Thursday, October 1, 2026

154. ගුරු දියවර 59 - සමන් චන්ද්‍ර රණසිංහ


               නොරැඳ හමා, සිසිල බෙදා, අඳුර මුදා, සුවය සදන සුළඟ



 
සහන් සිය කුඩා ගෙවත්තට පැමිණ මඳ වෙලාවක් එළිමහනෙහි නිර්මිත අසුනෙහි හිඳ සිටියේ ය. එඅසුන මත හිඳ ඉදිරිපස බලන විට දිස් වන්නේ නොබෝදා නික්ම ගිය පූස් පැංචී කිරී මිහිදන් කළ තැන යි. එතැන මල් පෝච්චි තුනක් තබා වට කොට තිබිණ. කවදා හෝ ඒවායේ පිපෙන මල් දිගු කලක් මෙගෙදර ළබැඳි සාමාජිකාවක බවට පත් ව ජීවත් වූ ඒ බිඩාලිනියට උවසර පුදනු ඇතැයි ඔහුට සිතිණ. හිඳ සිටි අසුනින් නැගිට කිරී නිදන තැනට ගිය සහන්, ඇය නික්ම යාමෙන් පසු දින රැයේ නික්ම ගිය පූස් පැංචී කිරීට යනුවෙන් නම් කළ ඇය වෙනුවෙන් හද පිළිසිඳි තෙකව මෙසේ සිහිපත් කෙළේ ය. ඒ, එකව්වල අරුත යථාර්ථයක් ම වේවා යන හෘදයාරම්මණයෙන් යුතු ව ය.

  අබිමානයේ පාඩම         කාටත් දුන්න
‘කිරි’ නම ලද ද කිරි කෑමට නොම දන්න
  දඩයම් ලොවින් දිනකදි   ඉවතට පැන්න
 නුඹ පූසියෙකි.   හොඳ මගකට පිළිපන්න

ඇවිදින අතර මෙසසර නුඹ හෙට   දවසේ
නිබඳ ව හොඳ දසුන් හමු වේවා    සුවසේ
පාළුව දැනෙන මුත් නුඹ නැති මේ නිවසේ
ජයගත් හැටි දුටිමු. නුඹ දිවිය ම     රහසේ

මිනිසත් බවය තෙක්    මෙගමන යන   අතර
සුළබැඳි නිවහන් ම        හමු වේවා   නිතර
බුදු හිමි වෙතින් ලැබ. දිනකදි      දම්  වතුර
නිම කළ මැනවි දියණිය.    මෙගමන  සසර

