Friday, August 28, 2026

153. ගුරු දියවර 58 - සමන් චන්ද්‍ර රණසිංහ

                            හෘදයහාරී චීනචාරිකාවේ තවත් සතියක්



දයාබර ගඟුල් - දයාලු මිහිදිනී,

ඔබ දෙදෙනාට පොරොන්දු වූ පරිදි දැන් මම අපගේ හෘදයහාරී චීනචාරිකාවේ තවත් සතියක් ගැන ලියනවා. ඒ කලින් වගේ ම චීන සාහිත්‍ය ග්‍රන්ථ ද අදාළ පරිදි සම්බන්ධ කර ගනිමින්. අද දවසේ මම පළමුවෙන් ලියන්නේ අපේ ගමනේ පස්වැනි දිනය ගැන යි. අද උදේ ආහාරය ගත්තා හෝටල් පරිශ්‍රයාසන්නයේ පිහිටි එළිමහන් ආපනශාලාවකින්. මෙහෙ නිර්මාංසාහාර අපේ සුසිල්ට හුරුයි. අපේ කණ්ඩායමෙන් වහා ඒවාට පුරුදු වන්නේ ඔබ මිතුරු හසිත්. මෙහෙ පලතුරු නැවුම්. නිර්මාංසික විදේශිකයකුට ඒවා ආහාර පිණිස ගැන්ම ද තමන් ඉදිරියේ ඇති හොඳ විකල්පයක්. චීනයේ ඉගෙන ගැන්මට පැමිණි අපේ ආදිශිෂ්‍යයන් වැඩි දෙනෙක් මුලින් අනුගමනය කොට තිබෙන්නේ එය යි. අද දවසේ අපට ද එම අද්දැකීම විඳ ගැන්මට ලැබුණා.

අද දවසේත් අපගේ රථාචාර්ය වන් සොහොයුරාගේ උදේ රැඳි සිනා මුහුණ හවස වෙන් ව යන විටත් වෙනස් උනේ නැහැ. තමන්ගේ යහපත් හැසිරීම අනාගතය උදෙසා වන ආයෝජනයක් විය හැකි ය යන අවබෝධය කෙනෙකුට ඇති උනොත් ඒ නිසා ම ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් රටා සාධනීය ලෙස වෙනස් විය හැකි යි. ඔබ දෙදෙනා ම ඔබේ ශිෂ්‍යයන් සමග මේ ගැන කතා කරන්න. එබඳු සංකථන විෂය ඉගැන්වීමටත් වැදගත් බව ඔබ දෙදෙනා ම දන්නවා. ඒ නිසා ම එබඳු දෙයකට ප්‍රවේශයක් කොට ගත හැකි චීන අධ්‍යයනය නම් පොත ගැනයි, දැන් මේ කියන්නේ. එහි ප්‍රධාන සංස්කාරකවරයා මහාචාර්ය හව් වේමින්. මා විද්‍යාරත්නයේ උගන්වද්දී ශිෂ්‍යයකු ව සිටි, දැන් පේරාදෙනිය සරසවියේ ආචාර්ය මණ්ඩල සාමාජිකයකු වන ආචාර්ය පූජ්‍ය මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේ ද එහි සංස්කාරකවරයෙක්. ඒ වගේ ම අපේ සුසිල් විජේරත්න ද සෝදුපත් බැලීමෙන් ඊට සහාය වී තිබෙනවා. එහි ලිපි 18ක් අන්තර්ගත යි. ඒවා පාශියන් හිමි සමරු ලිපි, චීන - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා, දර්ශනය සහ ආගම, සාහිත්‍යය සහ කලාව, නව මතවාද සහ අතිරේක ලිපි සහ චීන භාෂාව ඉගැන්වීම යන ප්‍රධාන ශීර්ෂ හයක් යටතට ගොනු කොට තිබෙනවා. මෙහි අපට හුරුපුරුදු පාහියන් හිමි යන නම වෙනුවට භාවිත කොට ඇත්තේ පාශියන් හිමි යන්න යි. මන් හිතන්නේ ඒ එය නිවැරදි චීන උච්චාරණය නිසා වන්නට ඇති. උන් වහන්සේගේ ඓතිහාසික කාර්යභාරය සහ දායකත්වය ගැන හව් වේමින් සහ ටී. ජී. කුලතුංග යන මහාචාර්ය දෙපළත් ආචාර්ය මදුරාවල සෝභිත ස්වාමීන් වහන්සේත් ශාස්ත්‍රපති පරණගම ඤාණවිමල ස්වාමීන් වහන්සේත් ලිපි සම්පාදනය කොට තිබෙනවා.

මේ පොතේ ද්විතීය භාගයේ එන ලිපි අතර සම්මානිත මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන්ගේ ලේඛනයක් ද විද්‍යමාන යි. පේරාදෙනිය සරසවියේ සේවය කළ මහාචාර්ය එම්. ඩී. ගුණතිලකයන් විසින් තාඕ දහම ගැන ලියු කෙටි ලිපියට ද මගේ විශේෂ අවධානය යොමු වුණා. එය පමණින් කෙටි, ගුණයෙන් විසල් ලිපියක්. මම කැමතියි ඉන් මා උකහාගත් දෙය මගේ වචනවලින් මෙසේ ඔබ දෙදෙනා සමග බෙදා ගැන්මට.  

තාඕ දහමෙහි රසය කඳු මුදුනකින් ගලා බස්නා සිසිල් දිය දෝතකටයි සමා කොට ඇත්තේ. එයට බාධාවක් නැහැ. වෙනස්වීමක් නැහැ. එය සමාන කළ හැක්කේ පැහැදිලි සුළඟට යි. එහි ව්‍යාජත්වයට ඉඩක් නැහැ. තාඕ දහමට අනුව බලන විට ඊයේ අද සහ හෙට කියා අප බෙදන කාල එක සමාන යි. කුහුඹුවා මෙන් ම රජු ද එක සමාන යි. තාඕ දහම තුළ ඉතා ඈත අතීතය මෙන් ම මේ දැන් ගෙවී ගිය මොහොත ද ගැබ් ව පවතිනවා.

ගුණතිලක සර් ‘චුවං-ත්ස’ නම් ග්‍රන්ථයේ තාඕවාදී ඍෂිවරුන් ගැන වන හැඳින්වීමක් ද මේ පොතට එකතු කොට තිබෙනවා. එහි කියවෙන අන්දමට ඒ ඍෂිවරුන් අනුගමනය කරන්නේ අහසේ සහ පොළොවේ ස්වාභාවික මාර්ගය යි. කරුණාවේ මෙන් ම සාධාරණයේ ද නොගැලෙමින් ඔවුන් තම අධ්‍යාත්මය වර්ධනය කරගන්නවා. නිවුණු බව, කිසිවක් ගණන් නොගන්නා බව, නිහඬ බව, ශාන්ත බව, හිස් බව සහ අක්‍රියාව ඔවුන් වෙතින් විද්‍යමාන යි. කිසිම දේකින් මේ ඍෂිවරුන් කම්පාවට පත් වන්නේ නැහැ. ඔවුන් ගතානුගතික බුද්ධිය සහ අතීතය පිළිබඳ සිය ලුමතක සටහන් අතහැර දමනවා. ඔවුන්ගේ ජීවිතය ගලා යාමක් පමණ යි. ඔවුන්ගේ මරණය හඳුන්වා ඇත්තේ නිසල විවේක ගැනීමක් විදිහට යි.

දහම හා බැඳුණු අප්‍රමාණ සෞන්දර්යයක් ලෝකයට ප්‍රදානය කොට නිසල විවේකයට පත් සහෘදය යති රුවනක් ඔබට අපට ලෝකයට අහිමි වුණා මේ නොබෝදා. ඒ ගැනත් යම් සඳහනක් කරන්නට මම කැමතියි. ඒ ඔබ අප දන්නා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ යි. මට උන්වහන්සේ පළුමුවෙන් හමු වන්නේ 1981 වර්ෂයේ දී යි. එතකොට උන්වහන්සේට අවුරුදු තිහක් තිස්එකක් පමණ වන්නට ඇති. මට අවුරුදු විස්සයි. ඉන්පසු සාහිත්‍යය හා බැඳුණු සංසිද්ධිවලදී කීපවාරයක් ම අපට උන්වහන්සේ හමු වී තිබෙනවා. ඇසුර පහසු ප්‍රසන්න යතිවරයෙක් කියන වචනයි මට උන් වහන්සේ ගැන කියන්නට තිබෙන්නේ. පසුගිය දිනයක ඔබේ කලණ මිත් හසිත් සන්නිවේදිකා පවිත්‍රා කේශිනී නානායක්කාරගේ ආරාධනය පරිදි සිද්ධාර්ථ හිමියන් පිළිබඳව ඇයත් සමග හොඳ වැඩ සටහනක් කළා උන් වහන්සේගේ ගීතෝක්ති ද නිදසුන් වශයෙන් දක්වමින්. එහිදී ඔහු නිදසුන් වශයෙන් ගත් එක් ගීතයක වචනත් ඒ ගැන හසිත් කළ විවරණයත් මට වඩාත් දැනුණා. ඒ ගීතයේ මුල් වචන කීපය ලියා හසිත් දැක්වූ අදහස ද කෙටියෙන් කියන්නම්.

හදවත දෙව්රම් වෙහෙරක් වේවා

දෙනයන මනරම් පියුමක්  වේවා

හසිත් මේ ගීතය හැඳින්නුවේ පෘථග්ජන සෞන්දර්යයේ මනා ප්‍රකාශනයක් වශයෙන්. එදා ඔහු පැවසුවා පාරිලෙය්‍ය වනයේ සිට ගලා ආ බුදුන් වහන්සේ සීතල දම් දියදහර සමග සිංහරාජ අඩවියේ උපන් මේ සොඳුරු යතිරුවන සිංහරාජ මහා වනපෙතින් ගලා එන සීතල දිය දහර මුසු කරන බව. ගඟුල් - මිහිදිනී, ඔබ දෙදෙනා මේ පෘථග්ජන සෞන්දර්යය මනාව අවබෝධ කොටගත් ඒ ගැන ශිෂ්‍ය ප්‍රජාවට කියාදෙන සුයුග්මයක් නිසයි හසිත්ගේ කතාවේ මේ තැනම මට උපුටා දක්වන්නට සිතුණේ.

අපි එක් ව ප්‍රාර්ථනා කරමු මෙහෙම.

අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරම නිවනින් නිවී සැනහේවා!   

දැන් අපි යළිත් අපේ ගමන ගැන කතා කරමු.

අද උදේ වරුවේ අප ගියේ ජජානයේ සමුරායිවරුන් සිහිපත් කරවන රණකාමිත්වයේ වේවා අත්‍යහංකාරයේ වේවා අතීත රජ බිම්කඩකට යි. පෙරදිග චින්තන විධි අධ්‍යයනය කරන ඔබ මිතුරා හසිත් එතැන දී එක්තරා ප්‍රකාශයක් කළා. ඒ, මේ ප්‍රදේශය පාලනය කළ පාලකයන් දෙදෙනකු සිය පාලනය හසුරුවා තිබෙන ආකාර නිරීක්ෂණය කිරිමෙන් පසුවයි. එක් පාලකයෙක් තමන්ගේ මරණයෙන් පසු සිය දේහය තැන්පත් කරන ස්ථානයේ තමන් ජීවත් ව සිටි කාලයේ මෙන් අශ්ව හමුදාවල සෙබලුන්ගේ අනුරූ හදවනවා. එසේ හැදූ සෙබල අනුරූ පමණක් 500 ක් තිබෙනවා. තවත් කෙනෙක් සිය ජීවිත කාලය පුරා ජන සුභසිද්ධිය උදෙසා වැඩ කොට නිහඬ ව ම ලෝකයෙන් නික්ම යනවා. අද අපි දැක්කේ මහත් සේ සද්ද කොට නික්ම ගිය පාලකයාගේ වැඩ යි. දැන් මම ලියන්නම් හසිත්ගේ ප්‍රකාශය.

“එක පාලකයෙක් තමා සැඟවී චීන දේශයේ යහපත පිණිස කටයුතු කරද්දී තවත් රජෙක් තමාගේ ආත්මාර්ථකාමී ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිය තනතුරු සහ බලය පාවිච්චි කොට තිබෙනවා.”

අපට මෙය රාජ්‍ය බලය සුභාවිත කිරීම සහ අවභාවිත කිරීම යන කාරණා දෙක සම්බන්ධයෙන් නිදුසුන් කළ හැකි යි.

විශාල පිරිසක් මේ ස්මාරක නැරඹීම සඳහා එනවා. ඇත්තම කියනවා නම් මට මෙතන දැනුණේ ම නැහැ. ඒත් ඉතිහාසය ඉගෙන ගන්නා අයට අතීත පාලක මනස්වල ගති ලක්ෂණ ගැන අධ්‍යයනය කරන අයට මේ නැරඹුම් වැදගත්. ඒවා වර්තමානයට අයත් අපගේ ආස්ථාන වඩාත් යහපත් කර ගැන්ම සඳහා භාවිතයට ගත හැකි යි.

මෙතැන මග පෙන්වන චීන ජාතිකයන්ගෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි භාෂාවෙන් සිය සන්නිවේදන කාර්යය සිදු කළ හැකි යි. දැන් මුරිසි දිවයිනේ ජීවත් වන ඉන්දියානු යුවළක් ද අපට මෙතැන දී දැන හඳුනා ගැන්මට ලැබුණා. ඒ අනිල් සහ අනීටා යි. අදිකාරම්තුමන්ගේ පළමු පියවරට අපේ රවී කළ ඉංග්‍රීසි පරිවර්තනය වන ත්‍සරිඑ ීඑැච පොත ද ඔවුනට පරිත්‍යාග කළා එහි අන්තර්ගතය ගැන කියා.  

අප දිවා ආහාර ගත් තැන සිටි සේවිකාවන් දෙදෙන ද අප සමග හිතවත් උනා. අපේ ෆුඩ් සිටියකට සමාන තැනකට ගොස් අපට අවශ්‍ය සහල් කිරි ආදිය මිලදී ගත්තා. ඒ හැම තැනක දී මුදල් භාවිතය වෙනුවට කරන්නේ කිව් ආර් කේත භාවිතයෙන් අදාළ ගෙවීම සිදු කිරීම යි.  

අනතුරුව අපි ගියේ චීන ගම්මානයක් වෙත යි. එක් ගෙදරක් ළඟ නැවතී ඔවුන් සමග හිතවත්කම් ඇති කොට ගත්තා. සුසිල් තමයි අප ගැන විස්තර පවසමින් අපගේ භාෂා පරිවර්තකයාගේ කාර්යය සිදු කළේ. ඒ ගෙදර පරම්පරා තුනකට අයත් අය සිටියා. තරුණ මවක් ඇගේ දෙමවුපියන් සහ දරුවන්. තවත් තමන්ගේ සීයා සමග සිටි චීන සිඟිත්තෙක් ද අප සමග සුහද උනා. අපි ගොවිපලවල් දෙකකටත් ගියා. එක ගොවිපලක වැඩි වෙලාවක් සිටියා, එතැන සත්ත්ව පාලනය නොකරන තැනක් නිසා. ඒ ගොවි යුවළ ප්‍රසන්න යි, සුහදයි  අප සමග ඡායාරූපත් ගත්තා. මම පැත්තක ඉඳගෙන සිංහලෙන් සටහන් ලියන විට ගෙවිලිය ඉතා ඕනෑකමින් ඒ අකුරු දෙස බලා සිටියා. තමන්ගේ වැඩ කටයුතු කර ගැන්ම සඳහා ඔවුනට කැබ් රියක් තිබෙනවා. කිසියම් පලා විශේෂයක් තමයි ඒ ගොවිබිමේ අපි වැඩි වශයෙන් දුටුවේ. අප වෙන් ව එන විට අප වෙනුවෙන් ම ඒ පලා කොටසක් නෙලා අපට දුන්නා.

චීන ගම්මාන අද්දැකීම සොඳුරු යි. අප කිසිවකුට රුසියානු ගමක අද්දැකීම් ලද අපේ ඔරුවල බන්දු ජ්‍යෙෂ්ඨ මිත්‍රයා ලද අද්දැකීමට සමාන දෙයක් නොතිබුණත් ඔහු රුසියානු ගම්මානයක දී යන මාතෘකාව යටතේ ලියූ හෘදයංගම කවි පෙළක එන එක් කවියක් ද මෙහි සටහන් කරනවා. එය කවදා හෝ රුසියානු ගමක් ගැන අද්දැකීම් ලබද්දීත් අපට සිහි වේවි.

මළහිරු මඬල මගෙ හදවත  පලාගෙන 

ගනඳුරු දෙවන විට මුළු ගම වසාගෙන 

නීනා කඳුළු සලමින්     ඉකි ගසාගෙන

දොරකඩ සිටී මා යන මග  බලා ගෙන

යම් දවසක අපේ ප්‍රවීණ පරිවර්තක මල්රේණු කස්තුරිරත්න රුසියානු භාෂා ප්‍රේමියා සමග රුසියාවේ සංචාරයක් කිරීමේ අදහස ද තිබෙනවා. එසේ යායුතු රටවල් කිහිපයක් ගැන ම අදහසක් තියෙනවා. ඇත්තට ම අපේ චීන සංචාරය අහඹුවක්. අපි අපේ අනුර - මල්ලිකා සහෘදය යුවළ සමග යාමට සිතා සිටියේ ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශය ආවරණය වන චාරිකාවක යි. වර්තමාන ලෝක තත්ත්වය අනුව එය වෙනස් උනා. මතු දවසක එය කරනවා. මේ වූ වෙනසටත් අපි කැමති යි.

ගංගාවක් දැක අපි එතැන මඳ වෙලාවක් නතර උනා. හොඳ ඇපල් දැක මිලදී ගත්තා. ඒවා නැවුම්. අද දවසේ අපේ තාවකාලික හෝටල් ගෙදර අපේ අය බතක් උයනවා. ඇත්තට ම අපේ ගෝචර භූමියට අයිති ආහාර තමයි අපට වැඩියෙන් දැනෙන්නේ.  

චීන චිත්‍රපටයක් බැලුවා. ලංකාවට දුරකතන ඇමතුම් ගත්තා. මෙහෙන් අපේ රටට ගෙන යායුතු දේවල් ගැන සාකච්ඡාවක යෙදුණා අපේ ගෙදර පිරිස. හෙට දවසේ ගමන සැලසුම් කළා. හෙටත් අපේ රථාචාර්ය වන්නේ වන් සහෘදයා යි. ශ්‍රී ක්‍රිෂ්ණ රථාචාර්ය සංකල්පය ගැන සුසිල් ලවා ඔහුට කිව යුතු යි. සන්නිවේදන ගැටලුව නිසා මට එය කළ නොහැකි යි.

චීනයේ මහලු අය දුටුවේ අඩුවෙන්. එය පවත්නා තථ්‍ය තත්ත්වය නම් එහි රහස අධික ධූමපානය සහ මස් කෑම ද? විශේෂයෙන් මේ තත්ත්වය වර්ධනය වුවහොත් අනාගත චීන සමාජය පිළිකා රෝගීන් බහුල රටක් බවට පත් වේවි. මේ සා දියුණු විද්‍යා සහ තාක්ෂණික ඥානයක් ඇති රටක් මෙහි ඇති බරපතලකම අවබෝධ කොට නොගන්නේ ඇයි? බැලූ බැල්මට අපට කිසියම් ආධ්‍යාත්මික සංවර්ධනයක් ද ඇති බව පෙනෙන මේ රට එවන් තැනකට වැටීම සංවේගජනක යි.  

චීන භාෂාව සංකීර්ණ යි. රූපාක්ෂර රැස යි. ඉගෙනීමට දුෂ්කර යි. ඉංග්‍රීසි භාෂාව ජනප්‍රිය වන්නේ එහි අක්ෂර ගණන අකුරු 26 කට සීමා වීමත් ඒ නිසා ම ඒ ඉගෙනීමට පහසු වීමත් නිසා විය හැකි යි.

අහේතුක ව අය්යා 1979 දී 2000 වර්ෂය සඳහා ඇඳ තිබූ විහඟ ගීතය දින දර්ශනය සිහිපත් වුණා. ඇතැම් චීන සිතුවමක් දකින විට අපට සිහිපත් වන්නේ එය යි. එය සාමයේ පණිවිඩය උපරිමාකාරයෙන් සංකේතවත් කරන සිත්තමක්. ඒ වගෙම යුද පිණිස නික්ම යනු රිසි පුතුට ඔහුගේ අම්මා ආශිර්වාද නොකිරීම ගැන 1984 වර්ෂයේ දී මා ලියු සටහනක් මේ මොහොතේ සිතට එන්නේ එහි ගැබ් ව ඇත්තේ ද සාමයේ පණිවිඩය නිස යි. මෙය කලින් වතාවක ගුරු දියවරකට මුසු කළා ද නැද්ද යන්න ගැන පැහැදිලි මතකයක් නැති නිසා ඒ ගැනත් සඳහනක් කරන්නම්. පුතෙක් යුද පිණිස යාම සඳහා නික්මීමට පෙර සිය මව හමුවට පැමිණ ඇයට වඳිනවා. එවිට අම්මා කියන්නේ මම ඔබට ජය ලැබේවා යි ප්‍රාර්ථනා නොකරන බව යි. මන්ද එහි අරුත ලොව කොතැනක හෝ සිටින අම්මා කෙනෙකුට තමාගේ පුතු අහිමි වීම ඉන් කියැවෙන නිසා කියල යි ඇය කියන්නේ. මා ලියූ මේ සටහන අදිකාරම්තුමන්ට පෙන්වූ විට එතුමා එයට නමක් දුන්නා. ඒ සිහිනෙන් දුටු සත්‍යයක් කියා යි.

සෑම ජාතියක් විසින් ම රණකාමිත්වය අගය කිරීම යනු යුද්ධය සාධාරණීකරණය කිරීමක් කියා යි මට නම් සිතෙන්නේ. මෙය චීනය සම්බන්ධයෙන් ද ඇත්තක්. රටකට ඇතැම් විට අර්බුදකාරී අවස්ථා එළැඹිය හැකි යි. එවැනි මොහොතක දී කළ යුතු දෙය කරනු මිස අනාගත යුද්ධ උදෙසා උත්තේජන නොසැපයිය යුතු යි.

දේශාටනයෙන් අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. රටක පවත්නා චාරිත්‍රවාරිත්‍ර ඉන් එකක්. අදිකාරම්තුමා චාරිත්‍රවාරිත්‍ර දකින්නේ ද අපට වඩා වෙනස් ඇසකින්. එතුමා කියන අන්දමට අප දෙයක් කළ යුත්තේ හෝ නොකළ යුත්තේ ඒවා අපේ චාරිත්‍රවාරිත්‍ර අනුව සිතීමට යාමෙන් නොවෙයි. යමක් තමාට මෙන් ම ලෝකයට අයහපත ගෙනෙවා නම් එය කිසියම් චාරිත්‍රයකට අනුව කළ යුතු ම දෙයක් වශයෙන් පෙන්වා තිබුණත් එය කළ යුතු නැහැ. යහපත උදෙසා කළ යුතු ම දෙයක් සම්මත වාරිත්‍ර අතරට දමා තිබෙනවා නම් අප එය කළ යුතු යි. මෙවැනි අදහස් බුද්ධ වචනයටත් අනුගත යි නේ ද? මේ නිසාත් අදිකාරම්තුමන්ගේ වචන දෙස අප බැලිය යුතු වන්නේ නැවුම් ඇසකින්. එවිට අපට සාම්ප්‍රදායික යයි ආචීර්ණකල්පික යයි කියනු ලබන දෙයක ජීව ගුණයත් නව්‍ය යයි හුවා දක්වනු ලබන දෙයක අජීවී බවත් පෙනී යා හැකි යි. අපි හමු වූ දිනයක මේ කාරණා ගැනත් ගැඹුරින් කතා කරමු.  

ඒ හමු වූ දිනයක කතාකළ යුතු තවත් දෙයක් ගැන දැන් ඔබ දෙදෙනාට කියන්නට සිතෙනවා. එයට උල්පත වුණේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ පරිසර වැඩ සටහනකදී කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තරුණ මහාචාර්යවරයකු වන සම්පත් සෙනෙවිරත්න විද්වතා දැක්වූ අදහස්. එතුමා සමග ඒ වැඩසටහනට සම්බන්ධ වුණේ ප්‍රවීණ සන්නිවේදිකා සුභානී වැලිවිට යි. මහාචාර්ය සම්පත් කතාකළේ ගෙවත්ත ගැන. ඔහු කිව්වේ අපේ ගෙවත්ත සුරපුරයක් කරනවා ද නැත්නම් අපායක් කර ගන්නවා ද යන තීරණය ඇත්තේ තමා ළඟ බව යි. සම්පත් ගෙවත්ත විග්‍රහ කළේ පුළුල් අර්ථයකින්. ඔහු පවසන පරිදි බිමක් අහිමි මිදුලක් නැති අයට ද ගෙවත්තක් තියෙනවා. ඔහු කියන පරිදි තට්ටු නිවාස සංකීර්ණයක ජිවත්වන අය සිය නිවහනේ කවුළුවක් හැර අවට බලන විට ඇත්තේ ගෙවත්ත යි. එසේ ම බස්රියක කවුළුවෙන් වේවා ගුවන්යානයක කවුළුවෙන් වේවා යන විට අප අවලෝකනය කරන්නේ ද ගෙවත්ත බව යි, මේ තරුණ මහාචාර්යවරයා කියා සිටියේ. තව වටිනා අදහස් රැසක් ඔහු පැවසුවා. කොළඹ සරසවියට ගිය මොහොතක මේ මහාචාර්යවරයා හමු වන්න. ඔහුට මගේ සුබපැතුම් ද පිරිනමා හෙට දවසේත් මෙවන් අදහස් අඛණ්ඩව සමාජගත කරන්නට කියන්න.

