Thursday, April 28, 2016

29. සයිමන් අපට ඇනපන් ටොක්කක් සැරට..!

මං බේබද්දන්ට කැමති ම නෑ. ඒත් සයිමන් නවගත්තේගම කියන බේබද්දට කැමති. ඒ බේබදුකමට නෙමේ.. නවකතාකාරකමට..!

අපේ අම්මා ජපුර සරසවියෙ ඉගෙනගන්න කාලෙ විජේරාමේ තිබුණ ජනප්‍රියම කෑම කඩයක් තමා ගිහාන්ස් ෆුඩ් සෙන්ටර් එක. ඉස්සර එතැනින් යන කොට අම්මා දකිනවලු නවගත්තේගම අර සුපුරුදු තොප්පියත් දාගෙන ගිහාන්ස් එකේ වාඩි වෙලා තට්ට තනියම මද්‍යසාර පානය කරන හැටි..  තමන් මේ තරම් ප්‍රිය කරන ලේඛකයා එක්ක සාහිත්‍යය ගැන සංවාද කරන්න තරම් නිරවුල් මානසිකත්වෙක ඔහු නොසිටීම නිසා එදා අම්මට ඇති වෙලා තියෙන්නෙ වේදනාවක්.. 

අද මට තියෙන්නෙත් වේදනාවක්.. අඩුම තරමේ අම්මා ඔහුව දැකලා තිබුණා. මං දැකලවත් නැහැ..

ඊටත් වඩා වේදනාවට පත් වුණා මේ ළඟකදි පොත් සාප්පුවකට ගියාම.. එතන වැඩ කරන තරුණ සේවකයෙකුගෙන් මං ඇහුවා සංසාරණ්‍ය්‍ය අසබඩ තියෙනවද කියලා.. ඔහු උඩ බිම බැලුවා. පොත කාගෙද කියා ඇහුවා. සයිමන් නවගත්තේගමගේ.. මං උත්තර දුන්නා. ඔහු බැලුවෙ නිකම් මම හන්දියෙ වින්කලේ වැඩ කරන සයිමන් මාමා ගැන ඇහුවා වගේ බැල්මකින්. ඉන් පස්සෙ ඔහු ඕනැවට එපාවට මෙහෙම කිව්වා.

ඒ නම ඇහුවෙත් අදයි මිස්..

මං වචනයක්වත් නොදොඩා පොත් රාක්ක අතරෙන් ඇවිදගෙන ගියා. අර තරුණයා ජිවිතේට අහලා නොතිබුණ නවගත්තේගම එක පොත් රාක්කෙක ඉන්නවා පෙනුණා. නමුත් සංසාරණ්‍යයේ දඩයක්කාරයාවත්, සංසාරණ්‍යය අසබඩවත් ඒ අතර තිබුණෙ නැහැ. ඒ නිසා සන්ධ්‍යා සහ වින්ධ්‍යා අතට අරගෙන මං පුංචිඅම්මත් එක්ක ආපිට ගෙදර ආවා..

අදයි සන්ධ්‍යා සහ වින්ධ්‍යා කියවා නිම කරන්න පුළුවන් වුණේ..

ඒ පොතට හරිහමන් අවසානයක් නැහැ. පොත මුද්‍රණය කොට තිබුණේ ඔහුගේ බිරිඳ විසින්, ඔහුගේ මරණයට පසුවයි. ඇතැම් විට මියෙන්නට පෙර කතාන්දරය නිම කරන්නට ඔහුට නොහැකි වෙන්නත් ඇති.. ඒ නැතත් මේ අවසානය ඔහු විසින් නිට්ටාවට ම ලියා තැබූවක් වෙන්නත් පුළුවන්. එපමණට නවගත්තේගමගේ කතා වෙනස්.. ආශා උපදවන අන්දමින් ඒ කතාන්දර අන් අය ලියන දේවල්වලින් වෙනස්.. කතා ශෛලිය, දෘෂ්ටි කෝණය, භාෂාව ඇතුළු මෙකී නොකී හැම දෙයක් ම!