සහන් එතැන රැඳී සිටින මොහොතේ ය, ගඟුල් මිහිදිනිය ද සමග ඒ නිවහනට පැමිණියේ.   
“සර් ඇයි මෙතැන, යනුවෙන් ගඟුල් ඇසු ප්‍රශ්නයට සහන් කෙළේ යටකී තෙකව සටහන් කොළය ඔහු අතට පත් කිරීම ය. ඒ තුරුණු යුග්මය එකව් කියැවූයේ එකට ය. මේ ගෙදරට ආගිය කිසිවකුට කිරී ආගන්තුක තැනැත්තියක් නොවූවා ය. දෙදෙනා ම මොහොතක් සිය ගුරුවරයා සමග එතැන රැඳි නික්ම ගිය මේ සත් සාමාජිකාවට සිය අවසන් බුහුමන පිදීමෙන් පසු ය, ඒ ගුරු නිවහනට ගොඩ වූයේ.
පැවති නිහඬතාව නිමා කරමින් කතා කෙළේ මිහිදිනී ය.  
මේ වෙලාවේ මට මතක් වෙන්නෙ සර්ම දවසක් කියපු දෙයක්. සර් එදා කිව්වා, සමීපව ජීවත් වෙච්ච කෙනෙක් හරි සතෙක් හරි විතරක් නෙමෙයි, තමන්ට කාලයක් තිස්සෙ හෙවන දුන්න ගහක් හරි අහිමි උනාම අපි පෘථග්ජනයන්ව ඉන්න තාක් අපට පාළුවක් දුකක් හුදෙකලාවක් දැනෙනවා කියලා. ඒක ඇත්ත සර්. මමත් ඔය අවස්ථා තුන ම විඳලා තියෙනවා.̎
“මම කැමතියි දුව, ඔයා විඳපු ඒ අවස්ථා තුන ගැන කියනව නං. ඒක අපිට ජීවිතය පිළිබඳ හොඳ සාකච්ඡාවකට පදනමක් වේවි. ඒක සමහර විට ජීවිතය පිළිබඳ ගැඹුරු කියවීමකට යන්නත් අපට උදව් කරාවි.”
“සර් මන් සමීප මිනිස් ජීවිතයක් අහිමි වීම නිසා ඇති වන ලොකුම දුක ලබන්නේ අපි හතේ පන්තියෙ ඉන්න කොට අපේ පන්ති බාරව හිටපු ගුරුතුමිය හදිසියේ නැති වුණ දවසේ. එදා ගහක් ගලක් වගේ හිටලු අපේ කුමාරිට මොකද මේ උනේ කියලා ටීචර්ලා අඬන කොට ඊටත් වඩා සද්දෙට ඇඬුවෙ ශිෂ්‍යයන් වෙච්ච අපි. අපි ඔක්කොටම වඩා හය්යෙන් ඇඬුවෙ පන්තියෙ දඩබ්බරය හැටියට හිටපු සචිත්. කවදක්වත් අඬන්නෙ නැති අනිත් අයව අඬවන්න පුරුදු වෙලා හිටපු අයත් අඬනව නේද කියන හැඟීම අපේ පුංචි හිත්වලට ආවෙ එදා.”
“ඔයා කියන ඔය හැඟීම මට ආවේ පහේ පන්තියෙදි. ඒ අපිට හරිම ආදරයකින් හිටපු කරුණාරත්න මිස් නැති වෙච්ච දවසෙ. මට ඒක නිසා ඔයාගෙ ඔය දුක තේරුම් ගන්න පුළුවන්.”
“ඒ කියන්නෙ ඔය දෙන්නම පුංචි කාලෙදි ජීවිතය ගැන එකම විදිහෙ අද්දැකීමක් ලබල තියෙනව කියන එකනෙ. මට කියන්න තියෙන්නෙත් මටත් එහෙම අද්දැකීමක් නැත්තෙ නෑ කියල තමයි.”
“සර් මට හරි දුකයි කියනවට වඩා මට දුකක් නැත්තෙ නෑ කියන එකේ මොකක් දෝ ගැඹුරක් තියෙනව නේද?”
“මන් මේ වෙලාවෙ නං ගඟුල් එහෙම ගැඹුරක් ගැන කියලා කතා කළා නෙමෙයි. ඒ උනාට ඔයා අහපු ප්‍රශ්නෙ නිසා අපට හැදෙන්නෙ වෙනම සාකච්ඡාවක් කරන්න පුළුවන් වේදිකාවක්. ඒ කියන්නෙ නිෂේධාර්ථයෙන් අස්ත්‍යර්ථය මතු කිරීම. ඒක වඩාත් සරල කළොත් නැත යන අර්ථයෙන් වඩාත් ප්‍රබල විදිහට ඇත යන අර්ථය මතු කිරීම. අපි ඒක ගැන වෙනම දවසක විස්තර ඇතුව කතා කරමු. ඔය ගැන ගැඹුරින්ම කතා කරපු කෙනෙක් තමයි, අපේ අදිකාරම්තුමා. දැන් කියන්න දුව, ඔයා අපිට මේ පූසි නැති උනා වගේ ලබපු අද්දැකීමක් ගැන.”  
“මට සර් තියෙන්නෙ පූසියෙක් නෙමෙයි, පූසෙක් ගැන අද්දැකීමක්. අපි එයාට දාලා තිබ්බෙ පුරු කියන නම. එයා පේන මානයක නැති කොට අපි පුරු පුරු කියලා කතා කරන කොට කොයි ලෝකෙන් හරි ඉඳලා මතු වෙනවා. විශේෂයෙන් මන් පුරු පුරු ගාන කොට තමයි වැඩියෙන්ම ප්‍රතිචාර දැක්කුවෙ. ඒ දවස්වල අපේ තාත්තා විහිලුවට කියනවා අපි මෙයාට මිහිදිනී කියන්නෙ නැතුව පුරී පුරි කියලා කතා කරමු ද කියලා. අනේ සර් දවසක ඒ පුරුත් නැති උනා. වකුගඩු අමාරුවක් කියලයි එයාව බලපු ඒ පශු වෛද්‍යතුමිය කිව්වෙ. එදා පුරුට ගොඩක් කිට්ටුවෙන් හිටපු මට විතරක් නෙමෙයි ගෙදර කාටත් දුකයි. ඒ දුක කාලයක් යනකන් අපේ හිත්වල වගෙම ගෙදරත් තැවරිලා කියලා තමයි අපිට හිතුණෙ.”
“සර් මට අපේ මිහිදිනී කතා කරපු දේවල් ඇහැව්වහම මතක් උනේ අපේ විමලරත්න කුමාරගම කවියගෙ එක කවියක්. තමන්ගෙ තනියට ගෙදර හිටපු තමන් ගෙදර සාමාජිකාවක් විදිහට සලකපු පූසි හදිසියේ නැති වෙනවා. ඒ පූසිගෙ මරණය සිද්ද වෙච්ච දවසෙ අපේ කවිය කෑම මේසෙට එන්නෙ පුරුද්දට මිසක් වෙනද වගේ බඩගිනි දැනිල කෑම රුචියක් ඇතුව නෙමෙයි. එදා ඒ කුමාරගම කවියගෙ හදවතේ ඇති වෙච්ච දුක අපට අදටත් දැනෙන කවියකට උල්පත වෙනවා.”
“ඔයාට මතක නං කියන්නකො ඒ කවිය සර්ටයි මටයි ඇහෙන්න.”
ගඟුල් මිහිදිනියගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ එකව මෙසේ ප්‍රකාශයට පත් කිරීමෙනි.
කන්නට ගිය පසුව එදවස      රෑ කෑම
හිත බර වුවත් කෑවෙමි   වෙනදා සේම
බැළලී කොයි ද වෙනදා කන මේසේ ම
කඳුළැලි හෙළුෑයෙමි මම රෑ    රාසේ ම
මඳ වේලාවක් නිහඬ ව සිටි සහන් අනතුරුව කතා කෙළේ ය.
“සමීප සුරතල් සතුන්ගෙ නැතිවීම් නිසා ලෝකයට හිමි වෙච්ච සාහිත්‍යයක් තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි අපට වර්තමානෙ ඉන්න විශිෂ්ට ලේඛිකාවක් වන කැත්ලීන් ජයවර්ධනගෙ මංජු, මරණය හා ස්මරණය කියන පොත. මංජු කියන්නෙ ගෙදර සාමාජිකයෙක්ගෙ තැන හිමි කරගත්ත සුනඛ හිතවතාට. ඌ නැති උන දවසෙ මේ කැත්ලීන් සහෝදරී මට කතා කරලා එයාටත් මහත්තයටත් ඒ හිස් තැන දැනෙන හැටි ගැන හරිම වේදනාවකින් කතා කළා. සංවේදී ලේඛිකාවක් වන ඇය තමන්ගෙ වේදනාව ප්‍රකාශයට පත් කරන්න යොදා ගන්නෙ තමන්ගෙ ලේඛන හැකියාව. අර මම කලින් කියපු පොත තමයි ඒකෙ ප්‍රතිඵලය. ඒ පොතේ මට වැඩියෙන්ම දැනුණෙ ඇය හද විදාරණය කියලා ලියලා තිබිච්ච පිටු 59ක් පුරා විහිදෙන ප්‍රවේශ ලිපිය. ඒක මහ වෙනස්ම ලිපියක්. ඔය දෙන්න ඒක කියවන්න ඕන කරන පොතක්. ඉන්න කැත්ලීන් සහෝදරී මටයි ඔයගොල්ලන්ගෙ මිස්ටයි දීපු පොත තියෙනවා. ඉන්න මම ඒක අරගෙන එන්නම්.”
මෙසේ කියා මඳ වෙලාවකින් එපොත රැගෙන ආ සහන් යළි කතා කෙළේ ය.  
“මේ පොත කියවීම නිසා අපේ හිත්වල ඇති වෙන්නෙ දුකක් නම් රිදුමක් නම් මම මේ පොත ඔයගොල්ලන්ට දෙන්නෙ නැහැ. දුක ළඟ නතර වෙන්නැතුව අපට අපේ ජීවිතය දැක ගන්න සලස්වන ගැඹුරු කියමන් මේකෙ අන්තර්ගත නිසයි මේක මම දෙන්න හිතුවෙ. දුව මිහිදිනී ඔයා කියවන්න අපි දෙන්නට ඇහෙන්න මේ පොතේ දහතු්වෙනි පිටුවෙ අන්තිම ඡේදය.”  
සිය ආචාර්යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මිහිදිනිය විසින් කියවන ලද්දේ පහත සඳහන් ඡේදය යි.
“ඔබට ජීවිතය හඳුනාගන්නට, ජීවිතය හදාරන්නට, ජීවිතය සාක්ෂාත් කරගන්නට ඇති හොඳ ම කමටහන වන්නේ සුනඛයන් හා සුරතල් සතුන් ම යැයි මම කියමි. ජීවිතයේ අනියත ස්වභාවය ඔවුහු ඔබට මනා ලෙස සාක්ෂාත් කර දෙති. ඒ ඔවුන්ගේ ජීවිත කාලය අපගේ ජීවිත කාලයට වඩා බෙහෙවින් කෙටි වන බැවිනි.”
“දැන් මම ඔය පොත ගැන මොකුත්ම කියන්නෙ නැහැ. ඔයගොල්ලො ඒක කියවන්න ගෙනියන්න.”
මෙසේ කියා එපොත මිහිදිනීගේ අතේ තිබෙන්නට සැලැස්වූ සහන් නිහඬ විය. මඳ වෙලාවක් පැවති ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ ගඟුල් ය.
“සර් සත්ත්ව ජීවිත ගැන ලියවෙච්ච සාහිත්‍යයක් අපට තියෙනවා. ඒක පෙරදිගට වගෙම අපරදිගටත් පොදුයි. අපේ රටවලට වගෙම වෙනත් රටවලටත් පොදුයි. ඒ වගෙම සර් ආදරණීය සත්ත්ව සාහිත්‍යයක් බිහි වෙන්න අහිමි වීම් වගෙම හිමිවීම් හේතු වෙලා තියෙනවා නේද”
“මම කැමතියි ගඟුල් ඔය කාරණේ තව ටිකක් පැහැදිලි කරනව නම්.”
“ඇයි සර් භද්‍රා ඉන්ද්‍රාණි අමරකෝන් ලේඛිකාව රැම්බෝ කියන යොවුන් නවකතාවට පාදක කරගන්නෙ ගෙදර ඉන්න ඒ නම තියෙන බලු සුරතලාවනෙ. ඇයි සර් ඒ දවස්වල පත්තරේට ලිපියක් ලියල තිබුණෙ තිස්ස මහගෙදර ඉන්න බල්ලො පස්දෙනෙක් ගැන උන් ගතිගුණ අතින් එකිනෙකාගෙන් වෙනස් වෙන හැටි කියලා. ඉතින් ඒවා ලිව්වෙ උන් ජීවතුන් අතර ඉන්දැද්දිනෙ.”
“හරි අපි ඔයාගෙ මේ රටේ උදාහරණෙ පිළිගත්තා. ඔයාට පුළුවන් ද වෙනත් රටකින් උදාහරණයක් ගේන්න.”
“ඇයි සර් සර්ගෙ අර යාළුවා ඒ කියන්නෙ මේ මෑතකදි සම්මානයටත් පාත්‍ර වෙච්ච මහින්ද සෙනරත් ගමගෙ මහත්තය පරිවර්තනය කරපු බියන්කා.”
“ඒක මට බලන්න හම්බ වෙලා නැහැනෙ. කියන්ඩකො මටත් දැන ගන්න මුල් ලේඛකයගෙ නමත්.”
“මිහිදිනී ඒක ලියල තියෙන්නෙ දිමිත්‍රි ඇල්පර්තෝවිච් කියන රුසියානු ලේඛකයා. එයා බියන්කා කියන්කෙ සුරතල් බැල්ලකට.”
“හරි ගඟුල් මට මතක් උනා ඒ පොත. මහින්දම තමයි මට ඒකෙ පිටපතක් දුන්නෙ. හැබැයි ඒකට පදනම් වෙන්නෙ බියන්කා ගැන ස්මරණ නේද? ඒක නිසා නේද ඒ රුසියානු ලේඛතයා අපට කියන්නෙ මේ පොත කියන්නෙම ඒ සුරතලාට හිස නමා ප්‍රණාමය දැක්වීමක් කියලා. ඒ විතරක් නෙමෙයි මගේ හිතේ ජීවත් වෙන බියන්කා ඔබේ හදවතෙත් ජීවත් වේවා කියලා නේද එයා ඒක ලියන්නෙ.” 
“ඇත්ත නේන්නං. සර් කිව්වහමයි මටත් ඒක මතක් උනේ.”
“ඒ විතරක් නෙමෙයි ගඟුල්, අපේ මහින්ද පරිවර්තකගෙ සටහනේදි කියනවා පිටතින් බියන්කා සුදු පැහැ බැල්ලකගෙ කතාවක් විදිහට ගලාගෙන ගියත් මේ මුළු කෘතිය වර්තමාන රුසියාවෙ නාගරික වගෙම ග්‍රාමීය ප්‍රදේශවල ජීවිතය ඇති සැටියෙන් කියාපාන්නක් හැටියට.”
“සර් මට මේ වෙලාවෙ වියට්නාම් ජාතිකයෙක්ව ඉපදිලා ඇමෙරිකානු පුරවැසියෙක් ව ඉඳගෙන ලෝක සාම චාරිකාවෙ සලකුණක් ලංකාවෙත් තියපු අපේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලාගෙ පා ගමන ගැනත් වචනයක් දෙකක් කියන්න හිතෙන්නෙ ඒ ගමනට එකතු වෙච්ච ආලෝකා බැල්ලත් අපට අමතක නොවෙන චරිතයක් නිසයි. පඤ්ඤාකර හාමුදුරුවො වගෙම ආලෝකත් අපේ හිත්වල ලොකු ඉඩක් අයිති කරගත්ත නිසයි.”
“ඇයි ඒ වගෙම අපට අමතක කරන්න බැහැ නේද සෝවියට් රුසියාව අභ්‍යවකාශතරණයට සම්බන්ධ කරගත්ත ලයිකා කියන බැල්ල. එයා ගැනත් හදලා තියෙනවනෙ ගොඩක් වැඩ සටහන්.”
“මන් හිතන්නෙ ගඟුල්, අපි මේ කතා කරන මාතෘකාව ගැන පොතක් ලියන්න තරං කරුණු එකතු වෙනවා ඒ ගැන කතා කරද්දි. අපි ඒ වගකීම බාර දෙමු අපේ මිහිදිනීට. ඔයයි මමයි දෙන්නම උදව් කරමු ඒ වැඩේට.”
මිහිදිනියගේ පසන් නිහඬතාවෙන් පළ වූයේ ඒ සඳහා වන අනුමැතිය යි. කතාවේ දිශානතිය සුරතල් ෂතුන් හා බැඳුණු පුස්තක වෙතට හරවමින් ඒ මොහොතේ කතාවට මෙසේ මැදිහත් වූයේ ගඟුල් ය.  
“සර්, දන්නවද දැන් අපේ මිහිදිනීට මොකක්ද ඕන වෙලා තියෙන්නෙ කියලා.”
“ඇයි අපේ කෙල්ලට බඩගිනි වෙලා ද?”
“හැබැයි සර් ඒක එක් විදිහක බඩගින්නක් තමයි. අපිට ඒකට කියන්න වෙන්නෙ පොත් ගින්න කියලයි.”
“හෝ හෝ දැන්නෙ මට තේරුණෙ. හරි හරි මම යනකොට මිහිදිනීට බියන්කත් දෙන්නංකො ගෙනියන්නෙ. බැලුවහම ගඟුල්ට පුළුවන්නෙ අපේ මිහිදිනීගෙ හිත කියවන්නත්.”
ගඟුල් සිනාසුණා මිස ඊට පිළිතුරු දීමට ගියේ නැත. අනතුරුව කතාව වෙනත් පැත්තකට හැරවූයේ සහන් ය.
“දැන් මිහිදිනී ගහක් අහිමි වීම ගැන ඹයාට ඇති වෙච්ච හැඟීමත් අපට කියනව ද?”
“මන් ඊළඟට අහන්න හිතන් හිටපු ප්‍රශ්නෙ තමයි අපේ ගඟුල් මතු කළේ. ඒ ගැනත් කියන්න දුව.”  
“සර්, මම ඒ අද්දැකීම ලබන්නේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක්ව ඉන්න කොට. අපේ ගෙදර වත්තෙ තිබුණා ලොකු ජෑම් ගහක්. තාත්තා ඔය ජෑම් ගහ යට, ඒ හෙවණෙ ඉඳගෙන ඉන්න පුළුවන් විදිහට බිම හදලා තිබුණා. අපි පාඩම් කළේ කවි සින්දු කිව්වෙ විතරක් නෙමෙයි, සමහර දවසක ගෙදර කට්ටියම බත් බෙදාගෙන ඇවිත් කෑවෙත් ඒ ගහ යටට වෙලා. කොටින්ම අපි ඔක්කොටම එයා ඕනෙ. මන් හිතන්නෙ එයාටත් අපිව ඕන උනා.”
“ඉතින් මිහිදිනී, ඒ ගහට මොක ද උනේ.”
“ඒ හරි තදින් හුළං හමපු දවසක්. ඒ හුළඟට ගහ වැටිලා තිබුණා. එයා වැටිලා හිටපු හැටි දැන් මතක් වෙන කොටත් හිතට දුකක් දැනෙනවා. ලොකු ළමයෙක් වෙලත් මම කාලයක් යන කන් හුළඟත් එක්ක තරහ වෙලත් හිටියා.”
“ඔයා ඔහොම කියන කොට මිහිදිනී, මට මතක් වෙන්නෙ අපේ මේ සර්ගෙ මිතුරුසඳ කවි පොතේ එන නොමළ රුක කියන කවි පන්තිය. ධර්මසිරි ගමගේ මහත්තයා දවසක් මහා වෘක්ෂයක් බිම වැටිලා තියෙන හැටි දැකලා, හෙවණ දීපු ගහක් වැටුණත් - ඒක මියගියත් ඒ මළගමේ පවා හරිම ලස්සනක් තියෙනවා කියලා කියලා තිබුණා. අපේ සර් ඒක සම්බන්ධ කරලා තිබුණෙ තමන්ගෙ සහෝදරයගෙ අහිමිවීමට. සර් ලියලා තිබුණෙ ඒ සෙවන රුක අහිමි උනත් ඒකම තමයි හදවතේ ජීවත් වෙන්නෙ කියලා.”
“ඔයාට මතක නම් ඒ කවිය දැන් කියන්ඩකො. මොකද මටත් තියෙනවා මම හුළඟත් එක්ක තරහ නැති කරගන්න හේතු වෙච්ච දෙයක් කියන්න.”  
“මේකයි මිහිදිනී ඒ කවිය,  
වැටුණු ගසකට සිනාසෙන ගුණය නැත  හදේ
එපමණක් නොවේ එහි සොඳුරුතා හද   රැඳේ
සෙවණ දුන් ගසේ රුව නිබඳ ව ම හද  ඇඳේ
ඒ රුව ම හිරු විලස දකිමි, නැග එන    උදේ ”
“ලියපු මටවත් පාඩම් නැති කවිනෙ ගඟුල් මේ මතකෙන් කියන්නෙ. දැන් මම කැමතියි අපේ මිහිදිනී හුළඟ එක්ක තරහෙන් මිදිච්ච හැටි දැන ගන්න.”
“ඒකට මට බලපෑවෙත් පොතක්. කොටින්ම කියනවනං ඔයා දැන් කියපු කවිය තියෙන පොතම තමයි.”  
“ඒ කියන්නෙ මිතුරුසඳ.”
“ඔව් ඒ පොත තමයි. අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ ඒකෙන් පිටපතක් තිබුණා. ඔය ජෑම් ගහ නැති දුකයි හුළඟ එක්ක තරහයි තදටම තිබුණ ඒ දවස්වල අහම්බෙන් මම මේ පොත ගත්තා. මන් ඒ වෙන කොට අපේ මේ සර් ගැන අහලවත් තිබුණෙ නැහැ.”
එසේ කියා මිහිදිනී නැවතුණේ ඒ ප්‍රකාශය නිසා සිය ආචාර්යවරයා අපහසුවට පත් වෙතියි යන හැඟීම සිත ඇති වූ බැවිනි.
“කියන්න ආපු කතාව කියන්න දරුවො. මේ ලෝකෙ හැම කෙනෙක්ම මන් ගැන දැනන් ඕනෙ කියල මම හිතාගෙන හිටියනංනෙ ප්‍රශ්නයක් වෙන්නෙ. අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ අපිව දන්න අයට වඩා නොදන්න අයගෙන් තමයි මේ ලෝකය පිරිල තියෙන්නෙ කියන එක. ඒක නිසා මගෙ අර පොත කියවන කන් ඔයා මන් ගැන දන්නෙ නැහැ කියන පුදුම වෙන්න දෙයක් නෙමෙයි ඒක හරි සාමාන්‍ය දෙයක්නෙ.”
“අනේ සර් ඒකෙ තියෙන්නෙ සර්ගෙ ඒ මහා අහිමි වීම ලෝකයට හිමි කරලා දීමක්නෙ.”
“ඔව් ඒක හරි, දැන් මට දැනගන්න ඕනෙ ඔයා හුළඟ එක්ක තරහෙන් මිදෙන්න හේතු උනේ කොයි නිර්මාණෙ ද කියන එක.”
“ඔයාට මතක ද ගඟුල් සර්, ඒ පොතේ අන්තිම හරියෙ තියෙනවා සුළඟ කියන මාතෘකාව යටතෙ ලියපු කවියක්. එකම එක කවියක් විතරයි එතන තියෙන්නෙ. මට කටපාඩම් ඒ කවිය. මන් කැමතියි ඒ කවිය ලියපු සර්ම ඒ ගැන අපට පොඩි ප්‍රවේශයක් අරගෙන දෙනව නං.”  
“ගඟුල්, මිහිදිනීගෙ ප්‍රශ්නෙත් එක්ක මම යන්නෙ අවුරුදු ගාණක් අතීතෙට. ඒ වෙන කොට අය්යා නැතිවෙලා අවුරුදු තුනක් විතර ගත වෙලා. මම මට හිතුණ වෙලාවට අය්යා මිහිදන් කරපු තැනට ගිහිල්ලා ටික වෙලාවක් ඉන්නවා. අය්යා ගොඩක් ප්‍රිය කරපු දැවැන්ත නුග ගහක් තියෙනවා ඒ ළඟ. ඒක අදටත් තියෙනවා. එදා වැහි අඳුර තිබුණත් වලාකුළු තිබිච්ච ඒ අහසේ පැහැදිලි බව නැති වෙලා තිබුණෙ නැහැ. එදා පුංචි පුංචි කුරුල්ලො පියඹලා ගිය හැටිත් මට මතකයි. ඒ වෙලාවෙ හරිම සුවදායක සුළඟක් තමයි හමා ගෙන ගියේ.”
සහන් මඳ වෙලාවක් නිහඬතාව රැකි ඒ මොහොතේ කතා කෙළේ ගඟුල් ය.
“ඔව් ඒ වෙලාවෙ සර්ට මතක් වෙන්නෙ ඇත්තෙ අපි කාගෙත් හිත්වල අද සමන් සිත්තරා හැටියට ජීවත් වෙන තමන්ගෙ සහෝදරයව.”  
“ඔව් ගඟුල්, ඔයා හරි. ඒ වගෙම මට අය්යා හුළඟ ගැන කියපු දෙයකුත් මතක් උනා. අය්යා කියනවා සුළඟ හමාගෙන යන්නෙ තමාගෙ ගුණය රැකගනිමින් කියලා. වරෙක මුදු විදිහටත් තවත් වෙලාවකට ප්‍රචණ්ඩ විදිහටත් සුළඟ හමා යනවා කියලා. මඳ පවන සිසිලයසි සුවදායකයි කියලයි මිනිස්සු කියන්නෙ. සැඬ සුළඟ විදිහට හමා යනකොට ඒක පීඩාකාරියි විපත්තිදායකයි කියලා කියන්නෙත් අර සුවදායක කියලා කියපු අයම තමයි. අය්යා කියන්නෙ මුදු බව හරි සැඩ බව හරි තුළින් සුළඟ දකින්න බැහැ කියලයි. එයා කියන්නෙ සුළඟ තුළින් සුළඟ දකින්න කියලයි.”
“ඔව් සර්, මම සුළඟ සුළඟ විදිහට දැක්කෙ සර්ගෙ ඒ අය්යා නිසා. කවදාවත්ම මම දැක්කෙ නැති කවදාවත්ම මට දකින්න නොලැබෙන ඒ අය්යා නිසා.”
“එහෙම කියන්න එපා දුව, මට මිහිදිනී කියන්නෙ මගෙ අය්යව ගැඹුරින්ම ඒ වගෙම ආධ්‍යාත්මිකව දැකපු කෙනෙක්.”
“ඒ සර්ගෙ මල්ලිම මට එහෙම ගෞරවයක් දෙන එක මට සතුටක්. දැන් සර් මට ඉඩ දෙන්න හුළඟත් එක්ක තියෙන තරහ නැතිවෙලා හුළඟ ශුළඟ විදිහට දැකලා මගෙ හිතේ තිබිච්ච අන්ධකාරය නැති කරගන්න උදව් වෙච්ච කවිය කියන්න.”
ඒ මොහොතේ සහන්ගෙන් සහ ගඟුල්ගෙන් පළ වූ පසන් නිහඬතා අනුමැතිය මැද අසන්නට ලැබුණේ  මිහිදිනියගේ අව්‍යාජ කටහඬ යි.
සිසිල ගෙන දිදී මුදු සුළඟ        නොරැඳී හමයි
ඔබ ද සුළඟකි සොයුර නොරැඳ  හදවත රැඳෙයි
නොරැඳ හමනා සුළඟ      නිබඳ සිසිලස  සදයි
ඒ සුළඟ විඳි හදක් හදින්           ගනඳුර මුදයි
සුළඟේ මාතෘකාවෙන් පසු කතාව ආරම්භ කෙළේ සහන් ය.
“දැන් අපි ආයෙත් යමු අපි කලින් කතා කළ මාතෘකාවට. පහුගිය දවසක අපි අනුරාධපුරේ ශාන්ත හාමුදුරුවො ගෙදරට වඩම්මලා උන් වහන්සේට දානෙ පිළිගන්වලා පැංචි වෙනුවෙන් පොඩි පින්කමක් කළා. එදා අපේ හාමුදුරුවො පැංචිට පින් පැමිණුවෙ කෙටි ධර්මානුශාසනයකුත් කරලයි. එදා උන් වහන්සෙ කියපු කතාවක් නිසා අහිමි වීම නිසා ඇතිවන වේදනාවන් ගැන මම මෙතෙක් හිතාගෙන හිටපු විදිහෙ වෙනසක් සිද්ද උනා.”
“සර්, අපි කැමතියි සර් ඒ වෙනසට කලින් හිතාගෙන හිටපු විදිහයි ඒ ධර්ම දේශනයෙන් පස්සෙ ඇති උන වෙනසයි ගැන දැන ගන්න.”  
“ඔව් ගඟුල්. මම කොහොමත් ඒ ගැන ඔය දෙන්නට කියන්න තමයි හිටියෙ. අහිමිවීම නිසා ඇති වන වේදනා තුනක් ගැනයි එතෙක් දවසක් මගෙ හිතේ තිබුණෙ. ඒ අපට සමීප මිනිස් ජීවිතයක් එහෙම නැත්තං සත්ත්ව ජීවිතයක් ඒ වගෙම අපේ හිත්වලට කිට්ටු වෙලා තිබිච්ච ගහක් නැති වුණාම තමයි කෙනෙකුට තව කෙනෙක් අහිමි වීමේ වේදනාව දැනෙන්නෙ කියලා. එදා ශාන්ත හාමුදුරුවො කිව්වා අනේපිඬු සිටුවරයගෙ පුංචි මිනිබිරී තමන්ගෙ කිරි අම්මා මේ ඔයාගෙ දුව කියලා එයාව ආදරෙන් බලා ගන්න කියලා පිටිවලින් හදල දීපු බෝනික්කා බිම වැටිලා කැඩිලා බිඳිලා ගියාම අඬලා තියෙන්නෙ අනේ මගෙ දුව මැරුණනෙ කියලයි. ඒ වෙලාවෙ ඒ පුංචි දුවගෙ හිත වැඩ කරන හැටි ගැන හැඟීමක් තිබිච්ච අනේපිඬු සිටුවරයා මුලින්ම කරලා තියෙන්නෙ අපි ඒ නැති වෙච්ච දුව වෙනුවෙන් දානයක් දෙමු කියලා අර පුංචි දැරිවියගෙ හිත සනසන එක. ඊට පස්සෙ ඒ කිව්ව වගෙම බුදුන් වහන්සේ ප්‍රධාන සහා සංඝරත්නයට දානයක් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ කතාව ඇහුවට පස්සෙ මට දැනුණෙ මනුස්සයෙක් සතෙක් ගහක් විතරක් නෙමෙයි ජීවිතයට සමීප දෙයක් අහිමි උනාමත් කෙනෙකුට ඒ වේදනාව දැනෙන්න පුළුවන් කියන එක.”
“ඒ කියන්නෙ අර ධර්ම දේශනයෙන් පස්සෙ සර් හිතන් හිටපු කාරණා තුනට දෙයක් කියන එකත් එකතු කරගත්තා කියන එකනෙ. හැබැයි ඒ අපි කැමති බඩුවක් මුට්ටුවක් නෙමෙයි ජීවිතයක් වගේ සමීපව දැනෙන දෙයක්.”
“ඔව් ගඟුල් ඔයා හරි.”
“අනේ සර් අපටත් දැනගන්න කියන්ඩකො ඒ ධර්ම දේශනාව ගැනත් පොඩි විස්තරයක්.”
“අපේ ශාන්ත හාමුදුරුවො එදා ඒ ධර්ම දේශනෙ කළා විතරක් නෙමෙයි ඊට පස්සෙ අපට ඒකෙ මූලාශ්‍රයත් එවලා තිබුණා. ඒකෙ තියෙන හැටියට අර කලින් කිව්ව වගෙම බුදුහාමුදුරුවො අනේපිඬු සිටුවරයගෙ ආරාධනයෙන් පන්සියයක් නමක් පිරිවරාගෙන සිටු ගෙදරට වඩිනවා.”
“සර් ඔය කතාවෙ මූලාශ්‍රෙ මොකක් ද?”
“මට අපේ හාමුදුරුවො මූලාශ්‍රෙ එවලා තිබුණා. ඒක තියෙන්නෙ ත්‍රිපිටක සාහිත්‍යයටම අයිති කරන්න පුළුවන් පේතවත්ථු පාළියෙ. ඒකෙ උරග න්‍ග්ග කියන කොටසෙ එන පිට්ඨධීතලික කියන කතාවයි ඒ. ඒ ධර්ම දේශනය නම් කරල තියෙන්නෙ ‘යං කිඤ්චාරම්මණං කත්වා’ කියලයි. යම්කිසි අරමුණක් කොට යම්කිසි අරමුණක වෙනුවෙන් වගේ අර්ථයක් තමයි ඒකෙ තියෙන්නෙ. ඒ පාළි පාඨයෙන් කියවෙන්නෙ නොමසුරු අය යම්කිසි අරමුණක් කොට, පෙර කළුරිය කළවුන් ද ගෘහවස්තු ආදියට අධිගෘහිත දෙවිවරුන් ද අරබයා දන් දෙනවා කියන එකයි. මේක බුද්ධ දේශනාවක් විදිහටයි සඳහන් වෙන්නෙ.”  
“සර්, දැන් මට හිතිල තියෙද්දි මේ ඔක්කොම තියෙද්දී පාළි ඉගෙන ගන්න.”
“බොහොම හොඳ අදහසක්. හැබැයි දරුවො ඔයා ඒක කරන්න ඕනෙ අනික් වැඩ නවත්තල නෙමෙයි, අනිත් වැඩ කරන අතරෙ. ඒක නෙමෙයි අද ඔය දෙන්නා ආවෙ නිකන්ම වෙන්ඩ බැහැ, මොකක් හරි විශේෂ දෙයක් හිතේ තියාගෙන නේද?”
“ඔව් සර්, මිහිදිනිත් මමත් දෙන්නම වෙනුවෙන් මන් ඒකට උත්තරයක් දෙන්නම්. සර් ඇත්තටම අපි ආවෙ සර්ගෙ දිනපොත්වලිනුයි සර්ගෙ ලේඛන අත්පිටපත්වලිනුයි සමාජෙට දුන්නොත් හොඳයි කියන දේවල් ගැන සාකච්ඡා කරන්න. අපි අද උනත් ලෑස්තියි සර්ට වෙලාව තියෙනවනං. නැත්නං සර් තීරණය කරලා අපි ඒකට එන්න ඕන දවස සර් අද අපිට කියන්න. එදාට අපි එන්නම්. එහෙම හොඳයි නේද මිහිදිනි?” 
ඊට පිළිතුරු වශයෙන් මිහිදිනී කෙළේ සිය හිස සැලීම ය. අනතුරුව කතා කෙළේ සහන් ආචාර්යවරයා යි.
“මම ඉදිරි දිනයකුත් ඔය ගොල්ලන්ට දෙන්නම්. අද උනත් ඔය දෙන්න ඒ වැඩේට ලෑස්තියි කිව්වනෙ. එහෙම නං අදත් අපි ටිකක් හරි වැඩ කරමු.”
“සර්, අපි මේ වෙන කොට පළවෙනි ලේඛන අත්පිටපතේ අන්තර්ගතය ගැන කතා කරලා තියෙනවා. ඒ වගෙම මට මතක හැටියට 1986 අවුරුද්දෙ සැප්තැම්බර් අග වෙනකන් සර් ලියපු දින සටහන් ගැනත් කතා කළා. සර්ගෙ දිනපොත් කියවද්දි අපි නූපන් කාලයට අයත් සිද්ධි ගැනත් අපට චිත්‍රයක් මැවෙනවා. අපි දෙන්නම ගොඩක් කැමති වැඩක් තමයි මේ.”   
“මෙහෙමයි දරුවනේ, මම රස්සාවට ගිය දවස්, බේත් ගන්න ගිය දවස්, පොලේ ගිය දවස් වගෙ අද වෙන කොට මටවත් වෙන කෙනෙකුටවත් ප්‍රයෝජනයක් නැති දේවල් පැත්තකින් තියල, කාට හරි මොන විදිහකින් හරි වැදගත් වෙන අපෞද්ගලික සටහන් ගැන විතරක් කතා කරමු.”
“සර්, ඒ විතරක් නෙමෙයි සර් කියවපු පොතක උද්ධෘතයක්, ගිය ගමනකින් උගත් පාඩමක්, හමු වෙච්ච විශේෂ චරිතයක් ගැන කියන එකත් අපෞද්ගලික තලයක රඳවන්න පුළුවන් කියලයි මටනං හිතෙන්නෙ. මන් කැමතියි සර් නොවැම්බර් 13 වෙනිදා ලියලා තියෙන මේ සටහනින් ප්‍රවේශයක් ගන්න.”
“අප ආත්මාර්ථකාමිත්වයෙන් වෙළි පවත්නා තෙක් අපෙන් අන් අයට සැබෑ සේවයක් සිදු නොවෙයි. මා තුළ පවත්නා ආත්මාර්ථකාමී ගති මොනවා ද යන්න ගැන මම නිතර විමසිල්ලෙන් සිටිමි. බස්රියක හිඳ සිටින විට ගැබිනියක, කුඩා දරුවකු වඩා ගත් මවක හෝ මහලු මවක හෝ පියකු බස්රියට ගොඩ වූ විට වහා නැගිට අසුන පිරිනමන්නෙමි. මා මෙය කරන්නේ යාන්ත්‍රික ක්‍රියාවක් වශයෙන් ද නැත්නම් තවත් කෙනෙකුගේ අපහසුව දැකීමෙන් ඇති වූ ආදරණීය හැඟීම නිසා ද? ආදරය නිසා යනු මට දීමට ඇති අවංක පිළිතුර යි.”
“සර්, අපේ ගඟුල් සර් කියන එක ඇත්තනෙ. මේක අද සර්ට වැදගත් දෙයක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒක වැදගත් වෙන්නෙ අද තරුණ වයසෙ ඉන්න අපට.”
“සර් ලියෝ ටෝල්ස්ටෝයිගෙ ඇනා කැරනිනා නවකතාව කියවලා ගත්ත දැනෙන උද්ධෘත ගොඩක් තියෙනවා, මේ දින සටහන් අතර. අපි ඒකෙනුත් උද්ධෘතයක් දෙකක් ගම්මු ද?”
“නෑ ගඟුල් ඒකට කරන්න තියෙන හොඳම දේ අපේ පාඨකයන්ට ඒ පොත කියවන්න කියන ඉල්ලීම කරන එක මිස, මේ උද්ධෘත ආයෙත් උපුටල දක්වන එක නෙමෙයි.”
“ඒ උනාට සර්, වර්තමානෙ ජීවත් වෙන අයට වැදගත් වෙන දෙයක් නම් ඒක, සර්ගෙ දිනපොතක හරි පොතක හරි මිහිදිනීගෙ හරි මගෙ හරි උනත් සමාජ යහපත කියන දේට පුංචි හරි උදව්වක් වෙනව නං ඒක උපුටලා දක්වන එකේ වරදක් නැහැ කියලයි මට නං හිතෙන්නෙ. මේ බලන්න මිහිදිනී, මේ නොවැම්බර් 28 සටහන. ඔන්න දැන් මම මේක උපුටලා දක්වන්නෙ නෑ. ඒ උනාට ඒ ගැන මගෙ වචනයෙන් කියනවා. ඒක වැදගත් වෙන්නෙත් සර්ට නෙමෙයි අපේ පරම්පරාවට.”
“මොකක් ද අප්පේ ඔය කියන වැදගත් සටහන.”  
“සර් එදා ලියනවා කෙනෙකුට උදව්වක් කරන්න ලැබීම ලොකු සතුටක් කියලා. මේ සටහන ලියපු දවස කියන්නේ තදින් වැහපු දවසක්. එදා සර් හොරණ ඉඳලා මහරගම එනවා. අතරමගදි බස්සෙකට ගොඩ වෙච්ච තරුණයෙක් සර් ඉඳගෙන හිටපු සීට්ටෙක ළඟට ඇවිල්ල හිටගන්නවා. සර් ඒ තරුණයට කියලා තියෙනවා ඒ සීට් එකේ ඉඩ තියෙන පැත්තෙ ඔයා ඉඳ ගන්න කියලා. කොහොමද ඉඳගන්නෙ, ඔය සීට්ටෙකේ ඒ පැත්ත තෙමිලනෙ කිව්වහම තමයි සර් දැකලා තියෙන්නෙ ඒක ඇත්තනෙ කියලා. සර් කරන්නෙ ඒ තෙමුණ තැන සර් ඉඳගෙන අර තරුණයට නොතෙමුණු පැත්ත දෙන එක. එයා ටික වෙලාවක් සර් දිහා පුදුමෙන් වගේ බලන් ඉඳලා එතැන ඉඳගත්තා කියලයි මේකෙ ලියලා තියෙන්නෙ. සර් මේක බැලූ බැල්මට ඒ තරන් දෙයක් නෙමෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ උනාට සර් මිනිස්සුන් අතර මනුස්සකං බෝවෙන්නෙ මේ වගෙ සිද්දි නිසා නේද?”
“ඔන්න දැන් අපිට හම්බ උනා උද්ධෘතයක් හැටියට දක්වනවට සර්ගෙ සම්පූර්ණ අනුමැතිය ලැබෙන එකක්.”
“ඒ කියන්නෙ ගඟුල් සර්, අදිකාරම්තුමාගෙ හරි සමන් සිත්තරාගෙ හරි ප්‍රකාශයක් ද?”
“ඔයාගෙ අනුමානෙ හරි මිහිදිනී, මේ අදිකාරම්තුමාගෙ ප්‍රකාශයක්. මේක සර් එකතු කරගෙන තියෙන්නෙ දෙසැම්බර් හත දින සටහන් අතරට. ඔන්න දැන් මම ඒකයි මේ කියවන්නෙ.”
“අද අපට අඩුපාඩු වී ඇත්තේ, ශීඝ්‍රයෙන් අපෙන් තුරන් වී යන්නේ දයාව, කරුණාව සහ අනුකම්පාවයි. ඉගෙනීම, දක්ෂකම, ක්‍රියාශූරත්වය කොපමණවත් තිබේ. එහෙත් අප තුළ දයාව නැති නිසා ඒ දක්ෂකම අප විසින් බෙහෙවින් ම පාවිච්චි කරනු ලබන්නේ අපේත් සමාජයේත් යහපත පිණිස නොව වැඩි වැඩියෙන් අපරාධ කිරීමට ය.
අපරාධ වැළක්වීමට ඇති හොඳම ක්‍රමය මිනිස් ගතිය යයි කිව හැකි ඒ දයාව, කරුණාව සහ අනුකම්පාව යයි සිතමි.”  
“සර් දවසක් කිව්ව නේද වචනෙ නිරුක්ති අර්ථයට අනුව අපරාධ කියන්නෙ වැරදි ලෙස සතුටු වීමට කියලා.”
“ඔව් මිහිදිනී, එහෙම ගත්තහම තව කෙනෙකුට මානසික වශයෙන් රිදවනව කියන්නෙත් අපරාධයක්. කෙනෙකුගෙ අධයාපන ගමනට කවුරු හරි බාධා කරනවනං ඒකත් අපරාධයක්.”
“ඉතින් සර් උගත් යයි කියන ඉහළටම ඉගෙන ගත් සමහර අයත් එහෙම කරනවනෙ.”
“ඔව් ඒක එච්චර ඉගෙන ගත්තෙ නැති කෙනෙක් කරනව වඩා බරපතලයි. කොහාම උනත් ඔයා කියන ඒ උගත් අයත් අපට අයිති කරන්න වෙන්නෙත් අපරාධකාරයන්ගෙ ලැයිස්තුවට තමයි.”
“සර් දෙසැම්බර් 26 දින සටහනට සර් ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශයක් එකතු කරගෙන තියෙනවා. ඔන්න දැන් මම ඒක කියවනවා.”
ඒ ඉල්ලීම ඉදිරිපත් කොට එය ක්‍රියාවක් බවට පත් කරන ලද්දේ මිහිදිනී ය.  
“ඔබගේ හදවතෙහි සාමය සහ ආදරය ඇති විට, ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලැබෙනු ඇත.”
මේ ප්‍රකාශය කිරීමෙන් පසු මිහිදිනී අතට ගත්තේ සහන්ගේ ඉංග්‍රීසි දිනපොත යි.
“සර් මේ පොතේ ඔක්තෝබර් 05 වෙනිදත් ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශයක් තියෙනවා. සර් ඒක උපුට ගෙන තියෙන්නෙ Book of Life  කියන පොතෙන්. ඒක හොඳ සාකච්ඡාවකට පදනමක් කියලයි මට හිතෙන්නෙ. මම ඒක දැන් කියවන්න ද?”  
“මට දැනිච්ච විදිහට අපි ප්‍රයෝජන ගන්නව නං අදිකාරම්තුමාගෙ ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශ කියන්නෙම හොඳ සංකථනවලට ප්‍රවේශයක්. ඔයා කියවන්න දුව, ඔයාට දැනිච්ච දැන් අපටත් දනවන්න හදන ඒ ප්‍රකාශෙ.”