අපේ චාරිකාවේ හයවැනි දිනය අද. සාරථී වන් කිව් වෙලාවටත් කලින් පැමිණ සිටියා. අදත් අපිට ගෙදර උයන බත් ලැබුණා. අද මුලින් ම ගියේ චීන ආරාමයකට යි. උන් වහන්සේලාට වන්දනය කළ විට උන් වහන්සේලා පෙරළා අපට ප්‍රත්‍යාචාර කරන අද්දැකීම අපට අදත් ලැබුණා. විවිධාකාර පූසන් දුටුවා මේ ආරාමයේ දී. අළු, තද අළු, කළු මෙන් ම මට වචනයෙන් විස්තර කියන්නට නොතේරෙන පුෂ්ටිමත් විවිධ පූසන් මේ පන්සලේ බිමේ තැනින් තැන සිටියා. ඒත් ඒ පන්සලට ආ පූසන් මිස එහි හදන පූසන් නොවන බව යි, දැන ගැන්මට ලැබුණේ.

සතර වරම් දේව වන්දනයක් ද තිබෙනවා මෙහි. එසේ ම යෂ්ටියක් අතේ තබා ගෙන සිටින බුදුරුවක් ද දුටුවා. මෙහෙදීත් වැඩිදෙනෙක් අප හඳුනා ගත්තේ ඉන්දියානුවන් හැටියට යි. ඒ ඕ හින්දූස් යයි කියමින්. අප ඔවුනට අපේ රට ලංකාව කියා කිව්වා. ඔවුන් අපේ රටේ නම උච්චාරණය කරන්නේ සිරිලංකා කියල යි. එසේ ම අපි ලංකාවෙන් ආ බෞද්ධයන් යි කී විට සිය දුරකතනය අතට ගෙන ඉන්දියාව ළඟ පිහිටි ලංකාවේ රුව ළඟට අත තියා අප සමග සුහද වන්නට ඔවුන් අමතක කළේ නැහැ. මා මෙය ලියන්නේ ඉන්දියානු - ලාංකික වශයෙන් හෝ හින්දු සහ බෞද්ධ වශයෙන් බෙදීමක් මතු කරන්නට නොව භාෂාවකින් තොර ව හෝ චීන ජාතිකයන් අනෙකා හඳුනා ගැනීමට දරන ප්‍රයත්නය ප්‍රකාශ කිරීමට යි.

අය්යා හෝකන්දර අපේ කුඩා ගෙවත්තේ දුටු ගල්තලා සහිත පරිසරයක් ඇති තැනක් මේ විහාර බිමේත් තියෙනවා. බොන් සායි රුක් රෝපණ ද බහුල යි. 

චීන තරුණයකු සමග තුරු සෙවණක හිඳ හස්තමුද්‍රා ද සහිත ව සාකච්ජාවක් කළා. ඒ ඔහුට මගේ භාෂාවත් මට ඔහුගේ මාතෘ භාෂාවත් නොතේරෙන නිස යි. ඒත් අපි මෙහිදී එකිනෙකා හඳුනා ගත්තා. අප වෙන් ව ගියේ ද ඒ සුහදතාව අපේ හදවත්වල රඳවාගෙන යි.

ගඟුල් - මිහිදිනී මෙහෙ වැඳීම සඳහා ආසන සදා තිබෙනවා. ඒ අසුන් මත දණ නමා තමයි වන්දනය සිදු කරන්නේ. මේ පන්සල් නිර්මාණය කොට ඇත්තේ ද අපේ පන්සල් සදා ඇති ආකෘතීනට වඩා වෙනස් ආකාරවලට යි. මේ ගෘහ නිර්මාණ කලාව ද වෙන ම අධ්‍යයනය කළ යුතු එකක්. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු වන අපේ උදය පුතා සමග මම මේ ගැන විශේෂයෙන් කතා කරනවා.

තැනින් තැන මකර රූප ද දෘශ්‍යමාන වන බව කිව යුතු යි.  

අපේ හසිත සහ සදසි චීන පොත්හලකට ගියා. එහි තියෙන තරමක් පොත් තිබී ඇත්තේ චීන පොත්. එක් චීන කාටූන් පොතක ඉංග්‍රීසි පරිවර්තනයක් තමයි තිබී ඇත්තේ. එහි නම Father and Son එය අරන් ආවා. ඒ ගැන ද යමක් සඳහන් කළ යුතු යි. පිටුවෙන් පිටුවට තියෙන්නේ තාත්තාගේ සහ පුතාගේ කාටූන් චිත්‍ර සහිත විහිලු කතා යි. ඒත් ඒ බොහෝ කතාවල ඒ විහිලු ඉක්මවා ගිය ගැඹුරක් පේන්නට තිබෙනවා. ඒ කතා අතුරින් මට වඩාත් ම දැනුණේ එහි එන අවසන් කතාව යි. එය හාස්‍යය - උත්ප්‍රාසය ඉක්මවා ගිය කිසියම් හෘදයහාරී ගැඹුරක් දනවනවා. මේ අන්තිම කතාව අවසන් වන්නේ Farewell my dear friends   කියායි. මේ, එතෙක් අප සමග එකට ආ ඒ කතාවේ තාත්තාත් පුතාත් අපෙන් සමුගන්නා තැනයි. මෙතැන දී පුතා තාත්තාගේ අතින් අල්වා ගෙන අසනවා තාත්තේ, දැන් අපි කොහේට ද යන්නේ කියා. පියා ඊට පිළිතුරු වශයෙන් කියන්නේ මා ඔබ සමග දැන් සඳට යනවා කියා යි. පුතා පවසන්නේ තමා මෙතෙක් සඳ යනු අපට මෙසේ පියාඹා යා හැකි තැනක් බව නොදැන සිටි බව යි. මේ සිත්තරා පියපුතු කතා මාලාව අවසන් කරන ආකාරය තමයි, හරිම සොඳුරු - ගැඹුරු සේ ම විසිතුරු වන්නේ. අද දවසේත් රාත්‍රී ආකාශය දෙස බලා සිටින නිසල මොහොතක ඔබ දෙදෙනාටත් පුළුවන් මේ කතාවේ කියවෙන පිය පුතු දෙදෙනා දැක ගැන්මට.

̎Father and the son didn't leave you guys, You can find us every night when you look up at the sky.

මට දැනෙන්නේ අප විසින් අත්හළ නොහෙන, වින්දනය කළ යුතු මේ මොහොත ඉහත කතාවේ අන්තර්ගත වන බව යි.

මෙයිනික්බිති අද දවසේ තෙවැනි අංකය හැටියට අපි උද්‍යානයකට ගියා. මහල් නිවාස ජීවිත ගත කරන චීන ජාතිකයන් පවුල් පිටින් එතැනට පැමිණ සිටියා. එහි නිර්මාණය කළ කුඩා ජලාශ දෙකක් සහ ශෛලමය අලංකරණ තිබුණා. ඒ ජලාශවල අපමණ සුරතල් මසුන් සිටියා. ඒ ජලාශයන් වෙතට බට කීපයක් ඔස්සේ අඛණ්ඩ ව ඔක්සිජන් සැපයීම සිදු වෙනවා. අපි මාළුන්ට කෑම දුන්නා. සතෙකුට වුව ආහාර දිය යුත්තේ ආදරයකින්, ඒ වගෙම ගෞරවයකින්. තමාට ආහාර දෙන්නේ මොන රටක මොන ජාතියකට අයත් අය ද යන්න මාළුන්ට අදාළ නැහැ. ඒ අපි මාළුන්ගෙන් ඉගෙන ගත යුතු පාඩමක්. මට මේ මොහොතේ අපේ දුව කුඩා කාලයේ ඇය වෙනුවෙන් ම හද හදා කියා දුන් මුහුදු පත්ලේ ඇති රටක් ගැන කතාව සිහිවුණා. ඒ කතාවේ එන හෝටල්වල සේවය කිරීම සඳහා මාළු වේටර්ලා සිටිනවා. ඔවුන් හැඳින්වීම සඳහා මම පාවිච්චි කළේ වේළු මාටර් යන නම යි.

තරුණ යුවළවල් සිය විවාහයට කලින් ගන්නා පූර්ව දර්ශන හෙවත් Photo Shoot  ගන්නා තැනක් බවට මේ උද්‍යානය පත් ව තිබෙනවා. මේ උද්‍යානයේ තැනින් තැන ඇති කුටිවල වෙනස් ආකාරයකට පියසි නිර්මාණය කොට ඇති බවක් පේනවා. එසේ ම චීන ජාතිකයන් අලංකරණ උදෙසා ස්වාභාවිකත්වය මෙන් ම ඔවුන් විසින් නිර්මාණය කරගත් කෘත්‍රිම දෙය ද භාවිත කොට තිබෙනවා. බොන්සායි තුරු, ජලසම්පත, මසුන් සහ බට ලී යොදාගෙන ඇති ආකාර ඊට නිදර්ශන යි.

චීනයේ වැඩි වශයෙන් තිබෙන්නේ තට්ටු නිවාස බව මම කලින් ද සඳහන් කළා. සිය දේශය වශයෙන් මේ සා විසල් බිමක් තිබියදී මොවුන් තට්ටු නිවාසවල ජීවත් වන්නේ ඇයි ද යන ගැටලුව චීනයේ සංචාරය කරන කෙනෙකුට ඇති වෙනවා. එයට චීන පාර්ශ්වයෙන් විවිධ පිළිතුරු ඉදිරිපත් වුවත් මට නම් හිතෙන්නේ පුංචි බිමක් ඇති අප චීනයට වඩා වාසනාවන්ත බව යි. ඒ අපි බොහෝ දෙනාට ඉහළ අහසේ නොව මේ මහ පොළොවේ ජීවත් වීමටත් කුඩා බිම්කඩක් හෝ ලැබී තිබීමත් නිස යි.  

මේ තට්ටු නිවාසවලින් සිය කුඩා දරුවන් සමග එළියට එන මනාව සැරසුණු තරුණ අම්මලා දකින විට මට මතක් වන්නේ ඔයගොල්ලන්ගේ පරපුරේ තරුණ කිවිඳිය යශෝදා සම්මානී ප්‍රේමරත්න දියණියගේ ස්මාට් අම්මා පද්‍ය පන්තිය යි. මේ අම්මලා, ස්මාට් අම්මලා මෙන් ම සිය දරුවන්ට පැවරුම් සඳහා දෙන ගෙවත්තේ සුවඳ මල් පිපෙන මල් ගස් ගැන කොහොම ලියනවා ද කියා මා දන්නේ නැහැ. මේ පද්‍ය පන්තිය ගැන දන්නා ඔබ දෙදෙනා උදෙසා නොව අපේ ගුරු දියවර පාඨක සහෘදයන් වෙනුවෙන් මට මෙතැනට එය එකතු කරන්නට සිතෙනවා. මිහිදිනී, අපේ යශෝදාටත් මේ ගුරු දියවර යවන්න.  

     ස්මාට් අම්මා

ස්මාට් ජංගමය ඇතුළෙන්

ඉස්කෝලෙ මිස් අරන් එන්නැයි කියූ

කප්පරක් පින්තූර ගූගල් කෙරෙම්මා

ප්‍රින්ටරේකට සුදෝසුදු කරදහි කවා

ලෝකයක් දෝතට ගෙනෙන්නී 

වඩවමින් පෙම්මා

ඔන්ලයින් කඩවීදි ගානේ 

පැකට් කළ ඔළිඳ, මදටිය සොයා ඇහිඳිම්මා

දොළොස්වෙනි තට්ටුවෙන් 

ගෙවත්තේ සුවඳ මල් පුබුදවා ගන්න හැටි 

දහඅතේ කල්පනා කරන්නී ගෙළ නම්මා


ස්ටේ්‍රට් කෙස් මැදින්

දිලෙන තරු ඇස් දෙකේ සෙනේ නැත නිම්මා 

ස්මාට් කැෂුවල් ඇඳන් වැඩට යන 

ස්මාටීස් අහුරක් අරන් ගෙදර එන 

ඇගෙ නමත් ‘රත්තරන් අම්මා’


අද දවසේ International and Enternational Gym  යන නම ගසා තිබූ විශාල ශාරීරික අභයාස මධ්‍යස්ථානයක් දුටුවා. ඒ වගෙම පැලෑටි අභිජනන මධ්‍යස්ථානයක් ද දැක්කා. එයිනික්බිති දැක්කේ කුඩා වන අරණක්. ඒ දුටු විට මතක් උනේ එවක අපේ අධ්‍යයනාංශයෙන් කළ යාත්‍රා කලාපයක තිබූ ශීර්ෂ පාඨය යි. ඒ තුරු සෙවණ සුන්දර යි යන අර්ථය දෙන තරුච්ඡායා සුන්දරා යන සංස්කෘත පාඨය යි.

එන ගමන් අපි අතරමග තිබ්බතීය පන්සලකටත් ගියා. එතැනදී චීන තරුණයෙක් අපහසුවෙන් වුව නූතන තාක්ෂණික උපකරණ මාර්ගයෙන් මා සමග අදහස් හුවමාරු කරගැනීමට ඉදිරිපත් වුණා. සන්නිවේදන කාර්යය නිවැරදි ව සිදු වුණේ සුසිල් එතැනට ආ පසුව යි. අනතුරුව අපි අපේ නවාතැනට ආවා.  

හවස සුසිල් සහ හසිත් අවශ්‍ය දේවල් කිහිපයක් මිලදී ගැන්ම සඳහා චීන කඩපළකට ගියා. ඒ පැමිණ ඒ දෙදෙනා අපේ දුවත් සමග රාත්‍රී ආහාරයට නූඩ්ල්ස් ගැන්මට ගියා චීන ආපන ශාලාවකට. අපි තිදෙනාගේ රාත්‍රි ආහාරය උනේ තැම්බූ අර්තාපල්. 

රූපවාහිනී චැනල් මාරු කරමින් බැලුවත් ඒ සියල්ල ම යන්නේ චීන භාෂාවෙන්. රැයේ වෛද්‍ය මහාචාර්ය සමාධි සහෘදයා සමග දූරකථනයෙන් කතා කළා. ඔහු හයමාසයක් චීනයේ හිඳ තිබෙනවා. මේ අතර අපට තවත් සුබ ආරංචියක් ද දැන ගැන්මට ලැබුණා අද දවසේ අපේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයෙන්. ඒ මහාචාර්ය ප්‍රණීත් සහ ආචාර්ය හිමාලිකා දෙදෙනාගේ සුපරීක්ෂකත්වය යටතේ නිසංසලා රාජපක්ෂ කළ ආචාර්ය උපාධි නිබන්ධයේ ඇගයුම් වාර්තාව එක් පරීක්ෂක මහාචාර්යතුමියක් විසින් පීඨයට බාර දී ඇති බව යි.

ගඟුල් - මිහිදිනී, දැන් මම ලියන්නට යන්නේ අපේ චීන චාරිකාවේ සත්වැනි දිනයට අදාළ විස්තර යි. එහි ආරම්භය සියෑන් සිට බීජින් බලා යාම යි. අද උදේ වරුවේ අපි සියෑන් නගරයේ ඇතුළත පිහිටි වෙළඳ සංකීර්ණයක ඇවිද්දා. එහි අපට අවශ්‍ය දේවල් කිහිපයක් ම තිබුණා. එහි සිටි මවක් සහ කුඩා පුතෙක් අප සමග ඉතා මිත්‍ර වුණා. හසිත්ලා ඔවුන්ගේ ඡායාරූප ද ගත්තා. අපි පාවහන් මිලදීගත් වෙළඳ සැලේ සිටියේ ද ප්‍රසන්න මිත්‍රශීලී කාන්තාවක්. මේ තැන්වලදී අපට ඔවුන් සමග ඍජුව අදහස් හුවමාරු කරගැන්මට හැකි වුණේ නැහැ, භාෂා ප්‍රශ්නය නිසා. සුසිල් තමයි අප දෙපිරිස සම්බන්ධ කරන චරිතය උනේ.   

අප පෙරළා හෝටලයට පැමිණ මඳක් විවේක ගෙන දහවල් දෙකට එතැනින් පිටත් වුණා, දුම්රිය නැවතුම්පළට යාම සඳහා. අප එහි ඇරලවීම සඳහා වන් මිතුරා පැමිණියා. ඔහුගෙන් ලද ප්‍රශස්ත සේවය අගය කොට අප ඔහුගෙන් සමුගත්තා. මේ ජීවිතයේ කිසි දිනෙක යළි අපට ඔහු මුණ ගැහෙන එකක් නැහැ. එහෙත් ආධ්‍යාත්මික ව ඔහු අප සමග සිටිනවා. ඒ ඔහු සිය චර්යාවෙන් අපේ හදවත්වල විසල් ඉඩක් හිමි කොට ගත් නිස යි.

ගඟුල් - මිහිදිනී, ගීතයේ අනුපම සෞන්දර්යයෙන් අපේ හදවත්වල විසල් ඉඩක් හිමි කොටගත්  සුගායනවේදිනී ආචාර්ය නන්දාමාලිනියත් අපට අහිමි වුණා නේද? මේ මොහොතේ වරින්වර ස්ත්‍රී නාදමාධුර්යය සමග අර්ථ මාධුර්යය මුසුකොට ඉසොඳුරු ගීත ලොවට සම්ප්‍රදානය කොට නික්ම ගිය රුක්මණී දේවී, ජී. එස්. බී. රාණි පෙරේරා, අයිරින් ද සිල්වා, නීලා වික්‍රමසිංහ, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක බඳු සුගායනවේදිනියන් රැසක් සිහි වෙනවා. දැන් අපට ඉතිරිව සිටින සුගායනවේදිනියන් වන ආචාර්ය සුජාතා අත්තනායක, මල්කාන්ති නන්දසිරි, ශ්‍රීමතී තිලකරත්න වැනි ඒ පරපුරේ ම සුප්‍රකාශන ලෙස සැලකිය හැකි කාන්තා චරිත ගැන මෙයට වඩා සොයා බැලිය යුතු යි. ගායන පෞරුෂ සංයුක්ත පුරුෂ පක්ෂය ගැන ද කීමට තිබෙන්නේ මෙයට සමාන දෙයක්. මෙහි දී කාන්තාවන් ගැන විශේෂයෙන් කතා කළේ මේ මොහොතේ අපට අහිමි ව තිබෙන්නේ ආචාර්ය නන්දාමාලනිය නිසයි.    

නන්දාමාලනියගේ සුමියුරු හඬින් ගැයෙන බුදුසාදු මම සමන් මලක් වෙන්නම්, මහද නීල ගගනතලේ, නිසංසල රෑ, වහින්නට හැකිනම් ගිගුම් දී, දොර කවුළු විවර කරන අරුණ උදයේ, මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා, වන වංක ගිරිය අරණේ, සුළං කෝඩයෙන් වෙළී නෙළුම් නටයි වැවේ ඇතුළු සුවහසක් ගීතාවලිය පවත්නා තාක් ඇය අමරණීය යි.

ගඟුල් - මිහිදිනී, අපි අපේ හදවත්වල ගැඹුරුම තැනින් ඇයට උතුම් නිවන් සුවය ම ප්‍රාර්ථනා කරමු.

මේ සටහන ලියමින් සිටින මොහොතේ තවත් සංවේගජනක පුවතක් ගැන අසන්නට ලැබුණා. ඒ ගඟුල් ඔබ ශිෂ්‍යයක ව සිටින විටත් මෙසරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක ව සිටි මහාචාර්ය කුමුදුනී ශ්‍රියාලතා අප කලණ මිතුරිය අභාවයට පත් වූ බවයි. ඇය ගැන මා දන්නේ ඉතා තරුණ කථිකාචාර්වයරියක වශයෙන් සේවයට බැඳුණු කාලයේ සිටයි. කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ සේවය කළ ඇය තමා සමීපව ඇසුරු කළ අය සමග පමණක් නොව වෙනත් පීඨයක සේවය කළ අප දුටු විටත් ප්‍රසන්න ලෙස සිනාසී අප සමග වචනයක් දෙකක් කතා කිරීමට අමතක කළේ නැහැ.

අපි කුමුදුනී ශ්‍රියාලතා මහැදුරුතුමියට ද නිවන් සුවය ම අත් වේවා යි ප්‍රාර්ථනා කරමු.

දැන් යළිත් මම යන්නේ චීන චාරිකාව ගැන ලිවීමට යි.

දුම්රියපළේ මිත්තනියක සමග සිටි කුඩා දැරියක් අප සමග මිත්‍ර වුණා. ඔවුන් පළමු දුම්රිය නැවතුමෙන් බැස දුම්රිය වේදිකාවේ ගමන් කරන ආකාරය සදසිගේ අම්මා සිය දුරකතන කැමරාවට හසු කර ගත්තා. එය අපට මිත්තනිය සහ මිනිබිරිය කියා නම් කළ හැකි යි.

අපට සියෑන් සිට බීජින් වෙත ළඟාවීම සඳහා ගත වූයේ පැය හතරාමාරක් පමණ යි. අප පැමිණි දුම්රිය පැයකට කිලෝමීටර් 300 ද ඉක්මවා යන වේගයකින් ගමන් කරන දුම්රියක්. වේජින් මිතුරා සහ ලිව් මිතුරිය අප නවාතැනට ඇරළවීම සඳහා පැමිණ සිටියා. ඒ දෙදෙනාගේ සුසිල්ගේ හිතවතුන්. වේජින් තමයි චීනයට පැමිණීම සඳහා අවශ්‍ය කරන ආරාධනා ලියමන පවා එවා තිබුණේ. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සරසවියකින් කළමනාකරණය පිළිබඳ පශ්චාද් උපාධිය ලද කෙනෙක්. ඔහුට ඉතා හොඳින් ද ලිව්ට සාමාන්‍ය මට්ටමකින් ද ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි යි. වේජින්ගේ රියට බිරිඳ සහ මමත් ලිව්ගේ රියට නංගී, හසිත් සහ සදසිත් ගොඩ වුණා. අපි රථයේ එන ගමන් වේජින් සමග බොහෝ දේ කතා කළා. නවාතැනට පැමිණි පසු ද ඒ චීන මිතුරා සහ මිතුරිය සමග අදහස් හුවමාරු කර ගත්තා. වේජින් පැවසුවේ තමා ලංකාවේ ක්‍රමයට ආහාර පිසින ආකාරය දැනත් සිංහල භාෂාව ඉගෙන ගැනීමටත් මහත් කැමැත්තකින් සිටින බව යි.

විශේෂයෙන් චීන තරුණ ප්‍රජාව අධික ලෙස ධූමපානයට ඇබ්බැහි ව සිටීමේ ඛේදවාචකය ගැන අපි වේජින් සමග කතා කළා. බොහෝ දුරට මෙහි අවසන් ප්‍රතිඵලය පිළිකා රෝගය නිසා ඇති වන දුක්මුසු වේදනාසහගත මරණය නොවේ ද යන කරුණ මම මතු කළා. වේජින් පැවසුවේ එදිනෙදා දවසේ සතුටෙන් විනෝදයෙන් ජීවත් වීම පමණක් ගැන සිතන මේ අය දීර්ඝකාලීන ප්‍රතිඵල ගැන සැලකිලිමත් නොවන බව යි. මින් සිදුවන ක්ෂණික විපතක් තිබුණා නම් ඔවුන්ගේ චර්යා මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබෙන බව ඔහු කිව්වා.

අපි අධ්‍යාපනය ගැනත් කතා කළා. චීන සහෘදයන් දෙදෙනා අද දවසේ අපෙන් වෙන් ව යන විට ඔවුන්ගෙන් ලැබුණු මේ ස්නේහපූර්වක උපකාර අපි ගෞරවයෙන් සිහිපත් කළා.

සුසිල් සහ හසිත් එළියට ගොස් අපට රාත්‍රී ආහාර ගෙන ආවා.    

අපි චෙන්දු සහ සියෑන්වල සිටි කාමරවලට සාපේක්ෂ ව කුඩා කාමරයි අපට නවාතැන් වශයෙන් ලැබුණේ. මූලික අවශතා සියල්ල තිබුණා. බීජින් යනු අතීතයේ පීකිං යනුවෙන් ප්‍රචලිත චීනයේ අගනුවර යි. ඒ නිසාදෝ මෙහි ජනගහනය වැඩි යි, අනික් නගරවලට සාපේක්ෂ ව වියදම් ද වැඩි යි. මේ නගරයේ ඇති සංකීර්ණ භාවය බැලූ බැල්මට ම පේනවා. චීනයේ අනිකුත් අප අද්දුටු නගර ගැන කියා ඇති පරිදි මෙහි ද අප්‍රමාණ ලෙස ඇත්තේ තට්ටු නිවාස යි. ඒ අතින් අප කොතරම් වාසනාවන්ත ද? කලින් ද කීවා සේ අපට නිදහසේ ජීවත් වීමට ගෙයක් තියෙනවා. මේ අයට විසල් මහපොළොවක් තිබුණාට ගෙමිදුල් නැහැ. මොන පහසුකම් තිබුණත් එවන් පරිසරයක හිඳීම මට නම් ජීවත් වීමක් කියා දැනෙන්නේ නැහැ.

බීජින් නගරයේ දී බැලිය යුතු තැන් ගැන වේජින් මිතුරා අපගේ අවධානය යොමු කළා. ඔහු අපේ රටේ ජනාධිපතිතුමා පසුගිය දිනවල චීන සංචාරයකට ආ බව සිහි කළා.චීන මහා ප්‍රාකාරය ඇත්තේ ද මෙහි යි. එය ද ඇතුළු ව තවත් තැන් නැරඹීම සඳහා අපි හෙට උදෑසන හතයි තිහට හෝටලයෙන් පිටත් වෙනවා. මෙහි අපි දවස් තුනක් ගත කරනවා. දැන් මගේ හැඟීම් කවියක් කොට ඔබට දෙනවා.

