ප්‍රතිපදාවක් ගත කරමින් සිය ජීවන චර්යාවෙන් ම ඒ බව ප්‍රකාශයට පත් කළ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා, මහින්ද පලිහවඩන මහාචාර්යතුමා සහ සොයුරු සිත්තර සමන් ඒ අතුරින් මහා ප්‍රදීපස්තම්භ ත්‍රයක් වෙමින් අද ද යන යන මග ආලෝකවත් කරති. සිය අතැති දෙවැනි ලේඛන අත් පිටපතේ එන 42 ලිපිය අහිංසක නම් වෙයි. අහිංසා යන වචනයේ අර්ථය සිය ශිෂ්‍ය ජීවිතයේ දී තමාට පළමුවෙන් කියා දුන්නේ අදිකාරම්තුමා ය.
“අහිංසා යන වචනය සැදෙන්නේ රිදවීම, පහර දීමට - පීඩා කිරීමට ඇති කැමැත්ත යන අර්ථයෙහි යෙදෙන හන් ධාතුවෙනි. රිදවීම, පීඩා කිරීම ඇති තැන ඇත්තේ හිංසාව යි. එබඳු හිංසනයෙන් මිදීමට ඇති කැමැත්ත අහිංසාව යි.”
අහිංසාව යනු හිංසාවට ඉඩ දී නිහඬ ව බලා සිටීම නම් නොවේ. ඒ වූකලී අහිංසා සංකල්පය වරදවා කියැවීමකි. ඉන්දියාවේ එක්තරා ගමකට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරීන් පිරිසක් දේපළ කොල්ල කති. ළමා ළපටිනට කාන්තාවනට පීඩා කරති. ඔවුන් පත් මේ විපත් ගැන කම්පාවට පත් වන මහාත්මා ගාන්ධි එම ගමට ගොස් අවම බලය යොදා හෝ මෙම පීඩාවන්ගෙන් ගම මුදා ගැනීමට කටයුතු නොකෙළේ මන්දැ යි එගම පිරිමින්ගෙන් ප්‍රශ්න කරයි. එයට පිළිතුරු දෙමින් ඔවුන් පවසන්නේ ඔබගේ අහිංසා ධර්මය පිළිබඳ වන දේශන ඇසීම නිසා වෙනස් වූ අප හිංසාවට හිංසාවෙන් පිළිතුරු නොදීමට ගිය බව යි. මේ පිළිතුර අසන ගාන්ධිතුමා මහත් සේ කම්පාවට පත් වෙයි. ඔහු ඒ මොහොතේ කළැයි සැලකෙන ප්‍රකාශය අනතුරුව සහන් අතින් මෙසේ සටහන් විය.
“ඔබේ දේපළ පැහැර ගනිද්දී ඔබේ ළමා ළපටිනට හිංසා පීඩා කරද්දී ඔබේ දෑස් ඉදිරිපිට ඔබේ මව, බිරිඳ දියණිය සහ සොයුරිය දූෂණය කරද්දී ඊට එරෙහි ව කිසිවක් නොකොට නිහඬ ව බලා සිටීම මා කතා කරන අහිංසාව නම් නොවේ.”
සෙන් දහම ද අපරාධ වැළැක්වීම උදෙසා ආදරයෙන් පහර දීම පිළිබඳ වන ක්‍රම වේදයක් උගන්වයි. මෙදහම ගැන සහන් සමග ගැඹුරින් කතා කළ උපරිම සහෘදයා වූයේ ද සමන් සිත්තරා ය. අහිංසා සංකල්පය පිළිබඳ ව බුදුදහමින් ලද පෝෂණය වැඩි දුරටත් හදවතේ තහවුරු වීම උදෙසා අදිකාරම්තුමා බල පෑ අතර එබඳු ජීවන ප්‍රතිපදාවක් සමග ලෝකය සමග මුසු විය යුතු ආදරණීය ආකාරය කියා දුන්නේ සමන් සිත්තරා ය.
ගුරුවරයා අහිංසක විය යුතු අතර එදහම සමාජගත කිරීමෙහි ලා වන භූමිකාවේ දී ආදරණීය විරෝධකයකු බවට ද පත් විය යුතු වෙයි. මංගල මේසයේ නමින් අවමංගල මේස සූදානම් වන විට ඒවා අමනාප චිත්තයකින් නොව දයාබර සිතකින් ප්‍රතික්ෂේප කරන තැන ඇත්තේ ද ආදරණීය විරෝධය යි. සිය බන්ධු මිත්‍ර ශිෂ්‍ය කාරකාදීන්ගේ විවාහ මංගල්‍ය, අමංගල ස්වරූපයකින් සිදු වන විට සහන් ඒවාට සහභාගී නොවූයේ එහෙයිනි. එහෙත් පසු දිනෙක ඒ යුගදිවි පත් යුවළ හමු ව ඔවුනට ආශිර්වාද කිරීමට ඔහු අමතක නොකෙළේ ය. ආදරණීය විරෝධය ලෝකය තුළ වෙනසක් ඇති කරන බව සහන් දැන සිටියේ ය. එය ගැටුම් සමනය කරනු විනා ලොව ගැටුම් ජනිත කරවන්නේ නැත. ගෞතම බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු ශාස්තෘන් වහන්සේලා ද ටොල්ස්ටෝයි - තාගෝර් - ගිබ්රාන් බඳු සාහිත්‍යධරයෝ ද මහාත්මා ගාන්ධි - ආචාර්ය විනෝබා භාවේ - අනගාරික ධර්මපාලතුමා බඳු සමාජ සුධාරකයෝ ද සොක්‍රටීස් - ක්‍රිෂ්ණමූර්ති - අදිකාරම් බඳු සුවිශිෂ්ට චරිත සහන්ගේ ආදරණීය විරෝධකයන් පිළිබඳ වන ලේඛනයේ උපරි සාමාජිකයෝ වෙති. වරක් මහාත්මා ගාන්ධි පැවසුවේ අහිංසාව යනු දුෂ්ටකමට එරෙහි සියලු ම නියමයන්වලින් ඉවත් වීමක් නොවන බව ය. ඔහු අදහස් කරන අහිංසාව, දුෂ්ටත්වය වැඩි කරන පළි ගැනීමකට වඩා ක්‍රියාශීලී නියම සංග්‍රාමයකි. හෙට දවසේ අමතන ගුරු ප්‍රජාව අතට පත් කිරීම සඳහා එම අහිංසාව හා බැඳුණු ආදරණීය විරෝධය පිළිබඳ වන ගාන්ධි ප්‍රකාශය ඔහු මෙසේ ලියා තැබුවේ ය.
“දුරාචාරයට මානසික වශයෙන් ද එසේ ම ආධ්‍යාත්මික වශයෙන් ද වන විරුද්ධ වීමක් මම මෙයින් අදහස් කරමි. දුෂ්ටත්වයේ කඩු මුවහත සම්පූර්ණයෙන් ම මොට්ට කිරීමට මා අපේක්ෂා කරන්නේ වඩාත් මුවහත් අවියක් යෙදීමෙන් නොව කායික විරුද්ධතාව හා බැඳුණු ඔහුගේ අවි ගැන ඇති බලාපොරොත්තුව සුන් කිරීමෙනි. මා දක්වන ආත්මීය විරෝධයට ඔහු මුළා වෙයි. පළමුවෙන් ම ඔහු විස්මයට පත් කරයි. අන්තිමේ දී එය පිළිගැනීමට ඔහුට බල කරයි. මේ පිළිගැනීම ඔහු අවමානයට පත් කරනවා නොව උසස් බවට පත් කරයි.”
ආදරණීය විරෝධියකුගේ ඇතුළු හදවත හඳුනා ගැනීම උදෙසා වන සොඳුරු ප්‍රකාශයක් අපට සොසෙකි නත්සුමේගේ බොච්චන් නම් ජපන් නවකතාවේ දී අපට හමු වෙයි. මෙම කෘතිය සිංහලයට නඟා ඇත්තේ පියදාස රණසිංහයන් විසිනි. මෙහි දී අපට හමු වන ආදරණීය විරෝධකයා ගුරුවරයෙකි. ඔහු අවංක ය; මෘදු ය; ඍජු ගුණයෙන් යුක්ත ය. ඔහු කිසි විටෙකත් තමා හදවතින් අදහස් නොකළ දෙයක් නොකියයි, නොකරයි. පහත සඳහන් වන්නේ ඒ ගුරුවරයාගේ ආත්මීය ප්‍රකාශනය යි.
“මා මුළුමනින් ම මිනිසකු වීමට පතන බව කීමට අවසර දුන මැනවි. එනු මැනවි. ගරු බුහුමනින් දුන් ප්‍රතිඥාවන් ලිහිල් කොට යමකුට ද්‍රෝහි වන්නට තුඩු දෙන නීචකමේ අංශුමාත්‍රයක්වත් සොයා ගත හැකි දැයි මගේ හදවතේ අස්සක් මුල්ලක් නෑර අවුස්සා බලනු මැනවි. අවසන දී ඔබේ බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත.”
ගුරු චරණ සතරක් පිළිබඳ කතා කළ සහන් අනතුරුව නතර වූයේ මෙයින් 15 වසරකට පෙර ලියන ලද සිය හතළිස් තෙවැනි ලිපිය ළඟ යි. අසාමාන්‍ය මිනිසා එහි මාතෘකාව යි. ගාන්ධි පවසන අන්දමට එබඳු මිනිසා ජනතාවගේ අත්පොළසන් අපේක්ෂා කරන්නේ නැත. ඔහුගේ අපේක්ෂාව වන්නේ ධාර්මිකත්වය පමණි. මිනිසුන්ගේ කෑදරකම හා හිංසාකාරී ක්‍රියාවලින් පැනනැඟුණු වියවුල් මධ්‍යයේත් සටන් බිමකට එක් රැස් ව කලකෝලාහල කරන අයගේ දෝෂාරෝපණ මධ්‍යයේත් ඔහු සිය ජීවන ප්‍රතිපදාව අංශු මාත්‍රයකින්වත් වෙනස් කොට ගන්නේ නැත.
එබඳු මිනිසා කොතැනට ගියත් තම මෙහෙවර සිදු කරයි. මේ මොහොතේ සහන්ට සිහිපත් වූයේ සිය ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන රත්නප්‍රිය විජේරත්න යි. පශ්චාද් උපාධි කටයුතු උදෙසා මෙන් ම ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් ඔහු චීනයට යන විට ඇතැම් දෙනා පැවසුවේ එහි දී නම් ඔහුට සිය නිර්මාංසික ජීවන ප්‍රතිපදාව වෙනස් කිරීමට සිදු වන බව යි. එහෙත් එසේ කෙළේ ඔහු නම් නොවේ. එහි ප්‍රතිඵලය වූයේ චීනයේ දී ඔහුගේ ඇසුර ලද තවත් කිහිප දෙනෙකු නිර්මාංසිකයන් බවට පත් වීම යි.