ක්ෂීර සාගරය කැළඹිණ.. ඒ මං ඔහුගෙ කියවා තිබෙන කෘති අතරින් වඩාත් කැමති ම පොත. සංසාරණ්‍යෙය් පොත් ත්‍රිත්වය කියවා නිම කළා ම මං ඒවාට වැඩිපුර පෙම් බඳීවි කියලයි අම්මා නම් කියන්නේ.. 

සන්ධ්‍යා තුළ පවතින ගති ලක්ෂණ බොහෝමයක් අතරින් මට මාව ම පෙනෙනවා. මං ඈට බොහොම සමානයි. එක තැනක නවගත්තේගම ඈ ගැන මෙලෙසින් සටහනක් තබනවා,

// සොම්නස් සහගත වේවා දොම්නස් සහගත වේවා තෘප්තිය අතෘප්තිය තුළ භාවනානුයෝගී ව සිටීම ඇගේ පුරුද්ද ය. එය ඇගේ චරිත ලක්ෂණයකි. හැකි තාක් කාලයක් වේලාවක් එම මනෝභාවය භුක්ති විඳීමෙන් ඉමහත් තෘප්තියක් ලබන්නාක් මෙනි. සුව වී ගෙන එන්නා වූ තුවාලයක් වුව ද නැවත නැවත පාරමින් කසමින් නැවත මතු වෙන තුවාලයේ වේදනාවෙන් තෘප්තියක් ලැබීමකි //

මේ කොටස කියවාගෙන යද්දි මට හිනා පහළ වුණා. සන්ධ්‍යා මංමදෝ කියා හිතෙන තරමට මා තුළත් මේ වේදයිතයන් භුක්ති විඳීම අඩුවක් නැතුව ම තිබෙනවා.. ඒක වරදක් බව නොදන්නවා නොවෙයි. ඒත් ඉතිං මක් කරන්නද.. ඒ මගේ විදිය.. එක අතකට සන්ධ්‍යාත් එහෙමයි කියා හිතද්දී මං උමතුවෙන් නොවන වග මට තේරුම් යනවා..

සටහන නිමා කරන්න කලින් ප්‍රියලාල් කොග්ගලගේ සහෘදයා කලකට පෙර ලියා තිබූ කවියක් මට මතක් වුණා. කොතැනක හෝ වෙබ් අඩවියකයි මෙකව සඳහන් ව තිබුණේ. මූලාශ්‍රය මතක නැතත් මතකයේ රැඳුණ හැටියෙන් ඒ කවිය මෙහි ලියා තබන්නම්..

රුක් දෙවි තැන පැමිණ ගම්වැද විත් ළඟට
ගෙන යන තුරුම මුල්ලේගම වන රොදට
සයිමන්, ඔබ ගෙනෙන දඩයම කා රසට
බුදියන අපට ඇනපන් ටොක්කක් සැරට!

56 comments:

  1. සයිමන් මගෙත් මාර ෆේවරිට් ලේඛකයෙක් තමා. අර අන්තිම කවිය කියන්න තියෙන ඔක්කොම වගේ කියනව. මං දෙවෙනියට ආසම පොත සාපේක්ෂණී

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඩ්රැකී.. වැම්පයර්ස්ලත් පොත් කියවද්දි පොත් සාප්පුවෙ ඉන්න මිනිස්සුන්ට කියවන්න බැරි එක තමා වැඩේ..))

      Delete
  2. සයිමන්ව දැනෙනවා හොඳට....අගේ ඇති සටහන. අද පොත් කඩ තුළ සේවක තත්ත්වය ගැන කුමක් කියන්නද ඉතින්....

    ReplyDelete
    Replies
    1. සරසවි එකේ ඉන්න සමහර සේවක සේවිකාවො නම් ගොඩක් දුරට අනිත් පොත් කඩවල අයට වඩා හොඳයි..

      ස්තූතියි නලින් මාමෙ ඇගයුමට..!

      Delete
  3. මාත් කැමති ලේඛකයෙක් තමයි සයිමන් නවගත්තේගම කියන්නේ... පොත් සාප්පුවේ දී වැසි දැරියට හමු උණු තරුණයා ගැන නම් කනගාටුයි.. සුජීව ප්‍රසංන්නගේ පොතක් අහලා බලන්න තිබ්බේ...