If you look into yourself don't you discover for yourself that you are a secondhand human being? It may be rather understand to consider oneself as a secondhand human being. But we are full of others people's knowledge – what somebody has said, what somebody or some teacher or some guru – what the Buddha said, what the Chirst said and so on.


“මට හොඳට මතකයි දුව, ඔය ප්‍රකාශෙ. මම ඕක මුලින්ම ඇහැව්වෙ 1980 ක්‍රිෂ්ණජී ලංකාවට ඇවිල්ලා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදි  Book of Life       කියන මාතෘකාව යටතෙ කරපු දේශනේදි. මම එතකොට උසස්පෙළ ශිෂ්‍යයෙක්. මට නොතේරෙන තැන් අනිත් අයට බාදාවක් නොවෙන විදිහට ළඟ ඉඳන් තේරුම් කරලා දුන්නෙ අපේ අය්යා. පස්සෙ කාලෙක තමයි මගෙ ශාස්ත්‍රපති පශ්චාද් උපාධියට භාරතීය දර්ශන කවුළුවෙන් ක්‍රිෂ්ණ ජී ගැන අධ්‍යයනය කරන කොට එතුමාගෙ දර්ශනයෙ හරය මගෙ මට්ටමට තේරුම් ගන්න උත්සහ ගත්තෙ.”
“ඉතින් සර්, ක්‍රිෂ්ණ ජී කියන හැටියට එතුමගෙ දේවල් අරන් කතා කරන්න යනකොට වෙන්නෙත් අර කියන විදිහෙ සෙකන්ඩ් හෑන්ඩ් හියුමන් බීන් කෙනෙක් වෙන එකමනෙ.”
“ඔයා හරි දරුවො ගොඩක් දුරට අපේ උගත්කම් එක්ක අපි අනුන් උපුටා දක්වන දෙවන පන්තියේ මිනිස්සු බවට තමයි පත් වෙන්නෙ. ඒත් අපි ඒක පිළිගන්න කැමති නැහැ. කොටින්ම ඔක්කොටම කලින් මම පිළිගන්න ඕන ක්‍රිෂ්ණජී කිසිම තරහකින් නෙවෙයි අපි ගැන ආදරයෙන් කරන මේ චෝදනාව සම්බන්ධයෙන් මමත් චුදිතයෙක් වෙනවා කියන එක.”  
“සර්, අපි කෝකටත් කලින් මේ ප්‍රකාශය ගැන පැහැදිලි අදහසක් ඇති කරගෙන ඉම්මු ද?”
“එහෙමනං ඉතින් ඒක කරන්න ඕනෙ අපේ මේ ඉංග්‍රීසිකාරි මිහිදිනීම තමයි. දුව ඔයා කරනව ද මේක දිහා බලාගෙන මේකෙ පැහැදිලි නිරවුල් පරිවර්තනයක්. මොකද ඒක අපට වැඩිය ප්‍රයෝජනවත් වේවි, මේ ගැන කරන සාකච්ඡාවෙදි.”
“සර්, මේකට මම පරිවර්තනයක් කරන්න අවශ්‍ය නැහැ. ඇයි අදිකාරම්තුමා මේ ප්‍රකාශය ඇතුළත් ඒ මුළු දේශනේම සිංහලට දාලා තියෙනවනෙ 1985 දී.”  
“පොඩ්ඩක් ඉන්න එහෙනං අපි ඒක ගම්මු. මගෙ ළඟ තියෙනවා ඔයා කියන ඒ පොත.”
මෙසේ කියා සුළු මොහොතකින් සහන්, ඔබේ පොත නමින් මුද්‍රිත ඒ පොත ගෙනැවිත් එහි අදාළ පිටුව ද පෙරළා එය පත් කෙළේ මිහිදිනී අතට යි.
සහන් ආචාර්යවරයාගේ ඉල්ලීම පරිදි අනතුරුව මිහිදිනිය විසින් කරන ලද්දේ ඒ සිංහල අනුවාදය මෙසේ ඉදිරිපත් කිරීම ය.   
“ඔබ කිසිකලෙක තමා දෙස ගැඹුරට බලා නැති හෙයින් ඔබ එසේ සිටිනවා වන්ට ඇති. එහෙත් ඔබ ඔබ දෙසම බැලුව හොත් ඔබ ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති මනුෂ්‍යයෙකු බැව් ඔබට පෙනෙනවා නොවේ ද? එසේ පෙනීම අමිහිරි වන්ට පුලුවන. එහෙත් අප පිරී සිටින්නේ අනුන්ගේ දැනුමෙන් ය. වෙන කෙනෙකු කිවූ දෙයින් ය, යම් ශාස්තෘවරයෙකු හෝ ගුරුවරයෙකු හෝ කිවූ දෙයින් ය, බුදුන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේ හෝ වෙන කිසිවෙකු කිවූ දෙයින් ය.”
“හැබැයි සර්, ක්‍රිෂ්ණජී මේ කියන්නෙ ශාස්තෲන් වහන්සේලාට හරි ගුරුවරුන්ට හරි සවන් දෙන්න එපා කියන එක නේද?”
“ඔව් ගඟුල් ඔයා හරි. කිසියම් දහමක තියෙන හරය දකින එකයි, දහම නොදැක වචන මට්ටමින් කියන එකයි දෙකක්නෙ. ඇත්තටම ක්‍රිෂ්ණජී කියපු දේ නෙමෙයි එතුමට වශී වෙච්ච සමහර දෙනා කළෙත් එතුමගෙ ප්‍රකාශ ආයෙ ආයෙ කියන එක හරි ලියන එක හරි. ඇතැම් වෙලාවකට ඒ චෝදනාව මටත් අදාළ වෙනවයි කියලයි මට හිතෙන්නෙ. වෙලාවකට ක්‍රිෂ්ණජී කියනවා අපි ගොඩක් දෙනා සෙකන්ඩ් හෑන්ඩ් නෙමෙයි තර්ඩ් හෑන්ඩ් හියුමන් බීන්ස්ලා තියලා. ඇයි වෙලාවකට අපි කරන්නෙ කෙනෙක් කියපු දෙයක් තව කෙනෙක් කිව්වට පස්සෙ තුන්වෙනි වතාවට කියන එකනෙ.”  
“සර්, ඇතම් විද්වතෙක් ඉන්දියානු දර්ශන හෙළා දැකලා ක්‍රිෂ්ණජී විතරක් ඉහළට අරන් කතා කරපු අවස්ථා තියෙනවා නේද?”
“ඔව් මිහිදිනී, ඒක ක්‍රිෂ්ණජී ගැන සමහර දෙනා කරන වැරදි කියවීමක්. මට පුළුවන් ඒකට එතුමගෙ වචනවලින්ම උත්තරයක් දෙන්න. දවසකදි conditioning mind  ගැන, තව විදිහකට කිව්වොත් කාලයක් තිස්සෙ විවිධ අදහස්වලින් මතවලින් තත්ත්වාරෝපිත වෙන අපේ මනස් ගැන කතා කරමින් එතුමා එන්නෙ ඉන්දියානු මනස ගැන කතා කරන්න. ඒ වෙලාවෙ ඒ සභාවෙ හිටපු කෙනෙක් අහනවා, ඉන්දියානු මනසත් තත්ත්වාරෝපිතයි නේද කියලා. ඒකට උත්තර දෙමින් එතුමා කියන්නෙ, උපනිෂද්වලින් බුදුන් වහන්සේගෙ ඉගැන්වීම්වලින් යුක්ත මහා ශ්‍රේෂ්ඨ දේ තැන්පත් කරගත්ත ගබඩාවකට ඉන්දියාව සමාන කරන්න පුළුවන් කියලයි. ඒ වගෙම එතුමා අර ප්‍රශ්නෙට උත්තර දෙන්නෙත් ප්‍රශ්නයකින්. ඒ තමයි වසර පන්දහසක් තිස්සේ බුද්ධ මනසින් පෝෂිත ඉන්දියානු මනස තත්ත්වාරෝපිත විය හැකි ද කියන ප්‍රශ්නෙ.”  
“ඒක සර් වෙනස්ම කතාවක්නෙ. ක්‍රිෂ්ණජී වගෙ චින්තකයෙක් කරයි කියලා හිතන්න බැරි කතාවක්නෙ.”
“නෑ ගඟුල්, ක්‍රිෂ්ණජී ඒ ප්‍රකාශෙ කරලා තියෙනවා. ඒක අපිට දෙන්නෙ එතුමා ළඟින් ඇසුරු කරපු, එතුමාගෙ දේශන ලේඛන එකතු කරපු, එතුමාගෙ ජීවන වෘත්තාන්තය ලියපු පුපුල් ජයකාර් මැතිනිය. මම ඒ ප්‍රකාශය ගත්තා මගෙ ක්‍රිෂ්ණමූර්ති සහ භාරතීය දර්ශන පොතේ සමාලෝචනයටත්.”
“ඉතින් සර්, අපි ඒකත් අපේ සාකච්ඡාවට වගෙම අපේ ලියවිලිවලටත් එකතු කරමුකො.”
ගඟුල්ගේ ඉල්ලීම පරිදි ඒ කෘතිය ගෙනැවිත් මිහිදිනී අතට දුන් සහන් පැවසුවේ එහි සමාලෝචනයට එක් කොට ඇති අදාළ පාඨය කියවන ලෙස ය. දැන් ඔබට මිහිදිනියගේ කටහඬින් අසන්නට ලැබෙන්නේ ක්‍රිෂ්ණමූර්තීන්ගේ ඒ ප්‍රකාශය යි.  

"…… Do you see what I am saying? It is not a geographical question. I am talking about the Indian mind that has produced the Upanishads, the Buddha. India has been the store of something very very great.

…… So I am asking, is the mind of India-not my mind or your mind, but the mind that has evolved through five thousand years, the mind of the Buddha – can that mind ever be conditioned ? "

“සර්, ක්‍රිෂ්ණජීගෙ මේ ප්‍රකාශෙ අපිව කැඳවන්නෙ වෙනම තැනකටනෙ. ඇත්තනෙ සර් කතාව. බුදුහාමුදුරුවො පහළ වෙන්නෙත් ඉන්දියාවෙ, ජෛනමහාවීරතුමත් එහෙ. ඒ වගෙම පසුකාලීන චින්තකයන් රාශියකටත් ඒ රට උරුමකම් කියනවා. කොටින්ම ක්‍රිෂ්ණජීත් ඉන්දියාවෙනෙ. ඒක නිසා වර්තමාන ඉන්දියාවෙන් අපට දැන් වෙන හොඳ නරක ගැන හිතලා මේ මහකාරණේ අමතක කරන එක වැරදියි.”
“ඔයා හරි දුව, ඔතනින් පස්සෙත් මම ක්‍රිෂ්ණජී වගෙම තවත් ගත්ත විවිධ උද්ධෘත ඇති. ඒවා පස්සෙ කාලෙක ඔයගොල්ල ප්‍රයෝජනයට අරගෙන ලෝකයටත් දෙන්න. ක්‍රිෂ්ණජීගෙ අර ප්‍රකාශෙන් පස්සෙ ඉංග්‍රීසි දිනපොතේ වෙන උද්ධෘතවලට යන්නෙ නැතුව ඒ දිනපොතට විරාමයක් දෙමු.”
“එහෙනං සර් දැන් අපි සංස්කෘත දිනපොතට යමු ද, දෙන්න ද ඒක සර්ගෙ අතට.”
“ඒක මගෙ අතේ නෙමෙයි ඔයාගෙ අතේ තියෙනවටයි මම කැමති. කාරණා දෙකක් නිසයි, මම එහෙම කියන්නෙ. එක, අපි නවතින තැන ඉඳලා වඩා හොඳට මේ ගමන යන්න පුළුවන්කම - වාසනා ගුණය තියෙන්නෙ නව පරපුර නියෝජනය කරන ඔයගොල්ලන්ට. දෙවෙනි කාරණේ තමයි ඔයත් සංස්කෘත හදාරපු කෙනෙක්. දැන් ඔය පොතේ මොකක් හරි හොඳ ප්‍රකාශයක් තියෙනවනං ඒක මතු කරන්න මන් අවශ්‍ය නැහැ. ගඟුල්ටම පුළුවන් ඒ වැඩේ ලස්සනට කරන්න.”
“ඔන්න අපේ සහන් සර් ඔයාට දැන් පවරා දීමක් තමයි කළේ. ඔන්න සංස්කෘත ප්‍රකාශ මතු කරලා විතරක් මදි. ඒවයෙ අර්ථත් මට කියලා දෙන්න ඕනෙ ඔයා.”  
“එහෙනං මට පැවරුම් දෙකයි සර්ගෙ පැවරුමයි ඔයාගෙ පැවරුමයි. මන් උත්සහ කරන්නන්කො ඒ දෙකම මට පුළුවන් විදිහට ඉෂ්ට කරන්න. දැන් මට හිතාගන්න බැරි මන් කොතනින්ද පටන් ගන්නෙ කියන එක.”
“ඇයි ගඟුල් සර් එහෙම කියන්නෙ.”
“ඇයි කියන්නෙ මේ දිනසටහන් අතර තියෙනවා අපටත් වැදගත් වන සර් ලියපු ජීවන සංසිද්ධි. ඒ වගෙම මහාකවි කාලිදාස - ශුද්‍රක වගෙ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගෙ නිර්මාණ. ඉතින් මම කොතනින් ද මේකට ප්‍රවේශයක් ගත්නෙ.”
“ඉතින් සර් ඔයාට නිදහස දීලනෙ තියෙන්නෙ කැමති තැනකින් අරන් කතා කරන්න.” 
“එහෙමනම් මම කැමතියි, සර්ගෙ සංස්කෘත දිනපොතට සර් අ.ග. සි. කාරියවසම් මහත්තය සම්පාදනය කරපු ප්‍රභාදේවී කියන පොතට ඇතුළත් කරලා තියෙන උදෑසන දෙවඟන ගැන ලියැවෙච්ච සංස්කෘත ගීතෝක්තියකින් පටන් ගන්න. ඍග්වේදෙ උෂස් නමින් හැඳින්වෙන උදා දෙවඟනටම තමයි මිහිදිනී ප්‍රභාදේවී කියලා කියන්නෙ. තමන්ට උදෑසනක් වගෙ දැනෙන, ජීවිතයට ඇසක් දෙන, ජීවය ප්‍රදානය කරන, හදවත විකසිත කරවන ගැහැනියකට මේ ගීතය පූජෝපහාරයක්. මේකෙ සිංහල භාෂක සමාජෙටත් ආගන්තුක නැති සදා යෞවනී - චාරුදේහිනී - බුද්ධිදායිනී - භාග්‍යකාරිණී වගෙ වචනවලින් ඇයට ආමන්ත්‍රණය කරලා තමයි කවියා ඔබට මගෙ නමස්කාරය වේවා කියලා කියන්නෙ. මම කියන්න ද මේ ගීතෙ එන වචන.”
,කියන්න කියන්න ගඟුල්, හැබැයි මන් දිහා බලාගෙන නෙමෙයි අපේ මේ.....”
වාක්‍යයේ ඉතිරි කොටස සම්පූර්ණ නොකළ සහන් ආචාර්යවරයා සිනාසෙමින් ඒ මොහොතේ බැලුවේ මිහිදිනී දෙස යි.
“අනේ සර් මට විහිලු කරනවනෙ.”
“ඔයා දුව අපට විහිලුවක් නෙමෙයි. ඔයා ඇත්තටම මේ කියන විශේෂණවලින් හඳුන්වන්න පුළුවන් ස්ත්‍රී රත්නයක් විදිහටයි අපට දැනෙන්නෙ. ඒක මට වඩා හොඳින් දන්නෙ අපේ මේ ගඟුල්ම තමයි. දැන් කියන්න ගඟුල් ඔය ප්‍රභාදේවී ගීතය.”
“තමෝනාශිනී නයනකාරිණී
 ජීවදායිනී හෘද්විකාශිනී
 ප්‍රභාදේවී නමස්තේ
පහ මුදුන් සිසාරා - ඔබ කැළුම් දිවෙන  සඳ
සෝ තැවුල් මඳින් මඳ - සන්සිඳී නිවෙයි හද