ඇවිදින අතර හිතවත අප රටින් රට

මගෙ රට සුවය සිහි වෙනවා විටින්     විට

භාරත සාගරේ ඇති මුතු ඇටයෙ       සිට 

අපමණ සොඳුරු කවිවැල් ලිව හැකි ය  මට

දැන් ලියන්නට යන්නේ අපේ චාරිකාවේ අටවැනි දිනය ගැන යි. ඊට පෙර අපි චීන අධ්‍යයනය පොතේ එන චීන පද්‍ය සාහිත්‍යය ලිපිය කියවන්න යන ඉල්ලීම කරනවා. ඒ ලිපිය ලියා ඇත්තේ පේරාදෙණිය සරසවියේ සිංහලාංශයේ ඉගැන්වූ මෙරට සිටි විශිෂ්ට පඬිවරයකු වූ පී. බී. මීගස්කුඹුර මහාචාර්යතුමා යි. එය ඒ ෆෝ ප්‍රමාණයේ පිටු දහසයක් පුරා විහිදෙන හොඳ ලිපියක්. ඉන් එක කවියක් පමණක් මම උපුටා දක්වනවා. එය චීන ජනකවි අතරෙහි ලා යි සැලකෙන්නේ.

එක උදලු පාරකින්  

කැණිය නොහැකි ය ළිඳක්

එක තෙලි පහරකින් 

ඇඳිය නොහැක මකරෙක්

මෙතැන් සිට කරන්නේ යළිත් අපගේ චාරිකා විස්තරය යි. අපි බීජින් නගරයේ එළිමහන් අවන්හලකින් අපගේ උදේ ආහාරය ගත්තා. අද අපි මුලින් ම චීන බස්රියක ගියා. ගමනේ ඉතිරි කොටස ගියේ භූගත විදුලි දුම්රියකින්. ඒ යද්දී අපට සිහිපත් වූයේ 70 දශකයේ ජනප්‍රිය වූ ලක්ෂ්මන් රුද්‍රිගු සහ රූපා ඉන්දුමති ගයන විදුලි දුම්රියේ චංචල නාදය සවණත වැටෙන සඳේ නම් ගීතය යි. 

උදේ වරුවේ අපට පැරණි රාජ මන්දිරයක් බැලීමට අවස්ථාව ලැබුණා. එය විශාල ප්‍රදේශයක විහිදී තිබෙනවා. මේ මහා මන්දිරය හදන්නට අවුරුදු දොළහක් ගත වී තිබෙනවා. මට දැනෙනවා ගඟුල් සිටියා නම් කියන දෙය. ඔව් ගඟුල් ඔබ කියාවි කෙනෙකුගේ විසල් තැන විය යුත්තේ හද බිම මිස මහපොළොවේ හදන හදවන ගොඩනැගිලි නොවන බව. ඒ ජීවිතය ගැන ඔබ අප සිතන ආකාරය යි. 

සීදුවේ ජන්ම ලාභය ලද කාන්තාවක් අප සිංහලෙන් කතා කරන ආකාරය දැක අප ළඟට විත් ඔය ගොල්ලො ලංකාවෙන් නේද කියා ඇසුවා. ඇය දැන් ජීවත් වන්නේ ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේ නගරයේ යි. ඔස්ටේ්‍රලියානු සහ සිංහල කණ්ඩායමක් සමග ඇය චීන සංචාරයකට පැමිණ තිබුණා. මෙහිදී වරින් වර ඇය අපට කිහිප වාරයක් ම හමු වුණා. ඒ හැම අවස්ථාවක දී ම අප සමග සිනාසී වචනයක් දෙකක් කතා කර යෑමට ඇය අමතක කළේ නැහැ. ඇයගේ ඒ ප්‍රසන්න භාවය නිසා ම අපි ඇයට දැමූ නම සීදූවේ සීදේවී යන්න යි.

ගඟුල් මිහිදිනී. ඔස්ටේ්‍රලියාව තුළ කලක සිට මහත් ආගමික සහ සමාජ මෙහෙවරක යෙදුණු තවත් කලණ මිත් යතිරුවනක නික්ම යාම ගැනත් සංවේගයෙන් දැනුම් දෙන්නට තිබෙනවා. ඒ කැලණිය සරසවියේ සංස්කෘත විෂය පිළිබඳ කථිකාචාර්යවරයකු වශයෙන් කෙටි කලක් ද මහනුවර සංඝරාජ පිරිවෙණේ ආචාර්යවරයකු වශයෙන් ද කලක් සේවය කළ අතිපූජ්‍ය ඉඳිපරපේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ යි. උන වහන්සේ මෙරටත් කලක් කලින් කී පරිදි ඔස්ටේ්‍රලියාවේත් තව කලක් කැනඩාවේත් බුදුදහමත් සාහිත්‍යයත් අර්ථසම්පන්න ලෙස ඒ විදෙස් සමාජයන්හි තහවුරු කිරීම සඳහා වැඩ කළ පඬිරුවනක්. තමා මිය යන බව දකිමින් මරණයට අභීත ව මුහුණ දුන් චරිතයක් වශයෙනුයි අප උන වහන්සේ හඳුනා ගන්නේ. අලි එක හදින් ප්‍රාර්ථනය කරමු. සිය ජීවිතයේ ප්‍රාර්ථනාව වූ පරිද්දෙන් ම උන් වහන්සේ නිවනින් නිවී සැනහේවා කියා.

යළිත් ගමන ගැනයි මම මේ ලියන්නේ. අනතුරුව අපි විදුලි දුම්රියකින් තවත් එබඳු ම දුම්රියකට මාරු වෙමින් පැමිණියා, බීජින් නුවර පිහිටි කෞතුකාගාරය නැරඹීමට. පැරණි චිත්‍ර මෙන් ම නූතන චිත්‍ර ද එහි දෘශ්‍යමාන යි. මේවා දැකිය යුතු ව තිබුණේ මා නොව අය්යා යි. එඩ්වඩ් හන්ග් යන නම ඇති චීන මහතෙක් හඳුනා ගැන්මට ලැබුණා. දැන් කළමනාකරුවකු වශයෙන් කටයුතු කරන ඔහු කලින් ගුරුවරයකු හැටියට ද සේවය කොට තිබෙනවා. ඔහුට Vidudaya Handbook  ඔහු පොතක් තිලිණ කළා.

මේ කෞතුකාගාරයේ එක තැනක තිබුණා Two Deers and Immortal Mountain  කියා චිත්‍රයක්. ඒක බලද්දී අපට සිහිපත් උනේ සමන් සිත්තරාගේ මහින්දාගමන චිත්‍රය යි. කුරුළු චිත්‍ර ද රාශිය යි. මම ඒවා කුරුළු චිත්‍ර කියා නම් කළේ ඒවායේ සිටින්නේ කුරුල්ලන් නිස යි. තවත් මට දැනුණු චිත්‍රයක් නම් කොට තිබුණේ Two Pure Things – Rock and Plum Bloosms  කියා යි. කවි සහ චිත්‍ර එක ම තැන දෘශ්‍යමාන කොට තිබීම ද විශේෂත්වයක්. මට හිතාගන්නට බැරි හේතුවක් නිසා මේ චිත්‍ර සහ කවි බලද්දී රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ Stray Birds  කාව්‍ය ග්‍රන්ථය මතක් වුණා. ඒ වගේ ම Rock and Bamboo, Ink Lotus, Pavilian in Woods  සහ Eagle– අනන්ත ආකාශයේ දකින පක්ෂියා බඳු චිත්‍ර දකිද්දීත් සමන් සිත්තරා සිහි වුණා.

චීන ජාතිකයන් බොහෝ දෙනාට චිත්‍ර අඳින හෝ චිත්‍ර විඳින රස වින්දනාත්මක පැනසර සිතක් තිබෙනවා. ඔවුනට මේ චිත්‍ර කියවිය හැකි යි. ඇතැම් චීන ජාතිකයෙක් එකම චිත්‍රය ළඟ ත්‍බාහෝ වෙලාවක් රැඳී එය නරඹනු දුටුවා. සොබාදහම් - පරිසර චිත්‍ර ද මෙහි දෘශ්‍යමාන යි. ළමා මූර්තිවල ද ඒවාට ආවේණික සුන්දරත්වයක් දුටුවා. උණ ගසක් ළඟ තරුණයෙක් බටනලාවක් වයන දසුන මට සිහිපත් කොට දුන්නේ ආචාර්ය අදිකාරම්තුමන්ගේ බටනළාව ලිපිය යි. ඒ දිනවල මමත් සිත්තර සිත්තම් පොතට මට දැනෙන බටනළාව ගැන ලිව්වා. ගඟුල් මිහිදිනී චිත්‍රයෙන් ජීවිතය ප්‍රකාශයට පත් කළ හැකි බව මම ඉගෙන ගත්තේ අය්යාගෙන්. මේ දිනවල අපි ඔහුගේ චිත්‍රවල තවත් කොටසක් සංරක්ෂණය කිරීම සිදු කරනවා.

මේ කෞතුකාගාරයේ තෙවෙනි මහලේ තිබුණේ අක්ෂර ප්‍රකාශන යි. එයත් චීන චිත්‍ර කලාව තවත් ආකාරයකට ප්‍රකාශයට පත් වීමක්.

අපි කෞතුකාගාරයෙන් එළියට එන විට හවස 4. 40 යි. අසල ආපන ශාලාවකින් වෙජි නූඩ්ල්ස් ආහාරයට ගත්තා. එය තමයි අපේ දිවා ආහාරය වුණේ. අනතුරුව පොත් සාප්පුවකට ගියා. එහි වැඩි වශයෙන් තිබුණේ චීන භාෂාවෙන් ලියැවුණු පොත්. ඉංග්‍රීසි පොත් කිහිපයක් තිබුණා. අපි එක් චීන කවි පොතක් එතැනින් මිලදී ගත්තා ඉංග්‍රීසි පරිවර්තන ද සහිත.  

රැයේ ලිව් මිතුරිය ආවා අපේ රාත්‍රී ආහාරය සඳහා ඇය විසින් පිළියෙල කරන ලද එළවළු ඇතුළට දැමූ ඩම්ප්ලින් රාශියක් රැගෙන. ඇයත් සමග අපි නොයෙක් දේ කතා කළා. අනතුරුව අපි හෙට දවසේ ගමන ගැන සාකච්ඡා කළා. හෙට ගමන යෙදෙන්නේ ලිව් සූදානම් කොට ඇති ආකාරයට යි. එය චීන ජාතික කණ්ඩායමක් සමග බස්රියකින් යන ගමනක්. මෙයත් වෙනස් අද්දැකීමක් වේවි අපට. චීන මහා ප්‍රාකාරය, උද්‍යානයක් නැරඹීම, ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවති තැනක් බැලීමට යාම ආදි ස්ථාන කිහිපයක් ඒ ගමනින් ආවරණය කිරීමට නියමිත යි. එසේ ම චීන ආහාර සංස්කෘතියේ යම් යම් අවස්ථා විඳ ගැන්මට ද මේ ගමනින් අපට ඉඩ ලැබෙනවා. ඒ කවර විඳගැනීම් තිබුණත් අප අවසානයේ නවතින්නේ අපට හුරුපුරුදු ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය ළඟ මිස වෙන තැනක නම් නෙවෙයි.

අද ලංකාවෙන් පණිවිඩ කිහිපයක් ලැබී තිබුණා. ඒවාට අවශ්‍ය කාරණා ඉටු කළ හැක්කේ පෙරළා මවුබිමට ගිය පසුව යි.

රැයේ සුසිල් පටිගත කළ සිතාර් වාදනයක් දැම්මා. නින්දට ගියේ ඒ වැයුම අසමින්.

දැන් මම ලියන්නේ අපේ චාරිකාවේ නවවැනි දිනයට අදාළ කාරණා යි. අපේ චීන මිතුරිය ලිව් අප බස්රියක යන චාරිකා කණ්ඩායමකට සම්බන්ධ කළා. උදේ 5.45 ට මෝටර් රථයක් පැමිණියා අප බස්රිය තිබෙන තැනට ගෙනයාම සඳහා. අප හයදෙනාත් චීන ජාතිකයකු සමග විවාහ වී සිටි රුසියානු තරුණ කාන්තාවකත් හැරුණු විට ඒ ගමනට සම්බන්ධ ව සිටි අනිකුත් සියලු දෙනා චීන ජාතිකයන්. මාර්ගෝපදේශකයා සියලු විස්තර ඉදිරිපත් කරන්නේ චීන භාෂාවෙන්. පළමු ව ජනාකීර්ණ වීදි ඔස්සේ ගොස් බස්රිය නිදහස් පරිසරයකට අවතීර්ණ වුණා. දෙපැත්තේ ම කඳුවැටි දැකිය හැකි වුණා.  

මුලින් ම ගිය තැන අපට නම් කිසි අදාළත්වයක් නැහැ. එක් අයකුට යුවාන් සියයක් ගෙවා පුටුවල හිඳ කැරකෙමින් කරන සාංග්‍රාමික ක්‍රීඩාවකට යි මාර්ගෝපදේශකයා පිරිස සම්බන්ධ කළේ. එතැන හිඳ මානසික වශයෙන් යුදමය පරිසරයකට ඇතුළත් ව සෙබළුන් සේ සටන් කිරීමට යි ඇත්තේ. අප හය දෙනා පමණක් නොව එහි ඇති නිරර්ථක භාවය සහ අනවශ්‍ය වියදම දුටු අප කණ්ඩායමේ සිටි චීන ජාතිකයන් වැඩි පිරිසක් ද එයට සම්බන්ධ වුණේ නැහැ. මට නම් දැනුණේ මෙය මිනිස් මනස් යුද්ධයට හුරු කිරීමක් හැටියට යි. මෙහි ඇති බරපතල තත්ත්වය වන්නේ ගැටවර වයසේ සිටින දරුවන් ඊට ප්‍රියතාවක් දැක්වීම යි.   

මෙයිනික්බිති අප ගියේ චීන මහා ප්‍රාකාරය නැරඹීමට යි. ඒ කඳුකර පරිසරයේ සිට අපට භූමිය අවලෝකනය කළ හැකි යි. මේ ප්‍රාකාරය ගැන හිතේ මවාගෙන තිබූ චිත්‍රයට වඩා මා සම්බන්ධයෙන් ගත් විට නම් ඇත්ත කුඩා යි. මේ ගමනේ දී අවකාශ ලැබෙන තැන්වලදී මා කළේ කලින් දවසක මිලදී ගත් චීන කවි පොතේ ඉංග්‍රීසි පරිවර්තන කියවීම යි. අතරමගදී බිරිඳ පැවසුවා එහා ගෙදර පූසා බ්‍රෑනා සර්පයකු දෂ්ට කොට මිය ගිය බව රාණි දැන්වූ බව. මිනිස් ජීවිත සේ ම දිනයක සත්ත්ව ජීවිත ද අවසන් වෙනවා.

අපේ මාර්ගෝපදේශකයා අවංක නැහැ. ඔහු අපට අවශ්‍ය තැන්වලට මෙන් ම අනවශ්‍ය තැන්වලට ද අප ගෙන යනවා. ඔහු අපේ වන්දනා ගමන් සංවිධානය කරන හොඳ සංවිධායකවරයකුට නොව කපටි සංවිධායකවරයකු වැනි යි. එවැනි අය, ඔන්න අභයගිරිය අන්න රුවන්වැලිය ආන් මිරිසවැටිය කියමින් වන්දනාකරුවන්ට බස්රියේ සිට ම වැඳගන්නට කියනවා මිස බස්රථය නවත්වා වැඳපුදා ගැන්මට ඉඩක් දෙන්නේ නැහැ. අපට පමණක් නොව ඇතැම් චීන ජාතිකයන්ට ද ඔහුගේ මේ හැසිරීම හිතට අල්ලා නැති බව අපට තේරුණේ ඔවුන් ඔහුට දෝෂාරෝපණ කරන ආකාරයක් ද අපට පෙනී ගිය නිස යි. දිවා ආහාරය සඳහා අප ගෙන ගියේත් බොහෝ දෙනාට අනවශ්‍ය තැනකට ගෙන යාමෙන් පසුව යි. ඒ වළලු මාල ආදිය අලෙවි කරන තැනක්. ඒවාට තිබෙන්නේ ලොකු මිලක්. අපේ පිරිසෙන් ඒවා මිලදී ගත්තේ ටික දෙනෙක් පමණ යි. මෙතැන දීත් මාර්ගෝපදේශකයා තැරැව්කාරයකුගේ භූමිකාව රඟ දක්වනු දුටුවා. ඔහු තමයි මෙය ගත්න අර දේ ගන්න කියා ඒ භාණ්ඩ මිලදී ගැන්මෙහි ලා පිරිස පොලොඹවන්නේ. කොහොම උනත් අපට හොඳ දිවාහාරයක් ගැන්මට පහසුකම් සලසා තිබු බව නම් කිව යුතු යි. නිර්මාංසික  අපට සුදුසු ආහාර එතන තිබුණා. වරද දකින අතර ම අප දුටු හොඳක් තමයි මේ ලිව්වේ. ඔවුනොවුන් ආදරයෙන් බලා ගන්නා මහලු චීන යුවළක් ද අප සමග ගියා. එසේ ලිව්වේ ඔවුන් අපටත් වඩා වැඩිහිටි බවක් පෙනුණු නිස යි. මේ යුවළගේ දර්ශනය අප දුටු තවත් හොඳ දෙයක්. 

ජීවිතයට අනවශ්‍ය දෙය අනවශ්‍ය යි. අප මේ චාරිකාවේ යෙදෙන්නේ ද අනවශ්‍ය දෙය බැහැර කරන අතර ම අවශ්‍ය දෙය චීනයෙන් උකහා ගනිමින්. මේ අතර හමුදා නිලධාරියකු වශයෙන් සේවය කරන කසුන් එවා තිබූ සටහනක් ගැන වචනයක් ලියන්නට සිතෙනවා. ඔහු ඔයගොල්ලන්ගේ මැඩ්ම්ගේ ආදි ශිෂ්‍යයෙක්. දික්කසාද වීමට සිතා සිටින දියණියක් සිය මව සිය සැමියාගෙන් එනම් අර දියණියගේ පියාගෙන් ලද ආදරයේ ගුණ රුව ගැන අසා සිය තීරණය වෙනස් කරන ආකාරය ගැනයි එහි කියවෙන්නේ.  

සමර් ගාඩ්න් එනම් ග්‍රීෂ්ම උද්‍යානයක් වෙත යි, අප ඊළඟට අරගෙන ආවේ. ඉන් පලක් නැතැයි කියා අප කණ්ඩායමෙන් කිහිප දෙනෙක් ඒ වෙලාවෙ වෙනත් තැන්වල ඇවිදීමට ගියා. තව පිරිසක් මාර්ගෝපදේශකයාට චෝදනා කොට වෙන් ව යන ආකාරය සුසිල් අපට පෙන්නුවා. අපි දෝෂාරෝපණය නොකොට මේ ගමනේ ඉතිරි කොටසට සම්බන්ධ නොවන බව කියා අපට සැබෑ මාර්ගෝපදේශකයකු නොවූ ඔහුගෙන් සමු ගත්තා. එතැන අපේ අය එතැන බලන අවස්ථාවේ මම යළිත් අර කවි පොත කියවීමට පටන් ගත්තා. අපි එතැනින් නික්මුණේ පෙරළා හෝටල් පරිශ්‍රය වෙත යාමට යි. අද හවස අපි වේජින් මිතුරාගේ ආරාධනය පරිදි චීන හෝටලයකට ගියා රාත්‍රී ආහාරය සඳහා. ඔහු අපට සෞඛ්‍ය සම්පන්න නිර්මාංස ආහාර වේලක් ලබා දීමට කටයුතු යොදා තිබුණා. හෝටලය වසන වෙලාව වන තෙක් අප බොහෝ දේ කතා කළා. සැබැවින් ම එය ප්‍රිය සම්භාෂණයක් කියා කිව හැකි යි. ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවිතය යන මාතෘකා අපේ සංකථනයට පාදක වුණා.

හසිත්ගේ පෙරදිග චින්තන විධි පිළිබඳ වන අධ්‍යයනයෙහි ලා වේජින් යනු විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු කෙනෙක් කියා යි මට සිතුණේ. වේජින් ද අප සමග ම හෝටලයට ආවා. ඒ ආ පසුවත් අපි බොහෝ දේ කතා කළා. මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ ඔහු ලංකාවට ඒමට සිතා සිටිනවා. අපේ නිවහනට ගොඩ වැදී අපේ ආහාර වේල් සකස් කරන ආකාරය නිරීක්ෂණය කිරීම මෙන් ම ඊට සම්බන්ධ වීම ඔහුගේ අපේක්ෂාවක්. එසේ ම සිංහල භාෂාව ඉගෙනීමේ අභිරුචිය ද ඔහුට තිබෙනවා.  

අපේ චාරිකාවේ දසවැනි දිනය ආරම්භ වන්නේ බීජින් සිට යළි චෙන්දු බලා යන ගමනින්. හෝටල් පරිශ්‍රයාසන්නේ පිහිටි ආපනශාලාවකින් අපේ උදේ ආහාරය ගත්තා. සදසිගේ අම්මා එහි සේවා ප්‍රදායිනියකගේ ඡායාරූප ද ගත්තා. ඇය සිනාමුසු මුහුණින් එයට පෙනී සිටියා. හසිත්-සදසි සහ සුසිල් පොත්හළකට ගියා, කවි පොත් ආදිය ඇත්නම් මිලදී ගැනීමට.

අද මට ජීවිතයේ දරාගැනීම් ගැන ලියන්නට සිතෙනවා ඔබට. ගුරුවරයකු ලෙස සැමියකු ලෙස පියකු ලෙස මිතුරකු බන්ධුවරයකු ලෙස මෙන් ම මානවයකු ලෙස මේ ජීවිතයේ අපට විවිධ භූමිකාවල ජීවත් වීමට සිදු වුණා. එසේ ම ඉදිරියටත් එය සිදු වෙනවා. එහිදී අප බොහෝ දේ දරාගත යුතු යි. ගුරුවරයකු වශයෙන් ශිෂ්‍යයන් දරා ගැනීම පිළිබඳ වන අද්දැකීම් මේ මොහොතේ මට සිහි වෙනවා. එපමණක් නොව සතා සිවුපාවුන් පවා ආදරණීය ලෙස දරා ගැන්මට අපට හැකි විය යුතු යි.

අප දුම්රියපළට ගෙන යාම සඳහා ලිව් පැමිණියා. ඇය චීන ගමනේ දී අපට හමු වූ හොඳ මිතුරියක්. අද ජූනි 12. අපට තියෙන්නේ පැය තිහකටත් වැඩි කාලයක් ගත වන දීර්ඝ දුම්රිය ගමනක්. මා මීට පෙර ඒ කියන්නේ ගඟුල් ශිෂ්‍යයකු ව සිටි කාලයේ දීර්ඝ දුම්රිය ගමනක යෙදුණා ඉන්දියාවේ දී. ඒ වූකලී දිවා රෑ දෙක සම්බන්ධ කරමින් හිරු එළියත් සඳ එළියත් විඳිමින් ගිය ගමනක්. එයට පැය 25ක කාලයක් ගත වුණා. ඒ දිල්ලියේ සිට ගයා වෙත ගිය ගමන යි. මේ ගමන ඊට වඩා දිග යි.

අපි හයදෙනා ශයනාසන දුම්රිය මැදිරියක යි ගමන් ගත්තේ. අවදි ව හිඳිමින් නිදා ගනිමින් එහි ගමන් කළ හැකි යි. මේ ගමන දින දෙකකට සම්බන්ධ වෙනවා. බීජින්වලින් දුම්රිය පිටත් වූයේ දහවල් 11. 53 ටයි. රාත්‍රී 12ට පළමු දිනය අවසන් වූ පසු දින පූනි 13 සවස හය වන තෙක් පැය දොළහක දුම්රිය ගමනක් අපට තිබෙනවා. එතැන් සිට පැය 16 කින් පසුව යි අපට මැලේසියාවේ ක්වාලාලම්පුරය බලා යන ගුවන් යානය ඇත්තේ.  

මෙම දුම්රිය ගමනේ දී ඇතැම් දෙනා ඔවුන්ගේ භාෂාව අපට නොහැකි වුණත් අප වෙත පැමිණ අප කුමන රටින් ද කියා හස්ත භාෂාවෙන් අසනවා. තරුණ චීන දියණියන් දෙදෙනකුට අවශ්‍ය වුණා අපේ රට ගැන දැන ගැන්මට. මේ ගමනේ දී බීජින්හි රැකියාව කරන චීන තරුණයෙක් අප සමග ඉතා හිතවත් වුණා. එයට මුල් වූයේ පුංචි සිදුවීමක්. ඒ ඔහු ශයනාසනයේ නිදා සිටින විට එතැනින් බිමට වැටී තිබූ ඔහුගේ බෑගය නංගී උඩකින් අරන් තැබීම යි. ඉන්පසු ඔහු අප ළඟට ආවේ අප සියලු දෙනාට ම කොමඩු කපාගෙන යි. මේ තරුණයා සම්මතයට අනුව නිරාගමික යි ඒත් චර්යාවෙන් ආගමික යි. ප්‍රසන්න යි. සුසිල් භාෂා පරිවර්තකයා බවට පත් කරගෙන ඔහු සමග අපි නොයෙකුත් දේ කතා කළා.  