මේ ආදි ඡාත්‍ර ගුරු සහෘදයා වරෙක සහන්ට පැවසුවේ අපගේ ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය කරන්නේ අවවාද නොව ආදර්ශය බව යි. කායික ව හා මානසික ව ගිලන් වුණු ලොවකට අවශ්‍ය වන්නේ ආදරණීය වචන සහ ඖෂධ විනා ලෝකයේ ඇති තාක් ඖෂධ පිළිබඳ ව ලියැවුණු පොතපත නොවේ. ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය එක් කාව්‍යෝක්තියකින් අප අබිමුව තැබුවේ ඒ සත්‍යය යි.
පාරමී පිරුවත් නැතත් - මෙය චාරිකාවක් බැවින් හිතවත
ආදරය යන කාරණාවෙනි - පිරිමැදෙන්නේ රිදුණු පියපත
කොන්දේසි විරහිත ව ආදරයෙන් හද පිරිමදින අසාමාන්‍ය මිනිසෙක් අපට ශරත්චන්ද්‍ර චට්ටෝධ්පාධ්‍යයන්ගේ ශ්‍රී කාන්ත නවකතාවේ දී හමු වෙයි. ඒ එම නවකතාවේ ප්‍රධාන චරිතය වන ශ්‍රී කාන්ත යි. සහන් සිතන අන්දමට ඒ වූකලී මෙරට ගුරු ප්‍රජාව විසින් අනිවාර්යයෙන් ම කියැවිය යුතු නවකථාරත්නයකි. එය සොඳුරු සහ අරුත්බර ලෙස සිංහලයට නැඟීම සිදු කොට ඇත්තේ අපට සිටි අතිවිශිෂ්ට පරිවර්තිකාවක වන චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසිනි. ඇය එවක මහනුවර පාසලක ගණිත ගුරුවරියක වශයෙන් සේවය කළ බව සහන්ට මතක ය. ලක්ෂ්මී, විභූතිභූෂණ බන්ධෝධ්පාධ්‍යයන්ගේ ආරණ්‍යක් නම් පරිසර සංවේදීත්වයේ උපරි ප්‍රකාශනයක් වන නවකතාව සිංහලයට නගද්දී ඇය තමා හමුවීමට පැමිණි ආකාරය ද සහන්ට අනුස්මරණිය මතකයකි. ඒ එම නවකතාව කියවාගෙන යද්දී හමු වූ සංස්කෘත වචන කිහිපයක නිරවද්‍ය අර්ථ දැනගනු පිණිස ය. එසේ කියා දුන් වචන කිහිපය උදෙසා ඇය විසින් පළකොට තිබූ ස්තුතියෙන් පළට වූයේ ද ඇගේ නිර්ව්‍යාජ හදවත යි.
යථෝක්ත නවකතාවේ දී අපට මුණ ගැසෙන ශ්‍රී කාන්තගෙන් මෙන් ම අභයාගෙන් ප්‍රකාශයට පත් වන්නේ පරාර්ථකාමී ජීවන චරණ යි. ඔවුහු අසාමාන්‍ය ලෙස දුක් විඳිති. එහෙත් ඒ තමා සඳහා නොව අනුන් සඳහා ය. එහි ඇති විශේෂය වන්නේ එසේ අපමණ දුක් විඳින මුත් ඔවුන් කිසි විටෙකත් ඒවා දුක් විඳීීමක් වශයෙන් නොසැලකීම ය. ඔවුන් අසාමාන්‍ය මිනිසුන් සහ අසාමාන්‍ය ගැහැනුන් ව අපේ හදවත් ස්පර්ශ කරන්නේ ද එහෙයිනි. එම නවකතාවේ එන පහත සඳහන් ප්‍රකාශය සහන්ට මේ මොහොතේ ගුරු සහෘදයන් සමග බෙදා ගැන්මට සිතිණ.
“මට මේ දේ විතරක් කියන්න පුළුවන්. මගේ ජීවිතේ මට හමු වෙච්ච දෙතුන් දෙනෙක් තමන්ගේ දුක් වේදනා නිසා මගේ හිතේ ලොකු තැනක් හිමි අයිති කරගෙන ඉන්න බව.”
ගුරු මෙහෙවර වන්නේ පරාර්ථය උදෙසා කොන්දේසි විරහිත ව කැප වන ඒ සුළුතරය බහුතරයක් බවට පත් කිරීම ය.
සිය ජීවිතයේ කිසි දිනෙක සිය අප්‍රමාණ සොහොයුරා භෞතික වශයෙන් නම් හමු නොවන බව සහන් දනියි. එසේ නම් තමා විසින් කළ යුත්තේ ඔහු ප්‍රාර්ථනා කළ හැකි ලෝකය නිර්මාණය කිරීම උදෙසා තමාට කළ හැකි දෙය කිරීම ය. ආචාර්ය අදිකාරම්තුමා මෙන් ම සොයුරු සමන් සිත්තරා පිළිබඳ වන අනුස්මරණීය මතකයන් සමග සිහිවන එක් ග්‍රන්ථයක් වෙයි. ඒ අදිකාරම්තුමන්ගේ ශිෂ්‍ය රත්නයක් වන පරිපාලන නිලධාරියකු වශයෙන් සේවය කළ එච්. පී. සිරිවර්ධන මහතා විසින් ලියන ලද මාරයා ඇඬූ දා ය. මෙලොව විවිධ භූමිකා තුළ ජීවත් ව හිඳ මිනිසුන්ගේ මිය යන දිනය සමීප වන විට මාරයා ඔවුන් වෙත යයි. ධනවත්තු - බලවත්තු - දුප්පත්තු ඈ සියලු සමාජ ස්තරවලට අයත් අය ඒ අතර වෙති. තමා පැමිණියේ ඔවුන්ගේ ජීවිත කාලය අවසන් බැවින් ඔවුන් ගෙන යාමට යයි කියූ විට ඒ හැම දෙනා ම හඬා වැලප කියන්නේ තව දිගු කලක් එසේ කළ නොහැකි නම් කෙටි කලක් හෝ දින කිහිපයක් හෝ ජීවත් වීමට ඉඩ සලසා දෙන ලෙස ය. එහෙත් ඒවාට අවනත නොවන මාරයා ඒ සියලු දෙනා ගෙන යයි.
අවසන පෙරළා කිසිවක් තමාට අපේක්ෂා නොකොට, ලෝකය පවතිනවාට වඩා යහපත් සේ ම සුන්දර එකක් කිරීම උදෙසා ලෝකයට සියලු ආකාරයේ සම්ප්‍රදානයන් කළ මිනිසකු වෙත මාරයා යයි. ඒ එම චරිතය ලෝකයෙන් නික්ම යා යුතු දිනය යි. සිනහමුසු මුහුණින් මාරයා පිළිගන්නා ඔහු පවසන්නේ මේ මොහොතේ ම ඔහු සමග යාමට තමා සූදානම් බව යි. විමතියට පත් වන මාරයා මොහොතක් නැවතී මේ තැනැත්තා ජීවත් ව සිටිය දී කළ කී දේවල් ගැන සොයා බලයි. ඔහු ලෝකයේ යහපත උදෙසා කළ කී දෙය මිස එහි අයහපත උදෙසා කළ කිසිවක් මාරයාට නම් හමු නොවෙයි. දැන් මේ සිනහමුසු මුහුණින් තමා සමග එන්නට සුදානම් වන්නේ ඒ තැනැත්තා යි. ලෝකයට තමා මේ අහිමි කරන්නට යන්නේ කවර නම් අසාමාන්‍ය මිනිසෙක් ද යන්න මාරයාට දැනෙයි. එහෙත් මාරයා වශයෙන් තමා ඉදිරියේ ඇති කාර්යය වන්නේ ඔහු ගෙන යාම ය. මේ මොහොතේ මාරයා කරන්නේ හඬා වැලපීම යි. කතාව එතැනින් අවසන් වෙයි. මෙය රචනා කළ ලේඛකයා පැවසුවේ මාරයා පවා හඬවන මිනිසා වශයෙන් තමාට දැනුණේ ආචාර්ය අදිකාරම්තුමා බවත් එතුමා සිතේ තබාගෙන තමා මෙය ලියු බවත් ය. සහන් ඇතුළු සහෘදයන් සමන් සිත්තරා හඳුනා ගෙන ඇත්තේ ද මාරයා හැඬ වූ මිනිසකු ලෙසිනි.
හොඳ ගුරුවරයා ද තමා නික්ම යන දිනයේ දී මාරයා හඬවන අසාමාන්‍ය මිනිසකු විය යුතු නොවේ දැ යි සහන්ට සිතිණ.
සුවඳ මල් පර ව යන්නේ සිය සුවඳ මතකය ඉතිරි කරමිනි. ගුරුවරයකු පර ව යා යුත්තේ අපමණ සුවඳ මල් ලෝකයට ප්‍රදානය කිරීමෙන් පසු ව ය. පර ව ගිය සෑම චරිතයක් ම අපට එක සේ දැනෙන්නේ නැත. නොබෝදා අහිමි ව ගිය නලින් අබේසේකර සහෘදයා මේ සා දැනෙන්නේ ඔහු සිය සුවඳ මතකය ශේෂ කොට පර ව ගිය ගුරු සහෘදයකු වූ බැවිනි. සහන්ට ඔහු අවසන් වරට හමු වූයේ ඔහු මෙන් ම සුවඳ මතකය ඉතිරි කොට පර ව ගිය ප්‍රවීණ කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්නයන් පිළිබඳ ව තිබු සමරු වැඩ සටහනෙහි එක් දේශනයක් ආවරණය කිරීම සඳහා සිය ආදරණීය බිරිඳ අයන්තී ද සමග පැමිණ සිටි දවසේ දී ය. එදා ඔහු කතා කෙළේ සුමින්ද ස්ථානගත කළ යුතු තැන ගැන ය. දැන් සහන් කල්පනා කරන්නේ නලින් ස්ථානගත කළ යුතු තැන ගැන යි. මෙයින් වර්ෂ ගණනාවකට පෙර තමා පර වීම යන මාතෘකාව යටතේ ලිපියක් ලිව්වා සහන්ට මතක ය. එය මේ වන තෙක් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළ නොවූවකි. සමන් සිත්තරා උල්පත කොට ගනිමින් ලියා තිබූ එම ලේඛනය අහිමි ව ගිය සියලු සොඳුරු ගුරු තාරකා සම්බන්ධයෙන් අදාළ වෙයි. මෑත යුගයේ වරින් වර ලොවින් නික්ම ගිය ශ්‍රීනිකා - චම්පා - ජගත් - සුමින්ද සහ නලින් යන සරසවි ගුරු තරු සම්බන්ධයෙන් ද ආදරණීය අම්මාට පිදුම තබා, සිය සොහොයුරා වෙනුවෙන් ලියූ උල්පත කාව්‍ය සංග්‍රහයෙහි එන පහත කව ගැළපෙති යි සහන්ට සිතිණ.
