Saturday, February 27, 2016

ඒ සීත දිය පොදේ නහවන්න...


හිතට දුර නැති දුරක
ඇහැට අහු වෙන තැනක
අහම්බෙන් ඔබ පිපීගෙන ඉන්න
නොහිතපු ම විරාමෙක
එක්තරා අහම්බෙක
නෙළාගෙන යන්න මට ඉඩ දෙන්න..

අනවරත වැසි වසින
වැසි වනන්තරය අස
පුංචි ඔසු පැළයක් ව ඉපදෙන්න
සුව කරන්නට නොහැකි
සියලු රෝ දුක් රිදුම්
සෙනේ ඔසු ගල්වමින් සනහන්න..

රලු පරලු පොළොව මත
ලා තෙතක් ඇති බිමක
සීත දිය ඌලක් ව මතු වෙන්න
සපුන් විද රිදුම් දෙන
මහද දෝතට රැගෙන 
ඒ සීත දිය පොදේ නහවන්න..

Sunday, February 7, 2016

ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ

මුදලට පළමු තැන දෙන දැනුම නොවඩන
පතපොත අතර නැති සිත නිසරු බොහො දෙන
අතරෙහි දකිමි මම ඔබ නිතර සතුටින
ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ
(සරත් විජේසූරිය-ආදරණීය දරුවනි පොතේ පිදුමෙන්)

හැම ගුරු මවක් ගැන ම පියෙකු ගැන ම එලෙස //සතුටින්// කතා කළ නොහැකිය.සතුටින් බැතිබර ව සිහිපත් කළ හැකි ගතිගුණ හැම ගුරුවරයෙක් වෙත ම නොපිහිටයි.හරිහමන් ගුරුවරයෙකු විය නොහැකි නම් සිසුන්ට ඉදගැන්මට පුටු තනන වඩුවකු වන්නැයි ආචාර්ය අදිකාරම්තුමා වරෙක පවසා තිබේ.මම ද එය විශ්වාස කරමි.මට මගේ කුඩා ජීවිත කාලය තුළ වන්දනීය ගුරුවරුත්,වඩු බාසුන්නැහේලාත් දෙපිරිසම හමු වී තිබේ.මට මෙතෙක් ඉගැන්වූ ගුරුවරුන් කෙබදු අය වුවද,ඒ දෙවර්ගයෙන් කොයි වර්ගයට අයත් වුවද මම ඒ දෙපිරිසටම එක සේ ගරු කරමි.මන්ද මට අකුරක් හෝ උගන්වා ඇති බැවිනි.මේ ප්‍රතිඵලය මා තනිව උපයා ගත්තා නොවේ.ඔවුන් මට උපයා දුන්හ....

..ඒ කෙසේ වෙතත් හදවතින්ම පැන නැගෙන ගරුත්වය ඇති වෙන්නේ පළමු වර්ගයේ ගුරුවරුන් කෙරේ පමණකි.ඔවුන් එක්තරා ආකාරයක දුයිෂෙන්ලාය.දුයිෂෙන්ට ආදරය කොට අල්තීනායි වරදක් කළා යැයි ඇතැමුන් කියති.එහෙත් මානව හැගීම් යනු වරදක් විය හැකිද?ඇරත් දුයිෂෙන් බෝසත් මිනිසෙක් කෙරෙහි සිත බැදීම සිසුවියගේ වරදක්ද? වඩාත් වැදගත් වන්නේ එයත් නොවේ.දුයිෂෙන් ඒ අවස්ථාවට මුහුණ දුන් අන්දමයි.ඔහුත් අල්තීනායිට ප්‍රේම කළේය.එහෙත් මේ තමන්ගේ සිසුවිය බව ඔහු මතකයේ තබාගෙන උන්නේය.ගුරුවරයෙකුගේ ජීවිතයේ වැදගත්ම කාරණය එය යැයි මම කල්පනා කරමි.ඒ තමන් ගුරුවරයෙකු බව මතක තබා ගැනීමයි.එය මතකයේ පවතින ගුරුවරයෙකුට අමුතුවෙන් ගුරු ජීවිතයට හැඩ ගැසීමක් වුවමනා නොවනු ඇත..

මම සිසුවියක ව හිද මෙසේ ගුරු භූමිකාව ගැන ලිවීම වරදක් විය හැකිය.එහෙත් පසුගිය කාලය පුරාවට මම ගුරුවරුන් සේම පෙර කී අන්දමේ වඩු බාසුන්නැහේලාවද දුටු නිසා වැඩියත්ම මම ඔවුන්ටත් ගරු කරන නිසා මේ බව ලිවිය යුතු ම යැයි සිතිණි.ජීවිතයේ මට අකුරක් හෝ කියා දුන් සෑම ගුරුවරයෙක් ගුරුවරියක් තුළින්ම සැබෑ ගුරුවරයා දකින්නට මසිත ආශා කරන හෙයිනි..

..අනික් අතට මම මගේ දෙමව්පියන් තුළින් සැබෑ ගුරු භූමිකාව අත් වින්දෙමි.ඒ ප්‍රතිරූපය අන් සියලු ගුරුවරුන් වෙතින් බලාපොරොත්තු නොවෙමි.එය වරදකි.සෑම කෙනෙක්ටම තම තමන්ට වෙන් වූ චරිත,ගති ලක්ෂණ තිබේ.එහෙත් තමන් ගුරුවරයෙකු බව තේරුම් ගන්නා උතුමා ද උත්තමාවිය ද මිස වෙනෙකෙකු කෙලෙස නම් ඒ පදවියට ගැළපෙන්නේ වේද...? කෙසේ පවසතත් ඕනෑම කෙනෙකුගේ හද බැදි ගුරුවරයා ගුරුවරිය මතක් කොට බලන කල්හි ඔහු හෝ ඇය කෙරෙහි පිහිටා තිබෙන උත්තර ගුණාංග රාශියක් තිබෙන බව සිහිපත් වනු ඇත.

ඉතින් ඔය ඇරඹුම් කවියේ ලියැවී ඇති පරිදිම මුදලට නොවේ කරුණාවටත් දැනුමටත් උත්තර ස්ථානයක් දී සලකන,සරු මනසකින් ද පිරුණු හදවතකින්ද යුතු යස ගුණැති ගුරුවරුන් කෙරෙහි සිසුන් වී උපදින්නට අප ඉමහත් ආසා කරමු.මෙලොව ඇති තාක් සියලු ගුරු උතුමන් එය දැනගන්නේ නම් ලෝකයේ හෙට දවස මීට වඩා බොහෝමත්ම සුන්දර එකක් වනු ඇත.