අපට මෙහි දී අප කැමති වුවත් අකමැති වුවත් චීන ආහාරවලට හුරු වීමට සිදු වෙනවා. එහෙත් ඒ සඳහා අපගේ නිර්මාංසික ජීවන ප්‍රතිපදාවේ කිසිදු වෙනසක් කර ගත යුතු නැහැ. මාරුවෙන් මාරුවට අපි නිදා ගත්තා. මේ මැදිරියේ සෑම කෙනෙකුට ම තමාගේ ආසනය ශයනාසනයක්. අවට දර්ශන සියලු දෙනාට ම හොඳින් පේනවා. ඇඳුම් මාරුකොට අපි සුවපහසු දීර්ඝ නින්දක් ලැබුවා. මඳක් අසනීප වුණත් ඒ තත්ත්වය සමනය කරගත හැකි වුණා ගෙනා ඖෂධවලින්. මෙහි දී අප සන්මිත් වෛද්‍ය සමාධි රාජපක්ෂ සහෘදයාගෙන් ද සන්මිත් වෛද්‍ය ලලිත් විජේසිංහ සහෘදයාගෙන් ද ලද උවදෙස් අපට ඉතා වැදගත් වුණා.

දුම්රිය ඇතුළේ වරින්වර ආහාරපානාදිය රැගෙන චීන වෙළෙඳ මිතුරු මිතුරියන් එහාට මෙහාට යනවා. මේ අතර දුම්රිය කාර්ය මණ්ඩලය අතරමගදී මාරුවන ආකාරය ද දුටුවා. දුම්රිය පදවන්නාගේ සිට අතුගාන සේවක මහතා දක්වා වන සියලු දෙනාට බොහෝ දුරට සමාන නිල ඇඳුමක් තියෙනවා. සෑම වෘත්ති ස්තරයකට ම සමාන ගරුත්වයක් හිමි යි. එය අප චීනයෙන් උගත යුතු යි.

දැන් මම යන්නේ තවත් චීන ග්‍රන්ථයක් ගැන කරුණක් දෙකක් ඔබට කීමට යි. මේ පොතේ නම Wisdom of India.  කතුවරයාගේ නම සඳහන් වන්නේ යූටැන්ග් කියා යි. පූර්විකාවක් ද පරිච්ඡේද වශයෙන් ගත හැකි කොටස් හයකින් ද මේ පොත සමන්විත යි. මේ පොතේ හැඳින්වීමේ එන සමාරම්භක වාක්‍යය අවධාරණ කරන්නේ පෙරදිග සහ අපරදිග එකට එක්විය යුතු බව යි. මේ අදහසේ ඇති වැදගත්කම නිසාදෝ මේ වාක්‍යය ලියා ඇත්තේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. මමත් එය එහි තිබුණ විදිහට ම මෙහි සටහන් කරනවා.

  TO-DAY THE EAST AND WEST MUST MEET        

මෙහි පළමු කොටසේ ඇත්තේ අධිමානසික ශක්තීන් ගැන යි. මේ පොත කියවා ගෙන යද්දී මට දැනුණේ මා කලින් අවස්ථාවක සඳහන් කළ සෝමරත්න මහතා විසින් සම්පාදනය කොට තිබූ චීන බුද්ධි මහිමයට පාදක කොට ගෙන ඇත්තේ මේ පොත බව යි. මෙහි එක් තැනක සඳහන් වෙනවා ඉහළ ම පරිපූර්ණත්වය නම් අපරිපූර්ණත්වය බව. අර ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙන්නේ පියවර දහස් ගණනක් පැමිණි පසු සපිරෙන ගමනක ආරම්භය ඇත්තේ පළමු පියවරේ බව. ඒ ප්‍රකාශයත් මේ කොටසේ අන්තර්ගත යි. ඔබ මත්ස්‍යයකු ව හිඳ නැත්නම් මත්ස්‍යයකුගේ සතුට ගැන ඔබ දන්නේ කුමක් ද යනුවෙන් අසන ප්‍රඥෝක්තිය හමුවුණේත් මේ ග්‍රන්ථයේ On Tolerance නම් කොටස කියවද්දී යි. මෙනිකස් - Menicius යනු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ චීන දාර්ශනිකයෙක්. ඔහු ගැන ලේඛන දෙකක් මෙහි අන්තර්ගත යි. ඔහු පවසනවා, කරුණාව - ලජ්ජාශීලීභාවය - ආචාරශීලීත්වය - ගෞරවනීයභාවය මෙන් ම හොඳ සහ නරකත් සෑම මනුෂ්‍යයකු ම තුළ ම පවත්නා ධර්මතා බව. මෙබඳු චින්තාවක් මනුෂ්‍යයන් වර්ග කොට බැලීමකට ඉඩ සලසන්නේ නැහැ. Motse – The Religious Teacher නම් මාතෘකාව යටතේ එන ලේඛනය ද තදනන්තර ව කොන්ෆියුසියස් දහම ගැන ඇති ලේඛන ද ඔබ දෙදෙනා කියවිය යුතු යි. මෙයට අමතර ව චීන කවි යන මාතෘකාව යටතේ ඇති කාරණාත් අවධානයට ලක්කිරීම සුදුසු යි. කොටින් ම කිව්වොත් මේ මුළු පොත කියවීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් නම් සිදු වන්නේ නැහැ.

අපේ චාරිකාවේ එකොළොස්වැනි දිනය නම් කොට ඇත්තේ දුම්රියේ සිට ලියමි කියා යි. ඒ අනුව මෙතැන් සිට ලියන්නේ ඒ ගැන යි. අද අපි චීනයේ චෙන්දු ගුවන් තොටුපළින් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළ බලා යන දවස යි. දැන් ගඟුල් මගේ 77 ලේඛන පිටපත අවසන් වීමට ද ළඟයි. මෙතැන් සිට ගුරු දියවර 58 ට එකතු කරන්නේ 1620 සහ 1621 යන ලිපි දෙකේ ඇතුළත් වන කාරණා යි. දැන් මේ ලියන වෙලාව ජූනි 13 දින දහවල් 10. 25 ලෙස සඳහන් කළ යුතු යි. ශ්‍රී ලංකා වෙලාවෙන් කලින් සඳහන් කොට ඇති පරිදි පැය දෙකහමාරක වෙනසක් කොට තමයි ශ්‍රී ලංකා වෙලාව ගත යුත්තේ.  

මෙහි ගොවි බිම් දැකිය හැකි යි. එයට හේතුව චීනය භූමිය වැඩි වශයෙන් වෙන් කරන්නේ ගොවිතැනට වීම නේද කියා තමයි අපට සිතෙන්නේ. මේ වෙලාවේ අප ගමන් කරන දුම්රියේ වම්පස වේවා දකුණු පස වේවා මේ මොන පැත්තෙන් බැලුවත් වැඩිවශයෙන් දර්ශනය වන්නේ තට්ටු නිවාස යි. සමබිමක පිහිටි තනිමහල් නිවාස ද අතරින් පතර දැකගත හැකිවුණා. ඒ නිවාසවල පියසිවල සමාන බවක් තමයි තියෙන්නේ. ඒ අතින් චීනය ඉන්දියාවට ළංවෙනවා. උළුවහලවලට සමාන වහලවල් ද දුටුවා මතක යි. අපට කේතුකාර ගස් තමයි වැඩි වශයෙන් දැක ගැන්මට ලැබෙන්නේ.

දැවැන්ත පාලම් මත ඉදි කොට ඇති මාර්ග දුටුවා. ඔවුන් සිය මාර්ග සැලසුම් කරන්නේ මහපොළොවේ වගා කිරීමට හැකි වන ලෙෂ යි. මෙය විශේෂයෙන් අපි අධිවේග මාර්ග ඉදිකිරීමේ දී චීන ජාතිකයන්ගෙන් උගත යුතු පාඩමක්.

දැවැන්ත ප්‍රමාණයේ ජලාශ නම් මේ වන තෙක් දුටුවේ නැහැ. පොඩි අතුගංගා සහ කුඩා ජලාශ තමයි අපට දැක ගැන්මට ලැබුණේ. අපේ හේන් සිහිකරවන අන්දමේ තැනක් දෙකක් ද දැක්කා. එක් තැනක කුඩා පැලක් බඳු කුටියක් ද දැක්කා. එතැන පසුකරනවාත් සමග යළි දැක්කේ තට්ටු නිවාස ම තමයි.

මැදිරි දහයකට දොළහකට සීමා වන දුම්රිය සේම විශාල මැදිරි සංඛ්‍යාවක් තිබෙන දුම්රිය ද දුටුවා. අපි දැන් තවත් දුම්රියපළකට ළඟාවුණා. එහි නම කියවා ගන්නට හැකි වුණේ නැහැ. දුම්රියේ සිට බලන විට චීන ජාතිකයන් ඒ මේ අත ගමන් කරන ආකාරය ද අපට පේනවා. රට අභ්‍යන්තරයේ දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය මිස බස්රථ නොවේ. එක් චීන ජාතිකයෙක් අපේ සුසිල්ට කියා තිබුණා බීජින් සිට චෙන්දු වෙත පෞද්ගලික මෝටර් රථයකින් යාමට දින හයක් ගත වන බව.   

බොහෝ චීන ජාතිකයන් ආචාරශීලීයි. ඇතැම් විට භාෂා ගැටලුව නිසා දෝ එක්වර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙත් කිසියම් සමීප බවක් දැනුණු වහා ඔවුන් ආදරණීය ලෙස ප්‍රතිචාර දක්වනවා. බුදුන් වහන්සේගේ පුබ්බහාසී ගුණය තමයි අපට ද උදව් වුණේ. ඒ සිනහවට, ජාති ආගම් කුල දේශ භේදයක් නැති නිස යි. මේ මොහොතේ දීත් මැදිවියේ චීන ජාතික කාන්තාවක් අප සිටින තැනට පැමිණ සිය ජංගම දුරකතනය චාර්ජ් කොට ගැන්මට අපෙන් අවසර ඉල්ලා හිටියා ආචාරශීලී ව. ඒ හැම ශයනාසන කුටියක් ළඟ ම ඒවා චාර්ජ් කොට ගැන්ම සඳහා පහසුකම් නැති නිස යි.

කන්ටේනර ආදිය පටවාගත් බඩු දුම්රිය ද නිරන්තරයෙන් ධාවනයෙහි යෙදෙනු දක්නට ලැබෙනවා. ඉන්ධන ප්‍රවාහනය ද ඊට ඇතුළත්. මම පෙට්ටි සෑහෙන සංඛ්‍යාවක් ගණන් කළා. යලිත් අපමණ තට්ටු නිවාස සහ කලාතුරකින් දක්නට ලැබෙන කුඩා නිවාස දකිමින් අපි ගමනේ. ඒ යන ගමනේ දී හරිත වර්ණය ද අප ඇස ගැසෙනවා. හිරුරැස් වැටෙනවා. වැසි සහිත කාලගුණයක් මේ දිනවල නැහැ. මට මේ වෙලාවේ ගඟුල් අපගේ ආදි ශිෂ්‍යයකු වන පසුව කැලණිය සරසවියේ සේවය කළ ගයන්ත ගුණේන්ද්‍ර සිහි වුණා. ඔහු රටට ලෝකයට සේවය කරමින් තව දිගුකලක් ජීවත් ව තිබිය යුතු වූ මිනිසෙක්.

දැන් කඳුවැටි පේන්නට ගත්තා. ඒ පාමුල නිවාස. ඒවායේ ජිවත් වන්නේ ගොවි ජනතාව යි. ඒ කඳු මීදුමින් වැසී තිබුණා. දැන් මට සිහි වන්නේ 70 දශකයේ ජනප්‍රිය ව තිබූ එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායක යුග්මය ගයන මීදුම් ගලා කන්දේ නම් ජනප්‍රිය චිත්‍රපට ගීතය යි.

අපේ දුව දැක තිබුණා වෙසක් කූඩු එල්ලා තිබෙන ආකාරය.

යමක විය හැකියාව මෙන් ම විය නොහැකියාව ද තිබෙනවා. මවුරට දී මෙන් ම විදෙස් රටකදී අප ඒ ගැනත් කල්පනා කළ යුතු යි. විවෘත ආර්ථිකයක් නොපැවතීම මේ රට මේ ආකාරයෙන් පැවතීමට ප්‍රබල හේතුවක්. 77 දී බලයට පත් රජය අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් කළේ මහත් විනාශයක් බව යි, මට නම්හිතෙන්නේ. එයින් පසු ඇති වූ කිසිම රජයකට පවත්නා තත්ත්වය වෙනස් කළ නොහැකි තරමට ඒ විනාශය බලවත්. මේ මට දැනෙන දෙයක්. තවත් කෙනෙක් මට වඩා වෙනස් ඇහැකින් 77 කියවන්නට පුළුවන්.

වරින්වර බිම් ගෙවල් අතරින් ද දුම්රිය ගමන් කළා. ඇතැම් බිම් ගෙයක් ඉතා දිගයි. ඇතමක් කෙටි යි. මෙය ලියමින් සිටි මොහොතේත් අපි ඇතුළු වූයේ දීර්ඝ බිම් ගෙයකට යි. එය අවසන් ව මොහොතකින් තවත් එකක්. ඊට පසු තවත් එකක් වශයෙන් එම අද්දැකීම ලැබුවා. කඳුවැටියකින් වට වූ බිම්කඩක ගොවිතැන් සහිත නිවහන් රැසක් දැක්කා. මේ ගැන දිගින් දිගට ම ලියනවා නම් මට ලියන්නට වන්නේ ජලාශයක් -බිම් ගෙයක්- තව ජලාශයක්- යළි බිම් ගෙයක් ඉනික්බිති වන රොදක් ආදි වශයෙනු යි.

ඪසාමා්හ් ්‍ය්බා ඊදදන  සහ ත්‍සරිඑ ීඑැච සුදුසු පරිදි චීන සමාජගත කළා. අපට දැනෙන දෙය ඔවුන්ට දිය යුතු යි, යන පදනමෙහි පිහිටා තමයි අප කටයුතු කළ යුත්තේ.

පැරණි උළු සහිත ගෙයක් සහ හෙල්මළු ක්‍රමයට මඳක් සමාන කුඹුරු දුටුවා. ඒවා චිත්‍ර වැනියි. කඳුවැටියක් මැද පිහිටි හුදකලා තනි ගෙයක් දුටුවා. 

මේ වන විට අපේ ගමනට පැය 24 ක කාලයක් ගත වී තිබෙනවා. කාල සටහනට අනුව නම් අපේ ගමනාන්තයට ඇත්තේ තවත් පැය හයක් පමණ යි. චීන ජාතිකයන් දුම්රිය තුළ දීම දෛනික ව්‍යායාම ආදිය කරනවා.

අපි රාත්‍රී 7. 20 වන විට චෙන්දු දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. එතැන් සිට එක් විදුලි දුම්රියකින් තවත් විදුලි දුම්රියකට ළඟා වී ගුවන් තොටුපලට යා හැකි ආකාරය වේජින් මිතුරා කියා තිබුණා. බීජින් සිට අප සමග එකට දුම්රියේ ආ චීන මිතුරා අප යායුතු මග පෙන්වා නික්ම ගියා. ඒ ඔහු ජීවත් වන පැන්ඩාවරුන් සිටින ප්‍රදේශය වෙත යි. ඒ වගේ ම අප සමග එසේ ආ තවත් චීන ජාතිකයෙක් අප ගොඩ වූ මෙට්රෝ දුම්රියේ සිටියා. අප දුටු වහා ඔහු අපට සිනාසී ආචාර කළා. 

අද දවස හෙට දවසටත් සම්බන්ධ වෙනවා. ඒ දිනට අදාළ සටහන පාදක කරගෙන යි, මේ ලිපියේ අවසාන කොටස ලියන්නේ. එසේ ම ගුරු දියවර 57 සහ 58 පරිච්ඡේද සකස් වන්නේ අපගේ මේ චීන අද්දැකීම් පදනම් කරගෙන යි.  

මගේ ලේඛන මාලාවේ 1621 වැනි ලිපිය නම් කළේ චෙන්දු සිට යළි ක්වාලාලම්පුරයට කියා යි. අද ජූනි 14 වන දිනය යි. රාත්‍රී 12.50ට අපි චෙන්දු සිට ක්වාලාලාම්පුරය වෙත යන මැලේසියානු ගුවන් යානයට ගොඩ වුණා. අපගේ ගුවන් බලපත් පරීක්ෂා කළ චීන තරුණයා අප හය දෙනාට සමීප ආසන ලැබෙන සේ කටයුතු කළා. අපි ඔහුට අපේ ස්තුතිය පළ කළා. පැය හතරකුත් විනාඩි විස්සක ගමනකින් පසු අපි ක්වාලාලම්පුරය වෙත ළඟා වුණා. ගුවන් යානයේ අපට සේවා ප්‍රදාන සිදුකළ අයට ස්තුති කිරීමට ද අපි අමතක කළේ නැහැ. ඒ ගුවන් තොටුපළේ අප ගොඩ බැසි තැනට කිට්ටු තැනක රැඳී ටික වෙලාවක් සිටියා විඩා නිවා ගැන්ම සඳහා. අපි එදා සබ් ටේ්‍රන් ලෙස හඳුන්වන දුම්රිය පළට ම තමයි අපි ඇවිත් තිබුණේ.

ඉන්දියානු ශිෂ්‍යයකු යයි සිතිය හැකි තරුණ දරුවෙක් මගෙන් කුමක් දෝ ඇසුවා. ඒ මොහොතේ මගේ කන්අගුල් වැටී ඇති නිසා මට ඔහු කී කිසිම දෙයක් ඇසුණේ නැහැ. පසුව හසිත් එතැනට විත් ඔහු සමග කතා කොට ඔහුට අවශ්‍ය කාරණය ඉටු කොට දුන්නා. අපට පසු තවත් ගුවන් යානයක් ආවා. ඒ මගීන් ද අප සිටි පෙදෙසේ ම රැඳී විවේක ගත්තා. සික් ජාතිකයකු සමග සිනාසුණු විට ඔහු ද සිනාවකින් ම ඊට ප්‍රතිචාර දැක්වුවා. බුදුන් වහන්සේගේ උගත් පුබ්බහාසය කොතරම් වටිනවා ද කොරම් වටිනා සංකල්පයක් ද ක්‍රියාවක් ද කියා එවන් අවස්ථාවලදීත් අපට දැනෙනවා. අප කෙනෙකු සමග අව්‍යාජ ව සිනා වෙන විට ඊට සිනහවකින් ම ප්‍රතිචාර ලැබෙනවා.

උදේ ආහාරය ගැනීමෙන් පසු රින්ගිත් විස්සක් ගෙවා අර කලින් ද කී තාක්ෂණික පුටුවක හිඳ හිස සම්බාහනය කොට ගත්තා. එහෙත් මිනිස් අතකින් ලැබෙන සුවය එබඳු තාක්ෂණික උපකරණවලින් ලැබෙන්නේ නැහැ.

මවුබිම සහෘදයන් එහි යම් යම් තොරතුරු දැන්වුවා දුරකථනයෙන්. වෙනත් රටක සංචාරය කරන විට අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ වගේ ම මාතෘභූමියේ අගය වඩාත් දැනෙන්නට ගන්නවා.  

මැලේසියාවේ මුදලේ අගය චීනයට වඩා වැඩි යි. මෙහෙ වෙලාවෙන් අපට කොළඹ බලා යන ගුවන් යානය තිබෙන්නේ රාත්‍රී 10 ටයි. සාමාන්‍යයෙන් ගුවන්යානය සූදානම් බව පැය දෙකකට පමණ කලිනු යි මෙහි පුවරුවල සටහන් වන්නේ. ජාකර්තා බලා යන ගුවන්යානයට පසුව ආවේ කොළඹ බලා යන අපේ ගුවන්යානය යි. අපේ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් ද ශ්‍රී ලාංකිකයන් මෙන් ම විදේශිකයන් ද ලංකාවට යාමේ සූදානමින් සිටියා. ඔස්ටේ්‍රලියාවේ සරසවියක උසස් අධ්‍යාපනය ලබන තරුණයෙක් ද දැන හඳුනාගැන්මට ලැබුණා. ඔහුගේ තාත්තා ආරාධිත කථිකාචාර්යවරයෙක් වශයෙන් කලක් පේරාදෙණිය සරසවියේ සේවය කොට තිබුණා. ඔහුට විදුදය අත්පොතක් Vidudaya Hand Book   තිලින කළා.

අපේ ගුවන්යානය පදවාගෙන ආවේ ගුවන් නියමුවරියක්. මා ශ්‍රී ලංකාවේ සරසවියක සේවය කරන ආචාර්යවරයකු බව කියා මගීන් සියලු දෙනා වෙනුවෙන් ඇගේ සේවය අගය කොට ඔබ අපට වීරවරියක මෙන් දැනෙන බව ද පවසා අදිකාරම්තුමන්ගේ First Step  කෘතියෙන් පිටපතක් මහත් ගෞරවයෙන් ඇයට තිලිණ කළා.

ආදරණීය ගඟුල් - ආදරණීය මිහිදිනී,  

ඔබ දෙදෙනාට මතකයි නේද අපේ ගෙදර සාමාජිකාවක ලෙස අපේ හිත්වල විසල් ඉඩක් හිමි කරගෙන සිටි පූස් පැංචී කිරී. දෙසතියක් පමණ දැඩි ගිලන් භාවයකට පත් ව සිටි ඇය කිසිදු ප්‍රතිකාරයකින් සුවපත් කරගන්නට අපට හැකි වූයේ නැහැ. ඇය නික්ම ගියා. මිහි රැඳි ගඟුල ද මේ නමින් අවිදූර අනාගතයේ දී මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වන ගුරු දියවර දෙවැන්නෙහි ප්‍රශංසා සුවර්ෂා යන ශීර්ෂය යටතේ එන තුතිපුද සටහනට පහත සඳහන් වැකිය එක් කරන්නට මම අමතක කළේ නැහැ.

ගුරු දියවර නවකතාව පරිගණක අක්ෂරකරණය කරන විට ලියන මේසයේ පසෙකට වී නිහඬ ව එදෙස බලා සිටි නොබෝදා නික්ම ගිය අපේ පූස් පැංචී කිරීට.

දැන් මම මේ ලේඛනය අවසාන කිරීමට පෙර තවත් වැදගත් පුස්තක රත්නයක් වෙත සැකෙවින් හෝ ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. ඒ ආචාර්ය හව් වේ මින් ලියූ චීනයේ බුදුසමය යි. මෙය පරිච්ඡේද හතකින් සමන්විත පොතක්. ප්‍රවේශය නමින් ඇත්තේ එහි ප්‍රථම පරිච්ඡේදය යි. දෙවැන්න ප්‍රාග්බෞද්ධ යුගය යි. බුදුසමය පිහිටුවීම හා විකාශනය යන මාතෘකාව යටතේ පෙළ ගස්වා ඇත්තේ මේ පොතේ තෙවැනි පරිච්ඡේදය යි. තායි සමාජ සංස්ථා පිළිබඳ කිසියම් අවබෝධයක් ලබනු රිසි පාඨකයනට වැදගත් වන්නේ මෙහි සිවුවැනි පරිච්ඡේදය යි. පස්වැනි පරිච්ඡේදයේ ඇත්තේ බුදුදහම හා තායි ජීවන රටාව පිළිබඳ විස්තර යි. සයවන පරිච්ඡේදය යුන්නාන් තායි බෞද්ධ කථා සාහිත්‍යය පිළිබඳ වන සංකථනයකට වෙන් කොට තිබෙනවා. ඔය දෙන්නාට වඩාත් දැනේවි, මෙහි හත්වැනි පරිච්ඡේදය. යුන්නාන් තායි බෞද්ධ කලාව තමයි එහි මාතෘකාව. ප්‍රතිමා ගෘහ, උපෝසථාගාරය, ස්තූප චිත්‍රකලාව, ලංකා - තායි කලා සමානතා යන මාතෘකා යටතේ මෙහි කරුණු පෙළගස්වා තිබෙනවා. මේ පොත කියවීම සඳහා ඔබ දෙදෙනාට දෙන්නම්.

දැන් මේ එළැඹ තියෙන්නේ මේ සටහන් අවසන් කිරීමේ මොහොත යි. මම එය අවසන් කරන්නේ ඔබ දෙදෙනාට මෙසේ ආසිරි පතමින්.


ගඟුලක් ලෙසින් දැනෙනා සිසු පුත තුරුණු

දියණිය මිහිදිනී, මිහිකත සේ        දැනුණු

ගුරු ජීවිතේ සදරුත් ගෙන එන     පිරුණු

යුවළට පුදමි ආසිරි, හදකින්         නිමුණු


හද සිසිලස බෙදන මුදු ගඟුලක්         වේවා

මිහිදිනි විහිදුවාවා, මිහිකත              සේවා 

සිසු සිත් සදා දැනුමින් නුවණින්        නාවා

අද මෙන් හෙටත් ලොවකට සුව    ගෙනදේවා



Saturday, July 25, 2026

152. ගුරු දියවර 57 - සමන් චන්ද්‍ර රණසිංහ


පෙරදිග අධ්‍යාත්මයේ එක් ඉසව්වක් සොයා චීනය වෙත ගිය ගමනක්

ආදරණීය සිසු පුතු ගඟුල් සහ දයාලු සිසු දියණි මිහිදිනිය වෙත ඉතා ආදරයෙනි,

ඔබ දෙදෙනාට චීනයට යාමට පෙර පොරොන්දු වූ පරිදි එහි දී ලද අද්දැකීම් ඔබ දෙදෙනා සහ ගුරු දියවර සහෘදය පාඨකයන් සමග මේ ආකාරයට බෙදා ගනු කැමැත්තෙමි. 

අපි ජූනි 02 රාත්‍රියේ සම්මත වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12. 05 ට එනම් 03 වැනිදා සමාරම්භයේ කටුනායක ගුවන් තොටුපලින් මැලේසියානු ගුවන් යානයකින් එරට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පිටත් වූයෙමු. ඒ සඳහා පැය තුනකට මඳක් වැඩි වේලාවක් ගත විය. ඔබේ ආදරණීය ගුරු මව, ඇගේ සොයුරිය, ඔබ දෙදෙනාගේ හද ගත් හසිත - සදසි යුග්මය මෙන් ම අපගේ ආදිවිද්‍යාර්ථි සහෘදයකු වන සුසිල් විජේරත්න ද මේ ගමනට එක් වූහ. 

