Sunday, October 12, 2014

දන්නවා නම් තෙමෙනවා ඔබ... මහා වැස්සට කල්පයක්..!!

වැසි දැරියට වැස්ස ගැන හැර අන් යමක් ගැන ලියන්නට හැකිද... හැකි විය හැකි ය.එහෙත් මෙවන් වස්සාන සමයන්හී දී මට වැස්ස හැර මුළු ලෝකය ම අමතක වී යාම ඉතා සාමාන්‍ය සංසිද්ධියකි.එපමණට බරපතළ මිනුමකින් මම වැස්සට ආදරය කරමි.ගහකොළ සෝදාගෙන නෙත් ඉදිරිපිට ඇදගෙන හැලෙන සියුම් සුකෝමළ වැසි පොදවලටත්, කළුවර සීත රාත්‍රීන් හී සිත බියපත් කරමින් කඩා වදින අනෝරා වර්ෂාවන්ටත් එක සේ ම ආදරය කරන්නට මා පුරුදු වූයේ කවදා ද කියා හරියටම මට මතක නැතත් මා උපන් දවසේ දී ම වැස්සත් මහදත් අතර පවත්නා අරුම සම්බන්ධය උපදින්නට ඇතැයි විටෙක සිතේ.. 

මා උපත ලැබ ඇත්තේ ද මහා වැස්සක් අතරතුරේ ය.අන් නමක් ගැන නොසිතා මට වැසි දැරිය යැයි නම් තබන්නට තාත්තාට සිතෙන්නට ඇත්තේ ද ඒ හින්දා ම විය යුතු ය.නමට පමණක් වැස්සක් නොවී කටුක පොළොව තෙමනා ආදරයේ වැස්සක් වෙන්න යැයි ඔහු අදටත් සෑම උපන් දිනක දී ම මතක් කර සිටියි.මේ වැහි කතන්දර අලුත් වූයේ මේ දවස් වස්සානයට අයත් වන හින්දා ම පමණක් නොවේ.ඊයේ මහ රැයේ අහම්බයකින් අහන්නට ලැබුණු මේ අපූරු ගීතය හින්දා ය...

හදන්නට වැහි බින්දුවක් - කරුණාරත්න දිවුල්ගනේ

නිශාචරයෙකු වීම නිසා මහ රැයේ පාඩම් කරන අතරේ දැනෙන නිදිමතට පිළියමක් ලෙස මා කරන්නේ අන්තර්ජාලය ඔස්සේ කරක් ගසා ලස්සන සින්දුවක් සොයා ඇහීමය.ඊයේ අහන්නට ලැබුණ මේ ගීතය හිතේ බිත්තිවල ලස්සන සිතුවම් බොහෝමයක් එක නිමේෂයකට ඇන්දේය.

හදන්නට වැහි බින්දුවක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සට කල්පයක්...

මෙපමණ ගැඹුරට සිතන්නට යාම විකාරයක් ලෙස ඇතැමුන්ට පෙනෙනවා විය හැකි බව දනිමි.ඒත් ගීත රචකයා ලියා ඇති පරිද්දෙන් ම මහා වැස්සේ කල්පයක් හෝ නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් වුව තෙමෙන්නට මම ද ආසා කරමි.වැස්ස මසිතට එපමණට සුවදායක ය... මෙහැඟුම යට මේ මොහොතේ දී ද මම සෙනේහයෙන් තෙමෙමින් සිටිමි.



Friday, June 27, 2014

නොහඬමි...

කවියක් ව නුඹේ නෙත් දකිමි මම නිල් නුබේ
ඔය නුවන් සීරුවේ මා දෙනෙත් වෙත එබේ
දහසකුත් මේ ගැජුම් ඉපිද හදවත් ගැබේ
වැස්සක් ව මකවි පොත් මතට ඉහිරෙයි ඉබේ

මුළු දවස පොත් අතර සරා වෙහෙසින් තැවෙන
සිත අරන් කවි අතර රැයට සක්මන් කරන
මොහොතකට ස්වප්නෙකින් නුඹේ නෙත් මට පෙනෙන
ඇත්තමයි මිහිරි වෙන කවක් නැත ඔබ පමණ

තුරකි නුඹ මා හදට මිහිරි මල් පෙති ඉසින
ගඟකි බොර දිය මඟැර සිහිල් දිය මට පුදන
සඳකි වෙහෙසෙන සිතට සොමි කැළුම් දී නිවන
මලකි මා හද විලේ සදාකල්හි ම පිපෙන

දුරයි නුඹ මා හදට අන් හැමෝටම වඩා
ඒත් හැම දුරු බැඳුම් එකම නිමෙසෙන් කඩා
බිඳ හෙළන මතකෙකින් දුරු ව යයි හද විඩා
ඉතිං නෙත් බොඳ නොකර ඉඳිමි නොහඬා හඬා



Friday, May 30, 2014

පත්තර....)))

