Monday, December 31, 2012

දුරුත්තට අවසර..

දුරුත්තේ මුල්ම දවසට තව ඇත්තේ බොහොම පොඩි වෙලාවකි.නින්දේදී දුරුත්ත උදා වනු ඇත.නින්දට පෙර දුරුත්තට හාදුවක් දී සෙනෙහසින් පිළිගන්නට මට අවැසි වී තියේ.මේ අකුරු ලියැවෙන්නේ ඒ සොදුරු සිතිවිල්ල පෙරටු කොටගෙනය....

...මේ ජීවිතයේ මුල්ම දුරුත්ත අත් විදින විට මට යාන්තම් දෙමාසයකි.ඉතින් මට එකල ගැන මතකයක් තියෙන්නට නොහැකිය.එතෙකුදු මේ දහසය වැනි දුරුත්ත මට අත් විදින්නට පුළුවන.මන්ද මට දැන් සීතලක් විදගත හැකි අන්දමේ තරමක් වැඩුණු හදවතක් තිබේ.එහෙයින් දුරුත්ත සෞන්දර්යයක් කොට සලකමි.

සෑම නිමේෂයක්ම වර්ණවත් නැති මුත් ඒවායේ පාට තැවරිය හැකි බව මම ඉගෙනගත්තේ පහු වී ගිය දුරුතු මාසයන්වලදී ය.

..............................

..ඉතින් මේ දුරුත්තට ඇවිදින්නේ ඒ අවබෝධය සමග උපන් දැරිවියකි.....

පසු සටහන
කැලැන්ඩරයක් වෙනස් වීමට අලුත් අවුරුද්දක් කිව නොහැකි වුවත් ඒ කැලැන්ඩර් වෙනසත් සමග මිනිසුන්ගේ ජීවිත මත මතු වෙන වෙනස්කම්වලට මම ප්‍රිය කරමි.

අවුරුද්ද අලුත් යැයි සිතා මිනිස්සු ජීවිත අලුත් කර ගනිති.ඒ අලුත් බව ජීවිතයට බොහෝ දේ එක් කරයි.නමුත් බොහෝ දෙනා එසේ එක් කරගන්නේ තමන්ට පමණක් වටින දේවල්ය.තමන්ගේ ජීවිතය හරිහැටි සකසා ගැනීම වරදක් බව නොකියමි.ඒත් ඒ ආත්ම අර්ථය සමග පර අර්ථය යන්තමින් හෝ තැවරී තිබිය යුතුය.

දුක් විදින්නන් ගැන නොසිතා සිය සුඛ විහරණය පමණක් පතන්නවුන්ට දුරුත්තේත්,නව අවුරුද්දේත් සැබෑ සන්තුෂ්ටිය ලද හැකි යැයි සිතන්නට නොහැකිය.

ආත්ම අර්ථයත්-පර අර්ථයත් දෙකම සලසාගැනීමේ අභිලාෂයෙන් යුත් දයාබර සිත් ඇත්තන්ට සුබ නව වසරක් ම වේවායි උදුවප් මහේ අවසන් දි‍නය අග හිද සෙනෙහස් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.... 

Tuesday, December 25, 2012

වැහි මතකය

මා අඩවන්නට සමත් වූ ගීත ඇත්තේ ඉතා ස්වල්පයකි.එක්කෝ සමහර හෘදයංගම ගීත සම්බන්ධයෙන් මා අසංවේදීය.නැත්නම් ඒවායේ සංවේදී බව ක්‍රියා කරන්නේ ම‍ගේ සංවේදී බවෙන් එහා විෂය පථයකය.ඒත් එහෙම නැති ගීත කීපයක් තියේ.

ඒ ගීතවලින් එකකි මා වඩාත් ආසාම කරන ගීතය.එය ගයන්නේ රෝහණ වීරසිංහය.මට තේරෙනා හැටියට ඔහු විශිෂ්ට සංගීතවේදියෙකු මිස ඒ තරම් හොද මට්ටමේ ගායකයෙක් නොවේ.මන්දා ඒ මගේ අදහසයි.සමහර විට අස්වැන්නේ හිමිකරු දයානන්ද රත්නායකයන් ඒ ගැන මීට වඩා වෙනස් අදහසක් දරනවා වෙන්නට පුළුවන් බව දනිමි.