උදාගිර දිලෙන ඔබ  -     මඳහසින් දිරි ලබමු
ඉසුරුබර සුබ දිනක් - ලබා දෙන මෙන් පතමු

සදා යෞවනී චාරුදේහිනී
බුද්ධිදායිනී භාග්‍යකාරිණී  
ප්‍රභාදේවී නමස්තේ”            
“ඇත්තටම ගඟුල්, ඔය සමස්ත ස්ත්‍රී වර්ගයා පිහිටන්න ඕන තැන කියලයි මට හිතෙන්නෙ. ඔය උෂස් දෙවඟන ගැන ඍග්වේදෙ ගීතිකා රාශියක් තියෙනවා. එයින් මට වැඩියෙන්ම දැනිච්ච එකක අර්ථය විතරක් මම කියන්නම්. ඒක මෙහෙමයි.
පෙරදිගින් ආලෝකය කාන්තිමත් වී අඳුර පරයා ඉදිරියට අවුත් සිටියි. සැබැවින් ම ඒ ආකාශ දියණි වූ උෂස් දෙව් කුමරියෝ බබළන්නාහු ජනයාට මග සලසා දෙත්වා!
“දැන් සංස්කෘත උද්ධෘතත් ඇති. අපි පස්සෙ දවසක 1987 දිනපොත්වල කාට උනත් ප්‍රයෝජන ගන්න පුවළුන සටහන් ගැන කතා කරමු.”
“එහෙනං සර් අපි සර්ගෙ දෙවැනි ලේඛන අත්පිටපත ගැන කතා කරමු ද?”
“මට මතක හැටියට මීට කලින් මොකක් හරි දේකට මම ඔය පොතේ අන්තර්ගතය ගැන කතා කළා. ඕකෙ තියෙන්නෙ 40 ඉඳලා 57 දක්වා තියෙන ලිපි දහ අට. සන්දේශ කාව්‍ය, නීතීඥ, අහිංසක, අසාමාන්‍ය මිනිසා, ආදරණීය විරෝධය, පරවීම, පීඩා, අපූර්ව කියන නම්වලින් තමයි මුල් ලිපි අට එන්නෙ.”  
“සර්, මට පොඩි බාධාවක් කරන්න ඉඩ දෙන්න. මොකක් ද සර් අසාමාන්‍ය මිනිසා ලිපියෙ අන්තර්ගතය.”
“මම හිතන හැටියට ගඟුල්, සාමාන්‍ය මිනිසා ඉන්න තැනින් ඉහළට ගේන්න තමන්ගෙ ජීවිත කාලය පුරා වැඩ කරන ආදරණීය ප්‍රඥාවන්තයන් තමයි ලෝකයට අසාමාන්‍ය මිනිස්සු වෙන්නෙ. බුදුහාමුදුරුවො, ක්‍රිස්තුස් වහන්සෙ වගෙ ශාස්තෘාන් වහන්සේලා විතරක් නෙමෙයි විවිධ යුගවල එහෙම චරිත ලෝකයට එනවා. ඒ ගොල්ලො ලෝකය වෙනුවෙන් වැඩ කළාට තමන්ට ලෝකයෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”
“සර්ට ඔය ලිපිය ලියන්න හේතු වෙච්ච විශේෂ කාරණයක් තියෙනව ද?”
“ඔව් මිහිදිනී, ඔය ලිපිය මට ලියන්න උල්පත උනේ ශරත්චන්ද්‍ර චට්ටෝධ්පාධ්‍යාය ලියපු ශ්‍රී කාන්ත කියන සුන්දර නවකතාව. ඒක සිංහලට පරිවර්තනය කරලා තිබුණෙ අපේ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි කියන විශිෂ්ට පරිවර්තිකාව. ඒකෙ එන තරුණ ඉන්ද්‍රනාථගෙ චරිතය මට මතක් කරලා දුන්නෙ අය්යව. මේ මුළු ලිපියම ලිව්වෙ අය්යව හිතේ තියාගෙන.”
“සර් මේ ලිපියට අරන් තියෙන උද්ධෘත අතරින් මට ගොඩක් දැනිච්ච එක මම කියන්න ද?”
සහන්ගේ නිහඬතාව ඒ කියැවීම උදෙසා ගඟුල්ට දුන් අනුමැතිය විය. ඒ තරුණ කටහඬට සාවධාන ව සවන් දුන් චරිත යුග්මය වූයේ සහන් සහ මිහිදිනිය යි.
ජීවිතයත් මරණයත් අතර සිටිමින් ආත්මාර්ථය අතහැර කටයුතු කිරීමට මේ වයසේ සිටින කෙනෙකුට හැකි වේ ද? කිසි පැකිලීමක් නොමැති ව කවදා හරි මැරෙන්න සිටිනවා යයි කියා සැහැල්ලු ස්වරයෙන් කිව හැක්කේ කීයෙන් කී දෙනාට ද? තමාගේ හදවතින්, නොඉල්ලූ වටින දෙයක් පහසුවෙන් රැගෙන දෙන මොහුගේ හදවත කවුරුන් විසින් කුමන පදාර්ථයකින් නිමා කරන ලද්දේ ද?    
“මම ඔය ලිපිය ගැන තව කතා කරන්නෙ නැහැ. මම කැමතියි මිහිදිනී, ඔයා හරි අපේ සදසි හරි ගඟුල් හරි හසිත් හරි ඔය පරම්පරාවට අයිති වෙන සුදුසු කෙනෙක් හරි මේවා අතට අරන් වැඩ කරනව නං. අන්න ඒ අරමුණෙන් තමයි මම දැන් මේවා ගැන කතා කරන්නෙ. මන්ද අපට ලැබිච්ච මේ කෙටි ජීවිත කාලෙදි කොහොමත් තනි කෙනෙකුට බැහැ මේ ඔක්කොම දේවල් කරන්න.”
“සර්, ඊට පස්සෙ මේකෙ 48 අංකය යටතෙ එන්නෙ කොසොල් සිහින කියන ලිපිය. ඊට පස්සේ ලෝක නිර්මාංසාහාර ව්‍යාපාරෙ තේමා පාඨය වෙන කාටත් ඉඩ දෙමු ජීවත් වීමට කියන ලිපිය තියෙනවා. දෙවියන් හමුවීම සහ පවරාදීම කියන ලිපි දෙක එන්නෙ ඊටත් පස්සෙ. ඊළඟට දිවීම සහ නොදිවීම. ඒකට පස්සෙ සුන්දරත්වයේ හදවත.”
“ඔන්න ගඟුල් ඔහොම ඔයා කියාගෙන යනකොට තමයි මට මතක් උනේ මන් ඔය ලිපි ගැන සටහනක් තියපු තැන. ඒ තමයි ගුරු දියවර දෙක මිහි රැඳි ගඟුල ද මේ පොතට ලියපු හද සටහන.”
“සර්, මේ 54 අංකය යටතෙ තියෙන සංස්කෘත කියන ලිපිය කඳුපාමුල පොතෙත් තියෙනව නේද? ඒ වගෙම ඒක පත්‍රිකාවක් හැටියටත් මුද්‍රණය කළා නේද?”  
“ඔව් ගඟුල්, ඒ වගෙ සැරින් සැරේ පළ වෙච්ච දේවල්වලට ඔයගොල්ලන්ගෙ කාලය අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. මම හිතනවා අපේ මිහිදිනීට පුළුවන් මේකෙ තියෙන ස්ත්‍රී ලිපිය තව විකාසනය කරලා මේකට වඩා හොඳ ලිපියක් ලියන්න. ඒ වගෙම හිරු ලිපිය පාදක කරගෙනත් ඔයගොල්ලන්ගෙන් කෙනෙකුට ලිපියක් හදන්න පුළුවන්.”
“සර්, මේ අත් පිටපතේ එන අන්තිම ලිපිය අපි ජීවත් වන හැටි හරි ද? කියන එකයි. ඒ ලිපිය ගැන සර්ට මොකක් ද විශේෂයෙන් කියන්න තියෙන්නෙ.”
“මන් හිතන්නෙ ඒ ලිපිය අද දවසෙ අපේ මේ සාකච්ඡාවෙ අවසානය සලකුණු කරන්න යොදා ගන්න පුළුවන්. මන් ඒ ගැන විශේෂයෙන් දෙයක් කියනවට වඩා හොඳයි ගඟුල් ඔය ලිපියෙ ප්‍රවේශය ගැන කතා කරන එක.”
“සර් මේ ලිපිය ආරම්භ කරන්නෙ සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමා 1991 අවුරුද්දෙදි මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරපු චෙකොව් සන්ධ්‍යාවෙන්. ඒක හරිම ලස්සන තැනක්. මම පටන් ගන්නංකො ඒකෙන්ම මෙහෙම.
ඔබ අප අතර ඉතා කෙ ටිකාලයක් ජීවත් වී අපගෙන් සමුගත්තේ යැයි කීම මේ සන්ධ්‍යාවේදී අපට කිසිසේත් ම අදහන්න බෑ. අපට දැන් දැන් හැඟෙන්නේ ඔබ නිරන්තරයෙන් ම අප සමග වෙසෙන බව යි.
“සර් මේ වගෙම ලස්සන උද්ධෘතයක් තමයි ඒ පොතෙන් ඊළඟට අරන් තියෙන්නෙත්. අන්න ඒ පාඨය තමයි අර ලිපියෙ මාතෘකාව එක්කත් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නෙ. අපි ඒකත් කියවලම ඉඳිමු.”
මෙන්න මේ කාරණය මතක තියා ගන්න. මට උවමනා කරල තියෙනව හැම කෙනෙක් ම මෙන්න මේ ප්‍රශ්නය තමන්ගෙන් ම අහනව දකින්න. ..... නෝනාවරුනි, මහත්වරුනි! අහන්න තමන්ගේ ම හදවතින් මම මේ ජීවත් වෙන හැටි හරි ද වැරදි ද කියන එක.
“විශේෂයෙන් සුනන්ද සර්ගෙ පොතේ එන ඔය ප්‍රකාශෙ තමයි මට අර ලිපිය ලියන්න උල්පත උනේ. මට හොඳට මතකයි ඔය ලිපිය ලියපු දවස. එදා මගෙ ඥාති සහෝදරයෙක් වෙන ප්‍රමිල අය්යගෙ දුව සමීරා චාරුතරංගී දුවට මම අකුරු කියවපු දවස. එද මම මට හිතිච්ච දේ ලියල ඇති ගඟුල් ඔය ලිපියෙ.”
“ඔව් සර්, සර් එදා ලියනව මෙහෙම. අපි දරුවන්ට කියල දෙන්න ඕනෙ භෞතික අකුරු විතරක් නෙමෙයි ඒ ඉගෙන ගන්න අකුරු අනාගතයෙදි සමාජය තියෙනවට වඩා යහපත් කරවීම සඳහා යොදවන්න කියලා. මොකද මේ වෙන කොට අකුරු ඉගෙන ගත්ත අය යහපතට අකුරු යොදවද්දි අකුරු ඉගෙන ගත්ත තව පිරිසක් ඒ අකුරුම සමාජ අයහපතටත් යොදවන නිසා.”
“මට ඔය දෙන්න කියන්න තියෙන්නෙ මේ ගතව ගිය ජීවිත කාලෙ පුරා මන් මම ඉගෙන ගත්ත සිංහල හරි සංස්කෘත හරි ඉංග්‍රීසි හරි මොන අකුරක් හරි යොදා ගත්තෙ මම විශ්වාස කරන සමාජ යහපත වෙනුවෙන්. ඒ අකුරුවලින් ලියපු සටහන් දැන මම ඔයගොල්ලන්ට පවරල දෙන්නෙ ඔය ගොල්ලන් ඒ සමාජ මෙහෙවර මටත් වඩා හොඳින් ඉස්සරහට ගෙන යයි කියන දැඩි විශ්වාසෙ මට තියෙන නිසා.”  
“සර්, මාත් මිහිදිනිත් දෙන්නම මේ වැඩේට එකතු උනේ බොහොම කැමත්තකින්. සර් අපි ගැන තියපු විශ්වාසෙ කවදාවත් අපෙන් කඩ වෙන්නෙ නැහැ කියන වචන ටික තමයි මට අපි දෙන්න වෙනුවෙන්ම කරන්න තියෙන්නෙ.”
“එහෙනම් මට මෙතෙන්ටත් සම්බන්ධ කරන්න වෙන්නෙ අය්ය කියපු දෙයක්ම තමයි. එයා පොඩි සටහනක් ලියල තිබුණා පෘථිවි ගීතය කියලා මෙන්න මෙහෙම.  මෙතනින්
මම ඔබ වෙමි - ඔබ මා වනු මැනවි
දැන් මේ එළඹිලා තියෙන්නෙ මම ඔබ වීම කෙසේ වෙතත් ඔය ගොල්ලන්ගෙ වැඩ කරන අතරෙ මන් මෙතෙක් කරගෙන ආපු වැඩත් කරන එක.”
“සර් අපි තවදුරටත් අද වැඩ කරනව ද? එහෙම නැත්තං අදට මෙතනින් නවතිනව ද?”
“ඔය දරුවො දෙන්නට අපේ අද දවසෙ නැවත්ම සලකුණු කරන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නෙ මන් කිව්වත් නොකිව්වත් ඔය දෙන්න කොහොමත් කරන දෙයක්. මම කෝකටත් ඒක මගෙ වචන මට්ටමින් කියන්නම්.
ගඟුල් - මිහිදිනී, ලෝකයෙ කඳුළු තියෙන තැනට ඔය දෙන්න ස්නේහයේ රූපයෙන් යන්න. අඳුර තියෙන තැනට පහනක් වෙන්න. දාහයෙන් දැවෙන තැනට වැසි පොදක් වෙලා එන්න. සුවඳ අහිමි වෙච්ච තැනට මල් සුවඳක් වෙලා යන්න.
කිරට අඬන තැනට අම්මා කෙනෙක් වෙන්න. තාත්තා නැති තැනට පිතෘ ප්‍රේමය අරගෙන යන්න. කෙනෙක් සිසිලස හොයන කොට එතෙන්ට මුදු සුළඟක් වෙලා යන්න. මාව අමතක කරන්න. ඒත් මම නිතර නිතර කතා කරන ඒ අහිමි වෙච්ච හදවත ජීවිතයට සමීප කරන් ඒ හදවතින් ලෝකයට එන්න.”
“සර් මේ කතා කරන්නෙ 1999 අවුරුද්දෙ සර් ලෝකයට කවියෙන් කියපු දේම මිස වෙන දෙයක් නෙමෙයි. ඔය අදහස තියෙන කවි දෙක තියෙන්නෙ මගෙ හිතේ ගැඹුරුම තැනක. අපි ඒ කවි දෙකෙන් මේ සාකච්ඡාව අවසාන කරමු.”
මෙසේ සංකථන සමාප්තිය සිදු කරන ලද්දේ ගඟුල් විසිනි.

කඳුළු මුදන විට ලොව, සෙනෙහස වෙසින් එමි
අඳුර නැගෙන විට     මම පහනක් වෙමින් එමි
සිරුර දවන විට වැසි දිය පොද       අරන් එමි
සුවඳ අහිමි විට මල් සුවඳක් වෙසින්         එමි

කිරට අඬන විට අම්මා කෙනෙකු ලෙස      එමි
පියෙකු සොයන විට පිය සෙනෙහස වෙසින් එමි
සිසිල සොයන විට සුළඟක       දැවටෙමින් එමි
මහද අතැර අහිමි ව ගිය            හදවතින් එමි

Friday, August 28, 2026

153. ගුරු දියවර 58 - සමන් චන්ද්‍ර රණසිංහ

                            හෘදයහාරී චීනචාරිකාවේ තවත් සතියක්



දයාබර ගඟුල් - දයාලු මිහිදිනී,

ඔබ දෙදෙනාට පොරොන්දු වූ පරිදි දැන් මම අපගේ හෘදයහාරී චීනචාරිකාවේ තවත් සතියක් ගැන ලියනවා. ඒ කලින් වගේ ම චීන සාහිත්‍ය ග්‍රන්ථ ද අදාළ පරිදි සම්බන්ධ කර ගනිමින්. අද දවසේ මම පළමුවෙන් ලියන්නේ අපේ ගමනේ පස්වැනි දිනය ගැන යි. අද උදේ ආහාරය ගත්තා හෝටල් පරිශ්‍රයාසන්නයේ පිහිටි එළිමහන් ආපනශාලාවකින්. මෙහෙ නිර්මාංසාහාර අපේ සුසිල්ට හුරුයි. අපේ කණ්ඩායමෙන් වහා ඒවාට පුරුදු වන්නේ ඔබ මිතුරු හසිත්. මෙහෙ පලතුරු නැවුම්. නිර්මාංසික විදේශිකයකුට ඒවා ආහාර පිණිස ගැන්ම ද තමන් ඉදිරියේ ඇති හොඳ විකල්පයක්. චීනයේ ඉගෙන ගැන්මට පැමිණි අපේ ආදිශිෂ්‍යයන් වැඩි දෙනෙක් මුලින් අනුගමනය කොට තිබෙන්නේ එය යි. අද දවසේ අපට ද එම අද්දැකීම විඳ ගැන්මට ලැබුණා.

අද දවසේත් අපගේ රථාචාර්ය වන් සොහොයුරාගේ උදේ රැඳි සිනා මුහුණ හවස වෙන් ව යන විටත් වෙනස් උනේ නැහැ. තමන්ගේ යහපත් හැසිරීම අනාගතය උදෙසා වන ආයෝජනයක් විය හැකි ය යන අවබෝධය කෙනෙකුට ඇති උනොත් ඒ නිසා ම ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් රටා සාධනීය ලෙස වෙනස් විය හැකි යි. ඔබ දෙදෙනා ම ඔබේ ශිෂ්‍යයන් සමග මේ ගැන කතා කරන්න. එබඳු සංකථන විෂය ඉගැන්වීමටත් වැදගත් බව ඔබ දෙදෙනා ම දන්නවා. ඒ නිසා ම එබඳු දෙයකට ප්‍රවේශයක් කොට ගත හැකි චීන අධ්‍යයනය නම් පොත ගැනයි, දැන් මේ කියන්නේ. එහි ප්‍රධාන සංස්කාරකවරයා මහාචාර්ය හව් වේමින්. මා විද්‍යාරත්නයේ උගන්වද්දී ශිෂ්‍යයකු ව සිටි, දැන් පේරාදෙනිය සරසවියේ ආචාර්ය මණ්ඩල සාමාජිකයකු වන ආචාර්ය පූජ්‍ය මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේ ද එහි සංස්කාරකවරයෙක්. ඒ වගේ ම අපේ සුසිල් විජේරත්න ද සෝදුපත් බැලීමෙන් ඊට සහාය වී තිබෙනවා. එහි ලිපි 18ක් අන්තර්ගත යි. ඒවා පාශියන් හිමි සමරු ලිපි, චීන - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා, දර්ශනය සහ ආගම, සාහිත්‍යය සහ කලාව, නව මතවාද සහ අතිරේක ලිපි සහ චීන භාෂාව ඉගැන්වීම යන ප්‍රධාන ශීර්ෂ හයක් යටතට ගොනු කොට තිබෙනවා. මෙහි අපට හුරුපුරුදු පාහියන් හිමි යන නම වෙනුවට භාවිත කොට ඇත්තේ පාශියන් හිමි යන්න යි. මන් හිතන්නේ ඒ එය නිවැරදි චීන උච්චාරණය නිසා වන්නට ඇති. උන් වහන්සේගේ ඓතිහාසික කාර්යභාරය සහ දායකත්වය ගැන හව් වේමින් සහ ටී. ජී. කුලතුංග යන මහාචාර්ය දෙපළත් ආචාර්ය මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේත් ශාස්ත්‍රපති පරණගම ඤාණවිමල ස්වාමීන් වහන්සේත් ලිපි සම්පාදනය කොට තිබෙනවා.

මේ පොතේ ද්විතීය භාගයේ එන ලිපි අතර සම්මානිත මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ ලේඛනයක් ද විද්‍යමාන යි. පේරාදෙනිය සරසවියේ සේවය කළ මහාචාර්ය එම්. ඩී. ගුණතිලකයන් විසින් තාඕ දහම ගැන ලියු කෙටි ලිපියට ද මගේ විශේෂ අවධානය යොමු වුණා. එය පමණින් කෙටි, ගුණයෙන් විසල් ලිපියක්. මම කැමතියි ඉන් මා උකහාගත් දෙය මගේ වචනවලින් මෙසේ ඔබ දෙදෙනා සමග බෙදා ගැන්මට.  

තාඕ දහමෙහි රසය කඳු මුදුනකින් ගලා බස්නා සිසිල් දිය දෝතකටයි සමා කොට ඇත්තේ. එයට බාධාවක් නැහැ. වෙනස්වීමක් නැහැ. එය සමාන කළ හැක්කේ පැහැදිලි සුළඟට යි. එහි ව්‍යාජත්වයට ඉඩක් නැහැ. තාඕ දහමට අනුව බලන විට ඊයේ අද සහ හෙට කියා අප බෙදන කාල එක සමාන යි. කුහුඹුවා මෙන් ම රජු ද එක සමාන යි. තාඕ දහම තුළ ඉතා ඈත අතීතය මෙන් ම මේ දැන් ගෙවී ගිය මොහොත ද ගැබ් ව පවතිනවා.

ගුණතිලක සර් ‘චුවං-ත්ස’ නම් ග්‍රන්ථයේ තාඕවාදී ඍෂිවරුන් ගැන වන හැඳින්වීමක් ද මේ පොතට එකතු කොට තිබෙනවා. එහි කියවෙන අන්දමට ඒ ඍෂිවරුන් අනුගමනය කරන්නේ අහසේ සහ පොළොවේ ස්වාභාවික මාර්ගය යි. කරුණාවේ මෙන් ම සාධාරණයේ ද නොගැලෙමින් ඔවුන් තම අධ්‍යාත්මය වර්ධනය කරගන්නවා. නිවුණු බව, කිසිවක් ගණන් නොගන්නා බව, නිහඬ බව, ශාන්ත බව, හිස් බව සහ අක්‍රියාව ඔවුන් වෙතින් විද්‍යමාන යි. කිසිම දේකින් මේ ඍෂිවරුන් කම්පාවට පත් වන්නේ නැහැ. ඔවුන් ගතානුගතික බුද්ධිය සහ අතීතය පිළිබඳ සිය ලුමතක සටහන් අතහැර දමනවා. ඔවුන්ගේ ජීවිතය ගලා යාමක් පමණ යි. ඔවුන්ගේ මරණය හඳුන්වා ඇත්තේ නිසල විවේක ගැනීමක් විදිහට යි.

දහම හා බැඳුණු අප්‍රමාණ සෞන්දර්යයක් ලෝකයට ප්‍රදානය කොට නිසල විවේකයට පත් සහෘදය යති රුවනක් ඔබට අපට ලෝකයට අහිමි වුණා මේ නොබෝදා. ඒ ගැනත් යම් සඳහනක් කරන්නට මම කැමතියි. ඒ ඔබ අප දන්නා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ යි. මට උන්වහන්සේ පළුමුවෙන් හමු වන්නේ 1981 වර්ෂයේ දී යි. එතකොට උන්වහන්සේට අවුරුදු තිහක් තිස්එකක් පමණ වන්නට ඇති. මට අවුරුදු විස්සයි. ඉන්පසු සාහිත්‍යය හා බැඳුණු සංසිද්ධිවලදී කීපවාරයක් ම අපට උන්වහන්සේ හමු වී තිබෙනවා. ඇසුර පහසු ප්‍රසන්න යතිවරයෙක් කියන වචනයි මට උන් වහන්සේ ගැන කියන්නට තිබෙන්නේ. පසුගිය දිනයක ඔබේ කලණ මිත් හසිත් සන්නිවේදිකා පවිත්‍රා කේශිනී නානායක්කාරගේ ආරාධනය පරිදි සිද්ධාර්ථ හිමියන් පිළිබඳව ඇයත් සමග හොඳ වැඩ සටහනක් කළා උන් වහන්සේගේ ගීතෝක්ති ද නිදසුන් වශයෙන් දක්වමින්. එහිදී ඔහු නිදසුන් වශයෙන් ගත් එක් ගීතයක වචනත් ඒ ගැන හසිත් කළ විවරණයත් මට වඩාත් දැනුණා. ඒ ගීතයේ මුල් වචන කීපය ලියා හසිත් දැක්වූ අදහස ද කෙටියෙන් කියන්නම්.

හදවත දෙව්රම් වෙහෙරක් වේවා

දෙනයන මනරම් පියුමක්  වේවා

හසිත් මේ ගීතය හැඳින්නුවේ පෘථග්ජන සෞන්දර්යයේ මනා ප්‍රකාශනයක් වශයෙන්. එදා ඔහු පැවසුවා පාරිලෙය්‍ය වනයේ සිට ගලා ආ බුදුන් වහන්සේ සීතල දම් දියදහර සමග සිංහරාජ අඩවියේ උපන් මේ සොඳුරු යතිරුවන සිංහරාජ මහා වනපෙතින් ගලා එන සීතල දිය දහර මුසු කරන බව. ගඟුල් - මිහිදිනී, ඔබ දෙදෙනා මේ පෘථග්ජන සෞන්දර්යය මනාව අවබෝධ කොටගත් ඒ ගැන ශිෂ්‍ය ප්‍රජාවට කියාදෙන සුයුග්මයක් නිසයි හසිත්ගේ කතාවේ මේ තැනම මට උපුටා දක්වන්නට සිතුණේ.

අපි එක් ව ප්‍රාර්ථනා කරමු මෙහෙම.

අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරම නිවනින් නිවී සැනහේවා!   

දැන් අපි යළිත් අපේ ගමන ගැන කතා කරමු.

අද උදේ වරුවේ අප ගියේ ජජානයේ සමුරායිවරුන් සිහිපත් කරවන රණකාමිත්වයේ වේවා අත්‍යහංකාරයේ වේවා අතීත රජ බිම්කඩකට යි. පෙරදිග චින්තන විධි අධ්‍යයනය කරන ඔබ මිතුරා හසිත් එතැන දී එක්තරා ප්‍රකාශයක් කළා. ඒ, මේ ප්‍රදේශය පාලනය කළ පාලකයන් දෙදෙනකු සිය පාලනය හසුරුවා තිබෙන ආකාර නිරීක්ෂණය කිරිමෙන් පසුවයි. එක් පාලකයෙක් තමන්ගේ මරණයෙන් පසු සිය දේහය තැන්පත් කරන ස්ථානයේ තමන් ජීවත් ව සිටි කාලයේ මෙන් අශ්ව හමුදාවල සෙබලුන්ගේ අනුරූ හදවනවා. එසේ හැදූ සෙබල අනුරූ පමණක් 500 ක් තිබෙනවා. තවත් කෙනෙක් සිය ජීවිත කාලය පුරා ජන සුභසිද්ධිය උදෙසා වැඩ කොට නිහඬ ව ම ලෝකයෙන් නික්ම යනවා. අද අපි දැක්කේ මහත් සේ සද්ද කොට නික්ම ගිය පාලකයාගේ වැඩ යි. දැන් මම ලියන්නම් හසිත්ගේ ප්‍රකාශය.

