Monday, August 1, 2016

නන්දිතය - සතුට සහ මිනිස්සු

                                 
නන්දිතය මුණ ගැසුණේ අහම්බෙනි. පුස්තකාලයේ කොහේදෝ මුල්ලක තිබී එය සොයාගෙන ආවේ තාත්තා ය. සුනේත්‍රා රාජකරුණානායක යනු ඔහුත්, මාත් දෙදෙනා ම එක සේ ප්‍රිය කරන ලේඛිකාවක බැවින් ඇගේ පොතක් කොතැන තිබුණද අප ඇසට හසු වෙයි. බුද්ධදාසී, කවිකඳුර, සඳුන්ගිර ගිනි ගනියි, සද්ගුණාකාරය, සුබෝධාලංකාරය ඇතුළු ඇගේ පොත් හැමෙකකින් ම පාහේ මසිත මත ඇඳෙන්නේ මේ යැයි කිව නොහැකි තරමේ මනරම් සිත්තම් ය. නන්දිතය වෙනුවෙන් මෙසටහන වෙන් වන්නේ එහෙයිනි.

මෙහිදී මා වඩාත් ම අවධානය යොමු කළේ නන්දිතයෙහි තන්හි තන්හි හමු වන පැණැසි කියමන් කෙරෙහි ය. ඒ හරහා විහිදෙන ආලෝකය ඔස්සේ නන්දිතයෙහි හර අරටු ගැන යමක් ලියන්නට උත්සාහ කළෙමි.
මේ කතාව ගෙතෙන්නේ චීනයෙහි වසන ස්ත්‍රි - පුරුෂයන් කිහිප දෙනෙකු වටා ය. කතාව ඉදිරිපත් වන්නේ ඒ එකිනෙකාගේ දෘෂ්ටි කෝණවලිනි. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කථකයා වෙනස් වන්නේ එහෙයිනි. එකිනෙකාගේ සංකීර්ණ මනෝභාවයන් හරහා සුනේත්‍රා මනුෂ්‍ය මනසෙහි අනේකවිධ හැඩතල ද, සතුට සොයා මිනිසා කරන සංචාරය ගැන ද දිගු පුළුල් විවරණයක යෙදෙයි.

වරෙක සුනේත්‍රා මෙසේ හෙළි කරන්නේ මානුෂ මනසක සැබෑ ස්වභාවය යි.

කාටවත් කොහාටවත් පැනලා යන්න බෑ. කොහේ ගියත් මිනිස්සුන්ට අමාරු වෙන්නෙ අනුන් එක්ක නෙවෙයි, තමන් එක්ක ජීවත් වෙන්නයි. (11 පිට)

මිනිසුන් එබඳු ය. තම අභ්‍යන්තරය සකසා නොගන්නේ නම් ලොව සිටින යහපත් ම මිනිසුන් ඇසුරට ලැබුණ ද පලක් නැත.

නන්දිත නම් ශ්‍රී ලාංකිකයා චීනයට ගිය කළ ඔහුට චීන ජාතික රියැදුරෙක් හමු වෙයි. නන්දිතට චින කතා කිරීමට නොහැකි සේ ම චීන රියැදුරාට සිංහල කතා කළ නොහැකි ය. එහෙත් ඔවුන් තමන් දෙදෙනාගේ භාෂාවෙන් එකිනෙකාට නොතේරෙන දෑ කතා කරති. නන්දිතට තම ආත්මය දෝරෙ ගලා යන්නට දීමට දැඩි අවශ්‍යතාවක් ඇත. එය නන්දිතට පමණක් නොව ලෞකික ජීවිතයක නිවසන අප කාටත් පොදු ආශාවකි. සුනේත්‍රාගේ වචනවලින් ම කියන්නේ නම් ලය විරේකයකි.

මචං, මටත් ඕන වෙලා තිබුණෙ උඹ වගේ සිංහල දන්නෙම නැති එකෙක් එක්ක අමු හිංගලෙන් කතා කරන්න
 යන ප්‍රකාශය ඊට සාක්ෂ්‍ය දරයි.

චීන රියැදුරා අසන කිසිවක් තමාට නොවැටහුණ ද ඔහු අසන පැනවලින් නන්දිත තමාට රිසි පැන නිර්මාණය කරගනියි.