කොහොම නමුත් මේ ගීතයේ අමුත්තක් තියේ.වැසි සහිත ශීත රාත්‍රීන්වලදී අහන මොහොතක ඒ අමුත්ත තවත් වැඩිය.ඇත්තටම මේ ගීය අසද්දී මට මොනවාදෝ සිහිපත් වේ.සිතින් මකා හරින්නට බැරි දෙයක් වන් යමක්!ඒ කුමක්දැයි නොදැනම මෙය අසන වාරයක් පාසා මම පීඩාවට පත් වෙමි.

මුලින්ම මේ ගීතය ඇහුණේ කොතැනදීද,කොහේදීද මට මතක නැත.සමහර විට මා වඩාත් තදබල ලෙස මෙගීය වෙතට ඇදී ගියේ මෑතකදී වීම ඊට හේතුව වන්නට ඇත.මේ මෑතකදී..  එනම් මේ අවුරුද්දේම මුල හරියේදී අකුණක් ගැසුවා වැනි හැගීමකින් මට මෙහි වචන සහ සංගීතය ගැන යම් දෙයක් දැනී ගියේය.එතැන් පටන් පෙර කියූ පරිද්දෙන් මම මෙය අසන්නට නොව මෙහි වචන හරහා මසිත තුළ ඇති වන හැගීම් ගැන සිතන්නට පටන් ගත්තෙමි.

මා වඩාත්ම ආදරය කරන ගීතය මේ ගීතය වන්නේ අන්න ඒ හින්දාය.
මටවත් නොතේරෙන,කාටවත් තේරුම් කරන්නටත් අපහසු,කුමක් හෝ පෞද්ගලික හේතුවක් හින්දාය.ඒ හැගීමට නමක් දෙන්නට මම නොදනිමි.එය කුමක් වේවා,මම ඊයේ මෙන්ම අදත්,මේ කැළඹිලි සහගත යෞවනය තුළ සමහර විට හෙටත් මේ ගීතයට බොහෝ සෙයින් ආදරය කරන්නෙමි...

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා-රිය කවුලු දොරින්
යටගිය දවසේ..
දෑස ගියා ඉගිලී..

අදුරු ලලා සෙංකඩගල වැස්සේ..
දිය දහරා පාටයි දේදුන්නේ....
තෙමී... තෙමී...
ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී..
නහවයි මා රියසක මඩ වතුරේ....
නෑ හිත රිදුණේ,
අදත් එදා සිහි වී..
අපේ සබදකම් නෑ රියසක දන්නේ..

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..

උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා-රිය කවුලු දොරින්
යටගිය දවසේ..
දෑස ගියා ඉගිලී..


















http://sinhala-lyrics.com/lyric/928/rohana-weerasinghe-muthu-kuda-ihalana-mal-warusawe.html



Thursday, December 20, 2012

අලුත් වැස්සක් වහින්නට සැරසේ..

"අහස වැසි වසිනා නමුත්
 කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්..
 නියං කල හැමදා නැතත්
 කවදාද ඒ වැහි ගෙවෙන්නේ නොදනිම්..
 දුකක් වින්දොත් සැපක් ළගමයි...
 දිය දහම ඒ විලසයි!"

 අලුත් වැස්සක් වස්වන්ට සැරසෙමි.මේ වැස්ස කලින් වැටුණු ඒවාට වඩා පැහැදිලිවම වෙනස් බව මටත් දැනී තියේ.ඒත් යළිත් ලියන මා හදුනාගන්නට ඔබ සමත් වනු ඇතැයි ද,බොරලු පාරක් මත ඇතිරෙන බොරලු කැටයක් දෙකක් කියවාගන්නට ඉදහිට මෙහි එනු ඇතැයි ද විස්වාස කරමි.

අලුත් යමකින් මුණ ගැසෙන තුරු මුල්ම බ්ලොගයේ සිට මේ දක්වාම සොදුරු සෙනෙහසකින් මා හා රැදී උන් බ්ලොග් අවකාශයේ සියලු හදවත් අපමණ සෙනෙහසින් සිහියට නගමි.

හිත නිදහස් වන්නේ අදද හෙටද ඒ මොහොතේ පටන් ලිවීම අරඹමි.
එතෙක් සියලු සොදුරු සිත් ඇත්තවුනට යහපතම වේවා!