    තාමත් විජේරාමේ සුපිරි ෆුඩ් සෙන්ටර් එකක් තමයි ගිහාන්ස් එක...

    ReplyDelete
    Replies
    1. අපි අකැමැති වුණත් අද ඉන්න ගොඩක් තරුණ පිරිස ඔහොම තමා..

      සුජීව ප්‍රසන්න තව කමක් නෑ කියතැහැකි.. පොතක් පතක් අල්ලලාවත් නැති ජාතියක් නෙව දැන් වැඩිපුර හම්බවෙන්නෙ..

      ගිහාන්ස් එකේ කෑම රසයි තමා.. අත්දැකීමේන දන්නව..)))

      Delete
  4. සංසාරණ්‍යෙය් ත්‍රිත්වයක් නෑ නේද..
    සංසාරණ්‍ය අසබඩ වෙනම කතාවක්..

    සංසාරණ්‍යෙය් දඩයක්කාරයා සහ සංසාරණ්‍යෙය් උරුමක්කාරයා නං එකට ඈදුණ පොත් දෙකක්. දඩයක්කාරයාගේ කතාවත් වෙනස් පොතක්. එතකොට ත්‍රිත්වයක් නෑ කියල තමයි කියන්න වෙන්නෙ.
    සන්ධ්‍යා සහ වින්ධ්‍යා ට අමතරව අලුතෙන් තව පෙතක් ආවත ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා කියල ඒකෙත් එන්ඩ් එකක් නෑ. සමහර විට ඔබ කියන කාරනාව නිසා වෙන්න ඇති.
    ක්ෂිර සාගරය තරම්ම හොඳයි සාපේක්ෂණී.. සමහර විට මට ඊට වඩා ඒක දැනුන වෙන්න පුලුවන්... (මගෙ අදහස පමණක් නිසා)

    අර පොත් සාප්පුවෙ සේවක තැන ගැන නං කතා කරල වැඩක් නෑ. පව් කියලවත් කියන්න ඕන නෑ හෙහ්..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති.මං ඒ තුන ම කියවලා නැහැ.ඉතා ම ඉක්මණින් හොයාගන කියවන්න ඕන.ඒ වරද නිවැරදි කළාට බොහෝම ස්තූතියි..

      ඒ අලුත් පොත නම් කියෙව්වෙ නැහැ.අපරාදයක් එහෙම අසම්පූර්ණ පොත් පබ්ලිශ් කරන එක.ඒකෙන් නවගත්තේගමගෙන් අපි විඳපු රසයට ලොකු හානියක් වෙනවා..

      කවර කතාද සේවක තැන ගැන නම්..))

      Delete
    2. ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා ගැන මා ලියූ සටහන මෙතන ඇති..

      http://tharurasi.blogspot.com/2014/01/blog-post_8.html

      Delete
    3. කියවන්නම් අක්කේ... පොත බලන්නත් ආසයි..

      Delete
    4. කමෙන්ටුව දැක්ක වෙලාවෙ කියවන්න පුළුවන් තැනක නෙමේ උන්නෙ.අක්කා පොත ගැන අදහස් විචාරෙට නගලා තියෙන හැටි නම් හරිම නිර්මාණාත්මකයි.. අපූරුයි.. කොහොමටත් නවගත්තේගමගේ චින්තන විධිය නම් මහා පුදුමාකාර එකක්.අනිවාර්යෙන් ම ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා කියවන්න ඕන.. ඒ ගැන උමතුවක් ඇති කෙරෙව්වාට බොහෝම පින්..!!

      Delete
  5. මේ කතාව මං කොතැන හෝ කාට හෝ කිව්වා. සයිමන්ගේ බිරිඳ ගානක් හොයාගන්න ඕන කමට සයිමන්ගේ බාගෙට ලියපු පොත් මුද්‍රණය කරලය කියලා.. තව පොතක් තිබුනා ඒ් වගේම

    ReplyDelete
    Replies
    1. ඒක හරි අපරාදයක් තමා.. ඔය කියන්නෙ උඩ කමෙන්ටුවෙ මහේෂ් සඳහන් කරල තියෙන පොත වෙන්න ඕනා.ඒක නම් මං කියෙව්වෙ නැහැ..