ලාංකිකයා කැමති වුණේ තමන් විශ්වවිද්‍යාලයක උගන්නවද කියලා ඇහුවා කියලා හිතන්නයි (12 පිට) -     

උනුන්ගේ භාෂාවන් නොදන්නා දෙදෙනෙක් කතා කරන කල දෙදෙනාම සිතා ගන්නේ තමන්ට ඕනෑ දේවල් ය. හතරබීරි කතාව වාගේය. එහෙත් හිස් උගතා සිතන්නේ තමන්ගේ ශ්‍රී විභූතිය ලෝකය ම දැන ගත යුතු බව යි. නන්දිත වෙතින් පිටතට එන්නේ ඒ පැණැසක් රහිත උගතුන්ගේ පුහු අහංකාරය යි. කතුවරිය පවසන පරිදි ම චීන රියැදුරාට ඉංග්‍රීසියෙත්, සිංහලයෙත් වෙනසක් නැති හෙයින් සිය රැකියාව ඩොක්ටර් කිව්වත්, ඇක්ටර් කිව්වත් ටයිගර් කිව්වත් වෙනසක් නැති වග නන්දිත ද නොදන්නවා නොවේ. එහෙත් ඔහු තමා ගැන තමා තුළ ම අහංකාරයක් ගොඩ නගා ගැන්මට කැමති ය. ඔහු අධ්‍යයනය කරන විෂය බෞද්ධ දර්ශනය වීම නිසා මේ හැසිරීම වඩාත් උත්ප්‍රාසවත් ව නැගේ.

කිරණ් නම් ඉන්දීය තරුණිය විටෙක කියන්නේ තමාට හිත පාලනය කර ගත නොහැක්කේ පොත් සාප්පුවක දී පමණක් බව ය. සාමාන්‍ය ජනයා සාමාන්‍ය දේ කෙරෙහි ආශා බැඳ ගනිද්දී විද්වත් බොහෝ දෙනා කියන්නේ තමන් ආශා බඳින්නේ වැදගත් දේ කෙරේ වග ය. සියල්ල ආශාවන් වග එකී විද්වත්තු නොදනිති. සුනේත්‍රාගේ කියමන්වල ඇති දිසෙන - නොදිසෙන හාස්‍යය මෙවන් අතිශය ප්‍රබල එකකි.

සුනේත්‍රාගේ භාෂාව සිත්තමක් සේ ම මනරම් ය. තෙල්මා ලියූ මාරි කොරෙලි ළඟට වචනයෙන් සිත්තම් අඳින්නට වඩාත් ම සමත්කම් දක්වන ලේඛිකාව සුනේත්‍රා යැයි හඟිමි. මතු දැක්වෙන උපුටනය නිදසුනි.

මම බංකුවක හරි පඩියක හරි ගිම්හාන මණ්ඩපයක හරි ඉඳගන්නවා. ඇල ඉවුර දිගටම විලෝ ගසුයි, පොප්ලර් ගසුයි දියට යටින් උයනක් මවලා. දිය යටිනුත් වළාකුලක හැඩයක් අඳුන ගන්න පුළුවනි.

කොළ තොප්පි දාගත්තා වගේ පෙනෙන කලු හංස පවුල් ඇල දිගේ පීනනවා. ඇල අද්දර පාරවල්වල ඇවිදින පෙම්වතුන් හිටි ගමන් නැවතිලා සිප ගන්නවා. මහලු ජෝඩු අතින් අල්ලගෙන හෙමින් ඇවිදිනව. – 50 පිට

සේ ම බොහෝ ඉංග්‍රීසි උගත් ලේඛක ලේඛිකාවන්ට වැළඳෙන ලංකාව හෙළා දැකීමේ පිස්සුව සුනේත්‍රාට නැත. ඈ බෙයිජිංහි උයනක ලස්සන දකියි. ඉක්බිති කියන්නී මුළු ලංකාව ම එක ම විචිත්‍ර උයනක් වග යි.