“උදයට පිපෙන මල හවසට යයි පර වී 8
නැඟ එන සඳට ඉඩ දී හිරු යයි සැඟ වී
එනමුදු සෙවන දෙන තුරු යන විට මැල වී
සැනසිය නොහැක ලෝ දහම යි අනුගත වී”
මේ ලේඛනය සම්පාදනය කරන මොහොතේ සහන්ට තවත් සංවේගජනක අහිමි වීමක් ගැන ගුරු දියවරට එක් කරන්නට සිතිණ. ඒ වෘත්තීය වශයෙන් ගුරුවරයකු නොවී ගුරුවරයකු වූ රවී වීරසිංහ නම් භෞතික වශයෙන් කිසිදා නුදුටු සහෘදයා ගැන ය. ඔහු රවී ගැන දැන ගත්තේ සිය දියණිය වෙතිනි. ඔහුගේ අභාවයෙන් පසු රවී මාමා - ඒ මනරම් තරුසුණු සදිසි වියුණු ලියන්නා යන මාතෘකාව යටතේ සිය දියණිය ඔහු පිළිබඳ ව හෘදයංගම ලේඛනයක් සම්පාදනය කොට තිබිණ. රවී මාමා යන ආදරණීය ආමන්ත්‍රණයෙන් සිය දියණිය නියෝජනය කරන තරුණ පරපුරෙන් පිදුම් ලබන, තමාට සම හෝ මඳක් වැඩි වියක වෙසෙන ඔහු කවදා හෝ හමු විය යුතු ය යන අදහස සහන්ගේ සිතේ පැවතිණ. සිය දියණියට ද භෞතික වශයෙන් ඔහු කිසිදා හමු වී නැත. ඇය පැවසුවේ සයුරි අක්කාගේ පහන් යායට මෙන් ම හසිත අය්යාගේ ඊ අටුවාවට තමා පිවිසීමට ගත්තේ 14 වැනි වියේ දී බවත් ඒ ලිපි කියවා බලා විචාරපූර්වක ව මෙන් ම හෘදයංගම ලෙසත් වරෙක උත්ප්‍රාසාත්මකවත් අදහස් දක්වන රවී වීරසිංහ නම් ඒ වැඩිහිටි පැනසර කලණ මිතුරා කෙටි කලක් ගත වන විට තමන්ගේ පරපුරට රවී මාමා වූ බවත් ය. සිය දියණිය ද තමා ද අතිශයින් ප්‍රිය කළ වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස්ගේ නිර්මාණ කෞශල්‍යය රවී ගැඹුරින් ම වටහා ගෙන තිබිණ. එපමණක් නොව ඔහුට පෙර’පර දෙදිග සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ ව ඇති මනා කියැවීම ගැන සිය දියණිය සඳහන් කෙළේ වරක් දෙවරක් නොවේ. ඇය කථිකාචාර්යවරියක වශයෙන් සේවය කරන බව දැන ද ඔහු සිය හෘදයංගම සුබපැතුම් පළ කොට තිබිණ.
සිය දියණිය වරෙක ඔහු ගැන සඳහන් කරමින් පැවසුවේ රවී මාමා යනු සම වියේ අය අතර මිස දශක ගණනාවක් වයස් පරතර තිබෙන අය අතර මිතු දම් ඇති නොවේ ය යන්න අසත්‍යයක් බවට පත් කළ සොඳුරු මිනිසකු බව ය. ඔහු මෙගුරු දියවරෙහි ද සොඳුරු පාඨක සහෘදයෙක් විය.
ලියූ ප්‍රථම ගීතයෙන් ම ඉහළ ශ්‍රාවක ප්‍රතිචාර ලද ඉයන් ලිංතොට සහෘදයා රවී ගැන හෘදයහාරී සටහනක් තබා තිබිණ. ලියන් යනු සංගීතවිශාරද ජගත් වික්‍රමසිංහයන් විසින් සංගීතවත් කොට ගයනු ලබන දැන් ළඳුන් සිංහාසනේ නම් සමස්ත ස්ත්‍රී වර්ගයට සාධාරණය ඉෂ්ට කිරීම උදෙසා ලියූ සොඳුරු ගීතයේ සංරචකයා ය. මෙම ගීතය සහන් අවස්ථා කිහිපයක දීම සිය රසවින්දන දේශනවලදී භාවිතයට ගෙන තිබිණ. දියණිය ඔහු විසින් රවී ගැන තබන ලද සටහන සහන් අතට පත් කෙළේ ‘ තාත්තේ මේ රවී මාමා ගැන ඉයන් මාමා තැබූ සටහනකැ̎යි කියමිනි. ලියන්, එහි රවී හඳුන්වා තිබුණේ බ්ලොග් ලේඛන කලාවේ යුග පුරුෂයකු වශයෙනි. එසේ ම මනා ඉංග්‍රීසි භාෂා පරිචයක් ද තිබූ රවී සිංහලයෙන් ලේඛන සම්පාදනය කරද්දී ඉංග්‍රීසි වදන් සිංහල වදන් අතරට මුසු නොකොට හොඳ සිංහලයෙන් ලිවීම ද රවීගේ පරිපාකයයට පත් සාහිත්‍ය ග්‍රන්ථාවබෝධය ද ඔහුගේ ඇගයීමට ලක් ව තිබිණ.
රවී වීරසිංහ, දයාබර නුදුටු පැනසර මිතුර, ඔබට අමාමහ නිවන් සුවය ම අත් වේවා යන සුපැතුම කොට සහන් මෙම ලේඛනයේ ඉතිරි කොටස ලිවීමට පටන් ගත්තේ ය.
ගුරුවරයකුට, ගුරුවරයකු වශයෙන් සමාජය විෂයයෙහි කිසිවක් කළ හැකි අතර එම ගුරු සේවයෙන් සමු ගත් පසු ව ද සමාජය විෂයයෙහි කිසිවක් කළ හැකි වෙයි. මෙය අන් වෘත්තීන් සම්බන්ධයෙන් ද අදාළ වන දෙයකි. සහන් සිය දින සටහන් පොතේ අප්‍රියෙල් 03 වැනි දින පහත සටහන තැබුවේ ඒ හැඟුමින් යුතු ව ය.
“කිසිවෙක් වී කිසිවක් කෙළෙමි. කිසිවෙක් නොවී ද කිසිවක් කෙළෙමි. දැන් මට සිතෙන්නේ ඉදිරි ජීවිත කාලය තුළ කිසිවෙක් නොවී කිසිවක් කිරීමට යි.”
සහන්ගේ අප්‍රියෙල් මාසයට අදාළ දින සටහන් තව දුරටත් කියවා ගෙන යද්දී ගුරු දිවි අරුතට සදරුත් එක් කරන විවිධ ප්‍රකාශ හමු වෙයි. ප්‍රහසනවේදී චාලි චැප්ලින්ගේ ප්‍රකාශ ද ඒ අතර විය. ඔහු සමාජය විෂයයෙහි ඉටු කෙළේ හාස්‍යෝත්පාදක රංගධරයකුගේ සම්ප්‍රදානය පමණක් නොවේ. ඔහු ඊට අමතර ව දාර්ශනිකයකුගේ සමාජ මෙහෙවර ද සිදු කෙළේ ය. ඒ සමාජය යහපත වෙත කැඳවන සදුක්ති සමාජගත කිරීමෙනි. වරෙක ඔහු පැවසුවේ ලස්සන අය හැම විට ම යහපත් විය නොහැකි වුවත් යහපත් මනුෂ්‍යයන් හැම විට ම ලස්සන වන බව ය. තවත් වරෙක ඔහු කියා සිටියේ ප්‍රශ්න යනු ජීවිතේ අංගයක් වන බව සහ ඒවාට ජීවන කලාවෙන් පිළිතුරු දිය යුතු බව ය. එක්තරා මොහොතක මේ සොඳුරු රංගධරයා අපට ගුරු භූමිකාව සිහිපත් කොට දෙමින් කියා සිටියේ ජීවිතය අපට වේදනා ගෙන දිය හැකි නමුදු ඒවා සන්තුෂ්ටිය බවට පෙරළා ගැනීම අපගේ වගකීම බව ය.
Life will bring you pain all by itself. Your responsibility is to create joy.
අප්‍රියෙල් මාසයේ 23 වැනි දා සහන් මඩකලපුව සරසවියේ මහාචාර්ය ධුරයකට අදාළ අවසන් අගැයුම් කමිටුටේ සාමාජිකයකු වශයෙන් කටයුතු කෙළේ ය. ඔහු එයට සහභාගී වූයේ මාර්ගගත ක්‍රමවේදයට ය. එයට සහභාගී වද්දිත් ඔහු කල්පනා කෙළේ ජාති - ආගම් - දේශ ඈ සීමාවන්ගෙන් තොර ව සරසවි ඇදුරකුට සමාජය විෂයයෙහි කළ හැකි සම්ප්‍රදානයන් ගැන ය. ඔහු එහි දී තද්ධුරයට භාග්‍යවත් වූ ඒ ආචාර්යවරයාගෙන් ඉල්ලා සිටියේ යම් විෂය ක්ෂේතු්‍රයක් පිළිබඳ ව ඔබ විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබා ඇති බැවින් දැන් අලුත් අලුත් දොරටු විවර කොට ගනිමින් සමාජය වෙත නව ප්‍රදායන සිදු කළ යුතු බව ය. ඇතැම් විද්වත් යැයි කියනු ලබන චරිත විසින් සමාජය එකතු කරන්නට නොව වෙන් කරන්නට සිය දැනුම භාවිතයට ගන්නා ප්‍රවණතා ද ඇති සමයක සිය දැනුම සමාජය වෙන් කරන්නට නොව එකතු කරන්නට යොදා ගන්නා ලෙස ය. අවසන මඩකලපුව සරසවියේ සේවය කරන මුසල්මානු සහෝදර සංස්කෘතිය නියෝජනය කරන ඒ නව මහාචාර්යවරයාට සුබ පතමින් සහන් මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.
Dear Professor, as I said before, please use your knowledge to make the world a better place.
මේ වූකලී යටකී ධුරය දරන විද්වතුන් වෙත පමණක් නොව සමස්ත ගුරු ප්‍රජාව වෙත කරනු ලබන අත්‍යාදරණීය ආයාචනය ද වෙයි.