පත්තර කියන ඒවා සාමාන්‍යයෙන් බොහෝ දෙනා ළදරු පාසල් යන පුංචි ම කාලයේ කියවන්නට පටන් ගනිති.මා වැනි අතට අහු වෙන හැම අටමඟලම කියවන පොඩි එවුන් නම් පත්තර කියවිල්ල පටන් ගන්නේ ඊටත් කලින් ය....)))))

කියවන පත්තර වයසත් සමඟ වෙනස් විීම අපූරු දෙයකි.පුංචි කාලයේ මගේ තේරීම වූයේ පොඩිත්තා,සිඟිත්තා ආදී ඒවාය.කල් යත්ම එව්වා විජයට මිහිරට එහෙම මාරු විය.හතර පහ වසර වෙත්දී මම සිලුමිණ,දිවයින ආදී ලොකු පත්තර කියවන්නට පටන් ගතිමි.

ඒ දවස්වල පටන් ගත් පුරුද්ද අත හැර ගැනීම ඉතා අපහසු කටයුත්තකි.සෙනසුරාදා දවසේ උදේ පාන්දරම තාත්තාත් මාත් නිවසින් අතුරුදහන් වෙමු.නැවත ආපසු එන්නේ සති අන්ත පත්තර හතඅටකුත්,සෝයා අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙනය.. ඉන්පසු උදේ වරුවම අපේ නිවසේ සියල්ලෝ කිසිදු හිතේ කහටකින් තොරව පත්තර උදෙසා වැය කරති..!!!

පරණ පත්තර කියවීම මගේ අනික් පුරුද්දයි.(පුංචි අවදියේ සිට මට වැළදී ඇති පිස්සු තත්ව මගේ දෙමව්පියන්ටත් වැළදී තිබීම කරණ කොටගෙන) අපේ නිවසේ 1970 ගණන්වල සිට පරණ පත්තර කෙළ කෝටි සංඛ්‍යාත ගණනක් තිබේ.ඒවායින්ද වැඩි හරියක් සිත්තර,සතුට,සුහද ආදී වූ චිත්‍ර කතා පත්තර ය.ඉතින් අට නමය වසරේ පටන් මට කම්මැලිකමක් දැනුනු විට කරන්නේ ඔය පත්තර ගොඩ සම්පූර්ණයෙන් ම එළියට ගෙන දූවිලි නාගෙන ඒවා කියවීමය.ඉන් පසු ඇති වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව පිළිබඳව උනන්දු නොවිය යුතු තරමට ඒවා කියැවූ පසු අති මහත් ආනන්දයක් ලැබේ..!!

දුකක් දැනෙනා වෙලාවට 1990 ගණන්වල නවකතා සහිත පරණ අරලිය පත්තර ඉතා හොඳ ඔසුවක් බව ද නොකියා බැරි ය...!!

පත්තරවල නොවැදගත් ප්‍රවෘත්ති සහ ලිපි බොහෝ තිබෙන බව ඇත්ත ය.නමුත් සියල්ල ම කිව යුතු යැයි නියමයක් නැති බැවින් තමන්ට ගෝචර වන ඒවා පමණක් කියැවීමට හැකියාව තිබේ.. එහෙයින් වර්තමානයේ වෙසෙනා බාල පරම්පරාව රූපවාහිනිය මොහොතකට වසා දමා පොඩ්ඩක් පත්තර පැත්තට යොමු වන්නට උත්සාහ කළහොත් කරන්ට් බිල අඩු වී මොළය ද ටිකක් වැඩෙනු ඇතැයි සිතමි...))))

අන්තිමට කියන්නට තියෙන්නේ පත්තර හෙවත් පුවත්පත් යනු මගේ අත්දැකීම්වල හැටියට නම් ඉතා සුන්දර යමක් බව ය...!!