මැලේසියානු ගුවන් තොටුපල, චීනය බලා යන ගමනේ දී අපගේ එක් නැවතුම්පලක් විය. එහි අපි පැය දොළහකටකට මඳක් වැඩි කාලයක් ගත කෙළෙමු. එය අපට ගුවන් තොටුපල පරිශ්‍රයේ සිට මැලේසියාව විඳීමට ලැබුණු අවස්ථාවක් විය. ඒ ගුවන් තොටුපල විසල් මුත් සරල ය. එසේ ම පිරිසිදු ය. එහි සිට එළිමහන දෙස බලන අපට මැලේසියාවේ මාර්ග දෙකක ගමන් කරන රථවාහන දිස් වෙයි. ඒ අතර බස්රථ මෝටර් රථ ත්‍රීවීලර මෙන් ම යතුරුපැදි ද විද්‍යමාන ය. මේ හැරුණු කොට තරමක ඈතින් දිස්වන වන රොදක් ද විය. මේ මොහොතේ අපගේ සිහියට නැඟුණේ මේ දේශයේ  පුත්‍රමැලේසියා සරසවියේ සිය ආචාර්ය උපාධිය උදෙසා අධ්‍යයන කටයුතු කළ අද්‍යතනයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වශයෙන් සේවය කරන ඔබ ද දන්නා හඳුනන අපගේ චිරකාලීනමිත්‍ර ආචාර්ය ශාන්ත අබේසිංහ සහෘදයා ය. ඔහුගෙන් මේ රට පිළිබඳ ව බොහෝ දේ දැන ගැන්මට අපට අවකාශ ලැබී තිබේ.

මැලේසියාව පිළිබඳ දෙවැනි අද්දැකීම නම් තරමක උත්ප්‍රාසාත්මක එකකි. මෙයින් විසිපස් වසරකට පමණ පෙර දවසක මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සඳහා වැඩමුළුවක් විය. ජපුර සරසවිය නියෝජනය කරමින් පසුකලෙක එහි උපකුලපතිවරයා වශයෙන් සේවය කළ ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහාත්මා ඇතුළු නියෝජිතයන් පස් දෙනෙකු සහභාගී වූ අතර මම ද ඒ කණ්ඩායම නියෝජනය කෙළෙමි. දෙදිනක් තිස්සේ පැවති එහි පළමු දිනයේ හවස් වරුවේ එක් දේශනයක් සිදු කරන ලද්දේ මැලේසියානු සරසවියක මහාචාර්යවරයකු විසිනි. මාතෘකාව Human Relatioionships  - මානව සම්බන්ධතා නම් විය. දේශනය අවසන් වූ පසු ආචාර්ය කරුණාරත්න මහාත්මා මානව සම්බන්ධතාවල වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ විට යටකී මහාචාර්යතුමා පැවසුවේ වෙලාව හවස පහ බැවින් ද එය අද දවසේ වැඩමුළුව අවසන් කරන වෙලාව බැවින් ද තමාට ඊට පිළිතුරු දීමට කාලයක් නොමැති බව ය. අවශ්‍ය නම් පසුදා පිළිතුරක් දිය හැකි බව ය. අපට ඒ මොහොතේ ඇති වූ ගැටලුව වූයේ මානව සම්බන්ධතා ගැන පැය දෙකක් තිස්සේ කතා කළ මහාචාර්යවරයාට සුහද ව ඇසූ ප්‍රශ්නයට ඒ මොහොතේ පිළිතුරු දිය නොහැකි වූයේ මන් ද යන්න යි. එහෙත් මේ කාරණය සමස්ත මැලේසියාව පිළිබඳ සිතේ චිත්‍රයක් ඇඳගැන්මෙහි ලා කාරණයක් කොට නොගන්නා මෙන් ඔබ දෙදෙනාගෙන් ඉල්ලා සිටිමි. මන්ද මැලේසියාව යනු තනි පුද්ගලයකුගේ නියෝජනයක් නොවන බැවිනි.  

සිනහ වන විට සිනහ වන, භාෂාවකින් තොර ව අදහස් හුවමාරු කොට ගැන්මට ප්‍රයත්න දරන, මානවයන් හමු වන විට අපට දැනුණේ සන්නිවේදන කාර්යය භාෂාවකින් තොර ව ද සිදු කළ හැකි බව ය. භාරතීය මහාසාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ද මේ සම්බන්ධ ව සිය සිය කුණාටුව නවකතාවේ දී එවන් අදහසක් පළ කොට තිබුණා මට මතක ය.

ශ්‍රී ලංකාවේ වෙලාවත් මෙරට වෙලාවත් අතර පැය දෙකහමාරක වෙනසක් තිබේ. මෙරට උදෑසන 8.30 යනු ලංකා වෙලාවෙන් අළුයම හය යි. චීනයේ තියැන්පූ ගුවන් තොටුපල බලා යන මැලේසියානු ගගනයාත්‍රාව ඇත්තේ මෙරට වෙලාවෙන් රාත්‍රි 7.05 ට ය.

ගඟුල් - මිහිදිනී, මෙතැන් සිට මම ලේඛන භාෂාවෙන් නොව කථන භාෂාවෙන් ද සුදුසු පරිදි අදහස් ඉදිරිපත් කරනවා. මෙරට මෙන් ම නොරට දරුවන් ද ගුවන් තොටුපල පුරා ඒ මේ අත දිව යන ආකාරය අපට පේනවා. කොයි රටේත් දරුවන් යනු දරුවන් ම තම යි. මේ දරුවන් අතර ජාති - දේශ - ආගම් - කුල භේදයක් නැහැ. මට හිතෙන්නේ වැඩිහිටියන් තමන් ආදර්ශයට ගන්නැ යි කියනු වෙනුවට ඔවුන් දරුවන් ආදර්ශයට ගැනීම වඩා සුදුසු බව යි.

ගුවන් තොටුපලේ තරමක් විශාල සොබාදම් පරිශ්‍රයක් තිබෙනවා. එය අපේ විහාරමහාදේවී උද්‍යානය වගෙයි. මෙහි පරිසර සංරක්ෂණය උදෙසා තාක්ෂණය ද භාවිතයට ගෙන තිබෙනවා. නිර්මාංසාහාර තිබෙන ආපනශාලාවක් ද දෘශ්‍යමාන යි. අපි උදේ ආහාර ගත්තේ එතැනින්. මෙහි මුදල් ඒකකය  රිංගිත්. රිංගිත් විස්සක් ගෙවා යන්ත්‍රාණසාරී පුටුවක හිඳ විනාඩි විස්සක් හිස - අත් පා සම්බාහනය කොට ගත හැකි යි.

සිනහව - දුක - සතුට - කම්පන ලොව ඕනෑම රටක මනුෂ්‍යයනට පොදු යි. ගුවන් තොටුපලක් යනු ද ඒවා ප්‍රකාශයට පත් වන තැනක්. මෙහි දී මහපොළොව යටින් දිවෙන මෙට්‍රෝ දුම්රිය ගමන් පිළිබඳ අද්දැකීම අපි කීප වරක් ලැබුවා.

නිශ්චිත වෙලාවට එනම් රාත්‍රී 7. 05 ට චීනයේ තියැන්පූ බලා අපේ ගුවන් යානය ගමන් ආරම්භ කළා. වැසි සහිත ගිගුරුම් දෙන වාතාවරණයක් තුළ යි, මේ ගුවන් ගමන් සිදු වුණේ.

ගඟුල්, ජීවිතයට දේශාටනය අවශ්‍ය යි.  ජීවිතාටනය පිළිබඳ වෙනස් ඇසකින් දැකීම වෙත මේ දේශාටන අපට උදව් කරනවා. අවිදූර අනාගතයේ දී මිහිදිනී සමග දේශාටනයෙහි යෙදීම සඳහාත් දැන් ම සිට පසුබිම සකස් කරගන්න.  

චීනයේ තියැන්පූ ගුවන් තොටුපළ ද විශාල එකක්. එතැනින් කුලීරියකින් අපි අපේ නවාතැන වන හෝටලය වෙත යාමට පිටත් වුණා. කිලෝමීටර් 50 කට ආසන්න දුරක් අපි ආවා. මෙහෙත් කුලී රථවලට සංචාරකයන් සම්බන්ධ කර ගැන්මෙහි ලා තරගයක් තිබෙනවා. ඒ සඳහා තැරැව්කරුවන් ද සිටිනවා. ඒ අය වෑයම් කරන්නේ තමන්ට යම් කොමිස් මුදලක් ලැබෙන රථයකට අප සම්බන්ධ කිරීමට යි. මේ අවස්ථාවලදීත් මා කරන්නේ මේ දේශයේ මානව චරණ නිරීක්ෂණය කිරීම යි. මට මතක් වන්නේ ආචාර්ය අදිකාරම්තුමන්ගේ සිතිවිලි 4 නිකම් ඉඳීම පොතේ එන එක් ප්‍රකාශයක්. එම ලිපියේ මාතෘකාව වන්නේ අද සිටින ප්‍රමාණයට වඩා සතුටින් ජීවත් වීමට අපට නොහැකි ද? යන්න යි. මන් කැමතියි දැන් ඒ ප්‍රකාශයට ඔය දෙන්නගෙත් අවධානය යොමු කරන්න.  

“පාරක් අයිනට වී පාරේ ගමන් කරන අයගේ මුහුණු දෙස බලා සිටිය හොත් ඇතුළේ සතුට පිළිබිඹු වන මුහුණක් ඇති වැඩිහිටියකු දකින්ට ලැබෙන්නේ කලාතුරකින් බව පෙනෙනවා ඇත. ප්‍රීතිය හඟවන මුහුණක් දකින්ට ලැබෙතොත් ඒ ලාබාල වියෙහි හෝ තරුණ වියෙහි හෝ පිහිටි කෙනෙකුගේ පමණ ය. මිනිසුන් සහ ගැහැණුන් වයසින් වැඩෙත්ම කුඩා කාලයේ දී ඔවුන් ඇතුළේ තිබුණ ස්වාභාවික ප්‍රීතියට කුමක් සිුද වන්නේ ද? කෙනෙකු තුළ ප්‍රීතිය තිබේද නැද්දැයි දැන ගත හැකි වන්නේ ඔහු ක්‍රීඩාවක් බලන විට හෝ වෙනයම් විනෝදයක යෙදී සිටින විට හෝ නොව නිකම් සිටින විට ය. මිනිසෙකුගේ අභ්‍යන්තරික තත්ත්වය ඔහු වැඩක හෝ විනෝද ක්‍රියාවක හෝ නොයෙදී නිකම් සිටින විට ඔහුගේ මුහුණෙහි පිළිබිඹු වන බැවිනි. අභ්‍යන්තරික ප්‍රීතිය මලක ලස්සන මෙන් ස්වාභාවිකව ද නිරායාසයෙන් ද පිහිටන දෙයකි. ක්‍රීඩා කිරීම, විනෝද ක්‍රියාවක යෙදීම, මත්පැන් බීම ආදි වූ යමකින් ප්‍රීතිය ඇතිකර ගැනීමට කෙනෙකු උත්සාහ කරන්නේ කුඩා කාලයේ දී තමා තුළ ස්වාභාවික ලෙස පැවති අභ්‍යන්තරික ප්‍රීතිය නැති වී ගිය විට ය. ඒ කරන සෑම දෙයක් ම තමා ප්‍රීතිමත් යයි තමා රවටා ගැනීමට කෙරෙන උත්සාහයක් නොවේ ද?”

මානව නිරීක්ෂණයෙහි යෙදෙන විට පමණක් නොව විවේකී ව සිටින විට ද අදිකාරම්තුමා කී ලියූ මෙබඳු දේ සිහි වෙනවා. ඔබ දෙදෙනාටත් අදිකාරම්තුමාගේ ඉහත සඳහන් ආලෝක ප්‍රකාශය සතිමත් ජීවිතයක් උදෙසා වන කමටහනක් වේවා යි ප්‍රාර්ථනා කරනවා.

දැන් යළිත් අපි අපේ කතාවේ නැවත්වූ තැනට යමු. තැරැව්කරු කෙසේ වෙතත් අපට ලැබුණු තරුණ රියැදුරු මිතුරා නම් ප්‍රසන්න යි. අප ආ රථය අඩු මානව ක්‍රියාකාරිත්වයක් සහ වැඩි තාක්ෂණික භාවිතයක් ඇති නවීන මෝටර් රථයක්. අපගේ රශ් රියේ මෙන් එහි ද සත් දෙනෙකුට ගමන් කළ හැකි යි. මට සිහිපත් වූයේ ඔබ අප සියලු දෙනා එක් ව ගිය මොනරාගල ගමන යි. අපි රෑ බෝ වී අපේ නවාතැනට ආවා. ගමන් වෙහෙස නිසා අප කාටත් තදින් නින්ද ගියා. 

මිහිදිනී, මම දිනක් ඔබ සමග විස්තර කතා කළ චීන ජාතික බාජින්ගේ පවුල නවකතාවත් එය සිංහලයට පරිවර්තනය කළ ආනන්ද කුමාර ජ්‍යෙෂ්ඨ ලේඛක සහෘදයාත් සිහිපත් වුණා. ඒ වගේ ම අපේ පීඨාපතිවරයකු වූ මහාචාර්ය චන්ද්‍රකුමාර මිතුරා සමග එවක කැලණිය සරසවියේ චීන භාෂාව ඉගැන් වූ මහාචාර්ය හව් මින් මහාත්මා හොඳ සිංහලයෙන් කතා කළ සැටි ද සිහි වුණා. ඒ චීන මහාචාර්යවරයා එදා අප සමග ඉතා හොඳ සිංහලයෙන් කතා කළ ආකාරය ද අපට අනුස්මරණීය මතකයක්.

දැනට චීනයේ ජීවත් වන මහේශ් - දිලිනි දම්පතීන් සහ කුඩා දියණි තරුචමා මෙරට ඉතා දුර ඈත පෙදෙසක සිට අප ගැන සොයා බලනවා. චීනය බලා එන ගමනේ දී අප අධ්‍යයනාංශයේ කථිකාචාර්ය තිලිණි රණසිංහ දියණිය ද අපට යම් යම් උපදෙස් දුන්නා. 


මට චීනයේ අධ්‍යාත්මය සොයා යන ගමනේ දී මෙයට තිස්පස් වසරකට පෙර කියැවූ චීන බුද්ධි මහිමය පොත මතක් වෙනවා. ඒ පොත සිංහලයට නගා තිබෙන්නේ එච්. ඇම්. සෝමරත්න මහාත්මා යි. එය එවක අය්යාත් මාත් දෙන්නාම ආශාවෙන් කියවූ පොතක්. මගේ දින සටහන් අතර එයින් උපුටා ගත් යම් යම් උද්ධෘත ද තියෙනවා. ඒ පොත ගැන ද මෙහි යම් සඳහනක් කොට, මේ මොහොතේ ඉන් ගත් උද්ධෘතයක් දෙකක් ඔබ දෙදෙනා සමග බෙදා ගැන්මට මට සිතෙනවා. මෙය 1961 වර්ෂයේ කොළඹ ගුණසේන සමාගමෙන් මුද්‍රණය කරන ලද පොතක්. පරිච්ඡේද හතකින් එය සමන්විත යි. එහි එන පළමු පරිච්ඡේදයේ චීන උපදේශ 62 ක් අන්තර්ගත යි. එහි එන ප්‍රකාශ අතර එන පහත සඳහන් ප්‍රකාශ මට තදින් දැනුණා.

අලුත් අර්බුදයක් නිසා පැරණි කරුණාවන්තකම් අමතක නොකරන්න.

මල් පිපෙන හා පරවන අන්දම පමණක් බලා ගන්න. මේ තැනැත්තා හරි ය අර තැනැත්තා වැරදි යයි නොකියන්න. 

මේ පොතේ දෙවනු ව චීන දාර්ශනික ලාඕට්සේ ගැන හැඳින්වීමක් කොට ඔහුගේ සූශීල ගුණධර්ම නම් ග්‍රන්ථයෙන් උපුටා දැක්වීම් සිදු කොට තිබෙනවා. ජීවිතය පිළිබඳ රිද්මය, ක්‍රියාවිරහිත කාර්යය, ජලය, තරග කිරීමේ නිස්සාරත්වය, මිනිස් හදවත්, බිළිඳාගේ සාධුගුණ, පාලන කලාව, ත්‍රිවිධ සම්පත්තිය, දැඩි සහ මොළොක්  යන මාතෘකා යටතේ එන, එක්තරා අන්දමක කාව්‍යෝක්ති සේ ද සැලකිය හැකි ඒ ලාඕට්සේ ප්‍රකාශ මට තදින් දැනුණා. ඔබ දෙදෙනා යම් දිනයක මේ පොත කියැවිය යුතු යි. ඒ සඳහා වන පෙළඹවීමක් වශයෙන් එහි ජලය නම් මාතෘකාව යටතේ එන ප්‍රකාශයේ මුල් වගන්ති කිහිපය මම මෙහි උපුටා දක්වනවා.

උත්තරීතර පුද්ගලයෝ ජලය වැන්නෝ ය.

ජලය හැම දෙයට ම ප්‍රයෝජනවත් වෙයි.

එසේ ම අන් දෑ සමග තරග නොකරයි.

එය හැම දෙන ම අවමන් කරන පහත් තැන්වල වැජඹෙයි.  

එහෙයින් එය සත්‍යයට නුදුරු ය.

මෙබඳු ආලෝක ප්‍රකාශ 35 ක් මෙහි දෙවැනි කොටසේ අන්තර්ගත යි.

මෙහි තෙවනු ව ඇත්තේ ලාඕට්සේගේ මරණයෙන් අවුරුදු 150 කට පමණ පෙර මෙලොව උපන් බව කියැවෙන චූආට්සේ නම් යෝගියාගේ ප්‍රඥෝක්ති යි. පුංචි පුංචි කතා අනුසාරයෙන් එතුමා විසින් කරනු ලැබ ඇත්තේ ජීවිතය විවරණය කිරීම යි. නියම තරාතිරම, මිනිස් ලොව, ශිෂ්ටාචාරත්වයට විරෝධය ප්‍රකාශ කිරීම සහ අශ්ව කූර යන ලේඛන මාර්ගයෙන් එතුමන් විසින් කරනු ලැබ ඇත්තේ එම කාර්යය යි. මෙහි සිවුවැනි කොටසේ ඇත්තේ කොන්පියුසියස්  නමැති මහා චීන දාර්ශනිකයාගේ සදුක්ති අන්තර්ගත ලේඛන යි. මේ වූකලී ලොව සිටින තාක් රාජ්‍ය පාලකයන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ලේඛන යි. විශේෂයෙන් රාජ්‍ය තන්ත්‍රයේ නියෝජිතයන් ද සරසවිවල දේශපාලන විද්‍යා අංශ සහ පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරු ප්‍රජාව ද මෙම ලේඛනවලට සාවධාන විය යුතු යි. හමු වූ දවසක මේ පොත අපේ සරසවියේ පුස්තකාලයෙන් අරගෙන බලන්න. ඒ බලා රාජ්‍යයේ විශිෂ්ටාර්ථය, ආචාර නීතිය හා දේශපාලනය, මැදුම් පිළිවෙත, මානව මිම්ම යන මාතෘකා යටතේ ඇති ලේඛන ඔබ ද කියවා අදාළ අනෙකුත් අය විසින් ද කියවීමට සලස්වන්න.  

තදනන්තර ව එන්නේ සාර්වභෞමික ප්‍රේමය සමාජයේ මෙන් ම සාමයේ පදනම බව ඉගැන්වූ මොට්සේ නමැති දාර්ශනිකයාගේ ප්‍රකාශ යි. කොන්පියුසියස්තුමාට වසර සියයකට පමණ පසු ජීවත් වූ මොට්සේට කොන්පියුසියස්ගේ ඇතැම් අදහස් සම්බන්ධයෙන් විවේචනයක් තිබුණා. මෙහි එන ඔහුගේ  සර්ව ව්‍යාප්ත ප්‍රේමය, ආක්‍රමණික යුද්ධ ගර්හා කටයුතු ය, ආදර්ශ අවශ්‍ය යි යන ලේඛන ත්‍රිත්වය ඔබ දෙදෙනා විසින් ද අනිවාර්යයෙන් ම කියවා බැලිය යුතු යි. මෙයින්කිබිති චීන භාව ගීත යන මාතෘකාව යටතේ කාව්‍ය නිර්මාණ කිහිපයක් ද චීන උපදේශ කථා යන මාතෘකාව යටතේ කතා කිහිපයක් ද චීන ජන කථා යන මාතෘකාව යටතේ ජන කතා කිහිපයක් ද දක්නට ලැබෙනවා. අවසාන වශයෙන් ඇත්තේ ඉතිහාසය - චීන ප්‍රජාතන්ත්‍රවාදය යන මාතෘකාව යටතේ ඇති ලේඛනය යි. එම ලේඛනය අවසානයේ ඇති සඳහන අප කාගේත් අවධානයට ලක් විය යුතු යි. චීන චාරිකාවේ දෙවැනි දිනයට අදාළ තොරතුරු ලියන්නට මා යොමු වන්නේ එම පාඨය උපුටා දැක්වීමෙන් පසුව යි.

රටක පරිහානිය හා විනාශය එක් මිනිසකුගේ දුර්ගුණය නිසා සිදු විය හැකි යි. රටක ශ්‍රී විභූතිය සහ ශාන්තිය ද එක් මිනිසකුගේ සද්ගුණය නිසා පහළ විය හැකි ය’

අපේ චාරිකාවේ දෙවැනි දිනය චෙණ්ඩු පෙදෙසේ සුන්දර අර්ථ සොයා ගිය ගමනක් කියා නම් කරන්නට කැමතියි. නිල් අවකාශයේ සුදු පක්ෂීන් හෝ සුදු වලාකුළු සේ හැඟෙන සේ නිර්මිත චිත්‍ර අප නැවතී සිටින මෙම හෝටලයේ දෘශ්‍යමාන යි. උදේ හෝටල් පරිශ්‍රය මැදින් ඇවිද අපි සය දෙනා දුම්රියපලට ආවා. භාෂා පරිවර්තකගේ මෙහෙවර අඛණ්ඩ ව සිදු කරන්නේ අපේ ගමන් සගයා වන සුසිල් විජේරත්න යි. ඔහුගේ චීන භාෂා දැනුම අප කාටත් ඉතා ප්‍රයෝජනවත් වුණා. භූගත දුම්රියකින් තමයි, අපේක්ෂිත තැනට යා යුත්තේ. ඒ යන ගමන මානව නිරීක්ෂණයක් ද වුණා. මෙහි චීන භාෂා භාවිතය උපරිම යි. ඉංග්‍රීසි භාවිතය අවම යි. උදේ පැණි රස පාන් සහ සුදු පාන් තමයි අපට ආහාරයට ගන්නට තිබුණේ. අනතුරුව අපි තේ හදාගෙන පානය කළා. පුංචි කාලයේ ඉතිහාසය ඉගෙන ගනිද්දී පෘතුගීසීන්ගේ පැමිණීම ගැන කොට ඇති ප්‍රකාශය යි, මා සිහිපත් කළේ අපේ පිරිසට. ඒ පෘතුගීසීන් සුදු ගල් සපා කමින් ලේ බොන්නාහ ආදි වශයෙන් ඇති ප්‍රචලිත ප්‍රකාශය යි.  

එලිවේටර් භාවිතය මෙහි අත්‍යධික යි. අද අපි චීන පන්සලක් බැලීමට ගියා. පැරණි ගෘහනිර්මාණ සහිත එතැන අද වන විට වෙළඳ නගරයක් බවට පත් ව තිබෙනවා. එතැන සංචාරක ආකර්ෂණය දිනා ගන්නා තැනක් බවට යි, පත් කරගෙන ඇත්තේ. මෙහි නිර්මාංසාහාර භාවිතය අත්‍යල්ප වුවත් අපගේ අවශ්‍යතාව කී විට අපට අවශ්‍ය පරිදි ආහාර සකසා දීමට ආපනශාලාවේ සේවක - සේවිකා ප්‍රජාව මැලි වුණේ නැහැ. ඒ අනුව පහසුවෙන් අපට මස්මාංසයෙන් තොර නූඩ්ල්ස් දිවා ආහාරය සඳහා ලබා ගත හැකි වුණා.

අද එන ගමන් අපි සියෑන් සහ බීජින් බලා යන ඉදිරි ගමන් සඳහා අවශ්‍ය කරන දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත්තා. මේ දුම්රියපළත් එක්තරා ආකාරයක ගුවන් තොටුපලක් වැනි යි. අපගේ අවශ්‍යතා කී හැම අවස්ථාවක දී ම පොලිස් නිලධාරීන්, දුම්රිය නිලධාරී මහතුන් මෙන් ම මගී ජනතාව ද අපට උදව් කළා. උපකාරක ගුණය මේ කා වෙතිනුත් නොමඳ ව ප්‍රකාශයට පත් වුණා. කොන්පියුසියස්තුමා අවධාරණය කොට ඇති කරුණාව මුසු ආදරය චීන ජනතාවගේ ජීවිතවලින් ප්‍රකාශයට පත් වන ආකාරය අපි දුටුවා.   

මෙහි සිටියදී මට ලියෝ ටොල්ස්ටෝයි නම් රුසියානු මහා සාහිත්‍යධරයාට බලපෑ තෝරෝ නම් මහා චීන දාර්ශනිකයා සිහි වෙනවා. එසේ ම සටන හුදු සටනකට එහා ගිය කලාවක් බවට පත් කළ බෲස්ලී නමැති මහා සටන්කරු සිහි වෙනවා. එසේ ම එවක සමන් සිත්තරා සමග බැලූ ඩේවිඩ් කැරඩීන් නමැති විශිෂ්ට රංගධරයා කේන් නමැති ආදරණීය මහා සංග්‍රාමිකයාගේ භූමිකාව රඟ පෑ ඒ කතා මාලාව සිහි වෙනවා. ඒවාට ඉතා හොඳ සිංහලෙන් 

දෙබස් කවා අපට සමීප කළේ මෙරට සිටි සුදක්ෂ අධ්‍යක්ෂවරයකු වන ටයිටස් තොටවත්ත සූරීන්. ඒ වගෙම අය්යා සමග ෂැඔලින් ආරාම ගැන කළ කතා බහ ද සිහි වෙනවා. 