තලාද් මුහම්මද් නමැති භාරතීය සුගායනවේදියාගේ එක් ගීතයක කියැවෙන සේ ගුරුවරයාට ද අනුන්ගේ වේදනාවන් සිය හදෙහි දරාගෙන සිනාසීමට හැකි විය යුතු ය. සහන් සිතන අන්දමට මෙය ද ගුරු චරණයකි. ඔහු සිය 46 පීඩා නම් ලිපියේ දී ඒ ගැන ද අවධානය යොමු කොට තිබේ. වෛද්‍ය ලලිත් සහ සිය බිරිඳ සමග 2011 ජනවාරි 15 වැනි දා තලවතුගොඩට ගිය විට එතැනට ආ තරුණ මවක් සිය දියණියට අවශ්‍ය පොතපත ගැන්ම සඳහා කිසියම් උපකාරයක් කරන මෙන් ඉල්ලා තිබේ. ඒ මොහොතේ තමාට කළ හැකි උපකාරය කළ බවත් කවදා හෝ දවසක ඒ දැරිය ඉගෙන කිසියම් ස්ථාවරයකට ආපසු ලෝකය උදෙසා තමාට කළ හැකි දෙය කරනු ඇතැයි එදා සහන් දින සටහනෙහි ලියා තිබිණ. ඔහු එදා තමාගේ ඒ චරණය තුළ සමන් සිත්තරා ද සිටින බව ලිවීමට අමතක කොට නැත.
මෙලොව ජීවත් වූ උපරි ගුරු තාරකාවක වන රබීන්ද්‍රනාත් තාගෝර් ආර්ථික සමෘද්ධියෙන් යුක්ත වුවත් සමීපතමයන්ගේ අකල් සමුගැනීම් නිසා අපමණ හද වේදනා විඳි මිනිසෙකි. ඔහු වරෙක සඳහන් කෙළේ තමා විඳි ඉවසිය නොහෙන තරම් දුක් වේදනා තමාට පෙන්වා දී ඇත්තේ තුවාල කළ නොහැකි සිය අපරාජිත ආත්මය බව යි. සහන් සිතන්නේ ද ගුරුවරයකු තුළ කායික සහ මානසික වේදනා කොපමණ ඇති වුව ද ඔහු හෝ ඇය තුළ එවන් තුවාල කළ නොහෙන අපරාජිත ආත්මයක් තිබිය යුතු බව ය. ශිෂ්‍ය ප්‍රජාවට මග පෙන්විය හැක්කේ එවන් ගුරුවරුනට ය; ගුරුවරියනට ය.
ජීවිත කාලය ගෙවී යන්නේ හීයක වේගයෙනි. ඒ ජීවිත කාලය තුළ අපට හිමි වන්නේ සතුට පමණක් නොවේ. අපට විඳීමට සිදුවන අනවරත දුක් මැද වුව අප ජීවත් වීමේ කලාව දැන සිටිය යුතු ය යන මහරු පාඩම ජීවිතය උගන්වන්නේ වෙයි. සහන් යටකී පීඩා ලිපියෙහි වේදනා මැද ජීවන කලාව සොයා යන මවක ගැන කවියකු විසින් ලියන ලද කවක් උපුටා දක්වා තිබිණ. ඔහු එකව උපුටා ගෙන තිබුණේ 1966 වර්ෂයේ ජූලි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද නවයුගය සඟරාවෙනි. ඒ කවියාගේ නම සඳහන් කොට ගැනීමට නොහැකි වීම සහන් අතින් සිදු වූ අඩුවකි.
ඊතලයක වෙසින් කාලය පෙරට පනී
ගැබ්බර බිරිඳ දරු සෙනෙහස හැඳින ගනී
කලකින් සිහිනයක් වූවක පලය දැනී
පුතු නලවන්ට මව දුක තනුවකට ගනී
ගුරුවරයා විසඳුම් සොයා යා යුත්තේ තමාගේ සහ තම පවුලේ අයගේ ගැටලු සඳහා පමණක් නොවේ. ඔහුට සිය ශිෂ්‍යයන්ගේ දුක ද තමාගේ දුකක් මෙන් දැනී යා යුතු ය.
ගුරුවරයා අපූර්ව මිනිසෙක් විය යුතු ය. තමාට පූර්වයෙන් සිටි ගුරුවරුන් කළ කී දෙය ම යළි යළිත් කරමින් සිටීම ප්‍රමාණවත් නැත. සමන් සිත්තරා වරක් ගුරුවරයා නිර්මාණශීලී නව මං සොයා යා යුතු ය යනුවෙන් මතු කෙළේ මේ කාරණය යි. සංස්කෘත සාහිත්‍යය පවසන්නේ හිරු උදාව, භාරතීය කථා, බුලත, යහපත් බිරිඳ සහ කල්‍යාණ මිත්‍රයා දවසක් පාසා අපූර්වත්වයට පත් වන බව ය.
ආදිත්‍යස්‍යෝදයස්තාත තාම්බූලං භාරතීකථා
ඉෂ්ටා භාර්යා සුමිත්‍රං ච අපූර්වාණි දිනේ දිනේ
සහන් සිතන්නේ මේ නාමාවලියට ගුරුවරයා ද එක් කළ යුතු බව ය. ඔහුගේ සන්මිත්‍ර සංගීතවේදී ලලිත් කළුබෝවිල කියන පරිදි ඒ නාමාවලිය තුළ දරුවා ද අන්තර්ගත කළ යුතු වෙයි. සිය දෙටු දියණියට අපූර්වා යනුවෙන් නම තැබූ ලලිත්, ඇය වෙනුවෙන් ගීතයක් ද රචනා කොට තිබිණ. සිය දේශනය කරද්දී දරු දැරියනට අසන්නට සලස්වන ගීත අතුරින් එකක් වශයෙන් එය තෝරා ගැන්මට සහන් අදහස් කෙළේ ය. එහෙයින් ගුරු සහෘදයන් විසින් මතු නොව සිසු දූ පුතුන් විසිනුදු කියවනු ලබන ගුරු දියවරට ඒ සුගීතය කෙසේ නම් එක් නොකොට සිටිය හැකි ද?
සඳ සිසිල හා බැඳෙන්
හිරු කිරණ මැද රැඳෙන්
අපූර්වා
පුංචි දියණියේ
මා පියන්ගේ මතු භවේ ජන්මේ
ඔබ පතා ආ සෙනෙහසේ බැම්මේ
නොනිමියාවේ තදින් බැඳුණා
අපේ දිවි ගමනේ
සුවඳ දේවා ඔබේ ගුණ පේවී
මෙත් වැඩේවා මිහි මඬල සේ වී
සරණ වේවා සමිඳු දළදා
ඔබෙ නමින් බෝ වී
යටකී ගීතයේ කියැවෙන දෙගුරු ප්‍රාර්ථනය සේ ම ගුරු චරණය විය යුත්තේ අපූර්ව ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම ය.
සහන්ට මූලාශ්‍රය සටහන් කොට ගැන්ම අතපසු වී ඇති පුංචි හාමු නම් කෙටිකතාවේ දී හමු වන එක් ගුරුවරයෙක් සිය ජීවිතයේ දී තමාට හමු වූ එවන් ගුරුවරයකු ගැන සටහනක් තබයි. සහන් කල්පනා කෙළේ හෙට දවසේ තමාට ඇමතීමට ලැබෙන ගුරු ප්‍රජාවට ද ඒ ගුරුවරයා මෙසේ මුණ ගැස්වීමට ය.
“ගුරු කාමරයට පිවිසි ඕනෑම මොහොතක මා දෙනෙත රැඳුණේ ඔහුගේ චින්තාපරවශ මුහුණ මත ය. සක්මනෙහි යෙදෙන මා මනසෙහි නිරතුරුව ඇඳී ගියේ යටකී ඉරියව්වක් නැතිව සිටින ඔහුගේ දේහ විලාසය යි. පාසලේ සිටින අන් කිසිවෙක් ඔහු තරම් සන්සුන් හෝ නිහතමානී හෝ නොවීය. ඔහු සිනාසුණේ ඉතා කලාතුරකිනි. අවශ්‍ය පමණට වඩා කතා නොකරන කෙනෙකු වන යතිවරයා යන වචනය මට පොතපත කියවද්දී හමු වී තිබේ. එහෙත් ශබ්දකෝෂවල මිස මිනිසුන් අතර එවන්නකු හමු නොවේ යයි මම සිතා සිටියෙමි. එහෙත් කෝයා ඒ වචනයේ ජීවමාන නිදර්ශනයක් බව ඔහු දුටු දා පටන් මට වැටහිණ.”
සහන්ට සිටියේ එවන් අපූර්ව සහෝදරයෙකි. ඔහු ලෝකය යනු කුමක් ද යන්න පෙන්වා දුන්නේ තමාට පමණක් නොවේ. නෙත මෙන් හද තෙත් කොට ගනිමින් ලෝකය දකින ආකාරය කියා දුන්නේ තමාට පමණක් නොවේ. සුවඳ මල් වන් සිතිවිලි සම්ප්‍රේෂණය කෙළේ තමාට පමණක් නොවේ. එහෙයින් විසි අට වසරකට කලින් දවසක සහන් ලියූ කව සහන් සිත්තරා සම්බන්ධයෙන් ඔහුගේ පමණක් වන ආත්ම ප්‍රකාශනය නොවේ.
උත්තම සොහොයුරාණෙනි ලෝකය දැක් වූ
ඔබැ’සුර ලබා දකිනෙමු ලොවකින් තෙත් වූ
ඔබ හද පිපුණු සිතිවිලි දෝතට එක් වූ
මල් ලෙස සිතමි හිඳ මේ ලොව තුළ මත් වූ
වරෙක, මේ කොසොල් රජු දුටු සිහින සැබෑ වන යුගයක් නොවේ දැයි සහන්ට සිතිණ. ගුරු භූමිකාවට ප්‍රවේශ විය යුත්තේ වෙනත් කරන්නට දෙයක් නොමැති නිසා එන අය නොව ඊට අත්‍යන්තයෙන් ම ආදරය කරන අය යි. මේ වූකලී කොසොල් සිහිනවල කියැවෙන සේ සුදුස්සන් පිරිහෙළා නුසුදුස්සන් ඉහළට ගෙනෙන යුගයකි. බර ලෝහ යට ගොස් ලබුකබල් උඩට එන යුගයකි. සංවේගයට කරුණ වන්නේ අදාළ අධ්‍යාපන සුදුසුකම් අනුව ඉහළට ගිය ඇතැම් දෙනා ද පරිපාලන තනතුරුවලට පත් වූ පසු ද යුක්තිය ඉෂ්ට නොවීම ය. සහන් ගඟුල්ලාගේ පරපුරෙන් නිතර ඉල්ලා සිටින්නේ කවදා හෝ තමා ලබන තනතුරු අවභාවිත නොකරන ලෙස ය. මේ පිරිස එසේ නොකරනු ඇතැයි යන බලවත් විශ්වාසය සහන්ට තිබේ.
භෝජප්‍රබන්ධයේ එන 134 වැනි පද්‍යය දෙස බලන විට අපට පෙනී යන්නේ යටකී තත්ත්වය ක්‍රියාත්මක වූයේ අද පමණක් නොවන බව ය. පහත දක්වනු ලැබ ඇති එම පද්‍යයෙන් කියැවෙන්නේ ප්‍රාමාණික පදවි ලත් අය සුදුස්සන් යට තබා නුසුදුස්සන් උඩට ගෙන බව ය. මෙය භෝජප්‍රබන්ධය කළ ශ්‍රී බල්ලාල කවියා ප්‍රකාශයට පත් කරන්නේ උත්ප්‍රාසාත්මක ව ය.
