Tuesday, October 26, 2021

මේ ප්‍රථම වසන්තයයි!

කාර්‍යබහුල - කම්පනකාරී ජීවිතෙන් මොහොතකට මිදිලා කලකට පස්සෙ නිවී හැනහිල්ලෙ සින්දුවක් අහන මොහොතක අහම්බෙන් 'මේ ප්‍රථම වසන්තයයි' ගීතය ස්ත්‍රී හඩකින් ඇහෙනවා. ඉතා මියුරු ස්ත්‍රී කටහඩකින්!  


රියැලිටි කලාව ගැන ඒ හැටි මනාපයක් නැතත්, එහි එකග වෙන්න බැරි තැන් කප්පරක් තිබුණත් අංජලී මෙත්සරා නම් දැරිය රියැලිටි වැඩසටහනක ගැයූ ඒ ගීය මොහොතකට මාව මත් කර තබනවා. හෝ ගානා පොකුණේ අන්ධ දැරිය ලෙස විශිෂ්ට රංගනයක් කළ ඒ යුවතිය නිසා බබලන්නේ ඈ සම්බන්ධ වන වැඩසටහන මිස ඈ වැඩසටහන නිසා බබලනවා නොවන හෙයින් එක් අතකට ඈ  රියැලිටි තරුවක් කියා ලඝු කිරීම වැරදියි. 


කොහොම වෙතත් ඇගේ හඩ මේ ප්‍රථම වසන්තයයි ගීය සම්බන්ධ මතක රාශියක් වෙත මා ගෙන යනවා. කුඩා දැරියක කාලයේ ඒ ගීය මගේ ප්‍රියතම ලැයිස්තුවේ තිබුණේ නෑ. ඒත් එක් දවසක ඊශා අක්කාත් මාත් ඔවුන්ගේ ගෙදර බිම වාඩි වී කතා කරමින් උන් දවසක මේ ගීය ගැන ඉතා තදබල කැමැත්තකින් ඇය මා සමග කතා කළා මතකයි. එතකොට ඈ සාමන්‍ය පෙළ පන්තියේ වාගෙයි. මා ඈට වඩා දෙවසරක් ලාබාලයි. මේ ගීය ගැන මා තුළ අලුත් කැමැත්තක් හටගත්තේ එදායි.


ඉන් පසු අලුතින් මේ ගීය හොයාගෙන අසද්දී ඒ ගීය පාදක කරගෙන නිර්මාණය කර තිබූ රූප රචනාවක් අහම්බෙන් මා ඇස ගැටුණේ ඒ කාලයෙදිමයි. එය සකස් වී තිබුණේ පේරාදෙණිය සරසවිය ඇසුරෙන්. අද ආපසු හැරී බලද්දී එය එපමණ විදග්ධ ගණයේ රූපරචනාවක් නූනත්, ගීත අරබයා රූපරචනා සිදු කිරීම මෙකල තරම් අවර ගණයට ලක් වී නොතිබුණු එදවස ඒ ගීය මනරම් මිහිරකින් මා පුරවන්නට සමත් වුණා. ඇතැම් විට එකල මා තුළ දලුලමින් තිබූ - පශ්චාත් උපාධියක් සම්බන්ධයෙන් හෝ සාක්ෂාත් කරගන්නට නොහැකි වූ පේරාදෙණි ස්වප්නයත් ඒ මිහිර තියුණු කරවන්නට හේතු වන්නට ඇති.


ඒ කොහොම වෙතත් වසර ගණනක් ගෙවී ගොස් ප්‍රථම වසන්තය ආයේ අලුතින් විදින මොහොතක මිහිරක් සමග දැනෙන්නේ නොස්ටැල්ජීය හැගුමක්. එහැගුමෙන් නොමිදීමයි මා ඒ ගීයේ මනරම් වචන පෙළක් කෙටි පණිවිඩයක් ලෙස දුරබණු මුහුණ මත සටහන් කරන්නේ...


සිත පවස දරා මිරිගුව අතරේ

දිය පහස පතා සිටියදි කතරේ

ඔබ සිහිල් දොළක් සේ පාවී

වසන්තයක් වී ආවේ..!

Sunday, October 17, 2021

සුන්දර ජපුර!