“එක පාලකයෙක් තමා සැඟවී චීන දේශයේ යහපත පිණිස කටයුතු කරද්දී තවත් රජෙක් තමාගේ ආත්මාර්ථකාමී ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිය තනතුරු සහ බලය පාවිච්චි කොට තිබෙනවා.”

අපට මෙය රාජ්‍ය බලය සුභාවිත කිරීම සහ අවභාවිත කිරීම යන කාරණා දෙක සම්බන්ධයෙන් නිදුසුන් කළ හැකි යි.

විශාල පිරිසක් මේ ස්මාරක නැරඹීම සඳහා එනවා. ඇත්තම කියනවා නම් මට මෙතන දැනුණේ ම නැහැ. ඒත් ඉතිහාසය ඉගෙන ගන්නා අයට අතීත පාලක මනස්වල ගති ලක්ෂණ ගැන අධ්‍යයනය කරන අයට මේ නැරඹුම් වැදගත්. ඒවා වර්තමානයට අයත් අපගේ ආස්ථාන වඩාත් යහපත් කර ගැන්ම සඳහා භාවිතයට ගත හැකි යි.

මෙතැන මග පෙන්වන චීන ජාතිකයන්ගෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි භාෂාවෙන් සිය සන්නිවේදන කාර්යය සිදු කළ හැකි යි. දැන් මුරිසි දිවයිනේ ජීවත් වන ඉන්දියානු යුවළක් ද අපට මෙතැන දී දැන හඳුනා ගැන්මට ලැබුණා. ඒ අනිල් සහ අනීටා යි. අදිකාරම්තුමන්ගේ පළමු පියවරට අපේ රවී කළ ඉංග්‍රීසි පරිවර්තනය වන ත්‍සරිඑ ීඑැච පොත ද ඔවුනට පරිත්‍යාග කළා එහි අන්තර්ගතය ගැන කියා.  

අප දිවා ආහාර ගත් තැන සිටි සේවිකාවන් දෙදෙන ද අප සමග හිතවත් උනා. අපේ ෆුඩ් සිටියකට සමාන තැනකට ගොස් අපට අවශ්‍ය සහල් කිරි ආදිය මිලදී ගත්තා. ඒ හැම තැනක දී මුදල් භාවිතය වෙනුවට කරන්නේ කිව් ආර් කේත භාවිතයෙන් අදාළ ගෙවීම සිදු කිරීම යි.  

අනතුරුව අපි ගියේ චීන ගම්මානයක් වෙත යි. එක් ගෙදරක් ළඟ නැවතී ඔවුන් සමග හිතවත්කම් ඇති කොට ගත්තා. සුසිල් තමයි අප ගැන විස්තර පවසමින් අපගේ භාෂා පරිවර්තකයාගේ කාර්යය සිදු කළේ. ඒ ගෙදර පරම්පරා තුනකට අයත් අය සිටියා. තරුණ මවක් ඇගේ දෙමවුපියන් සහ දරුවන්. තවත් තමන්ගේ සීයා සමග සිටි චීන සිඟිත්තෙක් ද අප සමග සුහද උනා. අපි ගොවිපලවල් දෙකකටත් ගියා. එක ගොවිපලක වැඩි වෙලාවක් සිටියා, එතැන සත්ත්ව පාලනය නොකරන තැනක් නිසා. ඒ ගොවි යුවළ ප්‍රසන්න යි, සුහදයි  අප සමග ඡායාරූපත් ගත්තා. මම පැත්තක ඉඳගෙන සිංහලෙන් සටහන් ලියන විට ගෙවිලිය ඉතා ඕනෑකමින් ඒ අකුරු දෙස බලා සිටියා. තමන්ගේ වැඩ කටයුතු කර ගැන්ම සඳහා ඔවුනට කැබ් රියක් තිබෙනවා. කිසියම් පලා විශේෂයක් තමයි ඒ ගොවිබිමේ අපි වැඩි වශයෙන් දුටුවේ. අප වෙන් ව එන විට අප වෙනුවෙන් ම ඒ පලා කොටසක් නෙලා අපට දුන්නා.

චීන ගම්මාන අද්දැකීම සොඳුරු යි. අප කිසිවකුට රුසියානු ගමක අද්දැකීම් ලද අපේ ඔරුවල බන්දු ජ්‍යෙෂ්ඨ මිත්‍රයා ලද අද්දැකීමට සමාන දෙයක් නොතිබුණත් ඔහු රුසියානු ගම්මානයක දී යන මාතෘකාව යටතේ ලියූ හෘදයංගම කවි පෙළක එන එක් කවියක් ද මෙහි සටහන් කරනවා. එය කවදා හෝ රුසියානු ගමක් ගැන අද්දැකීම් ලබද්දීත් අපට සිහි වේවි.

මළහිරු මඬල මගෙ හදවත  පලාගෙන 

ගනඳුරු දෙවන විට මුළු ගම වසාගෙන 

නීනා කඳුළු සලමින්     ඉකි ගසාගෙන

දොරකඩ සිටී මා යන මග  බලා ගෙන

යම් දවසක අපේ ප්‍රවීණ පරිවර්තක මල්රේණු කස්තුරිරත්න රුසියානු භාෂා ප්‍රේමියා සමග රුසියාවේ සංචාරයක් කිරීමේ අදහස ද තිබෙනවා. එසේ යායුතු රටවල් කිහිපයක් ගැන ම අදහසක් තියෙනවා. ඇත්තට ම අපේ චීන සංචාරය අහඹුවක්. අපි අපේ අනුර - මල්ලිකා සහෘදය යුවළ සමග යාමට සිතා සිටියේ ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශය ආවරණය වන චාරිකාවක යි. වර්තමාන ලෝක තත්ත්වය අනුව එය වෙනස් උනා. මතු දවසක එය කරනවා. මේ වූ වෙනසටත් අපි කැමති යි.

ගංගාවක් දැක අපි එතැන මඳ වෙලාවක් නතර උනා. හොඳ ඇපල් දැක මිලදී ගත්තා. ඒවා නැවුම්. අද දවසේ අපේ තාවකාලික හෝටල් ගෙදර අපේ අය බතක් උයනවා. ඇත්තට ම අපේ ගෝචර භූමියට අයිති ආහාර තමයි අපට වැඩියෙන් දැනෙන්නේ.  

චීන චිත්‍රපටයක් බැලුවා. ලංකාවට දුරකතන ඇමතුම් ගත්තා. මෙහෙන් අපේ රටට ගෙන යායුතු දේවල් ගැන සාකච්ඡාවක යෙදුණා අපේ ගෙදර පිරිස. හෙට දවසේ ගමන සැලසුම් කළා. හෙටත් අපේ රථාචාර්ය වන්නේ වන් සහෘදයා යි. ශ්‍රී ක්‍රිෂ්ණ රථාචාර්ය සංකල්පය ගැන සුසිල් ලවා ඔහුට කිව යුතු යි. සන්නිවේදන ගැටලුව නිසා මට එය කළ නොහැකි යි.

චීනයේ මහලු අය දුටුවේ අඩුවෙන්. එය පවත්නා තථ්‍ය තත්ත්වය නම් එහි රහස අධික ධූමපානය සහ මස් කෑම ද? විශේෂයෙන් මේ තත්ත්වය වර්ධනය වුවහොත් අනාගත චීන සමාජය පිළිකා රෝගීන් බහුල රටක් බවට පත් වේවි. මේ සා දියුණු විද්‍යා සහ තාක්ෂණික ඥානයක් ඇති රටක් මෙහි ඇති බරපතලකම අවබෝධ කොට නොගන්නේ ඇයි? බැලූ බැල්මට අපට කිසියම් ආධ්‍යාත්මික සංවර්ධනයක් ද ඇති බව පෙනෙන මේ රට එවන් තැනකට වැටීම සංවේගජනක යි.  

චීන භාෂාව සංකීර්ණ යි. රූපාක්ෂර රැස යි. ඉගෙනීමට දුෂ්කර යි. ඉංග්‍රීසි භාෂාව ජනප්‍රිය වන්නේ එහි අක්ෂර ගණන අකුරු 26 කට සීමා වීමත් ඒ නිසා ම ඒ ඉගෙනීමට පහසු වීමත් නිසා විය හැකි යි.

අහේතුක ව අය්යා 1979 දී 2000 වර්ෂය සඳහා ඇඳ තිබූ විහඟ ගීතය දින දර්ශනය සිහිපත් වුණා. ඇතැම් චීන සිතුවමක් දකින විට අපට සිහිපත් වන්නේ එය යි. එය සාමයේ පණිවිඩය උපරිමාකාරයෙන් සංකේතවත් කරන සිත්තමක්. ඒ වගෙම යුද පිණිස නික්ම යනු රිසි පුතුට ඔහුගේ අම්මා ආශිර්වාද නොකිරීම ගැන 1984 වර්ෂයේ දී මා ලියු සටහනක් මේ මොහොතේ සිතට එන්නේ එහි ගැබ් ව ඇත්තේ ද සාමයේ පණිවිඩය නිස යි. මෙය කලින් වතාවක ගුරු දියවරකට මුසු කළා ද නැද්ද යන්න ගැන පැහැදිලි මතකයක් නැති නිසා ඒ ගැනත් සඳහනක් කරන්නම්. පුතෙක් යුද පිණිස යාම සඳහා නික්මීමට පෙර සිය මව හමුවට පැමිණ ඇයට වඳිනවා. එවිට අම්මා කියන්නේ මම ඔබට ජය ලැබේවා යි ප්‍රාර්ථනා නොකරන බව යි. මන්ද එහි අරුත ලොව කොතැනක හෝ සිටින අම්මා කෙනෙකුට තමාගේ පුතු අහිමි වීම ඉන් කියැවෙන නිසා කියල යි ඇය කියන්නේ. මා ලියූ මේ සටහන අදිකාරම්තුමන්ට පෙන්වූ විට එතුමා එයට නමක් දුන්නා. ඒ සිහිනෙන් දුටු සත්‍යයක් කියා යි.

සෑම ජාතියක් විසින් ම රණකාමිත්වය අගය කිරීම යනු යුද්ධය සාධාරණීකරණය කිරීමක් කියා යි මට නම් සිතෙන්නේ. මෙය චීනය සම්බන්ධයෙන් ද ඇත්තක්. රටකට ඇතැම් විට අර්බුදකාරී අවස්ථා එළැඹිය හැකි යි. එවැනි මොහොතක දී කළ යුතු දෙය කරනු මිස අනාගත යුද්ධ උදෙසා උත්තේජන නොසැපයිය යුතු යි.

දේශාටනයෙන් අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. රටක පවත්නා චාරිත්‍රවාරිත්‍ර ඉන් එකක්. අදිකාරම්තුමා චාරිත්‍රවාරිත්‍ර දකින්නේ ද අපට වඩා වෙනස් ඇසකින්. එතුමා කියන අන්දමට අප දෙයක් කළ යුත්තේ හෝ නොකළ යුත්තේ ඒවා අපේ චාරිත්‍රවාරිත්‍ර අනුව සිතීමට යාමෙන් නොවෙයි. යමක් තමාට මෙන් ම ලෝකයට අයහපත ගෙනෙවා නම් එය කිසියම් චාරිත්‍රයකට අනුව කළ යුතු ම දෙයක් වශයෙන් පෙන්වා තිබුණත් එය කළ යුතු නැහැ. යහපත උදෙසා කළ යුතු ම දෙයක් සම්මත වාරිත්‍ර අතරට දමා තිබෙනවා නම් අප එය කළ යුතු යි. මෙවැනි අදහස් බුද්ධ වචනයටත් අනුගත යි නේ ද? මේ නිසාත් අදිකාරම්තුමන්ගේ වචන දෙස අප බැලිය යුතු වන්නේ නැවුම් ඇසකින්. එවිට අපට සාම්ප්‍රදායික යයි ආචීර්ණකල්පික යයි කියනු ලබන දෙයක ජීව ගුණයත් නව්‍ය යයි හුවා දක්වනු ලබන දෙයක අජීවී බවත් පෙනී යා හැකි යි. අපි හමු වූ දිනයක මේ කාරණා ගැනත් ගැඹුරින් කතා කරමු.  

ඒ හමු වූ දිනයක කතාකළ යුතු තවත් දෙයක් ගැන දැන් ඔබ දෙදෙනාට කියන්නට සිතෙනවා. එයට උල්පත වුණේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ පරිසර වැඩ සටහනකදී කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තරුණ මහාචාර්යවරයකු වන සම්පත් සෙනෙවිරත්න විද්වතා දැක්වූ අදහස්. එතුමා සමග ඒ වැඩසටහනට සම්බන්ධ වුණේ ප්‍රවීණ සන්නිවේදිකා සුභානී වැලිවිට යි. මහාචාර්ය සම්පත් කතාකළේ ගෙවත්ත ගැන. ඔහු කිව්වේ අපේ ගෙවත්ත සුරපුරයක් කරනවා ද නැත්නම් අපායක් කර ගන්නවා ද යන තීරණය ඇත්තේ තමා ළඟ බව යි. සම්පත් ගෙවත්ත විග්‍රහ කළේ පුළුල් අර්ථයකින්. ඔහු පවසන පරිදි බිමක් අහිමි මිදුලක් නැති අයට ද ගෙවත්තක් තියෙනවා. ඔහු කියන පරිදි තට්ටු නිවාස සංකීර්ණයක ජිවත්වන අය සිය නිවහනේ කවුළුවක් හැර අවට බලන විට ඇත්තේ ගෙවත්ත යි. එසේ ම බස්රියක කවුළුවෙන් වේවා ගුවන්යානයක කවුළුවෙන් වේවා යන විට අප අවලෝකනය කරන්නේ ද ගෙවත්ත බව යි, මේ තරුණ මහාචාර්යවරයා කියා සිටියේ. තව වටිනා අදහස් රැසක් ඔහු පැවසුවා. කොළඹ සරසවියට ගිය මොහොතක මේ මහාචාර්යවරයා හමු වන්න. ඔහුට මගේ සුබපැතුම් ද පිරිනමා හෙට දවසේත් මෙවන් අදහස් අඛණ්ඩව සමාජගත කරන්නට කියන්න.

අපේ චාරිකාවේ හයවැනි දිනය අද. සාරථී වන් කිව් වෙලාවටත් කලින් පැමිණ සිටියා. අදත් අපිට ගෙදර උයන බත් ලැබුණා. අද මුලින් ම ගියේ චීන ආරාමයකට යි. උන් වහන්සේලාට වන්දනය කළ විට උන් වහන්සේලා පෙරළා අපට ප්‍රත්‍යාචාර කරන අද්දැකීම අපට අදත් ලැබුණා. විවිධාකාර පූසන් දුටුවා මේ ආරාමයේ දී. අළු, තද අළු, කළු මෙන් ම මට වචනයෙන් විස්තර කියන්නට නොතේරෙන පුෂ්ටිමත් විවිධ පූසන් මේ පන්සලේ බිමේ තැනින් තැන සිටියා. ඒත් ඒ පන්සලට ආ පූසන් මිස එහි හදන පූසන් නොවන බව යි, දැන ගැන්මට ලැබුණේ.

සතර වරම් දේව වන්දනයක් ද තිබෙනවා මෙහි. එසේ ම යෂ්ටියක් අතේ තබා ගෙන සිටින බුදුරුවක් ද දුටුවා. මෙහෙදීත් වැඩිදෙනෙක් අප හඳුනා ගත්තේ ඉන්දියානුවන් හැටියට යි. ඒ ඕ හින්දූස් යයි කියමින්. අප ඔවුනට අපේ රට ලංකාව කියා කිව්වා. ඔවුන් අපේ රටේ නම උච්චාරණය කරන්නේ සිරිලංකා කියල යි. එසේ ම අපි ලංකාවෙන් ආ බෞද්ධයන් යි කී විට සිය දුරකතනය අතට ගෙන ඉන්දියාව ළඟ පිහිටි ලංකාවේ රුව ළඟට අත තියා අප සමග සුහද වන්නට ඔවුන් අමතක කළේ නැහැ. මා මෙය ලියන්නේ ඉන්දියානු - ලාංකික වශයෙන් හෝ හින්දු සහ බෞද්ධ වශයෙන් බෙදීමක් මතු කරන්නට නොව භාෂාවකින් තොර ව හෝ චීන ජාතිකයන් අනෙකා හඳුනා ගැනීමට දරන ප්‍රයත්නය ප්‍රකාශ කිරීමට යි.

අය්යා හෝකන්දර අපේ කුඩා ගෙවත්තේ දුටු ගල්තලා සහිත පරිසරයක් ඇති තැනක් මේ විහාර බිමේත් තියෙනවා. බොන් සායි රුක් රෝපණ ද බහුල යි. 

චීන තරුණයකු සමග තුරු සෙවණක හිඳ හස්තමුද්‍රා ද සහිත ව සාකච්ජාවක් කළා. ඒ ඔහුට මගේ භාෂාවත් මට ඔහුගේ මාතෘ භාෂාවත් නොතේරෙන නිස යි. ඒත් අපි මෙහිදී එකිනෙකා හඳුනා ගත්තා. අප වෙන් ව ගියේ ද ඒ සුහදතාව අපේ හදවත්වල රඳවාගෙන යි.

ගඟුල් - මිහිදිනී මෙහෙ වැඳීම සඳහා ආසන සදා තිබෙනවා. ඒ අසුන් මත දණ නමා තමයි වන්දනය සිදු කරන්නේ. මේ පන්සල් නිර්මාණය කොට ඇත්තේ ද අපේ පන්සල් සදා ඇති ආකෘතීනට වඩා වෙනස් ආකාරවලට යි. මේ ගෘහ නිර්මාණ කලාව ද වෙන ම අධ්‍යයනය කළ යුතු එකක්. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු වන අපේ උදය පුතා සමග මම මේ ගැන විශේෂයෙන් කතා කරනවා.

තැනින් තැන මකර රූප ද දෘශ්‍යමාන වන බව කිව යුතු යි.  

අපේ හසිත සහ සදසි චීන පොත්හලකට ගියා. එහි තියෙන තරමක් පොත් තිබී ඇත්තේ චීන පොත්. එක් චීන කාටූන් පොතක ඉංග්‍රීසි පරිවර්තනයක් තමයි තිබී ඇත්තේ. එහි නම Father and Son එය අරන් ආවා. ඒ ගැන ද යමක් සඳහන් කළ යුතු යි. පිටුවෙන් පිටුවට තියෙන්නේ තාත්තාගේ සහ පුතාගේ කාටූන් චිත්‍ර සහිත විහිලු කතා යි. ඒත් ඒ බොහෝ කතාවල ඒ විහිලු ඉක්මවා ගිය ගැඹුරක් පේන්නට තිබෙනවා. ඒ කතා අතුරින් මට වඩාත් ම දැනුණේ එහි එන අවසන් කතාව යි. එය හාස්‍යය - උත්ප්‍රාසය ඉක්මවා ගිය කිසියම් හෘදයහාරී ගැඹුරක් දනවනවා. මේ අන්තිම කතාව අවසන් වන්නේ Farewell my dear friends   කියායි. මේ, එතෙක් අප සමග එකට ආ ඒ කතාවේ තාත්තාත් පුතාත් අපෙන් සමුගන්නා තැනයි. මෙතැන දී පුතා තාත්තාගේ අතින් අල්වා ගෙන අසනවා තාත්තේ, දැන් අපි කොහේට ද යන්නේ කියා. පියා ඊට පිළිතුරු වශයෙන් කියන්නේ මා ඔබ සමග දැන් සඳට යනවා කියා යි. පුතා පවසන්නේ තමා මෙතෙක් සඳ යනු අපට මෙසේ පියාඹා යා හැකි තැනක් බව නොදැන සිටි බව යි. මේ සිත්තරා පියපුතු කතා මාලාව අවසන් කරන ආකාරය තමයි, හරිම සොඳුරු - ගැඹුරු සේ ම විසිතුරු වන්නේ. අද දවසේත් රාත්‍රී ආකාශය දෙස බලා සිටින නිසල මොහොතක ඔබ දෙදෙනාටත් පුළුවන් මේ කතාවේ කියවෙන පිය පුතු දෙදෙනා දැක ගැන්මට.

̎Father and the son didn't leave you guys, You can find us every night when you look up at the sky.

මට දැනෙන්නේ අප විසින් අත්හළ නොහෙන, වින්දනය කළ යුතු මේ මොහොත ඉහත කතාවේ අන්තර්ගත වන බව යි.

මෙයිනික්බිති අද දවසේ තෙවැනි අංකය හැටියට අපි උද්‍යානයකට ගියා. මහල් නිවාස ජීවිත ගත කරන චීන ජාතිකයන් පවුල් පිටින් එතැනට පැමිණ සිටියා. එහි නිර්මාණය කළ කුඩා ජලාශ දෙකක් සහ ශෛලමය අලංකරණ තිබුණා. ඒ ජලාශවල අපමණ සුරතල් මසුන් සිටියා. ඒ ජලාශයන් වෙතට බට කීපයක් ඔස්සේ අඛණ්ඩ ව ඔක්සිජන් සැපයීම සිදු වෙනවා. අපි මාළුන්ට කෑම දුන්නා. සතෙකුට වුව ආහාර දිය යුත්තේ ආදරයකින්, ඒ වගෙම ගෞරවයකින්. තමාට ආහාර දෙන්නේ මොන රටක මොන ජාතියකට අයත් අය ද යන්න මාළුන්ට අදාළ නැහැ. ඒ අපි මාළුන්ගෙන් ඉගෙන ගත යුතු පාඩමක්. මට මේ මොහොතේ අපේ දුව කුඩා කාලයේ ඇය වෙනුවෙන් ම හද හදා කියා දුන් මුහුදු පත්ලේ ඇති රටක් ගැන කතාව සිහිවුණා. ඒ කතාවේ එන හෝටල්වල සේවය කිරීම සඳහා මාළු වේටර්ලා සිටිනවා. ඔවුන් හැඳින්වීම සඳහා මම පාවිච්චි කළේ වේළු මාටර් යන නම යි.