ප්‍රාප්‍ය ප්‍රමාණපදවීං කෝ නාමාස්තේ කුලේ’වලපස්තේ
නයසි ගරිෂ්ටමධස්තාත්තදිතරමුච්චෛස්තරාං කුරුෂෙ
මෙරට සිටි සංස්කෘත විද්වතකු වන පී. රූපසිංහ පෙරේරා විසින් සිංහලයට නගන ලද භෝජප්‍රබන්ධයේ දී යටකී සංස්කෘත පද්‍යය සිංහලයට නගා තිබුණේ එහි උත්ප්‍රාසාත්මක ගුණය නොනැසෙන ආකාරයෙනි. ගුරු දැක්ම සහ තීරක ධුර දරන්නන්ගේ දැක්ම උදෙසා එය මෙහි ලා උපුටා දක්වන්නට සහන්ට සිතිණ.
කිරා බලන තනතුරු ලත් තරාදියේ
බලා ඔබ කරන දෙය මට හිනා ගියේ
ඉතා ම ගරු අය ලා පාතම අඩියේ
තබාලන්නෙ ඇයි හිස් අය උඩ පඩියේ
කලින් ද තැනෙක සඳහන් කොට ඇති පරිදි සිය ආදිඡාත්‍ර රත්නප්‍රිය සඳහන් කෙළේ, කළ යුත්තේ පළමු ව තමා ආදර්ශයෙහි පිහිටා අනතුරුව ඊට අදාළ කාරණය ලෝකයට ප්‍රකාශ කිරීම ය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ උගනිද්දී තමා ඇතුළු අප්‍රමාණ ශිෂ්‍ය ප්‍රජාවක දෑස් පෑදූ එහි විදුහල්පති ව සිටි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් පිළිබඳ ව සමරු සටහනක් තබමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයකු ව සිටි මහාචාර්ය ජිනදාස පෙරේරා විද්වතා මෙවන් ප්‍රකාශයක් කෙළේ ය.
“අදිකාරම් මැතිතුමා සිය ඉගැන්වීම් මගින් හෙළි කරන ලද්දේ එය ම ය. පළමු ව එතුමා ප්‍රතිපත්තියෙහි පිහිටා අන් අයට උපදෙස් දීම ඇරඹීය. මෙය මිනිසා තුළ පිහිටි ඉතා දුර්ලභ ගතියකි. වර්තමානය දෙස බලන විට එය සුවිශේෂ සිදුවීමකි.
එතුමා අන්තිම වරට පන්සිල් සමාදන් වූ දින සිට ඒවා එසේ ම ආරක්ෂා කළ බැවින් එය නිතර නිතර සමාදන් වීමට අවශ්‍ය නොවී ය. මිනිසාගේ පටන් ඉතාම කුඩා කුහුඹුවා දක්වා සියලු සත්ත්වයා වෙත පතළා වූ අහිංසාවාදී පරම පවිත්‍ර මෙත් සිතක් එතුමා තුළ පැවතුණි.”
ගුරුවරයා ජීවත් විය යුත්තේ වර්තමාන නිමේශයේ මිස අතීතයේ හෝ අනාගතයේ නොවේ. සිය ගත ව ගිය ගුරු ජීවිතයේ දී තමා විසින් යහපත් මානව ප්‍රජාවක් උදෙසා කටයුතු කරන ලදැයි සිතමින් ගත ව ගිය අතීතය ගැන සතුටු විය හැක්කේ ද අනාගතය උදෙසා වඩා යහපත් මානව ප්‍රජාවක් නිර්මාණය කළ හැක්කේ ද එසේ වර්තමාන ක්ෂණය මග නොහරින ගුරුවරයන්ට ය, ගුරුවරියන්ට ය.
ගුරුවරයා ගිනි නිවන්නකු මිස ගිනි අවුලන්නකු නොවිය යුතු ය. 1986 මැයි අට වැනි දා මෙයට සම්බන්ධ කළ හැකි දින සටහනක් සහන් විසින් තබා තිබේ.
සිය ගුරු ජීවිතයේ අවසන් කඩ ඉමට පැමිණ සිටින සහන්ට ගුරු ජීවිතයේ විශිෂ්ටාර්ථය අනි කිසිවකින් නොව ජීවිතයෙන් ම ප්‍රකාශයට පත් කළ රබීන්ද්‍රනාත් තාගෝරයන් සිහි විය. තාගෝර් පවසන්නේ සංසාරයේ ජල ප්‍රවාහය දිගේ අප පාව යන බැවින් වර්තමාන පරපුරට දීමට දෙයක් තමා ළඟ තිබෙන බව ය. අපට වෙන් ව යාමට සිදු වුවත් අපේ ප්‍රේමය ලොවට අමතක ව ගියත් එය ගැටලුවක් කොට ගත යුතු නැත. තෑගිවලින් අපට නව පරපුරේ හදවත් දිනා ගත හැකි නොවේ. අප ජීවත් විය යුත්තේ ඒ බව අවබෝධ කොට ගෙන යි. තාගෝර් තැබු මේ අදහස් සහිත සටහන, සහන් 1986 මැයි 14 සහ 15 දින සටහන් අතරට එක් කොට ගෙන තිබිණ. ඔහු ඉන් කොටසක් උපුටා ලියා තබන්නේ තරුණ පරපුර උදෙසා ය.
“ඔබේ ජීවිතය නව යොවුන් ය. ඔබේ මාර්ගය දිග ය. අප ඔබ වෙත ගෙන එන ප්‍රේමය එක හුස්මට බී, ඔබ අප වෙතින් හැරී දුවයි. ඔබට ඔබේ සෙල්ලම් හා සෙල්ලම් කරන යහළුවෝ ද සිටිති. අප වෙනුවෙන් ගත කිරීමට වේලාවක් වත් කල්පනාවක් වත් නැති වීම කුමන වරදක් ද?
යටගිය දවස් ගණන් කිරීමටත් අපේ අතින් සදහට ම මිදී ගිය දේවල් ගැන කල්පනා කිරීමටත් අපට අපේ මහලු වියේ දී සත්තකින් ම විවේකය තිබේ.
ගංගා තොමෝ සියලු බාධක බිඳ ගෙන, ගී ගයමින් වේගයෙන් ගලා බසින්නී ය. එහෙත් පර්වත තෙමේ නිශ්චල ය; මතක තබා ගනියි. ඔහුගේ ප්‍රේමය ඈ පසුපස යවයි.”
ගුරුවරයා ලෝකය අවලෝකනය කළ යුත්තේ සීමා විරහිත අසීමිත ආදරයේ ඇසකිනි. වරෙක සිය කලණ මිත් රවී පලිහවඩන, fජී. ක්‍රිෂ්ණමූර්ති නම් සුප්‍රචලිත දාර්ශනිකයා ගැන තබන ලද සටහනක් සහන්ට සිහි විය. ඔහු රටින් රටට ඇවිද යමින් ලෝකයට කතා කරන්නේ කුමක් නිසා දැයි ඇසූ විට එතුමා පවසා ඇත්තේ ආදරය සහ අනුකම්පාව නිසා එසේ කරන බව ය. ඔහු අසන්නේ මලක් සිය සුවඳ පතුරුවන විට ඔබ ඇයි සුවඳ පතුරන්නේ කියා අසනවා ද යනුවෙනි. සහන් මේ ගුරු දියවරට රවී සහෘදයාගේ ලේඛනයේ කොටසක් එකතු කරන්නේ ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය උගන්වන මිහිදිනී - සදසි අයත් පරපුර විසින් භාවිතයට ගනු පිණිස ය.
How far he has succeeded it is a matter of doubt. But once when somebody asked him why he goes round the world talking to people when they seem hardly interested in listening to what he has to say, his reply was, Do you ask flower why it gives at perfume
සහන් සිය ඉංග්‍රීසි දින පොතේ තැනින් තැන තාගෝර් - ටෙනිසන් ආදි සුප්‍රකට සාහිත්‍යධරයන්ගේ ප්‍රකාශ ආදිය සටහන් කොට ගෙන තිබේ. ඒවා ඇත්තේ ද ලෝකය විසින් ප්‍රයෝජනයට ගනු පිණිස යි. 1986 වසරට අයත් ඉංග්‍රීසි දින සටහන් කියවද්දීත් ඔහුට එවන් ප්‍රකාශ කිහිපයක් ම හමු විය. අනතුරුව සහන් අතට ගත්තේ 1986 වසරට අයත් සංස්කෘත දෛනික පුස්තකය යි. එහි තත් සාහිත්‍යාගත ඉසොඳුරු සදුක්ති විද්‍යමාන ය.
එම දින සටහන් සහන්ගේ ගුරු ජීවිතයේ සන්ධිස්ථානයක් ද සලකුණු කරන්නේ වෙයි. ඔහු හොරණ විශ්වවිද්‍යාලයීය පීඨානුබද්ධ ශ්‍රී ධම්මරතන පිරිවෙණේ ගුරුවරයකු වශයෙන් වැඩ බාරගෙන ඇත්තේ 1986 ජූනි නවවැනිදා ය. එදා තමාට ඉගැන්වීමට ලැබුණු සමාරම්භක පන්තිය වන පිරිවෙන් අවසාන ශ්‍රේණියේ ශිෂ්‍ය ප්‍රජාවට කරන පළමු පාඩමට ඔහු ඍතුසංහාරාගත සොඳුරු පද්‍යයක් එකතු කොට ගෙන තිබිණ. ඒ සර්වං ප්‍රියේ චාරුතරං වසන්තේ වශයෙන් අවසන් වන ග්‍රීෂ්ම ඍතු වර්ණනාවේ එන පද්‍යයකි. ඒ මාසයේ 13 වැනි දා කළ පාඩම් ගැන ද සහන් සංස්කෘත දිනපොතට සංස්කෘත පද්‍යයක් සහිත සටහනක් එක් කොට ඇත. ජූලි 18 වැනි දාත් 21 වැනි දාත් පඤ්චතන්ත්‍රය අධ්‍යයනයෙන් උකහා ගත් පද්‍ය සතරක් උපුටා දක්වා ඇත. ඒ සියල්ල ලියා තබන්නට මේ අවස්ථාව නොවේ.
1986 අගෝස්තු මාසයට අදාළ දින සටහන් අතර තරුණ කාන්තා සිතිවිලි සමාජයේ ක්‍රියාකාරකම් ගැන වෙසෙසින් සඳහන් වෙයි. පෘථුලාර්ථයෙන් ගත් විට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන්ගේ නිර්මාතෘත්වයෙන් 1985 වර්ෂයේ දී සමාරබ්ධ තත් සංගමය මගින් සමාජය විෂයයෙහි සිදු කරන ලද්දේ ද ගුරු මෙහෙවර යි. තද්වර්ෂයේ අගෝස්තු මාසයේ රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ සුන්දර කාව්‍යෝක්තියක් සංස්කෘතයට නඟා තිබිණ. සහන් ඒ ගැන මෙහි සටහන් කොට තබන්නේ අද සංස්කෘත විද්වතුන් බවට පත් ව සිටින තමාගෙන් සංස්කෘත උගත් ශිෂ්‍ය ප්‍රජාව වෙතින් තත් සාහිත්‍ය මෙහෙවර තමාට වඩා විශිෂ්ටාකාරයෙන් සිදු වේවා යි යන ප්‍රාර්ථනය ද හද දරා ගෙන ය.
