Monday, March 2, 2026

142. මේ ජර්මානු ළයට පණ පොවන්නේ යුදෙව්වෙකුගේ ස්වාසනාලය!

විසිනව වැනි උපන්දිනේට හම්බවුණ පොත් විසිනවයත් කියවලා ඉවර කරලා, කියවන්න දෙයක් නැතුව, ආයෙ පුස්තකාලෙ පැත්තෙවත් යන්න වෙයි නේද.. අවුරුදු හතලිස්පහක් විතර වයස වුණා නම් පොත් හතලිස්පහක් තෑගි ලැබෙනව නේද.. යනාදි වසයෙන් ⁣හිතමින් ඉන්න මොහොතක, The Book Thief පොත අලලා අතීතෙ කියෙව්ව ෆෑන්ෆික්ෂන් එකක් මතක් වුණා. ඊටපස්සෙ ෆෝන් එක පීරලා පීරලා ෆෑන්ෆික්ෂන්ස් සිය ගණනක් අස්සෙන් මැක්ස්වයි ලිසෙල්වයි ඈඳලා ලියාපු ෆෑන්ෆික්ෂන්ස් ටික පෙරළා පෙරළා හොයාගත්තා. 

⁣බොරු කියන්න ඕන නෑනෙ. රූඩිවයි ලිසෙල්වයි ඈඳලා ලියාපු ෆෑන්ෆික්ෂන්ස් දැක්කාම වැහිදැරිවිගෙ හෘදයාභ්‍යන්තරේ කැළඹුමට පත් වෙනව. ලිසෙල් ගාවින් මැක්ස්ව ඇර වෙන කෙනෙක් ගලපා තියන්නවත් අකමැති පමණට වැහිදැරිවි ඇතුළෙ, ලිසෙල්ටත් - මැක්ස්ටත් යුවළක් විදියට ගැඹුරු ආදරයක් තියනවා. 

⁣යමෙක්ට ඒක විකාරයක් විදියට පේන්නත් පුළුවන්. කිසිදාක දැක හමු වී නොමැති, සම්මුති සත්‍යය තුළ නොපවතින, මනෝකල්පිත යුවළක් ගැන ආදරයක් ඇති වීම! ඒත් එහෙම තමා.. හෘද්‍යාභන්තරයෙ උපදින සියලු හැඟුම්වලට නිශ්චිත හේතුකාරක සපයන්න බැහැනෙ.

අනිත් කාරණය තමා මේ හැඟුම, තුරුණු පාඨිකාවක් තුළ මැක්ස් නම් සුවිශිෂ්ඨ ප්‍රබන්ධ චරිතය කෙ⁣රේ ඇති වූ ආකර්ෂණයකට - ක්‍රෂ් එකකට සීමා කළ හැක්කකුත් නෙමෙයි. මැක්ස් වාගෙ කොල්ලෙක් මුණගැහුණෙ නැත්තං කසාදයක් කරගන්නෙ නෑ කියන හෘදයවස්තුවට කිට්ටුම හරියක ඉන්න සහෝදරියො දෙන්නාට එහෙව් කොල්ලො නෑ ඔය කාගෙ හරි කරක එල්ලියං කියා බනින කුලකයෙ කිසිදාක නොසිටියා වුණත් වැහිදැරිවි එදා සිට ආදරය කළේ මැක්ස් යන තරුණයාට වෙනුවට මැක්ස් සහ ලිසෙල් යන ආල පරමාදර්ශයටයි. ආදරය සම්බන්ධ ඉතිහාසයෙ මුණගැහෙන පරමහංස-සර්ධාදේවි,විනය-ලලිතා,ගෝරා-සුචරිතා, ඈන්-ගිල්බර්ට්, ආදි පරමාදර්ශ අතරෙ, ලිසෙල්ගෙයි මැක්ස්ගෙයි ආලයත් ස්ථානගත කරන්න වැහිදැරිවි තීරණය කළේ The Book Thief සළරුව බලාපු මුල් වකවානුවෙදිමයි. 

ලිසෙල් හා මැක්ස් අතරෙ - සමුගැනුම් හිස සිපගැනුම හා අවසන් වැළඳගැනීම හැර වෙනත් කිසිදු ශාරීරික ළංවීමක් නෑ. ඒ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මිකයි. සාහිත්‍යාත්මකයි. ආභ්‍යන්තරිකයි. ප්ලේටොනිකයි. එතැනින් එහාට ඒ සම්බන්ධය දිගුවකට නොගෙනයන්න කතුවරයා නොසිතන්න ඇත්තෙත් එනිසයි. ඒත් ලිසෙල්ගෙත් මැක්ස්ගෙත් දෑස් අද්දර රොමාන්තික විශ්වයක් දැකපු වැහිදැරියට රොමාන්තික පරමාදර්ශයක් ඇතුළට ඔවුන් දෙන්නාව ඔබ්බවා නොසටින්න අපාසුයි..)