      Delete
    2. දේශකගෙ කතාවෙ ඇත්තක් තියෙනවා...

      Delete
  6. නවගත්තේගමයන්ගේ මුල්ම පොත වන මගේ කතාව සිට සංසාරාණ්‍යය දක්වා කතා කියවා ඇතත් වින්ධ්‍යා සහ සන්ධ්‍යා ගැන ඇහුවේ අදයි.සයිමන් නවගත්තේගම ගැන අහපුවම පොත් කඩේ කොල්ලා හොල්මන් වෙන්න ඇති.
    අපූරු කවියක් ගෙනැත් මෙතන දැම්මට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සන්ධ්යා සහ වින්ධ්‍යා අලුත් පොතක්.මාත් මේ ඊයේ පෙරේදා තමා මිලට ගත්තේ...

      සයිමන් නවගත්තේගම කියල මනුස්සයෙක් මේ මිහිපිට ජීවත් වෙච්ච විත්තිය අහල තිබුණ බවක්වත් එයාගෙන් පෙනුණෙ නෑ..

      කවියේ ගෞරවය තනිකරම ප්‍රියලාල් සොහොයුරාට.. අනවසරයෙනුයි මෙතැන පබ්ලිශ් කලේ.. මතකයේ රැඳුණ කවියක් මගෙත්.

      Delete
  7. සංසාරණ්‍යෙය් දඩයක්කාරයා, සංසාරණ්‍යෙය් උරුමක්කාරයා,ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා සයිමන් නවගත්තේගමයන්ගෙ මං ආසාවෙන් කියවපු පොත් තුනක්..වින්ධ්‍යා සහ සන්ධ්‍යා ගැන ඇහුවේ අදයි, හොයාගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. සන්ධ්‍යා සහ වින්ධ්‍යා පොතේ නම.. අලුතෙන් ආව පොතක්.. හොයලා බලන්න.පොත් සාප්පුවල ඇති..!

      Delete
  8. සයිමන් කියන්නෙ මගේ වීරයෙක්.. කරන්න ගොඩක් දේවල් තියෙද්දි යන්න ගිය මනුස්සයෙක්..අපරාදෙ !!

    පොත් කඩේ මචං ගැනනං දුකයි.තමන් කරන රස්සාව ගැන අප්ඩෙට් නොවෙන එකා ඔතනම තමා.. !!

    ReplyDelete
    Replies
    1. ඔහුගේ පෑනෙන් තව බොහෝ දේවල් ලිවිය යුතු ව තිබුණා.. දැන් නවකතා ලියන වසංගතකාරයො දකින කොට කියවන අපි ගැනයි දුක හිතෙන්නෙ..

      Delete
  9. නවගත්තේගම කියන්නේ පුත්තලම් දිස්ත්රික්කයේ තරමක් දුෂ්කර ගමක් . මං හිතන්නේ සයිමන් නවගත්තේගමගේ උපන් ගම වෙන්න ඇති . මගේ අම්මා උගන්වපු පාසල තියෙන්නේ ඔය නවගත්තේගම ඉදන් තවත් කි. මි 5ක් විතර දුරින් . අවසන් කවියේ තියෙන මුල්ලේගම කියන්නේ නවගත්තේගම ට අල්ලපු ගම . ආනමඩුවේ නවගත්තේගම මාර්ගයේ

    ReplyDelete
    Replies
    1. ආනමඩුවෙ පැත්තේ අපි ළඟකදි ගියා.ඒ පැත්ත තවමත් සෑහෙන්න දුෂ්කරයි.ඒ වගෙම සුන්දරයි.. ඒ පරිසරය තමා ඔහුට නිර්මාණාවේශය සපයන්න ඇත්තේ..

      Delete
  10. //මං බේබද්දන්ට කැමති ම නෑ.//

    හෙහ් හෙ අපි නං ඔන්නඔහෙ, ඉඳල හිටල, හිටල හිටල, ඔය වගේ ජාති පරිහණය කරනව කියල ඔය තරහ කාරයො කියනවලු. හෙහ් හෙහ්.