චීන ගෘහ නිර්මාණ කලාව ගැන ද යම් අදහසක් ඇති කර ගත්තා. චීන අකුරු ද චිත්‍ර වැනි යි. එසේ ම මට සිංහල අක්ෂර සහ සහ නාගරී අක්ෂරවල ඇති සෞන්දර්යය ද අමතක කරන්නට බැහැ. හවස චීන වෙළඳසල් කිහිපයකට ද ගොඩ වුණා. මෙයට වර්ෂ ගණනාවකට පෙර කියවූ චීනයේ බුද්ධාගම නම් පොත දැන් කොතනක ද කියා දන්නේ නැහැ. ඒත් චීනයේ ඇවිදිද්දී ඒවා සිහි වෙනවා. අපට මගදී හමු වන චීන භික්ෂූන් වහන්සේලාට ආචාර කළ විට උන් වහන්සේලා ද පෙරළා අපට ආචාර කළා. අද හවස මහේෂ් - දිලිනි යුවළ අපට කතා කොට ඉදිරි දින කිහිපය චීනයේ ගත වන ආකාරය ගැන විමසුවා. හසිත්ට ඔහුගේ පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා පෙරදිග ආගමික දර්ශන විමර්ශනය අත්‍යවශ්‍ය යි. ඒ අනුවත් ගමන සැලසුම් කර ගන්නැයි පැවසුවා. මේ එළැඹ තියෙන්නේ ඔවුන්ගේ - ඔබේ යුගය යි.

රාත්‍රියට සරල ආහාරයක් ගත්තා. ඊයේ රූපවාහිනියෙන් බලන්නට ලැබුණ වැඩ සටහන් සහ කතා සියල්ලම ඉදිරිපත් වන්නේ චීන භාෂාවෙන්. චැනල් 40 ක් තිබුණත් ඒවා එහෙට මෙහෙට කර බැලුවත් ඉංග්‍රීසි උප සිරසි කතාවකට තිබුණේ එකක් පමණ යි. චීන ජාතිකයන් බොහෝ දෙනාට  ඉංග්‍රීසියට විවෘත විමෙහිලා වුවමනාවක් ද නැහැ. ඉංග්‍රීසි නැතුව කිසිවක් කළ නොහැකි යයි සිතා සිටින අපේ විජාතික මනස් ඇති අය ද ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අයෝග්‍ය රාජ්‍ය නායකයන් ද අදීන චින්තනයක් ඇති මනුෂ්‍යයන් ද ලෝකයේ ජීවත් වන බව දැන ගත යුතු යි. මෙම විවේචනය කිසිසේත් ම යම් යම් භාෂා ශාස්ත්‍ර හදාරා ලෝකයට සැලකිය යුතු මෙහෙවරක් කරන සැබෑ විද්වතුන් සම්බන්ධයෙන් අදාළ වන්නේ නැහැ. ඒ වගෙම තවත් දෙයක් මෙහි දී සඳහන් කළ යුතු යි. ඒ තාක්ෂණික ඥානයෙන් බොහෝ ඉදිරියෙන් සිටින බව කියන ඇමෙරිකාව, චීනය ළඟ අසරණ වන බව යි. චීනයේ සංචාරයන් සඳහා පැමිණෙන බටහිර තරුණ ප්‍රජාවේ විස්මිත මුහුණු සනාථ කරන්නේ එය යි.

අද දවසේ ඉන්දියානු යුවළක් හමු ව කතා කළා. ඒ අනිල් සහ අනීටා යි. ඒ දෙදෙනාට අදිකාරමිතුමාගේ First Step  පොතක් පරිත්‍යාග කළා. ඒ දෙදෙනාගේ හමුවීම අපට සමාන සංස්කෘතික දෙකක සහෘදය හමුවීමක් වුණා. එසේ ම චීන සංස්කෘතියේ සුහදභාවය ප්‍රකාශයට පත් කළ එක් සිදුවීමක් ද මෙහි සඳහන් නොකර බැහැ. ඒ මුදල් බිම වැටුණු චීන ජාතිකයකුට ඒ බව පෙන් වූ විට ඔහු දැක්වූ ප්‍රතිචාරය යි. මේ ගමනේ දී අවස්ථා කිහිපයක දී ඔහු අපට හමු වුණා. ඒ හැම අවස්ථාවක දී ම මිත්‍රශීලී සිනහවකින් සංග්‍රහ කොට අපට අත වනා යාමට ඔහු අමතක කළේ නැහැ. ඇතැම් අවස්ථාවක දී ඇතැම් චීන ජාතිකයෙක් අප හඳුනා ගත්තේ ඕ හින්දූස් කියමින්. නැහැ අපි ලංකාවෙන් ආ බෞද්ධයන් යි කී විට සිය දුරකතනය අතට ගෙන ඉන්දියාව ළඟ පිහිටි ලංකාවේ රුව ළඟට අත තියා අප සමග සුහද වන්නට ඔවුන් අමතක කළේ නැහැ. මා මෙය ලියන්නේ ඉන්දියානු - ලාංකික වශයෙන් හෝ හින්දු සහ බෞද්ධ වශයෙන් බෙදීමක් මතු කරන්නට නොව භාෂාවකින් තොර ව හෝ චීන ජාතිකයන් අනෙකා හඳුනා ගැනීමට දරන ප්‍රයත්නය ප්‍රකාශ කිරීමට යි.

ගඟුල් - මිහිදිනී, දැන් මම කොන්පියුසියස් දහම ගැන චීන භාෂාව හදාළ අපේ තරුණ විද්වත් යතිවරයාණන් වහන්සේ නමක් විසින් ලියන ලද පොතක් ගැන යම් යම් දේ සඳහන් කිරීමට කැමති යි. පොතේ නම කොන්පියුසියස්ගේ ආදරය යි. එය ලියා ඇත්තේ පූජ්‍ය සඳමඩුල්ලේ සුමනසාර ස්වාමීන් වහන්සේ යි. මම පසුගිය දිනවල මේ පොත ද කියවීමට ගත්තා. එය කියවීමෙන් ඉගෙන ගත් දෙය ද මේ මොහොතේ මා ඔබ සමග බෙදා ගන්නේ ඔබ දෙදෙනාගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ද මේ අදහස් සම්ප්‍රේෂණය වන බව මා හොඳාකාර ව ම දන්නා නිස යි. ඔබ මෙන් ම අපගේ ආදිවිද්‍යාර්ථි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දුනේශ් ගුණතිලක ලියා ඇති පෙරවදන ද මේ පොත කියැවීමෙහි ලා අභිරුචියක් ඇති කරනවා. මෙය පරිච්ඡේද විස්සකින් සමන්විත යි.    

තමාට වඩා උසස් ගුණාංගයන්ගෙන් යුතු පුද්ගලයකු හමු වූ විට තම වැරදි නිවැරදි කොට ගත යුතු බව කියන කොන්පියුසියස්තුමා එය නිවැරදි අධ්‍යාපනයේ අංගයක් බව ද ප්‍රකාශ කරනවා. යම් පුද්ගලයකු හොඳින් තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ සියලු වාචසික සහ කායික හැසිරීම් නිරීක්ෂණය කළ යුතු ය යන්න ද මෙතුමාගේ තවත් ඉගැන්වීමක්. උත්තම පුරුෂයන්ට අන් අය සමග තරග කිරීමට කිසිවක් නැතැයි යන කොන්පියුසියස් ප්‍රකාශය ද මට තදින් දැනුණු එකක්. එතුමා පෙන්වා දෙන අන්දමට ආදරය සහ කරුණාව ගමන් කරන්නේ එකට යි. තවත් වරෙක එතුමා පවසන්නේ තමාට කිරීමට අවශ්‍ය නොවන දේ අන් අයට කිරීමට ඉඩ දීම තමාගේ අපේක්ෂාව නොවන බව යි. තවත් අවස්ථාවක දී එතුමා කියන්නේ උත්තම පුරුෂයා අන් අයට යහපත් කටයුතු කිරීමේ දී හැම අයුරින් ම ඒවාට දායක වන බව යි. එහෙත් අයහපත් කටයුතුවලට දායක නොවන බව යි. 

ගඟුල් - මිහිදිනී, කොන්පියුසියස්තුමා පවසන පරිදි දේශපාලනය යනු අන් කිසිවක් නොව දැහැමිකම යි. එසේ ම මහජනයාට පළමු ව යහපත් විය යුත්තේ පාලකයා යි. වරෙක කරුණාව කුමක් දැයි ඇසූ විට එතුමා කියා ඇත්තේ කරුණාව යනු ආදරය දැක්වීම බව යි; ප්‍රඥාව යනු මනුෂ්‍යයන් අවබෝධ කොට ගැනීම බව යි. ඇතැම් අවස්ථාවක දී කොන්පියුසියස් දර්ශනය අප කරා ළඟා වන්නේ ප්‍රශ්න ස්වරූපයෙන්. එය සනාථ කිරීම සඳහා මෙම පොතේ දහතුන් වැනි පරිච්ඡේදයේ එන එක් තැනක් මෙසේ උපුටා දක්වන්නට කැමැතියි.

ඔබට ඔබව නිවැරදි කර ගත නොහැකි නම්, රාජ්‍ය කටයුතු පාලනය කිරීමේ දී ඔබට ඇති ගැටලුව කුමක් ද? ඔබට ඔබව නිවැරදි කර ගත නොහැකි නම්, ඔබ අන් අයව නිවැරදි කරන්නේ කෙසේ ද?

වරෙක එතුමා ප්‍රකාශ කරන්නේ අචල බව, නිර්භීත බව, සරල බව හා පරීක්ෂාකාරී බව යන ගුණාංග සතර කරුණාවට අප සමීප කරවන ගුණාංග බව යි. එසේ ම තවත් අවස්ථාවක දී එතුමා පවසන්නේ උත්තම පුරුෂයන් ආචාර ධර්ම මත රැඳී පවතින විට බාලයන් ලාභ අපේක්ෂා මත රැඳී සිටින බව යි. තව විටෙක එතුමා අවධාරණ කරන්නේ කළ වරද නිවැරදි නොකිරීම යනු සැබෑ වරද බව යි

මේ ග්‍රන්ථය කියවන්නේ ඔබ දෙදෙනා නම් ඔබට මෙයට අමතර වශයෙන් තවත් තැන් රැසක් මතු කොට ගත හැකි වනු ඇති. මේ දිනවල පුස්තකාලයෙන් ගත් පොත මා ළග තිබෙනවා. එය ඔබ දෙදෙනා අතට පත් කිරීම ද මගේ එක් අපේක්ෂාවක්. 

දැන් අපි අපේ චාරිකාවේ තෙවැනි දිනයට යමු. මා එයට ප්‍රවේශයක් ගන්නේ ඔබ මිතුරිය - අප දියණිය සහ පුත් හසිත බීජින්හි පොත් සාප්පුවකින් ගත් පොතකින් උපුටා ගත් පාඨයක් දක්වමින්. එය පැරණි චීන නවකතාවක්. එහි ඉංග්‍රීසි පරිවර්තනය යි, අපට ලැබුණේ. ඒ පරිච්ඡේද 37 ක් තියෙන ලොකු පොතක්. පොතේ නම සඳහන් වන්නේ Outlaws of The Marsh   කියා යි. ෂී නය්යාම් විසින් ප්‍රතිකථිත චීනයේ ඉන්ටකොන්ටිනන්ෂල් මුද්‍රණාලය මගින් 2018 වර්ෂයේ දී ප්‍රකාශිත මේ නවකතාව යුගයෙන් යුගය ජනාදරය දිනාගත් එකක්. මෙහි 115 වැනි පිටුවේ දැක්වෙන පරිදි මේ කතාවේ එන වූ සෝන් 14 සියවසේ ජීවත් වී යැයි සැලකෙන අභීත සිරකරුවෙක්. දිනක් ඔහු දකින සැන්ග් නම් ජනරාල්වරයා සිනහමුසු මුහුණින් යුතු ව පවසන්නේ ඔබ සුවිශිෂ්ට මිනිසෙක් ය යන්න ගැන තමා අසා ඇති බව යි. තත්ත්වයට සරිලන තනතුරක් නොලද ඔබ සිය මිතුරන් උදෙසා සිය මරණය සිදු වන තෙක් අභීත ව සටන් වදින සංග්‍රාමිකයකු බව ද තමා දන්නා බව ජනරාල්වරයා කියනවා. තමාට සිය සහායක නිලධාරියා වශයෙන් අවශ්‍ය වන්නේත් එබඳු කෙනෙකු යැයි ඔහු තවදුරටත් කියා සිටිනවා. 

මෙය ඔබ දෙදෙනා තේරුම් ගත යුත්තේ මෙහි කියැවෙන සංග්‍රාමිකයා භෞතික රණවිරුවා යන තැන පමණක් සිර නොකොට ආලෝකයේ රණකාමියා යන ආදේශනය ද ඊට ඇතුළත් කරමින්. අදාළ පාඨය උපුටා දැක්වීමෙන් පසු මම අප සංචාරයේ තෙවැනි දිනයට අදාළ තොරතුරු ලියනවා.  

Seeing Wu Song coming in, Zhang said with a smile in his face. "I have heard that you're a splendid man, a hero without peer, a fearless fighter who stands by his friends to the death. I need someone like you. Would you be willing to serve under me as an adjutant.   

චුවැන්ලි හෝටල් පරිශ්‍රයේ සිට අප ප්‍රාචීන බුද්ධ සහ යෝධ බුද්ධ ප්‍රතිමා වහන්සේ වශයෙන් ප්‍රචලිත ආගමික ස්ථාන අධ්‍යයනය පිණිස පිටත් වුණා. සුසිල් සහෘදයා උදෙන් ම ළඟ ආපනශාලාවකට ගොස් නිර්මාංසික ආහාර සහ සෝයා කිරි ආදිය ගෙන ආවා. උදේ ආහාර ගැනීමෙන් පසු අප හය දෙනාට ම යා හැකි රියකින් අපි අදාළ ස්ථාන බලා පිටත් වුණා. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇති තැනට අප නැවතී සිටින හෝටලයේ සිට කිලෝමීටර් 160 දුරක් තිබෙනවා. මේ ගමනට පැය දෙකහාමාරකට ආසන්න කාලයක් ගත වුණා. චීන අධිවේග මාර්ග මනා කළමනාකරණයකින් යුක්ත යි. මට මතක හැටියට චීන ජාතික ඉංජිනේරුවන් අපගේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමට ද පැමිණියා. අවශ්‍ය මොහොතක දී ලොව කොතැනක හෝ සිටින දක්ෂයන්ගේ සේවය ගත්තාට වරදක් නැහැ, මුදල් මත පදනම් වන න්‍යාය පත්‍රයන්ගෙන් තොර ව. පසුව කුරූණෑගල අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී මොරටුව, පේරාදෙණිය යන සරසවිවලින් බිහි වූ ඉංජිනේරුවන්ගේ සහ ඉංජිනේරුවරියන්ගේ උපදෙස් ලබා අදාළ ඉදිකිරීම් සිදු කළ බව මා අසා තිබෙනවා. ගඟුල්, කෙටි ඉතිහාසයක් ඇති ඉංජිනේරු පීඨයක් තමා ඔබත් මමත් සේවය කරන ජපුරට තියෙන්නේ. අවිදූර අනාගතයේ දී ජපුරත් එවන් දායකත්ව මෙරටට සහ ලෝකයට ලබා දේවි. 

මට මෙරට දී තරුණ චීන ඉංජිනේරුවෙක් සහ ඔහුගේ මාර්ගෝපදේශිකාව හමු වුණා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ව තමාට ඇත්තේ අල්ප දැනුමක් බව ඉංජිනේරු තරුණයා කීවේ සිනාසෙමින්. එය දැනුම ලබා ගැන්මෙහි ලා වන බාධකයක් ද වී නැහැ ඔවුනට. මට අපේ සරසවියේ පුස්තකාලයේ නව ඉදිකිරීමක් සඳහා පැමිණි චීන ඉංජිනේරුවරුන් කිහිප දෙනෙක් ද මුණ ගැසී තිබෙනවා. ඔවුන් වැඩ කරනවා මිස කතාබහ කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ. සිනා සී ප්‍රතිචාර දක්වන ඔවුන් සිය මාතෘ භාෂාව තමයි වැදගත් කොට සලකන්නේ. ජාත්‍යන්තර පාසල් චීනයේ තිබුණත් ඉන්ටර්නැෂනල් වීම සහ දරුවන්ට මාතෘ භාෂාව නොතකා හැර ඉංග්‍රීසි ඉගැන්වීම නමැති භයානක රෝග දෙක චීන ජාතිකයන්ට නම් වැළඳී නැහැ. අද මේ ගමන යද්දී ඔබේ ජ්‍යෙෂ්ඨ සරසවි මිත්‍ර සුසිල් භාෂාව ගැන මෙහෙම ප්‍රකාශයක් කළා.

“කිසිම කෙනෙකුට තමන් දෙවනු ව ඉගෙන ගන්නා භාෂාව කොතරම් නම් දුරකට ඉගෙන ගත්තත් එය ඔවුන්ගේ ප්‍රථම භාෂාව වන්නේ නැහැ. දෙවන භාෂාවක් ඉගෙන ගන්නා කරන්නේ ඒ ඒ දේට ඇති වචන මතක තබා ගැනීමක් පමණ යි.”  

මේ ප්‍රකාශය කළේ චීන භාෂාවෙන් මනා සේ සන්නිවේදන කාර්යය කළ හැකි කෙනෙක් නිසා අපට ඒ ප්‍රකාශය නොතකා හරින්නට බැහැ. ගඟුල්, ඔබට මතක් වෙනවා නේද දැන් සමන් අය්යා ප්‍රථම භාෂාව හැඟීම යි. ඉංග්‍රීසි, දෙමළ, හින්දී ආදි භාෂා යනු ඒ හැඟීම්වලට දුන් ක්ෂණික පරිවර්තන යි යනුවෙන් කළ ප්‍රකාශය.

බුද්ධ ප්‍රතිමා වහන්සේලා යන නමින් හැඳින්වුණාට මෙතන ඇත්තේ මහා බුද්ධ පරිශ්‍රයක්. අද දවස පුරා අපට ඒ බුද්ධ පරිශ්‍රයේ ඇවිදින්නට, නරඹන්නට අධ්‍යයනය කරන්නට අවකාශ ලැබුණා. අද දවස පුරා අප රැඳී සිටියේ මෙතන යි. චීන සංචාරකයන් මෙන් ම විදේශීය සංචාරකයන් වැඩි දෙනෙක් මෙතනට පැමිණ කරන්නේ බුදුන් වහන්සේ සොයා යාමක් කියා යි අපට සිතුණේ. කලා නිර්මාණ, ගෘහ නිර්මාණ, වන රොදවල් කඳු තරණය කොට ඒ කඳු මුදුනට ආ පසුවයි, අපට මින් නමින් ප්‍රසිද්ධ සුන්දර නදියට මුහුණලා වැඩ හිඳින බුදුන් වහන්සේගේ ඒ මහා බුද්ධ ශීර්ෂය දැක ගැන්මට ලැබෙන්නේ. එය අපූර්ව අද්දැකීමක් වුණා අප කාටත්. 


Giant Buddha වශයෙන් ප්‍රචලිත බුදු රුව තමයි ලෝකයේ තිබෙන සුවිශාල බුද්ධ මූර්තිය වන්නේත්. මේ සම්බන්ධ වැඩ සටහනක තිබුණා මේ මහා කන්ද යනු බුද්ධ මූර්තිය බවත් බුද්ධ මූර්තිය යනු කන්ද බවත් යනුවෙන් වන ප්‍රකාශයක්.

The mountain is a Buddha, and the Buddha is a mountain.  

බුද්ධ මූර්ති ඇතුළු ව අපේ රටේ අපට හුරුපුරුදු මූර්ති නිර්මාණ මෙන් ම අපට ආගන්තුක මුත් හදට දැනෙන මූර්ති මෙහි තිබෙනවා. කාන්තා සහ  පුරුෂ සෞන්දර්යය ප්‍රකාශයට පත් කෙරෙන මේ විශිෂ්ට මූර්ති අපට අපේ පෙරදිග කලාව මෙන් ම ග්‍රීක කලාව ද සිහිපත් කරනවා. කවදා හෝ දවසක ග්‍රීසියට යාමේ වුවමනාව ද තිබෙනවා. ඒ වුවමනාව දිනයක ක්‍රිියාවක් බවට පත් කළ යුතු ය යන හැඟීමත් මෙහෙදි බලවත් ව ඇති වුණා. තණ්හා - රතී - රඟා යනුවෙන් අපේ රටේ ප්‍රචලිත මාරදුහිතෲන් තිදෙනාගේ මූර්තිවල ද අප දුටුවේ අනුපම සෞන්දර්යයක්. කාරුණික ගුණය මොනොවට ප්‍රකාශිත ශාන්ත භාවයේ උපරි සංකේත බඳු නිර්මාණ ද මෙහි දෘශ්‍යමාන යි.

ඉදිරියට නෙරා ආ විසල් කුසකින් යුක්ත ව නිර්මාණය කොට ඇති රහතන් වහන්සේගේ මූර්තිය ද විශේෂ එකක්. චීන සංස්කෘතියට අනුව ඒ විසල් කුස සංකේතවත් කරන්නේ ලෝකයේ සිදුවන අපමණ අයුක්තීන් දරා ගැන්මෙහි ලා වන හැකියාව යි.

කිසියම් සීනුවක් ද තිබෙනවා බැතිමතුනට නාද කිරීමට හැකි වන පරිදි සදා තිබෙන. එය වරක් නාද කිරීම එක් දිනයකට පැවිදි වීම සමග සමාන කොට තිබෙනවා. එය තාවකාලික පැවිදි බව ලැබීම යන අදහස සමගත් සම්බන්ධ කළ හැකි නේද?

සතරවරම් දේව ප්‍රතිමා සේ සැලකිය හැකි මූර්ති සතරක් ද දුටුවා. ඒ අතර තිබෙන දහසත් අත් ඇති දේව මූර්තිය අපට සිහිපත් කොට දුන්නේ අපේ ශක්‍ර දේව සංකල්පය යි. ඒ මූර්ති භාෂාවකින් තොර ව ලෝකයට කතා කරන බවයි දැනෙන්නේ. කලාව විශ්ව භාෂාවක් ය යන්න උපරිමාකාරයෙන් දැනෙන්නේ මෙබඳු තැනක දී යි. මේවා ගැඹුරින් ම විඳිය හැකි උපරිම සහෘදයා අපට අහිමි විමේ වේදනාව ද මෙහෙදීත් තදින් ම දැනුණා. මට මතක් වන්නේ උල්පතේ දී ඔහු ගැන ලියූ දෙයක්.

      මේ පින් බිමේදිත් ඔබ සිහි වෙයි සොයුරු

අහිමි ව ගියා මිනිසෙක් ලොවකට  මහරු

ගඟුල්, අනාගතයේ කවර හෝ දිනෙක මිහිදිනීත් සමග පැමිණ මේවා දැක බලා ගන්න. ඔබ දෙදෙනාට කියන්නට ඕන කරන තවත් දෙයක් තමයි, මෙහෙ සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලා දෙනම නිර්මාණය කොට ඇත්තේ චීන අනන්‍යතාව සහිත ව බව.

පරිසරයෙන් වියුක්ත කලාවක් නොව පරිසරය හා බැඳුණු කලාවකු යි අප දුටුවේ. අප මගතොටදී වැඩි වශයෙන් දුටුවේ කේතුකාකාර ගස් උනත් මේ බුද්ධ භූමියේ දී අපට අපේ රටේ, අපට හුරු පුරුදු තුරුලතා ද කිසියම් ප්‍රමාණයකට දැක ගැන්මට ලැබුණා. මේ පින්බිමේ දී අපට අවශ්‍ය ආකාරයේ දිවා ආහාරයක් ද ලබා ගත හැකි වුණා. ඒ සෝයා සෝස් සමග තැම්බූ අර්තපල්.  

මේ පුණ්‍ය භූමිය බැලීමට යා යුතු ය යන කරුණ කිහිප වරක් ම අවධාරණ කළේ මහේශ් - දිලිනි යුවළ සහ ඔවුන්ගේ සිඟිති දියණිය තරුචමා යි. ඉංග්‍රීසි, සිංහල සේ ම චීන භාෂාව ද මනාසේ කතා කිරීමට දන්නා මේ පුංචි කෙල්ල තමයි, ඔවුන්ගේ චීන සංචාරවලදී මාර්ගෝපදේශිකාව වන්නේ. ඒ දෙදෙනා කිව්වේ යාත්‍රාවකින් ගඟ මැදින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙත ගමන් කිරීම පිළිබඳ වන ඉසුන්දර අද්දැකීම ලබා ගන්නා ලෙස යි. එහෙත් තිබු කාලය අනුව අපට එය කරන්නට හැකි වූයේ නැහැ. අපට නොහැකි වූ දෙය සාධනය කර ගැන්මට ඔබ දෙදෙනාට හැකි වේවා යි, අපි ඉතා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. 