Saturday, March 15, 2014

ගුරු තරුව.. නුඹ සිහි ගන්වනා මතක!

දුක් විඳින මිනිසුන් දකින දකින අවස්ථාවලදී මට සිහිපත් වන එක් අයෙක් සිටී. ඉතා සිහින් සිරුරක් යට සැඟවුණු අතිශය පෘථුල හදවත සිහිපත් ව හදවත බැතියෙන් බරවෙන්නට පටන් ගනී.ඒ අපේ දයාබර ගුරුතුමාය..

...ඔහුව සිහිපත් වන්නට හේතුවක් අද මහමගදී හමු විය. ඉතා දිළිඳු කර්කෂ පෙනුමක් තිබූ තරුණ මවක් දරුවෙකු කුසින් දරාගෙන හුන්නාය. ඈ ළඟ තවත් කුඩා දරුවෙක් විය. ඔවුහු කපුරු විකුණති... දරාගන්නට නොහැකි තරම් අසරණකමක් ඒ මුහුණුවල පිරී පැවතුණි. මට කළ හැකිව තිබූ දෙය අසළ කඩයකින් බිස්කට් පැකට්ටුවක් ගෙන එය පොඩි එකා අත තැබීම පමණි.එය ද ඒ මොහොතේ නොකළා නම් ඒ අසරණ මුහුණු මට තව සති ගණනාවක් යන තුරු නෙත් ඉදිරියේ මැවී පෙනෙනු ඇත.

එවන් මොහොතක දී අතේ ඇති සුළු මුදලින් හෝ යමක් කරනු මිස අහක බලාගෙන නොයන්නට අප පුරුදු කළේ මා පෙර සඳහන් කළ උත්තුංග මිනිසාගේ දයාබරත්වයයි. ඔහු අපේ සා/පෙ සිංහල ගුරුවරයා විය.අපට වඩා අවුරුදු හත අටකට වැඩිමහල් නොවූ ත්, ඒ වන විටත් තාරුණ්‍යයේ මිහිරිතම ඉසව්වේ විසූ ත් ඔහු ඒ වයසේ තරුණයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ පොදු බවකින් යුතු ඉතා සුන්දර මිනිසෙක් විය.අපට යා යුතු මඟ පෙන්වූයේ ඒ දෑසේ වූ ආලෝකයයි.

ඔහු තාරුණ්‍යයට උරුම විය යුතු වන විප්ලවකාරීත්වයෙන් ද,මානව ප්‍රේමයෙන් ද පිරී හුන්නේය.විවෘතව ජීවිතය ගැන කතා කළේය.ඔහු වෙත ආකර්ෂණය වූ කෙල්ලන් කොතෙක් වුන් නමුත් හැම දෙනාටම පුතේ,උඹ,බං කියා කට පුරාම කතා කළ හැකි නියම ගුරු භූමිකාවක ඔහු රැඳී උන්නේය.හැම මොහොතකම ඔහු පැවසුවේ අරමුණක් ඇතුව පාරේ යමල්ලා කියා ය.දුක් විඳින මිනිසුන් දෙස බලාපල්ලා කියා ය.ජිවිතයට පෙම් බැඳ දෙමව්පියන්ට යුතුකම් ඉටු කරපල්ලා කියා ය.හොදින් ඉගෙනගනිල්ලා කියා ය.ඒ හදවත අපට කියා දුන් ජිවිතයට අප ආදරය කළෙමු.කෙටි කලකින් ඔහු තක්සලාවෙන් නික්ම ගිය මුත් අප ඔහු පෙන්වා දුන් ආලෝකය යට හිඳ අදටත් ජීවිතය දෙස වඩා නිවැරදි ඇසකින් බලන්නෙමු...

...මම පෙර කී කපුරු විකුණූ තරුණ අම්මා දෙස බලාගෙන ඔහු අපට කිසාගෝතමියක නොවේ පාඩම ඉගැන්වූ අපූරුව සිහිපත් කළෙමි.ඒ වදන් හැමෙකක් ම අදටත් මට ඉතා පැහැදිලි ව සිහිපත් කළ හැකි ය.. ඇත්තකි. නුඹ වන් ගුරුවරයෙකු යළිත් නම් අපට මුණ නොගැසෙනු ඇත!!