ඉතින් මේ සටහන නිම කරන්නෙ වැහිදැරිවි ලිසෙල්ට ආරූඪ වෙච්ච වෙලාවක කුරුටු ගාපු වචන ටිකකින්.


බිම්මහලෙ අන්ධ කළුවර මැද ඔබ සැඟවී උන්නු යාමය,

තරු ලකුණු සදිසි ඔබ වචන පමණකි අරන් ආවේ සාමය,

දොළොස් වස් දැරියකට නොහැඟුණ නිසා මිස කොයි පාටදැයි ප්‍රේමය 

ඒ කාලෙදිත් තරුණය, ඔබම විය මගෙ ක්ෂේම භූමිය..


ෆැසිස්ට් ගිනිදැල් ඇවිලෙයි, වේගයෙන් පිලිස්සෙයි කාලය,

ස්වස්තිකය මැද වැඩෙමි, අවි හඬින් කැලැත්තී යයි හැඟුම් ජාලය,

විප්ලවය අවුලවපු ඇසකින් උගත්තෙන් මුල් වරට ආලය,

මේ ජර්මානු ළයට පණ පොවන්නේ යුදෙව්වෙකුගේ ස්වාසනාලය!

6 comments:

  1. මේ ඊයේ පෙරේදාත් පොතේ හයිලයිට්ස් කියවපු මාව ආයෙත් ඒ ලෝකෙට ගෙන ගියාට හද පිරි තුති
    🥺🥰🥰💜️💜️

    ReplyDelete
    Replies
    1. නිස්සද්ද පොත්ගුල්ලා ඒ ලෝකෙට ආයෙ යන්න තියා ඒකෙන් එළියටවත් එන්නෙ නැතුව ඇති කියලා මං හිතන්නෙ..)

      Delete
  2. The Book Thief එකේ සිංහල පරිවර්තනය මේ ලෝකේ රහක් නැති දහම දහ ජරාවක් ඉතින් ඉතින් මේ වෙනකනුත් මං ඔය පොත කියවලා නෑ, ඒක ගැන නම් තියෙන්නේ සෑහෙන කනගාටුවක් ංග්‍රීසි පොත හොයාගෙන කියවන්න හිතුණත් ඒකට මට සැහෙන කලෙයක් යන නිසා ඒ අදහස අතැහැරල හුගක් කල්. කවුරු හරි හොද පරිවර්තකයෙක් ඒක කලොත් මම නෙසෙෑහෙන සතුටින් 😃😃😃

    ReplyDelete
    Replies
    1. මං කියවලා නෑ. ඒත් පොත්හෙර කියලා නම දැක්ක ගමන් මට සිංහල පරිවර්තනය කියවන්න හිතුණෙ නෑ. මං සාමාන්‍යයෙන් චිත්‍රපටියට වඩා පොතට බන්ධනය වෙන මනුස්සයෙක්. ඒත් මේකෙදි මුලින් බැලුවෙ චිත්‍රපටිය නිසාද මන්දා මං වඩා ප්‍රිය චිත්‍රපටියට. පරණ පොත් පරිවර්තනය කිරීම අපරාධයක් ලෙස දකින්නැති ප්‍රකාශයකයෙක් ඉන්නව නම් මට කියන්න - මං කරන්න කැමතියි. ආරාධනා ලැබෙන බොහෝ තැන්වල - ප්‍රසිද්ධම ප්‍රකාශකයො පවා - අවුරුදු පහක් එහාපැත්තෙ පොතක් පරිවර්තනය කරනවාටවත් අකැමැතියි - මූල්‍යමය වටිනාකම විතරක්මයි සලකන්නෙ. මට පරිවර්තනය කිරීමත් එපා වෙලා ඉන්නෙ ඇත්තටම දැන්!

      Delete
  3. හොඳවෙලාවට මගේ උපන්දිනේට කවුරුවත් පොත් දෙන්නෙ නැත්තෙ. නැත්තං ඉතින් 67ක් කියවන්න එපැයි. හැබැයි ඉතින් පෙරේත කමට අරන් කියවපු නැති ඒවා ඒ තරම්ම ඇති.

    ReplyDelete
    Replies
    1. මං කාටවත් වෙන තෑගි අරන් දෙන්න ඉඩ තියන්නෙ නෑනෙ. පොත් හැර වෙන කිසිත් එපා කියා වාරණ නියෝගයක් දාලායි තියෙන්නෙ..

      Delete