විවිධ ජාතී ආගම් සංස්කෘතීන්ට අයත් සාහිතකාමී ගැහැණු තිදෙනකු මෙහි වෙති. ඔවුන්ගේ සාහිත සංවාද අතිශය අපූර්ව ය. ඔවුහු බෙයිජිං හි රැකියා නියුක්ත කාර්යබහුල තැනැත්තියෝ වෙති. මුත් ඒ කාර්යබහුල බවත්, පුද්ගලික දිවියේ නේක හැලහැප්පිලි මැදත් ජීවිතය මනරම් ව විඳින්නට ඔවුන්ට අවකාශයත් වුවමනාවත් තිබේ. අන් අය මස් පුච්චා උයන්සාද පවත්වා බී නටන අතරේ ඔවුන් තීරණය කරන්නේ සාහිත්‍ය සාදයක් - කාව්‍යමය රාත්‍රියක් පවත්වන්නට ය.

එයා උයනට යන්නෙ පොතකුත් අරගෙන. හුඟ දවසට ඒක කවි පොතක්. එයා කැමති කවි අපිටත් ඇහෙන්න කියවනවා.

එක දවසක පොද වැස්සක් වැටෙද්දි කිරණ් අපිව බලෙන් නවත්ත ගත්තා.

චුට්ටක් තෙමුණට දිය වෙන්නෙ නෑ. වැස්සෙම රස විඳින්න ඕන කවියක් තියෙනවා කියලා එයා අපිව ගිම්හාන මණ්ඩපයක සෙවණට එක්කන් ගියා.

න්න අහගන්න එකොළොස් වෙනි ශත වර්ෂයෙ සු - ශී කවියගෙ කල්පනාවක්.

වැසි හැල්මෙන් හිස් අහසක් මනකල්
මීදුම් කඳු මතුවෙයි වැස්සෙන් සිහිලැල්
දුලබ සොවා මෙවිල දසුනුත් සිරිහල්
ඇතු නැතුවා සැරසුම් සිරි පිරි සැම කල්

නන්දිත ප්‍රකාශ කරන පහත ප්‍රකාශයෙහි නිදන් ව ඇති ගැඹුර කොපමණ ද?

බුදුවරු වෙන්නෙත් මිනිස්සුම නිසා ඕනම නරක කෙනෙකුට ප්‍රතිපත්ති නෙළුම් මල් එක එක පුබුදුවා ගන්න පුළුවන් වෙන්න ඕන

රොමාන්තික භාවයේ අනතුර බොහෝ දෙනා විස්තර කරන්නේ කටුක දළ වචනවලිනි. සුනේත්‍රා ඉන් එහාට ගොස් රොමාන්තික අනතුර රොමාන්තික වදන්වලින් ම විවරණය කරන්නීය.

මේ දරුවගෙ ආරක්ෂාවට බලවත් තර්ජනයක් තියෙනව. හර්ද වස්තුවට අපලයි. දෙබරෙක් අනින්න ඉඩ තියෙනව. ඒ වගේම මල් හබල්වලින් ඔරු පදින්න ගිහින් ගිලිලා මැරෙන්න පුළුවනි.

ලංකාවේ විවාහ සංස්ථාව තුළ ඇතැම් ස්ත්‍රීන් අත් විඳින පීඩාව ශ්‍රී ලාංකිකයෙකුගෙන් අසා දැනගන්නා බටහිර යුවතියක්, දෙය්යන්ට ස්තූති වෙන්න ඕන අපි ඔය ශ්‍රී ලංකාවෙ ඉපදුණේ නැති එකට යැයි පවසන්නීය. ඒ ප්‍රකාශය මුසාවක් බවට පත් කිරීමට වත්මන් ශ්‍රී ලාංකිකයන් වන ඔබ අප සැමට වගකීමක් තිබෙන වග ද සුනේත්‍රා මතක් කොට දෙයි.

ඒ හා ම, ශ්‍රී ලංකාවේ ඕනෑම ගෙදරකට ගියොත් බත් කන්න එන්නැයි තමන්ට ඇමතූ යුරු විදෙස්ගත තරුණියක පවසන්නේ ආශාවෙනි. මේ තම රටේ යහපතත් - අයහපතත් දෙක ම සුනේත්‍රා පිරිසිඳ දකින අයුරු ය.