ඔහුගේ අවධානය තදනන්තර ව යොමු වූයේ සැප්තැම්බර් 19 සංස්කෘත දින සටහන වෙත ය. සුභාෂිතාවලියේ එන ඒ පද්‍යයේ අර්ථය ගුරු ජීවිතයට වෙසෙසින් සම්බන්ධ කොට ගත යුතු එකකි. ඉන් කියැවෙන්නේ පහර දීමක දී වුව නොකිපෙන, ඒ අය කෙරෙහි ද කරුණාවෙන් කටයුතු කරන තමා ගැන මෙන් සිතා අනුනට අයහපත කැමැති නොවන අය විශ්වය දරා සිටීමට වුව සුදුසු බව ය.
සාගශේ’පි න කුප්‍යන්ති - කෘපයා චෝපකුරුවතේ
බාධාං ස්වස්යෛව නේච්ඡන්ති තේ විශ්වෝද්ධරණං ක්ෂමඃ
1986 සැප්තැම්බර් 27, 28 සහ 29 යන තෙදින තුළ පූජ්‍ය බමරැන්දේ සිරිසීවලී හිමියන් විසින් සුන්දර හින්දී උද්ධෘත ද සහිත ව ප්‍රකාශයට පත් කරන ලද කෘතියක් සහන්ගේ අධ්‍යයනයට ලක් ව තිබේ. මේ අතීත සටහන් කියවද්දී ඔහු වර්තමානයට පැමිණයේ මේ දිනවල රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගීතාඤ්ජලී ගීත කාව්‍යයේ හින්දී පරිවර්තනයට මහාචාර්ය බණ්ඩාර මැණිකේ විජේතුංග විද්වතිය විසින් කරනු ලැබ ඇති විශිෂ්ට සිංහල පරිවර්තනය සහිත අත් පිටපත කියවන්නට ලැබී ඇති බැවිනි. එය ද මුද්‍රණයෙන් පසු මෙරට ගුරු ප්‍රජාව අතට පත් කළ යුතු තවත් අනගි පොතක් නොවේ දැයි සහන් කල්පනා කෙළේ ය.
1986 ඔක්තෝබර් පළමු වැනි දා සිට දෙසැම්බර් 31 දක්වා වන සංස්කෘත දින සටහන් කියැවීම මඳකට නතර කොට සහන් යළි අතට ගත්තේ තද් වර්ෂයේ සිංහල දින පොත යි. එහි ජූනි 10 දින සටහනෙහි සිය ආදරණීය ආචාර්යවරයකු වන ආචාර්ය සරත්චන්ද්‍ර ජයකොඩි සුධීමතුන් වෙත යවන ලද ලිපියක කොටසක් තිබිණ. එහි ඇත්තේ ඒ ගුරු තාරකාව වෙත කළ ආයාචනයකි.
“ඔබතුමන්ගේ ආදරණීය ජිවිතය ලොව හිත සුව පිණිස ම යෙදවෙන බව දනිමි. තරුණ පරපුරට නිසි මාර්ගෝපදේශකත්වය දීමට සුදුසු වැඩිහිටියන් අහිමි ව යන ලෝකයක වෙසෙන අපට ඉදිරියෙන් සිටිමින් නිබඳ අප දිරිමත් කළ මැනවි.”
මෙවන් සටහන් මෙන් ම සහන් තමාට හොඳ යැයි දැනුණු සටහන් රැසක් සිය සිංහල දිනපොතට එක් කොට තිබිණ. එම දිනපොතේ ද ඔක්තෝබර් පළමු වැනිදා සන්ධිස්ථානයක් සේ ගත් සහන් අනතුරුව අතට ගත්තේ තද්වර්ෂයේ ඉංග්‍රීසි දින පොත යි. දැන් එය කියවන විට ඒවායේ විද්‍යමාන භාෂාත්මක දෝෂ හමු වෙයි. එහෙත් ප්‍රාමාණිකයන්ගේ ලේඛනවලින් ගත් කොටස්වලින් ද මේ දිනපොත සමන්විත ය. අනාගත ශිෂ්‍යාභිවෘද්ධිය ප්‍රෘර්ථනා කරන ගුරුවරයකු විසින් ශිෂ්‍යයකුට චරිත සහතිකයක් නිකුත් කිරීමේ දී එය ලිවිය යුත්තේ කෙසේ ද යන පාඩම ඔහු උගත්තේ ද එඋතුම් ගුරු චරිත වෙමිනි. වරෙක චරිත සහතිකයක් දෙමින් මහාචාර්ය ජිනදාස පෙරේරා ගුරු සඳ ලියා තිබුණේ තරුණ සිතිවිලි සමාජයේ වත්මන් අනුශාසකවරයකු හැටියට මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති සංවිධානයේ භාණ්ඩාගාරිකවරයා හැටියට ද තමා මේ ශිෂ්‍යයා හඳුනා ගන්නේ සමාජ සේවකයකු වශයෙන් බව ය. එසේ ම මේ මහා විද්වතා, තමා මේ තරුණ ශිෂ්‍ය මාණවකයා විසින් කරන ලද දේශන සහ සංකථනවලට සවන් දීමට ඉඩ ලැබී ඇතැයි යන කරුණ ද නොමසුරු ව සඳහන් කෙළේ ය. අර්ථ ගාම්භීර්යය මෙන් ම වාක් සෞන්දර්යය ද මොනවට ප්‍රකාශිත, 1986 ජූනි 30 දින සටහනට එක් කොට ගෙන ඇති එම ලේඛනයෙන් කොටසක් සහන් අද ගුරු දියවරට මුසු කරන්නේ අද්‍යතන ගුරු ප්‍රජාවට සිය ශිෂ්‍යයකු වෙනුවෙන් චරිත සහතිකයක් ලිවීමේ දී ඉන් කිසියම් ආලෝකයක් ලැබේවා යන හැඟීමෙන් යුතු ව ය.
I
have known him my capacity as a social worker, as a patron of the Young
Thinkers Society and Treasurer of Krishnamurti Centre of Sri Lanka. I also had
the chance of listening to his talks and discussions on diverse topics.
1986 අගෝස්තු 06 දින සටහනට මහා දාර්ශනික ජේ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ සටහනක් එකතු කරනු ලැබ ඇත. එතුමා පවසන්නේ ඔබ සැබවින් ම නිදහස් නැත්නම් ඔබට කිසිදා විකසිත විය නොහැකි බව ය. කිසි දා යහපත් විය නොහැකි බව ය. එවිට සුන්දරත්වය ද එතැන නොමැති බව ය. ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය උගන්වන නව ගුරුප්‍රජාව විසින් භාවිතයට ගනු පිණිස සහන් එම ප්‍රකාශය ද මෙතැනට එකතු කෙළේ ය.
If
you are not really free, you can never blossom. You can never be good, there
can be no beauty.
ඒ දිනපොතේ මෙවන් ප්‍රකාශ ද රැසක් විය. ඒ අනුව මේ දින පොත කියවන කෙනෙකුට ඒ ඔස්සේ මහාකවි අශ්වඝෝෂ හිමි, රාමායණකෘත ව්‍යාස මහාඍෂි, රබීන්ද්‍රනාත් තාගෝර්, අයි. බී. හෝනර් ආදි සුවිශිෂ්ට චරිත ද හමු වන බව සඳහන් කළ මනා ය.
මෙයින් කලකට පෙර සහන් විසින් කාටත් ඉඩ දෙමු ජීවත් වීමට යන මාතෘකාව යටතේ ලිපියක් ලියා තිබිණ. ඒ වූකලී ලෝක නිර්මාංසික ව්‍යාපාරයේ ආදර්ශ පාඨය යි. Live and let live නම් ඒ ආදර්ශ පාඨය සහන්ලා අතට පත් කෙළේ සම්මානිත මහාචාර්ය මහින්ද පලිහවඩන ඇදුරුතුමා ය. ගුරු ජීවිතයේ තේමා පාඨය විය යුත්තේ ද මෙයට සමාන දෙයකි. මන්ද ගුරුවරයාට සිය ශිෂ්‍ය ප්‍රජාවෙන් තමා වඩාත් ප්‍රිය කරන කිහිප දෙනෙකු තෝරාගෙන ඒ අයගේ අභිවෘද්ධිය සඳහා පමණක් වැඩ කළ නොහැකි බැවිනි. ගුරුවරයකුට මේ සහානුකම්පී ආදරණීය සිත තිබිය යුතු ය. එසේ නොවන කිසිවෙක් ගුරු සේවයට සුදුසු නොවෙති. එච්. ඇම්. කුඩලිගම කවියා කියන සේ අප වැඩ කළ යුත්තේ අනුකම්පාව ආදරයෙහි මව ය මට යන හැඟීමෙන් ඔවිදනා ලදු ව ය.
සෝසෙකි නත්සුමෙ විසින් ජපන් භාෂාවෙන් ලියන ලද පළමු ව කලිනුදු මෙහි උද්ධෘතයක් දක්වා ඇති බොච්චන් නවකතාව වෙසෙසින් ගුරු සිසු දෝත්වලට පත් කළ යුතු එකකි. එය මුලින් ම ඉංග්‍රීසි භාෂාවට නගන ලද්දේ උමේජී සසකි විසිනි. පියදාස රණසිංහයන් විසින් යටකී නවකතාවේ සිංහල පිටපත සැකසීම සඳහා පාදක කොට ගන්නා ලද්දේ එම ඉංග්‍රීසි පරිවර්තනය යි. එහි මෙවන් ප්‍රකාශයක් එයි.
“ඔබ හොඳින් දන්නා පරිදි මසුන් ඇල්ලීම හෝ දඩකෙළිය හෝ රුචි වන්නේ ගල් හිත් ඇති කුරිරු මිනිසුන්ට ය. කාරුණික මිනිසුනට ජීවයක් ඇති කිසිවක් නසා සතුටු විය නොහැකි ය. මාළුවෙක් හෝ වේවා කුරුල්ලෙක් හෝ වේවා මරණයට වඩා ජීවිතය ප්‍රිය කරයි. මසුන් ඇල්ලීමෙන් හෝ දඩයමින් හෝ දිවෙල සරි කරන්නට වීම වෙනත් කරුණකි. එහෙත් නොයෙකුත් සැප පහසුකම් මැද ජීවත් වෙමින්, සතකු නොමැරුවොත් මිස සිතට සැනසිල්ලක් නැතැයි පවසන මිනිසා නියම ම්ලේච්ඡයෙකි.”