ජපුරේ මංපෙත් දිගේ ඇවිද යද්දී මෑත අතීතේ සරසවියත් - ඈත අතීතේ සරසවියත්  වැසි දැරියට සිහිපත් වෙනවා. දෙවසරකට මෙහා මෑත අතීතේ සරසවියට පා තැබූ ගමන් සුමංගලය වෙත, ඕපන් කැන්ටිම හෝ ජිම් කැන්ටිම වෙත දුව යන්නට වැසි දැරිය පුරුදුව උන්නා. යනෙන මග දිග බොහෝ දෙනා මුණ ගැහුණ, අතින් අල්ලා, වැළදගෙන කතාබස් කළ, සංවාද ගහ යට සංවාද කළ, තණබිම මත වාඩි වී බත් කටවල් හුවමාරු කළ, මනරම් මතක අද හුදෙකලා සරසවියෙ ඇවිද යද්දි මතු වෙමින් රිදුම් දෙනවා. කොතැනකින් හෝ ශේන්‍යා, සත්‍යා අක්කා, වාසනා, සොනික් අය්යා, පොඩි සමීරය්යා, කුරවි අක්කා, සචී වැනි කෙනෙක් මතු වෙතැයි හිතුණත් එසේ ප්‍රාදූර්භූත වෙන්නේ සරසවියට අරක් ගෙන සිටින - දුම්මල ගසාවත් ජපුරෙන් පන්නා දැමිය නොහැකි ලොකුසමීරය්යා නොහොත් සොනික් අය්යා පමණයි. 

මෑත අතීතේ ඒ මතකයන්ට යටින් ඊට වඩා බරපතළ නොස්ටැල්ජියාවක් මතු වෙනවා. ඒ වැසිදැරිය සරසවි මානවිකාවක් වන්නට පෙර දවස්. ඇකඩමික් සමයෙ බොහෝ බශා හැන්දෑවරු මග ඇරුණත් ඉන් පෙර නොවැරදී හැම නලමුදු සුවදක්ම, හිමිදිරියක්ම, වේදිකා නාට්‍යයක්ම අත් නෑර විඳගත් මධුර අතීතයක මතක සුණු විත් හද පැටලෙන්නට පටන් ගන්නවා. අවුරුදු දහයක දැරියක්ව ඉද්දී අය්යලා අක්කලාගෙන් සරසවි කුරුටු ගී ඉගෙන ගත්, තෙල් බැමිවල වාඩි වී හැන්දෑ ඉරු එළිය යට තෙමුණු දවස් එකින් එක පෝළිමේ සිහියට නැගෙනවා. 

දැන් සරසවිය ඔන්ලයින්. අලුතින් සරසවියට පැමිණෙනු ඇත්තේ සිය සහෝදර සමාගම සූම් සහ වට්සැප් හරහා පමණක් අදුනාගත් යොවුන් පිරිසක්. සරසවියේ අහුමුලු නොදන්නා පිරිසක්. ඒත් කවදාක හෝ ඔවුන් ජපුරේ රස තැන් එකිනෙක සොයාගෙන ඊට ආදරය කරන්නට පටන් ගනීවි. ඒ අලුත් සියොතුන් ඉක්මණින් පැමිණ සිය සරදාකාශයේ පියඹා යන තුරු ජපුර අපේක්ෂා සහගතව බලා ඉන්නවා වැනි හැගුමක් පාලුවට ගිය කසගස් පේළි අතරින් ඇවිද යද්දි වැසිදැරියට දැනෙනවා.

ඒ මතක මංපෙත ඔස්සේ ඇවිද යන කල වරින් වර වැසි දැරිය අතින් ජපුර ගැන ලියැවුණු කැත කවි ටිකක් මෙසටහන අග අමුණා තබන්නේ ජපුර කෙරේ වන ඇලීම නොමිදීම කෙළවර කොට ඇත්තක් බව දැන දැනමයි.


එකෙක් වැටුණොත් දහක් විත් සුවදුක් අහන

සහෝදර අත් වෙලී පැටලුණ රජදහන

සාර සිප් කටු මතින් සතපන මල් යහන

ජපුර නුබගැබ දුලන සුමගුල් සඳපහන


වේදිකාවෙන් මහපොළොව වෙත

බැස්සවූ බෝ දනන් දස දෙස

හමන නළමුදු සුවඳ වින්දේ

රොතු පිටින් නැග ජනෙල් පඩි අස

හිමිදිරියෙ සිට පහන් තරු තෙක්

නිමා නැති මිහිරක්ය ඇස ඇස

කොහේවත් වෙන රඟහලක් වෙද

ඉතින් සකියෙනි බ.ශා එක මිස


සංවාද නැති දවස්වලටත් 

සංවාද ගහ වටේ ඉඳගෙන 

කතා කළ හැටි කතන්දර, කවි,

සලරූප සහ හුඟක් දේ ගැන

වසර සතරෙන් අතෑරෙන මුත්

හුස්ම යන දින තෙක්ම පවතින

ජීවිතේ මිහිරිතම පාඩම් 

සෝවුරනි, මේ බිමෙන් හමුවිණ!