අද තරමක් අසනීප උනත් ටික වේලාවක් ගත වන විට තත්ත්වය සමනය උනා. අපි මේ ගමන සඳහා රථය වෙන් කොට ගත්තේ පැය දහයක කාලයට යි. මකරා චීනයේ සංස්කෘතික ප්‍රකාශනයක්. දේශපාලන දාර්ශනිකයකු වශයෙන් චීනයට මහත් බලපෑමක් කළ මා ඕ සේතුං ද රාජ්‍ය නායකයකු වශයෙන් චීනයේ පැවැත්ම සහතික කළ චෞ එන් ලායි ද අපට අමතක කරන්නට බැහැ. මට මතකයි 1976 දී එනම් අප පාසල් ශිෂ්‍යයන් ව සිටින අවදියේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අප අගමැතිනිය ව සිටි කාලයේ ඒ රාජ්‍ය නායකයා ඇතුළු රාජ්‍ය නායක නායිකාවන් රැසක් මෙරටට පැමිණි ආකාරය.

අදත් රූපවාහිනියෙන් චීන වැඩ සටහන් බැලුවා. හවස සාප්පු සවාරියක් ද ගියා. රාත්‍රී ආහාරය ගත්තා අතරමග ආපනශාලාවකින්. හෙට දවසේ ගමන සැලසුම් කළා උදෑසන 6. 30 ට හෝටලයෙන් නික්ම යන සේ. අපට තවම පැන්ඩාවරුන් දකින්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. අප අධ්‍යයනාංශයේ චීන භාෂා සාහිත්‍යය උගන්වන තරුණ කථිකාචාර්යවරිය වන තිලිණි රණසිංහ අවධාරණයෙන් කියා සිටියා ඒ අද්දැකීම අනිවාර්යයෙන් ම ලබා ගන්නා ලෙසත් එය ලබා ගත හැක්කේ චෙන්දුවලදී බවත්. ඒ අනුව අපි හෙට උදය වරුවේ ඒ සඳහා ගොස් අනතුරුව චීනයේ තවත් ප්‍රසිද්ධ ප්‍රාන්තයක් සේ සැලකිය හැකි සියෑන් බලා දුම්රියෙන් යාමට සැලසුම් කර ගත්තා.  

අද සුසිල් සහෘදයා සමග රටවල්වල විශාලත්වය ගැන කතා කළා. ඒ අනුව වර්තමාන ලෝකයේ දැවැන්තම රට වන්නේ සෝවියට් දේශය යි. කැනඩාව, ඇමෙරිකාව, චීනය, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව ආදිය ද විශාල රටවල් අතරට අයිති යි. මේ මා කතා කරන්නේ භෞතික විශාලත්වය ගැන යි. එහෙත් ආධ්‍යාත්මික වශයෙන් සුවිසල් රට ලෙස මට දැනෙන්නේ අපේ මාතෘභූමිය ම තම යි.

ඒ කෙසේ වෙතත් ඔබ මිතුරා හසිත්ගේ පෙරදිග චින්තන විධි ගැන කෙරෙන පශ්චාද් උපාධි අධ්‍යයනයට මේ ගමන ඉතා වැදගත්. කලාශිල්ප උගන්වන ඔයගොල්ලන්ගේ ආචාර්යතුමියට ද අපට වඩා මෙය වැදගත්.

කුඩා චීන දරුවන් විදේශික අපට අත වනා සිය සුහදතාව පළ කරනවා. ස්වර්ගයට යාමට නම් වැඩිහිටියන් ද කුඩා දරුවන් සේ විය යුතු යි යන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශය ද මේ මොහොතේ සිහි වෙනවා.

මහනුවර උඩවත්ත කැලේ, රිටිගල, සීගිරිය, දඹුල්ල වැනි අපේ ඓතිහාසික බිම් සිහිපත් කරවන තැන් දුටුවා. එහෙත් සිංහරාජයක් නම් දුටුවේ නැහැ.   

මෙහෙ රථ ධාවනය වන්නේ ද ජර්මණිය - ප්‍රංශය ආදි බටහිර රටවල මෙන් වම් පසින්. අපේ රටේ අප කලාතුරකින් දකින වමින් පැදවෙන වාහනවල මෙම රථය වම්පසින් පැදවෙන්නකි වශයෙන් වන සඳහනක් තිබුණා. අපේ රථයක් මෙහෙ ගෙනාවොත් අපට ගහන්නට සිදු වන්නේ මෙම රථය දකුණු පසින් පැදවෙන්නකි කියල යි. කාන්තාවන් වාහන එළවීම බහුල යි. ඒ තත්ත්වය දැන් ලංකාවේත් තියෙනවානේ. අපේ මිහිදිනී දුවටත් දැන් හොඳින් වාහන පැදවිය හැකි බව දැන ගැන්මට ලැබීම සතුටක්. අපේ රටේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පදවියට කාන්තාවක් පත් වීම ද වැදගත් දෙයක්. කොළඹ - කැලණිය - යක්කල යන සරසවිවල උපකුලපති පදවියට කාන්තාවන් පත් උනත් ජපුර අපට නම් ඒ අද්දැකීම මෙතෙක් ලැබී නැහැ. අප විශ්‍රාම ගිය පසුව හෝ නව කාන්තා පරපුරට කිසියම් දිනෙක ඒ අද්දැකීම ලැබීමට හැකි වේවා යි ප්‍රාර්ථනය කරනවා.

චීන සංචාරක වන්දනාකරුවන් සමග අප ගත් පලතුරු බෙදා ගත්තා. මේ විසල් මුදුනේ සිට මිටියාවත දෙස බලද්දී සිහි වන්නේ කවුද? එය ඔබ දෙදෙනාට අමුතුවෙන් කිව යුතු නැත්තේ ඒ චරිතය ඔබගේ හදවත්වල ද ජීවත් වන චරිතයක් නිස යි. ඒ සොඳුරු උල්පත ගැන 90 දශකයේ දවසක අනුරාධපුර පුදබිමේ සිට ලියූ කවක් ඔබ සමග බෙදා ගන්නට කැමතියි. මේවා ඔබ කලින් අසා තිබුණත් මෙබඳු මොහොතක එය යළිත් මතක් කරන්නට සිතෙනවා.

කඳු මුදුන දකිමි එහි සිට හිනැහෙන ඔබ දකිමි

කඳු මුදුනට කැඳවන ඔබගේ හදවත     දනිමි  

කඳු මුදුනට යන මග හඳුනා    ඒ මග ඇදෙමි

කඳු මුදුනට පිවිසෙමි මම මිටියාවත     දකිමි

ගඟුල් - මිහිදිනී සුපියකර සිසු දරුවනි, ඔබ ඉදිරියේ ඇත්තේ මේ මෙහෙවර යි. අප අපගේ ශිෂ්‍ය ප්‍රජාව වශයෙන් ලෝකයට දිය යුත්තේ කඳුමුදුනක සිට ලෝකය අවලෝකනය කොට අන්‍යයන් ද කඳුමුදුනට කැඳවීමේ හැකියාව සහ සිත ඇති අය යි. ඒ වගේම අප අපේ ශිෂ්‍යයන් ලෙස ලෝකයට දිය යුත්තේ කඳු මුදුනට ගියත් මහපොළොවේ ඇවිද යාමට දන්නා අය යි.

මේ සඳහා අපට අහිමි වී ගිය සුමින්ද නිතර කතා කළ අනුරාධපුර සංස්කෘතිය අමතක නොකිරීම, ඔබේ මිත්‍ර හසිත් නිතර අවධාරණ කරන අනුරාධපුර සංස්කෘතිය පදනම වශයෙන් ගෙන අපට අනන්‍ය වූ විචාර කලාවක් නිර්මාණය කිරීම ගැන ඔබ දෙදෙනා ද සාවධාන විය යුතු යි.

ඊළඟට මා යන්නේ අපේ චාරිකාවේ සිවු වැනි දිනය ගැන කතා කිරීමට යි. ඊට ප්‍රවේශයක් වශයෙන් චීනයේ සිට ගෙන ආ තවත් පොතක් ගැන යම් සඳහනක් කිරීම අවශ්‍ය යි. ඒ පොතේ නම Don't Forget of Year The Loveliest Scene යනු යි. ඒක චීන කවි පොතක්. ඒවා ඉංග්‍රීසියට නගා තිබෙන්නේXu Yuanchong  විසින්. පෙර චීනයේ විවිධ යුගවල ජීවත් වූ කවීන්ගේ නිර්මාණ මෙහි අන්තර්ගත යි. ඒ කවි හා බැඳුණු චිත්‍ර ද මෙහි දැක්වෙනවා. මේ පොත මම ආ ගමන් දෙන්නේ අපේ මිහිදිනී අතට යි. ඒ ඇයට, සිය ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ දී ඒ කවි භාවිතයට ගත හැකි නිස යි. එයින් එක කවියක් පමණක් මේ මොහොතේ මම ඔබ දෙදෙනා සමග බෙදා ගන්නවා. එය ලියා තිබෙන්නේ 1037-1101 කාලය තුළ චීනයේ ජීවත් වූ කවියෙක්. කවියේ මාතෘකාව වන්නේ Written On the Wall of West Forest Temple යන්න යි. එය පේළි හතරක් තිබෙන තනි කවියක්.

It's a range viewed in face and peaks viewed from the side,

Assuming different shaps viewed from far and wide.  

Of Mountain Lu we can not make out the true face,

                                        For we are lost in the heart of the very place.    

මේ කවිය ගැන මම ඔබ දෙදෙනාට විවරණ ලිවීමට යන්නේ නැහැ. ඒ කඳු මුදුනක හෝ මිටියාවතක හිඳ හෝ අපගේ නිවැරදි මුහුණුවර අවබෝධ කර ගැන්මටත් මෙහි අවසන් කාව්‍යෝක්තියෙන් කියැවෙන සුගැඹුරු අරුත සුගැඹුරින් ම ඔබ දෙදෙනා ම අවබෝධත් කර ගැන්මටත් ඔබ දෙදෙනා සමත් වන නිස යි. මෙබඳු කවි සහ සිතුවම් හතළිහකින් මේ පොත සමන්විත යි. මෙහි ඇති තවත් එක් විශේෂයක් වන්නේ කවි සහ චිත්‍ර රස විඳින පාඨක සහෘදයනට තමන්ගේ කවි සහ චිත්‍ර ඇඳීම සඳහා තැනින් තැන හිස් පිටු ඉතිරි කොට තිබීම යි.  

මිහිදිනී දුව, දැන් ගඟුල්ටයි ඔබටයි අපේ චාරිකාවේ සිවුවැනි දිනය ගැන විස්තර කියන්නයි මේ යන්නේ. අපි තවම වෙන්දුවල. අද උදේ පැන්ඩාවරුන් බැලීමට ගියා කුලී රථ දෙකකින්. ඒක පැන්ඩාලන්තයක්. පැන්ඩා කියන්නේ දුටු විට ආදරේ හිතන මහ කම්මැලියෙක්. හොඳට ඉඩකඩ තියෙන බිම්කඩක් හැම ලොකු පැන්ඩෙක්ටම තියෙනවා. උන් ලොකු උනාම හුදෙකලාව ඉන්ඩලු කැමති. පොඩි එවුන් නම් කැමති සමූහයක් වශයෙන් ඉන්නයි. මේ ලොකු පැන්ඩලා අඩි දෙක තුනක් දුර ඇවිද හති දමන්නේ හරියට ම අපි සැතපුම් කිහිපයක් වේගයෙන් ඇවිද පෙරළා ආපසු හතිදාන ආකාරයට යි. වරෙක පැත්තක ඉඳගෙන උණබට කනවා. ඔවුන්ගේ හැසිරීම වරෙක හාස්‍යජනක යි. ඒත් ආදරණීය යි. පෙර ප්‍රචණ්ඩ සත්ත්ව විශේෂයක් ව සිටි පැන්ඩා දැන් අහිංසක සත්ත්ව කොට්ඨාශයක් බවට පරිණාමය වෙලා තියෙනවා. පැන්ඩා ද අද්‍යතනයේ චීන සංස්කෘතියේ ප්‍රකාශනයක් විදිහට ද සලකන්න පුළුවන්. මේ වන විට පැන්ඩා නම යටතේ ඇති හුරුබුහුටි කුඩා මෝටර් රථය ලංකාවේත් ජනප්‍රිය යි නේද? ඒ විතරක් නෙමෙයි ටෙඩිබෙයාටත් වඩා මෙහෙ සුරතල් බෝනිකි සංකේතය නියෝජනය කරන්නේ පැන්ඩා යි. මේ අහිංසක සත්ත්වයා දාරක ප්‍රජාව තුළ සත්ත්වානුකම්පාව ජනිත කරවීමට ප්‍රබල හේතුවක් කියා සිතෙනවා. පැන්ඩාවරුන් බැලීමට එන අය අතර වැඩි වශයෙන් සිටියේ චීනයේ දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන ස්වදේශික ජනතාව යි. 

අපි චීනයෙන් උගත යුතු ගත යුතු දේ මෙන් ම චීනය අපෙන් උගත යුතු සහ ගත යුතු දේ එමට තිබෙනවා. මෙහෙ ධූමපානය අත්‍යධික යි. පිරිමින් තරමට නොවුණත් ප්‍රසිද්ධියේ දුම් බොන කාන්තාවන් අපට චීනයේ දී දක්නට ලැබෙනවා. ඒ අතර විශාල වශයෙන් තරුණ තරුණියන් සිටීම සංවේගයට කරුණක්. අපේ රටේ තත්ත්වය මීට වඩා වෙනස් නේද? දුම්වැටියක් දල්වාගෙන සිටීම සිය දියාරු උජාරු බව පෙන්වීමේ ලක්ෂණයක් ලෙස සිතු කාලයක් මෙහෙද තිබුණා. අපේ ධම්මික සර්ලා සමග එකට ඉගෙන ගත් මිතුරෙක් දිනක් අප සරසවියේ පැවති සංගීත රාත්‍රියක් නැරඹිම සඳහා පැමිණ සිය දුම්වැටිය දල්වා ගැන්ම උදෙසා දුම්වැටියක් බොන හෝ ලයිටරයක් අතැති හෝ ගිනි පෙට්ටියක් අතැති කෙනෙක් සෙව්වා. මේ අපි ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූ අලුත යි. ඔහුට ඒ සඳහා කිසි කෙනෙකු හමු නුවූ විට සිය සමකාලීන සරසවි මිතුරා දෙසට හැරී බලා ඔහු ඇසුවේ මොකෝ ධම්මික මේ, මගෙ සිගරැට්ටෙක පත්තු කරගන්න එකෙක් වත් නැහැනෙ මෙතන කියා යි. ඒ මොහොතේ ධම්මික සර් සිනා සී පැවසුවේ අපි ඉගෙන ගත් කාලයට වඩා වෙනස් තැනක අලුත් පරපුර සිටින බව යි. ඒ හතළිස් වසරකට පෙර තිබූ අද යුගය ද දැන් නිමා වෙලා. වර්තමානයේ අපට ආරංචි වන ඇතැම් සිද්ධි නම් අප කම්පනයට පත් කරනවා. දුම් වැටි කෙසේ වෙතත් මත්පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අය ගැන විවිධ තැන්වලින් ආරංචි වෙනවා.

සිගරැට් පැකට්ටුවේ රජයේ අවවාදය දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය කියා තමයි මට මතක හැටියට මුලින් තිබුණේ. අහිතකර විය හැකි යි කියා එහාටත් නැති මෙහාටත් නැති ප්‍රකාශ ගසා වැඩක් නැහැ ඍජු විරෝධය පළ කළ යුතු තැන එය නොකර ඊට පැලැස්තර දැමීමෙන්. අපි උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ අපේ පන්තියේ මා සමග එකට ඉගෙන ගත් අද දවසේත් සිය කල්‍යාණ මිත්‍රත්වයේ දෑත දිගු කරන දයාරත්න සහෘදයා අප පාසල් ඇරිී එන වෙලාවේ දුම්වැටියක් දල්වාගෙන උජාරුවෙන් ඇවිද යන කෙනෙක් පෙන්වා කී ප්‍රකාශය මට අද වාගේ මතක යි.

“බලපන් සහන්, අර යකා යන්නෙ හරියට නොකර ම බැරි මහ වැදගත් දෙයක් කර කර යන එකෙක් වගේ. අර ආණ්ඩුවෙ දැන්වීම ටිකක් වෙනස් කරලා ගහන්න ඕනෙ සිගරැට් පැකට්ටෙකේ නෙමේ කාටත් පේන්න අර ජාතියෙ එවුන්ගේ ඇඟේ.”  

ඒ ගහන අලුත් දැන්වීම කුමක් දැයි ඇසූ විට දයා දුන්නේ මේ පිළිතුර යි.  

රජයේ අවවාදය දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය. ඒත් එය අහිතකර විය හැකි නොව අහිතකර බව දැන දැන මම මෙසේ මගේ මුග්ධභාවය ලෝකයට ම දැක ගත හැකි වන සේ දුම් බොමි. මම වනාහි පට්ට මෝඩයෙක්මි.

මේ මොහොතේ ආදරණීය අදිකාරම්තුමා අනුන්ගේ දුම යන මාතෘකාව යටතේ ලියූ ලිපියක් ගැන යමක් සඳහන් කළ යුතු යි. එය සිතිවිලි පොතක තිබෙන ලිපියක්. පසුව මට මතක හැටියට එය තරුණ කාන්තා සිතිවිලි සමාජය මගින් ප්‍රකාශිත පත්‍රිකා මාලාවේ දෙවැනි පත්‍රිකාව හැටියටත් ගත්තා. එහි තිබෙන්නේ අනුන්ගේ දුම්බීම නිසා දුම් නොබොන අයට ද පිළිකා රෝගය සෑදීමට ඇති ඉඩකඩ ගැන යි. එහිදී අදිකාරම්තුමා අපගේ අවධානය යොමු කරන්නේ ජපානයේ ටෝකියෝවේ ජාතික පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය තකේෂි හිරියාමා විසින් කරන ලද පර්යේෂණයකට යි. මේ ගැන නිවුස් වීක් සඟරාවේ පළ ව තිබූ ලිපියක අන්තර්ගතය යි, එතුමා අපට සිංහලෙන් කියා දෙන්නේ.

යටකී පර්යේෂණයේ දී මත්පැන, දුම්බීම, රැකියාව, විවාහ තත්ත්වය ආදිය කෙනෙකුගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද යන්න ගැන අවධානය යොමු ව තිබෙනවා. වැඩිහිටියන් සම්බන්ධ කොට ගනිමින් කළ මේ පර්යේෂණයේ දී කාන්තාවන් 91000 කට වැඩි පිරිසක් ද ඊට එක් කර ගෙන තිබෙනවා. එහි දී කාන්තා මරණවලට ඔවුන්ගේ සැමියන්ගේ දුම්බීමේ බලපෑමක් ඇද්ද යන්න ගැන සොයා බලා තියෙනවා. ඒ ගැන අදිකාරම්තුමන්ගේ වචනවලින් ම කියන්නම්.

“සැමියන්ගේ දුම්බීම නිසා භාර්යාවන් පෙණහැලි පිළිකාවෙන් මරණයට පත් වීමට වැඩි ඉඩක් ඇති බැව් ද එහි මරණ අනුපාතය ගෙදර දුම්බීමේ ප්‍රමාණයට එක එල්ලේ හරි හරියට වැඩි වූ බැව් ද  පර්යේෂණවලින් අනාවරණය විය.

දුම්බීම අත් හැරිය හෝ දිනකට පැකට් එකකට අඩුවෙන් හෝ දුම් බොන සැමියන්ගේ භාර්යාවන්ට දුම් නොබොන සැමියන්ගේ භාර්යාවන්ට වඩා පිළිකා රෝගය වැළඳීමේ අනතුර වැඩි බව ද සැමියන් පැකට් එකක් හෝ වැඩියෙන් හෝ දවසකට බොනවා නම් භාර්යාවන්ට පිළිකා රෝගය දෙගුණයකින් වැඩි වන බව ද එම පර්යේෂණවලින් ම දැන ගන්ට හැකි විය.

අහිංසක ස්ත්‍රීන්ට සිදු විය හැකි මේ විපත ගැන ස්ත්‍රී පක්ෂය සැලකිලිමත් වීම වටී.”

ඒ වගේ ම වර්තමාන චීන සමාජය දෙස බලන විට බිරිඳ දුම් බොන්නියක වී ඇයගේ සැමියා දුම් නොබොන්නකු නම් මේ තත්ත්වය අනෙත් පැත්තට යි පෙරළෙන්නේ. එවිට ලියන්නට සිදු වන්නේ අහිංසක පුරුෂයන්ට සිදු විය හැකි මේ විපත ගැන පුරුෂ පක්ෂය සැලකිලිමත් වීම වටී කියා යි.

මේ ලියන්නේ අප චාරිකාවේ සිවු වැනි දිනය ගැන වුවත් එය ලියැවෙන්නේ අද එනම් ජූලි පස් වෙනි දා යි. මේ සමන් සිත්තරාගේ ජන්ම දිනය යි. ඔබ දෙදෙනාගේ කලණ මිතුරිය, සිය මහප්පා ගැන අද දවසේ කවියෙන් සිය අකුටිල හැඟුම මෙසේ පළ කොට තිබෙනවා. එකව්හි සුගැඹුරු අරුත අප දරු දෙදෙනාගේ ජීවිතවල ස්වභාවය මෙන් ම නිර්මාණයක ගැඹුර දන්නා ඔබ දෙදෙනා මැනවින් අවබෝධ කොට ගන්නා බව මම දන්නවා. එකව් ඔබ දෙදෙනා සමගත් ගුරු දියවර පාඨක සහෘදයන් සමගත් මෙසේ බෙදා ගන්නේ ඒ නිස යි.

සා පැටව් ළං කරන් සිල්ප බෙදනා කලට ගොර සපුන් වට වෙමින්        හපනවා

උජු කයින් සිටින්නට - කොතෙක් වෙර දරන මුත් මහන්සියි - ඉඳහිටක ඇඬෙනවා   

ඒත් මෙත් වැහි වහින - විස නසන ඔසු රඳන මහ විසල් වන රොදක්    තියෙනවා

ඒ හරිත වන පොදේ පොඩි පතක් වනු පිණිස ආයෙමත්     වැහි දැරිය නිවෙනවා

විහඟ ගී තානයේ - දිය ගලන තාලයේ අසා නැති කටහඬක්        ඇසෙනවා

අනුරාධ භූමියේ - ගල් කුළුණු පාවුලේ හිඳ ගනිත    අසල ඔබ        ඉන්නවා

පොළොන්නරු භූමියේ  - ගල් වෙහෙර පන්සලේ පසන් සුවඳට මුසු ව හමනවා

ඈත භාරත බිමේ ලෙෂාන් වන ගුල්මයේ කොහි ගියත්     එතැන ඔබ ඉන්නවා  

සදා සීතල වතුර ගලනවා   

ආදරණීය ගඟුල් - මිහිදිනී ඔබ දෙදෙනා ද මට දැනෙන්නේ සදා සීතල වතුර ගලන උල්පත් ලෙස යි. ඒ පිරිසුදු ජලය ගලා යන උල්පත් කිලිටි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නට එපා.  

ඉන්දියාවේ වැසිකිලි සංකීර්ණ උදෙසා පවිත්‍ර වන ස්ථානය යන අදහස දෙන ශෞචාලය යන නම යොදා තිබුණත් එය වඩාත් තථ්‍ය ක්‍රියාකාරකමක් ව දුටුවේ චීනයේ දී යි. අපි දිවා ආහාරය රැගෙන චෙන්දු දුම්රියපළට ආවා සියෑන් බලා යාම සඳහා. එය අපට හුරුපුරුදු දුම්රියපළකට වඩා ගුවන් තොටුපලකට යි සම කළ හැක්කේ. දුම්රිය ගාඩ්ලා වශයෙන් අපට වැඩි වශයෙන් දැකිය හැකි වූයේ තරුණියන්. මෙය පැය තුනක කාලයකට සීමා වන අධිවේගී ගමනක්. පැයකට දුම්රිය ගමන් කරන වේගය පැයකට කිලෝමීටර් 300 ඉක්මවනවා. ඒත් මේ ගමන යද්දී බදුලු - මහනුවර - පොළොන්නරු ගමන්වල දී තරමට සුන්දර දර්ශන මට නම් දැක ගැන්මට හැකි වුණේ නැහැ. ලංකාව භෞතික ව පුංචි යි තමයි. ඒත් සුන්දරත්වයෙන් ඒ සා විසල් රටක් තවත් ඇද්ද කියා සිතෙන්නේ වෙනත් රටවල ඇවිදින විට යි.

සවස හයයි කාල වන විට අපි සියෑන් වෙත ළඟා වුණා. අපට අපේ කාමර තුන ලැබුණේ මහල් තුනකින්. මෙහි සේවක සේවක තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව නොදැන්ම මොන ආකාරයකින් වත් ගැටලුවක් කරගෙන නැහැ. චෙන්දුවල මෙන් මෙහි ද රොබෝවරියක් සිටිනවා. මා ඒ රොබෝවරියක් කියා සඳහන් කළේ එයට කවා තිබෙන්නේ කාන්තා කටහඬක් නිස යි. අපේ කාමරවලට අවශ්‍ය වතුර බෝතල් මෙන් ම පිටතින් ඇණවුම් කර ලබා ගන්නා ආහාර ද මෙහි රැඳී සිටින අමුත්තන්ගේ කාමර ඉදිරිපසට පැමිණ ඇය ලබා දෙනවා. ඇයට අප ආදරයට දැමූ නම ජිගිසිමුටී යන්න යි. ස්වභාවයෙන් ජීවියෙක් නොවන දෙයක් ජීවියෙක් ලෙස පෙනී සිටින තැන ද අමුතු ම සුන්දරත්වයක් තිබෙනවා.