වරෙක ඇන්ටන් චෙකොෆ් ප්‍රකාශ කෙළේ ජීවිතයේ කුමන හෝ අර්ථයක් ඇත්තේ අපේ ම සතුට තුළ පමණක් නොව ඊට වඩා ශ්‍රේෂ්ඨ වූත් යුක්තිසහගත වූත් දෙයක බව ය. එහෙයින් තමා ජීවත් වන තුරු යහපත ම කරන්නැයි යනු ඔහු ලෝකයෙන් කළ ඉල්ලීම විය.
හොඳ ගුරුවරයා දෙවියන් හමුවීම සඳහා කිසිදු දේවස්ථානයකට යායුතු නොවේ. මන්ද එබඳු හොඳ මිනිසා සොයාගෙන දෙවියන් එන බැවිනි. මෙයින් කලකට පෙර සහන් විසින් දෙවියන් හමුවීම යන මැයෙන් ලිපියක් ලියා තිබිණ. එය ඔහුගේ ලේඛන මාලාවේ පනස් වැන්න යි. එශු එම ලේඛනය ආරම්භ කොට තිබුණේ දේව යන වචනයේ නිරුක්තියෙනි. එම වචනය සැදෙන්නේ බැබලීම - ආලෝකවත් වීම යන අර්ථවල යෙදෙන දිව් ධාතුවෙනි. මින් අදහස් වන්නේ සිය ජීවිතය ආලෝකවත් කොටගෙන ලෝකය ද ආලෝකවත් කරන තැනැත්තා ය. ගුරුවරයා සිටිය යුතු ආස්ථානය වන්නේ එය යි. මහාත්මා ගාන්ධි පවසන්නේ දෙවියන් වැඩ වෙසෙන්නේ දෙව් ලොව හෝ පාතාලයේ නොව සෑම මනුෂ්‍යයකුගේ ම හදවතේ බව යි. මේ අනුව අප විසින් පළමු ව කළ යුතු ව ඇත්තේ අප තුළ ජීවත් වන ඒ දෙවිඳුන් සොයා ගොස් හඳුනා ගැනීම ය. ඒ හඳුනා ගැනීම ම තමා විසින් එතැන් සිට කළ යුත්තේ මොනවා ද යන්න පෙන්වා දෙනවා ඇත.
මේ ජීවිත කාලය තුළ ඔබට අපට හමු වන ඇතැම් ගුරුවරයෙක් දෙව් වෙසින් අප වෙතට එති. එවන් ගුරුවරයා ගැන වන ඉසොඳුරු පැදියක් 2011 ජනවාරි 15 වන ඉරිදා ලංකා පුවත්පතෙහි පළ ව තිබිණ. මෙරට වේවා නොරට වේවා ජීවත් වන එවන් සියලු ගුරු දේවතාවනට සහ ගුරු දේවතාවියනට උවසර සුවඳ කුසුමක් ව වේවා යන ප්‍රාර්ථනය හද දරාගෙන සහන් මෙසේ එකව මෙවර ගුරු දියවරට මුසු කෙළේ ය.
උපමා උපමේය ගැදි පැදි වැනි සියලු
ඇසුරින් සිසුන් සරසවි වෙත කර තුරුලු
ඔවුනගෙ සෙත මිසක නොම දරනා කිරුලු
දෙනෙතින් දැකිය හැකි දෙවිඳුන් නම් ගුරු ලු
යුගයෙන් යුගය සමාජ මෙහෙවර පවරා දෙන සම්ප්‍රවේශකයා වන්නේ ගුරුවරයා ය. මේ මොහොතේ මෙම මෙහෙවර සිදු කොට ලොවින් නික්ම ගිය ගුරු තාරකා නාමාවලියක් සහන්ගේ දෑස් අබිමුව මැවිණ. ඒ අතර පරමායුෂ විඳ නික්මුණු ඇදුරු ගුරු තරු මෙන් ම කෙටි කලක් ලොව හිඳ තමාට පසුව ලොවට පැමිණ තමාට පෙර නික්ම ගිය මිතුරු ගුරු තාරකා ද සිහිපත් විය. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්-මහාචාර්ය මහින්ද පලිහවඩන-ආචාර්ය මහානාම කරුණාරත්න-ආචාර්ය සරත්චන්ද්‍ර ජයකොඩි-රංජිත් මුතුකුඩ- ව.පී. රාජපක්ෂ බඳු සිය ගුරු තාරකා ද සුමින්ද කිත්සිරි ගුණරත්න-මහාචාර්ය ජගත් වංශපාල බඳු මිතුරු ගුරු තාරකා ද විය. ඒ නාමාවලියට අලුතින් ම එක් වූයේ දෙටු මහැදුරු නලින් අබේසේකර සුකලණ මිතුරා ය.
තමාට හැකිතාක් කාලයක් ශිෂ්‍ය ප්‍රජාව සහ සමාජය උදෙසා එහි අභිවෘද්ධිය විෂයයෙහි කටයුතු කරන ගුරුවරුන් විසින් අනිවාර්යයෙන් ම කළ යුතු කාර්යයක් වෙයි. ඕනෑ ම කෙනෙකුට සිය තරුණ අවදියේ වැඩ කළ ආකාරයට ම මහලු වියේ දී වැඩ කළ නොහැකි ය. ඒ අවදියේ දීත් වැඩ කළ යුතු නමුත් ඒ වැඩවල ස්වරූප වෙනස් කළ යුතු වෙයි. කලින් කළ කටයුතු සඳහා ගුරුවරයා විසින් විකල්ප සොයා යායුතු වෙයි. මේ වන විට මෙරට මෙන් ම විදේශගත ව ද ඥාන ප්‍රදායනය කරන ගිහි පැවිදි වියත් ශිෂ්‍ය ප්‍රජාවක් මෙන් ම විද්වත් මිත්‍ර පර්ෂදයක් ද සහන්ට ඇත. එසේ ම සිය ශක්ති පමණින් මෙතෙක් කළ වැඩ පවරා දුන් පැනසර අනුප්‍රාප්තිකයෝ ද සිටිති. නූතන ඥානප්‍රදායී ක්‍රමවේදයන්ගෙන් මතු නොව සිය විෂයට පමණක් සීමා නොවූ ඔවුන් විශිෂ්ටාකාරයෙන් සාහිත්‍ය දේශකයාගේ ඝූමිකාව ද මැනවින් ඉටු කරනු දකින සහන් තුළ ඇති වන්නේ අප්‍රමාණ සන්තුෂ්ටියකි; අපරිමිත සැහැල්ලුවකි.
ඒ පිරිස අතර මහාචාර්ය ගාමිණී රත්න ශ්‍රී - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ ශාන්ත ගමගේ - මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ - මහාචාර්ය ප්‍රසන්න මධුරංග - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ - දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය අසේල විජේසුන්දර - මනස් උපදේශක චතුරිකා උදාරී සිනමා සහ සාහිත්‍යවේදීනී තුෂාරී අබේසේකර - ප්‍රවීණ සන්නිවේදිකා තුෂාරී වෙලගෙදර බඳු සුධීමත්හු ද සුධීමතියෝ ද සිටිති. සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් විසින් සාහිත්‍ය දේශන කරන ලද්දේ වරක් දෙවරක් නොවේ. මේ සියලු දෙනා තමාට වඩා මැනවින් එය කරන බව සහන් දනියි. මේ අතර සංවේගය දනවන කරුණ වන්නේ මෙම කාර්යය ඉටු කළ, අනාගතයේ දීත් ඉටු කළ හැකි ව තිබූ මහාචාර්ය ජගත් වංශපාල - ප්‍රවීණ කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර යන සුවිද්වත්හු තමාට පසු ලෝකයට පැමිණ; පිරවිය නොහෙන මහත් හිස්තැනක් තබා තමාට පෙර ලොවින් නික්ම යාම ය.
වේදනාත්මක කල්පනාවන්ගෙන් හද පිරීයන ඒ නිමේශයේ සහන් අතට ගත්තේ තමා විසින් ලියන ලද පවරා දීම නම් 51 වැනි ලිපිය ද අන්තර්ගත දෙවැනි ලේඛන අත් පිටපත යි. එම ලේඛනයේ සමන් සිත්තරා සහ ඔහුගේ ප්‍රකාශ රාශියක් විද්‍යමාන ය. ඒවා වරින්වර මෙගුරු දියවරට වරින් වර එකතු කොට ඇති බැවින් ඒ ගැන යළි නොලියමි. එසේ ම අපගෙන් උගත් අද විද්වත් සමාජය නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා ගැන ද මෙහි සටහන් කරනු ලැබ ඇත. කවදා හෝ දවසක උන් වහන්සේලාගේ දෑස්වලට මෙම ලේඛනය දක්නට ලැබේවා යි පතමි.
සහන්ගේ 52 වැනි ලිපිය වන්නේ දිවීම සහ නොදිවීම යි. දුවන ලෝකයක ජීවත් වීමට සිදු වුවත් ගුරුවරයා විසින් නියෝජනය කළ යුත්තේ නොදුවන්නන්ගේ භූමිකාව ය යනු ඔහුගේ හැඟීම යි. ඔහු 1998 ජනවාරි 02 වැනිදා පහත කව ලියා තැබුවේ එහෙයිනි.
හිරු අහිමි වූ දිනේ සඳ ළඟ කුමට නවතිමි
මල් මිලින වූ පැයේ සුවඳට කුමට නතු වෙමි
ගීය අහිමි නම් කිසිදා තනුව නොසොයමි
දුවන ලොව දකිමි නොදුවමි කුමට ලත වෙමි
මෙබඳු මිනිසකුගේ ඇතුළු හද මොනවට ප්‍රතීයමාන ඉසොඳුරු ප්‍රකාශයක් සිය කලණ මිත් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් විසින් එවක ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් ප්‍රකාශිත දින දර්ශනයකට ඇතුළත් කොට තිබුණා සහන්ට මතක ය. ඔහු එය සිය 52 වැනි ලේඛනයට ඇතුළත් කොට තිබේ. සහන් මේ මොහොතේ කරන්නේ ගුරු දියවර සහෘදයන් අතට ඒ සුප්‍රකාශය පත් කිරීම ය.
“මට මගේ හදවත වෛරයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් තොර කිරීමට අවශ්‍ය ය. සෑම කෙනෙකු සමග ම එකමුතුකමින් ජීවත් වීමට ද වෙර දරමි. ජීවිතයේ සරු මෙන් ම නිසරු අයහපත් කාලයන්හී ද බුදුසමයට සමීප ව දැහැමින් දිවි ගෙවමි. මේ ලෝකය අත්හැර යාමට සිදුවන අවස්ථාවේ දී නිර්භයවත් කණගාටුවෙන් තොරවත් සමුගනිමි. එසේ වන්නේ මෙහි පැමිණියාට වඩා යහපත් කෙනෙකු වශයෙන් මා පිටවන නිසා ය.”