    ReplyDelete
  11. සයිමන් මහතා නොදන්නා බුක් ෂොප් උදවිය ගැන කිව්වම මතක් වුණේ..

    පුංචි පහේ බුක්ෂොප් එකකට ගිහින් දවසක් “ලොවීනා“ පොත ඉල්ලුවා. කවුද කතෘ ඇහුවම “මොහාන් රාජ්“ කිව්වා. ඒකි උඩ බිම බැලුවා. මම කිව්වා නැහැ නැහැ.. “සමින්දික ශ්‍රීමන්ත‘ කියල කෙනෙක්ගෙ කියල. මොහාන් දන්නැති ඒකි මාව දනීද බොලව්.

    අනේ සර් ඒ පොත නැහැ කිව්වා !!

    ReplyDelete
    Replies
    1. මොහාන් රාජ් මඩවල නවගත්තේගමලා ගියපු පාරෙ යන්න ගිහින් පාර වරද්දා ගත්ත කෙනෙක් හැටියටයි මම නම් දකින්නෙ..

      පොත් සාප්පුවල වැඩ කරන බහුතරය ගැන කතා නොකර ම ඉන්න එක හොඳයි.. ඒ තරම් කණගාටුදායකයි ගොඩක් තැන්වල වැඩ කරන අය..

      Delete
  12. පොත් කඩවල ඉන්න අයගෙන් දැන් නම් මම කිසිම පොතක් ගැන අහන්නෙ නෑ. ඒ මං දැන් හොඳටම මට්ටු වෙලා තියෙන නිසා.. :)

    සයිමන් මං ගොඩක් ප්‍රියකරන ලේඛකයෙක්.. ඔබ වැනි ලාබාල කෙනෙක් ඒ වගේ පොත පත ඇසුරු කරනවා කියල දැන ගන්න ලැබුණ එකත් සතුටක්!

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නෙ.. අපි ම රාක්ක අස්සෙ බඩගාලා පොත් හොයාගන්න එක දාහෙන් සම්පතයි..))

      ස්තූතියි සිතූ අක්කේ.. මට මතකයි මං මුලින් ම කියෙව්වෙ සයිමන් ලියාපු යොවුන් නවකතාවක් හය වසරෙදි විතර.සයිමන්ගේ කතා ගැන දන්න හින්දාද කොහෙද ඒකත් අම්මා ටෙස්ට් රීඩින් එක කරලයි මට කියවන්න දුන්නෙ..

      Delete
  13. ඔය පොත මම කියවල නෑ...හොයාගන්ඩ ඕනෙ....හැබැයි අක්කෙ ගොඩක් පොත් හලවල් වල සේවකයො බොහෝ දුරට පොත් ගැන හොද දැනීමකින් ඉන්නව...කොච්චරද කියනවනන් මේලඟදි මම පොතක් ගන්ඩ කුරුණෑගල සරසවි එකට ගියා මම එක පොතක් අතට අරන් ආය එපා කියල තියල එනඩ හදද්දි ඒක ඉන්න අයිය කෙනෙක් ඇවිලා පොත ගැන විචාරයක් දුන්න අම්මට හුඩු....ආය පොත ගන්ඩම...හැක් හැක්....සමුද්‍රා ඒකේ පොතක් හොයල නැති උනහම ඒකෙ පොතක් තියනව ඒකෙ සටහනක් දාල ආපුවහම් පොත හොයල උන් කෝල් එකක් දෙනව...මමනන් කොරන්නෙ හොයන්ඩ අමාරු පොතක් කියල හිතුනොත් නමයි නම්බොරෙයි ලියල එනව...

    ReplyDelete
    Replies
    1. හප්පේ.. රසික උන්දෑ මල්ලියෙක් ද.. මං මෙච්චර කාලයක් හිතන් උන්නේ හැට පැනපු සීයා කෙනෙක් කියල නොවැ..))

      සරසවි පොත්හල ගැන නම් මටත් තියෙන්නෙ හොඳ චිත්‍රයක් තමා.ඒක මං මීට පෙර කමෙන්ටුවකත් සඳහන් කරල ඇති.සරසවි ස්ටාෆ් එකේ බොහෝ දෙනාට පොත් ගැන හොඳ අවබෝධයක් තියෙනවා..