හෝටලයට පැමිණීම සහ පිට ව යාම සඳහා ඇත්තේ කැරකෙන දොරටුවක්. අපි එළිමහන් ආපනශාලාවකට ගොස් අපේ රාත්‍රී ආහාරය ගත්තා. එතැන සිටි සේවක සේවිකාවන් මෙන් ම ආහාර ගැන්ම සඳහා පැමිණ සිටි චීන ජාතිකයන් කිහිප දෙනෙක් ද අප සමග හිතවත් වුණා. එතැන සිටි චීන තරුණයෙක් අපට ඔහු ගානේ බියර් ලබා දී සිය සුහදතාව පළ කිරීමට ඉදිරිපත් වුණා. අප කිසිවෙක් ඒවා භාවිතයට නොගන්නා බව පවසා ඒ වෙනුවට පිරිසුදු ජලය මාධ්‍යය කරගෙන අපේ සුහදතා ඇති කර ගත්තා.

අපේ අදහස් හැඟීම් චීන ජාතිකයන් වෙත සම්ප්‍රේෂණය කරන වාහකයා වුණේ අපේ විජේරත්න යි. ඒ තරුණයා අප වැළඳ ගෙන සිය සහෘදභාවය පළ කළ මොහොත මට සිහිපත් කොට දුන්නේ මෙයින් විසිපස් වසරකට පෙර භාරතයේ දී ගයාවලදී අපගේ මාර්ගෝපදේශකයා වශයෙන් කටයුතු කළ නාරායන් මිතුරා අප වැළඳ කී මේ වචන යි.  

ීසරල හදම ්රු බදඑ පහ රෙසැබාග ශදම ්රු දඅබ ඉරදඑයැරග   

කලින් ද කී පරිදි තැරැව්කරුවන් මෙහි ද සිටිනවා. එහෙත් එවැන්නකු නිසා අපට අප සියෑන්වල සිටින දින තුනේ අප සමග රථාචාර්යවරයා වශයෙන් එක් වන හොඳ ගමන් සගයෙක් ලැබුණා. ඔහුගේ නම වන්. එය ක්ෂණ විපත්තියක් ක්ෂණ සම්පත්තියක් බවට පත් කරගැනීමක් වුණා. යන මගදිගට වන් අපේ විජේරත්න සමග චීන භාෂාවෙන් විස්තර කතා කරමින් තමයි ගියේ. අපි ටෙරා කොටාවලින් නිර්මිත ස්ථාන බැලුවා. ඒ තැන්වලට ගියේ ද වන් සමග යි. ඔහු උස චීන ජාතිකයෙක්. විජේරත්න ඔහු ගැන කතා කරද්දී භාවිතයට ගැන්ම සඳහා හැදූ නම වන්නේ ටෙරා දිගා යි. එය අවමානයේ නොව ලෙන්ගතුකමේ ප්‍රකාශනයක්. වන් යනු නිතර සිනාමුසු මුහුණින් සිටින සුහදශීලී මනුෂ්‍යයෙක්.

මෙහි නවතින දේශීය වේවා විදේශීය වේවා සංචාරකයනට තමන්ගේ රෙදි සෝදා වේලා ගැන්මේ පහසුකම තිබෙනවා.    

අද රාත්‍රී 12 ටයි නින්දට ගියේ. අපි සාමාන්‍යයෙන් අපේ බයොලොජිකල් ඕඩර්රෙක කියා පවසන තත්ත්වයේ වෙනස් වීම නිසාදෝ මට නම් නින්ද ගියේ අළුයම තුන පමණ වන විට යි. මෙදින අළුයම හයයි තිහටයි අපගේ දෛනික සංචරණය ඇරඹෙන්නේ. බුදුන් වහන්සේගේ ජීවන චරණයේ සුවිශිෂ්ට ලක්ෂණ තුනක් වන පුබ්බහාසී - පුබ්බභාසී සහ පුබ්බකාරී චරණ පුහුදුන් මිනිසුන් වන අප සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි අවස්ථා මෙන් ම ඒවා ක්‍රියාත්මක කළ නොහැකි අවස්ථා ද එළඹෙනවා. 

මෙහෙ කොළපාට සහ ලානිල්පාට සහිත ටැක්සි රථ ද නිල්පාට සහ කහපාට මිශ්‍ර ටැක්සි රථ ද බහුල යි. චීන ජාතිකයන් අන්‍යයන්ගේ නිදහසට ගරු කරන ආකාරය අද්දුටුවා. වරක් මෑතක දී චීනයේ විදේශ ඇමතිවරයා  මෙවන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට තිබුණා. අපට මේ ගැන කිව්වේ අපේ විජේරත්න යි.

“චීනය කැමතියි, ලොව කාගේත් නිදහසට ගරු කරමින් නිදහසේ ජීවත් වන්නට. එහෙත් කවුරු හෝ ඒ ගැන නොතකා අපට පහර දෙනවා නම් ඔවුනට ඒ ක්‍රියාව දෙවන වරට කරන්නට අපි ඉඩ තබන්නේ නැහැ.”

පොඩි දරුවාගේ පටන් ජංගම දුරකතනවලට ඇති ඇබ්බැහිය නම් කණගාටුදායක යි. සරසවි ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ද මේ තත්ත්වය ඇති බව විජේරත්න කිව්වා. ඔහුට බීජින්හි පිහිටි චීන සරසවියක චීන ශිෂ්‍යයන්ට සිංහල ඉගැන්වීම ද දැන් එපා වී ඇත්තේ ඒ නිස යි. දැන් අපිත් චීන වචනයක් දෙකක් දන්නවා. 你好 (nǐ hǎo) නී හාඕ  කියන්නේ හලෝ යන්නට සමාන යෙදුමක්. 谢谢 (xièxie) ෂියේ ෂියේ යන යෙදුම භාවිත කරන්නේ ස්තුතියි කියා කීමට යි. කුඩා දරුවකුට ආමන්ත්‍රණය කරන්නේ 宝宝 (bǎobao)  යන වචන දෙකින්. එය අපට බාවෝ බාවෝ කියා සිංහල අකුරෙන් ලියා දැක්විය හැකි උනත් එහි නිරවද්‍යතාව ගැන මට සහතික වන්නට බැහැ. ඒ මම චීන භාෂාව නොදන්නා නිසයි. ඒ කෙසේ වෙතත් තවත් යෙදුම් දෙකක් ගැන පමණක් ලියා චීන යෙදුම් ගැන ලිවීම නවත්තන්නම්.  

මම ඔබට ආදරෙයි හෝ මම ඔබට කැමතියි කියා කීමට පාවිච්චි කරන්නේ 我爱你 (wǒ ài nǐ)  යන්න යි. ඒක මට සිංහල අකුරෙන් ලියා දක්වන්නට අමාරු යි. කෙනෙකුගෙන් සමුගැනීමේ දී නැවත හමු වෙමු කියා කියන්නට පවසන්නට අවශ්‍ය වූ විට කියන යෙදුම වන්නේ 再见 (zàijiàn)  යන්න යි. ඔය ටික මම අහගත්තේ ඔයගොල්ලන්ගේ වයසේ ම සිටින අපේ තිලිණිගෙන්.  


        



වර්තමාන චීන රාජ්‍ය නායකයාගේ නම හරිහැටි දැන ගත්තේත් මේ ගමනේ දී යි. ඔහු ජී. මින්. දුම්රියක යද්දී ඊළඟට තියෙන දුම්රියපලේ නම පුවරුවක දැක්වෙනවා. මට නම් ඒ නම් සියල්ල ම එක වගෙයි. මට මතක් වන්නේ අපේ දියණිය කුඩා දැරියක ව සිටිය දී එවක චීනයේ ගොස් පශ්චාද් උපාධියක් ලැබීම ගැන අදහසක් නොතිබූ අපේ ආදි ශිෂ්‍ය අපේ ගමන් සගයා විජේරත්න සමග තැබූ නම්. ඒ නම් තැබීමට අනුව චීනයේ තැපැල් ඇමති වන්නේ ලියුං කියුං. ආහාර ඇමති ඉවුං පිහුං වන අතර නිවාස ඇමති ඉඳුං හිටුං වෙනවා.

එවක චෞන් එන් ලායි මහාත්මා චීන රාජ්‍ය නායකයා ව සිටියදී 1959 සැප්තැම්බර් මාසයේ දී ඝාතනයට ලක්වූ බණ්ඩාරනායක අගමැතිතුමා වෙනුවෙන් කරන ගෞරවයක් වශයෙන් අපට කුඩා නෞකා පහක් එවා තිබෙනවා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට අගමැතිනිය ව සිටිය දී යි. ඒවා මෙහෙදී නම් කොට තිබෙන්නේ එතුමාගේ නමේ මුල් අකුරු වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. සහ බණ්ඩාරනායක නමේ මුලකුර වන බ එනම් බී. ද සංකේතවත් වන ලෙස යි. මට මතක හැටියට ශූරයා - වීරයා - රණකාමී - දක්ෂයා සහ බලවතා කියලයි ඒවාට මෙහෙදි නම් තබා තිබුණේ.

ජෝර්ජ් එලියට් යන පුරුෂ නාමයෙන් ප්‍රචලිත වූ ඉංග්‍රීසි ලේඛිකාවගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිහි වෙනවා, අපට හඳුනා ගැන්මට ලැබෙන බොහෝ චීන ජාතිකයන්ගේ සුහදතා දකින විට. අපි එයත් අප අතර බෙදා ගනිමු. මට මතක හැටියට මගේ 1987 හෝ 1988 දින පොතේ මේ පාඨය සටහන් කරගෙන තියෙනවා හොරණ උඩුකලකන්ද ගමේ එවක අපේ ශිෂ්‍ය නිවහන් කීපයක් වෙත කළ සංචරණයකින් පසුව. ඒ ගමනට සමන් අය්යා මෙන් ම දිනසිරි - දයාසිරි - උසන්ත යන සහෘදයන් ද එක් ව සිටි බව මට මතක යි. 

“පියකරු මල් ගලා හැලෙන දිය ඇළි හදවතේ සතුට ඇති කරන්නේ යම් සේ ද එපරිද්දෙන් කලාතුරකින් හෝ මුණ ගැසෙන ඇතැම් මනුෂ්‍යයෝ අප හදවත්වල සතුට ඇති කරති.”   

අපට හමු වූ රථාචාර්ය වන් යට කී ප්‍රකාශය සත්‍යයක් බවට පත් කළ චීන ජාතිකයෙක්.  

උණ ගස චීන ජාතිකයන්ගේ කලාව මත ඇද වැටුණු දැවැන්ත ඡායාවක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මේ ගැන මා බොහෝ දේ උගත්තේ අදිකාරම්තුමන්ගෙන් සහ අය්යාගෙනු යි. අද වන විට අස්ථානගත ව ඇති, අදිකාරම්තුමන් විසින් 1985 වර්ෂය ආරම්භයේ දවසක කළ නිර්මාණය හා නිෂ්පාදනය දේශනයේ මේ ගැන සඳහන් කිරීම් තිබෙනවා. මම ඒවා 2017 අවුරුද්දේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කළ උපාධි ප්‍රදානෝත්සව දේශනයටත් ගත්තා. ඒ වගෙම වරින් වර මගේ දින පොත්වල ලියා ගෙන ඇති කරුණු ඇසුරින් මා ඒ ගැන යම් යම් සටහන් ද තබා තිබෙනවා.

අප සොයා යායුත්තේ සහ ලොවට දිය යුත්තේ නිෂ්පාදන නොව නිර්මාණ යි. අපේ ශිෂ්‍ය දූ දරුවන් රැඳවිය යුත්තේ ද එතැන යි.  

අපේ චාරිකාවේ පස්වැනි දිනයේ ආරම්භයට පූර්වයෙන් අපි යළිත් චීන සාහිත්‍යයට යමු. 1990 පෙබරවාරි 08 සිට දෙසතියක් පමණ යන තෙක් අනුවේදනීය චීන නවකතාවක් වන බාජින්ගේ පවුල ත්‍්පසකහ නම් නවකතාවෙන් ගත් හදට දැනෙන උද්ධෘත මම සටහන් කරගෙන තියෙනවා. මේ නවකතාව පළමුවෙන් පළ වී තිබෙන්නේ 1931 වර්ෂයේ දී යි. ඒ එහි කතුවරයා වන බාජින් 27 වියැති තරුණයකු ව සිටිය දී යි. මෙය සිංහල පාඨක පර්ෂදය අතට පත් කෙළේ ආනන්ද කුමාර නමැති විශිෂ්ට පරිවර්තකයා යි. බාජින්ගේ ප්‍රබල ප්‍රකාශයක් ආනන්ද කුමාර සිය හැඳින්වීමට එක්කොට තිබුණා. එය ගඟුල්, ඔබ අප කාගේත් විශේෂ අවධානයට ලක් විය යුතු එකක්.

“මම උගතෙක් නොවෙමි. මම කිසි විශේෂ ගුරු කුලයකට අයත් ද නොවෙමි. එසේ ම කිසි අයුරකින් සීමා වී නොමැත්තෙමි. මා උගතකු නොවී සිටින තාක්. මා සාහිත්‍යයේ නීති අතුරෙන් කිසිවකට යටත් නැත. කවර සාහිත්‍ය කවයකින් වුව අහකට විසි කර දමනු ලැබීමක් නැත. බිය වන්නට ද මට කාරණයක් නැත. මගේ සතුරෝ කවරහු ද? සියලු යල් පිනූ ගතානුගතික සිතීම; සමාජ ප්‍රගතියට හෝ මානව අභිවර්ධනයට අවහිර කරන හේතු යුක්ති විරහිත කවර හෝ ක්‍රමයක්; ප්‍රේමය පයින් පාගා දමන කවර හෝ බලවේගයක් - මේ සියලු දේ මගේ සතුරෝ ය.”

ගඟුල් - මිහිදිනී, තමා ලියන්නේ තමා ජීවත් වන ආකාරයට ම බවත් සාහිත්‍ය කෘතියක උත්තම අරමුණ ජීවිතයක් සමග එක් වී පැවතීම බවත් ලේඛකයකුට සිය පාඨක සහෘදයන් සමග අනන්‍ය වීමට හැකි විය යුතු බවත් බාජින් අවධාරණයෙන් කියා සිටිනවා. මා පෙබරවාරි 09 වැනි දා බාජින් ඇතුළු ව මට දැනුණු විශ්ව සාහිත්‍යධරයන් පිළිබඳ ව ලියු දින සටහනක් ද ඔබ දෙදෙනා සමග බෙදා ගැනීමට කැමතියි.

“සිංහල වුවත් දෙමළ වුවත් ඉංග්‍රීසි - චීන - ජපන් - සංස්කෘත - හින්දී හෝ ලොව පවත්නා කවර භාෂාවකට හෝ කවර ජාතියකට අයත් වුවත් විශ්ව සාහිත්‍යයට එක් වූ ලේඛකයන්ගේ කෘතිවල මා සමාන බවක් දකිනවා. එවන් කෘතියක් කියවන විට අපට දැනෙන්නේ මේ අපේ ම අද්දැකීම් සාකච්ඡා කිරීමක් නොවේ ද කියා යි. එසේ ම අප නොවිඳි අද්දැකීම් ද අප විඳි අද්දැකීම් සෙයින් දැනෙන්නට ගන්නවා. ඒ කතාවල චරිත විඳින වේදනාවන් අපේ ම වේදනා බවට පත් වෙනවා. ඒ චරිත ශෝක වන විට එය අපගේ ම ශෝකයක් වෙනවා. ඔවුන් සතුටු වන විට ඒ සතුට අපේ සතුටක් බවට පත් වෙනවා. තාගෝර්, ටොල්ස්ටෝයි, ගෝර්කි, ෂේක්ස්පියර්, කාලිදාස, බාජින් වන් චරිත විශ්වය නමැති පවුලේ වෙසෙන සමාන අදහස් දරන චරිත කියා යි අපට සිතෙන්නේ.”      

බාජින්ට අනුව කලාව එළැඹිය හැකි උසස් ම තත්ත්වය වන්නේ නිර්කලාත්මකතාව යි. බාජින් යනු නිර්කලාත්මකතාව උපරිමාකාරයෙන් විඳි කෙනෙක්. එවන් තැනක යි, උපරිම අව්‍යාජ සෞන්දර්යය රැඳෙන්නේ. බාජින්ගේ පවුලේ එන පහත සඳහන් වාක්‍ය කිහිපය දෙස බලන්න.

“නිසා අහසෙහි එක් වලා රොදකදු නොවීය. පුන්සඳ මඬලක්, සිය රැස් දහරින් සියල්ලන් නින්දට යන ලෙස නලවමින්, අනන්ත වූ අන්තරීක්ෂය තුළ එකලාව නිර්මල ව යාත්‍රා කෙළේ ය. රාත්‍රිය නිසල විය.”  

මේ නවකතාවේ දී ආලය දිදුලන දැහැමි දෙයක් බවත් සැඟවුණු කිසිවක් ආලයට නොමැති බවත් මිනිසකුගේ හදවත ඇත්තට ම ආදරයෙන් දැවෙන විට කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව සිටින බවක් පෙන්වන්ට නොහැකි බවත් බාජින් හෘදයහාරී බසකින් අපට කියා සිටිනවා. අපේ ආනන්දකුමාර ඒ හෘදයහාරී භාෂාව ම තමයි සිංහලයට ගෙනෙන්නේ.  

අය්යාත් මමත් දෙදෙනාම මේ පොත කියෙව්වේ එකම කාලයක යි. එය බැලූ දිනවල ම මම ආනන්දකුමාරයනට ලිපියක් ලිව්වා. ඔහු මට එවා තිබූ ලිපිය අප කම්පනයට පත් කළා. ඒ සිය ලේඛනයෙන් දෑසක් දීමට වෑයම් කළ ඒ විශිෂ්ට පරිවර්තකයා ඒ වන විට දෑස් අන්ධ ව සිටි නිස යි. එතුමා ඒ ලියමන එවා තිබුණේ 1990 අප්‍රියෙල් 03 වැනි දා යි. එය වෙන කෙනෙකු ලවා ලියවා ගෙන එයට අපහසුවෙන් සිය අත්සන තබා තිබුණා. එතුමා හමුවීමට යාමට සිතා සිටියත් මම හොරණ විද්‍යාත්නයේ ගුරුවරයකු ලෙසත් ජපුර සරසවියේත් ආරාධිත කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරමින් සිටි කාලය යි, ඒ. මෙවැනි හේතු නිසා  මට එතුමා දකින්නට යන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මා දන්නා තරමින් මේ වන විට එතුමා ජීවතුන් අතර නැහැ. මේ හමු ව අතහැරීමේ වරද එතුමාගේ ලිපිය යළිත් කියවන හැම විටෙක ම මට දැනෙනවා. මම ඔබට කියන්නේ ජීවිතයේ එළඹෙන එබඳු අවස්ථා මග හැර නොගන්නා ලෙස යි. මන්ද අපගේ ජීවිත කාලයේ දී ඒ අවස්ථාව යළි කිසි දිනෙක උදා වීමට ඉඩ නොලැබෙන ලෙස යි.

මිහිදිනී, මග හැරී ගියේ කවර නම් මිනිසෙක් ද යන්න වඩාත් දැනෙන්නේ අද දවසේ මේ මොහොතේත්  ඒ ලිපිය යළි කියවන විට යි. එබඳු අවස්ථා පිළිබඳ ව මට වඩා වෙනස් මානයකින් කටයුතු කිරීම උදෙසා වන උත්තේජනයක් වශයෙන් ආනන්ද කුමාරයන්ගේ ලියමනේ සඳහන් වචන ඒ ආකාරයෙන් ම මෙහි සඳහන් කරන්නට මම කැමතියි.

“පවුල සම්බන්ධයෙන් ඔබ මා වෙත එවූ කාරුණික ලියමන ලදිමි. ඒ ගැන ඔබට ස්තුති කරමි. ඒ නවකථාවේ මගේ සිංහල පරිවර්තනය ඔබ වැනි රසඥ පාඨකයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වීම මගේ සතුටට හේතු වේ. පොත පරිවර්තනය කිරීමට මා ගත් උත්සාහය සහ වැය කළ ශ්‍රමය නිෂ්ඵල වී නැති බව පාඨකයන්ගේ පැසසුමෙන් දැක ගන්නට ලැබීම කොතරම් ප්‍රීතිජනක ද?

ඔබ එවූ The Flute  නමැති ලිපිය මගේ ම දෑසින් කියැවීමේ භාග්‍යය දැන් මට නැත. එහෙත් එය අන් කෙනෙකු ලවා කියවා ගතිමි. ආචාර්ය අදිකාරම් මහතාගේ බොහෝ අදහස් අප කියවා සහ අසා ඇත. ඒ අදහස් තුළ අගනා හරයක් ඇති බව මම පිළිගනිමි. 

ඹගේ පරිවර්තනය ගැන ඔබගේ මහත් ප්‍රසාදය පළ කරමින් කර තිබෙන පැසසුම් ගැන මගේ කෘතඥතාව ඔබ වෙත පළ කරමි.  

ස්තුතියි   

සැපවේවා  

මෙයට ඔබගේ හිතවත්   

ආනන්දකුමාර ”

ගඟුල් - මිහිදිනී, මගේ බිරිඳ ඔබේ ආචාර්යතුමිය තමයි, දැන් මෙබඳු ලේඛන සේ ම සමන් සිත්තරාගේ ලේඛනවල ද සංරක්ෂිකාව වශයෙන් කටයුතු කරන්නේ. මේ ලියමන ඔබ දෙදෙනාට කියැවීම සඳහා පිටපත් කළ වහා ඇති වූයේ එදා සංවේගයේ යළි අලුත් වීමක්. ඔබ දෙදෙනාට මා යළිත් අවධාරණයෙන් කියා සිටින්නේ මේ ගුරුවරයා පරිද්දෙන් ජීවිතයේ එබඳු අවස්ථා මග හැර නොගන්නා ලෙස යි.

ඔබට තවත් විශේෂ කාරණයක් ගැන ලියන්නට තිබෙනවා. ඒ ඔබේ ආචාර්යතුමියගේ ජන්ම දිනය දා ලියූ කවිය ගැන යි. එය මෙහි සඳහන් කරන්නේ අනාගතයේ දී ගඟුල්, අපේ මිහිදිනී උදෙසා ලියන කවියේ ගුණරුව ද ඉන් වෙනස් නොවන නිස යි.

සිසු දරු වෙතට ගුරු සඳ වී එන      පායා

සොහොයුරු සමන්ගෙන් දිවියට ගත් සේයා

යොදවන දැනුම දුරලනු වස් ලොව   මායා

සොඳුරිය නුඹ යි, මට අනපායිනි      ඡායා


මම චීන චාරිකාවේ පස්වැනි දිනය ගැන ලියන්නම් කියා කිව්වාට දැන් මට සිතෙන්නේ බාජින්ගෙන් එහි අවසානය සලකුණු කොට ඉදිරි ලිපියකින් ඒ ගැන ලියන්නට යි. මේ මොහොතේ මග හරවා ගත නොයුත්තේ බාජින් සහ ආනන්දකුමාර අපට දායාද කළ දෙය යි.

බාජින් යනු අනෙක් ලේඛකයන්ගේ නිර්මාණ ද අධ්‍යයනය කළ කෙනෙක්. ඉබ්සන්ගේ බෝනික්කකුගේ නිවස කියවා ඉන් උකහා ගත් දෙය අදාළ මූලාශ්‍රය සමග ම උපුටා දැක්වීමේ සද්ගුණය ඔහු ළඟ තිබුණා. මේ ඉබ්සන්ගේ පොතේ බාජින්ට වඩාත් දැනුණු තැනක්.

“සෙසු හැම දේටම කලින් මාත් ඔබ තරම්ම මනුෂ්‍ය ප්‍රාණියකු බව නැතහොත් යටත් පිරිසෙයින් මනුෂ්‍ය ප්‍රාණියකු වීමට උත්සාහ කළ යුතු බව මම විශ්වාස කරමි. බොහෝ දෙනා කියන දෙයින් සෑහීමට පත් වෙන්ට මට බැරි ය. මම කරුණු සිතා බලා ඒවා පැහැදිලි කර ගන්ට උත්සාහ කළ යුතු ය.”

බාජින් වරෙක අවධාරණයෙන් කියා සිටින්නේ පුද්ගලයකු කායික වශයෙන් දොරගුල් ලා හිරකර තබන්නට අපට හැකි වුවත් ඔහුගේ හදවත හිර කර තබන්නට නම් නොහැකි බව යි.

ගඟුල් - මිහිදිනී, අදිකාරම්තුමාගේ බටනලාව යළිත් කියවන්න. ඒ කියවා බාජින් බටනලාව ගැන කියන පහත ,දක්වා ඇති ප්‍රකාශයත් කියවන්න. ඒ කියවා යළිත් අදිකාරම්තුමාගේ බටනලාව අතට, ඇසට සහ හදට ගන්න. අපි දැනට බාජින් ළඟ නතර වෙමු.  

“සන්සුන් ව සංවර ව හඩන ඇඬුමක් වැනි හඬක් සඳ පහනින් ඒකාලෝක වූ රාත්‍රියේ අස්සක් මුල්ලක් පාසා විහිදී විහිදී, මුදු සුමුදු ලෙද පැතිරී ගියේ ය. එය මිනිස් කටහඬක් නම් නොවීය. කුරුල්ලකුගේ හෝ කෘමියකුගේ රාවයක් ද නොම විය. ඒ හඬ එවැන්නක් නොවිය හැකි සේ බෙහෙවින් ම සැහැල්ලු ය, බෙහෙවින් ම පැහැදිලි ය. විටෙක එය ඉඳුරාම ආත්මය කෙරෙන් නික්මෙන සිත නතු කරගන්නා විලාපයක් සේ, ස්වරයෙන් උච්ච වන්නාක් මෙන් විය. ඉක්බිති එය හමන මඳ පවන් පහරක හුදු සිඟිති ඉඟියක් සේ යළිත් ඇසෙන නොඇසෙන තරම් වන තුරු සෙමින් සෙමින් ප්‍රහීණ වූයේ ය. එහෙත් එවිට ද මුළු අහස් කුස දොම්නසින් පුරවමින්, වාත ස්කන්ධය තුළ පවත්නා එක්තරා ස්පන්දනයක් කෙනෙකුට දැනුණේ ය.”