නන්දිත යනු නරක ම නරක මිනිසෙක් නොවේ. ඔහු, ඔබ අප සියලු දෙනාගේ අභ්‍යන්තරය හෙළි කරන කැටපතක් බඳු වෙයි. අප හැම තුළ හොඳත් - නරකත් අඩු වැඩි වශයෙන් පවත්නා හෙයිනි.
කවි ලියන, ස්ත්‍රීවාදී චිත්‍ර අඳින, කෑම හදන, ප්‍රිය කතාබහට දක්ෂ මිනිහෙක්.. යනුවෙන් විටෙක විස්තර වන නන්දිත තවත් විටෙක මහා වංචාකාරයෙකු බවට පත් වේ. ඔබත් අපත් විටෙක ඉතා යහපත් වෙනවා සේ ම තවත් විටෙක නරුම ලෙස හැසිරෙන්නේ නොවේ ද? නන්දිතත් - අපත් යනු දෙදෙනෙකු නොවේ. ලිලියානා, බුන්සිරි, කිරණ්,  ශන් - ග ආදී සියල්ලන් ද අපේ ම විවිධ කොටස් ම ය. කළු සුදු චරිත නොව කළු - සුදු පැහැයන්ගේ අළු පැහැති සම්මිශ්‍රණ ය.

භාෂා උගැන්ම පිණිස තාවකාලික ව එකිනෙකාට ප්‍රේම කරනා ඇත්තන් චීනයේ දී අනන්තාප්‍රමාණ ව මුණ ගැසෙයි. ඒ ව්‍යාජයට සුනේත්‍රා පාඨක අපත් සමඟ ම සිනහසෙයි. පවිත්‍ර විය යුතු ප්‍රේමය, පිළිකුල් කටයුතු නිල සබඳතාවක් වීමේ ගැටලුවයි මේ.

බාලු නම් ඉන්දීය ජාතිකයා වරෙක සිය අත්තා තමාට දුන් සදුපදේශයක් සිහි කරයි. එය අපට ම අප ව ම පිරිසිදු කරගනු පිණිස වන පිරිසිදුකාරකයකි. සේදුම්කාරකයකි. සතුට උපදවාගන්නා විධිය පිළිබඳ යතුරකි.

තමන්ට කොයි තරම් නරක වැඩක් කළ කෙනෙක් ගැන හරි වෛරයක් හිතේ තියා ගත්තොත් තමනුත් ඉන්නෙ පිච්චි පිච්චි. නරක මිනිහෙකුට හරි නරකක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් පිරිසිදුව තියා ගන්න පුළුවන් ළිඳකට හැමදාම අසූචි පොඩ්ඩක් දානවා වගෙයි. ඒක දාන්නෙ අල්ලපු ගෙදර තමන්ගෙ හතුරට ඒ වතුර පොවන්නයි. ඒ වුණාට තමන්ටත් ඒක පෙවෙනවනේ. එහා ගෙදර ළිඳයි මෙහා ගෙදර ළිඳයි යටින් සම්බන්ධයිනෙ.

ඉතිහාසයක් රහිත ඇමරිකානුවන්ට පවා මුල් සොයා යෑමේ වුවමනාවක් ඇති වග සුනේත්‍රා පවසන්නේ ඇමරිකානු අක්මුල් නැති චින්තනයට සිහින් පහරක් ගසමිනි.

ඇමරිකන්කාරයන්ට රජෙක් නැති වුණාට හරි ආසයි අපි චිං රජ පවුලට හරි රාජ සභාවෙ කාට හරි ගෑවිච්ච පවුලකින් පැවතෙනවද කියලා දැන ගන්න.

ශන් - ග නම් චීන යුවතියගේ සීයා අතිශය ආදරණීය වැඩිහිටියෙක් සේ නන්දිතයේ කවුළු තුළින් එබිකම් කරයි. ඔහු සිය මිණිපිරියන් වෙත ප්‍රඥාලෝකය ගෙන එන්නේ නැණසර කවි පබැඳුම් හරහා ය.

හිනා වෙන්න නිදහස තාම තියෙනවා නේද? කවදා හරි ඒක ප්‍රති විප්ලවීය බලවේගයක් කියලා ගුවන් විදුලියෙන් කිව්වොත් හෙම මට කියපල්ලා..