තරුණ යුවළවල් සිය විවාහයට කලින් ගන්නා පූර්ව දර්ශන හෙවත් Photo Shoot  ගන්නා තැනක් බවට මේ උද්‍යානය පත් ව තිබෙනවා. මේ උද්‍යානයේ තැනින් තැන ඇති කුටිවල වෙනස් ආකාරයකට පියසි නිර්මාණය කොට ඇති බවක් පේනවා. එසේ ම චීන ජාතිකයන් අලංකරණ උදෙසා ස්වාභාවිකත්වය මෙන් ම ඔවුන් විසින් නිර්මාණය කරගත් කෘත්‍රිම දෙය ද භාවිත කොට තිබෙනවා. බොන්සායි තුරු, ජලසම්පත, මසුන් සහ බට ලී යොදාගෙන ඇති ආකාර ඊට නිදර්ශන යි.

චීනයේ වැඩි වශයෙන් තිබෙන්නේ තට්ටු නිවාස බව මම කලින් ද සඳහන් කළා. සිය දේශය වශයෙන් මේ සා විසල් බිමක් තිබියදී මොවුන් තට්ටු නිවාසවල ජීවත් වන්නේ ඇයි ද යන ගැටලුව චීනයේ සංචාරය කරන කෙනෙකුට ඇති වෙනවා. එයට චීන පාර්ශ්වයෙන් විවිධ පිළිතුරු ඉදිරිපත් වුවත් මට නම් හිතෙන්නේ පුංචි බිමක් ඇති අප චීනයට වඩා වාසනාවන්ත බව යි. ඒ අපි බොහෝ දෙනාට ඉහළ අහසේ නොව මේ මහ පොළොවේ ජීවත් වීමටත් කුඩා බිම්කඩක් හෝ ලැබී තිබීමත් නිස යි.  

මේ තට්ටු නිවාසවලින් සිය කුඩා දරුවන් සමග එළියට එන මනාව සැරසුණු තරුණ අම්මලා දකින විට මට මතක් වන්නේ ඔයගොල්ලන්ගේ පරපුරේ තරුණ කිවිඳිය යශෝදා සම්මානී ප්‍රේමරත්න දියණියගේ ස්මාට් අම්මා පද්‍ය පන්තිය යි. මේ අම්මලා, ස්මාට් අම්මලා මෙන් ම සිය දරුවන්ට පැවරුම් සඳහා දෙන ගෙවත්තේ සුවඳ මල් පිපෙන මල් ගස් ගැන කොහොම ලියනවා ද කියා මා දන්නේ නැහැ. මේ පද්‍ය පන්තිය ගැන දන්නා ඔබ දෙදෙනා උදෙසා නොව අපේ ගුරු දියවර පාඨක සහෘදයන් වෙනුවෙන් මට මෙතැනට එය එකතු කරන්නට සිතෙනවා. මිහිදිනී, අපේ යශෝදාටත් මේ ගුරු දියවර යවන්න.  

     ස්මාට් අම්මා

ස්මාට් ජංගමය ඇතුළෙන්

ඉස්කෝලෙ මිස් අරන් එන්නැයි කියූ

කප්පරක් පින්තූර ගූගල් කෙරෙම්මා

ප්‍රින්ටරේකට සුදෝසුදු කරදහි කවා

ලෝකයක් දෝතට ගෙනෙන්නී 

වඩවමින් පෙම්මා

ඔන්ලයින් කඩවීදි ගානේ 

පැකට් කළ ඔළිඳ, මදටිය සොයා ඇහිඳිම්මා

දොළොස්වෙනි තට්ටුවෙන් 

ගෙවත්තේ සුවඳ මල් පුබුදවා ගන්න හැටි 

දහඅතේ කල්පනා කරන්නී ගෙළ නම්මා


ස්ටේ්‍රට් කෙස් මැදින්

දිලෙන තරු ඇස් දෙකේ සෙනේ නැත නිම්මා 

ස්මාට් කැෂුවල් ඇඳන් වැඩට යන 

ස්මාටීස් අහුරක් අරන් ගෙදර එන 

ඇගෙ නමත් ‘රත්තරන් අම්මා’


අද දවසේ International and Enternational Gym  යන නම ගසා තිබූ විශාල ශාරීරික අභයාස මධ්‍යස්ථානයක් දුටුවා. ඒ වගෙම පැලෑටි අභිජනන මධ්‍යස්ථානයක් ද දැක්කා. එයිනික්බිති දැක්කේ කුඩා වන අරණක්. ඒ දුටු විට මතක් උනේ එවක අපේ අධ්‍යයනාංශයෙන් කළ යාත්‍රා කලාපයක තිබූ ශීර්ෂ පාඨය යි. ඒ තුරු සෙවණ සුන්දර යි යන අර්ථය දෙන තරුච්ඡායා සුන්දරා යන සංස්කෘත පාඨය යි.

එන ගමන් අපි අතරමග තිබ්බතීය පන්සලකටත් ගියා. එතැනදී චීන තරුණයෙක් අපහසුවෙන් වුව නූතන තාක්ෂණික උපකරණ මාර්ගයෙන් මා සමග අදහස් හුවමාරු කරගැනීමට ඉදිරිපත් වුණා. සන්නිවේදන කාර්යය නිවැරදි ව සිදු වුණේ සුසිල් එතැනට ආ පසුව යි. අනතුරුව අපි අපේ නවාතැනට ආවා.  

හවස සුසිල් සහ හසිත් අවශ්‍ය දේවල් කිහිපයක් මිලදී ගැන්ම සඳහා චීන කඩපළකට ගියා. ඒ පැමිණ ඒ දෙදෙනා අපේ දුවත් සමග රාත්‍රී ආහාරයට නූඩ්ල්ස් ගැන්මට ගියා චීන ආපන ශාලාවකට. අපි තිදෙනාගේ රාත්‍රි ආහාරය උනේ තැම්බූ අර්තාපල්. 

රූපවාහිනී චැනල් මාරු කරමින් බැලුවත් ඒ සියල්ල ම යන්නේ චීන භාෂාවෙන්. රැයේ වෛද්‍ය මහාචාර්ය සමාධි සහෘදයා සමග දූරකථනයෙන් කතා කළා. ඔහු හයමාසයක් චීනයේ හිඳ තිබෙනවා. මේ අතර අපට තවත් සුබ ආරංචියක් ද දැන ගැන්මට ලැබුණා අද දවසේ අපේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයෙන්. ඒ මහාචාර්ය ප්‍රණීත් සහ ආචාර්ය හිමාලිකා දෙදෙනාගේ සුපරීක්ෂකත්වය යටතේ නිසංසලා රාජපක්ෂ කළ ආචාර්ය උපාධි නිබන්ධයේ ඇගයුම් වාර්තාව එක් පරීක්ෂක මහාචාර්යතුමියක් විසින් පීඨයට බාර දී ඇති බව යි.

ගඟුල් - මිහිදිනී, දැන් මම ලියන්නට යන්නේ අපේ චීන චාරිකාවේ සත්වැනි දිනයට අදාළ විස්තර යි. එහි ආරම්භය සියෑන් සිට බීජින් බලා යාම යි. අද උදේ වරුවේ අපි සියෑන් නගරයේ ඇතුළත පිහිටි වෙළඳ සංකීර්ණයක ඇවිද්දා. එහි අපට අවශ්‍ය දේවල් කිහිපයක් ම තිබුණා. එහි සිටි මවක් සහ කුඩා පුතෙක් අප සමග ඉතා මිත්‍ර වුණා. හසිත්ලා ඔවුන්ගේ ඡායාරූප ද ගත්තා. අපි පාවහන් මිලදීගත් වෙළඳ සැලේ සිටියේ ද ප්‍රසන්න මිත්‍රශීලී කාන්තාවක්. මේ තැන්වලදී අපට ඔවුන් සමග ඍජුව අදහස් හුවමාරු කරගැන්මට හැකි වුණේ නැහැ, භාෂා ප්‍රශ්නය නිසා. සුසිල් තමයි අප දෙපිරිස සම්බන්ධ කරන චරිතය උනේ.   

අප පෙරළා හෝටලයට පැමිණ මඳක් විවේක ගෙන දහවල් දෙකට එතැනින් පිටත් වුණා, දුම්රිය නැවතුම්පළට යාම සඳහා. අප එහි ඇරලවීම සඳහා වන් මිතුරා පැමිණියා. ඔහුගෙන් ලද ප්‍රශස්ත සේවය අගය කොට අප ඔහුගෙන් සමුගත්තා. මේ ජීවිතයේ කිසි දිනෙක යළි අපට ඔහු මුණ ගැහෙන එකක් නැහැ. එහෙත් ආධ්‍යාත්මික ව ඔහු අප සමග සිටිනවා. ඒ ඔහු සිය චර්යාවෙන් අපේ හදවත්වල විසල් ඉඩක් හිමි කොට ගත් නිස යි.

ගඟුල් - මිහිදිනී, ගීතයේ අනුපම සෞන්දර්යයෙන් අපේ හදවත්වල විසල් ඉඩක් හිමි කොටගත්  සුගායනවේදිනී ආචාර්ය නන්දාමාලිනියත් අපට අහිමි වුණා නේද? මේ මොහොතේ වරින්වර ස්ත්‍රී නාදමාධුර්යය සමග අර්ථ මාධුර්යය මුසුකොට ඉසොඳුරු ගීත ලොවට සම්ප්‍රදානය කොට නික්ම ගිය රුක්මණී දේවී, ජී. එස්. බී. රාණි පෙරේරා, අයිරින් ද සිල්වා, නීලා වික්‍රමසිංහ, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක බඳු සුගායනවේදිනියන් රැසක් සිහි වෙනවා. දැන් අපට ඉතිරිව සිටින සුගායනවේදිනියන් වන ආචාර්ය සුජාතා අත්තනායක, මල්කාන්ති නන්දසිරි, ශ්‍රීමතී තිලකරත්න වැනි ඒ පරපුරේ ම සුප්‍රකාශන ලෙස සැලකිය හැකි කාන්තා චරිත ගැන මෙයට වඩා සොයා බැලිය යුතු යි. ගායන පෞරුෂ සංයුක්ත පුරුෂ පක්ෂය ගැන ද කීමට තිබෙන්නේ මෙයට සමාන දෙයක්. මෙහි දී කාන්තාවන් ගැන විශේෂයෙන් කතා කළේ මේ මොහොතේ අපට අහිමි ව තිබෙන්නේ ආචාර්ය නන්දාමාලනිය නිසයි.    

නන්දාමාලනියගේ සුමියුරු හඬින් ගැයෙන බුදුසාදු මම සමන් මලක් වෙන්නම්, මහද නීල ගගනතලේ, නිසංසල රෑ, වහින්නට හැකිනම් ගිගුම් දී, දොර කවුළු විවර කරන අරුණ උදයේ, මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා, වන වංක ගිරිය අරණේ, සුළං කෝඩයෙන් වෙළී නෙළුම් නටයි වැවේ ඇතුළු සුවහසක් ගීතාවලිය පවත්නා තාක් ඇය අමරණීය යි.

ගඟුල් - මිහිදිනී, අපි අපේ හදවත්වල ගැඹුරුම තැනින් ඇයට උතුම් නිවන් සුවය ම ප්‍රාර්ථනා කරමු.

මේ සටහන ලියමින් සිටින මොහොතේ තවත් සංවේගජනක පුවතක් ගැන අසන්නට ලැබුණා. ඒ ගඟුල් ඔබ ශිෂ්‍යයක ව සිටින විටත් මෙසරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක ව සිටි මහාචාර්ය කුමුදුනී ශ්‍රියාලතා අප කලණ මිතුරිය අභාවයට පත් වූ බවයි. ඇය ගැන මා දන්නේ ඉතා තරුණ කථිකාචාර්වයරියක වශයෙන් සේවයට බැඳුණු කාලයේ සිටයි. කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ සේවය කළ ඇය තමා සමීපව ඇසුරු කළ අය සමග පමණක් නොව වෙනත් පීඨයක සේවය කළ අප දුටු විටත් ප්‍රසන්න ලෙස සිනාසී අප සමග වචනයක් දෙකක් කතා කිරීමට අමතක කළේ නැහැ.

අපි කුමුදුනී ශ්‍රියාලතා මහැදුරුතුමියට ද නිවන් සුවය ම අත් වේවා යි ප්‍රාර්ථනා කරමු.

දැන් යළිත් මම යන්නේ චීන චාරිකාව ගැන ලිවීමට යි.

දුම්රියපළේ මිත්තනියක සමග සිටි කුඩා දැරියක් අප සමග මිත්‍ර වුණා. ඔවුන් පළමු දුම්රිය නැවතුමෙන් බැස දුම්රිය වේදිකාවේ ගමන් කරන ආකාරය සදසිගේ අම්මා සිය දුරකතන කැමරාවට හසු කර ගත්තා. එය අපට මිත්තනිය සහ මිනිබිරිය කියා නම් කළ හැකි යි.

අපට සියෑන් සිට බීජින් වෙත ළඟාවීම සඳහා ගත වූයේ පැය හතරාමාරක් පමණ යි. අප පැමිණි දුම්රිය පැයකට කිලෝමීටර් 300 ද ඉක්මවා යන වේගයකින් ගමන් කරන දුම්රියක්. වේජින් මිතුරා සහ ලිව් මිතුරිය අප නවාතැනට ඇරළවීම සඳහා පැමිණ සිටියා. ඒ දෙදෙනාගේ සුසිල්ගේ හිතවතුන්. වේජින් තමයි චීනයට පැමිණීම සඳහා අවශ්‍ය කරන ආරාධනා ලියමන පවා එවා තිබුණේ. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සරසවියකින් කළමනාකරණය පිළිබඳ පශ්චාද් උපාධිය ලද කෙනෙක්. ඔහුට ඉතා හොඳින් ද ලිව්ට සාමාන්‍ය මට්ටමකින් ද ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි යි. වේජින්ගේ රියට බිරිඳ සහ මමත් ලිව්ගේ රියට නංගී, හසිත් සහ සදසිත් ගොඩ වුණා. අපි රථයේ එන ගමන් වේජින් සමග බොහෝ දේ කතා කළා. නවාතැනට පැමිණි පසු ද ඒ චීන මිතුරා සහ මිතුරිය සමග අදහස් හුවමාරු කර ගත්තා. වේජින් පැවසුවේ තමා ලංකාවේ ක්‍රමයට ආහාර පිසින ආකාරය දැනත් සිංහල භාෂාව ඉගෙන ගැනීමටත් මහත් කැමැත්තකින් සිටින බව යි.

විශේෂයෙන් චීන තරුණ ප්‍රජාව අධික ලෙස ධූමපානයට ඇබ්බැහි ව සිටීමේ ඛේදවාචකය ගැන අපි වේජින් සමග කතා කළා. බොහෝ දුරට මෙහි අවසන් ප්‍රතිඵලය පිළිකා රෝගය නිසා ඇති වන දුක්මුසු වේදනාසහගත මරණය නොවේ ද යන කරුණ මම මතු කළා. වේජින් පැවසුවේ එදිනෙදා දවසේ සතුටෙන් විනෝදයෙන් ජීවත් වීම පමණක් ගැන සිතන මේ අය දීර්ඝකාලීන ප්‍රතිඵල ගැන සැලකිලිමත් නොවන බව යි. මින් සිදුවන ක්ෂණික විපතක් තිබුණා නම් ඔවුන්ගේ චර්යා මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබෙන බව ඔහු කිව්වා.

අපි අධ්‍යාපනය ගැනත් කතා කළා. චීන සහෘදයන් දෙදෙනා අද දවසේ අපෙන් වෙන් ව යන විට ඔවුන්ගෙන් ලැබුණු මේ ස්නේහපූර්වක උපකාර අපි ගෞරවයෙන් සිහිපත් කළා.

සුසිල් සහ හසිත් එළියට ගොස් අපට රාත්‍රී ආහාර ගෙන ආවා.    

අපි චෙන්දු සහ සියෑන්වල සිටි කාමරවලට සාපේක්ෂ ව කුඩා කාමරයි අපට නවාතැන් වශයෙන් ලැබුණේ. මූලික අවශතා සියල්ල තිබුණා. බීජින් යනු අතීතයේ පීකිං යනුවෙන් ප්‍රචලිත චීනයේ අගනුවර යි. ඒ නිසාදෝ මෙහි ජනගහනය වැඩි යි, අනික් නගරවලට සාපේක්ෂ ව වියදම් ද වැඩි යි. මේ නගරයේ ඇති සංකීර්ණ භාවය බැලූ බැල්මට ම පේනවා. චීනයේ අනිකුත් අප අද්දුටු නගර ගැන කියා ඇති පරිදි මෙහි ද අප්‍රමාණ ලෙස ඇත්තේ තට්ටු නිවාස යි. ඒ අතින් අප කොතරම් වාසනාවන්ත ද? කලින් ද කීවා සේ අපට නිදහසේ ජීවත් වීමට ගෙයක් තියෙනවා. මේ අයට විසල් මහපොළොවක් තිබුණාට ගෙමිදුල් නැහැ. මොන පහසුකම් තිබුණත් එවන් පරිසරයක හිඳීම මට නම් ජීවත් වීමක් කියා දැනෙන්නේ නැහැ.

බීජින් නගරයේ දී බැලිය යුතු තැන් ගැන වේජින් මිතුරා අපගේ අවධානය යොමු කළා. ඔහු අපේ රටේ ජනාධිපතිතුමා පසුගිය දිනවල චීන සංචාරයකට ආ බව සිහි කළා.චීන මහා ප්‍රාකාරය ඇත්තේ ද මෙහි යි. එය ද ඇතුළු ව තවත් තැන් නැරඹීම සඳහා අපි හෙට උදෑසන හතයි තිහට හෝටලයෙන් පිටත් වෙනවා. මෙහි අපි දවස් තුනක් ගත කරනවා. දැන් මගේ හැඟීම් කවියක් කොට ඔබට දෙනවා.

ඇවිදින අතර හිතවත අප රටින් රට

මගෙ රට සුවය සිහි වෙනවා විටින්     විට

භාරත සාගරේ ඇති මුතු ඇටයෙ       සිට 

අපමණ සොඳුරු කවිවැල් ලිව හැකි ය  මට

දැන් ලියන්නට යන්නේ අපේ චාරිකාවේ අටවැනි දිනය ගැන යි. ඊට පෙර අපි චීන අධ්‍යයනය පොතේ එන චීන පද්‍ය සාහිත්‍යය ලිපිය කියවන්න යන ඉල්ලීම කරනවා. ඒ ලිපිය ලියා ඇත්තේ පේරාදෙණිය සරසවියේ සිංහලාංශයේ ඉගැන්වූ මෙරට සිටි විශිෂ්ට පඬිවරයකු වූ පී. බී. මීගස්කුඹුර මහාචාර්යතුමා යි. එය ඒ ෆෝ ප්‍රමාණයේ පිටු දහසයක් පුරා විහිදෙන හොඳ ලිපියක්. ඉන් එක කවියක් පමණක් මම උපුටා දක්වනවා. එය චීන ජනකවි අතරෙහි ලා යි සැලකෙන්නේ.

එක උදලු පාරකින්  

කැණිය නොහැකි ය ළිඳක්

එක තෙලි පහරකින් 

ඇඳිය නොහැක මකරෙක්

මෙතැන් සිට කරන්නේ යළිත් අපගේ චාරිකා විස්තරය යි. අපි බීජින් නගරයේ එළිමහන් අවන්හලකින් අපගේ උදේ ආහාරය ගත්තා. අද අපි මුලින් ම චීන බස්රියක ගියා. ගමනේ ඉතිරි කොටස ගියේ භූගත විදුලි දුම්රියකින්. ඒ යද්දී අපට සිහිපත් වූයේ 70 දශකයේ ජනප්‍රිය වූ ලක්ෂ්මන් රුද්‍රිගු සහ රූපා ඉන්දුමති ගයන විදුලි දුම්රියේ චංචල නාදය සවණත වැටෙන සඳේ නම් ගීතය යි. 

උදේ වරුවේ අපට පැරණි රාජ මන්දිරයක් බැලීමට අවස්ථාව ලැබුණා. එය විශාල ප්‍රදේශයක විහිදී තිබෙනවා. මේ මහා මන්දිරය හදන්නට අවුරුදු දොළහක් ගත වී තිබෙනවා. මට දැනෙනවා ගඟුල් සිටියා නම් කියන දෙය. ඔව් ගඟුල් ඔබ කියාවි කෙනෙකුගේ විසල් තැන විය යුත්තේ හද බිම මිස මහපොළොවේ හදන හදවන ගොඩනැගිලි නොවන බව. ඒ ජීවිතය ගැන ඔබ අප සිතන ආකාරය යි. 

සීදුවේ ජන්ම ලාභය ලද කාන්තාවක් අප සිංහලෙන් කතා කරන ආකාරය දැක අප ළඟට විත් ඔය ගොල්ලො ලංකාවෙන් නේද කියා ඇසුවා. ඇය දැන් ජීවත් වන්නේ ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේ නගරයේ යි. ඔස්ටේ්‍රලියානු සහ සිංහල කණ්ඩායමක් සමග ඇය චීන සංචාරයකට පැමිණ තිබුණා. මෙහිදී වරින් වර ඇය අපට කිහිප වාරයක් ම හමු වුණා. ඒ හැම අවස්ථාවක දී ම අප සමග සිනාසී වචනයක් දෙකක් කතා කර යෑමට ඇය අමතක කළේ නැහැ. ඇයගේ ඒ ප්‍රසන්න භාවය නිසා ම අපි ඇයට දැමූ නම සීදූවේ සීදේවී යන්න යි.

ගඟුල් මිහිදිනී. ඔස්ටේ්‍රලියාව තුළ කලක සිට මහත් ආගමික සහ සමාජ මෙහෙවරක යෙදුණු තවත් කලණ මිත් යතිරුවනක නික්ම යාම ගැනත් සංවේගයෙන් දැනුම් දෙන්නට තිබෙනවා. ඒ කැලණිය සරසවියේ සංස්කෘත විෂය පිළිබඳ කථිකාචාර්යවරයකු වශයෙන් කෙටි කලක් ද මහනුවර සංඝරාජ පිරිවෙණේ ආචාර්යවරයකු වශයෙන් ද කලක් සේවය කළ අතිපූජ්‍ය ඉඳිපරපේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ යි. උන වහන්සේ මෙරටත් කලක් කලින් කී පරිදි ඔස්ටේ්‍රලියාවේත් තව කලක් කැනඩාවේත් බුදුදහමත් සාහිත්‍යයත් අර්ථසම්පන්න ලෙස ඒ විදෙස් සමාජයන්හි තහවුරු කිරීම සඳහා වැඩ කළ පඬිරුවනක්. තමා මිය යන බව දකිමින් මරණයට අභීත ව මුහුණ දුන් චරිතයක් වශයෙනුයි අප උන වහන්සේ හඳුනා ගන්නේ. අලි එක හදින් ප්‍රාර්ථනය කරමු. සිය ජීවිතයේ ප්‍රාර්ථනාව වූ පරිද්දෙන් ම උන් වහන්සේ නිවනින් නිවී සැනහේවා කියා.