      Delete
    2. හෆ්ෆට ඒමොකෑ බං අක්කෙ....තාම 18ටේ සූටි කොල්ලෙක්...

      Delete
    3. එහෙනං අවුරුද්දක් බාලයි නොවැ මට වඩා..)))

      සයිමන්ගේ පොත් ඉක්මණටම කියවන්න පටන් ගන්ඩ...දැන් ම පටන් ගත්තාම මරු..!!!!

      Delete
    4. අන්න කුරුණෑගල...ඒව ඒමයි මල්ලි. සමුද්‍රා එකේ සර්විස් එක දැන් හුඟක්ම හොඳයි.

      Delete
  14. ඔබ කියූ පොත් දෙක කියවා තිබුනත් ඔබ කියවූ සන්ද්‍යා වින්ද්‍යා නම් හමුවී නෑ. මටත් ඒ බේබදුකම අකමැතිම දෙයක් !අපූරු කවියක් පෙන්නා දුන්නාට ස්තූති වැසි දැරිය !

    ReplyDelete
    Replies
    1. සන්ද්‍යා සහ වින්ද්‍යා අලුත් ම පොතක්.. ඒ නිසා ගොඩක් දෙනෙක්ට මඟ හැරි තිබෙන හැඩයි.. අනිත් පොත් තරම් නම් විශිෂ්ටයි කියා කියන්න බැහැ.නිවුන් දැරියන් දෙදෙනෙකුගේ කතාවක්..!

      මෙන්න අමද්‍යප ඔබට වැසි දැරියගේ උත්තමාචාරය..!

      Delete
  15. සමහර පොත් කියෙව්වම බේබද්දන්ට ආදරය කරන්න විතරක් නෙවි, එයාල එක්ක මධුවිතක් සප්පායම් වෙන්න උණත් ආස හිතෙනවා.. උදාහරණ විදියට බත්තලංගුණ්ඩුව, මගේ ආදරණීය යක්ෂණී කියවද්දි මට මී විත ගැන තිබුණු නොරිස්සුම් නැති වෙලා ගියා...

    සයිමන්ගෙ පොත් සියල්ලම වගේ අලුතින් මුද්‍රණය කරල තියෙනවා ෆාස්ට් පබ්ලිෂින්... මරදාන සුරස පොත් හලට ඇතුල් වුණාම බිත්තියට සවිකළ රාක්ක පෙළ ආරම්භයේම සයිමන්ගෙ පොත් සියල්ලම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මට නම් කවදාවත් එහෙම ආසාවක් පහළ වුණේ නැහැ..

      මට සංසාරණ්‍යය පොත් පෙළ සොයාගන්න ඕනේ.. දැන්වුවාට ස්තූති..)))

      Delete
    2. ඇයි අනේ.. අර රවියා නුවර ගැන කියනවය කියල අච්චර දිග පොස්ටුව පුරාම බිබී ඇවිද්ද. එකෙක් කතා කොලාද? බේබදු කමට හුරේ දැම්ම මිසක්.... හි හි හි

      Delete
    3. හුහ්.. මං කියවපු පෝස්ට් එකක් නම් එයා බේබදුකම ගැන දාපුවට මං විරුද්ධත්වය ප්‍රකාශ කොරල ඇති..

      ..ඒක නෙමේ.. මේ මනුස්සයා අතුරුදහන් වෙලා නොවැ.. කොහෙ ගිහින්ද..)))

      Delete
    4. කොහේ යන්නද... ෂුවර් එකට මෙලහටත් අර රැළියක පැටලිලා පුවක් පෝස්ටුවක් කොටනවා ඇති 'ටොක ටොක' ගගා

      Delete
    5. එකත් එකටම රවි මාමට ඒක තමා වෙලා ඇත්තෙ..))