යි වරෙක ඔහු සෝපාහාසයෙන් පිරිසිඳ දකින්නේ චීන දේශපාලනයේ අඬුලුහුඬු තැන් ය.

අර බලපල්ලා අර පායලා තියෙන්නෙ පරණ හඳමද කියලා බලාපල්ලා. මිනිස්සු හඳටත් ගියා එහෙනං. ඒ වුණාට තාම මිනිස්සුන්ට බැරි වුණා මනුෂ්‍යත්වය ඇතුළට යන්න. ඒකට යන්න රොකට් ඕන නෑ. අපේ ඉතිහාසෙ අපේ දර්ශනේ හරියට දන්නවා නං ආයෙ ඇමරිකාවෙවත් රුසියාවෙවත් කාගෙවත් උදව් ඕන නෑ.

මේ පැණවත් වැඩිහිටියෙකුගේ නැණවත්  ප්‍රකාශයකි.
සංසාරය යනු ලෝක වෙළඳ සංවිධානය වැනි දෙයක්දැයි බුදුදහම ගැන මෙලෝ හසරක් නොදන්නා යුවතියක් අසන කල අපට සිනා පහළ වෙයි. එහෙත් සංසාරය ගැන අධ්‍යයනය කොට උපාධි ලද ඇතැම් බෞද්ධ විද්වතුන් ද සංසාරය තේරුම් ගැනීමට කිසිදු වෙහෙසක් නොදරන්නන් නොවේ ද? අප සිනහා විය යුත්තේ කාට ද?

මං ඇහුවෙ නෑ මා ගැන මොනවද කිව්වෙ කියලා. නරක මිනිහෙක් තමන් ගැන කියන දේවල් දැන ගැනීමෙන් මොහොතකට හරි හිත නරක් කර ගන්නෙ මොකටද?
ඔය ළමයා දැන් තමන් ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුස්ස ජීවිතෙක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජිවිතේ දිහා බලන්න ගන්න.

මෙබඳු සන්තුෂ්ටි ගවේෂණය පිළිබඳ සදුපදේශ නන්දිතයෙහි තන්හි තන්හී හමු වෙයි.
නන්දිතයෙහි අවසාන භාගයෙහි දී කිරණ් සහ බුන්සිරි නම් ආසියාතික යුවතියන් දෙදෙන අතර ඇති වන මතු දැක්වෙන සංවාදය සමස්ත කෘතියෙහි පැණැස එකට කැටි කිරීමක් බඳු ය. සකල ලෝවැසි ස්ත්‍රී පුරුෂයන් සිය අභ්‍යන්තරය කැණ ආධ්‍යාත්මික සතුට ළඟා කරගත යුතු මඟ නම් මේ යැයි එකී වදන්වල කැටි ව ඇත්තාක් සේ ය.

අපි ව ප්‍රතික්ෂේප වීමෙන් අපිට අහිමිවෙන දෙයක් නෑනේ.
අහිමි වෙනවා නං අපේ ආඩම්බරය විතරයි.
ඒක යට කරන්න මනුෂ්‍යත්වයට ඉඩ දුන්නම එක පාරට අමාරු වුණත් පස්සෙ සඳුන් කල්කයක් ගා ගත්තා වගේ පිච්ච මල් වතුරෙන් හේදුවා වගේ දැනෙයි..

මෙබඳු පැණැසි ගමනක කෙළවර ගුවන්යින් නම් බුදුවරිය සමඟ කෙරෙන සංවාදයකිනි, නන්දිතය කෙළවර වන්නේ. මේ ලිපිය ද ඉන් කෙළවර කරන්නේ එය‍ අප හැම දෙනාගේ ජීවිතවලට අපූරු පාඩමක් යැයි සිතන බැවිනි. මන්ද බුදුවීම යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් වීම පමණක් නොවේ. ඉන් මෙහා ඇති අවබෝධය ලබා ගැනීම නම් බුදුවීම ඔබටත් - මටත් පහසුවෙන් කළ හැකි දෙයක් වන හෙයිනි.

හිනාවෙන්න බැරි මිනිස්සු බුදු වෙන්නෙ නෑ.
ප්‍රතික්ෂේප වීමට බය මිනිස්සුන්ට හිනා වෙන්නත් බෑ.