යළිත් ගමන ගැනයි මම මේ ලියන්නේ. අනතුරුව අපි විදුලි දුම්රියකින් තවත් එබඳු ම දුම්රියකට මාරු වෙමින් පැමිණියා, බීජින් නුවර පිහිටි කෞතුකාගාරය නැරඹීමට. පැරණි චිත්‍ර මෙන් ම නූතන චිත්‍ර ද එහි දෘශ්‍යමාන යි. මේවා දැකිය යුතු ව තිබුණේ මා නොව අය්යා යි. එඩ්වඩ් හන්ග් යන නම ඇති චීන මහතෙක් හඳුනා ගැන්මට ලැබුණා. දැන් කළමනාකරුවකු වශයෙන් කටයුතු කරන ඔහු කලින් ගුරුවරයකු හැටියට ද සේවය කොට තිබෙනවා. ඔහුට Vidudaya Handbook  ඔහු පොතක් තිලිණ කළා.

මේ කෞතුකාගාරයේ එක තැනක තිබුණා Two Deers and Immortal Mountain  කියා චිත්‍රයක්. ඒක බලද්දී අපට සිහිපත් උනේ සමන් සිත්තරාගේ මහින්දාගමන චිත්‍රය යි. කුරුළු චිත්‍ර ද රාශිය යි. මම ඒවා කුරුළු චිත්‍ර කියා නම් කළේ ඒවායේ සිටින්නේ කුරුල්ලන් නිස යි. තවත් මට දැනුණු චිත්‍රයක් නම් කොට තිබුණේ Two Pure Things – Rock and Plum Bloosms  කියා යි. කවි සහ චිත්‍ර එක ම තැන දෘශ්‍යමාන කොට තිබීම ද විශේෂත්වයක්. මට හිතාගන්නට බැරි හේතුවක් නිසා මේ චිත්‍ර සහ කවි බලද්දී රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ Stray Birds  කාව්‍ය ග්‍රන්ථය මතක් වුණා. ඒ වගේ ම Rock and Bamboo, Ink Lotus, Pavilian in Woods  සහ Eagle– අනන්ත ආකාශයේ දකින පක්ෂියා බඳු චිත්‍ර දකිද්දීත් සමන් සිත්තරා සිහි වුණා.

චීන ජාතිකයන් බොහෝ දෙනාට චිත්‍ර අඳින හෝ චිත්‍ර විඳින රස වින්දනාත්මක පැනසර සිතක් තිබෙනවා. ඔවුනට මේ චිත්‍ර කියවිය හැකි යි. ඇතැම් චීන ජාතිකයෙක් එකම චිත්‍රය ළඟ ත්‍බාහෝ වෙලාවක් රැඳී එය නරඹනු දුටුවා. සොබාදහම් - පරිසර චිත්‍ර ද මෙහි දෘශ්‍යමාන යි. ළමා මූර්තිවල ද ඒවාට ආවේණික සුන්දරත්වයක් දුටුවා. උණ ගසක් ළඟ තරුණයෙක් බටනලාවක් වයන දසුන මට සිහිපත් කොට දුන්නේ ආචාර්ය අදිකාරම්තුමන්ගේ බටනළාව ලිපිය යි. ඒ දිනවල මමත් සිත්තර සිත්තම් පොතට මට දැනෙන බටනළාව ගැන ලිව්වා. ගඟුල් මිහිදිනී චිත්‍රයෙන් ජීවිතය ප්‍රකාශයට පත් කළ හැකි බව මම ඉගෙන ගත්තේ අය්යාගෙන්. මේ දිනවල අපි ඔහුගේ චිත්‍රවල තවත් කොටසක් සංරක්ෂණය කිරීම සිදු කරනවා.

මේ කෞතුකාගාරයේ තෙවෙනි මහලේ තිබුණේ අක්ෂර ප්‍රකාශන යි. එයත් චීන චිත්‍ර කලාව තවත් ආකාරයකට ප්‍රකාශයට පත් වීමක්.

අපි කෞතුකාගාරයෙන් එළියට එන විට හවස 4. 40 යි. අසල ආපන ශාලාවකින් වෙජි නූඩ්ල්ස් ආහාරයට ගත්තා. එය තමයි අපේ දිවා ආහාරය වුණේ. අනතුරුව පොත් සාප්පුවකට ගියා. එහි වැඩි වශයෙන් තිබුණේ චීන භාෂාවෙන් ලියැවුණු පොත්. ඉංග්‍රීසි පොත් කිහිපයක් තිබුණා. අපි එක් චීන කවි පොතක් එතැනින් මිලදී ගත්තා ඉංග්‍රීසි පරිවර්තන ද සහිත.  

රැයේ ලිව් මිතුරිය ආවා අපේ රාත්‍රී ආහාරය සඳහා ඇය විසින් පිළියෙල කරන ලද එළවළු ඇතුළට දැමූ ඩම්ප්ලින් රාශියක් රැගෙන. ඇයත් සමග අපි නොයෙක් දේ කතා කළා. අනතුරුව අපි හෙට දවසේ ගමන ගැන සාකච්ඡා කළා. හෙට ගමන යෙදෙන්නේ ලිව් සූදානම් කොට ඇති ආකාරයට යි. එය චීන ජාතික කණ්ඩායමක් සමග බස්රියකින් යන ගමනක්. මෙයත් වෙනස් අද්දැකීමක් වේවි අපට. චීන මහා ප්‍රාකාරය, උද්‍යානයක් නැරඹීම, ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති තැනක් බැලීමට යාම ආදි ස්ථාන කිහිපයක් ඒ ගමනින් ආවරණය කිරීමට නියමිත යි. එසේ ම චීන ආහාර සංස්කෘතියේ යම් යම් අවස්ථා විඳ ගැන්මට ද මේ ගමනින් අපට ඉඩ ලැබෙනවා. ඒ කවර විඳගැනීම් තිබුණත් අප අවසානයේ නවතින්නේ අපට හුරුපුරුදු ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය ළඟ මිස වෙන තැනක නම් නෙවෙයි.

අද ලංකාවෙන් පණිවිඩ කිහිපයක් ලැබී තිබුණා. ඒවාට අවශ්‍ය කාරණා ඉටු කළ හැක්කේ පෙරළා මවුබිමට ගිය පසුව යි.

රැයේ සුසිල් පටිගත කළ සිතාර් වාදනයක් දැම්මා. නින්දට ගියේ ඒ වැයුම අසමින්.

දැන් මම ලියන්නේ අපේ චාරිකාවේ නවවැනි දිනයට අදාළ කාරණා යි. අපේ චීන මිතුරිය ලිව් අප බස්රියක යන චාරිකා කණ්ඩායමකට සම්බන්ධ කළා. උදේ 5.45 ට මෝටර් රථයක් පැමිණියා අප බස්රිය තිබෙන තැනට ගෙනයාම සඳහා. අප හයදෙනාත් චීන ජාතිකයකු සමග විවාහ වී සිටි රුසියානු තරුණ කාන්තාවකත් හැරුණු විට ඒ ගමනට සම්බන්ධ ව සිටි අනිකුත් සියලු දෙනා චීන ජාතිකයන්. මාර්ගෝපදේශකයා සියලු විස්තර ඉදිරිපත් කරන්නේ චීන භාෂාවෙන්. පළමු ව ජනාකීර්ණ වීදි ඔස්සේ ගොස් බස්රිය නිදහස් පරිසරයකට අවතීර්ණ වුණා. දෙපැත්තේ ම කඳුවැටි දැකිය හැකි වුණා.  

මුලින් ම ගිය තැන අපට නම් කිසි අදාළත්වයක් නැහැ. එක් අයකුට යුවාන් සියයක් ගෙවා පුටුවල හිඳ කැරකෙමින් කරන සාංග්‍රාමික ක්‍රීඩාවකට යි මාර්ගෝපදේශකයා පිරිස සම්බන්ධ කළේ. එතැන හිඳ මානසික වශයෙන් යුදමය පරිසරයකට ඇතුළත් ව සෙබළුන් සේ සටන් කිරීමට යි ඇත්තේ. අප හය දෙනා පමණක් නොව එහි ඇති නිරර්ථක භාවය සහ අනවශ්‍ය වියදම දුටු අප කණ්ඩායමේ සිටි චීන ජාතිකයන් වැඩි පිරිසක් ද එයට සම්බන්ධ වුණේ නැහැ. මට නම් දැනුණේ මෙය මිනිස් මනස් යුද්ධයට හුරු කිරීමක් හැටියට යි. මෙහි ඇති බරපතල තත්ත්වය වන්නේ ගැටවර වයසේ සිටින දරුවන් ඊට ප්‍රියතාවක් දැක්වීම යි.   

මෙයිනික්බිති අප ගියේ චීන මහා ප්‍රාකාරය නැරඹීමට යි. ඒ කඳුකර පරිසරයේ සිට අපට භූමිය අවලෝකනය කළ හැකි යි. මේ ප්‍රාකාරය ගැන හිතේ මවාගෙන තිබූ චිත්‍රයට වඩා මා සම්බන්ධයෙන් ගත් විට නම් ඇත්ත කුඩා යි. මේ ගමනේ දී අවකාශ ලැබෙන තැන්වලදී මා කළේ කලින් දවසක මිලදී ගත් චීන කවි පොතේ ඉංග්‍රීසි පරිවර්තන කියවීම යි. අතරමගදී බිරිඳ පැවසුවා එහා ගෙදර පූසා බ්‍රෑනා සර්පයකු දෂ්ට කොට මිය ගිය බව රාණි දැන්වූ බව. මිනිස් ජීවිත සේ ම දිනයක සත්ත්ව ජීවිත ද අවසන් වෙනවා.

අපේ මාර්ගෝපදේශකයා අවංක නැහැ. ඔහු අපට අවශ්‍ය තැන්වලට මෙන් ම අනවශ්‍ය තැන්වලට ද අප ගෙන යනවා. ඔහු අපේ වන්දනා ගමන් සංවිධානය කරන හොඳ සංවිධායකවරයකුට නොව කපටි සංවිධායකවරයකු වැනි යි. එවැනි අය, ඔන්න අභයගිරිය අන්න රුවන්වැලිය ආන් මිරිසවැටිය කියමින් වන්දනාකරුවන්ට බස්රියේ සිට ම වැඳගන්නට කියනවා මිස බස්රථය නවත්වා වැඳපුදා ගැන්මට ඉඩක් දෙන්නේ නැහැ. අපට පමණක් නොව ඇතැම් චීන ජාතිකයන්ට ද ඔහුගේ මේ හැසිරීම හිතට අල්ලා නැති බව අපට තේරුණේ ඔවුන් ඔහුට දෝෂාරෝපණ කරන ආකාරයක් ද අපට පෙනී ගිය නිස යි. දිවා ආහාරය සඳහා අප ගෙන ගියේත් බොහෝ දෙනාට අනවශ්‍ය තැනකට ගෙන යාමෙන් පසුව යි. ඒ වළලු මාල ආදිය අලෙවි කරන තැනක්. ඒවාට තිබෙන්නේ ලොකු මිලක්. අපේ පිරිසෙන් ඒවා මිලදී ගත්තේ ටික දෙනෙක් පමණ යි. මෙතැන දීත් මාර්ගෝපදේශකයා තැරැව්කාරයකුගේ භූමිකාව රඟ දක්වනු දුටුවා. ඔහු තමයි මෙය ගත්න අර දේ ගන්න කියා ඒ භාණ්ඩ මිලදී ගැන්මෙහි ලා පිරිස පොලොඹවන්නේ. කොහොම උනත් අපට හොඳ දිවාහාරයක් ගැන්මට පහසුකම් සලසා තිබු බව නම් කිව යුතු යි. නිර්මාංසික  අපට සුදුසු ආහාර එතන තිබුණා. වරද දකින අතර ම අප දුටු හොඳක් තමයි මේ ලිව්වේ. ඔවුනොවුන් ආදරයෙන් බලා ගන්නා මහලු චීන යුවළක් ද අප සමග ගියා. එසේ ලිව්වේ ඔවුන් අපටත් වඩා වැඩිහිටි බවක් පෙනුණු නිස යි. මේ යුවළගේ දර්ශනය අප දුටු තවත් හොඳ දෙයක්. 

ජීවිතයට අනවශ්‍ය දෙය අනවශ්‍ය යි. අප මේ චාරිකාවේ යෙදෙන්නේ ද අනවශ්‍ය දෙය බැහැර කරන අතර ම අවශ්‍ය දෙය චීනයෙන් උකහා ගනිමින්. මේ අතර හමුදා නිලධාරියකු වශයෙන් සේවය කරන කසුන් එවා තිබූ සටහනක් ගැන වචනයක් ලියන්නට සිතෙනවා. ඔහු ඔයගොල්ලන්ගේ මැඩ්ම්ගේ ආදි ශිෂ්‍යයෙක්. දික්කසාද වීමට සිතා සිටින දියණියක් සිය මව සිය සැමියාගෙන් එනම් අර දියණියගේ පියාගෙන් ලද ආදරයේ ගුණ රුව ගැන අසා සිය තීරණය වෙනස් කරන ආකාරය ගැනයි එහි කියවෙන්නේ.  

සමර් ගාඩ්න් එනම් ග්‍රීෂ්ම උද්‍යානයක් වෙත යි, අප ඊළඟට අරගෙන ආවේ. ඉන් පලක් නැතැයි කියා අප කණ්ඩායමෙන් කිහිප දෙනෙක් ඒ වෙලාවෙ වෙනත් තැන්වල ඇවිදීමට ගියා. තව පිරිසක් මාර්ගෝපදේශකයාට චෝදනා කොට වෙන් ව යන ආකාරය සුසිල් අපට පෙන්නුවා. අපි දෝෂාරෝපණය නොකොට මේ ගමනේ ඉතිරි කොටසට සම්බන්ධ නොවන බව කියා අපට සැබෑ මාර්ගෝපදේශකයකු නොවූ ඔහුගෙන් සමු ගත්තා. එතැන අපේ අය එතැන බලන අවස්ථාවේ මම යළිත් අර කවි පොත කියවීමට පටන් ගත්තා. අපි එතැනින් නික්මුණේ පෙරළා හෝටල් පරිශ්‍රය වෙත යාමට යි. අද හවස අපි වේජින් මිතුරාගේ ආරාධනය පරිදි චීන හෝටලයකට ගියා රාත්‍රී ආහාරය සඳහා. ඔහු අපට සෞඛ්‍ය සම්පන්න නිර්මාංස ආහාර වේලක් ලබා දීමට කටයුතු යොදා තිබුණා. හෝටලය වසන වෙලාව වන තෙක් අප බොහෝ දේ කතා කළා. සැබැවින් ම එය ප්‍රිය සම්භාෂණයක් කියා කිව හැකි යි. ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවිතය යන මාතෘකා අපේ සංකථනයට පාදක වුණා.

හසිත්ගේ පෙරදිග චින්තන විධි පිළිබඳ වන අධ්‍යයනයෙහි ලා වේජින් යනු විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු කෙනෙක් කියා යි මට සිතුණේ. වේජින් ද අප සමග ම හෝටලයට ආවා. ඒ ආ පසුවත් අපි බොහෝ දේ කතා කළා. මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ ඔහු ලංකාවට ඒමට සිතා සිටිනවා. අපේ නිවහනට ගොඩ වැදී අපේ ආහාර වේල් සකස් කරන ආකාරය නිරීක්ෂණය කිරීම මෙන් ම ඊට සම්බන්ධ වීම ඔහුගේ අපේක්ෂාවක්. එසේ ම සිංහල භාෂාව ඉගෙනීමේ අභිරුචිය ද ඔහුට තිබෙනවා.  

අපේ චාරිකාවේ දසවැනි දිනය ආරම්භ වන්නේ බීජින් සිට යළි චෙන්දු බලා යන ගමනින්. හෝටල් පරිශ්‍රයාසන්නේ පිහිටි ආපනශාලාවකින් අපේ උදේ ආහාරය ගත්තා. සදසිගේ අම්මා එහි සේවා ප්‍රදායිනියකගේ ඡායාරූප ද ගත්තා. ඇය සිනාමුසු මුහුණින් එයට පෙනී සිටියා. හසිත්-සදසි සහ සුසිල් පොත්හළකට ගියා, කවි පොත් ආදිය ඇත්නම් මිලදී ගැනීමට.

අද මට ජීවිතයේ දරාගැනීම් ගැන ලියන්නට සිතෙනවා ඔබට. ගුරුවරයකු ලෙස සැමියකු ලෙස පියකු ලෙස මිතුරකු බන්ධුවරයකු ලෙස මෙන් ම මානවයකු ලෙස මේ ජීවිතයේ අපට විවිධ භූමිකාවල ජීවත් වීමට සිදු වුණා. එසේ ම ඉදිරියටත් එය සිදු වෙනවා. එහිදී අප බොහෝ දේ දරාගත යුතු යි. ගුරුවරයකු වශයෙන් ශිෂ්‍යයන් දරා ගැනීම පිළිබඳ වන අද්දැකීම් මේ මොහොතේ මට සිහි වෙනවා. එපමණක් නොව සතා සිවුපාවුන් පවා ආදරණීය ලෙස දරා ගැන්මට අපට හැකි විය යුතු යි.

අප දුම්රියපළට ගෙන යාම සඳහා ලිව් පැමිණියා. ඇය චීන ගමනේ දී අපට හමු වූ හොඳ මිතුරියක්. අද ජූනි 12. අපට තියෙන්නේ පැය තිහකටත් වැඩි කාලයක් ගත වන දීර්ඝ දුම්රිය ගමනක්. මා මීට පෙර ඒ කියන්නේ ගඟුල් ශිෂ්‍යයකු ව සිටි කාලයේ දීර්ඝ දුම්රිය ගමනක යෙදුණා ඉන්දියාවේ දී. ඒ වූකලී දිවා රෑ දෙක සම්බන්ධ කරමින් හිරු එළියත් සඳ එළියත් විඳිමින් ගිය ගමනක්. එයට පැය 25ක කාලයක් ගත වුණා. ඒ දිල්ලියේ සිට ගයා වෙත ගිය ගමන යි. මේ ගමන ඊට වඩා දිග යි.

අපි හයදෙනා ශයනාසන දුම්රිය මැදිරියක යි ගමන් ගත්තේ. අවදි ව හිඳිමින් නිදා ගනිමින් එහි ගමන් කළ හැකි යි. මේ ගමන දින දෙකකට සම්බන්ධ වෙනවා. බීජින්වලින් දුම්රිය පිටත් වූයේ දහවල් 11. 53 ටයි. රාත්‍රී 12ට පළමු දිනය අවසන් වූ පසු දින පූනි 13 සවස හය වන තෙක් පැය දොළහක දුම්රිය ගමනක් අපට තිබෙනවා. එතැන් සිට පැය 16 කින් පසුව යි අපට මැලේසියාවේ ක්වාලාලම්පුරය බලා යන ගුවන් යානය ඇත්තේ.  

මෙම දුම්රිය ගමනේ දී ඇතැම් දෙනා ඔවුන්ගේ භාෂාව අපට නොහැකි වුණත් අප වෙත පැමිණ අප කුමන රටින් ද කියා හස්ත භාෂාවෙන් අසනවා. තරුණ චීන දියණියන් දෙදෙනකුට අවශ්‍ය වුණා අපේ රට ගැන දැන ගැන්මට. මේ ගමනේ දී බීජින්හි රැකියාව කරන චීන තරුණයෙක් අප සමග ඉතා හිතවත් වුණා. එයට මුල් වූයේ පුංචි සිදුවීමක්. ඒ ඔහු ශයනාසනයේ නිදා සිටින විට එතැනින් බිමට වැටී තිබූ ඔහුගේ බෑගය නංගී උඩකින් අරන් තැබීම යි. ඉන්පසු ඔහු අප ළඟට ආවේ අප සියලු දෙනාට ම කොමඩු කපාගෙන යි. මේ තරුණයා සම්මතයට අනුව නිරාගමික යි ඒත් චර්යාවෙන් ආගමික යි. ප්‍රසන්න යි. සුසිල් භාෂා පරිවර්තකයා බවට පත් කරගෙන ඔහු සමග අපි නොයෙකුත් දේ කතා කළා.  

අපට මෙහි දී අප කැමති වුවත් අකමැති වුවත් චීන ආහාරවලට හුරු වීමට සිදු වෙනවා. එහෙත් ඒ සඳහා අපගේ නිර්මාංසික ජීවන ප්‍රතිපදාවේ කිසිදු වෙනසක් කර ගත යුතු නැහැ. මාරුවෙන් මාරුවට අපි නිදා ගත්තා. මේ මැදිරියේ සෑම කෙනෙකුට ම තමාගේ ආසනය ශයනාසනයක්. අවට දර්ශන සියලු දෙනාට ම හොඳින් පේනවා. ඇඳුම් මාරුකොට අපි සුවපහසු දීර්ඝ නින්දක් ලැබුවා. මඳක් අසනීප වුණත් ඒ තත්ත්වය සමනය කරගත හැකි වුණා ගෙනා ඖෂධවලින්. මෙහි දී අප සන්මිත් වෛද්‍ය සමාධි රාජපක්ෂ සහෘදයාගෙන් ද සන්මිත් වෛද්‍ය ලලිත් විජේසිංහ සහෘදයාගෙන් ද ලද උවදෙස් අපට ඉතා වැදගත් වුණා.

දුම්රිය ඇතුළේ වරින්වර ආහාරපානාදිය රැගෙන චීන වෙළෙඳ මිතුරු මිතුරියන් එහාට මෙහාට යනවා. මේ අතර දුම්රිය කාර්ය මණ්ඩලය අතරමගදී මාරුවන ආකාරය ද දුටුවා. දුම්රිය පදවන්නාගේ සිට අතුගාන සේවක මහතා දක්වා වන සියලු දෙනාට බොහෝ දුරට සමාන නිල ඇඳුමක් තියෙනවා. සෑම වෘත්ති ස්තරයකට ම සමාන ගරුත්වයක් හිමි යි. එය අප චීනයෙන් උගත යුතු යි.