      Delete
  16. බේබද්දොන්ට මාත් කැමතිම නෑ. අන්න අර රවී කියන බේබද්දා ඇරෙන්න :D

    මෙන්න මෙහෙම පොත් ගැන ලිපියක් දැක්කම තමයි හිතු මනාපෙට සිංහල පොත් සාප්පුවකට ගොඩ වදින්න බැරි කමේ දුක දැනෙන්නේ. සරසවියෙන් ඔන්ලයින් සේවයෙන් මම විජයබා කොල්ලය පොත අරගත්තා. ඒත් එයාලා ඒක මට ලැබෙන්න සැලැස්සුවේ නෑ. ඊ මේල් ගණනක් යැව්වත් පිළිතුරු නෑ. අන්තිමේ ලන්ලාවට ගියපු වෙලාවක වෙනත් පොතක් ගත්තා. මට දුක සල්ලි වලට වඩා නිවැරදි නොවන සේවාව ගැන. හැබැයි විජිත යාපා එකනම් පොතක් එව්වා කිසි කරදරයක් නැතිව.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්තටම කෝ රවී මාම..? වෙනදට පෝස්ට් එකක් දාපු සැණින් මේ පැත්තට ගොඩ වැදෙනව නොවැ..))

      මං නං හිතුවෙ සරසවි ඔන්ලයින් සර්විස් එක හොඳයි කියලා.. හැබැයි ඔහොම පොත් ගන්නවට වඩා ලේසි නැද්ද ඊ බුක්ස් කියවන එක?

      Delete
    2. මට ඕනේ කරන හැම පොතේම ඊ බුක්ස් නැහැ නේ.

      සරසවි ඔන්ලයින් සර්විස් එක නම් වැඩක් නෑ කියලා තමා කියන්න තියෙන්නේ :( අඩු තරමේ කස්ටමර් කෙනෙක්ට රිප්ලයි කරන්නේ වත් නැහැ

      Delete
    3. http://pothrakkaya.blogspot.com/

      මේක නම් තරමක් හොඳ සයිට් එකක් අක්කේ.. සමහර නවකතා සයිට්ස් නම් වැඩක්ම නැහැ.යෞවන සමීන්ද්රගේ පොත් විතරයි තියෙන්නෙ.. ඒව කියවන්න කලින් වමනෙ පෙති බීල ඉන්ට ඕනැ..))

      Delete
    4. තැන්කු ලින්ක් එකට

      Delete
    5. සමහර නවකතා සයිට්ස් නම් වැඩක්ම නැහැ.යෞවන සමීන්ද්රගේ පොත් විතරයි තියෙන්නෙ.. ඒව කියවන්න කලින් වමනෙ පෙති බීල ඉන්ට ඕනැ..))

      මේකනම් මසුරන් කතාව

      Delete
  17. ඔය ඉස්සර සයිමන් සමග කියල පොඩි tv programme එකකුත් ගියාලු නේද?

    ReplyDelete
    Replies
    1. ඉස්සර කිව්වෙ ඔයාලා තරුණ කාලෙ වෙන්නැති..?

      ඒ කාලෙ ඉතින් අපි ඉපදිලා නෑනෙ අලියො..))

      Delete
  18. (දැං ඔය කියන්න හදන්නෙ අලිය නාකියි කියල!)

    ReplyDelete
    Replies
    1. අප්පේ.. අපිත් දැන් නාකි එකේ අලි අය්යත් නාකි නැතෑ..))

      Delete
  19. .පොතක් කියවපු කාලයක් මතක නැත..

    ReplyDelete
    Replies
    1. වැඩ කටයුතුත් එක්ක අපි හැමෝටම කියැවීම ගොඩක් දුරට මඟ ඇරෙනවා.. ඒත් මට නම් පොතක් නොකියවපු දවසක් කියන්නෙ කාපු බීපු නැති දවසක් වගේ.. කොහොම හරි වෙලාව හදාගන්නවා පොතක් කියවන්න..))

      Delete
  20. පොත් කියවන්න තියෙන අශාව වැඩි කරාට ගොඩක් ස්තුතියි ...............................

    ReplyDelete
    Replies
    1. නවගත්තේගමගේ පොත් ටික කියවන්නකෝ.. ආසාව තව වැඩි වෙයි.සාපේක්ෂණී වගේ එකකින් පටන් ගත්ත නම් වඩා හොඳයි..

      Delete