අප හැම විට ම අපගේ ඇසුර සඳහා සොයා යායුත්තේ අපගේ අදහස් සමග සමානුපාත වන අය පමණක් නොවේ. ලෝකය නුගුණ ගති ඇත්තන් යයි කියා පසෙකට කරන අය ගැන අප සැලකිලිමත් විය යුතු ය. නුගුණයන් සගුණයන් කළ හැක්කේ එවිට ය. එය ද ගුරු මෙහෙවරට අයත් ය. මෙම කාර්යය සඳහා ද අභීත ව ඉදිරිපත් විය යුතු ය. වරෙක මහාත්මා ගාන්ධිතුමා පැවසුවේ මේ පොළොව මත කිසිවකට බිය නැති මිනිසා තමන්ට හානියක් කිරීමට තැත් කරන අයෙකුට එරෙහි ව ක්‍රෝධය ඇති කොට ගැනීම පවා කරදරයක් කොට සලකන බව ය.
සුන්දරත්වයේ හදවත නමින් වන සිය 53 වැනි ලිපිය ආරම්භයේ දී සහන් සඳහන් කරන්නේ සොඳුරු හදවත් සොයා යන ගමනක දීත් තමාට පළමු ව නවතින්නට සිතෙන්නේ සමන් සිත්තරා ළඟ බව ය. හොරණ ශ්‍රීපාලී සෞන්දර්ය සරසවියේ දී තමාට ඉගැන් වූ ගුරුතරුවක් වූ චන්දිම විජේබණ්ඩාර මහාචාර්යතුමනට ලියූ ලිපියක් සමන්ගේ අභාවයෙන් පසු එතුමන් විසින් සහන් අතට පත් කොට තිබිණ. සිය ආචාර්යවරයා පවසන පරිදි සංස්කෘතිය යනු ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික අංශය නම් ඒ පිළිබඳ අවබෝධයකින් තොර ව මිනිසුන් තම තමන්ගේ අධ්‍යාත්මය ලොවට කියන ලලිත කලාවෙහි අප නිරත වන්නේ කෙසේ ද යන ගැටලුව එවක සරසවි ශිෂ්‍ය මාණවකයකු වු සමන්ට ඇති වී තිබිණ. මේ ගැන තමා සමග මෙන් ම සිය සහෘදයන් සමග ඔහු කතා කොට ඇත්තේ වරක් දෙවරක් නොවේ. යටකී ප්‍රශ්නයට හොඳම පිළිතුර තිබූ ඔහු නික්ම යාමෙන් ඇති වූ හිස්තැන ඔහුගේ සදැ’සුර ලද කාටත් අද දවසේත් දැනෙයි. ගුරු ශිෂ්‍ය දෙපිරිස අතර වේවා මිතුරු මිතුරියන් අතර වේවා විරසක ඇති වූ විට ඒවා අවංකව ව සංසිඳුවීම සඳහා කටයුතු කරන මැදහත්කරුගේ භූමිකාව ඉටු කෙළේ සමන් ය. අලුත් අර්බුදයක් නිසා පැරණි හිතවත්කම් අමතක නොකරන්නැයි යන චීන බුද්ධි මහිමයේ එන ප්‍රකාශය වරින් වර අපට සිහිපත් කොට දුන්නේ ද ඔහු ය. විරසක ඇති වූ විට ඒවා සමනය කිරීමට නොව වැඩි වර්ධනය කිරීමට කටයුතු කරන චරිත බහුල සමාජයක සිටින අපට සමන්ගේ හිස්තැන මේ සා දැනෙන්නේ එහෙයිනි.
සෞන්දර්යය සොයා යන චාරිකාවක ඇති සුන්දරත්වය මෙන් ම සුගැඹුරු අරුත් කියා දුන්නේ ඔහු ය. පරපුරින් පරපුරට එඅරුත් තැන් පවරා දෙන ඓතිහාසික ස්ථාන අබියස හිඳ ඔහු කළ කතා එදාටත් වඩා දැනෙන්නේ අද ය. ඔහුගේ මිත්‍ර ශිෂ්‍ය ප්‍රජා හදවත්වල වන උපදින හැඟුම 1997 නොවැම්බර් මාසයේ දවසක අනුරාධපුර පුණ්‍ය භූමියේ රත්න ප්‍රාසාදය අබියස දී මෙසේ කවියක් වී ප්‍රකාශයට පත් වූයේ එහෙයිනි.
ප්‍රාසාදය දකිමි මත ජීවන පව්වේ
සොහොයුර ඔබ යි එහි යන මාවත කිව්වේ
ඔබ ම යි නිබඳ ලොව සුන්දරතා සෙව්වේ
ඔබ නැවතිලා ඇයි සොහොයුර අප යැව්වේ
කවර විෂයයක් ඉගැන්වුව ද සුන්දරත්වයේ චාරිකාව වෙත ශිෂ්‍ය ප්‍රජාව යොමු කිරීම ද ගුරු මෙහෙවරට ඇතුළත් ය. සහන්ගේ දෙවැනි අත් පිටපතේ 54 වැන්න වන සංස්කෘත නම් මාතෘකාව යටතේ ලියැවුණු ලිපියේ ද එහි 55 වැන්න වන ස්ත්‍රී රත්නය ලිපියේ ද ගුරු ජීවිතය හා බැඳුණු කාරණා අන්තර්ගත ය. මේ ලිපි දෙක අවස්ථා දෙකක දී පුවත්පත්වලත් සිය ග්‍රන්ථ දෙකකත් පළ වූ නිසාත් එය සමන් සිත්තරා වෙනුවෙන් වාර්ෂික ව සිදු කරන පින්කමකදී පත්‍රිකා වශයෙන් මුද්‍රණය කොට බෙදා දී ඇති නිසාත් ඒවායේ අන්තර්ගතය මේ ගුරු දියවරට මුසු කරන්නට අවශ්‍ය නැතැයි ඔහුට සිතිණ.
සහන්ගේ ලේඛන අතර හිරු නමින් ද ලිපියක් එයි. එම ලිපිය නැවත කියවද්දී ඔහුට ගුරු චරිතය ද හිරු සේ විය යුතු නොවේ දැයි සිතෙයි. උදෑසන හිරු මෘදු ය. දහවල වන විට එය දැඩි වෙයි. සවස් වන විට යළිදු මෘදු වෙයි. ගුරුවරයා තුළ ද මේ මෘදු බව සහ දැඩි බව තිබිය යුතු වෙයි. එහෙත් ඒ ගුණාංග දෙක ම ඔහු හෝ ඇය ප්‍රකාශයට පත් කළ යුත්තේ හදවතේ කරුණා ගුණය තබාගෙන ය. කරුණා මූලයෙන් ක්‍රියාත්මක වන ගුරුවරයා ශිෂ්‍යයාට දැනෙයි. මේ දැඩි බව හෝ මෘදු බව සමග මුසු ව ඇත්තේ ශිෂ්‍යයන් වන තමාගේ යහපත ය යන්න ඔවුහු අවබෝධ කොට ගෙන සිටිති.
හිරු යනු දෘශ්‍යමාන වස්තුවකි. ඔහුගේ හෝ ඇයගේ දෘශ්‍යමාන වීම යනු ලෝකයට ආලෝකය ලැබීම යි. එහි ප්‍රතිඵලය ශිෂ්‍ය ලෝකය ආලෝකවත් වීම යි. ශිෂ්‍ය ජීවිතයේ අඳුරු අහුමුළුවලට ආලෝක ධාරා එල්ල කොට අප අඳුරින් ආලෝකය වෙත කැඳවන්නේ ගුරුවරයා ය. එහෙයින් අඳුර පැතිරවීම සඳහා කටයුතු කරන කිසිවෙක් ගුරු යන අභිධානය ලැබීමට සුදුසු නොවෙති. සිය විෂය කවරක් වුවත් ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ ආලෝකය පැතිරවීම සඳහා එය මාධ්‍යය කො ගැනීම ය. චිත්‍රකලා ගුරුවරයකු වූ සමන් සිත්තරා සිය මුළු ජීවිත කාලය තුළ කෙළේ එය යි. ඔහුගේ චිත්‍ර ඔහුගේ මූර්ති අද දවසේත් අපට උගන්වන්නේ ජීවිතය පිළිබඳ වන පාඩම යි. ඔහු වූ කලී සිටින විට මෙන් ම අප අතර නැතුවත් ආදරයෙන් හද පුරවන මිනිසෙකි. නිකොලායි ගොගොල්ගේ මළ මිනිස්සු ෘැ්ා ීදමකි කෘතියට ප්‍රවීණ අනුවාදක සිරිල් සී. පෙරේරා විසින් කරන ලද සිංහල පරිවර්තනයේ එන පහත සඳහන් ප්‍රකාශය ඔහු ඇතුළු සොඳුරු හදවත් ඇති සියලු ගුරු උතුමන් සහ ගුරු උතුමියන් විෂයයෙහි අදාළ වන්නේ මේ නිසා ය.
“උසස් මිනිසෙකු විමට අවශ්‍ය හැම ගුණ ධර්මයක් ම ඔහු ශිෂ්‍යයන් තුළ ප්‍රගුණ කෙළේ ය. අහෝ මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා ජීවිතය නමැති කලාව කොතරම් මැනවින් දැන සිටියේ ද?”
සහන් සිය ලොවින් උකහා ගත් දැනුම තමන්ගේ හදට දැනෙන දෙය සමග සම්බන්ධ කරමින් මෙතෙක් වෑයම් කෙළේ සිය ශක්ති පමණින් ගුරු ජීවිතයේ විශිෂ්ටාර්ථ මතු කිරීමට ය.
1999 පෙබරවාරි 01 වැනි දා සමන් සිත්තරා වෙනුවෙන් හද පිළිසිඳි ගීතය මෙලොව මේ තාක් සිටි සිටින සද්ගුරු උතුමන් සහ සද්ගුරු උතුමියන් පාමුල පුෂ්ප පූජාවක් කරන්නට සහන්ට සිතුණේ නොබෝදා ලොවට අහිමි ව ගිය ආදරණීය සුප්‍රිය ගුරු සහෘදයා ද හදවතේ ගැඹුරු ම තැනක තබා ගෙන ය.
ඔබ ය මට ගුරු තරුව
එළිය ගෙන හදට ආ
සදා නොවෙනස් තරුව
මිලාන ව ගිය තරුව
සදාතනික ව වෙසෙයි
හදවතෙහි ගරුතර ව
සදාලූ මං අනන්ත යි
පහන් කළ නෙත් අනන්ත යි
සදා සුන්දර ගීතයක් සේ
උදාගිර’ගින් නැගෙන හිරු සේ
සුන්දරයි ඔබ සුන්දරයි
සුන්දරයි ඔබ සුන්දරයි
කල්‍යාණ මිත්‍ර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර සුප්‍රිය සහෘදයා සිය ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය වූ පරිද්දෙන් පරම නිවනින් නිවී සැනහේවා!

No comments:
Post a Comment