දැන් මම යන්නේ තවත් චීන ග්‍රන්ථයක් ගැන කරුණක් දෙකක් ඔබට කීමට යි. මේ පොතේ නම Wisdom of India.  කතුවරයාගේ නම සඳහන් වන්නේ යූටැන්ග් කියා යි. පූර්විකාවක් ද පරිච්ඡේද වශයෙන් ගත හැකි කොටස් හයකින් ද මේ පොත සමන්විත යි. මේ පොතේ හැඳින්වීමේ එන සමාරම්භක වාක්‍යය අවධාරණ කරන්නේ පෙරදිග සහ අපරදිග එකට එක්විය යුතු බව යි. මේ අදහසේ ඇති වැදගත්කම නිසාදෝ මේ වාක්‍යය ලියා ඇත්තේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. මමත් එය එහි තිබුණ විදිහට ම මෙහි සටහන් කරනවා.

  TO-DAY THE EAST AND WEST MUST MEET        

මෙහි පළමු කොටසේ ඇත්තේ අධිමානසික ශක්තීන් ගැන යි. මේ පොත කියවා ගෙන යද්දී මට දැනුණේ මා කලින් අවස්ථාවක සඳහන් කළ සෝමරත්න මහතා විසින් සම්පාදනය කොට තිබූ චීන බුද්ධි මහිමයට පාදක කොට ගෙන ඇත්තේ මේ පොත බව යි. මෙහි එක් තැනක සඳහන් වෙනවා ඉහළ ම පරිපූර්ණත්වය නම් අපරිපූර්ණත්වය බව. අර ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙන්නේ පියවර දහස් ගණනක් පැමිණි පසු සපිරෙන ගමනක ආරම්භය ඇත්තේ පළමු පියවරේ බව. ඒ ප්‍රකාශයත් මේ කොටසේ අන්තර්ගත යි. ඔබ මත්ස්‍යයකු ව හිඳ නැත්නම් මත්ස්‍යයකුගේ සතුට ගැන ඔබ දන්නේ කුමක් ද යනුවෙන් අසන ප්‍රඥෝක්තිය හමුවුණේත් මේ ග්‍රන්ථයේ On Tolerance නම් කොටස කියවද්දී යි. මෙනිකස් - Menicius යනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ චීන දාර්ශනිකයෙක්. ඔහු ගැන ලේඛන දෙකක් මෙහි අන්තර්ගත යි. ඔහු පවසනවා, කරුණාව - ලජ්ජාශීලීභාවය - ආචාරශීලීත්වය - ගෞරවනීයභාවය මෙන් ම හොඳ සහ නරකත් සෑම මනුෂ්‍යයකු ම තුළ ම පවත්නා ධර්මතා බව. මෙබඳු චින්තාවක් මනුෂ්‍යයන් වර්ග කොට බැලීමකට ඉඩ සලසන්නේ නැහැ. Motse – The Religious Teacher නම් මාතෘකාව යටතේ එන ලේඛනය ද තදනන්තර ව කොන්ෆියුසියස් දහම ගැන ඇති ලේඛන ද ඔබ දෙදෙනා කියවිය යුතු යි. මෙයට අමතර ව චීන කවි යන මාතෘකාව යටතේ ඇති කාරණාත් අවධානයට ලක්කිරීම සුදුසු යි. කොටින් ම කිව්වොත් මේ මුළු පොත කියවීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් නම් සිදු වන්නේ නැහැ.

අපේ චාරිකාවේ එකොළොස්වැනි දිනය නම් කොට ඇත්තේ දුම්රියේ සිට ලියමි කියා යි. ඒ අනුව මෙතැන් සිට ලියන්නේ ඒ ගැන යි. අද අපි චීනයේ චෙන්දු ගුවන් තොටුපළින් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළ බලා යන දවස යි. දැන් ගඟුල් මගේ 77 ලේඛන පිටපත අවසන් වීමට ද ළඟයි. මෙතැන් සිට ගුරු දියවර 58 ට එකතු කරන්නේ 1620 සහ 1621 යන ලිපි දෙකේ ඇතුළත් වන කාරණා යි. දැන් මේ ලියන වෙලාව ජූනි 13 දින දහවල් 10. 25 ලෙස සඳහන් කළ යුතු යි. ශ්‍රී ලංකා වෙලාවෙන් කලින් සඳහන් කොට ඇති පරිදි පැය දෙකහමාරක වෙනසක් කොට තමයි ශ්‍රී ලංකා වෙලාව ගත යුත්තේ.  

මෙහි ගොවි බිම් දැකිය හැකි යි. එයට හේතුව චීනය භූමිය වැඩි වශයෙන් වෙන් කරන්නේ ගොවිතැනට වීම නේද කියා තමයි අපට සිතෙන්නේ. මේ වෙලාවේ අප ගමන් කරන දුම්රියේ වම්පස වේවා දකුණු පස වේවා මේ මොන පැත්තෙන් බැලුවත් වැඩිවශයෙන් දර්ශනය වන්නේ තට්ටු නිවාස යි. සමබිමක පිහිටි තනිමහල් නිවාස ද අතරින් පතර දැකගත හැකිවුණා. ඒ නිවාසවල පියසිවල සමාන බවක් තමයි තියෙන්නේ. ඒ අතින් චීනය ඉන්දියාවට ළංවෙනවා. උළුවහලවලට සමාන වහලවල් ද දුටුවා මතක යි. අපට කේතුකාර ගස් තමයි වැඩි වශයෙන් දැක ගැන්මට ලැබෙන්නේ.

දැවැන්ත පාලම් මත ඉදි කොට ඇති මාර්ග දුටුවා. ඔවුන් සිය මාර්ග සැලසුම් කරන්නේ මහපොළොවේ වගා කිරීමට හැකි වන ලෙෂ යි. මෙය විශේෂයෙන් අපි අධිවේග මාර්ග ඉදිකිරීමේ දී චීන ජාතිකයන්ගෙන් උගත යුතු පාඩමක්.

දැවැන්ත ප්‍රමාණයේ ජලාශ නම් මේ වන තෙක් දුටුවේ නැහැ. පොඩි අතුගංගා සහ කුඩා ජලාශ තමයි අපට දැක ගැන්මට ලැබුණේ. අපේ හේන් සිහිකරවන අන්දමේ තැනක් දෙකක් ද දැක්කා. එක් තැනක කුඩා පැලක් බඳු කුටියක් ද දැක්කා. එතැන පසුකරනවාත් සමග යළි දැක්කේ තට්ටු නිවාස ම තමයි.

මැදිරි දහයකට දොළහකට සීමා වන දුම්රිය සේම විශාල මැදිරි සංඛ්‍යාවක් තිබෙන දුම්රිය ද දුටුවා. අපි දැන් තවත් දුම්රියපළකට ළඟාවුණා. එහි නම කියවා ගන්නට හැකි වුණේ නැහැ. දුම්රියේ සිට බලන විට චීන ජාතිකයන් ඒ මේ අත ගමන් කරන ආකාරය ද අපට පේනවා. රට අභ්‍යන්තරයේ දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය මිස බස්රථ නොවේ. එක් චීන ජාතිකයෙක් අපේ සුසිල්ට කියා තිබුණා බීජින් සිට චෙන්දු වෙත පෞද්ගලික මෝටර් රථයකින් යාමට දින හයක් ගත වන බව.   

බොහෝ චීන ජාතිකයන් ආචාරශීලීයි. ඇතැම් විට භාෂා ගැටලුව නිසා දෝ එක්වර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙත් කිසියම් සමීප බවක් දැනුණු වහා ඔවුන් ආදරණීය ලෙස ප්‍රතිචාර දක්වනවා. බුදුන් වහන්සේගේ පුබ්බහාසී ගුණය තමයි අපට ද උදව් වුණේ. ඒ සිනහවට, ජාති ආගම් කුල දේශ භේදයක් නැති නිස යි. මේ මොහොතේ දීත් මැදිවියේ චීන ජාතික කාන්තාවක් අප සිටින තැනට පැමිණ සිය ජංගම දුරකතනය චාර්ජ් කොට ගැන්මට අපෙන් අවසර ඉල්ලා හිටියා ආචාරශීලී ව. ඒ හැම ශයනාසන කුටියක් ළඟ ම ඒවා චාර්ජ් කොට ගැන්ම සඳහා පහසුකම් නැති නිස යි.

කන්ටේනර ආදිය පටවාගත් බඩු දුම්රිය ද නිරන්තරයෙන් ධාවනයෙහි යෙදෙනු දක්නට ලැබෙනවා. ඉන්ධන ප්‍රවාහනය ද ඊට ඇතුළත්. මම පෙට්ටි සෑහෙන සංඛ්‍යාවක් ගණන් කළා. යලිත් අපමණ තට්ටු නිවාස සහ කලාතුරකින් දක්නට ලැබෙන කුඩා නිවාස දකිමින් අපි ගමනේ. ඒ යන ගමනේ දී හරිත වර්ණය ද අප ඇස ගැසෙනවා. හිරුරැස් වැටෙනවා. වැසි සහිත කාලගුණයක් මේ දිනවල නැහැ. මට මේ වෙලාවේ ගඟුල් අපගේ ආදි ශිෂ්‍යයකු වන පසුව කැලණිය සරසවියේ සේවය කළ ගයන්ත ගුණේන්ද්‍ර සිහි වුණා. ඔහු රටට ලෝකයට සේවය කරමින් තව දිගුකලක් ජීවත් ව තිබිය යුතු වූ මිනිසෙක්.

දැන් කඳුවැටි පේන්නට ගත්තා. ඒ පාමුල නිවාස. ඒවායේ ජිවත් වන්නේ ගොවි ජනතාව යි. ඒ කඳු මීදුමින් වැසී තිබුණා. දැන් මට සිහි වන්නේ 70 දශකයේ ජනප්‍රිය ව තිබූ එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායක යුග්මය ගයන මීදුම් ගලා කන්දේ නම් ජනප්‍රිය චිත්‍රපට ගීතය යි.

අපේ දුව දැක තිබුණා වෙසක් කූඩු එල්ලා තිබෙන ආකාරය.

යමක විය හැකියාව මෙන් ම විය නොහැකියාව ද තිබෙනවා. මවුරට දී මෙන් ම විදෙස් රටකදී අප ඒ ගැනත් කල්පනා කළ යුතු යි. විවෘත ආර්ථිකයක් නොපැවතීම මේ රට මේ ආකාරයෙන් පැවතීමට ප්‍රබල හේතුවක්. 77 දී බලයට පත් රජය අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් කළේ මහත් විනාශයක් බව යි, මට නම්හිතෙන්නේ. එයින් පසු ඇති වූ කිසිම රජයකට පවත්නා තත්ත්වය වෙනස් කළ නොහැකි තරමට ඒ විනාශය බලවත්. මේ මට දැනෙන දෙයක්. තවත් කෙනෙක් මට වඩා වෙනස් ඇහැකින් 77 කියවන්නට පුළුවන්.

වරින්වර බිම් ගෙවල් අතරින් ද දුම්රිය ගමන් කළා. ඇතැම් බිම් ගෙයක් ඉතා දිගයි. ඇතමක් කෙටි යි. මෙය ලියමින් සිටි මොහොතේත් අපි ඇතුළු වූයේ දීර්ඝ බිම් ගෙයකට යි. එය අවසන් ව මොහොතකින් තවත් එකක්. ඊට පසු තවත් එකක් වශයෙන් එම අද්දැකීම ලැබුවා. කඳුවැටියකින් වට වූ බිම්කඩක ගොවිතැන් සහිත නිවහන් රැසක් දැක්කා. මේ ගැන දිගින් දිගට ම ලියනවා නම් මට ලියන්නට වන්නේ ජලාශයක් -බිම් ගෙයක්- තව ජලාශයක්- යළි බිම් ගෙයක් ඉනික්බිති වන රොදක් ආදි වශයෙනු යි.

ඪසාමා්හ් ්‍ය්බා ඊදදන  සහ ත්‍සරිඑ ීඑැච සුදුසු පරිදි චීන සමාජගත කළා. අපට දැනෙන දෙය ඔවුන්ට දිය යුතු යි, යන පදනමෙහි පිහිටා තමයි අප කටයුතු කළ යුත්තේ.

පැරණි උළු සහිත ගෙයක් සහ හෙල්මළු ක්‍රමයට මඳක් සමාන කුඹුරු දුටුවා. ඒවා චිත්‍ර වැනියි. කඳුවැටියක් මැද පිහිටි හුදකලා තනි ගෙයක් දුටුවා. 

මේ වන විට අපේ ගමනට පැය 24 ක කාලයක් ගත වී තිබෙනවා. කාල සටහනට අනුව නම් අපේ ගමනාන්තයට ඇත්තේ තවත් පැය හයක් පමණ යි. චීන ජාතිකයන් දුම්රිය තුළ දීම දෛනික ව්‍යායාම ආදිය කරනවා.

අපි රාත්‍රී 7. 20 වන විට චෙන්දු දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. එතැන් සිට එක් විදුලි දුම්රියකින් තවත් විදුලි දුම්රියකට ළඟා වී ගුවන් තොටුපලට යා හැකි ආකාරය වේජින් මිතුරා කියා තිබුණා. බීජින් සිට අප සමග එකට දුම්රියේ ආ චීන මිතුරා අප යායුතු මග පෙන්වා නික්ම ගියා. ඒ ඔහු ජීවත් වන පැන්ඩාවරුන් සිටින ප්‍රදේශය වෙත යි. ඒ වගේ ම අප සමග එසේ ආ තවත් චීන ජාතිකයෙක් අප ගොඩ වූ මෙට්රෝ දුම්රියේ සිටියා. අප දුටු වහා ඔහු අපට සිනාසී ආචාර කළා. 

අද දවස හෙට දවසටත් සම්බන්ධ වෙනවා. ඒ දිනට අදාළ සටහන පාදක කරගෙන යි, මේ ලිපියේ අවසාන කොටස ලියන්නේ. එසේ ම ගුරු දියවර 57 සහ 58 පරිච්ඡේද සකස් වන්නේ අපගේ මේ චීන අද්දැකීම් පදනම් කරගෙන යි.  

මගේ ලේඛන මාලාවේ 1621 වැනි ලිපිය නම් කළේ චෙන්දු සිට යළි ක්වාලාලම්පුරයට කියා යි. අද ජූනි 14 වන දිනය යි. රාත්‍රී 12.50ට අපි චෙන්දු සිට ක්වාලාලාම්පුරය වෙත යන මැලේසියානු ගුවන් යානයට ගොඩ වුණා. අපගේ ගුවන් බලපත් පරීක්ෂා කළ චීන තරුණයා අප හය දෙනාට සමීප ආසන ලැබෙන සේ කටයුතු කළා. අපි ඔහුට අපේ ස්තුතිය පළ කළා. පැය හතරකුත් විනාඩි විස්සක ගමනකින් පසු අපි ක්වාලාලම්පුරය වෙත ළඟා වුණා. ගුවන් යානයේ අපට සේවා ප්‍රදාන සිදුකළ අයට ස්තුති කිරීමට ද අපි අමතක කළේ නැහැ. ඒ ගුවන් තොටුපළේ අප ගොඩ බැසි තැනට කිට්ටු තැනක රැඳී ටික වෙලාවක් සිටියා විඩා නිවා ගැන්ම සඳහා. අපි එදා සබ් ටේ්‍රන් ලෙස හඳුන්වන දුම්රිය පළට ම තමයි අපි ඇවිත් තිබුණේ.

ඉන්දියානු ශිෂ්‍යයකු යයි සිතිය හැකි තරුණ දරුවෙක් මගෙන් කුමක් දෝ ඇසුවා. ඒ මොහොතේ මගේ කන්අගුල් වැටී ඇති නිසා මට ඔහු කී කිසිම දෙයක් ඇසුණේ නැහැ. පසුව හසිත් එතැනට විත් ඔහු සමග කතා කොට ඔහුට අවශ්‍ය කාරණය ඉටු කොට දුන්නා. අපට පසු තවත් ගුවන් යානයක් ආවා. ඒ මගීන් ද අප සිටි පෙදෙසේ ම රැඳී විවේක ගත්තා. සික් ජාතිකයකු සමග සිනාසුණු විට ඔහු ද සිනාවකින් ම ඊට ප්‍රතිචාර දැක්වුවා. බුදුන් වහන්සේගේ උගත් පුබ්බහාසය කොතරම් වටිනවා ද කොරම් වටිනා සංකල්පයක් ද ක්‍රියාවක් ද කියා එවන් අවස්ථාවලදීත් අපට දැනෙනවා. අප කෙනෙකු සමග අව්‍යාජ ව සිනා වෙන විට ඊට සිනහවකින් ම ප්‍රතිචාර ලැබෙනවා.

උදේ ආහාරය ගැනීමෙන් පසු රින්ගිත් විස්සක් ගෙවා අර කලින් ද කී තාක්ෂණික පුටුවක හිඳ හිස සම්බාහනය කොට ගත්තා. එහෙත් මිනිස් අතකින් ලැබෙන සුවය එබඳු තාක්ෂණික උපකරණවලින් ලැබෙන්නේ නැහැ.

මවුබිම සහෘදයන් එහි යම් යම් තොරතුරු දැන්වුවා දුරකථනයෙන්. වෙනත් රටක සංචාරය කරන විට අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේ ම මාතෘභූමියේ අගය වඩාත් දැනෙන්නට ගන්නවා.  

මැලේසියාවේ මුදලේ අගය චීනයට වඩා වැඩි යි. මෙහෙ වෙලාවෙන් අපට කොළඹ බලා යන ගුවන් යානය තිබෙන්නේ රාත්‍රී 10 ටයි. සාමාන්‍යයෙන් ගුවන්යානය සූදානම් බව පැය දෙකකට පමණ කලිනු යි මෙහි පුවරුවල සටහන් වන්නේ. ජාකර්තා බලා යන ගුවන්යානයට පසුව ආවේ කොළඹ බලා යන අපේ ගුවන්යානය යි. අපේ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් ද ශ්‍රී ලාංකිකයන් මෙන් ම විදේශිකයන් ද ලංකාවට යාමේ සූදානමින් සිටියා. ඔස්ටේ්‍රලියාවේ සරසවියක උසස් අධ්‍යාපනය ලබන තරුණයෙක් ද දැන හඳුනාගැන්මට ලැබුණා. ඔහුගේ තාත්තා ආරාධිත කථිකාචාර්යවරයෙක් වශයෙන් කලක් පේරාදෙණිය සරසවියේ සේවය කොට තිබුණා. ඔහුට විදුදය අත්පොතක් Vidudaya Hand Book   තිලින කළා.

අපේ ගුවන්යානය පදවාගෙන ආවේ ගුවන් නියමුවරියක්. මා ශ්‍රී ලංකාවේ සරසවියක සේවය කරන ආචාර්යවරයකු බව කියා මගීන් සියලු දෙනා වෙනුවෙන් ඇගේ සේවය අගය කොට ඔබ අපට වීරවරියක මෙන් දැනෙන බව ද පවසා අදිකාරම්තුමන්ගේ First Step  කෘතියෙන් පිටපතක් මහත් ගෞරවයෙන් ඇයට තිලිණ කළා.

ආදරණීය ගඟුල් - ආදරණීය මිහිදිනී,  

ඔබ දෙදෙනාට මතකයි නේද අපේ ගෙදර සාමාජිකාවක ලෙස අපේ හිත්වල විසල් ඉඩක් හිමි කරගෙන සිටි පූස් පැංචී කිරී. දෙසතියක් පමණ දැඩි ගිලන් භාවයකට පත් ව සිටි ඇය කිසිදු ප්‍රතිකාරයකින් සුවපත් කරගන්නට අපට හැකි වූයේ නැහැ. ඇය නික්ම ගියා. මිහි රැඳි ගඟුල ද මේ නමින් අවිදූර අනාගතයේ දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වන ගුරු දියවර දෙවැන්නෙහි ප්‍රශංසා සුවර්ෂා යන ශීර්ෂය යටතේ එන තුතිපුද සටහනට පහත සඳහන් වැකිය එක් කරන්නට මම අමතක කළේ නැහැ.

ගුරු දියවර නවකතාව පරිගණක අක්ෂරකරණය කරන විට ලියන මේසයේ පසෙකට වී නිහඬ ව එදෙස බලා සිටි නොබෝදා නික්ම ගිය අපේ පූස් පැංචී කිරීට.

දැන් මම මේ ලේඛනය අවසාන කිරීමට පෙර තවත් වැදගත් පුස්තක රත්නයක් වෙත සැකෙවින් හෝ ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. ඒ ආචාර්ය හව් වේ මින් ලියූ චීනයේ බුදුසමය යි. මෙය පරිච්ඡේද හතකින් සමන්විත පොතක්. ප්‍රවේශය නමින් ඇත්තේ එහි ප්‍රථම පරිච්ඡේදය යි. දෙවැන්න ප්‍රාග්බෞද්ධ යුගය යි. බුදුසමය පිහිටුවීම හා විකාශනය යන මාතෘකාව යටතේ පෙළ ගස්වා ඇත්තේ මේ පොතේ තෙවැනි පරිච්ඡේදය යි. තායි සමාජ සංස්ථා පිළිබඳ කිසියම් අවබෝධයක් ලබනු රිසි පාඨකයනට වැදගත් වන්නේ මෙහි සිවුවැනි පරිච්ඡේදය යි. පස්වැනි පරිච්ඡේදයේ ඇත්තේ බුදුදහම හා තායි ජීවන රටාව පිළිබඳ විස්තර යි. සයවන පරිච්ඡේදය යුන්නාන් තායි බෞද්ධ කථා සාහිත්‍යය පිළිබඳ වන සංකථනයකට වෙන් කොට තිබෙනවා. ඔය දෙන්නාට වඩාත් දැනේවි, මෙහි හත්වැනි පරිච්ඡේදය. යුන්නාන් තායි බෞද්ධ කලාව තමයි එහි මාතෘකාව. ප්‍රතිමා ගෘහ, උපෝසථාගාරය, ස්තූප චිත්‍රකලාව, ලංකා - තායි කලා සමානතා යන මාතෘකා යටතේ මෙහි කරුණු පෙළගස්වා තිබෙනවා. මේ පොත කියවීම සඳහා ඔබ දෙදෙනාට දෙන්නම්.

දැන් මේ එළැඹ තියෙන්නේ මේ සටහන් අවසන් කිරීමේ මොහොත යි. මම එය අවසන් කරන්නේ ඔබ දෙදෙනාට මෙසේ ආසිරි පතමින්.


ගඟුලක් ලෙසින් දැනෙනා සිසු පුත තුරුණු

දියණිය මිහිදිනී, මිහිකත සේ        දැනුණු

ගුරු ජීවිතේ සදරුත් ගෙන එන     පිරුණු

යුවළට පුදමි ආසිරි, හදකින්         නිමුණු


හද සිසිලස බෙදන මුදු ගඟුලක්         වේවා

මිහිදිනි විහිදුවාවා, මිහිකත              සේවා 

සිසු සිත් සදා දැනුමින් නුවණින්        නාවා

අද මෙන් හෙටත් ලොවකට සුව    ගෙනදේවා